ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

පින්කමක් අවසානයේ ප්‍රාර්ථනාවක් කිරීම හොඳ ද? නරක ද?


 වාරියපොල, කනත්තේ වැව, කොළඹගම

ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරි
නේපාලයේ ලුම්බිණි නුවර
ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය
ගල්ලැහැපිටියේ පේමරතන හිමි

අපේ බෞද්ධයන් ගෙදර මලක්, පහනක් පූජා කළත් ප්‍රාර්ථනාවක් කරනවා. ඒක අපේ සිංහල බෞද්ධයන් හුරුපුරුදු වුණු දෙයක්. බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාව වන්නේ.

“ඉමිනා පුඤ්ඤ කම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා”

මේ කළා වූ පින්කමේ බලයෙන් අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා.

පුංචි දරුවන් පවා කටපාඩමින් සිදු කරන්නේ එබඳු ප්‍රාර්ථනාවක්. නමුත් ඕනෑම පින්කමකින් අනතුරුව ප්‍රාර්ථනා කළත්, නොකළත්, කළ කුසලයේ විපාක සැප විපාක වශයෙන් සංසාරය පුරාවට ම ලැබෙනවා.

අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දානාදී පාරමිතා පිරූ බෝසතාණන් වහන්සේගේ ඒකායන ප්‍රාර්ථනය වුණේත් මේ පින් බලයෙන් ලොව්තුරා බුදු බව ලැබේවා යන්නයි.

බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාව වන්නේත් මේ කළ පින් බලයෙන් සංසාර දුකින් එතෙර වී නිවන් දකින්නට ලැබේවා යන්නයි.

නමුත් නිවන ප්‍රාර්ථනා කළාට ලැබෙන දෙයක් නෙමෙයි. වඩන්නට අවශ්‍ය ධර්මතාවක්. සිතින්, කයින්, වචනයෙන් සිදුකරන්නා වූ කුදු මහත් පින්කම්වල දී යහපත් ප්‍රාර්ථනාවක් සිදුකිරීම උතුම්ම දෙයක් හැටියට සලකනවා. එනිසා බෞද්ධයෝ ප්‍රාර්ථනාවක් කළ යුතුයි. එහි වරදක් නැහැ. නමුත් තමන් කරන ප්‍රාර්ථනාව යහපත් දෙයක් වෙන්නට ඕනෑ.

තථාගතයන් වහන්සේ නොකළ යුතු බව සඳහන් කරමින් අධාර්මික වෙළඳාම් පහක් දේශනා කළා. ඒවා අධාර්මික ධනෝපායන මාර්ග. ඒ තුළින් උපයා සපයා ගන්නා ධනය ධාර්මික නැති බව අපි දන්නවා. එම වෙළඳාම් පහ තුළ එක් වෙළදාමක් හෝ සිදුකරමින් උපයා සපයා ගන්නා අධාර්මික සම්පත් තුළින් සිදුකරන්නා වූ පින්කමක් අවසානයේ ප්‍රාර්ථනාවක් කළාට ඵලක් නැහැ.

එනිසා දානමය පින්කම සාර්ථක වීමට අවස්ථා තුනක් සම්පූර්ණ විය යුතුයි.

දානයක් දෙනවා නම් දානය දෙන දායකයාගේ හෝ පුද්ගලයාගේ සිත ලෝබ, දෝස, මෝහ ආදී අකුසල චෛතසිකයන්ගෙන් තොර වූ පිරිසුදු සිතක් විය යුතුයි.

දානය පූජා කිරීමට යොදා ගන්නා දාන වස්තුව ධාර්මිකව හම්බ කළ දෙයක් විය යුතුයි.

එම දාන වස්තුව ලබන ප්‍රතිග්‍රාහකයා ගුණවන්ත විය යුතුයි. එම කාරණා තුන එකතු වුණා ම එම පින්කම අංග සම්පූර්ණ පින්කමක් වෙනවා. එවැනි පින්කමක් අවසානයේ යහපත් ප්‍රාර්ථනාවක් කළ හැකියි. මේ කළ පින්කමේ බලයෙන් සසර වාසනා තුරු සා පිපාසා දුකක්, නරක, තිරිසන්, පේ‍්‍රත ලෝක සතර අපාය ආදී දුකක් නොවී නිවන් සැපයම ලැබේවා කියන ප්‍රාර්ථනය ඉතාම යහපත්. එය ප්‍රාර්ථනා නොකළත් නිවන අරමුණු කරගෙන ම සිදුකරන කුසල කර්මයක්.

අපි හැම කෙනෙක් තුළම ප්‍රාර්ථනාවක් තිබිය යුතු බවට මම හිතනවා. ඇතැම් අය බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් සමහරු පසේ බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ප්‍රාර්ථනාවක් කරන්න අපිට හිතන්නවත් බැහැ.

මේ සිදු කර ගත්තා වූ පින් බලයෙන් මාර්ගඵල බෝධියකින් නිවන් අවබෝධ වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරනවා නම් හොඳයි. ඒ ආකාරයට පින්කමක් අවසානයේ ප්‍රාර්ථනාවක් කිරීම ඉතාම හොඳයි. ප්‍රාර්ථනාවක් අරමුණුූ කර ගෙනමයි පින්කමක් කෙරෙන්නේ. ප්‍රාර්ථනාවක් කිරීමට අමතක වුණා කියලා පින්කම අපතේ යන්නේ නැහැ. සසර පුරා සැප විපාක දීමට හේතුවෙනවා. අපි පින්කම් කරන්නේ සසරේ රැඳි රැඳී සිටින්න නෙමෙයි. ස්වාමින් වහන්සේ වුණත් පින් වාක්‍ය දේශනා කරන අවස්ථාවල ප්‍රාර්ථනාවක් කරනවා.

මෛත්‍රී බුද්ධ ශාසනය තෙක්, කල්ප ගණන් සංසාරයේ සැරිසරන්නේ නැතිව ගෞතම බුද්ධ ශාසනය තුළම ධර්මය අවබෝධ කරගෙන සතර අපා දුකෙන් එතෙරව නිවන් අවබෝධ වෙන්නට මේ පින පාරමිතාවක් වෙන්න කියලා අධිෂ්ඨාන කර ගන්න ඕනෑ. මේ පිළිබඳ කරුණු සඳහන් වෙන එක්තරා කතා පුවතක් සඳහන් කරන්න පුළුවන්. එම කතා පුවතට අනුව එක්තරා රාජ දූතයෙක් තමන්ට පැවරී තිබුණූ රාජකාරී කටයුත්තක් වෙනුවෙන් ගම්මානයකට ඇවිදගෙන යනවා. ඒ ගම කිවුල් ගමක්. ඒ කියන්නේ ධීවර රැකියාව කරන අසරණ මිනිසුන් ජීවත්වන ගමක්. රාජ දූතයා පිළිබඳ පැහැදුණු ගමේ මිනිස්සු ඔහුට හොඳින් සංග්‍රහ කළා. මේ අපේ මහවාසල රජතුමාගේ දූතයෙක් බවට ප්‍රකාශ කරමින් ඔහුට නවාතැන් පහසුකම් පවා සපයා දීමට ඔවුන් කටයුතු කළා.

රාජදූතයා පැමිණි රාජකාරිය හොඳින් සිදුකර ගෙන යෑමට අවශ්‍ය පරිසරය හොඳින් පිළියෙළ කර දුන්නා. දවසක් දහවල් වන විට රාජදූතයාට ඉවසා ගන්න බැරි කුසගින්නක් දැනුණා. ගම්මුන්ට කතා කළ ඔහු කාරණාව දන්වා දහවල් ආහාරය පිළියෙළ කර දෙන ලෙසට දන්වා සිටියා. ඇල් සහලේ බත් සමඟ කුකුළුමස් ව්‍යාංජනයක් පිසදීමට ගම්මු කටයුතු කළා. ඇල් හාලෙන් පිසූ බත් නිසා පළාතම ප්‍රණීත සුවඳක් හමනවා. අධික කුසගින්නෙන් පෙළුණු එක්තරා බැල්ලියකට දැණුන මස් සුවඳ නිසා රාජ දූතයා ආහාර ගන්න ස්ථානයට පැමිණියා. ඒ අවස්ථාවේ ඔහු බොහෝ සේ කෝප වුණා. කෝපයෙන් පුපුරාගිය රාජ දූතයා බැල්ලට පහරක් එල්ලකිරීමේ අදහසින් මුගුරක් සොයා ගියත්, එම උත්සාහය අසාර්ථක වුණ නිසාම තමා ආහාරයට ගැනීමට සිටි බත් පිඟානෙන් බැල්ලියට පහරක් එල්ල කිරීමට පෙළඹුණා.

අධික කුසගින්නකින් පෙළුණු බැල්ලිය ඒ අවස්ථාවේ තැන තැන විසිරී ගිය බත් පිඟානෙන් කුස පුරවා ගෙන එම ස්ථානයෙන් ඉවත් වුණා. රාජදූතයා නැවතත් ආහාර ගැනීමට පටන් ගත්තා. ඔහු කන බත් සුවඳයි වගේම රසයි. ප්‍රණීතයි. එවැනි ආහාරයකින් බැල්ලිය කුස පුරවා ගැනීම පිළිබඳ දූතයා අපමණ සතුටට පත් වුණා. එම කෑම තමා කැමැත්තෙන් ලබා නොදුන්නත්, බත් පිඟානෙන් බැල්ලියට දමා ගැසුවත් එවැනි ප්‍රණීත ආහාරයකින් බැල්ලිය කුස පුරවා ගැනීම පිළිබඳ දූතයා අපමණ සතුටට පත් වුණා.

තමා කේන්තියෙන් බත් පිඟානෙන් ගැසුවත් තමා යහපත් ක්‍රියාවක් කළ බවට සිතිවිල්ලක් ඔහු තුළ ඇති වුණා. එය දානයක් නොවුණත්, ප්‍රාර්ථනාවක් නොකළත්, තමන් කළ දෙයකින් බැල්ලියට යහපතක් සිදුවුණ නිසා යහපත් සිතිවිල්ල ඔහුට සංසාරය පුරාවට ම සැප විපාක ගෙන දීමට හේතු වුණ බව බණ පොතේ සඳහන් වෙනවා.

ඒ වගේම ඔහු නැවතත් මනුෂ්‍ය ආත්මභාවයක් ලබා පැවිදි ජීවිතයකට එළඹෙනවා. ඒ බැමිණිටියා සාගතය පැවැති කාලයේ දී. එම සාගතයෙන් පෙළුණ ජනතාව ගම් බිම් අතැර දමා වෙනත් පළාතකට යන නිසා ස්වාමින් වහන්සේටත් එම ගමනට ආරාධනා කළා. සාගතය නිස දානය පවා ලබා ගැනීම අපහසු නිසා දුර පළාතකට යාමට ආරාධනා කළත් ස්වාමින් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තමන් වහන්සේ ආරාමයේ වතාවත් කරගෙන වැඩ සිටින බව ගම්වැසියන්ට දන්වූවා.

ස්වාමින් වහන්සේ පාත්‍රය රැගෙන පිණ්ඩපාතයට වැඩම කළත් උන්වහන්සේට දානය නොලැබෙන බව දන්නවා. එයට හේතුව සාගතය නිසා සියලු දෙනාම ඒ පළාතෙන් ඉවත්වීමයි. එම අවස්ථාවේ එම ආරාමයේ සිටි වෘක්ෂ දේවතාවෙක් උන්වහන්සේට පිණ්ඩපාත දානය ලබා දෙන ලෙස පොරොන්දු වෙමින් වසර 12ක් පුරාවට ම දානය පූජා කිරීමට කටයුතු කළ බව සඳහන් වෙනවා.

මේ තරම් දරුණු සාගතයක් තිබෙන අවස්ථාවක දානය ලැබෙන්න තරම් තමන් වහන්සේ සංසාරයේ සිදු කරල තිබෙන පින්කම් පිළිබඳ එම දේවතාවාගෙන් විමසූවිට බුදු, පසේබුදු, මහරහතන් වහන්සේට දානයක් ලබා දී තිබනෙවා නම්, එම ස්වභාවය දෙව්දුවට නොපෙනෙන බවත් එක්තරා කාලයක ගම්මානයකට ගිය අවස්ථාවේ කෝපාවිෂ්ටව හෝ බැල්ලියකට ලබා දී තිබූ රසවත් ආහාර වේලක් පිළිබඳව තමන් අපමණ සතුටට පත්වූ නිසා එම පින සංසාරය පුරාවට ම සැප විපාක ලබා දෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

එනිසා ප්‍රාර්ථනාවක් කළත්, නොකළත් සංසාරය පුරාවට ම යහපත් විපාක ලැබෙන බව අපට පැහැදිලියි.

බෞද්ධයන් තමා කරන පින්කම්වලට ප්‍රාර්ථනාවක් ඇති කර ගැනීම ඉතාම සුදුසුයි. එම ප්‍රාර්ථනාව සංසාරයේ රැඳෙන ප්‍රාර්ථනාවක් නොවී, සතර අපා දුකින් මිදී මේ සංසාරයෙන් එතෙර වේවා කියන උතුම් ප්‍රාර්ථනාව නොකළත් යහපත් විපාකයේ ප්‍රතිඵල ලැබෙන බව මේ කතාව තුළින් පැහැදිලි වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වැසි සළුව හා චීවරය පිලිබඳවයි මේ..!

 චීවර යනු පාලි වචනයයි. සිවුර යනු එහි සිංහල ව්‍යවහාරයයි. එය භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ විශේෂිත වූ වස්ත්‍රයයි. එහි අර්ථයට අනුව චීර යනු කැබැල්ලයි. ඒ අනුව කැබලි එකතු කර සකස් කර ගත් වස්ත්‍රය චීවර නමින් හඳුන්වයි.

බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් උදෙසා අනුමත කළ සිවුරු වර්ග තුනක් වේ.
1. පාංසුකූල චීවරය.
2. ගහපති චීවරය.
3. කඨින චීවරය.
තැන් තැන්වල විසිකර දමා තිබෙන හෝ වැටී තිබෙන අයිති කරුවන් නැති රෙදි කැබලි එකතු කොට සෝදා පිළිවෙළකට අමුණා මසාගත් සිවුරු මූලික වශයෙන් පංශුකූල සිවුරු නමින් හඳුන්වයි. මුල් යුගයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා මෙම සිවුරු පරිහරණය කළහ. ගිහියන් විසින් මසා පූජා කරන සිවුර හා නොමසා පුජා කරන ලද රෙදිවලින් සකසාගත් සිවුරු මේ නමින් හඳුන්වයි.
භික්ෂුවක් වස් සමාදන් වී මහා පවාරණය කළ පසු තුන් සිවුරට අමතරව භාර ගැනීමට අනුමැතිය ලැබී ඇති සිවුරයි. මෙය පිළිබඳව ඊළඟ පරිච්ඡේදයෙහි කරුණු දැක්වෙන හෙයින් මෙහි සංක්ෂිප්තව තොරතුරු දක්වමු.
මහා වග්ගපාළියට අනුව බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් පාංසුකූලික වස්ත්‍ර සිවුරු වශයෙන් පරිභෝග කළ බව පෙනේ.
“භගවා භන්තේ, පංසුකූලිකො, භික්ඛු, සංඝොච”
මේ අනුව සිවුර පිළිබඳව කිසිදු හැඟීමක් නූපදවා හුදෙක්ම සිවුර පරිහරණයෙහි මූලික අරමුණ ගැන පමණක් අවධානය යොමු කරමින් පාංසුකූලික වස්ත්‍ර පරිහරණයට යොමු වූ බව පෙනේ. ලජ්ජා භය සහිත වූයෙන් විලිබිය වසාගනු සඳහා ද උෂ්ණයෙන් වන පීඩාවන් දුරුකිරීම සඳහාද සීතලෙන් වන පීඩා දුරු කිරීම සඳහා ද මැසි මදුරු ආදි සතුන්ගෙන් වන කරදර නසනු සඳහාද සිවුරු පරිභෝග කළහ. එමගින් කිසිසේත්ම ලෞකික අරමුණක් ප්‍රකට වූයේ නැත. එහෙත් බුදුරජාණන් වහන්සේ ගහපති චීවරය අනුමත කළහ. දිනක් ජීවක කෝමාරභච්ච තෙමේ බුදුන් වහන්සේ වෙත පැමිණ වරයක් ඉල්ලුවේය. තමාගේ රෝගීන් සුවපත් කිරීමේ කුශලතාවය ඇගයීම සඳහා චන්ඩ පජ්ජෝත රජු විසින් සීවේය්‍ය වස්ත්‍ර යුගලයක් දෙන ලදී. එය බොහෝ වස්ත්‍රයන්ට ලක්ෂ ගණන් වස්ත්‍ර යුගලයන්ට වඩා අතිශයින් ශ්‍රේෂ්ඨ ද උතුම් ද වේ. එම වස්ත්‍ර යුගලය පිළිගන්න අනුමැතිය ලබා දෙන ලෙස ජීවක කෝමාරභච්ච විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එම කාරණය ගැන අවධානය යොමු කළ උන්වහන්සේ එය අනුමත කළහ.
“අනුජානාමි භික්ඛවේ, ගහපති චීවරං යො ඉච්ඡති පංසුකූලිකො
හොතු, යො ඉච්ඡති ගහපති චීවරං සාදියතු”

යනුවෙන් බුදුන් වහන්සේ ගහපති චීවරය අනුමත කළහ. යමෙක් කැමැති නම් පංසූකූලික වේවා යමෙක් කැමති නම් ගහපති චීවරය ඉවසාවා, මහණෙනි, කුදු මහණ අගය ඇති යම් කිසිවකින් ලද දෙයම සතුටු වීම වර්ණනා කරම් යැයි තවදුරටත් පැහැදිලි කළහ. මෙයත් සමඟම භික්ෂූන් වහන්සේලාට ගහපති චීවර බහුලව ලැබුණේය. එයට අමතරව පොරෝණා සළු, පටපණු නූලෙන් කළ පොරෝණ, සළු හා කොඳු පලස් ආදියද ලැබුණේය. මෙසේ භික්ෂූන් වහන්සේලා තම රුචිකත්වය අනුව ගහපතී චීවර හෝ පංසුකූලික වස්ත්‍ර හෝ දැරීමට නිදහස ලැබුණේය. මෙම ප්‍රඥප්තින් සමඟ භික්ෂූන් වහන්සේට අගය ඇති නැති සිවුුරු ලැබුණේය. එසේම කවරක් සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් අනු දක්නා ලද කවර සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් නොඅනු දක්නා ලදැයි ගැටලුවක් ඇති විය. එම කරුණු බුදුරදුන් වහන්සේට දන්වන ලද අතර එහිදී සිවුරු වස්ත්‍ර හයක් අනුමාන කළහ.
”අනුජානාමි භික්ඛවෙ. ඛ්චීවරානි, ඛොමං තප්පාසිතං කොසෙය්යං කමබලං සාණං භංගං ති”
මෙම ශික්ෂාපදයට අනුව සිවුරු වස්ත්‍ර හය මෙසේය.
1. ඛොමං – කොමු පිළි.
2. කප්පාසිකං – කපු පිළි.
3. කොසෙය්යං – පට පිළි.
4. කමබලං – කම්බිලි.
5. සාණං – හණවැහැරී පිළි.
6. භංගං – මේ පස් නූලෙන් මුසු පිළි.
මෙම වස්ත්‍ර වලින් කළ සිවුරු ද ගහපති සිවුරුද, පංසුකූල සිවුරුද වශයෙන් සිවුර වර් ග කිහිපයක් උපන්නේය. එහි දී උද්ගත වූ ගැටලුව වූයේ කවර සිවුරක් දැරීම උචිත ද නොඑසේ නම් යමෙක් සිවුර වර්ග දෙකක් පරිභෝග කිරීම ගැළපේද යන්නයි. ඒ අනුව බුදුන් වහන්සේ වදාළේ යමෙක් ගෘහපති චීවරය ඉවසන්නාහු විසින් පංසුකූල සිවුරු ඉවසන්නටද සුදුසු බවත් ඒ දෙකින්ම සතුටු වීම අනුමත කරන බවත්ය.
සිවුරේ සැකැසීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ අවධානය යොමු විය. ඒ අනුව දිනක් භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සිට දක්ෂිණාගිරිය දක්වා චාරිකාවෙහි වැඩියහ. ඒ අතරතුර මගධ ක්ෂේත්‍රය දුටහ. එහි ස්වභාවය සිවුරෙහි සැකැස්මට ඉතාම යෝග්‍ය වූයෙන් මෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත වූ හෙයිනි.
”අද්දසා ඛො භගවා මගධකේඛනහං අචවිබද්ධං පාලිබද්ධං මරියාදබද්ධං සිංඝාටකබද්ධං”

ඒ අනුව මගධ ක්ෂේත්‍රය ඝනරැස් ලියදි බැන්දා වු දිගින් හා පළලින් මහමියර බැන්දා වූ අතරතුර කුඩා මියර බැන්දා වු සතර හන්දි බැන්දා වූ එකක් විය. එය ආනන්ද තෙරුන්ට පෙන්නුවේය. ඒ අනුව සිවුරු කපා මැසීමට මෙසේ උපදෙස් දුන්හ.
“උස්සහසි ත්වං ආනන්ද, භික්ඛුනං එවරූපානි චීවරානි සංවිදහිතුනනි උසස්හාමි භගවානි “

එසේම සිවුරක තිබිය යුතු විවිධ කොටස් ද තවදුරටත් මෙසේ පැහැදිලි කර ඇත.

”කුසිමපි නාම කරිස්සති, අඩඨකුසිටම්පි නාම කරිස්සති,මණ්ඩලමවි නාම කරිස්සති, අඩඨමණ්ඩලම්පි නාම කරිස්සති, විවට්ටමපි නාම කරිස්සති, අනුවිවට්ටම්පි නාම කරිස්සති, ගී වෙය්යකම්පි නාම කරිස්සති, ජඬෙඝය්යමකම්පි කරිස්සති, බාහන්තම්පි නාම කරිස්සති”
1. දීගනුවාව - දිග් අතට ඇති සිවුරෙහි වාටිය.
2. කෙටිනුවාව – පහළට ඇති සිවුරෙහි වාටිය.
3. ලොකුකඩ – සිවුරෙහි ඇති විශාල කොටු.
4. කුඩා කඩ – සිවුරෙහි ඇති කුඩා කොටු.
5. වස් අන්ත – සිවුරෙහි මැද කොටස.
6. ඇළ අතු – වසා අන්තේ දෙපස ඇති කොටස්.
7. ගී වෙය්ය – ගෙළ පටි හෙවත් බෙල්ල ආසන්නව සිටින කොටස.
8. ජඩෙගය්ය – පාදයේ කෙණ්ඩා මත ගෑවෙන කොටසෙහි පිහිටි පටිය.
9. බාහන්න – නූවා අතු හෙවත් බාහුව මත සිටින කොටස.

මෙසේ සිවුර සැකසීමේ අරමුණ කිහිපයක් දැක්විය හැකිය.

1. ඡන්නකං – කැබලි වලට කැපීම.
2. සත්ථලුඛං – ආයුධයෙන් කැපු හෙයින් රළු වීම.
3. සමණසාරුප්පං – පැවිද්දන්ට සුදුසු වීම.
4. පච්චත්ථික්යාංච අනභිජක්ධිතං පසමිතුරන් විසින් නොපැතීම.
මෙම කරුණු සතරින් ගම්‍යමාන වන්නේ සිවුරේ විවිධ කොටස් ඇතිව සකස් කරන ලද්දේ එහි ආරක්ෂාව සඳහා බවයි. කැබලිවලට වෙන් කිරීමෙන් එහි අගය හීන වේ. එමගින් සිවුර පරිහරණය කරන්නාට එහි ඇලීමක් ඇති නොවන අතර අන් අයකුට එයින් ප්‍රයෝජනයක් ගත නොහැකි වේ. සුවපහසු වස්ත්‍රයක් හැදීමෙන් භික්ෂූ ජීවිතයේ අරමුණට බාධා පැමිණේ. ආයුධයකින් කැපවීමෙන් වස්ත්‍රයෙහි සුව පහසුව නැති වීමෙන් එහි හුදෙක්ම රළු බව ඇතිවේ. මේ නිසා වස්ත්‍ර පරිභෝග කරන්නාට ඒ පිළිබඳව ආශාවක් ඇති නොවේ. එහෙයින්ම එම වස්ත්‍රය සියලු දුක් නැති කිරීමෙන් නිවන සාක්ෂාත් කරන භික්ෂුවට ඉතාමත් යෝග්‍ය ය. මෙය දැරිමෙන් එම ගමන තවදුරටත් වහා අවසන් කළ හැකිය.
භික්ෂූන් වහන්සේලාට බහුල වශයෙන් සිවුරු ලැබෙන්නට විය. මිනිස්සු සිවුරු ගෙන ආරාමවලට පැමිණියහ. එම සිවුරු පිළිගන්නෙකු නොවුයෙන් යළිත් සිවුරු රැගෙන නිවෙස්වලට ගියහ. ඒ නිසා සිවුරු පරිභෝගයන් සමඟ විවිධ තනතුරු ඇති විය. එය හුදෙක්ම සිවුරු පරිභෝගයේ ආරක්ෂාව සඳහා විය. එම විවිධ තනතුරු ස්ථාන හා ඒවායෙහි ස්වභාවය මෙසේ දැක්විය හැකිය.
1. චීවර පටිග්ගාහක
යම් භික්ෂුවක් ඡන්දයෙන් අගතියට නොයන්නේ ද ද්වේශයෙන් අගතියට නොයන්නේද මෝහයෙන් අගතියට නොයන්නේ ද බියෙන් අගතියට නොයන්නේද ගත් නොගත් දෙය දන්නේද එබඳු කරුණු පහකින් යුක්ත භික්ෂුව චීවර පටිග්ගාහක හෙවත් සිවුරු පිළිගන්නකු බවට පැමිණීම අනුකූලය.
2. චීවර නිදහකට
චීවර පටිග්ගාහක භික්ෂුව සිවුරු පිළිගෙන සිවුරු එහිම හැර දාම ගියේය. ඒවා තැන්පත් කිරීමක් නොවුයෙන් සිවුරු තැන්පත් කරන්නෙකු අනුමත කළ අතර ඔහු ද කරුණු පහකින් යුක්ත විය යුතුය. ඔහුද ඡන්දයෙන් අගතියට නොයන්නේද ද්වේශයෙන් අගතියට නොයන්නේද, බියෙන් අගතියට නොයන්නේද මෝහයෙන් අගතියට නොයන්නේද තැන්පත් කළ නොකළ දෙය දන්නේද එබඳු වූ භික්ෂුව සිවුරු තැන්පත් කරන තනතුරට සුදුසුය.
3. භාණ්ඩාගාරයක් සම්මත කිරීම
සිවුරු තැන්පත් කරන භික්ෂුවට ඒ සඳහා යෝග්‍ය ස්ථානයක් නොවීය. ඒ නිසා භාරගත් සිවුරු මණ්ඩපවල , රුක් මුල්වල, අගුවල තැන්පත් කළ අතර ඒ නිසා එම සිවුරු වේයන්, මීයන් කෑහ. ඒ නිසා බුදුන් වහන්සේ වෙහෙරක්, අඩ පියසි ගෙයක් හෝ සිවුු ගෙයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ භාණ්ඩාගාරයක් වශයෙන් අනුමත කළහ.
4. භාණ්ඩාගාරික තනතුර
භාණ්ඩාගාරියෙහි සිවුරු ආරක්ෂිත නොවුයෙන් ඡන්ද දෝස භයාදි සතර අගතියට නොපැමිණි රකින නොරකින ලද දේ දන්නා වු භික්ෂුව භාණ්ඩාගාරික තනතුරට පත්විය. සමහර භික්ෂූහු භාණ්ඩාගාරිකයා පහ කළේය. යමෙක් ඔහු පහකරන්නේ ද එම භික්ෂුවට දුකුලා ඇවැත් වේ. මින් පසු ලැබූ සිවුරු බෙදාගන්නටද භාග්‍යවතුන් වහන්සේ අවකාශ ලබා දුන්හ.
5. චීවර භාජක තනතුර
එසේ භාණ්ඩාගාරයට ලැබුණූ සිවුරු බෙදීම සඳහා සතර අගතියට නොපැමිණි බෙදු නොබෙදු දෙය දන්නා වූ භික්ෂුව ඒ සිවුරු බෙදන්නකු හෙවත් චීවර භාජක තනතුරට සුදුසු බව දැක්වූහ.

එකළ භික්ෂූන් වහන්සේලා තමාට ලැබුණු වස්ත්‍ර ගොම හා පඬු වර්ණ මැටියෙන් පඬු පෙවීමෙන් වහා දුර්වර්ණ වූයෙන් සිවුර සඳහා වර්ණයක් නියම කරන්නට සිදු විය. කැබලි එකතු කර සකස් කර ගත් සිවුර එකම පැහැයක් ගැන්වීම සඳහා එකම වර්ණයක් ගැන්වීම සඳහා පඬු පොවනු ලැබේ. සිවුර පඬු පෙවීම සඳහා පඬු වර්ග හයක් භාග්‍යවතුන් වහන්සේ අනුමත කර ඇත්තාහ.

“අනුජානාමි භික්ඛවෙ. ඛ් රජනානි, මූල රජනජ ඛන්ධරජනං
නචරජනං පන්තරජනං,පුපථරජනජ, ඵලරජනං”

එනම්,
1. මුල් පඬු, 2. දඬු පඬු 3. පොතු පඬු 4. කොළ පඬු 5. මල් පඬු 6. ගෙඩි පඬු

එහෙත් ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා විවිධ වර්ණයෙන් යුතු සිවුරු පරිභෝග කළ හෙයින් පඬු පෙවීම සඳහා නොගත යුතු වර්ණ ද දැක්වේ.

1. නිල්, 2. දම් 3. කොළ 4. රෝස 5. කළු 6. තද රතු 7. තද කහ

මෙම වර්ණයන් සිවුරු පඬු පෙවීමට භාවිතා නොකරයි. සිවුරේ පැහැය විය යුත්තේ පඬු පැහැයයි. එය වීරාගි බවෙහි සංකේතයයි. සිවුර පඬු පෙවීමත් උපකරණ භික්ෂූන් වහන්සේලාගේ පරිහානියට යෝග්‍ය බව අනුමත කළහ.
1. පඬු පිසින උදුනක් 2. පඬු සැළියක් 3. පඬු කිණිස්සක් 4. පඬු හැන්දක් 5. පඬු කළයක් 6. පඬු ඔරුවක්
ආදිය වරින් වර අනුමත කළහ. මේ නිසා භික්ෂූන් වහන්සේලා පඬු පෙවු මගධ ක්ෂේත්‍රය මෙන් සැකසූ සිවුරු පරිභෝග කළහ.
මෙම පසුබිම යටතේ සිවුරු බහුලව පරිභෝග ද භික්ෂූන් තුළ අල්පේච්ඡ බව නැති වී ගොස් බහුභාණ්ඩ තත්වයට පැමිණියේය. ඒ නිසා සමහර භික්ෂූහු සිවුරු පොදි ඔසවාගත් හිසෙහිද සිවුරු විසි කොට කරෙහිද සිවුරු විසිකොට උකුළෙහි ද තබා ඒ ගමන් කරන භික්ෂූන් විශාලාවෙහි සිටින බව බුදුන් වහන්සේ දුට හ. ඒ නිසා සිවුරු පරිභෝජනයෙහි සීමා තබන්නට සිත් විය. එහෙයින් තුන් සිවුරක් මෙස් අනුමත කළහ.
“අනුජානාමි භික්ඛවෙ නිචීවරං දිග – ණං සංඝාමිං
එකචචියං උත්තරාසංගං, එකවචියං අන්තරාවාසකං”
මහණෙනි, මම දෙපටක් ඇති සඟල සිවුරුද එක් පටක් ඇති උතුරු සඟළ සිවුරුද, එක් පටක් ඇති අඳනා සිවුරුද අනුදනිමි” යනුවෙන් වදාළහ. මෙය වරදවා වටහාගත් භික්ෂූන් වහන්සේලා එක් තුන් සිවුරකින්ම ආරාමවෙහිද නවතුන් සිවුරකින් ගමෙහිද, අනෙක් තුන් සිවුරකින් නෑමෙහිද යෙදීමෙන් ඔවුන්ගේ අල්පේච්ඡ බව ඉක්මවා ගොස් සංකීර්ණත්වය පැමිණියේය. එහෙයින් අතිරේක සිවුරු දැරීම අනුමත නොකළහ.
එසේම අවස්ථානුකූලව විවිධ වස්ත්‍රයෙන් කළ සිවුරු මෙසේ අනුමත කළහ.
1. අලුත් වස්ත්‍රයෙන් හා වරක් සේදු වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති සඟල සිවුර.
2. එක් පටක් ඇති උතුර සඟල සිවුර.
3. එක් පටක් ඇති අඳනා සිවුර.
4. පැරණි වස්ත්‍රයෙන් කළ සිවුපටක් ඇති සඟල සිවුර.
5. පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති උතුර සඟළ සිවුර.
6. පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති අඳනා සිවුර.
7. පාංසුකූලයෙහි කැමති පමණ පට ඇති සිවුර.
8. කඩපිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුර

එසේම සිවුරෙහි අණ්ඩලීම ක්‍රම කිහිපයක් වශයෙන් දැක්වීය.
1. අග්ගළං – අණ්ඩලිම
2. තුන්නං – නූලෙන් එල්ලීම
3. ඔවට්ටිකං – වැටි කොට මැසීම
4. කණ්ඩුසතං – හෙවත් කෑලිපිට කෑලි ඇල්ලීම
5. දැළහී කම්මං – දැඩි කිරීම
මෙසේ සිවුරු පරිහරණ කළ අතර එහෙත් ජබ්බග්ගිය භික්ෂූහු විවිධ වර්ණ වලින් යුතු සිවුරුවලට අමතරව විනය නීති ඉක්මවා ගිය වස්ත්‍ර ද දැරූහ. එනම්,
1. නොසිඳු දාවලු ඇති සිවුරු දැරීම.
2. දික් දාවලු ඇති සිවුරු දැරීම.
3. මල්කම්කළ දාවලු ඇති සිවුරු දැරීම.
4. පෙණසේ ගෙතු දාවලු ඇති සිවුරු දැරීම.
5. සැට්ට දැරීම.
6. හිස් වෙළුම් දැරීම.
මෙහිදි බුදුරජාණන් වහන්සේ පැනවීම වූයේ ඒ සියල්ල දැරීම දුකුලා ඇවැත් වන බවයි.
”න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙනනබ්බානි . න
සබ්බපීනකානි චීවරානි ධාරෙනබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බ කණහානි චීවරානි ධාරෙත ‘බානි. න සබ්බ මහාරධගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බපානි, න සබ්බමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බානි, න අච්ඡින්නදසානි චීවරානි ධාරෙ තබ්බානි, න දීසදසානි චීවරානි ධාරෙනබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න ඵණදසානි චීවරානි ධාරෙතබ්බානි, න කකුචුකං ධාරෙතබ්බං ,නිරීටකං ධාරෙතබ්බානි, න වෙඨනං ධාරෙතබ්බං,යො ධාරෙය්ය ආපන්හි දුක්කටස්ස”
මේ ශික්ෂාපදයට අනුව පහත දැක්වෙන සිවුරු නො දැරිය යුතුයි. එනම්,
1. සියල්ල නිල් පැහැති සිවුරු නොදැරිය යුතුයි.
2. සියල්ල රන්වන් වූ සිවුරු නොදැරිය යුතුයි.
3. සියල්ල රතු පැහැති සිවුරු නොදැරිය යුතුයි.
4. සියල්ල මදටිය පැහැති සිවුර නොදැරිය යුතුයි.
5. සියල්ල කළු පැහැති සිවුරු නොදැරිය යුතුයි.
6. සියල්ල රන්මෑපිට පැහැති සිවුරු නොදැරිය යුතුයි.
7. සියල්ල මුසු පැහැති සිවුරු නොදැරිය යුතුයි.
8. නොසිඳී දාවලු ඇති සිවුරු නොදැරිය යුතුයි.
9. දික් දාවලු ඇති සිවුරු නොදැරිය යුතුයි.
10. මල් දාවලු ඇති සිවුර නොදැරිය යුතුයි.
11. පෙණ දාවලු ඇති සිවුර නොදැරිය යුතුයි.
12. අඟිය නො දැරිය යුතියි.
13. සැට්ය නො දැරිය යුතුයි.
14. හිස් වෙළුම් නො දැරිය යුතුයි.
යමෙක් මෙම නො දැරිය යුතු සිවුරු දරන්නේ නම් දුකුලා ඇවැත් සිදුවේ. සිවුරු පරිහරණ වැදගත් අංගයක් වශයෙන් වැසි සළුව දැක්විය හැකිය. මුල් යුගයේ භික්ෂූන් අතර වැසි සළුව භාවිතා නොවු අතර විශාඛා උපාසිකාවගේ ඉල්ලීම පරිදි අනුමත කළහ. විශාඛාවගේ ඇරයුම මත දානයට වඩින්නට භික්ෂූන් සූදානම් වීමට බොහෝ වේලාවක් ගතවිය. එයට හේතුව වූයේ ජේතවනයට වසින්නා වූ වැස්සෙන් භික්ෂූන්ගේ කය තෙමීමයි. ඉන්පසු භික්ෂූන් වහන්සේලා පසුදින බැහැර කළ සිවුරු ඇතිව කය තෙමූහ. අවසන සිරුරු සිහිල්කොට සුවපත් වු සිරුර ඇති භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ විහාරවලට වැඩියහ. මෙම කාරණය දුටු විශාඛා උපාසිකාව දන් වළදා අවසන් වු බුදුරජාණන් වහන්සේගෙන් වර අට්ක ඉල්ලීය. එයින් එක් වරයක් වූයේ වැසි සළුව පරිහරණ අනුමැතිය ලැබීමයි.
මෙසේ සිවුරු භාවිත සිවුරු ප්‍රයෝජනයට ගත නොහැකි කල්හි ඒවා විවිධ අරමුණූ විෂයෙහි යෙදෙව්වේය.
1. දිරාගිය සිවුරුවලින් ඇතිරිලි තනා ගැනීම.
2. දිරාගිය ඇතිලිරි වලින් බිසිඋර තනා ගැනීම.
3. දිරාගිය බිසිඋරවලින් බිමට අතුරන බුමුතුරුණු තනා ගැනීම.
4. දිරාගිය බුමුතුරුණුවලින් පාපිස්නා බිසි තනා ගැනීම.
5. දිරාගිය පාපිස්නාවලින් දුවිලි පිසදමයි.
6. පොළොව පිස දැමූ රෙදි කැබලි මැටි හා මිශ්‍රකර බිත්තිවල ආලේප කරයි.

එය භික්ෂූ ජීවිතේ මූලික අරමුණ ආරක්ෂා වන පරිදි අනන්‍යතාවය සුරැකෙන පරිදි විවිධ වෙනස්කම්වලට යොමු විය. නමුත් එය පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පැවත එම විශේෂ ලක්ෂණයකි.

යහපතක්ම වේවා.
නිවන් මඟ පිණිසම වේවා.
(සටහන - අමිල රුවන්)

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සැහැල්ලු ජීවිතයක සැබෑ ස්වරූපය බාහිරින් මනින්න එපා

 

මහනුවර අස්ගිරි මහා විහාරයේ

කාරක සංඝසභික හා උපාධ්‍යාය ධුරන්ධර
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි

බුදුපියාණන් වහන්සේ සල්ලහුකවුත්ති යන සංකල්පයෙන් අපට පෙන්වා දී ඇත්තේ සැහැල්ලු දිවි පැවැත්ම යි. මේ කරුණත් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගේ සාර්ථක භික්ෂු ජිවිතයේ ඵල නෙළා ගැනීම අරමුණ කොට දේශනා කර තිබෙන අර්ථයක්.

ගිහිගෙයි සියලු බන්ධනවලින් ඇලීම්, බැඳීම්වලින් වෙන්ව, විවෙකී ජිවිතයක් අරමුණු කොට වඩාත් පහසුවෙන් ඉක්මනින් නිවන් මඟ සාදා ගැනිම අරමුණු කොට කටයුතු කරන භික්ෂුව හැම විටම සැහැල්ලු, චාම් සරල දිවි පැවත්මක් ඇත්තකු බවට පත් විය යුතු වෙනවා.

ඉතින් ගේ දොර හෝ, තමන් සතුව හෝ තමන්ට පරපුරෙන් අයත් වන්නට තිබුණු හෝ හැම දෙයක්ම අත්හැර පැමිණි භික්ෂුව නැවත ඊට වඩා වැඩි දෙයක් එසේත් නැත්නම් යාන වාහන, ඇඳපුටු, ගෘහභාණ්ඩ, වෙනත් විසිතුරු මන පිනවන, කන් පිනවන, ඇස පිනවන නොයෙක් නොයෙක් උපභෝග පරිභෝග වස්තුන් කෙරේ හඹා යන චරියක් ඇත්තකු බවට පත් නො වීමේ වැදගත්කමයි මේ කරුණින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ.

තවදුරටත් පැහැදිලි කරනවා නම්, එයින් ප්‍රකාශ වන්නේ බහුභාණ්ඩික විය යුතු නොවන බවයි. එසේ තමන්ට ලැබෙන දෙය හෝ ලැබුණ දෙය පිළිබඳ සුභර වන තත්වයෙන් ජිවිතය පවත්වා ගෙන යනවා වගේ ම වැඩි වැඩියෙන් තමන්ට යම් යම් දේ දායක පක්ෂයෙන් ලැබුණත් ඒවා කෙරෙහි ගිජු බවක් දක්වා වැඩි වැඩියෙන් එයට රුචි වෙමින් කල් ගෙවන්නේ නම්, එයින් තමන් වහන්සේ බොහෝ භාණ්ඩ රැස්කරගත් අයකු බවට පත් වී ඇති බවයි පෙනෙන්නේ.

එතකොට භික්ෂුව වෙතින් තමන් කරන්නට අරමුණු කර ගත් මඟ ඉබේ ම තම සන්තානයෙන් ගිලිහී යන තත්වයක් ඇති වෙනවා . එපමණක් නොව කහවස්ත්‍ර පොරවා ගත් සිවුරු දරන්නකු පමණක් බවට පත්වෙනවා. එය භික්ෂු ජීවිතය නොවන බවයි බුදුරජාණන් වහන්සේ මෙම අර්ථයෙන් පෙන්වා දෙන්නේ.

ඒ මොකද භික්ෂුවට තිබෙන එකම බර තමන්ගේ ශරීරකූඩුව පමණ යි. කුරුල්ලාට තිබෙන පියාපත් බර වැනි සුළු බරක් පමණයි. ඉතින් එවැනි භික්ෂුව හරිම සැහැල්ලුවෙන් තමයි කල් ගෙවන්නේ.

උන්වහන්සේ සිව්පසය පරිභෝග කරන්නේ සුඛෝපභෝගි දිවි පැවත්මක් අරමුණු කරගෙන නොවෙයි. උන්වහන්සේ බඩු පොදි ගහගෙන යන ජිවිතයක් ගත කරන්නේ නැහැ.

එහෙත් යම් පමණකට කාලයේ ගෙවීයාමත් සමඟ භික්ෂු ජිවිතය මේ සැහැල්ලු බවෙන් තොර වී ඇති සෙයක් පෙනෙනවා. ඇත්තෙන් ම භවභෝග සම්පත් එක්රැස් වූ විට ඒකාන්තයෙන් ම එසේ සැහැල්ලු බව ගිලිහෙන බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. බාහිර ආටෝප සහිත ජීවිතයට, විවිධ විලාසිතාවන්ට ඇබ්බැහි වීම මේ සැහැල්ලු බව දුරුවිමට හේතු වෙනවා. මේ නිසාම ආධ්‍යාත්මික ගුණවගාවෙන් ද පිරිහෙනවා. මොකද තම චිත්තසන්තානයේ නිරන්තරයෙන් රාගාදි කෙලෙස් බහුල වීම නිසයි. මේ අභ්‍යන්තර තත්වය පිරිහී ගියහම වන්නේ බාහිර වශයෙන් අමුතුම ආකාරයෙන් ආටෝප සහිත, නැති ගුණ මෙන්ම, නැති සිල් පෙනෙන ආකාරයෙන් බොහෝ පිරිස් පිරිවරාගෙන සමාජය ඉදිරියේ අමුතුම විලාසිතාවක් ඉදිරිපත් කර ගෙන, අනිත් අය මුළාවන තත්වයෙන් කටයුතු කර තමන් අන් අයට වඩා ශීලාදී ගුණ දහමෙන් පෝෂණය වී ඇති තත්වයක් සමාජය ඉදිරියේ දිගහැර පාමින් කටයුතු කිරිම යි.

බුදුරජාණන් වහන්සේ මේ බව වරක් කොසොල් මහ රජතුමාට පැහැදිලි කර දුන් බවක් සූත්‍ර පිටකයේ එන සත්තජටිල සූත්‍රයෙන් ප්‍රකට වෙනවා.

එනම්, දිනක් අපේ බුදුරජාණන් වහන්සේ හමුවීමට කොසොල් මහ රජතුමා සිරිත් පරිදි දෙව්රම් වෙහෙරට පැමිණ සතුටුසාමිචි කථාබහක යෙදී සිටියා ඒ අවස්ථාවේ ඒ අසලින් වැටි තිබුණ මාර්ගයේ සත්තජටිලයන් මහපිරිස් පිරිවරාගෙන ගමන් කරමින් සිටියා. එක්වරම රජතුමා එම මහපිරිස් පිරිවරා යන සත්තජටිලයන් දැක බුදුරජාණන් වහන්සේගෙන් වහා ඉවත් වී අර මහමඟ යන පිරිස් පිරිවරාගත් සත්තජටිලයන් ඉදිරියට ගොස් දෙපාමුල වැඳ වැටී තමන් පසේනදි කොසොල් රජු බව පවසමින් මහත් ගරුබුහුමන් දක්වමින් කියා සිටියා.

මේ පිරිස් එතැනින් නික්මුණු පසු නැවතත් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ තමන් ඒ ගරුබුහුමන් කළේ බොහොම සිල්වත්, ගුණවත්, කෙලෙස් නැසූ පිරිසකට බව පවසමින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටියා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රජතුමා අමතා ප්‍රකාශ කර සිටියේ බාහිර පෙනුමෙන්, සැරසුමෙන් කෙනකුගේ ආධ්‍යාත්මය කිරා මැන බැලීමට නොහැකි බවත්, ආධ්‍යාත්මයෙන් අපිරිසුදු බොහෝ පිරිස් තමන්ගේ නැති සීලාදි ගුණ පෙන්වීමට මේ ආකාරයෙන් තමන්ගේ පරිවාර සම්පත්තිය ද පෙන්වමින් ක්‍රියා කරන බවයි.

ඇත්තෙන් ම මෙයින් පැහැදිලි කර දී තිබෙන්නේ මේ ආධ්‍යාත්මික වශයෙන් සැහැල්ලු ජිවන ප්‍රතිපදාවක සැබෑ තත්වය මේ ආකාරයෙන් බාහිර කරුණු මත තේරුම් ගැනීමට අපොහොසත් බව වගේම, යම් යම් අයගේ සැහැල්ලු ජීවන ප්‍රතිපදාවේ තරම දැක්ක දුටුව තරමින් මැනීම, ඇගයිම නොකළ යුතු බවයි.

ඉතින් මේ භික්ෂු ජිවිතයට අදාළ වන මේ සැහැල්ලු ජිවන පැවැත්ම ගිහිජීවිත ගතකරන උදවියට ද සැබවින්ම අදාළ වන කරුණක්. සැහැල්ලුවෙන් කල් ගෙවන ගිහි ජනතාවට කිසිදු බරක් දැනෙන්නේ නැහැ.

අද රූපවාහිණි හා වෙනත් ජනමාධ්‍ය තුළින් මේ මිනිස් සිත ඇද බැඳගෙන එක් එක් නිෂ්පාදන සම්බන්ධයෙන් ජනතාවගේ ආකර්ෂණය ලබා ගන්නට මොනතරම් උත්සාහවත් වෙනවා ද කියන එක රහසක් නොවේ. එදාවේල බොහොම අපහසුවෙන් වුණත් සපයා ගන්නා ජිවිතයක් ගත කළත් ණයතුරුස් වී හෝ මේ ආකර්ෂණය කර ගන්නා විලාසිතා විවිධ ආකාරයෙන් ඉදිරිපත්වන විට එවැනි බඩුමුට්ටු එක්රැස් කර ගැනීමට වෙර දරන පිරිස් නම් කොපමණ ඉන්නවාද කියන එක අමුතු කරුණක් නොවෙයි. අපි එක නිදසුනක් වශයෙන් ගත්තොත් අප භාවිත කරන ජංගම දුරකථනය දැන් බැලුවොත් සාමාන්‍යයෙන් ලංකාවේ ජනගහනය ලක්ෂ 220 ක් පමණ වුවත් දුරකථන භාවිතය ලක්ෂ 350 ඉක්මවා තිබෙන බවයි සමීක්ෂණ මඟින් පෙන්වා දී ඇත්තේ.

ඒ විතරක් නොවේ වෙළඳපොළට අලුුතෙන් මාධ්‍ය මඟින් හඳුන්වා දෙන විවිධ මාදිලියේ දුරකථන මිල දී ගැනීමටත් නොකා නොබී හරිහරියට උනන්දු වෙනවා. මේ තත්වය ඇඳුම් පැළඳුම්, පාවහන්’ විශේෂයෙන් සුවඳ විලවුන්’, රුපවාහිනී යන්ත්‍ර ආදි විවිධ අංශ කෙරෙහි තදින් බලපානවා. ඉතින් මේ සැහැල්ලු දිවි පැවැත්මට අවශ්‍ය දේ ද? නැහැ. අද තාක්ෂණික වශයෙන් දියුණු ලෝකයේ ජිවිතය පහසු කරන අත්‍යවශ්‍ය උපකරණ තිබෙනවා. ඒ ගැන නොවේ මේ පවසන්නේ.

සැහැල්ලු දිවි පැවැත්මට අවශ්‍ය මූලික කරුණු හැටියට බදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් අංග හතරමයි ගිහි ජනතාවටත් අදාළ වන්නේ. ඒවා ජීිවත්වීමේ මූලික අවශ්‍යතාවන්. එනම් ඇඳුම් පැළඳුම්(චිවර) ආහාර(පිණ්ඩපාත) වාසස්ථානය(සේනාසන) බේත්හේත්(ගිලානප්‍රතයය) යන හතර. ඉතින් මේ කරුණු හතර ගිහි ජිවිතයට ගළපා පිරිමසාගන්න ආකාරයෙන් සැහැල්ලු වීම තමා වැදගත් වන්නේ.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කඨින සිවුරේ කතාව

 

දඩල්ල වාලුකාරාම විහාරවාසී

භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන කාලයේ කොසොල් රට පාවා නුවර වැසි පිණ්ඩපාතික වූ ද, පාංශුකුලික වූ ද, ආරණ්‍යවාසී වූ ද ධූතාංගධාරී භික්ෂූන් වහන්සේ තිස් නමක් සාකේත නුවර වස්විසූහ. අවසානයේ වස් පවාරණය කොට මහ වැසි වසිද්දීම සැවත් නුවර බලා පිටත්වූහ.

මාස කිහිපයක් පුරා ඇදහැලුණු ධාරානිපාත වැසි නිසා මාර්ගය වලවල්හැරී මඩගොහොරු බවට පත්ව තිබුණි. තබන තබන පියවර ලිස්සනසුලු විය. මඩෙහි වැටෙමින් ද, වැස්සට තෙමෙමින් ද දිය බේරෙන සිවුරුවලින් යුතුව ක්ලාන්තව ශීතලෙන් වෙව්ලමින් දෙව්රමට වැඩම කොට බුදුරජාණන් වහන්සේ වන්දනා කළහ. මෙම භික්ෂු පිරිසට අනමතග්ග සංයුක්තයෙන් දහම් වදාරා සසරේ ඇති බියකරු බව පෙන්වා වදාළහ. මෙම ශ්‍රාවක පිරිස අරමුණු කරගෙන

මහණෙනි වස් වැස නිම කළ භික්ෂුන් වහන්සේගේ පහසුව සඳහා කඨිනයක් අනුදනිමි’යි කඨිනයක් ඇතිරීමට අනුදැන වදාළහ.

කඨිනයක් ඇතිරීමට සුදුසු කවර වස්ත්‍රයකින් වුව ද සිවුරක් කිරීමට හැකි ය. මහා වග්ග පාලියේ වස්ත්‍ර වර්ග දහ හතක් (17) පෙන්වා දී තිබේ.

අලුත්ම වස්ත්‍රයක්, අලුත් වස්ත්‍රයකට සමාන වූ රෙදි කඩක්, රෙදි කැබැලිවලින් කළ සිවුරක්, පාංශුකූල වස්ත්‍රයක්, වෙළෙඳසල් දොරටුවෙහි අතහැර දමා තිබී අහුලාගත් වස්ත්‍රයක්, කලින් ඇඟවීමක් නැතිව ලැබුණ වස්ත්‍රයක්, කලින් අනුසස් නොකීමෙන් ලද වස්ත්‍රයක්, තාවකාලික නොවූ වස්ත්‍රයක්, කලින් තැන්පත් කොට නොතැබූ වස්ත්‍රයක්, නිසඟි නොවූ වස්ත්‍රයක්, කප් බිංදු තැබූ වස්ත්‍රයක්, තනිපට සිවුරක්, අඳනයක්, එදිනම කඩ කපන ලද අතු පහක් හෝ ඊට වැඩි ගණනක් ඇති සිවුරක්, පුද්ගලයකුට අයිති වීම් වශයෙන් ඇතිරීමෙන් ලද සිවුරක්, මැනවින් අතුරන ලද එම සීමාවෙහි භික්ෂුන් විසින් අනුමෝදන් වන ලද කඨිනය, මනා කොට අතුරන ලද කඨිනය ලෙස දක්වා තිබේ.

වස් විසීමෙන් පසු තෙමීගත් සිවුරුවලින් යුතුව බුදුරජාණන් වහන්සේ දකින්නට වැඩිය තිස්නමක් පාව්‍යෙයක නුවර භික්ෂූන් මුල් කොටගෙන කඨිනය පනවන ලදි. එය කඨිනයේ නිදානය නම් වේ. කඨිනය කුමක් පිණිස වේද? වස් විසූ භික්ෂුන් වහන්සේට පහසු විහරණය පිණිස තුන්සිවුරට අතිරේකව කඨින සිවුර ලබා ගැනීමට අනුදැන වදාරා ඇත.

කඨිනය යැයි කියන්නේ කුමක් නිසාද? නොසෙල්වෙන, නොබිඳිය හැකි, කම්පා නොවන, ස්ථාවර ආනිසංස ගෙන දෙන බැවින් එයට කඨිනය යැයි කියනු ලැබේ.

වස් විසීමට ආරාධනා කළ පින්වතුන් හෝ කවර සැදැහැවතකුට වුවද වස් වසා නිම කළ භික්ෂුවකට පූජා කළ හැකි ය.

පෙර වස් පවාරණය කළ භික්ෂුවකට පමණක් කඨින චීවරය ලබා ගත හැකි ය. මෙය සංඝරත්නයට පූජා කළ පසු සංඝරත්නය විසින් එබඳු සුදුසු භික්ෂුවකට කඨින චීවරය පැවරිය හැක.

ඉහත සඳහන් කළ වස්ත්‍රවලට අයත් වස්ත්‍රයකින් සිවුරක් මැසීමට ප්‍රමාණවත් රෙද්දක් ලබා දී එම වස්ත්‍රයෙන් දෙපට සිවුරක්, තනිපට සිවුරක් අඳන සිවුරක් වශයෙන් මසා නිම කර දීමට ද පිළිවන.

කඨින චීවරයක් හැමදාම පූජා කළ නොහැකි ය. වස් වසා අවසානයේ පවාරණයෙන් පසු චීවර මාසයේ එනම් වප් පොහෝ දා දින සිට ඉල් පුර පසළොස්වක පොහෝ දින දක්වා කාලය ඇතුළත පූජා කළ හැකි ය.

කඨින චීවරයක් පූජා කළ යුත්තේ භික්ෂුන් වස් විසූ විහාර සීමාව තුළදී ය. ඇතැම් විටක ගෘහ මන්දිරවලද සැදැහැවතුන් විසින් ඒ ඒ භික්ෂුන් වහන්සේ වස් වසවා ගනු ලැබේ. එවිට එම ස්ථානයේ දී කඨිනය දිය යුතු යි. ඉහත දැක්වූ කරුණු නවය පැරැණි ආචාර්යයන් වහන්සේ කඨිනය සම්බන්ධයෙන් පෙන්වා දී ඇති කරුණු ය. ඒ බව,

ලොව පවත්නා සියලු සියලු වර්ගයේ දානයන් නිරන්තරයෙන් අවුරුදු සියයක් දුන්නේ වී නමුත් එහි ආනිසංසය එක් කඨින දානයකින් සොළොස් කලාවෙන් එක් කලාවක් තරම් පමණ වේ. කඨින දානය ම උතුම් වේ.

මෙම පෘථිවි මණ්ඩලයෙහි ම සියලු දන්දීම් අතර සංඝරත්නයට පුදන ලද කඨිනය ම උතුම් වේ. මිනිස් ලොව උසස් මිනිස් සම්පත් ද, දෙව්ලොව උසස් දිව්‍ය සම්පත් ද, කෙලෙස් දුරු කිරීමෙන් ලබන අජර වූ ද අමර වූ ද නිවන් සම්පත් දක්වා සියලු සම්පත් කඨිනානිසංසයෙන් ලැබෙන්නේ යැයි නාගිතාපදානයේ ස්වකීය කඨින වර්ණනාව දේශනා කොට තිබේ.

කඨිනය ලබන පින්වත් ස්වාමීන් වහන්සේට ද ආනිසංස පහක් ලැබෙන බව දක්වා තිබේ.

1. ආරාමයෙහි භික්ෂුවකට නොදන්වා කුල ගෙවල්වල හැසිරිය හැකි ය.

2. අධිෂ්ඨාන කළ තුන් සිවුරෙන් තොරව රාත්‍රිය ගත කළ හැකි ය.

3. ගෞරවනීය ආරාධනාවකින් තොරව කරන ඉල්ලීමකට අනුව ගොදුරුගමෙහි දී ආහාරපාන ලබාගෙන වැළඳිය හැකි ය.

4. ආරාමයට ලැබෙන සිවුරු පිරිකර ළඟ තබා ගත හැකි ය.

5. කඨින චීවරය සමඟ ලැබෙන සියලු පූජා භාණ්ඩ තමාට ලබා ගත හැකිය.

මෙම වරප්‍රසාද පහ වප් පොහෝ දින සිට මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දකවා ලබා ගත හැකි ය.

මෙසේ සෑම අයුරකින්ම කඨිනයේ ආනිසංස උත්කර්ෂයෙන් වර්ණනා කොට ඇත්තේ සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව වර්ධනය කොට කුසලයට නැඹුරු කරවීමට ගත් උදාර ප්‍රයත්නයක් ලෙස බව සැලකිය හැකි ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සැනසීමෙන් ජීවත්වන්න සැලකිල්ලෙන් ආහාර ගන්න

 කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම
මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය
කෝට්ටේ සිරි පැරකුම්බා පරිවේණාධිපති
මහියංගණයේ පඤ්ඤානන්ද හිමි

බෞද්ධ ඉගැන්වීමට අනුව ආහාරය සිවු වැදෑරුම් වන බව සංයුත්ත නිකායේ ආහාර සූත්‍රය පෙන්වා දෙයි.

කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතනික ආහාර හා විඤ්ඤාණ ආහාර යනු එම සතර ආහාරයයි. උපන් සත්වයාගේ කායිකා හා මානසික පැවැත්ම පිණිසත්, අනුග්‍රහය පිණිසත් ඉවහල් වන මෙම සතර ආහාරයෙන් අපගේ අවධානය යොමු කරන්නේ කබලිංකාර ආහාර හෙවත් මුඛයෙන් ගනු ලබන ආහාර පාන භාවිතය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුදැයි විමසා බැලීමටයි.

ආහාර ගන්නා ආකාරය අනුව බුද්ධකාලීනව විසූ පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්වල දක්නට ලැබේ.

ආහාර හත්ථක යනු ආහාර ගත් පසු තවකකු විසින් අතින් අල්ලා එසවීමට තරම් ආහාර ගන්නා පුද්ගලයායි.

කාක මංසක යනු කුස පිරී තිබියදීත් කපුටකුට ඔහුගේ මුඛයේ ඇති ආහාර ගැනීමට හැකි තරම් ආහාර ගන්නා පුද්ගලයායි.

ආහාර ගත් පසු ආහාර ගත් තැනම වැටි සිටින්නා තත්‍ර වට්ටක නම් වේ.

සිය කුස පිරෙන තරම් ආහාර ගෙන ඉතිරිවන ආහාර තම සලුවෙහි ඔතාගෙන ගොස් අනුභව කරන්නා අලං සාටක නම් වෙයි.

භුත්තවමික නම් ආහාරයට ගිජු වී කුස පිරෙන තුරු ආහාර ගෙන ගිජුකම නිසා එකී ආහාර වමනය කොට නැවත අනුභව කරන්නායි.

මෙම පස් දෙනාගේ ස්වභාවය ශිෂ්ට සමාජයේ පිළිකුලට ලක් වන්නේ නමුත් බුද්ධ කාලයේ පමණක් නොව අදටත් මෙවන් අය සිටින බව අප මතක තබා ගත යුතු ය.

ආහාරයට ගිජු වී පමණ ඉක්මවා ආහාර ගැනීම කායික අපහසුතාවන්ට ඉවහල් වන බව සංයුත්ත නිකායේ එන දෝණපාක සූත්‍රය පෙන්වා දෙයි.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි කොසොල් මහ රජු මහත් කායික අපහසුතාවකින් පෙළෙන බව දුටු බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳ විමසීමේ දී තමන් ආහාර ගත් ගමන් ම බුදුන් වහන්සේ බැලීමට පැමිණි බවත්, ආහාර ගත් ගමන් ම නිසා අපහසු බවත් රජු ප්‍රකාශ කළේ ය.

එහිදී කොපමණ ආහාර ගන්නේ දැයි රජුගෙන් විමසූ බුදුන් වහන්සේට දැන ගන්නට ලැබුනේ හාල් නැලි දහසයක බත් රජු ආහාරයට ගන්නා බවයි. සාමාන්‍ය මිනිසකුට ඔරොත්තු නොදෙන මෙම ආහාර ප්‍රමාණය රෝගී වීමටත්, ඉතා ඉක්මනින් මරුවා කැන්දා ගැනීමටත් හේතු වන බව පෙන්වා දුන් බුදුන් වහන්සේ හැම කල්හි සිහි ඇතිව, භෝජනයෙහි පමණ දැන, ආහාර ගැනීමෙන් දුක් වේදනාවන් පහ වන බවත්, අනුභව කළ ආහාරය සෙමෙන් දිරවා, ආයුෂය රකින බවත්

මනුජස්ස සදා සතිමතෝ - මත්තං ජානතෝ ලද්ධ භොජනෙ
තනු තස්ස භවන්ති වේදනා - සනිකං ජිරති ආයු පාලනන්ති

යන ගාථාවෙන් පෙන්වා දුන්හ. එම උපදේශය පිළිබඳ අවධානය යොමු කළ රජු තමන් සමීපයෙහි සිටි සුදස්සන මානවකය අමතා එම ගාථාව ඉගෙන ගන්නා ලෙසත්, තමන් උදේ සවස ආහාර ගන්නා විට කියවන ලෙසත් පැවසී ය. ඒ අනුව ඔහු දිනපතා රජු ආහාර ගන්නා විට බුදුරජාණන් වහන්සේගේ උපදේශයට අනුව ප්‍රකාශ කළේ ය. එම උපදේශය නම් මේ ගාථාව නැට්ටුවකු මෙන් ගිය ගිය තැන නොකිය යුතු බවත්, රජතුමා ආහාර ගන්නා විට මුල් බත් පිඬුවලදී නොකිය යුතු බවත්, අවසන් බත් පිඩුව ගන්නා කල්හිම කිව යුතු බවත් ය. එසේ ගාථාව කී විට රජු එය නොකා එම බත් පිඩෙහි බත් ඇට ප්‍රමාණය ගණන් කොට පසු දින එම ප්‍රමාණයට සහල් ඉවත් කළ යුතු බවත් මෙලෙස දිනපතා බත් පිඩෙහි පමණට සහල් ඉවත් කරමින් සහල් නැලියක ප්‍රමාණය වැඩිම ආහාරය ලෙස අනුභව කරන තෙක් ක්‍රියා කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්හ. මෙලෙස ක්‍රියා කිරීමෙන් කල්ගත වන විට රජුගේ සිරුර සැහැල්ලු විය. පැවති ශාරීරික අපහසුතා පහ වුණි. දිනක් සිය සැහැල්ලු සිරුර පිරිමදිමින් රජු ප්‍රකාශ කළේ බුදුන් වහන්සේ තමන්ට මෙලොව අභිවෘද්ධියෙන් හා පරලොව අභිවෘද්ධියෙන් ද අනුකම්පා කළ බවයි.

මෙම කතාව ආශි‍්‍රත දේශනයෙන් මතු කර ගත හැකි කරුණු කිහිපයක් පවතී. ඉන් එකක් නම් ආහාරයෙහි පමණ නොදැන රසයට ගිජුව ආහාර ගැනීම ශාරීරික මෙන්ම මානසික යහපැවැත්මට ද හානිකර බවයි. ශාරීරික අපහසුතාවන්, වේදනාවන්, නිද්‍රාශීලිත්වය හා ඒ සමඟම පැන නඟින අපහසුතා මෙසේ කායික හා මානසික ව්‍යාකූලත්වයට හේතු වෙයි.

ආහාර පාලනය කළ යුතු බවට වෛද්‍ය උපදේශයක් ලද විගස බොහෝ දෙනා කරන්නේ කලක් පුරුදු වී සිටි ආහාර රටාව ඉතා සීඝ්‍රයෙන් බැහැර කරමින් ආහාර පාලනය කිරීමයි. එය ටික දිනක් කිරීමේ දී මානසික බලපෑම මත හෝ කායික හේතූන් මත ශාරීරික දුර්වලත්වයන් ඇතිවීමටත්, ආහාර පාලනය පිළිබඳ මානසික පසුබෑමක් ඇතිවීමටත් හැකි ය. එවන් අවස්ථාවක දී පියවරින් පියවර තමන්ගේ සිතටත් කයටත් නොදැනෙන අයුරින් ආහාර පාලනය කිරීම වඩාත් ප්‍රායෝගික බව සහල් නැලි දහසයක බත් කලක් මුළුල්ලේ ආහාරයට ගෙන පුරුදුව සිටි රජු සහල් නැලියක බත් ආහාරයට ගැනීමට පියවරෙන් පියවර තමන්ටත් නොදැනීම පුරුදු වීමෙන් පෙනේ.

ආහාර ගත යුත්තේ කවර අරමුණක් සාක්ෂාත් කර ගැනීමට ද යන්න භික්ෂූන් වහන්සේ දානය වැළඳීමේ දී සිදු කරන ප්‍රත්‍යවේක්ෂාවෙන් මැනවින් පැහැදිලි වේ. ජවය පිණිස, මදය පිණිස, සැරසීම පිණිස, අලංකාරය පිණිස නොව කයෙහි පැවැත්ම පිණිසත්, යැපීම පිණිසත්, බඹසර රැකීම පිණිසත්, පැරණි වේදනා දුරු කිරීමට හා නව වේදනා ඇති නොවීම පිණිස දානය වළඳන බව සිහියෙන් මෙනෙහි කරයි. එසේ දානය වැළඳීමේ දී රසයට ගිජු වීමකින් තොරව කුසගින්න නිවා ගැනීම ම පරමාර්ථ කොට ගෙන දානය වැළඳීමෙන් මනස සකස් වෙයි. මෙහි ඇති යම් යම් කරුණු ගිහියාගේ ස්වභාවය අනුව වෙනස් වුවත් ගිහි පැවිදි භේදයකින් තොරව කවුරුත් ආහාර ගන්නේ ශරීරයේ පැවැත්ම පිණිසත්, කුසගින්නෙන් ඇතිවන අලුත් හා පැරැණි අපහසුතාවන් මඟ හරවා ගැනීම පිණිසත් ය.

එබැවින් ආහාර පරිභෝජනයේ දී ශරීරයට හිතකර හා ප්‍රමාණය හැඳින ආහාර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

දියවැඩියා රෝගය තවත් බෝ නොවන රෝග ගණනාවකට මඟ පාදන රෝගයකි. මෙම දියවැඩියා රෝගයට හේතු වන සාධක අතර මූලික වන්නේ ආහාර පරිභෝජනයෙහි පවතින වැරදි සහගත තත්ත්වයයි. එමෙන්ම මෙම රෝගය පාලනය කර ගැනීමට හැකි වන්නේ හෝ නොහැකි වන්නේ ආහාර ගැනීමේ පිළිවෙළ අනුව ය.

එසේම වත්මන් ලෝකය මුහුණ දෙන තවත් ප්‍රබල රෝගී තත්ත්වයක් වන්නේ පිළිකාවයි. දිව පිනවීමේ නොතිත් ආශාවෙන් ගනු ලබන ක්ෂණික හා කෘත්‍රිම ආහාර නිසා අද පිළිකාව දැඩි ලෙස හිස ඔසවමින් සිටියි. ධනය ඉපයීම එකම පරමාර්ථය කර ගත් තරගකාරී ව්‍යාපාරික ලෝකය මානව වර්ගයාගේ යහ පැවැත්ම හෝ සෞඛ්‍ය පිළිබඳ අවධානයක් යොමු නොකොට නිෂ්පාදනය කරනු ලබන රස කාරක මිනිසාට මාරයාගේ සෙවනැලි සමීප කරවීමට සමත්ව සිටියි. ඇස දිව පිනවන, එහෙත් තම ජීවිතය බිලි ගැනීමට සමත් වන කෘත්‍රිම හා ක්ෂණික ආහාරයන්ගෙන් බැහැර වී සිටීමට තරම් ස්වයං ශික්ෂණයක් තමන්ට තිබිය යුතු ය.

ලෝකයේ එක පසෙකින් මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රජාවක් නිර්මාණය වෙද්දී තවත් පසකින් අධිපෝෂණය නිසා පීඩා විඳින ප්‍රජාවක් ද වාසය කරති. අධි පෝෂණයට ලක් වූවන් ඉක්මනින් මරුවා සමීපයට යෑමට මඟ පාදා ගනු ලබයි. තම පමණ ඉක්මවා රස තෘෂ්ණාවෙන් ආහාර ගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇත. මව්පියන්ගේ වටිනාම සම්පත දරුවන් වන අතර එම දරුවන්ට දිගු කලක් නිරෝගීව හා දීර්ඝායුෂ්කව විසීමට නිවැරැදි ආහාර රටාවන් හුරු කරවීම මවුපියන්ගේ වැදගත් යුතුකමකි.

ජීවිතයට මොන තරම් සම්පත් තිබුණත් නිරෝගී බව අහිමි නම් එය මහත් අවාසනාවකි. මිනිසකුට ඇති උතුම්ම ලාභය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ආරෝග්‍ය පරමා ලාභා යන්නයි. එනම් නිරෝගිබව උතුම්ම ලාභය බවයි. මෙම උතුම්ම ලාභය වන නිරෝගී බව ඇති කර ගැනීම පිණිස ආහාර පාන ගැනීමේ දී සැලකිලිමත් වී සැනසිලිමත් ජීවිතයකට මඟ පාදා ගැනීමට අදිටන් කර ගනිමු.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ධර්මය හදවතින් ම පිළිගන්න

 බළංගොඩ ශ්‍රී ධර්මානන්ද

පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි

මේඝිය හිමියෝ තම සිත් ගත් අඹ උයනට වැඩමකර භාවනාව සඳහා ගසක් මුල වැඩ සිටියහ. මෙහිදී මොන තරම් උත්සාහ කළ ද සිත එකඟ කර ගැනීමට නොහැකි විය. විවිධ අරමුණු කරා සිත දුවන්නට විය.

මෙම අඹ උයන සංසාර ගමනෙහි ආත්ම පන්සියයක් උද්‍යාන ක්‍රීඩාවේ යෙදුණු හොඳට හුරු පුරුදු තැනකි. රජ සැප විඳිමින් නලඟනන් පිරිවරා නටමින්, විනෝදවෙමින් සැප වින්දනය කළ ස්ථානයකි. මේඝිය හිමිට මේ අඹ උයන දකින විට සිත් ගන්නා සුලු ස්ථානයක් බවට පත්වීමට හේතු වූයේ ඒ අතීත ආත්ම ගණනක වින්දනය කළ හුරු පුරුද්දයි.

මේඝිය හිමිට මෙහිදී සිත එකඟ කර ගැනීමට නොහැකි වී සිත අලවන විවිධ අරමුණු කරා ඉඳුරන් යොමුවූයේ ඒ අතීත අත්දැකීම් සම්භාරය නැවැතත් මතුවීමෙනි. මොන තරම් උත්සාහ කළ ද සිත එක්තැන් කර ගැනීමට නොහැකි විය. කෙලෙස් වර්ධනය කරන විවිධ දර්ශන හා සිතිවිලි තම සිතට ගලාගෙන ඒම වළක්වා ගැනීමට මේඝිය හිමි අසමත් විය.

තොරතෝංචියක් නොමැතිව තම සිතට ගලා ආයේ කාම සිතිවිලිය, ව්‍යාපාද සිතිවිලි ය, විහිංසා සිතිවිලි ය. තම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි බව තේරුම් ගත් මේඝිය හිමියෝ බුදුරදුන් හමුවට ගොස් අඹ උයනෙහි දී තම සිත තුළ ඇතිවූ ඒ වික්ෂිප්ත භාවය පැහැදිලි කළහ. බුදුරදුහු මේ ගමනට කැමැත්තක් ප්‍රකාශ නොකළේත්, මේඝිය හිමිගේ බලවත් ඉල්ලීමට නිහඬව සිට ඔබේ කැමැත්තක් කරන්නැයි පිළිතුරු දුන්නේත්, මේඝිය තෙරුනට මෙබඳු මානසික මට්ටමක් උදාවන බව කල් ඇතිවම දුටු නිසා ය.

අරමුණෙන් අරමුණට පැන පැන යන මේ සිතේ ස්වභාවයත්, සිතේ ඇතිවන සැලෙන ස්වභාවයත්, එක අරමුණක රඳවා තබා ගැනීමට අපහසුවන චපල ස්වභාවයත්, විවිධ අරමුණු කරා දුවන සිත එක අරමුණක තබා ගැනීමේ දුෂ්කරතාවත් පෙන්නුම් කරමින් මේඝිය හිමියනට බුදුරදුහු පහත දැක්වෙන ගාථාව දේශනා කළහ.

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී
උසුකාරෝච තේජනං

කරුණාවෙන් හා මෛත්‍රියෙන් තෙත් වූ හදවතක් ඇති බුදුහාමුදුරුවන් ධර්ම දේශනා කළේ මිනිසුන්ගේ හදවතට ය. ඒ ධර්මය මිනිස්සු හදවතින් ම පිළිගත්හ. බුදුරදුන් ධර්මය දේශනා කරන විට අසා සිටි හැම දෙනාම කීවේ” මේ කරුණූ කියන්නේ මට ම ය, මේ කියන්නේ මා ගැන ම ය” කියා ය. හැම කෙනකුගේ ම මනස විනිවිද දැකීමේ හැකියාව බුදුරදුන්ට තිබිණි.

මිනිසා යනු සිතේත්, කයේත් එකතුවකි. සමාජය තුළ ජීවත්වන බොහෝ දෙනා තම ශාරීරික සෞඛ්‍යය ගැන, ශරීරයේ පවිත්‍රත්වය ගැන සිතති. එය අලංකාර කර ගැනීම සඳහා අවශ්‍ය දෑ කරති. නමුත් මානසික සෞඛ්‍යය ගැන, මානසික පවිත්‍රත්වය ගැන උනන්දුවන අය ඉතා අඩු ය.

සිත යනු පුදුමාකාර බලවේගයකි. මුළු බුදුදහම පදනම් වී ඇත්තේ සිත මත ය. බුදුදහමේ මූලික අරමුණ හිත හදා ගැනීමයි. සංයත සංවර සිත සැප ගෙන දෙයි. අසංවර අසංයත සිත දුක ගෙන දෙයි.

බුදුදහමෙහි දක්වා ඇති ආකාරයට ‘සිත’ පිළිබඳ නිවැරැදි දැක්මක් වෙතත් කිසිදු ආගමක හෝ දර්ශනයක දක්නට නැත. බෞද්ධයින් වන අපගේ මූලික ම අවධානය යොමු විය. යුත්තේ මුළු ජීවිතය ම මෙහෙයවන මේ සිත ඵලදායි අයුරින් සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

අපිරිසුදු සිත යනු කුමක්ද? එය පාපකාරී සිතිවිලිවලින් හා කෙලෙස් සිතිවිලිවලින් යුක්ත එකකි. අසීමිත ආශාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හා භීතිය මේ පාපකාරි සිතිවිලිවලට අයත් ය. අසීමිත ආශාව මොන ක්‍රමයකින්වත් තෘප්තිමත් කළ නොහැකි ය. එක ආශාවක් තෘප්තිමත් වූ විට තවත් ආශාවක් පැන නඟියි. සිතේ ස්වභාවයත්, ක්‍රියාකාරිත්වයත් හඳුනා ගැනීම මෙහිදී ඉතා වැදගත්වනු ඇත.

අපි ඇසින් රූප දකිමු. කනින් ශබ්ද අසමු. නාසයෙන් ගඳ සුවඳ විඳිමු. දිවෙන් රස බලමු. කයෙන් ස්පර්ශය ලබමු. මේ සියල්ලම සම්බන්ධ වන්නේ සිතටයි.

ප්‍රභාෂ්වර සිත ප්‍රසන්න සිත බාහිරින් එන කෙලෙස් දූවිලිවලින් කිලිටි වන අයුරු ධර්මයෙහි පෙන්නුම් කර ඇත. පිරිසුදු වතුර වීදුරුවකට දූවිලි ටිකක්, මඩ ටිකක් එකතු වූ විට එය මඩ වතුරක් බවට පත්වෙයි. අපේ සිතත් ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි. කෙලෙස්වලින් තොර සිත පිරිසුදු ය. සිත අපිරිසුදු කරන කිලිටි කරන දූවිලි වර්ග පහක් බුදු දහමෙහි පෙන්වා දී ඇත. ඒවා පංචනීවරණ ලෙස අපි හඳුන්වමු.

කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චය හා චිකිච්ඡාවයි.

මේ පංචනීවරණ සිතේ ඇති ප්‍රභාෂ්වර ගතිය නැති කරයි.

කාමච්ඡන්දය යනු කම් සැපයට ඇති කැමැත්තයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලින් අප ව පිනවීම මෙයින් අදහස් කරයි.

විවිධ පාට වර්ග මිශ්‍ර වතුර බේසමක් තුළින් ඔබගේ මුහුණෙහි නියම ස්වරූපය දැක ගත නොහැකි ය. හේතුව පිරිසුදු ජලයට විවිධ පාට මිශ්‍රවී තිබීමයි.

මේ අයුරින්ම කාමච්ඡන්දයෙන් යුක්ත සිතට කිසිම දෙයක සැබෑ ස්වරූපය හඳුනාගත නොහැකි ය. කුසල් – අකුසල් , පින් – පව් කළ යුත්ත නොකළ යුත්ත අවබෝධ නොවනු ඇත. මේ අනුව කාමච්ඡන්දය මිනිසා අතරමං කරයි. විනාශකාරි මං පෙතකට මිනිසා ඇද දමයි. මාරයාගේ ග්‍රහණයට ඔහු අසුවනු ඇත.

ව්‍යාපාදය – යනු වෛරී සහගත සිතිවිලි ය. කිසියම් පුද්ගලයකු ගැන හෝ කිසියම් වස්තුවක් ගැන හෝ කිසියම් ක්‍රියාවක් ගැන ඇතිවන අපි‍්‍රය ස්වභාවය, විරුද්ධ ස්වභාවය, ව්‍යාපාදයේ මූලික ලක්ෂණයයි.

පෙර සිතිවිලිවලින් වන්නේ අප වඩාත් අයහපත්, අසහනකාරි මට්ටමට පත්වීමයි. තමාටත් , ගෙදරටත්, ගමටත්, රටටත් මෙයින් සිදුවන්නේ, වේදනාත්මක ප්‍රතිඵලයන් ය. නටන වතුර ඇති භාජනයක් තුළින් මුහුණෙහි නියම තත්ත්වය දැකීම දුෂ්කරයි. මේ අයුරින් ම වෛරී ද්වේෂ සහගත සිතින් බලන්නාට කිසිම දෙයක හරි වැරැදි නොපෙනේ.

ථීන යනු සිතේ ඇති අලස බවයි. මිද්ධ යනු සිතිවිලිවල ඇති රෝගී ගිලන් ස්වභාවයයි. එනම් අකර්මණ්‍ය බවයි. මෙම නීවරණය ඇති තැනැත්තා කම්මැලි ය, අලස ය, උදාසීන ය, උදේ කළ යුත්ත හවසට කල්දමයි. කිසියම් පොකුණක හෝ ජල බඳුනක පෙඳ පාසි ඇත්නම්, එයින් අප මුහුණ බැලුව ද නියම ස්වරූපය දැක ගත නොහැකි ය. ඒ අයුරින්ම ථීන මිද්ධ නීවරණය ඇති තැනැත්තාට ජීවිතයේ නියම ස්වභාවය වටහා ගැනීමට නොහැකි වනු ඇත. ගිහි ජීවිතයක් ගත්තත් පැවිදි ජීවිතයක් ගත්තත්, මේ නීවරණයෙන් යුක්ත නම් ඔහුගේ අරමුණ සිහිනයක් පමණි. දියුණුවක් නැත. විමුක්තියක් නැත.

උද්ධච්ච කුක්කුච්ච, උද්ධච්ච යනු සිතේ පවතින නොසන්සුන් බව යි. කුක්කුච්ච යනු පසුතැවීමයි. එනම් කළ වරද ගැන, නොකළ යහපත් දේ ගැන පසුතැවීමයි. මේ දෙකම සිත නොසන්සුන් කරයි. රැලි නැඟෙන සෙලවෙන වතුර බේසමකින් මුහුණ බැලීමට සමාන ය.

හරි වැරැද්ද – කළ යුත්ත නොකළ යුත්ත තේරුම් ගත නොහැකි ය. කරන කියන සියලු දේ බිඳ වැටේ. මොහුගේ ජීවන ගමන අවුලකි. සිත එක්තැන් කිරීම දුෂ්කරයි.

විචිකිච්ඡාව යනු සැකයයි. කිසියම් කරුණක් පිළිබඳ නිවැරැදි අවබෝධය අඩුකමයි. විමුක්තියට , නිවනට බාධාවන ඵලක අටකි.

බුදුරදුන් පිළිබඳ, ධර්මය පිළිබඳ, සංඝයා පිළිබඳ, ත්‍රිශික්ෂාවන් පිළිබඳ, පෙරභවය පිළිබඳ, පසුභවය පිළිබඳ, පෙර පසුභවයන් පිළිබඳ, පටිච්චසමුප්පාදය පිළිබඳ යනුවෙන් මේ සැක කරන ස්ථාන අට දක්වා ඇත.

මෙය බොරවූ මඩ සහිත ජල බඳුනකින් මුහුණ බැලීමට සමාන ය. සත්‍ය දැක ගත නොහැකි ය. විචිකිච්ඡාව තියෙන තාක්කල් ඔහුට නිවන වැසී ඇත.

මේ නීවරණ තුළින් සිතේ මතකය අඩු කරයි. සතිය නැති කරයි. සිත අපවිත්‍ර කරයි. අප කළ යුත්තේ පංච නීවරණවලින් සිත රැක ගැනීමයි. එවිට අප තුළ ඇති වන්නේ නිදහස් සිතක්. නිදහස් සිත සංසාර චක්‍රයට ගමන් නොකරයි. පුනර්භවයක් ලබා නොදෙයි. සියල්ලෙන් නිදහස් වූ සිත අපට උතුම්ම සුවය ලබාදෙනු ඇත.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤