ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බෞද්ධකම පිරිහෙන කරුණු හතක්

දස්සනං භාවිතත්තානං – යො හාපෙති උපාසකො 
සවණංච අරිය ධම්මානං – අධි සීලෙ න සික්ඛති 
අප්පසාදො ච භික්ඛුසු – භිය්‍යො භිය්‍යො පවඩ්ඪති 
උපාරම්භ චිත්තොච – සද්ධම්මං සොතු මිච්චති 
ඉතොච බහිද්ධා අඤ්ඤං – දක්ඛිණෙය්‍යාං ගවෙසති 
තත්ථෙවච පුබ්බකාරං – යො කරොති උපාසකො 
එතෙඛො පරිහානියෙ – සත්ත ධම්මෙ සුදෙසිතො 
උපාසකො සෙවමානො – සද්ධම්මා පරිහායති”

බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහීමට හේතුවන පළමු කරුණ ලෙස එහි දැක්වෙන්නේ (භික්ඛු දස්සනං හාපෙති) භික්ෂූන් දැකීමට අකමැතිවීමයි. ගිිහි – පැවිදි කා අතරත් ගුණවත් – නුගුණවත් , සිල්වත් –දුසිල්වත් අය සිටිති. ඇතැම් කෙනෙක් භික්ෂූ ප්‍රතිරූපක දුසිල්වත් භික්ෂුවකගේ ක්‍රියාකලාපයන් දැක හැම භික්ෂුවක්ම එසේ යැයි සිතමින් භික්ෂූන් දැකීමට අකැමැති වෙති.
එය මුළාවෙන් කරන ක්‍රියාවකි. භික්ෂුව දැකීම, ආශ්‍රය කිරීම, බෞද්ධයෙකුට ඉතාම අවශ්‍ය කාරණයෙකි. “සමණානඤ්ච දස්සනං” “දස්සන කාමො සීලවතං” යනාදි දේශනා පාඨ තුළින් සිල්වත්, ගුණවත් ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම තුළින් ඇතිවන යහපත කොතරම්දැයි තේරුම් ගත හැකිය. හොඳ භික්ෂූන් ආශ්‍රය තුළින් ශ්‍රද්ධා – ශීල – ත්‍යාග – ප්‍රඥා යන ගුණධර්ම දියුණු කරගෙන ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බවට පත්විය හැකිය. නිග්‍රෝධ හිමියන්ගේ දර්ශනයෙන් පවා චණ්ඩාශෝක , ධර්මාශෝක කෙනෙක් බවට පත් වීමට හේතු විය. පෙර අපේ බෞද්ධ රජවරුන් පවා තම දූ දරුවෝ භික්ෂුන් ඇසුරේ හැදී වැඩීමට සැලැස්සූහ. දුටුගැමුණු, සද්ධාතිස්ස, සිරිසඟබෝ වැනි රජවරුන්ගේ චරිත කතාවලින් පෙනෙන්නේ ඒ අය භික්ෂූන් ඇසුරේ හැදී වැඩී රාජ්‍ය පාලනයට පැමිණි ආකාරයයි. එම නිසා භික්ෂුවකගේ දැකීම, ඇසුර අත්හැරිම පිරිහීමට හේතුවන අයුරුත්, සිල්වත්, ගුණවත් භික්ෂූන් දැකීම, ඇසුර දියුණුවට හේතුවන ආකාරයත් සලකා භික්ෂුවගේ අනුශාසනාවලින් තමන්ගේ දැන උගත්කම් ගුණ නැණ දියුණු කරගෙන දෙලොව දියුණුව සලසා ගැනීමට මහන්සි ගත යුතුය.
දෙවන පිරිහීමේ කරුණ ලෙස දක්වා ඇත්තේ (සද්ධම්ම සවණං පමජ්ජති) බණ ඇසීමට ප්‍රමාද බවයි. ධර්මයෙන් උගන්වන හොඳ දේ පැත්තකට දමා නරක දේ අසමින් දකිමින් කාලය ගෙවනවා නම් බෞද්ධයාගේ බෞද්ධකම පිරිහීයාම නිතැතින්ම සිදුවේ. ධර්මය අහන අය, දන්න අය අපරාධ කිරීමට උත්සාහවත් නොවේ. බණ නොදන්න අය, නො අසන අය තිරිසනුන් මෙන් කුමක් හෝ අපරාධයක් කිරීමට මැලි නොවෙති. එම නිසා සෑම බෞද්ධයෙකුම බණ අසා ධර්මඥානය දියුණු කර ගැනීම තුළින් මිනිස්කම රැකගෙන සමාජයේ යහපත්ව විසීමට අවස්ථාව උදා කරගත හැක. බණ ඇසීම උතුම් මංගල සම්මත ක්‍රියාවකි. (කාලෙන ධම්ම සවණං) බණ නො ඇසීම නිසා ගුණ නුවණින්ද මෙලොවින් හා පරලොවින්ද පිරිහෙන බව තේරුම් ගෙන බණ ඇසීමෙහි ප්‍රමාද නොවී බණ අසා බෞද්ධකමත් රැකගෙන මෙලොව, පරලොව ජය ගැනීමට මහන්සි ගන්න.
තුන්වන කරුණ ලෙස දක්වා ඇත්තේ ඉහළ සීලයන්හි පිහිටා කටයුතු නොකිරීමයි. “අධි සීලෙ නසික්ඛති” බෞද්ධයාගේ නිත්‍ය සීලය වන පඤ්ච සීලයට වඩා උසස් සීලයන්හි පිහිටා කටයුතු කිරීම බෞද්ධයෙකුගේ දියුණුවට හේතු වේ. පඤ්ච සීලය අබුද්ධෝත්පාද කාලවල පවා පැවැති ශිෂ්ට සම්මත කරුණු පහකින් සමන්විත වී ඇත. තිසරණයද සහිතව එය සමාදාන් වී රැකීම තුළින් බෞද්ධයාගේ නිත්‍ය සීලය බවට පඤ්ච සීලය පත්විය. එම නිසා බෞද්ධයා නිතරම පිරිසුදුව පන්සිල් ආරක්ෂා කරගෙන සිටීම වැදගත් වේ. එහෙත් එයින්ම සෑහීමකට පත්වීම ප්‍රමාණවත් නොවේ. පෙර අපේ බෞද්ධයෝ මසකට එළඹෙන පොහොය සතරටම අටසිල් සමාදන්ව විවේකීව සිල් ආරක්ෂා කිරිමට මහන්සි ගත්තේ මෙහි ඇති වැදගත්කම තේරුම් ගෙනය. වර්තමාන සමාජයේ පොහොය සතරට .තබා මසකට වරක්වත් පඤ්ච සීලයට වඩා උසස් සීලයක පිහිටා කටයුතු කිරීමට බොහෝ බෞද්ධයන් උත්සාහ නොගන්නා බව පෙනේ. ඊට හේතුව ශ්‍රද්ධාවත්, සැලකිල්ලත්, ඕනෑකමත් නැතිකම මිස අන් කරුණක් නොවේ. වෙනත් සියලු කරුණුවලට ඉඩ කඩ ලබා ගත හැකි නම් මසකට වරක් පුරපසළොස්වක පොහොය දවසටවත් ඊට ඉඩක් නැහැයි කීම පිළිගත හැකිද? හැම දෙනාටම අවශ්‍ය වන ඉන්ද්‍රිය සංවරය හා චිත්ත දමනය නැති සමාජය ඉතා කලබල සහිතය. වියවුල් සහිතය. මෙය යම් තරමින් හෝ මග හරවා ගැනීමට අටසිල්, දසසිල් වැනි උසස් සීලයක පිහිටා සිටීමේ ඇති වැදගත්කම තේරුම් ගෙන මසකට වරක්වත් උසස් සීලයක පිහිටා කටයුතු කරන්න මහන්සි ගන්න.
බෞද්ධයාගේ සිව්වැනි පිරිහීමේ කරුණ ලෙස දක්වා ඇත්තේ සිල්වත් භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය ඇති කර ගැනීමයි. නවකවූත්, තරුණවූත්, මහලුවූත් භික්ෂූන් කෙරෙහි නිතර කලකිරිම් ඇති කරගන්නා පුද්ගලයා පිරිහීමට පත් වෙයි. (අප්පසාද බහුලොහොති භික්ඛුසු ථෙරෙසු චෙව නවෙසු මජ්ක්‍ධිමෙසු) අද සමාජයේ ජීවත්වන බොහෝදෙනා භික්ෂූන් කෙරෙහි සලකන්නේ සියල්ලෙන් මිදුනු නිර්දෝෂි පුද්ගලයන් ලෙස ජීවත් විය යුතුය යන හැඟීමෙනි. සමන්තභද්‍ර වූ බුදුරජාණන් වහන්සේ හැරුණු විට අනික් සැමදෙනා අතින්ම යම් යම් වැරැදි සිදුවීම ස්වාභාවිකය. සසර පුරුදු නිසා රහත් වූවත් (පව් නොවන) යම් යම් අඩුපාඩු එම රහතුන් තුළද ඇතිවේ. එසේ නම් පෘතග්ජන භික්ෂූන් ගැන කිවයුතු කවරේද? අද අප රට බොහෝ දෙනා පුරුදුව සිටින්නේ තමා අත නොයෙක් අතින් වැරැදි තිබියදී අනුන්ගේ පිරිසුදුකම සොයා බැලීමටයි. ඇතැම් විට පඤ්ච සීලයත් රැක ගැනීමට නොහැකි වූ අය කෝටියක් සංවර සීලයෙන් යුක්ත වූ භික්ෂුවක් විවේචනය කරයි නම් එය කෙතරම් විහිළුවක්ද? අද බෞද්ධයාම භික්ෂුවකගේ ඇති සුළු වරද ඉතා විශාල කොට දක්වා බුදුදහමට ද නිගාවන ලෙස කරන විවේචන කොතරම් දරුණු දැයි පුවත්පත් ආදිය කියවන විට ඔබට මනාව වැටහෙනවා නේද? ඔබ නියම බෞද්ධයෙකු නම් කළ යුත්තේ භික්ෂුවගේ වරද කරුණාවෙන් දයාවෙන් පෙන්වා දීමයි. භික්ෂූන්ගේ නොයෙක් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන. ඒවා අතන මෙතන කියා විවේචනය කිරීමෙන් හැදෙන වැඩෙන දූ දරුවන්ට පවා භික්ෂුව එපා කරවන තත්වයන් උදාවෙයි. එම නිසා සැබෑ බෞද්ධයෙකු කවදාවත් ද්වේෂ අග්නියෙන් භික්ෂූන් වහන්සේට පරිභව නොකරයි. තමන් කෙතරම් උසස් තත්වයකට ගියද භික්ෂුව කෙරෙහි දැක්විය යුතු ප්‍රසාදය, ගෞරවය අඩු නොකරයි. එම නිසා සෑම බෞද්ධයෙකුම භික්ෂුව කෙරෙහි අප්‍රසාද බව ඇති කරගැනීම දෙලොව පිරිහීමට හේතුවන බව සලකා එයින් මිදීමට සිතට ගැනීම වැදගත් වේ.
පස්වන පිරිහීමේ කරුණ ලෙස දක්වා ඇත්තේ සිදුරු සොයන අදහසින් ධර්මය ඇසීමයි. (උපාරමා චිත්තො ධම්මං සුනාති, රන්ද ගවේසි) ඇතැම් අය ධර්මය අසන්නේ එය තේරුම් ගෙන ජීවිතය සකස් කරගැනීම සඳහා නොවේ. විවේචනය කිරීම සඳහා වරදක් අල්ලාගන්නේ කෙසේද? තමන්ගේ උගත්කම පෙන්වන්න දේශකයාගෙන් විවිධ ප්‍රශ්න අසා දුෂ්කරතාවයට පත්කරන්න ආදී විවිධ අදහස් සිත් තුළ තබාගෙනය. නමුත් බුදුරජාණන් වහන්සේ දෙසු සුපරිසුද්ධ ධර්මය එවැනි පටු හැඟීම් සිත් තුළ තබාගෙන ඇසීම පිරිහීමට හේතුවේ. සමහරවිට ධර්මදේශනා කරන විට නොදැනුවත් කමින් කෙරෙන වැරැදි තිබිය හැකිය. හොඳින් බණ අසන අයට ඒවා දැනෙන්නට පුළුවන. එවැනි අවස්ථාවලදී මෛත්‍රී සිතින් පෙන්වාදීම වරදක් නොවේ. එසේ කියාදීම පින්කමකි. මෙහි පිරිහීමේ කරුණක් ලෙස දැක්වූයේ එවැනි අවස්ථාවක් ගැන සලකා නොවේ. වැරදි අදහසින් දේශකයාගේ හා ධර්මයේ සිදුරු සොයමින් විවේචනය කරන අදහසින්ම ශ්‍රවණය කිරීම පිළිබඳ සලකා ගෙනයි.
බුදු සමය වැනි ගැඹූරු දර්ශනයක් එකවර අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. රහත් භාවයට පත්වන තුරුම ධර්මයේ නියම තත්වය අවබෝධ කරගත නොහැකි ගැඹූරු ධර්මතාවයක් එහි අන්තර්ගතව ඇත. නිවනෙහි යථා ස්වභාවය දත හැක්කේ නිර්වාණාබෝධය කළ තැනැත්තාටය. ඒ නිසා තමන් ධර්මය මඳක් දැනගෙන විවේචනය කරන්නට නොගොස් තව තවත් ධර්මය ඉගෙන ගෙන දෙලොව ජය ගැනීමට මහන්සි ගැනීමයි බෞද්ධයා විසින් කළ යුතු වන්නේ.
හයවෙනි පිරිහීමේ කරුණ ලෙස දක්වා ඇත්තේ බුදුදහමෙන් පිට පූජා සත්කාරයන් කිරීමට වඩාත් සුදුස්සන් ඇතැයි පූජාර්හයක් (ඉතොව බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති) සොයමින් කටයුතු කිරීමයි. ඇතැම් අය බෞද්ධයන් වශයෙන් පෙනී සිටියත් තෙරුවනට වඩා උසස් අය ඇතැයි දකින දකින අය පසුපස ගොස් තෙරුවනට නිගාවන ලෙස කටයුතු කරන අවස්ථා අසන්නට දකින්නට ලැබේ. බාහිර ශාසනයන්හිද පරිත්‍යාගයක් ලැබීමට සුදුසුකම් ඇති උතුමන් එමට සිටිත්. එසේම කාහට වුවද යමක් පරිත්‍යාග කිරීම වරදක් නැත. එහෙත් මෙහිදී කියැවෙන්නේ බෞද්ධයෙක් වශයෙන් සිටිමින් ලෞකික විවිධ ආශාවන් නිසා සුළු සුළු ලාභ ප්‍රයෝජන සලකා නිවන් මග සලසා දෙන තෙරුවනට වඩා උසස් දක්ෂිණාර්හයක් ඇතැයි සෙවීම, සිතීම අන්ධ විශ්වාසය ඇති කරගැනීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි.
හත්වන කාරණය ලෙස දක්වා ඇත්තේ බෞද්ධයෙකු ලෙස සිටියත් බුදු සස්නෙන් පිට අන්‍ය තීර්ථක අචේලකාදී බාහිරකයන් කෙරෙහි පළමුකොට පුදසත්කාර කිරීම, ගරු බුහුමන් කිරීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයා තමන්ගේ ආර්ය සංඝරත්නය උසස් කොට සලකයි. එම නිසා යමක් පූජා කරනකොට සංඝරත්නයට මුලින්ම ගරු කිරීම බෞද්ධ සම්ප්‍රදායයි. ඉහතින් දැක්වූ බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහෙන කරුණුූ හත හොඳින් දැන ඉගෙන ඒවායින් අත්මිදී තම තමන්ගේ වටිනා බෞද්ධ ජීවිත මේ පරිහානි ධර්මයන්ගෙන් මදකට හෝ කිළිටිවීමට, පිරිහීමට ඉඩ නො තබා දෙලොව දියුණුව හා නිවන් සුවය සලසා ගැනීමට උත්සාහවත් වන්න.

සුගති දුගති ලොව උපත සකස් කරන චේතනාව

අපට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ තමා තුළින් දකින උතුම් ධර්මයක් ඉගෙන ගන්නට ලැබී තිබෙනවා. පසුගිය සතියේදී ඔබ ඉගෙන ගත්තා විඤ්ඤාණයේ ක්‍රියාකාරිත්වයේ එක්තරා පැතිකඩක් පිළිබඳව උපමා උදාහරණ සමඟ සාකච්ඡා කළා. අදත් ඔබට කියා දෙන්නේ නාගසේන මහරහතන් වහන්සේගෙන් මිළිඳු රජු ට තේරුම් කර දුන් තවත් එක්තරා කරුණක්. ඒ චේතනාව පිළිබඳව යි.
"චේතනා" කියන වචනය අපට හරි හුරුයි. මොකක්ද චේතනාව කියන්නේ කියා අප ටිකක් බලමු. නාගසේන මහරහතන් වහන්සේ වදාළා චේතනාවේ ස්වභාවය චේතනා පහළ කරන එකයි. චේතනාව කියන්නේ යම්කිසි දෙයක් සකස් කරන ස්වභාවයක්. මේ කාරණය කෙටියෙන් කිව්වට එය කෙනෙකුට හිතාගන්න අමාරුයි. ඒ නිසා මිළිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අසනවා, ස්වාමිනි චේතනාව සකස් කරනවා කීම උපමාවකින් පෙන්වා දෙන්න කියා. චේතනාව කියන්නේ සිතිවිල්ලක් කියා සමහර අය වැරැදියට තේරුම් ගෙන ඉන්නවා. චේතනාව කියන්නේ සිතිවිල්ලේ ස්වභාවයක් තිබෙනවා. නමුත් සිතිවිල්ල නොවේ.
ඔබ රෙදි කඩයකට ගිහින් ඇඳුමක් තෝරා මේ ඇඳුම මම ගන්නවා කියා සිතනවා. ඉන්පස්සේ එය මිලදී ගන්නවා. ඉන්පසු ඒ ඇඳුමේ හැඩවැඩ බලනවා. ඒ අනුව ඔබ කය හසුරුවනවා ඒ ඇඳුම උදෙසා. ඒ වගේම එම ඇඳුම වෙනුවෙන් වචන හසුරුවනවා. ඒ වගේම හිත හසුරුවනවා මේක හොඳයි මට ගැලපෙනවා ආදී ලෙස. මේ ඇඳුම ගන්න ඕන කියන චේතනාව නිසා කය, වචනය සිත හැසිරුවා. මේ කය, වචනය, සිත සියල්ල සකස් කළේ චේතනාව යි. චේතනාව පහළ කරලා තමා කය වචනය මනස සියල්ලම ක්‍රියා කරන්නේ. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනා ඇසුරෙන් අපට විමසා බලන්න පුලුවන් චේතනාවත් සිතිවිල්ලත් එකක්ද? දෙකක්ද? කියා.
ඔබ දන්නවා චේතනාවක් ඉබේ හට ගන්නේ නැහැ. ඒ සඳහා කරුණු තුනක් එකට එකතු වෙනවා. අප රෙදි කඩයට ගියාම රෙදි හෝ ඇඳුම් ඇසින් දැක සිතුනා මේක මට ගන්න ඕන කියා. එතැන චේතනාවක් පහළ වුණේ කරුණු තුනක් එකතු වූ නිසා. ඒ ඇසක් තිබෙනවා. ඇසට පෙනෙන රෙදි වූ රූපයක් තිබෙනවා. ඒ රූපය අසේ විඤ්ඤාණයෙන් දැනගත් නිසා ඇසේ විඤ්ඤාණය තිබෙනවා. මේ කරුණු තුන එකතු වූ නිසා එයට ස්පර්ෂය කියනවා. ස්පර්ෂයක් හට ගත්තා කියන්නේ කරුණු තුනක් එකට එකතු වුණා. රෙදි කඩයේ ඇඳුම් ටික දැකීමත් සමඟ එහිදී ස්පර්ෂයක් හට ගත්තා. ස්පර්ෂ නිසයි සංකාරත් හට ගත්තේ. සංකාර කියන්නේ චේතනාවට යි. චේතනා පහළ වන්නේ ස්පර්ෂ ඇතිවීම නිසා කියා දැන් ඔබට පැහැදිලි යි.
අප සිතමු මුලින් කී කරුණු තුන එකට එකතු වීම නිසා චේතනාව හට ගත්තානම් ඇස මුල් කරගෙන රූප පිළිබඳව චේතනා එන්නේ මොන කරුණු මුල් කරගෙන ද? රූප පිළිබඳ චේතනා එන්නේ ඇසත්, රූපයත් ඇසේ විඤ්ඤාණයත් කියන කරුණු තුන නිසා. ශබ්ද පිළිබඳව චේතනා හට ගන්නේ කනත් ශබ්දයත්, කනේ විඤ්ඤාණයත් කියන කරුණු තුන නිසා.
මේ ආකාරයට ගඳ සුවඳත්, රසත්, පහසත්, මනසත් පිළිබඳව ගලපා බලන්න. ඔබ සිතන්න ඇස කියන්නේ චේතනා ද? නැහැ. ඇසේ විඤ්ඤාණය කියන්නේ චේතනාද නැහැ. ඇසත්, රූපයත්, විඤ්ඤාණයත් නිසා හට ගන්නා තවත් එක්තරා දෙයක් පමණයි චේතනා කියා කියන්නේ. මේ විදියට කන කියන්නේත්, ශබ්ද කියන්නෙත්, විඤ්ඤාණය කියන්නෙත් චේතනා නොවේ. නාසය, දිව, කයත් මේ ආකාරයටයි. මනස කියන්නෙත් චේතනා නොවේ. සිතිවිලි කියන්නේ සිතිවිලි දැනගන්නා විඤ්ඤාණය කියන්නේත් චේතනා නොවේ. සිතිවිලිත් චේතනා නොවේ. සිතත්, සිතිවිලිත්, සිතේ විඤ්ඤානයත් කියන තුනේ එකතුව නිසා හට ගන්නා දෙයක් පමණයි චේතනා කියන්නේ. එසේනම් ස්පර්ෂය නිසා හට ගන්නා චේතනාවේ ස්වභාවය මොකක්ද එහි සකස් කරන ස්වභාවයක් තිබෙන නිසා චේතනාවට සංස්කාර කියා කියන්නේ. මොනවද සකස් කරන්නේ.
අපට බුදුරජාණන් වහන්සේ වදාළ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” චේතනාව තමා කර්මය වන්නේ. කර්මය කියන්නේ චේතනාවට කියන තවත් නමක්. එසේනම් කර්මයකින් කරන්නේ මොකක්ද? විපාක පිණිස භවය සකස් කරන එක. විපාක පිණිස කර්ම සකස් වෙලා ඉපදෙනවා උපතක් සකස් වුණා කියන්නේ කර්මය නිසා ඇහැක් හට ගන්නවා ඇහැක් සකස් කළ හැකි වන්නේ චේතනාවට යි. කනක් හට ගන්නේ කර්මය නිසා. කන හටගන්නේ චේතනාව නිසා. නාසය හට ගන්නෙත් කර්මය නිසා. නාසය සකස් කළේත් චේතනාව. මේ ආකාරයට චේතනාව කියන්නේත් කර්මය. කර්මය විසින් තමා නැවතත් ඉපදිලා ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් උපදින්නේ. නැවත උපතකදී ඇසක් උපදින්නේ කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් ඉපදෙන්නේ කර්මය නිසා. කර්ම සකස්වෙලා තිබූ නිසා ඉපදෙනවා. කර්ම ක්ෂය වෙලානම් ඉපදෙන්නේ නැහැ. එසේනම් තේරෙනවා චේතනාව විසින් කරන්නේ නැවත නැවත ඇසක් , කණක්, සකස් කිරීමයි. ඒවා සකස් කළවිට ඒවා මුල්කරගෙන නැවත නැවත චේතනා පහළ වෙනවා. හරි ලස්සන සිදුවීමෙක් මෙහි වෙන්නේ. ඇසෙන් රූප බල බල චේතනා පහළ කරනවා. ඒ චේතනාව කර්මය යි. කර්මය සකස් වීමයි භවය කියන්නේ. ඇසෙන් චේතනා පහළ කිරීම තුළින් භවය හට ගන්නවා. චේතනා පහළ වනවිට මේ හැම චේතනාවක්ම කර්මය නම් එහි සකස්වීම නැවතත් ඇසක් ලැබෙනවා. ඇසෙන් රූප බලල චේතනා පහළ කිරීම නිසා නැවත වතාවක් ඇසක් ලැබෙනවා.
මෙයට ඔබට උපමාවක් කියන්නම්. වාහනයක තිබෙනවා බැටරියක්. හොඳ පණ ගන්වන තත්ත්වයෙන් ක්‍රියාකාරි බැටරියක් නම් ඒ වාහනය ක්‍රියාකාරියි. බැටරියේ බලයෙන් තමයි වාහනය පණ ගන්වන්න පුලුවන් වෙන්නේ. වාහනය පණ ගැන්වුවොත් පමණයි වාහනයෙන් ගමනක් තිබෙන්නේ. වාහනයේ ගමනක් තිබෙන්නේ බැටරියේ ක්‍රියාකාරිත්වයක් තිබුණ නිසයි. එහි ක්‍රියාකාරීත්වයක් තිබුණේ නැත්නම් වාහනය පණ ගන්වන්න බැහැ. ගමනකුත් නැහැ. ඒ වගේම වාහනයෙන් ගමනක් යනවිට ඒ ගමන නිසා නැවතත් ඒ වාහනයේ බැටරිය ක්‍රියාත්මක වී බලවත් වෙනවා. එහෙමනම් බැටරිය උදව් කරනවා වාහනයේ ගමනට. ගමන උදව් කරනවා බැටරියට. චේතනාවත් වාහනයක බැටරිය වගේ. කවදාවත් අවසන් කළ නොහැකි හැමදාම පාවිච්චි කළ හැකි බැටරියක් තමා මේ චේතනාව කියන බැටරිය. මේ බැටරියේ ක්‍රියාකාරීත්වය නැතිවෙලා යන්නේ අවිද්‍යාව නැතිකළ විටයි. වාහනයේ බැටරිය වගේ තිබෙන මේ චේතනාවෙන් මොකද වෙන්නේ. ඇහැ පණ ගන්වල ඇසක් උපද්දුවා. ඇස ඉපද්දුව නිසා ඇසෙන් රූප බලනවා. ඇසෙන් රූප බලන්න බලන්න නැවත නැවත චේතනා පහළ වෙනවා. ඇහැක් තිබුණ නිසයි චේතනා පහළ කරන්න පුලුවන් වුණේ. චේතනා පහළ වූ නිසා තමා නැවත කර්මයක් ලෙස සකස් වෙලා අලුතින් ඇහැක් ලැබෙන්නේ මේ චේතනාවේ ක්‍රියාකාරීත්වය තුළ සකස් කිරීමක් තිබෙනවා. මේ ජීවිතය තුළත් සකස් කිරීමක් තමා තිබෙන්නේ. එසේ සකස් කරන්නේ කොහොමද? සිත, කය, වචන හසුරුවන්නේ චේතනා. චේතනා මෙතැනින් සකස් කරනවා. පරලොවත් සකස් කරනවා. ඒ නිසයි චේතනාවට සංස්කාර කියන්නේ. සංස්කාර කියන්නේ සකස් කරනවා කියන එකයි.
නාගසේන මහරහතන් වහන්සේගෙන් මිළිඳු රජු ඇසුවා ස්වාමිනි, චේතනාවට උපමාවක් කියන්න කියා. එහිදී නාගසේන මහරහතන් වහන්සේ අපූරූ උපමවාක් වදාළා. කෙනෙක් මාරාන්තික විසක් අරගෙන යම්කිසි බීමක් හදනවා. මේ විස උපකාරි කරගෙන හදපු පානය ඒ පුද්ගලයා පාවිච්චි කරනවා. අනෙක් අයටත් පාවිච්චි කරන්න දෙනවා. මේ විස පානය හදාගත් කෙනෙක් මරණයට පත්වෙනවා. නැත්නම් මාරාන්තික දුකකට වැටෙනවා. එය පානය කරන අනෙක් අයත් එක්කෝ මැරෙනවා නැත්නම් මරණාසන්න දුකකට පත්වෙනවා.
මේ විස පානය සකස්කළ පුද්ගලයා නිසා ඔහුත් තවත් බොහෝ දෙනෙක් දුකකට පත්වුණා වගේ නාගසේන ස්වාමින් වහන්සේ වදාළා චේතනාව සකස් කරන්නේ ඔය විදිහටයි. චේතනාව සකස් වුණේ පාපි චේතනාව වශයෙන්. ඒ පාපි චේතනාව නිසා ඒක මාරාන්තික විස සහිත පානයක්. ඒ විස සහිත පානය ඒ පුද්ගලයාටත් මරණය හෝ මාරාන්තික දුකකට පත්කළා වගේ තවත් බොහෝ දෙනෙකුට පීඩා ගෙන දෙනවා. මේ පාපි චේතනා නමැති විස පානය ඔහුටත් තවත් අයටත් දුකක් කරදරයක්මයි ගෙන දෙන්නේ.
ඒ වගේම තමා පුණ්‍ය චේතනාව නිතරම ගෙන දෙන්නේ සැපක්. යම් චේතනාවක් පහළ කරගෙන ඇස, කන. නාසය, දිව, කය, මනස සුගති රැකවරණයට යොමුකළ හැකියි. පුණ්‍ය චේතනාව නිතරම තමන්ටත් අනුන්ටත් සැප පිණිස පවතිනවා. ඒ චේතනාවන් ගැන පෙන්වා වදාළ නාගසේනයන් වහන්සේ ඒ සියලු ප්‍රශ්න විස්තර ඇතුව විසඳා වදාළා. ඔබටත් මේ උතුම් ධර්මය අවබෝධ කර ගන්නට ශක්තිය ලැබේවා!
නයනා නිල්මිණි

ජීවය හා ශරීරය පිළිබඳ ගැටලුව


‘ජීවයත් ශරීරයත් එකක් ම ද? ජීවය එකක් හා ශරීරය තව එකක් ද?” “තං ජීවං තං ශරීරං? අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං?” යනුවෙන් නගන ප්‍රශ්න දෙකෙන් අදහස් කැරන්නේ කුමක් ද යන්න විමසීමකි මේ.
ජීවය හා ශරීරය අතර පවත්නේ අන්‍යතර වූ සම්බන්ධයක් ද නැති නම් අනන්‍ය සම්බන්ධයක් ද? යන ප්‍රශ්න දෙක යි මෙයින් හැඟෙන්නේ. දර්ශනයේ මූලික ම ගැටලුව වන්නේ ද්‍රව්‍ය හා මනස සම්බන්ධ ව බව මාක්ස්වාදය අදහස් කරයි. ද්‍රව්‍යයෙහි පරිණාමයෙන් මනස බිහි වූ බව ඔවුන්ගේ පිළිගැනීම යි. ආත්මය, ජීවය, සිත, මනස, විඤ්ඤාණය යනුවෙන් සියලු වචනවලින් දැක්වෙන්
නේ ද්‍රව්‍යය නොවන දෙය යි. විඤ්ඤාණවාදීහු මනසේ ප්‍රමුඛත්වයත්, මනසේ ප්‍රාථමිකත්වයත් පිළිගනිමින් ද්‍රව්‍යයට, රූපයට ද්විතීයික බව හිමි කරති. සිතෙන් සියල්ල හටගත් බවත්, විඥානය, නැත හොත් පරම ආත්මයකින් ඒත් නැති නම් දෙවියන් වහන්සේගෙන් ද්‍රව්‍ය ලෝකය බිහි වූ බවත් පිළිගන්නා අය විඤ්ඤාණවාදීන් ලෙස සලකනු ලැබේ.
මෙහි ලා භෞතිකවාදීහු ජීවය ම ශරීරය ලෙසත් ශරීරයෙන් බැහැර ව ජීවය හෙවත් මනස නොපවතින බවත් පිළිගනිති. විඤ්ඤාණවාදීහු සිතට ප්‍රමුඛත්වය දෙමින් සිත ද්‍රව්‍යයෙන් නැත හොත් ශරීරයෙන් බැහැර ව පවතින බවත් ජීවය එකකි ශරීරය තව එකකි ය යි කියාත් පිළිගනිති. ශරීරය අතහැර විඤ්ඤාණය ගමන් කරන බව ද පිළිගනිති.
‘ත ජීවං තං ශරීරං’ යන ප්‍රශ්නයෙන් හැඟෙන්නේ ජීවය හා ශරීරය දෙක ම එකක් යන භෞතිකවාදී මතය යි. ‘අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං’ යනු දෙවැනුව කී විඤ්ඤාණවාදී මතය යි.
ජීවය හා ශරීරය එකක් ද දෙකක් ද යන ප්‍රශ්නවලින් හැඟෙන්නේ ද ආත්මය හා ශරීරය එක ම ද නැත හොත් එකිනෙකින් වෙනස් වූ දෙකක් ද යන්න හා සම්බන්ධ වූ ගැටලුවකි.
ජීවිතයත්, ශරීරයත් එකක් ම ය යනුවෙන් පිළිගත් භෞතිකවාදීහු සනාතන ආත්මවාදයට විරුද්ධ ව අදහස් දැක්වූ හ. මේ භෞතිකවාදීන්ගෙන් ඇතැමෙක් උප්පත්තියේ සිට මරණය දක්වා පමණක් පවතින ආත්මයක් පිළිගත්හ. භෞතික ශරීරය ම ආත්මය වශයෙන් සිතන්නට පුරුදු වූ අයගේ අදහස් උපනිෂද්වල ද දක්නට ලැබේ. මෙසේ ආත්ම හා ශරීරය පිළිබඳ ව පරීක්‍ෂා කළ ඔවුන්ගෙන් ඇතැමෙක් තුරිය අවස්ථාව ආත්ම ලෙස පිළිගත්හ. කේ. ඇන්. ජයතිලක මහතා සූත්‍රකෘතාංගයෙහි එබඳු ගුරුකුල සතරක් දක්වා “තච්ජීවිත තච්ශරීරවාද’ ඉන් එක් පිරිසක් බව සඳහන් කරයි. දීඝ නිකායේ ‘අත්තරූපී චාතුම්මහාභූතිකෝ’ යනුවෙන් සඳහන් කළ කරුණට මෙය සමාන වේ. අජිත කේසකම්බල ද මෙම අදහස දරා ඇත.
සුමංගලවිලාසිනියෙහි ‘තේන ඛෝ වාදෝති උච්ඡේදවාදෝ’ යනුවෙන් ජීවය හා ශරීරය එකක් ම ය සලකන පිරිස උච්ඡේදවාදීන් ලෙස හඳුන්වා තිබේ. ධම්මපාල හිමියන් උදාන අට්ඨකථාවෙහි ‘ජීවං ච ශරීරං ච අද්වයං අසංවාදෝ’ ජීවය, ශරීරය දෙකක් නො වේ යන අදහස ආජීවකයන් දැරූ බව සඳහන් කර ඇත. කේ. ඇන්. ජයතිලක මහතා, බෂාම්ගේ ඩ්ඪඵබධපර ධට ඒණඪමචඬච කෘතියෙහි ද මේ මතය ආජීවකයන් දැරූ බව සඳහන් ව ඇතැ යි කියයි. ජෛන ස්්ථානංග සූත්‍රය හා බ්‍රහ්මජාල සූත්‍රය පැහැදිලි ව ම ජීවයත් ශරීරයත් එකක් මැ යි දැරුවේ භෞතිකවාදීන් ය යි පිළිගනී.
‘අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං’ ශරීරය හා ආත්මය දෙකක් හැටියට අන්‍යතර වශයෙන් පිළිගන්නෝ ආත්මවාදීහු ය. ශරීරය හා මනස අතර අසංස්කෘත අසම්බන්ධ පැවැත්මක් මෙයින් අදහස් වන බව මූර්ති මහතාගේ ද පිළිගැනීම යි. පළල් අර්ථයෙන් එය විඤ්ඤාණවාදය යි. ජගත් ආත්මය හා ප්‍රත්‍යගාත්මය දෙක එයින් කියැවෙන බවත්, සංඛ්‍ය දර්ශනයේ පුරුෂ පිළිබඳ සංකල්පය එහි ඇති බවට බුදුන් වහන්සේට අදහසක් තිබෙන්නට ඇතැයි ද ටී. ආර්. වී. මූර්ති කියයි. ‘අඤ්ඤෝ ජීවෝ අඤ්ඤෝ ශරීරෝ’ යනුවෙන් ආත්මයත්, ශරීරයත්, දෙකක් යන අදහස භෞතිකවාදීන් විවේචනය කළ බව පෙනේ. ශරීරයෙන් පිට ආත්මයක්, ජීවයක් තිබේ නම්, එය පෙන්විය හැකි විය යුතු ය යි ඔවුහු තර්ක කළහ.
නටුව හා කොස්ස, කෙඳි ඔවුන්ට වෙන් කොට දැක්විය නොහැක්කා සේ ජීවය හා ශරීරය වෙන් කර දැක්වීමට නොහැකි ය. මේ භෞතිකවාදීන්ගේ මතය යි. කඨෝපනිෂදයෙහි ද මේ අදහස දැක්වේ. බුදුසමයට අනුව භෞතිකවාදීන්ගේ මේ තර්කය ප්‍රතික්ෂේප කැරේ. යෝගී අභ්‍යාසයෙහි නියුක්ත කෙනකුට ‘තණ පඳුරෙන් ගොබය ඇද දක්වන්නා සේ, හියොවුරෙන් ඊතලය ඇද දක්වන්නා සේ’ ශරීරයෙන් මනස වෙන් කිරීමට හැකි බව පාළි සූත්‍රයෙහි දැක්වේ. මෙම හැකියාව යෝගී අභ්‍යාසිකයකුට තිබුණ ද, ජීවය හා ශරීරය අන්‍යතර ය යි යන නිගමනයට බුදුසමය එළඹී ඇතැ යි නොසිතිය යුතු ය. ජීවය එකකි, ශරීරය අනෙකකි යන මතය දැක්වූවාහු පැහැදිලි ව ම ආත්මය පිළිගත් ශාශ්වතවාදීහු ය.
ශරීරය අනිත්‍ය වන අතර, ඒ අනිත්‍ය ශරීරය අතහැර ආත්මය සදාකාලික ගමනක යෙදේ යනු මොවුන්ගේ මතය යි. පැරණි වස්ත්‍ර ඉවත ලා අලුත් වස්තු හැඳගන්නාක් මෙන් ආත්මය එක කයක් අතහැර තවත් කයකට ඇතුළු වේ. චරකසංහිතාවෙන් කරුණු දක්වන මහාචාර්ය කේ. ඇන්. ජයතිලක මේ ජීවයත්, ශරීරයත් දෙකක් ය මතයට සමාන අදහස් දැරූ පිරිසක් ගැන සඳහන් කරයි. ආත්මය ශරීරයේ තිබෙන විට ජීවිතයේ ලක්‍ෂණ හඳුනාගත හැකි නමුත්, ආත්මය ශරීරයෙන් බැහැර වූ විට එසේ හඳුනාගත නොහැකි ය. මේ අනුව සදාකාලික ආත්මය (ජීවය) ශරීරයෙන් වෙනස් වේ. ‘යථා නිත්‍යාන්මානී ශරීරසේත ජීවලිංගාන්‍යුපළඛ්භ්‍යනේති තස්ස වාපකමානේත උපලභ්‍යන්තේ තස්මාද් අන්‍යඞ සරීරාත් ආත්මා නිත්‍යශේවති (3,8,6,52 චරකසංහිතා). ශරීරය ආත්මයෙන් හෙවත් ජීවයෙන් වෙනස් වේ යන අදහස මෙහි ගැබ් ව ඇති බව කේ. ඇන්. ජයතිලක දක්වයි.
ජීවයත් ශරීරයත් එකක් ම ද? එසේ නැත් නම් ජීවය ශරීරයෙන් බැහැර වූ දෙයක් ද? යන මෙම ප්‍රශ්න දෙක අව්‍යාකත වශයෙන් බුදුසමය සලකන්නේ කවර හේතූන් නිසා ද? ඉහත දැක්වූ පරිදි මේ ප්‍රශ්න දෙක පිළිබඳ ව එකංශික වශයෙන් දෙන පිළිතුරු හේතු කොටගෙන ශාශ්වත හා උච්ඡේද දෘෂ්ටි දෙකට වැටෙන බව පැහැදිලි කරුණකි. ජීවයත් ශරීරයත් එකක් ම ය යි සලකන්නා ශරීරය විනාශ වීමෙන් පැවැත්මත් අවසන් වන බව පිළිගනී. ශරීරය එකකි, ජීවය තව එකෙකැ යි කියන්නා ශරීරයේ විනාශ වීමෙන් ජීවය විනාශ නොවී පවතින බව පිළිගනී. එම පිළිගැනීම ශාශ්වතවාදී අන්තයට නිතැතින් ම වැටේ. එසේ නම් බුදු දහම මේ පිළිබඳ ව දෙන පිළිතුර නිශ්ශබ්දතාව ම පමණක් ද? යන්න විමසිය යුතු ය.
ජීවය, ආත්මය, චිත්ත, මනෝ, විඤ්ඤාණ යන මේ සියල්ල එක අර්ථයෙන් අප මෙහි දී දක්වමු. එසේ නම්, බුදුදහම ජීව හා අජීව, එනම් මානසික හා භෞතික අංශ දෙක ම අවිවාදයෙන් පිළිගනී. ‘නාම රූප’ යනුවෙන් මෙය දැක්වේ. ජීවයත් ශරීරයත් දෙක ගැටලු වශයෙන් නොගෙන, ඒවා පවත්නා දේ ලෙස බුදුදහම පිළිගනී. මෙහි දී ගැටලුව වී ඇත්තේ මේ දෙකෙහි පැවැත්ම හුදෙකලා ව ද, සංයුක්ත ව ද, එකක් ද, දෙකක් වශයෙන් පවතී ද ආදි ප්‍රශ්න යි. විඤ්ඤාණය යන බෞද්ධ වචනයෙන් දක්වනවා නම්, ජීවය හා ශරීරය වෙන් ව හෝ එකක් ලෙස හෝ ගත නොහැකි ය. මේ දෙක පවත්නේ එකිනෙකට සාපේක්‍ෂ ව යි: ‘අඤ්ඤත්‍ර පච්චයා නÀථි විඤ්ඤාණස්ස සමාභවෝ’ හේතු ප්‍රත්‍යයෙන් තොර ව සිතක් නො පවතී, විඤ්ඤාණය හෙවත් ජීවය ශරීරය හා බැඳී පවතී යන නිගමනයෙහි පිහිටා සිටින බුදුදහම ශරීරය හෙවත් රූපය ජීවය යි කියා හෝ රූපයෙන් බැහැර ව ජීවය පවතී කියා හෝ නො කියයි. මේ පිළිබඳ ව පැහැදිලි වන අවස්ථාවක් ලෙස සංයුක්ත නිකායේ යක්ඛ සංයුක්තයේ ඉÁදක සූත්‍රය දැක්විය හැකි ය. බුදුන් වහන්සේ රූපය, ජීවය යි නොදෙසන බවත් එසේ නම්, සත්ත්වතෙමේ එනම් ජීවය සිරුර කෙසේ ලබයි ද? එම ජීවියාට ඇටකටු, අක්මා ආදි ශරීරාංග කොයින් ලැබේ ද? කෙසේ මේ ජීවියා (සත්ත්වයා) මවුකුසට පැමිණෙයි ද යි මෙහි දී ඉන්දක බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරයි.
‘ප්‍රථමයෙන් (මාපිය සංසර්ගයෙන්) කළලයක් ඇති වේ. කළලයෙන් ඉදිමුණු අබ්බුදය වේ. එයින් පේසිය හටගනී. පේසියෙන් ගන මස්පිඬ ගනී. එම ඝනයෙන් පිලක පහක් (පසිඳුරන්) හටගනී. පසු ව කෙස්, ලොම් හටගනී. ඉන් පසු ඔහුගේ මව යම් ආහාර වළඳා ද මව්කුසට පැමිණි ඒ සත්ත්වතෙමේ ඉන් යැපේ. මව්කුස තුළ හේතු ප්‍රත්‍යයන් බිහි වූ කළ සත්ත්වයා හටගනී.’ මෙම බෞද්ධ විග්‍රහයෙන් රූපය ම ජීවයය කියා හෝ ජීවය රූපයෙන් බැහැර වේ ය යන අදහස ඉන් මතු නො වේ. මෙම ප්‍රශ්නය පැහැදිලි කැරෙන්නේ බුදු දහමේ පට්ටිච්චසමුප්පාද විග්‍රහයෙනි.
ශරීරය ම ජීවය ය යි සැලකීමේ දී පුද්ගලයා ග්‍රාම්‍ය භෞතිකවාදියකු තත්ත්වයට වැටේ. ශරීරයේ විනාශයෙන් පසු ව ජීවයේ අවසානය ද සිදු වෙයි. එයින් උච්ඡේදවාදය තහවුරු වෙයි. ශරීරයෙන් ජීවය බැහැර වේ ය යි සැලකීම නිසා ශරීරය විනාශ වූ කල්හි ජීවය සකාදාලික ගමනේ නිරත වේ යන්න නිතැතින් ම ශාශ්වත වාදයට හේතු වේ. බුදු දහම මේ අන්ත දෙක බැහැර කරන්නේ යථා තත්ත්වය මේ අන්ත දෙක ම නොවන හේතුවෙනි. ජීවය හා ශරීරය අනන්‍ය වශයෙන් සාපේක්‍ෂක ව පවත්නා විට, ඉහත සඳහන් අන්තවාදී නිගමනවලට එළඹීම සාවද්‍ය වේ. අප මේ ‘ජීවය’ යන වචනයට විඤ්ඤාණය යන අර්ථය දක්වා, එම විඤ්ඤාණය හා භෞතික ශරීරය අතර පවත්නේ කෙබඳු සම්බන්ධයක් ද යන්න පරීක්‍ෂා කර බලමු.
මේ පිළිබඳ ව විශේෂයෙන් මාක්ස්වාදී භෞතිකවාදීහු පැහැදිලි මතයක සිටිති. විඤ්ඤාණය භෞතික හා සාර්වසමානත්වයෙන් සැලකීම ග්‍රාම්‍ය භෞතිකවාදීන්ගේ අදහසක් බව ඔවුහු කියති. චින්තනය ද්‍රව්‍යමය වශයෙන් හැඳින්වීම භෞතිකවාදය හා විඤ්ඤාණවාදය මිශ්‍ර කිරීමේ ව්‍යාකුලත්වයට මග පාදන බව ලෙනින් කියා ඇත. විඤ්ඤාණය භෞතිකයෙන් පරිබාහිර ව පවතින බව පිළිගැනීම අතිශය විඤ්ඤාණවාදී අදහසක් බැවින් හෙතෙම එම මතය ද ප්‍රතික්‍ෂේප කරයි. ද්‍රව්‍ය හා විඤ්ඤාණය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේ වශයෙන් පෙන්වාදීම ද වැරදි බව ලෙනින්ගේ අදහස යි. ඔවුහු ජීවයේ පරිණාමය ගැන කථා කරති; විඤ්ඤාණය මේ පරිණාමයේ ඉහළ ප්‍රතිඵලයක් සේ දකිති. කෙසේ නමුත් ඔවුහු ජීවය හා ශරීරය පිළිබඳ ව දකින්නේ දයලෙක්තික අපෝහක සම්බන්ධයකි. එහෙත් ද්‍රව්‍යය ප්‍රථමික ය යි සලකති. මේ පිළිබඳ බෞද්ධයා ජීවයේ හෝ ශරීරයේ ආරම්භයක් නොපිළිගන්නා අතර, එසේ ආරම්භය පිළිබඳ ව විවිධ ගැටලු ඇති වන හේතුවෙන් ජීවය හා ශරීරයේ සාපේක්‍ෂක පැවැත්ම අවිවාදයෙන් පිළිගන්නා බව කිව හැකි ය.
ජීවය හා ශරීරය එකක් ද දෙකක් ද? යන ප්‍රශ්න යථාස්වභාවය නොදන්නා පුද්ගලයා තුළ පැනනගින ගැටලුවක් සේ සලකන බුදු දහම යථාස්වභාවය ප්‍රත්‍යක්‍ෂ කළ පුද්ගලයාට එබඳු ගැටලුවක් පැන නොනගින බව බොහෝ අවස්ථාවල දී දක්වා ඇත. සිත සමාධිගත කොට ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යානයන්ට සමවැදුණු භික්‍ෂුවකට වුව මේ ප්‍රශ්න දෙක පැන නැගෙන බවත් විදර්ශනා ඥානය ලැබූ පුද්ගලයාට එබඳු ප්‍රශ්න පැනනොනගින බවත් දීඝ නිකායේ මහාලී සූත්‍රයේ සඳහන් වේ. චිත්ත සංවර්ධනය තිබුණ ද ප්‍රඥාව ලබන තුරු මෙබඳු ප්‍රශ්න පැනනගී. සමාධිගත පුද්ගලයා ලෞකික ක්‍ෂේත්‍රයක වෙසෙන අතර, ප්‍රඥා විමුක්තිය ලැබූ තැනැත්තා ලෝකෝත්තර ක්‍ෂේත්‍රයට පත් වේ. බුදුන් වහන්සේ මෙම ප්‍රශ්න දෙකට පිළිතුර නොදෙන්නේ වැරදි දෘෂ්ටිකයන්ට අනුබල ලැබෙන නිසාත්, යථාස්වභාවය අනුව මේ ප්‍රශ්න වැරදි ප්‍රශ්න වූ නිසාත් බව පෙනේ.
සංයුක්ත නිකායේ සෝතාපත්ති වග්ගයේ ‘තං ජීවං තං ශරීරං’ සූත්‍රය හා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං’ සූත්‍රය යන සූත්‍ර දෙකෙහි මෙබඳු දෘෂ්ටි ඇති වන්නේ කවර හේතුවක් නිසා දැ යි බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදි ස්කන්ධ
පංචකයෙහි අනිත්‍ය ස්වභාවය දුක හා අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්‍ෂ නොවූ විට රූපයේ නිත්‍යත්වය, වේදනාවේ නිත්‍යත්වය ආදිය පිළිගන්නා පුද්ගලයා ජීවය හා ශරීරය දෙකක් ද එකක් ද ආදි ප්‍රශ්න නගන බව විස්තර වේ. මෙබඳු දෘෂ්ටීන්ට එළඹෙන්නේ මිනිසා වැරදි පදනමක පිහිටා යථාර්ථය දෙස බලන නිසා බව පැහැදිලි වේ. අනිත්‍ය ස්වභාවය හරිහැටි වටහාගන්නා පුද්ගලයාට ජීවයේ හා ශරීරයේ යථාස්වභාවය දැකගත හැකි හෙයින් එබඳු ගැටලු පැන නොනගී.
විදර්ශනා ඥානයෙන් යුතු පුද්ගලයා මෙසේ දැනගනී:
‘මගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්ත ය; සතර මහා භූතයන්ගෙන් හට ගත්තේ ය; මව්පියන්ගෙන් හට ගත්තේ ය; ආහාරයෙන් මඬනා ලද්දේය. අනිත්‍යත්වයය, ඇඟ ඉලීම ය, පිරිමැදීම ය. බිඳීම ය, විනාශය ය යන දේ ස්වභාව කොට ඇත්තේ ය.’ ‘ඉදංච පන මේ විඤ්ඤාණං එන්‍ථසිතං එන්‍ථ බද්ධන්ති.’ මෙම පිළිතුරෙන් විඤ්ඤාණය හෙවත් ජීවය හා ශරීරය එක ම දෙයක් කියා හෝ වෙනත් දෙයක් කියා හෝ අදහස් නො වේ. හේතු ප්‍රත්‍ය ස්වභාවයෙන් ජීවයත්, ශරීරයත් හටගනී. එය ද වෙනස් වනසුලු ය.
එසේ නම්, ඉහත නැඟූ ප්‍රශ්න ඊට අදාළ නො වේ. බුදුන් වහන්සේ මේ ප්‍රශ්න දෙකට ම එකංශික වශයෙන් පිළිතුරක් නොදුන්නේ අඥෙයවාදී පදනමක පිහිටා නො වේ. උන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරත් එහි යථාස්වභාවයත් දැන සිටියහ. ආශ්‍රව ධර්මයන් ප්‍රහීණ කොට ආශ්‍රවක්‍ෂයකරඥානය ලැබූ පුද්ගලයා එසේ තමා මිදුණු බව දැනගැනීමෙන් මේ ගැටලුවලින් මිදෙන බව බුදුදහමින් පැහැදිලි කැරේ.

කාය සුචරිතය

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය 

බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

අෂ්ටාංගික මාර්ගයෙහි සතරවැන්න සම්මා කම්මන්ත නමින් දැක්වෙයි. කම්මන්ත නමින් අදහස් කොට ඇත්තේ අපගේ කායසමාචාරයයි. එනම් කායික ක්‍රියාවලියයි. මෙහිදී දෙපැත්තක් තිබේ. එය ගෙය ද උපාදේය ද වෙයි. ගෙය වන්නේ මිච්ඡා කම්මන්තයයි. උපාදේය වන්නේ සම්මා කම්මන්තයයි. බැහැර කළ යුතු මිච්ඡා කම්මන්ත හෙවත් කායසමාචාර එසේත් නැත්නම් කායික ක්‍රියාවලියට කරුණු තුනක් අයත් වෙයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය ඒ තුනයි. ඒ තුන්තරා කාය කර්මයන්ගෙන් බැහැර වීමම සම්මාකම්මන්ත සමාදානයයි. බවදුක් නසන්නට නිවන් දකින්නට තරම් ප්‍රබල සම්මා කම්මන්තය අනිකක් නොව මිච්ඡා කම්මන්තය පිටුදැකීම නම් මිච්ඡා කම්මන්තය කෙතරම් ප්‍රබල සාපරාධි එකක්දැයි ගැඹුරින් සිතා බැලිය යුතු ය.
බුදුදහමේ සාරය කේන්ද්‍ර කොට ඇත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයෙහිය. එහි සතරවැන්න දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරියසච්ච නමින් ප්‍රකටය. එයම ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව යන නම්වලින් ද ප්‍රකාශිතය. නමින්ම අර්ථ කථනය වන පරිදි මෙය ඓහලෞකික, පාරලෞකික වශයෙන් විද්‍යාමාන සකලවිධ ලෝක දුක් සංසිඳුවීමට ඇති එකම මාර්ගයයි. සසර පරතෙරට පමුණුවන නිසාත්, ඒ සඳහා මෙයට වෙනස් අන් මගක් නොවන නිසාත් ඒකායන මාර්ගය වශයෙන්ද හඳුන්වා දී ඇත. එසේම එය බෞද්ධයන්ගේ හෝ අනෙකුත් කිසියම් ජන කොටසකගේ සංවෘත මාර්ගයක් ද නොවේ. විවෘත සාර්වජනිත ප්‍රතිඥා මාර්ගයකි. කිං සච්චගවේසි සියල්ලවුන් සඳහා විවෘත වූවකි. දුක් පීඩා අස්තංගත කිරීමට ශාන්තිපද ලාභයටත් අවශ්‍යතාවය ඇති කොයි කවුරුන් නමුත් මෙයට අන්තර්ගත අට වැදෑරුම් සාර ධර්මය සාක්ෂාත් කළ යුතු ය. අෂ්ටාංග සමන්නාගත මාර්ග ප්‍රතිපදාවේ කරුණු අතර අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවක් පවත්නා හෙයින් එකකට පසුව අනෙක වශයෙන් ලැබිය යුතුය යන හැඟීමකට ඉඩක් නැත. ප්‍රතිපදාව අනුගමනයේ දී ගෙය ධර්ම ප්‍රතික්ෂේප කිරීමත් උපදේශය ධර්ම සමාදානයත් එක හා සමාන වගකීමකින් සපුරාලිය යුතු ය.
මේ අෂ්ටාංගික මාර්ගයෙහි සතරවැන්න සම්මා කම්මන්ත නමින් දැක්වෙයි. කම්මන්ත නමින් අදහස් කොට ඇත්තේ අපගේ කායසමාචාරයයි. එනම් කායික ක්‍රියාවලියයි. මෙහිදී දෙපැත්තක් තිබේ. එය ගෙය ද උපාදේය ද වෙයි. ගෙය වන්නේ මිච්ඡා කම්මන්තයයි. උපාදේය වන්නේ සම්මා කම්මන්තයයි. බැහැර කළ යුතු මිච්ඡා කම්මන්ත හෙවත් කායසමාචාර එසේත් නැත්නම් කායික ක්‍රියාවලියට කරුණු තුනක් අයත් වෙයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය ඒ තුනයි. ඒ තුන්තරා කාය කර්මයන්ගෙන් බැහැර වීමම සම්මාකම්මන්ත සමාදානයයි. බවදුක් නසන්නට නිවන් දකින්නට තරම් ප්‍රබල සම්මා කම්මන්තය අනිකක් නොව මිච්ඡා කම්මන්තය පිටුදැකීම නම් මිච්ඡා කම්මන්තය කෙතරම් ප්‍රබල සාපරාධි එකක්දැයි ගැඹුරින් සිතා බැලිය යුතු ය.
සාවද්‍ය කායසමාචාරයේ මුල් තැනට එන්නේ හිංසාවයි. තමන් ගැන පමණක් සිතා තම අභිමතාර්ථයන් සපුරා ගැනීමට සිතන මිනිසා අනුන් ගැන නොසිතයි. නොතකයි. අනුන්ගේ සුවය, පහසුව, අයිතිය, නිදහස අගය නොකරයි. අවශ්‍ය වන්නේ හොඳින් හෝ නරකින් සිතැඟි ඉටුකර ගැනීමයි. අනුන් හා ගැටෙයි. වෛර බඳියි. රිදවීම්, බියවැද්දවීම්, තර්ජනය කිරීම්, ම්ලේච්ඡවූත් සාහසික වූත් වද හිරිහැර ආදියෙන් හිංසකව හැසිරෙයි. ආත්මකාමයෙන් හා වෛරයෙන් පිරුණ මිනිසා කෙතරම් අන්ධදැයි කියතොත් අන්තරික්ෂයක් හෝ සමුද්‍රයක් හෝ නොමැති බව නොසිතයි. ඔහු ද කිසිදාක කිසි ලෙසකින් කුරිරු ගොරබිමේ වද වේදනා වලට හසුව මරණයට හෝ මරණමාත්‍ර දුකට පත්වීම නියත බව නොසලකයි.
හිංසාව නිසා පුද්ගලයා ලබන විනාශයටත් වඩා භයානක වන්නේ සමාජයට වන මහත් අනර්ථයයි. හිංසාව පිරි සමාජයක සාමය, සමගිය, නිදහස හා සංවරය පිහිරී යයි. ගැටුම්, අරගල වලින් පිරීයයි. මෙය ඉතා ගැඹුරින් පුළුල්ව අප තේරුම් ගත යුත්තකි. තමන් හිංසාව අකැමැති තරමින්ම අනුන් හිංසාවට අකැමැති බවත්, තමන් සැප කැමැතිවන තරමින්ම අනුන් සැප කැමැති බවත් තේරුම් ගැනීමෙන් අපට අවිහිංසක විය හැකි ය. උනුනුන් දෙස සිනාසී බැලිය හැක්කේ අහිංසකයනට පමණය. දණ්ඩනය, බන්ධනය පසෙකලා දයානුකම්පා සහිතව ජීවත්වීම සම්මාකම්මන්තයේ ලක්ෂණයකි. වාද භේද, ගැටුම්, සටන් නැති මිහිරි ලොවක සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත්වීමට මිනිසා ඔසවා තබන සාරධර්මයක් ලෙසත් සම්මාකම්මන්තය හඳුන්වා දිය හැකි ය.
සාවද්‍ය කාය සමාචාරයෙහි ඊළඟ අංගය අදත්තාදානයයි. එනම් සොරකමයි. අතෘප්තිකර ආශාවලින් පිරුණු මිනිසා තාවකාලික ආත්මීය තෘප්තිය පිණිස සොරකමකට පෙළඹෙයි. ගෙවල්බිඳීම, කොල්ලකෑම, මංපැහැරීම, අල්ලස් ගැනීම, බොරුවෙන්, වංචාවෙන්, සටකපටකම් වලින් ආදී විවිධ ක්‍රමෝපායයන් මගින් අනුන් සතු දේ සොරකම් කිරීම පුද්ගල දූෂණයක් මෙන්ම බරපතළ සමාජ දූෂණයක් ද වෙයි. මෙයින් සමාජයක සුරක්ෂිත විය යුතු විශ්වාසය, ගරුත්වය, පිළිගැනීම තහවුරු වෙනවා වෙනුවට අවිශ්වාසය, නිගරුව, පිළිකුල පැතිර යයි. “අසල් ගෙයක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක”යි කියැවෙන පරිදි මිනිසුන්ට නිස්කලංකව ජීවත්වීමට ඇති අයිතිය පවා වනසාලන සමාජ දූෂණයකි. හොරකම්වල යෙදෙන්නා කුමන බල මහිමයකින් රැකී වැසී සිටියත් සාරධර්ම අගයන මිනිසුන්ගේ සිත් තුළ හොරකු වශයෙන් මිස මහත්මයකු වශයෙන් තැනක් කිසිදා නොලබයි. කවර නමකින් හඳුන්වනු ලැබුවත් පරස්වහරණය වන්දි ගෙවිය යුතු සාපරාධී ක්ෂය සමාචාරයක්ම වෙයි.
අත්ථිසුඛය, භෝගසුඛය, ලෞකික සැපතකි. එය අපට අවශ්‍යය. එය ලබාගත යුතු ය. නමුත් එය ලබාගත යුත්තේ සොරකමෙන්, ගසාකෑමෙන් නොවේ. මිනිසා දහඩිය මහන්සියෙන් ගතේ සිතේ වීර්යයෙන් අවශ්‍යතා සපුරාගත යුතු ය. එයින් තෘප්තියක් ඇතිවෙයි. සමාජයත් චාම්බවට, සරලබවට පත්කොට සන්තෘප්තියෙන් ජීවත් කරවීම සඳහා සම්මා කම්මන්තය මොනතරම් පිහිටක්දැයි මෙයින් වටහා ගත හැකි ය.
සම්මා කම්මන්ත සමාදානයට ප්‍රතික්ෂේප කළ යුතු තුන්වන කරුණ කාමමිථ්‍යාචාරයයි. පරස්ත්‍රීන් පරපුරුෂයන් වෙත යාමේ පටන් නානා තරාතිරමින් ඇති ස්ත්‍රී දූෂණ, කාමාපරාධ, බලහත්කාරකම්, සියල්ල එහිම අංගෝපාංග කොට සැළකිය හැකිය. මේ විෂමාචාරයේ බිහිසුණුකම සිතා ගැනීමට හුඟක් කරුණු නොකිවත්, පිළියම් රහිත රෝගකාරකයන්ගෙන් ලොවම වනසාලන සද්දන්ත උවදුරක් ඇති වූයේත් මේ නිසා බව සිතිය යුතු ය. අනාචාරයෙහි යෙදෙන්නා, පිළිකුලට ද්වේෂයට ලක්වෙයි. අන්‍යයන්ගේ තබා මව්පිය, සොහොයුරන්ගේ පිළිකුලට ද පත්වෙයි. මේ තත්ත්වය සවිස්තරව ඇඟවීම සඳහා පැරැන්නන් ප්‍රකාශ කළේ කාමාතුරයන් ඔවුන්ගේ සාවද්‍ය කායසමාචාරය හේතුවෙන් ධිග්දණ්ඩ, ධකදණ්ඩ, වටදණ්ඩ යන තුන් වැදෑරුම් දණ්ඩනයටම ගොදුරුවන බවයි. එහි තේරුම ඔහු තමාත්, දේපලත්, ජීවිතයත් නැතිකර ගන්නා අයකු වන බවයි.
කාමාතුරයන්ගේ අධම චර්යාවන් නිසා සමාජය මුහුණ පාන්නේ මහත්ම අනතුරකටය. මෙයින් පවුල් ඒකකය තුළ තහවුරු විය යුතු විශ්වාසය සමගිය සහ සහජීවනය බිඳවැටෙන අතර ගැටුම්, අඬදබර, භේදභින්නතා වර්ධනය වෙයි. සමාජ සීමාවන් ඉක්ම ගොස් එහි සංවරය හා සදාචාරය පිරිහී මනුෂ්‍යත්වයේ උත්තරීතර භාවය වසං වෙයි. ලෙඩ රෝග මෙන්ම දරිද්‍රතාව පැතිරීමට පවා විෂමාචාරය මුල් වෙයි. ඒ අනුව සංවරයෙන් හා සදාචාරයෙන් බැහැරව ආත්මාර්ථකාමී අයුරින් පුද්ගල මනෝරථයන් සපුරා ගැනීමේ අභිප්‍රායෙන් මිච්ඡාකම්මන්තයෙහි යෙදෙන මිනිසා තමාත් විපතට පත්වී සමාජය අපායක් බවට පත් කරයි.
එබැවින් දයානුකම්පා පිරි අහිංසක ලෝකයක් තැනීමට, සරල චාම් අල්පේච්ඡ සමාජයක් බිහිකිරීමට, බෙහෙතුත් නැති කාමරෝගයන් පවා නිවාරණය කරන සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමට හොඳම සාධකය සම්මා කම්මන්තයයි.

කර්මය සහ විපාක

බිබිල යල්කුඹුර 
ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ
ආචාර්ය 

පදියතලාවේ ඤාණවිමල හිමි
ලොව පහළ වූ විවිධ දර්ශන අතර බෞද්ධ දර්ශනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. මේ සඳහා එළඹුණු හේතු සාධක අතර වැදගත් වන්නේ ලොව පිළිබඳවත්, සත්ත්වයා පිළිබඳවත් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් යුත් දේශනාවන්ය.මේ දේශනාවන්ගේ වැදගත්කම වන්නේ අන්‍ය දාර්ශනිකයින් ඉදිරිපත් කළ කරුණූ බුදු දහම සමඟ ගැළපීමට නොහැකි ලෙස දුරස්ථව තිබීමයි. භාරතීය ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැත ආ දර්ශනයන් මිථ්‍යා දර්ශනයන් බව පසක් වන්නට වූයේ බෞද්ධ දර්ශනය භාරතය පුරා හිස එසවීමත් සමඟය. ඊට පෙර සමාජීය වශයෙන් මහත් ප්‍රබලත්වයකින් නැඟී ආ මිථ්‍යා දර්ශනයන්ට නිසි මඟ වූයේ බුදු දහමයි.
ශ්‍රී ගෞතම සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නට යෙදුණු දහම මීට පෙර ලොව පැවති සනාතනවූ ධර්මය ම ය. කෙසේ නමුත් කාලයාගේ වැලිතලාවෙන් වැළලී ගිය ඒ ධර්මස්ඛන්ධය නැවත සුපුෂ්පිත වූයේ ගෞතම සම්බුදු හිමියන්ගේ පහළ වීමත් සමඟය. එනමුදු මෙතුවක් කල් ජීවත් වූ භාරතීය ජනතාව තුළ වූ එවකට වූ ධර්ම කුසලතාව වර්ධනය කරනු වස් බුදුන් වහන්සේට මහත් පරිශ්‍රමයක් දරන්නට වූ බව නිසැකය. ඒ මේ සමය වන විට භාරතය පුරා මුල් බැස ගෙන තිබූ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටික මතවාදවල එල්බ ගෙන සිටි පිරිසක් විද්‍යමාන වීමයි. ඔවුන් ලොවෙහි පවතින සත්‍ය කුමක්ද? අසත්‍ය කුමක්ද ? යන්න පිළිබඳ ව ඇති කරගෙන සිටි ආකල්පය හා දැක්ම විසම වූ ධර්මතාවක් විය. නමුදු ඔවුන්ගේ තිබූ ඥානය ව්‍යක්ත වූ නිසාම පසුකාලීනව ඔවුන් ඒ මිථ්‍යා දර්ශනවලින් බැහැරව බෞද්ධ දර්ශනය භාවිතයට ගැනීමට උත්සුක වීමෙන් පෙනී යයි.
කෙසේ නමුදු එවන් ආගමික සමාජ පසුතලයක බිහි වූ නව්‍ය දර්ශනය වූයේ බෞද්ධ දර්ශනය යි. මුලින් සඳහන් කළ පරිදි මෙය නව්‍ය වූයේ මේ සමාජ පසුතලයට පමණි. පෙර පහළ වූ සම්බුදු හිමියන්ගේ දර්ශනයම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසිනුදු අවබෝධ කරගෙන ලොවට දේශනා කරන්නට යෙදුණි. කෙසේ නමුදු කාලයාගේ ඇවෑමෙන් වැළලී ගිය දහම නැවත ලොවට හඳුන්වා දෙනු ලැබුයේ උන්වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නට යෙදුණු මේ දර්ශනය අතිශයින්ම ගැඹුරු වූත්, නිර්මල වූත්, සත්‍ය වූත් ධර්මයකි. සම්මා සම්බුද්ධ,ලෝකවිදූ, විජ්ජාචරණ සම්පන්නාදි ගුණයන්ගෙන් විභූෂිත වන්නේ උන්වහන්සේ මෙලෙස ලෝ ඇති තතු ස්වයම්භූ ඥානයෙන් ම අවබෝධ කරගත් නිසාවෙනි. උන්වහන්සේ විසින් මේ අවබෝධ කරගැනීමත් සමඟ ඇති වූ නිරාමිස පී‍්‍රතිය ලොවට හෙළි කරනු වස් දේශිත උදානය බෞද්ධ දර්ශනයට ඇලුම් කරන හා ඒ දහම් මඟෙහි නියුක්ත අපට මෙහිදී අතිශය වැදගත් වනු ඇතැයි හඟිමි.
අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං 
ගහකාරකං ගවේසන්තො – දුක්ඛා ජාති පුනප්පුනං 
ගහකාරක දිට්ඨෝසි – පුන ගේහං න කාහසී 
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං 
විසංකාර ගතං චිත්තං – තණ්හානං ඛය මජ්ඣගා’ති
මෙහිදී උන්වහන්සේ විවරණය කරන්නට යෙදුණේ අනේක ප්‍රකාර වූ සාංසාරික ජීවිතයන් ඔස්සේ සැරිසරවමින් තමා වෙහෙසට පත් කළ ජාතිය නමැති ගෙය සාදන වඩුවාණන් තමන් දුටු බවත් සංසාරය නමැති ගෙහි කැණිමඬල තමන් විසින් සිඳ බිඳ දැමූ බවත්ය. එනම් මේ ලෝ වැසි සියලු සත්ත්වයන්ට නැවත ඉපදීමක් ඇති කරන්නට යෙදෙන්නේ මේ කියන්නා වූ ජාතිය නමැති ගෙහි තෘෂ්ණාවෙන් ඇලී ගැලී සිටීම නිසාවෙන්ය යන්න උන්වහන්සේ පෙන්වා දෙන්නට යෙදුණේ ඉහත කී අයුරිනි. ලෝ වැසි දනන් ලෝභ, ද්වේශ ,මෝහාදි අකුසල සිත්වලින් මදයට පත් වී දිවි ගෙවන අයුරුත් එවන් වූ අයගේ ජීවිත පිළිබඳ ව මීට වඩා සැළකිලිමත් ව කටයුතු කිරීමට සැලැස්වීමක් නොවන්නේ නම් සසර කතරින් එතෙර වීම අතිශය දුෂ්කර වූ කාරණාවක් බවත් උන්වහන්සේගේ සම්බුදු ඇස පෙණිනි. සම්‍යග් සම්බුද්ධත්වයට පත් බුද්ධාංකුරයක් තුළ ලෝ සතුන්ගේ ස්වභාවය අවබෝධ කිරීමේ ඥානය නිතැතින්ම ඇත්තේය. එනිසාවෙනි උන්වහන්සේ ලෝ සතුන් කෙරෙහි පතළ කරුණාවෙන් දහම් දෙසා නිවන් මඟට පමුණුවන්නට යෙදුණේ.
බුදුන් වහන්සේගේ දර්ශනය පිළිබඳව උන්වහන්සේගෙන් විමසූ එක් ප්‍රශ්නයකින් මෙහි ස්වභාවය මනාව ප්‍රකට වේ. දිනක් එක් භික්ෂුවක විසින් බුදුන් වහන්සේගෙන් කර්මය යනු කුමක්ද? එහි ස්වභාවය කෙසේදැයි ප්‍රශ්නයක් යොමු කරන ලදින් බුදුන් වහන්සේ වදාළේ “චේතනාහං භික්ඛවේ කම්ිමං’ වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන මනසා “ යනුවෙනි. “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. මනසින් සිතා කරන දේ කර්ම වේ” යනුවෙන් එහි අරුත් ගැන්වේ. එසේ නම් අප අවබෝධ කර ගත යුත්තේ කර්මයක් වීමට නම් එය අප මනසින් සිතා ක්‍රියාවට නැංවීමක් අවශ්‍ය වන්නක් වන බවයි. මේ පිළිබඳ අප අවධානය යොමු කිරීමේදී කර්මයේ වුවද සුදු කළු භේදයක් ඇති බව පෙනී යයි. මේ පිළිබඳ විමසීමේදී අතිශය වැදගත් වන එක් බුද්ධ දේශනාවක් ලෙස ධම්මපදයේ අන්තර්ගත ගාථා යුගළයක් දෙස අවධානය යොමු කිරීමෙන් පෙනේ.
මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා 
මනසා චේ පදුට්ඨේ’න – භාසති වා කරෝතිවා 
තතො නං දුක්ඛ මන්චේති –චක්කං ‘ච වහතෝ පදං 
මනසා චේ පසන්නේන භාසති වා කරෝතිවා 
තතෝ නංසුඛ මන්වේති ඡායාව අනුපායිනී
ඉහත ගාථා යුග්මය දෙස විමසිල්ලෙන් බැලූ විට අපට පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. එනම් අප කරන සෑම ක්‍රියාවක් සඳහා ම මනස පූර්ව වන බවත්, මනස මුල්වන බවත්, මනස පෙරටුවේ තබාගෙන එවන් ක්‍රියාවන් බොහෝ දුරට සිදුවන බවත් පැනෙන්නට තිබීමයි. කෙසේ නමුත් මෙහිදීද යම් කාරණාවක් ගම්‍ය නොවන්නේ නොවේ. එනම් මුලින් සඳහන් කළ අන්දමට චේතනාව හෙවත් සිතිවිල්ල ප්‍රබලත්වයට පත්ව තිබීම සිදුවේ. අප එසේ සිත පෙරටුවේ තබා ගෙන යම් ක්‍රියාවක් පිළිබඳ අපැහැදිලි ,ද්වේෂ සහිත, අකුසලයට නැඹුරු සිතින් යුක්තව (පදුට්ඨෙ’න චිත්තේන) කියන්නේ නම් (භාසති) හෝ එනයින්ද යමක් එලෙසම කරන්නේ නම් (කරෝති) එයින් ලැබෙන ඵල විපාකයද අතිශය දුක් සහිතය (දුක්ඛ මන්වේති) ඒ පිළිබඳ මනුෂ්‍යයාට ඉතා හොඳින් අවබෝධ කරදෙනු වස් බුදුන් වහන්සේ වදාළ උපමාව වන්නේ ගැල උසුලන්නා වූ, ගොනුන් වෙහෙසට පත් කරමින් ගොනුගේ පිය අනුව යන්නා වූ ගැල් සක මෙනි යන්නයි. මෙහි දී කාය, වචී, මනෝ, යන දුෂ්චතරියන් වලින් යුක්ත වන්නේ යමෙක්ද ඔහුට මේ කියන්නා වූ දේ අත් විඳීමට සිදුවන බව මෙමඟින් වර්ණිතය. කෙසේ වුවද අප අකුසල කර්ම රැස් කිරීමට දක්වන ඇල්ම කුසල පක්ෂය විෂයයෙහි අඩංගු නොවන බැව් බුදුන්ගේ ඥාන දර්ශනයට පවා හසු විය. එනිසාවෙනි නිවන් අවබෝධ කරගත් පිරිස එසේ නොවූ අය හා සංසන්දනය කිරීමේදී අඩු අගයක් ගන්නේ. කෙසේ වුවද යමෙක් ඉහතින් පෙන්වා දුන් පරිදි සිතින් කයින් හෝ මනසින් අකෘතඥ ක්‍රියාවන් කරන්නේ නම් ලැබෙන විපාකය අති බිහිසුණුය. අප වැරදි ක්‍රියාවන් කරන්නට කෙතෙක් පි‍්‍රය වුවද එයින් ලැබෙන විපාකය විඳීමට වූ විට ඇති වන්නා වූ වේදනාව වීදාගම මෛත්‍රෙය හිමියන් විසින් ලෝවැඩ සඟරාවේ දී ඉතා හොඳින් පෙන්වා දෙනු ලැබේ.
ළිප ගිනි මොලවන තෙක් දිය සැළියේ
සැපයක් යැයි කකුළුව දිය කෙළියේ 
එපමණ තොප සිතතොත් නො හැකිළියේ 
සැපයක් නම් නැත කම්රස කෙළියේ
මෙහිදී ද පෙන්වා දෙන්නේ මුලින් සඳහන් කළ දේ මය. එනම් තමා වැරදි ක්‍රියාවක් කරන මොහොතේදී ඉතා සන්තෝෂයෙන් කරන්නේ වුවද විපාකය විඳින්නට ගිය විට ඇති වන වියෝගය, දුක් සහිත බව කඨෝර බව නිසා තමන් අතිශය පීඩාවට පත් වන බවයි. නමුත් අප මෙහි සිතිය යුත්තේ මේ ක්‍රියාව පමණක්ම නොවේ. මෙහි වැරදි ක්‍රියාවන්වල නිමග්න නොවී යා යුතු මාවත අපට බුදුන් වහන්සේ විසින් දේශිතය. දෙවනුව සඳහන් කළ ගාථා නයින් පෙන්වා දෙන්නේ මෙහි අති ශ්‍රේෂ්ඨ අංශය යි. එනම් අප කරන ක්‍රියාවන් යහපත් සිතින් යුතුව (පසන්නේන චිත්තේන) යමක් කියයි නම් හෝ කරයි නම් එයින් ලැබෙන ප්‍රතිඵලය අනුසස් සහිත බවයි. එයින් විඳින සුවය තමා පසුපස ගමන් කරන සෙවනැල්ල සේය යන උපමාවෙන් වර්ණිතය. එයින් පෙන්වා දෙන විශේෂිත වූ කාරණාව වන්නේ තමන් කරන හෝ ක්‍රියාවන් නිසා තමන්ට අයහපතක් නොවී යහපතක්ම වන බවයි. මෙහිදීද මුලින් සඳහන් කළ පරිදි කාය, වචී, මනෝ, යන ත්‍රිවිධ අංගයකින් කුසලය යුක්ත වන්නේය.
ඉහතින් පෙන්වා දෙන්නට යෙදුණේ කර්මය විපාක දීමේ මූලික අවස්ථාවයි. එනම් යම් ක්‍රියාවක විපාකයක් ද තිබෙන බවයි. නමුදු මෙහිද යම් ප්‍රභේදයන් රාශියක් දක්නට ලැබේ. විපාක දීම වශයෙන් ද විපාක දෙන කාල වශයෙන්ද විපාක දෙන ආකාර වශයෙන්ද මෙය ත්‍රිවිධ වනු ඒ අනුව පෙනේ. ලොවේහි ඇති පඤ්ච නියාම නම් ධර්ම නම් කොට්ඨාසයේ කම්ම නියාමයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. උතු නියාමයෙන් හේමන්ත ගිම්හාන වස්සානාදී ඍතු සම්බන්ධව බෙදීම පෙන්වන අතර බීජ නියාමය මගින් ගස්වැල් පුද්ගලයින් යම් සේ බීජ මුල් කරගෙන හටගැනෙන බව පෙන්වා දේ. චිත්ත නියාමය මඟින් සිතේ සිතිවිලි පිළිබඳ දීර්ඝ විස්තරයක් කෙරෙන අතර ධම්ම නියාමය මඟින් ලොවෙහි ඇති හේතුඵල ධර්මතාව අනුව සිදුවන කරණු මෙන්ම බුදුවරයෙකුගේ පහළවීම නිසා ලොවෙහි වන වෙනස්වීම් ආදි දේ පිළිබඳ ප්‍රකට කෙරේ. කම්ම නියාමයෙහි ලොවෙහි හුදි ජනන් කරන හොඳ නරක ක්‍රියාවන්වල ඇති විපාකයන් පිළිබඳ කරුණු දක්වනුයේ, ලෝකයේ පැවැත්ම සඳහා කර්මය මහත් පිටුවහලක් වන බවද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සේක.
කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ 
තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති
යනුවෙන් විසුද්ධි මාර්ගයේ ද සඳහන් කොට ඇත්තේ එයයි.මේ අනුව කර්මයද ලොව සමඟ සබඳතාවක් දක්වයි. මේ නිසා මෙයද නියාම ධර්මයක් වන බව පැහැදිලි වේ. යම් විටෙක අප කරන ක්‍රියාවන්ගේ හොඳ නරක විපාක දීමේදී යම් යම් වෙනස්කම් ද ඇතිවිය හැකිය. ධර්මයේ මේ පිළිබඳව ද සඳහන් කර ඇති නිසාවෙන් කර්ම න්‍යාය පිළිබඳ බෞද්ධ ලෝකයාට දහම පිළිබඳ කුකුසක් ඇති කර ගත යුත්තේ නොවේ. මෙවන් වූ අවස්ථා 04 ක් බුද්ධ දේශනාවේ ඇති බව පෙනෙයි. ඒවා නම්
ගති සම්පත්ති /ගති විපත්ති – යම් කර්මයක් විපාක දීමට තිබියදී සුදුසු උපතක් නොවීම නිසා මඟ හැරී යෑම
කාල සම්පත්ති / කාල විපත්ති – දන් දී තිබුණ ද දුර්භික්ෂයක් නිසාවෙන් නිසි ඵල ලබන්නට නොහැකි වීම
උපධි සම්පත්ති / උපධී විපත්ති – ශාරීරික ආබාධයන් නිසා ඇති විය හැකි බාධාවන්ය. තමන් බහුශ්‍රැතයෙකු වුවද මේ ආබාධ නිසා ඵල ලබා ගැනීමට නොහැකි වීම.පයෝග සම්පත්ති / පයෝග විපත්ති – උත්සාහයෙන් ඵල ලබා ගැනීමට වෙහෙසීමයි. නුමුත් යම් අවස්ථාවල මෙහි දියුණුවක් ලබා ගත හැකිය. සමහර අවස්ථාවල කෙතෙක් උත්සාහ දැරුව ද තමන් අපේක්ෂා කරන ඵල ලබා ගැනීමට නොහැකි වේ. මීට හොඳම නිදසුනක් ලෙස අංගුලිමාල තෙරුන්ගේ චරිතය හැඳින්විය හැකිය. ඔහු ගිහි කල කෙතරම් අකුසල කර්ම කළද ඒ සියල්ල ප්‍රබල කුසලයක් මූලික වීමෙන් යටපත් විය.
මෙහි වැදගත්ම අවස්ථාව වන්නේ මෙය විපාක දෙන අයුරු හා සම්බන්ධ වන අවස්ථාවයි. විශේෂයෙන්ම නැවත උපතක් හෙවත් පුනර්භවයක් සඳහා බෙහෙවින්ම කර්මය මූලික වන බැව් පෙනේ. මෙහි කෘත්‍ය වශයෙන් සිව් ආකාර වේ. ජනක (උපතක් ලබා දෙන කර්ම) උපත්ථම්භක (උපන් කර්මයයට උපකාරිවන) උපපීඩක (උපන් කර්මයට බාධා කරන) උපඝාතක, (උපන් කර්මය නසන) යනුවෙන් එය හැඳින්වේ. ජනක කර්මය සඳහා ගැනෙන්නේ අතීතයේ කරන ලද කර්මයන්ය. දුක් සහිත ජීවිතයක් ලැබුමටත් සැප සහිත ජීවිතයක් ලැබුමටත් විශේෂයෙන් මුල් වන්නේ මේ කර්ම ගණයයි. උපත්ථම්භක කර්මයට උපතක් ලබා දීමට තරම් ශක්තියක් නොවුන ද ඊට උපකාර කිරීමේ හැකියාව පවතී. දුක් විඳීමේ දී දුක වැඩි කිරීමටත් සැප විඳීමේ දී සැප වැඩි කිරීමටත් හැකියාව එහි ඇත. ජනක කර්මයට නිසි පරිදි විපාක ලබා දීමට නොදී හිරිහැර කරන කර්මය ලෙස ගැනෙන්නේ උපපීඩක කර්මයයි. කුසල කර්මයක විපාක විඳීමට තිබුණද ඒ අතරට කර්මජ රෝගයක් මුල් වී ඒ සැප විපාකය අඩු කරනු ලැබේ. ධනය රැස් කරගෙන සුරාව සූදුව යනාදියෙන් ධනයත් තම ජීවිතයත් විනාශ මුඛයට පමුණුවා ගැනීම මෙහි හොඳම නිදසුනයි. උපඝාතක කර්මයේදී දුර්වල වූ කුසල කර්මය හෝ අකුසල කර්මය සහමුලින්ම නසා දැමීමක් මේ කර්මයේදී සිදුවේ. කුසල ජනක කර්මයකින් අංග ශරීර නිසි ලෙස ඇතිව ඉපදුණු ඇත්තෙක් සොරකමක් හෝ වෙනත් වංචාවක් කරන්නට යැමේ දී අංග විකල වීමකින් ජනක කර්මයෙන් ලැබිය හැකි සැප විඳීමට ඉඩකඩ ඇහිරී යෑම මෙහි එක් අවස්ථාවකි. තවත් අවස්ථාවක් නම් අකුසල ජනක කර්මයකින් අන්ධව ඉපදුණු අයෙකුට ඇස් බද්ධ කිරීමෙන් පියෙවි ඇස් ඇත්තෙක් බවට පත් කිරීම සිදු වන්නේය.
විපාක දෙන ආකාරය අනුවද බෙදීම් 04 ක් ඇත. එහි දී ගරුක කර්මය යනු බරපතළ කර්මයන් ය. ආසන්න කර්ම යනු මරණාසන්න මොහොතේදි සිදුකරන කර්මයන්ය. ආචින්න කර්ම නම් කලක් පුරුදු පුහුණු කළ කර්මයන්ය.කටත්තා යනු සුළු කර්මයන්ය. ගරුක කර්මය යනු දෙවන ආත්ම භාවයේදී ඒකාන්ත වශයෙන්ම විපාක දෙන කර්මයන්ය. එහි කර්මය වෙනත් ක්‍රමයකින් වැළැක්විය නොහැකිය (ගරුකන්ති මහා සාවජ්ජං මහානුභාවඤ්ච අඤ්ඤේන කම්මේන පටිබාහිතුං අසක්කුණෙය්‍ය කම්මං) කුසල පක්ෂයේදී රූපාවචර ධ්‍යාන ලබාගත්තෝ එයින් නොපිරිහී කලුරිය කරන්නේ නම් මරණින් මතු ඒකාන්තයෙන් බඹලොව උපදී. අකුසල කර්ම කරන්නවුන් ද මිථ්‍යාදෘෂ්ටික මත දරන්නන්ද පඤ්ච ආනන්තරිය පාප කර්ම කරන්නවුන්ද නියත වශයෙන්ම මරණින් මතු දෙවන භවයේදී දුගතිගාමී වන්නේමය.දෙවැනුව ඇත්තේ ආසන්න කර්මයයි. මරණාසන්න මොහොතේදී තමන් ජීවිත කාලය තුළ කෙතෙක් කුසල කර්ම කර තිබුණද අකුසල චේතනාවක් ඇති වුවහොත් මරණින් මතු දුගතියක ඉපදීමට ඉඩ ඇත. අකුසල කර්ම කර තිබුණද මරණාසන්න මොහොතේ කුසල චේතනාවක් ඇති වුව හොත් මරණින් මතු සුගතිගාමී වීමටද හැකිය. ආචින්න කර්ම යනු නිතර නිතර තමන් කරන කුසලාකුසල කර්මත් එක්වරක් සිදු කොට නිරන්තර සිහියට ගන්නා කුසලාකුසල කර්මත්ය. මරණාසන්න මොහොතේදී මුලින් සඳහන් කළ කර්මයන් යුගළයම ඉදිරිපත් නොවූ විට මෙය ඉදිරිපත් වේ. මෙයට යබ්බහුල කර්මය යනුවෙන් ද හැඳින්වේ. සැලකිල්ලකින් තොරව කරන කර්ම කටත්තා යනුවෙන් හැඳින්වේ. මෙහි එතරම් බලපෑමක් නැත. නමුදු සමහර විටෙක මුලින් ප්‍රකාශිත කර්මයන් ත්‍රිත්වය මුල් නොවූ විට කටත්තා කර්මය ඉදිරිපත් විය හැකිය. (කටත්තා කම්ිමං පන ලද්ධා සෙවනං පුරිමානං අභාවේන පටිසන්ධීං අකඩ්ඪති)
විපාක දීමේ දී කාල වශයෙන්ද ඉදිරිපත් වීම වැදගත් වේ. දිට්ඨධම්මවේදනීය. උපපජ්ජවේදනීය. අපරාපරියවේදනීය, අහෝසි යනුවෙන් අවස්ථා 04 ක් එහි ඇත. මෙලොව දීම විපාක ලබා දෙන කර්ම දිට්ඨධම්ම වේදනීය කර්මයන්ය.මේවාද යහපත් හෝ අයහපත් විය හැකිය. තමන් කරන ක්‍රියාව අනුව තීරණය වේ. බුදුන් දවස විසූ සුමන මාලාකරුවාට, ඒකසාටක බමුණාට විපාක දුන්නේ එහි කුසල පක්ෂයයි. චිංචිමානවිකාව, ආදීන්ට විපාක දුන්නේ අකුසල විපාකයන්ය. උපපජ්ජ වේදනීය කර්ම යනු දෙවන භවයේදී විපාක දෙන කාර්යයන්ය. කෙසේ හෝ මේ භවයේදී විපාක දීමට සමත් නොවුවහොත් අහෝසි කර්ම බවට පත්වේ. අපරාපරිය වේදනීය කර්ම නමින් ගැනෙන්නේ කවදා හෝ විපාක දෙන්නා වූ කර්මයන්ය. නිවන් දකිනා කල් දක්වාම තමන් පසුපස ගමන් කර විපාක ලබා දෙන අතර අහෝසි වීමක් වන්නේ නැත. සුනීත,සෝපාක ආදීන් රහත් වූයේ මෙහි කුසල පක්ෂයේ මුල් වීමෙනි. මුගලන් තෙරුන්, චක්ඛුපාල තෙරුන් අනිසි විපාක වින්දේ මෙහි අකුසල පක්ෂය විපාක දීමෙනි. අහෝසි කර්ම යනු දිට්ඨධම්ම වේදනීය අවස්ථාවේ දී හෝ උපපජ්ජ වේදනීය අවස්ථාවේ හෝ විපාක නොදුන් හා රහත්වීම දක්වා සසර කවදාවත් විපාක දීමට සමත් නොවූ කර්මයන්ය.
සමහර විටෙක කර්මය ක්ෂය වීමට ද ලක්වන අවස්ථා ඇත. සෝවාන් ඵලයට පත්වීමෙන් පසු කිසිදින දුගතිගාමී වන්නේ නැත. අනාගාමී වීමෙන් කාම සුගතියෙහි ඉපදීම පවා අහෝසි කර දමනු ලැබේ. රහත් වීමෙන් සියලු කර්ම අහෝසි වේ. එහෙත්. අපරාපරිය වේදනීය කර්ම පමණක් විපාක දේ. මේ අනුව ඉහතින් සඳහන් කළ පරිදි බෞද්ධ දර්ශනයෙන් පෙනෙන කර්ම විභාගය අතිශය විචාරශීලිය. කිසිවෙකුට මෙය වෙනස් යැයි සඳහන් කළ හැකි නොවේ.
යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං 
කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං
යම් සේ අප බීජ වපුරන්නේ ද ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකි වන්නේය. කුසල් කරන්නවුන්ට යහපත් වූ ද අකුසල කර්ම කරන්නවුන්ට අයහපත් වු ද විපාක විඳීමට සිදුවේ. මේ කරුණ සිහියේ තබාගෙන දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා සිටින අපි කුසල පක්ෂය දියුණු කරගෙන ලබාගත් මේ ආත්මයේ දී ජීවිත සාධනයේ යෙදෙමු. තෙරුවන් සරණයි.

පංච නීවරණ හා එහි ස්වභාවය

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි

පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්න පංච කාම ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවයි. මෙය කාමච්ඡන්ද ,අභිජ්ඣා , කාමරාග යනුවෙන් පරියාය පද කීපයකින්ම දැක්වේ. ඉන්ද්‍රියානුබද්ධ පි‍්‍රය ජනක අරමුණු කෙරෙහි ඇතිකරගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත කාමච්ඡන්දයයි. පංච ඉන්ද්‍රියන්ගෙන් ගලා එන අරමුණු සම්බන්ධයෙන් පුද්ගලයා දෙයාකාරයකින් ප්‍රතිචාර දක්වයි.
කාමච්ඡන්ද
පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්න පංච කාම ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවයි. මෙය කාමච්ඡන්ද ,අභිජ්ඣා , කාමරාග යනුවෙන් පරියාය පද කීපයකින්ම දැක්වේ. ඉන්ද්‍රියානුබද්ධ පි‍්‍රය ජනක අරමුණු කෙරෙහි ඇතිකරගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත කාමච්ඡන්දයයි. පංච ඉන්ද්‍රියන්ගෙන් ගලා එන අරමුණු සම්බන්ධයෙන් පුද්ගලයා දෙයාකාරයකින් ප්‍රතිචාර දක්වයි. අරමුණ දැඩිලෙස වැළඳ ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමයි. අරමුණු සම්බන්ධයෙන් ඇතිකර ගන්නා වූ සුබවාදී ආකල්පය හේතුවෙන් ඒ පිළිබඳ සතුටු වෙයි. (නන්දති) වඩාත් සතුටු වෙයි. (අභිනන්දති) ඒ පිළිබද දිගින් දිගට කථා කරයි. (අභිවදති) අවසානයේදී එහි දැඩි ලෙස බැස ගනී. (අජෙඣාසාය තිට්ඨති) මෙම ආකල්පය කාමච්ඡන්දය පිණිස හේතුවේ. ඉන්ද්‍රිය හා අරමුණ පිළිබඳ යථා ස්වභාවය දකින තෙක් මෙම තත්ත්වය ක්‍රියාත්මක වේ.
ව්‍යාපාද
අසතුටුදායක හා ප්‍රතිවිරුද්ධ අරමුණු සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ ගැටීම ව්‍යාපාදයයි. ව්‍යාපාදය පුද්ගල සන්තානය අපිරිසුදු කරන අතර මනසේ යහපත් ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. ත්‍රිවිධ අකුශල මූල අතරින් ව්‍යාපාදය වනාහි ද්වේෂය හා සම්බන්ධ අකුශල ධර්මයකි. එය මෛත්‍රි චින්තාවට ප්‍රතිවිරුද්ධ වූවකි. එසේම එය මනසින් සිදුවෙන අකුශල කර්මයක් ලෙස දැක්වේ. කිසියම් පුද්ගලයෙක් තවත් අයෙකු සමග වෛරය ඇති කර ගන්නේ ”මට අනර්ථයක් කළේය. අනර්ථයක් කරයි. අනාගතයේ අනර්ථයක් කරන්නේය. මගේ හිතවතාට අනර්ථයක් කළේය.අනර්ථයක් කරයි. අනර්ථයක් කරන්නේය. මගේ විරුද්ධවාදියාට යහපතක් කළේය. යහපතක් කරයි. යහපතක් කරන්නේය” යනුවෙන් කාලත්‍රයවරතීව කල්පනා කිරීමෙන්ය.
මෙයට අමතරව විශේෂ හේතුවක් නොමැතිව අස්ථානයේ වෛරය ඇතිකරගන්නා අවස්ථාද තිබේ. (අට්ඨානෙවා පන ආඝාතො ජායති) පුද්ගල සන්තානයේ ඇතිවෙන වෛරය හා කෝපය අභ්‍යන්තර චිත්ත සමාධියට බාධකවනවා පමණක් නොව එහි බිහිසුණු අපරාධ සඳහා පුද්ගලයා පොළොඹවන අකුශල සහගත චිත්ත වේගයකි.
ථීනමිද්ධ
ථීන හා මිද්ධ දෙකක් වුවද නීවරණ යටතේ එය එක් ධර්මයක් වශයෙන් ඉදිරිපත් කෙරේ. ථීන යන්නෙන් මානසික අකර්මණ්‍ය බවත් මිද්ධ යන්නෙන් කායික අකර්මණ්‍ය බවත් අදහස් කෙරේ. භදන්ත බුද්ධඝෝස හිමියෝ ථීන යන්නෙන් සිතෙහි ගිලන් බවත් (චිත්ත ගේලඤ්ඤං) මිද්ධ යන්නෙන් චෛතසික ධර්මයන්ගෙන් ගිලන් බවත් අදහස් කරති. (චේතසික ගෙලඤ්ඤං) මෙම නීවරණය කායික හා මානසික වශයෙන් දෙඅංශයකින් පුද්ගලයාට බලපායි. මෙහි මූලික ලක්ෂණය වන්නේ කුශලය වැඩීම කෙරෙහි අප උදාසීන බවට පත්කිරීම පමණක් නොව එදිනෙදා ජීවිතය හා සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන්ද අපගේ මානසික අවධානය හා කායික උනන්දුව නැතිකර දැමීමයි.
උද්ධච්ච – කුක්කුච්ච
උද්ධච්ච යනු මානසික නොසන්සුන් බව හා වික්ෂිප්ත බවයි. කුක්කුච්ච යන්නෙන් පසුතැවිල්ල අදහස් කෙරේ. උද්ධච්ච යන්නෙන් සිතේ පවතින චංචල බව මෙන්ම නොපැහැදිලි ස්වරූපය අදහස්වේ. සුළඟ හැමීමෙන් නිතර චලනය වන දිය බඳුනක් මෙන් අරමුණ මගින් සිත නිතර චලනය වීම සිදුවේ. කළ නොකළ දෑ සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ පසුතැවිල්ල වන කුක්කුච්ච ඇතැම් විටෙක මානසික රෝග සඳහාද හේතුවිය හැකිය. කුක්කුච්චයේ මූලික ස්වභාවය වන්නේ සිත ආපස්සට අදින ලක්ෂණයයි. සියදිවි නසා ගැනීමෙහිලා කෙනෙකු යොමුවන්නේ ද මෙහි බලපෑම හේතුවෙන් විය හැකිය.
විචිකිච්ඡා
විචිකිච්ඡා යනු සැකයයි. එය අටතැන් සැකය වශයෙන් ධර්මයෙහි විශේෂ කොට දක්වා තිබේ. සැකය එක්තරා ප්‍රමාණයකට දැනුම සඳහා උපයෝගී වන්නක් වුවද දිගින් දිගට පවතින පදනම් රහිත සැකය නීවරණයකි. විමුක්තිය සම්බන්ධයෙන් මාර්ගය හා ප්‍රතිපදාව පිළිබඳ පවතින සැකය ප්‍රඥාවේ උදාවට බාධකයකි. ධර්මය හෝ විමුක්තිය සම්බන්ධයෙන් නොව සාමාන්‍ය මට්ටමේ සිදුවීම්,දේවල් හා පුද්ගලයන් පිළිබඳ පවතින අසාමාන්‍ය සැකය එක් අතකින් මානසික රෝගයකි.
නීවරණ ධර්මයන්ගේ ස්වභාවය
පංච නීවරණ පිළිබඳ පොදු නිර්වචනය වන්නේ ඒවා චිත්ත උපක්කිලෙස හා ප්‍රඥාව දුර්වල කෙරෙන මානසික ස්වභාව ලෙස දැක්වීමයි. විසිතුරු උපමා භාවිතා කෙරෙමින් ඒවායෙහි ස්වභාවය පැහැදිලි කෙරෙන විග්‍රහයක් අංගුත්තර නිකායේ සංගාරව සූත්‍රයෙහි ඇතුළත් වේ. සංගාරව නම් බ්‍රාහ්මණයෙකු බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ දිගුකලක් තිස්සේ කටපාඩම් කරගත් මන්ත්‍ර පාඨ මතකයේ රඳවා ගැනීමට නොහැකි වීමට හේතුව කවරේද යන්නයි. එයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච නීවරණ මගින් ආවරණය වූ සිතක දිගුකලක් තිස්සේ කටපාඩම් කළ මන්ත්‍ර පාඨ වුව මතකයේ නොරැදෙන බවයි.අනතුරුව උන්වහන්සේ විසිතුරු උපමා මගින් නීවරණ ධර්මයන්ගේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරති. පිරිසුදු ජල බඳුනක් බැහැරින් එන විවිධ දේ හේතුවෙන් අපිරිසුදු වන්නාසේ සිතද බැහැරින් එන අයහපත් අරමුණු මගින් කිලිටි වේ. මෙම සූත්‍රයෙහි කාමච්ඡන්දය විවිධ වර්ණයන්ගෙන් වර්ණවත්වූ ජලබඳුනකට උපමා කෙරේ. ප්‍රකෘතියෙන් පැහැපත් ජලය විවිධ වර්ණ හා මිශ්‍ර වීමෙන් එහි ස්වාභාවික පවිත්‍රත්වය අහෝසි වේ. ව්‍යාපාද සිත ගින්නෙන් රත් වූ බුබුළු දමන දිය බඳුනකට උපමා කෙරේ. ථීන හා මිද්ධ දියසෙවෙලින් පිරි දිය බඳුනකට සමාන කෙරේ. සුළගින් කැළඹුණු දිය බදුනකට උද්ධච්ච හා කුක්කුච්ච සිත සමාන කෙරේ. අදුරු තැනක තිබෙන මඩ සහිත ජල බඳුනකට විචිකිච්ඡාව උපමා කෙරේ. මෙම උපමා මගින් නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය හඳුනාගත හැකිවේ.මෙකී ලක්ෂණ සහිත දිය බඳුනකින් කෙනෙකුගේ ප්‍රතිබිම්බය මැනවින් දැකිය නොහැකිය. එමෙන්ම නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වූ සිතකට ආත්මාර්ථය හා පරාර්ථය මෙන්ම උභයාර්ථය දැකිය නොහැකිය.සංඝාරව බමුණා හා බුදුරජාණන් වහන්සේ අතර ඇතිවෙන නීවරණ පිළිබඳ මෙම සාකච්ඡාව චිත්ත සමාධියට බාධක වන මානසික දුර්වලතා හඳුනා ගැනීමට පමණක් නොව අධ්‍යාපනයෙහි නියුක්ත සැම කෙනෙකුටම තම අධ්‍යයන කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමුකළ නොහැකි වන්නේ සන්තානගත නීවරණ ධර්මයන්ගේ බලපෑම හේතුවෙන් බව වටහාගත හැකිය. ඒ අනුව පංච නීවරණ චිත්ත සමාධියට බාධකවන අකුසල සහගත මානසික දුර්වලතා පමණක් නොව දෛනික කටයුතුවලදී පුද්ගලයා අපහසුතාවයට පත්කරන මානසික දුර්වලතා ලෙසද හඳුනාගත හැකි වේ.

බාහිර අරමුණු සහ අභ්‍යන්තර අරමුණු නොපිළිගැනීම

පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් දේශනයට අනුව සසර දුකින් අත්මිදීමට නම් අපි දුනෙක්‌ නිදහස්‌ විය යුතුයි. දුකින් නිදහස්‌ වීමට නම් දුක සතුටින් පිළිගන්න හොඳ නැහැ. අපි පසුගිය දේශනාවේදී ඉගෙන ගත්ත ඇස, කන, නාසය, දිව, කය, මන සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකෙන් නිදහස්‌ වෙන්න බැරි බව. ඒකට හේතුව යමෙක්‌ මේ ආයතන හය සතුටින් පිළිගන්නවා නම් ඔහු සතුටින් පිළිගන්නේ දුකයි. දුක සතුටින් පිළිගන්න කෙනාට දුකින් නිදහස්‌ වෙන්න ලැබෙන්නේ නැහැ. අපි මෙය 'අභිනන්ද සූත්‍රයේදී' ඉගෙන ගත්තා.

මෙවර අපි ඉගෙනගන්නේ දුතිය අභිනන්ද සූත්‍රය' එහිදී අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා 'යෝ භික්‌ඛවේ රූපේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති' යනුවෙන්. ඉන් අදහස්‌ වෙන්නේ යම් කෙනෙක්‌ රූප සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි. යම් කෙනෙක්‌ දුක පිළිගන්නවා නම් සතුටින් භාරගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛං අභිනන්දති, අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මානි වදාමි). යම් කෙනෙක්‌ ශබ්ද සතුටින් පිළිගන්වා නම්, ඔහු පිළිගන්නේ දුකයි. (යෝ සද්දේ අභිනන්දති දුක්‌ඛං සො අභිනන්දති යෝ දුක්‌ඛං අභිනන්දති) අපරිමුත්තෝ සෝ දුකඛස්‌මාති වදාමි). යම් කෙනෙක්‌ දුක සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න බැහැ.

එමෙන්ම යමෙක්‌ ගඳ - සුවඳ සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි. (යෝ ගන්ධේ අභිනන්දති දුක්‌ඛං සෝ අභිනන්දති). යම් අයෙක්‌ දුක සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යම් කෙනෙක්‌ රස සතුටින් පිළිගන්නවා ඔහු පිළිගන්නේ දුකයි. (යෝ රසේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති). යම් කෙනෙක්‌ දුක සතුටින් පිළිගන්නවා නම් එයාට දුකින් නිදහස්‌ වෙන්න ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යම් කෙනෙක්‌ ස්‌පර්ශය සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි (යෝ වොට්‌ඨබ්බේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති). යමෙක්‌ දුක සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌වීමට ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛා අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යමෙක්‌ අරමුණු සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි (යෝ ධම්මේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති). යමෙක්‌ දුක පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න බැහැ (යෝ දුක්‌ඛං අභිනන්දති, අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි).

ඉන්පසුව අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා යම් කෙනෙක්‌ මේ බාහිර ආයතන සතුටින් පිළිගන්නේ නැත්නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න හැකි බව. යම් කෙනෙක්‌ රූප සතුටින් පිළිගන්නේ නැත්නම් ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ ච ඛෝ භික්‌ඛවේ රූපේ නාභිනන්දති දුක්‌ඛං සෝ නාභිනන්දති). යම් කෙනෙක්‌ දුක පිළිගන්නේ නැත්නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න පුළුවන්. (යෝ දුක්‌ඛං නාභිනන්දති, පරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). ඒ වගේම යමෙක්‌ ශබ්ද සතුටින් පිළිගන්නේ නැතිනම්, ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ සද්දේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යමෙක්‌ දුක සතුටින් පිළිගන්නේ නැතිනම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න පුළුවන්. ඒ වගේම යමෙක්‌ ගඳ සුවඳ සතුටින් පිළිනොගන්නේ නම් ඔහු පිළිනොගන්නේ දුකයි. (යෝ ගන්ෙ නාභිනන්දති දුක්‌ඛං සෝ නාභිනන්දති, යෝ දුක්‌ඛං නාභිනන්දති පරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යමෙක්‌ දුක පිළිගන්නෙ නැතිනම් ඔහුට දුකෙන් නිදහස්‌ වෙන්න පුළුවන්. යමෙක්‌ රස සතුටින් පිළිනොගන්නේ නම් ඔහු පිළිනොගන්නේ දුකයි (සෝ රසේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යමෙක්‌ දුක සතුටින් පිළිගන්නේ නැත්නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න පුළුවන්.

යමෙක්‌ ස්‌පර්ශ සතුටින් පිළිගන්නේ නැතිනම් ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ වොට්‌ඨබ්බේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යම් කෙනෙක්‌ දුක සතුටින් පිළිගන්නේ නැතිනම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙක්‌ අරමුණු සතුටින් පිළිගන්නෙ නැතිනම් ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ ධම්මේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යම් කෙනෙක්‌ දුක සතුටින් පිළිගන්නේනැතිනම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න පුළුවන්. එනිසා අපි සියලු දෙනාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, අරමුණු කියන බාහිර ආයතනත්, ඇස, කන, නාසය, දිව, කය, මන කියන අභ්‍යන්තර ආයතනත් සතුටින් පිළිනොගෙන සසරින් නිදහස්‌වීමට අධිෂ්ඨාන කර ගනිමු.

ස්වාමිනි, ඇස රූපයට බැඳිලා ද? රූපය ඇසට බැඳිලා ද?

වල්පොල ගෝතම හිමි

අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ දුක් විඳින සත්ත්වයන් එයින් නිදහස් කිරීමට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනාකොට වදාළා. උන්වහන්සේ මේ අනවරාගි සංසාරයෙන් අප නිදහස් කිරීමට නොයෙක් නොයෙක් උපමා සහිතව ධර්මය වදාළා.
මේ සමාජයේ බොහෝ දෙනා ධර්මයට බුද්ධ ශාසනයට ඇඟිල්ල දිගු කරනවා ශාසනය මිනිසුන් රිනාත්මක පැත්තට දානවා, හැම දෙයකින්ම අනිත්‍යයි කියනවා, එය ජීවිත මුස්පේන්තු කරනවයි කියා අහන්න ලැබෙනවා. ධර්මයට ළං වෙන්න, ළංවෙන්න ඒ පුද්ගලයා ආර්ථිකයෙන් අගාදයකට වැටිලා ඔහුගේ තිබුණ සතුට නැතිවෙනවා කියා. සමහරවිට එහෙම චෝදනා කරන්න සාධාරණ සාක්ෂි අපම හදා ගන්නවා.
අපට පේනවා සමහර අය ටිකක් භාවනා කරන්න පටන් ගන්නාවිට සුදු ඇඳුම් අඳිනවා. රත්තරං බඩු පැත්තකට දානවා. බිම බලාගෙන යනවා. සමාජයත් සමඟ ගැවසෙන්න එක අඩු කරලා ඥාතිගේ විශේෂ අවස්ථාවකට හෝ සහභාගි නොවී ජීවත් වෙන්න උත්සහ කරනවා. ගිහි ගෙදර ඉන්නවා. නමුත් ගිහි ගෙදරදී තමාගෙන් සිදුවන යුතුකම් බොහෝමයක් පැහැර හරිනවා. එහෙම වෙනකොට නිවසේ අනික් අය සිතනවා මේ කෙනා ධර්මයට ආපු නිසා තමා මේක වුණේ. රත්තරන් බඩු පාවිච්චියට එයාට එපා වුණේ ධර්මයේ වරදකින්. භාවනා කරන නිසා කිසිම සතුටක් නැහැ කියා සමාජය තුළ යම් චිත්‍රයක් ගොඩ නැඟෙනවා. එහෙම පෙනෙන්නට කටයුතු කරන්නේ අපේම පිරිස. මේක බුද්ධ ශාසනය නොවේ. ශාසනයේ ශ්‍රාවකයා එහෙම කටයුතු කරන්නේ නැහැ.
මෙයට උදාහරණයක් ලෙස මට සිදු වූ දෙයක් කියන්නම්. දිනක් ධර්මය කරුණු සාකච්ඡා කරන්න උපදෙස් ලබා ගන්න දුර බැහැර ප්‍රදේශයකින් එක් මහත්මයෙක් ආවා. මම දවල් දානය වළදා අවසන් වූ විට ඔහු ඇවිත් සිටින පණිවිඩය මට ලැබුණේ. මම කිව්වා බොහෝ දුර සිට ඇවිත් සිටින නිසා දාන ශාලවට එන්න කියා. මම වැළඳූ පලතුරු පිඟාන දුටුවිටම දවසේ බොහෝ වේලාවක් භාවනා කරනවා කියපු අර උපාසක මහතාගේ සිතේ මම ගැන තිබුණ පැහැදීම පලතුරු පිඟාන නිසා සම්පූර්ණයෙන්ම නැති වුණා. ඔහු ටිකක් ගැටුනු සිතකින් වගේ මට කියා සිටියා ඔබවහන්සේ පලතුරුත් වළදවානේ. මම නම් ඕවා ගන්නේ නැහැ. මම රස තෘෂ්ණාව අයින් කරගෙන ජීවත් වෙන්නේ. මම රස ඇතිකරන දේවල් දිවට දෙන්නේ නැහැ. ඒක භාවනාවට බාධාවක් කියා. මම එවිට ඇසුවා ඔබ හිතෙන්නේ ඒ තෘෂ්ණාවට හේතුවන්නේ මේ දිවට පලතුරු ටික දීම ද? ඔහු ඔව්, මම ඒකයි දිවට රස නො දෙන්නේ. එහෙම කෑවොත් රසය නිසා තෘෂ්ණාව වැඩෙනවා කිව්වා. එහෙනම් ඔබ සිතන්න, ඒ මතය තුළින් කියවෙන්නේ තෘෂ්ණාවට දිව පළි. නැත්නම් රසය පළි. මෙහෙම කථාවක් සාමාන්‍ය සමාජයේ තුළ බොහෝ කරුණු සහිතව යොදා ගන්නවා.
ඒ වගේ අවබෝධයකින් තොරව භාවනාවට යොමුවන කෙනා ඒ දේ එසේ කරන්නේ තෘෂ්ණාවට ඒක හේතුවක් කියා සිතන නිසා. මම අර උපාසක මහතාගෙන් ඇසුවා ඔබ කියන්න කිසියම් ගෑණු ළමයෙක් කොටට ඇඳුමක් ඇඳගෙන පූජානීය ස්ථානයකට එනවා. එහෙම එන එක හරියි කියා නොවේ මම මේ කියන්නේ. එහෙම ආවම ඒක දකින කෙනෙකුට යම් රාගයක්, ආශා සිතක් ඇතිවෙනවා. ඒ ඇතිවූ තෘෂ්ණා සිතට වග කිවයුත්තේ අර කොටට ඇඳුම ඇඳන් ආපු ළමයා ද? නැත්නම් ඒ ළමයා දෙස බලා රාගයක් උපදවාගත් ඇස ද? කියා මම ඇසුවා. ඒ මහත්තයා කියනවා ස්වාමිනි, එසේ ආපු එකටත් වඩා ප්‍රශ්නය වන්නේ ඒ දෙස රාගි ඇසකින් බලමු එකයි කියා. බලපු නිසයි කිවුවා තෘෂ්ණාව ඇතිවුණේ. එහිදීත් කියන්නේ, රූපය පළියි. නැත්නම් බලපු නිසයි ප්‍රශ්නය ඇතිවුණේ. ඇයි බැලුවේ? ඒ ළමයා ආවා. එයාගේ පාඩුවේ ගියා. ඒ දෙස නො බලා ඉන්න තිබුණා. එහෙම කියන්නේ ඇස පළියි කියන එකයි. නැත්නම් අප චෝදනා කරනවා අර ළමයාට එයා මොකටද එහෙම එන්නේ. එසේ ආපසු නිසයි මට තෘෂ්ණාව ඇතිවුණේ කියා. එහෙනම් අප වගකීම දානවා රූපයට. හැම තිස්සේම අප පුරුදුවෙලා ඉන්නේ මේ තෘෂ්ණාවෙන් ඇතිවෙන එකට වගකිය යුත්තේ එක්කෝ ඇස. නැත්නම් රූපය. එක්කෝ කණ නැත්නම් ශබ්දය, එක්කෝ දිව නැත්නම් රස, එක්කෝ නාසය නැත්නම් ගඳ සුවඳ, මෙසේ ආයතන හයට ඇඟිල්ල දිගු කරනවා. ඒ නිසා තමා අප බාහිරෙන් ලැබෙන සම්පත් ටික ඈතට දාන්නේ ධර්මයට ආවා කියා.
එදා විශාඛා කෝටි විසිහතක් වටිනා මේඝ පළඳනාවක් පැළන්දුවා. ඇය මාර්ගඵල ශ්‍රාවිකාවක්. ඇයගේ තාෂ්ණාව ඉතුරු බව ඇත්තයි. නමුත් දිගට දිගට ඒ තෘෂ්ණාව වැඩුවේ නැහැ. ඇය පූර්වාරාමය හදන්න ඒ පළදනාව විකුණා ගත්තේ ඇයටම යි. එදා ඒ ශ්‍රාවකයන්ගෙයි අපේ අද සමාජයේ පිරිස අතරයි විශාල පරතරයක් තිබෙනවා. අද අප සෝවාන් තබා අඩු තරමින් ශ්‍රද්ධානුසාරිවත් නොවී පැයක් දෙකක් භාවනා කරන්න ගත්ත ගමන් කරාබු, මාල ටික ගලවලා පැත්තකට දාලා සමාජයේ තිබෙන විවිධ උත්සව අවශ්‍යතාවලට නො ගොස් ඥාති සම්බන්ධතා නවතා දමා අමුතු ප්‍රතිරූපයක් තමා තුළින් ගොඩනගා ගන්නවා. මේ හැම දෙයකින්ම පරිහරණය කිරීමෙන් තෘෂ්ණාව වැඩෙන්නේ. මේ පරිහරණය කරන ඇස නැත්නම් රූපය, නාසය. නැත්නම් එයට දැනෙන ගඳ සුවඳ. එක්කෝ දිව නැත්නම් ඒ රසය, එහෙම නැත්නම් මේවා පරිහරණය කරන කය. නැත්නම් කයට ලැබෙන පහස. නැත්නම් මනස නැත්නම් මනසට ඇතිවන සිතුවිලි නිසයි. අප එසේයි සිතන්නේ. මේ දෙපැත්තෙන් එක පැත්තකටයි අප වගකීම දාන්නේ. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශ්‍රාවක සංඝරත්නය වන සාරිපුත්ත මහරහතන් වහන්සේ සහා කොට්ඨිත මහරහතන් වහන්සේ වදාළ අපූරු සංවාදයක් ඔබට සිහි කරන්නම්. මේ සමාජයේ තිබෙන ප්‍රශ්නය විසඳා ගන්න අපට ඒ උපමාව උපකාරි වෙනවා.
ඔබ සිතන්න ඇසත් රූපයත්, කණත් ශබ්දයත් මේ ප්‍රශ්නයට පළි නැහැ කියා අප කිව්වා. එහෙමනම් වගකිව යුත්තේ මොකක්ද? කොට්ඨිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අසනවා, ස්වාමිනි, ඇස රූපයට බැඳිලා ද? නැත්නම් රූපය ඇසට බැඳිලා ද? ශබ්දය කණට බැඳිලා ද? කණට ශබ්දය බැඳිලාද, ඒ ආකාරයට නාසය, දිව, කය, සිත ගැන අසනවා. එවිට මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත රහතන් වහන්සේ උපමාවක් වදාළා. කළු ගොනෙකුªයි, සුදු ගොනෙකුයි සිටිනවා. මේ ගොන්නු දෙදෙනා එක කඹයකින් කොන් දෙනෙන් ගැට ගහනවා. ගොන්නු දෙදෙනාගේ ශක්තිය එක සමානයි. දෙන්නා දෙපැත්තට අදිනවා. එහෙම අඳින තාක් දෙන්නාටම ගමනක් නැහැ. දෙන්නා එක තැනම ඇදි ඇදී ඉන්නවා දෙපැත්තට යන්න උත්සහ කරමින්. මේක දකින කෙනෙක් හිතනවාලු කලු ගෙනාට යන්න බැරි සුදු ගෙනා නිසා කියා. තව කෙනෙක් සිතනවා සුදු ගෙනාට යන්න බැරි කළු ගොනා නිසයා කියා. ගොන්නු දෙන්නාට වගකීම දමමින් සමාජයේ යාමක් තමා අද තිබෙන්නේ. සාරිපුත්ත ස්වාමින් වහන්සේ වදාළා කලු ගොනාට යන්න බැරි සුදු ගෙනා නිසාවත්, සුදු ගෙනාට යන්න බැරි කලු ගොනාවත් නිසා නොවේ. බුද්ධිමත් කෙනා එය දකින්නේ බැඳ තිබෙන කඹේ නිසා දෙන්නාටම යන්න බැහැ. කඹේ කැපුවානම් දෙන්නාටම යන්න පුලුවන්. එහෙනම් මේ ගොන්නු දෙන්නාට ගලපා රසය ඇතිවෙනවා කියා තණ්හාවෙන් මිදෙන්න අප කෑමට තිබෙන පලතුරු ටික අයින් කරනවානම්, තණ්හාවෙන් මිදෙනවා ද? එහිදී කර තිබෙන්නේ පලතුරු ටික එක ගොනෙක්. දිව අනෙක් ගොනා. අප මේ ගොන්නු දෙදෙනාගෙන් එක් ගොනෙකුට වගකීම දාලා මේ ගොනා නිසා තමා අර ගොනාට යන්න බැරි කියනවා. නමුත් ගොන්නු දෙදෙනාගේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ කඹේ. කඹය කියන්නේ අනවබෝධයෙන් ඇතිවුන ඡන්ද රාගයක් තිබෙනවා. කැමැත්තෙන් ඇලුණු ස්වභාවයක් තිබෙනවා. මේ අනවබෝධය නිසයි නිතරම තෘෂ්ණාව ඇතිවෙන ස්වභාවය තිබෙන්නේ. එයට බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යාව කියා. පලතුරු ප්‍රශ්නයේ දීත් දිව නම් වූ මේ ආයතනය සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතැන අනවබෝධය කැපුවානම් කිසිම ගැටලුවක් නැහැ.
ඔබට රසවත් ආහාර ගන්න පුලුවන්. ආහාරයක් ගත්තා කියා අවබෝධ කළානම් එතැන තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ එනිසා කඹය කැපුවානම් ගොන්නු දෙදෙනාගේ ගමනක් නැහැ. බැඳීම ඇත්තේ ගොන්නු දෙන්නාගේ නොවේ කඹයේ යි. ඒකයි රහතන් වහන්සේලාගේ ජීවිත ගැන කියද්දී ලස්සන උපමාවක් තිබෙන්නේ. “නෙලුම් කොළයට දිය බින්දුවක් වැටුණා” වගේ කියා. කවදාවත් ඒ දිය බින්දුවයි නෙලුම් කොළයයි එකට එකතු වන්නේ නැහැ. එකට ගැටෙනවා නමුත් එකතු වීමක් නැහැ.
රහතන් වහන්සේගේ දිව නෙලුම් කොළය නම් ගන්නා වූ ආහාරය වතුර බිංදුව නම් ආහාරයේ රසය දිවට ලැබෙනවා. හරියට වතුර බිංදුව හා කොළය වගේ. ඒ දෙක එකට බැඳෙන්නේ නැහැ.
එනිසා මේ දේවල් ඔබ හොඳින් තේරුම් නො ගත්තොත් මිනිසුන් ඇඟිල්ල දිගු කරන්නේ බුද්ධ ශාසනයට යි. ඔවුන් සිතන්නේ මේක ශාසනයේ ප්‍රශ්නයක් කියා. අප දැනගන්න ඕන ඇලෙන දේ්ට ඇලෙන්නේ අවිද්‍යාව නිසා. ඇලෙන දේ අයින් කරන්න කලින් ඇයි මම මේ දේට ඇලෙන්නේ කියා සිතිය යුතුයි. මෙතැන තිබෙන කාරණය අපට අවබෝධ නොවූ නිසා කියා තේරුම් ගන්න ඕන. එවිට අප අවබෝධයට එන්න උත්සාහ කරනවා. බුද්ධ ශාසනයේ තිබෙන්නේ විශේෂ දේ ඒකයි. ධර්මයත් සමඟ ඇස ගැනත් අවබෝධය ඇතිවෙනවා. එවිට පේන දෙයින් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම කණට ඇසෙන දේ ගැන අවබෝධයක් ඇතිවෙනවා. එවිට ඇසෙන දෙයින් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ නාසය, දිව, කය, මනස ගැනත් අපට ගලපා බලන්න පුලුවනි. ඇස වසාගෙන සිටියාට ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. රාග ද්වේෂ, මෝහ තිබෙන්නේ අනවබෝධය සිතේ ඇතිවුණ නිසයි.
එනිසා ඔබ සියලු දෙනාට මේ ප්‍රශ්නය නිරාකරණය වී තමා පිළිබඳව අවබෝධයක් ඇතිවේවා කියා අප මෙත් සිතින් සෙත් පතනවා
නයනා නිල්මිණි

ලෝ දහම හෙළි කළ බුදුදහම

මීරිගම බෝතලේ 
කිණිතුලාගල ආරණ්‍යයේ 
තල්ගමුවේ සුධීරානන්ද හිමි
ආගමක්, දහමක්, දර්ශනයක් යනාදී කවර ක්‍රමයකින් හැඳින්වූවත් අපට එකී දේ අවශ්‍යවන්නේ හුදෙක් එදිනෙදා වුවමනාවන් සපුරා ගැනීමට පමණක් නොවේ.විශේෂයෙන් යම් යම් දේට යට නොවී නිවහල්ව සිතන බුද්ධිමත් අයට ආගමක් දහමක් අවශ්‍ය වනුයේ මේ සත්ත්වයින් මෙලොවට ආවේ කොහෙන්ද? මරණින් මතු වන්නේ කුමක්ද? ආකල්ප සංකල්ප වශයෙන් මෙන්ම, සැප දුක් විඳීම් වශයෙන් විවිධ වෙනස්කම් ඇත්තේ කුමක් නිසාද? එකී තත්ත්වයෙන් වෙන් වුණු, වෙනස් නොවන සැපයක්වේද? එය ලැබුමට කළ යුත්තේ කුමක්ද? යනාදී එක එල්ලේම නොවැටහෙන දෑ පිළිබඳව දැන ගැනීමටය.
මෙකී ප්‍රශ්නයන්ට මෙන්ම තවත් ඇති තාක් ප්‍රශ්නයන්ට තමා තුළින්ම පිළිතුරු ලැබෙන ක්‍රමය මේ දහමින් ලැබේ. ඒද ඉතාමත් පූර්ණ ලෙසිනි. එනම් එකී ප්‍රශ්න ඇතිවීමට හේතුවක්, ඒවා නිසි පිළිතුරෙන් විසඳීමත්, ඒවා විසඳන ක්‍රමයත් මේ දහමින් පැතිකඩ රැසකින් තේරුම් කරන හෙයිනි. බුදුවරයන් වහන්සේ කලින් කලට,ලෝකයට පහළ වීමෙන් කරන්නේ ලෝකයේ පවතින ස්වභාවය අවබෝධ කිරීමයි. මෙහිදී ලෝකය යනුවෙන් අදහස් කරන්නේ සියලු සත්ත්වයින් සහිත වූ භෞතික පරිසරයක්ය. මෙසේ ගත් කල්හි ඉන් පරිබාහිර කිසිවක් නැත. මෙකී ලෝකයේ සංයුතිය, ස්වභාවය ,නියැඳිය , වෙනස්වීම හෙවත් අනිත්‍යතාව, තනිකර දුක හෝ අතරතුර දුක සහිත වූ සැප, මෙකී අනිත්‍ය දුක්ඛ තත්ත්වයට පත්වීම වැළැක්වීමට පාලනයට නොහැකිකම හෙවත් අනාත්ම ස්වභාවය මේ බව “උප්පාදෙ වා භික්ඛවෙ තථාගතානං අනුප්පාදො වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්ම නියාමතා සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා” යන ලෝක ස්වභාවය විග්‍රහ කළ බුද්ධ වචනයෙන් සනාථ වේ.
බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ ලෝක ස්වභාවය අවබෝධ කිරීමට සුදුසු ප්‍රතිපත්තියේ දිගු කලක් ගමන් කර එකී තත්ත්වය වටහාගෙන ලෝකයට ප්‍රකාශ කිරීමයි. හුදෙක් බුදුවරු කරන්නේ සොයා ගැනීමක් පමණකි. එනම් සියල්ලේ පවතින අනිත්‍යාදී ස්වභාවයයි. ගුරුත්වාකර්ෂණයද සොයා ගන්නා ලද්දකි. ඒ දේ ඒ මහත්මා සොයා ගත්තත් , නැතත් ලෝකයේ පවත්නා වූ ස්වභාවයකි. ධර්මතාවයකි සත්‍යයකි. එමෙන්ම ඊට වඩා අද්විතීය ප්‍රතිපදාවක අද්විතීය කාලයක් නියුක්තව සිට බුදුවරු මෙකී ත්‍රිලක්ෂණය හෙවත් ලෝ ස්වභාවය අවබෝධ කොට ලෝකයට කියා දෙති. මෙය ගුරුත්වාකර්ෂණය සේ වටහා ගැනීමට එතරම් පහසු දෙයක් නොවේ. මෙය ශීල, සමාධි, ප්‍රඥා පුහුණු පාඨමාලාව ලෝභ, ද්වේෂ ,මෝහ,ක්ෂයවීම දක්වා දියුණු කිරීමෙන්, ආය¸ සත්‍යයන් අවබෝධයත් සමඟ සිදුවන සොයා ගැනීමයි.
මේ ත්‍රිලක්ෂණය හෙවත් ලෝක ස්වභාවය ඉතා ගැඹුරුය. බුදුවරුන් ඒ පිළිබඳ කරන ලද දේශනා ඇසුරින් අවබෝධ කරගත යුතුය. මෙකී ත්‍රිලක්ෂණය හෙවත් ලෝකයේ යථාර්ථය ලොවට ප්‍රකාශ කිරීමේදී මාධ්‍ය දෙකක් භාවිතා කරන ලදී.
එනම්
1.සම්මුති සත්‍යය මාධ්‍ය ක්‍රමය 
2.පරමාර්ථ සත්‍යය මාධ්‍ය ක්‍රමය
සම්මුති සත්‍යය මාධ්‍ය ක්‍රමයෙන් විස්තර කිරීමේදී “ඒ කාලයේ කුසාවතී නුවර මෙපමණ මෙපමණ සම්පත් මට හිමිව තිබුණි. ඒ සියල්ල අනිත්‍ය නිසා, ආනන්දය,අද විද්‍යාමාන නොවේ” යනාදි වශයෙන් සත්ත්වයා පුද්ගලයා, නගරය, ගම් යනාදී ලෝකයා ව්‍යවහාර කරන, සම්මත කරගෙන ඇති අයුරින් විස්තර කරති.
දෙවැනි ක්‍රමයෙන් ලෝක ධර්මතාවය විග්‍රහ කිරීමේදී සත්ත්වයා කියා හඳුන්වන්නේ පෙර කරන ලද කුසලාකුසල කර්මයන්ගේ විපාක ශක්තිය මුල් කොටගත් සිත හා කය නාමය හා රූපය රූප කොටස, වේදනා කොටස, සංඥා කොටස, සංකාර කොටස, විඤ්ඤාන කොටස යන ස්කන්ධ පසය යනාදී ලෙසින්ය. මේ ක්‍රම දෙකම සත්‍යය නමුත් ඒ දෙක මගින් එකම දෙයක් දෙවිධියකට විග්‍රහ වන බව අවුල් නොකොට තේරුම් ගත යුතුය.
මේ ක්‍රම දෙකින්ම බුදුවරු ධර්මය දේශනා කරන්නේ ධර්මතාව අවබෝධ කරන්නන්ගේ ඇති බුද්ධි මට්ටමේ පවතින විවිධත්වය නිසාය. ඇතැමෙක් පළමු ක්‍රමය අසා ත්‍රිලක්ෂණය අවබෝධ කරති. ඇතැමෙක් දෙවැනි ක්‍රමයෙනි.
අප බලාපොරොත්තු වන්නේ මෙකී තත්ත්වය අවබෝධ කරවීමට බුදුවරු පාවිච්චි කළ දෙවැනි ක්‍රමය පිළිබඳ සමාලෝචනයක් කිරීමටයි. ඉහත කී ක්‍රමයෙන් පුටුව,මේසය, මිනිසා , සුනඛයා යනාදී වශයෙන් හැඳින්වීමේදී මාධ්‍යය සම්මුති සත්‍යය හෙවත් සම්මුති මාධ්‍යයි. මෙකී පුටුව, මේසය ආදි දේ කුඩා කුඩා අංශුවලට බෙදීමෙන් නැවත බෙදිය නොහැකි තරමේ අංශුන්ට බෙදුවොත් ඒවාට භෞතික විද්‍යාඥයෝ පරමාණූ ,ඉලෙක්ට්‍රෝන , ප්‍රොටෝන යනාදී ලෙස කලින් කල විවිධ නම් තබති. අධ්‍යාත්මික විද්‍යාවේ ඉහළටම දියුණූ වූ බුදුවරු එකී අංශුවලට ‘ශුද්ධාෂ්ටක කලාප’ යැයි පවසති. නමුත් විශේෂයෙන් දත යුත්තේ විද්‍යාඥයින් හඳුනා ගන්නා ලද අංශුවක පවා ශූද්ධාෂ්ටක රාශියක් ඇති බවය. මෙන්න මේලෙසින් බුදුවරු රූප කයේ පමණක් නොව සිතෙහි පවා බෙදීමට හැකි ඉහළම කොටස දක්වා විභජ්ජවාදී ක්‍රමයට අවබෝධ කොට එලෙසින්ම දේශනා ක්‍රමය මුලදීම කියූ සේ යමක් අපක්ෂපාතීව තේරුම් ගැනීමට උත්සාහ කරන කෙනෙකුට ඉතා වැදගත්ය.
මේ අනුව නාමරූප, දෙකේම, ලෞකික ලෝකෝත්තර සියල්ලේම අවසාන අංශුව, එනම් බෙදීම නමැති වෙනස් කිරීම මඟින් ඉන් එහා වෙනස් කළ නොහැකි අංශු පරමාර්ථ ධර්ම සේ බුදුවරු සොයාගෙන විග්‍රහ කරති. ඒවා සංචිත වශයෙන් හෙවත් සමූහ වශයෙන් ශීර්ෂ 4 කට ප්‍රභේද ගතවේ. එනම්,
1.චිත්ත (89-121) 
2.චෛතසික (52) 
3.රූප (28) 
4.නිර්වාණ (1)
මෙකී ධර්මතාවයන් සතර පිළිබඳව ඉතිරියක් නැතිවම දේශිත ක්‍රමය ‘අභිධර්මය’ නම්වේ. අභිධර්මය මෑතක් වන තුරුම බොහෝ දෙනෙකුට ඉතා නීරස විෂයයක්ව පැවතිණි. නමුත් අපිත් තවත් ගිහි පැවිදි උතුමෝත් විද්‍යුත් මාධ්‍ය – මුද්‍රිත මාධ්‍ය මගින් මේ ධර්ම කොට්ඨාස මතු කළ බැවින්, මතු කරන බැවින් ඒවායේ ඇති ප්‍රායෝගික භාවයේ ඇති තියුණු බව නිසා මේ දහම් කොටස බොහෝ දෙනාට ඉතා වැදගත් විය . පි‍්‍රය විය. එම නිසා අභිධර්මය ජනයා අතර අද ඉතා ප්‍රසාද ජනක ධර්ම කොට්ඨාසය වී ඇත.
චිත්ත යන ධර්මතාවය විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේ වචන රැසක් භාවිත කර ඇත. එසේ එකම සිත විස්තර කිරීමට වචන 8 ක් පාවිච්චි කර ඇත්තේ සිතෙහි ක්‍රියාකාරිත්වයේ ඇති සියුම් වෙනස්කම් නිසාය. එමෙන්ම ඒ විවිධත්වයන් මත හෝ සිත හඳුනා ගැනීමට ඒ ඒ පුද්ගලයාට ඉඩ හසර ලබා දීමටය.
ඒ අනුව සිතට චිත්තං යනුද නමකි. විසිතුරු දේ සිතන නිසා ‘චිත්ත’ නම්වේ. ලෝකයේ ඇති බොහොමයක් දේ මුලින්ම ගොඩ නැගුනේ සිතෙහි ය. බොහෝ දෙනා දන්නා වූ පුදුම හතක් වශයෙන් හඳුන්වා දී ඇති දේ. පවා සිතේ ඇති වූ නිර්මාණයෝය. පසුව භෞතික දේ මගින් ගොඩ නැගුණි. මිනිසා ඇතුළු සියලු තිරිසන් සත්ත්වයෝද, අපට පියවි ඇසට නොපෙනෙන කුඩා ජීවීන්ද දිව්‍ය ,බ්‍රහ්ම ආදී සත්ත්වයෝද චිත්ත නිර්මිතය. සිතෙන්ම නිර්මාණය වූවෝය. මේ විසිතුරු භාවය සළකා සත්ත්වයාට පහළ වන සිත් සමූහයට චිත්ත යන වචනය භාවිත කළේය.
‘මන’ යනුද සිතට නමකි. අරමුණ එනම් ඇස, කන ආදියට ගැටෙන රූප, ශබ්ද, ආදිය පි‍්‍රය අපි‍්‍රය ආදී වශයෙන් මැනීමක් කරන නිසා ‘මන’ යනුවෙන් සිත හඳුන්වනු ලබයි. “හදය” යනුද සිතට නමකි. හෘදය වස්තුව ඇසුරු කොටම බොහෝ සෙයින් සිත. පවතින නිසා මේ නම යෙදේ. ‘පණ්ඩර’ වශයෙන් සිත හඳුන්වන්නේ ප්‍රකෘති සිත හෙවත් විපාක සිත් සියල්ල ඉතා පිරිසුදු නිසාය. එනම් එකී සිත්හි ලෝභාදි අකුසල් නොපවතින බැවිණි. තවද ලෝභාදී මෙන්ම අලෝභාදී චෛතසික සහිතව සිත පවත්නා බැවින් ‘මනස’ වශයෙන් හැඳින්වේ. මේ සියලු හැඳින්වීම් අතර ‘විඤ්ඤාණ’ යනුවෙන් සිත හඳුන්වා දීමම ඉතා වැදගත්ය. එහි අර්ථය ‘දැනගැනීම යනුයි. ඒද අරමුණු දැන ගන්නා යනුයි. රූපාදී අරමුණු දැන ගන්නේ විඤ්ඤාණය කීවද, දැන ගැනීමම විඤ්ඤාණය කීවද වෙනසක් නැත. මෙසේ සමස්ත (89) සිත පිළිබඳව සරළ සංක්ෂිප්ත හඳුන්වා දීමක් කෙරෙන අතර මතුවට සිත් 89 – 121 ක් වන අයුරු පහදා දෙනු ලැබේ.
චෛතසික පරමාර්ථය දෙවැන්නයි. සිතෙහි යෙදෙන නිසා මෙකී 52 ක් වූ ධර්මයන්ටම පොදු හැඳින්වීම චෛතසික ලෙස යෙදේ. මෙකී 52 වූ ධර්මතා මුලින් කී සිත කුසල්, අකුසල් විපාක ක්‍රියා වශයෙන් වෙනස් කිරීමට සමත්ය. මෙම ලෝභාදී මෙන්ම අලෝභාදී චෛතසික ධර්ම වල සිතක යෙදෙන විවිධත්වය මතම එකම සිත 89 ආකාරයක් ගනියි. නිදසුනක් වශයෙන් එකගොඩනැගිල්ලක් ඇතැයි සිතමු. එහි ගිහි පිරිසක් වාසය කරන කල්හි ගෙදර, නිවස වශයෙන් හඳුන්වයි. එය යම් කලෙක ශාසනයට පූජා කළහොත් සංඝාවාසයට ලෙස හඳුන්වයි. පසු කළෙක ශීල, භාවනා, කරන සිල් පිරිසකගේ ප්‍රයෝජනයට යෙදුවොත් ධර්මශාලාව කියා ව්‍යවහාර කරයි. මෙකී ව්‍යවහාර රැසක් එකම ගොඩනැගිල්ලට භාවිත කරනුයේ ගොඩනැගිල්ලේ වෙනසක් වූ නිසා නොව එයට ඇතුල් වූවන්ගේ වෙනස මතයි. මෙසේම එකම සිත 89 වැදෑරුම් හෝ 121 වැදැරුම් වන්නේ ඒ ඒ සිතට යෙදෙන ලෝභාදී සහ අලෝභාදී චෛතසිකයන්ගේ වෙනස නිසාය. එසේ වූවත් චෛතසික වලට වඩා බලයක් ඇත්තේ සිතටය. මක් නිසාද යත් සිතක් පහළ නොවීනම් කිසිදු චෛතසිකයක් පහළ විය නොහැකි බැවිනි. සිතට නම් ඇතැම් චෛතසික වලින් තොරව පහළ විය හැකිය. මේ සඳහා බණපොත නිදසුනක් ගෙන දෙයි. විවිධ ඖෂධ යොදා කෂායක් සකස් කළේ යැයි සිතන්න. එහි ඇති බෙහෙත් රස චෛතසික වැනිය. බෙහෙත් රස දියවී ඇති ජලය සිත වැනිය. බෙහෙත් වර්ග කෙතරම් තිබුණත් ජලය නැතිනම් කෂාය සකස් කළ නොහැකිය. නමුත් ජලය තිබුණොත් වෙනත් ඖෂධ යොදා ගෙන කෂායක් සකසා ගැනීමට බාධාවක් නැත. මෙලෙස චෛතසිකයන්ට සිත ප්‍රධාන වන බව මතක තබා ගන්න.
ඊළඟ පරමාර්ථ ධර්මය රූපයි. මෙහිදී රූප යනුවෙන් හඳුන්වන්නේ හුදෙක් යමක පාට වර්ණය පමණක් නොව ශීත ඌෂ්ණාදිය නිසා වෙනසට භාජනය වන සියල්ල ය. නිර්වචනය අනුව යමක පාට හෙවත් පැහැය පමණක් නොව ශබ්දයද රූපයකි. ගන්ධ,රස, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදියද රූපය චිත්ත චෛතසික හැර සත්ත්වයා වශයෙන් හඳුන්වන රූප කයෙහි ඇත්තේ මෙකි ශීත ඌෂ්ණාදිය නිසා වෙනස් වන රූප ධර්මයෝය. ඒ අනුව ඇස, කන, නාසය, දිව ආදියද රූපය. බාහිර භෞතික පරිසරයේ ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ,රස,ඕජා යන රූප 8 පමණයි. කෙසේ වෙතත් මේවා සියල්ල රූප 28 සංචිතයටම ඇතුළත් වන අතර ඒවා එකක් පාසා හඳුන්වා දෙමින් ඒවා අපට විපස්සනා භාවනාවට යොමු කරගන්නා අයුරුද මතු විස්තර කරනු ඇත.
මීළඟ මූල පදාර්ථය හෙවත් පරමාර්ථ ධර්මය නිර්වාණයයි. එය ලෝකයෙන් උත්තරීතරම තත්ත්වයයි. තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරලීම නිවනයි. නමුත් තෘෂ්ණාව දුරු කළ සිත නිවන නොවේ. එමෙන්ම හිස් අවකාශයද නිවන නොවේ. එය මනසට අරමුණු වන නමුත් එකල්හි දී ඇතිවන සුව වේදනාවද නිවන් සුවය නොවේ. ‘රාගක්ඛයෝ, දොසක්ඛයෝ, මෝහක්ඛයෝ , නිබ්බාණස්සේතං අධිවචනං’ ලෙස වදාළ හෙයින් ලෝභ,ද්වේෂ,මෝහ නැවත කිසිදාක සිතෙහි පහළ නොවන තත්ත්වයට පත්කිරීමම නිවනයි. එය වෙනස් නොවන සැපතයි. එය ශාන්ත සැපයයි. ශීල, සමාධි, ප්‍රඥා පුහුණු වීමෙන් ලෝභාදිය දුර්වල වන අතර එය බුදු දහමේ පුහුණුවයි. ශීල, සමාධි, ප්‍රඥා පුරා නිම කිරීම බුදු දහමේ ඉලක්කයයි. එය ලෝභ, ද්වේෂ මෝහ ක්ෂය කිරීමයි. නිවනයි. මේ පුහුණුව දීර්ඝ කාලයකින් නිම වේ. පුහුණුවත් පුහුණුව නිමාවත් ඉතා දුෂ්කරය. නමුත් පුහුණුව නිසිසේ කරන්නාට එකල්හිදීම වෙන කිසිවකින් ලදනොහැකි සැපයක් ලැබේ. පුහුණුව නිමාකළ තැනැත්තාට ලැබෙන ඵලයේ හෝඩුවාවන් රැසක් ලැබෙන හෙයිනි. එසේ වීමට විපස්සනා භාවනාව තරම් තීක්ෂණ පුහුණුවක් තවත් නැත. විපස්සනා භාවනාවක් අභිධර්මයෙන් තොරව නැත. එම නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නමැති ලෝක ස්වභාවය අවබෝධ කරනට,ජීවිතාවබෝධය කරනට,වෙනස් නොවන සැපය සාක්ෂාත් කරනට අවශ්‍ය මේ බුදුවරු කලින් කල පහළ වී සොයා ගනු ලබන, ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට හේතුවන මේ දහම් අසා දැන ගැනීමට හැකි උපරිමයක්,එලෙසිනුත් සිතා දැන ගැනීමට හැකි උපරිමයක්, එලෙසිනුත් භාවනාවෙන් දැන ගැනීමට එහා ගිය දැන, ගැනීමක් තවත් නැති බැවින් ඒ දක්වා යාමට මේ ධර්ම පාඩම මැනවින් උගනිත්වා! සිතත්වා! පිළිපැද ප්‍රතිඵල ලබත්වා!

 මේ ක්‍රම දෙකින්ම බුදුවරු ධර්මය දේශනා කරන්නේ ධර්මතාව අවබෝධ කරන්නන්ගේ ඇති බුද්ධි මට්ටමේ පවතින විවිධත්වය නිසාය. ඇතැමෙක් පළමු ක්‍රමය අසා ත්‍රිලක්ෂණය අවබෝධ කරති. ඇතැමෙක් දෙවැනි ක්‍රමයෙනි.
අප බලාපොරොත්තු වන්නේ මෙකී තත්ත්වය අවබෝධ කරවීමට බුදුවරු පාවිච්චි කළ දෙවැනි ක්‍රමය පිළිබඳ සමාලෝචනයක් කිරීමටයි. ඉහත කී ක්‍රමයෙන් පුටුව,මේසය, මිනිසා , සුනඛයා යනාදී වශයෙන් හැඳින්වීමේදී මාධ්‍යය සම්මුති සත්‍යය හෙවත් සම්මුති මාධ්‍යයි. මෙකී පුටුව, මේසය ආදි දේ කුඩා කුඩා අංශුවලට බෙදීමෙන් නැවත බෙදිය නොහැකි තරමේ අංශුන්ට බෙදුවොත් ඒවාට භෞතික විද්‍යාඥයෝ පරමාණූ ,ඉලෙක්ට්‍රෝන , ප්‍රොටෝන යනාදී ලෙස කලින් කල විවිධ නම් තබති. අධ්‍යාත්මික විද්‍යාවේ ඉහළටම දියුණූ වූ බුදුවරු එකී අංශුවලට ‘ශුද්ධාෂ්ටක කලාප’ යැයි පවසති. නමුත් විශේෂයෙන් දත යුත්තේ විද්‍යාඥයින් හඳුනා ගන්නා ලද අංශුවක පවා ශූද්ධාෂ්ටක රාශියක් ඇති බවය. මෙන්න මේලෙසින් බුදුවරු රූප කයේ පමණක් නොව සිතෙහි පවා බෙදීමට හැකි ඉහළම කොටස දක්වා විභජ්ජවාදී ක්‍රමයට අවබෝධ කොට එලෙසින්ම දේශනා ක්‍රමය මුලදීම කියූ සේ යමක් අපක්ෂපාතීව තේරුම් ගැනීමට උත්සාහ කරන කෙනෙකුට ඉතා වැදගත්ය.
මේ අනුව නාමරූප, දෙකේම, ලෞකික ලෝකෝත්තර සියල්ලේම අවසාන අංශුව, එනම් බෙදීම නමැති වෙනස් කිරීම මඟින් ඉන් එහා වෙනස් කළ නොහැකි අංශු පරමාර්ථ ධර්ම සේ බුදුවරු සොයාගෙන විග්‍රහ කරති. ඒවා සංචිත වශයෙන් හෙවත් සමූහ වශයෙන් ශීර්ෂ 4 කට ප්‍රභේද ගතවේ. එනම්,
1.චිත්ත (89-121) 
2.චෛතසික (52) 
3.රූප (28) 
4.නිර්වාණ (1)

මෙකී ධර්මතාවයන් සතර පිළිබඳව ඉතිරියක් නැතිවම දේශිත ක්‍රමය ‘අභිධර්මය’ නම්වේ. අභිධර්මය මෑතක් වන තුරුම බොහෝ දෙනෙකුට ඉතා නීරස විෂයයක්ව පැවතිණි. නමුත් අපිත් තවත් ගිහි පැවිදි උතුමෝත් විද්‍යුත් මාධ්‍ය – මුද්‍රිත මාධ්‍ය මගින් මේ ධර්ම කොට්ඨාස මතු කළ බැවින්, මතු කරන බැවින් ඒවායේ ඇති ප්‍රායෝගික භාවයේ ඇති තියුණු බව නිසා මේ දහම් කොටස බොහෝ දෙනාට ඉතා වැදගත් විය . පි‍්‍රය විය. එම නිසා අභිධර්මය ජනයා අතර අද ඉතා ප්‍රසාද ජනක ධර්ම කොට්ඨාසය වී ඇත.
චිත්ත යන ධර්මතාවය විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේ වචන රැසක් භාවිත කර ඇත. එසේ එකම සිත විස්තර කිරීමට වචන 8 ක් පාවිච්චි කර ඇත්තේ සිතෙහි ක්‍රියාකාරිත්වයේ ඇති සියුම් වෙනස්කම් නිසාය. එමෙන්ම ඒ විවිධත්වයන් මත හෝ සිත හඳුනා ගැනීමට ඒ ඒ පුද්ගලයාට ඉඩ හසර ලබා දීමටය.
ඒ අනුව සිතට චිත්තං යනුද නමකි. විසිතුරු දේ සිතන නිසා ‘චිත්ත’ නම්වේ. ලෝකයේ ඇති බොහොමයක් දේ මුලින්ම ගොඩ නැගුනේ සිතෙහි ය. බොහෝ දෙනා දන්නා වූ පුදුම හතක් වශයෙන් හඳුන්වා දී ඇති දේ. පවා සිතේ ඇති වූ නිර්මාණයෝය. පසුව භෞතික දේ මගින් ගොඩ නැගුණි. මිනිසා ඇතුළු සියලු තිරිසන් සත්ත්වයෝද, අපට පියවි ඇසට නොපෙනෙන කුඩා ජීවීන්ද දිව්‍ය ,බ්‍රහ්ම ආදී සත්ත්වයෝද චිත්ත නිර්මිතය. සිතෙන්ම නිර්මාණය වූවෝය. මේ විසිතුරු භාවය සළකා සත්ත්වයාට පහළ වන සිත් සමූහයට චිත්ත යන වචනය භාවිත කළේය.
‘මන’ යනුද සිතට නමකි. අරමුණ එනම් ඇස, කන ආදියට ගැටෙන රූප, ශබ්ද, ආදිය පි‍්‍රය අපි‍්‍රය ආදී වශයෙන් මැනීමක් කරන නිසා ‘මන’ යනුවෙන් සිත හඳුන්වනු ලබයි. “හදය” යනුද සිතට නමකි. හෘදය වස්තුව ඇසුරු කොටම බොහෝ සෙයින් සිත. පවතින නිසා මේ නම යෙදේ. ‘පණ්ඩර’ වශයෙන් සිත හඳුන්වන්නේ ප්‍රකෘති සිත හෙවත් විපාක සිත් සියල්ල ඉතා පිරිසුදු නිසාය. එනම් එකී සිත්හි ලෝභාදි අකුසල් නොපවතින බැවිණි. තවද ලෝභාදී මෙන්ම අලෝභාදී චෛතසික සහිතව සිත පවත්නා බැවින් ‘මනස’ වශයෙන් හැඳින්වේ. මේ සියලු හැඳින්වීම් අතර ‘විඤ්ඤාණ’ යනුවෙන් සිත හඳුන්වා දීමම ඉතා වැදගත්ය. එහි අර්ථය ‘දැනගැනීම යනුයි. ඒද අරමුණු දැන ගන්නා යනුයි. රූපාදී අරමුණු දැන ගන්නේ විඤ්ඤාණය කීවද, දැන ගැනීමම විඤ්ඤාණය කීවද වෙනසක් නැත. මෙසේ සමස්ත (89) සිත පිළිබඳව සරළ සංක්ෂිප්ත හඳුන්වා දීමක් කෙරෙන අතර මතුවට සිත් 89 – 121 ක් වන අයුරු පහදා දෙනු ලැබේ.
චෛතසික පරමාර්ථය දෙවැන්නයි. සිතෙහි යෙදෙන නිසා මෙකී 52 ක් වූ ධර්මයන්ටම පොදු හැඳින්වීම චෛතසික ලෙස යෙදේ. මෙකී 52 වූ ධර්මතා මුලින් කී සිත කුසල්, අකුසල් විපාක ක්‍රියා වශයෙන් වෙනස් කිරීමට සමත්ය. මෙම ලෝභාදී මෙන්ම අලෝභාදී චෛතසික ධර්ම වල සිතක යෙදෙන විවිධත්වය මතම එකම සිත 89 ආකාරයක් ගනියි. නිදසුනක් වශයෙන් එකගොඩනැගිල්ලක් ඇතැයි සිතමු. එහි ගිහි පිරිසක් වාසය කරන කල්හි ගෙදර, නිවස වශයෙන් හඳුන්වයි. එය යම් කලෙක ශාසනයට පූජා කළහොත් සංඝාවාසය ලෙස හඳුන්වයි. පසු කලෙක ශීල, භාවනා, කරන සිල් පිරිසකගේ ප්‍රයෝජනයට යෙදුවොත් ධර්මශාලාව කියා ව්‍යවහාර කරයි. මෙකී ව්‍යවහාර රැසක් එකම ගොඩනැගිල්ලට භාවිත කරනුයේ ගොඩනැගිල්ලේ වෙනසක් වූ නිසා නොව එයට ඇතුල් වූවන්ගේ වෙනස මතයි. මෙසේම එකම සිත 89 වැදෑරුම් හෝ 121 වැදැරුම් වන්නේ ඒ ඒ සිතට යෙදෙන ලෝභාදී සහ අලෝභාදී චෛතසිකයන්ගේ වෙනස නිසාය. එසේ වූවත් චෛතසික වලට වඩා බලයක් ඇත්තේ සිතටය.
මක් ඹනිසාද යත් සිතක් පහළ නොවීනම් කිසිදු චෛතසිකයක් පහළ විය නොහැකි බැවිනි. සිතට නම් ඇතැම් චෛතසික වලින් තොරව පහළ විය හැකිය. මේ සඳහා බණපොත නිදසුනක් ගෙන දෙයි. විවිධ ඖෂධ යොදා කෂායක් සකස් කළේ යැයි සිතන්න. එහි ඇති බෙහෙත් රස චෛතසික වැනිය. බෙහෙත් රස දියවී ඇති ජලය සිත වැනිය. බෙහෙත් වර්ග කෙතරම් තිබුණත් ජලය නැතිනම් කෂාය සකස් කළ නොහැකිය. නමුත් ජලය තිබුණොත් වෙනත් ඖෂධ යොදා ගෙන කෂායක් සකසා ගැනීමට බාධාවක් නැත. මෙලෙස චෛතසිකයන්ට සිත ප්‍රධාන වන බව මතක තබා ගන්න.
ඊළඟ පරමාර්ථ ධර්මය රූපයි. මෙහිදී රූප යනුවෙන් හඳුන්වන්නේ හුදෙක් යමක පාට වර්ණය පමණක් නොව ශීත ඌෂ්ණාදිය නිසා වෙනසට භාජනය වන සියල්ල ය. නිර්වචනය අනුව යමක පාට හෙවත් පැහැය පමණක් නොව ශබ්දයද රූපයකි. ගන්ධ,රස, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදියද රූපය චිත්ත චෛතසික හැර සත්ත්වයා වශයෙන් හඳුන්වන රූප කයෙහි ඇත්තේ මෙකි ශීත ඌෂ්ණාදිය නිසා වෙනස් වන රූප ධර්මයෝය. ඒ අනුව ඇස, කන, නාසය, දිව ආදියද රූපය. බාහිර භෞතික පරිසරයේ ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ,රස,ඕජා යන රූප 8 පමණයි. කෙසේ වෙතත් මේවා සියල්ල රූප 28 සංචිතයටම ඇතුළත් වන අතර ඒවා එකක් පාසා හඳුන්වා දෙමින් ඒවා අපට විපස්සනා භාවනාවට යොමු කරගන්නා අයුරුද මතු විස්තර කරනු ඇත.
මීළඟ මූල පදාර්ථය හෙවත් පරමාර්ථ ධර්මය නිර්වාණයයි. එය ලෝකයෙන් උත්තරීතරම තත්ත්වයයි. තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරලීම නිවනයි. නමුත් තෘෂ්ණාව දුරු කළ සිත නිවන නොවේ. එමෙන්ම හිස් අවකාශයද නිවන නොවේ. එය මනසට අරමුණු වන නමුත් එකල්හි දී ඇතිවන සුව වේදනාවද නිවන් සුවය නොවේ. ‘රාගක්ඛයෝ, දොසක්ඛයෝ, මෝහක්ඛයෝ , නිබ්බාණස්සේතං අධිවචනං’ ලෙස වදාළ හෙයින් ලෝභ,ද්වේෂ,මෝහ නැවත කිසිදාක සිතෙහි පහළ නොවන තත්ත්වයට පත්කිරීමම නිවනයි. එය වෙනස් නොවන සැපතයි. එය ශාන්ත සැපයයි. ශීල, සමාධි, ප්‍රඥා පුහුණු වීමෙන් ලෝභාදිය දුර්වල වන අතර එය බුදු දහමේ පුහුණුවයි. ශීල, සමාධි, ප්‍රඥා පුරා නිම කිරීම බුදු දහමේ ඉලක්කයයි. එය ලෝභ, ද්වේෂ මෝහ ක්ෂය කිරීමයි. නිවනයි. මේ පුහුණුව දීර්ඝ කාලයකින් නිම වේ. පුහුණුවත් පුහුණුව නිමාවත් ඉතා දුෂ්කරය. නමුත් පුහුණුව නිසිසේ කරන්නාට එකල්හිදීම වෙන කිසිවකින් ලදනොහැකි සැපයක් ලැබේ. පුහුණුව නිමාකළ තැනැත්තාට ලැබෙන ඵලයේ හෝඩුවාවන් රැසක් ලැබෙන හෙයිනි. එසේ වීමට විපස්සනා භාවනාව තරම් තීක්ෂණ පුහුණුවක් තවත් නැත. විපස්සනා භාවනාවක් අභිධර්මයෙන් තොරව නැත. එම නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නමැති ලෝක ස්වභාවය අවබෝධ කරනට,ජීවිතාවබෝධය කරනට,වෙනස් නොවන සැපය සාක්ෂාත් කරනට අවශ්‍ය මේ බුදුවරු කලින් කල පහළ වී සොයා ගනු ලබන, ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට හේතුවන මේ දහම් අසා දැන ගැනීමට හැකි උපරිමයක්,එලෙසිනුත් සිතා දැන ගැනීමට හැකි උපරිමයක්, එලෙසිනුත් භාවනාවෙන් දැන ගැනීමට එහා ගිය දැන, ගැනීමක් තවත් නැති බැවින් ඒ දක්වා යාමට මේ ධර්ම පාඩම මැනවින් උගනිත්වා! සිතත්වා! පිළිපැද ප්‍රතිඵල ලබත්වා!