ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

වෙනස්‌ ලෙස ලොව දකින මොහොතක්‌ මොහොතක්‌ පාසා නීවරණ දුර්වල වේ...

පූජනීය මාන්කඩවල සුදස්සන හිමි
පින්වතුනි, වෙනදාට අපට යන්න දෙපැත්තක්‌ තිබුණේ නැහැ. ලෝකය ගැන විතරමයි හිතන්ඩ කල්පනා කළේ. ගෙවල් දොරවල්, යාන වාහන, දරුවන් ගැනමයි දැක්‌කේ. ඕවා ගැනමයි කල්පනා කළේ. ඕවා ලැබීම ගැනමයි හිතුවේ. වෙන හිතන්න, කල්පනා කරන්න තැනක්‌, පැත්තක්‌ තිබුණේ නැහැ. දැන් අපට පොඩි වාසියක්‌ තියෙනවා ඉඳලා හිටලා හරි, වැරදිලා හරි, හිතන්න තව පැත්තකුත් තියනවා. දැන් අපි හැම වේලාවෙ ම උත්සහවත් වෙන්න වෙනවා.
හැම වේලාවෙ ම මේ ගෙවල් දොරවල්, දූදරුවන් මේවා ලැබීම සැපයි, නො ලැබීම දුකයි, කියන මට්‌ටමේ ඉන්න අපේ දැන් උත්සාහය මාරු වෙන්නයි. දූ දරුවන් ලැබීම දුකයි. මේවායින් මිදීම සැපයි, මේවායින් මිදීම දුකෙන් මිඳිමයි කියන තැනට මනස ගන්න උත්සාහ කරනවා. මෙතන ඉදන් එතෙරට පාරක්‌ දැන් හදන්නේ ඒ සඳහා තමයි, ඒ ඥාන දර්ශනය ඇති කරගන්න උපකාර පිණිස සම්මා දිට්‌ඨියට අනුව නුවණින් සිතිය යුතුයි. සම්මා දිට්‌ඨිය කියන්නේ මොකක්‌ ද? දුක ඇති වීම, ඊට හේතුව, දුක නැති වීම, දුක නැති කරන මඟ කියන ඇත්ත. අපි ජීවත් වන ලෝකය හම්බවෙන කොට ඒ හම්බ වෙන දේ තුළ පවතින ඇත්ත නිතර ම සම්මා දිට්‌ඨියට අනුව හිතන්න ඕන. සම්මා දිට්‌ඨියට අනුව හිතීම තමයි සම්මා සංකප්ප කියන්නේ. ඒ කියන්නේ දෙකෙන් ම ප්‍රඥාවයි වැඩෙන්නේ.
අපි නිකමට කියමු. ගෙදර දොරේ දී වෙන දා වගේ කතා කරද්දී කටයුතු කරද්දී මේ "දරුවා" කියන තැන ද?, මේ රූපය දිරනවා නේ ද?, ලෙඩ වෙනවා නේ ද?, කියලා නිකමට හිතන්න.
වළඳක්‌ ගත්තා. අනේ මේකත් කවදා හරි කැඩෙනවා නේ ද? මේකත් ජරා ධර්මයක්‌ නේ ද? ව්‍යාධි ධර්මයක්‌ නේ ද? මරණ ධර්මයක්‌ නේ ද?
වතුර කේතලයක්‌ ලිපේ තිබ්බත් එක පාරට ම පැහෙන්නේ නැහැ. රත් වෙන්නේ නැහැ. ඒකටත් ක්‍රමානුකූල ව ගින්දර දමන්න ඕනෑ. එක පාරට ම නීවරණ ධර්ම දුරු වෙන්නේ නැහැ. භාවනා කරනවා කියලා කියන්නේ පැනලා යැමත් නො වෙයි. හැංගිලා ඉන්න එකත් නො වෙයි. එදිනෙදා ජීවත් වන ජීවිතය තුළින් මයි යථාර්ථය අල්ලා ගන්න තියන්නේ.
ඉතින් වෙන දා වගේ ගෙවල් දොරවල්, යාන වාහන කියලා දැකපු තැන ම, "අනේ ඉතින් මේ තියෙන්නේ ව්‍යාධි ධර්මයක්‌ නේ ද? ජරා ධර්මයක්‌ නේ ද? මරණ ධර්මයක්‌ නේ ද?" කියලා බලන්න.
ඔබ දන්නව ද ඔය බලන වාරයක්‌ ගානේ ඔබ ගේ නීවරණ ධර්ම අඩු වෙනවා කියලා. ඔහොම හිතන මොහොතක්‌ ගානේ වෙන දා තිබිච්ච ආකල්ප සංකල්ප ගොඩඟැහිලා යන ගතිය ටික ටික අඩු වෙනවා, දන්නවා ද? ඒක මොහොතක්‌ ගානේ වෙනවා. මෙහෙම හිතන්න හිතන්න නීවර්ණ ධර්ම අඩු වෙනවා. එක තැනක ඉන්න කොට අපට සමථ කමටහනකිනුත් හිත එකතැන් කරන්න පුළුවන්. නීවරණ ධර්ම අඩු කරන්න පුළුවන්.
හිත හදාගැනීමට උපකාර පිණිස නිත්‍ය පංචශීලය, පෝය අට සීලය රකින්න ඕනේ. කය වචන දෙක සංවර කරගන්න යම් සමථ භාවනාවක්‌ කරන්න ඕන. කය, වචනය දෙක සංවර කරගන්න, හිත සංවර කරගන්න, උපකාර පිණිස සීලයක පිහිටුවනවා. නීවරණ ධර්ම දුරු කරගන්න උපකාර පිණිස හිත සංවර කර ගන්නවා. එක්‌තැන් කරගන්නවා. ඇත්ත ඇති හැටියේ දකින්න නීවරණ ධර්ම අඩු කරගන්නවා. මොකක්‌ ද ඇත්ත ඇති සැටියේ දකින්නේ? දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යය දකින්න පටන් ගන්නවා. නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධිමත් වෙච්ච දවසට මේ ගෙවල් දොරවල් නො වෙයි, මේ දුක නේ ද කියන එක පෙනෙන්නේ ඉබේමයි. මේ දේවල ලැබීම දුකේ ලැබීමයි කියන එක පෙනෙනවා.
එදාට දුකේ කලකිරිලා නො ඇලිලා, මිදෙනවා. එදාටයි ඔබ දුකෙන් මිදුණේ. දුකෙන් මිදුණහම දුකෙන් මිදුණා කියන නුවණ එනවා. වෙන කළ යුත්තක්‌ නැහැ. යමක්‌ කළ යුතු නම් ඒ දේ කළා කියන ප්‍රත්‍යවේක්‌ෂා නුවණ ද එනවා. "සීල සමාධි, ප්‍රඥා, විමුක්‌ති, විමුක්‌ති ඥාන දර්ශන" කියලා තියෙනවා ධර්මතා පහක්‌. මෙන්න මේ පහ ඉලක්‌ක කරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. දුකේ ඇලිලා, දුකේ බැඳිලා ඉන්න කෙනා දුකෙන් මිදෙන්නේ නැහැ. දුකේ කලකිරිලා නො ඇලිච්ච කෙනා තමයි දුකෙන් මිදෙන්නේ. ඉතිං දුකේ කලකිරිලා නො ඇලෙන්න නම්, දුක, දුක හැටියට දකින්න ඕනේ. දුක, දුක හැටියට දකින්න නම් දුක දකින විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරන්න නම් සද්ධර්මය අහලා කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් සම්මා දිට්‌ඨිය ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම ලබාගෙන තියන කෙනාට නීවරණ ධර්ම අඩු වුණොත්, අඩු කරගත්ත හැටියෙ මේ දර්ශනය පෙනෙනවා.
දැන් ඔන්න චතුරාර්ය සත්‍යයේ හතර ම මා දේශනා කළා. මාර්ග සත්‍යය විතරක්‌ වැඩිපුර දේශනා කළේ නැහැ.
ඉතා දීර්ඝ වශයෙන් නො වෙයි, කෙටියෙනුත් නො වෙයි, මම මාර්ගය ගැන ටිකක්‌ විස්‌තර කරන්නම්.
ඉස්‌සෙල්ලා අපි පොඩි උපමාවක්‌ කිව්වොත් එක්‌තරා මනුෂ්‍යයෙක්‌ ඉන්නවා. මේ මනුෂ්‍යයා අව්වේ ඇවිල්ලා ග්‍රීස්ම වේලාවේ ඉතා ම පිපාසිත තත්ත්වයට පත් වෙලා, දැන් මෙයාට ඕනේ මේ පිපාසිත බවෙන් මිදෙන්න වතුර ටිකක්‌ බොන්න. ඉතින් වතුර ටිකක්‌ හොයාගෙන යනකොට එයාට හම්බ වෙනවා ළිඳක්‌. හැබැයි ඒ ළිඳේ කුණු රොඩු, මඩ, ජරාව එක්‌ක වැටිලා බොහොම පල් වෙච්චි, පල් වතුරක්‌ තියෙන්නේ. ඒ විතරක්‌ නෙමෙයි. මේ ළිඳට තවත් කුණු කාණු හයකින් ජල පාරවල් හයක්‌ ඇවිල්ලා, වැටෙනවා.
දැන් මෙයාට පිපාසය දුරු කරගන්න වතුර ටික බොන්න ඕන. දැන් මෙහෙම වතුර බොන්න බෑ නේ. වතුර බොන්නත් ඕන. පිපාසය සංසිඳෙන්නත් ඕන. ලෙඩ රෝග හැදෙන්නෙ නැති වෙන්න ඕන. එහෙම නම් දැන් මෙයාට වතුර ටිකක්‌ බොන්න නම් මේ ළිඳ පිරිසිදු කරන්න ඕන වෙනවා. දැන් ළිඳ පිරිසිදු කරන්න බැහැ. තියන වතුර රොඩුත් එක්‌ක ම අයින් කෙරුවත් පලක්‌ නැහැ. අර පිටින් කුණු කාණු හයකින් වතුර ඇවිල්ලා ළිඳට වටෙනවා නම්. දැන් වතුර බොන්න ඕන වුණාට, ඉස්‌සරවෙලා ම මෙයාට කරන්න වෙන්නේ උදැල්ලක්‌ පැසක්‌ අරගෙන ගිහිල්ලා ළිඳට කිසි ම සම්බන්ධයක්‌ වත් නැති අර පිටතින් ගලාගෙන එය කාණු හය වහන්න. ගලාගෙන එය කුණු මඩ සහිත ජරාව සහිත වතුර පාර වෙන පැත්තකට හරවලා දාන්න. ඒවා හරස්‌ කරලා බැමි දාන්න ඕන.
ඔන්න දැන් කාණු හයට බැමි දාලා අලුතෙන් මඩ ජරාව සහිත වතුර ළිඳට වැටෙන එක නැවැත්වුවා. නතර කළා කියලා කලින් ඇවිල්ලා මඩ සහිත ජරාව වැටුණු වතුර අස්‌ වුණේ හිඳුණේ නැහැ. ඒකට දැන් ළිඳ ඉහින්නයි තියන්නේ.
ළිඳේ තියෙන මඩ ජරාව සහිත වතුර ටික අයින් කරන්න ඕන. හැබැයි මෙතැන දී දැන් මඩ අදින භාජනයේ ප්‍රමාණය තීරණය කරන්නත් අවශ්‍යයි. ඉක්‌මනට මඩ ටික ඉවර වෙනවා ද නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ හුණ්‌ඩුවක්‌ විතර චූටි භාජනයකින් ද, මහා ලොකු බාල්දියකින් ද අදින්නේ කියන කාරණාව මතයි. භාජනය සහ කාලය මතයි, කොච්චර වෙලාවක්‌ මේකට යොදනවා ද කියන එක මතයි.
ඉතින් මෙයා ලොකු භාජනයක්‌ අරගෙන වැඩි වේලාවක්‌ ළිඳ ඉහිනවා. ඉහිනකොට ඔන්න ළිඳේ තියෙන මඩ සහිත ජරාව සහිත ජලය අයින් කරනවා. අයින් කරන කොට ළිඳ ඇතුළෙ ම තියෙන මඩවලට වැහිලා හිර වෙලා තිබුණු උල්පත් පෑදිලා ළිඳ ඇතුළෙන් ම පිරිසිදු ජලය එනවා. ජලය පිරිසිදු වුණාට අපිරිසිදු මඩ තිබුණු ළිඳේ සියුම් මඩ සහ මඩ ගඳ තාම තියෙනවා. ළිඳෙන් ම උපන්න වතුර ටික අරගෙන ඒ ළිඳ ම හෝදනවා. හෝදලා ඒ වතුර ද ඉහිනවා. ඒ වතුර ඉස්‌සහම මඩ ගඳ ද නැති පිරිසිදු වතුර ටිකක්‌ හම්බ වෙනවා. දැන් ඔන්න ඒ වතුර ටික බිලා මුහුණ කට සෝදාගෙන ඇඟපතත් හෝදගෙන තමන් ගේ විඩාව සංසිඳවා ගන්නවා. පිපාසය සංසිදවා ගන්නවා.
ඒ උපමාවෙන් මා මතක්‌ කළේ, ඒ විඩාවට පත් වෙච්ච පුද්ගලයා වගේ තමයි මේ සසර ඇවිදින සත්ත්වයා දුකට පත් වෙලා, වෙහෙසට පත් වෙලා පීඩාවට පත් වෙලා අමෘතය නමැති මේ පානය, දුකේ නිරෝධය නිවන නමැති සිහිල් ජලය, පානය කරන අවශ්‍යතාවෙන් ඉන්නේ. ග්‍රීස්මේන් තැවුණු පිපාසිත පුද්ගලයෙක්‌ වගේ තමයි. එහෙම එනකොට එයාට හම්බ වෙනවා මඩ සහිත, ජරාව සහිත පිරුණු ළිඳක්‌ වගේ තමන් ගේ ම කිළිටි මනස. හැබැයි නිකං නො වෙයි. ඒකට කුණු කාණු හයකින් කුණු වතුර ගලාගෙන එනවා වගේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් ම, රාග ද්වේශ, මෝහ සහගත මේ නොයෙක්‌ කෙළෙස්‌ අකුසල ධර්ම විතක්‌ක පහළ වෙනවා.
දැන් මුලින් ම ළිඳ ඉහින්න ඉස්‌සර වෙලා බැමි දාලා කාණු ටික වහන්න වෙනවා වගේ මෙන්න මේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන ටික හදාගන්න ඕන. සංවර කරගන්න ඕන. බැමි දාගන්න ඕන. රැකගන්න ඕන..   Ananya Kumarasinghe
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

යොනිසො මනසිකාර යනු කුමක්ද?

පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.
රාජකීය පණ්ඩිත 
ශාස්ත්‍රපති 

අයගම සුසීල හිමි

බුදුන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණ ඥාන මාර්ගයකි. සිතීමෙන් හා විමසීමෙන් තොරව හුදු විශ්වාසයෙන් පමණක් අනුගමනය කළ යුතු ඉගැන්වීමක් නොවන බුද්ධ දේශනාව සියලු තැන සියල්ලන්ටම (විවෘතව) පවතින සර්වව්‍යාපී ඉගැන්වීමකි. මිනිස් මනසට මුල් තැන දෙමින් අන්ධ විශ්වාසයනට මං අහුරා ඇති තථාගත දේශනය ,ප්‍රඥාව හා වීය¸ය පදනම් කරගත් මනා සිහියෙන් අනුගමනය කළ යුතු ඍජු ජීවන මාර්ගයක් සහ විමුක්ති මාර්ගයක් වශයෙන්ද හඳුන්වා දිය හැකිය. “පඤ්ඤාවන්තස්සායං ධර්‍මමා නායං ධම්මා දුප්පඤ්ඤස්ස යන බුද්ධ වචනයට අනුව තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම සිතීමේ හා විමසීමේ හැකියාවෙන් යුත් ඥානගවේෂී ප්‍රඥාවන්තයන්ටය.අන්ධ විශ්වාසයන් සහ දෘෂ්ටින් තුළ හිර වූ ආවෘත මනසක් ඇති අනුවණයන්ට එම ඉගැන්වීම විෂය නොවේ.
යොනිසො මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම බුදු දහමේ එන උසස් සංකල්පයකි. පුද්ගලයෙකුගේ සන්තානයෙහි සැඟවී ඇති ආධ්‍යාත්ම බලය ඉස්මතු කරගැනීමෙහිලා උපනිශ්‍රය වන යොනිසො මනසිකාරය පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස අත්‍යවශ්‍ය ධර්ම කාරණයක් බව අංගුත්තර නිකායේ එකක නිපාතයෙහි සඳහන් වේ. කාමච්ඡන්ද ,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච ,කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ ධර්මයෝ ප්‍රඥාලෝකය මුවහ කරන ධර්මයෝය. ඒ අතුරින් ප්‍රධාන සංයෝජනයක් වන විචිකිච්ඡාව දුරලීම පිණිස කටයුතු කිරීම සත්‍යාවබෝධය පිණිස අනිවාර්යය වූවකි.
පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.
වරක් බුදුරජාණන් වහන්සේ කේසපුත්ත කාලාමයන් හමු වූ අවස්ථාවේදී විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණ කාලාමයන් මුළාවන අයුරින් සහ ඔවුන්ගේ සැකය ඉස්මතු වන අයුරින් ඔවුන් නොවුන්ගේ දර්ශන ඉදිරිපත් කිරීම නිසා මහත් මානසික වියවුලට පත්ව සිටි කාලාමයන්ට පිළිගත හැකි ඥාන මාර්ගයක් දේශනා කළහ. ඒ අනුව යමක් පිළිගැනීමේදී ඒ සඳහා අනුගමනය කළයුතු විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දුන් බුදුන් වහන්සේ නුවණින් විමසා බලා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් යථාර්ථාවබෝධය පිණිස හේතු නොවන සම්ප්‍රදායිකව සමාජගතව තිබූ ක්‍රමවේද 10 ක් ප්‍රතික්ෂේප කළහ. එසේ ප්‍රතික්ෂේප කරන ලද දස විවිධ මාර්ගයන් කාලාම සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
1.යමක් වේද ග්‍රන්ථවල සඳහන්ව ඇති නිසා නොපිළිගන්න.
2.පරම්පරාවෙන් එන නිසා නොපිළිගන්න.
3. එසේ වන්නට ඇතැයි අනුමානයෙන් නොපිළිගන්න.
4.තමන්ගේ පිටකයනට හා සම්ප්‍රදායනට සමාන යැයි නොපිළිගන්න.
5.තර්කයට ගැලපේයැයි සිතා පිළිනොගන්න.
6. තමන් දන්නා න්‍යායන්ට ගැලපේ යැයි පිළිනොගන්න.
7. මතු පිටින් හොඳ යැයි පෙනුනත් පිළි නොගන්න.
8.තමන් බැසගත් දෘෂ්ඨීන්ට ගැළපේ යැයි පිළි නොගන්න.
9.පුද්ගල ගෞරවයෙන් පිළිනොගන්න.
10. මේ ශ්‍රමණයා (පූජකයා) අපගේ ගුරුවරයා යැයි පිළිනොගන්න.
මේ අනුව යමක් සාවද්‍ය හෝ නිරවද්‍යදැයි නිශ්චය කරගත යුත්තේ පදනම්වල හිරවීමෙන් තොරව නිදහස් මනසින් විමර්ශනය කිරීමෙන් බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ යමක් යහපත සමාධිය හා ශාන්තිය පිණිස පවතී නම් එසේම එය යහපත් යැයි තම නුවණින් වටහා ගත හැකිනම් එය අනුගමනය කළ යුතු බවත් එසේ යහපත, පිණිස හේතු නොවන දෙය ප්‍රතික්ෂේප කළ යුතු බවටත් ඔවුනට උපදෙස් දුන්හ. මෙබඳු විශිෂ්ඨ ඉගැන්වීමක් ලොව බිහි වූ කිසිදු ආගමික දර්ශනයක දැකගත නොහැකිය. බුදු දහමේ පදනම නිදහස් මනස පදනම කරගත් නිදහස් චින්තනයයි. එය යොනිසෝ මනසිකාරය තුළින්ම ඇති කරගත යුතු වූවකි.
අංගුත්තර නිකායයේ චතුක්ක නිපාතයේ මහාපදේස සූත්‍රයේදීද යමක් පිළිගැනීමට භාවිත කළ යුතු ක්‍රම 4 ක් පිළිබඳව උගන්වා ඇත. එම සතරාකාර මහාපදේස 4 මෙසේය.
1.යමක් තමා බුදුරදුන්ගෙන් අසා පිළිගත් ධර්මයක් විනයක් යැයි යම් ඉගැන්වීමක් ඉදිරිපත් කලත් (බුද්ධාපදේස)
2. යමෙකු අසවල් විහාරයේ සංඝයාගෙන් අසා පිළිගත් ධර්මයක් විනයක් යැයි යමක් ඉදිරිපත් කළත්. (සංඝාපදේස)
3.යමෙකු තමා අසවල් විහාරයේ බොහෝ භික්ෂූන්ගෙන්. අසා දැනගත් ධර්මයක් විනය කරුණක් යැයි යම්කාරණයක් ඉදිරිපත් කළත් (සම්බහුලා ථෙරාපදේස)
4.යමෙකු අසවල් විහාරයේ ධර්මධර විනයධර උගත් භික්ෂුවකගෙන් අසා දැන පිළිගත් දෙයක් ලෙස යම් ධර්ම විනය කාරණයක් ඉදිරිපත් කළත් (එකත්ථෙරාපදේස)
ඉහත දැක්වූ ක්‍රම හතරට අනුව යමක් එක්වරම පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොකර එය සූත්‍ර විනය දෙක හා සසඳා ගැළපේ නම් පමණක් පිළිගත යුතු බව දේශනා කළ බුදුන් වහන්සේ ධර්ම විනය සම්බන්ධයෙන් වුවද ඒකාන්ත නිගමනයට බැස ගත යුත්තේ සිහියෙන් සහ නුවණින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව අවධාරණය කළහ. මේ හා සමාන තවත් උපදේශ 04 ක් විශුද්ධි මාර්ගයේ දක්නට ලැබේ. එනම් සුත්ත, සුත්තානුලෝම,ආචරියවාද, අත්තනොමති යන සතරයි. යමෙකු යම් කරුණක් ඉදිරිපත් කළ විට එය සූත්‍රයක දක්නට ලැබේද? නො ලැබේද? සූත්‍රයන්ට අනුලෝම ද හෙවත් එකඟ ද නැද්ද ,ආචාර්ය වාදයනට ගුරු පරපුරේ අදහස්වලට එකඟ ද නැද්ද තමාගේ මතයට ගැළපේද නොගැළපේද යනුවෙන් විමසා බලා වරදක් නැති බව පෙනී ගියහොත් මතුවට විමතියක් ඇති නොවීමට හේතු වන්නේ යැයි ස්වයං තීරණයකට එළඹ පිළිගැනීම වරදක් නොවන බව බුදුන් වහන්සේගේ අවවාදයයි. මේ අනුව සත්‍ය ගවේෂණයෙහිලා කෙතරම් උසස් නිදහසක් බුදුසමය අනුගමනය කරන ශ්‍රාවකයනට ලබා දී ඇත්ද ? යන්න වටහා ගත හැකිය.
මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වීමංසක සූත්‍රයේදී තථාගතයන් වහන්සේ ගැන පවා විමසා දැනගැනීමට අවකාශ ලබා දී ඇති බුදුන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හෝ තමන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව හෝ සැකයක් විමතියක් ඇති ඕනෑම අයෙකුට එම සැකය දුර කරගැනීම සඳහා ප්‍රශ්න කිරීමට හා විමසීමට තමන් වහන්සේ සහ තම ධර්මය විවෘත බව අවධාරණය කළහ. එනිසා බුදු දහෙමි සැඟවී ඇති අප්‍රකට කිසිවක් නොමැති බව විමංසක සූත්‍රය අනාවරණය කරයි.
මජ්ක්‍ධිම නිකායයෙහිම සඳහන් වන බ්‍රහ්මායු සූත්‍රයට අනුව බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කිරීමේ අරමුණින් උත්තර නම් තරුණ බ්‍රාහ්මණයෙකු සත් මසක් බුදුන් වැඩි මග උන්වහන්සේ පසු පසින් ගමන් කළ බව සඳහන් වන පුවතින් බුදුරජාණන් වහන්සේගේ විවෘතභාවය සහ සත්‍යායගවේෂණය සඳහා ලබා දුන් ඉඩහසර කෙබඳු දැයි වටහා ගත හැකිය.
එනිසා ලෝකයේ යථාර්ථය දැකීමට විවෘත මනසක් ඇති කරගත යුතුමය. පටු සීමා මායිම් හා දෘෂ්ටීන්ට අනුගතව යමක යථා ස්වභාවය අවබෝධ කරගත නොහැකි බව තවදුරටත් බුදුසමය අවධාරණය කරයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පත්ත නික්කුජ්ජන කර්මය යනු

පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු චෝදනාවක් කළ වඩ්ඪ නම් වූ ලිච්ඡවි පුත‍්‍රයාට ය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේ ය. ඒ මෙසේ ය.
මහණෙනි, අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළ යුත්තේ ය.
1. භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද?
2. භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේ ද?
3. භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නො පිවිසිට හැකි වනු පිණිස උත්සාහ කෙරේ ද?
4. භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරේ ද,
5. භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද,
6. බුදුන්ගේ අගුණ කියා ද,
7. ධර්මයේ අගුණ කියා ද,
8. සංඝයාගේ අගුණ කියා ද,

මහණෙනි, මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කිරීමට අනුදනිමි.
පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත‍්‍රය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැුස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත‍්‍රය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන්පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටියහොත් නැවත සංඝයා රැුස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සව්පසය පිළිගැන්වීමට අනකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.
අවධානයට
අතිපූජනීය රෙැරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචිත බෞද්ධයාගේ අත්පොත නමැති වටිනා ග‍්‍රන්ථය ඇසුරින්, නිවන් මාර්ගය පිටුව විසින් නිර්මාණය කරන ලද මෙම ලිපි මාලාවෙන් බුදුදහමේ මූලික කරුණු පැහැදිලි කරයි. මෙම කරුණු තේරුම් ගැනීමෙන් නිවැරදි මිනිසකු විය හැකිය. මෙම කරුණු මිතුරන් අතරේ share කරන්නා කළ්‍යාණ මිත‍්‍රයෙකි. ඔහු උසස් ධර්මදානයේ හිමිකරුවෙකි. තෙරුවන් සරණයි!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පඤ්චසීල ප්‍රතිපදාව

කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි

සීලය යනු හික්මීමයි. එනම් කය වචනයන්හි මනා වූ පාලනයයි. එය සාමාන්‍ය ජීවිතයේ දී චාරිත්‍ර වාරිත්‍ර ලෙස අරුත් ගැන්වේ. කළ යුතු දේ සහ නොකළ යුතු දේ වශයෙනි. බෞද්ධ පඤ්චසීලය ගිහියාගේ නිත්‍ය ප්‍රතිපදාවයි. ඒ තුළ ජීව අජීව පරිසරයේ යහපැවැත්මට විශාල දායකත්වයක් සැපයේ. එනම් සමාජය යම් පාලනයකට නතු කිරීම තුළිනි. පාලනයකින් ශික්ෂණයකින් තොර යමක් හෝ යම් කණ්ඩායමක් ඇත්ද, එය විනාශයට පත්වීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙයින් සීලය තුළින් සිදුකරනුයේ මිනිස් පාලනය තුළින් සමස්ත ජීව අජීව පරිසරය පාලනය කොට යම් ක්‍රමික රටාවකට හැඩගැස්වීමය.

ආධ්‍යාත්මික දියුණුව මෙන් ම බාහිර හෙවත් ලෞකික ජීවිතය වඩාත් අර්ථ සම්පන්නවීමට ශීලය අවශ්‍යය. සංයුත්ත නිකායේ ජටා සූත්‍රය තුළ “සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ”...... ලෙස සීලයෙහි පිහිටා ප්‍රඥාව ළඟාකරගත යුතු බව දක්වන්නේ එහෙයිනි. ‘එසේම සීලගන්ධසමෝ ගන්ධෝ’ ලෙස දක්වන්නේ ද සීල සුවඳ අන් සියලු සුවඳ ඉක්මවා යන බවයි. සීලය පුද්ගලයෙකුට ආභරණයකි. මන්දයත්? ඔහු ඉන් බැබළීමට පත්වන බැවිනි. ආර්ය මාර්ගයේ පදනම වන්නේ ද සීලයයි. මේ සියල්ලෙන් ම ගම්‍ය වන කාරණය වන්නේ කායික වාචසික පාලනය දෙලොව දියුණුව ඇතිවීමට ඉවහල් වන බවයි. කායික වාචසික සංවරය හෙවත් පාලනය වැදගත් වනුයේ ආධ්‍යාත්මික දියුණුවට පමණක් නොවේ. භෞතික ජීවිතයට ද අවශ්‍යය. පාලනයකින් තොර ජීවිත ශ්‍රේෂ්ඨ බවට පත් නොවේ. සාමාන්‍ය ජීවිත පඤ්චසීල ප්‍රතිපදාවෙන් යුක්ත විය යුතු බව බුදු දහම අවධාරණය කරන්නේ නිවන් ලැබීමේ අර්ථයෙන් ම නොවේ. සමාජය සමතුලිතව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මතය. අසමතුලිත බව වටිනාකම් නැතිවී සමස්තය අගාධයට පත්වීමට හේතුවේ.
සාමාන්‍ය ජීවිතයේදී සීලය සම්පූර්ණවීමට අවශ්‍ය කාරණා කිහිපයක් ඇත. එම අවශ්‍යතා ඉටුනොවන්නේ නම් ලෝකමානයට සිල්පද සමාදන් වූවාට එය වැදගත් නොවේ. කෙතෙක් සිල් සමාදන් වූව ද සීලයෙන් වන්නේ කරුණු දෙකකි. එනම්
1. කය සංවර වීම
2. වචනය සංවර වීම

ඉහත අවශ්‍යතා ඉටු නොවන්නේ නම් එතන සීලයක් නැත. සීලය ප්‍රඥාව සමඟ මිශ්‍රව පවතින්නකි. සීලය ඇති තැන ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇති තැන සීලය ඇත. සිල්වතාට නුවණ ඇත. නුවණැත්තාට සිල් ඇත. යනුවෙන් සෝණදණ්ඩ බමුණා ප්‍රකාශ කළේ ද එහෙයිනි. සීලය සම්පූර්ණවීමට අදාළ කරුණු මෙසේ පෙළගැස්විය හැකිය.
1. වතාවත් (කළයුතු දෑ එදිනෙදා කිරීම)
2. සිල් රැකීමේ අනුසස් දැකීම
3. සිල් බිඳගැනීමේ විපාක දැකීම, ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් සීලය යොදා නොගැනීම
4. කායික ක්‍රියා තමන්ටත් අනුන්ටත් හානි නොවීම
5. සමාදන්වූ සීලය අවංකව රැකීම

මෙහිදී සාමාන්‍ය ජීවිතයේ දී වත් සිදුකිරීම සීලය සම්පූර්ණවීමට හේතුවකි. "වත්" යනු කළ යුතු ක්‍රියාවන් වගකීම්ය. භික්ෂුවගේ වගකීම ගිහියාගේ වගකීම දෙමාපියන්, දරුවන්, ආයතන මට්ටමින් තම වගකීම මනාව ඉටුකිරීමයි. තම වගකීම යුතුකම ජාතියක් ලෙස රටක් ලෙස ඉටුනොකර අයිතිවාසිකම් පමණක් ඉල්ලීම යුතු නොවේ. තම ‘වත්’ නිසිලෙස ඉටුනොවන්නේ නම් එය ඍජුව, වක්‍රව තමන්ටත් රටටත් බලපෑම් ඇති කරයි. එදිනෙදා ජීවිතයේ දී මිනිසාට මෙන් ම සතා සිව්පාවට සේම ගහකොළට ද සංවේදී වෙමින් තමා විසින් කළ යුතු දෑ නිවැරදිව කළ යුතුය. එවිට සුළු සුළු පාපකර්මයන් ද පිරිසුදු බවට පත්වේ. බුදු දහම ‘වත්තං නපරිපූරෙන්ති න සීලං පරිපූරති’ ලෙස දක්වන්නේ ද එයයි. එනම් වත් නොපුරන්නාට සිල් නොපිරෙන බවයි.

තම පෞද්ගලික වාසි සලකමින් බොහෝ දෑ පරිහානියට හෙලීම සිල් නොවේ. එවැනි සීලය අර්ථවත් නොවේ. පොදු අරමුණු සාධනය කිරීමට යාමේ දී යම් යම් අලාභහානි පවා සිදුවිය හැක. ඇතැම්විට නිවැරදි කළ නොහැකි අලාභ මෙලොව වශයෙන් සිදුවිය හැකිය. නමුත් තමාට තමා පිළිබඳව ආඩම්බර විය හැකි සීල ප්‍රතිපදාව සහිත ජීවිතයක් ඇති කරගත හැකි නම් එය දෙලොව වාසනාවකි. තම දිවි දෙවැනි කොට සිල් රැකිය යුතු බව බුදු දහම අවධාරණය කරන්නේ එහෙයිනි. බිත්තර රකින කිරලෙකු මෙන් ද වලිගය රකින සෙමර මුවකු මෙන් ද එකම පුතු රකින මවක මෙන් ද, එකම ඇස රකින පුද්ගලයෙකු මෙන් සිල් රැකිය යුතුය.
කය වචන දෙක සංවර වූ පුද්ගලයාගෙන් සමස්ත පරිසරයට ම ඇත්තේ ආශිර්වාදයකි. මේ ජීවිතයේදී සතුට, අල්පේච්ඡ බව, පහසුවෙන් පෝෂණය කළ හැකි බව නැතිවන්නේ, කය, වචන දෙකෙහි අසංවර බවයි. සිල්වතාගෙන් මානවයාට පරිසරයට ස්වභාවදහමට, ස්වභාවික සම්පත්තීන්වලට කිසිදු හානියක් නැත. පඤ්චශීල ප්‍රතිපදාව අනුදැන වදාරන්නේ ද මෙම අරමුණ සාධනය කරගැනීමටය. මිනිසාගේ මූලික අයිතිවාසිකම වූ ජීවත්වීමේ සිට සියල්ල මෙම සීලයෙන් ආරක්ෂා වේ. ජීව අජීව පරිසරයට අහිතකර බලපෑම් බොහොමයක් සිදුවනුයේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. එය පාලනය වන්නේ නම් අයහපත පාලනය කරගත හැක. බොහෝ අණ පනත් පැනවීමේ අවශ්‍යතාවය පැනනගින්නේ ද කය වචන දෙකේ අසංවරයයි. මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්ති නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය බොහෝ විට පැනනැගුණේ ‘පාණාතිපාතා’ ශික්ෂාපදය ආරක්ෂා නොකිරීම නිසාවෙනි. යමෙකු මෙම ශික්ෂාපදයෙන් යුක්ත වන්නේ නම් ඔහුගෙන් අනෙකාට පමණක් නොව, ගහකොළට පවා හානි නොපැමිණේ. මානවයා මානවයාට ගරු කරමින් මනසින් ලෝකය දකින්නේ මෙවන් පසුබිමකය. අනෙකාගේ ගෞරවය අභිමානය රැකීමට පුද්ගලයා පෙළඹෙන්නේ නම් පළමු ශික්ෂාපදය ආරක්ෂා වේ. අවිශ්වාසයෙන් තරහෙන් වෛරයෙන් සිටිය යුතු නොවේ. කෙසේ හෝ කොහොම හෝ පවතිනවා යනුවෙන් මිනිස් සිත සැකසෙන්නේ පුද්ගල හෝ සම්පත් වටිනාකම් හඳුනානොගැනීම තුළය. පළමු ශික්ෂාව නිසිලෙස රැකෙන්නේ නම් එවන් පරිසරයක් නිර්මාණය නොවේ. තමාට ජීවත්වීමට අයිතියක් නිදහසක් ඇතිවාක් මෙන් ම සමස්ත පරිසරයට ම එසේ පැවතීමට ඉඩහසර සකසාදිය යුතුය. අවු. 60/70 ක ජීවිතයක් නිසා සියගණන් මිනිස් ජීවිත විනාශකිරීම සම්පත් නාස්ති කිරීම අපාගතවන පාපයකි. ගහක අත්තක් හෝ නොකැපිය යුතුය ලෙස උපසම්පදා භික්ෂූන්ට උපදෙස් දෙනුයේ එහෙයිනි.
අන්‍යයන් සතු දේ පැහැර ගැනීම, ඒ සඳහා අලාභ ඇති කිරීම දෙවන ශික්ෂාපදය උල්ලංඝනය කිරීමකි. මිනිසුන් සතු දේ මෙන් ම ස්වභාවදහම සතු දෑ අනවශ්‍ය ලෙස ගැනීම මේ යටතට ගැනේ. පාරාජිකා පාලියෙහි භික්ෂුවක් කුරුල්ලන්ගෙන් පිහාටු ඉල්ලීම පවා පවක් ලෙස බුදුරදුන් දේශනා කරන්නේ එහෙයිනි. ජීවත්වීම සඳහා විවිධ අවශ්‍යතා ඇතිමුත් තවත් පාර්ශවයක් පෙළා එය අත්පත් කරගැනීම උචිත නොවේ. දායක පිරිසට පවා බරක් නොවෙන ලෙස භික්ෂු ඇවතුම් පැවතුම් සකසාගත යුතු බව අවධාරණය කරයි.
මල නොතලා රොන් ගන්නාසේ භික්ෂුව සිව්පස ලබාගත යුතුය. දැඩි තෘෂ්ණාව පදනම් කරගනිමින් යහමින් තිබූ පමණින් සම්පත් නාස්ති කිරීම නොවැදගත්ය. සියල්ලෝම පරිභෝජනයේ සීමාවන් හඳුනාගන්නේ නම් අන්‍ය වස්තුවට ආශාවක් ඇතිකර නොගනී. ධනය හෝ සම්පත් නිර්මාණය වන්නේ ආත්මාර්ථකාමීව තමා සතු කරගැනීමට නොවේ. අද උපන් පරපුරට මෙන්ම මතු උපදින පරපුර සඳහාය. ඒ බව අවබෝධ කර ගනිමින් අන් සතු දේ පැහැර ගැනීමෙන් විනාශ කිරීමෙන් වැළකිය යුතුය.
සදාචාර සීමාවන් උල්ලංඝනය නොකරමින් පඤ්චකාම සම්පත් විඳීම ගිහියාට වරදක් නොවේ. එහෙත් කාම ගින්න පදනම් කර ගනිමින් සීමා උල්ලංඝනය කරමින් කටයුතු කිරීම යහපත් නොවේ. තාවකාලික තෘප්තියක් මත දීර්ඝ කාලීන අවාසි අලාභ ඇතිවීම අනුමත කළ නොහැකිය. ගින්නට හොඳ සහ නරක මෙන් ම වැදගත් අවැදගත් සියල්ල විනාශ කළ හැකිය. ශාරීරික එක් ඉන්ද්‍රියක් නිසා සමස්තය හානියට පත්වීම නුසුදුසුය. වැරදි ලෙස ඇස කන නාසය දිව ශරීරය පිනවීම නිසා පරිහානිය ඇතිවේ. ඉන් අත්මිදීමට මනස මෙහෙය විය යුතුය. ඇත්ත ඇති සැටියෙන් හඳුනාගත යුතුය.
සමාජය දූෂණය වීම හා හොඳ හිත පළුදුවන ක්‍රියාකරකම් සමූහයක් ඇත. මුසාවාදා ශික්ෂාවෙන් එය පාලනය වේ. වැරදි සංකල්ප අදහස් සමාජගත කිරීම ගැරහිය යුතුය. දෙලොව වැඩදායී ආකල්ප ඇති කළ යුතුය. වචනය අයහපත් ලෙස යෙදවීම නිසා ඇතිවන්නේ මහා විපතකි. එය අසත්පුරුෂයන්ගේ ලක්ෂණයක් බැවින් ඒ සඳහා වටිනාකම් ලබාදිය යුතු නැත. බුදුරදුන් පවා සසර නොකළ වරදක් වූයේ ද බොරුකීමයි. ආර්ථික වාසි හෝ වෙනයම් ලාභයක් මත අසත්‍යය, බොරුව, පාවිච්චි නොකළ යුතුය. ආත්මාර්ථය සඳහා වචන භාවිතයෙන් ඉවත්වීම මුසාවාද ශික්ෂාවෙන් යුක්ත වීමයි.
මත්වීම ප්‍රමාදයට පත්වීම නිසා යහපත අයහපත හඳුනාගැනීමට නොහැකිවේ. එසේ සිදුවීම පුද්ගලයෙක් ලෙසත් රටක් ලෙසත් සමස්ත ක්‍රියාවලියට ම බාධාවකි. එසේ නොවී පියවි සිහියෙන් ලෝකය දැකීමට නම් මත්ද්‍රව්‍යයන්ගෙන් ඉවත්විය යුතුය. එය පස්වන ශික්ෂාවයි. මත්වීම නිසා ඕනෑම දෙයක වටිනාකම හඳුනාගැනීමට නොහැකිවේ. එය අවාසනාවන්ත තත්ත්වයකි. තමා තුළ ඇති ශක්තිය හීන වනවා පමණක් නොව ඔහුගෙන් රටට ඇවැසි ශක්තිය දැනුම ලබාගැනීමට නොහැකිවේ. එය පැසසිය යුත්තක් නොවේ.
සීලය සමස්ත පරිසරයම පාලනය කරනවා පමණක් නොව එය ධනයකි. ‘ශීලධනං’ ලෙස පංචධන සූත්‍රයේ දී දක්වන්නේ එහෙයිනි. සාමාන්‍ය මිල මුදල්වලට එහා ගිය වටිනාකමක් ශීලය තුළ ඇත. සීලයට ඇත්තේ වටිනාකමකි. එය අමිලය. සිල්වත් සමාජයක් නිර්මාණය වීම තුළ ජීව අජීව සියලු සම්පත් ආරක්ෂා වී සෙතක් ශාන්තියක් යහපතක් ඇතිවේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පස්‌වග භික්‌ෂුහු රහත්භාවයට පත් කළ අනත්ත ලක්‌ඛණ සූත්‍රය


භාවය

1) මා විසින් මෙසේ අසන ලදී. එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ''මහණෙනි'' කියා පස්‌වග භික්‌ෂූන්ට කථා කළ සේක. ඒ භික්‌ෂුහූ ''ස්‌වාමිනි''යි භාග්‍යවතුන් වහන්සේට පිළිතරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2) මහණෙනි, රූපය ආත්මය නොවේ. අනාත්මය, මහණෙනි, ඉදින් මේ රූපය ආත්මය වූයේ නම් මේ රූපය ආබාද පිණිස නොපවත්නේය. මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නොවේවා''යි කියා තමා කැමති ආකාරයක්‌ ලැබෙන්නේය. එහෙත් මහණෙනි රූපය ආත්මය නොවන හෙයින් ආත්මය ආබාද පිණිස පවතී. මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා යි කියා තමා කැමති ආකාරයක්‌ නොලැබෙන්නේය.

3) මහණෙනි, වේදනාව ආත්මය නොවේ..........

මහණෙනි, සංඥාව ආත්මය නොවේ.

මහණෙනි, සංස්‌කාර ආත්මය නොවේ.

මහණෙනි, විඥානය ආත්මය නොවේ. 

මගේ විඥානය මෙසේ වේවා, මගේ විඥානය මෙසේ නොවේවායි කියා තමා කැමති ආකාරයක්‌ නොලබන්නේය.

4) බුදුහූ - මහණෙනි, රූපය නිත්‍ය වෙයිද? නැතහොත් අනිත්‍ය වෙයිද? ඒ ගැන යුෂ්මතුන් කුමක්‌ සිතන්නාහුද? 

භික්‌ෂූහූ - ස්‌වාමිනි අනිත්‍යයි.

බුදුහූ - මහණෙනි යමක්‌ වනාහී අනිත්‍යද? එය දුක්‌ හෝ සැප හෝ වෙයිද?

භික්‌ෂූහූ - ස්‌වාමිනි, දුකය.

බුදුහූ- යමක්‌ අනිත්‍යය ද දුක්‌ සහිත ද පෙරළෙන සුලු ද එය මාගේය, එය මම වෙමි,එය මාගේ ආත්මයයි කීමට සුදුසු ද?

භික්‌ෂූහූ - ස්‌වාමිනි එසේ කීමට නුසුදුසු ය.

බුදුහූ - යමක්‌ අනිතයද දුක්‌ සහිත ද පෙරළෙන සුලු ද එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි කීමට සුදුසුද?

භික්‌ෂූහූ - ස්‌වාමිනි එසේ කීමට නුසුදුසු ය.

මහණෙනි, වේදනාව නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? - පෙ -

මහණෙනි, සංඥාව නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? - පෙ -

මහණෙනි, සංස්‌කාර නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? -පෙ-

මහණෙනි, විඥානය නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? -පෙ-

5) මහණෙනි, එසේ හෙයින් මෙහි ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ දුර වූ හෝ සමීප වූ හෝ අතීත වූ ද, අනාගත චූද වර්තමාන වූද, යම්කිසි රූපයක්‌ වේද ඒ සියලු රූපය ''එය මාගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි'' කියා තත්ත්වූ පරිදි මනාවූ ප්‍රඥාවෙන් දත යුතුයි.

6) දීමහණෙනි, මෙසේ දක්‌නාවූ බුද්ධිමත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපය කෙරෙහිද කලකිරෙයි. වේදනාව - සංඥාව - සංස්‌කාර - විඥාන කෙරෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි, නොඇලීමෙන් කෙලෙසුන් කෙරෙන් මිදෙයි, මිදුනු කල්හී මිදුනේය යන නුවණ පහළ වෙයි. ඔහුගේ ජාතිය ක්‌ෂය වෙයි. එකල්හී බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළ යුතු සියල්ල කරන ලදී. මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකුත් නැත්තේ යයි දනියි.

7) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති පස්‌වග භික්‌ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ. මේ ධර්මය දේශනා කළ කල්හී පස්‌වග භික්‌ෂූන්ගේ සිත් කෙලෙස්‌වලින් මිදුනාහ. (රහත් ඵලයට පැමිණියහ)

භාවාර්තය

උප සරනාමර ලෝකස්‌වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ දස පාරමී ධර්මයන් සම්පූර්ණ කොට අනතුරුව වෙසක්‌ මස පුර පසළොස්‌වක දිනයක බුද්ධගයාවෙහි ජයශ්‍රීබෝධිරාජයාණන් වහන්සේගේ සෙවන යට වැඩ හිඳිමින් සකල ක්‌ලේශ මාර රාජය කොට සම්මා සම්බුද්ධත්වයට පැමිණ සත්සති ගෙවා බරණැස ඉසිපතනාරාමයේදී පස්‌වග මහණුන් ප්‍රධාන බොහෝ දෙවි බඹුන්ට දම්සක්‌ පැවතුම් සූත්‍රය වදාළ සේක. ඒ ධර්මය ඇසූ පස්‌වග තවුසන්ගේ ප්‍රධාන අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්ව පසුව එහි භික්‌ෂූ භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීය ඊට පසු දින වප්ප තවුසා ද ඊළ`ග දින භද්දිය තවුසාද, පිළිවෙලින් දිනයන්හී මහනාම, අස්‌සථියන තවුසෝද සෝවාන්ව ඒහි භික්‌ෂූභවයෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. පස්‌වන දින බුදුරජාණන් වහන්සේ පස්‌වග බමුණන් අමතා මෙම අනන්ත ලක්‌ඛණ සූත්‍රය වදාරා සියලු දෙනාම රහත්භාවයට පත්කළ සේක.

ලෝකයේ එතෙක්‌ පැවති සියලු ආගම් ආත්මයක්‌ ඇතැයි පිළිගන්නා ආත්මවාදී ආගම් වශයෙන්ද ආත්මයක්‌ නැතැයි පිළිගන්නා අනාත්මවාදී ආගම් වශයෙන්දැයි කොටස්‌ දෙකකට බෙදී ඇත. 

දඹදිව එකළ පැවති දෙසැට මිථ්‍යා දෘෂ්ඨිවලට අයත් ආගම් ඇතුලු සියලු ආගම් ආත්මයක්‌ ඇතැයි පිළිගන්නා ආගම් වෙයි. මරණින් පසු අනිත් භවයක්‌ කරා ගමන් ගන්නා ආත්මය නමින් හඳුන්වන බලයක්‌ ශක්‌ති විශේෂයක්‌ ඇතැයිද මිනිසා සත්වයා මවන නිර්මාණය කරන ඔවුන්ගේ දෛවය හැඩගන්වන දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ හෝ වෙනත් එබඳු අදෘෂ්‍යමාන බලවේගයක්‌ ඇතැයිද ආත්මවාදීහූ විශ්වාස කෙරෙති. ඔවුහූ පුද්ගලයා මරණින් පසු ඔහුගේ ශරීරය විනාශවී යන අතර ආත්මය කෙළවර පරමාත්මන් තත්ත්වයට පැමිණෙතැයි විශ්වාස කරති. ඇතෙමෙක්‌ දෙවියන් වහන්සේගේ ආත්මයට එක්‌වන බව පිළිගනිති. බුද්ධාගම හැර අනිත් සියලුම ආගම් මේ ආත්මවාදී ආගම් ගණයට වැටෙයි.

බුදුදහම වූ කලී එබඳු ලෝකය මවන මොනම බලවේගයක්‌ ගැන විශ්වාස නොකරන අතර නිත්‍ය වූ, ධ්‍රැව වූ සදාකාලික වූ කිසිවක්‌ ඇතැයි නොපිළිගනියි. බුදු සමයෙහි අනිත්‍ය සංකල්පය හා අනාත්ම සංකල්පය ගොඩනැඟී ඇත්තේ එකී මූලික පදනම මතය. අනිත්‍ය යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ ලෝකයේ පවත්නා සියලුම සජීව අජීව යන සියලු වස්‌තු කිසිවක්‌ සදාකාලික පැවැත්මක්‌ නැති නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් වෙනස්‌වන ස්‌වභාවයටය. සියලු ධර්මයන් සංඛත අසංඛත වශයෙන් දෙකොටසකට බෙදේ. කිසියම් හේතු ප්‍රත්‍යයකින් හටගන්නා සියල්ල සංඛතය. එසේ නොවන එකම දෙය එනම් නිවණ අසංඛතය. සංඛත වූ සියල්ල වෙනස්‌වන ස්‌වභාව ඇත්තේය.

''අනිච්චා වත සංඛාරා 

අප්පාදවය ධම්මිනෝ

අප්පඡ්ජිත්වා 

නිරුඡ්ජන්ති තෙසංවපසමො සුඛො''

යන ගාථා දේශනාවෙහි අනිත්‍ය ස්‌වාභාවය මැනවින් විස්‌තර වෙයි සංඛාර නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සජීවී අජීවී සියලු වස්‌තු සමූහයයි. මෙම සංඛාර ශබ්දයට හසුනොවන කිසිවක්‌ ලෝකයෙහි නැත්තේය. මක්‌ නිසාදත් ඒ සියල්ල ඇති වීමය විනාශයය යන නියමයන්ට යටත් හෙයිනි.

''යංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං'' යනුවෙන් දම්සක්‌ පැවතුම් සූත්‍රයෙහි ප්‍රකාශ කොට ඇත්තේ එකී නියාම ධර්මයයි ඇතිවන සියල්ල නැතිවන ස්‌වභාව කොට ඇති බව එයින් කියවෙයි. ඒ නියමයට අයත් නැති එකම ස්‌වභාවය නිවනයි මන්දයත් නිවණ අසංඛත ධර්මයට අයත්වූවකි.

බුදු සමය අනාත්මවාදී. ධර්මයකි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ගැඹුරුම දර්ශනය මේ අනාත්ම දර්ශනයයි. එතෙක්‌ ආත්මවාදයෙන් මුලා කොට අවිදු ගණ අඳුරෙහි ගිලී සිටි ශාස්‌තෘ ප්‍රතිරූපකයෝ බුදුරජාණන් වහන්සේගේ මේ නව දර්ශනය බලවත් සේ කිපියාහුය බුදුරජාණන් වහන්සේගේ නව අනාත්ම දර්ශනය සුන් බුන් කර දමනු පිණිස තර්ක විතර්ක නැමැති අවි අමෝරා ගෙන සටනට ආ මිථ්‍යාදෘෂ්ටික ශාස්‌ත්‍රවරු බුද්ධාගම විනාශ කර දැමීමට හැම උත්සහයක්‌ම ගෙන ක්‍රියා කළහුය. ඒ කිසි ආකාරයකින් නොසෙල්වී ඉන්ද්‍ර‚ලයක්‌ මෙන් තම අනාත්ම දර්ශනයෙහි ස්‌ථිරව පිහිටා සිටි උන්වහන්සේ ලෝකයාට යථාවබෝධය ලබා දෙනු පිණිස නියම දහම් මග දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේ පස්‌වග මහණුන් අමතා පංචස්‌කන්ධයම අනාත්ම වන කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ අයුරු මෙම අනත්ත ලක්‌ඛණ සූත්‍රයෙන් පැහැදිලි වෙයි. රූප - වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ යන පංචස්‌කන්ධ වෙන් වෙන්ව ගෙන ඒ පසම තමාගේ වස`ගයෙහි නොපිහිටන, තමාගේ යටතෙහි නොපවතින, තමන් කැමත් පරිදි නොහැසිරෙන හෙයින් ඒවා තමාගේ නොවන - තමන්ට අයත් නැති වස්‌තූන් බව තීරණය කොට ඇත. තමාට අයිති දෙය තමා කැමති ආකාරයට පැවතිය යුතුය රූප - වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ යන ස්‌කන්ධ පස එය අයිති පුද්ගලයාගේ කැමැත්තට අනුව ක්‍රියා නොකරයි රූපය තමා සතුනම් තමා ප්‍රාර්ථනා කරණ ආකාරයට ලෙඩ නොව ආබාධවලට භාජනය නොවී, ගිලන් බවට පත් නොවී සියලු කල්හීම මනා පැවැත්මකින් යුතුව පැවතිය යුතුය. එහෙත් රූපය එසේ නොවෙයි එය ක්‍රමයෙන් දිරාපත් වෙයි. ආබාධවලට භාජනය වීමෙන් විකෘති බවට පත්වෙයි. ඒ අනුව බලන කල්හී රූපය තමාට අයිති දෙයක්‌ ලෙස ගණන් ගත නොහැකිය. අනිකුත් ස්‌කන්ධ සියල්ලෝමද එසේමය. මේ අනුව රූපාදි ස්‌කන්ධ පසම අනාත්ම බව පස්‌වග භික්‌ෂූහූ පිළිගත්හ.

ඊළ`ගට බුදුරජාණන් වහන්සේ පස්‌වග භික්‌ෂූන්ගෙන් රූපය නිත්‍යය දැයි අනිත්‍ය දැයි විමසූහ රූපය නිත්‍යය නොවේ. අනිත්‍යයයි ඔවුහු පැවසූහ වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ ඇතුලු පංචස්‌කන්ධය අනිත්‍ය බව පිළිගත් පසු අනිත්‍යය වූ දෙය දුක්‌ බවත් පිළිගත්හ. මේ වනාහී ආත්මයක්‌ ඇතැයි දැඩිව අල්වා ගෙන සිටින මන්ද බුද්ධිකයන්ට එය එසේ නොවන බව හා එය සේ නොවන්නේ කුමක්‌ නිසා දැයි අවබෝධ කරවනු පිණිස වදාළ දේශනා ක්‍රමයයි. එසේ අවබෝධ කර ගැනීම ඕලාරික බුද්ධියකින් කළ හැකි තත්ත්වයක්‌ නොවේ. ඒ ස`දහා සම්‍යක්‌ ප්‍රඥාවක්‌ තිබිය යුතුය.

මෙහි සම්‍යක්‌ ප්‍රඥාව නම් විපස්‌සනා සම්මා දිට්‌ඨියයි. විපස්‌සනා සම්මා දිට්‌ඨිය යනු පංචස්‌කන්දය ඇතුලු ත්‍රෛයි භූමික සියලු ධර්මයන් අනිත්‍ය- දුක්‌ඛ-අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමේදී පහළවන නිවැරදි දැනීමයි.

අනිත්‍යය 

නිත්‍යය යන්නෙහි අර්ථය නිත්‍යය නොවන, වහා වෙනස්‌වන, පෙරළෙනසුලු ස්‌වභාවය යනුයි. මේ අනිත්‍ය ස්‌වභාවය සමස්‌ත ලෝකයෙහි පවත්න සජීව අජීව සියලු වස්‌තූන්ට පොදු සාධාරණ ධර්මයකි මව් කුස පිළිසි`ද ගන්නා මුල්ම කලලයේ ශෛයෝ ක්‌ෂණයකින් විනාශ භාවයට යති. ඒ වෙනුවට අලුතෙන් ශෛල හටගනියි. මේ ක්‍රියාදාමය මව්කුස තුළ වැඩෙන මුළුකාළය තුළදීත් අනතුරුව මවු කුසින් බිහිවී දරුවකු, තරුණයකු, වැඩිහිටියෙකු මහල්ලෙකු දක්‌වා අඛණ්‌ඩව සිදුවෙමින් මරණාසන්න මොහොත දක්‌වා ඇතිව නැති වීමේ ක්‍රියාවලිය අනවරතයෙන් සිදුවෙයි. මේ හැර සත්වයාගේ විඥානය අසුරුසනක්‌ ගසන කාලයටත් අඩු කාලයකදී ඇතිව නැතිව යයි. මේ නාම රූප දෙක්‌හී වෙනස්‌ වීමේ වේගය මැන බැලීමට උපමාවක්‌ පවා දැක්‌විය නොහැකි බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ සේක. ''මම'' යන අකුරු දෙක ප්‍රකාශ කිරීමේදී මුල් 'ම' යන්න කියන පුද්ගලයා එක්‌ කෙනෙකි. දෙවන 'ම' යන්න කියන පුද්ගලයා වෙනත් අයෙකි. මුල් 'ම' යන්න කියූ පුද්ගලයාගේ නාම රූප දෙකම අභාවයට ගොස්‌ සෑහෙන කාලයකට පසු කලින් සිටි පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයෙක්‌ දෙවන 'ම' යන්න කියයි. මෙහි දැක්‌වූයේ අනිත්‍ය ස්‌වභාවය වෙනස්‌වන ස්‌වභාවය හ`දුනා ගැනීමට ධමර්ධරයන් විසින් දක්‌වන ලද සරල උපමාවකි.

දුක්‌ඛය

යමක්‌ අනිත්‍ය නම් එය දුක්‌ සහිත වෙයි. ඇස අනිත්‍යනම්, වෙස්‌වන සුළු නම්, පෙරළෙන සුළු නමි කිසිවිටෙක එය තමන් කැමති ආකාරයකින් නො පවතිනු ඇත. ඇස ආබාධවලට ගොදුරු වෙයි නම්, ඇසේ පෙනීම දුර්වල වෙයි නම්, ඇස නොපෙනී යයි නම් එයින් ඇතිවන දුක බරපතලය ඇස අන්ධ වී ගිය කල්හී ඔහුට ඊට වඩා දුකක්‌ වේදනාවක්‌ අපහසුවක්‌ තවත් නැත. අනිත් හැම සැප සම්පතක්‌ම හිමිව ඇස අහිමිව ගිය කල්හී තමා ලැබූ කිසිම සම්පතකින් ඔහුට වැඩක්‌ නැත. වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ යන හැම පංචස්‌කන්ධයක්‌ම එපරිදි දුකට හේතු වෙයි. සියලු සත්වයෝම සැපට කැමති වෙති එහෙත් අනිත්‍ය වූ පංචස්‌කන්ධයකින් යුක්‌ත පුද්ගලයාට කවර නම් සැපක්‌ද? කවර සැපතක්‌ හො ප්‍රාර්ථනා කොට පංචස්‌කන්ධයකින් යුක්‌ත පුද්ගලයාට කවර නම් සැපක්‌ද? කවර සැපතක්‌ හො ප්‍රාර්ථනා කොට පංචස්‌කන්ධය දැඩිව අල්ල ගන්නා පුද්ගලයා ඒ ම`ගින් දුකක්‌ මිස කිසි විටෙක සැපතක්‌ නම් නොලබයි. පුද්ගලයා සතු ඔහුගේ ලෝකය පංචස්‌කන්ධයයි. පංචස්‌කන්ධයම දුක්‌ ගොඩක්‌ වූ කල්හී ජීවිතයෙහි කවර නම් සැපක්‌ ද ''දුකෙඛ ලොකො පතිට්‌ඨිතො'' ලෝකය දුක මතුපිට පිහිටා ඇතැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ එහෙයිනි.

අනාත්මය

න ආත්ම යන්නෙන් අනාත්ම යන්න සිදුවෙයි. 'ආත්මයක්‌ නැත' යන්න එහි අර්ථයයි. ආත්ම (පාළි - අත්ත) ශබ්දය ප්‍රධාන අර්ථ දෙකක යෙදෙයි. එයින් එක්‌ අර්ථයක්‌ නම් 'තමා' යන්නය ''අත්ත ශබ්දයෙන් තමා යෑයි කියයි'' යනුවෙන් කියවෙන්නේ මේ තමා යන අර්ථයයි. අනික්‌ අර්ථය නම් මරණයෙන් පසු ඉතිරිවන, වෙනත් භවයකට ගමන් කරන, නිත්‍ය වූ, දුවවූ, නො නසින, සදාකාලික එක්‌තරා ධමර්තාවයකට කියන ආත්ම ශබ්දයයි. මේ අර්ථ දෙකටම පාළියෙන් 'අත්ත' වශයෙන්ද සිටියි. බුදුසමයෙහි තමා යන අර්ථයෙහි අත්ත ශබ්දය පිළිගනියි. ''අත්තාහි අත්තනො නාථො'', ''අත්තාන මෙව පඨමං'' ආදී තැන්වල එය තමා යන අර්ථයෙහි වැටෙයි. එහෙත් සදාකාලික, මරණයෙන් පසු ඉතිරිවන ආත්මයක්‌ ගැන බුදුසමය විශ්වාස නොකරයි. බුදුරජාණන් වහන්සේ විසින් බැහැර කරන ලද්දේ මේ කියන ආත්ම සංකල්පයයි. මේ අර්ත දෙක එක්‌ සලකන ඇතැම් නවීන බුද්ධිමත් හූ බුදුසමය ආත්මවාදී ආගමක්‌ සේ දකිsති. එය බුදුරජාණන් වහන්සේගේ ශේ්‍රෂ්ඨ ඉගැන්වීම්වලට කරන නිග්‍රහයකි. බුදුරජාණන් වහන්සේ මෙම අනත්ත ලක්‌ඛණ සූත්‍රයෙන් පැහැදිලි ලෙස විග්‍රහ කොට දක්‌වන්නේ ධූව වූ, නිත්‍ය වූ, විනාශ නොවන ආත්මයක්‌ ඒකාන්තයෙන්ම නැති බවය. 

මේ සම්‍යක්‌ ප්‍රඥාවෙන් යුක්‌ත වූ පුද්ගලයා ඊළගට රූපය, වේදනාව, සංඥ්ඥාව,සංස්‌කාරය, විඥානය යන පංචස්‌කන්ධයෙහි කලකිරීමට පත් වෙයි. සියල්ල අනිත්‍ය වූ කල්හී, දුක්‌වූ කල්හී, අනාත්ම වූ කල්හී පුද්ගලයා ඒ වස්‌තූන් කෙරෙහි මහත් කලකිරීමක්‌ ඇති කොට ගනියි. එසේ කලකිරුණු හෙතෙම ඒවා පිළිබ`ද ආශාව ඇල්ම දුරුකරයි. ඇල්ම ආශාව දුරුකළ කල්හී ඔහුගේ සන්තාන ගත සියලු කෙලෙස්‌ ක්‍රමයෙන් පහවෙයි. නැවත උප්පත්තියක්‌ ගෙන දෙන භවගාමී සියලු කෙලෙස්‌ ප්‍රහීන වූ කල්හී එකී යෝගාවචරයා රහත් බවට පැමිණෙයි

පස්‌වග භික්‌ෂූහු මේ අනත්ත ලක්‌ඛණ සූත්‍රය අසා එතෙක්‌ ඔවුන් සතුව තිබූ කෙලෙස්‌ නැති කොට රහත්බවට පැමිණියාහුය.
දිනුල චන්දුල
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තර්කයට හසු නොවේමය ඔබ ක්‍රියාවට නංවනු මැනේ


මතුවෙලා මතුවෙලා දහම යළි මතුවෙලා. ගත සිතම සනසනා දහම යළි මතුවෙලා. අදත් සුළං හමාගෙන එනවා දඹදිව්තලයේ සිට. සුළඟ කියනවා ඔබ මුමුණන දේවල් නම් ඇත්තමයි. මතුවෙනවා, සැඟවෙනවා යළි පිබිදෙනවා. එහෙම තමයි බුදුදහම. තණ්‌හාවේ, වින්දනයේ තියෙන භයානක කමක මහත. සිතුවිලි වලින් හරිත විඳින හිතකට ඇත්ත නොපෙනෙන නිසානේ මේ සියල්ලම.

ඒහිපස්‌සිකෝ ගුණය ගැන මොනවද ඔබ කියන්නෙ? වෙන මොනවා කියන්නද, නිවෙන මඟ තියෙනවා. ඇත්ත සතර පෙනෙනවා. ඇවිල්ලා බලන්න. එහිපස්‌සිකෝ කියල කියනවා. හැර. ඒ ගුණය ඇයි ප්‍රතික්‌ෂේප කරන්නේ? ඔබ හිතන්න, සුළඟේ මේ ස්‌වාක්‌ඛාත වූ දහමක්‌ විනා කෙනකුට අවැසි ආකාරයට අවැසි දේවල් එකතු කරන්න ඉවත් කරන්න ඉඩක්‌ නැති බව. තේරුණා නේද?

අභාවිත සිතකින් ඇත්ත දැකගන්න බැහැ. සමාධිමත් සිතකින් සතරානුකූලව විමසන්න වෙයි. ඒ භාවිත සිතයි. කය අනුව බලන්න.

අද අපි අභිධර්මය ගැන ටිකක්‌ විමසුමද? හැබැයි මට හිතෙනවා අභිධර්ම දේශනා ඇසීමට කවුරුත් මැලිවෙනවා කියලා. ඇයි මැලි වෙන්නෙ? අභිධර්මය දන්නෙ නැතිව නිවෙන්න පුළුවන්ද? හිතන්නකෝ බුදුන්වහන්සේගේ ධර්මය තුළ තිබෙන විශිෂ්ට වූ ධර්මය තමයි අභිධර්මය. ඒ අභිධර්මය දකින ක්‍රමවේදය අතුරුදන්වෙලා. ඕකයි මැලිවන්න හේතුව. ඉතින් අභිධර්මය දකින්න බැහැ අවබෝධයකින් තොරව.

අපි නිතර අභිධර්ම පොත පත කියවනවා. දේශනා කරනවා. ශ්‍රවණය කරනවා. ඉතින් උගත්කම ලැබෙනවා තමයි, ඒත් බොඡ්ජන්ග පිරිලා නිවෙනවායෑ, ඉතින් නිබ්බාන පරමාර්ථය දැකගන්නේ කොහොමද? අභිධර්මය, හදාරන්න තියෙනවා සුවිශේෂී ක්‍රමවේදයක්‌ තේරුණාද? එලෙස අභිධර්මය දැකගත්තාම තමයි අවබෝධ වෙන්නෙ. බොඡ්ජධංග පිරිලා නිවෙන්නෙ.

අභිධර්මය ස්‌වභාවයන් සතරක්‌ වටා ගෙතී ඇති බව දන්නවානේ. ලෝකයේ තියෙන තාක්‌ දේවල් සියල්ලම මේ ස්‌වභාවයන් සතරෙහි අන්තර්ගත වේ නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම මේ සතරමත් අවබෝධ වෙන්නම ඕන නේද? ඒ පරමාර්ථයෝ සතරට චතුරාර්යය සත්‍යයත් ඇතුළත්. චතුරාර්ය සත්‍යය තුළට ඒ පරමාර්ථයෝද ඇතුළත්. එවැනි පිරිපුන් සිතකින් අභිධර්මය පරිශීලනය කළොත් සතුටු විය හැකියි නේද?

ඔබ දන්නවාද? බුදුපියාණෝ අඩුතරමින් සෝවාන් ඵලයටවත් පත්වූවන්ට හැර ලෝකයේ ආරම්භය, විනාශය වැනි දේවල් කියාපෑමට මැලි නුවුණු බව. ඒ පෘතග්ජන මනසින් මේවා භාරගැනීම අසීරු බැවිනි. බුදු ඇසට හසුවන ලෝකයේ ඇත්ත ස්‌වභාවය එලෙස සංකීර්ණ නම් වෙන කුමක්‌ කරන්නද?

රෞරවය, තාපය, අවීචිය ආදී අට මහා නරකයන්ගේ ක්‍රියාකාරීත්වය ඇතුළු කී ඈ නොකී ලෝකයේ විවිධ විෂම වූ ස්‌වභාවයන් පෘථග්ජන මනසින් පිළිගැනීම පහසු නොවේ. ඒ ගැන සෙවීමට මැළි වන්නේ එනිසයි. රාගමූල, ද්වේෂමූල සිත් වල සංඛ්‍යානුගත ස්‌වභාවික සැලැස්‌ම පුදුම එළවන සුළුයි. චෛතසිකයන්ගේ ස්‌වභාවික අන්ත ද්වයට වැටෙමින් අන්තගාමී සිත සිරුරෙන් සිරුරට කාර්මානුරූපීව මාරු වෙමින් දුකෙහි ගැලෙමින් ලෝකයෙහිම රැඳෙන ආකාරය මහා පුදුමයක්‌. ඒත් ඉතින් ඇත්තම අත්තයි.

ඉතින් මගඵල ලැබීම සඳහා අභිධර්මයේ එන ඒ පුදුමාකාර සමස්‌ත විස්‌තරය වනපොත් කිරීම නම් කිසිසේත්ම අවශ්‍ය නොවන බව පවසමි. ඒකනේ බුදුපියාණෝ මිනිසුන්ට හැමවිටම මේ විස්‌තරය ගෙනහැර නොපෑවේ. සවිස්‌තරාත්මක විවිධ විෂම වූ ස්‌වභාවික ලෝක සැලැස්‌ම පිළිබඳව ප්‍රීතියෙන් සතුටින් ග්‍රහණයකළ හැක්‌කේ විශ්වාස කළ හැක්‌කේ ආර්යභාවයට පත්වූවන්ට පමණක්‌ බව ඔබ දන්නවාද?

අභිධර්මය හැදැරීම සඳහා එයටම ආවේණික වූ ක්‍රමවේදයක්‌ තියෙනවානේ. අසා, කියවා අභිධර්මය දැනගත්තාට පලක්‌ නොවේ. දැකගත යුතුම වේ. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථයන්ගේ යථා ස්‌වරූපය දැකගැනීමට හැකිවන්නේ කිය කියා හිඳීමෙන් නම් නොවෙයි. පිරිසිඳ දැක ගැනීමෙනි. සෝතාපන්න ඵලයට පත්වන අවස්‌ථාවේදී තමයි එසේ වන්නේ. ඒ ඇයි?

පරමාර්ථයෝ දකිනවා කියන්නේ පිරිසිඳ දකිනවා හැර වෙන කුමක්‌ද? නිවන පිරිසිඳ දකින්නේ නිවිලමයි. ඉතින් අරමුණකින් තොරව සිතක්‌ සැකසෙනවද, නිවනේ අරමුණක්‌ තියෙනවද? සිතක්‌ සැකසෙන්න. මොකුත් නැහැනේ. එහෙම කියන්න එපා. ඔබ තවත් හිතන්නකො. ඒ සිත සැකසීමට අරමුණු වුණේ නිවනනේ. සිව්පාදී ශේසී ව නිවන දකින්නේ එහෙමයි. පිරිනිවීම යනු අනුපාදිශේසීව නිවන දැකීමයි. එවිට සියල්ලම නිමයි. පුදුමයි. පුදුමයි.

මගපල ලබමින් සත්‍ය පිරිසිඳ දකින මොහොතේ මේ සියල්ලම අවබෝධ වෙනවා. කොහොමද ඒ? පරමාර්ථයෝ දකිනවා කියන්නේ පිරිසිඳ දකිනවා හැර වෙන කුමක්‌ද? නිවීම යනු ඇතිවූ දුකේ අවසානය හා දුකට හේතුවේ අවසානය නොවන්නේද? මගපල ලබමින් සත්‍යය පිරිසිඳ දකින මොහොතේ මේ සියල්ල පිළිබඳව අවබෝධය පූර්ණ වේ. 

සෝතාපන්නවීම සඳහා අභිධර්මයේ පෙන්වා දෙන පරිදි අන්තවාදී සිතෙහි මතුවන උපක්‌ලේශයෝ ගණනය කරමින් හිඳීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. විවිධ විෂම වූ ආශ්‍රවයන්ගෙන් පරිපූර්ණ වූ කෙලෙස්‌ බව පොදුවේ වටහා ගැනීම සෑහෙන්නේ චතුරාර්ය සත්‍යය පළමු වන වතාවට තිලක්‌ඛන සමාධිය තුළින් සරල ලෙස දැක ගන්නා බැවිනි. මෙතනදී ඒ ආශ්‍රවයෝ වර්ග කර ගණනය කිරීම අදාළ නොවේ. පොදුවේ ගත් කල ඒ ලෝක ස්‌වභාවය ඉක්‌මවා ගිය උපක්‌ලේශ ධර්මයෝ පමණි. 

ඵලය ලැබුණු පසුව නම් ඒ ශාස්‌ත්‍රය පිsළිබඳව මැලි නොවී දැන ගැනීමට ප්‍රිය කරයි. නමුත් සෝතාපන්න වීම සඳහා එම සමස්‌ත විග්‍රහයම අදාළ නොවේ. එනිසයි බුදුපියාණන් විජම් බණ හෙවත් අභිධර්මය මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙවියන්ට පමණක්‌ පෙන්වා දුන්නේ.

නොවෙහෙසවා සත්වයා ගොඩකිරීම බුදු කෙනකුගේ පරමාර්ථය විය යුතු නොවන්නේද ? චතුරාර්යය සත්‍ය දුටු කල ඒ ලෝක සැලැස්‌ම සතුටින් දැකබලා ගැනීමට කැමති වෙනවා නොවන්නේද? රාග මූල සිත් මෙපමණයි. ද්වේශ මූල සිත් මෙපමණයි. මෝහ මූල සිත් මෙපමණයි යනුවෙන් උතුම් සංගණනානුගතව ශාස්‌ත්‍රානුකූලව සැලැස්‌ම කෙරෙහි සිත් මෙහෙයවීම මෙතනදී කිසිසේත්ම අදාළ නොවේ. ඒකයි අභිධර්මය මිනිසුන්ට දේශනා කිරීමට නොවෙහෙසුනේ.

ආධ්‍යාත්මික ලෝකයයි බාහිර ලෝකයයි එක්‌වෙලා නිර්මාණය කරන චිත්තය හෙවත් සිතෙහි හට ගැනීම ඇති වෙමින් නැතිවෙමින් පැවැතීම හා නැතිවීම හෙවත් උප්පාද තිථි සහ භංග යන අභිධර්මානුකූල පරමාර්ථයෝ අවබෝධයෙන්ම දැක බලාගන්නා ශාස්‌ත්‍රය වන්නේ විදර්ශනා භාවනාව බව ඔබ දැනගන්න. ආශ්‍රවයන්ගෙන් කිලිටි වූ සිතේ අවසානයද විදර්ශනාවේ දී දැකගත හැකි වේ. ඒ නිවිලාමය. ඇති වූ පරමාර්ථ සතරෙමත් අවසානය වන්නේ නිවීමයි.

ඔබ දන්නවාද, බුදුපියාණන් අඩු තරමේ සෝවාන් ඵලයට පත් නොවූවන්ට ලෝකයේ ආරම්භය, විනාශය වැනි දේවල් කියාපෑමට මැලිවූ බව. අට මහා නරකයේ ක්‍රියාකාරීත්වය වැනි කියා නිම කළ නොහැකි ස්‌වභාවයන් පෘතග්ජන මනසට කා නොවදී. එතරම් විශ්වාසයක්‌ ඇති නොවේ. චෛතසිකයන්ගේ ස්‌වභාවය අනුව අන්ත ද්වයට වැටෙමින් අන්තගාමී සිත සිරුරෙන් සිරුරට කර්මානුරූපීව මාරු වෙමින් දුකෙහි ගැලෙමින් ලෝකයෙහිම රැඳේ.

විදසුන් වඩා චතුරාර්ය සත්‍ය අවබෝධයේ දී චිත්තය හදාරන්නේ විභේදනය කර විමසා බැලීමෙනි. ධ්‍යාන ශක්‌තිය ඇති සිතකින් කරන සරලත්වයෙන් ගැඹුර කරා යන විමර්ශනාත්මක ගමනකි. චිත්ත චෛතසික කියන පරමාර්ථයෝ ද්වයම මේ පර්යේෂණයට ලක්‌ වේ. ඒ සුවිශාල එහෙත් සරල විමර්ශනය නිමවන්නේ තිලකුණෙනි. ඒ ආර්ය පර්යේෂණයයි.

ඒ චිත්ත චෛතසිකයෝ නිර්මාණයවීමට මූලිකවන රූප, පරමාර්ථයෝ පුදුමාකාරය. රූප නිර්මාණය වන්නේ ස්‌වභාවයන් සතරක්‌ ඒකාබද්ධ වී ඝනීභවනය වීමෙනි. මායාව එතැනයි. වේගවත් ශක්‌ති විශේෂයක්‌ වන චිත්තවේගය හෙවත් විඤ්ඤාණය නාමරූප එකතු කරමින් නිර්මාණය කරන මායාමය ලෝකය කෙලවර වන්නේත් නිවනෙන්ය. අභිධර්මය පෙන්වා දෙන ඒ නිර්වාණ පරමාර්ථය විදසුන් වඩා අවබෝධ කරගන්නේ දැනුමෙන් පමණක්‌ නොව නිවී යාමෙන්මය. ඇයි නිවන එලෙස අවබෝධ වන්නේ? එය එසේ වන්නේ නිවන අරමුණු කරගෙන සිත සැකසුන නිසයි.

කියා නිම කළ නොහැකි අසා නිම කළ නොහැකි විවිධ වූ, විෂම වූ ලෝකය පිළිබඳව ලුඡ්ජතීති, පලුඡ්ජතීතී ලෝකෝ කියා කියනවා හැර වෙන මොනවා කියන්නද මම. එයයි ලෝකයේ සත්‍යය. 
කම්මට්‌ඨානාචාරිනී, 
පද්මාවෝ රාජපක්‌ෂ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

දන්කන්දේ ධම්මරතන හිමි 

සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දැන් අපි ඉතා කෙටියෙන් හඳුනා ගන්නට බලමු. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ නිවන් ලබා දීමට හේතුවන කරුණු 37 කට, එම 37 තුළ
4 බැගින් වු කොටස් 3 ක් තිබෙනවා. සතර සතිපට්ඨාන සතර සම්මප්පධාන, සතර ඍද්ධිපාද කියලා (12)

5 බැගින් වූ කොටස් 2 ක් තිබෙනවා – පංචඉන්ද්‍රිය සහ පංචබල කියලා (10)
කරුණු 7 ක් අන්තර්ගත කොටසක් තිබෙනවා. සත්ත බොජ්ඣංග (7)
තව කරුණු 8 ක් තිබෙනවා. ඒ තමයි කලින් කියූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය (8)
සතර සතිපට්ඨාන:– නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනකුට නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. කායානුපස්සනා ,වේදනානුපස්සනා, චිත්තානුපස්සනා,ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට සතර සතිපට්ඨාන ධර්ම වශයෙන් දක්වන්නේ සම්මා සතියයි.
සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනාව කියා කොටස් දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරමින් ඒ දෙක උන්වහන්සේ විස්තර කර ඇත්තේ මේ විධියටය “සතිපට්ඨාන ධර්ම කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, කියන කොටස් හතරට.
සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒ ඒ සතිපට්ඨාන ධර්මයන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම – නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) කාය වේදනා චිත්ත ධර්ම කියන ධර්මයන් ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත් කියන කරුණූ ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කිරීමට මෙය සතිපට්ඨාන භාවනා සෑම කොටසක් අවසානයේදීම බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙනවා. එම නිසා කායානුපස්සනාවේ දැක්වෙන සෑම කොටසක් අවසානයේදීත්, වේදනානුපස්සනාව අවසානයේදීත්, චිත්තානුපස්සනාව අවසානයේදීත් ධම්මානුපස්සනාවේ එකිනෙක සෑම කොටසක් අවසානයේදීත් එය කළ යුතුයි.
කායානුපස්සනාවට භාවනා ක්‍රම 14 ක් ඇතුළත් (1) ආනාපාන සති භාවනාව (2) සක්මන් භාවනාව වැනි ඉරියව් පවත්වාගෙන යාමේ භාවනාව (3) සිහිනුවණින් යුතුව කටයුතු කිරීමේ භාවනාව (4) අසුභ භාවනාව (5) පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු කොටස් 4 අරමුණූ කර ගනිමින් කරනු ලබන ධාතුමනසිකාර භාවනාව සහ (6) –(14) මැරුණාට පසුව ශරීරයට සිදුවන අවස්ථා 9 ක් අරමුණු කරමින් කරනු ලබන නවසීවථික භාවනාව කියන්නේ ඒ 14 ට.
මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේවා හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්, පුද්ගලයෙක්,ආත්මයක්, මමෙක් නොවන අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතු යි.
ඒ වගේම කයේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) කයේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක්, ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.
වේදනානුපස්සනාවට අන්තර්ගත වන්නේ සැප, දුක්, මැදහත් (උපේක්ඛා) කියන වේදනා 3 ත් එම වේදනාවන් සාමිස සුඛ වේදනා සහ නිරාමිස සුඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා සහ නිරාමිස දුක්ඛ වේදනා, සාමිස උපෙක්ඛා වේදනා සහ නිරාමිස උපෙක්ඛා වේදනා කියන වේදනා කොටස් 6 ත් මෙම වේදනාවන් අරමුණු කරමින් කරනු ලබන භාවනාව තමයි වේදනානුපස්සනාව.
සාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස කියන ඉන්ද්‍රියයන්ට රූප ශබ්ද ආදි අරමුණු හමුවූ පසු පංචකාම වස්තූන් ඇසුරු කර ගෙන ඇතිවන වේදනාවන්ට, නිරාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ පංචකාම වස්තු වලින් තොරව ඇතිවන වේදනාවන්ටය, භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නො ලැබෙන විට කවදා නම් ප්‍රතිඵලයක් ලැබේදැයි සිතන විට, ධ්‍යාන සමවත් ඵල සමවත් සුව විඳින විට මේ ආදි විවිධ අවස්ථාවන්හිදී ඇතිවන වේදනාවන් නිරාමිස වේදනාවන්ට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන්. මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේ වේදනා හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්, පුද්ගලයෙක්,ආත්මයක්, මමෙක් නොවන අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතුයි.
ඒ වගේම මේ ආකාර විවිධ වේදනාවන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) වේදනාවන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහියට මතු ඤාණයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමක් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැෙඳන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නොකර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.
චිත්තානුපස්සනාව කියන්නේ සිතේ ඇතිවිය හැකි 16 ආකාර විවිධ සිත් වර්ග දකිමින් කරනු ලබන භාවනාවට 1.2,3 රාගයෙන් යුත් සිත් ද්වේෂයෙන් යුත් සිත්, මෝහයෙන් යුතු සිත් (සරාගී සිත්, සදෝස සිත්, සමෝහ සිත්)
4,5,6 රාගය ප්‍රහීණ කළ සිත් ද්වේෂය ප්‍රහීණ කළ සිත්, මෝහය ප්‍රහීණ කළ සිත් (වීතරාග, වීත දෝෂ, වීත මෝහ සිත්)
7. නිදිමතින්, ථීනමිද්ධයෙන් හැකිලී ගිය සිත් (සංඛිත්ත සිත්)
8. භාවනා අරමුණින් පිට යන සිත් (වික්ඛිත්ත සිත්)
9.ධ්‍යාන සිත් (මහග්ගත සිත්)
10. ධ්‍යානවලට පත් නොවූ සිත් (අමහග්ගත සිත්)
11. සෝවාන් ,සකදාගාමී, අනාගාමී මාර්ග හා එම ඵල සිත් (සඋත්තර සිත්) පොත්වල දැක්වෙන්නේ සඋත්තර සිත් කියන්නේ අරූපාවචර ධ්‍යාන සිත් බවයි.
12. අනුත්තර සිත් (රහත් මාර්ග හා රහත් ඵල සිත්)
13. ධ්‍යාන වලට පෙර ඇතිවන සිත නො විසිරී පවත්නා උපචාර සමාධි සිත් (සමාහිත සිත්)
14.සමාහිත බවක් නැති අසමාහිත සිත්.
15. වෙනත් සිතිවිලි නො සිතන විට රහත් වූ අයට ඇතිවන විමුක්ත සිත් ( විමුත්ත සිත්)
16. විමුක්ත භාවයට පත් නොවූ අවිමුත්ත සිත්
නිවන් දැකීමට නම්, මේ සිතිවිලි හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක් , පුද්ගලයෙක්, ආත්මයක් , මමෙක් නොවන,අනිත්‍යයට යාමෙනේ නිරුද්ධ වී නැති වී යන , දුකක් වන ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම බව චිත්තානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතු යි.
ඒ වගේම,මේ ආකාර විවිධ චිත්ත ධර්මයන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) චිත්ත ධර්මයන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීම් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නොකර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගන්නට ඕනෑ.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! දැරණියගල ධම්මසාර හිමි

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පටිච්චසමුප්පාදයේ අංග ගැන දැන ගනිමු

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය 
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි 
 දැන් අපි පටිච්චසමුප්පාදයේ අංග ටිකට යොමු වෙමු- "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන ඒවාට. අඹ ඇටය පොළොවේ පස්‌ තියෙන තැනක තැන්පත් කළා, හිටෙව්වා වගේ දකින්න ප්‍රතිසන්ධි විඤ්ඤාණය මවු කුසකට පැමිණුණ හැටි, මවුකුසකට බැසගත්ත හැටි. විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් මවු කුසකට පැමිණුණා ම, මවුකුසකට බැසගත්තා කියන්නේ හරියට අඹ ඇටය පොළොවේ තැන්පත් කළා වගෙයි.  ඊට පස්‌සේ ඇඹ ඇටයේ තියෙන ගති ටික පොළොවේ තියෙන ඕජා සාරය දෙක ම උදව් කරගෙන ගහක්‌ හටගත්තා වගේ, ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි සිතේ තියෙන "කර්ම ගති" ටික උදව් කරගෙන, බාහිර කන බොන ආහාරයත් උදව් කරගෙන, "විඤ්ඤාණය නිසා නාමරූප" කියන ධර්මාතාවක්‌ හැදෙනවා. හිතේ තියෙන නාම ධර්මවලට අනුව කන බොන ආහාරයෙන් හැදෙන රූපය සකස්‌ වෙනවා. 
අර අඹ ඇටයේ තියෙන ගතිවලට අනුව, පොළොවේ තියෙන සතර මහා ධාතු රූප කලාප අඹ ඇටයේ තියෙන ගති ටිකට අනුව රැස්‌ වීම තමයි අඹ ගහ කියලා හැදෙන්නේ. ඒ වගේ කන බොන ආහාරයෙන් හැදෙන, මව ගේ කුසයේ ඉඳලා මව ගන්න ඕජා ගුණයේ ඉඳලා ම අයිති කබලිංකාර ආහාරයට. ඒ කබලිංකාරාහාරය "සිතේ තියෙන කර්ම ගතිවලට අනුව" තැන්පත් වෙනවා. රැස්‌ වෙනවා. එතකොට කියන්නේ "විඤ්ඤාණය නිසා නාම රූප වෙනවා" කියලා. දැන් විඤ්ඤාණයකුයි නාම රූපයි දෙකක්‌ දකින්න එපා. විඤ්ඤාණය කියන කාරණය "වැය වෙලා" තමයි නාමරූප කියන කාරණාව හටගන්නේ. අඹ ඇටයකුයි, ගහකුයි දෙකක්‌ දකින්න එපා. අඹ ඇටය වැය වෙලා තමයි ගහ කියන එක හදලා තියෙන්නේ. එතකොට අඹ ඇටය වැය වෙලා තමයි කිව්වා වගේ, විඤ්ඤාණය කියන එක වැය වෙලා, ඒ සිතේ ම උපදින නාම ධර්මවලට අනුව රූප ටික හදමින්, හිතේ තියෙන ගතියට මයි එතකොට රූප ටික හැදෙන්නේ. අඹ ඇටයේ තියෙන ගතියට මයි අර මහාභූත රූප කලාප රාශි වෙන්නේ. හිතේ තියෙන කර්මජ ගති ටිකට මයි මහාභූත රූප කලාප රැස්‌ වෙන්නේ. ඒ නාමරූප දෙක හැදෙනවා. හැබැයි මුල් කාලයේ දී අංකුරයක්‌ විතරයි, අතු ඉති නැහැ වගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ප්‍රභේද නැහැ. නාමරූප දෙක විතරයි. තවත් අඹ ඇටයෙයි ආහාරයෙයි අනුග්‍රහය ලබන කොට තවදුරටත් වැඩිලා අතු ඉති බෙදුණා වගේ, විඤ්ඤාණයේ අනුග්‍රහයත්, ආහාරයේ අනුග්‍රහයත් තවදුරටත් ලැබෙන්නට ලැබෙන්නට නාම රූප දෙක වර්ධනය වෙද්දී ඒකේ අතු ඉති බෙදුණා "ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස" කියලා. අතු ඉති බෙදිච්ච ගහටත් අර දෙන්නා ගේ අනුග්‍රහය තවදුරටත් ලැබුණා - කන බොන ආහාරයි, සිතේ තියෙන ගතියි. මේ නාමරූප දෙක ටික ටික වර්ධනය වුණා. අපි පොඩි දරුවෙක්‌ හැදෙනවා කියලා කියන තැන මේ නාම රූප දෙකේ වර්ධනයක්‌. නාමරූප දෙක වැඩෙනවා. 
කෙනෙක්‌ වැඩෙනවා නො වෙයි, "නාමරූප දෙක" වැඩෙනවා. හොඳට උස්‌මහත් වුණු කෙනෙක්‌ කියන්නේ හොඳට අතුපතර විහිදිලා හැදිච්ච හෙඳ වෘක්‌ෂයක්‌ වගේ. අපි වැඩිහිටිභාවයට පත් වුණා කියන්නේ හොඳට අතුපතර විහිදිච්ච අඹ ගහක්‌ වගේ, විඤ්ඤාණය නිසා නාමරූප වුණා, නාමරූප දෙක වර්ධනය වෙනවා කියන්නේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන අතු ඉති ටික හැදෙනවා. ප්‍රභේද ටික හැදෙනවා. හැදිලා ඒක හොඳට මුහුකුරා ගියා. ඒ මුහුකුරන කොට "බාහිර" පරාග පෝෂණය වගේ. "බාහිර" රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම කියන අරමුණු උදව් කරගෙන ස්‌පර්ශය ඇති වෙලා වේදනාවක්‌ හටගන්නවා. හරියට අර ගහේ හැදුණු ගෙඩි වගේ තමයි චක්‌ඛු සමපසසජා වෙදනා, සොත සමපසසජා වෙදනා, ඝාණ සමපසසජා වෙදනා කියන ටික. දැන් අපි හිතාගෙන ඉන්නවා වේදනාව "මම" කියලා. වේදනාව "මගේ" කියලා. වේදනාව "මගේ ආත්මය" කියලා. අඹ ගෙඩිය කඩලා අතට අරගෙන මගේ කිව්වා වගේ. නමුත් මේ වේදනාව ගත්තොත්, වේදනාව අයිති ස්‌පර්ශයට, ස්‌පර්ශය අයිති ආයතන ටිකට. ආයතන අයිති නාමරූප දෙකට. නාමරූප දෙක අයිති විඤ්ඤාණයට. එතකොට "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන ටිකෙන් පින්වතුන්ට පෙන්වනවා විශාල දහම් ප්‍රදේශයක්‌. මේ ආයතන ටික නෙතං මම නෙසොහමසමි න මෙසො අතතා'ති - ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ටික මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. මේවා නාම රූප නිසයි. එතකොට ඒ නාමරූප දෙක හැදුණේ ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි සිතත්, ආහාරයත් නිසයි කියන ටික කියනවා. එතකොට ඉස්‌සල්ලා ම මේ "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන ටික අපි දත යුතුයි හරියට කෙනෙක්‌ නො කරන, ඉබේ ම හට නො ගන්න, ආත්මයකින් නො කරන, "හේතුප්‍රත්‍යයෙන් හටගත්ත" වෘක්‌ෂයක්‌ වගේ. 
ඉබේ ම හටගත්තෙත් නැහැ, කෙනෙක්‌ කළත් නො වෙයි, හේතුඵල දහමක්‌ තියෙන්නේ. එතකොට මේ "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන අනාත්මයි. ඔය ටික පටිච්චසමුපපාදයේ විදිහට "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියලා හේතුප්‍රත්‍යයෙන් හටගත්ත, ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ඔය ස්‌කන්ධ ටිකට කියනවා "දුක්‌ඛ සත්‍යය" කියලා. තව පැත්තකින් ඔක වෙන් වෙන් කරලා දෙපැත්තකින් පෙන්වන්නත් ඕනේ නම් පුළුවන්. කනබොන ආහාරයෙන් හැදුණු රූපයත්, පෙර අවිද්‍යා, කර්ම, තණ්‌හාවෙන් හටගත්ත චිත්ත වෛතසික ටිකක්‌ කියල පෙන්වන්න පුළුවන්. මෙතැන දී මට පෙන්වන්න අවශ්‍ය වුණේ වර්තමාන ස්‌කන්ධ ටිත "කෙනෙක්‌ ගේ නො වී" පුද්ගලයකු ගේ නො වී, මේ වගේ "ධර්මතා ටිකක්‌" කියන එකයි. ගහක පැවැත්මට උපමා කරලා මම පෙන්නුවේ ගහක තියෙන ස්‌වාභාවික සිද්ධාන්තයෙන් දශමයක්‌ වත් බාහිර නැහැ මේ කය කියන පැත්තේ තියෙන ධර්මතාව. අඹ අටයක්‌ හිටවලා ගෙඩි හැදෙන තැන දක්‌වාත්, "විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් ඇවිල්ලා ස්‌පර්ශ වෙලා වේදනාව ඇති වෙන තැන" දක්‌වාත් තියෙන්නේ එක ම එක සිද්ධාන්තයක්‌. එක ම ධර්මතා ටිකක්‌ විතරයි. ඉතින් මේ වේදනා හෝ ස්‌පර්ශය හෝ ආයතන හෝ නාමරූප හෝ විඤ්ඤාණය හෝ මම, මගේ නම්, අඹ ඇටය හෝ අඹ ගහ හෝ අතු ඉති හෝ පරාග පෝෂණයෙන් ඇති වන මල් හෝ ගෙඩි හෝ ආත්ම විය යුතුයි. පුද්ගලයෙක්‌ විය යුතුයි, කෙනෙක්‌ විය යුතුයි. ඒවා කෙනෙක්‌ ගේ නො වෙයි, හේතුඵල දහමක්‌ නම්, ස්‌වභාව දහමක්‌ නම් - මේ ටිකත් කෙනෙක්‌ ගේ නො වෙයි, හේතුඵල දහමක්‌, ස්‌වභාව දහමක්‌. 
 නැවතත් අර අඹ ගහේ උපමාවෙන් මම මතක්‌ කරන්නේ තේරුම්ගන්න පහසු නිසා - මෙහෙම ගෙඩි හැදෙන තැන ඉඳලා අඹ ඇටයටත්, අඹ ඇටය හිටවපු තැන ඉඳලා ගෙඩි හැදෙන තැන දක්‌වාත් ඔවුනොවුන්ට උපකාරී, මැදින් හෝ අගින් හෝ වෙනස්‌ කරන්න බැරි, වෙන් කරන්න බැරි, එකට බැඳුණු ධර්මතා ටිකක්‌ තියෙන්නේ "වර්තමානයේ දී". ඊට පස්‌සේ ප්‍රශ්නයක්‌ ඇති වුණොත් මේ අඹ ඇටය කොහෙන් ද කියලා - අඹ ඇටය හිටවපු නිසයි අංකුරය හැදුණේ. ඒ නිසයි අතු ඉති හැදුණේ. ඒ නිසයි පරාග පෝෂණය වෙලා, මල් හැදිලා, ගෙඩි හැදුණේ. ගෙඩි නැට්‌ටට අයිතියි, නැට්‌ට අතුඉතිවලට අයිතියි, අතුඉති කඳට අයිතියි, කඳ ඇටයට අයිතියි. ඒ ටිකේ ප්‍රශ්නයක්‌ නැහැ. අඹ ඇටය කොහෙන් ද කියලා ප්‍රශ්නයක්‌ ඇති වුණොත් එතකොට "මෙතැන සිද්ධිය" අතහරින්න වෙනවා. "මීට ඉස්‌සෙල්ලා" ගහක හැදිච්ච අඹ ගෙඩියක්‌ ඇතුළෙයි තිබුණේ. ඒ කියන්නේ එතකොට චතුරාර්ය සත්‍යයේ "සමුදය සත්‍යයට" එනවා. දුක්‌ඛ සත්‍යය දැක්‌කා - දුක්‌ වූ ස්‌කන්ධ ටික විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා, කියන ටික. මේ දුක්‌ වූ ස්‌කන්ධ ටික හේතු ප්‍රත්‍යයයි. සංතෙතන පඤචුපාදානාකඛනධා දුකඛා - උපාදානයට හිත ස්‌කන්ධ ටිකයි දුක. ඒක හේතුප්‍රත්‍යයි. විඤ්ඤාණය නිසා නාමරූප, නාමරූප නිසා ආයතන, ආයතන නිසා ස්‌පර්ශය, ස්‌පර්ශය නිසා වේදනා, වේදනාව කියන තැනත්, ප්‍රතිසන්ධි සිත කියන තැනත් අඛණ්‌ඩයි, එහෙනම් දුකෙඛ ඤාණං කියන කොට සත්ත්ව නො වූ, පුද්ගල නො වූ, අනාත්ම වූ ස්‌කන්ධ ටිකක්‌ කියන නුවණ ආවා. මේ දුක ඇති වුණේ කොහොම ද? දුක්‌ඛ සමුදය ගැන නුවණ එනවා. ඒ නුවණ ඇති වෙන කොට ම පුබබනෙත ණයට යනවා. දුක්‌ඛ සමුදයට එනකොට පුබබනෙත ඤාණයට යනවා. අඹ ඇටය කොහෙන් ද කියන කොට පෙර හේතුවට යනවා. පෙර අඹ ගහක හැදුණු අඹ ගෙඩියක්‌ ඇතුළෙයි මේ ඇටය තිබුණේ. ඒ කියන්නේ පෙර ජීවිතයේ විපාකයකටයි. - "විපාකයක" ඇත්ත නො දැන ඇති කරගත්තා වූ "කර්ම නිමිත්තයි" මෙතැන ප්‍රතිසන්ධියට හේතු වුණේ. 
එතැනත් ගෙඩියක්‌ ඇතුළෙයි තිබුණේ. පෙර ජිවිතයේ "විපාකයේ ඇත්ත නො දන්නාකම" නිසා ඇති කරගත්ත කර්ම නිමිත්ත හේතු වුණා විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් මෙතැනට පැමිණෙන්න. පැමිණුණාට පස්‌සේ ආයෙත් ගහක්‌ හැදිලා ගෙඩි හැදෙනවා කියන ටික ආයෙත් වුණා. ඉස්‌සෙල්ලා අඹ ගහේ ගෙඩියක්‌ ඇතුළෙයි මේ ඇටය තිබුණේ. ඒ ඇටෙයි මෙතැන ඇවිල්ලා පැළ වුණේ. පැළ වෙලා ගහක්‌ හදලා ගෙඩි හැදුණේ. දැන් සමුදය සත්‍යය දකිනවා එයා පුබබනෙත ඤාණයෙන් - "පෙර". ඊට පස්‌සේ අපරනෙත ඤාණයෙනුත් දකිනවා - අද මේ ගහේ හැදෙන ගෙඩි කාලා ඇට ඉතුරු කළොත් මේ ඇටේ ආයෙත් පොළොවේ වැටුණොත්, ආයෙත් අංකුරයක්‌ හැදිලා, අතුඉති හැදිලා, මේ වගේ ම ගහක්‌ හදලා ගෙඩි හදනවා. ඒ වගේ පෙර අවිද්‍යා, කර්ම නිසා මේ විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් ඇවිල්ලා ස්‌පර්ශ වෙලා වේදනාවක්‌ ඇති වෙනවා ස්‌පර්ශ ආයතන හයේ. මේ "විපාකයේ" මේ "ස්‌පර්ශ ආයතන හයේ" අද ඇත්ත ඇති හැටියේ නො දැක්‌කොත්, අද ඇති කරගන්න අවිද්‍යාවෙන් කර්ම කෙළෙස්‌ ඇති කරගත්තොත්, ඒ කර්ම කෙළෙස්‌ නිසා නැවත මේ වගේ ම ප්‍රතිසන්ධි සිතක්‌ හටගන්නවා. හටගෙන නැවතත් මේ වගේ දුක්‌ වූ ආයතන ටිකක්‌ උපද්දවනවා නේ ද කියන නුවණක්‌ එනවා.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පැහැබර සිත ජීවිතය විනිවිද දකී.. ප්‍රඥාව දියුණු කරගැනීමට නම්...

වේයන්ගොඩ, බෝපාගම, 
මිගදාය තපෝවනයේ, 

ගම්පහ පාසාදික හිමි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන අප හට බුදු සසුන තුළ කළ යුතු දේ බොහෝමය. තිසරණය පිළිබඳව ප්‍රසාදය බහුල කර ගැනීම, සිත, කය, වචනය සංවර කර ගැනීම, සිතෙහි සමාධියක් උපදවාගැනීම, පිරිසුදු ධර්ම ඥානයක් තුළින් ප්‍රඥාව දියුණු කර ගැනීම ආදී ශාසනික පිළිවෙත් ඒ අතර ප්‍රධානම කරුණු වේ. එනමුත් මෙම ශ්‍රේෂ්ඨ ශාසනික වැඩ පිළිවෙල ජීවිතය තුළ දියුණු කර ගැනීම පහසු කටයුත්තක් නම් නොවේ. සිත තුළම උපදින යම් යම් මානසික ආවේගයන් ඉදිරිපත් වී එම වැඩ පිළිවෙළ මුළුමනින්ම අවුල් කර දමයි. ඉදිරියට දියුණු කරගෙන ආ සසුන් පිළිවෙත ආපස්සට ම ඇද දමයි. බොහෝ විට සිත තිබූ මට්ටමටත් වඩා පිරිහීමකට පත් කරයි.
මෙවන් වූ පසු බැසීමකට අප පත් කරනු ලබන බොහෝ කරුණු කාරණා අතර පංච නීවරණ ධර්ම ඉදිරියෙන් ම සිටියි. මෙම පංච නීවරණ ධර්මයන්ට ‘අකුසල රාශිය’ නමින් භාග්‍යවතුන් වහන්සේ පවා හැඳින්වූයේ ඒ නිසාමය. යම් කිසිවෙකුගේ සිතක් තුළ මෙම පංච නීවරණ ධර්මයන් ක්‍රියාත්මක වේ නම් එම සිතෙහි පිරිහීම කිසිවෙකුටවත් වළක්වාගත නො හැකි ය. ගෞතම බුදු සසුන තුළ ශාසනික අභිවෘද්ධියක් අපේක්ෂාවෙන් සිටින සියලු දෙනා ම තම සිතෙහි උපදින නීවරණ ධර්මයන් පිළිබඳව බලවත් වූ අවධානයකින් සිටීම කළ යුතු ම කාර්යයකි. නීවරණ ධර්මයන් වන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන පහයි. කාමයන් කෙරෙහි ඇති කැමැත්ත කාමච්ඡන්ද නීවරණයයි. තරහ සිත් පැවැත්වීම ව්‍යාපාද නීවරණයයි. අලසකම සහ නිදිමත ථීනමිද්ධ නීවරණයයි. සිතෙහි නොසන්සුන්කම සහ පසුතැවීම උද්ධච්ඡකුක්කුච්ච නීවරණයයි. සිතෙහි දියුණුවට බාධා පමුණුවන සැක සංකා ස්වභාවය විචිකිච්ඡා නීවරණයයි.
සතර අපායේ වැටෙමින් ඉපදී ඉපදී මැරි මැරී යන බියකරු සසර පිළිබඳ ව උපදවාගත් සසර බිය නැති කර දමන්නේත්, බලවත් වූ පරිශ්‍රමයකින් ඇති කර ගත් තිසරණය පිළිබඳව වූ පැහැදීම හීන කර දමන්නේත්, අවබෝධයෙන් ම සකස්කර ගත් සීලවන්ත ජීවිතය විනාශ කර දමනු ලබන්නේත්, සිතෙහි ඇති මානසික සංසිඳීම බැහැර කර දමන්නේත්, සිතෙහි සමාධියක් උපදවා ගැනීමට බාධා පමුණුවනු ලබන්නේත්, ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට ඉඩ නොදෙන්නේත්, අවුල් වූ නූල් කැටියක් ලෙස ජීවිතය මුළුමනින්ම අවුලෙන් අවුලට පත් කරනු ලබන්නේත් මේ පංච නීවරණ ධර්මයන් ය. සිත තුළ හටගනු ලබන යම්තාක් අකුසල ධර්මයන් වේ නම් මේ සියලු අකුසල ධර්ම හට ගැනීම පිණිස ප්‍රධානම හේතුව වන්නේ රාග, ද්වේෂ, මෝහ මුල්කරගත් මේ පංච නීවරණ ධර්මයන්ය. එසේ නම් නීවරණ ධර්මයන්ගෙන් තොර වූ සිතෙහි බැබළීම අප මොන තරම් නම් ශ්‍රේෂ්ඨත්වයකට පත් කරවී ද?
මෙම පංච නීවරණ ධර්මයන් සිතක් තුළ හටගැනීමට පොදුවේ බලපාන ප්‍රධාන ම කරුණු වන්නේ අයෝනිසෝ මනසිකාරයයි. එනම්, සිතට ඇතුළුවන අරමුණු පිළිබඳ ව පිරිසුදු සිහියකින් තොරව එම අරමුණු තුළ කල්පනාව හැසිරවීමයි. නුවණින් තොරව කෙරෙන මෙම මනසිකාරය අයෝනිසෝ මනසිකාරයයි. එක් එක් නීවරණ ධර්මයන් හටගැනීමට හේතු වන කරුණු මත නුවණින් තොර ව අනවබෝධයෙන් මනසිකාරය පැවැත්වීම හේතුකොටගෙන ඒ ඒ නීවරණ ධර්ම සිත තුළ උපදී.
සිතෙහි හටගන්නා නීවරණ ධර්මයන් සිත තුළින් දුරුකොට දැමීම සඳහා උපකාර කරනු ලබන්නේ යෝනිසෝ මනසිකාරයයි. එනම් අවබෝධය පෙරටු කරගත් නුවණින් යුක්තව කල්පනාව හැසිරවීමයි. එම නිසා පංච නීවරණ ධර්මයන්ගෙන් තොර වූ පිරිසුදු සිතක් පවත්වන්නට කැමති කෙනා පළමුවෙන් ම අයෝනිසෝ මනසිකාරයත්, යෝනිනේ මනසිකාරයත් පිළිබඳව දැනගෙන සිටිය යුතුමය. ජීවිතයේ අවබෝධයට හේතු වන කරුණු මත සිහිය පිහිටුවා නොගෙන සිටින තාක් කල් එම සිත තුළ අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මකවීම වැළැක්විය නොහැකිමය. එම නිසා සිතෙහි මනසිකාරය හෙවත් කල්පනාව පිළිබඳව වඩාත් හොඳ අවධානයකින් සිටිය යුතු ය.
ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනයන්ගෙන් ගනු ලබන අරමුණු මත අපේ කල්පනාව හැසිරවීම සෑම මොහොතකදී ම සිදුවන දෙයකි. එම ආයතනයන්ගෙන් ගනු ලබන අරමුණු පිළිබඳවත්, එම අරමුණුවලට අනුව සිත හසුරුවන ආකාරය පිළිබඳවත් කෙනෙකුට පිරිසුදු සිහියක් පවත්වන්නට නො හැකි වුවහොත් නිරතුරුව ම එම සිතේ පවතින්නේ අයෝනිසෝ මනසිකාරය මුල්කරගෙන හටගත් නීවරණ ධර්මයන් ය. එබැවින් ආයතන තුළින් ගනු ලබන අරමුණු පිළිබඳවත්, එම අරමුණුවලට අනුව සිත හැසිරවීම පිළිබඳවත් සුපිරිසුදු සිහියක් පැවැත්විය යුතුම ය.
එවිට එම අරමුණ අකුසලයන්ට, නීවරණ ධර්මයන්ට අනුග්‍රහ කරන අරමුණක් නම් අයෝනිසෝ මනසිකාරය උපදවා නොගෙන යෝනිසෝ මනසිකාරය හෙවත් අවබෝධයෙන් යුතු කල්පනාව හැසිරවීම මත එම අරමුණු සිත තුළින් ප්‍රහාණය කර දැමිය හැකි ය. එසේම එම අරමුණ කුසල ධර්මයන්ට උපකාරී වන අරමුණක් නම් අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වීමට පෙරාතුව මනාව සිහිය පිහිටුවාගෙන යෝනිසෝ මනසිකාරය උපදවාගෙන එය සිත තුළ බලවත් කර ගත යුතු ය.
අයෝනිසෝ මනසිකාරය දුරුකොට යෝනිසෝ මනසිකාරය පැවැත්වීම ඕනෑම කෙනෙකුට කළ හැකි ය. මේ සඳහා අවශ්‍ය වන්නේ ආයතනයන්ගෙන් ගනු ලබන අරමුණු පිළිබඳව සිහියෙන් අවධානය යොමු කරගෙන සිටීමත්, එම අරමුණු තුළ අයෝනිසෝ මනසිකාරය නො පවත්වා යෝනිසෝ මනසිකාරය දියුණු කර ගැනීමට අවශ්‍ය වීරිය උපදවා ගැනීමත් ය.මෙම පිරිසුදු සිහිය සහ වීරිය පවත්වා ගැනීමට දක්ෂ ඕනෑම කෙනෙකුට යෝනිසෝ මනසිකාරය තුළින් නීවරණ ධර්මයන්ගෙන් තොර වූ ප්‍රභාෂ්වර වූ සිතක් උපදවාගත හැකි ය.
සිතේ දියුණුව මුළුමනින්ම අවුරාගෙන සිටින, සිතේ අභිවෘද්ධියට බොහෝ සෙයින් බාධා පමුණුවන, සිත දියුණුවීමට ඉඩ නොදී තදින් ම මැඬගෙන සිටින, ප්‍රඥාව වැඩෙන්නට ඉඩ නොදී දුර්වල කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා යන මේ පංච නීවරණ ධර්මයන් යෝනිසෝ මනසිකාරය තුළින් ප්‍රහාණය කළ විට එම සිත ශ්‍රේෂ්ඨත්වයකට පත්වීමට අවශ්‍ය වන ආකාරයට ම සකස් වේ. නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වූ සිත වඩාත් මෘදු වූ ස්වභාවයකට පත් වේ. ශාසනික අභිවෘද්ධියකට ගැළපෙන ලෙස වඩාත් නම්‍යශීලී වේ. ජීවිතයේ යථා ස්වභාවය විනිවිද දැකීමට තරම් සිත ප්‍රභාෂ්වර වේ. අකුසල් අරමුණු ඉදිරියේ සිත වහා බිඳී නොයයි. ජීවිතාවබෝධය කිරීමට අවශ්‍ය වන ආකාරයට ම සිත තුළ සමාධිය බලවත් ව පිහිටයි. විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු වූ යම්තාක් ධර්මයන් වේ ද? සිත ඒ සඳහා මනාව නැඹුරු වේ.
පංච නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වූ සිත තුළ රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන ඉතා පහසුවෙන් ම උපදවාගත හැකි ය. එමෙන් ම ඉද්ධිවිධ ඤාණය, දිබ්බ සෝත ඤාණය, පරචිත්ත විජානන ඤාණය, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, දිබ්බ චක්චුු ඤාණය, චුතූපපාත ඤාණය මෙන්ම සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ නුවණ නම් වූ ආස්‍රවක්ෂය ඤාණය ද පහසුවෙන් උපදවාගත හැකි ය. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුද්ධිමතුන් හැටියට මේ ශාසනික අභිවෘද්ධිය ජීවිතය තුළ සාක්ෂාත් කර ගත යුතුම ය. එය මන්දෝත්සාහීව කළ හැකි දෙයක් නම් නොවේ. කෙලෙස් තවන වීරියෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, බලවත් වූ සිහියෙන් යුක්ත ව කළ යුතු දෙයකි.
මේ සඳහා යෝනිසෝ මනසිකාරයත්, නීවරණ ධර්මයන් පිළිබඳව මනා වූ අවබෝධයත්, නීවරණ ධර්මයන් සිත තුළ හට ගැනීමට හේතුවන කරුණුත්, එම හේතු නිරුද්ධ කරන ආකාරය පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් තිබිය යුතු ය.
කාමච්ඡන්ද යනු කාමයන් කෙරෙහි සිත තුළ පවතින කැමැත්තයි. කාමයන් කෙරෙහි ඇති කැමැත්තට ම අනුව සිත හසුරුවන විට සිත කාමයන්ටම නැඹුරු වේ. කාමයන් ම සොයයි. එම නිසා ම සිතේ දියුණුවට ඇති ඉඩකඩ මුළුමනින්ම ඇහිරී ගොස් සිත තුළ රාගය මුල් කරගත් අකුසල ධර්මයන් වැඩි දියුණු වී කාමයන්ට ඇති කැමැත්ත නීවරණ ධර්මයන් බවට පත්වේ.
කාමච්ඡන්ද නීවරණය හටගැනීමට කරුණු දෙකක් බලපානු ලැබේ. එනම් සුබ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරයයි. සුබ නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරය හසුරුවන විට සිතේ උපදින්නේ කාමච්ඡන්ද නීවරණයයි.
සුබ නිමිත්ත යනු ආයතනවලින් ගනු ලබන පි‍්‍රයමනාප අරමුණු ය. එනම් ඇසින් දකින පි‍්‍රයමනාප රූප ය. කනින් අසන පි‍්‍රයමනාප ශබ්දය. නාසයෙන් ආඝ්‍රාණය කරන පි‍්‍රයමනාප ගඳ සුවඳ ය. දිවෙන් විඳින පි‍්‍රයමනාප රසය. කයින් ලබන පි‍්‍රයමනාප පහස ය. සිතින් දැනගන්නා පි‍්‍රයමනාප අරමුණු ය. සිත තුළ රාගයක් ඉපදීමට උපකාරී වන ආකාරයෙන් මෙම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි, පි‍්‍රයමනාප වශයෙන් පිළිගෙන, ඒවා පිළිබඳව නුවණින් තොර ව කල්පනා කිරීම තුළ කාමච්ඡන්ද නීවරණය උපදී. එම නිසාම සිතින් කයින් වචනයෙන් සිදුවන යම්තාක් අකුසල ධර්මයෝ වෙත් ද ඒවා ක්‍රියාත්මක වන්නට පටන් ගනී. එසැණින් ම සිතේ දියුණුව අකර්මන්‍ය වේ.
කාමච්ඡන්ද නීවරණයෙන් සිත ආරක්ෂා කර ගැනීමට නම් කළ යුත්තේ සුබ නිමිති වශයෙන් පිළිගත් දේ අසුබ නිමිති වශයෙන් පිළිගෙන, අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමයි. මෙය පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මේ සඳහා නුවණ සහ වීරිය බලවත් ව ඇති කර ගත යුතු ය. සුබ නිමිත්ත අසුබ නිමිත්තක් ලෙස දැකීම යනු පි‍්‍රයමනාප නිමිති අපි‍්‍රය අමනාප වශයෙන් සැලකීම නම් නොවේ. ඊට වඩා හාත්පසින් ම වෙනස් වූ දෙයකි. එනම්, සුබ වශයෙන් පිළිගත් නිමිති දෙස ඒවායේ යථා ස්වභාවය අවබෝධ වන ආකාරයට බැලිය යුතු ය. රූපයක් නම් එහි පිළිකුල් ස්වභාවය නුවණින් මෙනෙහි කළ යුතු ය. රාගය ඉපදීමට හේතුවන ශබ්දයත්, ගන්ධයත්, රසයත්, පහසත්, අරමුණක් නම් ඒවායේ හරයක් නැති බව, ළාමක වූ දෙයක් බව, හිස් බව, බොල් බව, අසාර බව, තුච්ඡ බව, අනිත්‍ය බව නුවණින් මෙනෙහි කළ යුතු ය. එවිට කාමච්ඡන්දයෙන් සිත නිදහස් වී පිරිසුදු වේ. හටගැනීමට තිබූ අකුසල් නිරුද්ධ වී යයි. සිත මැනවින් ආරක්ෂා වේ.

ව්‍යාපාද නීවරණය

ව්‍යාපාද නීවරණය සිත පිරිහීමට බලපාන දෙවෙනි නීවරණ ධර්මය වේ. ව්‍යාපාදය යනු තරහ ස්වභාවයයි. ක්‍රෝධ සහගත ස්වභාවයයි. තරහත්, ක්‍රෝධයත් සිත තුළ උපන් කල සිත මුළුමනින් ම තරහට, ක්‍රෝධයට නතු වී සිටියි. යමක පවතින සැබෑ තත්ත්වය ඒ ආකාරයෙන්ම දැකිය නො හැකි මට්ටමකට සිත පත් වේ. මෙම ව්‍යාපාද නීවරණය හට ගැනීමට ද කරුණු දෙකක් බලපායි. එනම් පටිඝ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරයයි.
පටිඝ නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මකවීම හේතු කොටගෙන ව්‍යාපාද නීවරණය උපදී. පටිඝ නිමිත්ත යනු තරහව හෝ ක්‍රෝධය හට ගැනීමට හේතු වූ කරුණු ය. එම කරුණ මත නුවණින් තොරව කල්පනා කරන විට අනවබෝධයෙන් සිතන විට උපදින්නේ ව්‍යාපාද නීවරණයයි. මෙම පටිඝ නිමිත්තට අනුග්‍රහ කරන්නේ ද රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ සිතිවිලි ය. මේවා අපි‍්‍රය අමනාප වශයෙන් පිළිගෙන අනවබෝධයෙන් කල්පනා කරන විට ව්‍යාපාද නීවරණය හට ගනී. එනම් තරහට හේතු වන කාරණාව මත නුවණින් තොරව සිතීමයි. මෙවිට ද සිදුවන්නේ සිත තුළ නොයෙකුත් ආකාරයේ අකුසල ධර්ම හට ගැනීමයි. එවිට සිතින්, කයින්, වචනයෙන් නොමනා දේවල් සිතන, කරන, කියන කෙනෙක් බවට පත් වේ. එ නිසා ම බරපතළ ව්‍යසනයන්ට මුහුණ දෙන්නට සිදු වන අතර ජීවිතයට විශාල අනර්ථයක් උදාකර දෙයි. ජීවිතය තුළ පැවති සාමාකාමී බව මුළුමනින්ම අහෝසි වී යයි.
මෙම ව්‍යාපාද නීවරණයෙන් සිත නිදහස් කරන්නට නම් කළ යුත්තේ එම නීවරණය හට ගැනීමට හේතු වූ කරුණු නිරුද්ධ කර දැමීම ය. තරහව ක්‍රෝධය හට ගැනීමට උපකාරී වූ අරමුණු තුළම මෛත්‍රිය පිහිටුවා ගෙන, එම මෛත්‍රියට අනුව දිගින් දිගටම නුවණින් කල්පනාව හැසිරවීමය. හටගත් පටිඝ සහගත සිත කාලයාගේ ඇවෑමෙන් නැති වී යන්නට ඉඩ ප්‍රස්තා සැලසුවහොත්, එය නැති වී යන්නේ ජීවිතයටත්, සිතටත් බරපතළ හානියක් උදාකර දෙමිනි. එම නිසා ම උපන් ව්‍යාපාද නීවරණය ප්‍රහාණ කළ යුත්තේ අවබෝධයෙන්ම ය. සිහියෙන්මය. මෙය පහසු කටයුත්තක් නොවුනත් පුද්ගලයන් පිළිබඳ ව හටගත් තරහව ඒ පුද්ගලයා පිළිබඳව මෛත්‍රිය ම උපදවා ගෙන, මෛත්‍රියම බලවත් කරගෙන කල්පනාව හසුරුවන්නට හැකි වුවහොත් එය විශාල දියුණුවක් මෙන්ම ජයග්‍රහණයකි. එවිට නැති වී ගිය ජීවිතයේ සාමකාමී බව යළිත් හිමි වේ.

ථීනමිද්ධය

තුන් වෙනි නීවරණය වන්නේ ථීනමිද්ධයයි. සිතෙහි සහ කයෙහි ප්‍රාණවත් බවත් ක්‍රියාශීලී ස්වභාවයත් ධර්මාවබෝධයට අත්‍යවශ්‍ය කරුණකි. එබඳු ස්වභාවයක් ජීවිතයක් තුළ නොමැති වුවහොත් ගුණ ධර්මවල පිරිහීම අත්‍යන්තයෙන් ම සිදුවන දෙයකි. ථීනමිද්ධ නීවරණය තුළින් සිදුවන්නේ ද එයයි. ථීන යනු අලස බවයි. කම්මැලි බවයි. මිද්ධ යනු නිදිමතයි. අලස බව ඇති වෙනවත් සමඟම නිදිමත ද පැමිණේ. නිදිමත එන විට අලස බව ද පවතී. මෙම කරුණු දෙකට ජීවිතයේ ඉබාගාතේ හැසිරෙන්නට ඉඩ සැළසුවහොත් සිදුවන්නේ විශාල අනර්ථයකි. එය ජීවිතයේ සෑම පැත්තකටම හානි පමුණුවයි. ආර්ථික, ආධ්‍යාත්මික, ශාසනික අභිවෘද්ධිය මුළුමනින්ම නැතිකොට ජීවිතය වඳ භාවයට පත් කිරීමට මෙම ථීනමිද්ධ නීවරණයට හැකියාව පවතී.
මෙම ථීනමිද්ධ නීවරණය සිතේ හට ගැනීමට බලපාන කරුණු ගණනාවක් ඇත. එම කරුණු තුළ නුවණින් තොරව කල්පනාව හසුරුවද්දී ථීනමිද්ධ නීවරණය හට ගනී. කුසල ධර්මයන් තුළ ප්‍රාණවත්ව නො ඇලීම, කම්මැලිකම, ඈනුම් ඇරීම, බත් මතය, සිතෙහි අලස බව යන මේවා ථීනමිද්ධ නීවරණය හට ගැනීමට හේතු වන කරුණු වේ. මෙම කරුණුවල එක් කරුණක් හෝ සිතට ඇතුළුවුවහොත්, ඒ තුළ සිතේ ඕනෑම ආකාරයකට හැසිරෙන්නට කල්පනාව මුදාහළහොත් ථීනමිද්ධ නීවරණය හටගැනීම ඒකාන්තයෙන්ම සිදුවන දෙයකි. ඉහත කී හේතු මත අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක කිරීම ථීනමිද්ධ නීවරණයට හේතුවයි.
මෙම නීවරණයෙන් සිත නිදහස් කර ගැනීමට නම්, උපන් ථීනමිද්ධය ප්‍රහාණය කිරීමට නම් ගතේ සිතේ දෙකේ ම ප්‍රාණවත් බව ඇති කර ගත යුතු ය. මේ සඳහා අවශ්‍ය වන්නේ නුවණින් යුතුව කල්පනාව හසුරුවමින් වීරිය බලවත් කර ගැනීමයි. එම වීරිය ද ආකාර තුනකින් ක්‍රියාත්මක කළ යුතු ය.

උද්ධච්ච කුක්කුච්ච නීවරණය

හතරවෙනි නීවරණ ධර්මය වන්නේ උද්ධච්ච කුක්කුච්ච නීවරණයයි. සිතෙහි එකම ස්වාභාවයකින් දෙයාකාරයකින් ක්‍රියාත්මක වන මෙම නීවරණය ද සිතේ දියුණුව මුළුමනින්ම අවුරා දමයි. මෙම නීවරණය ක්‍රියා කිරීමට හේතු වන්නේ ද නුවණින් තොරව කල්පනාව හැසිරවීමයි.
උද්ධච්ච යනු සිතේ නොසන්සුන්කමයි. කුක්කුච්ච යනු පසු තැවීමයි. අතීතය හාරා අවුස්සමින් පසු තැවි තැවී සිටීම, නො පැමිණි අනාගතය ගැන සිතා කනස්සල්ලෙන් සිටීම, මුහුණ පා සිටින ගැටලුවලට නුවණ යොමු නොකර අසිහියෙන් කටයුතු කිරීම ආදී හේතු මුල් කරගෙන මෙම උද්ධච්ච කුක්කුච්ච නීවරණය හට ගනී. මෙම නීවරණයෙන් සිත ආරක්ෂා කර ගැනීමට නම් කළ යුත්තේ කළබල නොවී ඉවසීමෙන් සිත සංසිඳෙන පිළිවෙළට කල්පනාව හැසිරවීමයි. කලබල වී ඇති, නොසන්සුන් වී ඇති සිත දෙස අවබෝධයෙන් බලා හිඳිමින් සිතේ ස්වභාවයට ගැළපෙන ආකාරයෙන් සංසිඳුවා ගත යුතු ය. මේ සඳහා යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යමය. ඉවසීම පුරුදු කළ යුතුමය.

විචිකිච්ඡා නීවරණය

නීවරණ ධර්මයන්ගේ පස්වෙනි නීවරණය වන්නේ විචිකිච්ඡා නීවරණයයි. විචිකිච්ඡාව යනු සිතේ සැක සංකා සහගත ස්වභාවය පැවතීමයි. සිතක සැක සංකා සහගත ස්වභාවය පවතින තාක් කල් හරි, වැරැද්ද, යහපත, අයහපත, කළ යුතු, නොකළ යුතු දේ පිළිබඳව අවබෝධයන් වැටහීමක් ඇත්තේම නැත. එනිසා නිවැරදි දේ යයි සිතා වැරදි දේම තෝරාගනී. යහපත් දේ යයි සිතා අයහපත් දේ ම තෝරා ගනී. කළ යුතු දේ යයි සිතා නොකළ යුතුම දේ කරයි. මෙ නිසා ජීවිතය අවුල් බවට පෙරළෙයි. මෙම විචිකිච්ඡා නීවරණය සිත තුළ පවතින තාක් ම ජීවිතයට සිදුවන අනර්ථය සුළු පටු නොවේ. නිවැරදි අවබෝධයක් නැතිකම නිසා ම සැකය ඉපදීමට හේතුවන කරුණු මත නුවණින් තොරව කල්පනාව හැසිරවීම නිසා මෙම විචිකිච්ඡා නීවරණය හට ගනී.
නිවැරදි අවබෝධය, පිරිසුදු කල්පනාව, සත්‍ය වටහා ගැනීමේ හැකියාව නොමැති තැන උපදින්නේ විචිකිච්ඡාවයි. මෙම නීවරණයෙන් සිත නිදහස් කර ගැනීමට භාග්‍යවතුන් වහන්සේ කරුණු ගණනාවක් පෙන්වා දී ඇත. කුසල් සහ අකුසල් සහගත ධර්මයන් තුළත්, වැරදි සහ නිවැරදි ධර්මයන් තුළත්, ළාමක සහ උසස් ධර්මයන් තුළත්, පින් සහ පව් පිළිබඳවත් නුවණින් යුක්තව කල්පනා හැසිරවීම මත මෙම විචිකිච්ඡා නීවරණයෙන් නිදහස් විය හැකි ය. ඒ සඳහා ප්‍රඥාව විනිවිද යන මනසිකාරයක් සකස් කර ගත යුතුමය.

සිත නිදහස් කරගැනීම

මේ ආකාරයෙන් නීවරණ ධර්මයන් පිළිබඳවත් නීවරණ ධර්මයන්ගේ හටගැනීම පිළිබඳවත්, උපන් නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන ආකාරය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තිබිය යුතුම ය. එසේ නොමැති වුවහොත් ධර්මය ප්‍රගුණ කළ නොහැකි මට්ටමට ම සිත පිරිහීමට පත් වේ. එම නිසා ශාසනික අභිවෘද්ධියක් මේ උතුම් බුද්ධ ශාසනය තුළ දී ම අපේක්ෂා කරන සියලු දෙනා ම සිත තුළ බල පවත්වන නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම පිළිබඳ ව වඩාත් අවධානය යොමු කළ යුතුම ය.
ණයට ගත් මුදලින් ව්‍යාපාරයක් ආරම්භකොට ව්‍යාපාරය දියුණු කර ණයෙන් ද නිදහස් වී අපමණ සතුටක් විඳින කෙනෙක් මෙන්, බොහෝ දැඩි සේ ගිලන් ව සිටි රෝගියෙක් එම රෝගයෙන් සුවපත් වී අපමණ සතුටක් ලබනවා මෙන්ම, බන්ධනාගාරගත වූ කෙනෙක් කිසිම මුදලක් වියදම් නොකොට සුවසේ නිදහස් වී අපමණ සතුටක් ලබනවා මෙන්, දාස භාවයෙන් සිර වී සිට කැමති කිසි දෙයක් කරගත නො හැකිව සිටි කෙනෙක් දාස භාවයෙන් නිදහස් වී තමන් කැමති සේ ජීවත්වෙමින් අපමණ සතුටක් ලබනවා මෙන්, අල්ප වූ ආහාරපාන රැගෙන උවදුරු සහිත කාන්තාරයකින් එතෙර වීමට ආ කෙනෙක් එයින් නිරුපද්‍රිත ව එතෙර වී අපමණ සතුටක් ලබනවා මෙන් නීවරණය ධර්මවලින් සිත නිදහස් කර ගත් කෙනා ද, විඳින්නේ අපමණ සතුටකි. සතුටු වූ නිසා ම පී‍්‍රතිය ද බලවත් වේ. මනස පී‍්‍රති සහගත නිසා ම කය ද සංසිඳෙන්නට පටන් ගනී. අපමණ වූ සැපය නිසාම සිතේ සමාධිය ද උපදී. පිරිසුදු ධර්ම ඥානයක් ඇති කෙනෙකුට මෙවන් වූ සමාධියක් උපකාර කරගෙන ප්‍රඥාව දියුණු කර ගැනීම කිසිසේත්ම අපහසු කරුණක් නම් නොවේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤