ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

අනුත්තරීය ධර්ම

මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

අප ජීවත් වන ලෝකයේ අපේ සිත ඇදෙන බැඳෙන විවිධ කරුණු කාරණා පවතිනවා. ඒ වෙනුවෙන් අපි විවිධ ක්‍රියාකාරකම් පවත්වනවා. ඒවා පිළිබඳ හොඳින් කරුණු විග්‍රහ කරලා බැලුවොත් ඒ බොහෝ ක්‍රියාකාරකම් අපේ මෙලොව තාවකාලික සුවපහසුව හෝ තාවකාලික වින්දනය සඳහා හේතු වෙනවා. බරතලම කාරණය වන්නේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා අපේ ඊළඟ භවය බොහෝ විට සසර ගමන දිගුකරවීමටත්, එපමණක් නොව මෙලොවත් පරලොවත් අතිශය දුක් විඳීමටත් හේතු වෙනවා.
මේ කරුණු පරිස්සමින් වටහා ගෙන ජීවිතය ගොඩ නගාගැනීම හැම කෙනෙකුගේම යහපතට හේතු වෙනවා. මේ කරුණ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා මෙන්න මේ ආකාරයෙන් කිසියම් අයෙක් මේ ලෝකයේ ජීවත් වන විට තමන්ටත් අනුන්ටත් අහිතකර යම් ක්‍රියාවක් කරනවා නම් හරි තමන්ගේ මුවින් යම් කිසිවක් කියනවා නම් එය තමන්ගේ මෙලොව පරලොවත් තැවීමට විපතට හේතු වෙනවාය කියන මේ කාරණය. එහෙම නම් අප කළ යුත්තේ කුමක්ද ?යන්නට අප විසින් බෞද්ධයන් වශයෙන් හිතනවා නම් තමන්ටත් අනුන්ටත් යහපත් වන වැඩයි. අප කිය යුත්තේ යහපත් වචනයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දේශනාවක් තිබෙනවා.

මෙහි සඳහන් දේශනාව ධර්මයෙහි අනුත්තරිය ධර්ම යන නමින් හැඳින්වෙනවා. මොනවාද මේ අනුත්තරිය ධර්ම? ඒවා අනුත්තරිය වන්නේ ඒ නිසා අපේ ජීවිතයට මෙලොවත් පරලොවත් සැනසීමක් උදා කරන නිසයි. එවැනි අනුත්තරිය ධර්ම හයක් උන්වහන්සේ පැහැදිලි කර දී තිබෙනවා ‘අනුත්තරිය සූත්‍රයේ’ දී. අපි දැන් ඒ එක එකක් ගෙන විමසා බලමු.

ශ්‍රේෂ්ඨ දැක්ම

එහි සඳහන් ආකාරයට පළමුවෙනි අනුත්තරිය ධර්මය මේ ආකාරයෙන් විස්තර කර තිබෙනවා. දැකීමෙන් හොඳ හොඳ දැකීම කුමක්ද? ඇත්තටම මේ දැකීම අපි ලබා ගන්නේ අපේ ඇස් දෙකින්. මේ ඇස් දෙක හරි විදියටත් වැරැදි ආකාරයෙනුත් යොදාගෙන ඒ දැකීම යන ක්‍රියාව අපට කරන්නට පුළුවනි.
අපේ ඇහැ පුහුදුන් බව නිසා එක්වර ම දුවන්නේ ඇහැ පිනවන දේවල්වලටය. ඒ නිසා අපි කැමැති කැමැති රූප පිටුපස දිව යනවා. කොපමණ නම් මේ නිසා ඒ කියන්නේ අප කැමති රූප (ස්ත්‍රී හෝ පුරුෂ) බෙදා ගන්න බැරිව විපත් කරදර වෙනවා ද කියලා අප හිතල බලන්න ඕන. අවි ආයුධ අතට අරගෙන දරුණු අපරාධ කරනවා මේ නිසා. පවුල් අවුල් වී දරු පැටවුන් පවා අතරමං වෙනවා.තව පැත්තකින් ගත්තහම පුරුෂයාගේ සිත ස්ත්‍රියගේ රූපය කෙරෙහිත් ස්ත්‍රියගේ සිත පුරුෂයාගේ රූපය කෙරෙහිත් දුව යන ආකාරය බුදුරජාණන් වහන්සේ මැනවින් පැහැදිලි කර දී තිබෙනවා. ඒ වගේ ම වෙනත් ඇහැ පිනවන චිත්‍රපට, නොයෙක් සංගීත හා නාට්‍ය දර්ශන, වාහන තරග ආදී නොයෙක් දේ බලන්නට යනවා.තවත් විදියකින් බොහෝ අවස්ථාවල නොයෙක් මිසදිටු මත ප්‍රකාශ කරන ඇතැම් අය, තාපසයන්, ශ්‍රමණයන් ආදී නොයෙක් අය පිළිබඳ ආරංචි වූ පමණින ්අප රැස් කකා ඒ තැන්වලට යනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ හැම පැත්තක්ම පිළිබඳ දැකීම උසස් ආර්ය වූවක් නො වන බවත් ඒ හැම එකක් දැකීමෙන් ම අපේ මේ පුහුදුන් හිත දුෂ්‍ය බවට පත් කරනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දෙන ශ්‍රේෂ්ඨ දැකීම වන්නේ මේ අපේ පුහුදුන් සිත එයින් ගලවා ගෙන ආර්ය මාර්ගය එසේත් නැත්නම් මේ සසර දුක් කන්දරාව අවසන් කිරීමට යම් ආකාරයකින් හේතු වන දැකීමයි. මෙහිදී ඒ දැක්ම හෙවත් දර්ශනය ලෙස, උන්වහන්සේ පෙන්වා දෙන්නේ බුදුපසේ බුදුරහත් උතුමන් වහන්සේලා හෝ අවම වශයෙන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක නාමයට උන්වහන්සේගේ ශ්‍රාවකයන්, ශ්‍රාවිකාවන්, උපාසක හෝ උපාසිකාවන්ගේ දැක්මයි. ඒ ගණයට වැටෙන පිරිස් දැක්මෙන් සසර දිගු කිරීමට දුක වැඩි කිරීමට හේතු නො වනවා පමණක් නොව එය මෙලොව වශයෙන් සිතේ නිවීමට ද හේතු වෙනවා. එපමණක් නොව දස කසිණ දස අසුබ ආදිය දැක්මෙන් සිතේ සන්සුන්බවක් ඇති කර ගැනීමට උත්තරීතර දැක්මක් වේ.

ශ්‍රේෂ්ඨ ඇසීම

මීළඟ අනුත්තරිය ධර්මය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ‘සවණානුත්තරිය’ යි නිතරම පුහුදුන් සිත දුවන්නේ මධුර ස්වරය සොයාගෙන ය. ඒ තුළින් තාවකාලික අස්වැසිල්ලක් අපේක්ෂා කරනවා. එහෙත් සැදැහැ ඇති අයගේ දෙසවන් යොමු කරන්නේ ධර්මශ්‍රවණයට. තෙරුවන් ගුණ අසා ඒ පිළිබඳ මෙනෙහි කරමින් සිතේ එකඟ බවක් ඇති කර ගැනුමටයි. එයින් සසර ගමනෙහි කෙටි කර ගැනීමක් සිදුවෙනවා. මෙයින් අවසාන වශයෙන් පැහැදිලි කරන්නේ ත්‍රිපිටක බුදුවදන් දෙසවණින් ඇසීමට අවස්ථාවක් සලසා ගැනුම යි. අප සාමාන්‍යයෙන් මෙලොව පරලොව මනා පැවැත්ම අපේක්ෂා කරමින් ගෙවල්වල ආරක්ෂාව සලසා ගැනීම අපේක්ෂා කරමින් පිරිත් ධර්ම දේශනා පවත්වා ගන්නවා. හැබවින් ම මේ පිරිත් දේශනාවක් පවත්වා ගැනීම යන්නෙන් අපි සාමාන්‍යයෙන් මෙලොව ආරක්ෂාව අපේක්ෂා කෙරුණත් එවැනි දේශනාවක් නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීමේ දී එම පිරිත් දේශනාවට අයත් සූත්‍ර දේශනාවන්හි අර්ථය ගැන දැනුමක් ඇතිව එය දේශනා කරවා ගැනීමෙන් එයින් මෙලොවටත් පරලොවටත් යහපත පිණිස විපුල ප්‍රතිඵල ලබා ගැනීමේ ශක්තිය තිබෙනවා. එම දේශනාවන්ගෙන් ප්‍රකාශ වන්නේ බුද්ධාදී රත්නත්‍රයේ ගුණ විශේෂයයි. එයින් ලැබෙන මෙලොව පරලොව සුගතියට හේතු වන ගුණ ධර්ම සමූහයක්. ඒ අනුව මෙලොව ජීවිතය සකස් කර ගැනුමෙන් ඒ අය මෙලොවත් පරලොවත් සුවයක් සැනසීමක් ලබනවා. එය වෙනත් දෙයකින් ලබන තාවකාලික සුවයක් නොව අනුත්තරිය සුවයකි.

ශ්‍රේෂ්ඨ ලැබීම

ලාභානුත්තරිය හෙවත් ලැබීම අතර ශ්‍රේෂ්ඨ ලාභය කුමක් ද? යන්න ඊළඟට පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් පුහුදුන් අපට ලාභය ලෙස හැඟෙන්නේ ධන ලාභයි. තවත් ආකාරයකින් කියනවා නම් මිල මුදල්, තෑගි බෝග, වතු පිටි, ගෙවල් දොරවල් ආදී දේපොල, හදිසි ධන ලාභයන් ආදියයි. තවත් පැත්තකින් බැලුව විට ශිල්ප ශාස්ත්‍ර කලාවන් පිළිබඳ දැකීමෙන් ලබන ලාභ ආදිය මේ අතර වෙනවා. එහෙත් මේ අනුත්තරිය ධර්ම සූත්‍රයට අනුව ලාභය ලෙස විස්තර වන්නේ ශ්‍රද්ධා, සීල, හිරි (පවට ඇති ලජ්ජාව) ඔත්තතප්ප (පවට ඇති භය) ශ්‍රැතය නැත්නම් ධර්මය පිළිබඳ බොහෝ දැනුම හෙවත් ඇසූ පිරූ තැන් ඇති බව, ත්‍යාගවන්ත බව නැත්නම් අත්හැරීමට ඇති ශක්තිය පිළිබඳ හැකියාව ප්‍රඥාව සම්පත්තිය හෙවත් මේ ලෝකය පිළිබඳ යථාර්ථයෙන් දැකීමට ඇති හැකියාව යන මේ සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත් වූ ආර්ය උතුමන්ට පමණක් විෂය වන ආර්ය ධන ලාභය උත්තරීතර ලාභය වන බව ප්‍රකාශ වෙනවා.

ශ්‍රේෂ්ඨ ඉගෙනීම

ඊ ළඟ අනුත්තරිය ධර්මය ලෙස සඳහන් වන්නේ සික්ඛානුත්තරිය හෙවත් ශික්ෂාවෙන්, අධ්‍යාපනයෙන් ලබන ශික්ෂණයෙන් උසස් වන්නේ කුමක්ද? යන්නයි. අප මේ ලෝකයේ ක්‍රමවත් අධ්‍යාපනයක් ලබනවා. විවිධ කලාවන්ගෙන් විද්‍යාවෙන් ලබන දැනුමෙන් තරගකාරී ව ඉහළ ම තත්ත්වයට යාමට ස්වභාවයෙන් ම උනන්දුවක් ඇති කර ගෙන ක්‍රියා කරනවා. මේ ස්වභාවය පෙරදාට වඩා වර්තමානය වන විට වඩාත් දැඩි ලෙස සමාජයේ ක්‍රියාත්මක වෙනවා. හැම මව්පියෙක්ම අපේක්ෂා කරන්නේ තම දරුවා අධ්‍යාපනයෙන්, විද්‍යාත්මක දැනුමෙන්, වෙනත් උසස් වෘත්තීන්ට අවශ්‍ය සුදුසුකම් සපුරා ලන දැනුමෙන් අනෙකුත් සියලු ශිෂ්‍යයන් පරදවා ප්‍රථමස්ථානයට පත් කර ගැනුමටයි. එහෙත් මෙම අනුත්තරියධම්ම සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ඒ සියලු විද්‍යා හා කලාවන් පිළිබඳ ලබන ශික්ෂණය හුදු තාවකාලික වින්දනයක් අරමුණු කොට පවතින බවත් එයින් ලබන ඵලය එක් භවයකට පමණක් සීමා වන බවත් එයින් අවසාන සැනසීමක් ලබා ගත නො හැකි බවත් ය. මෙහිදී වැදගත් කොට පෙන්වා දෙන්නේ බුදුදහමෙහි ඉගැන්වෙන සීල සමාධි හා ප්‍රඥා යන ත්‍රිශික්ෂාව සපුරා ගැනීම තුළින් පුද්ගලයාගේ භවගාමි සසර ජීවිතයට අවසාන විමුක්තියක් ගෙන දීමටත් සදාකාලික සැනසීමක් ළඟා කර ගැනීමටත් හේතු වන බවයි.

ශ්‍රේෂ්ඨ සත්කාරය

පස්වැනි අනුත්තරිය ධර්මය ලෙස බුදුදහමෙහි උගන්වනු ලබන්නේ ‘පාරිචරියානුත්තරිය’ යි. පුහුදුන් අප හැම දෙනෙක් ම යම් පිරිසකට හෝ පුද්ගලයෙකුට, කීපදෙනෙකුට නිරතුරු ව ම යම් යම් සේවාවන් කරනවා. ඒ විතරක් නොවේ සමහර අය බැලමෙහෙකාරකම් කරනවා. දාසයන් දාසියන් හැටියට ඔවුන්ගේ ගෙවල්දොරවල සේවය කරනවා. කුදුමහත් කටයුතුවල නිරත වෙනවා. අපේ අරමුණ වන්නේ අපෙන් සැලකිලි සම්මාන සත්කාර ලබන අය ඒ සැලකිලි මගින් තෘප්තිමත් කරවීමයි. ඔවුන්ගේ ඒ තෘප්තිමත්වීමේ ස්වභාවය ගත්විට එහි ද අපට සීමාවක් දක්නට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා දෙන අනුත්තරිය පාරිචරියාව වන්නේ බුද්ධාදි රත්නත්‍රයට කරන මෙහෙවර යි. එනම් මෙම ත්‍රිවිධ රත්නය විෂ යෙයහි අප විසින් දක්වනු ලබන සැලකිලි සම්මානයි. යම් ස්ථානයක රත්නත්‍රය වැඩ වාසය කරනවා ද එවැනි ස්ථාන පිරිසුදු කිරීම, මනාව පවත්වාගෙන යාම, එවැනි ස්ථානවල මනා සංවරයකින් යුක්තව ඉරියව් පැවැත් වීම, විශේෂයෙන් වෙහෙර විහාරස්ථාන මේ හා සම්බන්ධව ගත් විට තෙරුවන් වැඩ සිටින ස්ථාන ලෙස සලකා ගෞරව සම්ප්‍රයුක්තව එම ස්ථාන නඩත්තු කරමින් පෝෂණය කිරීම, විහාරස්ථානය පි‍්‍රය උපදවන, සිත් සන්සුන් කරන ස්ථානයක් බවට පත් කිරීම යන සියලුම ක්‍රියාකාරකම් මේ යටතට ගැනෙන බව පෙන්වා දෙන්නට පුළුවනි.

ශ්‍රේෂ්ඨ සිහිය

මීළඟට කියැවෙන අවසාන අනුත්තරිය ධර්මය වන්නේ අනුස්සකානුත්තරිය හෙවත් සිහිකිරීම ආදිය අතර උත්තරීතර සිහිකිරීම කුමක්ද? යන්නයි. අපේ සිහියට නැගෙන බොහෝ දේ තාවකාලික තෘප්තියකට මුලපාදන දේයි. එහෙත් අපේ සිහිකිරීමට ඉල්ලක්ක කරගත යුත්තේ බුද්ධාදී රතනසූත්‍රයේ ගුණ සමුදායයි.
එහෙමනම් බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ ආදිය මෙනෙහි කරමින් කල් යෑවීම මෙන්ම තවදුරටත් මෙත්තානුස්සති, අසුභානුස්සති වැනි භාවනාවට සුදුසු නිමිති මෙනෙහි කරමින් තමන්ගේ කාලය ගත කිරීම ද අතිශයින් වැදගත් වෙනවා. එයින් සිතට මහඟු සැනසීමක් ලැබෙනවා.
මෙහිදී මේ කියැවෙන සියලුම අනුත්තරිය ධර්ම අපට පුරුදු පුහුණු කර ගන්නට තිබෙන හොඳම ස්ථානය වන්නේ වෙහෙර විහාරස්ථාන වගේම සර්වරාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්වෙන ස්ථානවල දී යි කිවහොත් හැම දෙනාටම මෙය තේරුම් ගන්නට හැකි වෙනවා. පිරිත් මණ්ඩපයට තෙරුවන් ම අප වැඩමවනවා. එමෙන්ම පිරිත කියලා කියන්නේ තෙරුවන් ගුණ ප්‍රකාශ කර ඒ ශක්තියෙන් ආශිර්වාද කිරීමයි. එහිදී පිරිත් මණ්ඩපය තුළ තෙරුවන් වැඩ සිටිනු දැකීමෙන් ශ්‍රවණානුත්තරිය ද, පිරිත් ධර්මය සැදැහැයෙන් ශ්‍රවණය කිරීමෙන් ස්වණානුත්තරියෙන් ද, එම ශ්‍රවණයෙන් ලැබෙන ප්‍රතිඵල නිසා ලාභානුත්තරිය ද එවැනි ස්ථානයක දක්නට ලැබෙන විනයගරුක සංවරශීලි පැවැත්ම තුළින් සික්ඛානුත්තරිද, තෙරුවන් විෂයයෙහි එදින කරන සැලකිලි සත්කාර තුළින් පාරිචරියානුත්තරි ද, පිරිත් ධර්මයේ කියැවෙන ධර්මාන්විත කරුණු මෙනෙහි කිරීමෙන් අනුස්සතානුත්තරිය ද යන මේ සය ආකාරය අනුත්තරිය ධර්ම සම්පූර්ණ කර ගැනීමක් වන බව ප්‍රකාශ කරන්නට පුළුවනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤