ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

තිරිසන් අපායේ ප්‍රභේද හා තිරිසන් අපායේ උපදින්නෝ කවරහුද?


තණකොළ කන තිරිසන්ගත සත්වයෝ ඇත. මොවුහු තෙත්වූ තණකොළද, වියළි තණකොළද, දත් වලින් උලා කති. තණ කොළ කන තිරිසන්ගත සත්තු කවරහුද? යත් අශ්වයෝද, ගොන්නුද, කොටළුවෝද, එළුවෝද, මුවෝද යන මොවුහු වෙති. මොවුන් හැර තණ කොළබුදින තවත් සත්වයෝ ද ඇත. මේ ලෝකයෙහි බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා පව්කම් කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු යම් ඒ තණ කොළ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ ස්වභාවයට පැමිණෙයි. එනම්. එවන් සතුන්ව උපදියි.

අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත. ඔවුහු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමු කියා ඒ වෙත දුවති. බමුණෝ යාග ගන්ධය අනුව මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමුයි යම් සේ දුවත්ද, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔවුහු දුරදීම අසූචි ගඳ ආඝ්‍රාණය කොට ඒ වෙත දුවත්, මෙහිදී කන්නෙමු. මෙහිදී කන්නෙමු කියායි. අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, කුකුලන් හා ඌරන්, සුනකයන් හා සිවල්ලු ද යන මොවුහු වෙති. මීට අමතරව අසූචි අනුභව කරන තවත් සත්වයෝද ඇත. මේ ලෝකයෙහි ඒ බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශල කර්ම කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත් ද ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ ඇත. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, ලොකු පණුවෝද, කුඩා පණුවෝද, ගැඩවිල්ලුද, වෙති. මීට අමතරව අඳුරෙහි උපදින, දිරන අඳුරෙහි මැරෙන තවත් සත්වයෝ ඇත. මේ බාලයා රස තාෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් යම් සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද, අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන් ගත සත්වයෝ කවරහුද යත් මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. මීට අමතරව දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තවත් සත්වයෝ වෙති. මේ බාලයා මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන. දියෙහි මැරෙන යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම් එවන් සතුන් බවට පත්ව උපදියි.

තව ද අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන මෙවන් සත්තු ද, කුණුමස්වල උපදින කුණුමස්වල දිරන, කුණුමස්වල මැරෙන මෙවන් සත්තු ද, කුණුූ ආහාර පානාදියෙහි උපදින – දිරන – මැරෙන සත්තු ද, කුණු දිය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද , අපිරිසුදු ජලය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද ප්‍රාණීහු වෙති. මෙසේ මෙලොව රස අනුභව කිරීම සඳහා බාලයා යම් යම් කාය – වාග් – මනෝ දුශ්චරිතයන් සිදු කොට කාය භේදයෙන් මරණින් මතු මෙවන් සතුන් බවට පත්ව උපදිති. එබැවින් මෙසේ තිරිසන් අපායෙහි උපදින සත්වයන්ගේ දුක්ඛ ස්වභාවයන් කියා නිම කොට නොහැක.

අනෙකපරියායෙනපි ඛො අහං, භික්ඛවෙ, තිරච්ඡානයොනිකථං කථෙය්‍යං වාවඤ්විදං,
භික්ඛවෙ, න සුකරං අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා තිරච්ඡානයොනි.

කණ කැස්බෑ උපමාව

එක්කලක පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දණ්ඩක් මහ මුහුදෙහි දමන්නේය.ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට පමුණුවන්නේය.අපරදිග වාතයෙන් පෙරදිගට යන්නේය. උතුරුදිග වාතයෙන් දකුණුූ දිගට ගෙන යන්නේය. දකුණුදිග වාතයෙන් උතුරට ගෙන යන්නේය. ඒ මුහුදෙහි බොහෝ කාලයක් ජීවත්වන කණ කැස්බෑවෙක් වන්නේය. ඌ වර්ෂ සියයක්, වර්ෂ දහසක්, වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් වරක් උඩට එන්නේය. ඒ කැස්බෑවා මේ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් එය නිතර සිදුවන්නක්ද? ඒ ගැන කුමක් සිතන්නේද? එය ඒකාන්තයෙන් බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන දුර්ලභ අවස්ථාවකි.

ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු සිදුරෙන් බෙල්ල ඇතුල් කරන්නේ නම් එය දුර්ලභ සිදුවීමක් නොවේ. එහෙත් වරක් නිතර දුක් ඇති සතර අපායට පැමිණි බාලයා විසින් වරක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා වූ දුර්ලභ කාරණයකි. අතිශයින් දුර්ලභ කාරණයකි. ඊට හේතු නම් මේ සතර අපායෙහි ධර්මයට අනුව හැසිරීමක් සම හැසිරීමක් කුසල ක්‍රියාවක්, පින් කිරීමක් නැති බැවිනි. විශේෂයෙන් තිරිසන් අපායෙහි ස්වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලාගෙන කෑමයි. දුර්වලයන් බලවතුන් විසින් අල්ලාගෙන කති.

ඉදින් මෙසේ මේ අනුවණ පුද්ගලයා කිසියම් කාලයක බොහෝ කාලයක් ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, එකල්හි සමාජයේ සම්මත සැඩොල් කුලය ආදී යම් යම් කුලයෝ වෙත්ද, එබඳු දිළිඳු මද ආහාර පාන ඇති යම් කුලයක දුකසේ බඩගින්න නිවාගැනීම ලබයිද, එබඳු දුක් පැවතුම් ඇති කුලයක උපදී. එහි දී ඔහු දුර්වර්ණ වෙයි. යකුන් මෙන් දැකීමට දුෂ්කර වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තේ වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර, පැන්, රෙදි, යානා ,මල් ,ගඳ විලවුන්, විසීමට තැනක් සහ පහන් දල්වන උපකරණ නොලබන්නෙක් වෙයි. හෙතෙම කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මෙසේ ත්‍රිවිධ දුශ්චරිත කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති. අතරක් නැතිව දුක් පැතිර පවතින නරකයෙහි උපදී.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වෙස්වලාගත් ලෝභය

මහනුවර අස්ගිරි මහාවිහාරයේ කාරක සංඝ සභික, 
උපාධ්‍යාය ධුරීන, 
වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක 
මහාචාර්ය තුඹුල්ලේ සිලක්ඛන්ධ හිමි 

 බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි දේශනා කරන වැදගත් දේශනාවක් ලෙස වත්ථූපම සුත්‍රය හඳුන්වා දෙන්නට පුළුවන්. උන්වහන්සේ මෙහි දී හොඳ සරල උපමාවක් යොදා ගන්නවා. ඒ කුමකට ද? මේ සිත ක්‍රියා කරන ආකාරය හා සිත විවිධ වෙස් අරගෙන අප ඉදිරියේ පෙන්වන මායාව දක්වන්නට යි. කිළිටි ස්වභාවයට පත් වුණු වස්ත්‍රයක් ගැන සඳහන් කරන උන්වහන්සේ යම් රෙදි පිරිසුදු කරන අයෙක් ඒ වස්ත්‍රය විවිධ වර්ණ ගන්වන්නට ඒ ඒ වර්ණ යොදා ගෙන මහත් වූ උත්සාහයක යෙදෙනවා. ඉතින් ඒ කොපමණ උත්සාහ කළත් ඒ වස්ත්‍රයට ඔහු බලාපොරොත්තු වන ඒ වර්ණය ගැන්විමට සමත් වන්නේ නැහැ. ඒ මොක ද? වස්ත්‍රය මුලික වශයෙන් ම කිළිටි වී ඇති නිස යි. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ සිතේ තත්ත්වය. ඉතින් මේ නොයෙක් අපිරිසුදු සිතිවිලි නිසා කිළිටි භාවයට පත්ව අපේ සිත පවතිනවා නම් ඒ සිතට පැහැදිලි කුසල් සිත් ඇතුළත් කරන්නට කොපමණ උත්සාහ කළත් සිත ඒවා අල්ලා ගන්නේ නැහැ. එහි අනික් පැත්තත් එහෙමතමා කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වා දෙනවා. ඒ විදිහට බලන කොට ඉතාමත් පැහැදිලිව පිරිසුදු වස්ත්‍රයක් අරගෙන ඊට අවශ්‍යය යි සිතන වර්ණයක් ගැන්විමට යම් රෙදි සෝදන අයෙක් උත්සාහවත් වෙනකොට ඒ පිරිසුදු වස්ත්‍රයට තමන් අපේක්ෂා කරන වර්ණ පැහැදිලිව ම ගැල්විමට හැකියාව ලැබෙනවා. ඒ වගේ තමා සිත පිරිසුදුව පවතිනවා නම් පැහැදිලි දූෂ්‍යභාවයට පත් නො වූ කුසල සිතිවිලි මැනවින් ග්‍රහණය කර ගැනීමට පුද්ගලයා සමත් වෙනවා. ඉතින් සිත අපිරිසුදු නම් ඒ පුද්ගලයාට දුගතියේ දොර විවර වනවා. එය කෙසේවත් වෙනස් කරන්නට බැරි බව තමා බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ධම්මපදයේ මුලින් ම එන ගාථා පාඨ දෙකෙන් පැහැදිලි කරන්නෙත් මේ කාරණය ම යි. ඒ අනුව අපිරිසුදු සිතින් යම් දෙයක් කරනවා හෝ කියනවා නම් එය පුද්ගලයාගේ දුක පිණිස ම පවතිනවා. එයට පෙන්වා දෙන උපමාවත් හරි අපූරුයි. කරත්තයේ බඳීන ගොනාගේ පිටුපසින් කරත්තය ඉදිරියට ඇදි ඇදී එනවා වගේ අපිරිසුදු සිතේ ස්වභාවය නිසා දුකත් ඔහු පිටුපස්සේ අත් නො හැර ම ලුහු බඳීමින් එනවා, කරත්තයේ බරත් කරත්තයේ පටවා ගෙන බඩුවල බරත් ගත්තහම එය දරා ගෙන ඉදිරියට යන ගොණුට මහ දුකක්. අනික් අතින් බලන කොට පිරිසුදු සිත මුල් වී ඇති වන සිතිවිලි නිසා ක්‍රියාත්මක වන ක්‍රියාවන් හෝ භාවිත කෙරෙන වචන හැම විට ම යහපතට හේතු වන නිසා එය සැප ගෙන දෙනවා. බුදුරජාණන් වහන්සේ එය උපමා කරන්නේ තමන් පසු පස නො කඩවා දිවෙන හෙවණැල්ලට යි. හෙවණැල්ල හැම විට ම තමන්ට ලබා දෙන්නේ සුවයක්. සැනසිමක්. සෙවණත්. ඒ වගේම යි ඒ කරන ක්‍රියා හා කතාබහ නිසා හැමවිට ම වැඩක් අර්ථයක් සිද්ධ වෙනවා. එය සුගතිය පිණිස ම හේතු වෙනවා. ඉතින් මේ සිත දුෂ්‍ය වෙන ආකාරයත් ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සිත දූෂ්‍ය කරන ප්‍රධාන කොටස් 16 ක් පිළිබඳව උන්වහන්සේ මෙම වත්ථූපම සූත්‍රයෙන් අපට උගන්වනවා. 
 ඒ අනුව අභිජ්ඣාව හා විසම ලෝභය පළමුවන සිත දූෂ්‍ය කරන උපක්ලේෂය ලෙස මෙහි දී පෙන්වා දී තිබෙනවා. මේ කියන අභිජ්ඣා හා විසමලෝභය මෙහි එකක් වශයෙන් පෙන්වා දී තිබුණත් ඇත්තෙන් ම බැලූ බැල්මට දෙකක් වශයෙන් අපේ සිත දූෂ්‍ය කරනවා. අභිජ්ඣා යන්නෙන් අදහස් වන්නේ අපට පුහුදුන් ගතිය නිසා ස්වභාවයෙන් ම හුරු වෙලා තිබෙන එක්රැස් කරගන්නා වස්තුව දේපොළ පිළිබඳ අපේ සිතේ නලියන ආශාව යි. අපි හැමවිටම මේ එකතු කරන දේ පිළිබඳ මමායනයකින් ක්‍රියා කරනවා. මෙම ස්වභාවයේ ම තවත් වර්ධනය වූ අවස්ථාවක් තමා විෂම වූ ලෝභය. මෙහි දී ඇති විශේෂ ලක්ෂණය වන්නේ තමන් විසින් එකතු කරගෙන ගොඩ ගහගෙන ඉන්න වස්තුව, මිල මුදල්, මුතු මැණික්, ආභරණ, යාන වාහන ආදිය ඉක්මවා පිටස්තර අය විසින් රැස්කරගෙන තිබෙන එවැනි දේ පිළිබද, ඇති කරගන්නා ආශාව, එහෙම නැතිනම් බැඳීම. එපමණක් නොව මෙහි තවත් වර්ධනිය අවස්ථාවක් තමා පුරුෂයෙක් නම් ඔහු විෂම ලෝභයෙන් තෙරපෙමින් ක්‍රියා කරන කොට තමන්ගේ භාර්යාව පිළිබඳ ඇති කරගෙන තිබෙන ආශාව හෙවත් ලෝභය ඉක්මවා අනිකුත් පුරුෂයන්ගේ භාර්යාවරුන් ගැන පවා ආශාවක් බැඳීමක් ඇති කරගෙන තවදුරටත් ක්‍රියාත්මක වී පර ස්ත්‍රී සේවනයට පවා යොමු විම. ඒවගේ ම තමා ස්ත්‍රියක් නම් පරපුරුෂ සේවනයට යොමු විම. මෙම සමාජ ධර්මතාවන්ට පවා පටහැනි වූ නිතියට පවා විරුද්ධ වූ ක්‍රියාවකි. මේ ආකාරයෙන් බලන විට මෙම විසම ලෝභයේ දී පුද්ගලයා එක පැත්තකින් අනුන්ගේ වස්තුව පිළිබඳ වූ ආශාව ක්‍රියාත්මක වනවා වගේම තමන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් පිනවිමේ ආශාව වශයෙන් ද මේ විෂම ලෝභය ක්‍රියාත්මක වනවා. වස්තුව දේපොළ රැස්කරගෙන ඒ පිළිබඳ ආශාවෙන් පෙළෙන පුද්ගලයාගේ ලක්ෂණයක් වන්නේ ඔහු තමා රැස්කරගත් ධනය වස්තුව ඒ ආකාරයෙන් ම පවත්වා ගැනිමට දරන්නා වූ උත්සාහය යි. එහි දී ඔහු ඒ ධනය වස්තුව තමන්වත් ප්‍රයෝජනයට නො ගන්නවා පමණක් නොව වෙනත් අයෙක් පරිභෝග කරනවාට හරි, පාවිච්චි කරනවාට හරි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔහුට අවශ්‍ය කරන්නේ එය ගොඩ ගසා ගෙන කාලය ගෙවීමට යි. මේ අතර අනුන්ගේ සැප සම්පත් දිහා බලා තමන්ටත් එවැනි සැප සම්පත් ලබා ගැනීමේ දැඩි උත්සාහයක යෙදෙනවා හරි අනුන්ගේ සැප සම්පත්වලට ඊර්ෂ්‍යා කරමින් ඒවාට ලොල් බවක් ද ඇති කර ගන්නවා. දැන් අදින්නපුබ්බක, මච්ඡරිය කෝසිය සිටාණන් වැනි අය පිළිබඳ අපේ බෞද්ධ සාහිත්‍යයේ එන විවිධ කථා පුවත් මෙයට නිදසුන් වශයෙන් අපට යොදා ගත හැකියි. අදින්නපුබ්බක සිටුවරයා තමන්ගේ එක ම පුතු රෝගාබාධිතව දැඩිව ගිල්නව සිටිය දී පවා බේත්හේත් කිරීමට ධනය යෙදෙව්වේ නැත්තේ ද, පුතණුවන් මිය ගියොත් සිටුවරයාගේ මෙම ධනය රැස්කොට ඒවා ඒ ආකාරයෙන් වැය නොකර තබා ගැනීමේ පරම ආශාව දැඩිවීම නිස යි, මෙම ලෝභ සිතිවිල්ලේ තවත් භයාතක පැත්තක් තිබෙනවා, එය තමා තමාට ම තමන් වංචාකාරි ලෙස ලෝභය ක්‍රියා කිරිම. මේ පිළිබඳ ඉතා පැහැදිලි විස්තරයක් අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ වංචකධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම නමැති ධර්මග්‍රන්ථයේ පැහැදිලිව පෙන්වා දෙනවා. 
ඒ අනුව තවදුරටත් මේ ලෝභ චෛතසිකයේ ස්වභාවය විමසා බැලුවොත් නිදසුනක් විදිහට සාමාන්‍යයෙන් ලෝකයේ විවිධ ගුණධර්ම නිසා කිර්ති ප්‍රශංසා ලබන අය ප්‍රසිද්ධ වෙනවා. අපි සිතුවොත් දුගී මගි අසරණ පිරිස්වලට විවිධ පරිත්‍යාග කරමින් ඔවුන් නගා සිටුවිමට ඇතැම් උදවිය මහත් උනන්දුවකින් ක්‍රියා කරන ආකාරය. මේ ගැන බලන යම් කෙනෙක් තමන්ටත් එවැනි කීර්තියක් ප්‍රසිද්ධියක් අපේක්ෂා කරන අයෙක් ඒ විදියට ම අසරණ පිරිස් සඳහා එසේ පරිත්‍යාගශීලි ව ක්‍රියා කරනවා නම් ඒ තුළින් ලෝභය යටපත් වූවා යයි කියන්නට බැහැ. සත්‍ය වශයෙන් ම සිදු වී තිබෙන්නේ කිර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් කරන ලද එම පරිත්‍යාගයන් ඔහුගේ ආශාව, තෘෂ්ණාව හෝ එසේත් නැතිනම් ලෝභය තවදුරටත් වර්ධනය වීම යි. මේ ආකාරයෙන් ලෝභය නමැති චෛතසිකය වංචක ලෙස ඉදිරිපත් වී ක්‍රියා කරන්නට හැකියාව පවතිනවා. ඒ අනුව බාහිර පෙනුම තුළින් කුසල සිතිවිල්ලකි. යථාර්ථ වශයෙන් පැවතී ඇත්තේ අකුසල සිතිවිල්ලකි. මෙපමණක් ම නොවේ මේ ලෝභය නම් වන චෛතසිකය මේ ආකාරයෙන් තවත් විවිධ පැති කඩ ඔස්සේ ලෝභය අඩු කරගන්නට යයි අප විසින් සිතා ක්‍රියාත්මක කරන ඇතැම් ක්‍රියාවන් අපේ තෘෂ්ණාව වෙනත් ආකාරයෙන් වැඩි වන ලෙස ක්‍රියාත්මක වෙනවා. ලෝභයට ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල අත්හැරීම යි. හෙවත් දානය යයි. අපි සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේට දානය දෙන්නේ මේ අත්හැරීම කියන සිතිවිල්ල මත සිට යි. යම් දායක මහත්මයෙක් විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයට විවිධාංගයෙන් සම්පුර්ණ වූ මහාදානයක් දෙනවා. එහි දී ඔහු බලාපොරොත්තු වෙනවා නම් එම ප්‍රතිග්‍රාහක භික්ෂූන් වහන්සේ ලවා මහජනකායක් මැද තමන්ගේ දානය ගැන හෝ තමන් ගැන නර්ණනාවක් කර ප්‍රසිද්ධියක් ලබා ගැනිමට. එයිනුත් සිදු වී තිබෙන්නේ ලෝභය හෙවත් ගුණවර්ණනා පිළිබඳ ආශාව තියුණු වීම යි. මෙය බරපතළ කෙලෙස් සහිත තත්වයක්. මෙයිනුත් සිදු වී තිබෙන්නේ වංචනික තත්වයක්. මේ අනුව ඉතා නිවැරැදි වදැනගෙන ම ලෝභය යටපත් කර ගැනිමට පරිත්‍යාගය හෙවත් දානය සිදු කළ යුතු වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලෝකෝත්තර පාරිශුද්ධිය ලබන මග ...

බිබිල යල්කුඹුර, 
මො/ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ, 
රාජකීය පණ්ඩිත 
පදියතලාවේ ඤාණවිමල හිමි

අප මෙතෙක් කලක් මේ සංසාරයේ ඇදබැඳ තබා ගන්නා ලද්දා වූ ප්‍රධාන සාධකය නම් රාගය යි. රාගය සිතෙහි ඇති තාක්කල් අපට සංසාරයෙන් මිඳිය නොහැකි ය.
ලෝකෝත්තර පාරිශුද්ධිය අග්‍රතර සැපතකි. එය ලබන ආකාරය පිළිබඳ සම්බුදු හිමියන් අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සමණ වර්ගයෙහි අන්තර්ගත න්හාතක සූත්‍රයේ විස්තර දක්වා ඇත. න්හාතක පුද්ගලයා වශයෙන් අර්ථ දක්වා ඇත්තේ ලෝකෝත්තර විමුක්තිය පිණිස යොමු වූ පුද්ගලයා ය. ඔහුගේ විශේෂ ලක්ෂණ සතක් ඇති බව පෙන්වා දී ඇත.
ස්වකීය ආත්ම දෘෂ්ඨිය ප්‍රහීණ කිරීම, බුද්ධාදි අටතැන කෙරෙහි සැකය ප්‍රහීණ කිරීම, විවිධ ව්‍රත සමාදානයෙන් තොර වීම, රාගයෙන් තොරවීම, ද්වේශයෙන් තොර වීම, මෝහයෙන් තොර වීම, මානයෙන් තොර වීම, ආදී ලක්ෂණයන් ය. මේ කරුණු එකින් එක පිළිබඳ විමසා බලමු.
ආත්ම දෘෂ්ඨිය අප බොහෝ දෙනා සන්තකයේ ඇති මනෝ මූලික කරුණකි. අප එදිනෙදා කරන බොහෝ දේ සඳහා බලපා ඇති ප්‍රබල සාධකය නම් ආත්ම දෘෂ්ඨිය යි. මම ය, මාගේ ය, මගේ ආත්මය ය ආදි ලෙස තමා පිළිබඳව ඇති කරගන්නා වූ මනෝභාවයන් නිසා ලෝකෝත්තර විමුක්තිය උදාකර ගැනීම උගහට ය. එබැවින් පළමුව කළ යුතු මෙම මනෝභාවයෙන් මිදීමයි. සැම විටෙක ම අනිත්‍යතාව මෙනෙහි කරමින් ඕනෑම විටෙක සියලු දේ බැහැර කිරීම පිළිබඳව සිත වැඩීමට හැකි නම් එම හැඟීම යටපත් කර ගත හැකි ය. කෙසේ වුව ද සක්කාය දිට්ඨිය බැහැර කිරීම ලෙහෙසි පහසු කරුණක් නොවේ. සෝවාන් නම් ආර්ය තත්ත්වයට පත්වීම සඳහා ප්‍රබලව ම බලපානු ලබන්නේ මෙ කරුණයි. මෙම සාධකය යි. ඉතින් එම උත්තරීතර මාවත කරා ගමන් කරන අපත් සක්කාය දිට්ඨිය හෙවත් ආත්ම දෘෂ්ඨිය බිඳ හෙළීම සඳහා කටයුතු කළ යුතු ය.
දෙවැන්න නම් විචිකිච්ඡාවයි. විචිකිච්ඡාව කරුණු අටක් මුල් කරගෙන පවතී. එදිනෙදා දිවියේ ඇති කරගන්නා වූ සැකසංකාවලට වඩා වෙනස් විදියේ සැකසංකා පිළිබඳව මින් කියවේ. මෙය ගැඹුරු වුවකි. ලෝකෝත්තර විමුක්තිය සඳහා පිළිවෙත් පුරන අප වෙසෙසින් ම විචිකිච්ඡාව දුරලිය යුතු ය. එය අට ආකාර බව ඉහතින් දැක්විණි. මේ අට නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකය, ධර්ම රත්නය කෙරෙහි සැකය, සංඝ රත්නය කෙරෙහි සැකය, තමාගේ පෙර ආත්මය ගැන ඇති සැකය, තමාගේ අනාගත ආත්ම භාවය ගැන ඇති සැකය, තමාගේ අතීත හා අනාගත ආත්ම කෙරෙහි ඇති සැකය, සද්ධර්මය කෙරෙහි ඇති සැකය, පටිච්චසමුප්පාදය කෙරෙහි ඇති සැකයයි.
මෙම අටවිධාකාර සැකයෙන් යුතු තැනැත්තාට කිසිම දිනෙක මාර්ගඵල නිවන් සම්පත්තිය කරා ළඟා විය නොහැකි ය. මන්ද නිවන අවුරාලන එක් දොරටුවක් ලෙස විචිකිච්ඡාව නම් කර තිබීම නිසා ය.
තෙවැන්න නම් සීලබ්බතපරාමාස හෙවත් විවිධ ව්‍රත සමාදන් වීමයි. බුද්ධ කාලීනව ද විවිධ ව්‍රත සමාදම් වූ අය සිටි බව පෙනේ. විටෙක බුදුන් වහන්සේ අභිමුඛයට පැමිණි බමුණන් දෙදෙනෙක් තමන් සුනඛයෙකු මෙන් කටයුතු කරන බවත්, අනාගත ආත්ම භාවය කෙසේ වේදැයි විමසා සිටි විට අනාගතයේ සුනඛයෙකු ලෙස උප්පත්තිය සිදුවිය හැකි බව පෙන්වා දුන් සේක. එසේම තවෙකෙක් වෘෂභ ව්‍රතය අනුගමනය කළ අතර, ඔහු වෘෂභයෙකු ලෙස උප්පත්තිය ලබා ගන්නා බව පෙන්වා දුන් සේක. මීට අමතරව කිසිම ප්‍රතිඵලයක් ළඟා කරගත නො හැකි දුෂ්කර සීල ව්‍රත ඕනෑ තරම් තිබේ. ඒවා පිළිපැදීමෙන් ඇතිවන යහපතක් නැත. ශරීරයට දැඩි දුක් දෙමින් ගෙන යන එම ප්‍රතිපදාවෙන් කිසිම ඵලයක් නොමැති ය. එපමණක් ද නොව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආර්ය මාර්ගය මෙයයැයි සාවද්‍ය මාර්ගවල ගමන් කරමින් නිවන සෙවීමට උත්සාහ කරන පිරිස් වර්තමානයේ ද දැකිය හැකි ය. ඔවුන් ද වැරැදි ශීල ව්‍රත අනුගමනය කරන බැවින් නිවන සාධනය කර ගැනීමට ඇති බාධක තවත් වර්ධනය කර ගනී.
සිව්වැන්න රාගය ප්‍රහීණ කිරීම යි. අප මෙතෙක් කලක් මේ සංසාරයේ ඇදබැඳ තබා ගන්නා ලද්දා වූ ප්‍රධාන සාධකය නම් රාගය යි. රාගය සිතෙහි ඇති තාක්කල් අපට සංසාරයෙන් මිඳිය නොහැකි ය. ඇස - රූප, කන - ශබ්ද, නාසය - සුවඳ, දිව - රස, ශරීරය - ස්පර්ශය ආදියයි. පඤ්ච ඉන්ද්‍රියයන්ට අරමුණු වන දෑ නිසා අප කෙරෙහි ඇති වන්නේ ආශාව යි. ඇල්ම යි. ලෝභකම යි. ඉතින් මේ මනෝභාවය ප්‍රහීණ නො කරන තාක්කල් අප සංසාරයේ ඇවිද යෑමට කරුණු වැඩිදියුණු කරගනී.
ඊළඟ කරුණ නම් පටිඝයයි. නැතිනම් ද්වේෂය යි. ද්වේෂය නම් මනෝමූලික හැඟීම අපගේ සිත මහත් පීඩාවට පත් කරන්නකි. එපමණක් නොව අනෙකාට විපත් පැමිණවීම සඳහා කටයුතු සිදු වන්නේ ය. අනුන් මැඩීමට, පාගා දැමීමට, යන මඟ අවුරා දැමීමට ඇති කරගන්නා වූ ද්වේශ පටිඝය යනුවෙන් හැඳින්වේ. එය කරුණු නවයක් මුල්කරගෙන ඇති වේ. එනම්, මට අනර්ථයක් කළේ ය, මට අනර්ථයක් කරන්නේ ය, මගේ හිතවතාට අනර්ථයක් කළේ ය, මගේ හිතවතාට අනර්ථයක් කරයි, මගේ හිතවතාට අනර්ථයක් කරන්නේ ය, මගේ සතුරාට යහපතක් කළේ ය. මගේ සතුරාට යහපත් කරයි, මගේ සතුරාට යහපතක් කරන්නේ ය, ආදී ලෙස ඇති කරගන්නා වූ මානසික හැඟීම යි. මේ හැඟීමත් සමඟ විවිධ වූ ව්‍යසනශීලී හැඟීම් සිතට කා වදී. එය ඔහුගේ ජීවිතය පමණක් නොව සාමාජීය ජීවිත ද මහත් පරිහානියට පත් කරන්නකි. එබැවින් ද්වේෂශීලීත්වයෙන් මිදිය යුතු ය.
සයවැනි කරුණ නම් මෝහයයි. මුලින් සඳහන් කළ කරුණු රැස කෙරෙහි ම බලපාන්නේ මෝහය යැයි කීම වරදක් නොවේ. මුලාව ඇති කරගැනීම නිසා ඉහත සියලුම අනර්ථයන් සිදු වන බැවිනි. මෝහය ඇති කල කිසිම දෙයක් නිවැරැදිව වටහා ගත නො හැකි ය. හරි දේ වැරැදි දේ ලෙස පෙනේ. වැරැදි දේ හරි දේ ලෙස පෙනේ. එවිට සංසාර ගමන දීර්ඝ වේ. එබැවින් මෝහයෙන් තොරවීම සඳහා අවශ්‍ය කරුණු පෝෂණය කරගත යුතු ය. දහම විමසීම මගින් එය උදාකරගත හැකි ය.
අවසාන කරුණ නම් මානය යි. මානය යනු ආකාර කිහිපයකින් ඇති කරගන්නා වූ මානසික හැඟීමයි. ජාති මානය, ධන මානය, ගෝත්‍ර මානය ආදී දෑ නිසා ලෞකිකත්වය පරිහානියට පත්වන බව පරාභව සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ලෝකෝත්තර විමුක්තියට මඟ අවුරාලන සාධකය වන්නේ ද එයම ය. මානයෙන් යුතු වූයේ නම් ගැළවීමක් නැත. එය ආකාර තුනක් පාදක කරගෙන ඇති වේ. සෙය්‍ය මාන – තමාට වඩා අනුන් පහත් යැයි සිතීම, සදිස මාන – තමා හා අනුන් සමාන යැයි සිතීම, හීන මාන – තමාට වඩා අනුන් උසස් යැයි සිතීම ආදී ලෙස ඇතිවන මානසික හැඟීම බොහෝ දේ යටපත් කිරීමට සමත් වේ. එබැවින් මානයෙන් යුතු වීම බොහෝ දේ පමා කරන සාධකයක් බැවින් ත්‍රිවිධ මානයෙන් දුරුවිය යුතු ය.
ඉහතින් සඳහන් කළ කරුණු සත පිළිපදින තැනැත්තාට න්හාතක නමින් වූ පාරිශුද්ධ භාවයට පත් විය හැකි ය. එය ලෝකෝත්තර විමුක්තියට පැමිණීම යි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤