ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

මරණාසන්න මොහොතේ පහළවන දර්ශන

ස්වර්ණකලාප්‍රදීප, දර්ශනපති 

උඩුගම, මෝහාන් නන්දන නානායක්කාර


බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ
තමන් අදහනු ලබන ආගම ධර්මය කුමක් වුවද මරණාසන්න අවස්ථාවේදී දර්ශනය වන නිමිති පහක් පිළිබඳව බුදුදහමේ කරුණු සඳහන් වේ.
මරණයට පත්වීමට ආසන්නව සිටින අයෙකුට දර්ශනය වන මෙම පංච නිමිති පිළිබඳව පරීක්‍ෂාකර බලා විමර්ශනයක් සිදුකළ විට මෙම නිමිතිවල ඇති සත්‍ය අසත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පේ‍්‍රතවත්තු , විමානවත්තු වැනි සූත්‍ර දේශනා කරනු ලැබුවේ මනුෂ්‍යයන් අතින් සිදුවන අකුසල කර්ම වළක්වා කුසල කර්ම රැස් කිරීමටත් එමගින් මනුෂ්‍යයාගේ මෙලොව හා පරලොව සුබ සිද්ධිය සලසාදීම සඳහාත්ය.
බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ. මේ බව කාලාම සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් ඒවා වේ. බුදුරදුන් ලෝකත්‍රයම ඇති සැටියෙන්ම
දේශනා කොට වදාළ හෙයින් ලෝකවිදු නමින්ද හඳුන්වති. එවැනි ධර්මයක් පිළිබඳව සැක සංකා නොමැතිව මරණාසන්න අවස්ථාවේ දර්ශනය වන පංච නිමිති පිළිබඳව විමර්ශනශීලිව සොයා බලා සත්‍ය අවබෝධ කර ගත හැකිවේ.
අග්නි ජාලාවක් දර්ශනය වීම – කාලයාත්‍රා කරන අවස්ථාවේ ගින්දර ගොඩක් පෙනේ යැයි සඳහන් කරන්නවුන් මෙන්ම ඒ බව නොපවසා දනවා දනවා යැයි කියමින් කෑ මොර දෙන අයද සිටිති. තවත් අය කිසිවක් නොපවසා අභිනයන් මගින් ඉරියව් පළ කරති. තවත් අය ගින්නක් ඇවිලෙන විට කටින් පිඹ එය නිවා දැමීමට හුලං පිඹිති. තවත් සමහරුන් ජලය සොයති.
අන්ධකාරය දර්ශනය වීම “මට මොකක්වත් පේන්නේ නැහැ. ලාම්පුව පත්තු කරන්න. ලයිට් දමන්න .හරි කළුවරයි. මොකක්වත් පේන්නේ නැහැ. ඉටිපන්දමක් වත් ගේන්න” යනුවෙන් මරණාසන්න මොහොතේ ප්‍රකාශ කරන අය සිටිති. එළියක් රැගෙන එන ලෙස පවසමින් කෑ මොර දෙන අය සිටිති. ඇස් පොඩි කරමින් ඇස් පිලි ගසන අය සිටිති.
වන සතුන් හා වනාන්තර දර්ශනය වීම “හරක් එනවො” ඔන්න අලි එනවෝ මා බේර ගන්න” යනුවෙන් සතුන් ගේ නම් කියමින් කෑමොර දෙන්නවුන් මෙන්ම එසේ නොකියා සතුන් එළවන අභිනයන් පළ කරන්නෝද සිටිති. තවත් සමහරුන් නොයෙක් සතුන් කෑ ගසන හඬට සමාන හඬවල් පිට කරමින් මිය යති. කැලයේ විස්තර ප්‍රකාශ කරන්නෝද සිටිති. තවත් අය කැලයේ ඇවිදින අය මෙන් විපරම් කරමින් වටපිට බලති.
මිය ගිය ඥාතින් හෝ මනුෂ්‍යයන් දර්ශනය වීම
කාලයාත්‍රා කරණ මොහොතේ තම මියගිය නෑ දැ හිතවතුන් දර්ශනය වන්නවුන් මෙන්ම ජීවතුන් අතර සිටින අයගේ නම ප්‍රකාශ කරමින් කතා කරන අය, එම අයගේ තොරතුරු පවසන්නවුන් මරණින් මතු මනුෂ්‍ය භවයේම උත්පත්තිය ලබන්නෝය.
දෙවිදේවතාවුන් හා දිව්‍ය විමාන දර්ශනය වීම
මිය යන විට ප්‍රසන්න මුහුණින් සමන්විතව මල් සුවඳ හා මල් ගැන කතා කරන, සිනහවන මෙන්ම දුක්මුසු බියකරු හැඟීම් කිසිවක් පළ නොකරන අය වෙති. තවද අහස දෙස බලා සිටිමින් උඩ හිඳින දෙවි දේවතාවුන් ගැන කරුණු සඳහන් කරන්නෝද සිටිති. ඔවුන් දිව්‍ය විමාන, දිව්‍ය සම්පත්, දිව්‍ය රථ ගැන කරුණු දක්වයි. සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වැනි අයට මෙවැනි දර්ශන පෙනුන බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. වර්තමානයේද මෙවැනි දර්ශන පෙනෙන අය සිටිති.
කාල යාත්‍රා කිරීමට ආසන්නව සිටින අයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කරවා පිරිත් දේශනා කිරීම, ධර්ම දේශනා කරවීම, පිං පොත කියවීම ආදි සිරිත් බෞද්ධයන් තුළ එදා සිට මේ දක්වාම පවතියි. ශාසන ඉතිහාසයේ සඳහන් ධම්මික උපාසක චරිතයෙන් දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන අයට දිව්‍ය සැප සම්පත් ලැබෙන බව බුදුරදුන් භික්‍ෂුන් වහන්සේලාට දේශනා කොට ඇත. හදිසි අනතුරුවලින් ක්ෂණයෙන් මරණයට පත්වන අය තුළ ඉහත පංච නිමිති දර්ශනය වේදැයි ප්‍රශ්නයක් පැන නගී. එහෙත් මේකී දර්ශනයක් පහළවීමට චිත්තක්ෂණයක් පමණක්ම ප්‍රමාණවත් වේ. විශුද්ධි මාර්ගයෙහි පෙන්වා දී ඇති පරිදි ජීවියෙකුගේ පරම ජීවිත කාලය ඉතා කෙටි මොහොතක් වන අතර එය එක් සිතිවිල්ලක් පවතින තෙක් පමණක්ම වේ. රථ රෝදයක් කැරකෙන විට රෝදය ඒ මොහොතක් පොළොව හා බද්ධ වී පවතින්නේ එක ස්ථානයකින් පමණක් වන්නාසේම ජීවියාගේ පැවැත්ම පවතින්නේද එක් සිතිවිල්ලක් පවතින තරම් සුළු මොහොතක් බවද පෙන්වා දෙයි. ඊට අදාළව, යම් සිතිවිල්ලක් සත්වයාගේ සිත තුළ පහළ වීද ඒ සඳහා වූ ගති ස්වභාවයක් පවතී. ඒ ගති ස්වභාවය දේව ගතියක් විය හැකිය. මනුෂ්‍ය, පේ‍්‍රත හෝ තිරිසන් ගතියක් විය හැක. දුගති ගතියක් විය හැක.
එම ගති නිමිති ස්වභාවය අනුව පංච නිමිති දර්ශනය පහළවීම, චිත්තනියාමය ලෙස සඳහන් කළ හැකිය. බුදුරජාණන් වහන්සේගේ මඟ ගමන් කරන්න වුන් වශයෙන් තම තමන්ගේ චිත්තසන්තානයන්, තුළ නිරන්තරයෙන් මනුෂ්‍ය ගතිගුණ හා දේවගති ගුණ පවත්වාගෙන යෑමට සිහි බුද්ධියෙන් හා නුවණින් කටයුතු කිරීමට පුරුදු පුහුණූ වීමට හැකියාවක් ඇත්තේ නම් මරණාසන්න අවස්ථාවේ සුගතිගාමී නිමිති දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා ඔබ අප සියලු දෙනාටම ශක්තිය හා වාසනාව ලැබේවා!

සේඛ බල ඇති කර ගනිමු

ශ්‍රද්ධා බලය ඇති කරගන්නෙ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදු වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියල, මේ විදියට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධා බලය කියල කියන්නේ
නාවලපිටියේ අරියවංශ හිමි

සේඛබල පුරුදු කරමු - 1

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප කාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනය මුණගැහිල තියෙනවා. ඒ නිසා අපට දැනගන්ට ලැබුණා ඉපදුන මනුෂ්‍යයන්ටත්, දෙවියන්ටත්, මේ කාටත් තිබෙන ලොකුම අනතුර මොකක්ද කියල. ඒ ලොකුම අනතුර තමයි සතර අපායේ ඉපදෙන්ට බහුල ඉඩකඩක් අප තුළ පැවැතීම.
භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නා, මැරෙන මිනිස්සුන් අතරින් නැවත වතාවක් මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය වගේ සුගති ලෝකවල උපදින්නේ මහපොළොවෙන් නියපොත්තට පස් ටිකක් ගත්තහම ඒ පස් ප්‍රමාණය වගේ ඉතාමත්ම සුළු පිරිසක් කියල. මහ පොළොවේ තියෙන පස් වගේ විශාල මිනිසුන් ප්‍රමාණයක් මිය ගිහිල්ලා නැවත උපදින්නේ සතර අපායේ කියල. මේක පුංචි අනතුරක් නොවෙයි. සුළු අනතුරක් නොවෙයි. ලඝු කොට සැලකිය යුතු කාරණයක් නොවෙයි. අපේ ජීවිත වල තියෙන ලොකුම අර්බුදය මේක තමයි. අප විසින් ජයගතයුතු ලොකුම අභියෝගයත් මේකමයි.
අපට දැන්, අපේ ජීවිත හමුවේ තිබෙන ලොකුම අනතුර මොකක්ද කියල දැනගන්නට ලැබුණා. ඒ අපට ගෞතම බුදුසසුන මුණ ගැසුණු නිසයි. ඒක අප ලද මහඟු ලාබයක්. මෙතරම් ලාබයක් ලැබුණ අප මේ ලාබය අත් නොහැරෙන විදිහට, ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කර ගන්නට කල්පනා කළ යුතුයි. සතර අපායේ වැටෙන ස්වභාවයක් අප ජීවිතවල තිබෙනවා නම්, ඒ සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙන්ට කල්පනා කළ යුතුයි. එයම තමයි මනුෂ්‍යයෙක් විසින් තමන්ගේ ජීවිතයට සලසා ගත යුතු ලොකුම යහපත, අභිවෘර්ධිය. අපට සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙන්ට බැරි වුණොත්, මේ මනුෂ්‍ය ජීවිතය තුළ මොන තරම් ලොකු දේවල් රැස් කරගෙන හිටියත්, ඒ රැස්කර ගත්තා වූ දේ අපට ලොකු උපකාරයක් පිණිස පවතින්නේ නෑ. මේ ජීවිතයේ අප ලොකු දෙයක් රැස් කරගෙන නොතිබුණත්, එයා සතර අපායෙන් නිදහස් වෙලා නම්, එයාට ඒ සතර අපායෙන් නිදහස් වීම මගින් සලසන්නා වූ උපකාරය ප්‍රමාණ රහිතයි.

ඒනිසා, අප සතර අපායෙන් නිදහස් වෙන පැත්තට සිත හදාගන්ට, සිත යොමුකර ගන්ට, සිත දියුණු කර ගන්ට විශාල වෑයමක් ගත යුතු යි. ඒ වෑයම සාර්ථක වෙන්නේ, සතර අපායෙන් නිදහස් විය යුතු වැඩපිළිවෙළ ගැන හරි වැටහීමකින්, හරි දැනීමකින් යුතුව අප කටයුතු කළොත් පමණයි. සතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙළ ගැන අපට හරි වැටහීමක්, හරි දැනීමක්, නොතිබුණොත්, අප කුමක් කළත් ඒ නිදහස් වීම සිද්ධ වෙන්නේ නෑ. අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, සිත නියම ආකාරයෙන් පිහිටුවා නොගත්තොත් දුකෙන් නිදහස් වීමක් සිදුවන්නේ නෑ කියල. සිත නියම ආකාරයෙන් පිහිටුවා ගත්තොත් විතරමයි අපට දුකෙන් නිදහස් වෙන්ට පුළුවන් වෙන්නේ.
එහෙනම්, අප කොතරම් ධර්මය ඉගෙන ගෙන තිබුණත්, කොතරම් ධර්මය පාඩම් කළත්, කොතරම් ධර්මය කතා කළත්, ඒ ධර්මය පුරුදු කර ගන්නා ආකාරය ගැන අපට හරි වැටහීමක් ඇති කර ගන්ට බැරි වුණොත් අපට ලැබිච්ච ලාබය අත්කර ගන්ට බැරුව යනවා. අපට වරදිනවා නම්, අපට නිවන් මඟට එන්ට බැරි වෙනවා නම්, අන්න ඒ සඳහා ඉඩ කඩ ඉතා වැඩියි. ඒ නිවන් මඟට පැමිණීම පිණිස තිබෙන උපකාර අඩුයි. ඒ නිවන් මඟට පැමිණීම පිණිස තිබෙන බාධක, එහෙම නැත්නම් නිවන් මඟට නොපැමිණෙන්න තිබෙන ඉඩ කඩ හරියට ආකාසේ වගේ විශාලයි. නමුත් නිවන් මඟට පැමිණෙන්න තියෙන උපකාර, ඉඩකඩ ආකාසෙ වගේද? නෑ. ඒක හරියට ඉදිකට්ටේ තුඩ වගේ, පුංචි ඉඩක් තමයි තියෙන්නෙ. එහෙනම් මේක පහසු කටයුත්තක් නොවෙයි. ඒකෙන් අදහස් කරන්නෙ නිවන අවබෝධ කිරීම බෑ කියල නම් නොවෙයි. ඒක කොතරම් දුෂ්කරද කියන කාරණයයි කිව්වේ. ඒ නිසා අප නිවන් මඟට පැමිණීම පිණිස, අත් නොහරින වෑයමකින් යුතුව, මනා කල්පනාවක් සහිතව ඒ සඳහා කටයුතු කළ යුතු යි.
එතකොට නිවන් මඟට පැමිණීම පිණිස ආරම්භයේදීම අප කළයුත්තේ කුමක්ද? ඒ සඳහා අප මුලින්ම භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය ඇති කරගත යුතු යි. ඒක ලේසි කාරණාවක් නෙවෙයි. ඒ සඳහා බාධා බහුලයි. නමුත් යමෙකුට ශ්‍රද්ධාව ඇතිකරගෙන, නිවන් මඟට පැමිණෙන්ට නොහැකි වුණොත්, කොයි තරම් කාලයකින් එයාට නැවත මේ දුර්ලභ අවස්ථාව ලැබෙයිද කියල කියන්ට බෑ. ඒ නිසා අප තුළ ශ්‍රද්ධාව ඇතිකරගෙන ඉතා කල්පනාවෙන්, ඒ නිවන් මඟ අඳුන ගෙන ඒකට පිවිසෙන්ට වෙහෙස මහන්සි විය යුතු යි. අප කෙසේ හෝ එතෙන්ට පිවිසුණොත්, ශ්‍රද්ධාවට පැමිණිතොත්, ශ්‍රද්ධානුසාරී කෙනෙක් බවට පත් වුණොත්, එයාට කොතරම් බාධක තිබුණත්, එයාගේ නිවන් මග වළකින්නේ නෑ. එයාට නිවනට බාධා තිබුණත්, ඒ සියලු බාධා වලින් එයාට ප්‍රමාදය ඇතිකරන්න පුළුවන්කම තිබෙන්නේ භව හතක් දක්වා පමණයි.
ඒ නිසා මේ ධර්මයෙන් අපට සැලසෙන මේ මහා යහපත තේරුම් අරගෙන පරිස්සමින් පුරුදු කර ගත්තොත්, අපට නිවන් මඟට පිවිසෙන්න ඉඩ කඩක් පාදගන්ට පුළුවන් වෙනවා. එතකොට ඒ විදිහට නිවන් මඟට පැමිණීම පිණිස අපකාර බහුලව තිබෙන යුගයක, අප තුළ විශාල බලයක් තියෙන්ට ඕනෑ. ඒ අපකාර මැඩගෙන ඒ පුංචි ඉඩකඩ පාදගන්න. අන්න ඒ බලය අප උපදවා ගත යුතු එකක්. ඒ බලය ඉබේ ඉපදෙන්නේ නෑ. නිවන් මඟට පිවිසෙන්ට, පිවිසිලා නිවන් මඟ සම්පූර්ණ කර ගැනීම පිණිස අප ඒ බලය ඇති කර ගන්ට ඕනැ. අන්න ඒ බලයට කියනවා ‘සේඛ බල’ කියල. ඒ සේඛ බල වලින් යුතුව නිවන් මගේ පුරුදු වෙන කෙනාට තමයි ‘සේඛ’ කියල කියන්නේ. ඒ සේඛ බල ඇතිකර ගැනීමෙන් තමයි අපට සතර අපායෙ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙලා සුගතියෙ පැත්තට සිත නමාගන්නත්, ඒ වගේම නිවන් මඟට පිවිසෙන්නටත් පුළුවන්කම තිබෙන්නෙ. යමෙක් තමන් තුළ උපදවා ගත්ත සේඛ බල ඇසුරු කරමින් ඒ වගේම ඒ සේඛ බල දියුණු කර ගනිමින් වාසය කළොත්, එයා තුළ නිවන් මඟ ටිකෙන් ටික දියුණු වෙනවා. යම් දවසක ඒ සේඛ බල පරිපූර්ණ කර ගැනීමෙන් නිවන් මඟ පරිපූර්ණ වෙනවා. ඒ නිවන් මඟ පරිපූර්ණ වීම පිණිස සේඛ බල පරිපූර්ණ වීම පිණිස කොච්චර කලක් යයි ද කියල අපට කියන්ට බෑ. උපරිම වුණොත් භව හතක් දක්වා පමණයි. නමුත් අප සේඛ බල උපදවා ගැනීම මේ ජීවිතයේදීම කර ගත යුතුම යි. ඒ සඳහා ලොකු කැමැත්තක්, ලොකු වෑයමක්, අප තුළ ඇති කර ගත යුතු යි.
එවිට, මොනවද මේ සේඛ බල කියල කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ, සේඛ බල සංකිත්ත කියන සූත්‍ර දේශනාවේ දී අපට මේ විදියට සේඛ බල ගැන වදාරනවා, “පංචිමාණි භික්ඛවේ සේඛ බලාණී”, පින්වත් මහණෙනි, මේ සේඛ බල පහක් තිබෙනවා. “කතමාණි පංච?” මොනවද ඒ පහ? “සද්ධා බලං, හිරි බලං, ඔත්තප්ප බලං, විරිය බලං, පඤ්ඤා බලං ඉමානි ඛෝ භික්ඛවේ සේඛ බලානි” පින්වත් මහණෙනි, මේ තමයි සේඛ බල පහ. මොනවද ඒ සේඛ බල පහ? ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදිහට පෙන්වා දෙනවා, “තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං” පින්වත් මහණෙනි, මේ විදිහට පුරුදු වෙන්න. “සද්ධා බලං සමන්නාගතා භවිස්සාමි” මේ ශ්‍රද්ධා බලය කියන සේඛ බලය ඇති කර ගෙන, පුරුදු කර ගෙන වාසය කරන්ට ඕනෑ, ඒ වගේම හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය කියන සේඛ බලයන් ඇති කරගෙන, පුරුදු කර ගෙන වාසය කරන්ට ඕනෑ” කියල හික්මෙන්න කිව්වා.
ඒ නිසා අප කොයි කවුරුත් මේ පංච සේඛ බල උපදවා ගෙන පුරුදු කර ගන්ට මහන්සි වෙන්ට ඕනැ. ඒ සඳහා අප නිතර අපේ සිතේ මේ විදියට පුරුදුකර ගන්ට ඕනැ. ඒ තමයි “මා ශ්‍රද්ධා බලය කියන සේඛ බලය ඇති කෙනෙක් වෙන්ට ඕනෑ. මා හිරි බලය කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ, මා ඔත්තප්ප බලය කියන සේඛ බලය ඇති කෙනෙක් වෙන්ට ඕනැ, මා වීරිය කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ, මා ප්‍රඥා කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ.” කියල නිතර අපේ සිතේ පවත්වන්ට ඕන. නිතර ඒ අදහස පවත්ව ගන්න කියල ඇයි අපට කියා දෙන්නෙ. නිතර ඒ අදහස පැවැත්වූයේ නැත්නම් අපට මේක පුරුදු කරගන්ට අමතක වෙලා යනවා. නිතර ඒ අදහස සිතේ තිබුණොත් තමයි අපට ඒවා පුරුදු කරගන්ට හැකි වෙන්නෙ. ඉතින් අප මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා සේඛ බලයන් ඇතිකර ගෙන, ඒ සේඛ බල පරිපූර්ණ කර ගැනීමට වාසනාව උදාවේවා කියල. සියලු දෙනාටම තෙරුවන් සරණයි....!

ජීවිතයට සැබෑම රැකවරණය සලසා ගැනීමට නම්...

සේඛබල පුරුදු කරමු - 2


භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. ඔත්තප්ප බලය තුළ පිහිටා සිටිනතාක් ඔහු තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. වීරිය බලය තුළ පිහිටා සිටින තාක් ඔහු තුළ අකුසල් හටගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. පඤ්ඤා බලය තුළ පිහිටා සිටිනතාක් ඔහු තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. අකුසල් හට ගන්නේ නැත්නම් ඔහු මරණයෙන් මත්තේ දුගතියට වැටෙන්නේ නෑ. අකුසල් හට ගන්නේ නැත්නම් එයාට කුසල් උපදවා ගැනීමේ අවස්ථාව තියෙනවා
සේඛ බල ඇතිකර ගැනීමෙන් පමණයි අපිට නිවන් මගට පිවිසෙන්ට පුළුවන්කම තිබෙන්නෙ. සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙලා සුගතය පැත්තට හිත නමාගන්න පුළුවන්කම තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, පඤ්ඤා බලය කියන මේ සේඛ බල නැති වුණොත්, සේඛ බල ඇති කර ගන්ට අසමත් වුණොත්, ඒ සේඛ බල වලින් තොරව වාසය කළොත් ඒ භික්‍ෂුව ශාසනය තුළ පිහිටා සිටින්නෙ නෑ කියලා. ඔහු ශාසනයෙන් වෙන් වෙනවා කියල දේශනා කරනවා. එතකොට යම් කෙනෙකුට ශාසනය තුළ පිහිටා සිටින්න උපකාර වන්නෙ මේ සේඛ බලයි.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව නැත්නම්, හිරි බලය නැත්නම්, ඔත්තප්ප බලය නැත්නම්, වීරිය බලය නැත්නම්, හීන විරිය නම් තියෙන්නේ ප්‍රඥාව නැත්නම් දුෂ්පක්ඤාව නම් තියෙන්නේ. අන්න එබඳු කෙනෙක් ඔසවාගෙන ආපු බරක් බිම තබන්නා වගේ නිරයේ උපදිනවා. ඒ වගේම තමයි යම් කෙනෙක් මේ සේඛ ඛල පුරුදු කර ගන්නවා නම්, එසේ පුරුදු කරගත්ත සේඛ බල වලින් යුක්තව වාසය කරනවා නම් එයා ඔසවගෙන ආපු බරක් බිම තියන්නා වගේ සුගතියේ උපදිනවා යැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.

එතකොට සුගතියට පැමිණීම පිණිස දුගතියෙන් නිදහස් වීම පිණිස අපට උපකාර වන බලවත්ම දේ මොකක්ද? සේඛ බල. සේඛ බල ඇතිකර ගත්තොත් අපි සුගතියක උපදින විදිහට සිත සකස්කර ගත්තා වෙනවා. සේඛ බල පුරුදු කරගන්ට බැරි වුණොත් අපිට සුගතියකට යන්න අවස්ථාවක් නෑ. දුගතියේ උපදින්න තියෙන අවස්ථාව බහුලයි. එනිසා ඒ අනතුර හඳුනා ගන්න, අනතුරෙන් නිදහස් වන්නා වූ මාර්ගය අඳුරගන්න.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. ඔත්තප්ප බලය තුළ පිහිටා සිටිනතාක් ඔහු තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. වීරිය බලය තුළ පිහිටා සිටින තාක් ඔහු තුළ අකුසල් හටගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. පඤ්ඤා බලය තුළ පිහිටා සිටිනතාක් ඔහු තුළ අකුසල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. අකුසල් හට ගන්නේ නැත්නම් ඔහු මරණයෙන් මත්තේ දුගතියට වැටෙන්නේ නෑ. අකුසල් හට ගන්නේ නැත්නම් එයාට කුසල් උපදවා ගැනීමේ අවස්ථාව තියෙනවා.
ශ්‍රද්ධා බලය තියෙනවා නම් එතනම කුසලයන් ඉපදෙන්න පටන් ගන්නවා. හිරි බලය තියෙනවා නම් එතනම කුසල් ඉපදෙන්ට පටන් ගන්නවා. ඔත්තප්ප බලය තියෙනවා නම් කුසල් ඉපදෙන්ට පටන් ගන්නවා. වීරිය බලය තිබෙනවා නම් එතන කුසල් උපදින්ට පටන් ගන්නවා. පඤ්ඤා බලය තිබෙනව නම් එතන කුසල් උපදින්න පටන් ගන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් දවසක ඔහු තුළ ශ්‍රද්ධා බලය අතුරුදහන් වෙලා නම් එතන කුසල් ඉපදෙන්නේ නෑ. අකුසල් ඉපදෙන්නට පටන් ගන්නවා. හිරි බලය නැත්නම් අතුරුදහන් වෙලා නම් ඔහු තුළ අකුසල් ඉපදෙන්ට පටන් ගන්නවා. ඔත්තප්ප බලය අතුරුදහන් වෙලා නම් එතන අකුසල් ඉපදෙන්ට පටන් ගන්නවා. වීරිය බලය අතුරුදහන් වෙලා නම් එතන අකුසල් උපදින්න පටන් ගන්නවා. පඤ්ඤා බලය අතුරුදහන් වුණොත් එතන අකුසල් උපදින්න පටන් ගන්නවා. එහෙනම් යම් වෙලාවක අකුසල් ඉපදුනොත් එතන හිත අපිරිසුදු වෙලා යනවා. දුගතියේ ඉපදෙන විදිහට සිත සකස් වෙනවා.
එහෙම නම් නිතරම හිත අකුසලයට වැටෙන්නෙ නැති විදිහට පවත්වා ගැනීම පිණිස මොකක්ද අපිට උපකාර වෙන්නේ? මේ සේඛ බල පුරුදු කරමින් වාසය කිරීමමයි. ඒකයි අපට භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නේ. ශ්‍රද්ධා බලය කියන සේඛ බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනෑ කියල පුරුදු කරන්න කියල. එතකොට මේ සේඛ බල නිතර පුරුදු කළ යුතු දෙයක්. මේ සේඛ බල ගැන වැටහීම නිතරම සිතේ තිබිය යුතු දෙයක්. උදේ ශ්‍රද්ධාව පුරුදු කරනවා. දවල්ට අමතක කරනවා. උදේට හිරි බලය පුරුදු කරනවා. දවල්ට අමතක කරනවා. උදේට ඔත්තප්ප බලය පුරුදු කරනවා. දවල්ට අමතක කරනවා. එහෙම පුළුවන්ද? බෑ ඇයි ඒ? මේ සේඛ බල යම් වෙලාවක හිතෙන් බැහැර වුනාද එතකොට අකුසලයට හිත නැඹුරු වෙනවා. විශාල අනතුරක් තියෙන්නේ. එහෙනම් අපි මේ අනතුර තේරුම් අරගෙන ඒ අනතුරෙන් නිදහස් වෙන්න තියෙන උපකාරය තේරුම් ගන්න ඕනෑ.
අනතුරෙන් නිදහස් වීම පිණිස තිබෙන ලොකුම උපකාරය කුමක්ද? සේඛ බල පුරුදු කර ගැනීම. සේඛ බල පුරුදු කර ගනිමින්ම වාසය කළොත් එතන අකුසල් රැස්වීමක් වෙන්නේ නෑ. අකුසල් වැඩීමක් අකුසල් පුරුදු වීමක් වෙන්නෙ නෑ. කුසල් වැඩෙනවා. හොඳින් සේඛ බල ඉගෙන ගෙන, සේඛ බල ඇති කර ගත්තොත් අපි ආරක්‍ෂාවක් තුළමයි ඉන්නේ. අපි කොයි මොහොතේ මැරෙනවද දන්නේ නැහැ. කොයි මොහොතේ මිය ගියත් අපි සේඛ බල පුරුදු කර ගනිමින් වාසය කළොත් අනතුරක් සිදුවෙන්නේ නෑ. අනතුරින් බේරිලා, සේඛ බල ඇති කර ගැනීම අපේ ජීවිතයට විශාල ආරක්‍ෂාවක් අපි ඇති කර ගත්තා වෙනවා. මේ සේඛ බල ගැන හොඳින් ඉගෙන ගෙන සේඛ බල පුරුදු කර ගැනීම පිණිස ලොකු මහන්සියක් උනන්දුවක් අපි ඇති කර ගන්නට ඕනෑ.
අපි සියලු දෙනාටම ආශිර්වාද කරන්ට කැමතියි ජීවිතයට පරිපූර්ණ ආරක්‍ෂාවක් සලසා ගැනීම පිණිස සියලු දෙනාටම මේ සේඛ බල හොඳින් ඉගෙන ගෙන ජීවිතයට පුරුදු කර ගැනීමට දුර්ලභ වූ භාග්‍යය උදාවේවා.

උපන් අකුසල් දුරු කර ගනිමු

සේඛබල පුරුදු කරමු - 3


මේ වන විට පින්වතුන් සේඛ බල ඉගෙන ගත්තා. ඒ වගේම අප ඒ සේඛ බල වල අර්ථය දැන ගන්ටත් ඕනෑ. ඒ විදියට සේඛ බල වල අර්ථය දැන ගත්තොත් තමයි අපට සේඛ බල පුරුදු කර ගන්ට පුළුවන්කම තියෙන්නෙ.මේ සේඛ බල වල අර්ථය භාග්‍යවතුන් වහන්සේ මේ විදියට කෙටියෙන් අපට කියා දෙනවා. කතමඤ්ච භික්ඛවේ සද්ධාබලං” පින්වත් මහණෙනි, කොපමණකින් මේ සද්ධා බලය පවතිනවා ද? “ඉධ භික්ඛවේ අරියසාවකෝ සද්ධෝ හෝති “ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. “සද්දහති තථාගතස්ස බෝධිං” තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. “ඉතිපි සෝ භගවා, අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ’ සුගතෝ, ලෝකවිදූ,අනුත්තරෝ, පුරිසදම්මසාරථී සත්ථා, දේවමනුස්සානං, බුද්ධෝ භගවාති” යන්න ඒ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. “ඉදං වුච්චති භික්ඛවේ සද්ධාබලං” පින්වත් මහණෙනි, මෙය තමයි ශ්‍රද්ධා බලය.
එතකොට ශ්‍රද්ධා බලය ඇති කරගන්නෙ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදු වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියල, මේ විදියට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධා බලය කියල කියන්නේ.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව හිරි බලය කියන්නෙ කුමක්ද කියල, “ ඉධ භික්ඛවේ අරියසාවකෝ හිරිමා හෝති” පින්වත් මහණෙනි’ ආර්ය ශ්‍රාවකයා ලජ්ජාවෙන් යුක්තයි කියල කියා දෙනවා. “හිරියති, කායදුච්චරිතේන” කාය දුෂ්චරිතය කෙරෙහි ලජ්ජාවෙන් යුක්තව වාසය කරනවා” වචීදුච්චරිතේත” වචී දුෂ්චරිතය කෙරෙහි ලජ්ජාවෙන් යුක්තව වාසය කරනවා, “මනෝදුච්චරිතේන” මනෝ දුෂ්චරිතය කෙරෙහි ලජ්ජාවෙන් යුක්තව වාසය කරනවා. පාපකාර අකුසල දහම්වල යෙදී වාසය කරන්නට ලජ්ජාව උපදවා ගෙන වාසය කරනවා. අන්න ඒක තමයි හිරි බලය. එතකොට අප කාය දුෂ්චරිතය ගැන, වචී දුෂ්චරිතය ගැන, මනෝ දුෂ්චරිතය ගැන ලජ්ජාවක් තියෙන්ට ඕන. ඒ වගේම ඒව කරන්ටත් ලජ්ජාවක් තියෙන්ට ඕනැ. ඒවා නොකර ඉන්ට ඕනෑ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඔත්තප්ප බලය “ඉධ භික්ඛවේ අරියසාවකෝ ඔත්තජ්ජී හෝති” ආර්ය ශ්‍රාවකයා පවට බයෙන් යුතුව වාසය කරනවා. කොහොමද වාසය කරන්නේ? ඔත්තප්පති කායදුච්චරිතේන “කාය දුෂ්චරිතය කෙරෙහි බයෙන් වාසය කරනවා. “වචීදුච්චරිතේන” වචී දුෂ්චරිතය කෙරෙහි බයෙන් වාසය කරනවා. “මනෝදුච්චරිතේන, මනෝ දුෂ්චරිතය කෙරෙහි බයෙන් වාසය කරනවා” ඔත්තප්පතී පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා “පාපී අකුසල ධර්මයන් තුළ නියැළී වාසය කරන්ට බයෙන් යුක්තව වාසය කරනවා. අන්න ඒක තමයි ඔත්තප්ප බලය.
ඊළඟට පෙන්වා දෙනව විරිය බලය කියන්නෙ කමක්ද කියලා. “ඉධ භික්ඛවේ අරියසාවකෝ ආරද්ධවිරියෝ විහරති” ආර්යය ශ්‍රාවකයා ඇරැඹු සිහියෙන් යුක්තව වාසය කරනවා. කුමටද? “අකුසලානං ධම්මානං පහානාය “අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස ඇරැඹූ වීරියෙන් යුක්තව වාසය කරනවා, “කුසලානං ධම්මානං උපසම්පදාය” කුසල් ධර්මයන් උපදවා ගැනීම පිණිස ඇරැඹූ වීරියෙන් යුක්තව වාසය කරනවා” තාමාවා දළ්හ පරක්කමෝ දැඩි වීරියෙන් යුක්තව වාසය කරනවා. “අනික්ඛිත්තධුරෝ අත් නොහරින විර්යෙන් යුක්තව වාසය කරනවා, “කුසලේසු ධම්මේසු” කියන්නෙ කුසල් ධර්මයන් ඇති කර ගැනීම පිණිස දැඩි වීරිය, අත් නොහැරී වීරියෙන් යුක්තව වාසය කරනවා, “ඉදං වුච්චති භික්ඛවේ වීරිය බලං” ඒක තමයි වීරිය බලය කියල කියන්නේ.
දැන් අපි වීරිය බලය කියල කිව්වේ කුමටද? අකුසල් ප්‍රහාණය කරන්ටත් කුසල් උපදවා ගැනීම පිණිසත් ඇරැඹූ වීරියෙන් යුක්තව. පටන් ගත් වීරියෙන් යුක්තව වාසය කරනවා. එතකොට එයා කුසල් ධර්මයන් ඇතිකර ගැනීම පිණිස ඇරැඹූ වීරියෙන් යුක්තවයි ඉන්නේ. මොකක්ද ඇරැඹූ වීර්ය කියල කියන්නේ? ඇරඹූ වීරිය කියල කියන්නේ නිතර වීරියෙන් යුක්තයි කියන එකයි. ඇයි ඒකට අරැඹූ වීරිය කියන්නේ? අපි යම් වීර්යයක් ආරම්භ කරකවාද ඒ වීර්ය දිගටම පවතින්නේ නෑ. නැතිවෙනවා. විරිය කියන්නේ එහෙම එකක්. ආයේ ආරම්භ කරන්ට ඕන. දැන් පඩිපෙළක් දිගේ උඩට නගින්ට ඕන .කෙනෙකුට එක පඩියකට නගිනවා. ආපහු මොකද කරන්ට ඕනැ? අයිත් නගින්ට ඕනෑ. අන්න ඒ වගේ. එයා එක පඩියකට නැගල දැන් ඉතින් හරි කියලා හිටියොත් මොකද වෙන්නේ? එයාට ගමන සම්පූර්ණ කරගන්ට බෑ. වීරිය කියන එක පටන් ගත්තහම ඒක තියෙන්නේ නෑ. ඒක අනිත්‍යයි. නැතිවෙලා යනවා. ඒ වීරිය කියන්නේ හේතුවකින් හටගන්න දෙයක්. හේතු නැතිවීමෙන් නැති වෙනවා. එහෙනම් පටන් ගත් විරියෙන් යුක්තව වාසය කළ යුත්තේ ඒ නිසයි. එතකොට නිතර වීරිය පවතිනවා.
සමහර අය කියනවා නේද “ඉස්සර නම් මට හොඳ උනන්දුවක් තිබ්බා. දැන් ඒක නෑ කියලා. ස්වාමින් වහන්ස ඉස්සර නම් පොත් බැලුවා. බණ භාවනා කළා. දැන් සිතෙන්නේ නෑනේ කියනවා නේද? ඒ මොකද ඒ කලින් කඩියො වගේ වැඩ කළා. දැන් ඒ හයිය අඩු වෙලා නේද? අන්න ඒකයි ඇරැඹූ වීරිය කියන එක අවශ්‍ය වෙන්නේ. අපි එදා වීරිය ඇරැඹුවා. අප සිතුව වීරිය නිත්‍යයි කියල. එහෙනම් නිත්‍ය සංඥාව තුළ තමයි ඉන්නෙ නේද? ඒකටයි මේ විරිය සම්බන්ධයෙන් තියෙන්නෙ ඇරැඹු විරිය කියල එකක්. නිතර පවත්වන්න නම් ඒක ආරම්භ කරමින් සිටිය යුතුයි. මොකද විරියේ ස්වභාවය තමයි ආරම්භ කළ ගමන් නැති වෙලා යනවා. වෙන දේවල් වගේ නෙවෙයි. දැන් කුසීතකම නම් ස්විච් එක දැම්ම මැෂින් එක වගේ තියෙයි. මනුෂ්‍යයා මැරෙනකල් ම කුසීතකම තියෙයි. මැෂින් එකේ තෙල් ඉවර වෙනකල් මැෂින් එකේ ස්විච් එක දැම්මහම වැඩ කරනවනේ. ඒ වගේ කුසීත කම පටන් ගත්තොත් නම් මැරෙනකල් හරි තියෙයි. විරිය එහෙම නෑ. වීරිය කියන එක පටන් ගන්න ඕනෑ. ආයේ ආයේ පටන් ගන්න ඕනෑ.
අපට මේ තියෙන උතුම් අවස්ථාව ගිලිහෙන්න තියෙන එක් ඉඩකඩක් තමයි මේ පෙන්වා දෙන්නේ. මේ වන විටත් අප යම් යම් ප්‍රමාදයන්ට පත්වුණා නම්,මේ ධර්මයන් නිවැරැදිව වටහා නොගෙනයි. එසේ ප්‍රමාදයට පත්වුණේ. එතකොට හොඳට කල්පනා කරල බලන්න. අප තුළ සේඛ බලයන් හරිහැටි පිහිටලා නෑ නේද? ඇයි සේඛ බල ඇතිවෙලා තියෙන කෙනාගේ ස්වභාවය මොකක්ද? පටන් ගත් විරියෙන් යුක්ත බවත් එයා ළඟ තියෙනවා එහෙනම් එයා ළඟ නිතර වීරිය තියෙනවා. එහෙනම් බලන්න සතර අපායෙන් නිදහස් වීම පිණිස කොතරම් උනන්දුවකින් අප කටයුතු කළ යුතුද කියලා.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා බලය පිළිබඳව පෙන්වා දෙනවා. “කතමංච භික්ඛවේ පඤ්ඤා බලං” පින්වත් මහණෙනි මේ පඤ්ඤා බලය කියනනේ කුමක්ද? කොපමණකින් මේ ප්‍රඥා බලය අපට ඇතිකර ගන්න පුළුවන්ද කියන කාරණය තමයි මේ කියා දෙන්නේ. “ ඉධ භික්ඛවේ අරිය සාවකෝ පඤ්ඤා හෝති “ ආර්යය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්ත වෙනවා මේ විදිහට. “උයදත්ථගාමිනියා පඤ්ඤාය සමන්තා ගතෝ අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා “ඉතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස පවතින ආර්ය වු කලකිරීම උපදවන ආකාරය ඇතිවීමත් නැති වීමත් ගැන ප්‍රඥාවෙන් යුක්ත වීමත් තමයි ප්‍රඥා බලය කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට ආර්යය ශ්‍රාවකයාට කෙබඳු ප්‍රඥාවක්ද තිබෙන්නේ ඉතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස පවතින, ආර්යය වු කලකිරීම ඇති කරවීම පිණිස පවතින, ඇතිවීමත් නැති වීමත් ගැන නුවණක් තියෙනවා. යමක හටගැනීම, නැතිවීම ගැන වැටහීමක් තියෙනවා. අන්න ඒක තමයි ප්‍රඥා බලය කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන්නේ, “ඉදං වුච්චති භික්ඛවේ පඤ්ඤා බලං” එතකොට ඒවා තමයි සේඛ බල කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ.
දැන් අපි මේ වෙනකොට ඉගෙන ගත්තා සද්ධාබලය. හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය, එතකොට ඒ සේඛ බල වල අර්ථයක් අප ඉගෙන ගත්තා. ඒ සේඛ බල නිතර අප තුළ පවත්වා ගන්න අප පුරුදු වෙන්ට ඕනෑ. එසේ නිතර පැවතුනේ නැත්නම් මොකද වෙන්නෙ? ශ්‍රද්ධා බලය අතුරුදහන් වුණහම අකුසල් සිදුවෙනවා. හිරි බලයෙන් ඈත්වුණ ගමන් අකුසල් සිදුවෙනවා. ඔත්තප්ප බලයෙන් ඈත් වුණ ගමන් අකුසල් සිද්ධ වෙනවා. වීරිය බලයෙන් ඈත් වුණ ගමන් අකුසල් සිද්ධ වෙනවා. ප්‍රඥා බලයෙන් ඈත් වුණ ගමන් අකුසල් සිද්ධ වෙනවා. යම් තාක් ශ්‍රද්ධා බලය තුළ සිටින තාක් අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ. හිරි බලය තුළ සිටින තාක් අකුසල් සිදුවෙන්නේ නැ. ඔත්තප්ප බලය තුළ සිටින තාක් අකුසල් සිද්ධ වෙන්නේ නෑ. වීරිය බලය තුළ සිටිනතාක් අකුසල් සිද්ධ වෙන්නේනැ. ප්‍රඥා බලය තුළ සිටින තාක් අකුසල් සිද්ධ වෙන්නේනෑ. එතකොට අකුසල් සිද්ධ වෙන්නේ නැත්නම් එයා තුළ කුසල් වැඩෙනවා. එතකොට සතර අපායෙන් නිදහස් වෙන පැත්තට එයාගෙ සිත පිහිටුවා ගන්න අවස්ථාව ඉපදිලා. එහෙනම් අප මේ සේඛ බල ගැන හොඳින් ඉගෙන ගෙන සේඛ බල පුරුදු කරගන්නට මහත් වු කැමැත්තක් ඇතිකරගන්ට ඕනෑ.

අනතුරින් අත් මිදෙන්නට නම්..

සේඛ බල පුරුදු කරමු - 4


අප බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න කරන්න සතුටට නම් පත්වෙන්නේ. පී‍්‍රති ප්‍රමෝදයට නම් පත් වෙන්නේ. අපට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම අමතක වෙන්නෙ නැත්නම්, අපේ සිත සාර්ථක වෙන පැත්තට නැමිල. එහෙනම් ශ්‍රද්ධා බලය කියල කියන්නේ අන්න ඒක

සුගතියට පැමිණීම පිණිස දුගතියෙන් නිදහස් වීම පිණිස අපට උපකාර වන බලවත්ම දේ තමයි සේඛ බල .එය ඇතිකර ගත්තොත් අප සුගතියක උපදින විදිහට සිත සකස්කර ගත්තා වෙනවා. නමුත් අපට සේඛ බල පුරුදු කරගන්ට බැරි වුණොත් සුගතියට එන්ට තියෙන අවස්ථාව නැතිවෙලා දුගතියේ උපදින්න තියෙන අවස්ථාව බහුල වෙනවා. එනිසා අප අනතුරෙන් නිදහස් වන්නා වූ මාර්ගය අඳුරගන්ට ඕනෑ. අඳුරගෙන ජීවිතයට සේඛ බල පුරුදු කරගන්ට මහන්සි වෙන්ට ඕනෑ. ඉතින් අපි අද ඒ සේඛ බල ජීවිතයට පුරුදුකර ගන්න ආකාරය ගැන ඉගෙන ගනිමු.
අප ඉගෙන ගත්ත ඒ සේඛ බල තමයි ශ්‍රද්ධා බලය, හිරිබලය, ඔත්තප්ප බලය, වීරිය බලය, පඤ්ඤා බලය, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධා බලය කියල අප ඉගෙන ගත්තා. අප කොහොමද ශ්‍රද්ධා බලය පුරුදු කර ගන්නේ? ශ්‍රද්ධා බලය තියෙන කෙනා තුළ හිරි බලය දියුණු වෙනවා. ඒ වගේම එයා තුළ ඔත්තප්ප බලය දියුණු වෙනවා. විරිය බලය දියුණු වෙනවා. නමුත් ශ්‍රද්ධා බලය නැති කෙනා තුළ හිරි බලය පිරිහෙනවා. ඔත්තප්ප බලයත් පිරිහෙනවා. විරිය බලයත් පිරිහෙනවා. ප්‍රඥා බලයත් පිරිහෙනවා. එතකොට හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය , පිරිහෙන්නේ නැති වෙන්න උපකාරි වෙන්නෙ කුමක්ද? ශ්‍රද්ධා බලයයි. ශ්‍රද්ධා බලය හොඳට තිබුණොත් හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය තිබුණොත් අපට ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න පහසුයි. අපට නුවණ නැත්නම් ප්‍රඥාව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගත්ත කෙනා තුළ පවට ලජ්ජාව, පවට බය, විරිය පිහිටනවා.

අප මීට පෙර වීරිය ගැන ඉගෙන ගත්තා මතකද? කොහොමද විරිය බලය ගැන අප ඉගෙන ගත්තේ? අකුසල් ධර්මයත් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් ධර්මයන් උපදවා ගැනීම පිණිසත් ඇරැඹූ වීරියෙන් යුක්තව වාසය කරනවා කියලා නේද? එහෙනම් හොඳට තේරුම් ගන්න ඒ ඇරැඹූ විරිය කිව්වාම නිතර වීරිය තියෙනවා. ඒ විරිය නිතර පවත්වන එකක්. එහෙනම් අපේ වීරිය අඩුවෙලා ගියා නම්, යම් කලෙක විරිය දුර්වල වෙලා ගියා නම් ඒකට හේතුවුණේ මොකක්ද? හිරිඔතප් දුර්වල වෙලා යාමයි. හිරිඔතප් දුර්වල වෙලා ගියා. ශ්‍රද්ධාව දුර්වලවුණේ ඇයි? ප්‍රඥාව දුර්වලයි. එහෙනම් අප ඒ ප්‍රඥාව හොඳින් ඇති කර ගත්තොත් හිරි ඔතප් ඇති කරගන්න පුළුවන් වෙනවා. හිරි ඔතප් සහිතව ඉන්න කෙනා තුළ වීරිය ඉපදෙනවා. වීරිය උපදවා ගන්න එයාට පුළුවන්. එතකොට ශ්‍රද්ධාව උපදවා ගැනීම අප හොඳින් ඉගෙන ගන්නට ඕනෑ.
ඒ සඳහා අප බුදුරජාණන් වහන්සේ ගැන නිතර සිහි කරන්න ඕන. අප බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න කරන්න සතුටට නම් පත්වෙන්නේ. පී‍්‍රති ප්‍රමෝදයට නම් පත් වෙන්නේ. අපට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම අමතක වෙන්නෙ නැත්නම්, අපේ සිත සාර්ථක වෙන පැත්තට නැමිල. එහෙනම් ශ්‍රද්ධා බලය කියල කියන්නේ අන්න ඒක. යමෙක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තා කියන එකෙන් අදහස් වෙන්නේ. එයාට ඒ බුදුරජාණන් වහන්සේ ගැන නිතර සිහි වෙනවා. එයාට ඒ බුදුගුණ නිතර සිහිවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි වෙනට සිහි වෙන්ට එයාට කාවද දකින්න පුළුවන් වෙන්නේ? බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන් වෙනවා. එතකොට යමෙක් හොඳින් ශ්‍රද්ධාව තුළ පිහිටා සිටියොත් බුදුරජාණන් වහන්සේ දැකීම එයාට ඇතියි කියල සිතෙන්නේ නෑ.
එතකොට ධර්මය තුළ වැඩෙන කෙනෙක් තුළ තේරුම් ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි ඒ කාරණාව.ඊළඟ එයාට සද්ධර්ම ශ්‍රවණය ඇති කියල සිතෙන්නේ නෑ.ඇයි සද්ධර්ම ශ්‍රවණය ඇති කියල සිතෙන්නේ නැත්තේ? සද්ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න එයාට භාග්‍යවතුන් වහන්සේ දකින එක ඇතියි කියල සිතෙන්නේ නැත්නම්, එයාට ධර්ම ශ්‍රවණය ඇති කියල සිතෙන්නෙත් නෑ. ධර්ම ශ්‍රවණය කරන්ට කරන්ට එයාට භාග්‍යවතුන් වහන්සේව දකින්න පුළුවන්. එයා එයින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. එයාට ආයෙ ආයෙමත් ධර්මය අහන්ට සිතෙනවා. ධර්මය නැවත අහන්ට අහන්ට ඒ ධර්මය පුරුදු කරන අය ගැන එයා තුළ ප්‍රසාදය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එතකොට ඒ විදිහට ධර්මය නැවත අහන්ට අහන්ට ධර්මය පුරුදු කරන අය කෙරෙහි උපකාර කරන්න එයාගෙ සිත නැමෙනවා. එහෙනම් එයාට සංඝ උපස්ථාන කිරීමත් ඇතියි කියල සිතෙන්නේ නැ. මේ විදියට බුදුරජාණන් වහන්සේ දැකීම ඇති කියල සිතෙන්නේ නැති කෙනා තුළ තියෙන ලක්ෂණය මොකක්ද? එයාට බුදු ගුණ සිහි කරන්න පහසුයි. බුදු ගුණ එයාට නිතර සිහි වෙනවා.
සීවලී ස්වාමීන් වහන්සේගේ මෑණියන් සුප්පියා උපාසිකාව සීවලී රහතන් වහන්සේ ඉපදෙන්ට ඉන්න කොට කොතරම් කලක් ඒ වේදනාව උහුලගෙන හිටියද? දීර්ඝ කාලයක් ඒ වේදනා උහුලගෙන හිටියා. ඒක අසාමාන්‍ය වේදනාවක්. අවුරුදු හතයි මාස හතයි දවස් හතයි කිව්වාම ඒක සුළු පටු කාලෙකුත් නෙවෙයි. අතිශය කර්කශ දුක් විදින්ට ඇති.ඒ හැම වෙලාවෙම ඒ උපාසිකාවට භාග්‍යවතුන්ට වහන්සේව සිහිපත් වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සැම දුකින්ම නිදහස් වුණා කියලා සිහි කළා. ඒ උපාසිකාව එහෙම සිහි කළාද? සිහිවුණාද? සිහි වුණා. එතකොට ධර්මය තුළ පිහිටා සිටින කෙනෙකුගේ ස්වභාවය නේද ඒක? එයාට කායික දුක තියෙන කොට බුදු ගුණ සිහි කිරීම ප්‍රශ්නයක් වුණේ නෑ. ධර්ම ශ්‍රවණය ප්‍රශ්නයක් වුණේ නෑ. එහෙනම මේක හොඳට තේරුම් ගත්හ. ධර්මය තුළ පිහිටි කෙනාගෙ ලක්ෂණය ඒකයි. කායික දුක බලවත් වෙන්ට වෙන්ට එයාට මොකක්ද සිහි වෙන්නේ ? බුදුරජාණන් වහන්සේ සිහි වෙනවා. සද්ධර්මය සිහි වෙනවා. එයාට සිහි වෙන්නෙ නැත්නම් යම් කෙනෙක් සිහිපත් කරල දෙනකොට එයාට සිහිය උපදිනවා. ඒකයි ධර්මය තුළ පිහිටි කෙනාගේ ස්වභාවය එතකොට එයා ළඟ ශ්‍රද්ධා බලය තියෙනවා.
ඒ විදිහට ශ්‍රද්ධා බලය ඇති කර ගන්ට නම් ආරම්භය කොහොමද අප ඇති කරගත යුත්තේ ? මේක හොඳට තේරුම් ගත යුතු කාරණයක්. දැන් අප ගොඩාක් වෙලාවට කරන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙන ගන්නවා. ඉගෙන ගෙන ඔන්න භාවනා කරන්න පටන් ගන්නවා. ඒ කරල සිතනවා. අනේ මට භාවනා වැඩෙන්නේ නෑනේ’ කියල. බුදුගුණ වැඩෙන්නේ නෑ කියනවා. එහෙම කියනවා නේද? මට බුදුගුණ පිහිටන්නේ නෑනේ කියන ගැටලුව ගොඩකට තියෙනවා. එතකොට බුදුගුණ වැඩෙන්නෙ නැත්නම් අපට දොර විවර වෙන්නේ නෑ නේද? ඇයි ඒ බුදුගුණ වැඩෙන්නේ නෑ කියල කියන්නේ ? අපි කල්පනා කරන්නෙ බුදු ගුණ ගැන නොවෙයි. බුදු ගුණ ගැන කල්පනා නොකර බුදු ගුණ වැඩල සමාධියක් ඇති කරගන්නයි සිතන්නේ. එතකොට බුදු ගුණ වැඩෙන්නේ නෑ.
ඒක නේද කවුරුත් සිතන්නේ. මම බුදු ගුණ සිතල සමාධි උපදවා ගන්නවා කියල සිතනවා. අපට එහෙම නොවෙයි කරන්න තියෙන්නේ. අප කළ යුත්තෙ බුදුරජාණන් වහන්සේගේ ගුණ වලට පහදින එකයි.ඒ විදිහට ඒ බුදු ගුණ ගැන පැහැදුණොත් අපට ඒ බුදු ගුණ සිහිවෙනාව. එතකොට සිතේ තියෙන්නේ බුදු ගුණ . එතකොට සිත තියෙන්නේ කුසල් අරමුණක.
එතන තමයි සමාධිය ඇති වෙන්නේ. එහෙම සිත සිතා ඉන්න කොට ඒ සිත වැඩෙනවා. කලක් යනකොට බලවත් සමාධි ඇති කර ගන්න එයාට පුළුවන්කම ලැබෙනවා.

හේතු ඵල දහම

හේතුඵල ඉගැන්වීම බුදු දහමේ මූලික ඉගැන්වීමකි. මජ්ඣිමා පටිපදා හා මජ්ඣිමා දේශනා යනුවෙන් කොටස් දෙකක් චරණය හා දර්ශනය සම්බන්ධයෙන් බුදු දහමේ විස්තරවේ. එයින් මජ්ඣිමා පටිපදා යනු ප්‍රතිපත්තිය වේ. මජ්ඣිමා දේශනා යනු බුදුදහමේ දාර්ශනික කොටසයි. මජ්ඣිම දේශනා යනු පටිච්චසමුප්පාද දේශනය හෙවත් හේතුඵලවාදී දර්ශනයයි. අප බුදුදහම තුළ දකිනුයේ මෙලොව සෑම දෙයක්ම හේතු ඵලවාදයකට අනුව ක්‍රියාත්මක වන බවයි. ඒ බව ධර්මයේ පෙන්වනුයේ මෙසේය.
“අස්මිං සති ඉදං හෝති
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
අස්මිං අසති ඉසං න හෝති
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති”

ඇතිවීමට හේතු ඇති තෙක් සසර ඇතිවන බවත්, පැවැත්මට හේතු නැති කළ විට පැවැත්මට අදාළ හේතු නිමා වූ පසු සසර අවසන් වන බවත් එහි අදහසයි.
“හේතුංපටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ක්‍ධති” යනුවෙන් හේතූන් නිසා හට ගන්නා දේවල් හේතූන් නැති කල්හි නිමා වන බව ධර්මයෙහි පැහැදිලි කෙරෙයි. එහෙයින් ලොව ඇති ජීව අජීව ක්‍රියාකාරීත්වය පිළිබඳ සිද්ධාන්තය පටිච්චසමුප්පාදය හා සම්බන්ධ කර පෙන්වා දී ඇත. මිනිසා ගේ සසර පැවැත්ම පමණක් නොව ලොව පවතින සෑම ක්‍රියාකාරකමක්ම බුදුදහමේ පැහැදිලි කරනුයේ පටිච්චසමුප්පාදයට සම්බන්ධ කරමිනි. වැස්ස පරිසරය ආදි සියල්ල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හා බැදී පවතියි. එය ‘උපනිස සූත්‍රයේ’ පෙන්වන්නේ මෙසේ ය.

යම් සේ කඳු මුදුන්වලට වැස්ස වැටුණා කල කඳුවල ඇති පුංචි පැල විවරවල වතුර පිරේ. ඒ පුංචි පැලි විවරවල පිරෙන ජලයෙන් මහා විල් පිරේ. මහාවිල් පුරවන ඒ ජලය පුංචි ගංගා පුරවයි. ඒ කුඩා නදීහු මහා නදීන් පුරවයි. මහා ගංගා සමුදුරට ගලා යයි. ඒ අනුව පුංචි වැහි බිංදුව මහා සයුරක් බවට පත් වෙන ක්‍රියාවලිය හඳුන්වා දෙන්නේ ඒ පටිච්චසමුප්පාද ක්‍රියාවලියටම සම්බන්ධ කොට ගෙන ය. ‘උපනිස සූත්‍රය’ බුදුරජාණන් වහන්සේ පරිසරයට, වැසි චක්‍රයට සම්බන්ධ කර දේශනා කළේ එසේය.
එසේම සමාජය තුළ මිනිස් ක්‍රියාකාරිත්වයන් පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අනුව සකස්වන ආකාරය බලමු. සමහරුන් සිරකරුවන් බවට පත්වනුයේ ඔවුන්ගේ වරදින්ම නොව සමාජයෙන් ඇති වන විවිධ හේතු සාධක බලපෑමෙනි. ඇතැම් විටෙක අපට දක්නට ලැබෙන අයුරු කලක් ඉතා හොඳින් සිටින අය තවත් කලෙක නරක පුද්ගලයන් බවට පත්වේ. එසේ වීමට හේතු වනුයේ බාහිර සමාජ ක්‍රියාකාරකම්ය. මෙයට හොඳම නිදසුන අහිංසක නම් ශිෂ්‍යයා අංගුලිමාල නම් දරුණු පුද්ගලයෙක් බවට පත්වීම. එහි දක්නට ඇත්තේ ද පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකි.
අහිංසක දක්ෂයෙක් නිසා සහෝදර ශිෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වේ. දක්‍ෂකම නිසා එහි ඊර්ෂ්‍යාව ගොඩ නැඟේ. එම ඊර්ෂ්‍යාව නිසා කේලාම් කීමක් සිදුවේ. ඒ අනුව ගුරුවරයා අහිංසකව විනාශ කිරීමට සිතා ගුරු පඩුරු වශයෙන් නොකළ යුතු මහා බරපතළ වරදකට ඔහුව පොළොඹවයි. මෙම ක්‍රියාවලිය තුළ ද ඇත්තේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියයි.
බුදුහාමුදුරුවෝ මිනිසුන්ට තෘෂ්ණාව නිසා පර්යේෂණයද පර්යේෂණය නිසා ලැබීමද ලැබීම නිසා විග්‍රහද ආදි වශයෙන් එකිනෙකට බැදී ගිය දාමයක් සේ සත්ත්වයා සසර පැටලෙන ආකාරය පෙන්වා දී තිබේ. ලැබෙන විට එක් පැත්තක් හොඳය. අනෙක් පැත්ත නරකය යනුවෙන් විනිශ්චයන්ට එළැඹේ. විනිශ්චය නිසා ඡන්දරාගය හටගනී. ඡන්දරාග නිසා බැස ගැන්ම ඇතිවේ. ඉනික්බිති ඇලීම ද ඇලුණු පසු ගැටීම ද ගොඩැනැඟෙයි. දඬුමුගුරු ගැනීම, අවි ආයුධ ගැනීම, කේලාම් කීම, බොරු කීම, මිනී මැරීම මේ සියල්ල ඇතිවනුයේ තෘෂ්ණාවෙන් ජීවත්වීම නිසාය. එක් එක් තැන කුඩා පටිච්චසමුප්පාද ක්‍රියාදාමයන් ද සිදුවේ. බුදු දහමේ කේන්ද්‍රීය ඉගැන්වීම පටිච්චසමුප්පාදයයි. කර්ම කර්මඵල හොඳ නරක ලෙස වෙන් කරන දෙය හා එහි ප්‍රතිඵලය එම ක්‍රියාවලියට අනුව සිදුවන්නකි. දුකක් ඇත දුකට හේතු ඇත. නිවන ඇත. නිවන සඳහා මාර්ගය ඇත. මාර්ගය නම් ක්‍රියාවයි. එහි ප්‍රතිඵලය නිවනයි.
ඒ අනුව මෙම සෑම දෙයකම පටිච්චසමුප්පාද දර්ශනය ඇතුළත්ව ඇති බව පැහැදිලිය. එහෙත් නිවන පිළිබඳව මෙයට වෙනස් අයුරින් සාකච්ඡා කළ යුතුවේ.
අසංඛතධාතු :- නිවන සංස්කරණය වූවක් නොවේ. පටිච්චයසමුප්පන්න ධර්මයක් ලෙස ධර්මයේ පැහැදිලි කර නැති මුත් නිවන සඳහා යන මඟෙහි ඇත්තේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියකි. බුදුදහමේ උග්වන මේ කේන්ද්‍රීය ධර්ම කාරණාව මිනිසාගේ සසර පැවැත්ම සඳහා හේතුවන ආකාරය හා ඒ හේතු නැතිකර ගැනීමෙන් සසර පැවැත්ම නවතා ගන්නා ආකාරය පිළිබඳව සොයා බලමු.
බුදුහාමුදුරුවෝ එදා කුරු රටට (අද දිල්ලියට) වැඩම කොට ආනන්ද හිමි හා මේ පිළිබඳව සාකච්ඡා කළ බැව් ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. ආනන්ද හිමියන් විසින් මෙසේ විමසා ඇත. ස්වාමීනී, මෙය ආශ්චර්යයකි. අද්භූතයකි. පටිච්චසමුප්පාදය ගැඹුරු බැස ගැනීම් ඇති දෙයකි. එසේ වුවත් ස්වාමීනි, එම ධර්මයට මතුවී මතුවී පෙනෙන්නා සේ යැයි ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. ඉන් අදහස් කළේ පටිච්චසමුප්පාදය උන්වහන්සේට හොඳින් තේරුම ගොස් ඇති බවයි. එහි දී පටිච්චසමුප්පාදය පැහැදිලි කරමින් බුදුන් වහන්සේ මහානිදාන සූත්‍රය දේශනා කළ සේක. අවිද්‍යාවෙන් පටන්ගෙන සසර දුක් හටගන්නා ආකාරය උගන්වන කරුණු එහි ඇතුළත්ය. බුදු දහමේ පටිච්චසමුප්පාදය පිළිබඳව ඉගැන්වූ සසර පැවැත්මට සම්බන්ධ ඉගැන්වීම ලෙස ක්‍රමානුකූලව අප එය අධ්‍යයනය කළ හැකි ය.
අවිජ්ජා පච්චයා සංඛාර– අවිද්‍යාව නිසා සංස්කාර ගොඩනැගේ. අවිජ්ජාව යනු කුමක්ද? අවිද්‍යාව යනු සිව්සස් නොදැනීමයි. නැතහොත් චතුරාර්ය සත්‍යය පිළිබඳ අනවබෝධයයි. මෙය දුකයි. මෙය දුකට හේතුවයි. මෙය දුක නැති කිරීමෙන් ලබන්නා වු විමුක්තියයි. මෙය දුක නැති කිරීමේ මාර්ගයයි. යනුවෙන් චතුරාර්ය සත්‍යය න්‍යාය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. එසේ අවබෝධයක් නොමැතිකම අවිද්‍යාවයි.
අවිජ්ජාව නිසා සංස්කාර ගොඩ නැගේ. සංස්කාර පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර හා අනෙඤ්ජාභිසංඛාර යනුවෙන් කොටස් වේ. පුඤ්ඤාභිසංඛාර නම් පින් රැස් කිරීමයි. අපුඤ්ඤාභිසංඛාර යනු අකුසල් රැස් කිරීමයි. අනෙඤ්ජාභිසංඛාර යනු ධ්‍යාන හේතු කොටගෙන බ්‍රහ්ම ලෝකවල ඉපදීමට අදාළ තත්ත්වය නිර්මාණය කරගැනීමයි.
සංඛාර පච්චයා විඤ්ඤාණ යනුවෙන් සංඛාර නිසා විඤ්ඤාණය ගොඩනැඟෙන බව පෙන්වාදී තිබේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය කෙනෙකුට යළි භවයක් ලැබීම සඳහා හේතුවේ. එසේ නැති නම් අයෙක් භවයට සම්බන්ධ වන විඤ්ඤාණය ප්‍රතිසන්ධි විඤ්ඤාණය ලෙස නම් කර ඇත.
විඤ්ඤාණය පච්චයා නාමරූපං විඤ්ඤණය පදනම් කොටගෙන නාමරූප ගොඩ නැගේ. නාම යනු මානසික කොටසය. රූප යනු භෞතික කොටසය. මානසික කොටසේ ඇත්තේ චිත්ත චෛතසිකයන්ය. පංචස්ඛන්ධය ගත්කල වේදනා, සංඥා, සංඛාර, විඤ්ඥාණ යන සියල්ලම නාම කොටසේ අන්තර්ගතය. රූප කොටසින් භෞතිකත්වය අවධාරනය කෙරේ. මෙම නාමරූප පැවැත්ම ඛන්ධායතනධාතු පැවැත්ම සසරයි.
නාම රූප පච්චයා සළායතනං - නාමරූප යන ප්‍රාථමික තත්ත්වය තවදුරටත් සංවර්ධනය වෙමින් ආයතන හයක් බවට පත්වේ. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස යනුවෙනි. සළායතන පච්චයා ඵස්සෝ ආයතන හය පදනම් කොටගෙන ස්පර්ශය ගොඩනැගේ. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශය, සිතට අරමුණු වශයෙන් වේ. මෙම තත්ත්වයට විඤ්ඤාණය එක් වීමෙන් තවදුරටත් සංකීර්ණ වෙයි. ඇස, රූපය හා චක්ඛු විඤ්ඤාණය නිසා ඇසේ ස්පර්ශය ඇතිවේ. මේ ආකාරයට ආයතන හයෙහිම ස්පර්ශය ඇතිවේ.
ඵස්ස පච්චයා වේදනා ස්පර්ශය පදනම් කොට ගෙන විදීම ඇතිවේ. මෙය තුන් අයුරකින් ධර්මයෙහි බොහෝ තැන පැහැදිලි කෙරේ. වේදනාව විවිධාකාර ලෙස දැක්වේ. විශේෂයෙන් අපි වේදනා ප්‍රභේද තුනක් හදුනා ගනිමු. සුඛ වේදනා, දුක්ඛවේදනා, අපේක්ෂා වේදනා යනුවෙනි.
තණ්හා පච්චයා උපාදානං – තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය යනු දැඩිව අල්ලා ගැනීමයි. දැඩිව අල්ලා ගැනීම නිසා භවය හට ගනී. ඒ බව උපාදාන පච්චයා භවෝ යනුවෙන් දක්වා තිබේ. භවය නිසා ජාති හෙවත් උපත ඉපදීම සිදුවේ. උපත පිළිබඳව බොහෝ දෙනා කල්පනා කරනුයේ බොහෝ සුඛදායී හැගීමකිනි. එහෙත් එය වැරැදි හැගීමකි. දරුවෙක් මෙලොව බිහිවූ දින සිට ජරා දිරීම, ව්‍යාධි රෝගීවීම, මරණ මරණයට පත්වීම ආදි දුක් හට ගනී. ඒ නිසා ජීවිතය පිළිබඳව යථාර්ථවාදීව ඇත්ත ඇති සැටියෙන් කල්පනා කළ යුතුවේ. එසේ කල්පනා කරන විට ජීවිතය දුකක් ලෙස අවබෝධ වේ.
ජාති, ජරා, ව්‍යාධි යනුවෙන් සංවේග වස්තූන්ට අනුව ජීවිතය ගැන කල්පනා කළ යුතුය. ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, අපාය දුක, අතීත දුක, අනාගත දුක, සසර දුක හා මේ ජීවිතයේදී ලබන ආහාර සෙවීමේ දුක යනුවෙන් සංවේග වස්තුන් අටක් දක්වා තිබේ.මේවා දැක සංවේග පහළ කරගත යුතුය. මෙයින් අප ගත කරන ජීවිතය සෑම අතකින්ම දුක්ඛදායකය. ජීවිතයේ ඇති එවන් යථාර්ථය හඳුනා ගෙන මුලා නොවී අවබෝධයෙන් කටයුතු කිරීමට අපි ඉටාගත යුතු වෙමු. තවද ලාභ ඉපයීම් මඟ හා නිවන් මඟ එකක් නොව දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම වදාරා තිබෙනවා. ඒ නිසා නිර්වාණලාභී ප්‍රතිපදාවේ ගමන් කිරීමට අපි සෑම දෙනා අදිටන් කර ගනිමු.