ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සැබෑ ලෙසම කළකිරිය යුතු කරුණු මෙන්න


අප පුදුමාකාර භාග්‍යවන්ත පිරිසක්‌ බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නැහැ. ඒ අප ඉපදී සිටින්නේ ඒ ගෞතම තථාගතයන් වහන්සේ ලෝකයේ පහළවී තිබෙන කාලයකදී. භාග්‍යවතුන් වහන්සේ තමයි අපිට දේශනා කළේ ජීවිතයේ සැබෑම අර්ථය ජීවිතයේ සැබෑම ස්‌වරූපය අනිත්‍ය, දුක්‌ඛ හා අනාත්ම යන ත්‍රිලක්‌ෂණය බව. 

අද දින ඔබට ත්‍රිලක්‌ෂණය පිළිබඳව තවදුරටත් ඉතා මනාකොට ඉගෙනගන්න ලැබෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළ තවත් සුන්දර දේශනාවක්‌ තුළින්. ඒ දේශනාවේ නම දුතිය බාහිරනිච්ච සූත්‍රය. අප මීට පෙර ඉගෙන ගත්ත 'බාහිරානිච්ච' සූත්‍රය. එහිදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ හා අරමුණු පිළිබඳව අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් අපි ඉගෙන ගත්තා. එහිදී වැටහුණා අප දකින රූප, ඇසෙන ශබ්ද, ආඝ්‍රාණය කරන ගඳ සුවඳ, දිවට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු සියල්ලම අනිත්‍ය බව. ඒ කියන්නේ වෙනස්‌වන බව. ඒ වගේම ඒ නිසා දුක්‌ බව. ඒ වගේම අපේ වසඟයේ පවත්වන්න බැරි බව.

මේ දුතිය බාහිරානිච්ච සූත්‍රයේදී අපේ භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් විස්‌තර කරනවා මේ බාහිර ආයතනවල තිබෙන අනිත්‍ය, දුක්‌ඛ හා අනාත්ම ස්‌වභාවය ගැන. උන්වහන්මේ මේ ආකාරයෙන් දේශනා කරනවා. 'රූපා භික්‌ඛවේ අනිච්චා අතීතානාගතා' යනුවෙන්. ඒ කියන්නේ අතීත වූත්, අනාගත වූත් රූප අනිත්‍යයි කියන එක. වර්තමාන රූපවල ඇති අනිත්‍ය ස්‌වභාවය ගැන කවර කතාද? (කෝ පනවාදොa පච්චුපන්නානං) මේ ආකාරයෙන් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සැබෑලෙස දකින විට අතීතයට ගිය රූප පිළිබඳව අපේක්‌ෂා රහිත වෙනවා. (ඒවා පස්‌සං භික්‌ඛවේ සුතවා අරියසාවකෝ අතීතේසු රූපේසු අනෙපෙඛෝ හෝති) . ඒ වගේම අනාගත රූප පිළිගන්නේ නැහැ. (අනාගතේ රූපේ නාභිනන්දනි). වර්තමාන රූප පිළිබඳව කලකිරීම පිණිස (නිබ්බිදාය), නොඇල්ම පිණිස (විරාගාය), තෘෂ්ණාව නැති කිරීම පිණිස (නිරෝධාය) පිලිපන් කෙනෙක්‌ බවට පත්වෙනවා. (පටිපන්නෝ හෝති)

සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයාගේ ස්‌වභාවය නිරන්තරයෙන්ම ලස්‌සන, ලස්‌සන රූපවලට ඇලී ගැලී වාසය කිරීමයි. රූපයේ අනිත්‍ය ස්‌වභාවය ඒ කියන්නේ වෙනස්‌වන ස්‌වභාවය ඔහු දකින්නේ නැහැ. ඔහු ඒ ලස්‌සන ලස්‌සන රූප පතමින් ඒවා තමාගේ යෑයි මුලාවෙන් රැවටී ඉන්නවා. ඒවාට සුභවාදී ප්‍රතිචාර දක්‌වමින් කාලය ගත කරනවා. එපමණක්‌ නොවෙයි. අතීතයේ දුටු රූප ගැනත් නැවත නැවත හිතමින් කාලය ගත කරනවා. ඒවා ගැන මධ්‍යස්‌ථ වෙන්නේ නැහැ. අනාගතයේ රූප ගැනත් ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. එවිට තමන්ගේ සිහි මුලාවීම සිදුවෙනවා. ඒ නිසා තමන් වර්තමානයේ දකින රූප ගැන යථාර්ථය දැකගන්න සමත් වෙන්නේ නැහැ. නමුත් අපි කළ යුතු වෙන්නේ මේ අනිත්‍ය වූ දුක්‌ වූ, අනාත්ම වූ රූප ගැන කළකිරීම පිණිස කටයුතු කිරීමයි. ඇලීම්, නැතිවීම පිණිස කටයුතු කිරීමයි. තෘෂ්ණාව දුරු කිරීම පිණිස කටයුතු කිරීමයි.

පින්වතුනි, ශබ්ද වුණත් අතීත වශයෙන්ද, අනාගත වශයෙන්ද අනිත්‍යයි. වර්තමාන ශබ්දවල අනිත්‍ය ගැන කියන්න දෙයක්‌ නැහැ. ඒවාත් අනිත්‍යය යි. ගන්ධ ගැනත් ඒ විදියට තමයි. අතීතයට ගිය ගඳ-සුවඳ අනාගත ගඳ-සුවඳ සියල්ලම අනිත්‍යයයි. වර්තමාන ගඳ-සුවඳත් එහෙමයි. රසයන් අතීත වශයෙනුත්, අනාගත වශයෙනුත් අනිත්‍යයයි. වර්තමාන රසයෙහි අනිත්‍ය ගැන අමුතුවෙන් කිවයුතු දෙයක්‌ නැහැ. එයත් අනිත්‍යය යි. ඒ වගේමයි පහසත් අතීත වශයෙනුත්, අනාගත වශයෙනුත් අනිත්‍යය යි. වර්තමානයේ තිබෙන පහසත් ඒ ආකාරයෙන්ම අනිත්‍යයයි. ඒ වගේමයි මේ අරමුණු. ඒවා අතීත, අනාගත වශයෙන් අනිත්‍යයි. වර්තමාන අරමුණුවල තිබෙන අනිත්‍ය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

එනිසා පින්වතුනි, මේ යථා ස්‌වභාවය අපි ඉතා ඉක්‌මනින් තේරුම් ගත යුතුයි. අපි සංසාරයේ මේ තාක්‌ කල් දිගින් දිගට ආවේ මේ රූපවලට ඇලී ගිය නිසා. ශබ්දවලට ඇලී ගිය නිසා. ගඳ-සුවඳවලට ඇලී ගිය නිසා. රසයට ඇලී ගිය නිසා. අරමුණුවලට ඇලී ගිය නිසා. එවිට අපි අතීතයට ගිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, අරමුණුවලට ඇලෙන්නේ නැතිව කටයුතු කරන්නේ මොන ආකාරයෙන් ද මේ සූත්‍රයෙන් මනාව වටහාගත හැකියි. ඒ වගේම වර්තමානයේ මේ බාහිරායතන ගැන කටයුතු කළ යුතු ආකාරය ගැනත් මැනවින් ඉගෙන ගන්න ලැබෙනවා.

ඒ නිසා ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙස අපි කළ යුත්තේ පැහැදිලිව මේ කරුණු ඉගෙනගෙන අති දීර්ඝ වූ සංසාර ගමන නිමා කිරීමට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් දහම් මඟට පැමිණීමයි. අප නිරන්තරයෙන්ම රැටවී සිටින මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ අරමුණුවල සැබෑ ස්‌වරූපය තේරුම්ගෙන කටයුතු කළ යුතුයි. සියලුදෙනාටම මේ බාහිර ආයතන පිළිබඳව සැබෑ ලෙසම කළකිරීම ඇති කරගෙන, නොඇලීම ඇතිකරගෙන තෘෂ්ණාව දුරුකර ගැනීම පිණිසම මේ උතුම් දේශනාව උපකාර වේවා!
පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි