ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

කඨින සිවුරේ කතාව

 

දඩල්ල වාලුකාරාම විහාරවාසී

භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන කාලයේ කොසොල් රට පාවා නුවර වැසි පිණ්ඩපාතික වූ ද, පාංශුකුලික වූ ද, ආරණ්‍යවාසී වූ ද ධූතාංගධාරී භික්ෂූන් වහන්සේ තිස් නමක් සාකේත නුවර වස්විසූහ. අවසානයේ වස් පවාරණය කොට මහ වැසි වසිද්දීම සැවත් නුවර බලා පිටත්වූහ.

මාස කිහිපයක් පුරා ඇදහැලුණු ධාරානිපාත වැසි නිසා මාර්ගය වලවල්හැරී මඩගොහොරු බවට පත්ව තිබුණි. තබන තබන පියවර ලිස්සනසුලු විය. මඩෙහි වැටෙමින් ද, වැස්සට තෙමෙමින් ද දිය බේරෙන සිවුරුවලින් යුතුව ක්ලාන්තව ශීතලෙන් වෙව්ලමින් දෙව්රමට වැඩම කොට බුදුරජාණන් වහන්සේ වන්දනා කළහ. මෙම භික්ෂු පිරිසට අනමතග්ග සංයුක්තයෙන් දහම් වදාරා සසරේ ඇති බියකරු බව පෙන්වා වදාළහ. මෙම ශ්‍රාවක පිරිස අරමුණු කරගෙන

මහණෙනි වස් වැස නිම කළ භික්ෂුන් වහන්සේගේ පහසුව සඳහා කඨිනයක් අනුදනිමි’යි කඨිනයක් ඇතිරීමට අනුදැන වදාළහ.

කඨිනයක් ඇතිරීමට සුදුසු කවර වස්ත්‍රයකින් වුව ද සිවුරක් කිරීමට හැකි ය. මහා වග්ග පාලියේ වස්ත්‍ර වර්ග දහ හතක් (17) පෙන්වා දී තිබේ.

අලුත්ම වස්ත්‍රයක්, අලුත් වස්ත්‍රයකට සමාන වූ රෙදි කඩක්, රෙදි කැබැලිවලින් කළ සිවුරක්, පාංශුකූල වස්ත්‍රයක්, වෙළෙඳසල් දොරටුවෙහි අතහැර දමා තිබී අහුලාගත් වස්ත්‍රයක්, කලින් ඇඟවීමක් නැතිව ලැබුණ වස්ත්‍රයක්, කලින් අනුසස් නොකීමෙන් ලද වස්ත්‍රයක්, තාවකාලික නොවූ වස්ත්‍රයක්, කලින් තැන්පත් කොට නොතැබූ වස්ත්‍රයක්, නිසඟි නොවූ වස්ත්‍රයක්, කප් බිංදු තැබූ වස්ත්‍රයක්, තනිපට සිවුරක්, අඳනයක්, එදිනම කඩ කපන ලද අතු පහක් හෝ ඊට වැඩි ගණනක් ඇති සිවුරක්, පුද්ගලයකුට අයිති වීම් වශයෙන් ඇතිරීමෙන් ලද සිවුරක්, මැනවින් අතුරන ලද එම සීමාවෙහි භික්ෂුන් විසින් අනුමෝදන් වන ලද කඨිනය, මනා කොට අතුරන ලද කඨිනය ලෙස දක්වා තිබේ.

වස් විසීමෙන් පසු තෙමීගත් සිවුරුවලින් යුතුව බුදුරජාණන් වහන්සේ දකින්නට වැඩිය තිස්නමක් පාව්‍යෙයක නුවර භික්ෂූන් මුල් කොටගෙන කඨිනය පනවන ලදි. එය කඨිනයේ නිදානය නම් වේ. කඨිනය කුමක් පිණිස වේද? වස් විසූ භික්ෂුන් වහන්සේට පහසු විහරණය පිණිස තුන්සිවුරට අතිරේකව කඨින සිවුර ලබා ගැනීමට අනුදැන වදාරා ඇත.

කඨිනය යැයි කියන්නේ කුමක් නිසාද? නොසෙල්වෙන, නොබිඳිය හැකි, කම්පා නොවන, ස්ථාවර ආනිසංස ගෙන දෙන බැවින් එයට කඨිනය යැයි කියනු ලැබේ.

වස් විසීමට ආරාධනා කළ පින්වතුන් හෝ කවර සැදැහැවතකුට වුවද වස් වසා නිම කළ භික්ෂුවකට පූජා කළ හැකි ය.

පෙර වස් පවාරණය කළ භික්ෂුවකට පමණක් කඨින චීවරය ලබා ගත හැකි ය. මෙය සංඝරත්නයට පූජා කළ පසු සංඝරත්නය විසින් එබඳු සුදුසු භික්ෂුවකට කඨින චීවරය පැවරිය හැක.

ඉහත සඳහන් කළ වස්ත්‍රවලට අයත් වස්ත්‍රයකින් සිවුරක් මැසීමට ප්‍රමාණවත් රෙද්දක් ලබා දී එම වස්ත්‍රයෙන් දෙපට සිවුරක්, තනිපට සිවුරක් අඳන සිවුරක් වශයෙන් මසා නිම කර දීමට ද පිළිවන.

කඨින චීවරයක් හැමදාම පූජා කළ නොහැකි ය. වස් වසා අවසානයේ පවාරණයෙන් පසු චීවර මාසයේ එනම් වප් පොහෝ දා දින සිට ඉල් පුර පසළොස්වක පොහෝ දින දක්වා කාලය ඇතුළත පූජා කළ හැකි ය.

කඨින චීවරයක් පූජා කළ යුත්තේ භික්ෂුන් වස් විසූ විහාර සීමාව තුළදී ය. ඇතැම් විටක ගෘහ මන්දිරවලද සැදැහැවතුන් විසින් ඒ ඒ භික්ෂුන් වහන්සේ වස් වසවා ගනු ලැබේ. එවිට එම ස්ථානයේ දී කඨිනය දිය යුතු යි. ඉහත දැක්වූ කරුණු නවය පැරැණි ආචාර්යයන් වහන්සේ කඨිනය සම්බන්ධයෙන් පෙන්වා දී ඇති කරුණු ය. ඒ බව,

ලොව පවත්නා සියලු සියලු වර්ගයේ දානයන් නිරන්තරයෙන් අවුරුදු සියයක් දුන්නේ වී නමුත් එහි ආනිසංසය එක් කඨින දානයකින් සොළොස් කලාවෙන් එක් කලාවක් තරම් පමණ වේ. කඨින දානය ම උතුම් වේ.

මෙම පෘථිවි මණ්ඩලයෙහි ම සියලු දන්දීම් අතර සංඝරත්නයට පුදන ලද කඨිනය ම උතුම් වේ. මිනිස් ලොව උසස් මිනිස් සම්පත් ද, දෙව්ලොව උසස් දිව්‍ය සම්පත් ද, කෙලෙස් දුරු කිරීමෙන් ලබන අජර වූ ද අමර වූ ද නිවන් සම්පත් දක්වා සියලු සම්පත් කඨිනානිසංසයෙන් ලැබෙන්නේ යැයි නාගිතාපදානයේ ස්වකීය කඨින වර්ණනාව දේශනා කොට තිබේ.

කඨිනය ලබන පින්වත් ස්වාමීන් වහන්සේට ද ආනිසංස පහක් ලැබෙන බව දක්වා තිබේ.

1. ආරාමයෙහි භික්ෂුවකට නොදන්වා කුල ගෙවල්වල හැසිරිය හැකි ය.

2. අධිෂ්ඨාන කළ තුන් සිවුරෙන් තොරව රාත්‍රිය ගත කළ හැකි ය.

3. ගෞරවනීය ආරාධනාවකින් තොරව කරන ඉල්ලීමකට අනුව ගොදුරුගමෙහි දී ආහාරපාන ලබාගෙන වැළඳිය හැකි ය.

4. ආරාමයට ලැබෙන සිවුරු පිරිකර ළඟ තබා ගත හැකි ය.

5. කඨින චීවරය සමඟ ලැබෙන සියලු පූජා භාණ්ඩ තමාට ලබා ගත හැකිය.

මෙම වරප්‍රසාද පහ වප් පොහෝ දින සිට මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දකවා ලබා ගත හැකි ය.

මෙසේ සෑම අයුරකින්ම කඨිනයේ ආනිසංස උත්කර්ෂයෙන් වර්ණනා කොට ඇත්තේ සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව වර්ධනය කොට කුසලයට නැඹුරු කරවීමට ගත් උදාර ප්‍රයත්නයක් ලෙස බව සැලකිය හැකි ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සැනසීමෙන් ජීවත්වන්න සැලකිල්ලෙන් ආහාර ගන්න

 කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම
මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය
කෝට්ටේ සිරි පැරකුම්බා පරිවේණාධිපති
මහියංගණයේ පඤ්ඤානන්ද හිමි

බෞද්ධ ඉගැන්වීමට අනුව ආහාරය සිවු වැදෑරුම් වන බව සංයුත්ත නිකායේ ආහාර සූත්‍රය පෙන්වා දෙයි.

කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතනික ආහාර හා විඤ්ඤාණ ආහාර යනු එම සතර ආහාරයයි. උපන් සත්වයාගේ කායිකා හා මානසික පැවැත්ම පිණිසත්, අනුග්‍රහය පිණිසත් ඉවහල් වන මෙම සතර ආහාරයෙන් අපගේ අවධානය යොමු කරන්නේ කබලිංකාර ආහාර හෙවත් මුඛයෙන් ගනු ලබන ආහාර පාන භාවිතය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුදැයි විමසා බැලීමටයි.

ආහාර ගන්නා ආකාරය අනුව බුද්ධකාලීනව විසූ පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්වල දක්නට ලැබේ.

ආහාර හත්ථක යනු ආහාර ගත් පසු තවකකු විසින් අතින් අල්ලා එසවීමට තරම් ආහාර ගන්නා පුද්ගලයායි.

කාක මංසක යනු කුස පිරී තිබියදීත් කපුටකුට ඔහුගේ මුඛයේ ඇති ආහාර ගැනීමට හැකි තරම් ආහාර ගන්නා පුද්ගලයායි.

ආහාර ගත් පසු ආහාර ගත් තැනම වැටි සිටින්නා තත්‍ර වට්ටක නම් වේ.

සිය කුස පිරෙන තරම් ආහාර ගෙන ඉතිරිවන ආහාර තම සලුවෙහි ඔතාගෙන ගොස් අනුභව කරන්නා අලං සාටක නම් වෙයි.

භුත්තවමික නම් ආහාරයට ගිජු වී කුස පිරෙන තුරු ආහාර ගෙන ගිජුකම නිසා එකී ආහාර වමනය කොට නැවත අනුභව කරන්නායි.

මෙම පස් දෙනාගේ ස්වභාවය ශිෂ්ට සමාජයේ පිළිකුලට ලක් වන්නේ නමුත් බුද්ධ කාලයේ පමණක් නොව අදටත් මෙවන් අය සිටින බව අප මතක තබා ගත යුතු ය.

ආහාරයට ගිජු වී පමණ ඉක්මවා ආහාර ගැනීම කායික අපහසුතාවන්ට ඉවහල් වන බව සංයුත්ත නිකායේ එන දෝණපාක සූත්‍රය පෙන්වා දෙයි.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි කොසොල් මහ රජු මහත් කායික අපහසුතාවකින් පෙළෙන බව දුටු බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳ විමසීමේ දී තමන් ආහාර ගත් ගමන් ම බුදුන් වහන්සේ බැලීමට පැමිණි බවත්, ආහාර ගත් ගමන් ම නිසා අපහසු බවත් රජු ප්‍රකාශ කළේ ය.

එහිදී කොපමණ ආහාර ගන්නේ දැයි රජුගෙන් විමසූ බුදුන් වහන්සේට දැන ගන්නට ලැබුනේ හාල් නැලි දහසයක බත් රජු ආහාරයට ගන්නා බවයි. සාමාන්‍ය මිනිසකුට ඔරොත්තු නොදෙන මෙම ආහාර ප්‍රමාණය රෝගී වීමටත්, ඉතා ඉක්මනින් මරුවා කැන්දා ගැනීමටත් හේතු වන බව පෙන්වා දුන් බුදුන් වහන්සේ හැම කල්හි සිහි ඇතිව, භෝජනයෙහි පමණ දැන, ආහාර ගැනීමෙන් දුක් වේදනාවන් පහ වන බවත්, අනුභව කළ ආහාරය සෙමෙන් දිරවා, ආයුෂය රකින බවත්

මනුජස්ස සදා සතිමතෝ - මත්තං ජානතෝ ලද්ධ භොජනෙ
තනු තස්ස භවන්ති වේදනා - සනිකං ජිරති ආයු පාලනන්ති

යන ගාථාවෙන් පෙන්වා දුන්හ. එම උපදේශය පිළිබඳ අවධානය යොමු කළ රජු තමන් සමීපයෙහි සිටි සුදස්සන මානවකය අමතා එම ගාථාව ඉගෙන ගන්නා ලෙසත්, තමන් උදේ සවස ආහාර ගන්නා විට කියවන ලෙසත් පැවසී ය. ඒ අනුව ඔහු දිනපතා රජු ආහාර ගන්නා විට බුදුරජාණන් වහන්සේගේ උපදේශයට අනුව ප්‍රකාශ කළේ ය. එම උපදේශය නම් මේ ගාථාව නැට්ටුවකු මෙන් ගිය ගිය තැන නොකිය යුතු බවත්, රජතුමා ආහාර ගන්නා විට මුල් බත් පිඬුවලදී නොකිය යුතු බවත්, අවසන් බත් පිඩුව ගන්නා කල්හිම කිව යුතු බවත් ය. එසේ ගාථාව කී විට රජු එය නොකා එම බත් පිඩෙහි බත් ඇට ප්‍රමාණය ගණන් කොට පසු දින එම ප්‍රමාණයට සහල් ඉවත් කළ යුතු බවත් මෙලෙස දිනපතා බත් පිඩෙහි පමණට සහල් ඉවත් කරමින් සහල් නැලියක ප්‍රමාණය වැඩිම ආහාරය ලෙස අනුභව කරන තෙක් ක්‍රියා කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්හ. මෙලෙස ක්‍රියා කිරීමෙන් කල්ගත වන විට රජුගේ සිරුර සැහැල්ලු විය. පැවති ශාරීරික අපහසුතා පහ වුණි. දිනක් සිය සැහැල්ලු සිරුර පිරිමදිමින් රජු ප්‍රකාශ කළේ බුදුන් වහන්සේ තමන්ට මෙලොව අභිවෘද්ධියෙන් හා පරලොව අභිවෘද්ධියෙන් ද අනුකම්පා කළ බවයි.

මෙම කතාව ආශි‍්‍රත දේශනයෙන් මතු කර ගත හැකි කරුණු කිහිපයක් පවතී. ඉන් එකක් නම් ආහාරයෙහි පමණ නොදැන රසයට ගිජුව ආහාර ගැනීම ශාරීරික මෙන්ම මානසික යහපැවැත්මට ද හානිකර බවයි. ශාරීරික අපහසුතාවන්, වේදනාවන්, නිද්‍රාශීලිත්වය හා ඒ සමඟම පැන නඟින අපහසුතා මෙසේ කායික හා මානසික ව්‍යාකූලත්වයට හේතු වෙයි.

ආහාර පාලනය කළ යුතු බවට වෛද්‍ය උපදේශයක් ලද විගස බොහෝ දෙනා කරන්නේ කලක් පුරුදු වී සිටි ආහාර රටාව ඉතා සීඝ්‍රයෙන් බැහැර කරමින් ආහාර පාලනය කිරීමයි. එය ටික දිනක් කිරීමේ දී මානසික බලපෑම මත හෝ කායික හේතූන් මත ශාරීරික දුර්වලත්වයන් ඇතිවීමටත්, ආහාර පාලනය පිළිබඳ මානසික පසුබෑමක් ඇතිවීමටත් හැකි ය. එවන් අවස්ථාවක දී පියවරින් පියවර තමන්ගේ සිතටත් කයටත් නොදැනෙන අයුරින් ආහාර පාලනය කිරීම වඩාත් ප්‍රායෝගික බව සහල් නැලි දහසයක බත් කලක් මුළුල්ලේ ආහාරයට ගෙන පුරුදුව සිටි රජු සහල් නැලියක බත් ආහාරයට ගැනීමට පියවරෙන් පියවර තමන්ටත් නොදැනීම පුරුදු වීමෙන් පෙනේ.

ආහාර ගත යුත්තේ කවර අරමුණක් සාක්ෂාත් කර ගැනීමට ද යන්න භික්ෂූන් වහන්සේ දානය වැළඳීමේ දී සිදු කරන ප්‍රත්‍යවේක්ෂාවෙන් මැනවින් පැහැදිලි වේ. ජවය පිණිස, මදය පිණිස, සැරසීම පිණිස, අලංකාරය පිණිස නොව කයෙහි පැවැත්ම පිණිසත්, යැපීම පිණිසත්, බඹසර රැකීම පිණිසත්, පැරණි වේදනා දුරු කිරීමට හා නව වේදනා ඇති නොවීම පිණිස දානය වළඳන බව සිහියෙන් මෙනෙහි කරයි. එසේ දානය වැළඳීමේ දී රසයට ගිජු වීමකින් තොරව කුසගින්න නිවා ගැනීම ම පරමාර්ථ කොට ගෙන දානය වැළඳීමෙන් මනස සකස් වෙයි. මෙහි ඇති යම් යම් කරුණු ගිහියාගේ ස්වභාවය අනුව වෙනස් වුවත් ගිහි පැවිදි භේදයකින් තොරව කවුරුත් ආහාර ගන්නේ ශරීරයේ පැවැත්ම පිණිසත්, කුසගින්නෙන් ඇතිවන අලුත් හා පැරැණි අපහසුතාවන් මඟ හරවා ගැනීම පිණිසත් ය.

එබැවින් ආහාර පරිභෝජනයේ දී ශරීරයට හිතකර හා ප්‍රමාණය හැඳින ආහාර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

දියවැඩියා රෝගය තවත් බෝ නොවන රෝග ගණනාවකට මඟ පාදන රෝගයකි. මෙම දියවැඩියා රෝගයට හේතු වන සාධක අතර මූලික වන්නේ ආහාර පරිභෝජනයෙහි පවතින වැරදි සහගත තත්ත්වයයි. එමෙන්ම මෙම රෝගය පාලනය කර ගැනීමට හැකි වන්නේ හෝ නොහැකි වන්නේ ආහාර ගැනීමේ පිළිවෙළ අනුව ය.

එසේම වත්මන් ලෝකය මුහුණ දෙන තවත් ප්‍රබල රෝගී තත්ත්වයක් වන්නේ පිළිකාවයි. දිව පිනවීමේ නොතිත් ආශාවෙන් ගනු ලබන ක්ෂණික හා කෘත්‍රිම ආහාර නිසා අද පිළිකාව දැඩි ලෙස හිස ඔසවමින් සිටියි. ධනය ඉපයීම එකම පරමාර්ථය කර ගත් තරගකාරී ව්‍යාපාරික ලෝකය මානව වර්ගයාගේ යහ පැවැත්ම හෝ සෞඛ්‍ය පිළිබඳ අවධානයක් යොමු නොකොට නිෂ්පාදනය කරනු ලබන රස කාරක මිනිසාට මාරයාගේ සෙවනැලි සමීප කරවීමට සමත්ව සිටියි. ඇස දිව පිනවන, එහෙත් තම ජීවිතය බිලි ගැනීමට සමත් වන කෘත්‍රිම හා ක්ෂණික ආහාරයන්ගෙන් බැහැර වී සිටීමට තරම් ස්වයං ශික්ෂණයක් තමන්ට තිබිය යුතු ය.

ලෝකයේ එක පසෙකින් මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රජාවක් නිර්මාණය වෙද්දී තවත් පසකින් අධිපෝෂණය නිසා පීඩා විඳින ප්‍රජාවක් ද වාසය කරති. අධි පෝෂණයට ලක් වූවන් ඉක්මනින් මරුවා සමීපයට යෑමට මඟ පාදා ගනු ලබයි. තම පමණ ඉක්මවා රස තෘෂ්ණාවෙන් ආහාර ගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇත. මව්පියන්ගේ වටිනාම සම්පත දරුවන් වන අතර එම දරුවන්ට දිගු කලක් නිරෝගීව හා දීර්ඝායුෂ්කව විසීමට නිවැරැදි ආහාර රටාවන් හුරු කරවීම මවුපියන්ගේ වැදගත් යුතුකමකි.

ජීවිතයට මොන තරම් සම්පත් තිබුණත් නිරෝගී බව අහිමි නම් එය මහත් අවාසනාවකි. මිනිසකුට ඇති උතුම්ම ලාභය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ආරෝග්‍ය පරමා ලාභා යන්නයි. එනම් නිරෝගිබව උතුම්ම ලාභය බවයි. මෙම උතුම්ම ලාභය වන නිරෝගී බව ඇති කර ගැනීම පිණිස ආහාර පාන ගැනීමේ දී සැලකිලිමත් වී සැනසිලිමත් ජීවිතයකට මඟ පාදා ගැනීමට අදිටන් කර ගනිමු.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ධර්මය හදවතින් ම පිළිගන්න

 බළංගොඩ ශ්‍රී ධර්මානන්ද

පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි

මේඝිය හිමියෝ තම සිත් ගත් අඹ උයනට වැඩමකර භාවනාව සඳහා ගසක් මුල වැඩ සිටියහ. මෙහිදී මොන තරම් උත්සාහ කළ ද සිත එකඟ කර ගැනීමට නොහැකි විය. විවිධ අරමුණු කරා සිත දුවන්නට විය.

මෙම අඹ උයන සංසාර ගමනෙහි ආත්ම පන්සියයක් උද්‍යාන ක්‍රීඩාවේ යෙදුණු හොඳට හුරු පුරුදු තැනකි. රජ සැප විඳිමින් නලඟනන් පිරිවරා නටමින්, විනෝදවෙමින් සැප වින්දනය කළ ස්ථානයකි. මේඝිය හිමිට මේ අඹ උයන දකින විට සිත් ගන්නා සුලු ස්ථානයක් බවට පත්වීමට හේතු වූයේ ඒ අතීත ආත්ම ගණනක වින්දනය කළ හුරු පුරුද්දයි.

මේඝිය හිමිට මෙහිදී සිත එකඟ කර ගැනීමට නොහැකි වී සිත අලවන විවිධ අරමුණු කරා ඉඳුරන් යොමුවූයේ ඒ අතීත අත්දැකීම් සම්භාරය නැවැතත් මතුවීමෙනි. මොන තරම් උත්සාහ කළ ද සිත එක්තැන් කර ගැනීමට නොහැකි විය. කෙලෙස් වර්ධනය කරන විවිධ දර්ශන හා සිතිවිලි තම සිතට ගලාගෙන ඒම වළක්වා ගැනීමට මේඝිය හිමි අසමත් විය.

තොරතෝංචියක් නොමැතිව තම සිතට ගලා ආයේ කාම සිතිවිලිය, ව්‍යාපාද සිතිවිලි ය, විහිංසා සිතිවිලි ය. තම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි බව තේරුම් ගත් මේඝිය හිමියෝ බුදුරදුන් හමුවට ගොස් අඹ උයනෙහි දී තම සිත තුළ ඇතිවූ ඒ වික්ෂිප්ත භාවය පැහැදිලි කළහ. බුදුරදුහු මේ ගමනට කැමැත්තක් ප්‍රකාශ නොකළේත්, මේඝිය හිමිගේ බලවත් ඉල්ලීමට නිහඬව සිට ඔබේ කැමැත්තක් කරන්නැයි පිළිතුරු දුන්නේත්, මේඝිය තෙරුනට මෙබඳු මානසික මට්ටමක් උදාවන බව කල් ඇතිවම දුටු නිසා ය.

අරමුණෙන් අරමුණට පැන පැන යන මේ සිතේ ස්වභාවයත්, සිතේ ඇතිවන සැලෙන ස්වභාවයත්, එක අරමුණක රඳවා තබා ගැනීමට අපහසුවන චපල ස්වභාවයත්, විවිධ අරමුණු කරා දුවන සිත එක අරමුණක තබා ගැනීමේ දුෂ්කරතාවත් පෙන්නුම් කරමින් මේඝිය හිමියනට බුදුරදුහු පහත දැක්වෙන ගාථාව දේශනා කළහ.

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී
උසුකාරෝච තේජනං

කරුණාවෙන් හා මෛත්‍රියෙන් තෙත් වූ හදවතක් ඇති බුදුහාමුදුරුවන් ධර්ම දේශනා කළේ මිනිසුන්ගේ හදවතට ය. ඒ ධර්මය මිනිස්සු හදවතින් ම පිළිගත්හ. බුදුරදුන් ධර්මය දේශනා කරන විට අසා සිටි හැම දෙනාම කීවේ” මේ කරුණූ කියන්නේ මට ම ය, මේ කියන්නේ මා ගැන ම ය” කියා ය. හැම කෙනකුගේ ම මනස විනිවිද දැකීමේ හැකියාව බුදුරදුන්ට තිබිණි.

මිනිසා යනු සිතේත්, කයේත් එකතුවකි. සමාජය තුළ ජීවත්වන බොහෝ දෙනා තම ශාරීරික සෞඛ්‍යය ගැන, ශරීරයේ පවිත්‍රත්වය ගැන සිතති. එය අලංකාර කර ගැනීම සඳහා අවශ්‍ය දෑ කරති. නමුත් මානසික සෞඛ්‍යය ගැන, මානසික පවිත්‍රත්වය ගැන උනන්දුවන අය ඉතා අඩු ය.

සිත යනු පුදුමාකාර බලවේගයකි. මුළු බුදුදහම පදනම් වී ඇත්තේ සිත මත ය. බුදුදහමේ මූලික අරමුණ හිත හදා ගැනීමයි. සංයත සංවර සිත සැප ගෙන දෙයි. අසංවර අසංයත සිත දුක ගෙන දෙයි.

බුදුදහමෙහි දක්වා ඇති ආකාරයට ‘සිත’ පිළිබඳ නිවැරැදි දැක්මක් වෙතත් කිසිදු ආගමක හෝ දර්ශනයක දක්නට නැත. බෞද්ධයින් වන අපගේ මූලික ම අවධානය යොමු විය. යුත්තේ මුළු ජීවිතය ම මෙහෙයවන මේ සිත ඵලදායි අයුරින් සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

අපිරිසුදු සිත යනු කුමක්ද? එය පාපකාරී සිතිවිලිවලින් හා කෙලෙස් සිතිවිලිවලින් යුක්ත එකකි. අසීමිත ආශාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හා භීතිය මේ පාපකාරි සිතිවිලිවලට අයත් ය. අසීමිත ආශාව මොන ක්‍රමයකින්වත් තෘප්තිමත් කළ නොහැකි ය. එක ආශාවක් තෘප්තිමත් වූ විට තවත් ආශාවක් පැන නඟියි. සිතේ ස්වභාවයත්, ක්‍රියාකාරිත්වයත් හඳුනා ගැනීම මෙහිදී ඉතා වැදගත්වනු ඇත.

අපි ඇසින් රූප දකිමු. කනින් ශබ්ද අසමු. නාසයෙන් ගඳ සුවඳ විඳිමු. දිවෙන් රස බලමු. කයෙන් ස්පර්ශය ලබමු. මේ සියල්ලම සම්බන්ධ වන්නේ සිතටයි.

ප්‍රභාෂ්වර සිත ප්‍රසන්න සිත බාහිරින් එන කෙලෙස් දූවිලිවලින් කිලිටි වන අයුරු ධර්මයෙහි පෙන්නුම් කර ඇත. පිරිසුදු වතුර වීදුරුවකට දූවිලි ටිකක්, මඩ ටිකක් එකතු වූ විට එය මඩ වතුරක් බවට පත්වෙයි. අපේ සිතත් ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි. කෙලෙස්වලින් තොර සිත පිරිසුදු ය. සිත අපිරිසුදු කරන කිලිටි කරන දූවිලි වර්ග පහක් බුදු දහමෙහි පෙන්වා දී ඇත. ඒවා පංචනීවරණ ලෙස අපි හඳුන්වමු.

කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චය හා චිකිච්ඡාවයි.

මේ පංචනීවරණ සිතේ ඇති ප්‍රභාෂ්වර ගතිය නැති කරයි.

කාමච්ඡන්දය යනු කම් සැපයට ඇති කැමැත්තයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලින් අප ව පිනවීම මෙයින් අදහස් කරයි.

විවිධ පාට වර්ග මිශ්‍ර වතුර බේසමක් තුළින් ඔබගේ මුහුණෙහි නියම ස්වරූපය දැක ගත නොහැකි ය. හේතුව පිරිසුදු ජලයට විවිධ පාට මිශ්‍රවී තිබීමයි.

මේ අයුරින්ම කාමච්ඡන්දයෙන් යුක්ත සිතට කිසිම දෙයක සැබෑ ස්වරූපය හඳුනාගත නොහැකි ය. කුසල් – අකුසල් , පින් – පව් කළ යුත්ත නොකළ යුත්ත අවබෝධ නොවනු ඇත. මේ අනුව කාමච්ඡන්දය මිනිසා අතරමං කරයි. විනාශකාරි මං පෙතකට මිනිසා ඇද දමයි. මාරයාගේ ග්‍රහණයට ඔහු අසුවනු ඇත.

ව්‍යාපාදය – යනු වෛරී සහගත සිතිවිලි ය. කිසියම් පුද්ගලයකු ගැන හෝ කිසියම් වස්තුවක් ගැන හෝ කිසියම් ක්‍රියාවක් ගැන ඇතිවන අපි‍්‍රය ස්වභාවය, විරුද්ධ ස්වභාවය, ව්‍යාපාදයේ මූලික ලක්ෂණයයි.

පෙර සිතිවිලිවලින් වන්නේ අප වඩාත් අයහපත්, අසහනකාරි මට්ටමට පත්වීමයි. තමාටත් , ගෙදරටත්, ගමටත්, රටටත් මෙයින් සිදුවන්නේ, වේදනාත්මක ප්‍රතිඵලයන් ය. නටන වතුර ඇති භාජනයක් තුළින් මුහුණෙහි නියම තත්ත්වය දැකීම දුෂ්කරයි. මේ අයුරින් ම වෛරී ද්වේෂ සහගත සිතින් බලන්නාට කිසිම දෙයක හරි වැරැදි නොපෙනේ.

ථීන යනු සිතේ ඇති අලස බවයි. මිද්ධ යනු සිතිවිලිවල ඇති රෝගී ගිලන් ස්වභාවයයි. එනම් අකර්මණ්‍ය බවයි. මෙම නීවරණය ඇති තැනැත්තා කම්මැලි ය, අලස ය, උදාසීන ය, උදේ කළ යුත්ත හවසට කල්දමයි. කිසියම් පොකුණක හෝ ජල බඳුනක පෙඳ පාසි ඇත්නම්, එයින් අප මුහුණ බැලුව ද නියම ස්වරූපය දැක ගත නොහැකි ය. ඒ අයුරින්ම ථීන මිද්ධ නීවරණය ඇති තැනැත්තාට ජීවිතයේ නියම ස්වභාවය වටහා ගැනීමට නොහැකි වනු ඇත. ගිහි ජීවිතයක් ගත්තත් පැවිදි ජීවිතයක් ගත්තත්, මේ නීවරණයෙන් යුක්ත නම් ඔහුගේ අරමුණ සිහිනයක් පමණි. දියුණුවක් නැත. විමුක්තියක් නැත.

උද්ධච්ච කුක්කුච්ච, උද්ධච්ච යනු සිතේ පවතින නොසන්සුන් බව යි. කුක්කුච්ච යනු පසුතැවීමයි. එනම් කළ වරද ගැන, නොකළ යහපත් දේ ගැන පසුතැවීමයි. මේ දෙකම සිත නොසන්සුන් කරයි. රැලි නැඟෙන සෙලවෙන වතුර බේසමකින් මුහුණ බැලීමට සමාන ය.

හරි වැරැද්ද – කළ යුත්ත නොකළ යුත්ත තේරුම් ගත නොහැකි ය. කරන කියන සියලු දේ බිඳ වැටේ. මොහුගේ ජීවන ගමන අවුලකි. සිත එක්තැන් කිරීම දුෂ්කරයි.

විචිකිච්ඡාව යනු සැකයයි. කිසියම් කරුණක් පිළිබඳ නිවැරැදි අවබෝධය අඩුකමයි. විමුක්තියට , නිවනට බාධාවන ඵලක අටකි.

බුදුරදුන් පිළිබඳ, ධර්මය පිළිබඳ, සංඝයා පිළිබඳ, ත්‍රිශික්ෂාවන් පිළිබඳ, පෙරභවය පිළිබඳ, පසුභවය පිළිබඳ, පෙර පසුභවයන් පිළිබඳ, පටිච්චසමුප්පාදය පිළිබඳ යනුවෙන් මේ සැක කරන ස්ථාන අට දක්වා ඇත.

මෙය බොරවූ මඩ සහිත ජල බඳුනකින් මුහුණ බැලීමට සමාන ය. සත්‍ය දැක ගත නොහැකි ය. විචිකිච්ඡාව තියෙන තාක්කල් ඔහුට නිවන වැසී ඇත.

මේ නීවරණ තුළින් සිතේ මතකය අඩු කරයි. සතිය නැති කරයි. සිත අපවිත්‍ර කරයි. අප කළ යුත්තේ පංච නීවරණවලින් සිත රැක ගැනීමයි. එවිට අප තුළ ඇති වන්නේ නිදහස් සිතක්. නිදහස් සිත සංසාර චක්‍රයට ගමන් නොකරයි. පුනර්භවයක් ලබා නොදෙයි. සියල්ලෙන් නිදහස් වූ සිත අපට උතුම්ම සුවය ලබාදෙනු ඇත.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බලවත් අකුසල කර්ම විපාකයක් දුබල කරන්නට පුළුවන්ද?

 කර්ම යනු ක්‍රියාවයි. කර්ම යනු පව් පින් දෙකටම සාධාරණ නමකි. ‘කුක්කුරවත’ නමින් මජ්ක්‍ධිම නිකායේ එන එක් සූත්‍රයක් ඇත. එහි පුණ්ණ හා සේනිය නම් වූ මිතුරන් දෙදෙනෙක් වෙති. දිගු කාලයක සිට ඔවුහු ගෝව්‍රත හා සුනඛ ව්‍රත රකින නිගණ්ඨනාථ ශ්‍රාවක දෙපළකි. දිනක් මේ මිතුරන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියහ.


උන්වහන්සේට තමන් හඳුන්වා දී, ඔවුන්ගේ මතු භවය කෙසේ වන්නේ දැයි විමසූහ. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් එය කියන ලෙස ඔවුහු නැවත නැවත ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනාකොට වදාළහ.

“පුණ්ණ, යම් පුද්ගලයෙක් මෙලොව සුනඛවත්, සුනඛසිල්, සුනඛසිත්, සුනඛ වෙස් අඩු නොකොට, නිරතුරුව වඩන්නේ ද? හේ මරණින් මතු සුනඛයන්ගේ ම සහාවයට පැමිණෙයි. යම් කෙනෙක් මෙම ව්‍රත ශීලයක්, ව්‍රතයක්, තපසක් බඹසරක් වශයෙන් ඉතා දිගු කලක් රැක ගත් හෙයින් තමන්ගේ මරණින් මතු දෙවියන් හෝ බ්‍රාහ්මණයන් හෝ අතර සහවාසයට යන්නේ යැයි සිතයි නම් පුණ්ණ එය මිථ්‍යා දෘෂ්ඨියකි.

පුණ්ණ මම මිථ්‍යාදෘෂ්ඨිකයාහට මරණින් මතු ගති දෙකක් කියමි. එනම්, නරකය හෝ තිරිසන් යෝනියයි. මේ දෙගතින් අතුරෙන් එක්තරා ගතියක් හිමි වේ.

මෙසේ වැරැදි දෘෂ්ඨී ගෙන රකින සුනඛවත ඇත්තේ සුනඛයන්ගේ ස්වභාවයටම යයි. ගවයකු මෙන් හැසිරීමේ වත (ගෝව්‍රත) ගත්තෝ ද එසේ ම ය. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ කල දෙදෙනාම හැඬූහ.

මේ ගෝව්‍රතය, කුක්කුරව්‍රතය අපි බොහෝ කල් සිට රකිමු. මම (පුණ්ණ) භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. මමත්, සේනියත් මේ ව්‍රත හැර දමන්නෙමු. අපට ගැළපෙන දහමක් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ සමත්හයි කීහ. ඒ අවස්ථාව මුල් කොට මේ කර්ම දේශනාව තථාගතයන් වහන්සේ මේ අයුරින් දේශනා කොට වදාළහ.

පුණ්ණ, මා විසින් මගේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ ලෙස දැනගෙන ඇති සතර කර්ම කෙනෙක් වෙති.

එනම්, අකුසල් වූ අකුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව යම් පුද්ගලයෙක් දුක් සහිත වූ කයෙන් කෙරෙන අකුසල් රැස් කරයි ද? දුක් සහිත වූ වචනයෙන් කෙරෙන අකුසල් රැස් කරයි ද? දුක් සහිත වූ සිතෙන් කරන අකුසල් රැස් කරයි ද? ඔහු දුක් සහිත ලෝකයට එළඹෙයි. එහි ඇත්තා වූ දුක් සහිත ස්පර්ශ ලබමින් දුක් වේදනා විඳියි. අකුසල් කරන්නෝ නිරයේ ම උපදිති. මේ නිසා සත්වයා කර්මය දායාද කොට ඇතැයි කියමි.

කුසල් වූ, කුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව යම් පුද්ගලයෙක් නිදුක් වූ කාය සංස්කාර රැස් කරයි. නිදුක් වූ වචී සංස්කාර රැස් කරයි. නිදුක් වූ මනක්සංස්කාර රැස්කරයි. එහෙයින් ම ඔහු නිදුක් ලොවට එළඹෙයි. මෙසේ හෙයින් සත්ත්වයා කර්ම දායාද කොට ඇතැයි කියමි.

කුසල් අකුසල් වූ කුසල් අකුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව කෙනෙක් දුක් සහිත වූ අකුසල් ද, සැප සහිත වූ කුසල් ද මිශ්‍රව කයින් ද, වචනයෙන් ද, මනසින් ද සිදු කරයි. ඔහු දුක් සහිතවූත්, සැප සහිත වූත් මිශ්‍ර විපාක දෙන ලෝකයට එළඹෙයි. එහි වූ ඒ ඒ ස්පර්ශයෝ සහිත වේදනා විඳී. ඒ මිනිසුන් සෙයින් ය. එසේම ඇතැම් දෙවියන් සෙයින් ය. ඇතැම් විනිපාතිකයින් සෙයින් ය. සමහර මිනිසුන් එකම ජීවිතය තුළ, දුක් විඳී. සැප ද ලබයි. දෙවියන් අතර පිනෙන් උපත ලද මූත් භූමාටු දෙවියන් සේ දුක් ද විඳී. විනිපාතකයන් අතර පේතවස්තු කතාවල දක්නට ලැබෙන ලෙස ප්‍රේත ලොව උපත ලද මුත් කලින් කළ පුණ්‍ය විපාක ලෙස විමාන ප්‍රේතයන් ව සැප ද ලබයි. කරන ලද පව් අනුව තිරිසන් ලොව උපත ලැබුව ද මංගල හස්තියකු සේ, මංගල අසකු සේ, අජානීය ගවයකු සේ සැප ද ලබයි.

අකුසල් ද නොවූ, කුසල් ද නොවූ අකුසල් කුසල් නොවූ විපාක ද ඇති කර්මය ක්ෂය කිරීම පිණිස පවතින කර්මයක් ඇත. පළමු කී ත්‍රිවිධ කර්ම දුරු කිරීම පිණිස යම් චේතනාවක් වේ ද, ඒ කර්මය කර්මක්ෂය පිණිස පවතියි.

යම් කෙනෙක් රහත් ඵලය පිණිස දස සංයෝජන නසන්නේ ක්‍රියා සිත් පමණක් ඇත්තේ ද, ඔහු කර්මක්ෂය පුද්ගලයා වන්නේ ය. පළමු කී ත්‍රිවිධ කර්ම දුරු කිරීම පිණිස යම් චේතනාවක් වේ ද ඒ කර්මය, කර්මක්ෂය පිණිස පවතියි යැයි වදාළ සේක.

මෙසේ වූ සතර කර්මයෝ දායාද කොට ප්‍රතිසන්ධි ස්ථානය වන්නේ විපාක වශයෙනි. මෙහිදී විපාක දෙන්නේ කර්මයයි. මෙසේ ප්‍රතිසන්ධිය ලබා දෙන කර්ම පිළිබඳ විනිශ්චය මෙසේ ය. කර්ම කෘත්‍ය වශයෙන් සතර වැදෑරුම් ය.

ජනක කර්මය

අනාගත ප්‍රතිසන්ධිය ගෙන දීමට ප්‍රබල වූ, බලවත් වූ කර්මය මෙ නම් වේ. දුර්වල කර්ම වේ නම්, බලවත් ජනක කර්මයකින් ලැබූ ප්‍රතිසන්ධිය තුළ වරින්වර විපාක වශයෙන් සැප දුක් ලබා දෙයි. මෙය චුති චිත්තය හා බැඳේ. කර්මය, කර්ම නිමිත්ත හා ගති නිමිත්ත වශයෙනි.

උපස්ථම්භක කර්මය

උපන් සත්වයාට පව් පින් වශයෙන් විඳීමට හේතුවන කර්ම මෙ නම් වේ. ජීවිත කාලය පුරා පමණක් නොව අකුසල වශයෙන් ගත්විට තව තවත් දුක් විඳීම සඳහා ජීවත් කරවීම ද, නැවත නැවත යහපත (කුසල්) කරවීමට ජිවත් කරවීම ද මෙසේ වේ. එසේ වන්නේ තමා කරන යහපත් ක්‍රියාවෙන් ඇතිවන සතුට හා පී‍්‍රතිය මත ය. කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරය මෙ නම් වේ. ලැබූ ජීවිතය තුළ විශේෂ සැප හෝ දුක් විශේෂ කොට ලැබෙන්නේ මෙයින් ය.

උප පීඩක කර්මය

ඉපදුණ සත්වයාට බලවත් පීඩා කරන්නේ මෙ නම් කර්මයයි. උපත ධනවත් පවුලක වුවත් අංගවිකල බව, හදිසියේ මතුවන බලවත් රෝග, තනතුරු පහකිරීම, ධන හානිය, ගින්නෙන්, ගං වතුරෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන් වන හානි මෙසේ ය. ඒ තාක් අකුසල විපාක විඳින්නේ බලවත් සේ කුසල් කරන්නේ නම් ඒ කුසල් බලයෙන් බලවත් අකුසලය දුබල වේ. උදා - ලෙඩරෝග සඳහා බෝධි පූජා, දන්දීම්, ධර්මයට නැඹුරුවීම් ආදිය සැලකිය හැකි ය.

උපඝාතක කර්මය

උපච්ඡේදක කර්මය ද මෙය ම ය. චුති චිත්තයට මතුව ආ ජනක කර්මයකින් ප්‍රතිසන්ධි වශයෙන් යම් උප්පත්තියක් ලැබූවත්, ඒ ජනක කර්ම ශක්තිය බිඳලන කර්මය මෙ නම් වේ. උපන් ආත්මයක ආයුෂ විඳීමට අවකාශ නොදී උපඝාතක කර්මයෙන් ඔහු එයින් චුත කරන්නේ ය. අකාල මරණ යැයි අපි කියන්නේ මෙවැනි අවස්ථාවකයි.

බුදු දහමේ එන කල්පය පිළිබඳ සංකල්පය

කාලය දැක්වීමේ දී වර්තමානයේ දී තත්පර, මිනිත්තු, පැය, දින, සති, පක්‍ෂ, මාස, අවුරුදු, දසක, විංශති, ෂස්ටි, ශත වර්‍ෂ, සහස්‍ර වර්‍ෂ, … ආදී ඒකක භාවිතා කරයි. සහස්‍ර වර්‍ෂයක් යනු අවුරුදු 1000 ක කාල පරාසයක් වේ. ඊටත් වඩා වැඩී විශාල කාලයන් මැනීම සඳහා වර්‍ෂ ආදිය භාවිතා කිරීම දුෂ්කර වේ. එබැවින් ඉතා දීර්ඝ කාල පරාස දැක්වීමට යුග, කල්ප ආදිය භාවිතා කරයි.


ඉතාමත් ම දීර්ඝ කාල මැනීමේ දී කල්පය ඉතා වැදගත් වේ. කල්ප වනාහි සතර වැදෑරුම්‌ වේ.
මහාකල්පය
අසංඛ්‍යකල්පය
අන්තර්කල්පය
ආයුකල්පය
.
▬▬▬▬ 1. මහාකල්පය: ▬▬▬▬
.
මහාකල්පය ඉතා දීර්ඝ කාලයකි. එය සිතා ගැනීමටත් දුෂ්කර ය. ලොව නිර්‍මාණය වීම හා නැවත විනාශ වීම චක්‍රයක් ලෙස සිදු වේ. මෙසේ ලෝකය විනාශ වී නැවත ඇතිවී විනාශ වීමට ගත වන කාලය මහා කල්පයක් ලෙස හැඳින්වේ. එබැවින් තථාගතයන් වහන්සේ මහාකල්පය විවිධ උපමාවලින් දක්වා ඇත. දිනක් එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේ ය. එක් පැත්තක හුන්නා වූ ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියේ ය.
.
භික්‍ෂුව : ස්වාමීනි, කල්පය වනාහි කෙතරම් දීර්ඝ වේ ද?.
බුදුහු : “මහණෙනි, කල්පය වනාහි දීර්‍ඝ ය. එය මෙතෙක්‌ අවුරුදු කියා හෝ මෙතෙක්‌ අවුරුදු සියයක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු දහසක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු ලක්‍ෂයක් ය කියා හෝ ගණන්‌ කිරීමට පහසු නොවේ.”
භික්‍ෂුව : “ස්වාමීනි, උපමාවක්‌ දේශනා කිරීමට හැකි ද?
බුදුහු : “මහණ, හැකියි.”, “මහණ යම්සේ වනාහි දිගින්‌ යොදුනක්‌ ඇති පළලින්‌ යොදුනක්‌ ඇති පලුදු රහිත වූ සිදුරු රහිත වූ ඒක ඝන වූ මහා ගල්‌ පර්‍වතයක්‌ වේද ඒ ගල්‌ පර්‍වතය පුරුෂයෙක්‌ අවුරුදු සීයකට වරක්‌ කසී සළුවකින්‌ පිරිමදින්නේ වේ ද මහණ මේ ආකාරයෙන්‌ ඒ මහා ගල්‌ පර්‍වතය ගෙවීමට කෙළවර වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ය.
(සංයුත්ත නිකායො\අනමතග්ගසංයුත්තං\1.තිණකට්ඨවග්ගො\5.පබ්බතසුත්තං)
.
භික්‍ෂූන් වහන්සේ නමක් විසින් තවත් අවස්ථාවක දී කල්පය පිළිබඳ කරන ලද විමසීමක දී දෙන ලද පිළිතුර මෙසේ ය.
භික්‍ෂුව : ස්වාමීනි කල්පය වනාහි කෙතරම් දීර්‍ඝ වේ ද?.
බුදුහු : “මහණෙනි, කල්පය වනාහි දීර්‍ඝ ය. එය මෙතෙක්‌ අවුරුදු කියා හෝ මෙතෙක්‌ අවුරුදු සියයක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු දහසක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු ලක්‍ෂයක් ය හෝ කියා හෝ ගණන්‌ කිරීමට පහසු නොවේ.”
භික්‍ෂුව : “ස්වාමීනි, උපමාවක්‌ දේශනා කිරීමට හැකි ද?
බුදුහු : “මහණ, හැකිය.” මහණ යම්සේ වනාහි දිගින් යොදුනක් ඇත්තා වූ පළලින් යොදුනක් ඇත්තා වූ උසින් යොදුනක් ඇත්තා වූ අබ පිර වූ මුදුන් කරන ලද්දා වූ යකඩයෙන් කරන ලද ප්‍රාකාරයෙන් යුක්ත වූ නගරයක් වේ ද ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සීයකට වරක් එක් එක් අබ ඇටය පිටතට දමන්නේ වේ ද මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවර වීමට අවසාන වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ම ය.
(සංයුත්ත නිකායො\අනමතග්ගසංයුත්තං\1.තිණකට්ඨවග්ගො\6.සාසපසුත්තං)
.
මේ අනුව සලකා බැලීමේ දී මහාකල්පය යනු ඉතා දීර්‍ඝ කාලයක් වේ.
.
▬▬▬▬ 2. අසංඛ්‍යකල්පය: ▬▬▬▬
.
මහා කල්පය සමාන කොටස් සතරකට බෙදූ විට එක් කොටසක් 'අසංඛ්‍යකල්පයක්' ලෙස හැඳින්වේ. මෙලොව සෑම දින ම මෙසේ නො පවතින්නාහ. මන්ද යත් අනිත්‍යය හෙයිනි. යම් කලක දී මේ ලෝකය වැනසෙන්නේ ය. එහිදී සතර අපායත්, මනුෂ්‍ය ලෝකයත්, දිව්‍ය ලෝක සයත්, ප්‍රථම ධ්‍යාන තලයේ බ්‍රහ්ම ලෝකත් නැසෙන්නේ ය. ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් මෙසේ ලෝක ධාතුව නැසෙන්නේ ය. ගින්නෙන් වැනසෙන විට එය තේජෝ සංවට්ටය ලෙසත්, ජලයෙන් වැනසෙන විට ආපෝ සංවට්ටය ලෙසත්, සුළඟින් වැනසෙන විට වායෝ සංවට්ටය ලෙසත් හැඳින්වේ. මෙම ක්‍රම තුනෙන් එක් ක්‍රමයකින් ලෝකය විනාශ වීමට ගත වන කාලය අසංඛ්‍යකල්පයකි.
මෙසේ ලෝකය විනාශ වෙමින් පවතිනා කාලය සංවට්ට අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
මෙසේ විනාශ වූ ලොව හිස් අවකාශයක් ලෙස තවත් අසංඛ්‍යකල්පයක් ම පවතී. මෙය සංවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
මෙසේ විනාශ වූ ලොව නැවත ගොඩනැගේ. එසේ නැවත ලොව ගොඩනැගීමට ද තවත් අසංඛ්‍යකල්පයක් ම ගත වේ. මෙසේ ලොව ගොඩනැගෙමින් පවතිනා කාලය විවට්ට අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
එලෙස සම්පූර්‍ණ ලෙස ගොඩනැගුණු ලොව තවත් අසංඛ්‍යකල්පයක් ම පවතී. මෙම කාලය තුල දී සත්වයා විද්‍යාමාන වේ. මෙසේ ලොව පවතිනා කාලය විවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ. එබැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
"මහණෙනි, කල්පයාගේ මේ අසංඛ්‍ය සතරක් වෙත්. කවර සතරක් ද යත්. මහණෙනි, යම් කාලයක දී කල්පය නැසෙන්නේ වේද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය නැසී සිටී ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය ඇති වේ ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය ඇතිවී පවතී ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, මේ සතර, කල්පයාගේ අසංඛ්‍යයයෝ ය.”
(අ.නි.\4.චතුක්කනිපාත\4.චතුත්ථපණ්ණාසකං\1.ඉන්ද්‍රියවග්ගො\6.අසංඛ්‍යෙසුත්තං)
.
මේ අනුව අසංඛ්‍ය කල්ප 4ක් ඇත. එනම්;
සංවට්ට අසංඛ්‍යකල්පය (ලොව විනාශ වෙමින් පවතිනා කාලය.)
සංවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය (ලොව විනාශ වී පවතිනා කාලය.)
විවට්ට අසංඛ්‍යකල්පය (ලොව නැවත ඇතිවෙමින් පවතිනා කාලය.)
විවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය (ලොව ඇතිවී පවතිනා කාලය.)
මෙම අසංඛ්‍යකල්ප සතර ම එක් වූ විට මහාකල්පය ලෙස හැඳින්වේ.
.
▬▬▬▬ 3. අන්තර කල්පය (අතුරු කප): ▬▬▬▬
.
අසංඛ්‍යකල්පයක් සමාන කොටස් 64කට (ඇතමෙක් 20කට යැයි ද කියනු ලැබේ) බෙදූ විට එක් කොටසක් අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. සංවට්ට කල්පයට නො පැමිණ (ලෝකය විනාශ නො වී), අතරතුර ලෝක විනාශය හෙවත් සත්ව විනාශ වීම් සිදු වේ. මෙසේ එක් සත්ව විනාශයක සිට ඊළඟ සත්ව විනාශයට ගත වන කාලය අන්තර කල්පයක් ලෙස හැඳින්වේ.
කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ගේ පරමායුෂ දස වර්‍ෂයට අඩු වන්නේ ය. එහි දී සත්වයන්ගේ විනාශයක් වන්නේ ය. එහිදී සත්ව විනාශ ආකාර තුනකින් සිදු වේ. එහි ලෝභය උත්සන්න වූ ප්‍රජාව දුර්භීක්ෂයෙන් විනාශවේ. එය දුර්භික්ෂ අන්තර කල්පය වේ. මෝහය උත්සන්න වූ ප්‍රජාව රෝග හේතුවෙන් විනාශවේ. එය රෝග අන්තර කල්පය වේ. ද්වේශය උත්සන්න වූ ප්‍රජාව ආයුධ හේතුවෙන් විනාශවේ. එය ශස්ත්‍ර (ආයුධ) අන්තර කල්පය වේ. එහි දුර්භික්ෂ අන්තර කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ප්‍රේත විෂයයෙහි උපදිති. ආහාර ආශාව බලවත් බැවිනි. රෝග අන්තර් කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ස්වර්ගයෙහි උපදිති. කුමක් හෙයින් ද? ඔවුන්ට වනාහි අනේ අනිත් සත්වයන්ට මෙබඳු රෝගයක් නො වේවායි මෙත් සිත උපදී. ආයුධ අන්තර කල්පයේ නැසුණෝ බොහෝ සෙයින් නිරයේ උපදිත් කුමක් නිසා ද? ඔවුනොවුන් බලවත් ඝාතනයෙන් යුක්ත නිසා.
(දීඝනිකායට්ඨකථා\චක්කවත්තිසුත්තවණ්ණනා)
අකුසලය උත්සන්න වීම නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩුවේ. නැවත කුසල් දහම් සමාදානය නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය දක්වා වැඩෙන්නේ ය. නමුත් මාන ආදී අකුසල් දහම් නැවත බෝවීම නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය සිට පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩු වන්නේ ය. මෙසේ මිනිසුන්ගේ ආයුෂ දස වර්‍ෂයේ සිට අසංඛ්‍යය දක්වා වැඩි වී නැවත දස වර්‍ෂය දක්වා පිරිහීමට ගත වන කාලය අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. (සංවට්ට විවට්ට ආදී) එක් අසංඛ්‍යය කල්පයකට අන්තර කල්ප 64ක් ඇත. ඇතමෙක් 20ක් යැයි ද කියනු ලැබේ. මේ අනුව;
අන්තර කල්ප 64 = අසංඛ්‍ය කල්ප 01
අසංඛ්‍ය කල්ප 04 = මහා කල්ප 01
.
මෙම අන්තර කල්ප තුල වුව ද මනුෂ්‍යයන්ගේ ආයුෂ වැඩෙන කාල වල දී බුදුවරු පහළ නො වෙති. ආයු පිරිහෙන කාලයෙහි උපදිති. එහි ද මනුෂ්‍යයන්ගේ ආයුෂ වර්‍ෂ ලක්ෂයකින් වැඩි වූ විට බුදුවරු පහල වන කාලය නම් නො වෙයි. කුමක් නිසා ද යත්? එකල සත්වයන්ගේ ජාති ජරා මරණ ප්‍රකට නො වෙයි. බුදුවරුන්ගේ ධර්‍මදේශනා තිලකුණෙන් මිදුණේ නම් නො වෙයි. අනිච්චං දුක්ඛං අනත්තං යැයි කියන ඔවුන්ට මේ කුමක් නම් කියන්නේ දැයි ඇසිය යුත්තක් කොට ඇදහිය යුත්තක් කොට නො හඟිති. එසේ ඇති කල සසුන අනෛර්‍යාණික වෙයි. එබැවින් එය අකාලයයි. වසර සියයෙන් අඩු ආයු කාලය ද බුදුවරු පහල වන කාලය නො වෙයි. කුමක් නිසා ද යත්? එකල සත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙයි. උත්සන්න කෙලෙස් ඇත්ත වුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නො සිටී. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එය ද අකාලයයි. වර්‍ෂ සියයත් ලක්‍ෂයත් අතර ආයු කාලය තුළ පමණක් බුදුවරු පහල වේ. එසේ ම මනුෂ්‍ය ආයුෂ වර්‍ෂ සියයත් ලක්ෂයත් අතර කාලවල දී පමණක් බුදු පසේබුදු අග්‍රශ්‍රාවකයෝ පහළ වෙති.
.
▬▬▬▬ 4. ආයුකල්පය: ▬▬▬▬
.
ඒ ඒ කාලවල මිනිසුන්ගේ යම් ආයු ප්‍රමාණයක් වේද, එය ආයුකල්පය යි. කලක දී අකුසලය උත්සන්න වීම නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩුවේ. නැවත කුසල් දහම් සමාදානය නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය දක්වා වැඩෙන්නේ ය. මෙකල මිනිසුන්ගේ පරමායුෂ වර්‍ෂ 100ක් යැයි සැලකුව හොත් ආයුකල්පය වර්‍ෂ 100ක් වේ.
මේ නයින් මහාකල්පය, අසංඛ්‍යකල්පය, අන්තර කල්පය හා ආයුකල්පය දතයුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤