ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ප්‍රසන්න සිත පිරිසිදු ජලාශයකි

පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරිසීවලී හිමි

පැහැදිලි සිත පිරිසිදු ජලාශයක්‌ වගේ. පිරිසිදු ජලාශය විනිවිද දැකිය හැක. චංචල බවෙන් තොරවිය යුතුය. කුණු දූවිලිවලින් තොරවීමයි, පිරිසිදු බවේ සංකේතය. නීවරණතා ධර්ම හිත තුළ හටගත්තාම පිරිසිදු සිත අපිරිසිදු වන බව යෝගාවචරයා අත්දැකීමෙන්ම වටහා ගනී.

චතුර්වේදයේ පාරප්‍රාප්ත සංගාර නම් බ්‍රාහ්මණයෙක්‌ දිනක්‌ භාග්‍යවතුන් වහන්සේ හමුවී තමන් බොහෝ කාලයක්‌ වේද වේදාන්තයන්හි ඉතා හොඳ මතකයක්‌ තිබූ බවත් දැන් අමතකවීමේ ස්‌වභාවයට පත්වී ඇති බවත් ඊට හේතුවත් විමසීය. එවිට භාග්‍යවතුන් වහන්සේ නිතර නිතර කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම හිත තුළ ජනිතවීමත් දැනගත් දේ දිගුකල් හැදැරීම නවතාලීමත් මතකය මැකී යැමට හේතුවන බවත් වදාළහ.

'යෝගාවේ ජායති භූරි අයෝගා භූරි සංඛයෝ'

යෝගාවචර ජීවිතය ප්‍රඥව වැඩීමට හේතු වේ. යෝගී ජීවිතය පිරිහීමෙන් ප්‍රඥව ද පිරිහීමට හේතු වේ.

ආධ්‍යාත්මික ගුණ වගාවේදී මානසික දියුණුව ඇතිකර ගැනීම සඳහා පංචනීවරණ ධර්ම ගැන දැන ගැනීමත් නැතිකර ගැනීම සඳහා සුදුසු පසුබිමක්‌ දහමට අනුව සකසාගත යුතුය. නීවරණ යනු නවන වසාලන, සැනසිල්ල සතුට දියුණුව සැපය නැති කරන ධර්මතාය.

'කත්ථ කතමානි පංච නීවරණානි,

කාමච්ඡන්ද නීවරණං

ව්‍යාපාද නීවරණං

උද්ධච්ච කුක්‌කුච්ච නීවරණං

විචිකිච්ඡා නීවරණං

ඉමානි පංච නීවරණාතී'

(විභංග ප්‍රකරණය - ඛුද්දක වත්ථු විභංගය)

ඉහත පාලි පාඨයෙන් ප්‍රකාශිත නීවරණ ධර්ම හිත තුළ ජනිත වීමෙන්ම කුසල් සිත් හටගැනීම දුරු වේ. සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු එක හිතකින් පහසුවෙන් කර ගැනීමටත් යෝගාවචරයාට ධ්‍යානාංග වඩා රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන බල ඇති කර ගැනීමටත් බාධා ඇතිකරයි. 

1. කාමච්ඡන්දය - කාම ගුණයට ඇලීමයි. පංචකාම සම්පත්වලට රුචිකත්වයයි. පස්‌කම් සුවය නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ විඳීමයි. ඇස, කණ, නාසය, දිව, කය සම්බන්ධ ප්‍රසාද රූපයේ ඔපවත් ස්‌වභාවයට අරමුණු සම්බන්ධ වීමේදී ඵස්‌සය මගින් සිදුවන ධර්මතාවයේදී සිත හටගනී. සුභ හෝ අසුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය නිසා ඇලීම හෝ ගැටීම නිසා තණ්‌හාව උපදී. දැඩිව ගැනීම උපාදානය වේ. සායම් පෙවූ භාජනයකින් තම මුහුණ දැකීම හා සමාන වේ.

සුභ නිමිත්තං භික්‌ඛවේ අයොනිසෝ මනසි

කරොන්තො අනුප්පන්නෝච කාමච්ඡන්දො උප්පජ්ජති

උප්පන්නෝ ච කාමච්ඡන්දො භියේ‍යාභාවාය වේපුල්ලාය සංවත්තති''

නිමිත්ත සුඛ හෙවත් සුබ වශයෙන් ගැනීම නිසා කාමච්ඡන්දය හටගනී. සුබ වශයෙන් ගන්නේ අයෝනිසෝ මනසිකාරය නිසාය. සුබ සංඥව නැතිකිරීමට අසුබ සංඥව වඩන්න නිර්දේශ කළේ ඒ නිසාය. කායගතාසති භාවනාවේ අසුභය මෙන්ම පටික්‌කූල මනසිකාරය එකට යෙදී ඇත්තේ ඒ නිසාය.

මේ සිත අරමුණෙන් අරමුණට සම්බන්ධ වන්නේ අත්තක්‌ හැර තවත් අත්තක්‌ අල්ලා ගැනීමට පනින වඳුරකු මෙනි. වඳුරා කිසිවිටකත් තමා සිටින අත්ත අතහරින්නේ නැහැ. එහි සුව පහසු බව ඉතා හොඳ නම්ෘ තවත් අත්තකට පනින්නේ ඊටත් වඩා සුව පහසු බවක්‌ විඳීමේ කැමැත්ත ඇතිවය. සිතත් ඒ හා සමානය. පංචකාම ගුණයට සිත දැඩිව වසඟ කරයි. එහිම කි¹ බසී. ලොල්බවට පත්කරයි. කෑදරකමට බඩයි. නමුත් එහි ආදීනව බොහෝය. 'අප්පස්‌සාද බහු දුක්‌ඛා' කුරුම්බා ගෙඩියට අත දැමූ වඳුරාට වූ දේ පංචකාම ගුණ කෑදරකමින් සිටින්නාටද සිදුවේ.

ලොඳ ඇති කුරුම්බා ගෙඩියකට ලොඳ කෑමේ කෑදරකමෙන් වඳුරෙක්‌ කුඩා සිදුරක්‌ පාදාගෙන අමාරුවෙන් අත දමා හොඳට ලොඳ හූරා මිට මොලවා ගනී. මිට මොලවා ගත් අත එළියට ගැනීමට උත්සාහ කරයි. මිට මොලවාගත් අත කුඩා සිදුරෙන් එළියට ගත නොහැක. අමාරුවෙන් හූරාගත් ලොඳ අතහරින්නේද නැත. ඒ නිසාම වඳුරාට මරණයට හෝ මාරාන්තික ව්‍යසනයකට පත්වීමට සිදුවේ. එමෙන්ම පංචකාම ගුණයේ ආදීනව නොදකින පුහුදුන් අයටද සාංසාරික වශයෙන් දුගතිගාමී වී බොහෝ කාලයක්‌ මහා දුකට පත්වී දුක්‌විඳීමට සිදුවීම නොවැළැක්‌විය හැක.

ව්‍යාපාදය - තරහව, ක්‍රෝධය, පටිඝය ආදී චෛතසික සමූහයක ක්‍රියාකාරිත්වයයි. සිත රත්වූ නටන ජල බඳුන බඳුය. ක්‍රෝධය මෙලොව පරලොව මෙන්ම නිවන් සැපය නසන බරපතළ අකුසල චෛතසිකයකි. 

නත්ථි දොස සමො ඛලී

ද්වේෂය හා සමාන අපරාධයක්‌ නැත.

කුද්ධො ධම්මං න පස්‌සති

කිපුණ තැනැත්තාට හොඳ නරක නොපෙනේ.

කුද්ධෝ අත්ථං නජානාති

කිපුණ අයට තමාගේ අභිවෘද්ධිය නොසැලසේ.

අනFථ ජනනො කොධො

කිපුණ අය නිතර අනර්ථයම කරයි.

වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ගුණමකු බව, ව්‍යාපාදයට පරිබද්ධව හටගනී. මෛත්‍රී භාවනාව ව්‍යාපාදය නැති කිරීමට නිර්දේශිතය. යෝනිසෝ මනසිකාරය හෙවත් එළඹ සිටි සිහියෙන් විසීම නිසාම පටිඝය අරමුණක්‌ වශයෙන් ගෙන ව්‍යාපාදය හට නොගනී.

පටිඝ නිමිත්තං භික්‌ඛවේ අයොනිසෝ

මනසිකාරොන්තො අනුප්පන්නෝෙච්ව 

ව්‍යාපාදො උප්ප-ජති උප්පන්නො ච 

ව්‍යාපාදො භියේ‍යාභාවාය වේපුල්ලාය සංවත්තති'.

මහණෙනි, ගැටෙන නිමිත්ත, 

අයෝනිසෝමනසිකාරයෙන් ගැනීම නිසා නූපන් ව්‍යාපාදය හටගනී. උපන් ව්‍යාපාදය බොහෝ සේ වැඩේ. වර්ධනය වේ.

'ඛන්ති පරමං තපො තිථික්‌ඛා'

ක්‌ෂාන්තිය උසස්‌ම පැවැත්මයි. කාමච්ඡන්දය යනු රාගයයි. ව්‍යාපාදය යනු ගැටීමයි. ඇලීම ගැටීම යනු තණ්‌හාවයි. ඒනිසා පටික්‌කූල මනසිකාරය සහිත කායගතාසති භාවනාවෙන් රාග ගිනි නිවාලීම කළ හැක. මෛත්‍රිය භාවනාවෙන් ද්වේෂය හෙවත් ගැටීම යටපත් කර ගත හැක. මේ භාවනා දෙකම එකවිට වඩා නීවරණ ධර්ම යටපත් කර ධ්‍යාන මට්‌ටමට සිත දියුණු කරගත හැක.

ථින මිද්ධය යනු සිතේ හැකිළුණු බව, ඔතෑනි බව, අලස බව, නොපිපුණු බව, පසුබෑම, උදාසීන ගතිය, කම්මැලි බව, අකර්මණ්‍ය බව වේ. දිය සෙවෙලින් වැසී ගිය ජල බඳුනක්‌ බඳුය. එවිට ජලය ප්‍රසන්න පිරිසිදු බව දුරුවී යයි. ථීන මිද්ධය සමථ හා විදර්ශනා භාවනාවට ප්‍රධාන බාධකයකි. කුසල් දහම්හි නොඇලේ. අලස බව කම්මැලිබව ලෞකික, ලෝකෝත්තර දියුණුවට බාධක මෙන්ම පිරිහීමටද හේතු වේ.

1. ආරම්භක ධාතු 2. නෙක්‌ඛම්ම ධාතු

පරක්‌කම ධාතු වශයෙන් ථීන මිද්ධය නැතිකිරීමට සම්‍යක්‌ ප්‍රයෝග වශයෙන් භාවිත කර ඇත. යමක ආරම්භය වීර්යයෙන් කළ යුතුය. ඒ සඳහා පූර්ව කෘත්‍ය වශයෙන් පරිසරය උචිත පරිදි සකසා ගැනීම අනිවාර්ය වේ. ආරම්භ කළ භාවනාව හෝ කටයුත්ත සම්බන්ධයෙන් වහවහා ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුය. ළිඳක්‌ හාරන්නා වහා වතුර ලැබේවායි ප්‍රාර්ථනාවක්‌ නැත. ප්‍රාර්ථනා කළ තරමට ලැබෙන්නේ නැත. ඉදිරියට උනන්දුවෙන් කිරීමත් වෙර වීර්යයෙන් ඒ සඳහා කැපවීමත් නොඅඩුව සිදුවිය යුතුය. අප්‍රතිහත ධෛර්යයෙන් කැමැත්තෙන් සතුටෙන් කාර්යයෙහි යෙදීමෙන් අභිමතාර්ථය සමෘද්ධිය සිදුවනු ඇත. නෙක්‌ඛම්ම ධාතුව හා පරක්‌කම ධාතුව යනු නොපසුබස්‌නා වීර්යයි.

ථීන මිද්ධය නැති කිරීම සඳහා අවට පරිසරය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. ප්‍රසන්න බව, පිරිසිදු බව, ආලෝකය බොහෝ දැ ළංකර නොගැනීම, වීර්යයෙන් යුතු උසස්‌ උතුමන් ඇසුරු ඉරියව් විටින් විට වෙනස්‌කිරීම, එළිමහනේ සිටීම, අධික භෝජන නොගැනීම, ලැබුවාවූ මිනිස්‌ බවේ, බුද්ධෝත්පාද කාලයේ, සද්ධර්මයේ වටිනාකම මෙනෙහි කිරීම, කිසියම් හෝ ආර්ය ඵලලාභීත්වයක්‌ තවම නොලබා සිටී නම් වහාම ඒ සඳහා කටයුතු කිරීම, සසරෙහි බිය දැකීම, කල්‍යාණ මිත්‍ර ඇසුර, උතුමන්ගේ චරිතාපදානයන් නිතර සිහිකිරීම, බෝධී පාක්‌ෂික ධර් වඩාගෙන ඉදිරියට යාමයි.

උද්ධච්ච කුක්‌කුච්චය - සත සෙලවෙන, චංචල ජලාශයක ස්‌වභාවය පෙන්නුම් කරයි. චචංල සිතක සමාධිය නොවැඩේ. අලු ගොඩකට ගලකින් ගැසූ විට හැම තැනම විසිරුණු සිතුවිලිවල ස්‌වභාවය ගනී. අරමුණු හමුවේ ඒකාග්‍ර බවක්‌ නැත. උද්ධච්චය කුක්‌කුච්චය විශේෂයෙන් තමාගේ චරිතය හා සම්බන්ධව හට ගන්නා බැවින් පළමුව සීලයක පිහිටා සමාධිය වැඩීම කළ යුතුය. මෙහිදී පාරමිතා සීලය හෙවත් ලෝකෝත්තර සීලය වටවා ගැනීම නිවනට හේතුකාරක වේ.

සීලෙහි පතිට්‌ඨාය නරො සපඤ්ෙඤා්

චිත්තං පඤ්ඤංච භාවයං

ආතාපි නිපකො භික්‌ඛු

සෝ ඉමං විජටයේ ජටං

ඇතුළත ගැට, පිට ගැට නැති කර රහත් බව ලැබීමට නිර්දේශිත ක්‍රමය ඉහත ගාථා රත්නයෙහි පැහැදිලි කරයි. පළමුව සීලයෙහි පිහිටා උද්ධච්ච කුක්‌කුච්චය නැතිකරගන්න. චිත්ත භාවනාවෙන් ලෞකික සමාධිය වඩා මන ශක්‌තිමත් කර ගන්න. ඉන්පසු විදර්ශනා භාවනාවෙන් හෙවත් ප්‍රඥාවෙන් ලෝකයෙන් එතෙරවීමට කෙලෙස්‌ මුලින් උපුටා දමන්න.

විචිකිච්චාව යනු බුද්ධ, ධම්ම, සංඝ, සික්‌ඛා, පුබ්බන්ත, අපරන්ත, පුබ්බාපරන්ත, පටිච්චසමුප්පන්න ධර්ම ගැන සැකයයි. අඳුරේ ඇති දිය බඳුනක්‌ හා සමානයි. ස්‌ථිර නිගමනයකට එක අරමුණකට සිත නන්වා ගත නොහැකි බව. බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණ වැඩීම මේ නීවරණය නැති කිරීමට හේතු වේ. බුද්ධ යනු චතුරාර්ය සත්‍යයි. 

බෝධිං වුච්චති චතුසු අරිය සච්ෙච්සු ඤාණං

බුද්ධ යනු බෝධිය අවබෝධයයි. එනම් දුක්‌ඛ සමුදය, නිරෝධය, මාර්ගය, චතුරාර්ය සත්‍ය දැකීමයි. ලෝකය පදනම් කරගෙන පළමු සත්‍ය දැකීම, එනම් දුක අවබෝධයයි. ලෝකය දුක මත පිහිටා ඇත. ජරා මරණ, සෝක පරිදේව ආදී චෛතසික මාන සිත, කායික දුක්‌වලින් නිරන්තරයෙන්ම සත්වයා වෙලී පැටලී සිටින බව දැකීම, දුකට හේතුවූ තණ්‌හාව, සමුදය වේ. තණ්‌හාව සිත තුළින් නැතිකර ගතහොත් දුක නැතිවන බව දැන ගැනීම. ඒ සඳහා මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළුවීමයි. එමගින් මිච්ඡාදිට්‌ඨිය නැතිවී සම්මා දිට්‌ඨිය හෙවත් ලෝකයේ යථාර්ථය හරිහැටි දැකීම වේ. බුදුගුණ වැඩීමෙන් දහම්ගුණ සඟ ගුණද වැඩේ. මේ ගුණ වගාවෙන් විචිකිච්ඡාව දුරුවී සමථ සමාධිය වැඩිදියුණු කර විදර්ශනා සමාධිය වඩා දස සංයෝජන මුලින් උපුටා දමා නිවන් දැකිය හැකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤