ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

අටපිරිකර පුදා ලබමු සැප මෙලෙසා

මේ වස්සාන සමයයි. මේ වස්සාන කාලයේ අසිරිමත්ම මොහොත එළඹෙනුයේ ඉල් පොහොය අවසානයේ කඨින චීවර මාසය එළඹීමත් සමඟය. යම් පුද්ගලයෙකුට මේ ජීවිත ගමනේ දී පුණ්‍ය කර්මයකට සහභාගි වීමට වසරකට වරක් ලැබෙන ඒ අවස්ථාව මඟ නොහැරීමට බෞද්ධ ආර්ය ශ්‍රාවකයා සැදී පැහැදී සිටී. අපමණ කුසල් වලින් උතුම්ම කුසලය ලෙස කඨින චීවර පූජාව බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත. කඨින චීවර පූජාව මෙලොව පරලොව නිවන යන ත්‍රිවර්ගීය සම්පත ලබාදෙන මහඟු පින්කමක් ලෙස සැලකේ.

“ පඨවි රිවනජාතු කමපතේ 
නචලති මේරු රිවාති වායුනා
වජිරමිව නභිප්ජතේ ඝනං 
තමිධ මනෝ කඨිනන්ති වුච්චති


කඨින චීවර පූජාව මහපොළොව මෙන් කිසිකලෙක කම්පා නොවේ. මහාමේරු පර්වතය මෙන් සුළගින් කිසි කලෙකත් නොසැලේ. ඒක ඝන වජ්‍ර පර්වතය මෙන් නොබිදේ. ඒ හෙයින් මෙය ස්ථීර කුසල කර්මයකි. එය පාලි අටුවාවේ චීරස්කන්ධකයේ සඳහන් වේ.
පින්කම් අතරින් මහා කුසල් අටක් පිළිබඳව අප ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ. එමෙන්ම බුදු දහම අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත සතර සංග්‍රහ වස්තූන්ගෙන් සංග්‍රහ කිරීම පුද පූජා කිරිම මහත්ඵල මහානිශංස පූජාවකි. මෙහිදී සතර සංග්‍රහ වස්තු නම් චීවර, පිණ්ඩපාත , සේනාසන සහ ගිලානප්‍රත්‍ය බව සඳහන් වේ.අප සැදැහැවත් ආර්ය ශ්‍රාවක බෞද්ධයා විසින් කළ යුතු ඒ අටමහා කුසල් පිළිබඳව මෙසේ සඳහන් වේ.

“ කඨිනට්ඨ පරික්ඛාරං 
වාසදානංච මුත්තමං
බුද්ධපමුඛ සංඝස්ස  දානං 
ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච බුද්ධස්ස 
පටිමා කරණානම් පිච කාරණං 
වච්ච කුටියා  අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”


කඨින සිවුරක් පූජා කිරීම, අට පිරිකරක් පූජා කිරිම, මහා සංඝයාගේ ප්‍රයෝජනය සඳහා කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා කරවීම. වැසිකිළි කැසිකිළි කරවා පූජා කිරීම මහත්ඵල මහානිශංස පුණ්‍ය ක්‍රියා ලෙස සැලකේ. කඨින චීවර පූජාවේ ආනිශංස අති විශාල බව විනය පිටකයේ මෙන්ම නාගිත අපදානයෙහි පැහැදිලිව දක්වා ඇත.
කසාවතට අප දක්වනුයේ අසීමිත ගෞරවයකි. කිසිදා කිසි ලෙසකිනුදු වෙනස් නොවු ශාරීර වරණය කසාවත පමණි. කඨින පූජාවට පමණක් නොව නොයෙකුත් දේ පිළිබදව කරනු ලබන පුණ්‍ය කර්ම වලදී චීවරයට අප ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ අප සම්මා සම්බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද භික්‍ෂු , භික්‍ෂූණීන් වහන්සේලාට නියමිත ශරීරාවරණය ලෙසය. තම ජීවිත කාලය තුළ අට පිරිකරක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන්නට ලැබීමද අප ලබන්නා වූ මහත්ම භාග්‍යයකි.
ශාසන ඉතිහාසයේ දැක්වෙන පරිදි ගිහිගෙයින් නික්ම අප මහා බෝසතාණන් වහන්සේ අනෝමා නදී තෙරදි කේශච්ඡේදනය කර සහම්පතී බ්‍රහ්මයා ලබා දුන් පිරිකර හැඳ ගත් බව බුද්ධ චරිතයෙහි සඳහන් වේ. ඉන් පසු අප මහා බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව සම්බෝධියෙන් අති උතුම් වූ බුද්ධත්වයට පත් වූ විට ගෞතම බුදුරජාණන් වහන්සේට ප්‍රථම අෂ්ඨ පරිෂ්කාර පූජාව මහා බ්‍රහ්මයා විසින් සිදු කරන ලද බව ශාසන ඉතිහාසය පෙන්වා දෙයි.
අප සම්මා සම්බුදු ගෞතමයන් වහන්සේගේ නිර්මල බුද්ධ ශාසනය තුළ බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලාගේ මූලික පරිෂ්කර ලෙස අටපිරිකර සැලකේ.
එම් අෂ්ඨ පරිෂ්කාර නම්,

“පත්තං පරිස්සාවනං කාය බන්ධනං 
නිච්චරං වාසි සුචිං ච සංඝ
දන්ති යේ නිච්ච පසන්ත චිත්තා 
තේ එහි භික්‍ඛුනි වදන්ති බුද්ධා

මෙහිදී අටපිරිකර යනු මහණ උපසදම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි. අදනය, පටිය, තනිපට සිවුර, දෙපට සිවුර, පාත්‍රය, දැලිපිහිය, කරකැත්ත, පෙරහන, ඉදිකටු, නූල්බෝල වශයෙන් ශ්‍රමණ පරිසකර අට දැක්වේ. කැප සරුප් ලෙස පිළියෙළ කරන ලද අටපිරිකර පූජාවේ ආනිශංස අති මහත්ය. අරහත් භාවය ලබා ගැනීමට පවා මෙම පූජාව උපනිශ්‍රය වන බව සූත්‍ර පිටකයේ සඳහන් වේ. සියලු සැපතින් සිපිරු දෙව් මිනිස් භවයන්හි භාග්‍යමත් උපතක් ලැබීමට පවා ලෞකික වශයෙන් හේතුවන අතර, නෛර්යාණික බුදුසසුනක උතුම් පැවිද්ද ලබා අරහත් භාවයට පත්වීමටද මෙය වෙන වෙනම හේතුවන බව පිළින්දවචඡ ථෙරපදානයෙහි දැක්වේ.
අටපිරිකර පූජා කිරීමේ ආනිශංස මහත්ඵලය . මේ අසිරිමත් වු ආනිශංස ඒකාන්ත වූ සැදැහැ සිතින් දරා පූජාවන් සිදු කරන්නේය ද එය මහත්ඵල මහානිශංස වන්නේය.
අටපරිකරෙහි චීවර වර්ග තුනකි. තුන් සිවුර යනුවෙන් අපි එය හඳුන්වන්නෙමු. තනිපට සිවුර, දෙපට සිවුර අදනය මෙයට අයත්ය. මෙම තුන් සිවුරු පුජා කිරීම නිසා,
1.රන්වන් සිරුරක් ලැබීම 2. ශරීරයේ දූවිලි නොවැසීම 3. රැස් ෂහිදෙන වර්ණවත් ශරීරයක් ලැබීම
4.මහත්වූ ප්‍රතාප බවක් දිස්වීම 5.සිනිඳු ශරීරයකට හිමිකම ලැබීම 6. සසර ගමනෙහි සෑම භවයකදීම සුදු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම 7. සසර ගමනේ සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්‍ෂ ගණනික් දැරීම 8. සසර ගමනේ සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම සිදුවේ.
අට පිරිකරට පාත්‍රය අනිවාර්ය වේ.
පාත්‍ර පිදීම නිසාද ආනිශංස දහයක් ලැබෙන බව අපදාන ග්‍රන්ථයේ දැක්වේ. එනම්, 1. රන්, රිදී, මැණික් තලි පරිභෝජනය කිරීමට ලැබේ. 2. කිසිදා උපද්‍රව සිදු නොවේ. 3. අනතුරු වලින් වලකියි. 4. සෑම තැන්හි ගරු පුද ලබයි 5. ආහාර පාන වස්ත්‍ර සයනාසන නොඅඩුව ලැබේ. 6. භව බෝග නොනැසේ. 7. ස්ථීර වූ සිත් ඇතිවේ. 8. සෑම කල්හි ධර්මය රුචි කෙරේ 9. මද කෙලෙස් සහිත වේ. 10. කාම භව දිට්ඨි ආශ්‍රව රහිතව ජීවත් වේ.
දැලි පිහියා පිදීමේ අනුසස් 6 කි. ඒවා නම් 1. සෑම කල්හිම සූරයෙක් වේ. 2.නොවිසිරුන සිත් ඇත්තෙක් වේ. 3.විශාරදත්වයෙහි යුතු වේ. 4. ධෛර්ය ඇතිව වෙසේ. 5. වීර්ය ඇතිව වෙසේ. 6. ඍජු සිත් ඇත්තෙක් වේ 7. කෙලෙස් සිදී සූක්‍ෂම ශ්‍රද්ධාග්‍රණය ලබයි.
පෙරහන් කඩ පිදීමේ ආනිසංස 5 කි.
1.සෑම දෙනා ඉක්මවා දීර්ඝායුෂ විදීමට 2. කිසිදාක හොරුන්ගෙන් හිංසා නොවීම 3. සතුරු විපත් නැතිවීම 4. ආයුධ වස විෂ වලින් අනතුරු නොවීම 5.අතුරු මරණ නොමැතිව පරමායුෂ වැළදීමට ලැබීම
පටි පිදීමද මහානිශංස සහිතයි
1.සමාධීන් හි අකම්පිත වීමත් 2. සමාධින් හිදි වශී භාවයට පැමිණීමත්, 3.නොබිදෙන පිරිස් ඇතිවීම 4. සැම විට තම වදන් අනුන් පිළිගැනීම 5. සිහියෙන් සිටීම 6. කිසිදු භවයකදී බියක් හෝ තැති ගැනීමක් ඇති වීමක් නොවේ.
මෙසේ අනන්ත අප්‍රමාණ කුසල සම්භාරයක් ලැබීමට අනුව අටපිරිකර පූජාව නිසා අවස්ථාව ලැබේ. විනයානුකූල අටපිරිකර පුදා සසර ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතු නිර්වාණය අවබෝධය කරගැනීම සඳහා අවශ්‍ය පුණ්‍ය සම්භාරය ලබා ගැනීමට අප විසින් උනන්දු විය යුතුය.
“සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා “

ශ්‍රී සාරිපුත්ත දහම් පාසලේ ආචාර්ය 
එම්.එස්. රණතුංග