ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

හැකියා නොහැකියා අත්හරින හැකියාව

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

තෙමඟුල සිහි කෙරෙමි.

අද අපි ඔය අයට පොඩි කාරණාවක්‌ සිහිපත් කරල දෙන්නයි කල්පනා කළේ. මේ කාරණාව පොඩියි වගේ වුනාට ඒක ඇත්තටම පොඩි නෑ. හැබැයි බැලු බැල්මට කෙනෙක්‌ මේ කාරණාව පොඩියි කියල සලකන නිසයි මේක පොඩි කාරණාවක්‌ කියල කිව්වේ.... මොකක්‌ද ඒ කාරණාව, අපි හොඳට තේරුම් ගන්ට ඕන අපි හැම කෙනෙකුටම යම් යම් හැකියාවන් තියෙනවා. ඒ වගේම නොහැකියාවන් තියෙනවා. හැබැයි හැමෝටම හැම දෙයක්‌මත් පුළුවන්ද...? ඒත් බෑ. ඒ වගේම හැමෝටම හැම දෙයක්‌ම නොහැකිද...? ඒත් නෑ. සමහර අය ඉන්නවා ගොඩක්‌ දේවල් බෑ. සමහර අය ඉන්නවා ගොඩක්‌ දේ පළුවන්. ඒ කියන්නේ සමහර අයගේ දක්‌ෂකම් වැඩියි. සමහර අයගේ අදක්‌ෂකම් අඩුයි. 

උදාහරණයක්‌ කිව්වොත් සමහරුන්ට හොඳට කට පාඩම් හිටිනවා. සමහර අයට අකුරක්‌වත් පාඩම් හිටින්නේ නෑ. අපි කවුරු ලඟත් මේ විදිහට යම් යම් දක්‌ෂකම් වගේම යම් යම් අදක්‌ෂකමුත් තියෙනවා. ඉතින් අපි දක්‍ෂ වෙන්ට ඕන මේ දෙකම පාවිච්චි කරල තමාගේ දියුණුව හදාගන්න. නමුත් බොහෝ දෙනෙක්‌ තමන්ට යම් හැකියාවක්‌ තියෙනවාද, ඒක ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ හානිය පිණිස. යම් නොහැකියාවක්‌ ඇත්ද, ඒකත් යොදාගෙන තියෙන්නෙත් හානිය පිණිසයි. 

දැන් සමහර කෙනෙක්‌ ඉන්නවා එයාට හොඳට කටපාඩම් හිටිනවා. ඒක දක්‍ෂතාවයක්‌. හැකියාවක්‌. සමහර කෙනෙක්‌ ඉන්නවා චතුර විදිහට භාෂාව හසුරවන්ට පුළුවන්. ඒක දක්‌ෂතාවයක්‌. සමහර කෙනෙක්‌ ඉන්ට පුළුවන් එයාට පිරිසගේ ආකර්ෂණය ඇතිකරගන්ට පුළුවන්. ඒක එයාගේ කුමක්‌ හෝ හැකියාවක්‌, එහෙම නැත්නම් ඒක එයාට තියෙන ලාභයක්‌. මෙන්න මේ හැකියාවන් හෝ ලාභයන් එයා පාවිච්චි කරනවා පිරිහීම පිණිස. ඒa කියන්නෙ ඒවා මුල් කරගෙන එක්‌කො එයා ඒකෙන් අධිමානය හදා ගන්නවා. එක්‌කො තව කෙනෙක්‌ එක්‌ක සසඳලා 'මමත් එයා වගේ' කියල හිතනවා. අපි හිතමු කෙනෙකුට පැය භාගයක්‌ විතර පහසුවෙන් භාවනාවේ වාඩි වෙලා ඉන්ට පුළුවන් කියල. ඉතින් එයා ඒක මුල් කරගෙන ආඩම්බරයක්‌ හදා ගන්නවා. එහෙම නැත්නම් 'මමත් අහවලා වගේ වෙන්න ඇති' කියල හිතනවා. ඒ පුංචි හැකියාව මුල් කරගෙන එයා ආඩම්බර කෙනෙක්‌ වෙලා. මානයට යනවා. එතකොට එයා නිවන් මඟින් ඈත් වෙලා. බොහෝ අයට මේක සිද්ධ වෙනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්‌වභාවය. ඉතින් මේ සාමාන්‍ය ලෝකයේ ස්‌වභාවය ඉක්‌මවා යන්ට අපි මහන්සි වෙන්ට ඕන. සාමාන්‍ය ස්‌වභාවය ඉක්‌මවා නොගියොත් අපට හැමදාම සාමාන්‍ය ලෝකයේ තමයි ඉන්ට වෙන්නේ. 

ඒ විදිහට, ධර්මය ඉගෙන ගන්න කොට, භාවනා කරන කොට පවා අපි තුළ ආඩම්බරය නම් හටගන්නේ අපි නිවන් මඟින් ඈතට ගිහිල්ලා. ඒ නිසා ඒ හැකියාවන් මුල් කරගෙන අපේ රාග, ද්වේෂ, මෝහ දුරු වෙන්ට උදව් වෙනවද කියල කල්පනා කරල බලන්න. එහෙම රාග, ද්වේෂ, මෝහ දුරු වෙන්න උදව් වෙන්නෙ නැත්නම්, ඒ හැකියාව ගැන කල්පනා කරල ආඩම්බරවීම වැඩක්‌ නෑ කියල කල්පනා කරන්න. ඒ වගේ හැකියාවක්‌ තිබුනොත් 'මේ හැකියාව මට කාටහරි උදව් කිරීම පිණිස තිබුනාම ඇති' කියල හිතන්න. මේ විදිහට ඒ හැකියාවන් මුල් කරගෙන අපේ හිතේ ඇතිවෙනවා නම් යම් අකුසලයක්‌ අන්න ඒක බැහැර කරල දාන්න.

ඊළඟට සමහර ගොඩක්‌ දෙනෙකුගේ තියෙන දෙයක්‌ තමයි, 'මට අරක බෑනේ, මට අහවල් දේ බෑනේ' කියල පසුතැවෙනවා. 'මට පාඩම් නෑ, මට භාවනා කරගන්න බෑ, මට මේක නොහැකියි...' කියල තැවෙනවා. ඒ තැවෙන්නේ තව කෙනෙක්‌ එක්‌ක සසඳල නේද...? 'අහවලාට නම් මේ දේ පුළුවන්, මට බෑ' කියල කල්පනා කරල තැවෙනවා. අන්න ඒකත් අපි බැහැර කරල දාන්ට ඕන. ඒක බැහැර කරල දාගත්තේ නැත්නම් අපි හීනමානෙට වැටෙනවා. එතකොට එයා පිරිහිලා යනවා. සමහර කෙනෙකුට අධික හීනමානයක්‌ තියෙන්ට පුළුවන්. ඉතින් අපි ඒක මුල් කරගෙන පිරිහෙන්ට ඕන නෑ. ඒක මුල් කරගෙන අපි කඩාවැටෙන්න ඕනද...? නෑ... ගොඩක්‌ අයට ඒක සිද්ධ වෙනවා. ඒ නිසා යම් නොහැකියාවක්‌ තිබුනොත් 'මට පුළුවන් විදිහට ඒක මම දියුණුකරගන්ට ඕන' කියල හිතන්න. 'මම මේ පසුතැවීම දුරුකරගන්ට මහන්සි වෙන්ට ඕන, ධර්මය පුරුදු කිරීමෙන් මේක දුරු වෙලා යයි.' මේ රාග, ද්වේෂ, මෝහ තියෙන තාක්‌ මේ දුක්‌ ස්‌වභාවයට අපිට මුහුණ දෙන්ට සිද්ධ වෙනවා...' මේ විදිහට කල්පනා කරල මේ හිතේ බිද වැටෙන ස්‌වභාවය දුරු කරගන්න. එහෙම නැත්නම් අපට දියුණුවක්‌ කරා යන්ට බැරිව යනවා. 

බොහෝ අයට සිද්ධ වෙන දෙයක්‌ තමයි, තමන්ගේ හැකියාවන් මුල් කරගෙනත් නොසන්සිදීම ඇති කරගන්නවා. නොහැකියාව මුල්කර ගෙනත් නොසන්සිදීම ඇතිකරගන්නවා. සන්සිදෙන්නේ නෑ. ඉතින් යම් නොහැකියාවක්‌ තියෙනවා නම් ඒ ඔස්‌සේ හිත විසිරුවා ගන්ට එපා...! මහත් අපහසුතාවයට පත් වෙන්ට එපා...! කල්පනා කරන්න... 'මේ ලෝකේ හැම කෙනෙකුටම හැම දෙයක්‌ම බෑ. ඉතින් මගේ යම් පුණ්‍ය ශක්‌තියක්‌ ඇත්ද ඒ ප්‍රමාණයට මට යමක්‌ පුළුවන් වෙලා තියනවා. ඒ ඇති.' කියල.ඒ විදිහට අපිට යමක්‌ ලැබුන ද, ඒ දේ ගැන හිතල සතුටුවෙන්න. නොලැබුන දේ ගැන හිතල දුක්‌ වෙන්ට එපා. අපි හැමෝටම යම් ප්‍රමාණයක යමක්‌ තියෙනවා. අන්න ඒකෙන් සතුටු වෙන්න. මොකද..? මේ සාමාන්‍ය ලෝකයේ දිනන්ට තියෙන හැකියාවන්, ඒවා අපට කොච්චර තිබ්බත් මහත් ඵල නෑ. සාමාන්‍ය ලෝකයේ දිනන්ට හේතුවෙන, පරදින්ට හේතුවෙන එක දෙයක්‌වත් අපි බාර නොගත යුතුයි. ඒක බාරගෙන වැඩක්‌ නෑ. 

මේ විදිහට අපිට කොච්චර හැකියාවන් තිබුනත්, නොහැකියාවන් තිබුනත් අපේ ධර්ම මාර්ගය තුළ ජයග්‍රහණය කිරීම සඳහා අපිට එකම එක හැකියාවක්‌ තිබ්බොත් ඇති. ඒ තමයි මේක කුසලය, මේක අකුසලය කියල අඳුර ගන්ට පුළුවන්කම. ලොව සැබෑම ජයග්‍රහණය සඳහා අන්න ඒ හැකියාව පමණක්‌ තිබුණත් ඇති. අන්න ඒ හැකියාව අපට තියෙනවා නම් අපට අකුරක්‌වත් පාඩම් නැතුවට කමක්‌ නෑ. අර කණ අත්සන ගහනවා කියල කියන්නේ (ඇඟිලි අත්සන) අන්න ඒකත් ඇති. ඒකත් බැරි නම් ඒත් කමක්‌ නෑ. වුවමනා කරන එකම හැකියාව තමයි මේක කුසලය, මේක අකුසලය කියල හඳුනගන්ට පුළුවන් හැකියාව. ඒ හැකියාව නැති කෙනෙකුට අහසින් යන්ට පුළුවන් වුනත් වැඩක්‌ නෑ.

බලන්න දේවදත්තට නොයෙක්‌ ඉර්ධි තිබුනා. ක්‍ෂ්ණයකින් වෙස්‌ මාරු කරගන්ට පුළුවන් වුනා. කොච්චර ලොකු හැකියාවක්‌ද...? හැබැයි ඒ හැකියාව එයාට වැඩක්‌ වුනාද...? නෑ. ඇයි ඒ හැකියාව එයාට ප්‍රයොජනයක්‌ නොවුනේ...? එයාට මොන හැකියාව තිබුනත් අර වුවමනාම හැකියාව තිබුනේ නෑ. එයාට මේක කුසලය මේක අකුසලය කියල අඳුරගන්ට බැරිවුනා. ඒ නිසා අපි කල්පනා කළ යුත්තේ පාඩම් තියෙනවාද... නැද්ද...? කියල නෙවෙයි. ඒකෙන් මම අදහස්‌ කරනවාද පාඩම් කරන්ට එපා කියල නෙවෙයි. 'මට පාඩම නෑ...' කියල වැළපෙන්ට එපා...! 'අරයට පාඩම් තියෙනවා, මට පාඩම් නෑ...' කියල හීනමානය ඇතිකරගෙන දුක සේ වාසය කරන්ට එපා...! මොකද ඒක අනිවාර්යය අවශ්‍යතාවයක්‌ නෙවෙයි. ඊලඟට පාඩම තියෙන කෙනා 'අරයට පාඩම් නෑ. මට පුළුවන්...' කියල ආඩම්බරයක්‌ ඇති කරගන්ටත් එපා. මොකද ඒකත් අනිවාර්යය වුවමනාවක්‌ නෙවෙයි. අපි බැලිය යුත්තේ අපට කුසල් අකුසල් අඳුනගන්ට පුළුවන්ද කියලයි. අන්න ඒ කුසල් අකුසල් හඳුනගන්ට යම් කෙනෙකුට නොහැකි නම් එයාට කොයිතරම් දක්‍ෂතා තිබුනත්, එයා කොයිතරම් දක්‍ෂතා උපදවා ගත්තත් සමහර විට ඒ දක්‍ෂතා එයාගෙත්, අනුන්ගෙත් නිවන් මඟ වැහෙන්ට උපකාරී වෙන්ට පුළුවන්. ඒකයි තියෙන අනතුර. ඒ මොකද අනෙකුත් දක්‍ෂතා මුල් කරගෙන එයා මාන්නයට, ආඩම්බරයට යනවා. 

මේ නිසා අපි තුළ දියුණු කරගැනීමට මහන්සි විය යුත්තේ මේ කුසලය, මේ අකුසලය කියල හඳුනා ගැනීමේ හැකියාවයි. ඒක ඉතාම අමාරු එකක්‌. මේ ලෝකේ අමාරුම දේ තමයි මේ කුසලය මේ අකුසලය කියල හඳුනා ගැනීම. යම් කෙනෙකුට මේ හඳුනා ගැනීම කරගන්ට පුළුවන් වුනොත්, ඒ දක්‍ෂතාවය ඇතිකරගත්තොත් එයා නිවන් මඟට පිවිසෙනවා. නිවන් මඟේ දිගටම කරන්නේ කුසල් උපදවා ගැනීම, අකුසල් දුරු කිරීමයි. එහෙනම් කුසල් අකුසල් හඳුනා ගන්ට පුළුවන් වීමම තමයි නිවන් මඟේ ආරම්භය. 

ඉතින් අපි ඒ දක්‍ෂතාවය ඇතිකරගන්නට මහන්සි වෙන්ට ඕන. එතන හීනමානයට යන්නෙත් නෑ. අධිමානයට යන්නෙත් නෑ. සම මානයට යන්නෙත් නෑ. එතන තියෙන්නේ සංසිදීම. එතන ආරවුල් හටගන්නේ නෑ. වාද විවාද හට ගන්නේ නෑ. එතන පිරිස බිඳිල යන්නේ නෑ. එතන තියෙන්නේ සමඟිය. මිත්‍රකම. එයාල කිරියි දියයි එකතු වුනා වගේ මිහිරි සේ වාසය කරනවා. ප්‍රීති ප්‍රමෝදයෙන් ඒ පිරිස වාසය කරනවා. 

ඒ නිසා බාහිර හැකියාවලට ලකුණු දීලා ඒ ඔස්‌සේ ඔබේ හිත පිරිහෙන්ට දෙන්ට එපා. ඒවාට ලකුණු දෙන්නම එපා. ඒවා වැඩක්‌ නැති දේවල්. රාගය ඇවිල්ලා ඒ රාග ගින්නෙන් හිත පිච්චෙන කොට, හිත ගිනි ගන්න කොට ඒ ගිනි නිවාගෙන සැනසීම ලබා ගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ.

ඒ වගේම තමයි ද්වේෂය ඇවිල්ලා ඒ ද්වේෂ ගින්නෙන් හිත පිච්චෙන කොට, හිත ගිනි ගන්න කොට ඒ ගිනි නිවාගෙන සැනසීම ලබාගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ. ඒ වගේම තමයි මෝහය ඇවිල්ලා ඒ මෝහ ගින්නෙන් හිත පිච්චෙන කොට, හිත ගිනි ගන්න කොට ඒ ගිනි නිවාගෙන සැනසීම ලබාගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ. හිතේ ඉරිසියාව ඉපදිලා ඒකෙන් හිත පිච්චෙන කොට, කුහකකම, එකට එක කරන ගතිය, වාද කරන ගතිය ඉපදිලා ඒවායින් හිත පිච්චෙන කොට ඒ ගිනි නිවාගෙන සුවපහසුව ලබාගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් අපට ඒකෙන් වැඩක්‌ නෑ. ශරීරය ලෙඩ වෙලා, ඒ ලෙඩවලට හිත යටවෙලා මහා දුකෙන් තැවෙන කොට ඒ ගිනි නිවාගෙන සුවපහසුව ලබන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් අපට ඒකෙන් වැඩක්‌ නෑ. කෙස්‌ පැහිලා, දත් කැඩිලා, හම රැලි ගැහිල, ශරීරය විකාර වෙලා වයසට යන කොට ඒකෙන් හිත කම්පා වෙලා මහා දුකෙන් අඩන කොට ඒ දුක නිවාගෙන සැනසීම ලබා ගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ. මරණයට ළං වෙලා මරණය ඉදිරියේ භයේ ගැහි ගැහී මහා දුකෙන් අඩන කොට ඒ ගිනි නිවාගෙන සැනසෙන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ. 

ඒ නිසා මේ සාමාන්‍ය ලෝකය දිනන්ට පුළුවන් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ, ඒක අපේ දුක සන්සිදුවන්නේ නැත්නම්. නමුත් යමෙකුට මෙයයි කුසලය, මෙයයි අකුසලය කියල තමන් තුළම කුසල් අකුසල් දැනගැනීමට යම් හැකියාවක් තියෙනවා නම් දුකෙන් නිදහස්‌ වෙන්ට උපකාර වන්නේ ඒකමයි. ඒ නිසා අපි කවුරුත් අපි ලඟ යම් සාමාන්‍ය හැකියාවක්‌ තියෙනවා නම්, ඒවායින් මත් වෙන්නේ නැතිව, ඒවායින් ආඩම්බර නොවී, අන් අයට උපකාර කිරීම සඳහා පමණක්‌ ඒවා පාවිච්චි කරන්ට ඕනැ. අපි කවුරුත් අප තුළ ඇති කරගැනීමට කැමති විය යුත්තේ සියලු ගිනි නිවීමෙන් සැනසීම ලබාගන්ට උපකාර වන කුසල් අකුසල් දැනගැනීමේ හැකියාවයි. ලෝකය උතුම් වන්නේ මේ හැකියාවෙන්ම යි. ලෝකය ශ්‍රේෂ්ඨ වන්නේ මේ හැකියාවෙන්ම යි. ලෝකය ශාන්ත වන්නේ, ලෝකය සුන්දර වන්නේ මේ හැකියාවෙන්ම යි...

සියලු දෙනාටම තෙරුවන් සරණ යි..!

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි

සදහම් මඟට පිවිසෙන ඔබට

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

 තෙමඟුල සිහි කෙරෙමි.

අප යම් දවසක දුකින් සිටියේ ද, කෙදිනක හෝ සතුටින් සිටියේ ද, එසේ නම් භාවනා පුහුණුව ආරම්භ කළ යුතු වන්නේ ද එතැනය. ඒ සත්‍යය පවතින්නේ මෙතැන වන නිසාය. දුකට මෙන් ම සතුටට පත් වන්නේ මනස ම වන නිසාය. එසේ නම් දුක හෝ සතුට නැති වන්නේ ද ඒවා පහළ වූ මනසින් මයි. ළිඳට වැටුණු මිනිසා ගොඩ විය යුත්තේ ද වැටුණු ළිං කටින්ම යි. අප කොපමණ අවස්‌ථා රාශියක දී දුකට පත් වී තිබේ දැයි දන්නා නමුත් දුකට පත් වූයේ කුමන හේතුන් නිසා ද යන්නත් දුක නැති කරන මාර්ගය ගැනත් කෙදිනක හෝ සොයා දැන ගැනීමට උත්සාහ ගෙන තිබේද? ඒ ගැඹුරු දැක්‌ම අපට ලබා ගැනීමට අපොහොසත් වී තිබීම මොන තරම් අභාග්‍යයක්‌ ද?

දුකෙහි ප්‍රභේද දෙකකි. ඉන් එකක්‌ වන සංස්‌කාර ස්‌වභාවය තුළ පවත්නා දුක සාමාන්‍ය ආකාරයෙන් පවතින දුක වේ. එකම ඉරියව්වකින් ටිකවේලාවක, සිටීම දුකය. හැඳගෙන ටික වේලාවක සිට සිටගන්නේ ආදී වශයෙන් ඉරියව් මාරු කරන්නේ මේ නිසා යි. අප සැපය හැටියට ගන්නා දෙය හා දුක අවබෝධ කර ගැනීම තුළින් ඒවා, අභිබවා නැඟී සිටීමේ ක්‍රමය බුදුන් වහන්සේ දැනගත් සේක. සංස්‌කාර ගමන් කරන්නේ ඒවාටම අවේනික ගමන් මාර්ගයක ය. අප කාටවත් අවශ්‍ය ආකාරයට ඒවා ගමන් කරවිය නොහැකිය. උපතේ සිට ළදරු, ළමා, තරුණ, මහලු අවධිවලට අපව ඇදගෙන යනු ලබන්නේ සංස්‌කාර වල ක්‍රියාකාරිත්වය විසිනි. අප ගන්නා හුස්‌ම පිට කළ යුතුමය. පිටකර නැවත හුස්‌ම ඉහළට ගෙන පෙනහලු පුරවා ගත යුතුය. මෙය නොකඩවා සිදු කළ යුතුය. හුස්‌ම ඉහළට ගැනීම පමණකින් නවතාලිය නොහැක. ජීවිතය යම් කාලයකට පවත්වා ගත හැක්‌කේ හුස්‌ම ඉහළ පහළ හෙළීමේ සංස්‌කාරමය ක්‍රියාවලිය නොනැවතී පැවතීම නිසා ය. මෝටර් රථයක එන්ජිමේ එක්‌ පිස්‌ටනයක්‌ උඩට එන විට අනෙක්‌ පිස්‌ටනය පහතට යයි. මේ ක්‍රියාවලිය නොනැවතී සිද්ධ වීම නිසා එන්ජිම ක්‍රියාත්මක වේ. ඉහළ ගිය පිස්‌ටනය ඉහළට ගොස්‌ නැවතුණොත් එවිගසම එන්ජිමේ ක්‍රියා කාරිත්වය නතර වේ. අපේ ශරීර යන්ත්‍රයද එබඳුය.

දෙවැනි වර්ගයේ දුක පිටතින් පැමිණෙන දුකය. අසනීපයකදී එන්නත් හා ශල්‍ය කර්ම ආදියේදී ද දැනෙන දුක මෙන් ම සුවිශේෂ දුකක්‌ වන්නේ දේවල් තදින් ආශාවෙන් අල්ලා ගැනීම හෙවත් උපාදානය නිසා ඇතිවන දුකය. උපාදානයේ තරමට ම දුක ද වැඩි වේ. ධර්මය දැකීම යන්නෙන් අදහස්‌ වන්නේ ලෝකයේ ස්‌වභාවය හරි හැටියට දැක ගැනීමයි. සංස්‌කාරික ක්‍රියාවලිය සොබා දහමට අනුව ඒ හැටියට ම සිද්ධ වේ. එය එසේම සිද්ධ වන බව අවබෝධ කර ගැනීම තමයි ධර්මය දැකීම යන්නෙන් අදහස්‌ කරන්නේ. අනිත්‍යතාව දැකීමත් එයම වේ. ලෝකය අප දන්නා පරිදි පවතින්නේ මේ අනිත්‍යතාව මත පදනම් වූ වෙනස්‌ වීම මතය. සෑම දෙයකටම ආවේනික වන අනිත්‍යතා ධර්මය දැකීම ඒවා අතහැර දැමීමට ඇති එකම මාර්ගය වන්නේ ය.

බුද්ධ දේශනාව පරිදි ලෝකයේ යථා ස්‌වභාවය අපට අවබෝධ කළ හැකි වන්නේ ධර්මය පුහුණු කිරීම හෙවත් භාවනාව තුළිනි. ලෝකයේ ඇත්ත ඇති සැටියෙන්ම දැක ගන්නා තුරු අපි ලෝකය හා ගැටෙනු ඇත. ගැටී දුක්‌ විඳිනු ඇත. එහෙම වෙන්නේ අපට අවශ්‍ය ආකාරයට අපේ ශරීරය ඇතුළු හැම දෙයක්‌ ම පැවතිය යුතුය යන හැඟීම ඇති නිසාය. සංස්‌කාර ධර්මයන්හි සැබෑ හැසිරීම දැනගත හැකි වෙන්නේ භාවනා පුහුණුව තුළිනි. කය වයසට යත්ම වැහැරී අබල දුබල වෙත් ම අපි දුක්‌ වෙමු. එහෙත් පලක්‌ නැත. එහි හැටි එසේ ම වේ. සංස්‌කාර ස්‌වභාවය දැනගත් පුද්ගලයාට රෝගයක්‌ වැළඳුණ විට මා මරණයට පත්වන්නට එපා යෑයි නිකමට වත් කියන්නේ නැත. මැරුණොත් එසේ වූවා වේ. නොමළොත් එසේ වූවා වේ, යෑයි කියනු ඇත. එහෙම වෙන්නේ ස්‌වභාව ධර්මය හඳුනාගත් මනසක්‌ තිබීම නිසාය. මේ කාරණය අපට වචන වලින් උඩින් පල්ලෙන් තේරුම් ගත හැකි වුවත් එය සැබෑ අවබෝධය නොවේ. සැබෑ වශයෙන් අවබෝධ කර ගෙන තිබේ නම් අකුසල් කරමින් විකාර නටන්නේ නැ. ලෙඩක්‌ හැදුන විට මරණයට පත් වෙතැයි බිය වන්නේ සැබෑ අවබෝධයක්‌ නැති නිසා නේද? මේ සැබෑ අවබෝධය ලබන්නේ භාවනාව තුළින්ය. සසරින් මිදීමට භාවනා පුහුණුව අවශ්‍යම යෑයි වදාළ හේතු දැන් අපට තේරුම් ගත හැකිනේද?

බුදු දහම එදාට මෙන්ම අදටත්, ඉදිරි කාලයටත් එක සේ අදාළ වේ. සත්‍යය වන කිසිවකට කාල නියමයක්‌ නැත. සෑම දෙයකම පවතින නොවෙනස්‌ වන ධර්මතාව වූ අනිත්‍යතාව අවබෝධ කර ගැනීම බුද්ධ ස්‌වභාවය අවබෝධ කර ගැනීමක්‌ ය. එවිට මා මගේ යන වැරදි ආකල්පය දෙදරා ගොස්‌ දේවල් හෝ පුද්ගලයන් හැටියට ගත හැකි කිසිවක්‌ නැත යන අනාත්ම ධර්මය අවබෝධ වීමට පටන් ගනී.

සතුටක්‌, සැපයක්‌ ඇති වූ විට එය මට අයිති දෙයක්‌ නම් එම සතුට සැපය මට අවශ්‍ය කාලයක්‌ නැතහොත් සදහට ම මා වෙත තබා ගත හැකි විය යුතුය. එහෙත් එය එහෙම වේද? කෝපයක්‌ ද්වේෂයක්‌ පැන නැඟුණු විට, වහාම එය මට අවශ්‍ය නැත. ඉවත් වන්න කියා පන්නා හැරිය හැකිද? සතුට හෝ තරහ අප කිසිවෙකු සතු දෙයක්‌ නොවන නිසා අපේ අණසකට ඒවා යටත් නොවේ. දුක හෙවත් කණස්‌සල්ලට හේතු වන්නේ සතුට කෝපය හෝ එවන් ඕනෑම සංවේදනයක්‌ මගේ පෞද්ගලික දෙයක්‌ හැටියට අල්ලාගෙන සිටීම නිසාය. මනස තුළ පහළ වන සතුට, ද්වේෂය, ආදරය. වෛරය ආදී කිසිවක්‌ අප රිසි පරිදි නොසිටින්නේ ඒවා හුදු මිරිඟුවක්‌ ම වන නිසාය. මනස මොන තරම් මායාකාරී දේවලට රැවටේදැයි කිවහොත් අප තුළ ද්වේෂය. තරහ, කෝපය ඇතිකර මුළාවට පත්කර තිබේද? ඒ කිසිවක්‌ අපට අයත් නොවේ.

පිරිසිදු කළ යුත්තේ සිතය

ශරීරය ඇතුළු සෑම දෙයකම පිරිසිදු කම රැක ගැනීමට වෙහෙසෙන අප අපේ හිත පමණක්‌ ඔහේ තිබෙන්නට ඉඩ දී බලා සිටීම අනුවණ කමක්‌ය. හිතේ කිලුට, අපවිත්‍ර කම, සසල කම අප ගණන් ගන්නේ නැත. අපේ ජීවිත තුළ මට, මගේ, මගේ ආත්මය යයි මුල් බැස ගෙන තිබෙන වැරදි දැක්‌ම (සක්‌කාය දිට්‌ඨිය) මුලිනුපුටා දැමිය යුතුය. මේ වැරදි දැක්‌මට හේතු වී තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය අනුව ඇස කන ආදී ආයතන සයයි. මේ කඩතුරාව, පාට කණ්‌නාඩිය ඉවත් කිරීම උදෙසා භාවනා පුහුණුව අවශ්‍ය වන්නේ කුමක්‌ නිසාද? පොත පත කියවීමෙන්, බණ ඇසීමෙන් අප තුළ වැඩෙන්නේ දහම් දැනුම යි. දැන ගත් පමණින් සිත අභ්‍යන්තරයට යෝනී ප්‍රදේශයට පිවිස පරිවර්ථනයක්‌ සිද්ධ නොවේ. හිත විසින්ම හිත පිරිසිදු කරන ක්‍රමය ලවා භාවනාව නිර්දේශ කර වදාළේ ඒ නිසාය. අපේ ජීවිතයේ සමස්‌ත කාර්ය සම්භාරය තීරණය කර හදා වඩා අප වෙත ප්‍රදානය කර දී තිබෙන්නේ හිතය.

එබැවින් අපේ ජීවිත වලට බලපා අපව හැසිරවීමට වග බලා ගන්නා හිත පිරිසිදුව තබා ගැනීමේ අතිමහත් වගකීම අපට තේරුම් ගැනීම අපහසුද? සක්‌කාය දිට්‌ඨිය යන වැරදි අවේෂය මුලිනුපුටා දැමීමෙන් හැර කෝපය, ද්වේෂය ආදී ඕනෑම අවේගයක්‌ සිතින් බදාගෙන දුක්‌ විඳීමෙන් නිදහස්‌ වීමට අන් ක්‍රමයක්‌ නැත. ඒ එකම ඉගැන්වීම හිත පුහුණු කිරීමයි. ඕනෑම දෙයක්‌ ස්‌ථිරව පවත්වා ගැනීමට සිතන ඕනෑම කෙනෙක්‌ දුකට පත්වීම ඒකාන්තය. හැම දෙයක්‌ම, හැම සිතිවිල්ලක්‌ම අස්‌ථිර බව දකින විට කල කිරීමට පත් වූවත් එසේ දකින දැක්‌ම නිසා ඔහුට සැනසිලි සුවය අත්වේ. ලෝකයේ හැටි නියම ආකාරයෙන් දැක ගන්නට ලැබීම මොන තරම් භාග්‍යයක්‌ ද? එය අන්ධ වී සිටි අපට ඇස්‌ ලැබීම හා සමාන වේ.

ධර්මය සැබැවින්ම අවබෝධ කළ හැක්‌කේ තමාගේම මනස හා ශරීරය ඇසුරිනි. ශරීරයේ ධර්මතා ශරීරයෙනුත්, මනස හා සම්බන්ධ ධර්මතා මනෝනේත්‍රය තුළිනුත් දැක ගත යුතුය. ශරීරය දෙස බැලිය යුත්තේ ද මනසින් ය. එසේ නැතිව සතුට ලබාගත හැක්‌කේ ගස්‌, වැල්, ගංගා, තණපිටි, කඳු, උද්‍යාන ඇසුරින් නම් නොවේ. සතුට හෝ දුක්‌ වේදනා පහළ වන්නේ අපේම ශරීරය හා මනස තුළ විනා අන් කිසිම තැනක නොවේ. පොත පත කියවා ඒවා තුළ ධර්මය සොයන්නට වෙහෙස නොවන්න. එවායින් අපට කිසි දිනක ධර්මය හමු නොවේ. පොත පතෙහි ඇතුළත් දේවල් අපේ අභ්‍යන්තරයට යොමු කොට විමසා බැලිය යුතුය. සත්‍ය ධර්මය පවතින්නේ අපේ ශරීරය හා මනස තුළ නිසාය. ශරීරය ගැන සොයා බැලීමට මනසට භාර දෙන්න. භාවනා පුහුණුව තුළින් මනසත් ශරීරයත් දැක ගන්න.

ධර්මය දකින්නේ ප්‍රඥවෙන්ය. භාවනාව තුළින් ශරීරය ගැන සොයා බලන විට ප්‍රඥව පහළ වේ. ප්‍රඥ ඇසින් ශරීරය පමණක්‌ නොව ලොව කොතැනක බැලුවත් ධර්මය දැකගත හැකිය. මුලු ලෝකය පුරාම දක්‌නට ලැබෙන්නේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ධර්මතා හැර අන් කිසිත් නැති බව ප්‍රඥ ඇසට හසුවේ. සම්මුතිය මතම පිහිටා ජීවත්වන අපට සත්‍යය නොපෙනේ. ගස්‌ ගල්, ඇළ දොළ, මිනිසා, ගවයා ආදී වශයෙන් දකින අප මේ හැම දෙයක්‌ම සම්මුතීන් බව අවබෝධ කළ යුතුය. මිනිසුන් වෙන්කර හඳුනා ගැනීමට හැඩ රුව හා නම් ගම් දී තිබේ. මිනිසා යනු නාම රූප ධර්ම පොදියක්‌ වශයෙන් හරි දැකීම ඇති තැනැත්තා හඳුනා ගනී. රූපය සතර මහා ධාතුන්ගෙන් සෑදී තිබේ. ලොව හැම දෙයක්‌ම සිව් මහා භූතවලින් නිර්මිත වේ. නාම යනු - වේදනා (විඳීම), සංඥ (හඳුනා ගැනීම), සංස්‌කාර (සකස්‌ වීම් ෙච්තනා කුසලාකුසල) විඤ්Æණ (දැන ගැනීම) යන සතරය.

සම්මුතිය අවශ්‍ය වන්නේ යමක්‌ හඳුනා ගැනීමටයි. සැබෑ ලෙසින් නම් පුද්ගලයෙක්‌, කෙනෙක්‌ නැත. ඇත්තේ පඨවි, අපෝ, තේජෝ, වායෝ යන මූලධාතු සතරින් සැකසුණු රූපයකි. මේ මා නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යනුවෙන් දැකීම උසස්‌ ම භාවනාව යයි බුදුන් වහන්සේ වදාළහ. කොයි මොහොතේ හෝ අපේ සිරුර මේ මූලධාතු සතරට බෙදී යන බවත් ඒ නිසා අනිත්‍ය බවත් මගේ නොවන බවත් අවබෝධ වනු ඇත. මෙය අවබෝධ කර ගැනීමට අපහසු විය හැක. එහෙත් දැන ගත නොහැකි දෙයක්‌ නොවේ. යම් හෙයකින් දැන ගතහොත් අපේ හදවත් තුළ නිරන්තරයෙන්ම ධර්මය පවතින නිසා ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන කිසිවක්‌ පැවතිය නොහැක. මක්‌ නිසා ද යත් අප හැම කෙනෙක්‌ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මූළධාතුන් ම මිස අන් විශේෂ යමක්‌ නොවන නිසාය. මෙසේ ලබන අවබෝධය තරම් උත්කෘෂ්ඨ අවබෝදයක්‌ තවත් තිබේද?

බුදුරදුන් දේශනා කළේ මෙතෙක්‌ නොවූ විරූ (පෙර බුදුවරුන් දෙසූ පරිදි හැර) දහමකි. ඒ වූ කලී සියලුම දුක්‌ඛ දොaමනස්‌සයන් සදහට ම නැති කර දැමිය හැකි දහමක්‌ය. ධර්මය ගැන යම් වැටහීමක්‌ තිබේ නම් අපකළ යුත්තේ අපට කරන්නට ඇති දෙය පමණි. අවශ්‍ය වන්නේ සිහියෙන් යුතුව විසීමයි. මිනිසුන් සුන්දරත්වයට වශී වෙයි. ඇලෙයි. සුන්දර දැයෙහි සෞන්දර්යය පවතින්නේ දින කීපයකට හෝ යම් සීමිත කලකට පමණි. වෙනස්‌ වීම, මැලවීයැම, දිරාපත් වීම එහි ධර්මතාවයි. බුදුන් වහන්සේ දේශනා කර වදාළේ සුන්දරත්වය දකින්න එහෙත් ඇලෙන්න එපා කියලයි. ප්‍රසන්න, හොඳ මනස්‌කාන්ත දේවල් වල එම ස්‌වභාවයන් ස්‌ථිර නොවේ. තාවකාලික ය. ස්‌ථිර වූ කිසිවක්‌ මේ ලෝකයේ නැත. සත්‍යය එයයි. සුන්දර දේවල්වල සුන්දරත්වය වෙනස්‌ වූ විට අපේ හද කම්පා වෙයි. හඬා වැළපේ. එහෙම වෙන්නේ ඒවායේ යථා ස්‌වභාවය වූ අනිත්‍යතාව, අස්‌ථිර බව නොදන්නා නිසාය. අපගේ දැකීමේ වරද එයයි. මෙම ස්‌වභාවය දැකීම ප්‍රඥව ඇතිකර ගැනීම වේ. සම්මා දිට්‌ඨිය ප්‍රඥව ජනිත කරයි.

අනිත්‍යතාව වනාහි ලොව සත්‍ය වූ ධර්මතාව යයි දැන් අපි දනිමු. දැන ගැනීම ප්‍රමාණවත් නැත. එය අප ධර්මය තුළින් දැක ගත යුතුය. ලස්‌සන යමක්‌ දකිනවිට එහි නොඇලී එය එසේ නොවේ යෑයි අපට ම පවසා ගත යුතුය. අවලස්‌සන දෙයක්‌ දකින විටද එසේ නොවෙතැයි පවසා ගත යුතුය. දේවල් තුළින් සත්‍යය දැක ගත හැකි වන්නේ එවිට ය. එසේම සත්‍යය නොවන දේවල් තුළින් සත්‍යය දැකීමටත් අස්‌ථිර දේවල් තුළින් ස්‌ථිරතාවක්‌ දැකීමට හැකි වන්නේ එවිටයි.

මෙසේ අප විස්‌තර කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක, දුකට හේතුව, දුකෙහි සංසිඳීම හා දුක නැති කිරීමේ මග යන සත්‍ය සතරය. මනස පුහුණු කිරීම තුළින් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය දැක ගත්විට දුක නැතිවේ. හැබැයි යමක්‌ ලබා ගැනීමේ ආශාවෙන් භාවනා නොකළ යුතුය. භාවනා කරන්නේ සියල්ල අත හැරීම සඳහාය. අවබෝධයට හෝ ඉගෙනීමට ආශාවක්‌ පවතින තෙක්‌ අවබෝධය නම් නොලැබේ. අප භාවනාව තුළින් කරන්නේ මෙය ආත්මයක්‌ නොවේ, යනුවෙන් දැකීමට හා මෙය මා හෝ කිසිවෙකු නොවේ යනුවෙන් දැකීමටය. ඒ වනාහි ගමනාන්තයට පැමිණ නතර වීම බඳුය. මෙසේ ශරීරය ද මනසද නැවතීමට පැමිණේ. මෙය තේරුම් ගැනීම අසීරුය. අවබෝධත්වයට පැමිණි විට සියල්ලම ධර්මය පවා අත්හැර දමනු ඇත. දුකෙහි සංසිඳීම යනු එයයි. ධර්ම පුහුණුවට වඩා තවත් ශ්‍රේෂ්ඨ දෙයක්‌ ලෝකය තුළින් නම් සොයා ගත් නොහැක. මුලු ලොවම උසුලනු ලබන්නේ ධර්මය විසින්ය. මිනිසුන්ගේ සිත් දැන් දැන් අවුල් වී ප්‍රචණ්‌ඩ වී බිහිසුනු වී තිබෙන්නේ ධර්මය කෙරෙන වඩවඩාත් ඈත් වී සිටින නිසාය. ධර්මය අප තුළ තිබේ නම් අප සෑහීමට පත්වනු ඇත.

ධර්මයෙහි ඇති සියල්ලම වාක්‍ය තුනකින් ප්‍රකාශ කළ හැකි වේ. 1. සබ්බ පාපස්‌ස අකරණං, 2. කුසලස්‌ස උපසම්පදා, 3. සචිත්ත පරියෝදපනං යනු ඒ කරුණු තුනය. බුදු වරු සියල්ලෝම මෙසේ වදාළහ. බුදු දහමේ හදවත වැනි මේ ගැන කාටවත් නිසි අවබෝධයක්‌ නැති තරම්ය. තුන් දොරින් ම සිදුවන අකුසල් වලින් වැළකිය යුතු බව සියලුම බුදුවරු දේශනා කළහ.

යහපත් දේවල් කිරීමට මිනිසුන්ට අවශ්‍යය. එහෙත් එය වචනයකට, සිතිවිල්ලකට පමණක්‌ සීමා වී තිබෙන්නේ සිත, කය, වචනය පළමුව පවිත්‍රව තබාගෙන කුසලය දෙසට සිත නොනැමීමයි. කිලිටි රෙදිකඩකට සායම් පෙවිය හැකිද? අපිරිසිදු රෙදිකඩක්‌ සායම් ගැල්වූ විට ලකයක්‌ නැත. එය තිබුනාටත් වඩා කැත වේ. මෙසේ තම තමන් අතින් සිදුවන වැරදි අත නොහැර යහපත් දේ කිරීමට යැමෙහි අර්ථයක්‌ තිබේද? වැරදි අතහරින්නේ කොහොමද? බොරු කීම, සොරකම, සතුන් මැරීම, මත් භාවිතය සුලභව සිදුවන අකුසල යන්ය. නිසරු දේවල් කතා කිරීම, ඉරිසියාව, මාන්නය, ලෝභ කම හා මසුරු කම, ආදී තවදුරටත් සිදු විය හැකි අකුසල් වේ. මේවායින් ඉවත් නොවී රැස්‌කරගන්නා කුසලය කෙබඳු වේද? අපිරිසිදු සිත කුසලයට නොනැමේ. රෙදිකඩ අපිරිසිදු නම් වර්ණ ගැන්වීමට පෙර හොඳින් සේදිය යුතුය.

'සබ්බ පාපස්‌ස අකරණං' යනු සියලුම පව් කම් වලින් දුරු වීමයි. පව් කර කර කුසල් සෙවීම වනාහි සෝද සෝදා මඩේ එබීමක්‌ වැන්න. බුද්ධාවවාදය කෙරෙහි නිරතුරුව සතිය පිහිටුවා ගත යුතුය. කරන්නට අදහස්‌ කරන දේ හා කරමින් සිටින දේ අතර පරස්‌පරය දැක ගත හැකි වන්නේ එවිටයි. අකුසල් මතට කුසල් මුසු කිරීමෙහි අර්ථයක්‌ තිබේද?

හොඳට නරකට දෙකට කටම යයි ආප්තයක්‌, දැනමුතු කමක්‌ තිබේ. මෙහිදී අප එය තවදුරටත් නිවැරැදි කරන්නේ නම් හොඳ නරක දෙකටම මුල් වන්නේ සිත කය හා වචනයයි. එය හරිදැයි සිතා බලන්න. අප අවධානය යොමු කළ යුතු තැන මෙතැනය. බොහෝ අපූරුවට ගෙය වත්ත පිටිය පිරිසිදුවට තබා ගන්නා අතරතුර අප නිකමටවත් සිත දෙස බලන්නේද? නිවස සේම සිතත් පිරිසිදු නම් පමණක්‌ කුසලයට යොමු වෙන්න. කුසලය කියන්නේ පිරිසිදු සිතක පමණක්‌ පහළ විය හැකි ෙච්තනාවකි.

හොස්‌ස දික්‌ කරගෙන, මුහුණ පුළුටු කරගෙන කිසිවක්‌ නොකරන්න. උයන පිහන විට, ඇඳුම් අපුල්ලන විට හිත ඒ දිහාවට පමණක්‌ යොමු කරන්න. මිදුල් අමදින විට හිත මිදුලත් ඉදලිනුත් බැහැරව නොයවන්න. අපි අතින් බොහෝ වැරදි සිදුවන්නේ තමන් දෙස නොබලන නිසාය. කාටවත් නොපෙනෙන්නට මත් දෙවල් භාවිතය වැනි දෙවල් කරන්නේ අකුසලයක්‌ නොවේ යෑයි සිතා ගෙන ද? එයින් රැවටෙන්නේ තමාමය. සිත ඔබේ අනුවණ ක්‍රියාව දෙස උපහාසයෙන් බලා සිටින බව දැන ගන්න. හෘදය සාක්‍ෂිය ඔබට කුමක්‌ කියාවිද? මේ පුද්ගලයන් කිසි දිනක ධර්මය නොදකිනු ඇත. ඕනෑම වැරදි දෙයක්‌ කරන්ට යන විට ඒ දෙසට ඔබේම සිත යොමු කරන්නේ නම්, එනම් හදවතින් බලන්නේ නම් එයින් මිදීමට බැරි කමක්‌ නැත. ධර්මය දකින්නේ එකවරම නොවේ. වැරදි අත හරිමින් ධර්මයේ පහස ලැබීමට හදවත විවෘත කර තබා ගන්න.

අයහපත හැර දමා යහපත පුහුණු කරන්නේ කොහොමද? කුසලස්‌ස උපසම්පදා යන බුද්ධෝපදේශය වරදවා තේරුම් අරගෙන කුසල් සොයමින් රට පුරා සැරිසරන්නේ මොකටද? ගත කරන ඕනෑම මොහොතක අපේ සිත් කුසලයට යොමු කළ නොහැකිද? නිකරුනේ මුදල් යහමින් වියදම් කරමින් විනෝදය යටිහිතේ තබා ගෙන රට පුරා සංචාරය කළ යුතු නොවේ. කළ යුත්තේ තම සිතම හඳුනා ගෙන කුසලය දෙසට නැඹුරු වීමයි. රට පුරා සැරි සැරූ බොහෝ දෙනෙක්‌ කුසල් මුන ගැසෙන තුරු කොපමණ දුර ගමන් කළත් ආපසු එන බව පෙනෙන්නේ හිස්‌ අතිනි. මේ දේවල් අප නොදන්වා නොවේ. සැබෑ වශයෙන්ම දැන ගැනීම නම් හදවතින්ම දැන ගැනීමයි. අපේ සිත් දැහැමි හා හොඳ නම් අප මොන දේවල්වලට මුහුණ පෑවත් හැම විටම සතුට පවතී. සිනාසීම ද කරන්නේ මුවින් පමණක්‌ නොව හදවතිනි. එසේම එම සතුට හෝ සිනහව තාවකාලික එකක්‌ නොවේ.

අපට අවශ්‍ය පරිදි යම් යම් දේවල් සිද්ධ වනවා නම් පමණක්‌ අපි සිනහසෙමු. සතුටු වෙමු. එසේ නොවන විට දුක්‌ වෙමු. සිතා බලන්න අපේ කැමැත්ත පරිදි ලෝකයේ දේවල් සිද්ධ වේද? මගේ කුඹුරෙන් මට වී මලු තිහක්‌ අවශ්‍ය වේ. එහෙත් ලැබුණේ මලු දහයකි. මට හැŽමට සිදුවේ. මා දුක්‌ වූයේ කුමක්‌ නිසාද? දේවල් වල යථා ස්‌වභාවය හා අනිත්‍යය නොදන්නා නිසා ය. මේ සියල්ල හේතුන්ගේ ප්‍රතිඵල නිසා වේ. ධර්මය අපේ පිහිටට සිටින්නේ මේ තැන් වලදීය. මහ මගදී මට හමුවූ යම් පුද්ගලයෙකු ඔහුගේ කෙසෙල් කැන මා හොරෙන් කපා ගත්තා යෑයි මට නොසරුප් බස්‌ පවසයි. මෙහිදී මා කලබල විය යුතු නැත. කනගාටු විය යුතු ද නැත. සැබෑ සොරා දැනගත් විට ඔහුට පසු තැවීමට සිදුවන තෙක්‌ ඉවසනු යෑයි ධර්මය මට පවසනු ඇත. සතුටට හේතුවන දේවල් ම උරුමකර ගෙන විසීම කිසිවෙකුට කළ නොහැක. මේ විදියට සතුට සොයා යැම මුළාවකි. ධර්මය දුටු තැනැත්තා හැම විටම සතුටිනි.

ධර්මය අවශ්‍ය සතුට සඳහාය. විභාගයට පෙනී සිටින දරුවා සමත් විය යුතුම යයි සිතන්නේ නම් අසමත් වුවහොත් දුකටද මුහුණ දීමට දක්‍ෂ විය යුතුය. ළමයා ධර්මය දකී නම්, අසමත් වීමද ඔහුට ප්‍රශ්නයක්‌ නොවේ. කුඹුර පාලු වුවහොත් එසේ වූවාවේ, සරු වුවහොත් එයත් එසේ වූවා වේ යයි සිතන ගොවියා පරිද්දෙන් ළමයා ද සිතන්නේ නම් දෙදෙනාම ධර්මය දුටු අය වේ.

කසළ දුහුවිලි ඉවත් කර නිවස පවිත්‍ර කරන්නා සේ මනස පිරිසිදු කළ යුත්තේ කෙලෙස්‌ කුණු ඉවත් කිරීමෙන්ය. "සචිත්ත පරියෝ දපනං" යන්නෙන් අදහස්‌ කළේ එයයි. කෙලෙස්‌ දුරු කළ සිත හැම විටම ශාන්තය. බාහිරින් එල්ල වන ප්‍රහාර ධර්මය දුටු සැනින් මනස හමුවෙහි බෙලහීණ වී යයි.

සතුට උදෙසා ධර්මයේ පිහිට හැර අන් පිහිටක්‌ නැත. ධර්මයේ පහසින් තොර ප්‍රීතියේ ආයු කාලය ඉතා කෙටිය. හේතුන් නිසා ඇතිවන ඒ සතුට හේතුව නැතිව ගිය වහාම අහෝසි වේ. ධර්මය දුටු තැනැන්තාට හැම තැනම දිස්‌ වන්නේ ධර්මයයි. අප බලා පොරොත්තු වන සතුට හැම විටම ලබාගත හැකිද? වෙන දෙයක්‌ කුමටද අපේ සිතිවිලි පවා සමහර විට අපට ප්‍රිය නැත. නිවසේ බඩු මුට්‌ටු වල අතපය හැපුනත් ඒවා ඒ තැන්වල තැබූ අයට දොස්‌ තබනු ඇත. තමාගේ ම මනසේ ඇති වරද නොපෙනේ.

ඇතැම් විට අපි දකින දකින හැම දෙයක්‌ කෙරෙහි ද්වේෂ කරමු. මෙහිදී අප අපේ මනස දෙසම විපරම් කළ යුතුය. පිරිසිදු කළ යුත්තේ මනසම විනා බාහිර කිසිවක්‌ හෝ කිසිවෙකු නොවේ. නුපුහුණු, මනස අයහපතට ම බර වේ. අප පුහුණු විය යුත්තේ අපේ වචන, ක්‍රියාවන් හා සිතිවිලි ඇසුරෙහි විනා අන් කිසික්‌ නොවේ. ධර්මය දකිමින් ප්‍රඥව පහළ වන විට, අප කොතැනට ගියත් සාමය පවතී. සොබා දහම පවතින්නේ පැවතිය යුතු සුදුසුම අයුරු විනා වෙන විදියකට නොවේ. සියල්ල කැටි කර ගත් විට සියල්ල ධර්ම ස්‌වභාවය නම් වූ එකම ගණයට වැටේ. ඒ සියල්ල නිත්‍ය ලෙසම අනිත්‍යය.

කුසලයක්‌ කළ විට එය තැන්පත් කර තබා ගත යුතු හොඳම නැත හදවතය. අපේ උත්කෘෂ්ට ස්‌වභාවය මනස තුළින් ම පුබුදුවා ගැනීමට වෙර දරන්න. හොඳ හෝ නරක බාහිර කිසිම තැනක නැත. එය පවතින්නේ අපේ මනස තුළමය. අයහපතින් වැළකී සිටින තරමට අප ගැන වඩාත් පැහැදිලිව අපටම දැනගත හැකි වන්නේය.

ශාස්‌ත්‍රවේදී පී. ඩී. ආරියරත්න
අති පූජ්‍ය අචාන් චා මාහිමියන්ගේ
සජීවි දහම (ඛසඩසබට Dය්පප්) කෘතිය ඇසුරිනි

බුදු දහමෙහි උගන්වන සමානත්මක ධර්මය

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

 තෙමඟුල සිහි කෙරෙමි.

චත්තාරි මානි භික්‌ඛවේ සංගහං වත්ථුනි කථමානි දානං පෙයායවඡ්ජං අත්ථ චරියායං සමානත්ථතා ඉමානි භික්‌ඛවේ චත්තාරි සංගහ වත්ථුනි, අංගුත්තර නිකායේ සඳහන් වන මේ සතර සංග්‍රහ වස්‌තුන්ගෙන් එකක්‌ වන සමානාත්මතාව පිළිබඳව පරීක්‍ෂා කරන්නෙකුට බුදුරදුන්ගේ තිබෙන උදාර ගුණය, පොදු සාමූහික වැදගත්කම මනාව පැහැදිලි වේ. ලෝකයේ ජීවත්වන තිබෙන, පවතින දැ හැම එකක්‌ අතුරින් ජීවත්වන මනුෂ්‍යයා පමණක්‌ මේ සමානාත්මතා ධර්මය අනුව වර්ග කිරීම අපහසු බව බුදුරදුන් වා සෙට්‌ඨ සූත්‍රයේදී දේශනා කළ සේක. නමුත් එකල ඉන්දීය සමාජයේ බ්‍රාහ්මණ සභ්‍යත්වය මත පදනම් වී තිබුණු බ්‍රාහ්මණ ඉගැන්වීම් අතරින් ක්‌ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යෑයි මනුෂයන් බෙදීමක්‌ විය.

ඒ ඒ කුලයන්ට, ඒ ඒ මනුෂ්‍යයන්ට සමාජ රැකියා හැර අසීමිත නිදහස භුක්‌ති විඳීමට ඉඩ නොලැබුණු බව පැහැදිලි කරුණකි. මෙවැනි ඒකාධිපතිsත්වය මත නැගී එන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය වැනි සංකීර්ණ හැඟීම් වලින් වෙළුණු බ්‍රාහ්මණ සමාජය කෙරෙහි බුදුරජාණන් වහන්සේට මුහුණ දෙන්නට සිදුවිය. එසේම බමුණන් සමඟ වාද කරන්නටද සිදුවිය. උන්වහන්සේ අසාධාරණ අකටයුතු සමාජ බැමි සුනුවිසුණු කරමින් සමානාත්මතා තානි සමාන සුඛ දුක්‌ඛ භාවෝ චත්තාරෝ වණ්‌න සමාගමං යයි අභීතව ප්‍රකාශ කළ සේක.

මනුෂ්‍යයෙක්‌ වශයෙන් උප්පත්තිය ලැබූ සෑම පුද්ගලයකුටම සමාන සුඛ දුක්‌ඛ වන්නේය. එහෙයින් මේ වර්ග යෑයි මනුෂ්‍යයා බේදීමට තරම් ශක්‌තියක්‌ නැතැයි වදාළ බුදුරජාණන් වහන්සේ සමානාත්මතාවය පැහැදිලි කළ සේක. ජාති වශයෙන් මනුෂ්‍යයා වර්ග කරන්නට අපහසුය. කොටසක්‌ පූර්ණ නිදහස ලබන්නත් තවත් කොටසක්‌ සමාජ නීති රීතිවලින් බැඳ දමන්නටත් ඇති නියමයක්‌ නැත. එහෙයින් බුදුරජුන් ඇති කළ සංඝ සමාජයෙන් හා මෙහෙනි සස්‌නෙන් මුළු ලොවටම සමානාත්මතාවය යනු කුමක්‌දැයි පැහැදිලි කළ සේක.

කාන්තාව පිළිකුල් කොට තැකූ බ්‍රාහ්මණ සමාජය ඉදිරියට එන්නට තරම් අවකාශයක්‌ නැති කළේය. නමුත් බුදුන් වහන්සේ කාන්තාව මෙහෙනි සසුනට ඇතුළු කිරීමෙන් පුරුෂයකුට තිබෙන හැම වරප්‍රසාදයක්‌ම නිදහසක්‌ම භුක්‌ති විඳීමට ඉඩ ලබා දේශනා කළ බව අංගුත්තර නිකායේ "තික" නිපාතයේ සටහන් වී ඇත. එනම් මා අනුස්‌සවේන, මා පරම්පරාය. මා ඉතිකිරාය. මා පිටක සම්පදානෙන, මා තක්‌ක හේතු, මා ණය හේතු, මා ආකාර, පරවිතක්‌ක යෙන, මාදිත්ති, නිඡ්ජාන කත්තීය, මා භග්ග, රූපකාය, මා සමනේ නොගරුති.

අනුශ්‍රව කථාවෙන් පරම්පරා කථාවෙන් මෙය මෙසේ යෑයි සිතමින් පිටක පාලියට සමාන යෑයිද කියමින් තර්කයට ගෝචර යෑයි සිතමින් න්‍යායට ගෝචර යෑයි සිතමින්, ආකාර පිරි විතර්කයට සුදුසු යෑයි සිතමින්, දෘෂ්ටියට සම යෑයි සිතමින්, පුද්ගලාභිවාදුන්හ. බ්‍රාහ්මණයකුට කිරි වතුරෙන් මුහුණ සෝදන්නට තරම් අප්‍රිය දර්ශනයක්‌ වූ කසළ ශෝධක සුනීත සෝපාක වැන්නන් සංඝ සමාජයට සම්බන්ධ කර ගැනීමෙන්ම සමානාත්මතාවය කුමක්‌දැයි බුදුරදුන් ප්‍රකටව පැහැදිලි කළ සේක.

බුදුරදුන් මනුෂ්‍යයාගේ සමානාත්මතාව 45 අවුරුද්දක්‌ මුළුල්ලේම පැහැදිලි කළ සේක. බුද්ධ පුත්‍රයන්ට, මහජන සිතසුව පිණිස ගම් නියම් ගම් බලා හැසිරෙන්න යෑයි වදාළ උන්වහන්සේ, තම ශ්‍රාවකයන්ට ධර්මය ව්‍යාප්ත කිරීමෙහිලා සීමිත මනුෂ්‍ය සමාජයක්‌, නියම කළේ නැත. ජාති, වර්ණ, දුප්පත්, පොහොසත් වශයෙන් නොතකා සෑම මනුෂ්‍ය ප්‍රාණියෙකුටම අර්ථය සඳහා හිත සුව පිණිස සුඛය සඳහා කටයුතු කරන්න යෑයි වදාළ සේක. උන්වහන්සේද දමනය කළ නොහැකි පුද්ගලයන් මෙල්ල කර විමුක්‌තිය ලබාගැනීමේ ශක්‌තිය තිබෙන සෑම පුද්ගලයන් සොයා ගම් නියම් ගම් කරා පාගමනින් වැඩ අවිද්‍යාව නමැති අන්ධකාරයේ ගිලෙන ලෝක සත්වයාට පිහිට වූ සේක. හුදෙක්‌ ඒ උන්වහන්සේගේ සමාන දයාව සමාන අනුකම්පාව නිසාය.

උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ප්‍රඥවන්තයන්ට පමණක්‌ මිස මෝඩයන්ට අවබෝධ කර ගැනීමට බැරි බව දේශනා කළත් ඔහුටත් උත්සාහ ගතහොත් උසස්‌ ප්‍රතිඵල ගත හැකි බවද දේශනා කරමින් කිසිම කෙනකුට බලෙන් අවබෝධ කරන්නට මහන්සි නොගත් සේක. මහජනයාගේ නිදහස්‌ චින්තනයට ඉඩ දී නිශේධ ධර්ම දසයක්‌ දානය නිසා යෑයි සිතමින් මේ ශ්‍රමණ අපගේ ගුරුවරයා යෑයි සිතමින් මගේ ධර්මය මේ කරුණු අනුව කිසිසේත් නොපිළිගන්නා දේ දේශනා කොට සිතිමේ නිදහස සෑම කෙනකුටම පැවරීමෙන් සමානාත්මතා ධර්මය මත ප්‍රකට වන උන්වහන්සේගේ අනුත්තර ගුණය සමාන දයාව සමාන අනුකම්පාව ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි වන්නේය.

වතුරවිල හේමාලෝක හිමි

සත්ත්වයා සසරට බැඳ තබන තණ්‌හාව

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

තෙමඟුල සිහි කෙරෙමි.


හේතුඵල සම්බන්ධයට බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය තුළ විශේෂ අවධානයක්‌ යොමු කර ඇත්තේ ය. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනා විසින් සිදු කරන නොයෙකුත් සියලුම අපරාධ ගැන අවධානය යොමු කරන කල්හි පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ මෙම ධර්මය බෞද්ධ, අබෞද්ධ සියලු දෙනා අමතක කර ඇති අමනෝඥ ස්‌වභාවයයි. එසේ නොවන්නේ නම් ඇති අනවබෝධයයි. "ඉමස්‌මිං සති ඉදංහෝති ඉමස්‌ස උප්පාදා ඉදං උප්පඡ්ජති" " මේ මේ දේ ඇති විට මේ දේ ඇත. මේ මේ දේ උපදින විට මේ මේ දේ උපදියි" යනුවෙන් පවිච්ච සමුප්පාදය හෙවත් හේතුඵලවාදය විස්‌තර කරන්නේ තාත්වික, තාර්කික, ආනුභූතික යථාර්ථයක්‌ ලෙසිනි. ශෛලීගත වාක්‍යයක්‌ ලෙසට "අවිඡ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණ " ආදී පිළිවෙළට එම පටිච්ච සමුප්පාද ධර්මය ද්වාදස අංගයක්‌ ඇතුළත් වී විස්‌තර වෙයි. මෙම ධර්මය බුදුරජාණන් වහන්සේගේ අභීත ප්‍රකාශයක්‌ බව සංයුක්‌ත නිකායේ දසබල සූත්‍රයෙහි සඳහන්ය.

භවය යනු පැවැත්ම යනුවෙන් වාච්‍යාර්ථයක්‌ සැපයේ. එම පැවැත්ම සසර පුරා එන ප්‍රවාහ සංසිද්ධියකි. මුල් බුදු සමයේ ද ඒ බව පිළිගැණුන ධර්මතාවකි. පෙර සඳහන් කළ ලෙසට එය අනුභූතිවාදය පදනම් කරගත් හේතුප්‍රත්‍ය සමුදායක්‌ චක්‍රාකාරව විස්‌තර කරන්නේ ය. විශ්වයේ පැවැත්ම සිදුවන්නේ ආකර්ෂණය මතය. වස්‌තූන්ගේ (අනෙක්‌ වස්‌තු) චලනය සිදුවන්නේ එම ආකර්ෂණය හා ඇලීම නිසා ය. තණ්‌හාවද මෙම ආකාරයට සමගාමී න්‍යායකින් සිදුවෙයි. එදින බුදුහිමි බුද්ධත්වයට පත්ව මුල් සතියේ බෝ මැඬ වැඩ සිට පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම ලෙසට මෙනෙහි කළේ එය සත්‍ය ප්‍රබල පැහැදිලි කිරීමක්‌, සොයා ගැනීමක්‌ (වටහා ගැනීමක්‌) නිසාය.

පටිච්ච සමුප්පාදයට ඇතුළත් අංග දොළොස කවර කරුණකින් ආරම්භ කළ ද එම සමගාමී එකිනෙකට බැඳුණු කරුණට ඉදිරියෙන් පසු පසින් සිටින කරුණ සමග සහසම්බන්ධතාව අඛණ්‌ඩව පවතී. අප සඳහන් කරන තණ්‌හාවට ඉදිරියෙන් ඇත්තේ උපාදානය හෙවත් අල්ලා ගැනීමයි. නැතහොත් බැදීමයි. තණ්‌හාව නිසා අප, සත්ත්වයා නිරන්තරයෙන් ජීවිත ගමනට බැඳෙයි. තණ්‌හාව පසුපසින් ඇත්තේ වේදනා හෙවත් විඳීමයි. සුඛ - දුක්‌ඛ විඳීමයි. විඳීම නිසා එයට තණ්‌හාවත්, බැඳීමත් ඇතිවේ. එවිට එම බැඳීම හේතුවෙන් දැඩිව අල්ලා ගැනීම ඇති වේ. (උපාදානය) තණ්‌හාව යන වදනට පර්යාය වදන් ලෙස ආශාව, තෘෂ්ණාව, ඇලීම, ප්‍රේaමය, ලෝභය ඉදිරිපත් වෙයි. ස්‌වභාවික වශයෙන් ම, සහජයෙන්ම අප සිත්, සන්තානය නැඹුරුවන්නේ යමකට ආශාව දක්‌වා තණ්‌හාවට ය. එම තණ්‌හාව සසර පුරා එන්නකි. තරහව, ක්‍රෝධය, ආශාව, සතුට කුඩා දරුවෙකුටවත් විශේෂයෙන් කියා දිය යුතු නැත. ඉගැන්වීමක්‌ කළ යුතු නොවන්නේ ය. දරුවා යමක්‌ ඉල්ලා අඬන්නේ, යම් භාණ්‌ඩයක්‌ විසිකරන්නේ, ආශාවෙන් අල්ලා බදාගන්නේ කාගේවත් ඉගැන්වීමකට නොවේ. සසර පුරුදු ලෙස අවිද්‍යාව හේතුවෙනි. මෙම ලක්‍ෂණය කාටත් පොදු ගුණාංගයකි.

තණ්‌හාව ලෝක සත්ත්වයාට පොදු ධර්මතාවකි. සත්ත්වයා පංචස්‌ඛන්ධයේ නිර්මිතයයි. එම නිර්මිතය නාම, රූප දෙකරුණින් සමන්විතය. පංචස්‌ඛන්ධය සතු සළායතන ඇස, කන, නාසය, දිව, කය, මනස යන අංග හයෙන් යුක්‌තය. මේවාට ලැබෙන අරමුණු ප්‍රියමනාප නම් තණ්‌හාව, ආසාව, ඇල්ම, බැඳීම, ප්‍රේමය ඇතිවන්නේ ය. එම හේතුව නිසා සසර බැඳේ. තිරිසන් සත්ත්වයා ද ආහාරයට, නින්දට, මෛථුනයට තණ්‌හාවක්‌ ආසාවක්‌ තිබේ. එහෙත් මිනිස්‌ සත්ත්වයාට ඊට වඩා දියුණු මට්‌ටමකින් ප්‍රබලව පවතී. ඇස ප්‍රිය කරන වස්‌තුවලට ඔහු බැඳෙන්නේ ය. මධුර ස්‌වර, කවි, ගීත, සංගීතය ශ්‍රවනයට ඇස රුචි කරයි. මිහිරි වූ සුවඳ ආඝ්‍රානයට නාසය ප්‍රිය වෙයි. එලෙසම රසවත් වූ විවිධ ආහාර වර්ග සොයා යයි. සුවපහසු දේවල්හි පහස ශරීරයට ලබා දෙන්නට වෙහෙසෙයි. මේ සියල්ලේම එකතුව මනසේ ක්‍රියාකාරිත්වය ඇතිවේ. පංචස්‌ඛන්ධයට ලැබෙන මෙම සියලුම විඳීම් වේදනා ලෙසට පටිච්ච සමුප්පාද විස්‌තර වන අවස්‌ථාවල දැක්‌වේ. ඉන් විස්‌තර වන සුඛ වේදනාවටම (විඳීමට) ඇලුම් කිරීම තණ්‌හාවයි. එය මිනිස්‌ ගතිලක්‍ෂණයයි. සංයුක්‌ත නිකායට ඇතුළත් වන විභංග සූත්‍රයෙහි තණ්‌හාව විග්‍රහ කරන අවස්‌ථාවේදී ඉහත සඳහන් පැහැදිලි කිරීම දක්‌වා ඇත්තේ මෙලෙසය. "කතමෙ භික්‌ඛවෙ තණ්‌හා ජයිමෙ භික්‌ඛවේ තණ්‌හා කාය රූප තණ්‌හා, සද්දකණ්‌හා" ආදී වශයෙනි. මහණෙනි, තණ්‌හාව යනු කවරේද? මහණෙනි, රූප තණ්‌හාව, ශබ්ද තණ්‌හාව, ගන්ධ තණ්‌හාව, රස තණ්‌හාව, ස්‌පුෂ්ටව්‍ය තණ්‌හාව, ධර්ම තණ්‌හාවයි. එය ෂඩ් ඉන්ද්‍රියයන්ට ගොඳුරු වන අරමුණු ඔස්‌සේ පහළ වන බැඳෙන තණ්‌හාවයි.

තණ්‌හාවේ ලක්‍ෂණ අනුව ත්‍රිවිධාකාර යෑයි සඳහන් වෙයි. එය කාම තණ්‌හාව, භව තණ්‌හාව, විභව තණ්‌හාව යනුවෙන් ගැඹුරු බෙදීමක්‌ ලෙස නම් කර තිබේ. කාම තණ්‌හාව යනු ඉතා සරලව ගතහොත් පස්‌කම් සැපතට ලොල්ව මෙලොව ජීවත්වීමට ඇති කැමැත්ත වේ. අවිද්‍යාව හෙවත් නොදැනීම, අනවබෝධය නිසා මේවාට ලොල්ව ජීවත් වන බව බුදුහිමි පවසන සේක. සමාජයේ පුද්ගලයන් කරන විවිධ ක්‍රියාකාරකම් දෙස බලන විට එම කරුණ පැහැදිලි වන්නේය.

භව තණ්‌හා යනු ශාස්‌වත දෘෂ්ටි හෙවත් ධ්‍යාන ලාභීව දිව්‍ය ලෝකවල සැප විඳීම සුඛයක්‌ යෑයි අදහති. එබඳු දිව්‍යලෝක සය නම් චාතුම්මහාරාජිකය, යාමය, තුසිතය, පරනිර්මිතවසවර්ති, හාවතිංසය, නිර්මාණරතී වන්නේය. මේවා කාම සුගතීන්ද කාම දුගතීන්ද ලෙස තිබේ. දුගති නම් තිරිසන්, ප්‍රේත ඈ ලෝකයන් ය.

විභව තණ්‌හා යනු උච්ඡේද දෘෂ්ටිගතව විසීමය. එබඳු අය හොඳ නරක, කුසල් අකුසල්, පින්පව් කිසිවක්‌ විශ්වාස නොකරති. නොපිළි ගනිති. එනිසා කෙසේ හෝ හොඳින් - නරකින් ධනය උපයා සුඛ විහරණය විඳ ජීවත්වීම යෝග්‍ය යෑයි එබඳු දෘෂ්ටිගත අය එකහෙළා විශ්වාස කරති. එසේ මැ ජීවත් වෙති.

මෙම විස්‌තර අනුව සලකා බලන විට නූතන ලෝකයේ දියුණුව හැටියට සිතන දර්ශකය ගෙන විග්‍රහයක යෙදෙන විට මිනිස්‌ සිතක තණ්‌හාව නම් අසීමිතය. එබැවින් මිනිස්‌ ලොව සියලුම නිමැවුම් තණ්‌හාව නිසා නිෂ්පාදනය වූ දේවල් ය. ගුවන් විදුලිය, දුරකථනය, රූපවාහිනිය, පරිගණකය, විදුලිබලය, යාන වාහන, වායු සමන යන්ත්‍ර, ගෙවල් දොරවල්, ගුවන් නැව්, නැව් මේවා යහපත් නිෂ්පාදන වුවත් පරිභෝජනයේ සීමාවක්‌ දක්‌නට නැත. තව තවත් සොයා මිනිසා ගමන් කරයි. ඒ සෑහීමකට පත් නොවන තණ්‌හාව නිසාය. තණ්‌හාවේ යථා ස්‌වරූපය එයයි. මෙම ලොල්වීම අවසානයේ සැපයක්‌ නොව දුකක්‌ ඇති කරවයි.

විද්‍යුත් උපකරණ, ඉලෙක්‌ට්‍රොනික උපකරණ, දේශදේශාන්තර බල අරගල, මතභේද, පිල්බෙදීම, යුද්ධ ආදී සියල්ල තණ්‌හාව නිසා පැන නැඟුණු ඒවාය. මේ තණ්‌හාව ඇතැම් විට මානසික උමතුවක ස්‌වරූපයක්‌ හැටියට ද ඇතැම් අවස්‌ථාවල විද්‍යමාන වෙයි. තණ්‌හාවෙන් උපාදානයට පත්ව අවසාන ප්‍රතිඵලය දුකක්‌ය.

තණ්‌හාවේ ගති ස්‌වභාවයන් අවසන් ප්‍රතිඵලයක්‌ කදිමට විවරණය වන සරල එහෙත් ගැඹුරු දර්ශනයක්‌ ඇති කෙටි කථාවක්‌ රුසියන් ජාතික ලියෝ ටොල්ස්‌ටෝයි නම් මහා ලේඛකයාගේ නිර්මාණ අතර හමුවෙයි. විශාල ඉඩම් ප්‍රමාණයක්‌ සතු වූ ඉඩම් හිමියෙක්‌ එම ඉඩම් දුගී ජනයාට බෙදා දෙන්නට සැරැසෙයි. එක්‌ එක්‌ තැනැත්තාට ලැබෙන ඉඩම් ප්‍රමාණය ඔහු විසින් නියම කරගත යුත්තේ උදයේ හයේ සිට සවස හය වනතුරු ඔහු ඇවිදගොස්‌ සලකුණු කරගන්නා ප්‍රමාණයයි. එක්‌ මනුෂ්‍යයෙක්‌ එලෙස විශාල ඉඩමක්‌ අත් කරගන්නා අපේක්‍ෂාවෙන් (තණ්‌හාවෙන්) උදේ සිට සවස්‌වන තුරු ඉඩම වටා දුවගොස්‌ අවසන් වේලාව ළගා වෙද්දී වෙහෙස දරාගත නොහී බිම මැරී වැටුණේය. අවසාන ඔහුට හිමි වූයේ කාටත් උරුම හතර රියනක බිම් ප්‍රමාණය පමණි. තණ්‌හාවේ ස්‌වභාවයන් අවසන් ප්‍රතිඵලයක්‌ එලෙස අත් විඳින්නට සිදු වන්නේය.

අපේ භවගාමී ගමනට මෙම ආත්ම භාවයෙන් පසු, නැවත භවයක්‌ මිය යාමෙන් පසු ලැබෙන්නේය. මෙය නොකඩවා සිදුවන්නකි. එය භවගාමී ලෙසට නම් කර තිබෙන්නේ ඒ හේතුවෙනි. මෙම ගමනට හේතුව නම් තණ්‌හාවයි. සත්ත්වයා සසරට බැඳෙන හුයක්‌ ලෙසට මෙම තණ්‌හාව පැහැදිලි කරන්නේ ඒ නිසාය. තණ්‌හාව අපේ ආත්මයෙන් දුරුවන තුරු සසර ගමන නොනවතී. තණ්‌හාව ප්‍රහානය කිරීම, දුරු කිරීම, නැති කිරීම පිළිබඳ බොහෝ පැහැදිලි කිරීම් සංයුක්‌ත නිකාය ඉගැන්වීම් කරන්නේය. " එවං එස්‌ස භික්‌ඛවේ සුතවා" ආදී පිළිවෙළට මහණෙනි, මෙසේ දක්‌නා, ඇසූපිරූ තැන් ඇති අරිය සච්චතෙමේ ඇසෙහිත් කළකිරෙයි. මෙලෙස පසිඳුරන්ට ගොඳුරු වන දේ පිළිබඳව අවබෝධය ඇතිවෙන් මැ ඔහු තෘෂ්ණාවෙන් (තණ්‌හාවෙන්) ඈත්වීමට සමත් වෙයි.

"තණ්‌හාය ජායති සොකො - තණ්‌හාය ජායති භවං"

"නත්ථි සෝකෝ කුතො භයංතණ්‌හාවෙන් දුරු වු තැනැත්තාට කවර නම් ශෝකයක්‌ ද? භයක්‌ද? යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කළේ එබැවිනි. මෙම පැහැදිලි කිරීම් අනුව සත්ත්වයා සසර බැඳ තබන තණ්‌හාවේ යථා ස්‌වරූපය හැකි තරමින් හෝ අවබෝධ කරගත හොත් හිතේ සැනසිල්ල උදාවන්නේ ය. එය සසර ගමනේ දී වඩ වඩාත් හුරුකරන්නේ නම් නිවන් අවබෝධයට හේතුවන්නේය.

ශාස්‌ත්‍රපති මුතුමානි රාජහෙට්‌ටි
2013 මැයි 24 සිකුරාදා දිවයින

නිවනට උපකාරී කුසල කර්මයක්



ස්වභාවයෙන් අකුසල් උල්පතක් වන ඔබ ගන්නා සෑම ආහාර වේලක්ම, නිවනට උපකාරී කුසල කර්මයක් බවට පත් කර ගන්න කැමතිද?

ලෝකයේ ජීවත් වන අති බහුතරයක් සත්වයෝම ආහාරය සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 1 ට යොදා ගෙන සිටින බරහසක් නොවේ. තමා ජීවත් වන්නේ කෑමටම යයි විශ්වාස කිරීමට තරම් ආහාරය සමහරුන්ට මුලාවක් වීමද අද බහුලව දැකිය හැකි අවාසනාවන්ත තත්වයකි. අපි එදිනෙදා ගන්නා ඝන ආහාර අපි සපා අනුභව කරන්නෙමු, දියර ආහාර අපි පානය කරන්නෙමු, අයිස් ක්‍රීම් වැනි මෙළෙක් ආහාර වර්ග දිව ගා පරිභෝග කරන්නෙමු. මේ කුමන ආකාරයෙන් පවතින ආහාරයකට වුවද තිලෝගුරු ශ්‍රී සම්බුදු පියාණන් යොදා ඇත්තේ එක් වර්ගීකරණයක් පමණි. එය නම් “කබලිංකාරාහාර” යන්නයි.
යමක් ඉපදවීමට හෝ උපන් දෙයක් පවත්වාගැනීමට උපකාර වන දෙය ලෙස අර්ථකථනය කර ඇති ආහාර ලෙස ධර්මයේ සඳහන් සියල්ල 4 ක් වන අතර, කබලිංකාරාහාරය යනු එයින් එකක් පමණි. ලිපිය සම්පූර්ණ කිරීම පිණිස ආහාර වර්ග 4 හා එයින් උපදවන දෙය සරළව අපි පෙළ ගස්සන්නෙමු.

ආහාරවර්ගය -> උපදවන දෙය

1. කබලිංකාරාහාර -> අපගේ භෞතික ශරීරයේ, හෙවත් රූප කයේ, ඕජාට්ඨමක රූප කලාප උපදවයි, කබලිංකාරාහාර අපගේ උපන් සිරුර පවත්වාගැනීමට උපකාරී වේ.

2. ස්පර්ශාහාර -> පංචේන්ද්‍රියේ හා මනසේ (සළායතනයන්හි) අරමුණු නොගැටුනේ නම් අපට සැප, හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කිසිදු වේදනාවක් නූපදී. ස්පර්ශාහාර උපදවන දෙය වේදනාවයි

3. මනෝසංචේතනාහාරය -> අපගේ මීලඟ භවයේ ප්‍රතිසන්ධිය අප කරන කුසල් අකුසල් මතම රඳා පවතී. අප කරන්නේ කුසල්ද අකුසල්ද යන්න 100% තීරණය වන්නේ කරන ක්‍රියාවට සම්බන්ධ සිතේ අනිවාර්ය ලෙස ඇමිණී ඇති චේතනාවෙනි. මනෝසංචේතනාහාරය උපදවන දෙය (කාම, රූප, අරූප භවයේ) ප්‍රතිසන්ධියයි.

4. විඤ්ඤාණාහාරය -> පටිච්ඡසමුප්පාදයට අනුව, ප්‍රතිසන්ධි විඤ්ඤාණය නාම-රූප උපදවන බව අපි දනිමු. විඤ්ඤාණාහාරය උපදවන දෙය නාම-රූපයි

අප අනුභව කරන ආහාර සම්බන්ධව පමණක් සිතා බලන්න, එය තෘෂ්ණාව නිදාන කොට නැතිද?, එය තෘෂ්ණාව හේතු කොට නැතිද? එය තෘෂ්ණාව ජාති කොට නැතිද? එය තෘෂ්ණාව ප්‍රභව කොට නැතිද? එහි විවාදයක් නොමැත. අනෙක් ආහාර තුන සම්බන්ධවද එය එසේම බව බුද්ධ වචනයයි.
කෙළෙස් සහිත සත්වයෝ සියල්ල , කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි ආහාරය වන කබලිංකාරාහාරයෙහි රස තෘෂ්ණාවෙන් ඇලුණාහුද, බැඳුණාහුද වන්නෝය. රස තෘෂ්ණාවෙන්ම ආහාර සොයන්නෝද, රැස් කරන්නෝද, රකින්නෝද, අනුභව කරන්නෝද වන්නෝය. ඒ හේතුවෙන් මස් ආදිය පිණිස ප්‍රාණඝාතාදී නොයෙක් පව්කම් වන්නෝය.

ගොදුරු කරගන්නා මෙන්ම ගොදුරු වන්නාද සසරේම සිරවූ අප වැනිම සත්වයෝයි. එබැවින් ආහාරයේ රස තෘෂ්ණාව, මෙම ආත්ම භාවයේදීම වන මහත් භයටද, දුකටද, ලෙඩ රෝගාදී බොහෝ අනර්ථයන්ටද හේතු වෙයි. අනන්ත වූ අනාගත සසර දුකටද එයම හේතු වෙයි. කොටින් කියන්නේනම් ආහාරයේ රස තෘෂ්ණාවේ ඇලුනෝ සසර දුකේ ගැලුනෝ වෙති.එහෙයින් සසර දුකින් මිදෙනු කැමතියන් විසින් ආහාරයේ රස තෘෂ්ණාව දුරු කළ යුතුයි.
ආහාරයේ පිළිකුල් සංඥාව තුලින් මෙම රස තෘෂ්ණාව දුරු කිරීමට භාවනා වශයෙන් උපදවා දියුණු කල හැකි ඥාන සම්ප්‍රයුක්ත විධි 10 ක් විශුද්ධි මාර්ගයේ ඇතුලත් කොට තිබේ. නමුත් අපි ඉදිරිපත් කරන්නේ ඊට වඩා බොහෝ සරල, ගිහි පැවිදි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මතක තබාගෙන ඇලීමකින් තොරව, ඕනෑම ආහාරයක් පරිභෝග කිරීමට භාවිතා කල හැකි ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ලෙස ධර්මචාරී කවුරුත් දන්නා දෙයයි.

ඔබ ආහාර ගන්නා කාලය පුරාවට, නුවනින් තේරුම සළකමින් මෙම වාක්‍ය සිතින් කීමෙන් ඔබට ආහාරය කොතරම් රසවත් වුවත්, කොතරම් ප්‍රණීත වුවත් ඒ හේතුවෙන් අපාගාමී අකුසල් සිත් වන ලෝභ මූල සිත් ඉපදීමේ ඉඩ කඩ සහමුලින් අවුරාදැමීමට හැකිවේ. ඔබ මෙම වාක්‍ය නුවනින් මෙනෙහි කරන තාක්, ඔබ කරන්නේ භාවනාමය කුසළ කර්මයකි. එවන් කුසල කර්ම අතරවාරයේ අකුසල් සිත් ඉපදීමේ අවස්ථා නොලැබී යෑම ඊට හේතුවයි.

“මා මේ ආහාරය ගන්නේ මල්ලවයන් මෙන් සටන් කිරීමට නොව, ගැමි දරුවන් මෙන් සෙල්ලම් කිරීමට නොව, ශරීරය වර්ණවත් කර ගැනීමට නොව, ශරීරයේ අඩු තැන් පුරවා ගැනීමට නොව. ජීවිතයත් ශරීරයත් පවත්වා ගැනීමටයි, ශාසන ප්‍රතිපත්ති පිරීමටයි. මාගේ මේ ප්‍රතිපත්ති පිරීමට උපකාරී වන මේ ආහාරය පිළියෙල කිරීමට දායක වූ සියළු දෙනා, ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා , කෙලවර ආත්ම භාවයේදී, පරම ශාන්ත නිර්වාණය සුවසේ අවබෝධ කර ගනිත්වා!.

මේ ආහාරයත් ශරීරයත් යන දෙකම නිරන්තරයෙන් සිඳි සිඳී, බිඳී, බිඳී යන බැවින් අනිත්‍යයි, බිඳෙමින්, ඉපදෙමින් නිරතුරු අප පෙළන බැවින් දුකයි. කිසිවෙකුගේ කැමැත්තට නොපවත්නා බැවින් අනාත්මයි. පිළිකුල් බැවින් අශුභයි.අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අශුභ වූ මේ ආහාරයත් ශරීරයත් ඒකාන්තයෙන්, දුක්ඛ සත්‍ය නම් වන්නේය.

ඒ ආහාරයත් ශරීරයත් නම් දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව, ඒකාන්තයෙන් දුක්ඛ සමුදය සත්‍ය වන්නේය

ආහාරයෙනුත් ශරීරයෙනුත් තොරවූ, ශාන්ත නිර්වාණ ධාතුව, දුක්ඛ නිරෝධ සත්‍ය නම් වන්නේය

ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස, පිළිපැදිය යුතු වූ, ආර්ය අෂ්ථාංගික මාර්ගය, මාර්ග සත්‍ය නම් වන්නේය.

මාගේ මේ ආහාර ප්‍රත්‍යවේක්ෂා කුසළ කර්මය බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වදාලා වූ අජරාමර ශාන්ත නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීමට හේතු වේවා!, වාසනා වේවා!!,
සාදූ!, සාදූ!!, සාදූ!!! 

මල් පිදීමේ අනුසස්

සුමන මල්කරු අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහනුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂූ සංඝයා විසින් පිරිවරන ලදුව සවනක් ඝන බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වු බුද්ධානුභාවයෙන් බුද්ධලීලාවෙන් පිඬු පිණිස රජගහනුවරට වන් සේක. රජුට සමන් මල් අට නැළියක් ගෙන යන්නා වූ සුමන මල්කරු ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුව්‍යඤ්ජනයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය දැක, අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නො දක්නේ රජුට ගෙන යන්නා වූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතා නැවත “දිනපතා රජුට ගෙන යන මේ මල් නො ගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නට ද පිළිවන, රටින් නෙරපන්නට ද පිළිවන, මරන්නට ද පිළි වෙන, එහෙත් කරන්නට දෙයක් නැත, රජු මට කරන දෙයක් කරාවා, මේවා රජුට ගෙන යාමෙන් ඔහු මට දෙතත් දෙන්නේ මේ ආත්ම භාවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් වහන්සේ පිදුව හොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැපගෙන දෙන පිනක් වන්නේ ය. ඒ නිසා වන්නක් වේවා. 
මේ මල් මම බුදුනට ම පුදමි” යි සිතා පළමුවෙන් මල් දෙමිටක් ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේ ය. ඒ මල් එකකුදු බිම නොවැටී තථාගතයන් වහන්සේ මතුයෙහි අහස්හි වියනක් මෙන් සැදී සිටියේ ය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේ ය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහස්හි සිටියේය. තවත් දෙමිටක් විසි කෙළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේ ය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේ ය. බුදුරජාණන් වහන්සේ රිදීපටින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළහ. මල් ද එකකුදු නො වැටී නො විසිරී තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයෙන් නික්ම උන් වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභාවත් විය. ඒ ප්‍රාතිහාර්යය දැක සතුටට පත් මහජනයා ඔල්වරසන් නඟමින් සළු උඩ දමමින් සළු හිසවට කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. 
තථාගතයන් වහන්සේ ද මල්කරුගේ ගුණය ප්‍රසිද්ධවනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේ ම ගමන් කළහ. මල්කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලා රසයෙහි ගැලෙන්නාක් මෙන් බුදුරැස් තුළට වැද උන් වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැස ගෙන ගෙදර ගියේ ය. ඔහු හිස් පැස ගෙන ගෙදර ගිය කල්හි භාර්යාව “මල්වලට කුමක් කෙළෙහි දැ”යි ඇසීය. “තථාගතයන් වහන්සේට පිදුවෙමි” යි මල්කරු කීය. “දැන් රජුට කුමක් කරන්නෙහිද”යි භාර්යාව ඇසූ කල්හි “රජු මට කරන දඬුවමක් කෙරේවා යි ජීවිත පරිත්‍යාග කොට මම මල් පිදුවෙමියි” කියා සිදුවූ සියලු ප්‍රාතිහාර්්‍යය ද ඇයට කීය. ඈ බිය වී සැමියාට ද බැණ වැදී දරුවන් ද ගෙන රජු වෙත ගොස්, “දේවයන් වහන්ස, මාගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. මා විසින් මල්වලට කුමක් කළෙහිදැයි අසූ කල්හි ඒ බව මට කීයේ ය. ඔහු කළ වරදින් මටත් විපතක් වේදෝයි මම ඔහු හැර දරුවන්ද ගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස, ඔහු කළ දෙය යහපතක් ද, නපුරක් ද කියා මම නො දනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමි” යි කීවාය. රජතුමා බුදුරදුන් ගේ ප්‍රථම දර්ශනයේ දී ම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙකි. එතුමා මේ අනුවණ ගැහැනියට මෙතරම් මහත් ප්‍රාතිහාර්යයකදී ද සිත පහදා ගත හැකි නොවී යයි සිතා, කිපුණු ආකාරයක් දක්වා “කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැ”යි ඇසීය. “එසේය, දේවයන් වහන්ස” යි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා “ඒ මිනිසා හැර දැමීමෙන් තී කළ දෙය ඉතා යහපති, මාගේ මල් පූජා කළහුට කළ යුත්ත මම දනිමි”යි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්‍රාතිහාර්ය නරඹමින් තථාගතයන් වහන්සේ සමඟ ම ගමන් කෙළේය. ශාස්තෘන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අණබෙර හසුරුවන වීථියෙහි ම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණි සේක. රජතුමා පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වැඩමවා ගන්නට සිතුවේය. තථාගතයන් වහන්සේ රජමිදුලෙහි ම වැඩ හිඳිනු කැමති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේ ගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කරවීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රජගෙට නො වැඩ එළිමහනෙහි ම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්‍රකටවනු පිණිස ය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සඟනට දන් දිණ. තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදි ම මල් වියන් මල්තිර තිබිය දී ම මහ පෙරහරින් මහජනයා සමඟ ම වෙහෙරට වැඩම කළ සේක. 
උන්වහන්සේ ගඳකිළියට පිවිසෙන කල්හි ඒ මල් ගඳකිළිය දොරකඩ වැටිණ. රජතුමා මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල්කරුවා ගෙන්වා “නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුනට පිදුවෙහි දැ”යි ඇසීය. “එකෙණෙහි මට ඇති වු බලවත් චිත්ත ප්‍රසාදය නිසා රජ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිතය පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමි”යි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී “නුඹ මහා පුරුෂයෙකැයි”යි ඔහුට පවසා ඇතුන් අටදෙනෙකුන් ද, අසුන් අට දෙනකුන් ද, දාසයන් අට දෙනකුන් ද, දාසියන් අට දෙනකුන් ද, මහාර්ඝ පළඳනා ද, කහවනු අට දහසක් ද, සර්වාලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනකුන් ද, ගම් අටක් ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කෙළේය. සියල්ලෙන් අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්‍යාගය මල්කරු ඒ පූජාවෙන් එදින ම ලැබූ අනුසස් ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන් ම මහා ප්‍රීති ඝෝෂාවක් පවත්නේය. ඔහුට ඉන් ලැබෙන්නා වූ විපාකය කුමක් දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමි”යි සිතා උන්වහන්සේ වෙත එළඹ “මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේද”යි ඇසූහ. “ආනන්දය! මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමෙ මාහට දිවි පුදා ඒ පූජාව කෙළේ ය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්ත ප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත් ය. එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේ ය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක. 

(මේ කථාව දම්පියා අටුවාවෙන් ගන්නා ලදී) 
දිනමණ - ආලෝකෝ උදපාදී

මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්මය ද?


කර්මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින්ම කර්මය ඇතිවූයේ කෙසේ ද?


මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීජයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුණත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි.

බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකි, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදු කර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.

බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ – වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.

ධර්ම විනිශ්චය - රේරුකානේ චන්දවිමල හිමි
Sasara Tharanaya - සසර තරණය

බුදුරජාණන්වහන්සේ වදාල උතුම් මංගල කරුණු



බුදුරජාණන්වහන්සේ මංගල කරුණු 38 ක් පෙන්වා දී ඇත.


01. බාලයන් අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම
02. පණ්ඩිතයන් සත්පුරුෂයන් ඇසුරු කිරීම
03. පිදිය යුත්තන් පිදීම
04. සුදුසු දේශයක වාසය කිරීම
05. පෙර කරන ලද පින් ඇති බව
06. සිත මනා කොට පිහිටුවා ගැනීම
07. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව
08. මැනවින් උගත් ශිල්ප ඇති බව
09. මනා කොට හික්මවන ලද විනය
10. යහපත් වචන කතා කිරීම
11. මව පෝෂණය කිරීම
12. පියා පෝෂණය කිරීම
13. අඹු දරුවන්ට සංග්‍රහ කිරීම
14. නිවැරදි කර්මාන්ත කිරීම
15. දන් දීම
16. ධර්මයෙහි හැසිරීම
17. නෑයන්ට සංග්‍රහ කිරීම
18. දොස් පැවරිය නොහැකි ක්‍රියා කිරීම
19. සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡා පැවැත්වීම
20. පාපයෙන් වැළකීම
21. මත්පැනින් වැළකීම
22. කුසල ධර්මයෙහි අප්‍රමාදී වීම
23.ගරු කිරීම
24. නිහතමානී බව
25. ලද දෙයින් සතුටු වීම
26. කළගුණ දන්නා බව
27. සුදුසු කාලයෙහි බණ ඇසීම
28. ඉවසීම
29. කීකරු බව
30. ශ්‍රමණයන් දැකීම
31. තපස් රැකීම
32. බඹසර විසීම
33. ආර්ය සත්‍යයන් දැකීම
34. නිවන් අවවෝධ කරගැනීම
35. අටලෝ දහමින් සිත කම්පා නොවීම
36. ශෝක රහිත බව
37. කෙලෙස් රහිත බව
38. සිත කෙලෙසුන්ගෙන් නිදහස් වීම


Sasara Tharanaya - සසර තරණය

අටපිරිකර පුදා ලබමු සැප මෙලෙසා

මේ වස්සාන සමයයි. මේ වස්සාන කාලයේ අසිරිමත්ම මොහොත එළඹෙනුයේ ඉල් පොහොය අවසානයේ කඨින චීවර මාසය එළඹීමත් සමඟය. යම් පුද්ගලයෙකුට මේ ජීවිත ගමනේ දී පුණ්‍ය කර්මයකට සහභාගි වීමට වසරකට වරක් ලැබෙන ඒ අවස්ථාව මඟ නොහැරීමට බෞද්ධ ආර්ය ශ්‍රාවකයා සැදී පැහැදී සිටී. අපමණ කුසල් වලින් උතුම්ම කුසලය ලෙස කඨින චීවර පූජාව බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත. කඨින චීවර පූජාව මෙලොව පරලොව නිවන යන ත්‍රිවර්ගීය සම්පත ලබාදෙන මහඟු පින්කමක් ලෙස සැලකේ.

“ පඨවි රිවනජාතු කමපතේ 
නචලති මේරු රිවාති වායුනා
වජිරමිව නභිප්ජතේ ඝනං 
තමිධ මනෝ කඨිනන්ති වුච්චති”


කඨින චීවර පූජාව මහපොළොව මෙන් කිසිකලෙක කම්පා නොවේ. මහාමේරු පර්වතය මෙන් සුළගින් කිසි කලෙකත් නොසැලේ. ඒක ඝන වජ්‍ර පර්වතය මෙන් නොබිදේ. ඒ හෙයින් මෙය ස්ථීර කුසල කර්මයකි. එය පාලි අටුවාවේ චීරස්කන්ධකයේ සඳහන් වේ.
පින්කම් අතරින් මහා කුසල් අටක් පිළිබඳව අප ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ. එමෙන්ම බුදු දහම අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත සතර සංග්‍රහ වස්තූන්ගෙන් සංග්‍රහ කිරීම පුද පූජා කිරිම මහත්ඵල මහානිශංස පූජාවකි. මෙහිදී සතර සංග්‍රහ වස්තු නම් චීවර, පිණ්ඩපාත , සේනාසන සහ ගිලානප්‍රත්‍ය බව සඳහන් වේ.අප සැදැහැවත් ආර්ය ශ්‍රාවක බෞද්ධයා විසින් කළ යුතු ඒ අටමහා කුසල් පිළිබඳව මෙසේ සඳහන් වේ.

“ කඨිනට්ඨ පරික්ඛාරං 
වාසදානංච මුත්තමං
බුද්ධපමුඛ සංඝස්ස  දානං 
ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච බුද්ධස්ස 
පටිමා කරණානම් පිච කාරණං 
වච්ච කුටියා  අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”


කඨින සිවුරක් පූජා කිරීම, අට පිරිකරක් පූජා කිරිම, මහා සංඝයාගේ ප්‍රයෝජනය සඳහා කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා කරවීම. වැසිකිළි කැසිකිළි කරවා පූජා කිරීම මහත්ඵල මහානිශංස පුණ්‍ය ක්‍රියා ලෙස සැලකේ. කඨින චීවර පූජාවේ ආනිශංස අති විශාල බව විනය පිටකයේ මෙන්ම නාගිත අපදානයෙහි පැහැදිලිව දක්වා ඇත.
කසාවතට අප දක්වනුයේ අසීමිත ගෞරවයකි. කිසිදා කිසි ලෙසකිනුදු වෙනස් නොවු ශාරීර වරණය කසාවත පමණි. කඨින පූජාවට පමණක් නොව නොයෙකුත් දේ පිළිබදව කරනු ලබන පුණ්‍ය කර්ම වලදී චීවරයට අප ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ අප සම්මා සම්බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද භික්‍ෂු , භික්‍ෂූණීන් වහන්සේලාට නියමිත ශරීරාවරණය ලෙසය. තම ජීවිත කාලය තුළ අට පිරිකරක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන්නට ලැබීමද අප ලබන්නා වූ මහත්ම භාග්‍යයකි.
ශාසන ඉතිහාසයේ දැක්වෙන පරිදි ගිහිගෙයින් නික්ම අප මහා බෝසතාණන් වහන්සේ අනෝමා නදී තෙරදි කේශච්ඡේදනය කර සහම්පතී බ්‍රහ්මයා ලබා දුන් පිරිකර හැඳ ගත් බව බුද්ධ චරිතයෙහි සඳහන් වේ. ඉන් පසු අප මහා බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව සම්බෝධියෙන් අති උතුම් වූ බුද්ධත්වයට පත් වූ විට ගෞතම බුදුරජාණන් වහන්සේට ප්‍රථම අෂ්ඨ පරිෂ්කාර පූජාව මහා බ්‍රහ්මයා විසින් සිදු කරන ලද බව ශාසන ඉතිහාසය පෙන්වා දෙයි.
අප සම්මා සම්බුදු ගෞතමයන් වහන්සේගේ නිර්මල බුද්ධ ශාසනය තුළ බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලාගේ මූලික පරිෂ්කර ලෙස අටපිරිකර සැලකේ.
එම් අෂ්ඨ පරිෂ්කාර නම්,

“පත්තං පරිස්සාවනං කාය බන්ධනං 
නිච්චරං වාසි සුචිං ච සංඝ
දන්ති යේ නිච්ච පසන්ත චිත්තා 
තේ එහි භික්‍ඛුනි වදන්ති බුද්ධා”

මෙහිදී අටපිරිකර යනු මහණ උපසදම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි. අදනය, පටිය, තනිපට සිවුර, දෙපට සිවුර, පාත්‍රය, දැලිපිහිය, කරකැත්ත, පෙරහන, ඉදිකටු, නූල්බෝල වශයෙන් ශ්‍රමණ පරිසකර අට දැක්වේ. කැප සරුප් ලෙස පිළියෙළ කරන ලද අටපිරිකර පූජාවේ ආනිශංස අති මහත්ය. අරහත් භාවය ලබා ගැනීමට පවා මෙම පූජාව උපනිශ්‍රය වන බව සූත්‍ර පිටකයේ සඳහන් වේ. සියලු සැපතින් සිපිරු දෙව් මිනිස් භවයන්හි භාග්‍යමත් උපතක් ලැබීමට පවා ලෞකික වශයෙන් හේතුවන අතර, නෛර්යාණික බුදුසසුනක උතුම් පැවිද්ද ලබා අරහත් භාවයට පත්වීමටද මෙය වෙන වෙනම හේතුවන බව පිළින්දවචඡ ථෙරපදානයෙහි දැක්වේ.
අටපිරිකර පූජා කිරීමේ ආනිශංස මහත්ඵලය . මේ අසිරිමත් වු ආනිශංස ඒකාන්ත වූ සැදැහැ සිතින් දරා පූජාවන් සිදු කරන්නේය ද එය මහත්ඵල මහානිශංස වන්නේය.
අටපරිකරෙහි චීවර වර්ග තුනකි. තුන් සිවුර යනුවෙන් අපි එය හඳුන්වන්නෙමු. තනිපට සිවුර, දෙපට සිවුර අදනය මෙයට අයත්ය. මෙම තුන් සිවුරු පුජා කිරීම නිසා,
1.රන්වන් සිරුරක් ලැබීම 2. ශරීරයේ දූවිලි නොවැසීම 3. රැස් ෂහිදෙන වර්ණවත් ශරීරයක් ලැබීම
4.මහත්වූ ප්‍රතාප බවක් දිස්වීම 5.සිනිඳු ශරීරයකට හිමිකම ලැබීම 6. සසර ගමනෙහි සෑම භවයකදීම සුදු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම 7. සසර ගමනේ සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්‍ෂ ගණනික් දැරීම 8. සසර ගමනේ සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම සිදුවේ.
අට පිරිකරට පාත්‍රය අනිවාර්ය වේ.
පාත්‍ර පිදීම නිසාද ආනිශංස දහයක් ලැබෙන බව අපදාන ග්‍රන්ථයේ දැක්වේ. එනම්, 1. රන්, රිදී, මැණික් තලි පරිභෝජනය කිරීමට ලැබේ. 2. කිසිදා උපද්‍රව සිදු නොවේ. 3. අනතුරු වලින් වලකියි. 4. සෑම තැන්හි ගරු පුද ලබයි 5. ආහාර පාන වස්ත්‍ර සයනාසන නොඅඩුව ලැබේ. 6. භව බෝග නොනැසේ. 7. ස්ථීර වූ සිත් ඇතිවේ. 8. සෑම කල්හි ධර්මය රුචි කෙරේ 9. මද කෙලෙස් සහිත වේ. 10. කාම භව දිට්ඨි ආශ්‍රව රහිතව ජීවත් වේ.
දැලි පිහියා පිදීමේ අනුසස් 6 කි. ඒවා නම් 1. සෑම කල්හිම සූරයෙක් වේ. 2.නොවිසිරුන සිත් ඇත්තෙක් වේ. 3.විශාරදත්වයෙහි යුතු වේ. 4. ධෛර්ය ඇතිව වෙසේ. 5. වීර්ය ඇතිව වෙසේ. 6. ඍජු සිත් ඇත්තෙක් වේ 7. කෙලෙස් සිදී සූක්‍ෂම ශ්‍රද්ධාග්‍රණය ලබයි.
පෙරහන් කඩ පිදීමේ ආනිසංස 5 කි.
1.සෑම දෙනා ඉක්මවා දීර්ඝායුෂ විදීමට 2. කිසිදාක හොරුන්ගෙන් හිංසා නොවීම 3. සතුරු විපත් නැතිවීම 4. ආයුධ වස විෂ වලින් අනතුරු නොවීම 5.අතුරු මරණ නොමැතිව පරමායුෂ වැළදීමට ලැබීම
පටි පිදීමද මහානිශංස සහිතයි
1.සමාධීන් හි අකම්පිත වීමත් 2. සමාධින් හිදි වශී භාවයට පැමිණීමත්, 3.නොබිදෙන පිරිස් ඇතිවීම 4. සැම විට තම වදන් අනුන් පිළිගැනීම 5. සිහියෙන් සිටීම 6. කිසිදු භවයකදී බියක් හෝ තැති ගැනීමක් ඇති වීමක් නොවේ.
මෙසේ අනන්ත අප්‍රමාණ කුසල සම්භාරයක් ලැබීමට අනුව අටපිරිකර පූජාව නිසා අවස්ථාව ලැබේ. විනයානුකූල අටපිරිකර පුදා සසර ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතු නිර්වාණය අවබෝධය කරගැනීම සඳහා අවශ්‍ය පුණ්‍ය සම්භාරය ලබා ගැනීමට අප විසින් උනන්දු විය යුතුය.
“සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා “

ශ්‍රී සාරිපුත්ත දහම් පාසලේ ආචාර්ය 
එම්.එස්. රණතුංග

ඇමෙරිකානු මහාචාර්යවරයාගේ පුනරුත්පත්ති වාර්තාවේ විශ්වසනීයත්වය කුමක්ද?

පුනර්භවය සත්‍යයක් බව ඇමෙරිකාවේදී අහඹු සිදුවීමකින් ඔප්පු වෙයි යන මැයෙන් 2012 සැප්තැම්බර් 30 වන දින ඉරිදා ලක්බිම පුවත්පතේ පළවූ මගේ ලිපිය පිළිබඳව ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති එස්. රණතුංග මහතා විසින් 2012 ඔක්තෝබර් 21 දින ඉරිදා ලක්බිම පුවත්පතට ඉහත සඳහන් මැයෙන් යුතු ලිපියකින් සිය අදහස් දක්වමින් එම සිදුවීම සම්බන්ධව වැඩිදුර තොරතුරු අපේක්ෂා කර සිටී.
එම තොරතුරු සැපයීමට පෙරාතුව මගේ ලිපියේ සඳහන් සමහර කරුණු වැරදි සහගත ලෙස වටහා ගැනීමත් එතුමා අතින් සිදුවී ඇති බව පෙනෙන්නට තිබෙන නිසා ප්‍රථමයෙන්ම ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීම මගේ යුතුකමක් සේ සලකමි.
පුනර්භවය යන සංකල්පය ඔප්පු කිරීම හෝ නොකිරීම මගේ ලිපියේ පරමාර්ථය නොවීය. ලොව කොතැනක හෝ පළවන ප්‍රවෘත්තියක් හෝ සිදුවීමක් පිළිබඳව සත්‍ය තොරතුරු ඒ අයුරින්ම ඉදිරිපත් කොට පාඨක ජනතාව දැනුවත් කිරීම මගේ යුතුකම හා වගකීම වන්නේය. මා ඒ ලිපියට සිරස්තලය යෙදුවේ මහාචාර්යවරයාගේ පර්යේෂණ ග්‍රන්ථයේ සහ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවේ අන්තර්ගතව තිබූ කරුණු සැලකිල්ලට ගැනීමෙනි. පුනර්භවය පිළිගන්නා ජනතාව ප්‍රමෝධයට, අමන්දානන්දයට පත්කිරීමේ කිසිදු අපේක්ෂාවක් මා තුළ නොවීය. මා කළේ සත්‍ය යැයි පැවසෙන ඒ සිදුවීම මහාචාර්යවරයාගේ ‍පොත සහ සම්මුඛ සාකච්ඡාව පදනම් කරගෙන පුවත්පතට ලිපියක් සැකසීම පමණකි. පුනර්භවය සත්‍යයක් බව පවසන්නේ මා නොව ඒ මහාචාර්යවරයායි. ඒ හැරෙන්නට මම ඒ ලිපිය වර්ණ ගන්වා ඔපවත් කිරීමට කිසිදු උත්සාහයක් නොකළ බව කාරුණිකව අවධාරණය කරනු කැමැත්තෙමි.
අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති මෙවන් අවදියක, පුනරුත්පත්ති වාර්තා හා ගවේෂණ මෙරට පමණක් කතා බහට ලක්ව ඇති බව ඔබතුමා විසින් කරන ලද ප්‍රකාශය දැක මම බෙහෙවින් මවිතයට පත්වූයෙමි. අපේ රටට සාපේක්ෂව පුනර්භවය පිළිබඳ විශාල වශයෙන් ගවේෂණ හා පර්යේෂණ කටයුතු විශ්ව විද්‍යාල මට්ටමින් සිදු කෙරෙමින් පවතින්නේ බටහිර රටවල්වලය. 
එපමණක්ද නොව මේ සංකල්පය උපයෝගී කරගනිමින් තමන්ගේ කායික හා මානසික රෝග සුවපත් කරගැනීම සඳහා පුළුල් වශයෙන් ප්‍රායෝගිකව භාවිතයට ගන්නේද බටහිර ජනතාවය. එසේම මේ සංකල්පය ඔස්සේ ජීවිතයේ ආධ්‍යාත්මික විමුක්තිය සොයන පැවිදි දිවියට පත්වූ විද්‍යාඥයින්, මහාචාර්යවරුන් වැනි උගතුන් සිටින්නේද බටහිර රටවලය. බටහිරට සාපේක්ෂව ගත්කළ වසර දහස් ගණනාවක් තිස්සේ පුනර්භවය පිළිගන්නා බහුතර ජනතාවක් අප රටේ සිටියද ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන්ම ගත් කළ වුවද එය තමන්ගේ මතයට බද්ධ කරගෙන ඉන් ප්‍රායෝගික ලෙස ප්‍රයෝජනය ලබන්නේ ඉතාමත් අල්ප වශයෙන්ය යන්න මගේ හැඟීමයි.
කැනේඩියානු ජාතික මනෝ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් (Ian Stevenson - 1918.10.31 - 2007.02.28) ඇමෙරිකාවේ වර්ජීනියා වෛද්‍ය විද්‍යාලයේ වසර 50ක කාලයක් සේවය කළේය. ඊට අමතරව 1957සිට 1967 දක්වා වසර 10ක කාලයක් එම විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් සේවය කළේය. ඔහුගේ ජීවිතයේ වසර 50ක සේවා කාලයෙන් වසර 40ක්ම එනම් 2007.02.28 වන දින ඔහු මිය යන තුරුම සිය ජීවිතය කැප කළේ පුනර්භවය පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහාය. එසේම ලොව ප්‍රථමයෙන්ම වර්ජීනියා විශ්ව විද්‍යාලයෙන් බිහිවූ සංජානන විද්‍යා අධ්‍යයන පීඨයේ(The Division of Perceptual Studies - DOPS) පුරෝගාමියා වූ අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස මිය යනතුරුම ඔහු සේවය කළේය. සංජානන විද්‍යා අධ්‍යයනය යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර මනෝ විද්‍යාවේදී පංච්ෙන්ද්‍රියයන්ට හසුනොවන එනම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට හසු නොවෙන අධිමානසික සංසිද්ධීන් (Parapsycology Phenomena, Paranormal Phenomena) අධ්‍යයන කිරීම සඳහා බිහිවූ විකල්ප අධ්‍යයන ක්ෂේත්‍රයකි.
මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ලෝකය පුරාම පෙර ආත්ම කියන දරුවන් සොයාගෙන ගොස් පර්යේෂණ සිදු කළ අතර වරක් ශ්‍රී ලංකාවටද පැමිණියේය. ශ්‍රී ලංකාවේ එවැනි දරුවන් දස දෙනකු පිළිබඳ පර්යේෂණ සිදුකොට ඒ පිළිබඳව ‍පොතක් පළ කළේය. (Cases of the Reincarnation Type - Vol. 11. Ten Cases in Sri Lanka) නමැති ඒ ‍පොත 1978 වසරේදී වර්ජීනියා විශ්ව විද්‍යාලයීය මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.
ටෙක්සාස් සහ වොෂින්ටන් යන විශ්ව විද්‍යාලද එවැනි ගවේෂණ සිදුකරන විශ්ව විද්‍යාල අතරින් කිහිපයකි. එසේම මහාචාර්ය කාල් ජුන්ග්, ආචාර්ය ජෝසප් බි. රයින්, ආචාර්ය රේමන්ඩ් මූඩි සහ ආචාර්ය ග්ර්ට්රූඩ් ෂේච්ඩ්ලර් මේ පර්යේෂණ කටයුතුවල නිරත වී සිටින ප්‍රසිද්ධ විද්‍යාඥයින් අතරින් කිහිප දෙනෙක් පමණි. මේ සෑම කෙනෙක්ම ආගමික දෘෂ්ඨීන්ගෙන් වර්ණවත් නොවී හුදෙක් පුනර්භවයේ සත්‍ය අසත්‍යතාවය සොයාගැනීමට පරමාර්ථයෙන් පර්යේෂණ සිදු කරන්නෝ වෙති.
පෙර ආත්ම මෝහන චිකිත්සා ක්‍රමය (Past Life Theraphy) බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවට එකතුවීමට පෙරාතුව මේ ක්‍රමය උපයෝගී කරගෙන පෞද්ගලික මට්ටමින් රෝග සුව කළ ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයෙකි එඩ්ගාර් කේසි (Edgar Cayce - 1878.03.18 - 1945.01.03) කිතුණු බැතිමතෙකු වූ, උපතින්ම අධි මානසික බලයක් තිබූ එඩ්ගාර් කේසි ස්වයං මෝහන නිද්‍රාවට පත්ව තමන්වෙත පැමිණි 25000කගේ පමණ පෙර ආත්ම කියවා රෝග සුවපත් කර ගැනීම සඳහා ප්‍රතිකාර කළේය. කේසිගේ ප්‍රතිකාර ක්‍රමවේදයේ සුවිශේෂ ලක්ෂණ දෙකක් දක්නට ලැබිණි.
එකක් නම් රෝගියා මෝහන නිද්‍රාවට පත් කරනවා වෙනුවට තමාම ස්වයං මෝහන නිද්‍රාවට පත්ව රෝගියාගේ පෙර ආත්ම කියවීමය. අනිත් කාරණය වූයේ අදාළ රෝගියාම ප්‍රතිකාර සඳහා ඔහු ඉදිරියට පැමිණීම අනිවාර්ය නොවීමය. වෙනත් පුද්ගලයෙක් පැමිණ අදාළ රෝගියාගේ නම කියූ පමණින් ඔහුගේ පෙර ආත්ම කියැවීමේ විශේෂ හැකියාවක් ඔහු සතුව තිබිණ. ලොව පුරා මිනිසුන් ඔහු හැඳින්වූයේ 'වර්ජීනියා මුහුදු වෙරළේ නිදන අනාගත වක්තෘවරයා' (The Sleeping Prophet oF the Verginia Beach) යන අන්වර්ථ නාමයෙනි.
කේසිගේ මේ පෙර ආත්ම කියැවීම තමන් අදහන කිතු දහමට සහමුලින්ම පටහැනිවුවද මිය යන තුරුම ඔහු ඒ ඔස්සේ මිනිසුන්ට උපකාර කිරීම දිගටම සිදුකරගෙන ගියේය. ඔහුගේ මරණින් පසුව ඔහු විසින් කරන ලද මේ ජීවිත කියැවීමි 25000 ජීනා සර්මිනාරා නමැති මනෝ විද්‍යාඥවරිය විසින් විද්‍යාත්මක පර්යේෂණයකට භාජනය කරනු ලැබිය. වසර දහයක කාලයක් තිස්සේ ඇය සිදුකළ පර්යේෂණයෙන් සොයාගත් කරුණු ඇතුළත් කොට "Many Mansions" නමැති පර්යේෂණාත්මක ග්‍රන්ථය ලියා පළ කළේය.
එසේම පෙර ආත්ම මෝහන චිකිත්සා ප්‍රතිකාර ක්‍රමයට අමතරව පෙර ආත්ම ‍ජ්‍යොතිෂ්ශාස්ත්‍රය (Past Life Astrology) යනුවෙන් ‍ජ්‍යොතිර්වේද ක්‍රමයක්ද බටහිර රටවල බිහිවී ඇත. එමගින් සිදු කරන්නේ පුද්ගලයාගේ කේන්ද්‍ර පිටපත අධ්‍යයනය කිරීමෙන් පෙර ආත්මවල තොරතුරු සොයා ගැනීමය.
තමන් පිළිගන්නා පුනර්භවය නමැති සංකල්පය ඇමෙරිකානුවෙකු විසින් සත්‍යයක් යැයි ඔප්පු කිරීමෙන් එම ජනතාව අතරේ ඇමෙරිකන් විරෝධී දේශපාලන කැළඹීමකට හේතු විය හැකි බව ඔබතුමා කරන ප්‍රකාශය පදනම් විරහිත තර්කානුකූල නොවන ප්‍රකාශයකි. එය අසත්‍යයක් යැයි ඇමෙරිකානුවකු විසින් ඔප්පු කරනු ලැබුවා නම්, සමහර විට මේ දිනවල මුස්ලිම්වරුන්ගේ අහිංසකත්වය (Innocence of Muslims) නමැති චිත්‍රපටයට එරෙහිව ලොව පුරා මුස්ලිම් ජනතාව අතරේ කැළඹීමක් ඇතිවී තිබෙන ආකාරයට දේශපාලන අර්බුදයක් ඇතිවිය හැකිව තිබුණු බව මමද පිළිගනිමි.
එහෙත් මහාචාර්වරයාගේ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කරන ලද එක් ප්‍රකාශයක් නිසා කිතුණු ජනතාව අතරේ නම් ඔබතුමා කියන ආකාරයේ කැළඹීමක් ඇතිවිය හැකිව තිබුණි. නූතන කිතු දහමට අනුව පුනර්භවය මිථ්‍යා මතයක් ලෙස බැහැර කරයි. එහෙත් මහාචාර්යවරයා සාකච්ඡාවේදී පෙන්වා දී ඇත්තේ පැරණි කිතු දහමේ පුනර්භවය අන්තර්ගතව තිබූ බවත් හයවන සියවසේ කොන්ස්තන්තිතෝපල් දෙවන සභාවේදී එය මිථ්‍යා මතයක් ලෙස ප්‍රකාශයට පත් කොට කිතුණු දහමෙන් ඉවත් කළ බවය.
ජීවිතයේ ප්‍රථම වතාවට මෙම වෛද්‍යවරයා විසින් සිදු කරන ලද මෝහන චිකිත්සා ප්‍රතිකාරය මෙය විය. යනුවෙන් ඔබතුමා කරන ලද ප්‍රකාශය මගේ ලිපියේ කරුණු වරදවා වටහා ගැනීමක් බව කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි. බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවේ ඖෂධීය හා සායනික ප්‍රතිකාරවලින් සුවය නොලබන රෝගීන් යොමු කෙරෙන මෝහන චිකිත්සා ක්‍රම දෙකක් තිබේ.
එකක් නම් සියලුම වෛද්‍යවරුන් ‍පොදුවේ පිළිගන්නා සහ අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික මෝහන චිකිත්සා ප්‍රතිකාර (ඩ්රනදධබඩඥපචනඩර) ක්‍රමයයි. එමගින් රෝගියා මෝහන නිද්‍රාවට පත්කොට ඔහුගේ යටි සිත අවදි කරවා රෝගයට හේතු වූ රෝග නිධානය මේ ජීවිත කාලය තුළින් සොයා ගැනීම සිදු කෙරේ.
අනෙක නම් පෙර ආත්ම මෝහන චිතික්සා ප්‍රතිකාර (Hypnotheraphy) ක්‍රමයයි. මේ ක්‍රමය සමහර වෛද්‍යවරුන් පිළිගන්නා අතර සමහර වෛද්‍යවරුන් පිළිගන්නේ නැත. මේ ක්‍රමයෙන් රෝගියා මෝහන නිද්‍රාවට පත්කරවා ඔහුගේ යටි සිත අවදි කරවා ඔහුගේ පෙර ආත්ම භවයන් කරා කැඳවාගෙන ගොස් රෝග නිධානය සොයා ගැනීම සිදු කෙරේ.
මහාචාර්ය බ්‍රයන් වයිස්ද මේ ක්‍රමය පිළිනොගත්, ප්‍රතිකාර සඳහා මේ ක්‍රමය කිසිදාක අනුගමනය නොකළ වෛද්‍යවරයෙකි. එහෙත් ඔහු සාමාන්‍ය සාම්ප්‍රදායික මෝහන චිකිත්සක ක්‍රමය (Past Life Theraphy) අනුගමනය කර රෝගීන් ඕනෑතරම් සුවකර තිබුණි. මහාචාර්යවරයාගේ අරමුණ වූයේ කැතරින්ද මේ සාම්ප්‍රදායික මෝහන චිකිත්සා ක්‍රමයට යොමු කොට ඇගේ රෝග නිධානය සොයා ගැනීමය. එහෙත් ඇය ඊට යොමු කළ පසුව ඔහුගේ කිසිදු අනු දැනුමකින් තොරව ඇය පෙර ගතකොට තිබූ ආත්ම 86ක් කියැවීම නිසා වෛද්‍යවරයා පෙර ආත්ම මෝහන චිකිත්සා ක්‍රමයට (Hypnotheraphy) ෙනෙසර්ගිකවම අවතීරණ වන්නේ හුදෙක් අහඹු සිදුවීමක් ලෙසටය. පුනර්භවය පිළිබඳ සොයා බැලීමේ හෝ පර්යේෂණ කිරීමේ හෝ කිසිදු අපේක්ෂාවක් ඔහුගේ සිතෙහි නොතිබුණු අතර ඔහුගේ එකම අභිප්‍රාය වූයේ කැතරින් නමැති රෝගියාගේ මානසික රෝගී තත්ත්වය සුවපත් කිරීමය.
කැතරින් අගේ පෙර ආත්ම 86ම ප්‍රකාශ කොට ඇත්තේ එක දිගටමය. එහෙත් මහාචාර්යවරයා පර්යේෂණ ග්‍රන්ථය සංස්කරණය කර ඇති ආකාරයට ඒ සිදුවීම් සියල්ල එක දිගට අනු  පිළිවෙළකට විස්තර නොකරේ. ග්‍රන්ථය ලිවීමේදී ඔහු යොදා ගෙන ඇත්තේ ඔහුටම ආවේණික වූ ‍ලේඛන ෙශෙලියකි. 
මේ සිදුවීමෙන් පසුව කැතරින්ගේ කැමැත්ත ඇතිව බොහෝ වාර ගණනාවක් කැතරින් මහාචාර්යවරයා විසින් මෝහන නිද්‍රාවට පත්කරවා ඇති අතර එම අවස්ථාවලදී ඔහු ඔහුගේ සහ පවු‍ලේ පෙර ආත්ම ගැනද විස්තර අනාවරණය කරගෙන ඇත. ඒ අනුව එක් ආත්ම භවයකදී ඔහු ඇගේ පියා වශයෙන් සිට ඇත. තවත් භවයකදී ඇගේ ගුරුවරයා වී ඇත. මහාචාර්යවරයාගේ බිරිඳගේ මව වන මිනට් නමැති කාන්තාව පිළිකා රෝගය වැළඳී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අවස්ථාවේ මේ අහඹු පර්යේෂණයෙන් හෙළි වූ තොරතුරු ඇයට පවසා මහාචාර්යවරයා සහ කැතරින් ඇයසමග සංවාදයේ යෙදීම නිසා මිනට් නමැති ඔහුගේ නැන්දනිය ඉතා සන්සුන් මනසකින් යුතුව කිසිදු වේදනාවකින් තොරව ආදරයෙන් මරණය වැළඳගත් බව ඔහු සිය පර්යේෂණ ග්‍රන්ථයේ සඳහන් කොට ඇත.
(Many Lives Many Masters නමැති මේ ග්‍රන්ථය පිටු 220 කින් සමන්විත ‍පොතකි. මහාචාර්යවරයා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඒ4 පිටු 5ක් පුරා දිවෙන දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකි. ග්‍රන්ථයේ එන මුඛ්‍ය අදහස මගේ ලිපියේ ඉතා සංක්ෂිප්තව සඳහන් කර ඇත. සම්මුඛ සාකච්ඡාවේ පිටු 5න් මුල් පිටු දෙකෙහි සඳහන් කරුණු පමණක් මගේ ලිපියට ඇතුළත් කළෙමි. එහි ඉතිරි පිටු තුනේ තිබුණේ සාපේක්ෂතාවාදය, ක්වොන්ටම්වාදය වැනි ඉතාමත් නැඹුරු මාතෘකා සමග පුනර්භවය පිළිබඳ කරන ලද විවරණයන්ය. ඒ හේතුව නිසාත්, ලිපිය තවත් දීර්ඝ වනු වැළැක්වීම සඳහාත් ඒ සියල්ලම මගේ ලිපියට ඇතුළත් නොකළෙමි.
මේ පිළිබඳව ඔබතුමාට නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහා ගතයුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ අදාළ ‍පොත සහ සම්මුඛ සාකච්ඡාව කියවා බැලීමයි.
Many Lives Many Masters නමැති මෙම ‍පොත ඇමෙරිකාවේ ෆයර් සයිඩ් (Fire Side) ප්‍රකාශකයින් 1983 ජූලි මස 15 වෙනිදා ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිය. 1988 වසරේදීම මේ ‍පොත මා අතටපත් වූයේ මගේ විදේශ මිතුරියක වන මහාචාර්ය ජෙනිෆර් වුල්ෆ් වෙතින් මට ලැබුණු තුටු පඬුරක් හැටියටය.  මේ ‍පොත කියවූ මට වෙනත් පුනර්භව පර්යේෂණයන්ට වඩා කිසියම් අපූර්වත්වයක් එහි ගැබ්ව තිබෙන බව දකින්නට ලැබිණ.
මා මතෛක් කියවා ඇති වෙන්නත් පුනර්භව පර්යේෂණවලදී පර්යේෂකයන් හුදෙක් පුනර්භවයේ සත්‍ය අසත්‍යතාවය පසක් කර ගැනීමේ ඒකායන අරමුණෙන් ඒවා සිදුකොට තිබුණි. එහෙත් මේ මහාචාර්යවරයා රෝගියා මෝහන නිද්‍රාවට පත් කළේ හුදෙක් ඇයගේ රෝගය සුව කිරීමේ එකම අරමුණ පමණක් හිතේ ඇතිවය. එහෙත් ඔහු කිසිසේත්ම බලා‍පොරොත්තු නොවූ ආකාරයට, ඔහුගේ කිසිදු ඇණවුමකින් තොරව ඇගේ කැමැත්තෙන් ඉදිරිපත් වී පෙර ආත්ම කියැවීමට පටන් ගැනීම නිසා වෛද්‍යවරයා ෙනෙසර්ගිකවම පෙර ආත්ම චිකිත්සාවට අවතීර්ණ වන්නේ අහඹු සිදුවීමක් හැටියටය. ඒ ක්‍රියාවලිය තුළින් ඔහු පුනර්භවයේ ඇති සත්‍යතාවය අවබෝධ කරගත් බව ඔහු ප්‍රකාශ කරයි.
මේ පර්යේෂණයේ අපූර්වත්වය වන්නේ එය පමණක්ද නොවේ. සාමාන්‍ය මෝහන නිද්‍රාවට පත් කරනු ලබන රෝගීන් ක්‍රියා කරනු ලබන්නේ වෛද්‍යවරයාගේ උපදෙස්වලට අනුවය. එහෙත් කැතරින් මෙහිදී ක්‍රියා කර ඇත්තේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව නොවේ. එසේම කැතරින්ට පෙර ආත්මවල තමන් සමග ජීවත් වූ පුද්ගලයින් මේ ආත්මයේ තමන් සමග ජීවත් වෙමින් සිටින කවර පුද්ගලයින්ද යන වග හඳුනා ගත හැකි අපූර්ව කුසලතාවන්ද ඇය සතුවිය.
මේ ආකාරයට මේ ‍පොතේ ඇති සුවිශේෂී අපූර්වත්වය නිසාම 1988 වසර නිමා වන්නටත් පෙරාතුව මම මේ ‍පොත සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කළෙමි.
ඒ ආකාරයට සම්පූර්ණයෙන් මතකයෙන් ගිලිහී ගොස් තිබූ මේ ‍පොත පිළිබඳ මතකය නැවතත් අවදි වූයේ මේ දිනවල ලක්බිම පුවත්පත ඔස්සේ පුනර්භවය වැනි ගුප්ත ධර්ම (Skeptic) පිළිබඳ සංවාදයක් ගොඩනැගී ඇති බව දකින්නට ලැබිමෙන් පසුවය. ඒ අනුව කාලෝචිත යැයි හැඟුණු බැවින් එම ‍පොත ගැන සහ මහාචාර්යවරයාගේ සම්මුඛ සාකච්ඡාව අලලා ලක්බිම පුවත්පතට ලිපියක් සකස් කළෙමි.
(Brian Weiss - Wikipedia, brian I weiss,http://en.wikipedia,org/wiki/Brian-weiss යන වබේ ලිපිනවලින් මහාචාර්යවරයා පිළිබඳ ඔබතුමාට අවශ්‍ය සියලුම විස්තර සොයාගත හැකිය. අන්තර් ජාලයේ www.brianweiss.com නමැති මුහුණු ‍පොත් ගිණුමට (Facebook account) අවතීර්ණවී මහාචාර්යවරයා සමග අන්තර් ජාලයෙන් ස්කයිප් (Skype)තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමෙන් මහාචාර්යවරයා සමග මුහුණට මුහුණලා ප්‍රශ්න කිරීමෙන් මේ සම්බන්ධයෙන් ඇති ඕනෑම ගැටලුවක් නිරාකරණය ගත හැකිවනු ඇත. Many Lives Many Masters යන වබේ ලිපිනය ඔස්සේ අන්තර් ජාලයට පිවිසීමෙන් මේ ‍පොත පිළිබඳව ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගත හැකි වනු ඇත.
මහාචාර්යවරයා සමග සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 'සත්‍යයේ හඬ' (Voices of Truth) ආයතනයේ විද්‍යාඥයින්, චින්තකයින් වැනි විද්වතුන් සමග සම්මුඛ සාකච්ඡා මෙහෙයවන තීනා එල්. ඩයමන්ඩ් නමැති ප්‍රවීණ මාධ්‍යවේදිනිය විසිනි. Brian Weiss Speaks on Past - Life Therphy වබේ ලිපිනය ඔස්සේ අන්තර් ජාලයට පිවිසීමෙන් ඔහු සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ මුද්‍රත පිටපතක් (Print Out) ඔබට ලබාගත හැකිවනු ඇත.
ඇමරිකානු මහාචාර්යවරයාගේ පුනරුත්පත්ති වාර්තාවේ විශ්වසනීයත්ව කුමක්ද? යනුවෙන් ඔබතුමා නගා ඇති පැණයට පිළිතුර මගේ ඒ ලිපියේම සඳහන් වී ඇත. 
පුනර්භවයේ වලංගුභාවය තහවුරු කළ හැක්කේ කෙසේද? ඒ සඳහා උපකාරි වන තොරතුරු ඔබ සොයනවාද? නීතා ඩයමන්ඩ් නැගූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දී ඇත්තේ මෙසේය.
පුනර්භවය විද්‍යාත්මකව ඔප්පු කර දැක්වීම අපහසුයි. මක්නිසාද යත් අප එය දෙස විද්‍යාත්මකව බලන නිසා. එහෙත් එහි සත්‍යතාවය පිළිබඳ මගේ හිතේ කිසිම ගැටලුවක් නැත. මා සමග වැඩ කරමින් සිටින චිකිත්සකයින් සහ වෛද්‍යවරුන් සියලු දෙනාගේම සිත්වලද එබඳු ගැටලුවක් නැත. වෛද්‍යවරයා මෙහිදී ව්‍යාංගාර්ථයෙන් අවධාරණය කරන්නේ පුනර්භවය නමැති සංසිද්ධිය, ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය පදනම් කරගත් නවීන විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි බවය. එහෙත් එහි සත්‍යතාවය පිළිගැනීමට ඔහුට එය බාධාවක් නොවන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
පෙර ආත්ම චිකිත්සක ප්‍රතිචාර ක්‍රමය පදනම් කරගෙන ප්‍රතිකාර කිරීමේදී එය ප්‍රයෝජනවත් වූයේ ඔහුගේ රෝගීන්ට සහ පාඨකයින්ට පමණක් නොවේ. ඉන් පෞද්ගලිකව ඔහුටද ඉමහත් ප්‍රයෝජනයක් අත්විය. ජීවිතය පිළිබඳ මහා දැනුම් සම්භාරයක් අනාවරණය කරගන්නට ඉන් ඔහුට හැකි විය. එමගින් ආධ්‍යාත්මික වශයෙන් තමාගේ ඇතුළාන්තය දෙස එබි බැලීමටද ඔහුට හැකිවූ බව නීතා ඩයමන්ඩ් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කොට ඇත.
මේ ලිපිය මහාචාර්යවරයාගේ ‍පොතේ පෙරවදනේ ආරම්භක ජේදයෙන් පටන්ගෙන අවසානය සනිටුහන් කරන ජේදයෙන් අවසන් කිරීම වඩාත් යෝග්‍ය යැයි මට සිතේ.
‍පොතේ පෙරවදනේ ආරම්භක ජේදය පටන් ගන්නේ මෙසේය.
ලොව සෑම දෙයකටම හේතුවක් ඇතැයි අප පිළිගත යුතුව ඇත. එහෙත් සමහර සිදුවීම් ගැන බලන විට එකවරම ඒවාට හේතු සාධක තෝරා බේරා ගත නොහැකිවනුයේ, අපගේ දැනුම හා බුද්ධිය ඒවා තෙරුම් ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන නිසාය. එහෙත් ඉවසීමෙන් කාලයට ඉඩ දුනහොත්, ඒ හේතු සියල්ල අනාවරණය වනු ඇත.
‍පොතේ අවසාන ජේදය සටහන් වන්නේ මෙසේය. 
‍පොත ලිවීමෙන් මගේ ජීවිත වෘත්තියට හානියක් වන්නේදැයි මට සිතන්නට අවශ්‍ය නොවීය. මට අවශ්‍ය වූයේ මා ලත් ඒ අපූර්ව අත්දැකීම් සම්භාරය සියලු දෙනාම සමග බෙදාහදා ගැනීමටය. මේ ‍පොතේ සඳහන් කරුණු සියල්ලම සම්පූර්ණයෙන්ම සත්‍ය කරුණුය. මේ කරුණු කියවන යමෙකුගේ සිතින් මරණ භය යාන්තමින් හෝ පහ කිරීමට සමත් වූයේ නම් එයින් මගේ පරමාර්ථය ඉටුවූවා වෙයි.
ලක්බිම