ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ගතට සිතට සුවය ගෙනෙන භාවනාව

කැලණිය විශ්ව විද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 

සුමනපාල ගල්මංගොඩ

බුදුදහම පරලොව ජීවිතය පමණක් නොව ප්‍රායෝගිකව මෙලොව ජීවිතය ද සුවපත් කිරීමට මහෝපකාරි වෙනු ඇත. බුදු දහමට අනුව භාවනා ක්‍රම පුරුදු පුහුණු කිරීම තුළින් මෙලොව ජීවිතයේදි මුහුණ දෙන ගැටලු, ප්‍රශ්න හා අසහන බොහෝ සෙයින් විසඳාගත හැකි වෙයි. ඒ තුළින් පුද්ගලයාගේ සංසාරික ජීවිතයද සුවපත් කරගත හැකිය. ක්‍රමානුකූලව එම භාවනාමය පුහුණුව නිර්වාණාවබෝධයටද ප්‍රබල සාධකයක් වන බැවින් සියලු දුක් කෙළවර කිරීමෙන් ලබාගතහැකි උතුම් වූ සැනසීමට ද හිමිකම් කීමේ භාග්‍ය උදාකරගත හැකිය.
භාවනාව පිළිබදව අපගේ අවබෝධය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා මෙලොව ජීවිතයට භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාදැයි විමසා බැලිය යුතුයි. බෞද්ධ භාවනාව පුහුණු කරන්නන් අතර ඉතා ප්‍රචලිත වූත් එතරම් ප්‍රකට නැත්තාවූත් භාවනා ක්‍රම සමූහයක්ම සූත්‍ර දේශනා තුළ දක්නට ලැබේ. ඒවා අතරින් සමහරක් පහත සඳහන් කර ඇති අතර මෙහිලා විශේෂයෙන්ම ඒවා තෝරාගෙන ඇත්තේ මෙලොව ජීවිතයට ඒ තුළින් ලැබෙන සුවිශේෂි ප්‍රයෝජන හේතුකොටගෙනය.
1. අනුසස් භාවනාව
බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති , සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති ආදි වශයෙන් මෙම භාවනාව ප්‍රභේද ගතවේ. අනු-පිළිවෙළින් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීම සීලයේ සුපරිශුද්ධතාවය ගැන මෙනෙහි කිරීම, පරිත්‍යාගයේ වැදගත්කම මෙනෙහි කිරීම දෙවියන් සාක්ෂියට තබාගෙන තමාගේ ශ්‍රද්ධා ආදී ගුණයන් සිහිපත් කිරීම මෙම භාවනා ක්‍රමවලට අයත්වේ.
බොහෝ විට අප එදිනෙදා ජීවිතයේදී විවිධ වු මානසික අසහනයන්ට හේතු වන කාරණාව වනුයේ අනවශ්‍ය ලෙස අයෝග්‍ය දේවල් පිළිබඳව නිතර නිතර කල්පනා කිරීමයි. ඇතැම් අවස්ථාවන් තුළ මෙම තත්වය මානසික රෝගයන් දක්වා පුළුල් පරාසයකට විහිදී යාමේ හැකියාවක් ද ඇත. යමක් පිළිබඳව නිතර නිතර සිතීමෙන් තමාගේ සිත ඒ පැත්තටම නැඹුරුවීම වැළැක්විය නොහැකිය. එනිසාම සුභවාදීව සිතමින් යහපත් දේ පිළිබඳව නිතර නිතර මෙනෙහි කිරීමෙන් තම සිත යහපත් අතටම නැඹුරුවීමද ස්වභාවිකය. වැරැදි ලෙස කල්පනා කිරීම ‘අයෝනිසෝමනසිකාරය’ වශයෙනුත් යහපත් ලෙස කල්පනා කිරීම යෝනිසෝමනසිකාරය යනුවෙන් හඳුන්වනු ලබයි. නිදහසක් ලද සෑම අවස්ථාවකදීම කල්පනා කිරීමට යහයපත් අරමුණු තිබීම ඉතාම වැදගත්ය. උදාහරණයක් වශයෙන් රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීම තුළින් රාග, ද්වේෂ, මෝහ මූලික සියලු අකුසල තත්වයන්ගෙන් තොරව පිරිසුදු සිතෙහි කිසිකලෙකත් අසන්තුෂ්ටියක් ඇති නොවේ. තමා ආරක්ෂා කරන සීලයේ නිවැරැදිතාවය පිළිබඳව සන්තෘප්තියක් ඇතිකර ගත හැකි අතර “අනවජ්ජසුඛ’ යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙම තත්වයයි.
පරිත්‍යාගය පිළිබඳව මෙනෙහි කිරීම තුළින් බොහෝ දේ ලබාගැනීමටත් ඒවා ආරක්ෂා කරගැනීමටත් උත්සාහ ගැනීමෙන් ඇති වන මානසික පීඩා දුරු කරගත හැකිය. වින්දනය ලැබීම නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා හැම විටම යමක් පිළිබඳව සොයයි. සෙවීම නිසා ලැබේ. එය ලැබීම නිසා ඒවා ගැන තීරණ ගනියි. තීරණ ගැනීම නිසා ඒවා පිළිබඳව ඡන්දරාගය හටගනී. ඡන්දරාගය තවදුරටත්ව වර්ධනය වීම නිසා ඒවා පිළිබඳව මුසපත් වෙයි. ඒ නිසාම ඒවා තව තවත් දැඩිව මනසින් ග්‍රහණය කරගනී. මෙම ග්‍රහණය නිසා මසුරුකම හටගනී. මසුරුකම, එනම් මේවා මට පමණය. අන් අයට නොවේය යන හැඟීම නිසා දඬුමුඟුරු ආයුධ ආදිය ගැනීමෙන් විවාද කෝලාහල , යුද්ධ කිරීමටත් කේළාම් හා බොරු කීමටත් සිදුවෙයි. මේ ආකාරයෙන් යම් යම් දේ ලබාගැනීමට සිතීම නිසා විවිධාකාරයේ ගැටලු මතුවේ.
ඒනිසා පරිත්‍යාගය පිළිබඳව හා එහි වැදගත්කම පිළිබඳව නිතර සිතිමෙන්ද ඒ අනුව කටයුතු කිරීමෙන්ද ඉහත කී බොහෝ ගැටලු කරදරවලින් මිදීමට උපකාරි වෙයි. මෙම තත්ත්වයට අමතරව පරිත්‍යාගී සංකල්පනාවෙන් හා ඒ අනුව කටයුතු කිරීම නිසා ලෞකික වශයෙන් තවත් බොහෝ ප්‍රයෝජන රාශියක් හිමිවේ. පරිත්‍යාගශීලි පුද්ගලයා අධික සතුටක් ලබයි. සමාජය තුළ ගෞරවාදරයට පත්වේ. විශ්වාස කටයුතු පුද්ගලයකු බවට පත්වීම නිසාම මිත්‍රසම්පත්තිය ඇතිකර ගනී. දෙවියන් යනු අදෘශ්‍යමාන ව අප දෙස බලාගෙන සිටින පිරිසක් යැයි සිතමු. ඒ අයට වංචා කළ නොහැකිය. හේතුව ඔවුන් සෑම අවස්ථාවකදීම අප දෙස බලාගෙන සිටින බැවිනි. දෙවියන් සාක්ෂි වශයෙන් තබාගෙන තමාගේ ශ්‍රද්ධාදී ගුණ මෙනෙහි කිරීම තුළින් පුද්ගලයා අවංකව එම ගුණ අපේක්ෂා කරයි. එවිට ඔහු සැම විටම එම ගුණයන් ආරක්ෂා කිරීමට පෙළඹෙයි. තවදුරටත් එම ගුණ ආරක්ෂා කිරීමට පෙළඹීම නිසා දෙවියන්ගේ ආශිර්වාදය ද තමාට ලැබෙන බව මෙනෙහි කිරීමෙන් සතුටට පත්වෙයි. දෙවියන්ගේ අනුකම්පාව ලද පුද්ගලයා සඳහා යහපත දකී.
2) මෛත්‍රී භාවනාව
තමාටත් තම හිතමිත්‍රාන්දීන්ටත්, මධ්‍යස්ථ අයටත්, සතුරන්ටත්, සියලු සත්ත්වයන්ටත් යහපතක් වේවා යන ප්‍රාර්ථනාව ඒ තුළ ඇත. එයට අදාළ වන ක්‍රියාවල නිරතවීම මෛත්‍රී භාවනාවේ මූලික ලක්ෂණයයි. මෛත්‍රී භාවනාවේ යෙදීම නිසා උදාවන ලෞකික ප්‍රතිඵල රැසක්ම මෙත්තානිසංස සූත්‍රයේ දක්වා ඇත.
1.සුවසේ නිදාගැනීමට හැකිවීම (සුඛං සුපති) 
2.සුවසේ පිබිදීමට හැකිවීම (සුඛං පටිබුජ්ඣති) , 
3.නරක සිහින නොදැකීම (නපාපකං සුපිනං පස්සති) , 
4.මිනිසුන්ට පි‍්‍රය වීම (මනුස්සානං පියොහොති ), 
5.අමනුෂ්‍යයන්ට පි‍්‍රයවීම (අමනුස්සානං පියො හොති) , 
6.දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම (දෙවතා රක්ඛන්ති) , 
7.ගිනි අවි හා විෂවලින් උවදුරු නොවීම (නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, 
8. මුහුණේ පෙනුම පි‍්‍රයමනාප වීම (මුඛවණ්ණො විප්ප සීදති) , 
9.වහා සිත එකඟවීම (තුවටං චිත්තං සමාධියති) , 
10. සිත අවුල් නොවී මරණයට මුහුණදීමේ හැකියාව ඇතිවීම (අසම්මුළ්හො කාලං කරොති)

මෙම ප්‍රතිඵල ලැබීමට නම් මෛත්‍රිය මේ ජීවිතයේ අංගයක් බවට පත්කර ගත යුතුය. මසකට වරක් පමණක් මෛත්‍රී භාවනාව වඩා සියලු ප්‍රතිඵල අපේක්ෂා කළනොහැකිය.
මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමද මෛත්‍රියේ කොටසක් වන අතර මිත්‍රයන්ට ද්‍රෝහී නොවී ඔවුනට කාරුණික වීම තුළින් ලෞකික වශයෙන් ප්‍රයෝජන බොහොමයක් ලබාගත හැකි වෙයි. තම නිවසින් පිටතට පැමිණි විට එම පුද්ගලයාට ආහාරපාන අඩුපාඩුවකින් තොරව ලැබෙන අතර සොර සතුරු කරදර ඇති නොවේ’. සභාවක් තුළ ඉමහත් ගෞරවයට පිළිගැනීමට ලක්වන අතරම ඥාතීන් අතර පි‍්‍රයමනාප පුද්ගලයකු වේ. තමාගේ කීර්තිය දසත පැතිරෙන අතර ඉතා පහසුවෙන් සෞභාග්‍ය කරා ළඟාවේ. විපතකට පත් වූ වහාම තමාගේ පිහිටට බොහෝ පිරිස් පැමිණෙති. මෛත්‍රී භාවනාව වැඩීම තුළින් මෙලොවදීම යහපත් ප්‍රතිඵල රාශියක්ම උදාකරගත හැකිවේ. බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනමගෙන් එක් හිමිනමක් වූ මුගලන් මහ රහතන් වහන්සේද බුදුහිමියන්ගේ ප්‍රධාන ශ්‍රාවකයන් අතරින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේද දැඩි සේ ගිලන්ව සිටි අවස්ථාවන් දෙකකදීම එහි වැඩම කළ බුදුපියාණන් වහන්සේ සුවදුක් විචාරා මෙම රෝගී තත්වයෙන් මිදීම සඳහා බොජ්ඣංග භාවනාව වඩන ලෙස උපදෙස් ලබා දී ඇත. එම උපදෙස් පිළිගෙන බොජ්ඣංග භාවනාව වඩා එම දෙදෙනා වහන්සේත් මහා චුන්ද තෙරණුවෝත් රෝගාබාධයන්ගෙන් මිදුණු බව සූත්‍ර දේශනාවල සඳහන්ව ඇත. බොජ්ඣංග යන වචනයෙන් අදහස් වන්නේ බෝධියට හෙවත් මනා අවබෝධයට අංග වන උපකාරවන කරුණු යන්නයි. එනම් සති, ධම්ම විචය වීරිය, පීති, පස්සද්ධි, සමාධී උපේක්ෂා යනුයි.
ධර්මය පිළිබඳව විමසීම, වීර්යය, සිහිය , සතුට, සන්සිඳීම, සිතෙහි එකඟබව, මධ්‍යස්ථ බව යන ගුණාංගයන් එම සත්වැදෑරුම් බොජ්ඣංගයන්ගෙන් කියැවේ. රෝගී වූ අවස්ථාවකදි කළකිරීමෙන් බියෙන් හා විපිළිසර මනැසකින් යුක්තව හා උදාසීනව කල්ගත කිරීමෙන් රෝගය උත්සන්න වීමටත් ශාරීරික වශයෙන් වඩාත් දුර්වල වීමටත් හේතුවන අතර එවැනි රෝගී වූ අවස්ථාවල ඉතාම වැදගත් වන කරුණ ලෙස සිත සතුටින් තබාගැනීම, වීර්යය, අධිෂ්ඨානය තහවුරු කරගැනීමත් අත්‍යවශ්‍ය වේ. ඉහත සඳහන් බොජ්ඣංග ධර්ම තුළින් පුද්ගල මනසේ මනා සංවර්ධනයක් කරගත හැකි ඉතා වැදගත් ගුණාංග කිහිපයක්ම ඉදිරිපත් වේ. සිහිය පිහිටුවා ගත යුත්තේ මානසික විපිළිසර තත්වයන් දුරුකර සිතේ සතුට පී‍්‍රතිය ඇතිකරගෙන කළකිරීමේ ස්වභාවයන් දුරු කර ගැනීමටය. ධෛර්යය වීර්යය, ගිලන් තත්වයෙන් මිදීමට අතවශ්‍ය කාරණාය. ධර්මයට අනුකූල වන පරිදි සිත මෙහෙය වීමෙන් බොහෝ අයහපත් අරමුණුූ නිසා සිත වික්ෂිප්ත වීම වළකී. සිත සතුටින් තබා ගැනීම තුළින් කායික සැනසීමක් ඇතිවේ. කායික සන්සිඳීම හේතුකොට ගෙන මනස සමාධි ගතවේ. මෙම සත්වැදෑරුම් ගුණාංගයන් නිතර ප්‍රගුණ කරමින් පුරුදු පුහුණු කිරීමෙන් මානසික සහනය පමණක් නොව කායික සුවයද ලබාගත හැකියි. විශේෂයෙන්ම රෝගාබාධයන්ට ගොදුරු වු අවස්ථාවන් තුළදී මෙම ගුණාංග සංවර්ධනය කරගෙන තිබීමෙන් රෝගාබාධයන්ගෙන් දුරු වීම සඳහා අතිශයින්ම මහෝපකාරි වනු ඇත.
ආයුෂ්මත් ආනන්ද හිමියන් ගිරිමානන්ද හිමියන් ගිලන් වී සිටි අවස්ථාවක බුදුරදුන් හමුවෙති. මෙම දසසඤ්ඤා ඉගෙන ගිරිමානන්ද හිමියන්ට දේශනා කළ අතර එය අසා සිටි ගිරිමානන්ද හිමියෝ සුවපත් වූ බව බුදුසමයේ සඳහන් වේ. දසසඤ්ඤා මෙනෙහි කිරීමද රෝගාබාධයන්ගෙන් දුරුවීමට මනා උපකාරයක් බව බුදුසමය නිර්දිෂ්ට කර ඇති අතර එය ක්‍රමයෙන් නිර්වානාවබෝධය කරා යොමු කිරීමට හේතුවක්ද වේ.
ගිරිමානන්ද සූත්‍රයෙන් දසසඤ්ඤා ඉදිරිපත් කර ඇත.
1.සියල්ල අනිත්‍ය යන හැඟීම (අනිච්ච සඤ්ඤා) , 2.කිසිම දෙයක් මමය, මාගේ යැයි ගත යුතු හරයක් නැත යන හැගීම (අනන්ත සඤ්ඤා) , 3. මෙම ශරීරයේ කිසිවක් ශුභ වශයෙන් සැළකිය නොහැකිය යන හැගීම (අසුභසඤ්ඤා) , 4.මෙම ශරීරය විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බැවින් එය අයහපත් ප්‍රතිඵල ඇත යන හැගීම (ආදීනවසඤ්ඤා) , 5.සිත තුළ ඇතිවන අකුසල සිතිවිලි ඉවත් කිරීම සහනයක් යැයි හැගීම (පභාණසඤ්ඤා) , 6.යමකට ඇලීමට වඩා ඒ පිළිබඳව ඇලීම දුරු කිරීම වැදගත්ය යන හැගීම(විරාගසඤ්ඤා) , 7.තණ්හාව දුරුකිරීම නිසා සදාතනික සහනයක් උදාකර ගත හැකිය යන හැගීම (නිරෝධ සඤ්ඤා) , 8.ලෝකයේ කිසිවක් දැඩිලෙස ග්‍රහණය නොකිරීම සැනසීමේ මාර්ගයයි යන හැගීම (සබ්බලෝකෙ අනභිරතසඤ්ඤා) , 9. හේතු ප්‍රත්‍ය නිසා හටගන්නා සියලු සංස්කාරයන් අනිත්‍ය යන හැඟීම (සබ්බ සංඛාරෙසු අනිච්චසඤ්ඤා) , 10. සිහිය වර්ධනය කිරීමත් ශාරීරික සහනය උදාකර ගැනීමත් මනස නිදහස් කර ගැනීමත් සඳහා ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කොට ගෙන සිත මෙහෙයවීම (ආනාපාන සතිය) අයථා චින්තනයෙන් බැහැරව යථාර්ථයට මුහුණ දී ඒ අනුව තම සිතිවිලි හා ක්‍රියාවන්වල නිරතවීමෙන් සිත පිරිසුදු වන අතර කායික සුවයද උදාකරගත හැකිවේ. අපගේ ශාරීරික රෝගාබාධයන්ට මානසික තත්වයන් බොහෝ විට හේතුවන බැවින් මානසික තත්වය අනුව චර්යාව මෙහෙයවන බැවින්ද දස සඤ්ඤා මෙනෙහි කිරීමෙන් ශාරීරික ආබාධයන් දුරුකර ගත හැකිය.
භාවනාවේ ලෞකික ප්‍රයෝජන සඳහා පමණක් ඉහත සඳහන් භාවනා ක්‍රම හඳුන්වා දෙනු ලැබුවද පොදුවේ ගත් විට සෑම බෞද්ධ භාවනා ක්‍රමයක්ම ලෞකික හා ලෝකෝත්තර ප්‍රයෝජන ලබාගත හැකි වේ. බෞද්ධ භාවනාව පරලොව සඳහා හෙවත් නිවන ලැබීම සඳහා පමණක්ය යන සාමාන්‍ය ජනතාව අතර පවතින වැරැදි මතයන්ය.

සම්මුති දේශනා සහ පරමාර්ථ දේශනා

ගම්පහ සිරිසීවලී හිමි, 
වෙළුවනාරාමය, කන්නිමහර, වතුරුගම

'ද්වේ සච්චානි අක්‌ඛාසී
සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථංච
තතියං නූපලබ්භති'

'වාද - විවාදීන්ට අග්‍රවූ භාග්‍යවතුන් වහන්සේ සත්‍ය දෙකක්‌ දේශනා කරති. ඒ පරමාර්ථ සත්‍යය හා සම්මුති සත්‍යයයි. එයින් වෙන්වූ තුන්වැනි සත්‍යයක්‌ දේශනා නොකරති.'

සම්මුති සත්‍යය වරදවාගැනීම බොරුව වේ. පරමාර්ථ සත්‍ය වරදවාගැනීම මිත්‍යා දෘෂ්ටිය වේ. ශුද්ධ ධර්ම ප්‍රවර්ථනයෙන් හෙවත් පටිච්චසමුප්පන්න බව මතින් සංස්‌කාර ධර්ම ප්‍රකට වේ. ඇත්ත ඇති සැටියෙන් දැක්‌වීමත්, ශ්‍රවණය කිරීමත් තුළින් මෙහි යථාර්ථය විනිවිද දැකිය හැක. ප්‍රඥවන්තව කරුණු කාරණා තේරුම්ගන්නා විචක්‌ෂණශීලී බුද්ධියෙන් අන්තග්‍රාහී නොවී මැදහත් විමසුම් නුවණින් පරමාර්ථ දර්ශනය වෙත පියමැනිය හැක.සංකාර ධර්මවල සත්ව, පුද්ගල, ආත්මයක්‌ නැති බවත් ව්‍යවහාරයේ සම්මුතියේ සාමාන්‍ය ජනයා අතර 'පුද්ගලයෙක්‌' 'කෙනෙක්‌' තාවකාලිකව පැනවීමක්‌ සමාන්‍යයයි. ඊට හේතුව සංසාරගත සත්වයා සසරින් එතෙර කිරීම සඳහා ඊට පරිබාහිර විධියක්‌, ක්‍රමයක්‌ නොමැති නිසාය. මේ ස්‌වභාවධර්මයේ ප්‍රකෘතිය මූල ස්‌වභාවය යථාවත්ව අවබෝධ නොකර ගතහොත් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‌ෂණය වටහාදීමට නොහැක. එමෙන්ම සන්තානගත සිත තෘෂ්ණාවෙන් වෙලී කාම, රූපී, අරූපී භවයන්හි ඇලී එහි උපත් ලැබ ජාති, ජරා, මරණාදී අනන්ත දුක්‌ සමූහයකට භාජන වන්නේය.

බුදුපියාණන් වහන්සේ හැර ලොව පහළවූ සියලුම ආගම් ශෘස්‌තෘවරුන් පරමාර්ථ ධර්මය ගැන නොදැනීම නිසා දේශනා නොකරති. එමෙන්ම ගෙනහැර දැක්‌වීමටද නොහැක. ඔවුන් සම්මතය මතම සිට පුද්ගල, සත්ව, ආත්ම ප්‍රඥප්ති පිනවයි. එනිසා ශාස්‌වත - උච්ඡේද අන්ත දෙකට ගොස්‌ මුලාවෙන් මුලාවට පත්වෙති.

සම්මත ලෝකයේ ඇති දැ ලෝකයා භෞතික මෙවලම් වශයෙන් නිරන්තරයෙන්ම ඉඳුරන්ට සම්බන්ධ කරගෙන ජීවිත පැවැත්මක්‌ පවත්වයි. රූපය යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ශක්‌ති හතරයි. ඒවා තනි තනිව පෙනී සිටීමට බැරි, තනි තනිව හඳුනාගන්නා බැරි, තනි තනිව ඉඳුරන්ට ගෝචර නොවන, එක හා සමාන ප්‍රතිශතයක්‌ නොමැති, ශක්‌තියක්‌ හෙවත් ධාතුවක්‌ වැඩිපුරම ප්‍රකට වන අතරක්‌ නොමැතිව ප්‍රවර්ථනය වන හෙවත් වෙනස්‌වන ස්‌වභාව ධර්මයකි.මේ ශක්‌තීන්හි යථාභූතභාවය, ඇත්ත ඇති සැටිය, මූල ස්‌වභාවය, ප්‍රකෘතිය, තත්ත්වාකාරයෙන් විදර්ශනාවෙන් නොදකින ප්‍රඥවක්‌ නොමැති අය දහම් නොඅසන පුහුදුන් අය වෙති. 'අස්‌සුතවතෝ ප්‍රථු-ජනො චත්තාරො ඛො භික්‌ඛු මහා භූතා හේතු චත්තරො ඛො භික්‌ඛු මහා භූතා පච්චයෝ රූපක්‌ඛධස්‌ස පඤ්ඤාපනාය'

හේතු ප්‍රත්‍යයෙන් හටගත් සතර මහා භූත ධර්ම රූපස්‌කන්ධ වශයෙන් ප්‍රකට වේ. පැනවේ.

- වර්ණ රූපය 

- ශබ්ද රූපය

- ගන්ධ රූපය

- රස රූපය

- පොට්‌ඨබ්බ රූපය

- ධම්ම රූප වශයෙනි.

රූපයාගේ යථාර්ථය විනිවිද නොදකින පෘතග්ජනයා යම් දෙයක්‌ ඉලක්‌ක කර මනසිකාරය කරා 'එය ඇත' සංඥව තුළ කි¹ බසී. එහි ලොල්බව ඇතිකර ගනී. එතැන පුහුදුන් මානසිකත්වයයි. ඒ භෞතික මානසිකත්වයයි. ඒ භෞතික දේට වටිනාකමක්‌, නොවටිනාකමක්‌ දීම නොදීම මත 'ලාබ - පාඩු' වශයෙන් බලයි. එය රූපය තුළ වස්‌තුව තුළ අනවබෝධය මත ඇතිවන චිත්ත පරම්පරාවකි. නොමේරූ මානසිකත්වයකි. ළදරු මානසිකත්වයකි. අවිද්‍යාවෙන් වෙලාගියා වූ ස්‌වභාවයක. මේ නිසා රූපය මත වස්‌තුව ප්‍රශ්න මාලාවක්‌ පැන නගී. 

- කුමන තත්ත්වයේ එකක්‌ද?

- කුමන ජාතියේ එකක්‌ද?

- කවර ආකාරයේ එකක්‌ද?

- කිනම් වූ වටිනාකමක්‌ තිබේද?

- කාට අයිති දෙයක්‌ද?

- හැඩ තල - පාට වර්ණ - ගඳ සුවඳ - රස කෙබඳුද?

මෙබඳු ප්‍රශ්න මාලාවක්‌ එම රූපය පාදක කරගෙන 'ඔහු විසින්ම' ඇතිකරගෙන 'ඔහුටම ප්‍රශ්නයක්‌' කරගනී. ඒ මත ගැටේ. නැතහොත් 'ඇලේ'. පෞද්ගලිකත්වය මත මෙහෙයවන මානසිකත්වය නිසා 'මම' පනවාගෙන සංකාර ගොඩනගා ගනී. සසරට යැමට සිදුවේ.

'මහණෙනි, තථාගතයාණන් වහන්සේගේ දේශනා දෙවැදැරුම්ය. එනම් 'නිතාර්ථය' හා 'නෙය්‍යාර්ථ' වශයෙනි. නිතාර්ථ යනු පරමාර්ථ දේශනාවයි. නෙය්‍යාර්ථ යනු සම්මුති දේශනාවයි'. සම්මුතියේදී 'මම' යනාදී වශයෙන් ස්‌වභාව ධර්මයට පනවා ගැනීම් කරයි. පරමාර්ථයේදී එසේ පැනවීම් නැත.

'යෝච න්‍යෙයත්ථං සුත්තන්තං නිත්ථො සුත්තං තෝ දීපේති. යෝච නීතත්ථං සුත්තන්ථං න්‍යෙයත්ථො සුත්තංතෝති දීපේති'. ඉමේ ඛො භික්‌ඛවේ දේවේ තථාගතං අබ්භාචික්‌කන්ති...'

(අ.නි. නීතක්‌කූට සූත්‍රය)

එසේම (-

'අරහත් වූ අන්තිම දේහධාරීහු වූ, කෙලෙස්‌ නැසුවා වූ යම් භික්‌ඛුවක්‌ 'මම' යෑයි කියන්නේ ලෝක ව්‍යවහාරයට අනුවය. 'මම' යන වචනය භාවිත කළත් එයින් පරමාර්ථයක්‌ අපේක්‌ෂා නොකරයි.'

'යෝ හෝති භික්‌ඛු අරහං කතාවි, ‚ණාසවෝ අන්තිම දේහධාරි 'අහං' වදාමිති පී සෝ වදෙය්ය. ලොකෙ සමඤ්ඤං කුසලො විද්‍ෙවා වෝහාර මත්තෙන සො වෝහරෙයිය...' (සං.නි. අහරත්ත සූත්‍රය)

රූපයෙන් ඇලෙන්නේ, ගැටෙන්නේ රූපය ස්‌වභාවය නොදන්නා නිසාය. එනිසා

රූපේ ඛෝ රාධ මාරො

රූපේ ඛෝ රාධ වධකො...'

රූපය මාරයෙක්‌, රූපය වධකයෙක්‌, රූපය හතුරෙක්‌, වශයෙන් නුවණැසින් දකින්න බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළහ. එනිසා සුතවත් ආර්ය ශ්‍රාවකයාට 'රූපය' යන්න හරිහැටි තේරුම් ගෙන එය 'හිතෙන්' අත හැරීමට උත්සාහ කිරීම සැපයට හේතුවන බවද දහමේ දක්‌වා ඇත. රූපය තමාගේ හිතැති පරිදි පවත්වා ගැනීමට නොහැකි නම් තම වසඟයෙහි නොරැඳේ නම් එය අත්හැරීම 'හිත පිණිස - සුවය පිණිස්‌ වේ.

ඒ බව 'යං භික්‌ඛවේ නකුම්හාකං තං පජහථත. තංවො පහීනං හිතාය, සුඛාය භවිස්‌සති'.

'මහණෙනි, යමක්‌ නුඹලාගේ නොවේද, එය අත්හරිව්. එසේ අත්හැරීම හිතසුව පිණිසම වේ. 'ස්‌වාමියෙක්‌, නැති තැන අධිපති බවක්‌ නැත. අධිපතිකම, ස්‌වාමීත්වය බරකි. සියල්ල හිතෙන් අත්හැරීම නිවීමයි.

ඒදණ්‌ඩේ යන බල්ලාට තමාගේ රුව වතුරේ පෙනෙන විට 'බල්ලෙක්‌' කියා සංඥව ගත් ගමන් 'මට' පටහැනිව පෙනෙන රූපය 'මට' පටහැනිව එන බලවේගය වහා නැති කිරීමේ මානසිකත්වය මතින් ජීවිතය විනාශ කරගනී. එමෙන් රූපයේ යථාර්ථය විනිවිද හරිහැටි ඇත්ත ඇති සැටියෙන් නොදකින පුහුදුන් අයටද සිදුවන්නේ බල්ලාට උන්හරියය. බල්ලාගේ මන දුර්වල යි. මිනිසාගේ මන උසස්‌ය. එබැවින් උසස්‌ මානසිකත්වය ඇති අප සතිමත්ව, මන්වත් නොවී වන්නාවූ ව්‍යසනයන්ගෙන් මිදීමට නිතරම එළඹ සිටි සිහියෙන් සිටිය යුතුය.

සමාජගතවී භෞතික ලෝකය පරිහරනයේදී හෙවත් 'රූප' පරිහරණයේදී විශ්වාස, දැකීම, දැනීම වශයෙන් අවස්‌ථා තුනක්‌ විද්‍යමාන වේ. මෙයින් විශ්වාසය දැකීම සම්මුතියට අදාළ වේ. එය භෞතිකත්වය මතවූ මානසිකත්වයකි. 'දැනීම' පරමාර්ථයට අදාළවයි. එයම දහමේ සත්‍ය ඥනය, කෘත්‍ය ඥනය, කෘත ඥානය වශයෙන් බෙදා වෙන්කර ඇත. සම්මුති සත්‍යය ඉන්ද්‍රිය බද්ධයි. එයට බුද්ධිය කිව නොහැක ලෝක ව්‍යවහාරය ඥනයද නොවේ.

පුහුදුන් ලෝකයා රූපයේ ඇත්තට, ප්‍රකෘතියට නොව නැත්තට හෙවත් විකෘතියට රැවටී ඇත. එවිට සත්‍යය වසන්වේ. එසේ වන්නේ ඉන්ද්‍රිය මතම සත්‍ය දැකීමට උත්සාහ කිරීමයි. සතිමත් වීමෙන් ප්‍රත්‍යක්‍ෂ ඥනය විදසුන් නුවණ ඇති වනු ඇත. රූපයේ ඡායාවට රූපයේ යථාර්ථය කීම වැරැදිය. එනිසා සලායතනවලට සම්බන්ධීකරණ වෙන සියලුම රූප ප්‍රකෘතිය නොව විකෘතියයි.

- වර්ණ රූපය ඇසින් දැක්‌කා...

- ශබ්ද රූපය කනින් ඇසුණා

- ගන්ධ රූපය නාසයට දැනුණා

- රස රූපය දිවට දැනුණා

- පොට්‌ඨබ්බ රූපය කයට දැනුණා

- ධම්ම රූප (සිතුවිලි) මනට දැනුණා... හෙවත් මෙනෙහි වුණා යනුවෙන් ලෝකයාගේ ප්‍රකාශිතය සත්‍ය නොවේ.

එය නම් නොදැනුවත්කමේ තවත් නොදැනුවත්කමකි. ඉන්ද්‍රියන්ට රූපයාගේ ප්‍රකෘතිය, යථාර්ථය, මූල ස්‌වභාවය, ඇත්ත ඇතිසැටියෙන්, යථාභූතව ප්‍රකටවීම කිසිසේත් සිදුනොවේ. 'අනුභූතිය' ඥනයක්‌ ලෙස සැලකීම වැරැදිය. බාහිර ලෝකයේ වර්ණ රූප, ගන්ධ රූපාදිය අභ්‍යන්තර ලෝකයේ ඇස, කණ ආදී ඉන්ද්‍රිය හා පස්‌සයෙන් හෙවත් ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණයෙන් යම් නිගමනයකට පැමිණ ප්‍රකාශ නිකුත් කිරීම අර්ථ ගැන්වීම, විග්‍රහයන් කිරීම අසම්පූර්ණ බවකි. හිස්‌බවකි. ඌණ බවකි. අපරිපූර්ණයි. යථාර්ථය නොවේ. අසම්පූර්ණයි. ඉන්ද්‍රියන්ට ගෝචර වන්නේ බාහිර රූපයාගේ සීමිත සීමාසහිත ඡායා මාත්‍රයක ප්‍රමාණයක්‌ පමණි. යථාර්ථයම නොවේ. යම් අදහසක්‌ ගැනීමට යම් උපකාරයක්‌ වනවා හැර වෙන දෙයක්‌ නොවේ. රූපයේ යථාර්ථය පටිච්ච සමුප්පාදයට ගලවා ගැනීම විද්‍යාත්මකව විදු ඇසින්ම සාධනය කළ යුතුය.

එමෙන්ම අධි භෞතික චිත්ත ශක්‌තිවූ ඉද්ධිවිධ, දිබ්බසෝත, පරචිත්ත විජාණන, දිබ්බචක්‌ඛු, පුබ්බේ නිවාස, පංච අභිඥ, අෂ්ඨ සමාපත්තිලාභිකත්වයෙන්ද යථාර්ථය පසක්‌ කළ නොහැක. ඉහත චිත්ත ශක්‌ති මානසික මට්‌ටම්ය. පටිච්චසමුප්පාද දර්ශනයට අදාළ නොවේ.

සතර මහා භූත, විඤ්ඤාණ ධාතුව, ආකාශ ධාතුව යන සුද්ධ ධර්මය හෙවත් ශක්‌තීන්ගේ ප්‍රකෘතිය ධර්මයට ගලපා අවබෝධ කටයුතය. සත්ව පුද්ගල සංඥව දෙන්නා වූ පනවන්නාවූ මේ ස්‌වභාවධර්මයේ ක්‍රියාකාරීත්වයක්‌ පෙන්නුම් කරන්නේ විඤ්ඥණ ශක්‌තිය හටගත්තොත් පමණි. එයට සවිඤ්ඤානක හෙවත් සංචේතනික නම යෙදී ඇත. මේ සවිඤ්ඤාණකත්ව සිතුවිලි හට ගැනීමේ මූලික පදනමයි. එසේ නම් විඤ්ඤානය හට ගැනීමේ ඉඩ අහුරා තැබීමෙන් භව නිරෝධය හෙවත් භවගාමී සිත හට නොගැනීමට වගබලාගත හැක.

මේ තත්ත්වය ඇතිකර ගැනීමට මූල ශක්‌තීන්ගේ ස්‌වභාවය ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. නාම - රූප ප්‍රත්‍ය නොවේ නම් විඤ්ඤානයයාගේ පහලවීමත් හට ගැනීමක්‌ නොමැත.

'නාම රූප නිරොධො විඤ්ඤාන නිරෝධා'

ප්‍රථමයෙන් රූපයේත් රූප කලාපයේත් සංඥ ශුන්‍යත්වයට අවධානය යොමු කළ යුතුය. රූපයාගේ යම් ලක්‌ෂණයක්‌, ස්‌වභාවයක්‌, භාවමය පැනවීමක්‌, ගතියක්‌ ප්‍රකට වේද එය රූපයේ ශුන්‍යත්වයේදී මනසේ ප්‍රකටවීමට ඉඩ නැත. ඒ සංඥ ශුන්‍යත්වය නිසාය. රූප සංඥ මනසේ ශුන්‍ය වන විට 'අනිමිත්ත' වන බව හෙවත් නිමිති නොවීම වේ. එවිට රූපය ඵස්‌සය නොවීම නිසා විඤ්ඤාණ ධාතුවේ හට ගැනීම සිදුනොවේ. මේ ස්‌වභාවය 'සිතෙන් නිදහස්‌වීම' හෙවත් චේතෝ විමුක්‌තිය' නම් ධර්මතාව බව පැහැදිලිය. 'අනිමිත්ත චේතෝ' සමාධිය වේ. රූප සංඥ ශුන්‍යත්වයේ දී මනස අමනසිකාරය නම් ධර්මතාවටපත්වේ. මේ නිසාම ලෝක ධර්මයන් හෙවත් ඵස්‌ස - වේදනා, සංඥ, චේතනා මානසිකාරය නම් ස්‌වභාව ධර්ම ප්‍රකට නොවේ. එතැන 'නිමිති' නැත. ආකාරගති, පැවතුම් නැත. ප්‍රඥප්ති නැත. 'ඇත' හෝ 'නැත' නොපැනවේ. උපත-විපත නැත. ඒ විඤ්ඤානයාගේ හා නාම රූපයාගේ ප්‍රකට නොවීමයි.

'ඉධ භික්‌ඛවේ සබ්බ නිමිත්තානං අමනසිකාර අනිමිත්තං චේතෝ සමාධිං උපසම-ජ විහරති, අයං උච්චති අනිමිත්තෝ චේතෝ සමාධීති...චේතෝ සමාධිං උපසම-ජ විහරාමි' (සං.නි. අනිමිත්ත සූත්‍රය)

'මෙහි භික්‌ෂු තෙමේ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ මෙසේ නම් එය අනිමිත්ත චේතෝ සමාධියයි කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වාසය කරමි'.

ලෝකෝත්තර සම්මා සතිය යනු රූපයාගෙන් හිත නිදහස්‌ වීමයි. ලෝකෝත්තර සම්මා දිට්‌ඨියද මේ හා සමානය. 'නිවන' යනු රූපයාගෙන් හිත නිදහස්‌ වීමයි. 'රූපය' මොනයම් හෝ ක්‍රමයකින් අල්ලාගන්නේ නම්, 'දුක' අල්ලාගත්තා වේ. 'දුක' නිරුද්ධ කිරීමට රූපයේ යථාර්ථය දැක එය අත්හැරීමට ඉඩ සැලසීමයි.'

විඤ්ඤානයේ - සෙච්තනිකත්වයේ මූල සාධකයක්‌ වන්නේ රූපයයි. ශුද්ධ ධර්ම ප්‍රවර්තනය වීම නිසා නාමරූප, පහළවීම හටගැනීමක්‌ විද්‍යමාන වේ. ඊට සතා පුද්ගලයා, ගල් ගල් පර්වත සවිඤ්ඤාන අවිඤ්ඤාන වශයෙන් නම් ගොත් පනවාගෙන ඇත. මේ ධර්මතාව තථාගතයන් වහන්සේලා ඉපදුනද නොඉපදුනද පටිච්ච සමුප්පන බව ඉදපච්චයතාවය ධර්මතාවන්ගේ පැවැත්ම ලෝකය තුළ පවතී. 'උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඨිතාච සධාතු ධම්මට්‌ඨිතිතා ධම්ම නියාමන ඉදප්පච්චයාතා... (සං.නි. පච්චය සූත්‍රය)

මායාවෙන් රැස්‌ කළ රූපමය මනස නැති කළ විට පරම චිත්ත විවේකය ඇතිවනු ඇත. පරමා+ර්ථය උත්තමාර්ථය යනු 'සත්‍ය' සත්‍ය ලෙස දැකීමයි. ඔබට මට සමාජය විසින් පරමාර්ථය අවබෝධ කරගන්න කියා බලකරනු ඇත. ඒත්තු ගන්වනු ඇත. පරමාර්ථය පරමාර්ථයක්‌ම පමණි. පරමාර්ථය යනු අසත්‍යයෙන් වෙන්වීමයි. මනවසා ඇති වැරැදි දෘෂ්ටි ඉවත් කිරීම පමණි කළ යුත්තේ. වැරැද්ද හඳුනා එය ඉවත් කිරීමයි ඒ සඳහා සතිය පමණක්‌ සෑහේ.

මෙසේ සිතන්නෘ ඔබේ අත ප්‍රකෘතියෙන් ස්‌වභාවයෙන්ම පිsරිසිදුයි. බාහිරෙන් ආගන්තුකව 'මඩ' තැවරුණොත් 'මඩ' තැවරි ඇති බවත් 'මඩ' සේදීමෙන් ප්‍රකෘතිය වූ පිරිසිදු බව ඇතිවන බවත් ඔබට වැටහෙනු ඇත. අත පිරිසිදු කිරීම නොව 'මඩ' ඉවත් කිරීම සිදුකළ යුතුය. අමුතුවෙන් 'අත' පිරිසිදු කළ හැක්‌කක්‌ නොවේ. එමෙන් ලෝකයේ ප්‍රකෘතිය පිරිසිදුය. අප සත්‍ය සොයාගෙන යන්නේ මනසින් අසත්‍ය වඩාගෙනය.

රූප කලාපයන්ගේ පැවැත්මට, සජීවිකරණයට, අවිච්‍යන්නව පෙනී සිටීමට කම්ම, චිත්ත, සෘතු, ආහාර උපකාරී වේ. ඒ ද ධාතු හතරක අනොන්‍ය න්‍යායාත්මක ස්‌වභාවයක්‌මය. සියල්ල ධාතුන්ගේ මූල ශක්‌ති නිසාය. අෙන්‍යන්‍ය ප්‍රත්‍යයි. අනුරාශිභූත වී කලාපද, කලාප රාශි භූතයෙන් රූපද, රූප දෙකක ස්‌වභාවික එකතුවෙන් විඤ්ඤාන ශක්‌තියද හටගනී. විඤ්ඤාන ශක්‌තිය සත්වයා නම් වූ ස්‌වභාවධර්මය තුළ හයපොළක හටගැනීමත් ස්‌වභාවිකය.

මේ ස්‌වභාවිකත්වය කිසිවකුට නවතාලිය නොහැක. ශුද්ධ ධර්මයන්ගේ ප්‍රවර්තනයෙන් විඤ්ඤාන, නාම, රූප ප්‍රකටවීම ස්‌වභාවිකය. සුළං හැමීම නවතාලිය නොහැක. වැස්‌ස ඇද හැලීම ස්‌වභාවිකයි. ගලන ගඟ නවතාලිය නොහැක. නාම රූප යම් තැනක විද්‍යමාන වේ නම් විඤ්ඤානයේ ක්‍රියාකාරීත්වය ද එතැන වේ. නල කලාප දෙකක්‌ හෙවත් බට මිටි දෙකක්‌ එකට හේත්තු කර තිබීමේදී එක මිටියක්‌ අනිත් මිටිය ප්‍රත්‍ය කරගෙන සිටින්නා සේය. රූපයාගේ මූල ශක්‌තිය පඨවි, ආපෝ, තේජෝ, වායෝ වේ. නාම ධර්මවල මූල ශක්‌තිය විඤ්ඤාන ධාතුව වේ.

මේ ස්‌වභාවධර්ම ඝන හතරකින් වසා ඇත. එනම්,

1. සන්තති ඝන 2. සමූහ ඝන, 3. කෘත්‍ය ඝන 4. ආරම්මණ ඝන යනුවෙනි.

1. සන්තති ඝන - නොකඩවා පැවැත්මá ප්‍රවර්තනය, පරම්පරාව නිසා වෙන් වෙන්ව ඇති නාම ධර්ම රූප ධර්ම සම්බන්ධ වී ක්‍රියාකාරීත්වයක්‌ පෙන්නුම් කරයි. රූප කලාප එකතුවී පූතිකායක්‌ පෙන්නුම් කරයි.

2. සමූහ ඝන - අත්, පා, හිස, කඳ වෙන් වෙන්ව පෙන්වූ නමුත් පරමාර්ථ වශයෙන් රූප කලාපයන්ගේ එකතුවකි. අතු - කොළ - මල් - ගෙඩි - කඳ එකතුවීම මත ගස යන නම යෙදී ඇත. ඒ සමූහ ඝන නමි.

3. කෘත්‍ය ඝන - චිත්ත - චෛතසික - රූප - සාමූහික ක්‍රියාකාරීත්වයේ ක්‍රියාත්මක භාවයක්‌ පෙන්නුම් කරයි. ඒ කෘත්‍ය ඝනයි.

ආරම්මණ ඝන - බාහිරින් එන අරමුණු මත ක්‍රියාත්මක බවක්‌ පෙන්නුම් කරයි. මේ ක්‍රියාදාමයට 'මම' පනවා ගැනීම සත්ව පුද්ගල සංඥව දීම.

කයේ පැවැත්මට (රූපයේ) නාමත්, නාමයාගේ පැවැත්මට ගොරෝසු කයත් උපකාරී වේ. එහෙත් රූපයේ නාම නැත. නාමයේ රූප නැත. අෙන්‍යන්‍ය උපකාරී බවක්‌ මත සිදුවීම් මාලාවකි. 'කොරාට' ගමන් කළ නොහැක. එහෙත් අන්ධයාගේ පිහිටෙන් යයි. අන්ධයාට මග නොපෙනේ. කොරාගේ පිහිටෙන් නියමිත තැනට යා හැක. එමෙන්ම නාමයාගේ පිහිටෙන් රූපකයත්, රූප කායේ පිහිටෙන් නාමයාගේ ක්‍රියාකාරීත්වයත් පෙන්නුම් කරන මුත් සත්ව පුද්ගල පැනවීම් කළ නොහැක. 'ඡ - ධාතුයෝ අයං භික්‌ඛවේ පුරිසෝ' ධාතු විභංගයේ සූත්‍ර මගින් පෙන්වාදී ඇත්තේ මේ ස්‌වභාවධර්මයයි.

සසර දුක නිවාලමු

දන්කන්දේ ධම්මරතන හිමි

මේ දක්වා කරලා නැති අකුශල් ඉදිරියේදීත් නො කර සිටීමට උත්සාහ ගැනීමත්, මේ දක්වා යම් යම් අකුශල කර්ම තමා අතින් සිදුවුණා නම්, ඒ අකුශල් මීට පසු නොකර සිටීමටත් උත්සාහ ගැනීම අකුශල පැත්තෙන් දේශනා කර ඇති කොටස් දෙක, මේ දක්වා තමා විසින් කර නැති කුසල් දියුණුූ කර ගැනීමට උත්සාහවත් වීමත්, මේ දක්වා තමා විසින් කර ඇති කුසල් තව දුරටත් වැඩියෙන් වැඩියෙන් කිරීමටත් උත්සාහ ගැනීමත් කුසල පැත්තෙන් දැක්වෙන කරුණු දෙකයි.
භාවනාවට අදාළ වන හැටියට නූපන් කුශල ධර්ම තේරුම් අරගෙන ඒවා දියුණු කිරීමට උත්සාහ ගත යුතුයි. මේ දක්වා තමාගේ සිත තුළ සිත එකඟ කර ගන්නට නො හැකි නම් එය නූපන් කුශල ධර්මයක්. තමාගේ සිතේ සමාහිත බවක් නැත්නම්, සිතේ සමාධිය වැඩි නැත්නම්, රූපාවචාර පළමුවෙනි ධ්‍යානයවත් මේ දක්වා ඇතිවී නැත්නම් ඒවා නූපන් කුශල ධර්ම, ධ්‍යාන සිතක් උපදවාගෙන ඇති කෙනකුට එයින් එහාට ඇති ධ්‍යාන සිත් නූපන් කුශල ධර්ම, අඩු වශයෙන් සිතේ එකඟ බවත් ඇති කර ගැනීමට භාවනාව මුල සිට පුරුදු කරන අය උත්සාහ ගත යුතු වනවා.
විදර්ශනා පැත්තෙන් බලන විට මේ දක්වා තමාගේ සිත තුළ ඇති නොවූ ධර්ම රාශියක්ම තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, මාර්ග සත්‍ය ගැන නිවන් දැකීමට සුදුසු මට්ටමේ අවබෝධයක් බොහෝ දෙනෙකුට නැහැ. බොහෝ දෙනෙක් සසරේ ගමන් කිරීමට අවශ්‍ය දේවල්ම නිරතවනවා විනා සසරින් මිදීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති පූරණය කිරීමට කටයුතු නොකරන්නේ දුක්ඛ සත්‍යය ගැන නිසි අවබෝධයක් නැති නිසා . “මහණෙනි, ඔබලා සසරේ විඳින ලද දුක දන්නවා නම් ඔබලාගේ ඇඳගෙන සිටින රෙදි ගිනි ගත්තත් ඒ ගිනි නිවන්නට නොවෙයි ඔබලා උත්සාහ ගන්නේ. අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමටයි”. කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ දක්වා සසර පුරා කොච්චර නම් දුකක් විඳලා තිබෙනවද, සතර අපායන්ට වැටි කොච්චර නම් දරුණු දුක් වින්දද, සෝවාන්වත් නො වුණොත් කොච්චර නම් කාලයක් සසරේ ඉදිරියේ දීත් දුක් විඳින්නට සිදුවෙයිද කියලා තරමක හෝ හැඟීමක් ඇතිකර ගන්නට උත්සාහවත් වන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ වදාළා මනුෂ්‍යයකුට මැරුණාට පස්සේ සුගතියක උපදින්නට ලැබෙන්නේ නියපොත්තක් උඩට ගත් පස් ටිකක් වගේ සුළු දෙනකුට පමණයි. පොළවේ පස් තරම් වාගේ බොහෝ දෙනෙක් උපදින්නේ දුගතිවල කියලා. කොච්චර නම් අවදානම් තත්ත්වයකද ඔබ සිටින්නේ කියලා තේරුම් ගන්න.
දුක්ඛ සමුදය සත්‍යය (නැවත නැවත ඉපදෙමින් සසර දුක් විඳින හේතුව) එදිනෙදා ජීවිතයේදි ක්‍රියාත්මක වන හැටිත්, සසර දුක නැතිවී නිවන් ලැබෙන මාර්ගය වූ දුක්ඛ නිරෝධගාමිණි පටිපදාර්ථ සත්‍යයත් තේරුම් ගැනීමටද උත්සාහ ගන්න.පොත්වල මේ පිළිබඳව තිබෙන කරුණු කියවා මතක තබා ගත් පමණින් මේවා අවබෝධ කර ගත්තා කියා රැවටෙන්නට එපා.
රූප –වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පංචස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වරූපය තමා විසින්ම අවබෝධ කර ගත යුතු වනවා. පංචස්කන්ධය නිරන්තරයෙන්ම වෙනස් වන අනිත්‍ය දෙයක් බවත්, පංචස්කන්ධය පවතින තාක් කල් ඒ තුළින් දුකක්ම ඇතිවන බව හා පංචස්කන්ධයම දුක්ඛ සත්‍යයක් මෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් වන බවත්, ඒවා තමාට ඕනෑ විධියට පවතින්නේ නැති හේතුඵල ක්‍රියාදාමයක් විනා ඒවා තමාගේ හෝ තමාගේ ආත්මයක් නොවන බවත් තමන් විසින්ම අවබෝධ කර ගත යුතුයි. වෙනත් කෙනකු කියන දෙයක් අසාගෙන සිටි පමණින් හෝ ඒ ගැන සිත සිතා සිටි පමණින් නිවන් දැකීමට ලැබෙන්නේ වහ වහා නිවන් දැකීමට හැකි වන සේ පාරමී පුරා ඇති කෙනකුට පමණක් බවත් තේරුම් අරගෙන ඒ කරුණු තමා විසින්ම තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වනවා.
පංචස්කන්ධ පැවතීම කෙරෙහි කලකිරීමක් (නිබ්බිදාවක්) ඒවා කෙරෙහි නො ඇල්මක් (විරාගයක්) ඇති වී පංචස්කන්ධ ධර්ම සිතින් ගිලිහී යාම (නිරෝධය) ප්‍රත්‍යක්ෂ ලෙස භාවනාවෙන් අත්දැක ඒවා සම්පූර්ණයෙන්ම සිතින් අතහැරීයාමෙන් (පටිනිස්සග්ගයෙන්) කෙනෙකුට නිවන මේ ජීවිතයේදීම වුවත් අත්දකින්නට පුළුවන්.
පංචස්කන්ධ ධර්ම වශයෙන් එසේ බැලීමට නො හැකි කෙනකුට ඒවා නාමරූප ලෙසින් හරි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ , විඥාන ධාතු වශයෙන් හරි ඇස, කන, නාසය, දිව, ශරීරය ,මනස කියන ආයතන (චක්ඛායතන ආදි) වශයෙන් හරි, බලන්නට පුළුවන්. තවත් බැලිය හැකි වෙනත් ආකාරත් තිබෙනවා.
සම්මා සති – බොහෝ විට බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සතිය විස්තර කර ඇත්තේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන සතර සතිපට්ඨාන ධර්මයන් වශයෙනි. සම්මා සතිය දියුණු කර ගැනීම, සම්මා සමාධිය දියුණු කර ගැනීමටත් ඉතාමත්ම අවශ්‍ය වනවා. සම්මා සමාධිය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සම්මා දිට්ඨිය තුළින් දැකිය යුතු පංචස්කන්ධය ආදි ධර්මයන්ගේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගන්නට. සම්මා දිට්ඨිය තුළිනුයි නිවන් දැකිය හැක්කේ. සම්මා සමාධියෙන් ලැබිය යුතු අනුබලය සම්මා දිට්ඨියට ලැබෙන්නට ඕනෑ අනිවාර්යයෙන්ම නිවන් දැකීමට නම්.
සතර සතිපට්ඨානය ධර්මයන් දියුණු කිරීමට පෙර සම්මා සතිය දියුණු කර ගැනීම සඳහා, පහසුවෙන් සිත එකඟ කර ගැනීමට හැකිවනු පිණිස ඒ ඒ පුද්ගලයාට සුදුසු ගැළපෙන පරිකර්ම වචනයක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කිරීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වනවා. සෑම දෙනාටම වාගේ ගැළපෙන පරිකර්ම වචනයක් තමයි තායිලන්තයේ බොහෝ භාවනා මධ්‍යස්ථානවල ප්‍රගුණ කරනු ලබන “බුද්ධෝ’ කියන වචනය . මෙය බුදුගුණ භාවනාවක් නො වෙයි.
එදිනෙදා ජීවිතයේදී කායික ක්‍රියා කරන විට “බුද්ධෝ – බුද්ධෝ – බුද්ධෝ කියා සිහිකරමින් ඒ ක්‍රියාවන් සිදුකරන්නට පුළුවන්. ලෝභ,දෝෂ ආදි නොයෙකුත් දේවල් සිත සිතා ඒ කායික ක්‍රියා මෙතෙක් කල් කරමින් සිටියත්, මේ අයට පුළුවන් එලෙසින් එදිනෙදා ජීවිතයේදී කායික ක්‍රියා කරන විට “බුද්ධෝ – බුද්ධෝ– බුද්ධෝ කියා සිහි කරමින් ඒ ක්‍රියාවන් කරන්නට. ඒ වගේම එදිනෙදා ජීවිතයේදි තරහ සිතක් ඇතිවන විටම තරහක් තරහක් තරහක්, කියා සිහිකර, ඒ එක්කම බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියා වැඩි වේලාවක් සිහිපත් කළ විට ඒ ඇතිවූ පාපකාරි තරහව නැති කර ගෙන සිත කෙලෙස්වලින් මුදා ගෙන සිටින්නට පුළුවන්. මේ වගේම රාගයක්,ඊර්ෂ්‍යාවක් , දැඩිලෝභයක්, අමනාපයක්, නුරුස්නා ගතියක්, නොසතුටක් වැනි කවර ආකාර හෝ අකුශල් විතරක් ඇතිවූ විට රාගයක්,රාගයක්, රාගයක්, ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් දැඩි ලෝභයක්, දැඩි ලෝභයක්, දැඩි ලෝභයක් කියා සිහි කර , බුද්ධෝ කියන වචනය හැකි තරම් වේලාවක් සිහි කළහොත්, මේ අයට හැකියාව ලැබෙනවා කෙලෙස් වලින් සිත මුදාගෙන පිරිසුදු සිතක් ඇතිව සැනසිලිදායක ලෙසින් ජීවිතය පවත්වා ගෙන යන්නට, මෙහිදී සිදුවන්නේ අකුශල විතර්ක කුශල විතර්ක තුළින් මැඬ ගැනීමක්.
දවසේ වැඩි කාලයක් මෙලෙසින් කටයුතු කරන විට, සතිය දියුණුූ කර ගන්නටත්, එම නිසාම සිත එකඟ කරගෙන සිතේ සමාහිත භාවයක් ඇතිකර ගැනීමටත් බොහෝ දෙනෙකුට හැකිකම තිබෙනවා. සමහර අයට පමණක් සිතේ සමාධිය ඇති කර ගන්නට පුළුවන්. තීක්ෂණ ප්‍රඥාවත් ඇති කෙනකුට බුද්ධෝ කියන වචනයේ අර්ථය හදවත තුළින් මතුවී මතුවී එමින්, බුදුරජාණන් වහන්සේ කුමන කුමන ධර්ම තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන කොයි කොයි ආකාර වලින් ඒ ධර්ම ලෝක සත්ත්වයාට අවබෝධ කර දුන්නා ද ආදි කරුණු තමාගේ හදවත තුළින්ම ගැඹුරින් අවබෝධ වෙමින් විදර්ශනා භාවනාව පැත්තට නිරායාශයෙන්ම ම හැරෙන අයුරු අත්දකින්නට පුළුවන්. නිවන අත්දැකීමටත් එය හේතුවෙනවා.
සම්මා සමාධිය – සම්මා සමාධිය කියන්නේ සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් උපදවා ගත් රූපාවචාර පළමුවෙනි, දෙවැනි, තුන්වැනි සහ හතරවන ධ්‍යානවලට අරූපාවචර ධ්‍යාන හතරත් සම්මා සමාධියටමයි ඇතුළත් වන්නේ, ධ්‍යාන සිතක් උපදවාගන්නට භාවනා කළ යුතුමයි. අද කාලෙත් ධ්‍යාන ලාභීන් සිටින බව අවබෝධ කරගෙන සම්මා සමාධිය ඇති කර ගැනීමට උත්සාහවත් විය යුතුයි.
ඒ සඳහා තමන්ට පහසුවෙන් කළ හැකි, ඒ වගේම පහසුවෙන් සිත එකඟ කර ගත හැකි භාවනා අරමුණක් තෝරාගෙන කිරීමයි වඩා සුදුසු. පළපුරුදු කර්මස්ථානාචාර්යවරයෙකුට මෙය තරමක් හෝ නිවැරැදි අයුරින් තීරණය කළ හැකි විය හැකි වුණත්, එවැනි කෙනෙකු සොයා ගැනීමට තමන්ට නො හැකි නම්, භාවානා කිරිමට ප්‍රථමයෙන් බොහෝ දෙනකු විසින් කරනු ලබන බුදුගුණ ,මෛත්‍රි,අසුභ, මරණ කියන චතුරාරක්ඛ භාවනා එකිනෙක කර, ඒ අතුරෙන් වඩා පහසුවෙන් තමන්ට කළ හැකි භාවනා ක්‍රමය වැඩි වේලාවක් ප්‍රගුණ කරන්නට පුළුවන්.
භාවනා කරන විට, හරි අත්දැකීමක් නොලබාම සම්මා සමාධිය යැයි මිච්ඡා සමාධියකට මුළා විය හැකි අවස්ථා ඇති බැවින් එවැනි අවස්ථාවලදි සුදුසු කෙනකුගෙන් උපදෙස් ලබාගැනීම කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රතිවිරුද්ධ කරුණු අටට ප්‍රකාශ කර ඇත්තේ අට්ඨ මිච්ඡත්ත කියලයි. ඒ කියන්නෙ සම්මා දිට්ඨිය නොවෙයි, මිච්ඡා දිට්ඨිය, සම්මා සංකප්ප නොවෙයි, මිච්ඡා සංකප්ප, මේ ආදි වශයෙන් දැක්වෙන නිවැරැදි මාර්ගයට ප්‍රතිවිරුද්ධ අංග අටට.

මඟහැර නොගත යුතු දුර්ලභ අවස්ථාව

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණේ දුක් විඳින සියලුම සත්ත්වයන් ඒ දුකෙන් මුදවා ගැනීමට යි. උන්වහන්සේ අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය තුළ යම් කෙනෙක් හික්මෙනවානම් ඔහු මේ මහ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙලා අමා මහා නිවන සාක්ෂාත් කරන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.
මේ ලෝක සත්ත්වයා සසරේ දුක් විඳ විඳ ආපු දීර්ඝ ගමන ගැන බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මහණෙනි, තනි පුද්ගලයෙක් මේ මහා පෘථිවිය වෙරළු ගෙඩි ප්‍රමාණයට ගුලි කරල එක එක වෙන් කරනවා. මේ මගේ මේ ජීවිතයේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා කියලා. මහණෙනි, ඒ ගුලි ටික ඉවර වෙනවා. නමුත් අම්මල පරම්පරාව ඉවර වෙන්නේ නැහැ.
ඊළඟට උන්වහන්සේ විස්තර කරනවා මේ ලෝකයේ තිබෙන ගස් සියල්ලම අඟල් හතරේ කෑලිවලට කපලා මේ මගේ මේ ජීවිතයේ පියා. මේ ඒ පියාගේ පියා. මේ ඒ පියාගේ පියා කියලා ඒ අඟල් හතරේ ලී වෙන් කළොත් ලී කෑලි ඉවර වෙනවා. නමුත් පියවරු පරම්පරාව ඉවර වෙන්නේ නැහැ. මෙවන් සංසාරයකට අප වැටි තිබෙන්නේ, අවිද්‍යා සහගතව තෘෂ්ණාවෙන් බැඳිල අවබෝධයක් නැතිව යන වැඩපිළිවෙල නිසා බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ.
උන්වහන්සේ වදාළා මහණෙනි, මේ සංසාරෙයේ එක පුද්ගලයෙක් හෙළන කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි. එක පුද්ගලයෙකුගේ ශරීරයෙන් ගලා ගිය ලේ සතර මහා සාගරයට වඩා වැඩියි කියලා. උන්වහන්සේගේ අවබෝධය විශ්වාස කරන පුද්ගලයා තැති ගන්නවා මෙයින් නිදහස් වෙන්නේ කවද ද කියලා. ඒ වගේම ධර්මය තුළ ඒ ශ්‍රාවකයා සමාධිය වඩනවා. ඇසට දකින රූපයෙන් ආශ්වාදය විඳ විඳ සිටි දෙහින් ගැලවෙනවා. ශබ්දය ගැන, ගඳසුවඳ ගැන, කාපු බීපු දේ ගැන, ස්පර්ශය ගැන, ආශ්වාදය විඳ විඳ සිටි කෙනා එයින් නිදහස් වෙලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිකර ගන්නට වෙහෙසෙනවා. ඔහු සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, මත්වතුර භාවිතය, බොරුකීම, පරුෂවචන කීම ආදි අකුසල් සියල්ලම තිබෙන්නේ කාමය තුළ බව දැනගෙන ඔහු කාමයෙන් වෙන් වෙනවා. අකුසලයෙන් මිදෙනවා. එවිට තමන්ගේ භාවනා අරමුණට හිස හසුරුවීමට පහසුයි. කාමයෙන් වෙන් වූ නිසා සිතට විවේකයක් තිබෙනවා.
සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න ගැඹුරට සිත තැන්පත් වෙනවා. ගැඹුරට සිත සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, සිත සංසිඳෙන සමථ, (සමථය කියන්නේ සංසිඳෙනවා) භාවනාව වැඩිය යුතුයි. මහණෙනි, සමථ භාවනාව වැඩුවාම සිත වැඩෙනවා. මේ සිත පිරිහෙන ස්වභාවයෙනුත් යුක්තයි. වැඩෙන ස්වභාවයෙනුත් යුක්තයි. සිත පිරිහෙනවා කියන්නේ සිතට අකුසල් මිශ්‍රවීමයි. වැඩෙනවා කියා කියන්නේ සිතට කුසල් මිශ්‍රවීමයි. උන්වහන්සේ වදාළා මහණෙනි, සමථය වඩන විට සිත වැඩෙනවා කියා.
දැන් මේ ශ්‍රාවකයා තුළ සීලය තිබෙනවා. සමාධිය තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ඇස, කන ආදී ඉපදිලා ලැබුණ දේ පිළිබඳව හොඳින් විමසා බලන්න කියලා. ඇස, කන, නාසය, දිව, කය, මනස නිත්‍යද, අනිත්‍යද කියලා හොඳින් විමසා බලන්න කිව්වා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු නිත්‍යද, අනිත්‍යද කියා විමසා බලන්න කිව්වා. විඤ්ඤාණය, ස්පර්ශය, විඳීම, නිත්‍යද, අනිත්‍යද කියා හොඳින් විමසා බලන්න කිව්වා. ඒ වගේම සඤ්ඤාව, චේතනාව, තෘෂ්ණාව නිත්‍යද අනිත්‍යද කියා විමසා බලන්න කිව්වා.
දැන් ඔහුගේ සිත තැන්පත් කරගෙන ඉන්න නිසා, සීලයෙන් සංවර නිසා, ඉන්ද්‍රිය සංවරයකින් යුක්තව ඉන්න නිසා ඒකටම සුදුසු කල්‍යාණ මිත්‍රයන් ඇසුරේම ඉන්න නිසා, වීරිය ඇතිවෙන ආකාරයට නුවණින් විමසන නිසා, සතර අපායේ භය ඇතිනිසා, මේ තාවකාලික ජීවිතයේ අනතුර පේන නිසා, නිතරම නුවණින් කල්පනා කරන්න පෙළඹෙනවා. ඒ පෙළඹීම නිසාම ඔහු අවබෝධ කර ගන්නවා මේ ‘දුක’ කියා කියන්නේ සත්‍යයක්මයි කියලා. මේ දුක දෙවි කෙනෙක් හදපු දෙයක් නොවේ. මනුෂ්‍යයාගේ ඉපදීම, ජරා, මරණ, සෝක, වැළපීම් දුක් දොම්නස්, උපායාස දේව මැවිල්ලක් නොවේ කියා අවබෝධ කර ගන්නවා.
උන්වහන්සේ වදාළා මේ ලෝකය මවපු කෙනෙක් නැහැ. මවපු දෙයක් නැහැ. හේතුඵල දහමෙන් හටගත් දෙයක්. අවිද්‍යා, තෘෂ්ණා නිසා හටගන්නේ. අන්න ඒ නිසා අවිද්‍යාවටයි, තෘෂ්ණාවටයි දුක්ඛ සමුදය කියා වදාළේ. මේ හටගත්තේ හේතුවක් නිසා. ඒක ආර්ය සත්‍යයක්. ඊළඟට ඔහු ධර්මය තුළින් ඉගෙන ගන්නවා අවිද්‍යාවෙන් නිදහස් වුණොත් තෘෂ්ණාව නැති කළොත් දුක හැදෙන්නේ නැහැ කියලා.
දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අසනවා ස්වාමිනි, මේ සත්ත්වයා ඉපැද්දෙව්වේ කවුද? කියා. උන්වහන්සේ වදාළා පින්වත් දෙවිය, මේ සත්වයා ඉපැද්දෙව්වේ තෘෂ්ණාවයි. අප උපද්දවපු කෙනා අප ළඟ දැන් ඉන්නවා. ආයෙ ආයෙත් එයා අප උපද්දල දේවි. නිරයේ, පෙරේත ලෝකයේ, තිරිසන් ලෝකයේ අපව උපද්දවාවි. නොයෙක් ලෝකවල උපද්දවාවි. ඒ උපද්දවන කෙනා අප ළඟයි. ඒ තෘෂ්ණාවයි.
මේ තෘෂ්ණාව නැත්නම් අප උපද්දවල දෙන කෙනා නැහැ. අප උපද්දවන කෙනා නැත්නම් උපතින් නිදහස්. තෘෂ්ණාව නමැති හේතුව නැතිවුණාම ඉපදීම නමැති ඵලය නිරුද්ධ වෙනවා. ඒ හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වීම ආර්ය සත්‍යයක්. එය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි.
ඒ වගේම වදාළා මාර්ගයක්. සීල, සමාධි, ප්‍රඥා. මහණෙනි, මෙයයි සීලය, මෙයයි සමාධිය. මෙයයි ප්‍රඥාව කියා අංග අටකින් යුක්ත ආර්ය අෂ්ඨාංගික මාර්ගය විස්තර කරනවා. මෙන්න මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තමයි අපට දුකින් නිදහස් වෙන්න තිබෙන මාර්ගය. කවුරු හරි කියනවානම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ වර්තමාන මනුෂ්‍යයාට ගමන් කරන්න බැහැ කියා ඔහු මනුෂ්‍යයාට අහිත පිණිස, දුක් පිණිස පිළිපන් කෙනෙක්. කවුරු හරි කියනවා නම් මේ ලෝකය් මනුෂ්‍යයාට සීල, සමාධි, ප්‍රඥා වඩන්න බැහැ කියා ඔහු මනුෂ්‍යයාගේත්, දෙවියන්ගේත් සතුරෙක්. ඒ වගේම කෙනෙක් කියනවානම් චිත්ත සමාධියක් ඇතිකරගන්න බැහැ කියා ඔහු මනුෂ්‍යයාගේ වගේම දෙවියන්ගේත් සතුරෙක්. ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනාකොට කෙනෙකුට දියුණු කරන්න ලැබුණත් ඔහුට ආර්ය සත්‍යය අවබෝධ කරන්න බැහැ කියා කියනවානම් ඔහුත් මනුෂ්‍යයන්ට දෙවියන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන් මිනිස් කෙමනක්. ඔහුන් මේ මනුෂ්‍යයාගේ නිවන් මඟ අහුරනවා.
එනිසා අප දැනගත යුතුයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සියල්ල අපට මේ ජීවිතයේදීම කරන්න පුළුවන් දේවල්. සිල් ආරක්ෂා කිරීම, ඉන්ද්‍රිය සංවරය මේ ජීවිතයේම කරන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ කොටස් වෙන් කරලා නුවණින් විමසලා බලන එක මේ ජීවිතයේ කරන්න පුළුවන් දෙයක්. ආශ්වාස, ප්‍රශ්වාස ගැන සිහිය පිහිටුවීම මේ ජීවිතයේ කරන්න පුළුවන් දෙයක්. ඉරියව් ගැන සිහිය පිහිටුවීම මේ ජීවිතයේ කරන්න පුළුවන් දෙයක්.
මේ ජීවිතයේම මේවා කරන්න පුළුවන් වෙන්නේ ධර්මය මනාකොට දේශනා කරපු දෙයක්. (ස්වාක්ඛාතයි) ඒ ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කරන්න පුළුවන් දෙයක්. (සන්දිට්ඨිකයි) ඒ ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ඇවිත් බලන්න කියලා පෙන්වා දෙන්න පුළුවන් දෙයක්. (ඒහිපස්සිකයි) තමා තුළම ඇති කරගත යුතු දෙයක්. (ඕපනයිකයි) බුද්ධිමත් කෙනා පමණක් තමාගේ බුද්ධියේ ප්‍රමාණයට ප්‍රත්‍යක්ෂ කරගන්නා දෙයක්. (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි)
ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දෙව් මිනිස් ලෝකයාගේ යහපත පිණිස යි. දෙව් මිනිස් ලෝකයාගේ හිතසුව පිණිසයි. දෙව්වරුත් දිව්‍ය ලෝකයේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය යි. දෙවිවරුත් මාර්ගඵල ලබන්න මහන්සි ගන්නවා. උත්සාහ කරනවා. මාර්ගය කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න දෙවියොත් වෑයම් කරනවා. මිනිසුන් වන අපත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමට වෑයම් නො කළ යුතු වන්නේ මක් නිසාද? අපත් තම තමන්ට හැකි පමණින් වෑයම් කළ යුතුයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම මාර්ගය යි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් ලැබෙන අවබෝධය ඵලය යි. ඒ අවබෝධය නිසා කෙලෙසුන්ගෙන් නිදහස්වීම තමා තිබෙන්නේ. මේ කරා යන්න තිබෙන දුර්ලභ අවස්ථාවක් තමා අපට මේ ලැබී තිබෙන්නේ.
එනිසා අප සියලු දෙනාටම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ අප සංසාරයේ කරපු පිනක විපාකයක් ලෙසයි. මේ පුණ්‍ය විපාකය නිසා අපට කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රයට ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිවි පරදුවට තියලයි මහා සංඝරත්නය ධර්මය ආරක්ෂා කළේ. තල්පත්වල මේ ධර්මය ලිව්වේ අපේ ප්‍රයෝජනයට යි.අප මේ ලැබුණ දුර්ලභ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජනය අරගෙන අප සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සද්ධානුසාරි, ධම්මානුසාරි වෙලා, සෝතාපන්න වෙලා, සතර අපායෙන් අත්මිදී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව උදාවේවා.
නයනා නිල්මිණි