ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ලෝකෝත්තර දියුණුවට මඟ පාදා ගනිමු

අම්බලන්ගොඩ, කහව ගල්දූව ආරණ්‍ය 
සේනාසනයේ කම්මට්ඨානාචාර්ය, 
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

තුනුරුවන් නිසා ලැබුණ සම්පත අප පුළුවන්තරම් දියුණු කරගත්තොත් මෙලොවටත් පරලොවටත් හොඳයි. සංසාරෙම හොඳයි. මොලොව යහපත සලසාගෙන දියුණුව පිණිස කටයුතු කළ යුතුයි. ශ්‍රද්ධාව තියෙන්න ඕන. වීර්යය, සති (සිහිකල්පනාව) , සිතේ තැන්පත්කම, ප්‍රඥාව යන ඉන්ද්‍රිය පහ තිබුණොත් අපට ලෝකෝත්තර දියුණුව ලබන්න පුළුවන්.
“දියුණුවේ දොරටුව” නමින් අපි කිහිප අවස්ථාවක්ම කවර කරුණුවලින් දියුණුවක් සලසාගන්න පුළුවන්ද කියලා මෙතෙක් සාකච්ඡා කළෙමු. ලෞකික, ලෝකෝත්තර වශයෙන් දියුණුවේ ක්‍රම දෙකක් බුදු දහමෙහි සඳහන් වෙනවා. ලෞකික දියුණුව ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. රැකියාවෙන්, වෙළෙඳාමෙන්, ගොවිතැනින්, තමන්ගේ බෝග සම්පතින් වන දියුණුව ලෞකික දියුණුවයි. අපට අවශ්‍යවන්නේ ලෞකික දියුණුවට වඩා ලෝකෝත්තර දියුණුවයි.
ලෝකෝත්තර දියුණුව ඇත්තේ ලෝකයෙන් එතෙරවීම සඳහායි. ලෝකෝත්තර ධර්මතාවයෝ අවබෝධ කරගන්නට ලෝකයෙන් එතෙර වන්නට මෙන්න මේ කියනු ලබන සුවය අපට අවශ්‍යයයි. ලෝකයෙන් එතෙරවීම යනු සිතට, ගතට යම් සුවයක් ලැබීමයි. එය නිර්වාණයෙහි ප්‍රධාන සැප හතරයි. සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵල වලින් ලැබෙන සැපය. ඒ ලෝකෝත්තර සැපය ලබන්නට අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ කරුණු ටිකයි.

දස කථාවස්ථුව – අප්පිච්ච කථා, සන්තුට්ඨි කථා, අවිවේකී කථා, සතර සබ්බ කථා, විරියාරම්භ කථා, ධීර කථා, සමාධි කථා, පඤ්ඤා කථා, විමුක්ති කථා සහ විමුක්ති ඥාන දස්සන කථා කියලා කථා වස්තු දහයක් තිබෙනවා. මෙන්න මේ දස කථා වස්තු අවශ්‍ය කරන්නේ ලෝකෝත්තර සැපය සඳහායි. දියුණුව අතුරෙන් ලෝකෝත්තර දියුණුව සඳහා පමණක් විශේෂයෙන් මෙය මහෝපකාරී වෙනවා.
අල්පේච්ඡකම පිළිබඳව, සීලය ගැන, ධූතාංග පිළිබඳව කතා බස් කිරීම, අල්පේච්ඡකම අනිවාර්යෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍යයයි. අල්පේච්ඡකම තිබුණොත් තමන්ගේ මෙලොව , පරලොව සැපතටත් හොඳයි. මෙලොව සුගතියටත් හොඳයි. නිවන් සුවය සඳහාත් මහෝපකාරී වෙනවා. ඒ වගේම ලද දෙයින් සතුටුවීම සන්තුට්ඨි කථා යනුවෙන් හඳුන්වනවා.
අල්පේච්ඡ කථා වගේම ලද දෙයින් සතුටුවීම, තමාට යමක් ල ැබෙන්නේ පින නිසයි. පිනට ලැබෙන දේ ගැන සෑහීමකට පත්විය යුතුයි. සතුටුවෙන්නට ඕන. එය සන්තුට්ඨි කථා යනුවෙන් හඳුන්වනවා. අවිවේකී කථා – කාය විවේක , චිත්ත විවේක, උපධි විවේක යනුවෙන් විවේක තුනක් තිබෙනවා. අන්න ඒ විවේක තුන පිළිබඳව කතා කරන්නට ඕන. ඒ වගේම හික්මෙන්නට ඕන. ඒවගේම සංවරකම දියුණු කරගන්නට ඕන. සංවරකථා ආදී දුරුකරගන්නා විට එය ලෝකෝත්තර සුවය පිණිස නැඹුරු වෙනවා. එහෙමනම් විවේකය පිළිබඳ කථා කිරීම අවශ්‍යයයි. ඊළඟට නොඇලීම පිළිබඳව කථා කරන්නේ නැතිව, සාරසබ්බ කථා, එකතු වී කථා කරන්නේ නැතිව වාද භේද අසමඟිකම් නැතිව වැදගත් දෙයක් පිළිබඳව පමණක් කතා කරන්න ඕන. ඒකත් ලෝකෝත්තර ධර්මතාවයන්ට නැඹුරු වෙනවා. ඊළඟට විරියාරම්භ කථා උත්සාහය ගැන කථා කරන්නට අවශ්‍යයයි. කම්මැළි පුද්ගලයෙක් නිවන් දැක්කේ නැහැ. කම්මැළි පුද්ගලයෙක් දෙව්ලොවට , බඹලොවට ගියේ නැහැ. ඔහු දියුණුවක් ලැබුවේ නැහැ. හැම අවස්ථාවකදීම මේ උදවිය දුකට පත්වුණා. උත්සාහවන්තයා සුගතියට ගිය බවත්, දෙව්ලොවට ගිය බවත්, බඹලොවට ගිය බවත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් බවත් ඕනතරම් සඳහන් කරන්න පුළුවන්. බුද්ධ ශාසනය ඇත්තේ උත්සාහවන්තයාටයි. “උත්සාහවන්තයා ජය ගනී කියන්නේ අන්න ඒකටයි. චතුරාර්ය සත්‍ය අවබෝධය, මාර්ගඵල ධර්මයන්ගේ ප්‍රතිභාවය නිවන් සාක්ෂාත් කරනු ලබන්නේ උත්සාහවන්ත නිසයි. උත්සාහ කිරීම පිළිබඳව කතා කිරිීම විශේෂිතයි.
ඊළඟට ශීල කථා. පංචශීලය ගැන අටසිල් ගැන, දස සිල්, සාමණේර සිල් , උප සම්පදා සිල් කියල අධිශීල ගැන කථාබස් කරන්න. එහෙම කථා කළොත් ලෝකෝත්තර පැත්තට සිත නැඹුරු වෙනවා. මා සිල්වන්තයෙක්, ගුණවන්තයෙක් කියලා හැම පැත්තටම නැඹුරු වෙනවා. ශීලය එතරම්ම වටිනවා. පංච ශීලය එකමොහොතක් රකිනවානම් ඒ ආනිසංසවාරය මෙපමණයි කියන්න බැහැ. අවුරුදු සීයක් දුසිල්වන්තව ඉන්නවාට වැඩිය වටිනවා එක මොහොතක් සිල්වන්තව වාසය කිරීම. සංසාරෙදිවත් තෙරුවන් සරණ ගිහින් පන්සිල් අටසිල් රකින්න පුළුවන් කියලා සිතන්න අමාරුයි. බුදු සසුනේ නැහැ එතරම් අසීරු දෙයක්. මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයටම බුදුවුණේ විසිඅටනමයි. අප සිල්ගන්න වාර විසිඅටයි තිබුණේ. අපේ පෙර වාසනාවකට මේ ගෞතම බුද්ධ ශාසනයේදී තෙරුවන් සරණ ගිහින් පන්සිල්, අටසිල් රැකීමේ ශක්තිය ලැබුවා. ගුණයට අප පුළුවන් තරම් ශීල කථාව ඇතිකරන්න ඕන. එය ලෝකෝත්තර දියුණුව පිණිසයි.
ඊළඟට සමාධි කථා, බුදු ගුණ. මෛත්‍රී, අසුභ, ආනාපානසති වැනි භාවනා පිළිබඳව කථා කළ යුත්තේ සමාධිය පිණිසයි. සමාධිය යනු සිතේ තැන්පත්කමයි. සිතේ තැන්පත්කම ලබන්න නිකම් බැහැ. පොත පත කියවීමෙන්, දේශනාවන්නට සවන් යොමු කිරීමෙන්, භාවනාවක් කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කියනු ලබන සමාධි අවස්ථාවන්ට පත්වෙන්නට. ඒකට තමයි ධ්‍යාන අවස්ථාව කියන්නේ. ප්‍රථම ධ්‍යානය, ද්වීතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ත ධ්‍යානය කියන්නේ ඒ සමාධි අවස්ථාවන්ටයි. එහෙම දියුණු කර ගත්තහම රූපාවචර තත්ත්වයන්ට පත් වෙනවා. එහෙමනම් මේ සිතේ සමාධිය, සිතේ තැන්පත්කම දියුණු කරගන්න අය තමයි විපස්සනාවට හැරිලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝකෝතර දියුණුවට සිත මුල් කරගන්නේ. එහෙමනම්, සමාධිය පිළිබඳව කතා කිරීම බොහොම වැදගත්.
පඤ්ඤා කථා – නුවණ ගැන කථා කරන්නට ඕන. නුවණ ලැබෙන්නෙ කොහොමද, නුවණ දියුණුවෙන්නේ කොහොමද කියලා සිතන්න ඕන. ඒ ගැන කථා කරන්න ඕන. ඒකෙනුත් කෙලෙස් යටපත් වෙනවා. නිවනට සමීප වෙනවා. වැදගත් ධර්මතා කරුණු බොහෝ රාශියක් දියුණු තියුණු වෙලා යනවා. ඒකත් වැදගත් පාඩමක්. ප්‍රඥාව දියුණුව පිණිස කටයුතු කරන්නට ඕන. බණ ඇසීමෙන් ප්‍රඥාව වැඩෙනවා. භාවනාවෙන්, පොත පත කියවීමෙන් ධර්ම සාකච්ඡාවෙන් ඒ ඒ දේවල් සිතීමෙන් නුවණ හොඳට දියුණු වෙනවා. ලෝභ, දෝස, මෝහ නැත්නම් ඒ සෑම අවස්ථාවකම හොඳට ප්‍රඥාව දියුණු කර ගන්න පුළුවන්කම තියෙනවා. මේ ශරීරය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරනවානම් ඒක තමයි නුවණ දියුණු කරන පළමුවන ක්‍රමය. විදසුන් භාවනාව. මේ ශරීරය අනිත්‍ය, දුක්ඛය , අනාත්මයි කියලා නිතර නිතර මෙනෙහි කරන්න. එය ප්‍රඥාව හොඳට දියුණු වෙනවා. එහෙමනම් ප්‍රඥාව ගැන හොඳට සිතලා කථා කරද්දී ප්‍රඥාව හොඳට දියුණු වෙනවා. ලෝකෝතර පැත්තට දියුණු වෙනවා.
ඊළඟට විමුක්ති කථා, නිවන ගැන කථා කරන්නට ඕන. නිර්වාණය යනු තණ්හාවේ නිවීමයි. කෙලෙසුන්ගේ නිවීම නිර්වාණයයි. එහෙනම් තථාගත බුදු කෙනෙකු පමණයි මේ නිර්වාණය ගැන විස්තර කරන්නේ. සංසාරය එතෙරවීම ගැන කියල දෙන්නේ. වෙන කාටවත් බැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් නිවන ගැන කථා කරන්න ඕන. ඒක නිරෝධ සත්‍යයයි. එය නිවනට හේතුවන ලෝකෝත්තර දියුණුව පිණිසයි.
ඊළඟට විමුක්ති ඥාන දස්සන කථා– නිවනට පත් වුණහම ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙනවා. ඒවා ගැන කථා කරන්න ඕන. දැන් සෝවාන් ආර්යයන් වහන්සේට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහයි. ඉතුරු ක්ලේශ ප්‍රත්‍යවේක්ෂාව, ප්‍රහීණ ක්ලේෂ ප්‍රත්‍යවේක්ෂාව, සෝවාන් මාර්ග ප්‍රත්‍යවේක්ෂාව, සෝවාන් ඵල ප්‍රත්‍යවේක්ෂාව , නිර්වාණ ප්‍රත්‍යවේක්ෂාව ආදී පස්වැදෑරුම් වෙනවා. සකෘදාගාමීතුමාටත් පහයි. අනාගාමීතුමාටත් පහයි. එසේනම්, ඔක්කොම පහළොවයි. රහතන් වහන්සේට හතරයි. ඉතුරු කෙලෙස් නැහැ. ශේෂ ක්ලේෂ නැහැ. එහෙමනම් දහනවයයි. ඔන්න ඔය ප්‍රත්‍යවේක්ෂා ධර්ම දහනවයම තියෙනවා. විමුක්ති ඥාන දස්සන කථා කියලා. එහෙමනම්, අප නිවන ගැන කථා කරන්න වගේ මාර්ග ඵල ධර්ම ගැන කථාකරන්නට ඕන. ඉතුරු ක්ලේශ ගැන, ප්‍රහාණය වූ ක්ලේශ ගැන, මාර්ග ඵල ගැන, නිවන ගැන සාකච්ඡා කරනවිට කථාකරන විට එය සම්පූර්ණ වෙනවා. ලෝකෝත්තර පැත්තට සිතදියුණු වෙනවා.
එහෙමනම්, ලෝකෝත්තර දියුණුව ලබන්න දස කථා වස්තු බොහොම ප්‍රයෝජනවත්. දස කථා වස්තු අප සිතට අරගෙන තවත් පින්වතුන් සමඟ සාකච්ඡාකරන විට තමන්ම සිතනවිට අඩුපාඩුකම් නැති වෙනවා. ගුණ, නුවණ හොඳට දියුණුකර ගන්න පුළුවන්. කායික, මානසික සුවය හොඳට සලසාගන්න පුළුවන්. කායික මානසික සුවපත් භාවයෝ මෙලොව ජීවිතය, සලසාගෙන අපට යහපත්ව කටයුතු කරගෙන යන්න පුළුවන්. මෙලොව පරලොව ජීවිත සකස්කරගන්න බොහෝම සැපවත්කමක් අපට උදාකරගන්න පුළුවන්කම තිබෙනවා. මේ සෑම දෙයක්ම අපට ලැබුණේ බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය නිසයි. රත්නත්‍රය නැත්නම් මේ කියන කිසිම දෙයක් නැහැ. එහෙමනම්, මේ තුනුරුවන් නිසා ලැබුණ සම්පත අප පුළුවන්තරම් දියුණු කරගත්තොත් මෙලොවටත් පරලොවටත් හොඳයි. සංසාරෙම හොඳයි. මොලොව යහපත සලසාගෙන දියුණුව පිණිස කටයුතු කළ යුතුයි. ශ්‍රද්ධාව තියෙන්න ඕන. වීර්යය, සති (සිහිකල්පනාව) , සිතේ තැන්පත්කම, ප්‍රඥාව යන ඉන්ද්‍රිය පහ තිබුණොත් අපට ලෝකෝත්තර දියුණුව ලබන්න පුළුවන්. නැත්නම් කොහොමත්ම බැහැ. ඉන්ද්‍රිය පහ ප්‍රධානයි.
ඒ මඟින් අපට මාර්ගඵල අවස්ථාව, චතුරාර්ය සත්‍ය අවබෝධය කියන ලෝකෝත්තර ධර්මතාවයන්ට සමීප වෙන්න. ඒනිසා ඔබ ,අප සෑමදෙනාම මේ දියුණුව කියන දොරටුව විවෘත කරගත යුතුයි. එහි යතුර තිබෙන්නේ තමා අතෙයි. අනුන්ට මේක ඇරගෙන යන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමා යන නිවන් ගමන තමා විසින්ම යා යුතුයි. ඒකට අවශ්‍යවන්නේ ඉහත සඳහන් කළ ධර්ම කරුණුයි. ඒනිසා ලොවුතුරු බුදු දහම යනු දෙවියන් සහිත ලෝකයාගේම මහා ශක්තියක්. මහා බලයක් ගොඩනංවන තැනක්. කල්ප ගණනාවකින් නොලැබෙන දෙයක් අද අපට ලැබී තිබෙනවා. බොහෝ දෙනා මේ ගැන නොසිතන නිසා දියුණුවක් ලබාගන්නට බැහැ.
මරණෙන් පසුව දුකට පත්වෙනවා. මේ ගැන සිතන බොහොම ටික දෙනා මරණින් පසුව සුගතියට පත් වෙනවා. බොහෝ දෙනෙක් නිවනට පත් වෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් පතාගෙන ආපු ,දියුණුව පතාගෙන ආපු සූවිසි අසංඛ්‍යයක් දෙනා නිවනට පත් වුණා. බුදු සසුන පිහිටපතාගෙන ආපු නැති කෙනාට නිවනට පත්වෙන්නට බැරි වුණා. දැන් කොසොල් රජතුමාටවත් , මල්ලිකා දේවියටවත් මේ ලෝකෝත්තර දියුණුව ලැබුණේ නැහැ. හේතුව ඒ අය නිවන් සම්බන්ධව ප්‍රාර්ථනාවක් නැතිව ඇති. නිවන් සම්පත් පතාගෙන ආ බිම්බිසාර රජතුමා මාර්ගඵලවලින් නිවනට පත් වුණා. සුද්ධෝදන රජතුමා රාජ්‍ය කරන කාලයේදීම රහත් බවට පත්වුණා. රජකෙනෙක් ලෙසම පිරිනිවන් පෑවා. එහෙමනම්, එතුමා ඉහළම දියුණුවට පත් වුණා. මේවා ගැන සිතලා අපත් පුළුවන්තරම් සිත, කය, වචනය සංවරකරගෙන , බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන පාරමිතා සපුරාගෙන මොලොව ,පරලොව සකසාගෙන ඉතා ඉක්මනින්ම ලෝකෝත්තර දියුණුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.

සදහම් සරණ යමු


ශාස්‌ත්‍රපති ගයිරෑනගම විනීත හිමි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහලවී තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මැනවින් මෙනෙහි කළ සේක. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් සසර තනන දුක පිළිබඳ මැනවින් අවබෝධය ලබාගත්හ. දුක දුකට හේතු, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ යථාවබෝධය ලබාගත්හ. ලෝකයේ හා සත්ත්වයාගේ ඇතිවීම හා නැතිවීම හේතු ප්‍රත්‍ය අනුව සිදුවන බව පටිච්ච සමුප්පාදය මගින් අබෝධ කළහ. මුල සිට අගටත් අග සිට මුලටත් මෙය මෙනෙහි කරමින් ලෝකය හාසත්ත්වයා පිළිබඳ යථාවබෝධය ලබාගත්හ. සංසාරයේ අනන්තවත් කාලයක්‌ දුක්‌ විඳ විඳ ඇවිද සොයාගත් ලෝක සත්‍ය තමන් වහන්සේගේ අවබෝධ ඥනයයි. අවබෝධ ඥනය සද්ධර්මයයි. තමන්ම අවබොධ කරගත් සද්ධර්මය තමන්ගේම ගුරුවරයා බවඋන්වහන්සේ සිතූහ. එම නිසා උතුම් සද්ධර්මය තමන්ගේම ගුරුවරයා බවට පත්කරගනනේ බුද්ධත්වයට පත්වී පස්‌වැනි සතියේදීය. එසේ නම් අප මේ සරණ යන්නේ බුදුරජාණන් වහන්සේගේත් ගුරුවරයාය. තුන්ලොවටම අග්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ගුරුවූ සද්ධර්මය මොනතරම් ශ්‍රේෂ්ඨ ද? අං.නි. අග්ගපද සූත්‍රයට අනුව හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු ධර්මයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයම හෙවත් ධර්මයම ශ්‍රේෂ්ඨය. ධර්මයේ පැහැදීම අග්‍රස්‌ථානයේ පැහැදීමකි. අඝ්‍රස්‌ථානයේ පැහැදීමෙන් අග්‍රවිපාක ලැබේ. ධම්මං සරණං ගච්ඡාමි කියා අප සරණ යන්නේ ඒ උතුම් සද්ධර්මය බව දැන් සිහිපත් කරගෙන සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය සිදුකරන්නේ බරණැස ඉසිපතනාරාමයේදීය. දම්සක්‌ පැවතුම් සූත්‍රය දේශනාව පවත්වමින් මහණෙනි, අන්ත දෙකට නොපැමිණ ප්‍රඥ ඇස පිරිසිදු කරන්නාවූ නුවණැස ඇතිකරන්නාවූ, කෙලෙසුන් දුරුකරන්නා වූ,සත්‍ය ප්‍රතිවේධයට අවබෝධයට ප්‍රත්‍යක්‍ෂ වූ මධ්‍යම ප්‍රතිපදාව හොඳින් අවබෝධ කරන ලදී. මෙසේ තථාගතයන් වහන්සේ පෙර නොඇසූ ධර්මයක්‌ ලෙස චතුරාර්ය සත්‍යය දේශනාව දක්‌වා එම දැනීමෙන් චක්‌ඛුං උදපාදි දහම් ඇස පහළ විය. ඤාණං උදපාදී ඥනය පහල විය. පඤ්Æ උදපාදී ප්‍රඥව පහළවිය. විඡ්ජා උදපාදී විද්‍යාව පහලවිය. ආලෝකෝ උදපාදී ආලෝකය පහලවිය ආදී ලෙස උදම් ඇනූහ. එසේ ධර්ම දේශනාකොට මහණෙනි, ඒතාක්‌ කල් දෙවියන් සහිත වූ බමුන් සහිතවූ සත්ව ලෝකයෙහිද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාවෙහිද මම අනුත්තරවූ සම්‍යක්‌ සම්බෝධිය පසක්‌ කළෙමි. මට ප්‍රත්‍යක්‍ෂ ඥනය පහල විය ආදී වශයෙන් දැක්‌වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. උතුම් චතුරාර්ය සත්‍ය දේශනාවයි. උතුම් ධර්මයයි. මේ ධර්ම දේශනාව ඇසු බූමාටු දෙවියො, චාතුම්මහාරාජික දෙවියෝ ආදී කොටැති දේවබ්‍රහ්මාදීන් සාදු සාදු හඬින් තුන් ලෝකය ගිගුම් දුන්හ. අප සරණ යන්නේ ඒ උතුම් සද්ධර්මය බව දැන් සිහිපත් කරගෙන සාදු සාදු කිය කියා හදවතින් ධම්ම රත්නය සරණ යමු.

දැන් ඔබට තේරෙනවා ඇති ධම්මං සරණං ගච්ඡාමි කියල කොයිතරම් කියල ඇත්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවාට වඩා වැඩියෙන් ධර්මරත්නයට ගරු කළ යුතුයි කියල දැන්වත් වැටෙහනවාද? 

ධම්මං සරණං ගච්ඡාමි කියල දහම් සරණ යනවිට පිරිසිදු කරගත් දැත් හිස මත තබා හදවත පතුලෙන් නැගෙන මහත්වූ ශ්‍රද්ධාවෙන් උතුම් සද්ධර්මය සරණ යා යුතුය. ත්‍රිපිටකයේ නොයෙක්‌ සූත්‍රයන්හි දැක්‌වෙන්නේ බොහෝදෙනකු බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා එයින් ප්‍රසාදයට පත්වී සතුටු සිතින් බුදුන් හමුවෙහි සාදු කිය කියා තෙරුවන් සරණ ගිය ආකාරයකි. ජෛනාගමියකු වූ උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේ අභියස සිට තුන් වරක්‌ම තෙරුවන් සරණ යන්නේ බලවත් ප්‍රසාදය නිසාය. ඇත්තටම අප දහම්සරණ යා යුත්තේ මනාවූ අවබෝධයෙනි. එසේ නොවනු විට මෙය වාක්‍යයක්‌ කීම පමණක්‌ වේ. අත්තදීප සූත්‍රයට අනුව තමාම තමාට පිහිට කොට ගත්හ. උතුම් ධර්මයම පිහිටකොට ගන්න (ධම්මදීපානං ධම්ම සරණානං අනඤ්ඤසරණානං) ධර්මයට වඩා ආලෝකයක්‌ පිහිටක්‌ නොමැති බවම සිහි තබාගෙන කටයුතු කිරීමමයි හොඳ. පුඤ්Æභිසන්ද සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දේශිත (ස්‌වාක්‌ඛාත) තමන් විසින් මෙලොවදීම දැකිය හැකි (සන්දිට්‌ඨික), කල් නොයවා විපාක දෙන (අකාලික), එව බලය යෑයි පෙන්විය හැකි (ඒහි පස්‌සික), එළඹීමටසුදුසු (ඕපනයික), නුවණැසයන් විසින් තම ඥනයෙන් දැනිය යුතු (පච්චත්තං වේදිතබ්බෝ විඤ්­හීති) යන ධර්මය පින් ගඟකි. කුසල ගඟකි. ධර්මය අචල ප්‍රසාදයෙන් යුතුව සරණ යැම සැප පිණිස (සුඛස්‌සහාරා) ස්‌වර්ග සම්පත් දෙන (සොවග්ගිකා) සැප විපාක ඇති (සුඛ විපාකා), ස්‌වර්ගය පිණිස පවත්නා (සග්ගසංවත්තනිකා) ඉෂ්ට බව පිණිස (ඉට්‌ඨා) කාන්තබව පිණිස (කන්තා), මනවඩන පිණිස (මනාපා), හිත සුව පිණිස පවත්නා (හිතාය සුඛාය සංවත්තති) දෙයක්‌ බව පෙන්වා දී ඇත. එබැවින් උතුම් සද්ධර්මය නමැති පින් ගඟට බැස සසරින් එතෙර වෙමියි යන සිතින් සාදු සාදු කියා සදහම් සරණ යමු.

අං.නි. ධම්මරාජ සූත්‍රයේ දැක්‌වෙන පරිදි ධර්ම රාජයාණන් වන තථාගත අර්හත් සම්‍යක්‌ සම්බුදුරජාණන් වහන්සේ ධර්මයට ගරුකරන්නේය. ධර්මයට සත්කාර කරන්නේය. ධර්මයට බුහුමන් කරන්නේය. ධර්මය කොඩියක්‌ කොට ගන්නේය. ධර්ම හේතුවක්‌ කොට ගන්නේය. ධර්මය අධිපත්කොට ගන්නේය. භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක උපාසිකා යන සිවු පිරිසටම ධාර්මික රැකවරණය සලසන්නේය. අයහපත් කාය කර්ම අයහපත් වචී කර්ම අයහපත් මනෝකර්ම නොකරන්නැයි අවවාද කරන්නේය. යහපත් ක්‍රියා යහපත් වචන, යහපත් සිතිවිලි සිදුකරන ලෙස අවවාද දෙන්නේය. මෙහිදී බුදුරජාණන් වහන්සේගේ කෙතරම් ධර්මයට ගරුකරනවාද යන්න සිතන්න. තථාගතයන් වහන්සේගේ ප්‍රධානතම මාර්ඝෝපදේශකයා උතුම් සද්ධර්මය බව අප දැන සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

ම.නි. ධම්මදායාද සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ධර්මය දායාද කොට ගන්නා ආමිස දායාදකොට නොගන්න යනුවෙනි. ආමිසයට දායාද වෙනවා නම් හෙතෙම ගැරහිය යුත්තෙක්‌ වෙනවා. ගැරහීමට ලක්‌වෙනවා. ධර්මය දායාද කොට ගැනීමෙන් ගැරහීමට ලක්‌නොවන බව පෙන්වා දෙනවා. එමෙන්ම උතුම් ධර්මය දායාද කොට ගැනීමෙන් සිතෙහි ඇති කෙලෙස්‌ සිඳ දමා ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළින් සසර දුක කෙලවර කිරීමටද හැකිවන බව පෙන්වා දුන්නා. තවද ම.නි. කින්ති සූත්‍රයට අනුව තථාගතයන් වහන්සේ චීවර සඳහාවත්, පිණ්‌ඩපාතය සඳහාවත්, සේනාසන සඳහාවත්, පින් රැස්‌කිරීම සඳහාවත්, දහම් නොදෙසූ සේක. ලොවට අනුකම්පා පිණිස, හිත සුව පිණිස දහම් දෙසූ බැවින් සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම අනුගමනය කොට නිවන් මඟ සාදාගන්නැයි මහා කරුණාවෙන්ම සිහිපත් කළහ.

බුදුරජාණන් වහන්සේ සං.නි. සුභාසිත කියන සූත්‍රයෙන් දේශනා කළා සුබාසිත කියන්නේ මොකක්‌ද කියල. බුද්ධාදී සත්පුරුෂයෝ උතුම් යහපත් වචනම දෙසති. දැහැමි වචනම කියන්නේය. අදැහැමි වචන නොදෙසන්නේය. ප්‍රියවූ වචනම කියන අතර අප්‍රිය වචන නොදෙසන්නේය. සත්‍ය වචනයම දෙසන්නේය. අසත්‍ය නොදෙසන්නේය. එහිදී වංගිස තෙරුන්ට දේශනාකරන්නේ යම් වචනයක්‌ නිසා තමාත් නොතැවේ නම් අනුනුත් නොතැබේ නම් අන්න ඒ වචන ඒකාන්තයෙන් සුභාසිතයි ඒවා කියන්න කියාය. තවද එහිදී පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ නිවනට පැමිණීම පිණිසද දුක්‌ කෙළවර කිරීම පිණිසද නිර්භයවූ යම් වචනයක්‌ දේශනා කළේද එම වචනයම උතුම් කියාය. මෙයින් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය සුභාෂිතයක්‌ බවම දැන ඒ උත්තරීතර දහම මැනවින් අවබොධ කරගැනීම සඳහාම උත්සාහ කරමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

සද්ධම්මපතිරූපක සූත්‍රයේදී පෙන්වා දෙන්නේ කාශ්‍යපය මෙලොව යම් තැනෙක සද්ධර්ම නැති වූවක්‌ හටගත්තේද, එකල්හි සද්ධර්මය අතුරුදන් වන බවය. යම් කලෙක සද්ධර්මය වැනි වූවෙක්‌ ලොව නොවන්නේද ඒ තාක්‌ සද්ධර්මය අතුරුදන් නොවේ. යම් තාක්‌ රන් වැනි දෙයක්‌ ලොව නොහට ගන්නේද ඒ තාක්‌ රන් අතුරුදන් නොවේ. රන් වලට සමාන දෙයක්‌ ලොව ඇතිවූ විට රන් අතුරුදන් වේ. එමෙන්ම එහිදී පෙන්වා දෙන්නේ මෙසස්‌නෙහි භික්‌ෂු භික්‌ෂුණී, උපාසක උපාසිකා යන සිවු පිරිසෙහි ශාස්‌තෘන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝරත්නය කෙරෙහි, සීලය කෙරෙහි, සමාධිය කෙරෙහි ගෞරව නැත්තේද යටහත් පැවතුම් නැත්තේද එවිට සද්ධර්මයේ අතුරුදන් වීම, ධර්මයේ විනාශවීම බලාපොරොත්තු විය යුතුය. තවද ඉහත කරුණු පහ කෙරෙහි ගෞරව ඇත්තේද යටහත් පැවතුම් ඇත්තේද එවිට ධර්මය අතුරුදන් නොවේ. විනාශ නොවේ යනුවෙනි. මෙහිදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව මැනවින් විමසා බලනවිට පෙනෙන්නේ ධර්මයේ අතුරුදන්වීමට සිවුපිරිසම වගකිව යුතු බවය. අනෙක ඉහත කරුණු කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්‌තව යටහත් පැවතුම් සහිතව කටයුතු කළ යුතු බවය. 

එසේ කොට උතුම් ධර්මය තව තවත් බබුළුවමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

ධමම්වාදී සූත්‍රයට අනුව රාගය ප්‍රහාණය පිණිස ද්වේෂය ප්‍රහාණය පිණිස, මෝහය ප්‍රහාණය පිණිස දහම් දෙසා නම් හෙතෙම ධම්මවාදී වන බවයි. ධම්ම කථික සූත්‍රයේදී පෙන්වා දෙන්නේ ජරා මරණ පිළිබඳව කළකිරීම පිණිස නොඇලීම පිණිස, නැතිකිරීම පිණිස දහම් දෙසනවා නම් ඔහු ධර්ම කථිකයෙක්‌ බවයි. එමෙන්ම ජරා මරණ පිsළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නැතිකිරීම පිණිස කටයුතු කරනවා නම් එය ධර්මානුධම්ම ප්‍රතිපන්නවන බවයි. ඉදින් ජාති, ජරා, ව්‍යාධි වගේම භවය උපාදාන, තණ්‌හා, ෂඩායතන, නාම, රූප, විඤ්Æණ, සංස්‌කාර, අවිද්‍යාව ගැන කළකිරීමෙන් නොඇලීමෙන්, නැතිකිරීමෙන් කිසිදු ධර්මයක්‌ දැඩිව නොගෙන මිදෙන්නට හැකි නම් ඒ නිවන් මඟ සඳහාම වෙහෙසෙමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධමම් රත්නය සරණ යමු.

අං.නි. සුගතවිනය සූත්‍රයට අනුව සුගතවිනය නම් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ මුල, මැද, අග කල්‍යාණ වූ ධර්මයයි. එමෙන්ම ධර්මය පද ව්‍යඤ්ජන වශයෙන් නිවැරැදිව පාඩම් නොකිරීමෙන් වරදවා හැදැරීමෙන් ධර්මය අතුරුන්වීම පිණිස පවතී. එම ධර්මය මනාව හැදැරීමෙන් නිවැරැදිව පද ව්‍යඤ්ජන නිවැරැදි වීමෙන් අර්ථයද පහසුවන අතර ධර්මයේ පැවැත්ම පිණිස , ධර්මයේ අතුරුදන් නොවීම පිණිස පවතී. එමෙන්ම ධර්මය හදාරා ධර්ම ධරව අන්‍යයන්ට පාඩම් කරවීමෙන් ඔවුන්ගේ ඇවෑමෙන් ධර්මයට පිළිසරණක්‌ වේ. එබැවින් තථාගත ශ්‍රාවකයන්ගේ අගනා යුතුකම වන්නේ මෙම උතුම් ධර්මය මනාව හැදැරීම හා එය ඉගෙනීමට සලසාදීම හා මනාව ධර්මය අනාගත පරම්පරාවට පුහුණු කිරීමයි.

කෝධගරු සූත්‍රයට අනුව මිනිසුන් ධර්මයට ගරු නොකරන අතර ක්‍රෝධයට, මක්‌ඛයට (අන්‍යයන්ගේ ගුණ මැකීම), ලාබ සත්කාරවලට ගරු කරයි. එසේ වූ විට ධර්මය අතුරුදන්වීම වැළැක්‌විය නොහැක. මේ කරුණු මැනවින් දැන උතුම් ධර්මයට ලැදියාවෙන් ගරු කිරීමෙන් චිරාත් කාලයක්‌ ධර්මයද ආරක්‌ෂාකොට අපද ධර්මාවබෝධය ලබා දුක්‌ සහිත සසරින් මිදෙන්නට වහ වහා වෙර දරමු යන සිතින් නිරතුරුව ධර්මය දේශනා කරන අවස්‌ථාවන්ට සහභාගිවීම හොඳ ධර්මය තරම් ඇසීමට සුදුසු තවත් යමක්‌ ලොව නැත. හද පිරි මහා ශ්‍රද්ධාවෙන් එම උතුම් ධර්මය ශ්‍රවණයකොට සසරින් මිදෙමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය

මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය දර්ශනපති, 
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

 එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි උදාර ගුණාංග සිතිවිලි අපට සමීප වනවිට, සමීප කරගන්නා විට අප තුළ සිටින දෙවියා මතුවෙනවා.
ලෞකික ජීවිතය ධර්මානුකූලව ගතකරන අපට ලෝකෝත්තර ජීවිතය ජය ගැනීමට හැකිබව ධර්මයේ සඳහන්. ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිතය වඩාත් යහපත් කර ගන්නට අවශ්‍ය කරුණු මෙසේ ගෙනහැර දක්වමු.
ස්වාමින් වහන්ස, බුදුරජාණන් වහන්සේ අපගේ ජීවිත වලාකුළු හතරකට උපමා කර තිබෙනවා. එය පහදා දෙන්න.

දිනක් බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේ පිරිවරා සවස් වරුවක එළිමහනේ වැඩ සිටි සේක. අහස දෙස බැලු තථාගතයන් වහන්සේ අහස විවිධ විචිත්‍රව නිල්පාට, කළුපාට වලාකුළු, වේගයෙන් යන වලාකුළු, සෙමින් යන වලාකුළු, පොකුරු වලාකුළු දුටුවා. මහණෙනි, අද අහස විචිත්‍රයි, වලාකුළු අහසේ පිරී තිබෙනවා. මෙතරම් විවිධ වලාකුළු තිබුණාට අවකාශයේ එතරම් වලාකුළු නැහැ. මේ සියලුම වලාකුළු වර්ග හතරකට බෙදිය හැකියි කියමින් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ “වලාහක” සූත්‍රය වදාළා.
ඒ වලාකුළු හතර නම් 1. ගොරවනවා වහින්නේ නැහැ, 2. වහිනවා ගොරවන්නේ නැහැ, 3. ගොරවන්නේත් නැහැ වහින්නේත් නැහැ, 4. හොඳට ගොරවනවා. ඒ තරමටම වහිනවා. උන්වහන්සේ වදාළා පෙර පිනකට මේ මනුස්ස ආත්මභාවයට පය තැබූ අපත් මේ වලාකුළු හතර මෙන් බෙදිය හැකි බව.
පළමු වලාව මෙන් මිනිසුන් ඉන්නවා. හඬ තිබෙනවා. වැඩ නැහැ. සමහර මිනිසුන් ධර්මය ගැන කථා කරනවා. හොඳ වැඩ ගැන කියනවා. ධර්මයේ හැසිරීමක් නැහැ. එවැනි අය අඳුරේමයි සිටින්නේ.
දෙවැනි වලාකුළ මෙන් මිනිසුන්ගේ හඬ නැහැ නමුත් වහිනවා. සමහර අය ශබ්දබද්ධ නො කළාට කැපී නො පෙනුනාට ඒ අය සිතින් ඒ කටයුත්තේ යෙදෙනවා. පළමු පුද්ගලයාට වඩා මොහු හොඳයි.
තුන්වැනි වලාකුළ මෙන් මිනිසුනුත් අද සමාජයේ බහුලයි. හඬත් නැහැ වැඩත් නැහැ. ධර්මය ගැන කථාවක් නැහැ. ධර්මයේ හැසිරීමකුත් නැහැ. ඉපදුනා. මැරුණා. ඇටකටු ගොඩට තවත් ඇටකටු ටිකක් එකතු කිරීමයි සිදුවී තිබෙන්නේ.
හතර වැනි වලාකුළ මෙන් අය ඉතා දුර්ලභයි. හොඳට කථාකොට, සාකච්ඡා කොට, විමසා බලා වැඩ කරනවා. සද්ධර්මය කථා කරනවා. ශ්‍රවණය කරනවා. ඒ වගේම ධර්මය ජීවන පටිපදාවක් ලෙස ජීවිතයට එකතු කර ගන්නවා. ඒ පුද්ගලයායි හොඳින් ගොරවලා මහා ශබ්දයෙන් වහින ගැඹුරු වලාකුළක් වගේ වන්නේ.
“බීජ” සූත්‍රයේදීත් මේ කරුණු මතුවෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මේ ධ්‍යානයන්, මඟඵල ආදිය ඉක්මණින් එකවර අපට ලබාගන්න අපහසුයි. එහිදීත් උපමාවක් වදාළා. ගොවියෙකුට පුළුවන් කුඹුර මඩ කර, වේලි කපා , නියරවල් බැඳ ඉක්මණට කුඹුර සකසන්න. ඒ වගේම තැනූ පොළවට බීජ ඉක්මණින්ම ඉසින්නත් පුළුවන් වගේම කුඹුරට ජලය එන කාණු බැඳ
ජලය එන මාර්ගය සකසන්නත් පුළුවන්. නමුත් ගොවියා කෙතරම් ඉක්මන් වුවත් ගොයම ඵල දරන්නේ මාස තුනකින්නම් ගොවියාට ගොයම පූදින තුරු ඉවසා බලා සිටින්නට වෙනවා. ඒ වගේ අපේ ජීවිත තුළත් අන්තිම මොහොතේදී සිත ධර්මයට ගෙන එන්නට අපහසුයි. කල් තියා අපේ ජීවිත ගැටළු ධර්මයෙන් සාකච්ඡා කළ යුතු වෙනවා. සාකච්ඡා කරනවා වගේම ඒ කරුණු මතක තබා ගත යුතුයි. ඊටත් වඩා වටින්නේ මතක තබා ගත් කරුණු ජීවන පටිපදාවක් ලෙස ජීවිතයට මෝදු කර ගැනීමයි. අප ශ්‍රද්ධානුසාරි, ධම්මානුසාරි වූවානම් ජීවිතය බලවත් කර ගත්තා නම් එතැනයි සැනසෙන මඟ තිබෙන්නේ. එය සාර්ථක බෞද්ධයකුගේ ලක්ෂණයක්.
කෙනෙකුට ධර්මය මතක තබා ගැනීමට, ගොනුකර ගැනීමට අපහසු නම් කළ යුත්තේ කුමක්ද?
ඇත්තටම ඇයි අපට කියාදෙන ධර්මය අමතක? දිනක් බ්‍රාහ්මණ පුත්‍රයෙක් පැමිණ තථාගතයන් වහන්සේට කියා සිටියා ස්වාමිනි, මම විවිධ යන්ත්‍ර, මන්ත්‍ර පොත්පත් කියවනවා. නමුත් මතකයේ තබාගන්න අපහසුයි. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා තමන් හදාරණ ශාස්ත්‍රය මතක තබා ගන්නට කරුණු පහක් උපකාර වන බව.
පළමුවැන්න සිතේ යම්කිසි තදබල ආශාවක් තිබෙනවා නම් මතක සිටින්නේ නැහැ. උන්වහන්සේ උපමාවක් වදාළා භාජනයක ඇති පිරිසුදු ජලයට යම්කිසි වර්ණයක් එක් කළවිට පතුළ පැහැදිලිව නො පෙනේ. ධර්මයේදී මෙයට “කාමච්ඡන්දය” කියා හඳුන්වනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු කෙරෙහි දැඩි ආශාවයි.
දෙවැන්න සිතේ නුරුස්සන ස්වභාවය. මෙය හරියට ජලයේ කැකෑරි තිබෙනවිට ජලය සෙලවෙන විට ලස්සන විලේ ලස්සන දකින්නට බැහැ වගේ සිතේ ව්‍යාපාදය බලවත් නම් මතක ශක්තිය අඩුවෙනවා. අනුන් නසන්න, අනුන්ට හිංසා කරන්න අනුන් පෙළන්න අරමුණු තිබෙනවා නම් ධර්මය පිහිටන්නේ නැහැ.
තෙවැන්න නිදිමත හෝ කම්මැලි ස්වභාවයක් ඇති නම් එය ධර්ම මාර්ගයට බාධාවක්. පොතක් කියවන විට නිදිමත වැඩිනම් මතක සිටින්නේ නැහැ. එය විලේ තිබෙන දියසෙවල වගේ. දියසෙවල බහුල විලක පතුලේ ලස්සන නො පෙනේ. ධර්මයේදී මෙය “ථීනමිද්ධය” ලෙස හඳුන්වනවා.
සිත නොසන්සුන් වීම හතරවැනි කාරණය යි. සිත නොසන්සුන් නම් විලේ ජලය කැළඹිලා. එහාට මෙහාට විසිරෙනවා. එවිටත් විලේ ලස්සන පෙනෙන්නේ නැහැ වගේම සිතේ ඒකාග්‍රභාවය රැඳෙන්නේ නැහැ. මෙය “උද්දච්ච කුක්කුච්චය” යි.
පස්වැන්න තමන් ඉගෙන ගන්නා ධර්මය තුළ සැක ඇතිවීමයි. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මේක හරිද? කියා සිතනවා. එය හරියට කළුවර දිනක විල දකිනවා වගේ. එදාට විලේ තිබෙන දේ අපට පැහැදිලිව නො පෙනේ. මෙයට ධර්මයේ විචිකිච්ඡාව ලෙස කියනවා. එහෙනම් කාමච්ඡන්ද, ඹව්‍යාපාද, ථීනමිද්ධ. උද්ධච්ච කුක්කුච්ච, විචිිකිච්ඡා කියන පංචනීවරණ අඩු කර නොගතහොත් ධර්මය මතක තබා ගැනීමට අපහසුයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ඉගෙන ගන්න දේ මතක සිටින්නේ නැහැ. රැකියාව කරන කෙනෙකුට එය සාර්ථකව කරන්න බැහැ. අපේ ජීවිත අසාර්ථක වීමට මේ නීවරණ බලපානවා.
ස්වාමින් වහන්ස, කෙනෙකු ඉක්මනින් කෝපයට පත් වෙනවා. එහි විපාක දන්නමුත් කෝපය පාලනය කර ගැනීමට නොහැකිනම් කළ යුත්තේ කුමක්ද?
එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි උදාර ගුණාංග සිතිවිලි අපට සමීප වනවිට, සමීප කරගන්නා විට අප තුළ සිටින දෙවියා මතුවෙනවා.
එහෙම නම් ජීවිතය දිනන්නට ජීවිතය ආලෝකමත් කර ගන්නට කැමැතිනම් අප යක්ෂයා සමඟ නොව දෙවියා සමඟ අත්වැල් බැඳගත යුතු වෙනවා. රාග, ද්වේෂ, මෝහය විසින් කරන්නේ අප පහළට ඇද දැමීමයි. විශේෂයෙන් ද්වේෂය නැත්නම් පටිඝය, ව්‍යාපාදය විසින් අපට හදිසි කෝපය, කේන්තිය, තරහව ඇති කරනවා. මෙවැනි හදිසි කෝපයක් ඇතිවූ විට අපට ඉතිරිවන්නේ පසුතැවීමයි. එනිසා වහාම එය පාලනය කළ යුතුයි. මේ කෝපය අඩුකර ගන්නට ධර්මානුකූලව පියවර කිහිපයක් තිබෙනවා.
1. කෙනෙකුට වාවා ගන්නට බැරි කේන්තියක් ආ විට දීර්ඝ හුස්මක් ගත යුතුයි. ඒ වගේම දීර්ඝ පහළට හුස්ම පිට කළ යුතුයි. කිහිපවරක් එසේ කරනවිට ඒ සුළු මොහොතට අපේ වේගවත් කේන්තිය ක්‍රමක්‍රමයෙන් පාලනය වෙනවා.
2. කෙනෙකු ගැන කේන්තියෙන් අප පසුවෙනවානම් ඒ අරමුණ ඉක්මනින් වෙනස් කළයුතු වෙනවා. ඇස ඒ අරමුණ වෙතින් ඉවත් කර ගන්න. එවිටත් තදබල කේන්තිය අඩුවෙනවා.
3. ඒ වගේම ගහන්න, බනින්න, මරන්න කියා සිතට එන සිතිවිලි ආදීනව සිහි කරන්න. මේ කෝපයෙන් යම් දෙයක් කළොත් කුමක් වේවිද කියා විපාක දකින්න ට ඕන.
4. සමහර අයට කේන්ති ආ විට කලබලයෙන් ඇවිදිනවා ඔබ දැක ඇති. එසේ නොකොට කේන්තිය පාලනය වනතුරුම සෙමින් සක්මනක යෙදෙන්න. එයත් කේන්තිය පාලනයට උපක්‍රමයක්.
5. තමාට තදබල කේන්තියක් ආ විට සිටගෙන ඉන්නවානම් ඉඳගන්න. ඉඳගෙන සිටිනවානම් සිටගන්න. ඇඳක නම් ඒ ඉරියව්ව වෙනස් කරන්න. ඉරියව්ව වෙනස් කිරීමත් සමඟ කේන්තියද පාලනය වෙයි.
ඒ වගේම බුර බුරා නගින කේන්තියට හොඳ විසඳුමක් තමා අසල ඇති බුද්ධ ප්‍රතිමාව දෙස එකම ඉරියව්වෙන් බලා සිටින්න. නිකෙලෙස් උතුම් ජීවිතය අපගේ කෝපය නිවා දමනවා. කෝපය මෙත් සිතින් දිනන්න පුළුවන්.
අසද්පුරුෂ බව සද්පුරුෂ බවින් දිනන්න පුළුවන්. මසුරුකම දානය පුරුදු කිරීමෙන් දිනන්න පුළුවන්. බොරු කියන අය දිනන්න පුළුවන් වන්නේ සත්‍ය කථා කිරීමෙන්.

අෂ්ට ලෝක ධර්මය


ලාභො අලාභො
අයසො යසොච
නින්දා පසංසාච
සුඛඤ්ච දුක්ඛං
එතෙ අනිච්චා
මනුජෙසු ධම්මා
අසස්සතා විපරිනාමධම්මා

එතෙ ච ඤත්වා සතිමා සුමෙධො
ආවෙක්ඛතී විපරිනාමධම්මෙ
ඉට්ඨස්ස ධම්මා නමථෙන්ති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමෙති
(අංගුත්තර නිකාය)

අටලෝ දහම නමින් හඳුන්වනු ලබන්නේ ලෝකයෙහි හැමදාම පවත්නා වූ ස්වභාව ධර්ම අටෙකි. ලාභ අලාභාදී ඒ අට ලෝ වැසියා අනුව ලෝ වැසියා අත් නොහැර පවත්නේ ය. ලෝ වැසියා ද අට ලෝ දහම අනුව - අට ලෝ දහම අත් නො හැර සිටින්නේ ය. ලෝ වැසි කිසිවකුට මේ අට ලෝ දහමට මුව නොදී විසීමට හැකියාවක් නොමැත. තුන් ලෝ වැස්සන්ගේ මුදුන් මල්කඩ වන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව්තුරා වූ සේක් නමුදු, (ලෝක තත්ත්වය ඉක්මවැ වූ සේක් නමුදු) ලෝකයෙහි වෙසෙන හෙයින් උන්වහන්සේ වෙත ද අට ලෝ දහම ඒකාන්තයෙන් ම පැමිණෙන්නේ ය. 

ඉන් මෙපිට සත්වයන් හට අට ලෝ දහම පැමිණෙනවා යයි අමුතුවෙන් කිවමනා නැත. නිසැකවැම පැමිණෙන හෙයිනි. 

--------------------------------------------

ලාභ අලාභ 

ලො වැසියාගේ සැමදාම බලාපොරොත්තුව ලාභ ලැබීමට ය. අලාභයක් බලාපොරොත්තුවෙන් වැඩ කරන කිසිවෙක් නැත. කවර හෝ ලාභයක් බලාපොරොත්තු වීම සිරිත ය. ලාභයයි ගත් කල ඥාති ලාභ - භොග ලාභාදී නොයෙක් ආකාර ලාභ ඇත. දූ දරුවන් ලැබීම ය, නෑ මිතුරන් ලැබීම ය, පිරිවර ලැබීම ය, ගව මහිෂාදී සතුන් ලැබීම ය, කෙත්වත් ධන ධාන්‍යාදිය ලැබීම ය යන මේ ආදිය බලාපොරොත්තු වන්නා වූ නානා ප‍්‍රකාර ලාභයන් අතුරින් කීපයෙකි. 

ආරෝග්‍යය, යෞවන භාවය යනාදියත් එකී ලාභ ගණයෙහිම වැටෙති. සම්පත් ගණයෙහි වැටෙන ඒ හැම ලාභයෝ විපතින් අවසන් වෙති. විපත් පැමිණෙත්ම ඒවා ගිය මඟවත් සොයා ගත නො හැකි ය. ඥාති ලාභ - භොග ලාභාදී වූ හැම ලාභයක් ම ලැබෙතොත් යෙහෙකැයි නිතොර පතමින් සිටීම සාමාන්‍ය මිනිස් ගතියෙකි. කොතෙක් ලාභ ලැබුණත් එයින් සෑහීමකට පත් නොවී තව තව ලාභ ලබමියි ලාභාපේක්‍ෂාවම ඇතිව වාසය කෙරෙයි. කොතෙක් දර බහාලුවත් ඒ සියල්ල පිළිගෙන, ගිනිබත් කරන්නා වූ ගිනි ගොඩක් මෙන් ද, නොහිම් දිය කඳ වැටීමෙනුදු සෑහීමට පත් නොවී තව කොතරම් දිය ලැබුණත් ඒ සියල්ල පිළිගෙන තවත් ලැබෙන ඕනෑ තරමක් ගන්නට සැරැසී සිටින මහ සයුරක් සේ ද, මහත් බලාපොරොත්තු ඇති පුද්ගලයා තම බලාපොරොත්තු කිසි විටෙක අඩු කරන්නේ නැත. 

සමහරෙක් කවර අපරාධයක් හෝ කොට තම ලාභය පමණක් සලසා ගනිති. කොතරම් දුසිරිතෙකැ යෙදී හෝ, යම් කිසිවක් බලාපොරොත්තු වෙති. ඕනෑම නීච – පහත් කි‍්‍රයාවක් කිරීමට ලාභාපේක්‍ෂකයෝ පසුබට නොවෙති. ඔවුනට විළිබිය නොමැත. ආත්ම ගෞරවයක් නොමැත. ලාභය පමණක් ම එකම එක වශයෙන් සලකති. ලාභ නො ලැබිය යුතු සැටි ප‍්‍රකාශිත කොතරම් ධර්ම නීති හා ලෝක නීති ඇතත් ඒ දෙස බැලීමකුදු නොමැත. ඒ සියල්ල එසේ වනුයේ තම ලාභය පමණක් ම බලාපොරොත්තු වන හෙයිනි. ලාභ ලබන අය ඊට අනතුරුව ‘අලාභයක් තම පසුපස එලවා එන්නේය” යි බොහෝ විට නිකමට වත් නොසිතති. සැමදාම මේ ලාභ මෙසේම යයි උදම් වී කි‍්‍රයා කරති. 

සමහර විට ලාභ ලබා පොහොසත්ව එයින් ඉදිමී ගිය ඇතැමෙක් දුප්පත් නෑදෑයන් පමණක් නොව, දිවි පුදා මුළු දියුණුව සලසා දුන් අහිංසක දුප්පත් මහලු මවුපියන් ද පහත් කොට සලකති. ඔවුන් තම මවුපියන් බව කීමට පවා මැලි වෙති. සහෝදරාදී සෙසු ඥාතීන් ගැන ද එසේ ම ය. තමන් ආ ගිය සැටි – කෑ බිව් සැටි – හැඳි පැළැඳි සැටි - ගෙදර දොරේ සැටි ඈ සියල්ලම (මුල) අමතක කොට සුරපුරෙන් බට කෙනකු සේ සිතති. අනුන්ටත් අඟවති. ඔහුට සහජයෙන් ලත් නෑයෝ මිතුරෝ මදි ය. තම පරපුර මදි ය. නම ගම නො ගැළපේ. ඔහු අලුත් නෑයන් සොයයි. අලුත් මිතුරන් සොයයි. අලුත් වාසගමක් ගනියි. විසීමට අන් රටක් පවා සොයයි. පාරම්පරික සිරිත් -විරිත් නොගැළපී විළිබිය නසන සංකර ගති සිරිත් කරපින්නා ගනියි. ලාභයෙන් උදම්වීම නිසා මේ ඈ මහ විකාර කාරයෝ වෙති. ඔහුගේ ගමන බිමන ද, ඉඳුම් සිටුම් ද, කතා බස් ද, රැවුම් පිප්පුම් ද, මවා ගත් තෙද ඔද ද ඔහු බොහොම ඉහළින් සිතා පවත්වතත්, ඔහු දෙස බලන නුවණැත්තෝ මොහු ලෝක ස්වභාවය - ලෝ දහම අමතක කොට ඉදිමී ඇතැයි අවඥ කොට සිනාසෙති. 

----------------------------------------------------------

යස - අයස

බුද්ධාදී ආර්යයන් වහන්සේලා ගේ ගුණය කොතරම් පැතිර ගියත් බොරු චෝදනා නිසා කොතරම් අගුණයක් පැතිර ගියත්, ඒ දෙක්හිම උන්වහන්සේ මධ්‍යස්ථවනසේක. ආර්යයන් එසේ වුවත් පුහුදුන් බොහෝ දෙන යසසේ දී උඩඟු වීමත් අයසේදී දොම්නස්වැ පසුබට වීමත් ස්වභාවයෙකි. සමහරෙක් යසස - කීර්තිය ලැබීමට නො කරන අයුත්තෙක් නැත. නො කරන අපරාධයෙක් නො මැත. බොහොම හරි හොඳ නමක් රටේ ඇති කර ගන්නට සිතා නොයෙක් දේ කරති. 

ආත්ම ගෞරවය

ගිහියන් පමණක් නොවැ, ඇතැම් පැවිද්දන් පවා බණ ටිකක් දෙස තත්, බණ භාවනාවක් කරතත්, ගුණදහමක් වඩතත් එයින් ප‍්‍රසිද්ධියක් ම බලාපොරොත්තු වෙති. අද වෙසෙන උසස් යයි සලකනු ලබන බොහෝ ගිහියෝ දන් ටිකක් දුන්නත්, මලක් පහනක් පිදුවත්, සිල් සමාදන් වුවත්, බණ ඇසුවත්, වෙහෙර විහාරයකට ගියත් ඒ සියල්ලම ප‍්‍රසිද්ධියටම – නම පතළ කැරැ ගැනුමට ම සිදු කරති. පුහුදුන් ලෝකයා කීර්තියට එතරම්ම කෑදරය. පොඩි අපකීර්තියක් හෝ ඇති වුවහොත් එයත් එසේම පසුබට වෙති. මෙහිලා සැලකිය යුතු කරුණෙක් වෙයි. එනම්: තම නම නරක් නො වන ලෙස කි‍්‍රයා කිරීමට පරෙස්සම් වීම ආත්ම ගෞරවය ඇති ඕනෑම කෙනෙකු ගේ යුතුකම විය යුතු බවයි. බොරු චෝදනා නිසා තමත් වෙත එල්ල වන්නා වූ අපකීර්තියට බිය නො විය යුතුවාක් මෙන් ම, ස්වල්ප මාත‍්‍ර දෝෂයක් හේතු කොට ගෙන හෝ, ඇති වන අපකීර්තියට විශාල බියක් පහළ කරගත යුතුය. 
තම වැරැදි නිසා පහළ වන්නා වූ අපකීර්තිය ගැන සැලකිලිමත් වනවා මිස අටලෝ දහම අනුව අපකීර්තියත් ඇතිවිය යුතු යයි සිත සිතා වරදෙහි බැදීම මිනිස්කමට නො ගැළපෙන්නකි. ආත්ම ගෞරවය තිබෙන කොයි කවුරුන් වුව ද, තම හොඳ නමට කිළුටක් වේ නම්, එය වළකා ගන්නට ජීවිතය පවා කැප කරති. නම නරක් කැරගත් ජීවිතය අවලංගු තඹ කාසියක් තරම්වත් වටින්නේ නැත. එහෙයින් යසස අයසට හැරෙන්නට ඉඩ නො තබා සිහි නුවණින් කි‍්‍රයා කරන ගමන ඊර්ෂ්‍යා පරවශයන් පතුරුවා හරින අයසට කලබල නොවී මැදිහත් විය යුතුය.

කල්‍යාණ මිත්‍රයා

නින්දා ප‍්‍රශංසා දෙක කළ යුතු සැටි තේරුම් ගෙන කරනවා නම්, එය කාගේත් වැඩ පිණිස හේතු වන්නේ ය. වරද වරද වශයෙන් ම කිව යුතුය. පෙන්වා දිය යුතුය. වරදට නින්දා කොට එය පෙන්වා දෙන තැනැත්තා නියම කල්‍යාණ මිත‍්‍රයා බව වදාළ සේක. ගුණය කා කෙරෙහි තිබුණත් ගුණයමැයි. එයට ව්‍යාජ ලෙස නොව අවංක සිතින් පැසැසිය යුතුය. එසේ නොව නින්දා කළ යුත්තට ප‍්‍රශංසා කිරීමත්, ප‍්‍රශංසා කළ යුත්තට නින්දා කිරීමත් අයුතු කි‍්‍රයා මෙන් ම පව් සිදුවන්නා වූ කි‍්‍රයාවෝ ය. එහෙයින් වදාළහ.

“යො නින්දියං පසංසති
තංචා නින්දති යො පසංසියො
විචිනාති මුඛෙන සො කලිං
කලිනා තෙන සුඛං න වින්දති”
යමෙක් නින්දා කළ යුත්තාට පසසාද, පැසැසිය යුත්තාට නින්දා කෙරේද, හේ මුවින් පව් රැස්කර ගන්නේ ය. එම පවින් දුක් විඳින්නේය. යනු එහි අදහසයි.
නින්දා කිරීම ද බොහෝ දෙනෙකුට ඉතා හුරු පුරුදු වැඩෙකි. අද නින්දා කිරීමට ඉලක්කය වශයෙන් ගණන් ගෙන තිබුණේ සුගුණයි. හොඳ ගතියි. ගුණය නො රුස්සන ගුණයට සමච්චල් කරන ගුණවතුන් පහත් කොට සලකන මෙවැනි කාලයක් කවදාවත් නොවීය. භික්ෂූන් වහන්සේ අතර පවා මේ දුර්ගුණය ඉතා තදින් ම බලපවත්නා බැව් අකමැත්තෙන් වුවද, කිව යුතුව ඇත. භික්ෂුවක් වශයෙන් තමන් අයත් හරි මඟ ගමන් කරන්නා වූ භික්ෂුවට අද සමාජයෙන් ලැබෙන්නේ නින්දාවක් ය. භික්ෂුන් වශයෙන් පෙනී සිටින්නෝම භික්ෂුන් ගේ සංවරය ශීලය ගුණය අවමානයට ලක් කරති. සංවරව මඟ තොට ගමන් කිරීම, කැප සරුප් පඩු පෙවූ සිවුරු පරිහරණය, පාත‍්‍ර පරිහරණය ආදී භික්ෂු ජීවිතයට අයත් ගිහි ආකල්පයෙන් වෙන් වූ වැඩ පිළිවෙළ පවා උපහාසයට ලක් කොට නින්දා කරති. අද සමහරෙක් මගතොට යන එන විට සිවුර හරෙන් මෙහෙන් දමාගෙන, වටපිට බල බලා අසංවරව ආගිය තරමටම “මඟ හපන්කම් කරන්නෝ අපි වම්හ” යි ආඩම්බර වෙති. මෙවැනි විගඩම් දකින සැදෑවත් බෞද්ධයන් ගේසිත කළකිරෙනවා පමණක් නොව, මහත් දොම්නසට පත් වෙනවා නොවේ ද යි අබමල් රේණුවකට වත් තැකීමක් නො කරති. බුදු සසුන් විසාහි නො පහන් අය පහන් කිරීමටත් පහන් අයගේ පැහැදීම දියුණු කිරීමටත් මම බැදී සිටින්නෙමියි අදහස් මාත‍්‍රයකුදු පහළ නො කෙරෙති. ඔව්හු “නච බුද්ධං සමාචරෙ කිඤ්චි - යෙන විඤ්ඤො පරෙ උපවදෙය්‍යුං” නුවනැත්තන් දොස් කියන සුළු වරදක් වත් නොකළ යුතුය යන බුදු වදන දෙස බැලීමකුදු නො මැත.

------------------------------------------------------------

නින්දා - ප‍්‍රශංසා

මෙබඳු ගති ලාභ ලබන පුහුදුන් බොහෝ දෙනෙකුන් කෙරෙහි දක්නට ලැබෙන්නේ “ලාභෙන උන්නතො ලොකො අලාභෙන ච ඔනතො” පුහුදුන් ලෝ වැසියා ලාභයෙන් උඩඟු වී හිස උදුම්වා ගැනීමත්, අලාභයෙන් පසුබට වී – දීන වී කනස්සලු වන ගතියත්, පුහුදුන් ස්වභාවය නිසාය. පුහුදුන් ගතිය මෙසේ වුවද කලාතුරෙකින් කෙනෙක් තමන්ගේ මුල මතක තබාගෙන උඩඟු නොවී, කා සමඟත් ඇයි හොඳයි කියමින්, නිහඬව ගලා බස්නා මහා ගංඟාවක මෙන් කලබල නැතිව වාසය කරති. “ගැඹුරු තන්හි ජලය කලබල නැත” යන කීම සනාථ කරමින් වෙසෙන ඔහු”දැන් සම්පත් ලැබුණත් මේ සියලු සම්පත් විනාශ විය හැකි ලෙස අලාභ ද පැමිණිය හැකි බව නිති සිහි කෙරෙති. එසේ සිහිකොට ලාභයෙන් උදම් නොවන්නාහුට ලොකු අලාභයක් පැමිණිය ද එයට කලබල නොවී දරාගත හැකිය.

අර්ථාන්විත නමකින්

අනේපිඬු සිටුතුමා පමණ කළ නො හැකි මහ සම්පත් ඇති ව විසූ කෙනෙකි. දෙව්රම් වෙහෙර උදෙසා ම සූපණස් කෙළක් ධනය වියදම් කෙළේය. දිනපතා පන් සියයක් මහ සඟනට රසමසවුලෙන් දන් දුන්නේය. හේ අසරණයන් ගේ දුක බලා ඔවුන් ගේ කැමැත්ත ලෙස ඔවුන්ට සංග‍්‍රහ කොට ඔවුනට පිහිට වූ හෙයින් ම, අනාථ පිණ්ඩික අනේපිඬුයි අර්ථාන්විත නමකින් පතළ විය. මේ වැඩවලට කොතරම් වස්තුවක් අවශ්‍ය වන්නට ඇද්දැයි නුවණින් සලකන්නෙකුට එය අපහසුවක් නොමැතිව තේරුම් ගත හැකිය. එතුමාට ඒ අනුව අපමණ වස්තුවක් තිබෙන්නට ඇතැයි වැටහේමැය. 
එහෙත් කල් යත්ම අනේපිඬු සිටුතෙමේ ඒ මහ සම්පතින් පිරිහී දුප්පත් වූයෙන් මහ සඟන පිදීමට දනට නිවුඩු හාලේ බතත් කාඩි හොද්දත් පවා අමාරුවෙන් සපයා ගත් බව පෙනේ. ඒ තත්ත්වයට වැටුණත් හේ දුක්මුසු නො වීය. කොසොල් මහ රජ මුළු කොසොල් රටෙහි පමණක් නොව, කසී රටෙහිද ඒකාධිපති මහ රජ වූව ද, අසූ වියෙහි දී අනාථව මැරෙන්නට සිදුවූයේ මහ ම අම්බලමකයි. බරණැස විසූ මහ ධන සිටු පුත්තෙම අසූ කෝටි දෙකක් ධනය ඇතිව වූසූ කෙනෙකි. 

පරම ධනය

පසු කාලයෙහි ඒ සියලු ධනයෙන් පිරිහී හිඟමනේ ගිය සැටි ද සිහි කළ මනාය. හේ කෑම ටිකක් සොයා විහාරස්ථානයට ද පැමිණියේය. ධර්මාශෝක අධිරාජයා අපමණ ඓශ්චය්‍ය¡යෙන් යුක්තව වාසය කළත්, ජීවිතාවසානයෙහි කිසිවක් නොමැතිව නෙල්ලි පළුවකට පමණක් අධිපති වී යයි පළවැ ඇත. ලක් රජය කළ දුටුගැමුණු රජ චූලංගනී යුද්ධයෙන් පැරැද ගොස්, කුස සයින් පෙළෙන කල්හි සිවු දෙනෙකුට වළඳන්නට තිබුණේ තිස්ස අමාත්‍යයා රන් තැටියේ බහාගෙන ගිය එක් කෙනෙකුට සෑහෙන බත් කොටස පමණය. එයත් තිස්ස නම් මහ රහතන් වහන්සේට පූජා කෙළේය. 
මෑත අතීතයෙහි විසූ තෙර නමක් පිඬු සිඟා වැඩම කළ කල්හි ලැබුණේ ඉඳුණු කෙසෙල් ගෙඩියක් පමණක්ලු. එය විහාරස්ථානයට ගෙනවුත් විහාරස්ථානයේ වුසූ කුඩා ශිෂ්‍ය නමට කෙසෙල් මදය දී උන්වහන්සේ කෙසෙල් ලෙල්ල වැළදූ සේක්ල. ලද දැයකින් සතුටු වීම පරම ධනය කොට සලකන එවැනි උතුමන්හට කොතරම් අඩුපාඩු වුවද, ලාභයෙන් පිරිහුණ ද, එය කිසි ගණකට නො ගන්නා හෙයින් පහසුවෙන් ජීවත් විය හැකි බව “සදා සන්තුට්ඨ චිත්තානං සක්කා සබ්බත්ථ ජීවතුං” යන්නෙන් පැහැදිලියැ. ලාභාසාවේ කොනක් මිම්මක් නැති අයට ලැබෙන තාක් ලාභ ලබමින්, තව තවත්, නොයෙක් වීදියේ ලාභ බලාපොරොත්තු වෙති. එයම සමහරකුට මහත් පිරිහිම පිණිස වන්නේ ය. 

කීර්ති ඝෝෂාව

බුදුරජාණන්වහන්සේ ගැන දසත විහිදී ගිය කීර්ති ඝෝෂාවක් “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජා චරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති” යි ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව් බඹ මිනිස් සත් වගට තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට දැන ගන්නා ලද්දාවූ, තමන් වහන්සේ විසින්ම ප‍්‍රත්‍යක්ෂ කරන ලද්දාවු නව ලොව්තුරා දහම අවබෝධ කරවන සේක. උන්වහන්සේ මුල-මැද-අග යන හැම තන්හි යහපත් වූ, අර්ථ සම්පත් ව්‍යඤ්ජනසම්පත් වලින් අනූනව හැම පසින්ම පිරිපුන් ධර්මය දේශනා කරන සේක.
එබඳු රහතන්ගේ දැක්ම පවා මහා භාග්‍යයෙ කැයි සලකා ගුණ වණා බුදුරජාණන්වහන්සේ දක්නට යති. එසේම සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගේ ආචාරශීලීභාවය ගැන පතළ වී තිබෙන කීර්ති රාවය අසා පහන්වැ, තම පැහැදීම පළ කෙරෙමින් ගුණ වැණුහ. “සමනො චලු හො ගොතමො කල්‍යාණ වාචො, එහි ස්වාගතවාදී, සඛිලො, සම්මොදකො, අබ්භාකුටිකො, උත්තානමුකො, මිහිතපුබ්බංගමො, පුබ්බහාසි” යනාදී වශයෙන් ශ‍්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කන පිනවන්නාවු මිහිරි කතා ඇති සේක. තමන් වහන්සේ වෙත පැමිණෙන්නවුන්ට එන්න එන්න ආවා ඉතා යහපතැයි පවසා ආසිරි පෙරටු කොට පිළිගන්නා සේක.

ප‍්‍රිය ඇසින්

උන්වහන්සේ ගේ වචනය අසන තාක් දෙනා සමගි සම්පන්න වන ස්වභාවය ඇති කරන සේක. තමන් වහන්සේ වෙත පැමිණෙන්නවුන් ගේ සිත් පිනවන්නාවු පිළිසඳර කතා පවත්වන සේක. බැම වකුටු කොට හෝ අවමන් කොට හෝ නො බලා පි‍්‍රය ඇසින් සියල්ලන් දෙස බලන සේක. උඩුකුරු කොට ගත් මුව පියුම ඇති සේක හෙවත් තමන් වහන්සේ වෙත පැමිණෙන්නන් දෙස මැනැවින් බලන සේක. මඳ සිනා පෙරදැරිව අමුත්තන් පිළිගන්නා සේක. තමන් වහන්සේම පළමු කොට කථා කරන සේක. මේ ආදී විසින් පැතිර ගිය ගුණඝෝෂය අසීමිතය.
මුගලන් මාහිමියන්ගේ ඍද්ධි මහිමය නිසා බුදු සසුන දීප්තිමත් වන්නේ යයි සැලකූ ඊර්ෂ්‍යා පරවශ තීර්ථයකයෝ උන්වහන්සේ මරන්නට සිතා පහර දුන්හ. 

---------------------------------------------------------------

සැප - දුක

බුදුරජාණන් වහන්සේට කායික සුව පහසු උසස් ලෙස ලැබුණ බව ද සත්‍යයෙකි. ගිහි කල දෙව් සැප පරයන සැප පහසුකම් ඇතිව වැස, පැවිදිව දුෂ්කර කි‍්‍රයාවෙන් අපමණ දුක් වින්ද බවද ප‍්‍රකටය. බුදුව දෙව්රම් වෙහෙර වැනි විහාරස්ථානයන්හි විසුවාක් මෙන් ම තද ශීතල රාති‍්‍රයෙහි ඇට්ටේරිය වනයෙහි ගහක් මුල විසීම වැනි පුවත් ද නොයෙක් තැන දක්නට ඇත. බුදුරජාණන් වහන්සේට දුක සැප දෙකට ම මූණ දෙන්නට සිදුවී නම්, සෙසු අය ගැන කවර කථාද? සාමාන්‍ය ලෝකයාගේ සැප වැනසීයාමෙන් ඔවුන්ට මහත් දුකක් ඇතිවේ. බුද්ධාදී ආය¸යන් වහන්සේ ඒ සියල්ලට ම මධ්‍යස්ථ වන සේක. ලෝ වැසි බොහෝ දෙනෙකුන්ට සැප විඳින කල්හි දුක අමතක වීම ස්වභාවයකි. එහෙයින් ම සම්පත්තියෙන් සැපයෙන් මත්ව නොයෙක් නො කටයුතු කෙරෙති. ලොවැ සැපයයි ගණන් ගෙන ඇති සියල්ලකම මොහොතින් මොහොත වෙනස්වන බව සිහිකළ මනාය. ඉරියව් මාරුකිරීම නිසා සැපයයි සැලකෙන්නක්ම මොහොතක් ගතව ගිය කල දුකට පෙරැළේ. තුරුණු බව (තරුණ කාලය) සැපයෙකි. සම්පතෙකි. එය ජරා දුකින් වැනැසෙන්නේය. තුරුණු වියෙහි දී තුරුණු මදයෙන් මත්ව ගත් බොහෝ අය තම තාරුණ්‍යය මෙරමා පෙළීමට අවියක් කොට ගනිති. සමහර විට මහල්ලන්ට කල කොලොප්පන් කරමින් මහලු බව උපහාසයටත් ලක් කෙරෙති. තුමූ මහලු වන බව නිකමට වත් නො සිතති. ඒ මතු ද නොව, තුරුණුමඳයෙන් මත්ව නොයෙක් අපරාධ කොට පව් රැස්කැර ගනිති. එසේම ආරෝග්‍යය - ලෙඩ නොමැතිබව සැපතෙකි. 

තැනට සුදුසු නුවණ

එය ලෙඩ හටගන්මෙන් දුකට පෙරළේ. ලෙඩ හට ගත් කල කිසිවක් කරකියා ගත නොහී, ළතැවෙන්නට සිදු වේ. යම් කිසිවකු නීරෝගිව වෙසෙන කල්හි මා මොන මොහොතේ ඉතා දරුණු රෝගයකට භාජන වේදැයි සිතිය නො හැකි හෙයින් මගෙ නීරෝගිභාවය ලෝ සසුන් මෙහෙය පිණිස යොදවමියි අධිෂ්ඨාන කරගත යුතුව තිබියදී ලෙඩට භාජනය වන බව මෙනෙහි කිරීම ලෝ දහම අමතක කිරීමක් වන්නේය. යම්කිසි රෝගයකට භාජනය වුවද, එහි දී දුක් දොම්නස් නොවී, මේ සිරුර දරණ තාක් කල් ලෙඩවීමෙන් වළකින්නට නොපිළිවනැයි සිතා, දුක් දොම්නස් නො වියයුතුය. එසේම මහත් සම්පත්තියක් වූ ජීවත්වීම මරණ විපත්තියෙන් කෙළවර වන බව තේරුම් ගත් නුවණැත්තා මරණය කවර මොහොතෙකැ කෙලෙස සිදුවේදැයි නොදත හැකි හෙයින්, හිස ගිනිගත්තකු ඒ ගින්න නිවා ගන්නට යම් තාක් උනන්දුව තිබේ නම්, සත්කි‍්‍රයාවන්හි යෙදීමට එවැනි උනන්දුවක් තිබිය යුතු බව සිතා කි‍්‍රයා කරන්හු කරා මරණය ළංවුවත් තුටු, සිතින් ඊට මූණදිය හැකිය. ජීවිත සම්පත්තියෙන් මත්වූවන්ටහට මරණ දුක අමතක වන්නේය. මැරෙනවායයි හඩ හඬා වැලැපි වැලැපි නො සිට, එයම අරමුණු කොට කළමනා වැඩෙහි යෙදීම නුවණැත්තන් ගේ ස්වභාවයයි. 

පි‍්‍රය මනාප බව ඇති සවිඤ්ඤාණක වුවද අවිඤ්ඤණක වූ ද වස්තූ හා එක්ව වසන්නට ලැබීම මහත් සැපතක් වශයෙන් සලකති. යම් ලෙසකින් ඒ වස්තූන් ගෙන් වෙන්වන්නට සිදුවුවොත් එය මහත් දුකෙක් වන්නේය. මේ පි‍්‍රය සම්පයෝග පි‍්‍රය විප‍්‍රයෝග යන සැප දුක් දෙකටම විටින් විට මූණ පාන්නට සිදුවීම ද වළක්වන්නට සමත් කිසිවෙක නැත. ධෛර්ය සම්පන්න අය පි‍්‍රය විප‍්‍රයෝගයෙන් ද කල බලයට පත් නොවී, ස්ථානෝචිත ප‍්‍රඥායෙන් - තැනට සුදුසු නුවණින් යුතුව කි‍්‍රයා කරති. බුද්ධ කාලයේ විසූ බන්දුල මල්ලිකාව දිනක් මහා සංඝරත්නට දන් දෙමින් සිටින විට තම දරුවන් තිස්දෙනාත් සැමියාත් යුද්ධයේ දී මරුමුවට පත් වූ බව සටහන් කොට ඇති හසුන් පතක් ලැබිණි. එය බලා කලබල නොවී, එය ඉණෙහි ගසා ගෙන දන් බෙදමින් සිටියාය. එවිට එක දැස්සක ගේ අතින් ගිතෙල් කලයක් බිම වැටී බිඳී ගියේය.

ඒ දුටු සැරියුත් මා හිමියෝ “මල්ලිකාවනි, බිඳෙන ස්වභාවය ඇති දෙය බිඳී යන්නේය. ඒ ගැන සිත නරක්කර නො ගත යුතුය”යි කීහ. එබස් ඇසූ මල්ලිකාවෝ ඉණෙහි රඳවා ගෙන තිබුණු ලියුම අතට ගෙන “ස්වාමිනි, මගේ පුතුන් දෙතිස් දෙනාත් සැමියාත් මළ බව සඳහන් කොට ඇති මේ හස්න ලැබීමෙන් වත් කලබල නොවූ මම දෑස්ස අතින් ගිලිහීබිඳී ගිය ගිතෙල් කලය ගැන ශෝක කරම්දැ’යි කීහ. බන්ධුල මල්ලිකාව ගැහැනියක වුවත්, පි‍්‍රය විප‍්‍රයෝග දුක පැමිණෙන බව කලින් ම තේරුම් ගෙන සිටීම නිසා ඒසා මහත් විපතෙදී නො සැලී සිටියාය. උරග ජාතකයෙහි දැක්වෙන පරිදි තම එකම පුතු මළ කල්හි මාපියන් දුක් නොවූ සැටි ද මෙහිලා සිහි කළ යුතුය. පි‍්‍රය ජනක අවිඥානක වස්තූ හා එක්වීම සැපයක් සේම, එයින් වෙන්වීම දුකෙකි. තමන් සීතල නොකැමැති විට සීතල ඇතිවීමත්, උෂ්ණය නො කැමැති විට උෂ්ණය ඇතිවීමත් දුක්ය. නොරුසනා කඳු හෙල් ගල් මුල් ආදිය ඇසුරට ලැබීමත් දුක්ය. එසේම පි‍්‍රය ජනක රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බයන් කැමැතිවීමත් ඒ පි‍්‍රය අරමුණු ලක් විට සැපයක් ලබන ලදැයි සොම්නස් වීමත් ස්වභාවයෙකි. තමන් රුචි නො කරන්නාවූ රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ඨබ්බයන් ලත් කල දුකට පත් වීමත් ස්වභාවයෙකි. 
අට ලෝ දහමින් කෝකත් පැමිණියත් වෙනස් ගතියක් නොපා, මැදහත් ලෙස පවතින්නට හැකි තත්ත්වයක් උදාකර ගන්නට පිළිවන් පුද්ගලයාහට ඉවසා දරා ගත නො හැකි කිසිවක් නැත. ඔහුට හැමදාම හැම විටම සුව සේ විසිය හැකිය. ඔහුට සපුරාලිය නො හැකි ගුණ දහමක් ද නො මැත. හේ ඇතිතාක් ගුණදම් මත සැනැසිලිමත් ජීවිතයක් ගෙවා පරලොවේහි ද සුවපත්ව, නිවන් දක්නට ද සමත් වන්නේය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මිනිස් සිරුරේ ස්වරූපය

රාජකීය පණ්ඩිත 
ශාස්ත්‍රපති 
අයගම සුසීල හිමි

බුදුදහම තරම් මිනිස් සිත පිළිබඳ අවධානය යොමු කළ ආගමික දර්ශනයක් ලොව ආගම් ඉතිහාසයේ දක්නට නොලැබේ. සමස්ත බුද්ධ දේශනාව ම සිත පදනම් කොට කරන ලද ඉගැන්වීමක් හෙයින් බුදුදහම මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් සමුදායක් වශයෙන් සැලකීම වඩාත් ම උචිතය.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ විමුක්ති පරමාර්ථයේ දී උන්වහන්සේගේ අවධානයට යොමු වූයේ බඹයක් තරම් වූ ශරීරයක් දරමින් ඒ තුළ ක්‍රියාත්මක වන සිත සහ එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමයි. ඉර, හඳ, තාරකා, ග්‍රහ පෘථවි සප්තමහා සාගරය සහ එහි දිග පළල සෙවීමට වඩා උන්වහන්සේට අවශ්‍ය වූයේ මිනිස් සිත පිළිබඳ ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. සිත ගැන සෙවීම ම දුකින් මිදීමට මාර්ගය බව අවබෝධ කරගත් උන්වහන්සේ සියලු දුක් ගැහැට විඳිමින් එම උත්කෘෂ්ට ක්‍රියාදාමය වෙසක් පොහෝ දින ගයාවේ බෝසමිඳුන් අබියස දී පසන්කොට ගත්හ. එම ආත්මාවබෝධය විමුක්තිකාමී ලෝකයාගේ විශිෂ්ටතම ජයග්‍රහණය විය. දුක්ඛ වූ පසමනයට මාර්ගය ද එම විජයග්‍රහණයයි. ඒ සඳහා බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනාකොට වදාළ ප්‍රධාන ඉගැන්වීමක් වනුයේ ආත්ම ගවේෂණයෙහි යෙදෙන ලෙසත් ඒ සඳහා චිත්ත දමනය කළ යුතු බවත්ය. ‘අත්තානං ගවේසෙය්‍යාථ සචිත්ත මනුරක්ඛථ’ යන බුද්ධ වචනයෙන් එය අවධාරණය කොට ඇත.
මිනිසාගේ වටිනාකම ඉන්ද්‍රිය වූ මනස හෙවත් සිත පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති කර ගැනීම තුළින් පෘථුල ජීවිතාවබෝධයක් ඇතිකර ගැනීමට හැකි බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ සිතත් සිතෙහි ඇතිවන සිතිවිලිවල ස්වභාවයත් තේරුම් ගැනීම සුඛිත මුදිත ජීවිතයකට මාර්ගය බව දේශනා කර ඇත. ඒ අනුව සෑම පෘථග්ජන සිතකම ඇතිවන සිතුවිලි ආදානග්‍රාහීය. ඇලීම්, බැඳීම් සහ ගැටීම් ඇතිකරවන සුළුය. එවැනි සිතිවිලි කුඹුරක හටගත් වල් පැළෑටි බඳුය. වල් පැළෑටි උදුරා දමා කෙත ආරක්ෂා කර නොගතහොත් කෙතක සමෘද්ධිය ඇති නොවේ. සිත තුළ වල් පැළෑටි බඳු කෙලෙස් උදුරා නොදැමුවහොත් චිත්ත සංවර්ධනය ඇති නොවේ.
ඒ නිසා කෙලෙස් සිඳීමට සිතෙහි ස්වභාවය වටහා ගත යුතු ය. අභිධර්ම විභාවිනි නම් ටීකාවේ සඳහන් වන මෙම ගාථා ධර්මයෙන් සිතෙහි මූලික ස්වරූපය කෙබඳු ද යන්න ප්‍රකට වෙයි.

විචිත්ත කරණ චිත්තං 
අත්තනො චිත්ත තායවා 
චිතං කම්ම කිලෙයෙහි 
චිතං කායති වා තථා

විනෝති අත්ත සන්ථානං විචිත්තාරම්මණන්ති චාති (අභිධර්ම විභාවිනි ටීකාව)
1. විචිත්ත කරණං චිත්ත – විසිතුරු දේ නිපදවන්නේ සිතයි.
2. අත්තනො චිත්ත කාර වා - සිත තමා විසින්ම විසිතුරු වෙයි.
3. චිතං කම්ම කිලොසෙහි – කර්මය සහ ක්ලේෂයන් විසින් ගොඩ නැඟුණේ සිතයි.
4. චිතං තායති වා කථා - ආත්මය රකින්නේ සිතයි.
5. විනෝනි අත්ත සත්ථානං - ආත්මභාව පරම්පරාව රැස් කරන්නේ සිතයි.
6. විචිත්තාරම්මණන්ති චිත්තං - විසිතුරු අරමුණු ගන්නේ සිතයි.
බුදු දහමේ ඉගැන්වීම් අතර මිනිස් සිත පිළිබඳ ගැඹුරු විග්‍රහයක් අන්තර්ගත වන්නේ අභිධර්ම පිටකයෙහිය. එහිදී සිතෙහි ස්වභාවය හා ක්‍රියාකාරීත්වය මැනවින් ඉදිරිපත් කොට තිබේ. අභිධර්ම පිටකය අයත් අභිධර්ම විහාවිනී ටිකාවෙහි සඳහන් වන ඉහත සඳහන් ගාථාව සිත පිළිබඳ ඉගැන්වෙන විශිෂ්ට ඉගැන්වීමක් වශයෙන් සැලකිය හැකිය. එහි ඉගැන්වෙන කරුණු 06ක් පිළිබඳ සංක්ෂිප්ත ඉගැන්වීමක් මෙහිදී ඉදිරිපත් කෙරේ.
1. විචිත්ත කරණං චිත්තං විසිතුරු දේ නිපදවන්නේ සිතයි.
සමස්ත ලෝකය ම ඒකාකාරී වූ ඒකාත්මික පැවැත්මට නතු වුවක් නොවේ. සියලු තතු විවිධත්වය සහ විචිත්‍රත්වය පැවැතීම විශ්ව ධර්මතාවයකි. සජිවී සත්වයන් සහ අජීවී ද්‍රව්‍යාත්මක දේවල් තුළින් පැහැදිලිව පෙනෙනුයේ විවිධත්වයයි. සත්‍ය වශයෙන් ලෝකයේ පැවැත්ම ද ඒ විවිධත්වය සහ විචිත්‍රත්වය නිසා ඇති වේ. මෙම තත්ත්වය දිව්‍යමය බලවේගයක් අනුහසින් නොව මනස පදනම් වූ චෛතසික රටාවක් හේතුවෙන් ම ඇතිවන්නකි. ‘මනෝ පුබ්බංගමා ධම්මා’ යන බුද්ධ වචනයට අනුව මනස සියලු දෙයට පූර්වාංගම සාධකය වේ. මෙම ධර්ම පාඨයට අනුව විශ්වගත සත්ත්වයන්, මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයන් හා යක්ෂ, භූත, ප්‍රේතයන් බවට හා තිරිසනුන් බවටත් බුදු, පසේ බුදු මහරහතන් සහ බෝසත් උත්තමයන් බවටත් පරිවර්තනය වන්නේ සිතේ ක්‍රියාකාරීත්වයේ අනුහසිනි. එනිසා සත්ත්වයන් විවිධ විචිත්‍ර ජීවිත බවට පත් කරන්නේ සිතයි. එපමණක් නොව රමණීය මාළිගා, උද්‍යාන, පරිගණක, ගුවන් යානා ආදී සියල්ලමත් මිනිසුන්ට දෛනිකව නෙත ගැටෙන සියලු ලොකු කුඩා මෙවලම් ආදියත් සිතේ ක්‍රියාකාරිත්වයේ විවිධත්වය අනුව නිෂ්පාදනය වූ ඒවාය. නිවසක් තවත් නිවසක් සමඟත් සිතුවමක් තවත් සිතුවමක් සමඟත් සන්සන්දනය කර බැලීමේ දී ඒකාකාරී නොවී විවිධත්වයක් ප්‍රදර්ශනය කරන්නේ ඒ ඒ සිත්වල හැඟීම් දැනීම් අපේක්ෂාවෙන් අනුව ඒවා නිෂ්පාදනය වූ හෙයිනි. එනිසා සිත වූ කලී මෙලොව විචිත්‍රත්වය හඳුන්වා දුන් මූලායතනය වේ.
2. අත්තනො චිත්ත තායවා
සිත තමා විසින්ම විසිතුරු වෙයි.
මෙම ධර්ම පාඨය අනුව මිනිස් සිත තමා විසින් විසිතුරු වූවකි. වරෙක සතුටින් ප්‍රමෝදයෙන් සිටින පුද්ගලයෙක් තවත් වරෙක ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් හා වෛරයෙන් යුත් කෙනෙකු බවට පත්වෙති. තවත් වරෙක ඒ පුද්ගලයා ම ශ්‍රද්ධාවෙන් යුත් ශාන්තුවරයෙකු උපාසකයෙකු මෙන් හැසිරෙයි. තවත් විටෙක පරිත්‍යාගශීලී නොමසුරු අයෙකු වන ඔහු කුරිරු අයෙකු මෙන්ද හැසිරෙයි. කරුණා, මෛත්‍රී, දයා, අනුකම්පා ආදී උසස් ගුණධර්ම ද දරමින් කටයුතු කරන ඔහු හොඳ නරක දෙකින් ම මිශ්‍ර චරිතයක් බවට ද පත්වෙයි. මේ නිසා දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ මානසිකත්වයන් ඇති කෙනෙකු වශයෙන් කටයුතු කරන මිනිසාට මෙවන් වෙනස්කම් පැතිරවීමට ඉඩ සලසන්නේ සිතයි.
3. චිතං කම්ම කිලෙසෙහි
කර්මය සහ ක්ලේෂයන් විසින් ගොඩ නැගුණේ සිතයි.
කර්මය සහ කෙලෙසුන්ගේ බලපෑම මත කෙනෙකු තිරිසනෙකු, ප්‍රේතයෙකු, අසුරයෙකු බවට පත්වන්නේ ද සිත අනුවය. පාපකාරී අකුසල කර්මයන් සහ අකුසලකාරී සිතිවිලි පදනම් කොටගෙන දුක්ඛිත ආත්මභාව වෙත පුද්ගලයා මෙහෙයවන්නේ සිත නමැති බලවේගය විසිනි. යහපත් කුසල කර්ම පදනම් කොටගත් කුසල චෛතසික ධර්ම හේතුකොටගෙන කෙනෙකු උපාසකයෙකු සත් පුරුෂයෙකු බවට පත්වන අතර දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකවල සැපවත් ජීවිත වෙත ද අනතුරුව සෝවාන් ආදී මාර්ගඵල ලබා රහත් බවට පත්වීමට ද එය ඉවහල් වේ. මිනිසෙකුට ලැබිය හැකි උසස් ම පදවිය වූ ලොව්තුරා බුද්ධත්වයට ද කෙනෙකුට ළඟා විය හැකි වන්නේ නිවැරැදි චින්තනයේ සහ ඒ හා බද්ධ වූ චර්යාවේ ප්‍රසන්න බව හේතුකොට ගෙනය. මේ නිසා කෙලෙස්වලින් යුතු සිතත් චර්යාවත් පුද්ගලයෙකු පහත් ආත්මභාව කරා යොමු කරවන අතර කෙලෙස්වලින් මිදුණු චර්යාව සැපවත් ආත්මභාව වෙතත් අනතුරුව නිවන වෙතත් මෙහෙයවයි. මෙය ද සිතේ ක්‍රියාකාරීත්වයේ අනුහසින් සිදුවන්නකි.
4. චිතං තායති වා තථා
ආත්මය රකින්නේ සිතයි
සිත ජීවිතයේ ආරක්ෂකයාය. නඩත්තු කරන්නාය. ලබාගත් ආත්ම භාවය සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය සිත විසින් ම සිතට අනුව සිදුවේ. හුස්ම ගැනීමේ ක්‍රියාවේ සිට ආහාර ගැනීම, නිදීම, ඇවිදීම, ගමන් යාම, අතපය නැවීම සිරුර නැහැවීම ආදී කුදු මහත් කටයුතු සියල්ලම සිතේ මෙහෙයවීමකින් තොරව සිදු නොවේ. මිනිස් ජීවිතයක් මෙන්ම කවර හෝ සත්ත්ව ජීවිතයක පැවැත්ම, සංරක්ෂණය සහ ලබාගත් ආත්මභාවය මියෙන තෙක් උපරිම අයුරින් පවත්වා ගැනීම සිත විසින් ක්‍රියාත්මක කරයි. මේ නිසා ලබාගත් ආත්මභාවය ආරක්ෂා කිරීමේ අර්ථයෙන් ද සිතට චිත්ත යන ව්‍යවහාරය ලැබේ.
5. විනෝති අත්ත සථානං
ස්වකීය ආත්මභාව පරම්පරාව රැස් කරන්නේ සිතයි.
සංසාරයේ කෙදිනක හෝ ලබාගත් මේ ජීවිතය භවයෙන් භවයට කර්ම රැස්කරමින් භවගාමී සසර දීර්ඝ ගමනකට අවශ්‍ය මාර්ගය සලසා ඇත්තේ සිතයි. සිතෙහි වයස සහ එම ආත්මභාව ගණන් කළ නොහැකි තරමින් ඉදිරියට පැමිණ ඇත්තේ ඒ චිත්ත පරම්පරාවේ බලවේගය හේතුවෙනි. එනිසා පස්පව් දස අකුසල් කරමින් අපායගාමී භාවයටත්, දස පුණ්‍යක්‍රියා, දස කුසල කර්මපථ, පාරමි පුරමින් මිනිස් ලොව, දෙව්ලොව බඹලොව ආදී ස්ථානවල රැඳෙමින් නිවන වෙත යොමු කරන්නේත් සිත නැමැති බලවේගයයි. ඇතැම් විට සසර වැරැදි පුරුදු සහ යහපත් පුරුදුතාවයන් භවයෙන් භවයට බලපාන්නේද මේ චිත්ත බලවේගය නිසාවෙනි. එනිසා ආත්මභාව පරම්පරාව රකින අදහසින් ද සිතට චිත්ත යයි කියනු ලැබේ.
6. විචිත්තාරම්මණන්ති චිත්තං -
විසිතුරු අරමුණු ගන්නේ සිතයි.
සත්වයෙකුගේ සියලුම ඉන්ද්‍රියයන් මනස නමැති ඉන්ද්‍රිය සමඟ බද්ධව පවතී. එනිසා ඇසින් දකින රූපයක් කනින් අසන ශබ්දයක්, නාසයට දැනෙන ගඳ සුවඳත් ශරීරයට දැනෙන ස්පර්ශ සහ දිවට දැනෙන රසයන් පිළිබඳ සුඛ, දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් අරමුණු ගන්නේ සහ ඒවාට ප්‍රතිචාර දක්වන්නේ සිතයි. මෙනිසා සිතට අරමුණ නොවන හෝ ග්‍රහණය කළ නොහැකි කිසිවක් විශ්වය තුළ නොමැති මේ අනුව සිත විසිතුරු අරමුණු ලබා ගනිමින් මුළු විශ්වය ම ග්‍රහණය කරගනී. සිතට ආවේණික ධර්මතාවය වනුයේ ද විචිත්‍ර වුත් විවිධ වූත් අරමුණ කරා සිත මෙහෙය වීමයි. එබැවින් සිත නමැති ආයතනය විශ්වයට විචිත්‍රත්වය සහ විවිධත්වය ප්‍රදානය කළ මූලායතනය වශයෙන් සැලකිය හැකි ය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බියකරු සසර තවත් බියකරු කරවන ඇලීම සහ බැඳීම

දර්ශනපති 
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

ගෞරවණීය ස්වාමින් වහන්ස, ගිහිගෙදර සිටින අප දැඩිලෙස ඇලීම් බැඳීම් වලට ලක්වෙලා. මෙයින් සිත මුදා ගන්නේ කෙසේද?
තථාගතයන් වහන්සේ වදාළා 
දීඝා ජාගරතෝ රත්ති 
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ 
සද්ධම්මං අවිජානතං

නිදිවරන පුද්ගලයාට රාත්‍රිය බොහෝම දිගයි. පයින් ගමන් කරන පුද්ගලයාට යොදුන දිගයි. මේ වගේ ධර්මය නොදන්න,ධර්මයෙන් බාල බවට පත් වූ පුද්ගලයාට බියකරු සසර තව තවත් බියකරු වෙලා සසර ගමන දිගුවෙන බව. ධර්මය සහ අධර්මය අතර වෙනස අහස පොළොව වගේ. ධර්මය අපව සුවපත් කරමින් නිවීම, ශාන්තිය ඇති කරනවා. අධර්මවාදීව ක්‍රියාකිරීමෙන් ධර්මයෙන් පිටනම් ආලෝකය නැති වී බියකරු ලොවකට යන බව බුදුරජාණන් වහන්සේ වදාළා.
උන්වහන්සේ අරියපර්යේෂණ සූත්‍රයේදී වදාළා මැරෙන මිනිසුන් මරණයම සොයනවා. දුකට පත්වෙන මිනිසුන් දුකම සොයනවා. දිරන මිනිසුන් දිරන දේම සොයනවා. ආලෝකය නැති තැන සාමාන්‍ය ප්‍රවාහයෙන් දුරස්ව අඳුරු මාර්ගයේ ගමන් කරනවා. මරණය ගැන නො දන්න පුද්ගලයා මරණය ගැන නැවත නැවත වටහා නොගත් නිසා මරණයම උරුම කර ගන්නවා.
මේ ධර්මය අවබෝධ වන්නේ කඳු මුදුන්වලට නොවේ. මංමාවත්වල හෝ පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ ධාතුවල නොවේ. මේ ධර්මය හට ගන්නේ, දරන්නේ ධර්මය මෝදුවන්නේ චිත්ත සන්තානය තුළයි. වැරැදි අවබෝධයෙන් ඈත්වෙලා අඳුරෙන් අප මුදවන්නේ සිත දමනය කර ගැනීමෙනුයි. ධර්මය බලවත් කර ගැනීමෙනුයි. රාග, ද්වේෂ,මෝහ යනු සැඬ සුළං තුනක්. එයට සිත ගසාගෙන යනවා. අඳුරට, හෙළට අප තල්ලු කරනවා. එය ජීවිතවලට කුණාටුවක්. ඒ නිසා හික්මුණ සිතක් භාවිත සිතක් තුළනම් වැරැදි චින්තා ඉවත්විය යුතුය. ඒ වැරැදි චින්තා නිසා ප්‍රධාන ආර්ය මාර්ගය අපට ආවරණය වෙනවා. ආවරණය වන ඒ ආර්ය මාර්ගය නිරාවරණය කරගෙන මෙලොව පරලොව ජීවිතය සුවපත් කරගෙන නිවන් මඟ සොයාගත යුතු බව තථාගතයන් වහන්සේ වදාළා.

ඇලීමේ සහ බැඳීමේ ආදීනව මොනවාද?

බුදුරජාණන් වහන්සේ වදාළා මේ ධර්මය ශ්‍රවණය කරන්නේ නැති, ධර්මය සාකච්ඡා කරන්නේ නැති ධර්මයට සවනත යොමන්නේ නැති පුද්ගලයාගේ ප්‍රඥාව නො වැඩෙන බව. නුවණ වැඩෙන්නේ නැහැ. අයෝනිසෝමනසිකාරය යි වැඩෙන්නේ. ඔහු මසසින් වැඩුනත් මනසින් නොවැඩේ. එසේ වන්නේ ඔහු ධර්මයෙන් පිටත නිසායි. ධර්මය පිහිට නොමැති නිසා ගැටුම් ඇතිවෙනවා. ඇලීමේ විරුද්ධ පැත්ත ගැටීම යි. ගැටීමේ විරුද්ධ පැත්ත ඇලීමයි. එකම කාසියේ දෙපැත්ත වගේ. මේ ඇලීම ගැටීම නිසා සසර අඳුරු කරනවා. අප මංමුලා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මනුස්ස සන්තානයේ ඇතිවන විවිධ ආවේග ස්වරූප පාලනය කරන්න අපට සූත්‍ර ධර්මයක් වදාළා. ඒ විතක්ක සන්තාන සුත්‍රයයි. එහි සුන්දර කරුණු පහක් සඳහන්. අපේ සිත තුළ එන භයානක විතක්කයන්, සිතිවිලි, අදහස් වලින් සමාජයට හානිකර සමාජයේ විසිරී පැතිරි සිටින හැම කෙනෙකුටම හානිවන දේ එක් සිතක් තුළ පවතින්න පුළුවන්. තථාගතයන් වහන්සේ මේ සිත විටෙක තුඹසකට උපමා කොට වදාළා. මේ තුඹසේ විසකුරු සර්පයන් සිටින්නට පුළුවන්. නමුත් තුඹස යම් දෙයකින් ආවරණය කර තිබේනම්, තුඹස පිළිබඳව සෝදිසියෙන් සිටිනවානම් ඒ විසකුරු සර්පයන්ගෙන් සමාජයට හානියක් නැහැ. අපේ සිත තුළත් විසකුරු සර්පයන් සිටිනවා. ඒ ක්‍රෝධය, ද්වේෂය, ඊර්ෂ්‍යාව ආදියයි. මේ විසකුරු සර්පයන් තමන්ටත් හානිකරයි. මෙලොවත් පරලොවත් අඳුරු කරනවා.
මේ නිසා අප සිතේ හරය, ගැඹුර දකින්න ඕන. මගේ සිත තුළ හට ගන්නේ භයානක සිතිවිලිද? මගේ සිතේ මෝදු වන්නේ විසකුරු සර්ප විසද? ඒ වගේ විසකින් බේරීමටයි මේ විතක්ක සන්තාන සූත්‍රය තුළින් අපට මඟ පෙන්වන්නේ. ඒ මඟ පෙන්වීම අප ක්‍රියාත්මක කරනවානම් අපේ ජීවිතය පියවරෙන් පියවර ඉදිරියට යනවා. හැම පියවරකදී ම මේ සිත බලවත් වෙනවා. ඒ කරුණු පහනම්,
1. අංඥා නිමිත්ත – අපේ සිතට වැරැදි අදහසක් ආවිට අප දකිනවානම් මේ සිතිවිල්ල මට හානිකරයි. භයානකයි කියා වහාම ඒ සිතුවිල්ල වෙනත් අරමුණකට යොමුකළ යුතු වෙනවා. එවිට වැරැදි දේ පෝෂණය වීම නවතිනවා. සිතේ නිමිත්ත වෙනස්කළ විට පුද්ගලයා සුවපත් වෙනවා.
2. ආදීනව නිමිත්ත – මෙහිදී වදාළා කෙනෙකුගේ සිත පාලනය කර ගන්න බැරි අවස්ථාවකදී කයින් ක්‍රියා කරනවා. එයට පෙර සිතේ නපුරු භයානක සිතිවිල්ලක් ආවිට එහි ආදීනව සිහිකළ යුතු වෙනවා. මේ සිතිවිල්ල ක්‍රියාත්මක වුණොත් මම සමාජයෙන් ගැරහුම් අවමන් ලබයි කියා සිහි කිරීමෙන් වරදින් මිදෙනවා.
3). අසතිඅමනුස්සති නිමිත්ත – සිහි කල්පනාව නැතිව වැඩ කිරීමේදී යෝනිසෝමනසිකාරය නැති අවස්ථාවේදී මේ වැරැදි විතර්කවලට හසුවෙන්න පුළුවන්.
4) විතක්කමූලභේද නිමිත්ත – යම් ගැටුමක දී ප්‍රශ්නයකදී සිත නැවත නැවත ඒ කරාම දුවන්නේ ඇයි කියා එහි මුල සොයා බැලිය යුතුයි. මේ මනුස්සයාට මම මෙතරම් ඊර්ෂ්‍යා කරන්නේ ඇයි? කොහේද වැරදුනේ කියා එහි මුල සොයා බැලුවොත් වැරැදි සිතිවිල්ල ඉවත් කර ගත හැකිය. ඒ ආකාරයටත් මේ සිත මුදා ගන්න පුළුවන්.
5) අභිනික්ගාම – අකුසල සිත් එනවිට කුසල සිතක් නොමැතිනම් තමා කළ පින්කමක්, හෝ කරන්න යන පින්කමක් ගැන සිහිපත් කරන්න පුළුවන්. එවිට අකුසල විතර්කය කුසල විතර්කයෙන් යට කරනවා. මේ ආකාරයට තම සිත ජය ගෙන ජීවිතය ආලෝකමත් කර ගැනීමට අපූරුවට අපට මඟ කියා දෙනවා.

කෙනෙකු මියයාමෙන් පසු මිනිස් මවු කුසකත්, තව අයෙක් තිරිසන් මව් කුසකත්, අයෙක් යක්ෂ,පේ‍්‍රත,භූත ආත්මවලත්, තව අයෙක් ඕපපාතිකව දිව්‍ය ලෝකවල ඉපදෙනවා. මේ උප්පත්තිවලට ඇලීම බැඳීම බලපාන්නේ කෙසේද?

මනුස්ස ලෝකයේ ඉපදුන බොහෝ අය හිතන්නේ ඊළඟ ජීවිතයේදීත් මිනිස් භවයක්ම ලැබෙයි කියා. ගඟ ළඟට විශාල පිරිසක් ගියාට ගඟෙන් එතෙර වන්නේ බොහෝම අල්ප දෙනෙක් පමණයි. බොහෝ පිරිසක් ගඟේ ජලයට, රැල්ලට බියෙන් ආපසු හැරෙනවා. ඒ වගේ මනුස්ස ජීවිතයක් ලබාගත් අයගෙන් බොහෝම අල්ප දෙනෙක් පමණයි නැවත මනුස්ස ලෝකයට එන්නේ.
සමහර අය මිනිස් මව් කුසකට, දිව්‍ය ලෝකයට ඇදෙනවා. සමහර අය පහළට හෙළට වැටෙනවා. තවත් අල්ප දෙනෙක් මේ ලෝකයෙන් නිදහස් වෙලා විමුක්ති කරා ගමන් කරනවා. අපගේ ඇලීම බැඳීම කෙතරම් බලවත්ද කියනවානම් නිතරම උත්සාහ කරන්නේ ඇස, කන, නාසය, දිව, කය, පිනවන්නයි. උදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට වැටෙන තුරු පොරකමින් දඟලන්නේ ඇලීමටයි. බැඳීමටයි. මේ ඇලෙන නිසාමයි ගැටීම එන්නේ. ඇලීම, බැඳීම, ගැටීම හැම මොහොතකම අපේ සිත තුළ සැරිසරනවා. දවාලයේ අප ගත් අරමුණු සමඟ රාත්‍රියේදී අප ගැටෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සිත තුඹසක් වගේ කියා. දවාලට ගිනි ගන්නවා. දුම් දමන්නේ රාත්‍රියටයි. දුම් දමනවා කියන්නේ නින්දට ගිහිල්ලත් කල්පනා කරනවා අර පුද්ගලයා මට අවමන් කළා. මම නොකළ දේ කළා කිව්වා, මට බැන්නා, මගේ දේ පැහැර ගත්තා යැයි සිතනවා. ඒකයි රාත්‍රියට දුම් දැමීම. එලෙසම දුම් දැමු දේ ගිනි ගන්නවා කියන්නේ දවාලට එය ක්‍රියාත්මක කිරීමයි.
එනිසා ඇලීම් බැඳීම් වලින් නිදහස් වූ සුන්දර සිතක් ඇතිකරගෙන මේ ඝෝර වූ සසරින් එතෙර වීමට අපට ශක්තිය ධෛර්ය ලැබේවා.

වෙනස්‌ ලෙස ලොව දකින මොහොතක්‌ මොහොතක්‌ පාසා නීවරණ දුර්වල වේ...

පූජනීය මාන්කඩවල සුදස්සන හිමි
පින්වතුනි, වෙනදාට අපට යන්න දෙපැත්තක්‌ තිබුණේ නැහැ. ලෝකය ගැන විතරමයි හිතන්ඩ කල්පනා කළේ. ගෙවල් දොරවල්, යාන වාහන, දරුවන් ගැනමයි දැක්‌කේ. ඕවා ගැනමයි කල්පනා කළේ. ඕවා ලැබීම ගැනමයි හිතුවේ. වෙන හිතන්න, කල්පනා කරන්න තැනක්‌, පැත්තක්‌ තිබුණේ නැහැ. දැන් අපට පොඩි වාසියක්‌ තියෙනවා ඉඳලා හිටලා හරි, වැරදිලා හරි, හිතන්න තව පැත්තකුත් තියනවා. දැන් අපි හැම වේලාවෙ ම උත්සහවත් වෙන්න වෙනවා.
හැම වේලාවෙ ම මේ ගෙවල් දොරවල්, දූදරුවන් මේවා ලැබීම සැපයි, නො ලැබීම දුකයි, කියන මට්‌ටමේ ඉන්න අපේ දැන් උත්සාහය මාරු වෙන්නයි. දූ දරුවන් ලැබීම දුකයි. මේවායින් මිදීම සැපයි, මේවායින් මිදීම දුකෙන් මිඳිමයි කියන තැනට මනස ගන්න උත්සාහ කරනවා. මෙතන ඉදන් එතෙරට පාරක්‌ දැන් හදන්නේ ඒ සඳහා තමයි, ඒ ඥාන දර්ශනය ඇති කරගන්න උපකාර පිණිස සම්මා දිට්‌ඨියට අනුව නුවණින් සිතිය යුතුයි. සම්මා දිට්‌ඨිය කියන්නේ මොකක්‌ ද? දුක ඇති වීම, ඊට හේතුව, දුක නැති වීම, දුක නැති කරන මඟ කියන ඇත්ත. අපි ජීවත් වන ලෝකය හම්බවෙන කොට ඒ හම්බ වෙන දේ තුළ පවතින ඇත්ත නිතර ම සම්මා දිට්‌ඨියට අනුව හිතන්න ඕන. සම්මා දිට්‌ඨියට අනුව හිතීම තමයි සම්මා සංකප්ප කියන්නේ. ඒ කියන්නේ දෙකෙන් ම ප්‍රඥාවයි වැඩෙන්නේ.
අපි නිකමට කියමු. ගෙදර දොරේ දී වෙන දා වගේ කතා කරද්දී කටයුතු කරද්දී මේ "දරුවා" කියන තැන ද?, මේ රූපය දිරනවා නේ ද?, ලෙඩ වෙනවා නේ ද?, කියලා නිකමට හිතන්න.
වළඳක්‌ ගත්තා. අනේ මේකත් කවදා හරි කැඩෙනවා නේ ද? මේකත් ජරා ධර්මයක්‌ නේ ද? ව්‍යාධි ධර්මයක්‌ නේ ද? මරණ ධර්මයක්‌ නේ ද?
වතුර කේතලයක්‌ ලිපේ තිබ්බත් එක පාරට ම පැහෙන්නේ නැහැ. රත් වෙන්නේ නැහැ. ඒකටත් ක්‍රමානුකූල ව ගින්දර දමන්න ඕනෑ. එක පාරට ම නීවරණ ධර්ම දුරු වෙන්නේ නැහැ. භාවනා කරනවා කියලා කියන්නේ පැනලා යැමත් නො වෙයි. හැංගිලා ඉන්න එකත් නො වෙයි. එදිනෙදා ජීවත් වන ජීවිතය තුළින් මයි යථාර්ථය අල්ලා ගන්න තියන්නේ.
ඉතින් වෙන දා වගේ ගෙවල් දොරවල්, යාන වාහන කියලා දැකපු තැන ම, "අනේ ඉතින් මේ තියෙන්නේ ව්‍යාධි ධර්මයක්‌ නේ ද? ජරා ධර්මයක්‌ නේ ද? මරණ ධර්මයක්‌ නේ ද?" කියලා බලන්න.
ඔබ දන්නව ද ඔය බලන වාරයක්‌ ගානේ ඔබ ගේ නීවරණ ධර්ම අඩු වෙනවා කියලා. ඔහොම හිතන මොහොතක්‌ ගානේ වෙන දා තිබිච්ච ආකල්ප සංකල්ප ගොඩඟැහිලා යන ගතිය ටික ටික අඩු වෙනවා, දන්නවා ද? ඒක මොහොතක්‌ ගානේ වෙනවා. මෙහෙම හිතන්න හිතන්න නීවර්ණ ධර්ම අඩු වෙනවා. එක තැනක ඉන්න කොට අපට සමථ කමටහනකිනුත් හිත එකතැන් කරන්න පුළුවන්. නීවරණ ධර්ම අඩු කරන්න පුළුවන්.
හිත හදාගැනීමට උපකාර පිණිස නිත්‍ය පංචශීලය, පෝය අට සීලය රකින්න ඕනේ. කය වචන දෙක සංවර කරගන්න යම් සමථ භාවනාවක්‌ කරන්න ඕන. කය, වචනය දෙක සංවර කරගන්න, හිත සංවර කරගන්න, උපකාර පිණිස සීලයක පිහිටුවනවා. නීවරණ ධර්ම දුරු කරගන්න උපකාර පිණිස හිත සංවර කර ගන්නවා. එක්‌තැන් කරගන්නවා. ඇත්ත ඇති හැටියේ දකින්න නීවරණ ධර්ම අඩු කරගන්නවා. මොකක්‌ ද ඇත්ත ඇති සැටියේ දකින්නේ? දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යය දකින්න පටන් ගන්නවා. නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධිමත් වෙච්ච දවසට මේ ගෙවල් දොරවල් නො වෙයි, මේ දුක නේ ද කියන එක පෙනෙන්නේ ඉබේමයි. මේ දේවල ලැබීම දුකේ ලැබීමයි කියන එක පෙනෙනවා.
එදාට දුකේ කලකිරිලා නො ඇලිලා, මිදෙනවා. එදාටයි ඔබ දුකෙන් මිදුණේ. දුකෙන් මිදුණහම දුකෙන් මිදුණා කියන නුවණ එනවා. වෙන කළ යුත්තක්‌ නැහැ. යමක්‌ කළ යුතු නම් ඒ දේ කළා කියන ප්‍රත්‍යවේක්‌ෂා නුවණ ද එනවා. "සීල සමාධි, ප්‍රඥා, විමුක්‌ති, විමුක්‌ති ඥාන දර්ශන" කියලා තියෙනවා ධර්මතා පහක්‌. මෙන්න මේ පහ ඉලක්‌ක කරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. දුකේ ඇලිලා, දුකේ බැඳිලා ඉන්න කෙනා දුකෙන් මිදෙන්නේ නැහැ. දුකේ කලකිරිලා නො ඇලිච්ච කෙනා තමයි දුකෙන් මිදෙන්නේ. ඉතිං දුකේ කලකිරිලා නො ඇලෙන්න නම්, දුක, දුක හැටියට දකින්න ඕනේ. දුක, දුක හැටියට දකින්න නම් දුක දකින විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරන්න නම් සද්ධර්මය අහලා කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් සම්මා දිට්‌ඨිය ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම ලබාගෙන තියන කෙනාට නීවරණ ධර්ම අඩු වුණොත්, අඩු කරගත්ත හැටියෙ මේ දර්ශනය පෙනෙනවා.
දැන් ඔන්න චතුරාර්ය සත්‍යයේ හතර ම මා දේශනා කළා. මාර්ග සත්‍යය විතරක්‌ වැඩිපුර දේශනා කළේ නැහැ.
ඉතා දීර්ඝ වශයෙන් නො වෙයි, කෙටියෙනුත් නො වෙයි, මම මාර්ගය ගැන ටිකක්‌ විස්‌තර කරන්නම්.
ඉස්‌සෙල්ලා අපි පොඩි උපමාවක්‌ කිව්වොත් එක්‌තරා මනුෂ්‍යයෙක්‌ ඉන්නවා. මේ මනුෂ්‍යයා අව්වේ ඇවිල්ලා ග්‍රීස්ම වේලාවේ ඉතා ම පිපාසිත තත්ත්වයට පත් වෙලා, දැන් මෙයාට ඕනේ මේ පිපාසිත බවෙන් මිදෙන්න වතුර ටිකක්‌ බොන්න. ඉතින් වතුර ටිකක්‌ හොයාගෙන යනකොට එයාට හම්බ වෙනවා ළිඳක්‌. හැබැයි ඒ ළිඳේ කුණු රොඩු, මඩ, ජරාව එක්‌ක වැටිලා බොහොම පල් වෙච්චි, පල් වතුරක්‌ තියෙන්නේ. ඒ විතරක්‌ නෙමෙයි. මේ ළිඳට තවත් කුණු කාණු හයකින් ජල පාරවල් හයක්‌ ඇවිල්ලා, වැටෙනවා.
දැන් මෙයාට පිපාසය දුරු කරගන්න වතුර ටික බොන්න ඕන. දැන් මෙහෙම වතුර බොන්න බෑ නේ. වතුර බොන්නත් ඕන. පිපාසය සංසිඳෙන්නත් ඕන. ලෙඩ රෝග හැදෙන්නෙ නැති වෙන්න ඕන. එහෙම නම් දැන් මෙයාට වතුර ටිකක්‌ බොන්න නම් මේ ළිඳ පිරිසිදු කරන්න ඕන වෙනවා. දැන් ළිඳ පිරිසිදු කරන්න බැහැ. තියන වතුර රොඩුත් එක්‌ක ම අයින් කෙරුවත් පලක්‌ නැහැ. අර පිටින් කුණු කාණු හයකින් වතුර ඇවිල්ලා ළිඳට වටෙනවා නම්. දැන් වතුර බොන්න ඕන වුණාට, ඉස්‌සරවෙලා ම මෙයාට කරන්න වෙන්නේ උදැල්ලක්‌ පැසක්‌ අරගෙන ගිහිල්ලා ළිඳට කිසි ම සම්බන්ධයක්‌ වත් නැති අර පිටතින් ගලාගෙන එය කාණු හය වහන්න. ගලාගෙන එය කුණු මඩ සහිත ජරාව සහිත වතුර පාර වෙන පැත්තකට හරවලා දාන්න. ඒවා හරස්‌ කරලා බැමි දාන්න ඕන.
ඔන්න දැන් කාණු හයට බැමි දාලා අලුතෙන් මඩ ජරාව සහිත වතුර ළිඳට වැටෙන එක නැවැත්වුවා. නතර කළා කියලා කලින් ඇවිල්ලා මඩ සහිත ජරාව වැටුණු වතුර අස්‌ වුණේ හිඳුණේ නැහැ. ඒකට දැන් ළිඳ ඉහින්නයි තියන්නේ.
ළිඳේ තියෙන මඩ ජරාව සහිත වතුර ටික අයින් කරන්න ඕන. හැබැයි මෙතැන දී දැන් මඩ අදින භාජනයේ ප්‍රමාණය තීරණය කරන්නත් අවශ්‍යයි. ඉක්‌මනට මඩ ටික ඉවර වෙනවා ද නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ හුණ්‌ඩුවක්‌ විතර චූටි භාජනයකින් ද, මහා ලොකු බාල්දියකින් ද අදින්නේ කියන කාරණාව මතයි. භාජනය සහ කාලය මතයි, කොච්චර වෙලාවක්‌ මේකට යොදනවා ද කියන එක මතයි.
ඉතින් මෙයා ලොකු භාජනයක්‌ අරගෙන වැඩි වේලාවක්‌ ළිඳ ඉහිනවා. ඉහිනකොට ඔන්න ළිඳේ තියෙන මඩ සහිත ජරාව සහිත ජලය අයින් කරනවා. අයින් කරන කොට ළිඳ ඇතුළෙ ම තියෙන මඩවලට වැහිලා හිර වෙලා තිබුණු උල්පත් පෑදිලා ළිඳ ඇතුළෙන් ම පිරිසිදු ජලය එනවා. ජලය පිරිසිදු වුණාට අපිරිසිදු මඩ තිබුණු ළිඳේ සියුම් මඩ සහ මඩ ගඳ තාම තියෙනවා. ළිඳෙන් ම උපන්න වතුර ටික අරගෙන ඒ ළිඳ ම හෝදනවා. හෝදලා ඒ වතුර ද ඉහිනවා. ඒ වතුර ඉස්‌සහම මඩ ගඳ ද නැති පිරිසිදු වතුර ටිකක්‌ හම්බ වෙනවා. දැන් ඔන්න ඒ වතුර ටික බිලා මුහුණ කට සෝදාගෙන ඇඟපතත් හෝදගෙන තමන් ගේ විඩාව සංසිඳවා ගන්නවා. පිපාසය සංසිදවා ගන්නවා.
ඒ උපමාවෙන් මා මතක්‌ කළේ, ඒ විඩාවට පත් වෙච්ච පුද්ගලයා වගේ තමයි මේ සසර ඇවිදින සත්ත්වයා දුකට පත් වෙලා, වෙහෙසට පත් වෙලා පීඩාවට පත් වෙලා අමෘතය නමැති මේ පානය, දුකේ නිරෝධය නිවන නමැති සිහිල් ජලය, පානය කරන අවශ්‍යතාවෙන් ඉන්නේ. ග්‍රීස්මේන් තැවුණු පිපාසිත පුද්ගලයෙක්‌ වගේ තමයි. එහෙම එනකොට එයාට හම්බ වෙනවා මඩ සහිත, ජරාව සහිත පිරුණු ළිඳක්‌ වගේ තමන් ගේ ම කිළිටි මනස. හැබැයි නිකං නො වෙයි. ඒකට කුණු කාණු හයකින් කුණු වතුර ගලාගෙන එනවා වගේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් ම, රාග ද්වේශ, මෝහ සහගත මේ නොයෙක්‌ කෙළෙස්‌ අකුසල ධර්ම විතක්‌ක පහළ වෙනවා.
දැන් මුලින් ම ළිඳ ඉහින්න ඉස්‌සර වෙලා බැමි දාලා කාණු ටික වහන්න වෙනවා වගේ මෙන්න මේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන ටික හදාගන්න ඕන. සංවර කරගන්න ඕන. බැමි දාගන්න ඕන. රැකගන්න ඕන..   Ananya Kumarasinghe
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

යොනිසො මනසිකාර යනු කුමක්ද?

පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.
රාජකීය පණ්ඩිත 
ශාස්ත්‍රපති 

අයගම සුසීල හිමි

බුදුන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණ ඥාන මාර්ගයකි. සිතීමෙන් හා විමසීමෙන් තොරව හුදු විශ්වාසයෙන් පමණක් අනුගමනය කළ යුතු ඉගැන්වීමක් නොවන බුද්ධ දේශනාව සියලු තැන සියල්ලන්ටම (විවෘතව) පවතින සර්වව්‍යාපී ඉගැන්වීමකි. මිනිස් මනසට මුල් තැන දෙමින් අන්ධ විශ්වාසයනට මං අහුරා ඇති තථාගත දේශනය ,ප්‍රඥාව හා වීය¸ය පදනම් කරගත් මනා සිහියෙන් අනුගමනය කළ යුතු ඍජු ජීවන මාර්ගයක් සහ විමුක්ති මාර්ගයක් වශයෙන්ද හඳුන්වා දිය හැකිය. “පඤ්ඤාවන්තස්සායං ධර්‍මමා නායං ධම්මා දුප්පඤ්ඤස්ස යන බුද්ධ වචනයට අනුව තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම සිතීමේ හා විමසීමේ හැකියාවෙන් යුත් ඥානගවේෂී ප්‍රඥාවන්තයන්ටය.අන්ධ විශ්වාසයන් සහ දෘෂ්ටින් තුළ හිර වූ ආවෘත මනසක් ඇති අනුවණයන්ට එම ඉගැන්වීම විෂය නොවේ.
යොනිසො මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම බුදු දහමේ එන උසස් සංකල්පයකි. පුද්ගලයෙකුගේ සන්තානයෙහි සැඟවී ඇති ආධ්‍යාත්ම බලය ඉස්මතු කරගැනීමෙහිලා උපනිශ්‍රය වන යොනිසො මනසිකාරය පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස අත්‍යවශ්‍ය ධර්ම කාරණයක් බව අංගුත්තර නිකායේ එකක නිපාතයෙහි සඳහන් වේ. කාමච්ඡන්ද ,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච ,කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ ධර්මයෝ ප්‍රඥාලෝකය මුවහ කරන ධර්මයෝය. ඒ අතුරින් ප්‍රධාන සංයෝජනයක් වන විචිකිච්ඡාව දුරලීම පිණිස කටයුතු කිරීම සත්‍යාවබෝධය පිණිස අනිවාර්යය වූවකි.
පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.
වරක් බුදුරජාණන් වහන්සේ කේසපුත්ත කාලාමයන් හමු වූ අවස්ථාවේදී විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණ කාලාමයන් මුළාවන අයුරින් සහ ඔවුන්ගේ සැකය ඉස්මතු වන අයුරින් ඔවුන් නොවුන්ගේ දර්ශන ඉදිරිපත් කිරීම නිසා මහත් මානසික වියවුලට පත්ව සිටි කාලාමයන්ට පිළිගත හැකි ඥාන මාර්ගයක් දේශනා කළහ. ඒ අනුව යමක් පිළිගැනීමේදී ඒ සඳහා අනුගමනය කළයුතු විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දුන් බුදුන් වහන්සේ නුවණින් විමසා බලා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් යථාර්ථාවබෝධය පිණිස හේතු නොවන සම්ප්‍රදායිකව සමාජගතව තිබූ ක්‍රමවේද 10 ක් ප්‍රතික්ෂේප කළහ. එසේ ප්‍රතික්ෂේප කරන ලද දස විවිධ මාර්ගයන් කාලාම සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
1.යමක් වේද ග්‍රන්ථවල සඳහන්ව ඇති නිසා නොපිළිගන්න.
2.පරම්පරාවෙන් එන නිසා නොපිළිගන්න.
3. එසේ වන්නට ඇතැයි අනුමානයෙන් නොපිළිගන්න.
4.තමන්ගේ පිටකයනට හා සම්ප්‍රදායනට සමාන යැයි නොපිළිගන්න.
5.තර්කයට ගැලපේයැයි සිතා පිළිනොගන්න.
6. තමන් දන්නා න්‍යායන්ට ගැලපේ යැයි පිළිනොගන්න.
7. මතු පිටින් හොඳ යැයි පෙනුනත් පිළි නොගන්න.
8.තමන් බැසගත් දෘෂ්ඨීන්ට ගැළපේ යැයි පිළි නොගන්න.
9.පුද්ගල ගෞරවයෙන් පිළිනොගන්න.
10. මේ ශ්‍රමණයා (පූජකයා) අපගේ ගුරුවරයා යැයි පිළිනොගන්න.
මේ අනුව යමක් සාවද්‍ය හෝ නිරවද්‍යදැයි නිශ්චය කරගත යුත්තේ පදනම්වල හිරවීමෙන් තොරව නිදහස් මනසින් විමර්ශනය කිරීමෙන් බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ යමක් යහපත සමාධිය හා ශාන්තිය පිණිස පවතී නම් එසේම එය යහපත් යැයි තම නුවණින් වටහා ගත හැකිනම් එය අනුගමනය කළ යුතු බවත් එසේ යහපත, පිණිස හේතු නොවන දෙය ප්‍රතික්ෂේප කළ යුතු බවටත් ඔවුනට උපදෙස් දුන්හ. මෙබඳු විශිෂ්ඨ ඉගැන්වීමක් ලොව බිහි වූ කිසිදු ආගමික දර්ශනයක දැකගත නොහැකිය. බුදු දහමේ පදනම නිදහස් මනස පදනම කරගත් නිදහස් චින්තනයයි. එය යොනිසෝ මනසිකාරය තුළින්ම ඇති කරගත යුතු වූවකි.
අංගුත්තර නිකායයේ චතුක්ක නිපාතයේ මහාපදේස සූත්‍රයේදීද යමක් පිළිගැනීමට භාවිත කළ යුතු ක්‍රම 4 ක් පිළිබඳව උගන්වා ඇත. එම සතරාකාර මහාපදේස 4 මෙසේය.
1.යමක් තමා බුදුරදුන්ගෙන් අසා පිළිගත් ධර්මයක් විනයක් යැයි යම් ඉගැන්වීමක් ඉදිරිපත් කලත් (බුද්ධාපදේස)
2. යමෙකු අසවල් විහාරයේ සංඝයාගෙන් අසා පිළිගත් ධර්මයක් විනයක් යැයි යමක් ඉදිරිපත් කළත්. (සංඝාපදේස)
3.යමෙකු තමා අසවල් විහාරයේ බොහෝ භික්ෂූන්ගෙන්. අසා දැනගත් ධර්මයක් විනය කරුණක් යැයි යම්කාරණයක් ඉදිරිපත් කළත් (සම්බහුලා ථෙරාපදේස)
4.යමෙකු අසවල් විහාරයේ ධර්මධර විනයධර උගත් භික්ෂුවකගෙන් අසා දැන පිළිගත් දෙයක් ලෙස යම් ධර්ම විනය කාරණයක් ඉදිරිපත් කළත් (එකත්ථෙරාපදේස)
ඉහත දැක්වූ ක්‍රම හතරට අනුව යමක් එක්වරම පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොකර එය සූත්‍ර විනය දෙක හා සසඳා ගැළපේ නම් පමණක් පිළිගත යුතු බව දේශනා කළ බුදුන් වහන්සේ ධර්ම විනය සම්බන්ධයෙන් වුවද ඒකාන්ත නිගමනයට බැස ගත යුත්තේ සිහියෙන් සහ නුවණින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව අවධාරණය කළහ. මේ හා සමාන තවත් උපදේශ 04 ක් විශුද්ධි මාර්ගයේ දක්නට ලැබේ. එනම් සුත්ත, සුත්තානුලෝම,ආචරියවාද, අත්තනොමති යන සතරයි. යමෙකු යම් කරුණක් ඉදිරිපත් කළ විට එය සූත්‍රයක දක්නට ලැබේද? නො ලැබේද? සූත්‍රයන්ට අනුලෝම ද හෙවත් එකඟ ද නැද්ද ,ආචාර්ය වාදයනට ගුරු පරපුරේ අදහස්වලට එකඟ ද නැද්ද තමාගේ මතයට ගැළපේද නොගැළපේද යනුවෙන් විමසා බලා වරදක් නැති බව පෙනී ගියහොත් මතුවට විමතියක් ඇති නොවීමට හේතු වන්නේ යැයි ස්වයං තීරණයකට එළඹ පිළිගැනීම වරදක් නොවන බව බුදුන් වහන්සේගේ අවවාදයයි. මේ අනුව සත්‍ය ගවේෂණයෙහිලා කෙතරම් උසස් නිදහසක් බුදුසමය අනුගමනය කරන ශ්‍රාවකයනට ලබා දී ඇත්ද ? යන්න වටහා ගත හැකිය.
මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වීමංසක සූත්‍රයේදී තථාගතයන් වහන්සේ ගැන පවා විමසා දැනගැනීමට අවකාශ ලබා දී ඇති බුදුන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හෝ තමන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව හෝ සැකයක් විමතියක් ඇති ඕනෑම අයෙකුට එම සැකය දුර කරගැනීම සඳහා ප්‍රශ්න කිරීමට හා විමසීමට තමන් වහන්සේ සහ තම ධර්මය විවෘත බව අවධාරණය කළහ. එනිසා බුදු දහෙමි සැඟවී ඇති අප්‍රකට කිසිවක් නොමැති බව විමංසක සූත්‍රය අනාවරණය කරයි.
මජ්ක්‍ධිම නිකායයෙහිම සඳහන් වන බ්‍රහ්මායු සූත්‍රයට අනුව බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කිරීමේ අරමුණින් උත්තර නම් තරුණ බ්‍රාහ්මණයෙකු සත් මසක් බුදුන් වැඩි මග උන්වහන්සේ පසු පසින් ගමන් කළ බව සඳහන් වන පුවතින් බුදුරජාණන් වහන්සේගේ විවෘතභාවය සහ සත්‍යායගවේෂණය සඳහා ලබා දුන් ඉඩහසර කෙබඳු දැයි වටහා ගත හැකිය.
එනිසා ලෝකයේ යථාර්ථය දැකීමට විවෘත මනසක් ඇති කරගත යුතුමය. පටු සීමා මායිම් හා දෘෂ්ටීන්ට අනුගතව යමක යථා ස්වභාවය අවබෝධ කරගත නොහැකි බව තවදුරටත් බුදුසමය අවධාරණය කරයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පත්ත නික්කුජ්ජන කර්මය යනු

පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු චෝදනාවක් කළ වඩ්ඪ නම් වූ ලිච්ඡවි පුත‍්‍රයාට ය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේ ය. ඒ මෙසේ ය.
මහණෙනි, අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළ යුත්තේ ය.
1. භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද?
2. භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේ ද?
3. භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නො පිවිසිට හැකි වනු පිණිස උත්සාහ කෙරේ ද?
4. භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරේ ද,
5. භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද,
6. බුදුන්ගේ අගුණ කියා ද,
7. ධර්මයේ අගුණ කියා ද,
8. සංඝයාගේ අගුණ කියා ද,

මහණෙනි, මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කිරීමට අනුදනිමි.
පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත‍්‍රය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැුස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත‍්‍රය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන්පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටියහොත් නැවත සංඝයා රැුස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සව්පසය පිළිගැන්වීමට අනකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.
අවධානයට
අතිපූජනීය රෙැරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචිත බෞද්ධයාගේ අත්පොත නමැති වටිනා ග‍්‍රන්ථය ඇසුරින්, නිවන් මාර්ගය පිටුව විසින් නිර්මාණය කරන ලද මෙම ලිපි මාලාවෙන් බුදුදහමේ මූලික කරුණු පැහැදිලි කරයි. මෙම කරුණු තේරුම් ගැනීමෙන් නිවැරදි මිනිසකු විය හැකිය. මෙම කරුණු මිතුරන් අතරේ share කරන්නා කළ්‍යාණ මිත‍්‍රයෙකි. ඔහු උසස් ධර්මදානයේ හිමිකරුවෙකි. තෙරුවන් සරණයි!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤