බෞද්ධ ඉගැන්වීමට අනුව ආහාරය සිවු වැදෑරුම් වන බව සංයුත්ත නිකායේ ආහාර සූත්‍රය පෙන්වා දෙයි.
කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතනික ආහාර හා විඤ්ඤාණ ආහාර යනු එම සතර ආහාරයයි. උපන් සත්වයාගේ කායිකා හා මානසික පැවැත්ම පිණිසත්, අනුග්‍රහය පිණිසත් ඉවහල් වන මෙම සතර ආහාරයෙන් අපගේ අවධානය යොමු කරන්නේ කබලිංකාර ආහාර හෙවත් මුඛයෙන් ගනු ලබන ආහාර පාන භාවිතය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුදැයි විමසා බැලීමටයි.
ආහාර ගන්නා ආකාරය අනුව බුද්ධකාලීනව විසූ පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්වල දක්නට ලැබේ.
කාක මංසක යනු කුස පිරී තිබියදීත් කපුටකුට ඔහුගේ මුඛයේ ඇති ආහාර ගැනීමට හැකි තරම් ආහාර ගන්නා පුද්ගලයායි.
ආහාර ගත් පසු ආහාර ගත් තැනම වැටි සිටින්නා තත්‍ර වට්ටක නම් වේ.
සිය කුස පිරෙන තරම් ආහාර ගෙන ඉතිරිවන ආහාර තම සලුවෙහි ඔතාගෙන ගොස් අනුභව කරන්නා අලං සාටක නම් වෙයි.
භුත්තවමික නම් ආහාරයට ගිජු වී කුස පිරෙන තුරු ආහාර ගෙන ගිජුකම නිසා එකී ආහාර වමනය කොට නැවත අනුභව කරන්නායි.
මෙම පස් දෙනාගේ ස්වභාවය ශිෂ්ට සමාජයේ පිළිකුලට ලක් වන්නේ නමුත් බුද්ධ කාලයේ පමණක් නොව අදටත් මෙවන් අය සිටින බව අප මතක තබා ගත යුතු ය.
ආහාරයට ගිජු වී පමණ ඉක්මවා ආහාර ගැනීම කායික අපහසුතාවන්ට ඉවහල් වන බව සංයුත්ත නිකායේ එන දෝණපාක සූත්‍රය පෙන්වා දෙයි.
දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි කොසොල් මහ රජු මහත් කායික අපහසුතාවකින් පෙළෙන බව දුටු බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳ විමසීමේ දී තමන් ආහාර ගත් ගමන් ම බුදුන් වහන්සේ බැලීමට පැමිණි බවත්, ආහාර ගත් ගමන් ම නිසා අපහසු බවත් රජු ප්‍රකාශ කළේ ය.
එහිදී කොපමණ ආහාර ගන්නේ දැයි රජුගෙන් විමසූ බුදුන් වහන්සේට දැන ගන්නට ලැබුනේ හාල් නැලි දහසයක බත් රජු ආහාරයට ගන්නා බවයි. සාමාන්‍ය මිනිසකුට ඔරොත්තු නොදෙන මෙම ආහාර ප්‍රමාණය රෝගී වීමටත්, ඉතා ඉක්මනින් මරුවා කැන්දා ගැනීමටත් හේතු වන බව පෙන්වා දුන් බුදුන් වහන්සේ හැම කල්හි සිහි ඇතිව, භෝජනයෙහි පමණ දැන, ආහාර ගැනීමෙන් දුක් වේදනාවන් පහ වන බවත්, අනුභව කළ ආහාරය සෙමෙන් දිරවා, ආයුෂය රකින බවත්
යන ගාථාවෙන් පෙන්වා දුන්හ. එම උපදේශය පිළිබඳ අවධානය යොමු කළ රජු තමන් සමීපයෙහි සිටි සුදස්සන මානවකය අමතා එම ගාථාව ඉගෙන ගන්නා ලෙසත්, තමන් උදේ සවස ආහාර ගන්නා විට කියවන ලෙසත් පැවසී ය. ඒ අනුව ඔහු දිනපතා රජු ආහාර ගන්නා විට බුදුරජාණන් වහන්සේගේ උපදේශයට අනුව ප්‍රකාශ කළේ ය. එම උපදේශය නම් මේ ගාථාව නැට්ටුවකු මෙන් ගිය ගිය තැන නොකිය යුතු බවත්, රජතුමා ආහාර ගන්නා විට මුල් බත් පිඬුවලදී නොකිය යුතු බවත්, අවසන් බත් පිඩුව ගන්නා කල්හිම කිව යුතු බවත් ය. එසේ ගාථාව කී විට රජු එය නොකා එම බත් පිඩෙහි බත් ඇට ප්‍රමාණය ගණන් කොට පසු දින එම ප්‍රමාණයට සහල් ඉවත් කළ යුතු බවත් මෙලෙස දිනපතා බත් පිඩෙහි පමණට සහල් ඉවත් කරමින් සහල් නැලියක ප්‍රමාණය වැඩිම ආහාරය ලෙස අනුභව කරන තෙක් ක්‍රියා කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්හ. මෙලෙස ක්‍රියා කිරීමෙන් කල්ගත වන විට රජුගේ සිරුර සැහැල්ලු විය. පැවති ශාරීරික අපහසුතා පහ වුණි. දිනක් සිය සැහැල්ලු සිරුර පිරිමදිමින් රජු ප්‍රකාශ කළේ බුදුන් වහන්සේ තමන්ට මෙලොව අභිවෘද්ධියෙන් හා පරලොව අභිවෘද්ධියෙන් ද අනුකම්පා කළ බවයි.
මෙම කතාව ආශි‍්‍රත දේශනයෙන් මතු කර ගත හැකි කරුණු කිහිපයක් පවතී. ඉන් එකක් නම් ආහාරයෙහි පමණ නොදැන රසයට ගිජුව ආහාර ගැනීම ශාරීරික මෙන්ම මානසික යහපැවැත්මට ද හානිකර බවයි. ශාරීරික අපහසුතාවන්, වේදනාවන්, නිද්‍රාශීලිත්වය හා ඒ සමඟම පැන නඟින අපහසුතා මෙසේ කායික හා මානසික ව්‍යාකූලත්වයට හේතු වෙයි.
ආහාර පාලනය කළ යුතු බවට වෛද්‍ය උපදේශයක් ලද විගස බොහෝ දෙනා කරන්නේ කලක් පුරුදු වී සිටි ආහාර රටාව ඉතා සීඝ්‍රයෙන් බැහැර කරමින් ආහාර පාලනය කිරීමයි. එය ටික දිනක් කිරීමේ දී මානසික බලපෑම මත හෝ කායික හේතූන් මත ශාරීරික දුර්වලත්වයන් ඇතිවීමටත්, ආහාර පාලනය පිළිබඳ මානසික පසුබෑමක් ඇතිවීමටත් හැකි ය. එවන් අවස්ථාවක දී පියවරින් පියවර තමන්ගේ සිතටත් කයටත් නොදැනෙන අයුරින් ආහාර පාලනය කිරීම වඩාත් ප්‍රායෝගික බව සහල් නැලි දහසයක බත් කලක් මුළුල්ලේ ආහාරයට ගෙන පුරුදුව සිටි රජු සහල් නැලියක බත් ආහාරයට ගැනීමට පියවරෙන් පියවර තමන්ටත් නොදැනීම පුරුදු වීමෙන් පෙනේ.
එබැවින් ආහාර පරිභෝජනයේ දී ශරීරයට හිතකර හා ප්‍රමාණය හැඳින ආහාර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
දියවැඩියා රෝගය තවත් බෝ නොවන රෝග ගණනාවකට මඟ පාදන රෝගයකි. මෙම දියවැඩියා රෝගයට හේතු වන සාධක අතර මූලික වන්නේ ආහාර පරිභෝජනයෙහි පවතින වැරදි සහගත තත්ත්වයයි. එමෙන්ම මෙම රෝගය පාලනය කර ගැනීමට හැකි වන්නේ හෝ නොහැකි වන්නේ ආහාර ගැනීමේ පිළිවෙළ අනුව ය.
එසේම වත්මන් ලෝකය මුහුණ දෙන තවත් ප්‍රබල රෝගී තත්ත්වයක් වන්නේ පිළිකාවයි. දිව පිනවීමේ නොතිත් ආශාවෙන් ගනු ලබන ක්ෂණික හා කෘත්‍රිම ආහාර නිසා අද පිළිකාව දැඩි ලෙස හිස ඔසවමින් සිටියි. ධනය ඉපයීම එකම පරමාර්ථය කර ගත් තරගකාරී ව්‍යාපාරික ලෝකය මානව වර්ගයාගේ යහ පැවැත්ම හෝ සෞඛ්‍ය පිළිබඳ අවධානයක් යොමු නොකොට නිෂ්පාදනය කරනු ලබන රස කාරක මිනිසාට මාරයාගේ සෙවනැලි සමීප කරවීමට සමත්ව සිටියි. ඇස දිව පිනවන, එහෙත් තම ජීවිතය බිලි ගැනීමට සමත් වන කෘත්‍රිම හා ක්ෂණික ආහාරයන්ගෙන් බැහැර වී සිටීමට තරම් ස්වයං ශික්ෂණයක් තමන්ට තිබිය යුතු ය.
ලෝකයේ එක පසෙකින් මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රජාවක් නිර්මාණය වෙද්දී තවත් පසකින් අධිපෝෂණය නිසා පීඩා විඳින ප්‍රජාවක් ද වාසය කරති. අධි පෝෂණයට ලක් වූවන් ඉක්මනින් මරුවා සමීපයට යෑමට මඟ පාදා ගනු ලබයි. තම පමණ ඉක්මවා රස තෘෂ්ණාවෙන් ආහාර ගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇත. මව්පියන්ගේ වටිනාම සම්පත දරුවන් වන අතර එම දරුවන්ට දිගු කලක් නිරෝගීව හා දීර්ඝායුෂ්කව විසීමට නිවැරැදි ආහාර රටාවන් හුරු කරවීම මවුපියන්ගේ වැදගත් යුතුකමකි.
ජීවිතයට මොන තරම් සම්පත් තිබුණත් නිරෝගී බව අහිමි නම් එය මහත් අවාසනාවකි. මිනිසකුට ඇති උතුම්ම ලාභය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ආරෝග්‍ය පරමා ලාභා යන්නයි. එනම් නිරෝගිබව උතුම්ම ලාභය බවයි. මෙම උතුම්ම ලාභය වන නිරෝගී බව ඇති කර ගැනීම පිණිස ආහාර පාන ගැනීමේ දී සැලකිලිමත් වී සැනසිලිමත් ජීවිතයකට මඟ පාදා ගැනීමට අදිටන් කර ගනිමු.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤