ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සීල සමාදානය හා එහි අනුසස්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 
බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ 
කථිකාචාර්ය ආචාර්ය 
පනහඩුවේ යසස්සි හිමි

සීලය යනු කුමක්ද?

බුදුදහම පර්යාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේද වශයෙන් ත්‍රිවිධ ශාසනයකින් යුක්තය. මෙහිදී ප්‍රතිවේද සාසනය යනුවෙන් දක්වන්නේ සෝවාන් ආදි මාර්ගඵලවලින් යුතු නිර්වාණයයි. එය නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ලෙසින් ව්‍යාවහාර කරනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ බුදු,පසේබුදු , මහරහත් යන ත්‍රිවිධ මාර්ගයෙන්ම නිර්වාණය ප්‍රතිවේද කළ හැකි වීමයි. දෙවියන්, බඹුන් මැරුන් සහිත ලෝක සත්ත්වයන්ගේ හිත සුව පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර ධර්ම පර්යාප්ති සාසනයයි. නිර්වාණ ප්‍රාප්තිය සඳහා හික්මිය යුතු අධිසීල, අධිචිත්ත, අධිපඤ්ඤා, ධූතාංග සහ ආචර සීල සංවර සම්පත්තිය ප්‍රතිපත්ති සාසනයයි. පර්යාප්තියෙන් ප්‍රතිපත්තියත්, ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේදයත් සිදුවේ. කිසියම් කලෙක ප්‍රතිපත්තිය නැති වී යයිද එවිට සෙසු සාසනද්වය අතුරුදන් වේ. එබැවින් ප්‍රතිපත්තිය මත පදනම් වූ සීලය ඉතා වැදගත් අංගයක් ලෙස සඳහන් කළ හැකිය.
ප්‍රතිපත්ති ශාසනයෙහි පදනම විනයයි.විනයෝ නාම සාසනස්ස ආයු යනුවෙන් සමන්ත පාසාදිකාවෙහි ඒ බව සඳහන් වෙයි. විනය හික්මීම ලබාදෙයි. සීලයෙහි පරමාර්ථය ද හෙවත් හික්මීම පුද්ගලයා තුළ ඇති කිරීමයි. එබැවින් විනය යනු සීලයට අධිවචනයක් ලෙසද දැක්විය හැකිය.
මෙහිදී සීලය යනු කුමක්ද? යන්න පිළිබඳ නිර්වචනය කර ගැනීම ඉතා වැදගත් වේ. ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නාහුගේ හෝ වත් පිළිවෙත් පුරන්නාහුගේ චේතනාදී ධර්මයෝ සීලය යයි පටිසම්භිදාමග්ගයෙහි සඳහන් වෙයි. විසුද්ධිමග්ගයෙහි චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අවීතික්කම සීලය, යනුවෙන් සීලයට අර්ථ විවරණ සපයා ඇත. චේතනා සීලය නම් ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නාහුගේ හෝ වත් පිළිවෙත් පුරන්නාහුගේ චේතනාවන්ය. තවද චේතනා සීලය නම් ප්‍රාණඝාතාදිය අත් හරින්නහුගේ සප්ත කර්මපථ චේතනාය, චෛතසික සීලය නම් ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ විරති චෛතසිකයයි.අභිධ්‍යාව අතහැර පහ වු අභිධ්‍යාවෙන් යුතු වූ සිතින් වාසය කිරීමයි. සංවර සීලය යනු ප්‍රාතිමෝක්ෂ සංවරය, සති සංවරය, ඥාන සංවරය, ක්ෂාන්ති සංවරය හා වීර්යය, සංවරය යන පංචවිධ ආකාරයෙන් සංවර වීමයි. ප්‍රාණවධය ආදි දුශ්චරිත සමාදාන විරති, සමුච්ඡේද විරති වශයෙන් පුද්ගලයාගේ හෝ කුදු මහත් වත් පිළිවෙත් පුරන්නහුගේ සිතේ පිරිසුදු බව හෙවත් කෙලෙස් රහිතව ඇති කුශල චේතනාවේ ද සීලය වශයෙන් හඳුන්වනු ලැබේ.

කවර අර්ථයකින් සීල නම් වේද?

සීලය කුමන අර්ථයකින් යෙදෙන්නේ ද යන්න විමසීම ද මෙහිලා වැදගත් කරුණකි. ශීලනාර්ථයෙන් ශීල නම් වේ (සීලනට්ඨෙන සීලං) ශීලය යනු කාය කර්ම ආදීන්ගේ සුසිල්වත් බව හෙවත් නොවිසිරුණු බව යන අර්ථ ගම්‍ය වේ. කය, වචනය , හා සිත යන තිදොරින් සිදුවන අකුසල්වලින් වෙන්ව පවත්නා සුසීලභාවය සහ නාම රූප,අරූප ,ලෝකෝත්තර යන කුසලයන්ට මූලාධාර වන්නේය යන අර්ථයෙන් ශීලයයි කියනු ලැබේ’. කාය කර්මාදියේ පිරිසුදුකම හා කුශල කර්මයන්ට පිහිටවන බව ශීලයෙහි ලක්ෂණයයි. පව්කිරීම පිළිබඳ ඇතිවන විලි බිය දෙක ශීලයෙහි ආසන්න කාරණයයි.

සීලයෙහි ප්‍රභේද

විසුද්ධී මග්ගයේදි සීලය විවිධාකාරයෙන් වර්ගීකරණයන්ට ලක් කර ඇත. තමාගේ හීලෑවීම යන අර්ථයෙන් සීලය එක් වැදෑරුම්ය. චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය වශයෙන් සීලය දෙවැදෑරුම්ය. ආදි බ්‍රහ්මචරියක සීල හා ආභිසමාචාරික සීල වශයෙන් ද, විරති සීල අවිරති සීල වශයෙන් ද නිස්සිත සීල හා අනිස්සිත සීල වශයෙන් ද කාල පරියන්ත සීල හා ආපාණකෝටික සීල වශයෙන් ද සපරියන්ත සීල හා අපරියන්ත සීල වශයෙන් ද ලෞකික සීලය හා ලෝකෝත්තර සීලය වශයෙන් ද සීලය දෙවැදෑරුම් ය. හීන, මධ්‍යම හා ප්‍රණීත වශයෙන් සීලය තෙවැදෑරුම්ය. අත්තාධිපතෙය්‍ය සීල, ලෝකාධිපතෙය්‍ය සීල හා ධම්මාධිපතෙය්‍ය සීල වශයෙන් ද පරාමට්ඨසීල, අපරාමට්ඨසීල හා පටිප්පස්සමද්ධි සීල වශයෙන් ද විසුද්ධ සීල, අවිසුද්ධ සීල හා වේමතික සීල වශයෙන් ද සේක සීල අසේක සීල හා සේක අසේක සීල වශයෙන් ද සීලය ත්‍රිවිධාකාරය. හානභාගිය සීල, ඨිතිභාගිය සීල, විසේසභාගිය සීල හා නිබ්බේධභාගිය සීල වශයෙන් සිව් වැදෑරුම්ය. මීට අමතරව භික්ෂූ සීල, භික්ෂුණී සීල, අනුපසම්පන්න සීල හා ගහට්ඨ සීල වශයෙන් ද පකති සීල, අචාර සීල, ධම්මතා සීල හා පුබ්බහේතුක සීල වශයෙන් ද පාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය ,ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය වශයෙන් ද සිව් වැදෑරුම්ය. පරියන්තපාරිසුද්ධි සීලය අපරියන්තපාරිශුද්ධි සීලය, පරිපුණ්ණපාරිශුද්ධි සීලය, අපරාමට්ඨපාරිසුද්ධි සීලය, පටිප්පස්සද්ධිපාරිශුද්ධි සීලය වශයෙන් සීලය පස් වැදෑරුම්ය.
සමස්තයක් ලෙස ගත්කළ සීලය දෙවදෑරුම්ය. එනම් ගෘහස්ථ සීලය හා පබ්බජිත සීලය වශයෙනි. ගෘහස්ථ සීලය යනු ගෘහ ජීවිතයක් ගත කරන ගිහියා විසින් සමාදන් වන සීලයයි. පංච සීලය බ්‍රහ්මචරිය පඤ්ච සීලය,උපෝෂථ අෂ්ඨාංග සීලය,ආජීව අෂ්ටමක සීලය හා ගිහි දස සීලය යනු ගෘහස්ථයන් නිතර සමාදන් වන සීලමය ප්‍රතිපදාව වන අතර එය චාරිත්‍ර සීලයට අයත් වේ. භික්ෂු භික්ෂුණී යන පැවිද්දන් සමාදන් වන සීලය සාමණේර දස සීලය,උපසම්පදා සීලය ආදි වශයෙන් දැක්වේ. ඒ අනුව පංචසීලය, අෂ්ටාංගසීලය, දස සීලය ආදි සියලුම සීලයන්ට වඩා චතුපාරිශුද්ධි සීලය උසස් වන බැවින් අධිසීලය වශයෙන් හදුන්වනු ලැබේ. මෙසේ සතර සංවර සීලයෙන් යුතුව අධිසීලයට පත්වීම උපසම්පදාව වශයෙන් පැහැදිලි කළ හැකිය.

සිල් රැකිය යුතු ආකාරය

සීලය ආරක්ෂා කළ යුතු ආකාරය ද පෙළ දහමෙහි පැහැදිලිව සඳහන් වේ. මහාවග්ග පාලියේ එන පහත ගාථාවෙන් ඉහත කරුණ අර්ථවත් වෙයි.
යො ගවං න විජානාති 

නසො රක්ඛති ගොගණං 
එවං සීල අජානන්තො 
කිං සො රක්ඛෙය්‍යං සංවරං

යම් ගොපල්ලෙක් තමා රකින ගවරැලේ ගවයන් නොහඳුනන්නේ නම් ඔහු ගවරැල රැකීමට සමත් නොවන්නේය. ඔහුගේ ගවරැල ක්‍රමයෙන් පිරිහී යන්නේය. එමෙන්ම සීලය හරිහැටි නොදත් භික්ෂුවට උපසම්පදා සීලය රැකීම අපහසුය. මෙයින් අදහස් කරන්නේ සෑම අයෙක්ම තමාට අයත් සීලය පිළිබඳ මනා අවබෝධයක් පැවතිය යුතුය යන්නයි.
තවදුරටත් සීලය ආරක්ෂා කළ යුතු ආකාරය විස්තර කිරීමේදී ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රකිනා කිරල් දෙණක් සේ ද, ජීවිත පරිත්‍යාගයෙන් වල්ගය රකිනා සෙමෙර මුවකු සේ ද, ජීවිත පරිත්‍යාගයෙන් සිය එකම පුත්‍රයා රකිනා මවක සේද, එක් ඇසක් ඇත්තෙකු එය රකින්නේ යම් සේ ද, ඒ අයුරින් සීලය ද ආරක්ෂා කළ යුතුය. සිල් රකින පුද්ගලයකු එම අවස්ථාවේදී මරණයට පත් වුවහොත් දෙව් ලොව උපදින බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි.
කිකී ව අණ්ඩං චමරීව වාලධිං – පියං ව පුත්තං නයනං ව රක්කං 

තථෙව සීලං අනුරක්ඛමානකා – සුපේසලා හොථ සදා සගාරවා ති (විසුද්ධිමග්ග, සීල නිද්දේසය)
තවද සීලය බිඳ වැටීම සඳහා බලපානු ලබන හේතු සාධක රාශියක් ද පෙළ දහමෙහි සඳහන් වෙයි. ලාභ සත්කාර ලැබීම, කීර්ති, ප්‍රශංසා බහුලවීම, ශරීර හානි, ජීවිත හානි ආදිය නිසා සීලයට හානි සිදුවේ. මෙබඳු හේතු සාධක නිසා හෝ සීලය අපිරිසුදු වීමට ඉඩ නොදී ආරක්ෂා කිරීම තුළින් සීලය බැබළීමට ලක්වේ. මේ නිසා සිල් සමාදන් වූවන් තමා සමාදන් වූ සිල් පද නොකැඩෙන්නට, සිදුරු නොවන්නට හා දුබල නොවන්නට වගබලා ගත යුතුය. සීලය සදමාදන් වූ තැන් පටන්ම සීලයෙන් යුක්ත වුයේ ලෞකික ලෝකෝත්තර නුවණින් යුක්ත වූයේ එකි නුවණ සමඟ පැවැත්තේ මනාකොට සංසිඳුනේ අකුශල ධර්මයන් නැතිකිරීම පිණිස යොදන ලද වීර්යය ඇත්තේ නිවන් පිණිස යොදන ලද සිත් ඇති බැවින් ඒ පුද්ගලයා එතෙරවිය නොහැකි කාම ඕගාදී සතර වැදෑරුම් සංසාර නමැති මහා සැඩ පහර එතෙර කරන්නේ වෙයි. ලොව විද්‍යාමාන සෑම ආගමකම පාහේ කිසියම් වූ හෝ ශික්ෂණ ක්‍රමයක් විද්‍යමාන වේ. ඔවුන් ඒවා විවිධ නම්වලින් හඳුන්වන අතර බුදුදහමේ ශික්ෂණ මාර්ගය සීලය ලෙස අර්ථ ගන්වා ඇත. මේ තුළින් පැහැදිලි වන්නේ සීලය යනු බුදුදහමට පමණක්ම ආවේණික සංකල්පයක් බවයි.

සීලයෙහි අනුසස්

සීලයෙහි අනුසස් පහක් විසුද්ධිමාර්ගයෙහි සඳහන් වෙයි, “පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සීලවතො සීල සම්පදාය කතමේ පඤ්ච ඉධ භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අප්පමාධාධිකරණං මහන්තං භෝගක්ඛන්ධං වුද්ධිං ගච්ඡති...සීල සම්පන්නස්ස කල්‍යාණෝ කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති..යඤ්ඤදෙව පරිසං උපසංකමති, අමංකුභූතො..අසම්මූල්හො කාලං කරොති.. කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගලොකං උප්පජ්ජති...” (විසුද්ධිමග්ගය, සීල නිද්දේශය, සීලානිසංස කථා)
සිල්වත් වූ තැනැත්තා අප්‍රමාදය හේතුවෙන් මෙලොවදීම මහත් වූ භෝග සම්පත් ලබයි.
සීලවන්තයාගේ කල්‍යාණ වූ කීර්ති ඝෝෂාව උසස් ලෙස පැතිරෙයි
සීලවන්තයා ක්ෂත්‍රිය පිරිසක් වෙත හෝ බ්‍රාහ්මණ පිරිසක් කරා හෝ ගෘහපති පිරිසක් වෙත හෝ ශ්‍රමණ පිරිසක් වෙත හෝ යම්කිසි සභාවකට එළඹේ ද විශාරදවම මකු නොවූයේ වෙයි.
සිල්වත් තැනැත්තා සිහි නුමුලාව පහන් සිතින් මරණයට පත්වේ.
සිල්වත් තැනැත්තා කය බිඳීමෙන් මරණින් මතු දෙව්ලොව උපදී
මීට අමතරව සීලයෙහි තවත් අනුසස් රාශියක් ද විසුද්ධි මාර්ගයෙහි සඳහන් වෙයි. සිල් රක්නා භික්ෂුව සබ්‍රහ්මචාරීන්ට පි‍්‍රය මනාප වෙයි. ගරු කටයුතු හා සම්භාවනීය වෙයි. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිර්වාණාධිගමය ලද හැකි වීම දි සීලයෙහි ආනිසංසයෝය. බුදුදහම අවධාරණය කරන්නේ සාසනයෙහි කුල පුත්‍රයන්ට සීලය හැර වෙනත් පිහිටක් නැත. මේ ලෝකයෙහි සත්ත්වයන්ගේ රාගාදී කෙලෙස් වේද ඒකාන්තයෙන්ම සීල නමැති ජලය ඒවා පිරිසුදු කෙරේ. එම කෙලෙස් පිරිසුදු කිරීමට ගංගා, යමුනා, සරභූ, සරස්වතී. අචිරවති හා මහී යන ගංගාවන්හි ජලය ප්‍රමාණවත් නොවේයැයිද සඳහන් වෙයි. යමෙක් මනාකොට සීලය ආරක්ෂා කරන්නේ නම් අතිශයින් සීතල වූ එම සීලය මේ ලෝකයෙහි සත්ත්වයන්ගේ යම් පරිදාහයක් සන්හිඳුවන්නේ ද ඒ පරිදාහය මේඝ මාරුතයෝ ද නොසන්සිදුවති. හරි චන්දන ද නොසංසිඳවයි. මුක්තාරාරයෝ නොම සන්සිඳුවත්, මාණික්‍යයෝ නොසන්සිඳුවත්, සඳ රැස්හු ද නොම සන්හිඳුවත්. යම් සිල් සුවඳක් යටි සුළඟෙහි හෝ උඩු සුළඟෙහි හමයි ද ඒ සිල් සුවඳ හා සමාන වූ සුවඳක් තවත් නැත. සර්වර්ගයට යාමට හිනිමගක් වැනි වු ද නිර්වාණය නමැති නගරයට පිවිසීමෙහිලා දොරටුවක් වැනි වූ ද සීලය හා සමාන වූවක් ලොව තවත් නැත. සිල් නමැති අබරණින් සැරසුනා වූ යතිරවරු යම් සේ බබලත් ද මෙසේ මිණිමුතුවලින් සැරසුණු රජවරු ද නො බබළති. සීලය හැම කල්හිම සිල්වතුන්ගේ අත්තානුවාදාදි භය හැම අයුරින්ම දුරලයි. කීර්තියත් සතුටත් උපදවයි.

ඇති වූ දෙයක නැති වීම සහ ඇති වන බව නැති වීම අතර වෙනස

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ 
ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි


අපිට අද ඇත්තට ම ගොඩක්‌ දේවල් කරන්න නැහැ. අපි හිතාගෙන ඉන්නේ අවිද්‍යාව දුරු කරන්න ඕන. ආශාව දුරු කරන්න ඕන. ඕඝ, යෝග, ග්‍රන්ථ, නීවරණ, උපාදාන, කෙලෙස්‌, අනුසය, මේ ඔක්‌කොම අයින් කරන්න ඕන. ඊට පස්‌සේ සතර සම්‍යක්‌ ප්‍රදාන වඩන්න ඕන. සතර ඉද්ධිපාද වඩන්න ඕන. සතර සතිපට්‌ඨානය වඩන්න ඕන. පඤ්චේන්ද්‍රිය වඩන්න ඕන. පඤ්චබල වඩන්න ඕන. සප්ත බොඡ්ජංග වඩන්න ඕන. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න ඕන කියල. ඊගාවට තව යම්තාක්‌ කුසල ධර්ම තියෙනවා නම් ඒවා එකින් එක කරන්න ඕන කියලා. 

ඇත්ත, නෑ නො වෙයි. නමුත් මේක අසාධාරණයි. එකින් එක කෙලෙස්‌ නැති කරන්නත්, ඔක්‌කොම කුසල ධර්ම එකින් එක ඇති කර ගන්නත් කියලා දෙයක්‌ නෑ මේ සාසනේ. අකුසල ධර්ම දුරු කරන්න කියලා වෙන ම`ගකුත් නැහැ. අකුසල ධර්ම ඔක්‌කොම දුරු වෙන්න එක දෙයක්‌ කරන කොට කුසලධර්ම කියන ඒවා ඔක්‌කොම ඉබේ ලැබෙන්නේ, නමුත් කරන්න තියෙන්නේ එකයි කියන තැනටයි මේ ශාසනයේ තියෙන්නේ. 

මේ ඔක්‌කොම දේවල් කරන්න ආර්ය ආෂ්ඨාංගික මාර්ගය කියන එක ම මඟක්‌ විතරයි තියෙන්නේ. 

මා ඔය දැන් මතක්‌ කරන්න හදන කොටස ටිකක්‌ ගැඹුරුයි. හැබැයි කෙටියි. එක දෙයක්‌ කරන කොට යම්තාක්‌ අකුසල ධර්ම තිබෙයි නම් කෙලෙස්‌ ධර්ම තිබෙයි නම් ඒ ඔක්‌කොම අත්හැරෙන්නත් යම්තාක්‌ කුසල ධර්ම තිබෙයි නම් ඒ ඔක්‌කොම වැඩෙන්නත් තියෙන ක්‍රමයක්‌. 

මුලින් මා මතක්‌ කළේ සීලය සමාධිය නැති එකෙන් තමයි මේ හිතේ කතා කරන බව තියෙන්නේ. එක තැනක ඉන්න කොට අපේ හිතේ කතා කරන බව, තනිකම, ගොඩක්‌ සිතිවිලි දුවන බව තියෙනවා. ඔන්න ඔය දුවන ගතිය නතර කරගන්න තමයි සීල සමාධි දෙක තියෙන්නේ. නතර කරගන්න කියන්නේ හොඳට ම නො වෙයි. යම් ප්‍රමාණයකට හෝ අඩු කරගන්නයි. හොඳට ම නතර වෙන්නේ නැහැ. අඩු කරගන්නවා. එහෙම අඩු කරගත්තා ම, අපට ඊට පස්‌සේ මේ මනෝ විඤ්ඤාණ සම්ඵස්‌සය හරහා සම්පූර්ණයෙන් ම, මේ මාර්ගය ම උපදවාගන්න පුළුවන්කම තියෙනවා. අපට පුළුවන් මේ ඔක්‌කොම එක ම තැනකින් ජීවිතයට ගන්න. එකින් එක, එකින් එක මේ ඔක්‌කෝ ම ඕන නැහැ. එතැන දී අප දක්‌ෂ විය යුතුයි. චිත්තුප්පාදයෙහි - හිත උපදින කරුණෙහි සිත හඳුනාගැනීමට දක්‌ෂ විය යුතුයි. හිතේ ලක්‌ෂණය අල්ලගන්න දක්‌ෂ වෙන්න ඕන. 

මා දැන් තේරෙන ප්‍රමාණයට කෙටියෙන් සරල ව මතක්‌ කරන්නම්.

හිතේ දුවන වේගය ටිකක්‌ හරි අඩු වෙච්චි මට්‌ටමකට ගන්න ඕනෙයි කියලා, හිතේ සමාධියෙන්, සති නිමිත්තට සිත තබා ගන්න අපට ටිකක්‌ හරි පුළුවන්කම තියෙන්න ඕනි. එහෙම කෙනාටයි මේ දේ කරන්න පුළුවන් කියන එක හොඳට මතක තියාගන්න. ඔබට ඒක කරන්න බැරි නම් තාම මේ මං කියන තැනින් අල්ලගන්න බැහැ. සීලයයි සමාධියයි දෙක මා කලින් මතක්‌ කළේ ඒ නිසයි. ලෝකය තුළ රළු වැඩි වුණොත් හිතේ වේගය ගොඩක්‌ වැඩි වෙනවා. හිතේ දුවන වේගයේ අඩු වීමක්‌ වුණහම - හොඳට ම නතර වෙලා නො වෙයි - සති නිමිත්තට - කිසි දෙයක්‌ හිතෙන්නේ නැති ව - මොහොතක්‌ හරි අපිට හිත තියාගෙන ඉන්න පුළුවන් කියන මට්‌ටමට එනවා. ආවහම ඕන ම කෙනකුට පුළුවන්. 

දැන් එක තැනක ඉඳගෙන අපි භාවනා කරන්න හදනවා කියන්න කො. දැන් මේ විදර්ශනා කරන හැටියි මා කියන්නේ. ඉස්‌සෙල්ලා සීලය කිව්වා. මැදින් සමාධිය ගැන කෙටියෙන් කිව්වා. දැන් මේ විදර්ශනා කරන හැටියි මතක්‌ කරන්නේ. දහමක්‌ නුවණින් බලන හැටි. 

සති නිමිත්තට හිත තබා ගත්තහම අපට හම්බ වෙනවා. චිර කතම්පි, චිර භාසිතම්පි, සාරිතා අනුස්‌සරිතා - බොහෝ කල් සිට කිව්වා වූ, බොහෝ කල් සිට කළා වූ දේවල් අපිට සිහි වෙනවා. මෙන්න මේ දේවල්වලට සිහිය තබන්ඩ ඕන. දැන් අපිට හම්බ වෙන ඉලක්‌කය තමයි, බැහැර අනුව මේ විඤ්ඤාණය පිහිටන්ඩ දෙන්නේ නෑ කියලා. 

මොනවා හරි දෙයක්‌ සිහි වුණා ම, මතක්‌ වුණා ම, බැහැර තියන දෙයක්‌ කියන දැනුමෙන් නම් කියනවා බාහිර විඤ්ඤාණයේ පිහිටියා කියලා. උදාහරණයක්‌ හැටියට කිව්වොත්, ඔබට මෙනැත ඉඳගෙන ගෙදර සිහි කරන්න කිව්වොත්, ඔබට තේරෙනවා නම් බාහිර තියෙන ගෙදරයි සිහි වුණේ, සිහි කළේ කියලා, ඔබ ගේ විඤ්ඤාණය බාහිරවයි පිහිටලා තියෙන්නේ. දැන් වෙන්න ඕනේ දේ තමයි විඤ්ඤාණය, අපේ දැනුම බාහිර පිහිටන්නේ නැති වෙන්න ඕන. ගෙදර සිහි කරනවා කියලා අපි සිහි කරන කොට අපි හඳුනාගන්න ඕන ගෙදර සිහි කරනවා කියලා අපි කළේ අපේ ම මතකය සිහි කරගත්ත එක නේ ද? අපේ ම සිතිවිලි සිහි කරගත්ත එක නේ ද කියලා සිහි කරගත්ත විදිහට නුවණ ගෙනියන්න ඕන. තේරුනා නේ ද?

ඊට පස්‌සේ මෙතැන අපි දක්‌ෂ වෙන්න ඕනේ ඊගාව සිතුවිල්ලේ දී ගෙදර කියලා හිතෙන කොට ම ගෙදර කියලා සිහි වුණේ අපට නේ කියලා දකින්න. මුලින් ම අපිට බැහැර කියන ගතිය එනවා. එහෙම එද්දීත් අපි හිතනවා සිහි වුණේ අපට නේ කියලා. ඒ වුණාට අපේ ගෙදර තියෙනවා නේ කියන හැඟීම ආපහු එනවා. ගෙදර තියෙන්නේ එහේ කියලා. ඒ බව හිතෙන්නේ මෙහෙට නේ ද කියලා ආපහු හිතන්න දක්‌ෂ වෙන්න ඕන. "නෑ එහෙ නේ තියන්නේ" කියලා හිතෙනකොට "දැනෙන්නේ මට නේ. මෙතෙන්ට නේ" කියලා ආපහු හිතනවා.

ඔය වගේ එක අරමුණක්‌ පන්නාගෙන පන්නාගෙන යනවා. ඒ කියන්නේ මුලින් ම "දරුවා" කියලා සිහිවෙන කොට බාහිර කෙනෙක්‌ මයි සිහි වෙන්නේ. "දරුවා" කියලා සිහි වෙන කොට "නෑ මේක හිතේ පහළ වෙච්ච විතර්කයක්‌ නේ" කියලා බලනවා. "නෑ ඒ වුණාට එහේ ඉන්නේ" කියන වචනේ නැති වුණාට හැඟීම හිතට දැනෙනවා. බාහිරේ ඉන්නේ කියන එක. එතකොට ඒ හැඟීම ම අල්ලගන්නවා. "නෑ එහේ ඉන්නේ" කියලා දැනෙන්නේ මෙතෙන්ට නේ ද? ආපහු සිහි කරනවා. - (මේක එක පාරට අත හැරෙන්නේ නැහැ). 

විදර්ශනා කරනවා කියන්නේ එක ම අරමුණ පන්නාගෙන පන්නාගෙන යනවා. තේරෙනවා නේ ද? අපට මේක ජීවිතයේ අත්විඳින්න, කරල පෙන්නන්න පුළුවන්. 

මෙතැන දී එක කාරණාවක්‌ මට මතක්‌ කරන්න තියෙනවා. අපේ ඉලක්‌කය තමයි ඇති වන බව නැති වෙනවා කියන තැනට යන එක. ඇති වෙච්ච දේ නැති වීම හා ඇති වන දේක නැති වීම නිවන නො වෙයි. "ඇති වෙන බව නැති වීම" නිවනයි. ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ - ජාතිය කියන්නේ ඇති වීම නේ, ඉපදීම නේ. ඉපදීම නැති වුණොත් ජරා මරණ නෑ. ඇති වුණොත් නැති වෙනවා. උපන්නොත් මැරෙනවා. නූපන්නොත් මැරෙන්නේ නැහැ. ඒක මේ ක්‍ෂණික ව අපේ ජීවිතයට එනවා. ඇති වේච්ච දේක නැති වීම බැලීම තුළ වටිනාකමක්‌ නැහැ. හැබැයි ඇති වෙන බව නැති වෙන තැන බලන්න උපයෝගි කරගන්න ඕනේ ඇති වෙච්ච දේක නැති වීම බැලීම මයි. 

අපි මෙහෙම කියමු. අපිට "අම්මා" කියලා සිහි වෙනවා. "අම්මා" කියලා සිහි වුණේ සිතිවිල්ලක්‌ නේ ද කියලා, ඇති වෙච්ච සිතිවිල්ලේ නැති වීම අපි බලනවා. බැලුවාට "අම්මා ඉන්නවා නේ" කියලා ආයෙත් "අම්මා" කියලා සිහි වෙයි අපට. ආයෙත් "අම්මා" කියන අදහස ඇති වෙන කොට "අනේ මේක සිතිවිල්ලක්‌ නේ" කියලා අනිත්‍යය බලනවා. ඇති වෙච්ච එක නැති වීම බැලුවා කියලා ඇති වෙන බව නැති වෙන්නේ නෑ. අම්මා කියල සිහි වෙයි. යම් වෙලාවක අම්මා කියන අදහසේ සිහි වීම ම නැති වුණොත්, අදහස ඇති වෙන බව නැති වුණොත් නැති බවට බලන්න ඕනෙ නෑ - ඇති වෙන්නේ නැතිනම්. තේරුණා ද මේක? ඇති වෙච්ච දේක නැති වීම බැලුවා කියලා ඇති වෙන බව නැති වෙන්නේ නැහැ. ඇති වෙන බව නැති වුණොත් නැති බවට බලන්න ඕනෙ නෑ.

ඒ වගේ මෙතැන දි එක දෙයක්‌ තියෙන්නේ. භව පච්චයා ජාති - භවය නිසයි ඇති වීම වෙන්නේ. එක්‌ ක්‍ෂණික ව සිතිවිලිවල ඇති වීම තිබුණොත් තමයි, කර්ම භවය තිබුණොත් තමයි. එක්‌ ක්‍ෂණික සිතිවිලිවල ඇති වීම යම්තාක්‌ ද, මේ එක්‌ ක්‍ෂණික ඇති වීම ඇතිතාක්‌ තමයි ප්‍රතිසන්ධි වශයෙන්, සන්තති වශයෙන්, ජාතිය කියන එකක්‌ පෙනෙන්නේ. මරණාසන්න මොහොත වෙන කොටත් අපට සිතිවිලිවල ඉපදීම නැති වෙලා නැතිනම්, යම් සිතුවිල්ලක්‌ ඇති වුණොත් ඇති වෙච්ච එක තණ්‌හා උපාදාන වෙලා තමයි අප යන්නේ. අද අපට එක්‌ ක්‍ෂණිකව ඇති බව, ඇති වීම නැති කරන්ඩ පුළුවන් නම් ඉපදීම නැති කරන්න පුළුවන් නම්, සන්තතිය කියන එක ඉබේ මයි නැති වෙන්නේ. 

ගිනි වලල්ල නැති වුණාට ගිනි පෙනෙල්ලක්‌ තියෙන්ඩ පුළුවන්. ගිනි පෙනෙල්ල නැති වුණොත් ගිනි වළල්ල ඉබේමයි නැති වන්නේ නේ ද? ගිනි පෙනෙල්ලක්‌ කරකවන කොටයි ගිනි වළල්ලක්‌ හැදෙන්නේ. ගිනි වළල්ල අපට නැති කරන්න පුළුවන්. කොහොම ද? ගිනි පෙනෙල්ලේ වේගය නවත්තපුවහම. නමුත් ගිනි වළල්ල නැති වුණා කියලා ගිනි පෙනෙල්ලක්‌ නැති වෙනව ද? ගිනි පෙනෙල්ල නැති වුණොත් ගිනි වළල්ල නැති වෙනවා. ගිනි පෙනෙල්ල වගේ තමයි එක්‌ ක්‍ෂණික ව එක්‌ ක්‍ෂණික ව ස්‌කන්ධයන් ගේ පැවැත්ම තියෙන්නේ. ඒ පැවැත්ම තුළ තමයි බොහෝ දේ ඇති බවට, ලෝකයේ ඇති බවට වළල්ලක්‌ තියෙන්නේ අපට. එක්‌ ක්‍ෂණික ව ස්‌කන්ධයන් කියන තැනට ගත හැකියි. එතකොට මේ වළල්ලෙන් එන පීඩාව නෑ. නමුත් ගිනි පෙනෙල්ල තියෙනවා නේ. ගිනි පෙනෙල්ල ද නැති වුණොත් ඒ එක්‌ ක්‍ෂණික ධර්මයන් ගේ ඉපදීම නැති වුණොත් මෙයා මේ ගිනි වළල්ලෙන් මිදෙනවා කියන එක වෙන්නේ ඉබේමයි. ඒ වගේ මා මේ කතා කරන තැන ටිකක්‌ ගැඹුරු සිද්ධියක්‌.