ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

උඩුගං බලා යනවාද? යටිගං බලා යනවාද?

මහාචාර්ය

දේවාලේගම මේධානන්ද හිමි

සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු සත්සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ තුළ තමන් වහන්සේ විසින් ඉමහත් කැපවීමෙන් හා අසීරුවෙන් දැන, දැක පසක් කරන ලද ධර්මය ලෝ වැස්සනට දේශනා කිරීමෙන් පලක් වේ දැයි විමතියක් උපන් බව සඳහන් වෙයි. රාග වශයෙන් ඇලුණු සිත් ඇතිව, මෝහ වශයෙන් මුලාව අවිද්‍යා අන්ධකාරයේ ගිලී සිටින ලෝකයාටම මේ දහම දැකගත නොහැකි වනු ඇතැයි උන්වහන්සේ සිතූහ. එතැනම පෙන්වාදී ඇති පරිදි බුදුදහම පටිසෝතගාමීය. එනම් උඩුගං බලා යන්නේ ය. ලෝක සත්ත්වයා අනුසෝතගාමී ය. යටිගං බලා ම යන්නේ ය. වෙනත් වචනවලින් කිවහොත් බුදුදහම රාගයෙන් විරාගයට මග කියයි. කාමයෙන් නිෂ්කාමයට මග කියයි.
තණ්හාවෙන් වීත තණ්හාවට මග කියයි. ආදාන නම් වූ අල්ලා ගැනීමෙන් මිදී දාන නම් වූ අත්හැරීමට මග කියයි. ලෝභයෙන් අලෝභයට, ද්වේශයෙන් අද්වේශයට, මෝහයෙන් අමෝහයට යාමට උපදෙස් දෙයි. මෙසේ බුදුරජාණන් වහන්සේගේ දහම පටිසෝතගාමීය. ප්‍රතිවිරුද්ධ දිසාවට අප යොමු කරන්නේ ය. චර්යාමය වශයෙන් චින්තනමය වශයෙන් මෙන්ම බුද්ධිමය වශයෙන්ද ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාව ම එනම් බුදුරදුන් වදාළ මුළුමහත් විමුක්ති මාර්ගයම පටිසෝතගාමීය. උඩුගං බලා දිවෙන්නේ ය. සැබෑ සැනසුම උදාකර ගත හැක්කේ එසේ උඩුගං බලා යාමෙනැයි බුදුදහම නැවත නැවතත් උගන්වයි. එය ම ප්‍රඥාගෝචර ය. අර්ථ සම්පන්නය. ලෝකවාසීහු අනුසෝතගාමී වෙති. එනම් යටිගං බලා ම යති. ඔවුහු රාගයෙන් රාගයට ම යති. ආදානයෙන් ආදානයට ම, ලෝභයෙන් ලෝභයට ම, ද්වේශයෙන් ද්වේශයට ම, මෝහයෙන් මෝහයට ම යති. මෙසේ අනුසෝතගාමී වන, යටිගං බලා ම යන රාගයෙන් රත් වූ, අවිද්‍යාවෙන් මුලා වූ ලෝක සත්ත්වයාට දහම් දෙසීමෙන් පලක් විය හැකිදැයි බුදුරදුන්ට විමතියක් උපන්නේ ය.
පසුව තවදුරටත් ලෝකය නමැති මඩ දිය පිරුණු මේ පොකුණෙහි වුව ද විවිධ මට්ටම්වල සත්වයන් වසන බව බුදුරදුන්ට පෙනී ගියේ ය. ඔවුහු පියුම් හා සම වන්නෝ ය. සමහර පියුම් මඩ දියෙහි ම ඉපිද එයින් ම යැපෙමින් එහි ම වැතිර සිටියි. එසේ අවිද්‍යා තෘෂ්ණාදියෙහි ම ගැලී වෙසෙන්නෝ ද සිටිති. සමහර පියුම් ජලය හා සම ව සිටියි. එනම් අවිද්‍යා තෘෂ්ණාදියෙහි ම ගැලී වෙසෙන්නෝ ද සිටිති. සමහර පියුම් ජලය හා සම ව සිටියි. එනම් අවිද්‍යා තෘෂ්ණාදියෙන් මදක් ඉහළට පැමිණි ලෝ වැස්සෝ ද වෙති. අවම සංඛ්‍යාවක් හෝ පියුම් මඩදිය ඉක්මවා ඉහළට ම නැගී සුවඳවත් ව ප්‍රසන්න ව හිරු රැස් පහස විඳිමින් සිටියි. එසේ ප්‍රබුද්ධ සත්වයෝ ද ලොව සිටිති. මේ දහම එකී මධ්‍යම හා උපරිම අවදිකම ඇත්තවුන්ට හෝ ඵලදායක වන්නේ ය. එසේ දැන දැක උන්වහන්සේ පසු ව ධර්මය දේශනා කිරීමට තීරණය කළහ.
අනුසෝතගාමී වූ ලෝ වැස්සන් අල්ලා ගැනීම, අයිතිකර ගැනීම, උපාදාන කර ගැනීම, ග්‍රහණය කර ගැනීම ඔස්සේ ම සැනසුම ද, විසඳුම ද සොයද්දී බුදුරජාණන් වහන්සේ අත්හැරීමට, දන්දීමට, අනුපාදානයට ම අනුශාසනා කරති. දික් සඟිය සාමඤ්ඤඵල සූත්‍රාදියෙහි දැක්වෙන පරිදි අරහං, සම්මා සම්බුද්ධාදි උතුම් ගුණ ඇති සම්මා සම්බුදුවරයකු ලොව ඉපිද මුල, මැද අග යහපත් වූ අර්ථ ව්‍යාංජන සහිත පිරිපුන් පිරිසුදු දහම, ශාසන බ්‍රහ්මචර්යාව වදාරණ කල්හි ගිහියෝ ඒ දහම අසා සියලු සම්පත් හැර පැවිදි ව ත්‍රිවිධ ශික්ෂාවෙහි හැසිරෙති. ‘ගිහිගෙයි විසීම නම් අවහිරයකි. රාගාදී කෙලෙස් වැඩෙන තැනකි. පැවිද්ද සම්බාධ නැත්තේ ය. එළිමහන වැන්න. ගිහිගෙයි වසන්නාට ඒකාන්ත පිරිපුන් පිරිසුදු සංඛ ලිඛිතයක් (හක් ගෙඩියක්) වැනි බ්‍රහ්මචරියාව පිරීම නම් අපහසුය. එබැවින් පැවිදි වීම සුදුසු යැයි සලකා අල්ප වූ හෝ විශාල වූ හෝ සම්පත් අත්හැර කුඩා වූ හෝ විශාල වූ නෑදෑ පිරිවර ද අත්හැර ගිහිගෙය හැර පැවිදි වෙයි. මෙසේ බෞද්ධ පැවිද්ද නිර්මාණය වන්නේම අත්හැරීමෙනි. එපමණක් නොව ගිහි ජීවිතය හා බැඳුණු, මැනවැයි අල්ලාගත් බොහෝ දේ අත්හැරීමෙනි. උරුම කොට ගත් අල්ලා ගත් ඒ සියල්ල බන්ධන සේ සලකා ඒවායින් නිදහස් වීමෙනි. පබ්බාජන යන පාලි ව්‍යවහාරය පැවිදි කිරීම යන අර්ථය මෙන්ම (ගිහි ජීවිතයෙන්) පිටමං කිරීම, නෙරපීම යන අර්ථයද ගෙන එයි. එසේ පිටමං වන්නේ ගිහිකම හා බැඳුණු සියලු සබඳතාවලිනි. එය හැඳින්විය හැක්කේ උඩුගං බලා යාමක් ලෙසය.

බුද්ධානුශාසනයට අනුව යදමින් හෝ දැවයෙන් කරන ලද බන්ධනය දැඩි නොවේය යනු නුවණැත්තවුන්ගේ අදහසයි. මුක්තා මාණික්‍යාදියෙන් කළ අනේකවිධ ආභරණාදිය කෙරෙහි ඇති ඇල්ම වඩාත් දැඩි බන්ධනයෝ ය. එබඳු ධන ධාන්‍යාදිය පිළිබඳව ඇති බැඳීම ඉතා දැඩිය. එසේම පුත්‍ර දාරාදීන් අරබයා ඇත්තේ ද එබඳුම බැඳීමෙකි. එම බන්ධනයන්ට මුල් වන සියල්ල අත්හැරීමෙන් පැවිදි වන්නේය. ඒ සියලු දුක් නැති කොට නිවන් පසක් කරනු පිණිස ය. එසේ අත්හැරීම සැනසුමට මග යැයි සලකා ගිහි බන්ධන ද, ඒ හා බැඳුණු භෝග සම්පත් මෙන්ම ඤාති පිරිවර ද අත්හළ පැවිදි ජීවිතය ගිහියාගේ පරමාදර්ශය විය යුතු ය.
පරියේසන යනු සෙවීම ය. බුදුදහම අනුව එය දෙයාකාර වේ. අනරිය පරියේසනය හා අරිය පරියේසනය යනුවෙනි. තෙමේ ජාති නම් වූ ඉපදීමට ලක් වෙමින් එබඳුම වූ දුක් සහිත උපදින ස්වභාවය ඇති දේ ම සොයයි. තෙමේ දිරායාම, ජරාව උරුම කොට ඇත්තේ එබඳු ම වූ ලෙඩ වන දේ ම සොයයි. තෙමේ මරණය උරුම කොට සිටින්නේ මැරෙන, මියයන දේ ම සොයයි. තෙමේ ශෝකය උරුම කොට ඇති ව එබඳුම වූ ශෝකය ස්වභාව කොට ඇත්තක් ම සොයයි. තෙමේ කෙලෙසෙන බව, කිලිටි බව උරුම කොට සිටිමින් එබඳු ම වූ කෙලෙසෙන දේ මැ සොයයි. මේ අනරිය පරියේසනයයි. මිනිස් වර්ගයා මිහිතලයෙහි උපන් දා පටන් ම මෙසේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදියට ගොදුරු වෙමින් තව තවත් එම දුක් සහිත දේ ම සොයා ගිය බව පැහැදිලි ය. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ මෙකී අනරිය පරියේසනය අත්හළහ. අරිය පරියේසනයට පිවිසියහ. එනම් තෙමේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදියට ගොදුරු ව සිටිමින් ඒ බව තේරුම්ගෙන ඉන් මිදීමේ මග සොයා යාමය. සසර දුකට භාජනය වෙමින් තව තවත් එබඳු දුක් දොම්නස් ම සොයා යාම හැරපියා දුකින් මිදී නිවන් පසක් කිරීමේ මග ගමන් කිරීමය. එහි දී එතුමෝ අත්හැර දැමීමේ පරමාදර්ශය ලොවට පෙන්වා දුන්හ. සියලු රාජකීය සම්පත් අත්හළහ. රම්‍යය, සුරම්‍යය, සුබ යැයි කියන ලද මාලිගාවන්ද, යශෝධරාව මෙන්ම රහල් කුමරු ද, නිමිත්ත පාඨකයන් කී රජ සැප ද මෙකී නොකී බොහෝ දේ ද අත්හළහ, අනුසෝතගාමිත්වයෙන්, යටිගං බලා යාමෙන් මිදී පටිසෝතගාමී වූහ. උඩුගං බලා ගියහ.
නිරුත්තර ශාන්ත පදය නම් වූ නිවන සොයා සියල්ල අත්හළ බෝසතුන්ගේ පරමාදර්ශය අනුව ගිය බොහෝ ගිහි බොදුනුවෝ ද පැවිදිව නිවන සොයා ගියහ. ඒ පිළිබඳ පුවත් පෙළ දහමෙහි නොමඳ ව දක්නා ලැබේ. බුද්ධ දේශනාව අනුව පැවිද්දා නිවනට යන ගමන හංසයාගේ ගමන වැනි ය. එහි ජව වේගය වැඩිය. ඒ ධන ධාන්‍යාදිය ද, ඤාති පිරිවර ද, තවත් බොහෝ දේ ද අත්හැරීමෙන් උපන් සැහැල්ලුව හේතුවෙනි. ගිහියා නිවනට යන ගමන මොණරාගේ ගමන වැනි ය. ඒ ධන ධාන්‍යාදිය ද, ඤාති පිරිවර ද, තවත් බොහෝ දේ ද කර ගසා ගැන්මෙන් උපන් බර නිසා ය. එබැවින් ගමන මන්දගාමී වේ.
කරුණු එසේ වුවද කාමභෝගී ගිහි ජීවිත ගත කරන්නවුන්ටද, අත්හැරීම පුරුදු කළ හැකි ය. ඔවුන්ට අදාළ පිළිවෙත නම් නිති පන්සිල්, පොහොය අටසිල් යන්නයි. උපෝෂථ අෂ්ටාංග ශිලය මසකට සිව් වරක් එනම් සතර පෝයට සමාදන් වන්නකි. එහි එන තෙවන ශික්ෂා පදය අබ්‍රහ්මචරියා වේරමණී යන්නයි. විවාහකයෙකු පස්කම් විඳින්නෙකු වන ගෘහස්ථ තෙමේ එම ශික්ෂාව රැකීමෙන් පවුල් ජීවිතයේ අඹුසැමි සබඳතාව එක් දිනකට අත්හරියි. එහි මැ සවන ශික්ෂාව විකාල භෝජනයෙන් වැළකීමයි. එමගින් හෙතෙම පස්වරුවේ ආහාරවේල අත්හරියි. සත්වන ශික්ෂාව මල්, සුවඳ, විලවුන් දැරීමද, සැරසීම හා මණ්ඩනය ද විසුළු දැකුම් ද අත්හරියි. අටවැන්න අනුව සුව යහන්, සුව අසුන් අතහරියි. මෙසේ ගිහියාට වුවද පොහොය අටසිල් රකිමින් අත්හැරීමට පුරුදු විය හැකි බව උගන්වා තිබේ. දානය ද අත්හැරීමකි. අතින් මෙන්ම සිතින් දන් දෙන ගිහියා තමා සතු සම්පතක උරුමය, අයිතිය, අපේක්ෂාව අත්හරියි. මෙසේ ගිහියාට ද ටික ටික අත්හරිමින් සෙමෙන් සෙමෙන් සැනසුම වෙත යා හැකි ය. එහෙත් ඔහු නිවනට යන ප්‍රගතිවේගය අඩුය. සපුරා අත්හැරීමට ඔහු යොමු වී නැති බැවිනි. මහ බරක් දරාගෙන සසර ගමන් කරන බැවිනි. සියලු දුක් නැති කිරීම අරමුණු කොට පිළිවෙත් නොපුරන බැවිනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බලවත් සිල් බලය

අම්බලම්ගොඩ, කළුවඩුමුල්ල
ශ්‍රී විජයාරාම පුරාණ විහාරයේ
මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි

ජාතක කතාවන් අප ජීවිතයට කර ඇති බලපෑම අති විශාලය. අසරණ ගැමියන්ගේ පටන් මහරජු දක්වාත් නූගතාගේ පටන් උගතා දක්වාත් කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාත් රටේ සදාචාරයේ හැම අංශයක් කෙරෙහිම ජාතක කතාවෙන් ලැබෙන පිටුවහල අසීමිතය. මුදල් රජකරන සමාජයක මනුෂ්‍යත්වය යටපත්වන අයුරු දවසින් දවස අපි අත්විඳින්නෙමු.
අපේ ළමා පරපුරට අද දක්නට ලැබෙන්නේ මනඞකල්පිත කාටූනයක් හෝ ටෙලිනාට්‍යයකි. දරුවා පමණක් නොව වැඩිහිටියන්ද බොහෝවිට මේවාට ඇබ්බැහිවී සිටිති. ජනමාධ්‍යයන්ගෙන් විකාශනය වන බොහෝ කාටුන්වල කතා වස්තූන්ගෙන් ලැබෙන්නේ මනස දූෂණය කෙරෙන විෂම අදහස්ය. ළමා මනසේ පිළිගන්නේ ඒ කාටුන් කතාවල මනඞකල්පිත වීරයන්ගේ චරිතයන්ය. දරුවන්ගේ පෞරුෂයත් නිර්මාණශීලීත්වයත් මොට කරන මෙබඳු දෙයින් අනාගතයේ බිහිවන්නේ යහපත් ගතිවලින් හීන වූ කෘතිම සමාජයක්ය. වල්මත්වූ අනාගතයක්ය.

සිතුවම - ආර්.එම්.බී. එන්. රත්නමලල
සමාජයේ සදාචාර වර්ධනයට ජාතක කතාවෙන් වූ පිටුවහල සනාථ කරන ඉතා වටිනා ජාතක කතාවකි සීල විමංස ජාතකය. සිල්වත් බව ගුණවත් බව පිළිබඳ වටිනාකම යටපත් කරමින් වත්මන් ජනයා භෞතික සම්පත් ගොඩගසා ගන්නා යුගයක අද අපි ජීවත්වෙමු. මෙබඳු කාලයක සීලවිමංස ජාතකය මතුකර දැක්වීම වැදගත්වනු ඇත. සුසීම නම් පඬිවරයා බරණැස රජතුමාගේ පුරෝහිත බමුණාගේ පුත්‍රයාය. ඒ අපේ බෝසතාණන්ය. ඔහු තම පියාගේ ඇවෑමෙන් පියා දැරු පුරෝහිත ධූරයට පත්විය. සුසිම තම පියාටත් වඩා හොඳින් සාර්ථකව තම පුරෝහිත ධූරයේ වැඩ කරගෙන ගියේ ය. ඔහු සිල්වත්ය. ගුණවත්ය. සැම දෙනාටම කරුණාවන්තය. නිහතමානීය. මේ ගුණයන් නිසා ඔහු රජතුමාටත් වඩා ජනතාවගේ ගෞරවාදරයට පත්වූයේ ය. ඔහුගේ දර්ශනය හැමදෙනාම පි‍්‍රය කළහ. ඔහුට සමාජයේ ප්‍රභූ නෑ හිත පිරිසක් සිටියේ ය. දරුවොද උගත් බුද්ධිමත් අය වශයෙන් රටේ ඉහළ තනතුරු දැරූහ. ඔහුට කොතරම් ජනතාව සැලකුවාදයත් ඔහු මහ මඟ ගමන් කරනවිට නිවසේ අසුන්ගෙන සිටින කෙනෙක් ඔහු දුටුව විට අසුනෙන් නැගිට ගරුකරන කෙනෙකු තරමට ජනතාවගේ ප්‍රසාදයත් ගෞරවයත් ලබා තිබුණි.
සුසීම පුරෝහිත රජුටත් රාජ්‍යයටත් නිතර උපදෙස් දෙමින් කටයුතු කළත් රටේ ජනතාවගේ හැසිරීම ගැන එතුමාගේ පැහැදීමක් නොවීය. සිල්වත්කමට ගුණවත්කමට වඩා ලෞකික ධනය, බලය, සැප සම්පත් ගැන උනන්දුවත්, කෑදරකමත් වැඩිවනු සුසීම පුරෝහිතතුමාට පෙනී ගියේ ය. ඒ ගැන ඔහුගේ කලකිරීම් විශාලය. තමා වැනි කෙනෙක් රාජ්‍යයේ උපදේශකයා බවට පත්ව සිටියදී මෙබඳු සදාචාර පිරිහීමක් නොවිය යුතු දෙයක් බව එතුමා කල්පනා කරමින් සිටියේ ය. මෙයට විසඳුමක් ලබා දීමට ඔහු ඒ සඳහා තීරණාත්මක පියවරක් ගත්තේ ය. ඒ තමා මෙතෙක් රැකගෙන සිටි ආත්ම ගෞරවය පරිත්‍යාග කොට ජනතාවගේ යහපත සඳහා ජනතාවගේ සදාචාරාත්මක දියුණුව සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයක් වශයෙනි.
සුසිම පුරෝහිත තුමා දිනක් රාජ්‍ය සේවයට රජවාසලට ගොස් නිවසට එන ගමනේ දී මාලිගාවේ රාජ්‍ය භාණ්ඩාගාරයට ගියේ ය. එහි කෞතුක භාණ්ඩ තැන්පත් කරන ශාලාවට ගිය ඔහු කිසිවකු නොසිතන දෙයක් කළේ ය. මෙහි ප්‍රධාන ආරක්ෂකයාට පෙනෙන නොපෙනෙන ආකාරයෙන් සුසීම පුරෝහිත තුමා ඉතා වටිනා පෞරාණික රන් කාසියක් සොරකම් කොට එය හිස් වැසුමේ රඳවා ගත්තේ ය. මෙය දුටු ප්‍රධාන ආරක්ෂකයාට මෙය අදහාගැනීමට නොහැකි විය. රජුටත් වඩා රටේ ජනතාව ගරුකරන ප්‍රධාන පුරෝහිත ඇමැතිතුමා මෙබඳු දෙයක් කළවග තමන් කෙසේ කීවත් පිළිනොගන්නා බව ආරක්ෂකයා දනී. ඔහු දෑස් පිසදා බැලීය. එහෙත් හොඳාකාරකවම පුරෝහිතතුමා මේ රන්කාසිය, හොරෙන් ගත් බව ආරක්ෂකයා සැකහැර දැනගත්තත් ඔහු කිසිවකුට මෙය නොකීවේ තමාට විශාල ප්‍රශ්නයකට මුහුණපාන්නට වන නිසා ය.
සූසීම පුරෝහිතතුමා යළිත් දවසක සවස්යාමයේ මාලිගාවට ගොස් එන ගමනේ දී රාජ්‍ය භාණ්ඩාගාරයට ගොඩවිය. ඔහු මෙවර කලින්ටත් වඩා පරීක්ෂාකාරීව සිටි ප්‍රධාන ආරක්ෂකවරයාට පුරෝහිතතුමාගේ තවත් හොරකමක් දක්නට ලැබුණි. ඒ රාජ පරම්පරාවෙන් ආරක්ෂාකරගෙන එන පේරැස් මුදුවකි. මිල නොකළ හැකි මේ මාහැඟි මුදුව කලින් දිනයේ වගේම සුසීම පුරෝහිතතුමා ආරක්ෂකයාට පෙනෙන නොපෙනෙන අයුරින් සොරකම් කොට තම ඉනේ ගසාගත්තේය.
තුන්වෙනි දවසේද සුසීම පුරෝහිතතුමා රාජ්‍ය භාණ්ඩාගාරයට ඇතුල්වී කෞතුකාගාරයේ දැඩි රැකවරණයේ තිබූ චූඩාමාණික්‍ය වැනි වටිනා මැණිකක් සියුම්ලෙස සොරකම් කළේ ආරක්ෂකයා තමාදෙස බලාසිටිනබව නොදන්නා ආකාරයෙනි. මැණික ගන්නවාත් සමඟ ක්ෂණික සංඥාවකින් ආරක්ෂයෝ සුසීම පුරෝහිත ඇමැති බඩුත් සමඟම අල්ලාගත් අතර රාජ්‍ය ද්‍රෝහියකු ලෙස විලංගු දමා පුරෝහිතතුමාගේ මන්දිරය කරාගෙන ගියහ. ඔහුගේ නිවසේ තිබූ රන්කාසිය, පේරැස් මුදුවත් අත්අඩංගුවට ගත් ඔවුහු සොරකම් කළ භාණ්ඩ තැලියක දමා ප්‍රදර්ශනය කරමින් රාජ ද්‍රෝහියකුට දෙන කසපහර දෙමින් නගරය මැදින් රජ මාලිගය කරාගෙනඑමින් සිටියහ. ජනයා කුතුහලයෙන් හා පිළිකුලෙන් යුතුව මඟ දෙපස රැස්වූයේ අප මෙතරම් ගරු බුහුමන් කළ පුරෝහිතතුමා ද මේ? යන කුතුහලයෙන් යුතුව ඔහු බැලීමටයි. ජනතාව ඇස් අදහා ගැනීමට නොහැකිවිය. කෙනෙක් සුසීම පුරෝහිතට නින්දා කළහ. තව කෙනෙක් කැට කැබලිතිවලින් දමා ගැසූහ. නගරය මැද නයි නටවන මිනිසෙකුගේ නයිනැටවීම නැරඹීමට රැස් කකා බලා සිටි සෙනඟ පුරෝහිතතුමා බැලීමට මඟ දෙසට දිවූහ. නයි නටවන්නාටද තම කාර්ය අමතක විය. ඒ අතර පැසෙන් එළියට ආ නයි මිනිසුන්ගේ කකුල් අතරින් ඇදී යන විට පිරිස බියෙන් තැතිගන්වන්ට විය. නයි නටවන්නාට නාගයෙක් ගිහින් අල්ලාගෙන පුරෝහිත වෙත කෑගසමින් මෙසේ බැණ වැදුණේ ය. මේ නාගයා පවා අපි හික්මවලා තිබෙන්නේ ,මූ මිනිසකුට පෑගුණොත් දෂ්ට කරන්නේ නැත. ඒත් පුරෝහිත නුඹ වගේ අශිෂ්ට කෙනෙක් නෙවෙයි. මේ නාගයා කියමින් පුරෝහිත ඉදිරියේ කෙළ ගසා ඔහුට අපහාස කළේ ය.
නින්දා වැහි වසිද්දී කස පහර කමින් සුසීම පුරෝහිත තමන් විසින් සොරාගන්නා ලද භාණ්ඩ සමඟ රජු ඉදිරියට රැගෙන එනු සිංහාසනගතව සිටි රජතුමා දුටුවේ ය. රජතුමා පුරුද්දට මෙන් අසුණින් නැගී සිටියේ පුරෝහිතතුමාට ආචාර කිරීමටය. රජතුමනි, මෙබඳු සොරෙකුට ඔබතුමා අසුනින් නැගිට ගරු කළයුතු නොවේ. අප සියලු දෙනා මොහු මෙතෙක් කලක් මුලා කළා. ඔහු රාජ්‍ය දේපල සොරකම් කළ භයානක සොරෙක්. පුරෝහිතතුමා සොරකම්කළ සොරභාණ්ඩ සමඟ රජුවෙත ඉදිරිපත් කරන ලදී.
රජතුමා සංවේගයෙන් යුතුව පුරෝහිත දෙසට හැරී පුරෝහිතතුමනි, ඔබතුමා මෙබඳු දෙයක් කරාවි කියා මට අදහන්න බැහැ. මේ අයටත් එහෙමයි. ඒත් සොරකම් කළ භාණ්ඩ තිබෙනවා. ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. මම නොකීවාට මටත් වඩා ඔබ නීති ශාස්ත්‍රය දන්නවා මෙබඳු රාජ්‍ය අපරාධයකට ලැබෙන දඬුවමත් දන්නවා. හොඳයි ඔබ මේ ගැන නිදහසට කරුණු කියන්න මම අවස්ථාවක් දෙනවා. ඇයි මෙබඳු දෙයක් ඔබ කළේ?
පුරෝහිත සුසීමයන් නොසැලෙන සිතින් කයින් යුතුව පිරිස ඉදිරියේ මෙසේ පැවසීය. රජතුමනි, මේ හොරකමට මගේ හිස ගසා දමන බව මම හොඳින් දනිමි. මම මෙබඳු දෙයක් කළේ හිතා මතාමයි. මා මේ රටේ ජනතාවගේත්, ඔබතුමාගේත් ගෞරවයට පාත්‍ර වූ කෙනෙක්. මේ සොරකම නිසා මගේ දරු පරපුරටත් ඥාතින්ටත් ඉමහත් අපහාසයක් ලැබෙන බව මම හොඳින් දන්නවා. මට අවශ්‍ය වුණේ ඔබටත් රටවැසියාටත් ධනය, බලය, නිලයට වඩා ගුණවත්බවෙ සිල්වත්බවේ වටිනාකම පෙන්වාදීමටයි. රටේ ජනතාව ක්‍රමයෙන් පිරිහෙන බව මට පෙනීගියා. මම ඔවුන්ට අවබෝධ කිරීමට අවශ්‍ය වුණේ කෙනෙකුට වටින්නේ ධනයට, බලයට, නිලයට වඩා පිරිසුදු සිල්වත් චරිතය උසස් බවයි.
මා සිතන්නේ එය ඔබටත් මේ ජනතාවටත් මනාව පැහැදිලිවෙන්න ඇති. මිනිස්සු මෙතෙක් ගරුකළේ මගේ පුරෝහිත නිලයට හෝ මගේ ධනවත්කමට හෝ මගේ පවුලේ සම්භාවනීයත්වයට නොවේ. මගේ සිල්වත්කමටයි. මගේ ගුණවත් කමටයි. මගේ යහපත් චරිතයටයි. ඒ නිසා ඒ කරුණු අවබෝධ කරවන්නට මේ හොරකම් සිදු කළේ මගේ ආත්ම ගෞරවය පරිත්‍යාග කරලයි. ඒ නිසා දැන් ඔබ සැමටම එය ප්‍රත්‍යක්ෂ වෙන්න ඇති. මම දැන් ඔබගේ දඬුවම් ලැබීමට සූදානම්.
රැස්ව සිටි ජනතාව මේ සියල්ල අසාසිටි අතර සියලුදෙනාම සංවේගයට පත් වූහ. මේ තරම් පරිත්‍යාගශීලී කෙනෙකුට මේ තරම් සිල්වත් කෙනෙකුට අපි සියලුදෙනා නින්දා කළෙමු. රජතුමනි එතුමා නිදොස්ව නිදහස් කරන්නයි කෑ ගසා ඝෝෂා කළහ.සුසීම පුරෝහිත තුමා තමන් සොරකමක් පිළිබඳ චෝදනා ලැබූ කෙනෙක් මිස ජනතාව අතර අප කීර්තිය, තීන්දුවට ලක්වූ කෙනෙක් නිසා තමන් පුරෝහිත ධූරයෙන් ඉවත්වී තවුස් පැවිද්දෙන් පැවිදිවන බව ප්‍රකාශ කළේ ය. එතුමා ලෝකයාට සිල්වත්කමේ උසස් බව ප්‍රත්‍යක්ෂකොට පෙන්වා හිමාලයට ගොස් තවුස් ජීවිතයක් ගත කළහ.
මේ අනුව සමාජයේ ඇතැම් අයට සොරකමේ දුරාචාරයෙන් වැජඹී සිටියත් ජනතාව හෘදය සෘක්ෂියට එකඟව ගරු කරන්නේ ඔවුන්ගේ සදාචාරාත්මක හැසිරීමට බව අප විසින් අවබෝධ කටයුතුය. මෙබඳු සියුම් ජාතක කතාවක් වුවද යහගුණපිරි සමාජයක් සඳහා ඉමහත් පිටුවහලක් සපයයි. ජාතක කතා පොත අප සමාජ සදාචාරය නංවාලීමට කරන ලද බලපෑම විශාලයයි කීවේ මේ නිසා ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දෑස් අන්ධ කරවන විකසිත බවට අතරමං වනු එපා

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

නෙළුම් මලක් අප නෙළුම යනුවෙන් හඳුන්වනු ලබයි. එය සඳහාම සංස්කෘත භාෂාව දන්න අයෙක් පදුම ලෙස හඳුන්වයි. එය සඳහාම ඉංග්‍රිසි ජාතිකයෙක් ලෝටස් නමින් හඳුන්වයි. එය සඳහාම තවත් පුද්ගලයෙක් පුන්ඩරීක යනුවෙන් හඳුන්වයි. ලබාදී ඇති නම් එක්කෙනාට එක්කෙනා වෙනස්. අපගේ ශරීර එකකට එකක් වෙනස් වශයෙන් දැක්කාට සත්‍ය වශයෙන්ම සම හැර අන් කිසිවක් වෙනසක් නැහැ. සම පමණක් වෙනස් වෙයි. අප ළඟ තිබෙන කෙස්, ලොම් ඉවත් කළ විට සම සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළ හොත් අපගේ ශරීරය කාගේද? කියා හඳුනාගන්න බැහැ. එම නිසා ලෝකය තුළ තිබෙන්නාවූ සියලු දේ හුදෙක් නාම මාත්‍ර ලෙස තේරුම් ගැනීම අවශ්‍ය වෙයි.
අප සියලු දෙනා ජීවත් වන සමාජයෙහි අප අපගේ දරුවන්ට නම් යොදා තිබෙනවා. වයස අවුරුදු හැත්තෑ පහක තාත්තා කෙනෙකු සිටිනවා යැයි සිතා එම තාත්තාට අවුරුදු පහළොවක දරුවෙක් සිටිනවා යැයි අපි සිතමු. එම පුතාට වයස අවුරුදු පහළොවක් වෙන දවසට අවුරුදු විස්සකට පෙර පුතා සිටියේ නැහැ. ඒ වකවානුව වන විට තාත්තාගේ වයස පනස් පහක් වෙයි. තාත්තාගේ වයස අවුරුදු පනස් පහේදී එම දරුවා ඉපදී නැහැ. නමුත් එම දරුවා වෙනත් ආත්ම භාවයක සිටී. එම දරුවා මිනිසෙක්ව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්ම සිටියාම නම්,එම තැනැත්තාගේ වයස සාමාන්‍ය වශයෙන් කෙතරම් ප්‍රමාණයක් ඇතිද?වියපත් පුද්ගලයෙකු ලෙස සිට මිය ගියා නම්, වයස අවුරුදු පනස් පහේදී වයස අවුරුදු අසූවක පමණ පුද්ගලයෙකු මියැදී ගොස් මෙම තාත්තා ළඟ ඉපදුනා විය හැකියි. අප කුඩා දරුවන්ට ලස්සන ල ස්සන නම් යොදයි. අප කුඩා අවධියෙහි එම දරුවන් කුමන වයසක සිටියා විය හැකිද?එම ශරීරයට වෙනත් නමක් . නම යොදා තිබෙන්නේ ශරීරයට පමණයි. ශරීරය මළා නම්,නැවත වෙනත් ශරීරයක් ගත් විට වෙනත් නමක් ලැබෙයි.

හැඩය වෙනස් වීම

අපි කල්පනාකර බලමු. අවුරුදු විසිපහක තිහක දරුවන් සිටින තාත්තා කෙනෙකු ලෙස සිතමු.දරුවාට අවුරුදු විසිපහ වන විට තාත්තාගේ වයස අවුරුදු හැටපහක් නම්,තාත්තා තව අවුරුදු විස්සක් ජිවත් වූවිට තාත්තාගේ වයස අවුරුදු අසූපහක් වෙයි.
තාත්තා අවුරුදු අසූපහ වන විට මිය ගියා නම්, අවුරුදු විසිපහක පුතා තාත්තා මිය යන විට අවුරුදු හතළිස් පහක් වෙයි. පුතාට වයස අවුරුදු පනහ වන විට තාත්තාගේ වයස කීයක් වී ඇතිද?අවුරුදු හතරක වයසක් සම්පූර්ණ කරයි. පුතා අවුරුදු හතළිස් පහ වන විට තාත්තා නැවත පුතෙක් වශයෙන් ඉපදී වෙනත් නමක් ලබාගනී. සැම තැනකම, සැම දෙයකම, සැම ශරීරයකම, සෑම ගොඩනැඟිල්ලකම, සෑම ද්‍රව්‍යයකම ඇත්තේ එයයි. හැඩ පමණක් වෙනස් වෙයි. මේ ලෝකයේ තිබෙන සැම දෙයක්ම ඒ වගේ බව තේරුම් ගත යුතුයි. හැඩයෙන් හැඩය වෙනස් වන නිසා යොදා ඇති නම් වෙනස් වුවත්,සැම දෙයකම පොදු ගුණාකාරයක් වෙයි. එය නම්, උප්පාද වයධම්මිනෝ . උප්පාද වයධම්මිනෝ යනු පුද්ගලයෙකු මරණයට පත්වූ විට බැනරයක දමන වාක්‍යයක් පමණක් නොවෙයි. උප්පාද වයධම්මිනෝ යනු සුදුපාට රෙද්දක කලු අකුරින් ලියන්න පමණක් තිබෙන වාක්‍යයක් නොවෙයි. එහි සත්‍යය තේරුම් ගත යුතුයි. උප්පාද වනවා නම්, ක්ෂයවීම ධර්මතාවයක්. මේ ලෝකය තුළ අවබෝධකර ගැනීමට ඇත්තේ කුඩා කාරණාවක් පමණයි.
ඔබ රත්තරන්වලින් සාදන ලද භාණ්ඩ ඕනෑ තරම් පරිහරණය කර ඇති.රත්තරන් පත්‍රිකාවල ධර්මය පවා ලේඛන ගත කරයි. චෛත්‍ය රාජයාණන් වහන්සේට පලදවන කොත රත්තරන් වලින් සාදයි. රත්තරන් තුළින් කර්ණාභරණයක් නිර්මාණය කළ හැකියි. මුදුවක් සෑදිය හැකියි. මුදුවක හැඩය කරාබුවට වඩා වෙනස් වෙයි. රත්තරනින් පෙණ්ඩනයක් සෑදිය හැකියි. එහි හැඩය අනෙක් සියල්ලටම වඩා වෙනස් . ඇතැමෙක් රත්තරනින් නාසය අලංකාර කරයි. එය සියල්ලටම වඩා වෙනස්.රත්තරනින් කුඩා පිළිමයක් සෑදූ වට සියල්ලටම වඩා වෙනස් ස්වරූපයක් ගනී. සියල්ලෙහිම හැඩය වෙනස් වන අතර එකිනෙකට දමා තිබෙන නම්ද, වෙනස් වෙයි. සියල්ලටම පොදු එකම දෙය නම් රත්තරන්ය.වෙනස් වන්නේ හැඩය සහ නම පමණයි. ඒ සියල්ලම එකම ආකාරයට දිය කළ විට රත්තරන් ලැබෙයි. එකින් එකට වෙනස් නම් දැම්මාට සියල්ලම එකක් වෙයි. සෑම ශරීරයකම කායේ ලෝමා නඛා දන්තා තචෝ පමණක්මයි. ලෝකයෙහි සෑම දෙයකම තිබෙන්නේ පරමාණු පමණයි. පරමාණුවල සංයුතිය වෙනස් . පරමාණුවල සංයුතියේ ඝනත්වය වෙනස්. පරමාණු සංයුති ඝනත්වයට පත්ව අපට පෙන්වන වර්ණය වෙනස්. හැඩය ද වෙනස් වෙයි.
මැටිවලින් වළඳක් සාදා තිබෙනවා යැයි සිතමු. වළඳට වඩා මුට්ටිය වෙනස්. මුට්ටියට වඩා හට්ටිය වෙනස්. හට්ටියට වඩා පෙට්ටිය වෙනස්. ඇතිලියට වඩා නෑඹිලිය වෙනස්. මැටියෙන් නිර්මාණය කර තිබෙන සත්තු ඊට වඩා වෙනස්.හැඩය වෙනස් වුවත්, එකම ඇත්තක් පවතී. බුදුපියාණන් වහන්සේ ලෝකය දෙස බලා එයින් විස්මයට පත්වන්නට එපා කියාද,බලන බැල්මෙන් ආස්වාදයේ උපරිමයෙහි රඳාපවතින්නට එපා යනුවෙන් ද දේශනා කරනු ලැබුවේ එම කාරණාව නිසයි. මේ සැම දෙයක් ඇතුළතින්ම ඇත්ත දකින්න තරම් අපේ ඥානය ගලාගෙන යන තීක්ෂණ භාවයට අප නිදසුන් සෙවිය යුතුයි.

ලෞකික සිතිවිලි

අප ළඟ කඩදාසියක් තිබෙනවා යැයි සිතා එම කඩදාසියට අපගේ චින්තනය ගලාගෙන යාමට ඉඩහැර යම්කිසි ස්ථානයක රඳවා නවතා ගත හැකියි. මේ කඩදාසිය දෙස බලන විට සිතිවිලි ගලාගෙන එයි . කඩදාසිය ලස්සනයි, එය සුදුය, මිල අධිකය, එය ප්‍රයෝජනවත්ය,අලෙවිද කළහැක, යන තැන දක්වා පැමිණ එතෙක් දක්වා ඇවිත් නැවතුන හොත් කඩදාසි කොළය පිළිබඳ පැමිණි සිතිවිල්ලෙහි ලෞකිකත්වයයි. ඉන් එහාටත් ඇතුළට කිඳා බස්නා සිතිවිලි ඇතිකර ගත හැකියි. මෙය කොළයක්ය. එය නාම මාත්‍රිකය. මෙය සාදා ඇත්තේ පිදුරු ආදී ද්‍රව්‍ය වලින්ය. එය අවසානයේදී නැති වන්නේය. අවසානයෙහිදී ඉරීගිය විට ඉවතට වීසි කරයි. අවසානයේදී එම කොළය නැති වන්නේය. එම කොළය පිළිබඳ හටගත් සිතිවිල්ල එතැනින් නැවැත්වූ විට ලෞකික සිතිවිල්ලක් පමණක් ඇතිවෙයි. ලෞකික සිතිවිල්ල දක්වා පැමිණ එම සිතිවිලි ධාරාව නවතනවාට වඩා එම සිතිවිල්ල පතුළට කිඳාබැස නිරායාසීව ගලාගෙන යාමට සැලැස්සුව හොත් ලෝකෝත්තරය දක්වා සිත ගමන් කළ හැකියි.
කිසියම් ධර්මාසනයක් දෙස බලා එය ඉතාම මනස්කාන්තයි.සිත් ඇදගන්නා සුළුයි. මැනවින් කැටයම් කොට තිබෙයි. ඉතාමත් මිල අධික විය හැකියි. එම ධර්මාසනය පිළිබඳ ලෞකික සිතිවිලි ගලාගෙන යන්නේ කෙසේද? එය වටිනා ලීවලින් නිම කර ඇත. මෙහි කැටයම් කැපීමට මාස ගණන් ගත වනු ඇති. එය දක්ෂ කැටයම් ශිල්පියෙකුගේ නිර්මාණයකි. ඒ ලෞකික සිතිවිලි ධාරාව ගලාවිත් නැවතෙන තැනයි. එම ලෞකික සිතිවිල්ලෙහි සිත රඳා තබන්නේ නැතිව යටට කිඳා බස්නා ලෙස සිතිය යුතුයි.ධර්මාසනයක් බව සෑබෑය එය ලීවලින් නිර්මාණය කර ඇති බව සත්‍යයි. එය ගුල්ලන් ගසා ක්‍රමයෙන් දිරාපත් වන බව සැබෑය. ඉන් අනතුරුව ධර්මාසනය නැත. එසේ වන්නේ ධර්මාසනයට පමණක් නොවෙයි. එය නිදසුනක් පමණි. නිදසුනින් එහා ගිය ඇත්ත ධර්මාසනයට පමණක් පොදු නොවන සෑම තැනම තිබෙන පොදු ඇත්තක් වෙයි.

ලෝකෝත්තරභාවය ස්පර්ෂකිරීම

ලෞකික සිතිවිලි ධාරාව කිසියම් ස්ථානයක රඳවන්නේ නැතිව ගැඹුරට කිඳාබස්නා සේ ගමන් කරලීම ලෝකෝත්තරභාවය ස්පර්ෂකර ලෝකෝත්තරභාවය සාක්ෂාත් කරන සිතිවිල්ලයි. කැටයම ඉදිරියේ රැවටුණ හොත් , කැටයම ඉදිරියේ සිත මන්මත් වී ගිය හොත් ලෝකෝත්තරයට නොයා ලෞකික සිතිවිලිවල සිත අතරමං වෙයි.
අතීතයේ කරත්ත පිළිබඳව සිතුවත් වර්තමානය වන විට අලුත් වාහන දෙස බලාගෙන එය විශාල වටිනාකමක් ඇත. අසවල් රටෙන් ආනයනය කර ඇත. මෙහි වර්ණය බොහොම පැහැපත්ය. ආසන ඉතාම සුවපහසුය. එය බොහෝ මිල අධිකය. එහෙයින් කල් නොයවා මිලදී ගත යුතුයි. මේ වාහනය වටින්නේ කුමක් නිසාද ? එය අපේ ගෙදරට එහා ගෙදර නැති හෙයිනි. අපේ ගමට එම වාහනය තවමත් නොපැමිණි නිසා පැමිණීමට පෙර මා මිලදී ගත යුතුයි. යනුවෙන් ලෞකිකයෙහි සිත අතරමං වී ගිය ආකාරයයි.
වාහනයේ මිල අධික බව සැබෑය. එය සාදා ඇත්තේ ලෝහවලිනි. ලෝහ දිරාපත්වීම ස්වභාවිකය. තවත් අවුරුදු ගණනාවක් ගිය විට භාවිතයෙහි නැති වනු ඇති. දිරාපත් වනු ඇති. ප්‍රතිසංස්කරණය කරනු ඇති.නැවත නැවත හදනු ඇති.එය ලෝකෝත්තරයෙහි සිත අතරමං නොකර ලෞකිකයට සිත කිඳා බස්සවන ස්ථානයක් වෙයි.
කිසියම් අයෙකුගේ අතක් දෙස බලාගෙන මේ අත හරිම ලස්සනයි නියපොතු හරිම සුදුයි. වටකුරුයි විල්ලුද සමක් සහිතයි. වර්ණවත්. අල්ල හරිම පියකරුයි. කියා යමෙක් අතක් දෙස බලාගෙන අතට වශී වුවහොත් එය සිතිවිල්ලක් සේ ලෞකිකයෙහි අතරමං වීමක්. කළ යුත්තේ කුමක්ද? එය සමය.සම මතුපිට ඇත්තේ ලොම්ය. එයට යට ඇත්තේ කුඩා සමය . එයටත් යට ඇත්තේ සමය. සමට යට ඇත්තේ මසය. මසට යට ඇත්තේ ඇටය. ඇට අතර ඇත්තේ ඇට මිඳුලුය. එය අතර ඇත්තේ නහරය .ඒවායෙහි ඇත්තේ ලේය.එයටත් යට සිරා හා ධමනිය.එය සැම එකක් සඳහාම වෛද්‍යවරු ඇත්තේය. වෛද්‍යවරු එය ප්‍රතිසංස්කරණය කරමින් ප්‍රතිකර්ම කරමින් සුවපත් කිරීමට වෑයම් කරනු ඇත්තේ එම සියල්ලම ලෙඩ වන නිසාය. මෙහි මනස්කාන්ත භාවය ඉදිරියෙහි ඇස් රවටාගනු වෙනුවට කිදා බස්නා ඇත්තකින් ලෝකෝත්තර සිතිවිල්ලකට අත හරහා සිත ගමන් කරවිය හැකියි. එසේ වූ විට පෙනෙන්නට තිබෙන ඔපමට්ටම් විල්ලුද සමෙහි සිත රඳවා ලෞකිකයෙහි අතරමං නොවී ලෝකෝත්තරය දක්වා ගමන් කළ හැකිය. ඇල්ම නැති වන්නේ එවිටයි. ඒ ආකාරයට කල්පනා කරන විට මේ ශරීරය පිළිබඳ ඇලීමක් ද ගැටීමක් නැහැ. ඇලීමෙන්ද තොර ගැටීමෙන්ද තොර අවස්ථාව නිවන පහසු කරවන තැනක්.
එම නිසා නාම මාත්‍රික දේ පිළිබඳව නාම මාත්‍රිකව කල්පනා කරමු. එය සඳහා විභාග සමත් වීමට අවශ්‍ය නැහැ. තේරුම් ගැනීමට විභාග සමත් වීම අවශ්‍ය නැහැ. ඔබ දන්නා ප්‍රමාණය හොදටම ප්‍රමාණවත්. වයස අවුරුදු අෙටි චුල්ල පන්ථක කුඩා දරුවාට තේරුනා නම්, වයස අවුරුදු අෙටි හතේ සෝපාක දරුවාට තේරුණා නම්, කසළ සෝදක සුනීතට තේරුණා නම්. දෑස් අන්ධ මන්ද කරවන විකසිත බව ඉදිරියේ අතරමං වනු එපා.කිඳා බස්නා සිතිවිල්ලෙන් ලෝකයේ සත්‍ය සත්‍යයේක්ෂණය කරන්නට වෑයම් කළ යුතුයි. මේ ශරීරයත් ඒ වගෙයි.අනෙක් ශරීරත් ඒ වගෙයි. ශරීර නොවන වෙනත් ද්‍රව්‍යද ඒ වගෙයි. සියල්ලේම ඇත්තේ පරම අණු හෝ අණුක පමණයි. ඇත්තේ වෙනස නම්න් පමණයි. එම සත්‍ය තේරුම් ගත යුතුයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤