ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බුදුරජාණන්වහන්සේ වදාල උතුම් මංගල කරුණු



බුදුරජාණන්වහන්සේ මංගල කරුණු 38 ක් පෙන්වා දී ඇත.


01. බාලයන් අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම
02. පණ්ඩිතයන් සත්පුරුෂයන් ඇසුරු කිරීම
03. පිදිය යුත්තන් පිදීම
04. සුදුසු දේශයක වාසය කිරීම
05. පෙර කරන ලද පින් ඇති බව
06. සිත මනා කොට පිහිටුවා ගැනීම
07. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව
08. මැනවින් උගත් ශිල්ප ඇති බව
09. මනා කොට හික්මවන ලද විනය
10. යහපත් වචන කතා කිරීම
11. මව පෝෂණය කිරීම
12. පියා පෝෂණය කිරීම
13. අඹු දරුවන්ට සංග්‍රහ කිරීම
14. නිවැරදි කර්මාන්ත කිරීම
15. දන් දීම
16. ධර්මයෙහි හැසිරීම
17. නෑයන්ට සංග්‍රහ කිරීම
18. දොස් පැවරිය නොහැකි ක්‍රියා කිරීම
19. සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡා පැවැත්වීම
20. පාපයෙන් වැළකීම
21. මත්පැනින් වැළකීම
22. කුසල ධර්මයෙහි අප්‍රමාදී වීම
23.ගරු කිරීම
24. නිහතමානී බව
25. ලද දෙයින් සතුටු වීම
26. කළගුණ දන්නා බව
27. සුදුසු කාලයෙහි බණ ඇසීම
28. ඉවසීම
29. කීකරු බව
30. ශ්‍රමණයන් දැකීම
31. තපස් රැකීම
32. බඹසර විසීම
33. ආර්ය සත්‍යයන් දැකීම
34. නිවන් අවවෝධ කරගැනීම
35. අටලෝ දහමින් සිත කම්පා නොවීම
36. ශෝක රහිත බව
37. කෙලෙස් රහිත බව
38. සිත කෙලෙසුන්ගෙන් නිදහස් වීම


Sasara Tharanaya - සසර තරණය

අටපිරිකර පුදා ලබමු සැප මෙලෙසා

මේ වස්සාන සමයයි. මේ වස්සාන කාලයේ අසිරිමත්ම මොහොත එළඹෙනුයේ ඉල් පොහොය අවසානයේ කඨින චීවර මාසය එළඹීමත් සමඟය. යම් පුද්ගලයෙකුට මේ ජීවිත ගමනේ දී පුණ්‍ය කර්මයකට සහභාගි වීමට වසරකට වරක් ලැබෙන ඒ අවස්ථාව මඟ නොහැරීමට බෞද්ධ ආර්ය ශ්‍රාවකයා සැදී පැහැදී සිටී. අපමණ කුසල් වලින් උතුම්ම කුසලය ලෙස කඨින චීවර පූජාව බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත. කඨින චීවර පූජාව මෙලොව පරලොව නිවන යන ත්‍රිවර්ගීය සම්පත ලබාදෙන මහඟු පින්කමක් ලෙස සැලකේ.

“ පඨවි රිවනජාතු කමපතේ 
නචලති මේරු රිවාති වායුනා
වජිරමිව නභිප්ජතේ ඝනං 
තමිධ මනෝ කඨිනන්ති වුච්චති


කඨින චීවර පූජාව මහපොළොව මෙන් කිසිකලෙක කම්පා නොවේ. මහාමේරු පර්වතය මෙන් සුළගින් කිසි කලෙකත් නොසැලේ. ඒක ඝන වජ්‍ර පර්වතය මෙන් නොබිදේ. ඒ හෙයින් මෙය ස්ථීර කුසල කර්මයකි. එය පාලි අටුවාවේ චීරස්කන්ධකයේ සඳහන් වේ.
පින්කම් අතරින් මහා කුසල් අටක් පිළිබඳව අප ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ. එමෙන්ම බුදු දහම අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත සතර සංග්‍රහ වස්තූන්ගෙන් සංග්‍රහ කිරීම පුද පූජා කිරිම මහත්ඵල මහානිශංස පූජාවකි. මෙහිදී සතර සංග්‍රහ වස්තු නම් චීවර, පිණ්ඩපාත , සේනාසන සහ ගිලානප්‍රත්‍ය බව සඳහන් වේ.අප සැදැහැවත් ආර්ය ශ්‍රාවක බෞද්ධයා විසින් කළ යුතු ඒ අටමහා කුසල් පිළිබඳව මෙසේ සඳහන් වේ.

“ කඨිනට්ඨ පරික්ඛාරං 
වාසදානංච මුත්තමං
බුද්ධපමුඛ සංඝස්ස  දානං 
ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච බුද්ධස්ස 
පටිමා කරණානම් පිච කාරණං 
වච්ච කුටියා  අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”


කඨින සිවුරක් පූජා කිරීම, අට පිරිකරක් පූජා කිරිම, මහා සංඝයාගේ ප්‍රයෝජනය සඳහා කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා කරවීම. වැසිකිළි කැසිකිළි කරවා පූජා කිරීම මහත්ඵල මහානිශංස පුණ්‍ය ක්‍රියා ලෙස සැලකේ. කඨින චීවර පූජාවේ ආනිශංස අති විශාල බව විනය පිටකයේ මෙන්ම නාගිත අපදානයෙහි පැහැදිලිව දක්වා ඇත.
කසාවතට අප දක්වනුයේ අසීමිත ගෞරවයකි. කිසිදා කිසි ලෙසකිනුදු වෙනස් නොවු ශාරීර වරණය කසාවත පමණි. කඨින පූජාවට පමණක් නොව නොයෙකුත් දේ පිළිබදව කරනු ලබන පුණ්‍ය කර්ම වලදී චීවරයට අප ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ අප සම්මා සම්බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද භික්‍ෂු , භික්‍ෂූණීන් වහන්සේලාට නියමිත ශරීරාවරණය ලෙසය. තම ජීවිත කාලය තුළ අට පිරිකරක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන්නට ලැබීමද අප ලබන්නා වූ මහත්ම භාග්‍යයකි.
ශාසන ඉතිහාසයේ දැක්වෙන පරිදි ගිහිගෙයින් නික්ම අප මහා බෝසතාණන් වහන්සේ අනෝමා නදී තෙරදි කේශච්ඡේදනය කර සහම්පතී බ්‍රහ්මයා ලබා දුන් පිරිකර හැඳ ගත් බව බුද්ධ චරිතයෙහි සඳහන් වේ. ඉන් පසු අප මහා බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව සම්බෝධියෙන් අති උතුම් වූ බුද්ධත්වයට පත් වූ විට ගෞතම බුදුරජාණන් වහන්සේට ප්‍රථම අෂ්ඨ පරිෂ්කාර පූජාව මහා බ්‍රහ්මයා විසින් සිදු කරන ලද බව ශාසන ඉතිහාසය පෙන්වා දෙයි.
අප සම්මා සම්බුදු ගෞතමයන් වහන්සේගේ නිර්මල බුද්ධ ශාසනය තුළ බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලාගේ මූලික පරිෂ්කර ලෙස අටපිරිකර සැලකේ.
එම් අෂ්ඨ පරිෂ්කාර නම්,

“පත්තං පරිස්සාවනං කාය බන්ධනං 
නිච්චරං වාසි සුචිං ච සංඝ
දන්ති යේ නිච්ච පසන්ත චිත්තා 
තේ එහි භික්‍ඛුනි වදන්ති බුද්ධා

මෙහිදී අටපිරිකර යනු මහණ උපසදම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි. අදනය, පටිය, තනිපට සිවුර, දෙපට සිවුර, පාත්‍රය, දැලිපිහිය, කරකැත්ත, පෙරහන, ඉදිකටු, නූල්බෝල වශයෙන් ශ්‍රමණ පරිසකර අට දැක්වේ. කැප සරුප් ලෙස පිළියෙළ කරන ලද අටපිරිකර පූජාවේ ආනිශංස අති මහත්ය. අරහත් භාවය ලබා ගැනීමට පවා මෙම පූජාව උපනිශ්‍රය වන බව සූත්‍ර පිටකයේ සඳහන් වේ. සියලු සැපතින් සිපිරු දෙව් මිනිස් භවයන්හි භාග්‍යමත් උපතක් ලැබීමට පවා ලෞකික වශයෙන් හේතුවන අතර, නෛර්යාණික බුදුසසුනක උතුම් පැවිද්ද ලබා අරහත් භාවයට පත්වීමටද මෙය වෙන වෙනම හේතුවන බව පිළින්දවචඡ ථෙරපදානයෙහි දැක්වේ.
අටපිරිකර පූජා කිරීමේ ආනිශංස මහත්ඵලය . මේ අසිරිමත් වු ආනිශංස ඒකාන්ත වූ සැදැහැ සිතින් දරා පූජාවන් සිදු කරන්නේය ද එය මහත්ඵල මහානිශංස වන්නේය.
අටපරිකරෙහි චීවර වර්ග තුනකි. තුන් සිවුර යනුවෙන් අපි එය හඳුන්වන්නෙමු. තනිපට සිවුර, දෙපට සිවුර අදනය මෙයට අයත්ය. මෙම තුන් සිවුරු පුජා කිරීම නිසා,
1.රන්වන් සිරුරක් ලැබීම 2. ශරීරයේ දූවිලි නොවැසීම 3. රැස් ෂහිදෙන වර්ණවත් ශරීරයක් ලැබීම
4.මහත්වූ ප්‍රතාප බවක් දිස්වීම 5.සිනිඳු ශරීරයකට හිමිකම ලැබීම 6. සසර ගමනෙහි සෑම භවයකදීම සුදු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම 7. සසර ගමනේ සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්‍ෂ ගණනික් දැරීම 8. සසර ගමනේ සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම සිදුවේ.
අට පිරිකරට පාත්‍රය අනිවාර්ය වේ.
පාත්‍ර පිදීම නිසාද ආනිශංස දහයක් ලැබෙන බව අපදාන ග්‍රන්ථයේ දැක්වේ. එනම්, 1. රන්, රිදී, මැණික් තලි පරිභෝජනය කිරීමට ලැබේ. 2. කිසිදා උපද්‍රව සිදු නොවේ. 3. අනතුරු වලින් වලකියි. 4. සෑම තැන්හි ගරු පුද ලබයි 5. ආහාර පාන වස්ත්‍ර සයනාසන නොඅඩුව ලැබේ. 6. භව බෝග නොනැසේ. 7. ස්ථීර වූ සිත් ඇතිවේ. 8. සෑම කල්හි ධර්මය රුචි කෙරේ 9. මද කෙලෙස් සහිත වේ. 10. කාම භව දිට්ඨි ආශ්‍රව රහිතව ජීවත් වේ.
දැලි පිහියා පිදීමේ අනුසස් 6 කි. ඒවා නම් 1. සෑම කල්හිම සූරයෙක් වේ. 2.නොවිසිරුන සිත් ඇත්තෙක් වේ. 3.විශාරදත්වයෙහි යුතු වේ. 4. ධෛර්ය ඇතිව වෙසේ. 5. වීර්ය ඇතිව වෙසේ. 6. ඍජු සිත් ඇත්තෙක් වේ 7. කෙලෙස් සිදී සූක්‍ෂම ශ්‍රද්ධාග්‍රණය ලබයි.
පෙරහන් කඩ පිදීමේ ආනිසංස 5 කි.
1.සෑම දෙනා ඉක්මවා දීර්ඝායුෂ විදීමට 2. කිසිදාක හොරුන්ගෙන් හිංසා නොවීම 3. සතුරු විපත් නැතිවීම 4. ආයුධ වස විෂ වලින් අනතුරු නොවීම 5.අතුරු මරණ නොමැතිව පරමායුෂ වැළදීමට ලැබීම
පටි පිදීමද මහානිශංස සහිතයි
1.සමාධීන් හි අකම්පිත වීමත් 2. සමාධින් හිදි වශී භාවයට පැමිණීමත්, 3.නොබිදෙන පිරිස් ඇතිවීම 4. සැම විට තම වදන් අනුන් පිළිගැනීම 5. සිහියෙන් සිටීම 6. කිසිදු භවයකදී බියක් හෝ තැති ගැනීමක් ඇති වීමක් නොවේ.
මෙසේ අනන්ත අප්‍රමාණ කුසල සම්භාරයක් ලැබීමට අනුව අටපිරිකර පූජාව නිසා අවස්ථාව ලැබේ. විනයානුකූල අටපිරිකර පුදා සසර ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතු නිර්වාණය අවබෝධය කරගැනීම සඳහා අවශ්‍ය පුණ්‍ය සම්භාරය ලබා ගැනීමට අප විසින් උනන්දු විය යුතුය.
“සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා “

ශ්‍රී සාරිපුත්ත දහම් පාසලේ ආචාර්ය 
එම්.එස්. රණතුංග

ඇමෙරිකානු මහාචාර්යවරයාගේ පුනරුත්පත්ති වාර්තාවේ විශ්වසනීයත්වය කුමක්ද?

පුනර්භවය සත්‍යයක් බව ඇමෙරිකාවේදී අහඹු සිදුවීමකින් ඔප්පු වෙයි යන මැයෙන් 2012 සැප්තැම්බර් 30 වන දින ඉරිදා ලක්බිම පුවත්පතේ පළවූ මගේ ලිපිය පිළිබඳව ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති එස්. රණතුංග මහතා විසින් 2012 ඔක්තෝබර් 21 දින ඉරිදා ලක්බිම පුවත්පතට ඉහත සඳහන් මැයෙන් යුතු ලිපියකින් සිය අදහස් දක්වමින් එම සිදුවීම සම්බන්ධව වැඩිදුර තොරතුරු අපේක්ෂා කර සිටී.
එම තොරතුරු සැපයීමට පෙරාතුව මගේ ලිපියේ සඳහන් සමහර කරුණු වැරදි සහගත ලෙස වටහා ගැනීමත් එතුමා අතින් සිදුවී ඇති බව පෙනෙන්නට තිබෙන නිසා ප්‍රථමයෙන්ම ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීම මගේ යුතුකමක් සේ සලකමි.
පුනර්භවය යන සංකල්පය ඔප්පු කිරීම හෝ නොකිරීම මගේ ලිපියේ පරමාර්ථය නොවීය. ලොව කොතැනක හෝ පළවන ප්‍රවෘත්තියක් හෝ සිදුවීමක් පිළිබඳව සත්‍ය තොරතුරු ඒ අයුරින්ම ඉදිරිපත් කොට පාඨක ජනතාව දැනුවත් කිරීම මගේ යුතුකම හා වගකීම වන්නේය. මා ඒ ලිපියට සිරස්තලය යෙදුවේ මහාචාර්යවරයාගේ පර්යේෂණ ග්‍රන්ථයේ සහ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවේ අන්තර්ගතව තිබූ කරුණු සැලකිල්ලට ගැනීමෙනි. පුනර්භවය පිළිගන්නා ජනතාව ප්‍රමෝධයට, අමන්දානන්දයට පත්කිරීමේ කිසිදු අපේක්ෂාවක් මා තුළ නොවීය. මා කළේ සත්‍ය යැයි පැවසෙන ඒ සිදුවීම මහාචාර්යවරයාගේ ‍පොත සහ සම්මුඛ සාකච්ඡාව පදනම් කරගෙන පුවත්පතට ලිපියක් සැකසීම පමණකි. පුනර්භවය සත්‍යයක් බව පවසන්නේ මා නොව ඒ මහාචාර්යවරයායි. ඒ හැරෙන්නට මම ඒ ලිපිය වර්ණ ගන්වා ඔපවත් කිරීමට කිසිදු උත්සාහයක් නොකළ බව කාරුණිකව අවධාරණය කරනු කැමැත්තෙමි.
අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති මෙවන් අවදියක, පුනරුත්පත්ති වාර්තා හා ගවේෂණ මෙරට පමණක් කතා බහට ලක්ව ඇති බව ඔබතුමා විසින් කරන ලද ප්‍රකාශය දැක මම බෙහෙවින් මවිතයට පත්වූයෙමි. අපේ රටට සාපේක්ෂව පුනර්භවය පිළිබඳ විශාල වශයෙන් ගවේෂණ හා පර්යේෂණ කටයුතු විශ්ව විද්‍යාල මට්ටමින් සිදු කෙරෙමින් පවතින්නේ බටහිර රටවල්වලය. 
එපමණක්ද නොව මේ සංකල්පය උපයෝගී කරගනිමින් තමන්ගේ කායික හා මානසික රෝග සුවපත් කරගැනීම සඳහා පුළුල් වශයෙන් ප්‍රායෝගිකව භාවිතයට ගන්නේද බටහිර ජනතාවය. එසේම මේ සංකල්පය ඔස්සේ ජීවිතයේ ආධ්‍යාත්මික විමුක්තිය සොයන පැවිදි දිවියට පත්වූ විද්‍යාඥයින්, මහාචාර්යවරුන් වැනි උගතුන් සිටින්නේද බටහිර රටවලය. බටහිරට සාපේක්ෂව ගත්කළ වසර දහස් ගණනාවක් තිස්සේ පුනර්භවය පිළිගන්නා බහුතර ජනතාවක් අප රටේ සිටියද ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන්ම ගත් කළ වුවද එය තමන්ගේ මතයට බද්ධ කරගෙන ඉන් ප්‍රායෝගික ලෙස ප්‍රයෝජනය ලබන්නේ ඉතාමත් අල්ප වශයෙන්ය යන්න මගේ හැඟීමයි.
කැනේඩියානු ජාතික මනෝ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් (Ian Stevenson - 1918.10.31 - 2007.02.28) ඇමෙරිකාවේ වර්ජීනියා වෛද්‍ය විද්‍යාලයේ වසර 50ක කාලයක් සේවය කළේය. ඊට අමතරව 1957සිට 1967 දක්වා වසර 10ක කාලයක් එම විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් සේවය කළේය. ඔහුගේ ජීවිතයේ වසර 50ක සේවා කාලයෙන් වසර 40ක්ම එනම් 2007.02.28 වන දින ඔහු මිය යන තුරුම සිය ජීවිතය කැප කළේ පුනර්භවය පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහාය. එසේම ලොව ප්‍රථමයෙන්ම වර්ජීනියා විශ්ව විද්‍යාලයෙන් බිහිවූ සංජානන විද්‍යා අධ්‍යයන පීඨයේ(The Division of Perceptual Studies - DOPS) පුරෝගාමියා වූ අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස මිය යනතුරුම ඔහු සේවය කළේය. සංජානන විද්‍යා අධ්‍යයනය යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර මනෝ විද්‍යාවේදී පංච්ෙන්ද්‍රියයන්ට හසුනොවන එනම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට හසු නොවෙන අධිමානසික සංසිද්ධීන් (Parapsycology Phenomena, Paranormal Phenomena) අධ්‍යයන කිරීම සඳහා බිහිවූ විකල්ප අධ්‍යයන ක්ෂේත්‍රයකි.
මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ලෝකය පුරාම පෙර ආත්ම කියන දරුවන් සොයාගෙන ගොස් පර්යේෂණ සිදු කළ අතර වරක් ශ්‍රී ලංකාවටද පැමිණියේය. ශ්‍රී ලංකාවේ එවැනි දරුවන් දස දෙනකු පිළිබඳ පර්යේෂණ සිදුකොට ඒ පිළිබඳව ‍පොතක් පළ කළේය. (Cases of the Reincarnation Type - Vol. 11. Ten Cases in Sri Lanka) නමැති ඒ ‍පොත 1978 වසරේදී වර්ජීනියා විශ්ව විද්‍යාලයීය මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.
ටෙක්සාස් සහ වොෂින්ටන් යන විශ්ව විද්‍යාලද එවැනි ගවේෂණ සිදුකරන විශ්ව විද්‍යාල අතරින් කිහිපයකි. එසේම මහාචාර්ය කාල් ජුන්ග්, ආචාර්ය ජෝසප් බි. රයින්, ආචාර්ය රේමන්ඩ් මූඩි සහ ආචාර්ය ග්ර්ට්රූඩ් ෂේච්ඩ්ලර් මේ පර්යේෂණ කටයුතුවල නිරත වී සිටින ප්‍රසිද්ධ විද්‍යාඥයින් අතරින් කිහිප දෙනෙක් පමණි. මේ සෑම කෙනෙක්ම ආගමික දෘෂ්ඨීන්ගෙන් වර්ණවත් නොවී හුදෙක් පුනර්භවයේ සත්‍ය අසත්‍යතාවය සොයාගැනීමට පරමාර්ථයෙන් පර්යේෂණ සිදු කරන්නෝ වෙති.
පෙර ආත්ම මෝහන චිකිත්සා ක්‍රමය (Past Life Theraphy) බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවට එකතුවීමට පෙරාතුව මේ ක්‍රමය උපයෝගී කරගෙන පෞද්ගලික මට්ටමින් රෝග සුව කළ ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයෙකි එඩ්ගාර් කේසි (Edgar Cayce - 1878.03.18 - 1945.01.03) කිතුණු බැතිමතෙකු වූ, උපතින්ම අධි මානසික බලයක් තිබූ එඩ්ගාර් කේසි ස්වයං මෝහන නිද්‍රාවට පත්ව තමන්වෙත පැමිණි 25000කගේ පමණ පෙර ආත්ම කියවා රෝග සුවපත් කර ගැනීම සඳහා ප්‍රතිකාර කළේය. කේසිගේ ප්‍රතිකාර ක්‍රමවේදයේ සුවිශේෂ ලක්ෂණ දෙකක් දක්නට ලැබිණි.
එකක් නම් රෝගියා මෝහන නිද්‍රාවට පත් කරනවා වෙනුවට තමාම ස්වයං මෝහන නිද්‍රාවට පත්ව රෝගියාගේ පෙර ආත්ම කියවීමය. අනිත් කාරණය වූයේ අදාළ රෝගියාම ප්‍රතිකාර සඳහා ඔහු ඉදිරියට පැමිණීම අනිවාර්ය නොවීමය. වෙනත් පුද්ගලයෙක් පැමිණ අදාළ රෝගියාගේ නම කියූ පමණින් ඔහුගේ පෙර ආත්ම කියැවීමේ විශේෂ හැකියාවක් ඔහු සතුව තිබිණ. ලොව පුරා මිනිසුන් ඔහු හැඳින්වූයේ 'වර්ජීනියා මුහුදු වෙරළේ නිදන අනාගත වක්තෘවරයා' (The Sleeping Prophet oF the Verginia Beach) යන අන්වර්ථ නාමයෙනි.
කේසිගේ මේ පෙර ආත්ම කියැවීම තමන් අදහන කිතු දහමට සහමුලින්ම පටහැනිවුවද මිය යන තුරුම ඔහු ඒ ඔස්සේ මිනිසුන්ට උපකාර කිරීම දිගටම සිදුකරගෙන ගියේය. ඔහුගේ මරණින් පසුව ඔහු විසින් කරන ලද මේ ජීවිත කියැවීමි 25000 ජීනා සර්මිනාරා නමැති මනෝ විද්‍යාඥවරිය විසින් විද්‍යාත්මක පර්යේෂණයකට භාජනය කරනු ලැබිය. වසර දහයක කාලයක් තිස්සේ ඇය සිදුකළ පර්යේෂණයෙන් සොයාගත් කරුණු ඇතුළත් කොට "Many Mansions" නමැති පර්යේෂණාත්මක ග්‍රන්ථය ලියා පළ කළේය.
එසේම පෙර ආත්ම මෝහන චිකිත්සා ප්‍රතිකාර ක්‍රමයට අමතරව පෙර ආත්ම ‍ජ්‍යොතිෂ්ශාස්ත්‍රය (Past Life Astrology) යනුවෙන් ‍ජ්‍යොතිර්වේද ක්‍රමයක්ද බටහිර රටවල බිහිවී ඇත. එමගින් සිදු කරන්නේ පුද්ගලයාගේ කේන්ද්‍ර පිටපත අධ්‍යයනය කිරීමෙන් පෙර ආත්මවල තොරතුරු සොයා ගැනීමය.
තමන් පිළිගන්නා පුනර්භවය නමැති සංකල්පය ඇමෙරිකානුවෙකු විසින් සත්‍යයක් යැයි ඔප්පු කිරීමෙන් එම ජනතාව අතරේ ඇමෙරිකන් විරෝධී දේශපාලන කැළඹීමකට හේතු විය හැකි බව ඔබතුමා කරන ප්‍රකාශය පදනම් විරහිත තර්කානුකූල නොවන ප්‍රකාශයකි. එය අසත්‍යයක් යැයි ඇමෙරිකානුවකු විසින් ඔප්පු කරනු ලැබුවා නම්, සමහර විට මේ දිනවල මුස්ලිම්වරුන්ගේ අහිංසකත්වය (Innocence of Muslims) නමැති චිත්‍රපටයට එරෙහිව ලොව පුරා මුස්ලිම් ජනතාව අතරේ කැළඹීමක් ඇතිවී තිබෙන ආකාරයට දේශපාලන අර්බුදයක් ඇතිවිය හැකිව තිබුණු බව මමද පිළිගනිමි.
එහෙත් මහාචාර්වරයාගේ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කරන ලද එක් ප්‍රකාශයක් නිසා කිතුණු ජනතාව අතරේ නම් ඔබතුමා කියන ආකාරයේ කැළඹීමක් ඇතිවිය හැකිව තිබුණි. නූතන කිතු දහමට අනුව පුනර්භවය මිථ්‍යා මතයක් ලෙස බැහැර කරයි. එහෙත් මහාචාර්යවරයා සාකච්ඡාවේදී පෙන්වා දී ඇත්තේ පැරණි කිතු දහමේ පුනර්භවය අන්තර්ගතව තිබූ බවත් හයවන සියවසේ කොන්ස්තන්තිතෝපල් දෙවන සභාවේදී එය මිථ්‍යා මතයක් ලෙස ප්‍රකාශයට පත් කොට කිතුණු දහමෙන් ඉවත් කළ බවය.
ජීවිතයේ ප්‍රථම වතාවට මෙම වෛද්‍යවරයා විසින් සිදු කරන ලද මෝහන චිකිත්සා ප්‍රතිකාරය මෙය විය. යනුවෙන් ඔබතුමා කරන ලද ප්‍රකාශය මගේ ලිපියේ කරුණු වරදවා වටහා ගැනීමක් බව කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි. බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවේ ඖෂධීය හා සායනික ප්‍රතිකාරවලින් සුවය නොලබන රෝගීන් යොමු කෙරෙන මෝහන චිකිත්සා ක්‍රම දෙකක් තිබේ.
එකක් නම් සියලුම වෛද්‍යවරුන් ‍පොදුවේ පිළිගන්නා සහ අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික මෝහන චිකිත්සා ප්‍රතිකාර (ඩ්රනදධබඩඥපචනඩර) ක්‍රමයයි. එමගින් රෝගියා මෝහන නිද්‍රාවට පත්කොට ඔහුගේ යටි සිත අවදි කරවා රෝගයට හේතු වූ රෝග නිධානය මේ ජීවිත කාලය තුළින් සොයා ගැනීම සිදු කෙරේ.
අනෙක නම් පෙර ආත්ම මෝහන චිතික්සා ප්‍රතිකාර (Hypnotheraphy) ක්‍රමයයි. මේ ක්‍රමය සමහර වෛද්‍යවරුන් පිළිගන්නා අතර සමහර වෛද්‍යවරුන් පිළිගන්නේ නැත. මේ ක්‍රමයෙන් රෝගියා මෝහන නිද්‍රාවට පත්කරවා ඔහුගේ යටි සිත අවදි කරවා ඔහුගේ පෙර ආත්ම භවයන් කරා කැඳවාගෙන ගොස් රෝග නිධානය සොයා ගැනීම සිදු කෙරේ.
මහාචාර්ය බ්‍රයන් වයිස්ද මේ ක්‍රමය පිළිනොගත්, ප්‍රතිකාර සඳහා මේ ක්‍රමය කිසිදාක අනුගමනය නොකළ වෛද්‍යවරයෙකි. එහෙත් ඔහු සාමාන්‍ය සාම්ප්‍රදායික මෝහන චිකිත්සක ක්‍රමය (Past Life Theraphy) අනුගමනය කර රෝගීන් ඕනෑතරම් සුවකර තිබුණි. මහාචාර්යවරයාගේ අරමුණ වූයේ කැතරින්ද මේ සාම්ප්‍රදායික මෝහන චිකිත්සා ක්‍රමයට යොමු කොට ඇගේ රෝග නිධානය සොයා ගැනීමය. එහෙත් ඇය ඊට යොමු කළ පසුව ඔහුගේ කිසිදු අනු දැනුමකින් තොරව ඇය පෙර ගතකොට තිබූ ආත්ම 86ක් කියැවීම නිසා වෛද්‍යවරයා පෙර ආත්ම මෝහන චිකිත්සා ක්‍රමයට (Hypnotheraphy) ෙනෙසර්ගිකවම අවතීරණ වන්නේ හුදෙක් අහඹු සිදුවීමක් ලෙසටය. පුනර්භවය පිළිබඳ සොයා බැලීමේ හෝ පර්යේෂණ කිරීමේ හෝ කිසිදු අපේක්ෂාවක් ඔහුගේ සිතෙහි නොතිබුණු අතර ඔහුගේ එකම අභිප්‍රාය වූයේ කැතරින් නමැති රෝගියාගේ මානසික රෝගී තත්ත්වය සුවපත් කිරීමය.
කැතරින් අගේ පෙර ආත්ම 86ම ප්‍රකාශ කොට ඇත්තේ එක දිගටමය. එහෙත් මහාචාර්යවරයා පර්යේෂණ ග්‍රන්ථය සංස්කරණය කර ඇති ආකාරයට ඒ සිදුවීම් සියල්ල එක දිගට අනු  පිළිවෙළකට විස්තර නොකරේ. ග්‍රන්ථය ලිවීමේදී ඔහු යොදා ගෙන ඇත්තේ ඔහුටම ආවේණික වූ ‍ලේඛන ෙශෙලියකි. 
මේ සිදුවීමෙන් පසුව කැතරින්ගේ කැමැත්ත ඇතිව බොහෝ වාර ගණනාවක් කැතරින් මහාචාර්යවරයා විසින් මෝහන නිද්‍රාවට පත්කරවා ඇති අතර එම අවස්ථාවලදී ඔහු ඔහුගේ සහ පවු‍ලේ පෙර ආත්ම ගැනද විස්තර අනාවරණය කරගෙන ඇත. ඒ අනුව එක් ආත්ම භවයකදී ඔහු ඇගේ පියා වශයෙන් සිට ඇත. තවත් භවයකදී ඇගේ ගුරුවරයා වී ඇත. මහාචාර්යවරයාගේ බිරිඳගේ මව වන මිනට් නමැති කාන්තාව පිළිකා රෝගය වැළඳී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අවස්ථාවේ මේ අහඹු පර්යේෂණයෙන් හෙළි වූ තොරතුරු ඇයට පවසා මහාචාර්යවරයා සහ කැතරින් ඇයසමග සංවාදයේ යෙදීම නිසා මිනට් නමැති ඔහුගේ නැන්දනිය ඉතා සන්සුන් මනසකින් යුතුව කිසිදු වේදනාවකින් තොරව ආදරයෙන් මරණය වැළඳගත් බව ඔහු සිය පර්යේෂණ ග්‍රන්ථයේ සඳහන් කොට ඇත.
(Many Lives Many Masters නමැති මේ ග්‍රන්ථය පිටු 220 කින් සමන්විත ‍පොතකි. මහාචාර්යවරයා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඒ4 පිටු 5ක් පුරා දිවෙන දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකි. ග්‍රන්ථයේ එන මුඛ්‍ය අදහස මගේ ලිපියේ ඉතා සංක්ෂිප්තව සඳහන් කර ඇත. සම්මුඛ සාකච්ඡාවේ පිටු 5න් මුල් පිටු දෙකෙහි සඳහන් කරුණු පමණක් මගේ ලිපියට ඇතුළත් කළෙමි. එහි ඉතිරි පිටු තුනේ තිබුණේ සාපේක්ෂතාවාදය, ක්වොන්ටම්වාදය වැනි ඉතාමත් නැඹුරු මාතෘකා සමග පුනර්භවය පිළිබඳ කරන ලද විවරණයන්ය. ඒ හේතුව නිසාත්, ලිපිය තවත් දීර්ඝ වනු වැළැක්වීම සඳහාත් ඒ සියල්ලම මගේ ලිපියට ඇතුළත් නොකළෙමි.
මේ පිළිබඳව ඔබතුමාට නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහා ගතයුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ අදාළ ‍පොත සහ සම්මුඛ සාකච්ඡාව කියවා බැලීමයි.
Many Lives Many Masters නමැති මෙම ‍පොත ඇමෙරිකාවේ ෆයර් සයිඩ් (Fire Side) ප්‍රකාශකයින් 1983 ජූලි මස 15 වෙනිදා ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිය. 1988 වසරේදීම මේ ‍පොත මා අතටපත් වූයේ මගේ විදේශ මිතුරියක වන මහාචාර්ය ජෙනිෆර් වුල්ෆ් වෙතින් මට ලැබුණු තුටු පඬුරක් හැටියටය.  මේ ‍පොත කියවූ මට වෙනත් පුනර්භව පර්යේෂණයන්ට වඩා කිසියම් අපූර්වත්වයක් එහි ගැබ්ව තිබෙන බව දකින්නට ලැබිණ.
මා මතෛක් කියවා ඇති වෙන්නත් පුනර්භව පර්යේෂණවලදී පර්යේෂකයන් හුදෙක් පුනර්භවයේ සත්‍ය අසත්‍යතාවය පසක් කර ගැනීමේ ඒකායන අරමුණෙන් ඒවා සිදුකොට තිබුණි. එහෙත් මේ මහාචාර්යවරයා රෝගියා මෝහන නිද්‍රාවට පත් කළේ හුදෙක් ඇයගේ රෝගය සුව කිරීමේ එකම අරමුණ පමණක් හිතේ ඇතිවය. එහෙත් ඔහු කිසිසේත්ම බලා‍පොරොත්තු නොවූ ආකාරයට, ඔහුගේ කිසිදු ඇණවුමකින් තොරව ඇගේ කැමැත්තෙන් ඉදිරිපත් වී පෙර ආත්ම කියැවීමට පටන් ගැනීම නිසා වෛද්‍යවරයා ෙනෙසර්ගිකවම පෙර ආත්ම චිකිත්සාවට අවතීර්ණ වන්නේ අහඹු සිදුවීමක් හැටියටය. ඒ ක්‍රියාවලිය තුළින් ඔහු පුනර්භවයේ ඇති සත්‍යතාවය අවබෝධ කරගත් බව ඔහු ප්‍රකාශ කරයි.
මේ පර්යේෂණයේ අපූර්වත්වය වන්නේ එය පමණක්ද නොවේ. සාමාන්‍ය මෝහන නිද්‍රාවට පත් කරනු ලබන රෝගීන් ක්‍රියා කරනු ලබන්නේ වෛද්‍යවරයාගේ උපදෙස්වලට අනුවය. එහෙත් කැතරින් මෙහිදී ක්‍රියා කර ඇත්තේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව නොවේ. එසේම කැතරින්ට පෙර ආත්මවල තමන් සමග ජීවත් වූ පුද්ගලයින් මේ ආත්මයේ තමන් සමග ජීවත් වෙමින් සිටින කවර පුද්ගලයින්ද යන වග හඳුනා ගත හැකි අපූර්ව කුසලතාවන්ද ඇය සතුවිය.
මේ ආකාරයට මේ ‍පොතේ ඇති සුවිශේෂී අපූර්වත්වය නිසාම 1988 වසර නිමා වන්නටත් පෙරාතුව මම මේ ‍පොත සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කළෙමි.
ඒ ආකාරයට සම්පූර්ණයෙන් මතකයෙන් ගිලිහී ගොස් තිබූ මේ ‍පොත පිළිබඳ මතකය නැවතත් අවදි වූයේ මේ දිනවල ලක්බිම පුවත්පත ඔස්සේ පුනර්භවය වැනි ගුප්ත ධර්ම (Skeptic) පිළිබඳ සංවාදයක් ගොඩනැගී ඇති බව දකින්නට ලැබිමෙන් පසුවය. ඒ අනුව කාලෝචිත යැයි හැඟුණු බැවින් එම ‍පොත ගැන සහ මහාචාර්යවරයාගේ සම්මුඛ සාකච්ඡාව අලලා ලක්බිම පුවත්පතට ලිපියක් සකස් කළෙමි.
(Brian Weiss - Wikipedia, brian I weiss,http://en.wikipedia,org/wiki/Brian-weiss යන වබේ ලිපිනවලින් මහාචාර්යවරයා පිළිබඳ ඔබතුමාට අවශ්‍ය සියලුම විස්තර සොයාගත හැකිය. අන්තර් ජාලයේ www.brianweiss.com නමැති මුහුණු ‍පොත් ගිණුමට (Facebook account) අවතීර්ණවී මහාචාර්යවරයා සමග අන්තර් ජාලයෙන් ස්කයිප් (Skype)තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමෙන් මහාචාර්යවරයා සමග මුහුණට මුහුණලා ප්‍රශ්න කිරීමෙන් මේ සම්බන්ධයෙන් ඇති ඕනෑම ගැටලුවක් නිරාකරණය ගත හැකිවනු ඇත. Many Lives Many Masters යන වබේ ලිපිනය ඔස්සේ අන්තර් ජාලයට පිවිසීමෙන් මේ ‍පොත පිළිබඳව ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගත හැකි වනු ඇත.
මහාචාර්යවරයා සමග සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 'සත්‍යයේ හඬ' (Voices of Truth) ආයතනයේ විද්‍යාඥයින්, චින්තකයින් වැනි විද්වතුන් සමග සම්මුඛ සාකච්ඡා මෙහෙයවන තීනා එල්. ඩයමන්ඩ් නමැති ප්‍රවීණ මාධ්‍යවේදිනිය විසිනි. Brian Weiss Speaks on Past - Life Therphy වබේ ලිපිනය ඔස්සේ අන්තර් ජාලයට පිවිසීමෙන් ඔහු සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ මුද්‍රත පිටපතක් (Print Out) ඔබට ලබාගත හැකිවනු ඇත.
ඇමරිකානු මහාචාර්යවරයාගේ පුනරුත්පත්ති වාර්තාවේ විශ්වසනීයත්ව කුමක්ද? යනුවෙන් ඔබතුමා නගා ඇති පැණයට පිළිතුර මගේ ඒ ලිපියේම සඳහන් වී ඇත. 
පුනර්භවයේ වලංගුභාවය තහවුරු කළ හැක්කේ කෙසේද? ඒ සඳහා උපකාරි වන තොරතුරු ඔබ සොයනවාද? නීතා ඩයමන්ඩ් නැගූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දී ඇත්තේ මෙසේය.
පුනර්භවය විද්‍යාත්මකව ඔප්පු කර දැක්වීම අපහසුයි. මක්නිසාද යත් අප එය දෙස විද්‍යාත්මකව බලන නිසා. එහෙත් එහි සත්‍යතාවය පිළිබඳ මගේ හිතේ කිසිම ගැටලුවක් නැත. මා සමග වැඩ කරමින් සිටින චිකිත්සකයින් සහ වෛද්‍යවරුන් සියලු දෙනාගේම සිත්වලද එබඳු ගැටලුවක් නැත. වෛද්‍යවරයා මෙහිදී ව්‍යාංගාර්ථයෙන් අවධාරණය කරන්නේ පුනර්භවය නමැති සංසිද්ධිය, ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය පදනම් කරගත් නවීන විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි බවය. එහෙත් එහි සත්‍යතාවය පිළිගැනීමට ඔහුට එය බාධාවක් නොවන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
පෙර ආත්ම චිකිත්සක ප්‍රතිචාර ක්‍රමය පදනම් කරගෙන ප්‍රතිකාර කිරීමේදී එය ප්‍රයෝජනවත් වූයේ ඔහුගේ රෝගීන්ට සහ පාඨකයින්ට පමණක් නොවේ. ඉන් පෞද්ගලිකව ඔහුටද ඉමහත් ප්‍රයෝජනයක් අත්විය. ජීවිතය පිළිබඳ මහා දැනුම් සම්භාරයක් අනාවරණය කරගන්නට ඉන් ඔහුට හැකි විය. එමගින් ආධ්‍යාත්මික වශයෙන් තමාගේ ඇතුළාන්තය දෙස එබි බැලීමටද ඔහුට හැකිවූ බව නීතා ඩයමන්ඩ් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කොට ඇත.
මේ ලිපිය මහාචාර්යවරයාගේ ‍පොතේ පෙරවදනේ ආරම්භක ජේදයෙන් පටන්ගෙන අවසානය සනිටුහන් කරන ජේදයෙන් අවසන් කිරීම වඩාත් යෝග්‍ය යැයි මට සිතේ.
‍පොතේ පෙරවදනේ ආරම්භක ජේදය පටන් ගන්නේ මෙසේය.
ලොව සෑම දෙයකටම හේතුවක් ඇතැයි අප පිළිගත යුතුව ඇත. එහෙත් සමහර සිදුවීම් ගැන බලන විට එකවරම ඒවාට හේතු සාධක තෝරා බේරා ගත නොහැකිවනුයේ, අපගේ දැනුම හා බුද්ධිය ඒවා තෙරුම් ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන නිසාය. එහෙත් ඉවසීමෙන් කාලයට ඉඩ දුනහොත්, ඒ හේතු සියල්ල අනාවරණය වනු ඇත.
‍පොතේ අවසාන ජේදය සටහන් වන්නේ මෙසේය. 
‍පොත ලිවීමෙන් මගේ ජීවිත වෘත්තියට හානියක් වන්නේදැයි මට සිතන්නට අවශ්‍ය නොවීය. මට අවශ්‍ය වූයේ මා ලත් ඒ අපූර්ව අත්දැකීම් සම්භාරය සියලු දෙනාම සමග බෙදාහදා ගැනීමටය. මේ ‍පොතේ සඳහන් කරුණු සියල්ලම සම්පූර්ණයෙන්ම සත්‍ය කරුණුය. මේ කරුණු කියවන යමෙකුගේ සිතින් මරණ භය යාන්තමින් හෝ පහ කිරීමට සමත් වූයේ නම් එයින් මගේ පරමාර්ථය ඉටුවූවා වෙයි.
ලක්බිම

අන්තර් භවය

නා උයනේ අරියධම්ම හිමියන් පෙළ දහමෙහි ඇතුළත් බුද්ධ දේශිත ධර්ම විනය අටුවා ටීකා සහිතව මැනවින් හදාරා දිගු කලක් බවුන් වැඩීමෙන් ලද ආධ්‍යාත්මික අත්දැකීම් ද ඇති මහ තෙර නමකි. කර්මය හා කර්ම විපාක, අපාය, දෙව්ලොව හා බඹලොව, මරණය හා පුනර්භවය, අන්තරාභවය හා මනෝකාය ආදී සංකල්ප පිළිබඳ උන්වහන්සේ පැවැසූ අදහස් “නොපෙනෙන ලොව සැබෑ තතු” නමින් “ආලෝකෝ උදපාදි” සමග ඔබට පුදමු.


ප‍්‍රශ්නය - කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, එය අන්තර්භවය බවත්, ඇතැම් බහුශ‍්‍රැත ස්වාමීන් වහන්සේලා පවා ප‍්‍රකාශ කර තිබෙනවා. මොන තරම් ප‍්‍රසිද්ධ විශ්ව කීර්තියට පත් උගතෙක් කීවත් කොපමණ පොත් ලියා තිබුණත් මේ මතය තථාගත ධර්මයට කොච්චර සමීපද යන්න ධර්මය ගවේෂණය කරන උදවිය බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. අන්තරාභව මතය නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තර්භවය පිළිබඳ විමසීමේදී නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි.

පිළිතුර - ඇත්ත වශයෙන් ඒක අලුත් ප‍්‍රශ්නයක් නොවේ. අවුරුදු 2300 කට ඉස්සර ප‍්‍රශ්නයක්. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. සර්වඥ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් ගිය තැන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් දෙවැනි සංගායනාව කළා. ඒකෙදි අලජ්ජි භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් සංගායනාවක් ද පැවැත්වූවා. විශාල පිරිස් හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය 17 ක් ඇතිවුණා. එතන තිබුණා “පුබ්බ සේලිය” සහ “සම්මිතිය” කියල නිකාය 2 ක්. ඔය කොටස් දෙක තමා මේ මනුලොව උපදින්නන්ට අන්තරාභවයක් තිබේය කියා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.
අන්තරාභවික දෙන්නෙක්
ඒ ඇත්තන්ගේ තීරණය දෙව්ලොවට සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ ඇත්තන්ට අන්තරාභවයක් නෑ. එහෙත් මනුලොව උපදින්න ඉන්න උදවිය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව නාමකය පමණක් එක තැනක නොසිට ශීඝ‍්‍රයෙන් ඇවිදිමින් දින හතක් ඊටත් වැඩිය කාලයක් පවතිනවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවා. සුදුසු මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් පටිසන්ධි ගන්නවා. ඕකයි ඒ ඇත්තන්ගේ පිළිගැනීම. ඒ වන විට තුන්වන ධර්ම සංගායනාව ආරම්භ වුණා. තුන්වන ධර්ම සංගායනාව වන විට බුද්ධ වර්ෂයෙන් අවුරුදු 235 ක් පිරිලා. එතැනදී ප‍්‍රශ්න රාශියක් විසඳුණා. බුදුරජාණන් වහන්සේ දෙසූ මාතෘකා අනුව ප‍්‍රශ්න විස්සජ්ජන (විසඳුම්) දේශනාවක් කතාවත්ථු ප‍්‍රකරණය නමින් සංග‍්‍රහ වුණා. ඒකට මේ අන්තරාභව වාදය ඇතුළත් වුණා. “අත්ථි අන්තරාභවෝති” කියලයි වාදය ආරම්භ වුණේ. මේ අවස්ථාවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බොහොම ලස්සනට අන්තරාභව ප‍්‍රශ්නය තේරුවා.
මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විමසුවා අන්තරාභවයක් තියෙනවාද?
පිළිතුර – ඔව්
මොග්ගලී – ඒක කාම භවයෙද?
පිළිතුර – නෑ
මොග්ගලී – රූප භවයෙද?
පිළිතුර – නෑ
මොග්ගලී – අරූප භවයෙද?
පිළිතුර – නෑ
මොග්ගලී – අරූප භවයේද ඒ දෙක අතරේද?
පිළිතුර – නෑ
මොග්ගලී – එහෙනම් ඒක සංඥා භවයෙද?
පිළිතුර – නෑ
මොග්ගලී – අසඥා භවයෙද?
පිළිතුර – නෑ
මොග්ගලී – ඒක වෝකාර භවයෙද?
පිළිතුර – නෑ
මොග්ගලී – චතුවෝකාර භවයෙද?
පිළිතුර – නෑ
මොග්ගලී – ඒ තුන අතරෙද?
පිළිතුර – නෑ
මොග්ගලී – එවිට අන්තරා භවය ඉපදීමක් තියෙනවද?
පිළිතුර – නෑ
මොග්ගලී – චුතවීමක් තියෙනවද?
පිළිතුර – නෑ
මොග්ගලී – එහෙනම් මොකද අන්තරා භවයක් තියෙනව කියන්නෙ?
පිළිතුර – බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අන්තරා පරිනිබ්බායි කියලා. ඒ නිසා අන්තරාභවයක් තියෙනවා.

එතැනදී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ අහනවා උපහච්ච පරිනිබ්බායි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ වගේම අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද? අසංකාර භවයකුත් තියෙනවද? සසංකාර භවයකුත් තියෙනවද? කියල.
ස්වාමීන් වහන්ස, ඉහත කී සතර දෙනා තව ටිකක් පැහැදිලි කළොත්...
අන්තරා පරිනිබ්බායි
උපහච්ච පරිනිබ්බායි
අසංකාර පරිනිබ්බායි

සසංකාර පරිනිබ්බායි කියල බඹලොව අනාගාමීන් වහන්සේලා කොටස් හතරක් ඉන්නවා. අවිහ බඹ තලයේ ආයුෂ මහාකල්ප 1000 යි. ඉන් 500 ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා පරිනිබ්බායි ලෙස හඳුන්වනවා. 500 ට පසු රහත් වෙනවා නම් උපහච්ච පරිනිබ්බායි ලෙසයි හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි. උත්සාහ ගෙන රහත් වෙනවා නම් සසංකාර පරිනිබ්බායි ලෙස ද හඳුන්වනවා. මෙසේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විනිශ්චය කරනවා අන්තරාභවයක් නැහැ කියල.
සිත සැරිසැරීම
අන්තරාභවයක් පිළිබඳ කවුරු මොන දේ කීවත් අප දැන් ඥානවන්ත බෞද්ධයෝ හැටියට මෙහෙම හිතන්න වටිනවා. දැන් ඒ අය තියනවා කියන අන්තරාභවයේදී රූප කයක් නෑ. සිත පමණක් අහසේ සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. රූපකයක් නැතිව කතා කරන්න පුළුවන් ද? එවිට රූපයක් නැහැ කියන එක බොරු වෙනවා. කතා කරන්න බෑනේ නාම කයෙන්. ගන්ධය ආඝ‍්‍රාණය කරනවලු. ගන්ධය ආඝ‍්‍රාණය කරන්න රූප කයක් එපායැ. එවිට ඒකත් බොරුවක්. ඊළඟට දිවැසට පේනව කියනව මනුස්ස ලෝකෙ දිවැස් ඇති අයට ඒ අය පේනවලු. දිවැසට වත් පේන්නේ නෑ නාමකය. දැන් අරූප ලෝකෙ ඉන්න ඇත්තෝ දිවැසට පේන්නේ නෑ. රූප කයක් තිබිය යුතුයි දිවැසින් බලන්න. ඒවාත් එවිට සම්පූර්ණයෙන් බොරු.
ඊළඟට ඒ අන්තරාභවිකයා බලා ඉන්නවලු හොඳ මවුපිය දෙදෙනෙක් ළඟට එන්න. එහෙම බලන්න පුළුවන් නම් දුප්පත් ගෙදරක උපදින්නේ නෑ නේද? අංග විකලව උපදින්නේ නෑ නේද? පහත් කුලයක උපදින්නේ නෑ නේද? තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එවිට මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය අන්ධ, ගොළු, බිහිරි වෙලා උපදින්න බෑ. මෙසේ නුවණින් සිතීමේදී සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා සිටීම බොරුවක් බව අප පිළිගත යුතුයි.
ප‍්‍රශ්නය – තිණ්නං ඛෝපන භික්ඛවෙ සන්නිපාතා ගබ්භස්සා වක්කන්ති හෝති. ඉධ මාතා පිතරෝ සන්නිපතිතා හොන්ති. මාතාච අතුනී හෝතී. ගන්ධබ්බෝ ච පච්චුපට්ඨිතො හෝති
මවු කුසක දරුවෙකු හටගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්ම නිකායේ මහා තණ්හා සංඛය සූත‍්‍රයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා බව ඇතමුන්ගේ අදහසයි. ධර්මානුකූලව මේ ගන්ධබ්බ යන වචනය තෝරා ගන්නේ කොහොමද? සත්‍ය වශයෙන් ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරාභවිකයෙක්ද?
ගන්ධබ්බ අරුත
පිළිතුර - මේ ගන්ධබ්බ කියන වචනයේ වචනාර්ථය ගන්තබ්බෝති ගන්ධබ්බෝ කියලයි විග‍්‍රහ වෙන්නෙ. මෙතැන ගන්ධයක් ආඝ‍්‍රාණය කරන අය ගැන නෙමෙයි හඳුන්වන්නෙ. චුතියට අනතුරුව පටිසන්ධිය ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි ගන්ධබ්බ කියන්නෙ. දැන් ජීවත්ව සිටින අප සැම දෙනාමත් ගන්ධබ්බ කියන වචනයෙන් භාවිතා කළ හැකියි.
රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයෝත් නැවත උත්පත්තිය ලබන බැවින් ගන්ධබ්බ නම් වෙනවා. උත්පත්ති වශයෙන් තවත් භවයකට යා යුතු පුද්ගලයා කියන එකයි ගන්ධබ්බ කියන වචනයේ තේරුම. එහෙම නැතිව මරණයට පත් වී අහසේ පාවෙමින් ඉපදීමට සුදුසු මව්පිය දෙන්නෙක් සොයන අන්තරාභවිකයෙකු නොවෙයි.
ප‍්‍රශ්නය – ආටානාටිය පිරිතේ අප අසා තිබෙනවා ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පෝතකෝවා, ගන්ධබ්බ පෝතිකාවා කියලා දේශනා කරනවා. එතැන කියවෙන ගන්ධබ්බයා කවුද?
පිළිතුර - එතැන ගන්ධබ්බ හෙවත් ගාන්ධර්ව කියන්නෙ වීණා වාදනය කරන දිව්‍ය පිරිස. ඒක දේව කොට්ඨාසයක්. චාතුර් මහාරාජික කියන දිව්‍ය ලෝකයට අයිති දිව්‍ය පිරිසක්. එහෙම නැතිව ගන්ධය ආඝ‍්‍රණය කරන අන්තරා භව සත්ත්වයො නෙමෙයි. එසේ අන්තරා භවිකයො ඉන්නවා නම් ඒ අය අඹු දරුවොත් සහිත පිරිසක් වෙන්න ඕනනෙ.
ප‍්‍රශ්නය – කරණීය මෙත්ත සූත‍්‍රයේ එන සම්භවෙසීවා යන්න අන්තරාභව අවස්ථාව හැටියට ධර්මය උගත් බහුශ‍්‍රැත භික්ෂූන් වහන්සේලා පවා ප‍්‍රකාශ කරනව, අප අසා තිබෙනවා එහි සත්‍යතාවයක් තිබේද?
පිළිතුර - සම්භවේසී කියල කරණීය මෙත්ත සූත‍්‍රයේ කියන්නේ භූතාවා සම්භවේසීවා කියන පද දෙකේ ඒකාබද්ධ කමක්. භූතා කියන්නෙ සකලාංග පරිපූර්ණව පහළ වූ සියලු සත්ත්ව කොට්ඨාසවලට නමක්. ඕපපාතික සත්ත්වයෝ සකලාංග සම්පූර්ණව හිටි හැටියේ පහළ වෙනවා. ඒ ඇත්තො භූතා, සංසේදජ සත්ත්වයෝ යම් තෙත ඇති ස්ථානයෙක පහළ වෙලා මෙලොව එළිය දකිනවා. එවිට ඒ ඇත්තො භූතා. මවුකුසේ උපදින සත්ත්වයෝ මවු කුසින් බිහිවුණා නම් එවිට භූතා. බිජුවටින් බිහිවෙන (අණ්ඩජ) සත්ත්වයෝ බිජුවටින් එළියට පැමිණි විට භූතා. ඒ හැර “සම්භවේසි” කියන්නේ මවුකුසේ උපදින සත්වයෝ මවුකුසේ සිටින තුරුම සම්භවේසී ඉපදෙමින් ඉන්නවා කියන තේරුමයි එතන තියෙන්නෙ. පටිසන්ධි ගත්ත එහෙත් ඉපදීම අසම්පූර්ණයි.

මෙලොව එළිය දකින විට භූතා වෙන්නෙ. ඊළඟට බිජුවටින් (අණ්ඩජ) හටගන්න සත්වයෝ බිජුවටින් එළියට එනකම්ම මව්කුසේ ඉපදිලා බිජුවට බිහිවී බිජුවටින් නික්මෙන තුරුම සම්භවේසී ඔන්න ඔය විදිහටයි සම්භවේසී කියන වචනය ධර්මයේ විග‍්‍රහ වෙන්නෙ. ඉපදීම නිමා කළ සත්ත්වයෝ භූතා ඉපදෙමින් සිටින සත්ත්වයෝ සම්භවේසී.

ප‍්‍රශ්නය – ති‍්‍රපිටකයට අයත් පාරාජිකා පාලියේ සඳහන් වෙනව මුගලන් මහරහතන් වහන්සේ අහසෙහි හැසිරෙන භූත ආත්ම සියැසින් දුටු බව. අන්තරාභවය සනාථ කිරීමට සමහරු මෙබඳු දේ සාධක කර ගන්නව. අපි ඒ පිළිබඳ අප නාහිමියන් වහන්සේගෙන් විමසුවා. එයට උන්වහන්සේ දුන් පිළිතුර.
පිළිතුර - බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා උප්පත්ති සතර ආකාරයක් පිළිබඳව. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික, බිත්තරවලින් උපදින සත්ත්වයෝ අණ්ඩජ මවුකුසින් බිහිවෙන ක්ෂිරපායි සත්ත්වයෝ ජලාබුජ, අකුසල හේතුවෙන් තෙත් ඇති කුණු කසල ආදියෙන් උපදින්නේ සංසේදජ, කුසල හේතුවෙන් නෙළුම් මල් ආදියේ පහළවෙන සමහර මනුස්සයො ඉන්නව ඒ ගොල්ලොත් සංසේදජ සකලාංග සම්පූර්ණව දිව්‍ය ලෝකවල දෙවිවරු, බ‍්‍රහ්මයො, නරකාදියෙ නිරිසත්තු, පෙ‍්‍ර්තයෝ, අසුර ලොව අසුරයො, මේ අය ඔක්කම ඕපපාතිකයි. එයින් වේමානික කියල පෙ‍්‍ර්ත කොට්ඨාසයක් ඉන්නවා. ඒ අය ඇතැම් විට මේ සතර ආකාරයෙන් මත් උපදිනව. මුගලන් මහරහතන් වහන්සේ දුටු විරූ කොට්ඨාස ඔක්කොම පෙ‍්‍ර්තලෝකෙ උපන් අය. ඒ අය කෙළින්ම ඕපපාතිකයි. ඕපපාතික නිසා උපතින්ම ඒ ඇත්තන්ටම අවශ්‍ය අවයව ඇතිව පහළ වුණා. අහසේ හැසිරෙන්නෙ සෘද්ධි බලයෙන් නෙවෙයි. ඒකට කියන්නෙ කර්මවිපාකජසෘද්ධිය කියල.
ප‍්‍රශ්නය – මව් කුසක දරුවකු පිළිසිඳ ගැනීමට ස්තී‍්‍ර පුරුෂ දෙදෙනෙකුගේ එක්වීමක් අවශ්‍යයි. නමුත් ඕපපාතික උත්පත්තියේදී එබඳු දෙයක් නෑ. එවිට සත්ත්වයෙකු හටගන්නා ආකාරය පිළිබඳ ගැටලුවක් ඇතිවෙනවා. ඒ පිළිබඳව ගරු ස්වාමීන් වහන්ස තව ටිකක් පැහැදිලි කළොත්?
පිළිතුර - මේක කර්ම නියාමයක්. කර්මය කාටවත් පාලනය කරන්න බෑ. යම්කිසි විදියකින් සිතුවා නම් මම මනුලොව උපදින විට ඕපපාතිකව ඉපදේවා කියල ඊට සුදුසු කුසල් උත්සන්නව තිබුණා නම් මවෙක් පියෙක් නැතිව දෙවඟනක් දිව්‍ය කුමාරයෙක් වගේ හිටි හැටියේ පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා එබඳු දෙන්නෙක්. අම්බපාලි සහ චිඤ්චිමානවිකාව. අම්බපාලි උපන්නෙ විශාලා මහනුවර අඹ වනයේ. ඒ නිසයි අම්බපාලි කියන නම් වුණේ. දෙවඟනක් වගේ ශරීර සම්පත්තියක් පිහිටියා. චිඤ්චිමානවිකාව උපන්නෙ සැවැත් නුවර සියඹලා ගහක් යට. චිඤ්චි කියන්නෙ සියඹලා. සියඹලා ගහක් යට ඉපදුන නිසා චිඤ්චිමානවිකාව වුණා. රූපයෙන් ඉතා විශිෂ්ට වුණා. හැමෝම විවාහ යෝජනා ගෙනා නිසා විවාහයට යෑමට නොහැකි වුණා.
අන්තිමේ පරිබ‍්‍රාජිකාවක් වගේ හිටියා. නිගන්ඨයො ආශ‍්‍රය කරල බුදුරජාණන් වහන්සේට අපහාස කර අපායට ගියා. අම්බපාලි පැවිදිව රහත් වුණා. එතුමිය කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු විසිදාහක් පමණ මහණ දම් පුරල ප‍්‍රාර්ථනාවක් කරල තිබුණා. රහත් වෙන ආත්මෙදී මට ඕපපාතික උත්පත්තියක් ලැබේවා කියල. ආයු කෙළවර දෙව් ලොවින් චුත වී සසර ප‍්‍රාර්ථනාව අනුව මව් කුසක නොඉපදී ඕපපාතිකව ඉපදුනා. ඒක කර්මයක විපාකයක්. දැන් මවු කුසක උපදින්නෙකුට කාය දසක, භාව දසක, වත්ථු දසක තුනයිනේ. මව්කුසේ වැඩිම වශයෙන් රූප කලාප තුනයි පහළ වෙන්නේ. කළල අවස්ථාවේ, ඒ හැර ඕපපාතිකව ඉපදෙන කොට සකලාංග පරිපූර්ණව ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන සියල්ලම එකවර සම්පූර්ණ වෙලා ඒ එක්කම තමයි චිත්තය පහළ වෙන්නෙ. පටිසන්ධියයි රූපකය පහළ වීමයි යන දෙකම පෙර පසු නොවී එකවර සිදුවෙන්නෙ.
ප‍්‍රශ්නය – ඉපදීමට කෙනෙකුට කර්මානුරූපව සුදුසු මව්කුසක් පිළියෙළ වී නොතිබ්බොත් එයාට මොකද වෙන්නේ?
පිළිතුර - ඔය චුති උත්පත්ති ගැන. කිසිම සත්ත්වයෙකුට තමන්ට තමන් වගකියන්න බෑ. හේතුව මරණය සහ උප්පත්තිය කියන්නෙ කර්මානුකූලව කර්ම නියාමයට අනුව සිදුවන දෙයක්. නොඑසේම මට මෙහෙම උපදින්න ඕන මෙහෙම උපදින්න ඕන කියල කිසිම කෙනෙකුට උපදින්න බෑ. ධ්‍යාන අභඥාලාභියෙකුට හැර, ධ්‍යානලාභියෙකුට නම් මම අහවල් බඹ තලයට යන්න ඕන කියල හිතාගන්න පුළුවන්. ඒ හැර මේ කෙලෙස් හරිත අන්ධබාල පෘථග්ජන සත්ත්වයන්ට මට අහවල් තැන හොඳයි කියල තෝරගන්න තරම් ශක්තියක් නෑ. අනිත් කාරණය තමයි අපි මේ සඳහන් කරන්නේ මනුස්ස ලෝකේ ගැනනෙ. මනුස්ස ලෝකය පඤ්ච වෝකාර භවයක්. පඤ්ච වෝකාර භවයෙහි වස්තු රූපයකින් තොරව සිත පවතින්නෙ නැහැ. වස්තු රූපයක් මතයි සිත් හටගන්නේ පවතින්නේ එනිසා අන්තරාභවය සනාථ කිරීමට පිණිස ඉදිරිපත් කළ ඉතා බොළඳ ප‍්‍රශ්නයක් ඔය තැනක් නොතිබ්බොත් කියන ප‍්‍රශ්නය.

මේ විශ්වයේ ඉන්නේ එක අම්මාද? රජ කුලයක හෝ සිටු කුලයක ඉපදීමට සුදුසු පින් ඇති කෙනෙක් සිතමු. ඉතිං එයාට මේ ලෝකෙ උපදින්න ඉන්නේ එක රජ පවුලක්ද? එක සිටු පවුලක් ද? අපි හිතමු අහසට දැම්ම පොල්ලක් ඕක කොතැනකට වැටෙයිද කියල කියන්න බැහැනෙ. ඒ වගේ මෙලොවින් චුතවීමත් මතු ඉපදීමත් එසේ වූවොත් මෙසේ වූවොත් කියා අපි හිතන ආකාරයට නොව කර්ම නියාමයකට අනුව සිදුවන දෙයක්. මිනිස් ලොව ඉපදීමට සුදුසු පින් ඇති අය මෙහි නො ඉපදුනොත් දෙව්ලොවක ඕපපාතිකව හෝ චුතියට අනතුරුවම ඉපදීම තමා ථෙරවාදී ධර්මයට අනුව සම්බුද්ධ දේශනාව අනුව නිසැකවම අපි විසින් පිළිගනු ලබන්නේ.
ප‍්‍රශ්නය – එහෙමයි ස්වාමීන් වහන්ස, අපට දැන් ඉතා පැහැදිලියි. මේ අන්තරාභවය යනු මිථ්‍යාවක් බව. එහෙත් මේ ඔස්සේ සිතා අතරමං වූ බොහෝ දෙනෙකුගේ යහපත පිණිස තව කරුණක් විමසීමට අවසරයි. ථෙරවාදී බෞද්ධ වේශයෙන් පෙනී සිටින එහෙත් ථෙරවාදී ආකල්ප නැති ඇතමුන් අන්තරාභව කථාවේදී කියන දෙයක් තමයි කෙනෙකු අන්තරාභවයට පත් වුණාම ඔහු අහසේ හැසිරෙමින් එක තැනක නොසිට ශීඝ‍්‍ර වේගයෙන් ගමන් කරමින් සිටින බව. ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළොත්?
පිළිතුර - අපි මේ ජීවත් වන මනුස්ස ලෝකෙ අපේ සිත පවතින්නෙ වස්තු රූපයක් ඇසුරු කරගෙනයි. දැන් අපි මව් කුස පිළිසිඳ ගැනීමේදී කළල අවස්ථාවෙම හටගන්නා හදය (හෘදය) වස්තු රූපය නිසා තමයි එතැන සිට පිහිටන්නෙ. සම්මුති වශයෙන් සත්ත්වයකුගේ පහළවීම පරමාර්ථ වශයෙන් ස්කන්ධයන්ගේ පහළවීම, එනිසා වස්තු රූපයකින් තොරව කවදාවත් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන සතර නාමස්කන්ධය පවතින්න බැහැ. කෙනෙක් මරණයට පත් වෙන විටම ඔහු ඔහුගෙ වස්තු රූපය නිරුද්ධ වෙලා ඉවරයි. ඉන්පසු ඔහුට ඇස, කණ, නාසය, දිව, ශරීරය, හෘදය යන වස්තු රූපයක් නැතිව සිත පමණක් අහසෙ ගමන් කරන ශක්තියක් නැහැ. අරූපාවචර බ‍්‍රහ්ම ලෝකෙ බ‍්‍රහ්මයන්ටවත් නාමධර්ම පතුරුවන්න බෑ.
ඒ අය බඹලොව ඉපදුනාම උපන් තැනම ඉන්නවා. ඔවුන්ට ඇවිදීමට කථා කිරීමට කිසිසේත් බෑ. ඇහැට පේන්නෙත් නෑ. අරූපාවචර බ‍්‍රහ්මයන්ටත් එසේ නම් මේ අන්ධබාල කෙලෙස් බහුල පෘථග්ජන සත්ත්වයෝ කොහොමද අහසෙ පාවෙවී ඉපදීමට තැනක් සොයමින් අහසේ සැරිසරන්නේ? එනිසා රූපකාය නැතිව නාමකාය හෙවත් සිත අහසේ සීඝ‍්‍ර වේගයෙන් ගමන් කරන බව උමතු අයෙකු හැරුණු කොට ධර්මය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ලැබූ අයෙකුටවත් ප‍්‍රකාශ කළ නොහැකියි. එය සම්පූර්ණ මිථ්‍යාවක්.
ප‍්‍රශ්නය – එහෙම අහසේ ගමන් කරන සත්ත්ව කොට්ඨාස පිළිබඳව ධර්මයේ සඳහන් වෙන්නෙ නැද්ද?
පිළිතුර - ඕපපාතිකව ඉපදිලා අහසේ ගමන් කරමින් දුක් විඳින සත්ත්ව කොට්ඨාස ඉන්න බව විනය පිටකයේ පාරාජීකා පාලියේ සහ සූත‍්‍ර පිටකයේ පෙ‍්‍ර්ත වස්තු දේශනාවේ දැක්වෙනවා. ඒ සියල්ලෝම පෙ‍්‍ර්තලෝකයට අයිති අය. එහෙම නැතිව ඉපදීමට සුදුසු තැන් සොයමින් කය නැති සිත පමණක් ඇති අන්තරා භවික සත්ත්වයො නෙමෙයි.
ප‍්‍රශ්නය – අන්තරාභවය පිළිබඳ දැඩි මතවාද ඉදිරිපත් ඇතැම් හිමිවරු කියා තිබුණා තමන් අන්තරාභවය පිළිගත්තේ කරුණු කාරණා සහිතව යමක් කීවොත් එය කොයි නිකායට, යානයකට අයත් උනත් අප පිළිගත යුතුයි කියල. අනික මහායානික නිකායක් වූ සර්වාස්තිවාදීන් අතරත් රහතුන් වහන්සේලා සිටිය කියල කියනවා. මේ අදහස ධර්ම විනයට එකඟද? එකඟ වෙන්න පුළුවන් සාධක තිබෙනවාද?
පිළිතුර - සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයක් ගතවූ පසු විශාලා මහනුවර භික්ෂූන් වහන්සේලා දස අකැප වස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙනුයි දෙවැනි ධර්ම සංගායනාව සිදුවුණේ. මේ දෙවැනි ධර්ම සංගායනාවේදී දස අකැප වස්තුව විනය විරෝධී බව තීරණය වූ අතර දහදාහක් පමණ අලජ්ජී භික්ෂූන් ශාසනයෙන් ඉවත් කරනු ලැබුවා. එම අලජ්ජී භික්ෂූන් වෙනත් ප‍්‍රදේශයකට ගොස් තමන් ද සංගායනාවක් කර එය “මහාසංගීති” නමින් හඳුන්වා තම භික්ෂු පිරිස ද මහා සංගීති නිකාය වශයෙන් නම් කළා. මේ මහා සංගීති නිකාය තමා මහායානය බවට පත්වුණේ. වැඩිකල් නොගොස් මේ භික්ෂූන් නිකාය දාහතකට බෙදුණා. ඔය මහායාන නිකාය දාහතට අයිති කොටසක් තමයි සර්වාස්තිවාදීන් කියන්නෙත්.
ඔවුන් මේ මහායාන නිකායවල් පිහිටුවා ගත්තෙ ශාසනය ආරක්‍ෂා කරන්නවත් තමන් දුකින් මිදෙන්නවත් නෙමෙයි. ලජ්ජි සිල්වත් භික්ෂූන් වහන්සේලාගෙන් පළිගන්න සහ ශාසනය විනාශ කරන්න. එනිසා ඔව්හු ධර්ම විනය ශාස්තෘ ශාසනය තමන්ට උවමනා විදියට සකස් කරන්න පටන් ගත්තා. බුද්ධ වචන වෙනස් කළා. බුදු සසුනට සතුරුකම් කිරීමත් ථෙරිය පරපුර විනාශ කිරීමත් එකම බලාපොරොත්තුව කර ගත් එම මහායානිකයින් තුළ දියුණු වූ ශීලයක්, සමාධියක්, ප‍්‍රඥාවක් නැහැ. ජනපි‍්‍රය වීමේ ක‍්‍රම උපාය අනුගමනය කරමින් මහජනයාගෙන් පැසසුම් ලබමින් කටයුතු කළා මිස ඔවුන් නිවන් මඟක් අනුගමනය කෙළේ නැහැ. 
ඔවුන්ගේ අදහස් බුදු සසුනට විරුද්ධ අදහස්. ඒ නිසා කොයි නිකායකට අයත් වුවත් සාධක සහිතව ඉදිරිපත් කරන දේ අප පිළිගත යුතුයි. මහායානිකයින් අතර රහතුන් වහන්සේලා වැඩ සිටිය කියන ප‍්‍රකාශය අප සම්පූර්ණයෙන් බැහැර කළ යුතු ප‍්‍රකාශයක්. ඒක සම්පූර්ණයෙන් ම මිථ්‍යාවක්. සම්පජාන මුසාවක්. තමාගේ මතය සනාථ කිරීමට උත්සාහ දරමින් කරන ඉතිහාසය විකෘති කිරීමක්. මාර්ගඵල ලාභියෙකු තබා මහායානිකයන් අතර ධ්‍යානලාභියෙකුවත් සිටි බවට සාධක නැහැ. නිවන් දැකීමට නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතුයිනේ. එහි පළමුවැන්න සම්මා දිට්ඨියයි. ඉතිං සම්මා දිට්ඨියවත් නැතිව ථෙරවාදීන්ගෙන් බිඳී ගිය මහායානිකයන් අතර කොහොමද රහතන් වහන්සේලා බිහිවුණේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් තොරව රහත් වෙන්න පුළුවන් නම් මහායානිකයො අතර පමණක් නෙමෙයි අන්‍යාගමිකයෝ අතරත් රහතන් වහන්සේලා බිහිවෙති. ධර්මය ගැන ගෞරවයක් නැතිව කරන හිස් ප‍්‍රලාපයක් මිස ඉහත ප‍්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව බෞද්ධ ජනතාව තේරුම් ගත යුතුයි.
මෙහිදී අප සලකා බැලිය යුතු තවත් කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ ඒ දහම් පොත් පොත්ගුල්වල තැන්පත් කරලා සුවඳ දුම් අල්ලමින් මල් පහන් පූජා කරමින් හැමදාම ඒවට ගෞරව කර කර ඉන්න නෙමෙයි. ධර්මයට ගෞරව කිරීම තමාගේ මාර්ගාංග වැඩීමට හේතුවක් වෙනව. එහෙත් පොත්ගුලට වැඳ වැඳ සිටි පමණින් ධර්මය අවබෝධ කර ගන්නට බැහැ. ඒ වගේම ති‍්‍රපිටක ධර්මය දරාගෙන එයින් වාද විවාද කරමින් කාලය ගෙවන්ට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අලගද්දූපම සූත‍්‍රයෙන් විශේෂයෙන් දේශනා කෙළේ ති‍්‍රවිධ පර්යාප්තියක්. අලගද්ද පර්යාප්තිය, නිස්සරණ පර්යාප්තිය, භාණ්ඩාගාරික පර්යාප්තිය කියල. යම් කිසි කෙනෙක් ධර්ම විනය හදාරල ධර්ම ඥානය ඇතිකරගෙන එයින් වාද විවාද කරමින් අනුන් හෙළා දකිමින් අත්තුක්කංසන පරවම්භන කරමින් හැසිරෙනවා නම් විෂ ඝෝර සර්පයෙක් අල්වාගන්න කෙනෙක් කඳ මැදින් අල්ලා ගත් විට විශාල විපත්තියක් කර ගන්නවා වගේ වරදවා අල්වා ගත් ධර්ම විනය විපත්තිය පිණිස පවතිනවා.
එය අලගද්දූපම පර්යාප්තිය නම් වෙනවා. එයින් විනය පිටකය පිළිබඳ වාද-විවාද කිරීම නිසා දුශ්ශීල බවට පත්වෙනවා. සූත‍්‍ර පිටකය පිළිබඳ විවේචනය කරමින් නොමනා වාද විවාදවලට පැටලීමෙන් දෘෂ්ඨි ජාලයකට පැටලෙනවා. ඒ වගේම අභිධර්මය පිටකය පිළිබඳව නොමනා විවේචනයන්ට පත්වීමෙන් ධර්ම චින්තාව අති ධාවනය කිරීම නිසා ඉහාත්ම භාවයේම උම්මත්තකයන් බවට පත්වෙනවා. සසර මන්ද බුද්ධිකයන් වෙලා සර්වඥයන් වහන්සේලා ලක්‍ෂයක් කෝටියක් පහළ උනත් ගොඩගන්න බැරි අභව්‍ය පුද්ගලයෙකු වෙනවා.
මෙන්න මේ නිසා භාග්‍යවතුන් වහන්
සේ වදාළා විශේෂයෙන් දහම් පදයක් පාසා මේ ජීවිතයට එකතු කර ගැනීමට නම් ඒ වදාළ ධර්මය ශීලය පිළිබ¼ඳව නම් ශීලවන්ත වීම, සමථ භාවනා පිළිබඳව නම් සමාධිභාවනා වැඩීම, නාම රූප පරිච්ඡේද ඥානය පිණිස නම් විදර්ශනා වැඩීම මේ විදියට බුදුදහමේ අනුශාසනාවන් අනුගමනය කරන සත්පුරුෂයෝ මේ ධර්මය අනුව තමන්ගේ ශීල සමාධි ප‍්‍රඥා ශීර්ෂයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගෙන මේ එකොලොස් මහා ගින්නෙන් දැවෙන නව මහා භවයෙන් එතෙර වෙලා ශාන්ත නිවන් සුව අත්කර ගන්නවා. ඒ නිසා නව මහා භවයට අතිරේකව අන්තරාභවය වැනි යම් කිසි දෙයක් තියෙනවා නම් අපට ඒක විදර්ශනාවට ගන්න අවශ්‍යයි.

දැන් කාම භව විදර්ශනාව කරන හැටි අපි කෙටියෙන් තේරුම් කර ගනිමු. රූප භවය, අරූප භවය, පඤ්ඤා භවය, අසඤ්ඤා භවය, නේව පඤ්ඤා නා සඤ්ඤා භවය, ඒක වෝකාර භවය, චතුවෝකාර භවය, පඤ්චවෝකාර භවය මේ නව මහා භවයන් විදර්ශනා කර ගන්නට අපට පුළුවනි. මක්නිසාද? ඒ ඒ භවයට නියමිත ස්කන්ධ මේවා, ආයතන මේවා, ධාතු මේවා, ඒ ඒ භවයට නියමිත ඉන්ද්‍රිය හේතු ආහාර මේවා, එස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත මේවා කියලා භාග්‍යවතුන් වහන්සේ අපට ඉතා පැහැදිලිව අතේ තියෙන රේඛාවක් පෙන්වන්නාක් මෙන් පහදා දීල තියෙනවා. නාම රූප පරිච්ඡේදය පෙන්නල දීල තියෙනව. එහෙම වුවත් අන්තරාභවය කියන මේ වචනයෙන් කියවෙන භවය පිළිබඳව කිසිම හෝඩුවාවක් බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ. එහෙම වදාරා තියෙනවා නම් ඒකත් විදර්ශනාවට නැංවීම පිණිස නාමරූප වශයෙන් වෙන්කරල දේශනා කරනවා ඒකාන්තයි. එහෙත් එහෙම වෙන්කොට දේශනා කිරීමක් පිටක තුනේ කොතනකවත් පේන්න නැහැ.
චුතියට අනතුරුව තමා තාම මරණයට පත්වූ බව නොදන්නා මනෝමය කයකින් යන පුද්ගලයෙකු මේ ලෝක ධාතුවේම නැත යන සර්වඥ බුදුරජාණන් වහන්සේගේ වචනය අපි පිළිගන්නවා. ඒ වගේම කයක් නැතිව මනෝමය කයින් යනවයි කියන මේ අන්තරාභවික සත්ත්වයන්ට සෘද්ධියක් හෝ දිවැසක් හෝ ඔවුනොවුන් සමඟ කතා කිරීමේ ශක්තියක් තිබෙන්නට බැහැ. කතා කරන්න නම් රූපයක් අවශ්‍යයි. රූපයක් නැති නම් කථා කරන්න බැහැ.
ඒ නිසා මේ අන්තරාභව කථාව නාම රූප පරිච්ඡේද ඥානය නොමැති මන්ද බුද්ධිකයින්ගේ කථාවක් බව අප අවධාරණයෙන් පිළිගන්නට ඕනෑ. ඒ වගේම අපි ආරාධනා කරනවා ඒ අන්තරාභවයක් සැබවින්ම තියෙනවා නම් ඒ අන්තරාභවයට අයිති ස්කන්ධ පහ, ආයතන දොළහ, ධාතු දහඅට, ඉන්ද්‍රීය විසි දෙක, හේතු නවය, ආහාර සතර, එස්ස හත, සඤ්ඤා හත, චේතනා හත, විඤ්ඤාණ හත විදර්ශනාවට නංවා අපට ඉදිරිපත් කරන්න කියලා.

ශ්‍රද්ධාව බලවත් කළ හැක්‌කේ කෙසේද..?


නියම ශ්‍රද්ධාවට බාධා නැත. තමන් දරන තනතුරු අතහැර දා යන්නේ කෙසේද, දරුමල්ලන් අත්හැරදා යන්නේ කෙසේ දැයි නියම ශ්‍රද්ධාවන්තයාට ප්‍රශ්න නැත. පෝයදාට වත් මලක්‌ පහනක්‌ පුදා යන්නට විවේකයක්‌ නැති අපේ රටේ සමහර ශ්‍රද්ධාවන්තයන් මේ පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ව තිබේ.

කරුණු මෙහෙම නිසා ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම ශක්‌තියක්‌ දරන බව ඉතාම පැහැදිලි කරුණකි. නියම ශ්‍රද්ධාව ඇතිකර ගතහොත් පියවරෙන් පියවර යන්නේ නිවන් සුව පැත්තට ම බව අමතක නො කළයුතුව තිබේ. කවර බලවේගයකින්වත් ඒක වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත. එදා තිලෝගුරු සම්මා සම්බුදුරදුන් දඹදිව දී දේශනා කර හඳුන්වා දුන් දහම වර්තමාන භෞතික දියුණුවත් සමග කෙතෙක්‌ දුරට අපට අමතක වී ඇත්දැයි විමසා බැලීම කාලෝචිත වෙයි.

අද වන විට නම් හැදෙන වැඩෙන පරපුරට රත්නත්‍රයේ අගය වඩාත් පැහැදිලි කර දියයුතු තත්ත්වයට පත්ව තිබේ. දිනෙන් දින ඉහළ යන භෞතික දියුණුවත් සමග සාරධර්මවල උන්නතියක්‌ නොව අවනතියක්‌ දක්‌නට ලැබීම සතුටුදායක කරුණක්‌ නොවේ.

අපේ රටේ භෞතික දියුණුව ශීඝ්‍රයෙන් ඉහළ යද්දී රට තුළ සිදුවන විවිධ අපරාධ දෙස බලන විට අප කෙතරම් ප්‍රඥාවන්තයන් වුවද සද්ධර්මය කෙතෙක්‌ පැහැදිලිව තිබුණද ගිහි පැවිදි බොහෝ දෙනා කෙතරම් පැහැදිලි ව දේශනා කළද මැනවින් අසන්නන් කොතෙකුත් සිටියද එම ධර්මයන් ජීවිතයට සම්බන්ධ කර ගෙන පිළිපදින්නන් ජනසමාජය තුළින් දැන ගැනීම සෑහෙන අපහසු කාර්යයක්‌ වී තිබෙතැයි පවසන්නට සිදුවීම ශ්‍රැතිගෝචර නම් නොවේ. ඊට හේතු සාධක වශයෙන් දැක ගත හැකි වන්නේ රටේ භෞතික දියුණුව ඉහළ යත්ම ඇති වී තිබෙන ආධ්‍යාත්මික පරිහානිය ය.

කරුණු එසේ නම් කළයුතු වන්නේ අධ්‍යාපනික විද්‍යාත්මක ප්‍රගතියක්‌ සමග දියුණු වී යන ප්‍රඥාවට සමාන්තර ව ශ්‍රද්ධාවද දියුණු කිරීම ය. ශ්‍රද්ධාවෙන් තොරව දියුණුවන ප්‍රඥාව භයානකය. එසේ දියුණුවන ප්‍රඥාව පුද්ගලයා කෛරාටික පක්‍ෂයට ඇද දමයි. ඊට විසඳුම අප සිත්සතන් තුළ ශ්‍රද්ධාව බලවත් කිරීමය.

ශ්‍රද්ධාව බලවත් කළ හැක්‌කේ කෙසේද? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක්‌ ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක්‌ බවට පත්කර ගැනීමෙනි. ශ්‍රද්ධාවට විරුද්ධ බලවේගවලින් ශ්‍රද්ධාව සොලවන්නට බැරිවන ලෙස ශක්‌තිමත් කර ගැනීමෙනි. එයින් කෙලෙස්‌ ක්‌ෂය කිරීමේ - නැති කිරීමේ ශක්‌තිය වැඩෙයි. සිතේ අධිෂ්ඨාන ශක්‌තිය ඇති කරයි. චිත්ත සන්තානයන්හි පිරිසිදුකම රකී. මාර්ගඵල අධිගමයට මගපාදයි. නිර්වාණ ධර්මාවබෝධයෙහි පිහිටුවයි.

සද්ධා යන වචනයෙහි තේරුම "සද්දහතීති සද්ධා" විශ්වාස කිරීම ශ්‍රද්ධාවයි. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, කර්මය - කර්මඵලය ගැන පැහැදීම තුළින් ඇතිවෙන විශ්වාසය ශ්‍රද්ධාවයි.

දැන් බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන ශ්‍රද්ධාව ඇතිකර ගන්නේ කෙසේද? රත්නත්‍රය ගැනම විශ්වාසය ඇති වනුයේ අවබෝධය තුළින්ම ය. පළමුව බුදුරදුන් පිළිබඳව බලමු. ඒ සඳහා නව අරහාදී බුදුගුණ තේරුම් ගතයුතු ය. බුදුගුණ කියා වඳින පාඨයෙහි මේ ප්‍රධාන ගුණ නවයක්‌ තිබේ. අරහ, සම්මාසම්බුද්ධ, විඡ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තර පුරිසදම්මසාරථී, සත්ථා දේවමනුස්‌සානං, බුද්ධ, භගවා යනු ප්‍රධාන බුදුගුණ නවය ය.

බුදුරජාණන් වහන්සේගේ අරහ ගුණය ලක්‍ෂණ සතරක්‌ ඔස්‌සේ විස්‌තර වෙයි. පළමුවන ලක්‍ෂණය "පාපකරණෙ රහාභාවා අරහං" - රහසින්වත් පව් නොකෙරෙයි. බුද්ධ කාලෙ රහතන් හැටියට සමාජයට පෙන්නාගෙන සිටි කීපදෙනකු ගැන ම සඳහන් වෙයි. නිගණ්‌ඨනාථපුත්තතුමා ඉන් කෙනෙකි. එතුමා සෑහෙන අභිනිෂ්ක්‍රමණයක්‌ කර තපසට ගිය කෙනෙකි. දොළොස්‌ අවුරුද්දක්‌ දුෂ්කර ක්‍රියා කර කේවල ඥානය නම් ඥානයක්‌ ලබාගෙන කෙලෙස්‌ ජයගත් කෙනෙකු හැටියට "ජින" නාමයෙනුත් පෙනී සිටි කෙනෙකි. නමුත් ඔහු නියම රහත් කෙනෙකු හැටියට පොදු පිළිගැනීමක්‌ නොතිබිණි. රහත් බව නැත්නම් රහසින් නමුත් පව් කෙරෙන්නට ඉඩ ඇත.

මේ රටේ රහතුන් සිටී නම් මේ රත්‍රං පාත්‍රය ගන්නැයි එක සිටුවරයකු උස කණුවක්‌ මුදුනේ තබාපු පාත්‍රය ගැනීමට මේ ශාස්‌තෘවරයා කළ ප්‍රොaඩාවෙන් එළිපිට නැතත් රහසින් වැරදි කරන බව පැහැදිලි විය. උරුවේල කාශ්‍යපතුමාලත් රහත්භාවය නැති ව රහතුන් හැටියට පෙනී සිට ඇත. බුදු හාමුදුරුවො කවදාවත් රහසින්වත් පව් නොකරන නිසා ලෝකයේ පළමුවන නියම රහතන් වහන්සේ ලෙසින් හැඳින්විය හැක.

දෙවැනි ලක්‍ෂණය, " අරිණං හතත්තා අරහං" - සියලු කෙලෙස්‌ සතුරන් නැති කළ නිසා රහත් නම් වෙයි. උන්වහන්සේ අබමල් රේණුවක්‌ තරම්වත් කෙලෙස්‌ ඉතිරි කර නොගෙන ලෝභ, ද්වේෂ, මෝහ පදනම් කරගත් සියලු කෙලෙස්‌ මුලිනුපුටා දැමූ සේක.

තුන්වැනි ලක්‍ෂණය, "අරාණං හතත්තා අරහං" - සංසාර බන්ධන සියල්ලම නැති කළ නිසා අරහං - රහත් ය. සම්මා සම්බුදුරදුන් හැර ලෝකයේ පහළ වූ කිසිම ශාස්‌තෘවරයකු සසරින් මිදීමක්‌ ගැන උගන්වා නැත. සියලු දෙනාගේම උගැන්වීම ඉහළ තැනකට යැම ගැන ය. බ්‍රහ්මත්වයට - සුඛපූර්ණභවනයට - ස්‌වර්ගයට එනම් සැපයෙන් පිරුණු ලෝකයකට ගොස්‌ සැප විඳින්න ය. තවත් සමහරු ලෝකයේත් සත්ත්වයාගේත් නිර්මාතෘවරයා යෑයි කියන කෙනෙකු වෙතට ගොස්‌ සදාකාල සැනසුම ලැබීම අපේක්‍ෂා කරති. බුදුරජාණන් වහන්සේ පමණක්‌ සසර බැඳුම් සියල්ල නැතිකර දමා සසර ගමනින් නිදහස්‌වීමේ අගය පැහැදිලි කළ සේක. සිව්වැනි ලක්‍ෂණය, "අරහතත්තා අරහං" - පිදිය යුතු උතුමන් අතර උසස්‌ ම පිදිය යුත්තාය.

ඊළඟ ගුණය " සම්මාසම්බුද්ධො" ය. කාගේවත් උපදේශයක්‌, මග පෙන්වීමක්‌ නැති ව චතුරාර්ය සත්‍ය ධර්මයන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ තිස්‌සේ තමන් ම දියුණු කරගත් ගුණ නැණ බලයෙන් අවබෝධ කරගත් නිසා සම්මාසම්බුද්ධ නම් වෙයි. බුදුරජාණන් වහන්සේට පෙරවත් පසුවවත් තමන්ගේම දියුණු කරගත් බුද්ධියෙන් සත්‍යාවබෝධ කළ ශාස්‌තෘවරයකු ගැන දර්ශන ඉතිහාසයේ සඳහන් නොවෙයි.

ආගමික ඉතිහාසයෙහි බොහෝ ශාස්‌තෘවරුන් වෙනත් ලෝකයක සිටිතැයි සිතන බලවතුන්ගේ පණිවුඩ ගෙනැවිත් දුන් අය වශයෙන් හැඳින්වෙයි.

අපි තවත් බුදුගුණයක්‌ රැගෙන බලමු. ලෝකවිදූ - ලෝකය පිළිබඳව නිවැරදිව දැනගත් උතුමා ය. විශ්වය පුරා බැලුවොත් විදු ඇසිනුත් තරමක්‌ දුරට දකින ආකාරයට ජීවීන් වසන ලෝක සත්ත්ව ලෝක - ජීවීන් නැති ද්‍රව්‍ය පමණක්‌ ඇති ලෝක සංස්‌කාර ලෝක - කිසිවක්‌ නැති අවකාශය අවකාශ ලෝක වශයෙන් යථාතත්ත්වයෙන් බුදු ඇසින් දැක වදාරා ඇත.

ධර්මයේ ගුණ කීපයක්‌ දිහාත් බලමු. බුදුහාමුදුරුවො ම මැනවින් පැහැදිලි කළ පරිදි "සන්දිට්‌ඨිකෝ" - තම තමන් ම අවබෝධ කළ යුතුයි. "අකාලිකෝ" පිළිපැදීමෙන් කල්නොයවා ප්‍රතිඵල ලැබෙයි. ඒහිපස්‌සිකෝ" ඇවිත් පරීක්‍ෂා කර බලන්නැයි ඉදිරිපත් කිරීමට ධර්මයේ තිබෙන සුදුසු බව මෙයින් කියවෙයි. ධර්මයේ අගය විමසා බලනවිට අවබෝධය තුළින් පැහැදීම වැඩිවෙයි. විශ්වාසය තහවුරු වෙයි. ඒ විශ්වාසය පළුදු කිරීම ලේසි පහසු කාර්යයක්‌ නොවේ. ඒක නිසා ශ්‍රද්ධාව බලයක්‌ වෙයි.

ශ්‍රාවක සංඝයා පිළිබඳ පැහැදීම වැඩිවන්නේ උන්වහන්සේලා තුළ ඇති ගුණ විමසා බැලීමෙනි. බුද්ධ ශ්‍රාවකයා මනා පිළිවෙත් ඇති අයෙකි. සෘජු පිළිවෙත් ඇති අයෙකි. නිවන් මගට පිළිපන් අයෙකි. දහඩිය මහන්සියෙන් සපයන දෙයින් දුරබැහැර සිට හිස මත තබාගෙන විත් කරන පූජා පිළිගැනීමට සුදුසු අයෙකි. ලෝකවාසී ජනතාවට පින් දහම් කර ගැනීමට තිබෙන පින් කෙතය. මේ ආදී වශයෙන් තිබෙන සුදුසුකම් දෙස බලාගෙන යන විට ශ්‍රාවක සංඝයා ගැන ප්‍රසාදය වැඩිවෙයි. පිළිගැනීම වැඩිවෙයි. ශ්‍රද්ධාව එයින් ශක්‌තිමත් වෙයි. ශ්‍රද්ධාව කර්මඵල විශ්වාසයත් ශක්‌තිමත් කරයි. අපට දීර්ඝ සංසාර ගමනක්‌ ඇත. එහිදී අප කරන කියන දේවල ප්‍රතිඵල වශයෙන් දුක සැප අප පසුපස එයි. පිරිසිදු සිතින් කරණ දේ පින් ය. "පුඤ්ඤකම්මා ච සුග්ගතිං" - පින්කම්වල විපාකයෙන් සුගතිය ලැබෙයි. "නිරයං පාපකම්මන්තා" - පව්කම්වල විපාකයෙන් අනන්ත දුක්‌ ඇති අපායවලට යන්නට සිදුවෙයි.

නියම ශ්‍රද්ධාවට බාධා නැත. තමන් දරන තනතුරු අතහැර දා යන්නේ කෙසේද, දරුමල්ලන් අත්හැරදා යන්නේ කෙසේ දැයි නියම ශ්‍රද්ධාවන්තයාට ප්‍රශ්න නැත. පෝයදාට වත් මලක්‌ පහනක්‌ පුදා යන්නට විවේකයක්‌ නැති අපේ රටේ සමහර ශ්‍රද්ධාවන්තයන් මේ පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ව තිබේ.

කරුණු මෙහෙම නිසා ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම ශක්‌තියක්‌ දරන බව ඉතාම පැහැදිලි කරුණකි. නියම ශ්‍රද්ධාව ඇතිකර ගතහොත් පියවරෙන් පියවර යන්නේ නිවන් සුව පැත්තට ම බව අමතක නො කළයුතුව තිබේ. කවර බලවේගයකින්වත් ඒක වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

අද අපේ රටේ සමහර අය මුදල් ලබා ගන්නට, බුදුරදුන්ට, ධර්මයට, සංඝයාට නිග්‍රහ කරන හැටි බැලුවා ම ලේඛන දේශන කරන හැටි බැලුවා ම පුදුම වේදනාවක්‌ ඇති වෙයි. බුදුරුව යොදා විවිධ රටවල කරන වෙළෙඳ ව්‍යාපාර දෙස බලන විට බලගතු සංවේගයක්‌ ඇති වෙයි. අපේ රටේත් උදර පෝෂණයට බෞද්ධකම හැර දමා යන හැටි දකින විට පුද්ගලයන් පිළිබඳ පිළිකුලක්‌ ඇති වෙයි. විදේශ ගතවීමේ ආශාව සන්තර්පණය කර ගැනීමට බුද්ධාගම පාවා දෙන තරුණ තරුණියන් ගැන අසන්නට ලැබීම ජුගුප්සාජනක ය. වර්ෂ දහස්‌ ගණනක උරුමයෙන් ලද ශ්‍රද්ධාව ගෑවිලාවත් තිබේ නම් එහෙම වීමට ඉඩක්‌ නැත. ඒ නිසා අපි බෞද්ධ දර්ශනය රැකගෙන දහම් මගේ ඉදිරියට යැමට ශ්‍රද්ධා බලය තහවුරු කරමු.

මේ ශ්‍රී ලංකාද්වීපය ලෝකයේ ආශ්චර්යය බවට පත්වේගන යන මේ යුගයේ බුදුදහම ද විද්‍යාත්මක ලෝකයේ ආශ්චර්යය බවට පත්වේගෙන යද්දී ලෞකික ආශාවන්ට මුළා වී දහම් මගින් පිටපැනීම කෙතරම් අනුවණ කමක්‌දැයි නැවත නැවත සිතා බැලිය යුතුව ව ඇත.

කවර ක්‍රමයකින් හෝ කටබඩ පුරවා ගැනීම තිරිසනාගේ ද ස්‌වභාවය ය. මනසින් දියුණු මිනිසාත් එසේ වියයුතුද? නොවේ නම් නොවියයුතුද යන්න නුවණින් විමසා බැලිය යුතු කාලය එළඹ තිබේ. 2600 සම්බුද්ධත්ව ජයන්තියේ නාමයෙන් වසරක්‌ තිස්‌සේ පිළිවෙතින් පෙළ ගැසීමේ අගය විවිධ මාධ්‍යයන් ඔස්‌සේ විග්‍රහ වුණු අවස්‌ථා අප්‍රමාණ ය. ඒ අනිකක්‌ සඳහා නොව දැහැමි රටක්‌ සඳහා මය. දැහැමි මිනිස්‌ පරපුරක්‌ සඳහා මය. දූෂණයෙන් භීෂණයෙන් තොර මිනිස්‌ සමාජයක්‌ සඳහා මය. නිදහස්‌ ආගමික පරිසරයක්‌ ඇති රටක්‌ සඳහා මය.

භෞතික දියුණුව අහස උසට නැගී ගියත් ආධ්‍යාත්මික දියුණුව තිබේ නම් කිසිවෙකුට ප්‍රශ්නයක්‌ නැත. සාරධර්ම අගය කරන ප්‍රඥාවන්තයාගෙන් ද රට දැය සමයට විපතක්‌ නැත. දැහැමි පුද්ගලයාට ධර්මයෙන් ම ආරක්‍ෂාව ලැබෙයි.

සැමට අමා දොර විවර වේවා !!!


පූජ්‍ය හබරකඩ ඉන්දරතන නාහිමි

මරණාසන්න මොහොතේ පහළවන දර්ශන

ස්වර්ණකලාප්‍රදීප, දර්ශනපති 

උඩුගම, මෝහාන් නන්දන නානායක්කාර


බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ
තමන් අදහනු ලබන ආගම ධර්මය කුමක් වුවද මරණාසන්න අවස්ථාවේදී දර්ශනය වන නිමිති පහක් පිළිබඳව බුදුදහමේ කරුණු සඳහන් වේ.
මරණයට පත්වීමට ආසන්නව සිටින අයෙකුට දර්ශනය වන මෙම පංච නිමිති පිළිබඳව පරීක්‍ෂාකර බලා විමර්ශනයක් සිදුකළ විට මෙම නිමිතිවල ඇති සත්‍ය අසත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පේ‍්‍රතවත්තු , විමානවත්තු වැනි සූත්‍ර දේශනා කරනු ලැබුවේ මනුෂ්‍යයන් අතින් සිදුවන අකුසල කර්ම වළක්වා කුසල කර්ම රැස් කිරීමටත් එමගින් මනුෂ්‍යයාගේ මෙලොව හා පරලොව සුබ සිද්ධිය සලසාදීම සඳහාත්ය.
බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ. මේ බව කාලාම සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් ඒවා වේ. බුදුරදුන් ලෝකත්‍රයම ඇති සැටියෙන්ම
දේශනා කොට වදාළ හෙයින් ලෝකවිදු නමින්ද හඳුන්වති. එවැනි ධර්මයක් පිළිබඳව සැක සංකා නොමැතිව මරණාසන්න අවස්ථාවේ දර්ශනය වන පංච නිමිති පිළිබඳව විමර්ශනශීලිව සොයා බලා සත්‍ය අවබෝධ කර ගත හැකිවේ.
අග්නි ජාලාවක් දර්ශනය වීම – කාලයාත්‍රා කරන අවස්ථාවේ ගින්දර ගොඩක් පෙනේ යැයි සඳහන් කරන්නවුන් මෙන්ම ඒ බව නොපවසා දනවා දනවා යැයි කියමින් කෑ මොර දෙන අයද සිටිති. තවත් අය කිසිවක් නොපවසා අභිනයන් මගින් ඉරියව් පළ කරති. තවත් අය ගින්නක් ඇවිලෙන විට කටින් පිඹ එය නිවා දැමීමට හුලං පිඹිති. තවත් සමහරුන් ජලය සොයති.
අන්ධකාරය දර්ශනය වීම “මට මොකක්වත් පේන්නේ නැහැ. ලාම්පුව පත්තු කරන්න. ලයිට් දමන්න .හරි කළුවරයි. මොකක්වත් පේන්නේ නැහැ. ඉටිපන්දමක් වත් ගේන්න” යනුවෙන් මරණාසන්න මොහොතේ ප්‍රකාශ කරන අය සිටිති. එළියක් රැගෙන එන ලෙස පවසමින් කෑ මොර දෙන අය සිටිති. ඇස් පොඩි කරමින් ඇස් පිලි ගසන අය සිටිති.
වන සතුන් හා වනාන්තර දර්ශනය වීම “හරක් එනවො” ඔන්න අලි එනවෝ මා බේර ගන්න” යනුවෙන් සතුන් ගේ නම් කියමින් කෑමොර දෙන්නවුන් මෙන්ම එසේ නොකියා සතුන් එළවන අභිනයන් පළ කරන්නෝද සිටිති. තවත් සමහරුන් නොයෙක් සතුන් කෑ ගසන හඬට සමාන හඬවල් පිට කරමින් මිය යති. කැලයේ විස්තර ප්‍රකාශ කරන්නෝද සිටිති. තවත් අය කැලයේ ඇවිදින අය මෙන් විපරම් කරමින් වටපිට බලති.
මිය ගිය ඥාතින් හෝ මනුෂ්‍යයන් දර්ශනය වීම
කාලයාත්‍රා කරණ මොහොතේ තම මියගිය නෑ දැ හිතවතුන් දර්ශනය වන්නවුන් මෙන්ම ජීවතුන් අතර සිටින අයගේ නම ප්‍රකාශ කරමින් කතා කරන අය, එම අයගේ තොරතුරු පවසන්නවුන් මරණින් මතු මනුෂ්‍ය භවයේම උත්පත්තිය ලබන්නෝය.
දෙවිදේවතාවුන් හා දිව්‍ය විමාන දර්ශනය වීම
මිය යන විට ප්‍රසන්න මුහුණින් සමන්විතව මල් සුවඳ හා මල් ගැන කතා කරන, සිනහවන මෙන්ම දුක්මුසු බියකරු හැඟීම් කිසිවක් පළ නොකරන අය වෙති. තවද අහස දෙස බලා සිටිමින් උඩ හිඳින දෙවි දේවතාවුන් ගැන කරුණු සඳහන් කරන්නෝද සිටිති. ඔවුන් දිව්‍ය විමාන, දිව්‍ය සම්පත්, දිව්‍ය රථ ගැන කරුණු දක්වයි. සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වැනි අයට මෙවැනි දර්ශන පෙනුන බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. වර්තමානයේද මෙවැනි දර්ශන පෙනෙන අය සිටිති.
කාල යාත්‍රා කිරීමට ආසන්නව සිටින අයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කරවා පිරිත් දේශනා කිරීම, ධර්ම දේශනා කරවීම, පිං පොත කියවීම ආදි සිරිත් බෞද්ධයන් තුළ එදා සිට මේ දක්වාම පවතියි. ශාසන ඉතිහාසයේ සඳහන් ධම්මික උපාසක චරිතයෙන් දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන අයට දිව්‍ය සැප සම්පත් ලැබෙන බව බුදුරදුන් භික්‍ෂුන් වහන්සේලාට දේශනා කොට ඇත. හදිසි අනතුරුවලින් ක්ෂණයෙන් මරණයට පත්වන අය තුළ ඉහත පංච නිමිති දර්ශනය වේදැයි ප්‍රශ්නයක් පැන නගී. එහෙත් මේකී දර්ශනයක් පහළවීමට චිත්තක්ෂණයක් පමණක්ම ප්‍රමාණවත් වේ. විශුද්ධි මාර්ගයෙහි පෙන්වා දී ඇති පරිදි ජීවියෙකුගේ පරම ජීවිත කාලය ඉතා කෙටි මොහොතක් වන අතර එය එක් සිතිවිල්ලක් පවතින තෙක් පමණක්ම වේ. රථ රෝදයක් කැරකෙන විට රෝදය ඒ මොහොතක් පොළොව හා බද්ධ වී පවතින්නේ එක ස්ථානයකින් පමණක් වන්නාසේම ජීවියාගේ පැවැත්ම පවතින්නේද එක් සිතිවිල්ලක් පවතින තරම් සුළු මොහොතක් බවද පෙන්වා දෙයි. ඊට අදාළව, යම් සිතිවිල්ලක් සත්වයාගේ සිත තුළ පහළ වීද ඒ සඳහා වූ ගති ස්වභාවයක් පවතී. ඒ ගති ස්වභාවය දේව ගතියක් විය හැකිය. මනුෂ්‍ය, පේ‍්‍රත හෝ තිරිසන් ගතියක් විය හැක. දුගති ගතියක් විය හැක.
එම ගති නිමිති ස්වභාවය අනුව පංච නිමිති දර්ශනය පහළවීම, චිත්තනියාමය ලෙස සඳහන් කළ හැකිය. බුදුරජාණන් වහන්සේගේ මඟ ගමන් කරන්න වුන් වශයෙන් තම තමන්ගේ චිත්තසන්තානයන්, තුළ නිරන්තරයෙන් මනුෂ්‍ය ගතිගුණ හා දේවගති ගුණ පවත්වාගෙන යෑමට සිහි බුද්ධියෙන් හා නුවණින් කටයුතු කිරීමට පුරුදු පුහුණූ වීමට හැකියාවක් ඇත්තේ නම් මරණාසන්න අවස්ථාවේ සුගතිගාමී නිමිති දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා ඔබ අප සියලු දෙනාටම ශක්තිය හා වාසනාව ලැබේවා!

සේඛ බල ඇති කර ගනිමු

ශ්‍රද්ධා බලය ඇති කරගන්නෙ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදු වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියල, මේ විදියට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධා බලය කියල කියන්නේ
නාවලපිටියේ අරියවංශ හිමි

සේඛබල පුරුදු කරමු - 1

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප කාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනය මුණගැහිල තියෙනවා. ඒ නිසා අපට දැනගන්ට ලැබුණා ඉපදුන මනුෂ්‍යයන්ටත්, දෙවියන්ටත්, මේ කාටත් තිබෙන ලොකුම අනතුර මොකක්ද කියල. ඒ ලොකුම අනතුර තමයි සතර අපායේ ඉපදෙන්ට බහුල ඉඩකඩක් අප තුළ පැවැතීම.
භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නා, මැරෙන මිනිස්සුන් අතරින් නැවත වතාවක් මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය වගේ සුගති ලෝකවල උපදින්නේ මහපොළොවෙන් නියපොත්තට පස් ටිකක් ගත්තහම ඒ පස් ප්‍රමාණය වගේ ඉතාමත්ම සුළු පිරිසක් කියල. මහ පොළොවේ තියෙන පස් වගේ විශාල මිනිසුන් ප්‍රමාණයක් මිය ගිහිල්ලා නැවත උපදින්නේ සතර අපායේ කියල. මේක පුංචි අනතුරක් නොවෙයි. සුළු අනතුරක් නොවෙයි. ලඝු කොට සැලකිය යුතු කාරණයක් නොවෙයි. අපේ ජීවිත වල තියෙන ලොකුම අර්බුදය මේක තමයි. අප විසින් ජයගතයුතු ලොකුම අභියෝගයත් මේකමයි.
අපට දැන්, අපේ ජීවිත හමුවේ තිබෙන ලොකුම අනතුර මොකක්ද කියල දැනගන්නට ලැබුණා. ඒ අපට ගෞතම බුදුසසුන මුණ ගැසුණු නිසයි. ඒක අප ලද මහඟු ලාබයක්. මෙතරම් ලාබයක් ලැබුණ අප මේ ලාබය අත් නොහැරෙන විදිහට, ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කර ගන්නට කල්පනා කළ යුතුයි. සතර අපායේ වැටෙන ස්වභාවයක් අප ජීවිතවල තිබෙනවා නම්, ඒ සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙන්ට කල්පනා කළ යුතුයි. එයම තමයි මනුෂ්‍යයෙක් විසින් තමන්ගේ ජීවිතයට සලසා ගත යුතු ලොකුම යහපත, අභිවෘර්ධිය. අපට සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙන්ට බැරි වුණොත්, මේ මනුෂ්‍ය ජීවිතය තුළ මොන තරම් ලොකු දේවල් රැස් කරගෙන හිටියත්, ඒ රැස්කර ගත්තා වූ දේ අපට ලොකු උපකාරයක් පිණිස පවතින්නේ නෑ. මේ ජීවිතයේ අප ලොකු දෙයක් රැස් කරගෙන නොතිබුණත්, එයා සතර අපායෙන් නිදහස් වෙලා නම්, එයාට ඒ සතර අපායෙන් නිදහස් වීම මගින් සලසන්නා වූ උපකාරය ප්‍රමාණ රහිතයි.

ඒනිසා, අප සතර අපායෙන් නිදහස් වෙන පැත්තට සිත හදාගන්ට, සිත යොමුකර ගන්ට, සිත දියුණු කර ගන්ට විශාල වෑයමක් ගත යුතු යි. ඒ වෑයම සාර්ථක වෙන්නේ, සතර අපායෙන් නිදහස් විය යුතු වැඩපිළිවෙළ ගැන හරි වැටහීමකින්, හරි දැනීමකින් යුතුව අප කටයුතු කළොත් පමණයි. සතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙළ ගැන අපට හරි වැටහීමක්, හරි දැනීමක්, නොතිබුණොත්, අප කුමක් කළත් ඒ නිදහස් වීම සිද්ධ වෙන්නේ නෑ. අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, සිත නියම ආකාරයෙන් පිහිටුවා නොගත්තොත් දුකෙන් නිදහස් වීමක් සිදුවන්නේ නෑ කියල. සිත නියම ආකාරයෙන් පිහිටුවා ගත්තොත් විතරමයි අපට දුකෙන් නිදහස් වෙන්ට පුළුවන් වෙන්නේ.
එහෙනම්, අප කොතරම් ධර්මය ඉගෙන ගෙන තිබුණත්, කොතරම් ධර්මය පාඩම් කළත්, කොතරම් ධර්මය කතා කළත්, ඒ ධර්මය පුරුදු කර ගන්නා ආකාරය ගැන අපට හරි වැටහීමක් ඇති කර ගන්ට බැරි වුණොත් අපට ලැබිච්ච ලාබය අත්කර ගන්ට බැරුව යනවා. අපට වරදිනවා නම්, අපට නිවන් මඟට එන්ට බැරි වෙනවා නම්, අන්න ඒ සඳහා ඉඩ කඩ ඉතා වැඩියි. ඒ නිවන් මඟට පැමිණීම පිණිස තිබෙන උපකාර අඩුයි. ඒ නිවන් මඟට පැමිණීම පිණිස තිබෙන බාධක, එහෙම නැත්නම් නිවන් මඟට නොපැමිණෙන්න තිබෙන ඉඩ කඩ හරියට ආකාසේ වගේ විශාලයි. නමුත් නිවන් මඟට පැමිණෙන්න තියෙන උපකාර, ඉඩකඩ ආකාසෙ වගේද? නෑ. ඒක හරියට ඉදිකට්ටේ තුඩ වගේ, පුංචි ඉඩක් තමයි තියෙන්නෙ. එහෙනම් මේක පහසු කටයුත්තක් නොවෙයි. ඒකෙන් අදහස් කරන්නෙ නිවන අවබෝධ කිරීම බෑ කියල නම් නොවෙයි. ඒක කොතරම් දුෂ්කරද කියන කාරණයයි කිව්වේ. ඒ නිසා අප නිවන් මඟට පැමිණීම පිණිස, අත් නොහරින වෑයමකින් යුතුව, මනා කල්පනාවක් සහිතව ඒ සඳහා කටයුතු කළ යුතු යි.
එතකොට නිවන් මඟට පැමිණීම පිණිස ආරම්භයේදීම අප කළයුත්තේ කුමක්ද? ඒ සඳහා අප මුලින්ම භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය ඇති කරගත යුතු යි. ඒක ලේසි කාරණාවක් නෙවෙයි. ඒ සඳහා බාධා බහුලයි. නමුත් යමෙකුට ශ්‍රද්ධාව ඇතිකරගෙන, නිවන් මඟට පැමිණෙන්ට නොහැකි වුණොත්, කොයි තරම් කාලයකින් එයාට නැවත මේ දුර්ලභ අවස්ථාව ලැබෙයිද කියල කියන්ට බෑ. ඒ නිසා අප තුළ ශ්‍රද්ධාව ඇතිකරගෙන ඉතා කල්පනාවෙන්, ඒ නිවන් මඟ අඳුන ගෙන ඒකට පිවිසෙන්ට වෙහෙස මහන්සි විය යුතු යි. අප කෙසේ හෝ එතෙන්ට පිවිසුණොත්, ශ්‍රද්ධාවට පැමිණිතොත්, ශ්‍රද්ධානුසාරී කෙනෙක් බවට පත් වුණොත්, එයාට කොතරම් බාධක තිබුණත්, එයාගේ නිවන් මග වළකින්නේ නෑ. එයාට නිවනට බාධා තිබුණත්, ඒ සියලු බාධා වලින් එයාට ප්‍රමාදය ඇතිකරන්න පුළුවන්කම තිබෙන්නේ භව හතක් දක්වා පමණයි.
ඒ නිසා මේ ධර්මයෙන් අපට සැලසෙන මේ මහා යහපත තේරුම් අරගෙන පරිස්සමින් පුරුදු කර ගත්තොත්, අපට නිවන් මඟට පිවිසෙන්න ඉඩ කඩක් පාදගන්ට පුළුවන් වෙනවා. එතකොට ඒ විදිහට නිවන් මඟට පැමිණීම පිණිස අපකාර බහුලව තිබෙන යුගයක, අප තුළ විශාල බලයක් තියෙන්ට ඕනෑ. ඒ අපකාර මැඩගෙන ඒ පුංචි ඉඩකඩ පාදගන්න. අන්න ඒ බලය අප උපදවා ගත යුතු එකක්. ඒ බලය ඉබේ ඉපදෙන්නේ නෑ. නිවන් මඟට පිවිසෙන්ට, පිවිසිලා නිවන් මඟ සම්පූර්ණ කර ගැනීම පිණිස අප ඒ බලය ඇති කර ගන්ට ඕනැ. අන්න ඒ බලයට කියනවා ‘සේඛ බල’ කියල. ඒ සේඛ බල වලින් යුතුව නිවන් මගේ පුරුදු වෙන කෙනාට තමයි ‘සේඛ’ කියල කියන්නේ. ඒ සේඛ බල ඇතිකර ගැනීමෙන් තමයි අපට සතර අපායෙ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙලා සුගතියෙ පැත්තට සිත නමාගන්නත්, ඒ වගේම නිවන් මඟට පිවිසෙන්නටත් පුළුවන්කම තිබෙන්නෙ. යමෙක් තමන් තුළ උපදවා ගත්ත සේඛ බල ඇසුරු කරමින් ඒ වගේම ඒ සේඛ බල දියුණු කර ගනිමින් වාසය කළොත්, එයා තුළ නිවන් මඟ ටිකෙන් ටික දියුණු වෙනවා. යම් දවසක ඒ සේඛ බල පරිපූර්ණ කර ගැනීමෙන් නිවන් මඟ පරිපූර්ණ වෙනවා. ඒ නිවන් මඟ පරිපූර්ණ වීම පිණිස සේඛ බල පරිපූර්ණ වීම පිණිස කොච්චර කලක් යයි ද කියල අපට කියන්ට බෑ. උපරිම වුණොත් භව හතක් දක්වා පමණයි. නමුත් අප සේඛ බල උපදවා ගැනීම මේ ජීවිතයේදීම කර ගත යුතුම යි. ඒ සඳහා ලොකු කැමැත්තක්, ලොකු වෑයමක්, අප තුළ ඇති කර ගත යුතු යි.
එවිට, මොනවද මේ සේඛ බල කියල කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ, සේඛ බල සංකිත්ත කියන සූත්‍ර දේශනාවේ දී අපට මේ විදියට සේඛ බල ගැන වදාරනවා, “පංචිමාණි භික්ඛවේ සේඛ බලාණී”, පින්වත් මහණෙනි, මේ සේඛ බල පහක් තිබෙනවා. “කතමාණි පංච?” මොනවද ඒ පහ? “සද්ධා බලං, හිරි බලං, ඔත්තප්ප බලං, විරිය බලං, පඤ්ඤා බලං ඉමානි ඛෝ භික්ඛවේ සේඛ බලානි” පින්වත් මහණෙනි, මේ තමයි සේඛ බල පහ. මොනවද ඒ සේඛ බල පහ? ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදිහට පෙන්වා දෙනවා, “තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං” පින්වත් මහණෙනි, මේ විදිහට පුරුදු වෙන්න. “සද්ධා බලං සමන්නාගතා භවිස්සාමි” මේ ශ්‍රද්ධා බලය කියන සේඛ බලය ඇති කර ගෙන, පුරුදු කර ගෙන වාසය කරන්ට ඕනෑ, ඒ වගේම හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය කියන සේඛ බලයන් ඇති කරගෙන, පුරුදු කර ගෙන වාසය කරන්ට ඕනෑ” කියල හික්මෙන්න කිව්වා.
ඒ නිසා අප කොයි කවුරුත් මේ පංච සේඛ බල උපදවා ගෙන පුරුදු කර ගන්ට මහන්සි වෙන්ට ඕනැ. ඒ සඳහා අප නිතර අපේ සිතේ මේ විදියට පුරුදුකර ගන්ට ඕනැ. ඒ තමයි “මා ශ්‍රද්ධා බලය කියන සේඛ බලය ඇති කෙනෙක් වෙන්ට ඕනෑ. මා හිරි බලය කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ, මා ඔත්තප්ප බලය කියන සේඛ බලය ඇති කෙනෙක් වෙන්ට ඕනැ, මා වීරිය කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ, මා ප්‍රඥා කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ.” කියල නිතර අපේ සිතේ පවත්වන්ට ඕන. නිතර ඒ අදහස පවත්ව ගන්න කියල ඇයි අපට කියා දෙන්නෙ. නිතර ඒ අදහස පැවැත්වූයේ නැත්නම් අපට මේක පුරුදු කරගන්ට අමතක වෙලා යනවා. නිතර ඒ අදහස සිතේ තිබුණොත් තමයි අපට ඒවා පුරුදු කරගන්ට හැකි වෙන්නෙ. ඉතින් අප මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා සේඛ බලයන් ඇතිකර ගෙන, ඒ සේඛ බල පරිපූර්ණ කර ගැනීමට වාසනාව උදාවේවා කියල. සියලු දෙනාටම තෙරුවන් සරණයි....!

ජීවිතයට සැබෑම රැකවරණය සලසා ගැනීමට නම්...

සේඛබල පුරුදු කරමු - 2


භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. ඔත්තප්ප බලය තුළ පිහිටා සිටිනතාක් ඔහු තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. වීරිය බලය තුළ පිහිටා සිටින තාක් ඔහු තුළ අකුසල් හටගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. පඤ්ඤා බලය තුළ පිහිටා සිටිනතාක් ඔහු තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. අකුසල් හට ගන්නේ නැත්නම් ඔහු මරණයෙන් මත්තේ දුගතියට වැටෙන්නේ නෑ. අකුසල් හට ගන්නේ නැත්නම් එයාට කුසල් උපදවා ගැනීමේ අවස්ථාව තියෙනවා
සේඛ බල ඇතිකර ගැනීමෙන් පමණයි අපිට නිවන් මගට පිවිසෙන්ට පුළුවන්කම තිබෙන්නෙ. සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙලා සුගතය පැත්තට හිත නමාගන්න පුළුවන්කම තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, පඤ්ඤා බලය කියන මේ සේඛ බල නැති වුණොත්, සේඛ බල ඇති කර ගන්ට අසමත් වුණොත්, ඒ සේඛ බල වලින් තොරව වාසය කළොත් ඒ භික්‍ෂුව ශාසනය තුළ පිහිටා සිටින්නෙ නෑ කියලා. ඔහු ශාසනයෙන් වෙන් වෙනවා කියල දේශනා කරනවා. එතකොට යම් කෙනෙකුට ශාසනය තුළ පිහිටා සිටින්න උපකාර වන්නෙ මේ සේඛ බලයි.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව නැත්නම්, හිරි බලය නැත්නම්, ඔත්තප්ප බලය නැත්නම්, වීරිය බලය නැත්නම්, හීන විරිය නම් තියෙන්නේ ප්‍රඥාව නැත්නම් දුෂ්පක්ඤාව නම් තියෙන්නේ. අන්න එබඳු කෙනෙක් ඔසවාගෙන ආපු බරක් බිම තබන්නා වගේ නිරයේ උපදිනවා. ඒ වගේම තමයි යම් කෙනෙක් මේ සේඛ ඛල පුරුදු කර ගන්නවා නම්, එසේ පුරුදු කරගත්ත සේඛ බල වලින් යුක්තව වාසය කරනවා නම් එයා ඔසවගෙන ආපු බරක් බිම තියන්නා වගේ සුගතියේ උපදිනවා යැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.

එතකොට සුගතියට පැමිණීම පිණිස දුගතියෙන් නිදහස් වීම පිණිස අපට උපකාර වන බලවත්ම දේ මොකක්ද? සේඛ බල. සේඛ බල ඇතිකර ගත්තොත් අපි සුගතියක උපදින විදිහට සිත සකස්කර ගත්තා වෙනවා. සේඛ බල පුරුදු කරගන්ට බැරි වුණොත් අපිට සුගතියකට යන්න අවස්ථාවක් නෑ. දුගතියේ උපදින්න තියෙන අවස්ථාව බහුලයි. එනිසා ඒ අනතුර හඳුනා ගන්න, අනතුරෙන් නිදහස් වන්නා වූ මාර්ගය අඳුරගන්න.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. ඔත්තප්ප බලය තුළ පිහිටා සිටිනතාක් ඔහු තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. වීරිය බලය තුළ පිහිටා සිටින තාක් ඔහු තුළ අකුසල් හටගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. පඤ්ඤා බලය තුළ පිහිටා සිටිනතාක් ඔහු තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. අකුසල් හට ගන්නේ නැත්නම් ඔහු මරණයෙන් මත්තේ දුගතියට වැටෙන්නේ නෑ. අකුසල් හට ගන්නේ නැත්නම් එයාට කුසල් උපදවා ගැනීමේ අවස්ථාව තියෙනවා.
ශ්‍රද්ධා බලය තියෙනවා නම් එතනම කුසලයන් ඉපදෙන්න පටන් ගන්නවා. හිරි බලය තියෙනවා නම් එතනම කුසල් ඉපදෙන්ට පටන් ගන්නවා. ඔත්තප්ප බලය තියෙනවා නම් කුසල් ඉපදෙන්ට පටන් ගන්නවා. වීරිය බලය තිබෙනවා නම් එතන කුසල් උපදින්ට පටන් ගන්නවා. පඤ්ඤා බලය තිබෙනව නම් එතන කුසල් උපදින්න පටන් ගන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් දවසක ඔහු තුළ ශ්‍රද්ධා බලය අතුරුදහන් වෙලා නම් එතන කුසල් ඉපදෙන්නේ නෑ. අකුසල් ඉපදෙන්නට පටන් ගන්නවා. හිරි බලය නැත්නම් අතුරුදහන් වෙලා නම් ඔහු තුළ අකුසල් ඉපදෙන්ට පටන් ගන්නවා. ඔත්තප්ප බලය අතුරුදහන් වෙලා නම් එතන අකුසල් ඉපදෙන්ට පටන් ගන්නවා. වීරිය බලය අතුරුදහන් වෙලා නම් එතන අකුසල් උපදින්න පටන් ගන්නවා. පඤ්ඤා බලය අතුරුදහන් වුණොත් එතන අකුසල් උපදින්න පටන් ගන්නවා. එහෙනම් යම් වෙලාවක අකුසල් ඉපදුනොත් එතන හිත අපිරිසුදු වෙලා යනවා. දුගතියේ ඉපදෙන විදිහට සිත සකස් වෙනවා.
එහෙම නම් නිතරම හිත අකුසලයට වැටෙන්නෙ නැති විදිහට පවත්වා ගැනීම පිණිස මොකක්ද අපිට උපකාර වෙන්නේ? මේ සේඛ බල පුරුදු කරමින් වාසය කිරීමමයි. ඒකයි අපට භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නේ. ශ්‍රද්ධා බලය කියන සේඛ බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනෑ කියල පුරුදු කරන්න කියල. එතකොට මේ සේඛ බල නිතර පුරුදු කළ යුතු දෙයක්. මේ සේඛ බල ගැන වැටහීම නිතරම සිතේ තිබිය යුතු දෙයක්. උදේ ශ්‍රද්ධාව පුරුදු කරනවා. දවල්ට අමතක කරනවා. උදේට හිරි බලය පුරුදු කරනවා. දවල්ට අමතක කරනවා. උදේට ඔත්තප්ප බලය පුරුදු කරනවා. දවල්ට අමතක කරනවා. එහෙම පුළුවන්ද? බෑ ඇයි ඒ? මේ සේඛ බල යම් වෙලාවක හිතෙන් බැහැර වුනාද එතකොට අකුසලයට හිත නැඹුරු වෙනවා. විශාල අනතුරක් තියෙන්නේ. එහෙනම් අපි මේ අනතුර තේරුම් අරගෙන ඒ අනතුරෙන් නිදහස් වෙන්න තියෙන උපකාරය තේරුම් ගන්න ඕනෑ.
අනතුරෙන් නිදහස් වීම පිණිස තිබෙන ලොකුම උපකාරය කුමක්ද? සේඛ බල පුරුදු කර ගැනීම. සේඛ බල පුරුදු කර ගනිමින්ම වාසය කළොත් එතන අකුසල් රැස්වීමක් වෙන්නේ නෑ. අකුසල් වැඩීමක් අකුසල් පුරුදු වීමක් වෙන්නෙ නෑ. කුසල් වැඩෙනවා. හොඳින් සේඛ බල ඉගෙන ගෙන, සේඛ බල ඇති කර ගත්තොත් අපි ආරක්‍ෂාවක් තුළමයි ඉන්නේ. අපි කොයි මොහොතේ මැරෙනවද දන්නේ නැහැ. කොයි මොහොතේ මිය ගියත් අපි සේඛ බල පුරුදු කර ගනිමින් වාසය කළොත් අනතුරක් සිදුවෙන්නේ නෑ. අනතුරින් බේරිලා, සේඛ බල ඇති කර ගැනීම අපේ ජීවිතයට විශාල ආරක්‍ෂාවක් අපි ඇති කර ගත්තා වෙනවා. මේ සේඛ බල ගැන හොඳින් ඉගෙන ගෙන සේඛ බල පුරුදු කර ගැනීම පිණිස ලොකු මහන්සියක් උනන්දුවක් අපි ඇති කර ගන්නට ඕනෑ.
අපි සියලු දෙනාටම ආශිර්වාද කරන්ට කැමතියි ජීවිතයට පරිපූර්ණ ආරක්‍ෂාවක් සලසා ගැනීම පිණිස සියලු දෙනාටම මේ සේඛ බල හොඳින් ඉගෙන ගෙන ජීවිතයට පුරුදු කර ගැනීමට දුර්ලභ වූ භාග්‍යය උදාවේවා.

උපන් අකුසල් දුරු කර ගනිමු

සේඛබල පුරුදු කරමු - 3


මේ වන විට පින්වතුන් සේඛ බල ඉගෙන ගත්තා. ඒ වගේම අප ඒ සේඛ බල වල අර්ථය දැන ගන්ටත් ඕනෑ. ඒ විදියට සේඛ බල වල අර්ථය දැන ගත්තොත් තමයි අපට සේඛ බල පුරුදු කර ගන්ට පුළුවන්කම තියෙන්නෙ.මේ සේඛ බල වල අර්ථය භාග්‍යවතුන් වහන්සේ මේ විදියට කෙටියෙන් අපට කියා දෙනවා. කතමඤ්ච භික්ඛවේ සද්ධාබලං” පින්වත් මහණෙනි, කොපමණකින් මේ සද්ධා බලය පවතිනවා ද? “ඉධ භික්ඛවේ අරියසාවකෝ සද්ධෝ හෝති “ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. “සද්දහති තථාගතස්ස බෝධිං” තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. “ඉතිපි සෝ භගවා, අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ’ සුගතෝ, ලෝකවිදූ,අනුත්තරෝ, පුරිසදම්මසාරථී සත්ථා, දේවමනුස්සානං, බුද්ධෝ භගවාති” යන්න ඒ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. “ඉදං වුච්චති භික්ඛවේ සද්ධාබලං” පින්වත් මහණෙනි, මෙය තමයි ශ්‍රද්ධා බලය.
එතකොට ශ්‍රද්ධා බලය ඇති කරගන්නෙ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදු වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියල, මේ විදියට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධා බලය කියල කියන්නේ.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව හිරි බලය කියන්නෙ කුමක්ද කියල, “ ඉධ භික්ඛවේ අරියසාවකෝ හිරිමා හෝති” පින්වත් මහණෙනි’ ආර්ය ශ්‍රාවකයා ලජ්ජාවෙන් යුක්තයි කියල කියා දෙනවා. “හිරියති, කායදුච්චරිතේන” කාය දුෂ්චරිතය කෙරෙහි ලජ්ජාවෙන් යුක්තව වාසය කරනවා” වචීදුච්චරිතේත” වචී දුෂ්චරිතය කෙරෙහි ලජ්ජාවෙන් යුක්තව වාසය කරනවා, “මනෝදුච්චරිතේන” මනෝ දුෂ්චරිතය කෙරෙහි ලජ්ජාවෙන් යුක්තව වාසය කරනවා. පාපකාර අකුසල දහම්වල යෙදී වාසය කරන්නට ලජ්ජාව උපදවා ගෙන වාසය කරනවා. අන්න ඒක තමයි හිරි බලය. එතකොට අප කාය දුෂ්චරිතය ගැන, වචී දුෂ්චරිතය ගැන, මනෝ දුෂ්චරිතය ගැන ලජ්ජාවක් තියෙන්ට ඕන. ඒ වගේම ඒව කරන්ටත් ලජ්ජාවක් තියෙන්ට ඕනැ. ඒවා නොකර ඉන්ට ඕනෑ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඔත්තප්ප බලය “ඉධ භික්ඛවේ අරියසාවකෝ ඔත්තජ්ජී හෝති” ආර්ය ශ්‍රාවකයා පවට බයෙන් යුතුව වාසය කරනවා. කොහොමද වාසය කරන්නේ? ඔත්තප්පති කායදුච්චරිතේන “කාය දුෂ්චරිතය කෙරෙහි බයෙන් වාසය කරනවා. “වචීදුච්චරිතේන” වචී දුෂ්චරිතය කෙරෙහි බයෙන් වාසය කරනවා. “මනෝදුච්චරිතේන, මනෝ දුෂ්චරිතය කෙරෙහි බයෙන් වාසය කරනවා” ඔත්තප්පතී පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා “පාපී අකුසල ධර්මයන් තුළ නියැළී වාසය කරන්ට බයෙන් යුක්තව වාසය කරනවා. අන්න ඒක තමයි ඔත්තප්ප බලය.
ඊළඟට පෙන්වා දෙනව විරිය බලය කියන්නෙ කමක්ද කියලා. “ඉධ භික්ඛවේ අරියසාවකෝ ආරද්ධවිරියෝ විහරති” ආර්යය ශ්‍රාවකයා ඇරැඹු සිහියෙන් යුක්තව වාසය කරනවා. කුමටද? “අකුසලානං ධම්මානං පහානාය “අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස ඇරැඹූ වීරියෙන් යුක්තව වාසය කරනවා, “කුසලානං ධම්මානං උපසම්පදාය” කුසල් ධර්මයන් උපදවා ගැනීම පිණිස ඇරැඹූ වීරියෙන් යුක්තව වාසය කරනවා” තාමාවා දළ්හ පරක්කමෝ දැඩි වීරියෙන් යුක්තව වාසය කරනවා. “අනික්ඛිත්තධුරෝ අත් නොහරින විර්යෙන් යුක්තව වාසය කරනවා, “කුසලේසු ධම්මේසු” කියන්නෙ කුසල් ධර්මයන් ඇති කර ගැනීම පිණිස දැඩි වීරිය, අත් නොහැරී වීරියෙන් යුක්තව වාසය කරනවා, “ඉදං වුච්චති භික්ඛවේ වීරිය බලං” ඒක තමයි වීරිය බලය කියල කියන්නේ.
දැන් අපි වීරිය බලය කියල කිව්වේ කුමටද? අකුසල් ප්‍රහාණය කරන්ටත් කුසල් උපදවා ගැනීම පිණිසත් ඇරැඹූ වීරියෙන් යුක්තව. පටන් ගත් වීරියෙන් යුක්තව වාසය කරනවා. එතකොට එයා කුසල් ධර්මයන් ඇතිකර ගැනීම පිණිස ඇරැඹූ වීරියෙන් යුක්තවයි ඉන්නේ. මොකක්ද ඇරැඹූ වීර්ය කියල කියන්නේ? ඇරඹූ වීරිය කියල කියන්නේ නිතර වීරියෙන් යුක්තයි කියන එකයි. ඇයි ඒකට අරැඹූ වීරිය කියන්නේ? අපි යම් වීර්යයක් ආරම්භ කරකවාද ඒ වීර්ය දිගටම පවතින්නේ නෑ. නැතිවෙනවා. විරිය කියන්නේ එහෙම එකක්. ආයේ ආරම්භ කරන්ට ඕන. දැන් පඩිපෙළක් දිගේ උඩට නගින්ට ඕන .කෙනෙකුට එක පඩියකට නගිනවා. ආපහු මොකද කරන්ට ඕනැ? අයිත් නගින්ට ඕනෑ. අන්න ඒ වගේ. එයා එක පඩියකට නැගල දැන් ඉතින් හරි කියලා හිටියොත් මොකද වෙන්නේ? එයාට ගමන සම්පූර්ණ කරගන්ට බෑ. වීරිය කියන එක පටන් ගත්තහම ඒක තියෙන්නේ නෑ. ඒක අනිත්‍යයි. නැතිවෙලා යනවා. ඒ වීරිය කියන්නේ හේතුවකින් හටගන්න දෙයක්. හේතු නැතිවීමෙන් නැති වෙනවා. එහෙනම් පටන් ගත් විරියෙන් යුක්තව වාසය කළ යුත්තේ ඒ නිසයි. එතකොට නිතර වීරිය පවතිනවා.
සමහර අය කියනවා නේද “ඉස්සර නම් මට හොඳ උනන්දුවක් තිබ්බා. දැන් ඒක නෑ කියලා. ස්වාමින් වහන්ස ඉස්සර නම් පොත් බැලුවා. බණ භාවනා කළා. දැන් සිතෙන්නේ නෑනේ කියනවා නේද? ඒ මොකද ඒ කලින් කඩියො වගේ වැඩ කළා. දැන් ඒ හයිය අඩු වෙලා නේද? අන්න ඒකයි ඇරැඹූ වීරිය කියන එක අවශ්‍ය වෙන්නේ. අපි එදා වීරිය ඇරැඹුවා. අප සිතුව වීරිය නිත්‍යයි කියල. එහෙනම් නිත්‍ය සංඥාව තුළ තමයි ඉන්නෙ නේද? ඒකටයි මේ විරිය සම්බන්ධයෙන් තියෙන්නෙ ඇරැඹු විරිය කියල එකක්. නිතර පවත්වන්න නම් ඒක ආරම්භ කරමින් සිටිය යුතුයි. මොකද විරියේ ස්වභාවය තමයි ආරම්භ කළ ගමන් නැති වෙලා යනවා. වෙන දේවල් වගේ නෙවෙයි. දැන් කුසීතකම නම් ස්විච් එක දැම්ම මැෂින් එක වගේ තියෙයි. මනුෂ්‍යයා මැරෙනකල් ම කුසීතකම තියෙයි. මැෂින් එකේ තෙල් ඉවර වෙනකල් මැෂින් එකේ ස්විච් එක දැම්මහම වැඩ කරනවනේ. ඒ වගේ කුසීත කම පටන් ගත්තොත් නම් මැරෙනකල් හරි තියෙයි. විරිය එහෙම නෑ. වීරිය කියන එක පටන් ගන්න ඕනෑ. ආයේ ආයේ පටන් ගන්න ඕනෑ.
අපට මේ තියෙන උතුම් අවස්ථාව ගිලිහෙන්න තියෙන එක් ඉඩකඩක් තමයි මේ පෙන්වා දෙන්නේ. මේ වන විටත් අප යම් යම් ප්‍රමාදයන්ට පත්වුණා නම්,මේ ධර්මයන් නිවැරැදිව වටහා නොගෙනයි. එසේ ප්‍රමාදයට පත්වුණේ. එතකොට හොඳට කල්පනා කරල බලන්න. අප තුළ සේඛ බලයන් හරිහැටි පිහිටලා නෑ නේද? ඇයි සේඛ බල ඇතිවෙලා තියෙන කෙනාගේ ස්වභාවය මොකක්ද? පටන් ගත් විරියෙන් යුක්ත බවත් එයා ළඟ තියෙනවා එහෙනම් එයා ළඟ නිතර වීරිය තියෙනවා. එහෙනම් බලන්න සතර අපායෙන් නිදහස් වීම පිණිස කොතරම් උනන්දුවකින් අප කටයුතු කළ යුතුද කියලා.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා බලය පිළිබඳව පෙන්වා දෙනවා. “කතමංච භික්ඛවේ පඤ්ඤා බලං” පින්වත් මහණෙනි මේ පඤ්ඤා බලය කියනනේ කුමක්ද? කොපමණකින් මේ ප්‍රඥා බලය අපට ඇතිකර ගන්න පුළුවන්ද කියන කාරණය තමයි මේ කියා දෙන්නේ. “ ඉධ භික්ඛවේ අරිය සාවකෝ පඤ්ඤා හෝති “ ආර්යය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්ත වෙනවා මේ විදිහට. “උයදත්ථගාමිනියා පඤ්ඤාය සමන්තා ගතෝ අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා “ඉතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස පවතින ආර්ය වු කලකිරීම උපදවන ආකාරය ඇතිවීමත් නැති වීමත් ගැන ප්‍රඥාවෙන් යුක්ත වීමත් තමයි ප්‍රඥා බලය කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට ආර්යය ශ්‍රාවකයාට කෙබඳු ප්‍රඥාවක්ද තිබෙන්නේ ඉතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස පවතින, ආර්යය වු කලකිරීම ඇති කරවීම පිණිස පවතින, ඇතිවීමත් නැති වීමත් ගැන නුවණක් තියෙනවා. යමක හටගැනීම, නැතිවීම ගැන වැටහීමක් තියෙනවා. අන්න ඒක තමයි ප්‍රඥා බලය කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන්නේ, “ඉදං වුච්චති භික්ඛවේ පඤ්ඤා බලං” එතකොට ඒවා තමයි සේඛ බල කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ.
දැන් අපි මේ වෙනකොට ඉගෙන ගත්තා සද්ධාබලය. හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය, එතකොට ඒ සේඛ බල වල අර්ථයක් අප ඉගෙන ගත්තා. ඒ සේඛ බල නිතර අප තුළ පවත්වා ගන්න අප පුරුදු වෙන්ට ඕනෑ. එසේ නිතර පැවතුනේ නැත්නම් මොකද වෙන්නෙ? ශ්‍රද්ධා බලය අතුරුදහන් වුණහම අකුසල් සිදුවෙනවා. හිරි බලයෙන් ඈත්වුණ ගමන් අකුසල් සිදුවෙනවා. ඔත්තප්ප බලයෙන් ඈත් වුණ ගමන් අකුසල් සිද්ධ වෙනවා. වීරිය බලයෙන් ඈත් වුණ ගමන් අකුසල් සිද්ධ වෙනවා. ප්‍රඥා බලයෙන් ඈත් වුණ ගමන් අකුසල් සිද්ධ වෙනවා. යම් තාක් ශ්‍රද්ධා බලය තුළ සිටින තාක් අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ. හිරි බලය තුළ සිටින තාක් අකුසල් සිදුවෙන්නේ නැ. ඔත්තප්ප බලය තුළ සිටින තාක් අකුසල් සිද්ධ වෙන්නේ නෑ. වීරිය බලය තුළ සිටිනතාක් අකුසල් සිද්ධ වෙන්නේනැ. ප්‍රඥා බලය තුළ සිටින තාක් අකුසල් සිද්ධ වෙන්නේනෑ. එතකොට අකුසල් සිද්ධ වෙන්නේ නැත්නම් එයා තුළ කුසල් වැඩෙනවා. එතකොට සතර අපායෙන් නිදහස් වෙන පැත්තට එයාගෙ සිත පිහිටුවා ගන්න අවස්ථාව ඉපදිලා. එහෙනම් අප මේ සේඛ බල ගැන හොඳින් ඉගෙන ගෙන සේඛ බල පුරුදු කරගන්නට මහත් වු කැමැත්තක් ඇතිකරගන්ට ඕනෑ.

අනතුරින් අත් මිදෙන්නට නම්..

සේඛ බල පුරුදු කරමු - 4


අප බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න කරන්න සතුටට නම් පත්වෙන්නේ. පී‍්‍රති ප්‍රමෝදයට නම් පත් වෙන්නේ. අපට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම අමතක වෙන්නෙ නැත්නම්, අපේ සිත සාර්ථක වෙන පැත්තට නැමිල. එහෙනම් ශ්‍රද්ධා බලය කියල කියන්නේ අන්න ඒක

සුගතියට පැමිණීම පිණිස දුගතියෙන් නිදහස් වීම පිණිස අපට උපකාර වන බලවත්ම දේ තමයි සේඛ බල .එය ඇතිකර ගත්තොත් අප සුගතියක උපදින විදිහට සිත සකස්කර ගත්තා වෙනවා. නමුත් අපට සේඛ බල පුරුදු කරගන්ට බැරි වුණොත් සුගතියට එන්ට තියෙන අවස්ථාව නැතිවෙලා දුගතියේ උපදින්න තියෙන අවස්ථාව බහුල වෙනවා. එනිසා අප අනතුරෙන් නිදහස් වන්නා වූ මාර්ගය අඳුරගන්ට ඕනෑ. අඳුරගෙන ජීවිතයට සේඛ බල පුරුදු කරගන්ට මහන්සි වෙන්ට ඕනෑ. ඉතින් අපි අද ඒ සේඛ බල ජීවිතයට පුරුදුකර ගන්න ආකාරය ගැන ඉගෙන ගනිමු.
අප ඉගෙන ගත්ත ඒ සේඛ බල තමයි ශ්‍රද්ධා බලය, හිරිබලය, ඔත්තප්ප බලය, වීරිය බලය, පඤ්ඤා බලය, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධා බලය කියල අප ඉගෙන ගත්තා. අප කොහොමද ශ්‍රද්ධා බලය පුරුදු කර ගන්නේ? ශ්‍රද්ධා බලය තියෙන කෙනා තුළ හිරි බලය දියුණු වෙනවා. ඒ වගේම එයා තුළ ඔත්තප්ප බලය දියුණු වෙනවා. විරිය බලය දියුණු වෙනවා. නමුත් ශ්‍රද්ධා බලය නැති කෙනා තුළ හිරි බලය පිරිහෙනවා. ඔත්තප්ප බලයත් පිරිහෙනවා. විරිය බලයත් පිරිහෙනවා. ප්‍රඥා බලයත් පිරිහෙනවා. එතකොට හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය , පිරිහෙන්නේ නැති වෙන්න උපකාරි වෙන්නෙ කුමක්ද? ශ්‍රද්ධා බලයයි. ශ්‍රද්ධා බලය හොඳට තිබුණොත් හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය තිබුණොත් අපට ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න පහසුයි. අපට නුවණ නැත්නම් ප්‍රඥාව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගත්ත කෙනා තුළ පවට ලජ්ජාව, පවට බය, විරිය පිහිටනවා.

අප මීට පෙර වීරිය ගැන ඉගෙන ගත්තා මතකද? කොහොමද විරිය බලය ගැන අප ඉගෙන ගත්තේ? අකුසල් ධර්මයත් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් ධර්මයන් උපදවා ගැනීම පිණිසත් ඇරැඹූ වීරියෙන් යුක්තව වාසය කරනවා කියලා නේද? එහෙනම් හොඳට තේරුම් ගන්න ඒ ඇරැඹූ විරිය කිව්වාම නිතර වීරිය තියෙනවා. ඒ විරිය නිතර පවත්වන එකක්. එහෙනම් අපේ වීරිය අඩුවෙලා ගියා නම්, යම් කලෙක විරිය දුර්වල වෙලා ගියා නම් ඒකට හේතුවුණේ මොකක්ද? හිරිඔතප් දුර්වල වෙලා යාමයි. හිරිඔතප් දුර්වල වෙලා ගියා. ශ්‍රද්ධාව දුර්වලවුණේ ඇයි? ප්‍රඥාව දුර්වලයි. එහෙනම් අප ඒ ප්‍රඥාව හොඳින් ඇති කර ගත්තොත් හිරි ඔතප් ඇති කරගන්න පුළුවන් වෙනවා. හිරි ඔතප් සහිතව ඉන්න කෙනා තුළ වීරිය ඉපදෙනවා. වීරිය උපදවා ගන්න එයාට පුළුවන්. එතකොට ශ්‍රද්ධාව උපදවා ගැනීම අප හොඳින් ඉගෙන ගන්නට ඕනෑ.
ඒ සඳහා අප බුදුරජාණන් වහන්සේ ගැන නිතර සිහි කරන්න ඕන. අප බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න කරන්න සතුටට නම් පත්වෙන්නේ. පී‍්‍රති ප්‍රමෝදයට නම් පත් වෙන්නේ. අපට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම අමතක වෙන්නෙ නැත්නම්, අපේ සිත සාර්ථක වෙන පැත්තට නැමිල. එහෙනම් ශ්‍රද්ධා බලය කියල කියන්නේ අන්න ඒක. යමෙක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තා කියන එකෙන් අදහස් වෙන්නේ. එයාට ඒ බුදුරජාණන් වහන්සේ ගැන නිතර සිහි වෙනවා. එයාට ඒ බුදුගුණ නිතර සිහිවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි වෙනට සිහි වෙන්ට එයාට කාවද දකින්න පුළුවන් වෙන්නේ? බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන් වෙනවා. එතකොට යමෙක් හොඳින් ශ්‍රද්ධාව තුළ පිහිටා සිටියොත් බුදුරජාණන් වහන්සේ දැකීම එයාට ඇතියි කියල සිතෙන්නේ නෑ.
එතකොට ධර්මය තුළ වැඩෙන කෙනෙක් තුළ තේරුම් ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි ඒ කාරණාව.ඊළඟ එයාට සද්ධර්ම ශ්‍රවණය ඇති කියල සිතෙන්නේ නෑ.ඇයි සද්ධර්ම ශ්‍රවණය ඇති කියල සිතෙන්නේ නැත්තේ? සද්ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න එයාට භාග්‍යවතුන් වහන්සේ දකින එක ඇතියි කියල සිතෙන්නේ නැත්නම්, එයාට ධර්ම ශ්‍රවණය ඇති කියල සිතෙන්නෙත් නෑ. ධර්ම ශ්‍රවණය කරන්ට කරන්ට එයාට භාග්‍යවතුන් වහන්සේව දකින්න පුළුවන්. එයා එයින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. එයාට ආයෙ ආයෙමත් ධර්මය අහන්ට සිතෙනවා. ධර්මය නැවත අහන්ට අහන්ට ඒ ධර්මය පුරුදු කරන අය ගැන එයා තුළ ප්‍රසාදය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එතකොට ඒ විදිහට ධර්මය නැවත අහන්ට අහන්ට ධර්මය පුරුදු කරන අය කෙරෙහි උපකාර කරන්න එයාගෙ සිත නැමෙනවා. එහෙනම් එයාට සංඝ උපස්ථාන කිරීමත් ඇතියි කියල සිතෙන්නේ නැ. මේ විදියට බුදුරජාණන් වහන්සේ දැකීම ඇති කියල සිතෙන්නේ නැති කෙනා තුළ තියෙන ලක්ෂණය මොකක්ද? එයාට බුදු ගුණ සිහි කරන්න පහසුයි. බුදු ගුණ එයාට නිතර සිහි වෙනවා.
සීවලී ස්වාමීන් වහන්සේගේ මෑණියන් සුප්පියා උපාසිකාව සීවලී රහතන් වහන්සේ ඉපදෙන්ට ඉන්න කොට කොතරම් කලක් ඒ වේදනාව උහුලගෙන හිටියද? දීර්ඝ කාලයක් ඒ වේදනා උහුලගෙන හිටියා. ඒක අසාමාන්‍ය වේදනාවක්. අවුරුදු හතයි මාස හතයි දවස් හතයි කිව්වාම ඒක සුළු පටු කාලෙකුත් නෙවෙයි. අතිශය කර්කශ දුක් විදින්ට ඇති.ඒ හැම වෙලාවෙම ඒ උපාසිකාවට භාග්‍යවතුන්ට වහන්සේව සිහිපත් වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සැම දුකින්ම නිදහස් වුණා කියලා සිහි කළා. ඒ උපාසිකාව එහෙම සිහි කළාද? සිහිවුණාද? සිහි වුණා. එතකොට ධර්මය තුළ පිහිටා සිටින කෙනෙකුගේ ස්වභාවය නේද ඒක? එයාට කායික දුක තියෙන කොට බුදු ගුණ සිහි කිරීම ප්‍රශ්නයක් වුණේ නෑ. ධර්ම ශ්‍රවණය ප්‍රශ්නයක් වුණේ නෑ. එහෙනම මේක හොඳට තේරුම් ගත්හ. ධර්මය තුළ පිහිටි කෙනාගෙ ලක්ෂණය ඒකයි. කායික දුක බලවත් වෙන්ට වෙන්ට එයාට මොකක්ද සිහි වෙන්නේ ? බුදුරජාණන් වහන්සේ සිහි වෙනවා. සද්ධර්මය සිහි වෙනවා. එයාට සිහි වෙන්නෙ නැත්නම් යම් කෙනෙක් සිහිපත් කරල දෙනකොට එයාට සිහිය උපදිනවා. ඒකයි ධර්මය තුළ පිහිටි කෙනාගේ ස්වභාවය එතකොට එයා ළඟ ශ්‍රද්ධා බලය තියෙනවා.
ඒ විදිහට ශ්‍රද්ධා බලය ඇති කර ගන්ට නම් ආරම්භය කොහොමද අප ඇති කරගත යුත්තේ ? මේක හොඳට තේරුම් ගත යුතු කාරණයක්. දැන් අප ගොඩාක් වෙලාවට කරන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙන ගන්නවා. ඉගෙන ගෙන ඔන්න භාවනා කරන්න පටන් ගන්නවා. ඒ කරල සිතනවා. අනේ මට භාවනා වැඩෙන්නේ නෑනේ’ කියල. බුදුගුණ වැඩෙන්නේ නෑ කියනවා. එහෙම කියනවා නේද? මට බුදුගුණ පිහිටන්නේ නෑනේ කියන ගැටලුව ගොඩකට තියෙනවා. එතකොට බුදුගුණ වැඩෙන්නෙ නැත්නම් අපට දොර විවර වෙන්නේ නෑ නේද? ඇයි ඒ බුදුගුණ වැඩෙන්නේ නෑ කියල කියන්නේ ? අපි කල්පනා කරන්නෙ බුදු ගුණ ගැන නොවෙයි. බුදු ගුණ ගැන කල්පනා නොකර බුදු ගුණ වැඩල සමාධියක් ඇති කරගන්නයි සිතන්නේ. එතකොට බුදු ගුණ වැඩෙන්නේ නෑ.
ඒක නේද කවුරුත් සිතන්නේ. මම බුදු ගුණ සිතල සමාධි උපදවා ගන්නවා කියල සිතනවා. අපට එහෙම නොවෙයි කරන්න තියෙන්නේ. අප කළ යුත්තෙ බුදුරජාණන් වහන්සේගේ ගුණ වලට පහදින එකයි.ඒ විදිහට ඒ බුදු ගුණ ගැන පැහැදුණොත් අපට ඒ බුදු ගුණ සිහිවෙනාව. එතකොට සිතේ තියෙන්නේ බුදු ගුණ . එතකොට සිත තියෙන්නේ කුසල් අරමුණක.
එතන තමයි සමාධිය ඇති වෙන්නේ. එහෙම සිත සිතා ඉන්න කොට ඒ සිත වැඩෙනවා. කලක් යනකොට බලවත් සමාධි ඇති කර ගන්න එයාට පුළුවන්කම ලැබෙනවා.