ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

චතුරා රක්‌ඛා ප්‍රතිපදාව හෙවත් සතර ආරක්‍ෂක කමටහන්

මිනිස්‌ සිත පාලනය කරන්නට තාක්‍ෂණය, නවීන විද්‍යාව හෝ වෙනත් කිසිම නවීන උපකරණයක්‌ මෙවලමක්‌ යොදා ගන්නට බැහැ. මිනිස්‌ සිත පාලනය කර ගත හැකි එකම ක්‍රමය සිත සුද්ධ පවිත්‍ර කර ගැනීම පමණි. සිත කෙලෙස්‌ වලින් කිළිටි වූ විට අඳුරු වූ විට, දුප්පත් වූ විට, අඥාන වූ විට සිත පාලනය කර ගත නොහැකි වූ විට සිත විසිරෙනවා, කම්පනයට, බයට, වේදනාවට, චලනයට විස්‌සෝපයට පත් වෙනවා. මානසික රෝග මතුවෙනවා. සිතේ ඇති කෙළෙස්‌ ගති අස්‌කර ඉවත් කර සිත පිරිසිදු කර ගන්නට නම් මනසේ හැකියාව මනින්ද්‍රිය යෝනිසෝ මනසිකරණ ශක්‌තිය භාවිතා කරන්නට ම ඕනෑ. මනින්ද්‍රියට පමණයි සිත ශික්‍ෂණය කරගෙන, පාලනය කර ගෙන සිතට වහල් නොවී කටයුතු කළ හැකි වන්නේ, සිතට වහල් වීමෙන් මනස අවුල් වෙනවා.

මනින්ද්‍රිය භාවිතා කරන්නට පුරුදු පුහුණු වීම තමයි භාවනා කරනවා ය කියන්නේ. මනින්ද්‍රිය භාවිතා කරන කෙනෙකු සිතට වහල් වීමෙන් ප්‍රිය දේවල් හඹා යන්නේ නැහැ. අප්‍රිය දේවල් සමඟ ගැටෙන්නෙත් නැහැ. ඒ නිසා මෝහයෙන් මුළාවීමක්‌ ද නැහැ. උපේක්ඛා සිතින් ඉවසලා විමසලා කටයුතු කරන්නට පුරුදු වෙනවා. සැබෑ භාවනාවෙහි හරය තමයි ඉවසලා, විමසලා හේතු ඵල දහමට බහා ගලපා බලා විනයට සස¹ බලා උපේක්ඛා සිතින් ක්‍රියා කරන්නට පුරුද්දක්‌ පුහුණුවක්‌ ලබා ගැනීම.

එක තැනකට වෙලා ගල් පිළිමයක්‌ වගේ නොසැලී තම කායික වේදනාවන් විඳදරා ගෙන හුස්‌ම රැල්ල දෙසම බලාගෙන හිඳිමින් කාලය ගෙවීමත් එක්‌තරා භාවනාවක්‌ වන නමුත්, මේ ක්‍රමය අනාර්ය ප්‍රාණයාම භාවනාවක්‌ ලෙසයි බුද්ධ දේශනාවේ පැහැදිලි කර දෙන්නේ. මෙහෙම කය පාලනය කරන්නට පුරුදු පුහුණුවීමත් යම් ආකාරයකින් කය හික්‌මවීමක්‌, ශික්‍ෂණයක්‌ වන නමුත් මනස මනින්ද්‍රිය පාලනය කර ගන්නට එතැනදී හැකියාවක්‌ ලැබෙන්නේ නැහැ. බුද්ධ භාවනාව කියන්නේ මනින්ද්‍රීය භාවිතා කරලා හිත පාලනය කර ගැනීමයි.

භාවනාවෙන් නැගිටලා සාමාන්‍ය සමාජ පරිසරයට එදිනෙදා කටයුතු වලට අනුගත වීමත් සමඟම තමන්ගේ සංසාර ගති පුරුදු ඉස්‌මතු වෙලා නැවතත් ප්‍රිය දේට ඇලෙන්නටත්, අප්‍රිය දේ සමඟ ගැටෙන්නටත් සිද්ධ වන්නේ මනින්ද්‍රය භාවිත කරන්නට පුරුද්දක්‌ පුහුණුවක්‌ ඇති කර නොගැනීම නිසයි. හිතටම වහල් වී කටයුතු කිරීම නිසයි.

මනින්ද්‍රිය භාවිත කරන්නට පුරුදු පුහුණු වෙනවාය කියන්නේ සිතට අරමුණු වන සියලුම අරමුණුq මනසින් තෝරා බේරා, මැන බලා භාවිත කළ යුතු අරමුණු භාවිතා කරන්නටත්, භාවිත නොකළ යුතු අරමුණු භාවිත නොකර බැහැර කරන්නටත් පුරුදුÊපුහුණු වීමයි. භාවිත කළ යුතු අරමුණු කරණීය ධර්ම හැටියටත්, භාවිත නොකළ යුතු දේ අකරණීය ධර්ම හැටියටත් බුද්ධ ධර්මයේ විග්‍රහ වෙනවා. මේ දෙපසට බෙදීම ද්වතා අනුස්‌සතිය ලෙස බුද්ධ භාෂිතයේ හඳුන්වා දීලා තිබෙනවා.

චිත්ත සංතානය කිළිටි වන කාම විතක්‌ක විචාර, ව්‍යාපාද විතක්‌ක විචාර, විහිංසා විතක්‌ක විචාර, භාවිතා නොකළ යුතු දේ හැටියටත්, තම චිත්ත සංතානය පිරිසිදු වන නෙක්‌ඛම්ම සවිතක්‌ක සවිචාර මෙත් සිත වඩවන සවිතක්‌ක සවිචාර සහ අවිහිංසා සවිතක්‌ක සවිචාර මෙන්ම වීතරාගී වීතදොaෂී, වීතමෝහී සවිතක්‌ක සවිචාර භාවිතා කිsරීම කරණීය ධර්ම හෙවත් භාවිත කළ යුතු අරමුණු ලෙසත් අවබෝධ කර ගත යුතුය.

ඇස, කන, නාසය, දිව, කය හා මන පිනවා තාවකාලිකව ලබන ආමිස වින්දනයක්‌ සුවයක්‌ ලබන්නට පෘථග්ජන පුද්ගලයන් හැටියට මෙතෙක්‌ දීර්ඝ කාලයක්‌ සංසාරයේ පුරුදු පුහුණු වී කටයුතු කළත්, දැන් ඒ ගති ගුණ වලින් ඉවත් වූ නිරාමිස සුවයක්‌, ප්‍රීතියක්‌ ලැබෙන ක්‍රියාකාරකම්වලම යෙදෙන්නටත්, පුරුදු පුහුණු විය යුතුයි.

හිතට අරමුණු වන සඳ්C¹වන් පිරිසිදුව දැක ගෙන වෙන් කර තෝරා බේරා ගන්නට යම් කිසි පුරුදු පුහුණුවීමක්‌ අවශ්‍යමයි. මේ පුරුදු පුහුණුවීම තමයි මනින්ද්‍රිය භාවිතා කරලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම කියලා බුද්ධ භාෂිතයේ විග්‍රහ කරන ලද ක්‍රියාවලිය. මනස භාවිතා කරලා ඉවසලා විමසලා පරීක්‍ෂණ, නිරීක්‍ෂණ කරලා නිගමනයකට බැස ගැනීම තමයි යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන්නෙකුගේ නියත හැසිරීම් රටාව වන්නේ, මෙතැනදී අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම නවතිනවා. හිතට වහල් වෙලා හැඟීම්වලට ඉඩදීලා කටයුතු කිරීමෙන් වෙන්වෙලා මනස භාවිත කරන්නටත් කරණීය ධර්ම හා අකරණීය ධර්ම වෙන් කොට හඳුනා ගන්නටත් පුරුදු වෙනවා. කරණීය ධර්ම භාවිත කළ යුතුයි. අකරණීය ධර්ම බැහැර කළ යුතුයි.

"සබ්බ පාපස්‌ස අකරණං' කීවේ භාවිත නොකළ යුතු අකරණීය ධර්මයෙන් කොටසයි. 'කුසලස්‌ස උපසම්පදා' කීවේ භාවිත කළ යුතු කරණීය ධර්මයන් කොටසයි.'සේවිතබ්බා' කීවේත් භාවිත කළ යුතු සේවනය කළ යුතු ධර්මයෝයි "අසේවිතබ්බා' කීවේ සේවනය නොකළ යුතු බැහැර කළ යුතු අධර්මයන් කොටසටයි. 'අස්‌ස්‌, 'ආන' කියන පද වලින් බුද්ධ භාෂිතයේ බොහෝ තැන්වල පෙන්වා දුන්නේ ද ආශ්‍රය කළ යුතු, ඇතුළට ගත යුතු යහපත් ධර්මයන් කියන අදහස, අර්ථය ඇතිවයි. එසේම 'පස්‌ස්‌, 'පාන' කියන පද වලින් පෙන්වා දුන්නේ බැහැර කළ යුතු ප්‍රහාණය කළ යුතු ඉවත් කළ යුතු අයහපත් ධර්මයන් කියන අර්ථයෙනුයි.

ආශ්‍රය කළ යුතු වන්නේ සුදු ධර්මයන් ය. චිත්ත සන්තානය හා මනස යන දෙකම පිරිසිදු කරන, පවිත්‍ර කරන, කුණු සලා හැර අස්‌කර දමන්නට උපකාර වන ක්‍රියාකාරකම් ආශ්‍රය කළ යුතුයි. ප්‍රහාණය කර අස්‌කර දැමිය යුත්තේ කළු ධර්මයන් ය. චිත්ත සංථානය කිළිටි කරන, මනස මුවහ කර මෝහය මතු කරන කෙළෙස්‌ ධර්මයන් සිතින් ගලවා සහමුලින් ම ඉවත් කර දැමිය යුතුය.

මේ කළු සුදු යන ධර්මයන් දෙකම ඇතුළට ගැනීමටත්, පිට කිරීමටත්, උපකාර කර ගත හැකි දොරවල් හයක්‌ හැම කෙනෙකුටම උපතින්ම ලැබී ඇත. මේ දොරවල් හයෙන් ඇතුළට ගැනීමේ ක්‍රියාවත්, පිටතට බැහැර කිරීමේ ක්‍රියාවත් යන දෙකම හැම මිනිසෙකුටම පාලනයට කළ හැකිය. නමුත් ඇතුළට ගත යුතු දේ මොනවාද, පිටතට බැහැර කළ යුතු දේ මොනවාද, යන්න තීරණය කිරීමත්, ඒ තීරණ ක්‍රියාත්මක කිරීමත් හැම මිනිසෙකුටම එක හා සමානව කළ නොහැකිය.

තමාට ප්‍රිය දේ ඇතුළට ගැනීමත් අප්‍රිය දේ බැහැර කිරීමත් පෘථග්ජන සියලු දෙනාගේ සංසාර පුරුද්දයි. කළු ධර්ම (කෙළෙස්‌) බැහැර කිරීමත්, සුදු ධර්ම චිත්ත සන්තානය හා මනස පිරිසිදු කරන වීතරාගී, වීතද්වේශී, වීතමෝහී ක්‍රියා ආශ්‍රයට ගැනීමත් ධර්මාවබෝධය ලැබූ ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන පුද්ගලයකුගේ ප්‍රතිපදාවයි.

මෙය ආර්ය විනයෙහි බුද්ධ භාෂිතයෙහි පෙන්වා වදාළ ආනාපාන සති භාවනාවයි. සතර සතිපට්‌ඨානයෙහි පිහිටා කටයුතු කළ හැකි වන්නේ මෙලෙස ආනාපාන සතියෙහි පිහිටා කටයුතු කරන්නට පුරුදුÊපුහුණු වීමෙනි.

චතුරා රක්‌ඛා - සතර කමටහන්

"බුද්ධානුස්‌සති මෙත්තාච, අසුභං, මරණස්‌සති, ඉති ඉමා චතුරා රක්‌ඛා භාවෙයිය සීලවා'' යනුවෙන් බුද්ධ දේශනාවේ පෙන්වා වදාළ සතර කමටහන් වන්නේ.

01. අසුභානුස්‌සතිය

02. මෙත්තානුස්‌සතිය.

03. මරණානුස්‌සතිය

04. බුද්ධානුස්‌සතිය යන සතර කමටහන් වැඩීමයි.

දස අනුස්‌සති අතරින් ඉතාමත් වැදගත් මෙම අනුස්‌සති සතරම එකට භාවිත කරන්නට පුරුදුවීම තුළින් සතර සතිපට්‌ඨානයමත් සම්පූර්ණ වන්නේය. සමථ විපස්‌සනා දෙකමත් සම්පූර්ණ වන්නේය. ෙච්තෝ විමුක්‌තිය හා ප්‍රඥා විමුක්‌තිය යන උභතෝ භාග විමුක්‌තියමත් පරිපූර්ණ වන්නේය.

මේ චතුරාරක්‌ඛා නමැති සතර කමටහන් පූර්ව කෘතියක්‌ සේ එසේ නැතිනම් භාවනා කරන්නට පෙර කර ගත යුතු ආරක්‍ෂාවක්‌ ලෙසින් බොහෝ භාවනා මධ්‍යස්‌ථානවල අද වන විට වරදවා තේරුම් ගෙන පද පරම ලෙසින් භාවිතා කරන බව පෙනේ.

මේ සතර කමටහන් යනු හොඳින් කටපාඩම් කරගෙන උදේ සවස කියව කියවා ඉන්නට අනුදැන වදාළ දෙයක්‌ නම් නොවේ. මේ සතර කමටහන් වලින් පෙන්වා දුන්නේ දවසේ නිදා ගන්නා මොහොතේදී හැර අනෙක්‌ හැම අවස්‌ථාවකදීම ප්‍රායෝගිකව භාවිතා කළ යුතු ආනාපාන සති භාවනාවකි.

මේ සතර කමටහන් භාවිත කිරීම යනු ආරක්‍ෂක ආයුධ හතරක්‌ භාවිතයට ගැනීමකි. මේ ආයුධ හතර පිළිබඳවම හොඳින් දැන නිසි කලට වේලාවට නිසි ආයුධයම තෝරා බේරා ගෙන භාවිතයට ගැනීමෙන් සිතෙහි මතුවන කෙළෙස්‌ ගති කපා දමන්නට පුරුදුÊපුහණුවීම මගින් සතර සතිපට්‌ඨානයම සම්පූර්ණ වන්නේය.

රාගක්‌ඛයෝ නිබ්බානං, ද්වේශක්‌ඛයෝ නිබ්බානං, මෝහක්‌ඛයෝ නිබ්බානං යනුවෙන් බුද්ධ දේශනාවෙහි සඳහන් වන පරිදි රාගය, ද්වේශය හා මෝහය සහමුලින් ම උදුරා දමා සිත නිදහස්‌ කර ගන්නට මේ සතර කමටහන් තරම් උපකාර වන අන් දෙයක්‌ නැත්තේය. පුද්ගලයා සත්වයා, සංසාරය ගැටලුවට බැඳ තබන බැමි තුනම කපා දමන්නට අනුගමනය කළ යුතු නිවැරැදි හා පහසුම ප්‍රතිපදාව මේ සතර කමටහන් භාවිතා කිරීමය.

මම නිදුක්‌ වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුපවත් වෙම්වා, මම දුකින් මිදෙම්වා යනාදී වශයෙන් සම්මතයෙන් තමාටම මෙත් වැඩීමට කියෑවෙන පාඨයන් මෙත්තානුස්‌සතිය වැඩීමක්‌ නම් නොවේ.

'ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධස්‌ස්‌ ආදී වශයෙන් බුදු ගුණ ගායනා කිරීම ද බුද්ධානුස්‌සතිය ප්‍රගුණ කිරීමක්‌ නොවේ. 'ජීවිතං අනියතං, මරණං නියතං' ආදී වශයෙන් මරණය සිහිපත් කරන පදවැල් ගායනා කිරීම ද මරණානුස්‌සතිය වැඩීමක්‌ නොවේ.

පිළිකුල් භාවනාවක්‌ කිරීම අසුභානුස්‌සතිය භාවනා කිරීමක්‌ නොවේ. නිවන් මඟ සම්පූර්ණ වන්නට නම් මේ සතර කමටහන් පිළිබඳව යථා අවබෝධයක්‌ ලබා ගෙන, කරගත යුතු කරණීය ධර්මයන් හා අස්‌කර ගත යුතු අකරණීය ධර්මයන් පිළිබඳව නිසි අවබෝධයෙන් යුතුවම සතර කමටහන් භාවිත කරන්නට පුරුදු විය යුතුය.

ධර්මාවබෝධයක්‌ නැති, සම්මතයෙහි මපිහිටා ක්‍රියා කරන පෘථග්ජන පුද්ගලයෙකු මෙත්තානුස්‌සතිය වැඩීම, මරණානුස්‌සතිය වැඩීම, අසුභානුස්‌සතිය වැඩීම හා බුද්ධානුස්‌සතිය වැඩීම යනුවෙන් කරනු ලබන මෙනෙහි කිරීම හෝ ගායනා කිරීම හරයක්‌ නැති දෙයක්‌ පමණි.

සතර කමටහන් භාවිතය සඳහා පළමු කොට ම පැහැදිලි ධර්මාවබෝධයක්‌ ලබා ගත යුතුයි. සංසාර ගැටලුවට තමන්ම බැඳ තබන බැමි දැක, එවන් බැමි තම තමන්ගේ ම චිත්ත සන්තානයේම දෛනිකව සකස්‌ වන ආකාරය ද දැක ගන්නට තරම් ධර්මාවබෝධයක්‌ පළමුවෙන් ම ලබා ගත යුතුයි. මෙය සුතමයේ ඤාණය ලැබීමයි.

පංචස්‌කන්ධයන්ම උපාදානය කර ගන්නා ආකාරයත්, පංචස්‌කන්ධයන්ම උපාදානය කර ගන්නට හේතුව වන සමුදය සිතෙහි බිහිවන ආකාරයන් යළි යළිත් ඉපදි ඉපදී මැරි මැරී මේ සංසාර ගමන දිගටම පවත්වන්නට මුල් වූ හේතුවත් දැක ගත් විට ඔහු ධර්මාවබෝධයක්‌ ලැබූ සතර කමටහන් භාවිත කරන්නට සුදුසු වූ කෙනෙකු බවට ද පත් වෙයි.

මේ සංසාර රිය ගමන උත්සාහයක්‌ නැතිව ම අනායාසයෙන් ම නොනවත්වාම අඛණ්‌ඩවම ඉදිරියට ගලා යන්නට හේතු භූත වූ මූලික කාරණය චිත්ත සංථානය කෙළස්‌ වලින් පිරී කිලිටි වී පැවතීමයි. සංසාර රිය ගමන දිගින් දිගටම ඉදිරියටම පවත්වා ගෙන යන්නට යම් විශේෂ ඤාණයක්‌, ධර්මාවබෝධයක්‌ හෝ පර්යේෂණයක්‌ වැනි දෙයක්‌ කළ යුතු නොවේ. විඤ්ඤාණය නිරන්තරව තම පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර සොයා සපයා ගන්නට උත්සාහ දරනු ඇත. සත්වයා මුලාවේ දමා, සත්‍යය වසන් කර විඤ්ඤාණයේ පැවැත්ම උදෙසා ම පෘථග්ජන සිත ක්‍රියා කරනු ඇත.

බුද්ධ දේශනාවෙහි පෙන්වා වදාළ චතුරාරක්‌ඛා යනු ආරක්‍ෂක ආයුධ හතරකි. රාග, ද්වේශ, මෝහ නමැති කෙළෙස්‌ සතුරන් කපා සිඳ දමන මෙම ආරක්‍ෂක ආයුධ හතර සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයකු රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ක්‍රියා කරන විට මොට්‌ට වන නිසා කෙළෙස්‌ සතුරන් කපා දමන්නට එය සමත් නොවේ.
සනත් ලියනගේ