ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

කර්මය සහ විපාක

බිබිල යල්කුඹුර 
ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ
ආචාර්ය 

පදියතලාවේ ඤාණවිමල හිමි
ලොව පහළ වූ විවිධ දර්ශන අතර බෞද්ධ දර්ශනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. මේ සඳහා එළඹුණු හේතු සාධක අතර වැදගත් වන්නේ ලොව පිළිබඳවත්, සත්ත්වයා පිළිබඳවත් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් යුත් දේශනාවන්ය.මේ දේශනාවන්ගේ වැදගත්කම වන්නේ අන්‍ය දාර්ශනිකයින් ඉදිරිපත් කළ කරුණූ බුදු දහම සමඟ ගැළපීමට නොහැකි ලෙස දුරස්ථව තිබීමයි. භාරතීය ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැත ආ දර්ශනයන් මිථ්‍යා දර්ශනයන් බව පසක් වන්නට වූයේ බෞද්ධ දර්ශනය භාරතය පුරා හිස එසවීමත් සමඟය. ඊට පෙර සමාජීය වශයෙන් මහත් ප්‍රබලත්වයකින් නැඟී ආ මිථ්‍යා දර්ශනයන්ට නිසි මඟ වූයේ බුදු දහමයි.
ශ්‍රී ගෞතම සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නට යෙදුණු දහම මීට පෙර ලොව පැවති සනාතනවූ ධර්මය ම ය. කෙසේ නමුත් කාලයාගේ වැලිතලාවෙන් වැළලී ගිය ඒ ධර්මස්ඛන්ධය නැවත සුපුෂ්පිත වූයේ ගෞතම සම්බුදු හිමියන්ගේ පහළ වීමත් සමඟය. එනමුදු මෙතුවක් කල් ජීවත් වූ භාරතීය ජනතාව තුළ වූ එවකට වූ ධර්ම කුසලතාව වර්ධනය කරනු වස් බුදුන් වහන්සේට මහත් පරිශ්‍රමයක් දරන්නට වූ බව නිසැකය. ඒ මේ සමය වන විට භාරතය පුරා මුල් බැස ගෙන තිබූ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටික මතවාදවල එල්බ ගෙන සිටි පිරිසක් විද්‍යමාන වීමයි. ඔවුන් ලොවෙහි පවතින සත්‍ය කුමක්ද? අසත්‍ය කුමක්ද ? යන්න පිළිබඳ ව ඇති කරගෙන සිටි ආකල්පය හා දැක්ම විසම වූ ධර්මතාවක් විය. නමුදු ඔවුන්ගේ තිබූ ඥානය ව්‍යක්ත වූ නිසාම පසුකාලීනව ඔවුන් ඒ මිථ්‍යා දර්ශනවලින් බැහැරව බෞද්ධ දර්ශනය භාවිතයට ගැනීමට උත්සුක වීමෙන් පෙනී යයි.
කෙසේ නමුදු එවන් ආගමික සමාජ පසුතලයක බිහි වූ නව්‍ය දර්ශනය වූයේ බෞද්ධ දර්ශනය යි. මුලින් සඳහන් කළ පරිදි මෙය නව්‍ය වූයේ මේ සමාජ පසුතලයට පමණි. පෙර පහළ වූ සම්බුදු හිමියන්ගේ දර්ශනයම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසිනුදු අවබෝධ කරගෙන ලොවට දේශනා කරන්නට යෙදුණි. කෙසේ නමුදු කාලයාගේ ඇවෑමෙන් වැළලී ගිය දහම නැවත ලොවට හඳුන්වා දෙනු ලැබුයේ උන්වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නට යෙදුණු මේ දර්ශනය අතිශයින්ම ගැඹුරු වූත්, නිර්මල වූත්, සත්‍ය වූත් ධර්මයකි. සම්මා සම්බුද්ධ,ලෝකවිදූ, විජ්ජාචරණ සම්පන්නාදි ගුණයන්ගෙන් විභූෂිත වන්නේ උන්වහන්සේ මෙලෙස ලෝ ඇති තතු ස්වයම්භූ ඥානයෙන් ම අවබෝධ කරගත් නිසාවෙනි. උන්වහන්සේ විසින් මේ අවබෝධ කරගැනීමත් සමඟ ඇති වූ නිරාමිස පී‍්‍රතිය ලොවට හෙළි කරනු වස් දේශිත උදානය බෞද්ධ දර්ශනයට ඇලුම් කරන හා ඒ දහම් මඟෙහි නියුක්ත අපට මෙහිදී අතිශය වැදගත් වනු ඇතැයි හඟිමි.
අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං 
ගහකාරකං ගවේසන්තො – දුක්ඛා ජාති පුනප්පුනං 
ගහකාරක දිට්ඨෝසි – පුන ගේහං න කාහසී 
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං 
විසංකාර ගතං චිත්තං – තණ්හානං ඛය මජ්ඣගා’ති
මෙහිදී උන්වහන්සේ විවරණය කරන්නට යෙදුණේ අනේක ප්‍රකාර වූ සාංසාරික ජීවිතයන් ඔස්සේ සැරිසරවමින් තමා වෙහෙසට පත් කළ ජාතිය නමැති ගෙය සාදන වඩුවාණන් තමන් දුටු බවත් සංසාරය නමැති ගෙහි කැණිමඬල තමන් විසින් සිඳ බිඳ දැමූ බවත්ය. එනම් මේ ලෝ වැසි සියලු සත්ත්වයන්ට නැවත ඉපදීමක් ඇති කරන්නට යෙදෙන්නේ මේ කියන්නා වූ ජාතිය නමැති ගෙහි තෘෂ්ණාවෙන් ඇලී ගැලී සිටීම නිසාවෙන්ය යන්න උන්වහන්සේ පෙන්වා දෙන්නට යෙදුණේ ඉහත කී අයුරිනි. ලෝ වැසි දනන් ලෝභ, ද්වේශ ,මෝහාදි අකුසල සිත්වලින් මදයට පත් වී දිවි ගෙවන අයුරුත් එවන් වූ අයගේ ජීවිත පිළිබඳ ව මීට වඩා සැළකිලිමත් ව කටයුතු කිරීමට සැලැස්වීමක් නොවන්නේ නම් සසර කතරින් එතෙර වීම අතිශය දුෂ්කර වූ කාරණාවක් බවත් උන්වහන්සේගේ සම්බුදු ඇස පෙණිනි. සම්‍යග් සම්බුද්ධත්වයට පත් බුද්ධාංකුරයක් තුළ ලෝ සතුන්ගේ ස්වභාවය අවබෝධ කිරීමේ ඥානය නිතැතින්ම ඇත්තේය. එනිසාවෙනි උන්වහන්සේ ලෝ සතුන් කෙරෙහි පතළ කරුණාවෙන් දහම් දෙසා නිවන් මඟට පමුණුවන්නට යෙදුණේ.
බුදුන් වහන්සේගේ දර්ශනය පිළිබඳව උන්වහන්සේගෙන් විමසූ එක් ප්‍රශ්නයකින් මෙහි ස්වභාවය මනාව ප්‍රකට වේ. දිනක් එක් භික්ෂුවක විසින් බුදුන් වහන්සේගෙන් කර්මය යනු කුමක්ද? එහි ස්වභාවය කෙසේදැයි ප්‍රශ්නයක් යොමු කරන ලදින් බුදුන් වහන්සේ වදාළේ “චේතනාහං භික්ඛවේ කම්ිමං’ වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන මනසා “ යනුවෙනි. “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. මනසින් සිතා කරන දේ කර්ම වේ” යනුවෙන් එහි අරුත් ගැන්වේ. එසේ නම් අප අවබෝධ කර ගත යුත්තේ කර්මයක් වීමට නම් එය අප මනසින් සිතා ක්‍රියාවට නැංවීමක් අවශ්‍ය වන්නක් වන බවයි. මේ පිළිබඳ අප අවධානය යොමු කිරීමේදී කර්මයේ වුවද සුදු කළු භේදයක් ඇති බව පෙනී යයි. මේ පිළිබඳ විමසීමේදී අතිශය වැදගත් වන එක් බුද්ධ දේශනාවක් ලෙස ධම්මපදයේ අන්තර්ගත ගාථා යුගළයක් දෙස අවධානය යොමු කිරීමෙන් පෙනේ.
මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා 
මනසා චේ පදුට්ඨේ’න – භාසති වා කරෝතිවා 
තතො නං දුක්ඛ මන්චේති –චක්කං ‘ච වහතෝ පදං 
මනසා චේ පසන්නේන භාසති වා කරෝතිවා 
තතෝ නංසුඛ මන්වේති ඡායාව අනුපායිනී
ඉහත ගාථා යුග්මය දෙස විමසිල්ලෙන් බැලූ විට අපට පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. එනම් අප කරන සෑම ක්‍රියාවක් සඳහා ම මනස පූර්ව වන බවත්, මනස මුල්වන බවත්, මනස පෙරටුවේ තබාගෙන එවන් ක්‍රියාවන් බොහෝ දුරට සිදුවන බවත් පැනෙන්නට තිබීමයි. කෙසේ නමුත් මෙහිදීද යම් කාරණාවක් ගම්‍ය නොවන්නේ නොවේ. එනම් මුලින් සඳහන් කළ අන්දමට චේතනාව හෙවත් සිතිවිල්ල ප්‍රබලත්වයට පත්ව තිබීම සිදුවේ. අප එසේ සිත පෙරටුවේ තබා ගෙන යම් ක්‍රියාවක් පිළිබඳ අපැහැදිලි ,ද්වේෂ සහිත, අකුසලයට නැඹුරු සිතින් යුක්තව (පදුට්ඨෙ’න චිත්තේන) කියන්නේ නම් (භාසති) හෝ එනයින්ද යමක් එලෙසම කරන්නේ නම් (කරෝති) එයින් ලැබෙන ඵල විපාකයද අතිශය දුක් සහිතය (දුක්ඛ මන්වේති) ඒ පිළිබඳ මනුෂ්‍යයාට ඉතා හොඳින් අවබෝධ කරදෙනු වස් බුදුන් වහන්සේ වදාළ උපමාව වන්නේ ගැල උසුලන්නා වූ, ගොනුන් වෙහෙසට පත් කරමින් ගොනුගේ පිය අනුව යන්නා වූ ගැල් සක මෙනි යන්නයි. මෙහි දී කාය, වචී, මනෝ, යන දුෂ්චතරියන් වලින් යුක්ත වන්නේ යමෙක්ද ඔහුට මේ කියන්නා වූ දේ අත් විඳීමට සිදුවන බව මෙමඟින් වර්ණිතය. කෙසේ වුවද අප අකුසල කර්ම රැස් කිරීමට දක්වන ඇල්ම කුසල පක්ෂය විෂයයෙහි අඩංගු නොවන බැව් බුදුන්ගේ ඥාන දර්ශනයට පවා හසු විය. එනිසාවෙනි නිවන් අවබෝධ කරගත් පිරිස එසේ නොවූ අය හා සංසන්දනය කිරීමේදී අඩු අගයක් ගන්නේ. කෙසේ වුවද යමෙක් ඉහතින් පෙන්වා දුන් පරිදි සිතින් කයින් හෝ මනසින් අකෘතඥ ක්‍රියාවන් කරන්නේ නම් ලැබෙන විපාකය අති බිහිසුණුය. අප වැරදි ක්‍රියාවන් කරන්නට කෙතෙක් පි‍්‍රය වුවද එයින් ලැබෙන විපාකය විඳීමට වූ විට ඇති වන්නා වූ වේදනාව වීදාගම මෛත්‍රෙය හිමියන් විසින් ලෝවැඩ සඟරාවේ දී ඉතා හොඳින් පෙන්වා දෙනු ලැබේ.
ළිප ගිනි මොලවන තෙක් දිය සැළියේ
සැපයක් යැයි කකුළුව දිය කෙළියේ 
එපමණ තොප සිතතොත් නො හැකිළියේ 
සැපයක් නම් නැත කම්රස කෙළියේ
මෙහිදී ද පෙන්වා දෙන්නේ මුලින් සඳහන් කළ දේ මය. එනම් තමා වැරදි ක්‍රියාවක් කරන මොහොතේදී ඉතා සන්තෝෂයෙන් කරන්නේ වුවද විපාකය විඳින්නට ගිය විට ඇති වන වියෝගය, දුක් සහිත බව කඨෝර බව නිසා තමන් අතිශය පීඩාවට පත් වන බවයි. නමුත් අප මෙහි සිතිය යුත්තේ මේ ක්‍රියාව පමණක්ම නොවේ. මෙහි වැරදි ක්‍රියාවන්වල නිමග්න නොවී යා යුතු මාවත අපට බුදුන් වහන්සේ විසින් දේශිතය. දෙවනුව සඳහන් කළ ගාථා නයින් පෙන්වා දෙන්නේ මෙහි අති ශ්‍රේෂ්ඨ අංශය යි. එනම් අප කරන ක්‍රියාවන් යහපත් සිතින් යුතුව (පසන්නේන චිත්තේන) යමක් කියයි නම් හෝ කරයි නම් එයින් ලැබෙන ප්‍රතිඵලය අනුසස් සහිත බවයි. එයින් විඳින සුවය තමා පසුපස ගමන් කරන සෙවනැල්ල සේය යන උපමාවෙන් වර්ණිතය. එයින් පෙන්වා දෙන විශේෂිත වූ කාරණාව වන්නේ තමන් කරන හෝ ක්‍රියාවන් නිසා තමන්ට අයහපතක් නොවී යහපතක්ම වන බවයි. මෙහිදීද මුලින් සඳහන් කළ පරිදි කාය, වචී, මනෝ, යන ත්‍රිවිධ අංගයකින් කුසලය යුක්ත වන්නේය.
ඉහතින් පෙන්වා දෙන්නට යෙදුණේ කර්මය විපාක දීමේ මූලික අවස්ථාවයි. එනම් යම් ක්‍රියාවක විපාකයක් ද තිබෙන බවයි. නමුදු මෙහිද යම් ප්‍රභේදයන් රාශියක් දක්නට ලැබේ. විපාක දීම වශයෙන් ද විපාක දෙන කාල වශයෙන්ද විපාක දෙන ආකාර වශයෙන්ද මෙය ත්‍රිවිධ වනු ඒ අනුව පෙනේ. ලොවේහි ඇති පඤ්ච නියාම නම් ධර්ම නම් කොට්ඨාසයේ කම්ම නියාමයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. උතු නියාමයෙන් හේමන්ත ගිම්හාන වස්සානාදී ඍතු සම්බන්ධව බෙදීම පෙන්වන අතර බීජ නියාමය මගින් ගස්වැල් පුද්ගලයින් යම් සේ බීජ මුල් කරගෙන හටගැනෙන බව පෙන්වා දේ. චිත්ත නියාමය මඟින් සිතේ සිතිවිලි පිළිබඳ දීර්ඝ විස්තරයක් කෙරෙන අතර ධම්ම නියාමය මඟින් ලොවෙහි ඇති හේතුඵල ධර්මතාව අනුව සිදුවන කරණු මෙන්ම බුදුවරයෙකුගේ පහළවීම නිසා ලොවෙහි වන වෙනස්වීම් ආදි දේ පිළිබඳ ප්‍රකට කෙරේ. කම්ම නියාමයෙහි ලොවෙහි හුදි ජනන් කරන හොඳ නරක ක්‍රියාවන්වල ඇති විපාකයන් පිළිබඳ කරුණු දක්වනුයේ, ලෝකයේ පැවැත්ම සඳහා කර්මය මහත් පිටුවහලක් වන බවද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සේක.
කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ 
තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති
යනුවෙන් විසුද්ධි මාර්ගයේ ද සඳහන් කොට ඇත්තේ එයයි.මේ අනුව කර්මයද ලොව සමඟ සබඳතාවක් දක්වයි. මේ නිසා මෙයද නියාම ධර්මයක් වන බව පැහැදිලි වේ. යම් විටෙක අප කරන ක්‍රියාවන්ගේ හොඳ නරක විපාක දීමේදී යම් යම් වෙනස්කම් ද ඇතිවිය හැකිය. ධර්මයේ මේ පිළිබඳව ද සඳහන් කර ඇති නිසාවෙන් කර්ම න්‍යාය පිළිබඳ බෞද්ධ ලෝකයාට දහම පිළිබඳ කුකුසක් ඇති කර ගත යුත්තේ නොවේ. මෙවන් වූ අවස්ථා 04 ක් බුද්ධ දේශනාවේ ඇති බව පෙනෙයි. ඒවා නම්
ගති සම්පත්ති /ගති විපත්ති – යම් කර්මයක් විපාක දීමට තිබියදී සුදුසු උපතක් නොවීම නිසා මඟ හැරී යෑම
කාල සම්පත්ති / කාල විපත්ති – දන් දී තිබුණ ද දුර්භික්ෂයක් නිසාවෙන් නිසි ඵල ලබන්නට නොහැකි වීම
උපධි සම්පත්ති / උපධී විපත්ති – ශාරීරික ආබාධයන් නිසා ඇති විය හැකි බාධාවන්ය. තමන් බහුශ්‍රැතයෙකු වුවද මේ ආබාධ නිසා ඵල ලබා ගැනීමට නොහැකි වීම.පයෝග සම්පත්ති / පයෝග විපත්ති – උත්සාහයෙන් ඵල ලබා ගැනීමට වෙහෙසීමයි. නුමුත් යම් අවස්ථාවල මෙහි දියුණුවක් ලබා ගත හැකිය. සමහර අවස්ථාවල කෙතෙක් උත්සාහ දැරුව ද තමන් අපේක්ෂා කරන ඵල ලබා ගැනීමට නොහැකි වේ. මීට හොඳම නිදසුනක් ලෙස අංගුලිමාල තෙරුන්ගේ චරිතය හැඳින්විය හැකිය. ඔහු ගිහි කල කෙතරම් අකුසල කර්ම කළද ඒ සියල්ල ප්‍රබල කුසලයක් මූලික වීමෙන් යටපත් විය.
මෙහි වැදගත්ම අවස්ථාව වන්නේ මෙය විපාක දෙන අයුරු හා සම්බන්ධ වන අවස්ථාවයි. විශේෂයෙන්ම නැවත උපතක් හෙවත් පුනර්භවයක් සඳහා බෙහෙවින්ම කර්මය මූලික වන බැව් පෙනේ. මෙහි කෘත්‍ය වශයෙන් සිව් ආකාර වේ. ජනක (උපතක් ලබා දෙන කර්ම) උපත්ථම්භක (උපන් කර්මයයට උපකාරිවන) උපපීඩක (උපන් කර්මයට බාධා කරන) උපඝාතක, (උපන් කර්මය නසන) යනුවෙන් එය හැඳින්වේ. ජනක කර්මය සඳහා ගැනෙන්නේ අතීතයේ කරන ලද කර්මයන්ය. දුක් සහිත ජීවිතයක් ලැබුමටත් සැප සහිත ජීවිතයක් ලැබුමටත් විශේෂයෙන් මුල් වන්නේ මේ කර්ම ගණයයි. උපත්ථම්භක කර්මයට උපතක් ලබා දීමට තරම් ශක්තියක් නොවුන ද ඊට උපකාර කිරීමේ හැකියාව පවතී. දුක් විඳීමේ දී දුක වැඩි කිරීමටත් සැප විඳීමේ දී සැප වැඩි කිරීමටත් හැකියාව එහි ඇත. ජනක කර්මයට නිසි පරිදි විපාක ලබා දීමට නොදී හිරිහැර කරන කර්මය ලෙස ගැනෙන්නේ උපපීඩක කර්මයයි. කුසල කර්මයක විපාක විඳීමට තිබුණද ඒ අතරට කර්මජ රෝගයක් මුල් වී ඒ සැප විපාකය අඩු කරනු ලැබේ. ධනය රැස් කරගෙන සුරාව සූදුව යනාදියෙන් ධනයත් තම ජීවිතයත් විනාශ මුඛයට පමුණුවා ගැනීම මෙහි හොඳම නිදසුනයි. උපඝාතක කර්මයේදී දුර්වල වූ කුසල කර්මය හෝ අකුසල කර්මය සහමුලින්ම නසා දැමීමක් මේ කර්මයේදී සිදුවේ. කුසල ජනක කර්මයකින් අංග ශරීර නිසි ලෙස ඇතිව ඉපදුණු ඇත්තෙක් සොරකමක් හෝ වෙනත් වංචාවක් කරන්නට යැමේ දී අංග විකල වීමකින් ජනක කර්මයෙන් ලැබිය හැකි සැප විඳීමට ඉඩකඩ ඇහිරී යෑම මෙහි එක් අවස්ථාවකි. තවත් අවස්ථාවක් නම් අකුසල ජනක කර්මයකින් අන්ධව ඉපදුණු අයෙකුට ඇස් බද්ධ කිරීමෙන් පියෙවි ඇස් ඇත්තෙක් බවට පත් කිරීම සිදු වන්නේය.
විපාක දෙන ආකාරය අනුවද බෙදීම් 04 ක් ඇත. එහි දී ගරුක කර්මය යනු බරපතළ කර්මයන් ය. ආසන්න කර්ම යනු මරණාසන්න මොහොතේදි සිදුකරන කර්මයන්ය. ආචින්න කර්ම නම් කලක් පුරුදු පුහුණු කළ කර්මයන්ය.කටත්තා යනු සුළු කර්මයන්ය. ගරුක කර්මය යනු දෙවන ආත්ම භාවයේදී ඒකාන්ත වශයෙන්ම විපාක දෙන කර්මයන්ය. එහි කර්මය වෙනත් ක්‍රමයකින් වැළැක්විය නොහැකිය (ගරුකන්ති මහා සාවජ්ජං මහානුභාවඤ්ච අඤ්ඤේන කම්මේන පටිබාහිතුං අසක්කුණෙය්‍ය කම්මං) කුසල පක්ෂයේදී රූපාවචර ධ්‍යාන ලබාගත්තෝ එයින් නොපිරිහී කලුරිය කරන්නේ නම් මරණින් මතු ඒකාන්තයෙන් බඹලොව උපදී. අකුසල කර්ම කරන්නවුන් ද මිථ්‍යාදෘෂ්ටික මත දරන්නන්ද පඤ්ච ආනන්තරිය පාප කර්ම කරන්නවුන්ද නියත වශයෙන්ම මරණින් මතු දෙවන භවයේදී දුගතිගාමී වන්නේමය.දෙවැනුව ඇත්තේ ආසන්න කර්මයයි. මරණාසන්න මොහොතේදී තමන් ජීවිත කාලය තුළ කෙතෙක් කුසල කර්ම කර තිබුණද අකුසල චේතනාවක් ඇති වුවහොත් මරණින් මතු දුගතියක ඉපදීමට ඉඩ ඇත. අකුසල කර්ම කර තිබුණද මරණාසන්න මොහොතේ කුසල චේතනාවක් ඇති වුව හොත් මරණින් මතු සුගතිගාමී වීමටද හැකිය. ආචින්න කර්ම යනු නිතර නිතර තමන් කරන කුසලාකුසල කර්මත් එක්වරක් සිදු කොට නිරන්තර සිහියට ගන්නා කුසලාකුසල කර්මත්ය. මරණාසන්න මොහොතේදී මුලින් සඳහන් කළ කර්මයන් යුගළයම ඉදිරිපත් නොවූ විට මෙය ඉදිරිපත් වේ. මෙයට යබ්බහුල කර්මය යනුවෙන් ද හැඳින්වේ. සැලකිල්ලකින් තොරව කරන කර්ම කටත්තා යනුවෙන් හැඳින්වේ. මෙහි එතරම් බලපෑමක් නැත. නමුදු සමහර විටෙක මුලින් ප්‍රකාශිත කර්මයන් ත්‍රිත්වය මුල් නොවූ විට කටත්තා කර්මය ඉදිරිපත් විය හැකිය. (කටත්තා කම්ිමං පන ලද්ධා සෙවනං පුරිමානං අභාවේන පටිසන්ධීං අකඩ්ඪති)
විපාක දීමේ දී කාල වශයෙන්ද ඉදිරිපත් වීම වැදගත් වේ. දිට්ඨධම්මවේදනීය. උපපජ්ජවේදනීය. අපරාපරියවේදනීය, අහෝසි යනුවෙන් අවස්ථා 04 ක් එහි ඇත. මෙලොව දීම විපාක ලබා දෙන කර්ම දිට්ඨධම්ම වේදනීය කර්මයන්ය.මේවාද යහපත් හෝ අයහපත් විය හැකිය. තමන් කරන ක්‍රියාව අනුව තීරණය වේ. බුදුන් දවස විසූ සුමන මාලාකරුවාට, ඒකසාටක බමුණාට විපාක දුන්නේ එහි කුසල පක්ෂයයි. චිංචිමානවිකාව, ආදීන්ට විපාක දුන්නේ අකුසල විපාකයන්ය. උපපජ්ජ වේදනීය කර්ම යනු දෙවන භවයේදී විපාක දෙන කාර්යයන්ය. කෙසේ හෝ මේ භවයේදී විපාක දීමට සමත් නොවුවහොත් අහෝසි කර්ම බවට පත්වේ. අපරාපරිය වේදනීය කර්ම නමින් ගැනෙන්නේ කවදා හෝ විපාක දෙන්නා වූ කර්මයන්ය. නිවන් දකිනා කල් දක්වාම තමන් පසුපස ගමන් කර විපාක ලබා දෙන අතර අහෝසි වීමක් වන්නේ නැත. සුනීත,සෝපාක ආදීන් රහත් වූයේ මෙහි කුසල පක්ෂයේ මුල් වීමෙනි. මුගලන් තෙරුන්, චක්ඛුපාල තෙරුන් අනිසි විපාක වින්දේ මෙහි අකුසල පක්ෂය විපාක දීමෙනි. අහෝසි කර්ම යනු දිට්ඨධම්ම වේදනීය අවස්ථාවේ දී හෝ උපපජ්ජ වේදනීය අවස්ථාවේ හෝ විපාක නොදුන් හා රහත්වීම දක්වා සසර කවදාවත් විපාක දීමට සමත් නොවූ කර්මයන්ය.
සමහර විටෙක කර්මය ක්ෂය වීමට ද ලක්වන අවස්ථා ඇත. සෝවාන් ඵලයට පත්වීමෙන් පසු කිසිදින දුගතිගාමී වන්නේ නැත. අනාගාමී වීමෙන් කාම සුගතියෙහි ඉපදීම පවා අහෝසි කර දමනු ලැබේ. රහත් වීමෙන් සියලු කර්ම අහෝසි වේ. එහෙත්. අපරාපරිය වේදනීය කර්ම පමණක් විපාක දේ. මේ අනුව ඉහතින් සඳහන් කළ පරිදි බෞද්ධ දර්ශනයෙන් පෙනෙන කර්ම විභාගය අතිශය විචාරශීලිය. කිසිවෙකුට මෙය වෙනස් යැයි සඳහන් කළ හැකි නොවේ.
යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං 
කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං
යම් සේ අප බීජ වපුරන්නේ ද ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකි වන්නේය. කුසල් කරන්නවුන්ට යහපත් වූ ද අකුසල කර්ම කරන්නවුන්ට අයහපත් වු ද විපාක විඳීමට සිදුවේ. මේ කරුණ සිහියේ තබාගෙන දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා සිටින අපි කුසල පක්ෂය දියුණු කරගෙන ලබාගත් මේ ආත්මයේ දී ජීවිත සාධනයේ යෙදෙමු. තෙරුවන් සරණයි.

පංච නීවරණ හා එහි ස්වභාවය

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි

පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්න පංච කාම ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවයි. මෙය කාමච්ඡන්ද ,අභිජ්ඣා , කාමරාග යනුවෙන් පරියාය පද කීපයකින්ම දැක්වේ. ඉන්ද්‍රියානුබද්ධ පි‍්‍රය ජනක අරමුණු කෙරෙහි ඇතිකරගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත කාමච්ඡන්දයයි. පංච ඉන්ද්‍රියන්ගෙන් ගලා එන අරමුණු සම්බන්ධයෙන් පුද්ගලයා දෙයාකාරයකින් ප්‍රතිචාර දක්වයි.
කාමච්ඡන්ද
පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්න පංච කාම ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවයි. මෙය කාමච්ඡන්ද ,අභිජ්ඣා , කාමරාග යනුවෙන් පරියාය පද කීපයකින්ම දැක්වේ. ඉන්ද්‍රියානුබද්ධ පි‍්‍රය ජනක අරමුණු කෙරෙහි ඇතිකරගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත කාමච්ඡන්දයයි. පංච ඉන්ද්‍රියන්ගෙන් ගලා එන අරමුණු සම්බන්ධයෙන් පුද්ගලයා දෙයාකාරයකින් ප්‍රතිචාර දක්වයි. අරමුණ දැඩිලෙස වැළඳ ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමයි. අරමුණු සම්බන්ධයෙන් ඇතිකර ගන්නා වූ සුබවාදී ආකල්පය හේතුවෙන් ඒ පිළිබඳ සතුටු වෙයි. (නන්දති) වඩාත් සතුටු වෙයි. (අභිනන්දති) ඒ පිළිබද දිගින් දිගට කථා කරයි. (අභිවදති) අවසානයේදී එහි දැඩි ලෙස බැස ගනී. (අජෙඣාසාය තිට්ඨති) මෙම ආකල්පය කාමච්ඡන්දය පිණිස හේතුවේ. ඉන්ද්‍රිය හා අරමුණ පිළිබඳ යථා ස්වභාවය දකින තෙක් මෙම තත්ත්වය ක්‍රියාත්මක වේ.
ව්‍යාපාද
අසතුටුදායක හා ප්‍රතිවිරුද්ධ අරමුණු සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ ගැටීම ව්‍යාපාදයයි. ව්‍යාපාදය පුද්ගල සන්තානය අපිරිසුදු කරන අතර මනසේ යහපත් ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. ත්‍රිවිධ අකුශල මූල අතරින් ව්‍යාපාදය වනාහි ද්වේෂය හා සම්බන්ධ අකුශල ධර්මයකි. එය මෛත්‍රි චින්තාවට ප්‍රතිවිරුද්ධ වූවකි. එසේම එය මනසින් සිදුවෙන අකුශල කර්මයක් ලෙස දැක්වේ. කිසියම් පුද්ගලයෙක් තවත් අයෙකු සමග වෛරය ඇති කර ගන්නේ ”මට අනර්ථයක් කළේය. අනර්ථයක් කරයි. අනාගතයේ අනර්ථයක් කරන්නේය. මගේ හිතවතාට අනර්ථයක් කළේය.අනර්ථයක් කරයි. අනර්ථයක් කරන්නේය. මගේ විරුද්ධවාදියාට යහපතක් කළේය. යහපතක් කරයි. යහපතක් කරන්නේය” යනුවෙන් කාලත්‍රයවරතීව කල්පනා කිරීමෙන්ය.
මෙයට අමතරව විශේෂ හේතුවක් නොමැතිව අස්ථානයේ වෛරය ඇතිකරගන්නා අවස්ථාද තිබේ. (අට්ඨානෙවා පන ආඝාතො ජායති) පුද්ගල සන්තානයේ ඇතිවෙන වෛරය හා කෝපය අභ්‍යන්තර චිත්ත සමාධියට බාධකවනවා පමණක් නොව එහි බිහිසුණු අපරාධ සඳහා පුද්ගලයා පොළොඹවන අකුශල සහගත චිත්ත වේගයකි.
ථීනමිද්ධ
ථීන හා මිද්ධ දෙකක් වුවද නීවරණ යටතේ එය එක් ධර්මයක් වශයෙන් ඉදිරිපත් කෙරේ. ථීන යන්නෙන් මානසික අකර්මණ්‍ය බවත් මිද්ධ යන්නෙන් කායික අකර්මණ්‍ය බවත් අදහස් කෙරේ. භදන්ත බුද්ධඝෝස හිමියෝ ථීන යන්නෙන් සිතෙහි ගිලන් බවත් (චිත්ත ගේලඤ්ඤං) මිද්ධ යන්නෙන් චෛතසික ධර්මයන්ගෙන් ගිලන් බවත් අදහස් කරති. (චේතසික ගෙලඤ්ඤං) මෙම නීවරණය කායික හා මානසික වශයෙන් දෙඅංශයකින් පුද්ගලයාට බලපායි. මෙහි මූලික ලක්ෂණය වන්නේ කුශලය වැඩීම කෙරෙහි අප උදාසීන බවට පත්කිරීම පමණක් නොව එදිනෙදා ජීවිතය හා සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන්ද අපගේ මානසික අවධානය හා කායික උනන්දුව නැතිකර දැමීමයි.
උද්ධච්ච – කුක්කුච්ච
උද්ධච්ච යනු මානසික නොසන්සුන් බව හා වික්ෂිප්ත බවයි. කුක්කුච්ච යන්නෙන් පසුතැවිල්ල අදහස් කෙරේ. උද්ධච්ච යන්නෙන් සිතේ පවතින චංචල බව මෙන්ම නොපැහැදිලි ස්වරූපය අදහස්වේ. සුළඟ හැමීමෙන් නිතර චලනය වන දිය බඳුනක් මෙන් අරමුණ මගින් සිත නිතර චලනය වීම සිදුවේ. කළ නොකළ දෑ සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ පසුතැවිල්ල වන කුක්කුච්ච ඇතැම් විටෙක මානසික රෝග සඳහාද හේතුවිය හැකිය. කුක්කුච්චයේ මූලික ස්වභාවය වන්නේ සිත ආපස්සට අදින ලක්ෂණයයි. සියදිවි නසා ගැනීමෙහිලා කෙනෙකු යොමුවන්නේ ද මෙහි බලපෑම හේතුවෙන් විය හැකිය.
විචිකිච්ඡා
විචිකිච්ඡා යනු සැකයයි. එය අටතැන් සැකය වශයෙන් ධර්මයෙහි විශේෂ කොට දක්වා තිබේ. සැකය එක්තරා ප්‍රමාණයකට දැනුම සඳහා උපයෝගී වන්නක් වුවද දිගින් දිගට පවතින පදනම් රහිත සැකය නීවරණයකි. විමුක්තිය සම්බන්ධයෙන් මාර්ගය හා ප්‍රතිපදාව පිළිබඳ පවතින සැකය ප්‍රඥාවේ උදාවට බාධකයකි. ධර්මය හෝ විමුක්තිය සම්බන්ධයෙන් නොව සාමාන්‍ය මට්ටමේ සිදුවීම්,දේවල් හා පුද්ගලයන් පිළිබඳ පවතින අසාමාන්‍ය සැකය එක් අතකින් මානසික රෝගයකි.
නීවරණ ධර්මයන්ගේ ස්වභාවය
පංච නීවරණ පිළිබඳ පොදු නිර්වචනය වන්නේ ඒවා චිත්ත උපක්කිලෙස හා ප්‍රඥාව දුර්වල කෙරෙන මානසික ස්වභාව ලෙස දැක්වීමයි. විසිතුරු උපමා භාවිතා කෙරෙමින් ඒවායෙහි ස්වභාවය පැහැදිලි කෙරෙන විග්‍රහයක් අංගුත්තර නිකායේ සංගාරව සූත්‍රයෙහි ඇතුළත් වේ. සංගාරව නම් බ්‍රාහ්මණයෙකු බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ දිගුකලක් තිස්සේ කටපාඩම් කරගත් මන්ත්‍ර පාඨ මතකයේ රඳවා ගැනීමට නොහැකි වීමට හේතුව කවරේද යන්නයි. එයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච නීවරණ මගින් ආවරණය වූ සිතක දිගුකලක් තිස්සේ කටපාඩම් කළ මන්ත්‍ර පාඨ වුව මතකයේ නොරැදෙන බවයි.අනතුරුව උන්වහන්සේ විසිතුරු උපමා මගින් නීවරණ ධර්මයන්ගේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරති. පිරිසුදු ජල බඳුනක් බැහැරින් එන විවිධ දේ හේතුවෙන් අපිරිසුදු වන්නාසේ සිතද බැහැරින් එන අයහපත් අරමුණු මගින් කිලිටි වේ. මෙම සූත්‍රයෙහි කාමච්ඡන්දය විවිධ වර්ණයන්ගෙන් වර්ණවත්වූ ජලබඳුනකට උපමා කෙරේ. ප්‍රකෘතියෙන් පැහැපත් ජලය විවිධ වර්ණ හා මිශ්‍ර වීමෙන් එහි ස්වාභාවික පවිත්‍රත්වය අහෝසි වේ. ව්‍යාපාද සිත ගින්නෙන් රත් වූ බුබුළු දමන දිය බඳුනකට උපමා කෙරේ. ථීන හා මිද්ධ දියසෙවෙලින් පිරි දිය බඳුනකට සමාන කෙරේ. සුළගින් කැළඹුණු දිය බදුනකට උද්ධච්ච හා කුක්කුච්ච සිත සමාන කෙරේ. අදුරු තැනක තිබෙන මඩ සහිත ජල බඳුනකට විචිකිච්ඡාව උපමා කෙරේ. මෙම උපමා මගින් නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය හඳුනාගත හැකිවේ.මෙකී ලක්ෂණ සහිත දිය බඳුනකින් කෙනෙකුගේ ප්‍රතිබිම්බය මැනවින් දැකිය නොහැකිය. එමෙන්ම නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වූ සිතකට ආත්මාර්ථය හා පරාර්ථය මෙන්ම උභයාර්ථය දැකිය නොහැකිය.සංඝාරව බමුණා හා බුදුරජාණන් වහන්සේ අතර ඇතිවෙන නීවරණ පිළිබඳ මෙම සාකච්ඡාව චිත්ත සමාධියට බාධක වන මානසික දුර්වලතා හඳුනා ගැනීමට පමණක් නොව අධ්‍යාපනයෙහි නියුක්ත සැම කෙනෙකුටම තම අධ්‍යයන කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමුකළ නොහැකි වන්නේ සන්තානගත නීවරණ ධර්මයන්ගේ බලපෑම හේතුවෙන් බව වටහාගත හැකිය. ඒ අනුව පංච නීවරණ චිත්ත සමාධියට බාධකවන අකුසල සහගත මානසික දුර්වලතා පමණක් නොව දෛනික කටයුතුවලදී පුද්ගලයා අපහසුතාවයට පත්කරන මානසික දුර්වලතා ලෙසද හඳුනාගත හැකි වේ.

බාහිර අරමුණු සහ අභ්‍යන්තර අරමුණු නොපිළිගැනීම

පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් දේශනයට අනුව සසර දුකින් අත්මිදීමට නම් අපි දුනෙක්‌ නිදහස්‌ විය යුතුයි. දුකින් නිදහස්‌ වීමට නම් දුක සතුටින් පිළිගන්න හොඳ නැහැ. අපි පසුගිය දේශනාවේදී ඉගෙන ගත්ත ඇස, කන, නාසය, දිව, කය, මන සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකෙන් නිදහස්‌ වෙන්න බැරි බව. ඒකට හේතුව යමෙක්‌ මේ ආයතන හය සතුටින් පිළිගන්නවා නම් ඔහු සතුටින් පිළිගන්නේ දුකයි. දුක සතුටින් පිළිගන්න කෙනාට දුකින් නිදහස්‌ වෙන්න ලැබෙන්නේ නැහැ. අපි මෙය 'අභිනන්ද සූත්‍රයේදී' ඉගෙන ගත්තා.

මෙවර අපි ඉගෙනගන්නේ දුතිය අභිනන්ද සූත්‍රය' එහිදී අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා 'යෝ භික්‌ඛවේ රූපේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති' යනුවෙන්. ඉන් අදහස්‌ වෙන්නේ යම් කෙනෙක්‌ රූප සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි. යම් කෙනෙක්‌ දුක පිළිගන්නවා නම් සතුටින් භාරගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛං අභිනන්දති, අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මානි වදාමි). යම් කෙනෙක්‌ ශබ්ද සතුටින් පිළිගන්වා නම්, ඔහු පිළිගන්නේ දුකයි. (යෝ සද්දේ අභිනන්දති දුක්‌ඛං සො අභිනන්දති යෝ දුක්‌ඛං අභිනන්දති) අපරිමුත්තෝ සෝ දුකඛස්‌මාති වදාමි). යම් කෙනෙක්‌ දුක සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න බැහැ.

එමෙන්ම යමෙක්‌ ගඳ - සුවඳ සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි. (යෝ ගන්ධේ අභිනන්දති දුක්‌ඛං සෝ අභිනන්දති). යම් අයෙක්‌ දුක සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යම් කෙනෙක්‌ රස සතුටින් පිළිගන්නවා ඔහු පිළිගන්නේ දුකයි. (යෝ රසේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති). යම් කෙනෙක්‌ දුක සතුටින් පිළිගන්නවා නම් එයාට දුකින් නිදහස්‌ වෙන්න ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යම් කෙනෙක්‌ ස්‌පර්ශය සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි (යෝ වොට්‌ඨබ්බේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති). යමෙක්‌ දුක සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌වීමට ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛා අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යමෙක්‌ අරමුණු සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි (යෝ ධම්මේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති). යමෙක්‌ දුක පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න බැහැ (යෝ දුක්‌ඛං අභිනන්දති, අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි).

ඉන්පසුව අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා යම් කෙනෙක්‌ මේ බාහිර ආයතන සතුටින් පිළිගන්නේ නැත්නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න හැකි බව. යම් කෙනෙක්‌ රූප සතුටින් පිළිගන්නේ නැත්නම් ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ ච ඛෝ භික්‌ඛවේ රූපේ නාභිනන්දති දුක්‌ඛං සෝ නාභිනන්දති). යම් කෙනෙක්‌ දුක පිළිගන්නේ නැත්නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න පුළුවන්. (යෝ දුක්‌ඛං නාභිනන්දති, පරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). ඒ වගේම යමෙක්‌ ශබ්ද සතුටින් පිළිගන්නේ නැතිනම්, ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ සද්දේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යමෙක්‌ දුක සතුටින් පිළිගන්නේ නැතිනම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න පුළුවන්. ඒ වගේම යමෙක්‌ ගඳ සුවඳ සතුටින් පිළිනොගන්නේ නම් ඔහු පිළිනොගන්නේ දුකයි. (යෝ ගන්ෙ නාභිනන්දති දුක්‌ඛං සෝ නාභිනන්දති, යෝ දුක්‌ඛං නාභිනන්දති පරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යමෙක්‌ දුක පිළිගන්නෙ නැතිනම් ඔහුට දුකෙන් නිදහස්‌ වෙන්න පුළුවන්. යමෙක්‌ රස සතුටින් පිළිනොගන්නේ නම් ඔහු පිළිනොගන්නේ දුකයි (සෝ රසේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යමෙක්‌ දුක සතුටින් පිළිගන්නේ නැත්නම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න පුළුවන්.

යමෙක්‌ ස්‌පර්ශ සතුටින් පිළිගන්නේ නැතිනම් ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ වොට්‌ඨබ්බේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යම් කෙනෙක්‌ දුක සතුටින් පිළිගන්නේ නැතිනම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙක්‌ අරමුණු සතුටින් පිළිගන්නෙ නැතිනම් ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ ධම්මේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යම් කෙනෙක්‌ දුක සතුටින් පිළිගන්නේනැතිනම් ඔහුට දුකින් නිදහස්‌ වෙන්න පුළුවන්. එනිසා අපි සියලු දෙනාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, අරමුණු කියන බාහිර ආයතනත්, ඇස, කන, නාසය, දිව, කය, මන කියන අභ්‍යන්තර ආයතනත් සතුටින් පිළිනොගෙන සසරින් නිදහස්‌වීමට අධිෂ්ඨාන කර ගනිමු.

ස්වාමිනි, ඇස රූපයට බැඳිලා ද? රූපය ඇසට බැඳිලා ද?

වල්පොල ගෝතම හිමි

අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ දුක් විඳින සත්ත්වයන් එයින් නිදහස් කිරීමට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනාකොට වදාළා. උන්වහන්සේ මේ අනවරාගි සංසාරයෙන් අප නිදහස් කිරීමට නොයෙක් නොයෙක් උපමා සහිතව ධර්මය වදාළා.
මේ සමාජයේ බොහෝ දෙනා ධර්මයට බුද්ධ ශාසනයට ඇඟිල්ල දිගු කරනවා ශාසනය මිනිසුන් රිනාත්මක පැත්තට දානවා, හැම දෙයකින්ම අනිත්‍යයි කියනවා, එය ජීවිත මුස්පේන්තු කරනවයි කියා අහන්න ලැබෙනවා. ධර්මයට ළං වෙන්න, ළංවෙන්න ඒ පුද්ගලයා ආර්ථිකයෙන් අගාදයකට වැටිලා ඔහුගේ තිබුණ සතුට නැතිවෙනවා කියා. සමහරවිට එහෙම චෝදනා කරන්න සාධාරණ සාක්ෂි අපම හදා ගන්නවා.
අපට පේනවා සමහර අය ටිකක් භාවනා කරන්න පටන් ගන්නාවිට සුදු ඇඳුම් අඳිනවා. රත්තරං බඩු පැත්තකට දානවා. බිම බලාගෙන යනවා. සමාජයත් සමඟ ගැවසෙන්න එක අඩු කරලා ඥාතිගේ විශේෂ අවස්ථාවකට හෝ සහභාගි නොවී ජීවත් වෙන්න උත්සහ කරනවා. ගිහි ගෙදර ඉන්නවා. නමුත් ගිහි ගෙදරදී තමාගෙන් සිදුවන යුතුකම් බොහෝමයක් පැහැර හරිනවා. එහෙම වෙනකොට නිවසේ අනික් අය සිතනවා මේ කෙනා ධර්මයට ආපු නිසා තමා මේක වුණේ. රත්තරන් බඩු පාවිච්චියට එයාට එපා වුණේ ධර්මයේ වරදකින්. භාවනා කරන නිසා කිසිම සතුටක් නැහැ කියා සමාජය තුළ යම් චිත්‍රයක් ගොඩ නැඟෙනවා. එහෙම පෙනෙන්නට කටයුතු කරන්නේ අපේම පිරිස. මේක බුද්ධ ශාසනය නොවේ. ශාසනයේ ශ්‍රාවකයා එහෙම කටයුතු කරන්නේ නැහැ.
මෙයට උදාහරණයක් ලෙස මට සිදු වූ දෙයක් කියන්නම්. දිනක් ධර්මය කරුණු සාකච්ඡා කරන්න උපදෙස් ලබා ගන්න දුර බැහැර ප්‍රදේශයකින් එක් මහත්මයෙක් ආවා. මම දවල් දානය වළදා අවසන් වූ විට ඔහු ඇවිත් සිටින පණිවිඩය මට ලැබුණේ. මම කිව්වා බොහෝ දුර සිට ඇවිත් සිටින නිසා දාන ශාලවට එන්න කියා. මම වැළඳූ පලතුරු පිඟාන දුටුවිටම දවසේ බොහෝ වේලාවක් භාවනා කරනවා කියපු අර උපාසක මහතාගේ සිතේ මම ගැන තිබුණ පැහැදීම පලතුරු පිඟාන නිසා සම්පූර්ණයෙන්ම නැති වුණා. ඔහු ටිකක් ගැටුනු සිතකින් වගේ මට කියා සිටියා ඔබවහන්සේ පලතුරුත් වළදවානේ. මම නම් ඕවා ගන්නේ නැහැ. මම රස තෘෂ්ණාව අයින් කරගෙන ජීවත් වෙන්නේ. මම රස ඇතිකරන දේවල් දිවට දෙන්නේ නැහැ. ඒක භාවනාවට බාධාවක් කියා. මම එවිට ඇසුවා ඔබ හිතෙන්නේ ඒ තෘෂ්ණාවට හේතුවන්නේ මේ දිවට පලතුරු ටික දීම ද? ඔහු ඔව්, මම ඒකයි දිවට රස නො දෙන්නේ. එහෙම කෑවොත් රසය නිසා තෘෂ්ණාව වැඩෙනවා කිව්වා. එහෙනම් ඔබ සිතන්න, ඒ මතය තුළින් කියවෙන්නේ තෘෂ්ණාවට දිව පළි. නැත්නම් රසය පළි. මෙහෙම කථාවක් සාමාන්‍ය සමාජයේ තුළ බොහෝ කරුණු සහිතව යොදා ගන්නවා.
ඒ වගේ අවබෝධයකින් තොරව භාවනාවට යොමුවන කෙනා ඒ දේ එසේ කරන්නේ තෘෂ්ණාවට ඒක හේතුවක් කියා සිතන නිසා. මම අර උපාසක මහතාගෙන් ඇසුවා ඔබ කියන්න කිසියම් ගෑණු ළමයෙක් කොටට ඇඳුමක් ඇඳගෙන පූජානීය ස්ථානයකට එනවා. එහෙම එන එක හරියි කියා නොවේ මම මේ කියන්නේ. එහෙම ආවම ඒක දකින කෙනෙකුට යම් රාගයක්, ආශා සිතක් ඇතිවෙනවා. ඒ ඇතිවූ තෘෂ්ණා සිතට වග කිවයුත්තේ අර කොටට ඇඳුම ඇඳන් ආපු ළමයා ද? නැත්නම් ඒ ළමයා දෙස බලා රාගයක් උපදවාගත් ඇස ද? කියා මම ඇසුවා. ඒ මහත්තයා කියනවා ස්වාමිනි, එසේ ආපු එකටත් වඩා ප්‍රශ්නය වන්නේ ඒ දෙස රාගි ඇසකින් බලමු එකයි කියා. බලපු නිසයි කිවුවා තෘෂ්ණාව ඇතිවුණේ. එහිදීත් කියන්නේ, රූපය පළියි. නැත්නම් බලපු නිසයි ප්‍රශ්නය ඇතිවුණේ. ඇයි බැලුවේ? ඒ ළමයා ආවා. එයාගේ පාඩුවේ ගියා. ඒ දෙස නො බලා ඉන්න තිබුණා. එහෙම කියන්නේ ඇස පළියි කියන එකයි. නැත්නම් අප චෝදනා කරනවා අර ළමයාට එයා මොකටද එහෙම එන්නේ. එසේ ආපසු නිසයි මට තෘෂ්ණාව ඇතිවුණේ කියා. එහෙනම් අප වගකීම දානවා රූපයට. හැම තිස්සේම අප පුරුදුවෙලා ඉන්නේ මේ තෘෂ්ණාවෙන් ඇතිවෙන එකට වගකිය යුත්තේ එක්කෝ ඇස. නැත්නම් රූපය. එක්කෝ කණ නැත්නම් ශබ්දය, එක්කෝ දිව නැත්නම් රස, එක්කෝ නාසය නැත්නම් ගඳ සුවඳ, මෙසේ ආයතන හයට ඇඟිල්ල දිගු කරනවා. ඒ නිසා තමා අප බාහිරෙන් ලැබෙන සම්පත් ටික ඈතට දාන්නේ ධර්මයට ආවා කියා.
එදා විශාඛා කෝටි විසිහතක් වටිනා මේඝ පළඳනාවක් පැළන්දුවා. ඇය මාර්ගඵල ශ්‍රාවිකාවක්. ඇයගේ තාෂ්ණාව ඉතුරු බව ඇත්තයි. නමුත් දිගට දිගට ඒ තෘෂ්ණාව වැඩුවේ නැහැ. ඇය පූර්වාරාමය හදන්න ඒ පළදනාව විකුණා ගත්තේ ඇයටම යි. එදා ඒ ශ්‍රාවකයන්ගෙයි අපේ අද සමාජයේ පිරිස අතරයි විශාල පරතරයක් තිබෙනවා. අද අප සෝවාන් තබා අඩු තරමින් ශ්‍රද්ධානුසාරිවත් නොවී පැයක් දෙකක් භාවනා කරන්න ගත්ත ගමන් කරාබු, මාල ටික ගලවලා පැත්තකට දාලා සමාජයේ තිබෙන විවිධ උත්සව අවශ්‍යතාවලට නො ගොස් ඥාති සම්බන්ධතා නවතා දමා අමුතු ප්‍රතිරූපයක් තමා තුළින් ගොඩනගා ගන්නවා. මේ හැම දෙයකින්ම පරිහරණය කිරීමෙන් තෘෂ්ණාව වැඩෙන්නේ. මේ පරිහරණය කරන ඇස නැත්නම් රූපය, නාසය. නැත්නම් එයට දැනෙන ගඳ සුවඳ. එක්කෝ දිව නැත්නම් ඒ රසය, එහෙම නැත්නම් මේවා පරිහරණය කරන කය. නැත්නම් කයට ලැබෙන පහස. නැත්නම් මනස නැත්නම් මනසට ඇතිවන සිතුවිලි නිසයි. අප එසේයි සිතන්නේ. මේ දෙපැත්තෙන් එක පැත්තකටයි අප වගකීම දාන්නේ. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශ්‍රාවක සංඝරත්නය වන සාරිපුත්ත මහරහතන් වහන්සේ සහා කොට්ඨිත මහරහතන් වහන්සේ වදාළ අපූරු සංවාදයක් ඔබට සිහි කරන්නම්. මේ සමාජයේ තිබෙන ප්‍රශ්නය විසඳා ගන්න අපට ඒ උපමාව උපකාරි වෙනවා.
ඔබ සිතන්න ඇසත් රූපයත්, කණත් ශබ්දයත් මේ ප්‍රශ්නයට පළි නැහැ කියා අප කිව්වා. එහෙමනම් වගකිව යුත්තේ මොකක්ද? කොට්ඨිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අසනවා, ස්වාමිනි, ඇස රූපයට බැඳිලා ද? නැත්නම් රූපය ඇසට බැඳිලා ද? ශබ්දය කණට බැඳිලා ද? කණට ශබ්දය බැඳිලාද, ඒ ආකාරයට නාසය, දිව, කය, සිත ගැන අසනවා. එවිට මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත රහතන් වහන්සේ උපමාවක් වදාළා. කළු ගොනෙකුªයි, සුදු ගොනෙකුයි සිටිනවා. මේ ගොන්නු දෙදෙනා එක කඹයකින් කොන් දෙනෙන් ගැට ගහනවා. ගොන්නු දෙදෙනාගේ ශක්තිය එක සමානයි. දෙන්නා දෙපැත්තට අදිනවා. එහෙම අඳින තාක් දෙන්නාටම ගමනක් නැහැ. දෙන්නා එක තැනම ඇදි ඇදී ඉන්නවා දෙපැත්තට යන්න උත්සහ කරමින්. මේක දකින කෙනෙක් හිතනවාලු කලු ගෙනාට යන්න බැරි සුදු ගෙනා නිසා කියා. තව කෙනෙක් සිතනවා සුදු ගෙනාට යන්න බැරි කළු ගොනා නිසයා කියා. ගොන්නු දෙන්නාට වගකීම දමමින් සමාජයේ යාමක් තමා අද තිබෙන්නේ. සාරිපුත්ත ස්වාමින් වහන්සේ වදාළා කලු ගොනාට යන්න බැරි සුදු ගෙනා නිසාවත්, සුදු ගෙනාට යන්න බැරි කලු ගොනාවත් නිසා නොවේ. බුද්ධිමත් කෙනා එය දකින්නේ බැඳ තිබෙන කඹේ නිසා දෙන්නාටම යන්න බැහැ. කඹේ කැපුවානම් දෙන්නාටම යන්න පුලුවන්. එහෙනම් මේ ගොන්නු දෙන්නාට ගලපා රසය ඇතිවෙනවා කියා තණ්හාවෙන් මිදෙන්න අප කෑමට තිබෙන පලතුරු ටික අයින් කරනවානම්, තණ්හාවෙන් මිදෙනවා ද? එහිදී කර තිබෙන්නේ පලතුරු ටික එක ගොනෙක්. දිව අනෙක් ගොනා. අප මේ ගොන්නු දෙදෙනාගෙන් එක් ගොනෙකුට වගකීම දාලා මේ ගොනා නිසා තමා අර ගොනාට යන්න බැරි කියනවා. නමුත් ගොන්නු දෙදෙනාගේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ කඹේ. කඹය කියන්නේ අනවබෝධයෙන් ඇතිවුන ඡන්ද රාගයක් තිබෙනවා. කැමැත්තෙන් ඇලුණු ස්වභාවයක් තිබෙනවා. මේ අනවබෝධය නිසයි නිතරම තෘෂ්ණාව ඇතිවෙන ස්වභාවය තිබෙන්නේ. එයට බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යාව කියා. පලතුරු ප්‍රශ්නයේ දීත් දිව නම් වූ මේ ආයතනය සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතැන අනවබෝධය කැපුවානම් කිසිම ගැටලුවක් නැහැ.
ඔබට රසවත් ආහාර ගන්න පුලුවන්. ආහාරයක් ගත්තා කියා අවබෝධ කළානම් එතැන තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ එනිසා කඹය කැපුවානම් ගොන්නු දෙදෙනාගේ ගමනක් නැහැ. බැඳීම ඇත්තේ ගොන්නු දෙන්නාගේ නොවේ කඹයේ යි. ඒකයි රහතන් වහන්සේලාගේ ජීවිත ගැන කියද්දී ලස්සන උපමාවක් තිබෙන්නේ. “නෙලුම් කොළයට දිය බින්දුවක් වැටුණා” වගේ කියා. කවදාවත් ඒ දිය බින්දුවයි නෙලුම් කොළයයි එකට එකතු වන්නේ නැහැ. එකට ගැටෙනවා නමුත් එකතු වීමක් නැහැ.
රහතන් වහන්සේගේ දිව නෙලුම් කොළය නම් ගන්නා වූ ආහාරය වතුර බිංදුව නම් ආහාරයේ රසය දිවට ලැබෙනවා. හරියට වතුර බිංදුව හා කොළය වගේ. ඒ දෙක එකට බැඳෙන්නේ නැහැ.
එනිසා මේ දේවල් ඔබ හොඳින් තේරුම් නො ගත්තොත් මිනිසුන් ඇඟිල්ල දිගු කරන්නේ බුද්ධ ශාසනයට යි. ඔවුන් සිතන්නේ මේක ශාසනයේ ප්‍රශ්නයක් කියා. අප දැනගන්න ඕන ඇලෙන දේ්ට ඇලෙන්නේ අවිද්‍යාව නිසා. ඇලෙන දේ අයින් කරන්න කලින් ඇයි මම මේ දේට ඇලෙන්නේ කියා සිතිය යුතුයි. මෙතැන තිබෙන කාරණය අපට අවබෝධ නොවූ නිසා කියා තේරුම් ගන්න ඕන. එවිට අප අවබෝධයට එන්න උත්සාහ කරනවා. බුද්ධ ශාසනයේ තිබෙන්නේ විශේෂ දේ ඒකයි. ධර්මයත් සමඟ ඇස ගැනත් අවබෝධය ඇතිවෙනවා. එවිට පේන දෙයින් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම කණට ඇසෙන දේ ගැන අවබෝධයක් ඇතිවෙනවා. එවිට ඇසෙන දෙයින් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ නාසය, දිව, කය, මනස ගැනත් අපට ගලපා බලන්න පුලුවනි. ඇස වසාගෙන සිටියාට ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. රාග ද්වේෂ, මෝහ තිබෙන්නේ අනවබෝධය සිතේ ඇතිවුණ නිසයි.
එනිසා ඔබ සියලු දෙනාට මේ ප්‍රශ්නය නිරාකරණය වී තමා පිළිබඳව අවබෝධයක් ඇතිවේවා කියා අප මෙත් සිතින් සෙත් පතනවා
නයනා නිල්මිණි

ලෝ දහම හෙළි කළ බුදුදහම

මීරිගම බෝතලේ 
කිණිතුලාගල ආරණ්‍යයේ 
තල්ගමුවේ සුධීරානන්ද හිමි
ආගමක්, දහමක්, දර්ශනයක් යනාදී කවර ක්‍රමයකින් හැඳින්වූවත් අපට එකී දේ අවශ්‍යවන්නේ හුදෙක් එදිනෙදා වුවමනාවන් සපුරා ගැනීමට පමණක් නොවේ.විශේෂයෙන් යම් යම් දේට යට නොවී නිවහල්ව සිතන බුද්ධිමත් අයට ආගමක් දහමක් අවශ්‍ය වනුයේ මේ සත්ත්වයින් මෙලොවට ආවේ කොහෙන්ද? මරණින් මතු වන්නේ කුමක්ද? ආකල්ප සංකල්ප වශයෙන් මෙන්ම, සැප දුක් විඳීම් වශයෙන් විවිධ වෙනස්කම් ඇත්තේ කුමක් නිසාද? එකී තත්ත්වයෙන් වෙන් වුණු, වෙනස් නොවන සැපයක්වේද? එය ලැබුමට කළ යුත්තේ කුමක්ද? යනාදී එක එල්ලේම නොවැටහෙන දෑ පිළිබඳව දැන ගැනීමටය.
මෙකී ප්‍රශ්නයන්ට මෙන්ම තවත් ඇති තාක් ප්‍රශ්නයන්ට තමා තුළින්ම පිළිතුරු ලැබෙන ක්‍රමය මේ දහමින් ලැබේ. ඒද ඉතාමත් පූර්ණ ලෙසිනි. එනම් එකී ප්‍රශ්න ඇතිවීමට හේතුවක්, ඒවා නිසි පිළිතුරෙන් විසඳීමත්, ඒවා විසඳන ක්‍රමයත් මේ දහමින් පැතිකඩ රැසකින් තේරුම් කරන හෙයිනි. බුදුවරයන් වහන්සේ කලින් කලට,ලෝකයට පහළ වීමෙන් කරන්නේ ලෝකයේ පවතින ස්වභාවය අවබෝධ කිරීමයි. මෙහිදී ලෝකය යනුවෙන් අදහස් කරන්නේ සියලු සත්ත්වයින් සහිත වූ භෞතික පරිසරයක්ය. මෙසේ ගත් කල්හි ඉන් පරිබාහිර කිසිවක් නැත. මෙකී ලෝකයේ සංයුතිය, ස්වභාවය ,නියැඳිය , වෙනස්වීම හෙවත් අනිත්‍යතාව, තනිකර දුක හෝ අතරතුර දුක සහිත වූ සැප, මෙකී අනිත්‍ය දුක්ඛ තත්ත්වයට පත්වීම වැළැක්වීමට පාලනයට නොහැකිකම හෙවත් අනාත්ම ස්වභාවය මේ බව “උප්පාදෙ වා භික්ඛවෙ තථාගතානං අනුප්පාදො වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්ම නියාමතා සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා” යන ලෝක ස්වභාවය විග්‍රහ කළ බුද්ධ වචනයෙන් සනාථ වේ.
බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ ලෝක ස්වභාවය අවබෝධ කිරීමට සුදුසු ප්‍රතිපත්තියේ දිගු කලක් ගමන් කර එකී තත්ත්වය වටහාගෙන ලෝකයට ප්‍රකාශ කිරීමයි. හුදෙක් බුදුවරු කරන්නේ සොයා ගැනීමක් පමණකි. එනම් සියල්ලේ පවතින අනිත්‍යාදී ස්වභාවයයි. ගුරුත්වාකර්ෂණයද සොයා ගන්නා ලද්දකි. ඒ දේ ඒ මහත්මා සොයා ගත්තත් , නැතත් ලෝකයේ පවත්නා වූ ස්වභාවයකි. ධර්මතාවයකි සත්‍යයකි. එමෙන්ම ඊට වඩා අද්විතීය ප්‍රතිපදාවක අද්විතීය කාලයක් නියුක්තව සිට බුදුවරු මෙකී ත්‍රිලක්ෂණය හෙවත් ලෝ ස්වභාවය අවබෝධ කොට ලෝකයට කියා දෙති. මෙය ගුරුත්වාකර්ෂණය සේ වටහා ගැනීමට එතරම් පහසු දෙයක් නොවේ. මෙය ශීල, සමාධි, ප්‍රඥා පුහුණු පාඨමාලාව ලෝභ, ද්වේෂ ,මෝහ,ක්ෂයවීම දක්වා දියුණු කිරීමෙන්, ආය¸ සත්‍යයන් අවබෝධයත් සමඟ සිදුවන සොයා ගැනීමයි.
මේ ත්‍රිලක්ෂණය හෙවත් ලෝක ස්වභාවය ඉතා ගැඹුරුය. බුදුවරුන් ඒ පිළිබඳ කරන ලද දේශනා ඇසුරින් අවබෝධ කරගත යුතුය. මෙකී ත්‍රිලක්ෂණය හෙවත් ලෝකයේ යථාර්ථය ලොවට ප්‍රකාශ කිරීමේදී මාධ්‍ය දෙකක් භාවිතා කරන ලදී.
එනම්
1.සම්මුති සත්‍යය මාධ්‍ය ක්‍රමය 
2.පරමාර්ථ සත්‍යය මාධ්‍ය ක්‍රමය
සම්මුති සත්‍යය මාධ්‍ය ක්‍රමයෙන් විස්තර කිරීමේදී “ඒ කාලයේ කුසාවතී නුවර මෙපමණ මෙපමණ සම්පත් මට හිමිව තිබුණි. ඒ සියල්ල අනිත්‍ය නිසා, ආනන්දය,අද විද්‍යාමාන නොවේ” යනාදි වශයෙන් සත්ත්වයා පුද්ගලයා, නගරය, ගම් යනාදී ලෝකයා ව්‍යවහාර කරන, සම්මත කරගෙන ඇති අයුරින් විස්තර කරති.
දෙවැනි ක්‍රමයෙන් ලෝක ධර්මතාවය විග්‍රහ කිරීමේදී සත්ත්වයා කියා හඳුන්වන්නේ පෙර කරන ලද කුසලාකුසල කර්මයන්ගේ විපාක ශක්තිය මුල් කොටගත් සිත හා කය නාමය හා රූපය රූප කොටස, වේදනා කොටස, සංඥා කොටස, සංකාර කොටස, විඤ්ඤාන කොටස යන ස්කන්ධ පසය යනාදී ලෙසින්ය. මේ ක්‍රම දෙකම සත්‍යය නමුත් ඒ දෙක මගින් එකම දෙයක් දෙවිධියකට විග්‍රහ වන බව අවුල් නොකොට තේරුම් ගත යුතුය.
මේ ක්‍රම දෙකින්ම බුදුවරු ධර්මය දේශනා කරන්නේ ධර්මතාව අවබෝධ කරන්නන්ගේ ඇති බුද්ධි මට්ටමේ පවතින විවිධත්වය නිසාය. ඇතැමෙක් පළමු ක්‍රමය අසා ත්‍රිලක්ෂණය අවබෝධ කරති. ඇතැමෙක් දෙවැනි ක්‍රමයෙනි.
අප බලාපොරොත්තු වන්නේ මෙකී තත්ත්වය අවබෝධ කරවීමට බුදුවරු පාවිච්චි කළ දෙවැනි ක්‍රමය පිළිබඳ සමාලෝචනයක් කිරීමටයි. ඉහත කී ක්‍රමයෙන් පුටුව,මේසය, මිනිසා , සුනඛයා යනාදී වශයෙන් හැඳින්වීමේදී මාධ්‍යය සම්මුති සත්‍යය හෙවත් සම්මුති මාධ්‍යයි. මෙකී පුටුව, මේසය ආදි දේ කුඩා කුඩා අංශුවලට බෙදීමෙන් නැවත බෙදිය නොහැකි තරමේ අංශුන්ට බෙදුවොත් ඒවාට භෞතික විද්‍යාඥයෝ පරමාණූ ,ඉලෙක්ට්‍රෝන , ප්‍රොටෝන යනාදී ලෙස කලින් කල විවිධ නම් තබති. අධ්‍යාත්මික විද්‍යාවේ ඉහළටම දියුණූ වූ බුදුවරු එකී අංශුවලට ‘ශුද්ධාෂ්ටක කලාප’ යැයි පවසති. නමුත් විශේෂයෙන් දත යුත්තේ විද්‍යාඥයින් හඳුනා ගන්නා ලද අංශුවක පවා ශූද්ධාෂ්ටක රාශියක් ඇති බවය. මෙන්න මේලෙසින් බුදුවරු රූප කයේ පමණක් නොව සිතෙහි පවා බෙදීමට හැකි ඉහළම කොටස දක්වා විභජ්ජවාදී ක්‍රමයට අවබෝධ කොට එලෙසින්ම දේශනා ක්‍රමය මුලදීම කියූ සේ යමක් අපක්ෂපාතීව තේරුම් ගැනීමට උත්සාහ කරන කෙනෙකුට ඉතා වැදගත්ය.
මේ අනුව නාමරූප, දෙකේම, ලෞකික ලෝකෝත්තර සියල්ලේම අවසාන අංශුව, එනම් බෙදීම නමැති වෙනස් කිරීම මඟින් ඉන් එහා වෙනස් කළ නොහැකි අංශු පරමාර්ථ ධර්ම සේ බුදුවරු සොයාගෙන විග්‍රහ කරති. ඒවා සංචිත වශයෙන් හෙවත් සමූහ වශයෙන් ශීර්ෂ 4 කට ප්‍රභේද ගතවේ. එනම්,
1.චිත්ත (89-121) 
2.චෛතසික (52) 
3.රූප (28) 
4.නිර්වාණ (1)
මෙකී ධර්මතාවයන් සතර පිළිබඳව ඉතිරියක් නැතිවම දේශිත ක්‍රමය ‘අභිධර්මය’ නම්වේ. අභිධර්මය මෑතක් වන තුරුම බොහෝ දෙනෙකුට ඉතා නීරස විෂයයක්ව පැවතිණි. නමුත් අපිත් තවත් ගිහි පැවිදි උතුමෝත් විද්‍යුත් මාධ්‍ය – මුද්‍රිත මාධ්‍ය මගින් මේ ධර්ම කොට්ඨාස මතු කළ බැවින්, මතු කරන බැවින් ඒවායේ ඇති ප්‍රායෝගික භාවයේ ඇති තියුණු බව නිසා මේ දහම් කොටස බොහෝ දෙනාට ඉතා වැදගත් විය . පි‍්‍රය විය. එම නිසා අභිධර්මය ජනයා අතර අද ඉතා ප්‍රසාද ජනක ධර්ම කොට්ඨාසය වී ඇත.
චිත්ත යන ධර්මතාවය විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේ වචන රැසක් භාවිත කර ඇත. එසේ එකම සිත විස්තර කිරීමට වචන 8 ක් පාවිච්චි කර ඇත්තේ සිතෙහි ක්‍රියාකාරිත්වයේ ඇති සියුම් වෙනස්කම් නිසාය. එමෙන්ම ඒ විවිධත්වයන් මත හෝ සිත හඳුනා ගැනීමට ඒ ඒ පුද්ගලයාට ඉඩ හසර ලබා දීමටය.
ඒ අනුව සිතට චිත්තං යනුද නමකි. විසිතුරු දේ සිතන නිසා ‘චිත්ත’ නම්වේ. ලෝකයේ ඇති බොහොමයක් දේ මුලින්ම ගොඩ නැගුනේ සිතෙහි ය. බොහෝ දෙනා දන්නා වූ පුදුම හතක් වශයෙන් හඳුන්වා දී ඇති දේ. පවා සිතේ ඇති වූ නිර්මාණයෝය. පසුව භෞතික දේ මගින් ගොඩ නැගුණි. මිනිසා ඇතුළු සියලු තිරිසන් සත්ත්වයෝද, අපට පියවි ඇසට නොපෙනෙන කුඩා ජීවීන්ද දිව්‍ය ,බ්‍රහ්ම ආදී සත්ත්වයෝද චිත්ත නිර්මිතය. සිතෙන්ම නිර්මාණය වූවෝය. මේ විසිතුරු භාවය සළකා සත්ත්වයාට පහළ වන සිත් සමූහයට චිත්ත යන වචනය භාවිත කළේය.
‘මන’ යනුද සිතට නමකි. අරමුණ එනම් ඇස, කන ආදියට ගැටෙන රූප, ශබ්ද, ආදිය පි‍්‍රය අපි‍්‍රය ආදී වශයෙන් මැනීමක් කරන නිසා ‘මන’ යනුවෙන් සිත හඳුන්වනු ලබයි. “හදය” යනුද සිතට නමකි. හෘදය වස්තුව ඇසුරු කොටම බොහෝ සෙයින් සිත. පවතින නිසා මේ නම යෙදේ. ‘පණ්ඩර’ වශයෙන් සිත හඳුන්වන්නේ ප්‍රකෘති සිත හෙවත් විපාක සිත් සියල්ල ඉතා පිරිසුදු නිසාය. එනම් එකී සිත්හි ලෝභාදි අකුසල් නොපවතින බැවිණි. තවද ලෝභාදී මෙන්ම අලෝභාදී චෛතසික සහිතව සිත පවත්නා බැවින් ‘මනස’ වශයෙන් හැඳින්වේ. මේ සියලු හැඳින්වීම් අතර ‘විඤ්ඤාණ’ යනුවෙන් සිත හඳුන්වා දීමම ඉතා වැදගත්ය. එහි අර්ථය ‘දැනගැනීම යනුයි. ඒද අරමුණු දැන ගන්නා යනුයි. රූපාදී අරමුණු දැන ගන්නේ විඤ්ඤාණය කීවද, දැන ගැනීමම විඤ්ඤාණය කීවද වෙනසක් නැත. මෙසේ සමස්ත (89) සිත පිළිබඳව සරළ සංක්ෂිප්ත හඳුන්වා දීමක් කෙරෙන අතර මතුවට සිත් 89 – 121 ක් වන අයුරු පහදා දෙනු ලැබේ.
චෛතසික පරමාර්ථය දෙවැන්නයි. සිතෙහි යෙදෙන නිසා මෙකී 52 ක් වූ ධර්මයන්ටම පොදු හැඳින්වීම චෛතසික ලෙස යෙදේ. මෙකී 52 වූ ධර්මතා මුලින් කී සිත කුසල්, අකුසල් විපාක ක්‍රියා වශයෙන් වෙනස් කිරීමට සමත්ය. මෙම ලෝභාදී මෙන්ම අලෝභාදී චෛතසික ධර්ම වල සිතක යෙදෙන විවිධත්වය මතම එකම සිත 89 ආකාරයක් ගනියි. නිදසුනක් වශයෙන් එකගොඩනැගිල්ලක් ඇතැයි සිතමු. එහි ගිහි පිරිසක් වාසය කරන කල්හි ගෙදර, නිවස වශයෙන් හඳුන්වයි. එය යම් කලෙක ශාසනයට පූජා කළහොත් සංඝාවාසයට ලෙස හඳුන්වයි. පසු කළෙක ශීල, භාවනා, කරන සිල් පිරිසකගේ ප්‍රයෝජනයට යෙදුවොත් ධර්මශාලාව කියා ව්‍යවහාර කරයි. මෙකී ව්‍යවහාර රැසක් එකම ගොඩනැගිල්ලට භාවිත කරනුයේ ගොඩනැගිල්ලේ වෙනසක් වූ නිසා නොව එයට ඇතුල් වූවන්ගේ වෙනස මතයි. මෙසේම එකම සිත 89 වැදෑරුම් හෝ 121 වැදැරුම් වන්නේ ඒ ඒ සිතට යෙදෙන ලෝභාදී සහ අලෝභාදී චෛතසිකයන්ගේ වෙනස නිසාය. එසේ වූවත් චෛතසික වලට වඩා බලයක් ඇත්තේ සිතටය. මක් නිසාද යත් සිතක් පහළ නොවීනම් කිසිදු චෛතසිකයක් පහළ විය නොහැකි බැවිනි. සිතට නම් ඇතැම් චෛතසික වලින් තොරව පහළ විය හැකිය. මේ සඳහා බණපොත නිදසුනක් ගෙන දෙයි. විවිධ ඖෂධ යොදා කෂායක් සකස් කළේ යැයි සිතන්න. එහි ඇති බෙහෙත් රස චෛතසික වැනිය. බෙහෙත් රස දියවී ඇති ජලය සිත වැනිය. බෙහෙත් වර්ග කෙතරම් තිබුණත් ජලය නැතිනම් කෂාය සකස් කළ නොහැකිය. නමුත් ජලය තිබුණොත් වෙනත් ඖෂධ යොදා ගෙන කෂායක් සකසා ගැනීමට බාධාවක් නැත. මෙලෙස චෛතසිකයන්ට සිත ප්‍රධාන වන බව මතක තබා ගන්න.
ඊළඟ පරමාර්ථ ධර්මය රූපයි. මෙහිදී රූප යනුවෙන් හඳුන්වන්නේ හුදෙක් යමක පාට වර්ණය පමණක් නොව ශීත ඌෂ්ණාදිය නිසා වෙනසට භාජනය වන සියල්ල ය. නිර්වචනය අනුව යමක පාට හෙවත් පැහැය පමණක් නොව ශබ්දයද රූපයකි. ගන්ධ,රස, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදියද රූපය චිත්ත චෛතසික හැර සත්ත්වයා වශයෙන් හඳුන්වන රූප කයෙහි ඇත්තේ මෙකි ශීත ඌෂ්ණාදිය නිසා වෙනස් වන රූප ධර්මයෝය. ඒ අනුව ඇස, කන, නාසය, දිව ආදියද රූපය. බාහිර භෞතික පරිසරයේ ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ,රස,ඕජා යන රූප 8 පමණයි. කෙසේ වෙතත් මේවා සියල්ල රූප 28 සංචිතයටම ඇතුළත් වන අතර ඒවා එකක් පාසා හඳුන්වා දෙමින් ඒවා අපට විපස්සනා භාවනාවට යොමු කරගන්නා අයුරුද මතු විස්තර කරනු ඇත.
මීළඟ මූල පදාර්ථය හෙවත් පරමාර්ථ ධර්මය නිර්වාණයයි. එය ලෝකයෙන් උත්තරීතරම තත්ත්වයයි. තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරලීම නිවනයි. නමුත් තෘෂ්ණාව දුරු කළ සිත නිවන නොවේ. එමෙන්ම හිස් අවකාශයද නිවන නොවේ. එය මනසට අරමුණු වන නමුත් එකල්හි දී ඇතිවන සුව වේදනාවද නිවන් සුවය නොවේ. ‘රාගක්ඛයෝ, දොසක්ඛයෝ, මෝහක්ඛයෝ , නිබ්බාණස්සේතං අධිවචනං’ ලෙස වදාළ හෙයින් ලෝභ,ද්වේෂ,මෝහ නැවත කිසිදාක සිතෙහි පහළ නොවන තත්ත්වයට පත්කිරීමම නිවනයි. එය වෙනස් නොවන සැපතයි. එය ශාන්ත සැපයයි. ශීල, සමාධි, ප්‍රඥා පුහුණු වීමෙන් ලෝභාදිය දුර්වල වන අතර එය බුදු දහමේ පුහුණුවයි. ශීල, සමාධි, ප්‍රඥා පුරා නිම කිරීම බුදු දහමේ ඉලක්කයයි. එය ලෝභ, ද්වේෂ මෝහ ක්ෂය කිරීමයි. නිවනයි. මේ පුහුණුව දීර්ඝ කාලයකින් නිම වේ. පුහුණුවත් පුහුණුව නිමාවත් ඉතා දුෂ්කරය. නමුත් පුහුණුව නිසිසේ කරන්නාට එකල්හිදීම වෙන කිසිවකින් ලදනොහැකි සැපයක් ලැබේ. පුහුණුව නිමාකළ තැනැත්තාට ලැබෙන ඵලයේ හෝඩුවාවන් රැසක් ලැබෙන හෙයිනි. එසේ වීමට විපස්සනා භාවනාව තරම් තීක්ෂණ පුහුණුවක් තවත් නැත. විපස්සනා භාවනාවක් අභිධර්මයෙන් තොරව නැත. එම නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නමැති ලෝක ස්වභාවය අවබෝධ කරනට,ජීවිතාවබෝධය කරනට,වෙනස් නොවන සැපය සාක්ෂාත් කරනට අවශ්‍ය මේ බුදුවරු කලින් කල පහළ වී සොයා ගනු ලබන, ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට හේතුවන මේ දහම් අසා දැන ගැනීමට හැකි උපරිමයක්,එලෙසිනුත් සිතා දැන ගැනීමට හැකි උපරිමයක්, එලෙසිනුත් භාවනාවෙන් දැන ගැනීමට එහා ගිය දැන, ගැනීමක් තවත් නැති බැවින් ඒ දක්වා යාමට මේ ධර්ම පාඩම මැනවින් උගනිත්වා! සිතත්වා! පිළිපැද ප්‍රතිඵල ලබත්වා!

 මේ ක්‍රම දෙකින්ම බුදුවරු ධර්මය දේශනා කරන්නේ ධර්මතාව අවබෝධ කරන්නන්ගේ ඇති බුද්ධි මට්ටමේ පවතින විවිධත්වය නිසාය. ඇතැමෙක් පළමු ක්‍රමය අසා ත්‍රිලක්ෂණය අවබෝධ කරති. ඇතැමෙක් දෙවැනි ක්‍රමයෙනි.
අප බලාපොරොත්තු වන්නේ මෙකී තත්ත්වය අවබෝධ කරවීමට බුදුවරු පාවිච්චි කළ දෙවැනි ක්‍රමය පිළිබඳ සමාලෝචනයක් කිරීමටයි. ඉහත කී ක්‍රමයෙන් පුටුව,මේසය, මිනිසා , සුනඛයා යනාදී වශයෙන් හැඳින්වීමේදී මාධ්‍යය සම්මුති සත්‍යය හෙවත් සම්මුති මාධ්‍යයි. මෙකී පුටුව, මේසය ආදි දේ කුඩා කුඩා අංශුවලට බෙදීමෙන් නැවත බෙදිය නොහැකි තරමේ අංශුන්ට බෙදුවොත් ඒවාට භෞතික විද්‍යාඥයෝ පරමාණූ ,ඉලෙක්ට්‍රෝන , ප්‍රොටෝන යනාදී ලෙස කලින් කල විවිධ නම් තබති. අධ්‍යාත්මික විද්‍යාවේ ඉහළටම දියුණූ වූ බුදුවරු එකී අංශුවලට ‘ශුද්ධාෂ්ටක කලාප’ යැයි පවසති. නමුත් විශේෂයෙන් දත යුත්තේ විද්‍යාඥයින් හඳුනා ගන්නා ලද අංශුවක පවා ශූද්ධාෂ්ටක රාශියක් ඇති බවය. මෙන්න මේලෙසින් බුදුවරු රූප කයේ පමණක් නොව සිතෙහි පවා බෙදීමට හැකි ඉහළම කොටස දක්වා විභජ්ජවාදී ක්‍රමයට අවබෝධ කොට එලෙසින්ම දේශනා ක්‍රමය මුලදීම කියූ සේ යමක් අපක්ෂපාතීව තේරුම් ගැනීමට උත්සාහ කරන කෙනෙකුට ඉතා වැදගත්ය.
මේ අනුව නාමරූප, දෙකේම, ලෞකික ලෝකෝත්තර සියල්ලේම අවසාන අංශුව, එනම් බෙදීම නමැති වෙනස් කිරීම මඟින් ඉන් එහා වෙනස් කළ නොහැකි අංශු පරමාර්ථ ධර්ම සේ බුදුවරු සොයාගෙන විග්‍රහ කරති. ඒවා සංචිත වශයෙන් හෙවත් සමූහ වශයෙන් ශීර්ෂ 4 කට ප්‍රභේද ගතවේ. එනම්,
1.චිත්ත (89-121) 
2.චෛතසික (52) 
3.රූප (28) 
4.නිර්වාණ (1)

මෙකී ධර්මතාවයන් සතර පිළිබඳව ඉතිරියක් නැතිවම දේශිත ක්‍රමය ‘අභිධර්මය’ නම්වේ. අභිධර්මය මෑතක් වන තුරුම බොහෝ දෙනෙකුට ඉතා නීරස විෂයයක්ව පැවතිණි. නමුත් අපිත් තවත් ගිහි පැවිදි උතුමෝත් විද්‍යුත් මාධ්‍ය – මුද්‍රිත මාධ්‍ය මගින් මේ ධර්ම කොට්ඨාස මතු කළ බැවින්, මතු කරන බැවින් ඒවායේ ඇති ප්‍රායෝගික භාවයේ ඇති තියුණු බව නිසා මේ දහම් කොටස බොහෝ දෙනාට ඉතා වැදගත් විය . පි‍්‍රය විය. එම නිසා අභිධර්මය ජනයා අතර අද ඉතා ප්‍රසාද ජනක ධර්ම කොට්ඨාසය වී ඇත.
චිත්ත යන ධර්මතාවය විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේ වචන රැසක් භාවිත කර ඇත. එසේ එකම සිත විස්තර කිරීමට වචන 8 ක් පාවිච්චි කර ඇත්තේ සිතෙහි ක්‍රියාකාරිත්වයේ ඇති සියුම් වෙනස්කම් නිසාය. එමෙන්ම ඒ විවිධත්වයන් මත හෝ සිත හඳුනා ගැනීමට ඒ ඒ පුද්ගලයාට ඉඩ හසර ලබා දීමටය.
ඒ අනුව සිතට චිත්තං යනුද නමකි. විසිතුරු දේ සිතන නිසා ‘චිත්ත’ නම්වේ. ලෝකයේ ඇති බොහොමයක් දේ මුලින්ම ගොඩ නැගුනේ සිතෙහි ය. බොහෝ දෙනා දන්නා වූ පුදුම හතක් වශයෙන් හඳුන්වා දී ඇති දේ. පවා සිතේ ඇති වූ නිර්මාණයෝය. පසුව භෞතික දේ මගින් ගොඩ නැගුණි. මිනිසා ඇතුළු සියලු තිරිසන් සත්ත්වයෝද, අපට පියවි ඇසට නොපෙනෙන කුඩා ජීවීන්ද දිව්‍ය ,බ්‍රහ්ම ආදී සත්ත්වයෝද චිත්ත නිර්මිතය. සිතෙන්ම නිර්මාණය වූවෝය. මේ විසිතුරු භාවය සළකා සත්ත්වයාට පහළ වන සිත් සමූහයට චිත්ත යන වචනය භාවිත කළේය.
‘මන’ යනුද සිතට නමකි. අරමුණ එනම් ඇස, කන ආදියට ගැටෙන රූප, ශබ්ද, ආදිය පි‍්‍රය අපි‍්‍රය ආදී වශයෙන් මැනීමක් කරන නිසා ‘මන’ යනුවෙන් සිත හඳුන්වනු ලබයි. “හදය” යනුද සිතට නමකි. හෘදය වස්තුව ඇසුරු කොටම බොහෝ සෙයින් සිත. පවතින නිසා මේ නම යෙදේ. ‘පණ්ඩර’ වශයෙන් සිත හඳුන්වන්නේ ප්‍රකෘති සිත හෙවත් විපාක සිත් සියල්ල ඉතා පිරිසුදු නිසාය. එනම් එකී සිත්හි ලෝභාදි අකුසල් නොපවතින බැවිණි. තවද ලෝභාදී මෙන්ම අලෝභාදී චෛතසික සහිතව සිත පවත්නා බැවින් ‘මනස’ වශයෙන් හැඳින්වේ. මේ සියලු හැඳින්වීම් අතර ‘විඤ්ඤාණ’ යනුවෙන් සිත හඳුන්වා දීමම ඉතා වැදගත්ය. එහි අර්ථය ‘දැනගැනීම යනුයි. ඒද අරමුණු දැන ගන්නා යනුයි. රූපාදී අරමුණු දැන ගන්නේ විඤ්ඤාණය කීවද, දැන ගැනීමම විඤ්ඤාණය කීවද වෙනසක් නැත. මෙසේ සමස්ත (89) සිත පිළිබඳව සරළ සංක්ෂිප්ත හඳුන්වා දීමක් කෙරෙන අතර මතුවට සිත් 89 – 121 ක් වන අයුරු පහදා දෙනු ලැබේ.
චෛතසික පරමාර්ථය දෙවැන්නයි. සිතෙහි යෙදෙන නිසා මෙකී 52 ක් වූ ධර්මයන්ටම පොදු හැඳින්වීම චෛතසික ලෙස යෙදේ. මෙකී 52 වූ ධර්මතා මුලින් කී සිත කුසල්, අකුසල් විපාක ක්‍රියා වශයෙන් වෙනස් කිරීමට සමත්ය. මෙම ලෝභාදී මෙන්ම අලෝභාදී චෛතසික ධර්ම වල සිතක යෙදෙන විවිධත්වය මතම එකම සිත 89 ආකාරයක් ගනියි. නිදසුනක් වශයෙන් එකගොඩනැගිල්ලක් ඇතැයි සිතමු. එහි ගිහි පිරිසක් වාසය කරන කල්හි ගෙදර, නිවස වශයෙන් හඳුන්වයි. එය යම් කලෙක ශාසනයට පූජා කළහොත් සංඝාවාසය ලෙස හඳුන්වයි. පසු කලෙක ශීල, භාවනා, කරන සිල් පිරිසකගේ ප්‍රයෝජනයට යෙදුවොත් ධර්මශාලාව කියා ව්‍යවහාර කරයි. මෙකී ව්‍යවහාර රැසක් එකම ගොඩනැගිල්ලට භාවිත කරනුයේ ගොඩනැගිල්ලේ වෙනසක් වූ නිසා නොව එයට ඇතුල් වූවන්ගේ වෙනස මතයි. මෙසේම එකම සිත 89 වැදෑරුම් හෝ 121 වැදැරුම් වන්නේ ඒ ඒ සිතට යෙදෙන ලෝභාදී සහ අලෝභාදී චෛතසිකයන්ගේ වෙනස නිසාය. එසේ වූවත් චෛතසික වලට වඩා බලයක් ඇත්තේ සිතටය.
මක් ඹනිසාද යත් සිතක් පහළ නොවීනම් කිසිදු චෛතසිකයක් පහළ විය නොහැකි බැවිනි. සිතට නම් ඇතැම් චෛතසික වලින් තොරව පහළ විය හැකිය. මේ සඳහා බණපොත නිදසුනක් ගෙන දෙයි. විවිධ ඖෂධ යොදා කෂායක් සකස් කළේ යැයි සිතන්න. එහි ඇති බෙහෙත් රස චෛතසික වැනිය. බෙහෙත් රස දියවී ඇති ජලය සිත වැනිය. බෙහෙත් වර්ග කෙතරම් තිබුණත් ජලය නැතිනම් කෂාය සකස් කළ නොහැකිය. නමුත් ජලය තිබුණොත් වෙනත් ඖෂධ යොදා ගෙන කෂායක් සකසා ගැනීමට බාධාවක් නැත. මෙලෙස චෛතසිකයන්ට සිත ප්‍රධාන වන බව මතක තබා ගන්න.
ඊළඟ පරමාර්ථ ධර්මය රූපයි. මෙහිදී රූප යනුවෙන් හඳුන්වන්නේ හුදෙක් යමක පාට වර්ණය පමණක් නොව ශීත ඌෂ්ණාදිය නිසා වෙනසට භාජනය වන සියල්ල ය. නිර්වචනය අනුව යමක පාට හෙවත් පැහැය පමණක් නොව ශබ්දයද රූපයකි. ගන්ධ,රස, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදියද රූපය චිත්ත චෛතසික හැර සත්ත්වයා වශයෙන් හඳුන්වන රූප කයෙහි ඇත්තේ මෙකි ශීත ඌෂ්ණාදිය නිසා වෙනස් වන රූප ධර්මයෝය. ඒ අනුව ඇස, කන, නාසය, දිව ආදියද රූපය. බාහිර භෞතික පරිසරයේ ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ,රස,ඕජා යන රූප 8 පමණයි. කෙසේ වෙතත් මේවා සියල්ල රූප 28 සංචිතයටම ඇතුළත් වන අතර ඒවා එකක් පාසා හඳුන්වා දෙමින් ඒවා අපට විපස්සනා භාවනාවට යොමු කරගන්නා අයුරුද මතු විස්තර කරනු ඇත.
මීළඟ මූල පදාර්ථය හෙවත් පරමාර්ථ ධර්මය නිර්වාණයයි. එය ලෝකයෙන් උත්තරීතරම තත්ත්වයයි. තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරලීම නිවනයි. නමුත් තෘෂ්ණාව දුරු කළ සිත නිවන නොවේ. එමෙන්ම හිස් අවකාශයද නිවන නොවේ. එය මනසට අරමුණු වන නමුත් එකල්හි දී ඇතිවන සුව වේදනාවද නිවන් සුවය නොවේ. ‘රාගක්ඛයෝ, දොසක්ඛයෝ, මෝහක්ඛයෝ , නිබ්බාණස්සේතං අධිවචනං’ ලෙස වදාළ හෙයින් ලෝභ,ද්වේෂ,මෝහ නැවත කිසිදාක සිතෙහි පහළ නොවන තත්ත්වයට පත්කිරීමම නිවනයි. එය වෙනස් නොවන සැපතයි. එය ශාන්ත සැපයයි. ශීල, සමාධි, ප්‍රඥා පුහුණු වීමෙන් ලෝභාදිය දුර්වල වන අතර එය බුදු දහමේ පුහුණුවයි. ශීල, සමාධි, ප්‍රඥා පුරා නිම කිරීම බුදු දහමේ ඉලක්කයයි. එය ලෝභ, ද්වේෂ මෝහ ක්ෂය කිරීමයි. නිවනයි. මේ පුහුණුව දීර්ඝ කාලයකින් නිම වේ. පුහුණුවත් පුහුණුව නිමාවත් ඉතා දුෂ්කරය. නමුත් පුහුණුව නිසිසේ කරන්නාට එකල්හිදීම වෙන කිසිවකින් ලදනොහැකි සැපයක් ලැබේ. පුහුණුව නිමාකළ තැනැත්තාට ලැබෙන ඵලයේ හෝඩුවාවන් රැසක් ලැබෙන හෙයිනි. එසේ වීමට විපස්සනා භාවනාව තරම් තීක්ෂණ පුහුණුවක් තවත් නැත. විපස්සනා භාවනාවක් අභිධර්මයෙන් තොරව නැත. එම නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නමැති ලෝක ස්වභාවය අවබෝධ කරනට,ජීවිතාවබෝධය කරනට,වෙනස් නොවන සැපය සාක්ෂාත් කරනට අවශ්‍ය මේ බුදුවරු කලින් කල පහළ වී සොයා ගනු ලබන, ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට හේතුවන මේ දහම් අසා දැන ගැනීමට හැකි උපරිමයක්,එලෙසිනුත් සිතා දැන ගැනීමට හැකි උපරිමයක්, එලෙසිනුත් භාවනාවෙන් දැන ගැනීමට එහා ගිය දැන, ගැනීමක් තවත් නැති බැවින් ඒ දක්වා යාමට මේ ධර්ම පාඩම මැනවින් උගනිත්වා! සිතත්වා! පිළිපැද ප්‍රතිඵල ලබත්වා!

මාර්ග ආර්ය සත්‍යය

පූජාපිටිය ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රවේදී
පණ්ඩිත 
කෝන්වැවේ සුනන්ද හිමි

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද මැදුම් පිළිවෙත එකල පැවැති වෙනත් දර්ශනයක නොඉගැන්වෙන බැවින් පෙර නොඇසු විරූ ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එමෙන් ම පිරිනිවන් පානා අවස්ථාවේ පැමිණි සුභද්ද පිරිවැජියා අමතා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුසසුනෙහි පමණක් දක්නට ලැබෙන බව ය. මේ අනුව බලනවිට මැදුම් පිළිවෙත නිවනෙහි දොරටුව වන චතුරාර්ය සත්‍යයෙහි හතරවන සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය ලෙස නම් කළ හැකිය.
පෙර ඉන්දියාවේ බොහෝ දෙනා දුකින් නිදහස්වීම පිණිස අනුගමනය කළ ප්‍රධාන අන්තවාදී මාර්ග දෙකක් තිබිණි. එනම් 1 කාමසුඛල්ලිකානුයෝගය හෙවත් සැපයෙහි දැඩිසේ ඇලී ගැලී වාසය කිරීම, 2 අත්තකිලමථානුයෝගය හෙවත් ශරීරයට දැඩි දුක් ගෙන දෙන පිළිවෙත් පිරීම යනුවෙනි. මෙම අන්තවාදී මාර්ග දෙකම පළමු දෙසුම වන ධම්මචක්කප්පවත්න සූත්‍ර දේශනයේ දී අත්හළ යුතු අන්තයන් ලෙස අවධාරණය කරමින් මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළහ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ මෙම මැදුම් පිළිවෙතෙහි අගය දම්සක් පැවතුම් සූත්‍රයේ දී දක්වන්නේ කෙලෙස් මල සංසිඳවන නුවණැස පිණිස සත්‍යාවබෝධය පිණිස උපකාරී වන බවයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද මැදුම් පිළිවෙත එකල පැවැති වෙනත් දර්ශනයක නොඉගැන්වෙන බැවින් පෙර නොඇසු විරූ ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එමෙන් ම පිරිනිවන් පානා අවස්ථාවේ පැමිණි සුභද්ද පිරිවැජියා අමතා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුසසුනෙහි පමණක් දක්නට ලැබෙන බව ය. මේ අනුව බලනවිට මැදුම් පිළිවෙත නිවනෙහි දොරටුව වන චතුරාර්ය සත්‍යයෙහි හතරවන සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය ලෙස නම් කළ හැකිය. මෙම ගාමිණී පටිපදාව හඳුනා ගනිමු. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙන් එය දැක්විය හැකිය.
ම. නි චූලවේදල්ල සූත්‍රයේ දී විශාඛා උපාසකයා විසින් ධම්ම දින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ අරිඅටඟ මග හේතුඵල දහමින් සකස් වූ එකක් ද නැතිනම් හේතුඵල දහමින් සකස් නොවුණ එකක් ද යන්නයි. එනම් සංඛතයක් ද අසංඛතයක් ද යන්නයි. එවිට ධම්ම දින්නා මෙහෙණියගේ පිළිතුර වුයේ මෙය සකස් වුණු එකක් මෙන්ම සකස් කරගන්නා එකක් යනුවෙනි. එසේනම් ප්‍රතිපදාව සකස් වූ දෙයක් බැවින් අප ජීවිතය තුළ සකස් කරගෙන සසරින් නිදහස් වීමට හැකිය. චුලවේදල්ල සූත්‍රයේදීම විශාඛා ගෘහපතියා මෙහෙණින් වහන්සේගෙන් විමසන්නේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ස්කන්ධ (ත්‍රිශික්ෂා) ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් සකස් කරන ලද්දක් ද? නැතිනම් ත්‍රිවිධ ස්කන්ධ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරන ලද්දක්ද? යනුවෙනි. එවිට මෙහෙණින් වහන්සේගේ පිළිතුර වූයේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා මඟින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වූ බවය. තවද ධම්ම දින්නා තෙරණිය දේශනා කරන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන සීලයටත්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන සමාධියටත්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥාවටත් අයත් වන බවය. මෙම ධර්ම සාකච්ඡාවේදී සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා පෘථූල වන බව පැහැදිලිය.
මෙහිදී ඉහත වර්ගීකරණයට අනුව ප්‍රඥාව සමාධියට අනතුරුව වැඩෙන අයුරු සිතෙන්නට හැකිවූවත් එය එසේ නොවන අතර ආර්යඅෂ්ටාංගික මාර්ගය ප්‍රඥාවෙන් ඇරැඹී සමාධියෙන් කෙළවර වන්නක් ද නොවේ. සීල, සමාධි, ප්‍රඥා යන පිළිවෙළ නිවැරැදිය. මෙයින් සිදුවන්නේ ප්‍රඥා ස්කන්ධය වැඩීමෙන් ආර්ය මාර්ගය නිමවන බවය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, මැදුම් පිළිවෙතෙහි පූර්වාංගම කොටසට, අයත් වූවත් එය පරිපූර්ණ ප්‍රඥා අවස්ථාවට නොවැටේ. ප්‍රඥාව පරිපූර්ණ වන්නේ සම්මා ඥානා, සම්මා විමුක්ති අංග දෙක ද සම්පුර්ණ වීමෙනි. මේ බව ම නි. මහාචත්තාරිසක සූත්‍රයේ සඳහන් ය. එසේම අරිඅටඟ මඟ පුද්ගලයා තුළ වඩන අයුරු ම නි. මහාචත්තාරිසක සුත්‍රයේදී දේශනා කර ඇත.ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව හා අනාස්‍රව වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. ආස්‍රව අංශයෙන් අර්ථවත් වන්නේ කෙලෙස් සහිත ව පිනට නැඹුරුව නැවත උපතකට හේතුවන ක්‍රියාකලාපයයි. (සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා) අනාස්‍රව යනු ආර්ය වූ කෙලෙස් නැති ලෝකෝත්තර වූ නිවනට හේතුවන අංශයයි. (අරියා අනාස්‍රව, ලෝකෝත්තර මග්ගවා) උක්ත සාස්‍රව හා අනාස්‍රව ප්‍රභේදය ආර්ය අෂ්ටාංගික මඟ ඔස්සේ වෙන වෙනම පැහැදිලි කරගැනීමට උත්සාහ දරමු.
1. සම්මා දිට්ඨි
චත්තාරිසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය සාස්‍රව හා අනාස්‍රව වශයෙන් දෙපරිදි ය. සාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ දුන්දෙයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක ඇත. මෙලොව පරලොව ඇත. මව පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. දහම් මග පිළිපන් ශ්‍රමණ බමුණන් ඇත යන පිළිගැනීමයි. එම පුද්ගලයන්ට සුගතිගාමී වීමට හැකි අතර නැවත උපතකින් මිදීමට නොහැකිය. අනාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ ලෝකය ඇති සැටියෙන් ලෝකෝත්තර ලෙස දැකීමයි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මය දක්නා නුවණයි. මෙය විදර්ශනා ප්‍රඥාවයි. මෙමඟින් භවයෙන් මිදීම සිදුවේ.
2. සම්මා සංකප්ප
කාම ව්‍යාපාද විහිංසා යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් වෙන්විය යුතුය යන කල්පනාව සම්මා සංකප්ප යැයි මෙලෙස නෙක්ඛම්ම අව්‍යපාද අවිහිංසා යන සංකල්ප වැඩිය යුතු යැයි සිතීම ආස්‍රව සහිතව පිනට නැඹුරු උපධි විපාක සහිතවීම ආස්‍රව සමඟ සංකප්ප නම් වන නමුත් එය ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වන්නේ එම යහපත් කල්පනා කෙරෙහි සිත පිහිටුවීමක් විශේෂයෙන් පිහිටුවීමත් සමඟය. සරලව පැවසුවහොත් එම සංකල්ප පිළිබඳ අරමුණ සිතට වහා නංවන සුළු විතර්කයයි.
3. සම්මා වාචා
බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන් හිස් වචන කීමෙන් වෙන්වීම සම්මා වාචා නම් වේ. මෙම සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් වෙන්වීම සාස්‍රව සහිතව පින්පැත්තට නැඹුරු උපධිවිපාක සහිත සම්මා වචනයි. නමුත් මෙය ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන විට බව ම. නි. මහචත්තාරිසක සූත්‍රයේ සඳහන් කරයි.
4. සම්මා කම්මන්න
ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන තුන කායදුශ්චරිත හෙවත් වැරැදි ක්‍රියා ලෙස දක්වයි. මෙම වැරැදි ක්‍රියාවලින් මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා කම්මන්තය සසර ගමන් කරයි. මෙය ලෝකෝත්තර මාර්ගංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන පුද්ගලයාගේ කායදුස්චරිතයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද එම ස්වභාවයෙන් වැඩෙන විටයි. එය භව පැවැත්ම පිණිස හේතු නොවේ.
5. සම්මා ආජීව
වැරැදි දිවි පැවැත්මෙන් මිදීම සම්මා ආජීව නම් වේ. නැති ගුණ පෙන්වීම, විස්මය දනවන වචන කීම, ලාභය පිණිස ඇඟවීම් කිරීම, ලාභයෙන් ලාභය සෙවීම මිච්ඡා ආජීව බව ම.නි. 3 මහාචත්තාරිසක සූත්‍රයේ දක්වයි. සම්මා ආජීවය වන්නේ ඉහත ලක්ෂණයන්ගෙන් මිදීමයි. එසේ මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා ආජීවයයි. නමුත් ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව ආර්ය මාර්ගය වැඩීමට ක්‍රියාකරන පුද්ගලයාගේ මිත්‍යා ආජීවයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද ඒ ස්වභාවයෙන් වැඩෙනවිටයි. (ම. නි. මහාචත්තාරිසක සුත්‍රය) මෙහිලා ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව සහිතව පින් පැත්තට නැඹුරුව සසර ප්‍රතිවිපාක මට්ටමෙන් ක්‍රියාත්මකවීම නිවන් මග සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මෙය ලෝකෝත්තර අංගයක් ලෙස ගැඹුරින් වැඩීම කෙසේ කළ යුත්තේ ද යන්න පැහැදිලි කර ගැනීම යෝග්‍ය වේ. දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත ආජීව යන අංග පහේ වැරැදි නිවැරැදි බව අවබෝධ කරගැනීමට මූලික වන්නේ සම්මා දිට්ඨියයි. මේ සඳහා සම්මා වායාම, සම්මා සති යන අංග දෙක ද උපකාරී වේ.
6. සම්මා වායාම
සතර සම්‍යග් ප්‍රධං වීර්ය වැඩීමට අවශ්‍ය උත්සාහය සම්මා වායාමයි. වැරැදි දැකීම ඉවත් කොට නිරවද්‍ය දැකීම ඉපදවා ගැනීමට ඇති උත්සාහය සම්මා වායාම නමින් ද හැඳින් වේ. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග වැඩීමට ද ඇති උත්සාහය සම්මා වායාමයි.
7. සම්මා සති
නිවැරදි සිහියෙන් යුක්ත වී මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වීම සම්මා සතියයි. ආර්ය මාර්ගයේ මුල් අංග වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගයන්හි එළැඹි සිහියෙන් යුක්තවීම සම්මා සතියයි. ම.නි. මහාචත්තාරික සූත්‍රයේ දක්වන්නේ සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් මඟින් ආර්ය මාර්ගයේ මුල් අංග පහ වැඩීම සිදුවන බවයි.
8. සම්මා සමාධි
සම්මා සමාධි පිළිබඳ ම.නි. මහචත්තාරිසක සුත්‍ර දේශනාවේ දී සඳහන් කරන්නේ මෙසේය. සම්මා දිට්ඨිය ආදී කොට ඇති මුල් අංග සතින් සිතේ යම් එකඟ බවක්, පරිවාර බවක් වේද මහණෙනි එය සම්‍යග් සමාධි ප්‍රත්‍ය සහිත යැයි ද, පරිවාර සහිත යැයිද කියනු ලැබේ යනුවෙනි. සම්මා සමාධිය දක්වා ඇති අංග අට සේඛ ප්‍රතිපදාව ලෙස නම් කරයි. එනම් ප්‍රතිපදාවෙන් නික්මෙන අවස්ථාවක් ලෙසයි. එසේනම් සම්මාඤාණ, සම්මා විමුක්ති යන අංග දෙක පරිපූර්ණවීමෙන් ප්‍රඥාව උදාවේ. මෙම අංග දෙක සම්බන්ධ වන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට හා සමාධි ඉන්ද්‍රියට බව මෙයින් සිහිපත් කළ යුතු වේ.

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක 
මිනුවන්ගොඩ පත්තඬුවන භික්ෂු ආයතනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ 
මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි 
නැදගමුවේ විජයමෛත්‍රී නා හිමි

සසර පැවැත්මට විරුද්ධ වූ අරමුණ නිරෝධ නම් වේ. තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන ශාන්ත තත්ත්වය නිරෝධ නම් වේ. ‘නි’ යන්නෙන් නැති යන තේරුම දෙයි. රෝධ යන්ගෙන් සිරගෙය යන අර්ථය දෙයි. මෙය එකතු වූ විට දුක් නමැති සිරගෙය නැති කරන යන අදහස වේ. දුක හිරගෙයකි. කාම, භව, රූප භව - අරූප භව යන භවත්‍රයය දුක නමැති සිර ගෙයි බිත්ති වේ
”තත්ථි කතමං දුක්ඛ නිරෝධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසෙස විරාග නිරෝධො වාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො”
ඒ තෘෂ්ණාවන්ගේ අංශෂ විරාග නිරෝධයක් සේ ද යම් දුරු කිරීමක් බැහැර කිරීමෙත් මිදීමක් නො ඇල්මක් වේද ඒ තෘෂ්ණානිරෝධ සංඛ්‍යාත නිර්වාණය දුක්ඛ නිරෝධාය¸ සත්‍ය නම් වේ.
සසර පැවැත්මට විරුද්ධ වූ අරමුණ නිරෝධ නම් වේ. තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන ශාන්ත තත්ත්වය නිරෝධ නම් වේ. ‘නි’ යන්නෙන් නැති යන තේරුම දෙයි. රෝධ යන්ගෙන් සිරගෙය යන අර්ථය දෙයි. මෙය එකතු වූ විට දුක් නමැති සිරගෙය නැති කරන යන අදහස වේ. දුක හිරගෙයකි. කාම, භව, රූප භව - අරූප භව යන භවත්‍රයය දුක නමැති සිර ගෙයි බිත්ති වේ. මෙසේ තෘෂ්ණාව නමැති හැකිල්ලෙන් බඳිනු ලැබූ සත්වයා දුක් නමැති හිරගෙයි නොයෙක් ආකාර දුක් පීඩාවලට ගොදුරු වෙයි. එම තෘෂ්ණාව යම් තැනක නොමැති නම් එතැන දුක් නමැති හිර ගෙයක් නැත. එමනිසා නිරෝධ යනුවෙන් ප්‍රකාශ කරනු ලැබේ.

එසේම නිවන අවබෝධ කර ගැනීම හේතු කරගෙන තෘෂ්ණාව නැති කිරීම ද, බැහැර කිරීම ද, මිදීමද, නො ඇලීම ද වන හෙයින් චාග පටිනිස්සග්ග - මුත්ති - අනාලය යන මේ නම් නිරෝධ නම් වූ නිවනට ව්‍යවහාර කෙරේ. නිවන පෘථග්ජන ලෝකයා විසින් දැනගත යුත්තේ අනුබෝධ ඥානයෙනි. නිවනෙහි නියම තත්ත්වය දැනගත හැකිවන්නේ අවබෝධ ඥාණයෙනි. මේ අනුව අනුමානයෙන් හා ප්‍රත්‍යක්ෂය යන දෙයාකාරයෙන් නිවන දත හැකි වෙයි. ශ්‍රැතමය ඥානය නිවනෙහි ස්වභාවය අසා දැනගෙන ගුණ දම් සපුරාලීමෙන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් නිවන අවබෝධ කර ගත හැකි ය.
ලෞකික සැප සියල්ලම තාවකාලිකය. අස්ථිරය. ජාති, ජරා, ව්‍යාධි, මරණාදී අනන්ත දුක්වලට බඳුන් වෙයි. එහෙත් නිවන් සුවය ස්ථිර සදාකාලික සැපයෙකි. එහි ජරාවක්, ව්‍යාධියක්, මරණයක්, ශෝකයක් නැත. එය කිසි කලෙක වෙනස් නොවන පරම සුඛ ස්වභාවයෙනි. තුන් ලොවම ඉක්ම පැවැති හෙයින් ලෝකෝත්තර ධර්මයෙකි. නිවන පිහිටි තැනක් නැත. ලෝකයෙහි ගිනි පවතී. එහෙත් ඒවා පවත්නා තැනක් නොමැත. අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය යෙදූ විට ගිනි උපදවා ගත හැකිය. එසේම ශීල, සමාධි, ප්‍රඥා ආදි ධර්මයන් ඇති කල්හි විද්‍යමාන වූ නිර්වාණය පිහිටි තැනක් නැති හෙයින් එය ශුන්‍ය ධර්මයක් වශයෙන් නොසැලකිය යුතුය. එය සතර මාර්ග ඥානයන්ට අරමුණු වන්නා වූ ලෝකෝත්තර ධර්මයකි. ඇස් ඇත්තවුන් විසින් ඇසින් චන්ද්‍ර මණ්ඩලය දක්නා සේ ආර්යයන් මාර්ග ඥනයෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරනු ලැබේ. ජාත්‍යන්ධයට සඳ මඬල නොදැක්ක හැකිය. එහෙත් සඳ මඬල නැතැයි කිව නොහැක. එය තර්කයට ගොදුරු වන්නක් නොවේ. එහෙයින් නිවන ‘අතක්කාවචරය’ එය තමාගේ නුවණැසින් ම දැන ගත යුතු ය. තම තමන්ගේ නිර්වාණය ඇත්තේ තමා තුළම ය. “සංඥා සහිත වූ සිත සහිත වූ බඹයක් පමණ වූ මේ ශරීරයෙහි ම ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිනී පතිපදාවත් පනවමි”යි බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ඒ නිසාය. ඒ අනුව නිවන කොතැනක පිහිටා තිබේද කුමක් ඇසුරු කොට පවතින්නේ දැයි යන ප්‍රශ්න නිරාකරණය වේ.
ආගම සිද්ධිය, න්‍යාය සිද්ධිය, අනුමාන සිද්ධිය, ප්‍රත්‍යක්ෂ සිද්ධිය යන සතර ආකාරයට නිවන් ඇති බව දත හැකිය.
ආගම සිද්ධිය, නිවන් දුටු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ ඒ වචනය විශ්වාස කරන්නවුන්ට නිවනක් ඇති බව ආගම සිද්ධිය වේ.
න්‍යාය සිද්ධිය
නිවනක් නැත්නම් නිවන් අරමුණු කොට උපදනා මාර්ග ඵල සිත් නැත්නම් මාර්ගඵල ලාභීහුද නොවෙති. මාර්ගඵල ලාභීන් සිටින බවට අපේ ධර්ම ග්‍රන්ථ සාක්ෂි දරයි.
අනුමාන සිද්ධිය
ප්‍රත්‍යක්ෂ දෙයට සමානව කොට අප්‍රත්‍යක් දෙස බැලිය යුතුය. (“යථාපි දුක්ඛෙ විජ්ජන්ති සුඛං තාංපි විජ්ජති) ලෝකයේ දුකක් ඇත්නම් ඊට විරුද්ධ සැපයකුත් ඇත. එසේම ඉපදීමක් ඇත්නම් නිවනකුත් තිබිය යුතුය. මෙසේ ප්‍රත්‍යක්ෂ සිද්ධින් අනුව ද නිවන ඇතැයි අනුමාන වශයෙන් දැනගත යුතුය.
ප්‍රත්‍යක්ෂ සිද්ධිය
බුදුරජාණන්වහන්සේ ආදි ආය¸ උතුමනට නිවන ප්‍රත්‍යක්ෂ සිද්ධියකි.මෙසේ සතර ආකාරයට නිවන් ඇති බව දැනගත හැකිය.
නිස්සරණට්ඨ – විවේකට්ඨ – අසංඛ්‍යට්ඨ – අමතට්ඨ යන සතර දුක්ඛ නිරෝධාය¸ සත්‍යයේ ස්භව ලක්ෂණ වේ.
නිස්සරණට්ඨ
සියලු ක්ලේශයන්ගෙන් හා සියලු දුක්ඛයන්ගෙන් තොර වීම නිස්සරණටඨ් වේ. නිවනට පැමිණි සියලු දෙනාම සසර දුකින් හා කෙලෙසුන්ගෙන් වෙන් වී ශාන්ත සැපය විඳී.
විවේකට්ඨ
නිවනට පැමිණි තැනැත්තන්ට සසර බියක් නැත. නැවත දුකකට පැමිණීමක් හෝ කෙලෙස් මල ඇති වීමක් නැත. සියලු කෙලෙස් දුරු කළ බැවින් විවේක නම් වූ නිවන් සුවය විඳියි.
අසංකතට්ඨ
කර්මාදී ප්‍රත්‍යන්ගෙන් හට නොගත් බව අසංකතට්ඨ වේ. සියලු ධර්මයෝ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහු වන්නේය. එම ධර්මයෝ අනිත්‍ය - දුක්ඛ – අනාත්ම යන ත්‍රි ලක්ෂණයෙන් යුක්ත ය. එහෙත් නිවන අසංක්‍ය සංස්කාරයන්ගේ සංසිඳීම හා තොරවීම අසංකතට්ඨ වේ.
අමතට්ඨ
මරණ රහිත බව - නොමැරෙන බව අමතට්ඨ නම් වේ. ලෝකයේ ඇති සියලු සජීවී – අජීවී වස්තු ධර්මයෝ සියල්ලම අනිත්‍යය. විනාශ වන ස්වභාවයෙන් යුක්තය. නිවනේ එසේ වෙනස් වන ස්වභාවයක් හෝ බිඳෙන ස්වභාවයක් හෝ නැත. නොබිඳෙන, නො නැසෙන, නොමැරෙන ස්වභාවය නිර්වාණයෙහි ඇති බැවින් අමතට්ඨ නම් වේ.මේ ආකාරයෙන් නිරෝධ සත්‍යය සාක්ෂාත් කළ යුතුය. (සච්ඡිකාතබ්බං) මේ ආකාරයෙන් සාක්ෂාත් කළ අය මාර්ග සත්‍යය වැඩිය යුතුය. (භාවෙතබ්බං) එවිට උතුම් නිවනට පැමිණිය හැකිය.

දුක්ඛ සමුදය ආර්ය සත්‍යය

මහරගම
සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පානදුරේ පසන්න හිමි

ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති කර දැමීමයි. සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යනු උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කර ගැනීමයි
“ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ සමුදයං අරිය සච්චං. යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා” ‘ මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. යම්කිසි තෘෂ්ණාවක් සත්ත්වයා ගේ පුනර්භවය හෙවත් නැවැත ඉපදීම ගෙන දෙන ස්වභාව ඇත්තේ වේද උපන් ඒ ඒ භවය සතුටින් පිළිගන්නා ස්වභාව ඇත්තේ වේද ඒ තෘෂ්ණාව කවරේද? කාමතණ්හාව, භවතණ්හාව, විභවතණ්හාව, යනුයි. පෙර වැඩ විසූ සියලු උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සෙයින් ම අප සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ දඹදිව, බරණැස්නුවර ඉසිපතන මිගදාය නම් වූ උත්තරීතර පුණ්‍ය භූමියේ දී අද වැනි ඇසළ පුනු පොහෝ දිනයක පස්වග මහණුන් ප්‍රධාන සදේවක ලෝකයාට දේශනා කොට වදාළ උදාන සංඛ්‍යාත මංගල දම්දෙසුම වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි දුකට හේතුව පිළිබඳ වූ දෙවැනි ආර්ය සත්‍යය පිළිබඳ අදහසක් මතු කර ගැනීම මේ ලිපියෙහි අරමුණයි.

"දුක්ඛෙ ලොකො පතිට්ඨිතො "ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති කර දැමීමයි. සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යනු උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කර ගැනීමයි. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙහෙවී වීර්ය කැර අවබෝධ කැර ගත් දුක පිළිබඳව උන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනාව වූ දම්සක් පැවැතුම් සුතුරෙහි දී පස්වග මහණුන් වහන්සේලාට පැහැදිලි කොට වදාළ සේක. එහි දී දුක්ඛ ආර්ය සත්‍යයෙන් දුක පිළිබඳවත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක හට ගැනීමට හේතුව පිළිබඳවත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන් දුක නැති කැරගැනීම පිළිබඳවත් දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයෙන් දුක නැති කර ගැනීමේ මාර්ගය පිළිබඳවත් පැහැදිලි කර දුන් සේක.
මෙහි දී පළමු කොට ‘සමුදය’ යන වචනයෙහි අර්ථය වටහා ගත යුතුයි. ගැඹුරින් විමසතොත් විසුද්ධිමග්ගඉන්ද්‍රිසච්චනිර්දේශ විවරණයට අනුව ‘සං’ යන ශබ්දය සමාගමය, එකතුවීමය යන අර්ථ ඇත්තේ වේ. (සං ඉති අයං සද්දො සමාගමො) ‘උ’ යන ශබ්දය උප්පත්තිය, හටගැනීම යන අර්ථ ඇත්තේ වේ. (උ ඉති උප්පත්තිං) ‘අය’ යන ශබ්දය හේතුව, කාරණය යන අර්ථ ඇත්තේ වේ. (අය සද්දො කාරණං දීපෙති) කැර දැමීමයි. එනම්, සමුදය යන වචනයෙහි අදහස මෙසේ සත්ත්ව සන්තානය තෘණ්ණාව සමඟ එකතු වූ කල්හි එය පඤ්චස්කන්ධයාගේ යළි ඉපදීමට කාරණය’ යන්නයි. (ඉති දුක්ඛස්ස සංයොගෙ උප්පත්තිකාරනත්තා දුක්ඛ සමුදයන්ති) මෙහි සරල අදහස දුක ඇති වීමට හේතුව යන්නයි.
බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක ඇතිවීමට හේතුව තණ්හාව බව වදාළ සේක. ‘තෘෂ්ණව ‘ යන වචනයෙහි අර්ථය ඇලීම යන්නයි. මේ ඇලීම නිසා සත්ත්වයා සසර නැවැත නැවැත උපදින බවත් (යායං තණ්හපොනොභවිකා) එසේ උපන් ඒ ඒ භවය සතුටින් පිළිගන්නා බවත් (නන්දිරාග සහගතා) උපන් ඒ ඒ භවයෙහි අතිශයින් සතුටුවන බවත් (තත්‍රතත්‍රාභිනන්දිනී) පැහැදිලි කැර ඇත. බුදුරජාණන් වහන්සේ කාමතණ්හාව, භවතණ්හාව, විභවතණ්හා යනුවෙන් තණ්හාවේ ප්‍රභේද තුනක් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි දී වදාළ සේක. අභිධාර්මික විවරණයන්ට අනුව තෘෂ්ණාව 108 වැදෑරුම් ය.
කාමය යන වචනයෙහි අර්ථය කැමැත්ත යන්නයි. ‘තණ්හාව ‘ යනු ඇලීමයි. කැමැත්තෙහි ඇලීම කාමතණ්හාවයි. කාමතෘෂ්ණාව යනු මනසින් චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය යන පසිඳුරන් මඟින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පඤ්චකාම සම්පත් ලබා ගෙන ඒවායෙහි අතිශයින් ඇලීමයි. බුදුසමයට අනුව පෘථග්ජන ගිහියාට කාම සම්පත් අනුභව කිරීමට තහනමක් නොමැත. එහෙත් ඒවායේ ඇලීම නිසා සත්ත්වයා ගැටීම ඇති කැර ගනියි. බුදුරජාණන් වහන්සේ කාම සම්පත් වල ආශ්වාදය හෙවත් රසවිඳීමක් ඇති බවත් ඒ නිසා ඒවායේ බොහෝ ආදීනව ඇති බවත් එහෙයින් ඒවායින් අත්මිදීමට හෙවත් සම්පූර්ණයෙන් ම ඉවත් වීමට උත්සුක විය යුතු බවත් පැහැදිලි කොට වදාළ සේක.
භව යනු වචනයෙහි අර්ථය ආත්මභාවය යන්නයි. ‘භව තෘෂ්ණාව ‘ යනු නැවැත නැවැත භවයන්හි සැරි සැරීමට හෙවත් ඉපදීමට ඇති ඇලීමයි. ධර්මය නොදැනීම නිසා ඇතැම් අන්ධබාල පෘථග්ජන සත්වයෝ දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආත්මභාවයන්හි ඉපදෙමින් ඒවාහි පවත්නා සුළු සුළු ආශ්වාද පරම සැප ලෙස සලකා ඒ ඒ භවවල ඉපදීමට කල්පනා කරති. ඒ වෙනුවෙන් අතිශයින් වෙහෙසෙති. එය සසර තව තවත් දීර්ඝවීමට හේතුවකි. භාග්‍යවතුන් වහන්සේ අසුරුසැනක් ගසන මොහොතක්වත් භවය වර්ණනා නොකරමි. (අච්ඡරාසංගහමත්තම්පි ඛො භවං න වණ්ණෙමි) යනුවෙන් වදාළ සේක. භව තෘෂ්ණාව නිසා මුහුණපෑමට සිදුවන ආදීනව සලකා භව තෘෂ්ණාව ක්ෂය කර ගැනීමට උත්සුක විය යුතු ය.
විභව යන වචනයෙහි අර්ථය ආත්මභාවයක් නොමැත යන්නයි. විභව තෘෂ්ණාව යනු නැවැත සැරි සැරීමට හෙවත් ඉපදීමට භවයක් නැතැයි සිතා මේ භවයෙහි උපරිම ලෙස පඤ්චකාම සම්පත් භුක්ති විඳීමට ඇති ඇලීමයි. ඇතැමෙක් උච්ඡේද දෘෂ්ටිගත වී නැවැත ඉපදීම හෙවත් පුනර්භවය පිළිනොගනියි. එහෙයින් දිවි ඇති තෙක් පසිඳුරන් මඟින් රූපාදී පඤ්චකාම අසීමාන්තිකව සම්පත් භුක්ති විඳියි. එහෙයින් බොහෝ අකුසල් රැස්කර ගනිති. එබඳු අන්ධබාල පෘථග්ජනයෝ මරණින් මතු බොහෝ විට නරකාදී සතර අපායට වැටෙති. එහෙයින් විභව තෘෂ්ණාව නිසා මුහුණපෑමට සිදුවන ආදීනව සලකා විභව තෘෂ්ණාව ක්ෂය කරගැනීමට උත්සුක විය යුතු ය.
දුක්ධ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ වූ තණ්හාවේ ස්වභාව සතර වන්නේ සූත්‍ර පිටකයෙහි පටිසම්භිදාමග්ග පාලියෙහි ආයුහනට්ඨය, නිදානට්ඨය, සංයොගට්ඨය, පළිබොධට්ඨයයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ වූ තෘෂ්ණාවේ ස්වභාව සතරක් විවරණය කැර ඇත. එනම්, ආයුහයනට්ඨය යනු නැවැත නැවැත දුක් රැස් කිරීමයි. නිදානට්ඨය යනු නැවැත නැවැත දුක් ගෙන දීමයි. සංයොගට්ඨය යනු නැවැත නැවැත දුකෙහි තදින් බැඳීමයි. පළිබොධට්ඨය යනු දුකින් මිඳීමේ ප්‍රතිපත්තියට බාධා කිරීමයි. යනුවෙනි.,
“යථාපි මූලෙ අනුපද්වෙ දළ්හේ – ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති, එවම්පි තණ්හානුසයෙ අනුහතෙ – නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං” යනුවෙන් සම්බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල සඳහන් පරිදි මුදුන් මුල අනතුරක් නැතිව සවිමත් ව තිබෙන කල්හි නැවැත නැවැත ගස කපා දැමූවත් එගස නැවැත නැවැත ලියලයි. එමෙන් තෘෂ්ණාව සහමුලින් උදුරා නොදැමූ කල්හි තෘෂ්ණාව නැවැත නැවැත සිතෙහි හටගනියි යනුයි. එහෙයින් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පැහැදිලි කැර ඇති දුකට හේතුව මැනැවින් වටහා ගැනීමට උත්සුක විය යුතු යි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයෙහි පහළවීමේ මුඛ්‍ය පරමාර්ථය දුක්විඳින අනන්ත සත්ත්වයන්ට චතුරාර්ය සත්‍ය දේශනා කර අවබෝධ කර සසරින් එතෙර කැරැ වීමයි. එහෙයින් නරකයෙහි උපන් කාලය, තිරිසන්ව උපන් කාලය, ප්‍රේතව උපන් කාලය, අසඤ්ඤතල හෙවත් දීර්ඝායුෂ්ක දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි උපන් කාලය, බුද්ධ ධර්මය නැති ප්‍රත්‍යන්ත දේශයන්හි උපන් කාලය, මිථ්‍යා දෘෂ්ටිකව උපන් කාලය, මන්ද බුද්ධිකව උපන් කාලය, බුදුවරුන් ලොව පහළව නොමැති කාලයක උපන් කාලය යන අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත නවවන උතුම් දුර්ලභ මනුෂ්‍ය ජන්මභාවය හෙවත් ක්ෂණ සම්පත්ති ලද ඤණවන්ත ඔබ ඒ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමට නොපමා විය යුතු ය. ඒ බව මැනැවින් වටහා ගෙන සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිශික්ෂාවන් සම්පූර්ණ කරගෙන සසර ගමන කෙටි කර ගැනීමට පින්වත් ඔබ සැමට ඥාන ශක්තිය උදාපත් වේවායි මෙත් සිතින් යුතුව සෙත් පතමි.

දුක්ඛ ආර්ය සත්‍යය



සත්වයාගේ හටගැනීම ලෙස සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ස්ඵර්ශ ආයතනයන්ගේ පහළවීම ය. ජීවත්වීම යනු මේ ස්ඵර්ශ ආයතනයන්ගේ පැවැත්මය. මරණය යනු මෙම ස්පර්ශ ආයතනයන්ගේ නැතිවීමය. ඒ අනුව ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම තුළ රඳාපවතින සත්ත්වයාට දුක් නොවේ’යැයි පැවසිය නොහැක. මක්නිසා ද ස්ඵර්ශ ආයතනයන් තුළ දුක රඳා පවතින නිසාය
ලොව පහළ වූ ශාස්තෘන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වනුයේ අකාලික දහමක් දේශනා කළ නිසාය. චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, කර්මය, පුනර්භවය වැනි ගැඹුරු ධර්ම සිද්ධාන්තයන් තුළින් උන්වහන්සේ පැහැදිලි කරන ලද්දේ පුද්ගලයා සසරෙහි ඇදබැඳ ගන්නා ආකාරයත් ඉන් මිදී නිර්වාණාවබෝධය ලබාගන්නා ආකාරයත්ය. මෙයින් බුදු දහමේ සාරය ලෙස සැළකෙන චතුරාර්ය සත්‍යය උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේ දී ම එනම් දම්සක් පැවතුම් සූත්‍රය තුළින් පළමුව ලොවට දේශනා කරන ලදහ. චතු+ආර්ය+සච්ච යනු උතුම් සත්‍යය හතර යන්නයි.
එනම් දුක්ඛාර්ය සත්‍යයය, දුක්ඛ සමුදයාර්යය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය, මෙම ලිපියෙන් අදහස් කරනුයේ දුක්ඛ සත්‍ය පිළිබඳව පෙළ දහම ඇසුරෙන් සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. දුකෙහි විරුද්ධාර්ථ පදය සැපය යන්නයි. සැප විඳීමට පුුහුදුන් මිනිසුන් තුළ ඇත්තේ අපරිමිත ආශාවකි. ලොව ජීවත්වන සෑම පුද්ගලයෙකුම සැප විඳීම සඳහා දුක් සහගත දේවල් ළඟා කරගනී. මක්නිසාද ? දුක පිරිසිඳ දකින නුවණක් පුහුදුන් සත්වයාට නොමැති නිසාවෙන්ය. බුදුන් වහන්සේලා ලොව පහළ වන්නේ මේ දුක් සහගත ස්වභාවයෙන් සත්වයා මුදවාලන්නට ය. බුදුරජාණන් වහන්සේලාගේ ලොව පහළ වීම දුර්ලභ ලෙස දේශනා කොට වදාරන ලද්දේ එනිසාවෙනි. (දුල්ලභො බුද්ධුත්පාදෝ ලෝකස්මිං)

සත්වයාගේ හටගැනීම ලෙස සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ස්ඵර්ශ ආයතනයන්ගේ පහළවීම ය. ජීවත්වීම යනු මේ ස්ඵර්ශ ආයතනයන්ගේ පැවැත්මය. මරණය යනු මෙම ස්පර්ශ ආයතනයන්ගේ නැතිවීමය. ඒ අනුව ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම තුළ රඳාපවතින සත්ත්වයාට දුක් නොවේ’යැයි පැවසිය නොහැක. මක්නිසා ද ස්ඵර්ශ ආයතනයන් තුළ දුක රඳා පවතින නිසාය. බුදුන් වහන්සේ වරෙක භික්ෂූන්ට දේශනා කරන්නේ “මහණෙනි, මේ ස්පර්ශ ආයතන හම නැති එළදෙනක් දේ සළකන ලෙසය.” හම නැති එළදෙන කිනම් හෝ ඉරියව්වකින් සිටියත් ඌට මහ වේදනාවක් ඇති වේ. එසේම මේ ස්පර්ශ ආයතනයන්ගේ පැවැත්මම දුකක් ලෙස උන්වහන්සේ දේශනා කොට ඇත. එයට හේතු සමුදායක් ද පවතින්නේ ය. යම් කුෂ්ඨ රෝගියෙක් කැසීම තුළත් සැපයක් බලාපොරොත්තු වේ නම් ඔහුට එයම මහ දුකක් වේ. එයින් වන්නේ රෝගය තවතවත් උත්සන්න වීම පමණි. ඒ නිසාවෙන්ම අප සැප යැයි කියන සෑම දෙයක්ම දුක් සහගත ස්වභාවයෙන් යුක්ත යැයි උන්වහන්සේගේ දේශනාවන්හි දක්නට ලැබේ.
බුදුන්වහන්සේ අවබෝධ කරගත්තේ ලෙඩවෙන, මහලුවෙන, මැරෙන, නින්දා අපහාස ලැබෙන මැසි මදුරු, අව්වැසි ආදීන්ගෙන් දුක් විඳින කයක් හදාගෙන එබඳු කයට ලැබෙන මේ සැපය සැපයක් නොවන ලෙසය. වරෙක බුදුන් වහන්සේ අනඳ හිමියන්ට පවසන්නේ “දුක්ඛෙ ලෝකෝ පතිට්ඨිතො” ලෝකය දුකමත රඳා පවතින බවයි. ඒ බව උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දී ගැඹුරුව දේශනා කොට ඇත. එම විග්‍රහයට අනුව “ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා, “මහණෙනි, ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම, අප්‍රිය පුද්ගලයන්ගේ එක්වීම, පි‍්‍රය පුද්ගලයන්ගේ වෙන්වීම, තමන් කැමති කැමති දෑ නොලැබීම හා සහමුලින්ම පඤ්චස්ඛන්ධයම දුකක් ලෙසය. මේ වනාහි දුක්ඛ ආර්ය සත්‍යයයි.” මෙහි අර්ථ විග්‍රහ කිරීමේ දී කොටස් තුනක් යටතේ කරුණු අවබෝධ කරගත හැකිය. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ,දුක්ඛ දුක්ඛ යනු මෙලොව දී ඇතිවන කායික හා මානසික වේදනාවන්ය. විපරිණාම දුක්ඛ ලෙස අර්ථ දක්වන්නේ සංස්කාරයන්ගෙන් හටගත් සියලු සජීවී හා අජීවී වස්තුන්ගේ වෙනස්වීම නිසා ඇතිවන දුක් සහගත ස්වභාවයයි. සංඛාර දුක යනු එක් රැස් කරලීම තුළින් ලබනා දුකකි.
බුදුන් වහන්සේ සරලව දුක විග්‍රහ කොට උන්වහන්සේ පඤ්චස්කන්ධයම මහා දුකක් ලෙස අවසානයට පෙන්වා දෙයි. මෙහි දී දත යුත්තේ පඤ්චස්කන්ධ කෙසේ නම් සත්වයාට දුකක් වන්නේ ද යන්නය. සතර මහා භූතයන්ගේ එකතුව වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පහ සත්ව යන සම්මුතිය ලෙස බුදුන් වහන්සේ පෙන්වා දෙයි. ඇස, කන, නාසයය, දිව, ශරීරය යන පඤ්ච ඉන්ද්‍රියන් තුළින් ලබා ගන්නා අරමුණු හේතුවෙන් ඉහත දක්වන ලද ස්කන්ධයන් ආස්‍රවයන් දක්වා වර්ධනය වීම සිදුවන අතර “චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තාග්ගාහී හෝතී” ආදී ලෙසින් ඉන්ද්‍රිය සංවරය ඇතිකොට ගත යුත්තේ යැයි දක්වා ඇත. පුහුදුන් සත්වයා තුළ ඇත්තේ මේ සියලු දේ මමය, මගේය ආදී ලෙසින් ආත්මීය වශයෙන් අල්ලා ගැනීමය. එය දහමේ විස්තර වන්නේ උපාදානය ලෙසය. උන් වහන්සේ සංයුත්ත නිකායේ ‍ෙඒණපිණ්ඩූපම සූත්‍රයේ දී
“‍ඓ්ණපිණ්ඩූපමා රූපා - වේදනා බුබ්බුලූපමා
මරිචි තුපමා සංඥා - සංඛා කදලූපමා
මායුපමඤ් ව විඤ්ඤාණං - දීපිතාදිච්ච බන්ධුතා”

යනුවෙන් දේශනා කරන්නේ රූපය පෙණ පිඬක් ලෙස ගත යුතු අතර වේදනාව දිය බුබුලක් හා සමානව ද සංඥාව මිරිඟුවක් මෙන් ද සංස්කාරයෝ කෙසෙල් කඳක් වැනි යැයි ද විඤ්ඤාණය මායාවක් ලෙස ද ප්‍රත්‍යක්ෂ කටයුතු බවයි.
මෙහි දී පුහුදුන් මනසට ප්‍රත්‍යක්ෂ නොවුව ද ධර්මය කෙරෙහි අවබෝධයෙන්ම මේ උපමාවන් දතයුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සැකෙවින් කියතොත් මෙයින් කියැවෙන්නේ අවබෝධාත්මකව පඤ්චස්කන්ධයදෙස බැලිය යුතු බවයි. එනම් “යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම” “ලෙසින් ත්‍රිලක්ෂණයට අනුව යමක් අනිත්‍ය වේද එය දුක් පිණිස පවතින්නේ ය. යමක් දුක් පිණිස පවතින්නේ ද එය අනාත්ම ස්වභාවයෙන් යුක්ත වේ. එසේ නම් මම ය මාගේය කියා ගතයුතු කිසිවක් නැත්තේය.” ආදී වශයෙන් අවබෝධ කර ගැනීමයි.
පුහුදුන් මිනිසුන් දුක නැති කිරීමට උත්සාහ කරන්නේ දුක් සහගත දේවල් තුළම ගැලී සිටීමෙනි. උපන් සැම කෙනෙක්ම වෙහෙස වන්නේ සැප විඳීමටය. නමුත් මෙම සැපයම දුකක් ලෙස පිරිසිඳ දැනීමට නුවණක් පුහුදුන් මනසට නොවේ. සත්වයා ගෙවල් දොරවල්, යාන වාහන ලබාගෙන බලාපොරොත්තු වන්නේ දුක නැති කිරීමට ය. නමුත් මේ හරහා සිදුවන්නේ නැවත නැවත දුකටම පත්වීමකි. බුදුන් වහන්සේ දුක නැතිකිරීම ගැන දේශනා කොට නැත. උන්වහන්සේ දුක ඇති වීමේ හේතුව සිඳලීමට ලෝකයාට උපදෙස් දුන්හ. හේතුඵල දහමමත රඳා පවතින බුදු දහම අනුව දුක ඇතිවීමට හේතුව වනුයේ ක්ලේශන්ය. මෙහි දී දුක අවබෝධ කටයුතු අතර කෙලෙස් ප්‍රහාණයට බුදුන් වහන්සේ උපදෙස් දුන්හ. වරෙක උන්වහන්සේ “දුක්ඛ සත්‍යය” තමන් තුළින්ම දතයුතු බව පෙන්වා දෙන්නේ ද එ නිසාවෙනි.
නිවැරැදි බෞද්ධයන් දුක නැති කිරීම සඳහා ගෙවල් දොරවල් ඉදි කළේ නැත. රැකී රක්ෂා කළේ ද නැත. ඔවුන් ජීවිතය ජීවත් කිරීම සඳහා යුතුකම් ඉටු කිරීම සඳහා ගෙවල් දොරවල් රැකී රක්ෂා කළහ. සසර දුක ඇති කරන නිවන් මඟ අහුරන මේ දුක් සහගත ලෝකය පිළිබඳව බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ ඤාණයන් දේශනා කොට වදාළ දුක්ඛාර්ය සත්‍යය සැබවින්ම සාක්ෂාත් කොට දත යුතුය.