ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

දිවා රැය වැඩිය යුතු සදාචාරය

මල්වතු විහාරීය විංශත් වර්ගික කාරක සංඝ සභික 
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය 
දර්ශනපති 
වැලිවිට සෝරත හිමි

නියම බෞද්ධයා කවුරුන්ද? යන වග හඳුනාගත හැක්කේ ඔහු විසින් සිදුකරන ලද ක්‍රියාවන් මුල් කරගෙනය. සමාජයට වැඩදායි යහපත් දෙයක් කරන්නේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේය. ඒ අනුව බුදු දහමේ සදාචාරය යනුවෙන් ඉගැන්වෙන්නේ යහපත් හැසිරීමයි. යහපත් හැසිරීම තුන්ආකාරයකින් විය යුතුය. කයින් සංවර වීම ,වචනයෙන් සංවර වීම, මනසින් සංවර වීම එම තුන් ආකාරයයි.

කායෙන සංවරො සාධු – සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු – සාධු සබ්බත්ථ සංවරො

යනුවෙන් උගන්වා ඇත්තේ එයයි. සදාචාර සම්පන්න පුද්ගලයෙකු නිර්මාණය වන්නේ උප්පත්තියෙන්ම නොවේ. ඉපදෙන දරුවා ක්‍රමයෙන් වැඩිවියට පත්ව නොයෙක් ක්‍රියාකාරකම් ඔස්සේ විවිධාකාරයේ පෙළඹීම්වලට යොමු වෙයි. එබඳු පෙළඹීම් ඇතැම්විට හොඳ දෙයකට හෝ නරක දෙයකට විය හැකිය. නරක ක්‍රියාවන්ට යොමු නොවී හොඳ ක්‍රියාවන්වලට යොමුවීම සඳහා බුදුදහම උපදෙස් දෙයි. ඒ අනුව නිවැරදි ප්‍රතිපත්තිවලට යොමුවී ක්‍රියා කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් දේශනා කළ එකම ශාස්තෘන් වහන්සේ බුදුන් වහන්සේය. ඒ සඳහාම වෙන් වූ සූත්‍ර කිහිපයක් පෙළ දහම තුළින් සොයා ගත හැකිය. සිඟාලෝවාද සූත්‍රය, වසල සූත්‍රය , පරාභව සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය හා මහා මංගල සූත්‍රය ඉන් සමහරකි. මෙකී සූත්‍රවලින් පෙන්වා දෙන්නේ අයහපත් ක්‍රියාවන් සිදු කිරීමෙන් සිදුවන හානිය හා ඒවායින් අත්මිදී යහපත් ක්‍රියාවන් සිදු කළ යුත්තේ කෙසේද? යන්න ඉගැන්වීමයි. ඡන්දා, දොීසා,භයා, මෝහා යන සතර අගතියෙන් තොරව කටයුතු සිදු කිරීමට උපදෙස් දෙන බුදුදහම වැඩෙන දරුවාගේ පටන් වැඩිමහළු පුද්ගලයා දක්වා ක්‍රමයෙන් ගොඩනඟා ගතයුතු දහම් මොනවාද? යන්න පෙන්වා දෙයි.

සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන සදිසා නමස්කාරය ශිෂ්ට සම්පන්න, සදාචාර සම්පන්න අංග සම්පූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීමේදී බෙහෙවින් ඉවහල් වේ. නූතන සමාජය දෙස බලන කළ මව්පිය දූ දරුවන්, ගුරු සිසුන්, අඹුසැමියන් , රජුන් හා රටවැසියන්, කම්කරුවන් හා ස්වාමියන්, ගිහියන් හා පැවිද්දන් අතර විවිධ වාද විවාද, තර්ක, විතර්ක, ගැටුම්, නොසන්සුන්තාවයන් ඇති වී ඇත්තේ ඔවුනොවුන් අතර නිසියාකාර අවබෝධයක් නොමැතිකම නිසාය. සිඟාලෝවාද සූත්‍රයට අනුව පුද්ගලයෙකු හැඩ ගැසෙන්නේ නම් මෙවැනි අකටයුතුකම් සිදුවීම වළක්වාලිය හැකිය.
වසල සූත්‍රයේ ඉගැන්වෙන “න ඡච්චා වසලෝ හෝති න ජච්චා හොති බ්‍රාහ්මණො” ආදි ගාථාවෙන් කියවෙන පරිදි මිනිසෙකු උප්පත්තියෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ නැත. “කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො” යන දේශනාවට අනුව එසේ වන්නේ තමන් සිදු කරන කර්මයන්ට අනුවය. යමෙක් මේ පිළිබඳ දැනගෙන, යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු සිදු කරන්නේ නම් සමාජය තුළ සිදුවන බොහෝ අකටයුතු ක්‍රියාවන් පහව යයි.

සදාචාරසම්පන්න ක්‍රියා

මුළු මහත් සමාජයේ වාසය කරන සෑම පුද්ගලයෙකු තුළම ගොඩ නගා ගත යුතු සදාචාර සම්පන්න ක්‍රියාවන් පිළිබඳ විස්තරයක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වේ. එහි ඉගැන්වෙන අධර්ම කරුණු අතරින් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම, මත්පැන් පානය, සූදුව, නරක මිතුරන් ආශ්‍රය කිරීම යන කරුණු සදාචාර සම්පන්න ගති පැවතුම් යටපත් කරන හේතු කාරණා බව පෙන්වා දිය හැකිය.
විශේෂයෙන්ම මෙකී කාරණාවන් තරුණ පරම්පරාවට අතිශයින් වැදගත් වෙයි. තරුණ අවධියේදී නොයෙක් වැරදි ක්‍රියාවන්වලට පෙළඹීමක් ඇති කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඔවුන් එම වැරදි ක්‍රියාවන්ගෙන් මුදවා ගැනීම සඳහා බුදු දහම පෙන්වා දෙන මාර්ගය අනුගමනය කළ යුතුය.
තරුණ කාලය හුදෙක් තම ආශාවන් මුදුන් පමුණුවා ගැනීම කෙරෙහි පමණක් යොමු නොවී යහපත් ක්‍රියාදාමයන් සිදු කිරීම සඳහා පෙළඹවීම තිබිය යුතුය. කුඩා කාලයේ දී ඇතැම් දරුවන් වැරදි ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජය විසින් ඔහු ග්‍රහණයට ගෙන ඇති නිසාය. මැදිවියට යන විට මේ සෑම දෙයක් පිළිබඳව ම තේරුම් ගැනීමේ නුවණ පහළ වෙයි. එහෙත් ඒ වනවිට කාලය බොහෝ දුරට ගෙවී අවසානය.

මිනිසා පහතට හෙළන කරුණු

මිනිසා පහතට හෙළන කරුණු පිළිබඳ ඉගැන්වීම් ඇති සූත්‍රයක් ලෙස පරාභව සූත්‍රය ද වැදගත් තැනක් ගනී. තමන් සිදු කරන කාර්යයන් තුළින්ම තමාගේ පිරිහීම ඇති වන බව පෙන්වා දීම මෙම සූත්‍රයේ අරමුණ වේ. ධර්මානුකූලව යමක් සිදු නොකොට හුදෙක් කාමභෝගි ජීවිතයක් ගත කරන්නා දවසින් දවස පිරිහීමට පත් වේ. එසේ නොවී ධර්මානුකූලව කෙනෙක් වාසය කරන්නේ නම් ඔහු ධර්මය විසින්ම ආරක්ෂා කරන බව “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” යන බුදු වදනින් කියවේ.
නිතර කම්මැලිකමින් සිටීම, අනවශ්‍ය දෑ කථාකරන පිරිස් ඇසුරෙන් සිටීම, උත්සාහවන්ත කම නොමැතිවීම, ස්ත්‍රී ලෝලිත්වය , සුරාව, සූදුව වැනිදේ කෙරෙහි ඇලීම පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කාරණා ලෙස පෙන්වා දිය හැකිය. පවුලක ප්‍රධානියා පිරිහෙන්නේ නම් එකී පවුලේ අනිත් උදවිය ද පිරිහීමට පත් වේ.
ඉන්පසු ක්‍රමයෙන් එය සමාජ ගත වී සමාජයද පිරිහෙයි. මෙම න්‍යාය ක්‍රමයෙන් උත්සන්න වී පුද්ගලයා තුළ ඇතිවෙන සදාචාරය ද පිරිහී ආචාර සම්පන්න නොවු සමාජයක් බිහි වේ.

අටතිසක් මංගල

සමාජයක සදාචාරය දියුණු වීම උදෙසා කරුණු කියවෙන සූත්‍රයක් වශයෙන් මහා මංගල සූත්‍රය පෙන්වා දිය හැකිය. එහි අඩංගු වන දියුණුවීමේ දොරටු තිස් අට අනුගමනය කරන යම් කෙනෙක් වේනම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේය. අසේවනාච බාලානං යන ගාථාවෙන් පටන්ගෙන පුට්ඨස්ස ලෝක ධම්මේහි යන ගාථාව තෙක් කියවෙන්නේ සදාචාර සම්පන්න සමාජයක් බිහිවීම සිදු වන්නේ කෙසේද? ඒ සඳහා සිදුකළ යුතු ක්‍රියාවන් මොනවාද? යන්න පිළිබඳවය. මෙහි අඩංගු ක්‍රියාවන් හුදෙක් දැනගැනීම පිණිස පමණක් නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු දෙයක්ද වන්නේය.
මංගල සම්මත යැයි ගැනෙන දියුණුවට හේතු වන කරුණු පිළිබඳව දැන ගැනීම දෙවියන් හා මිනිසුන්ට තිබුණු ලොකුම ගැටලුව විය. ඒ සඳහා බුදුරජුන් පෙන්වා දුන් කරුණු අතිශයින්ම වැදගත් වෙයි. බාලයන් ඇසුරු කිරීමෙන් වැළකීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, මව්පියන්ට සැලකීම, අඹුදරුවන්ට සංග්‍රහ කිරීම, දන්දීම දැහැමිව කටයුතු කිරිම ආදි නොයෙක් කරුණු ඉදිරිපත් කර ඇත්තේ සමාජය සදාචාර සම්පන්න එකක් බවට පත් කිරීමේ අභිලාෂයෙනි.

මෙත් සිත පැතිරවීම

මීට අමතරව බොහෝ දෙනෙක් දන්නා කරණීය මෙත්ත සූත්‍රයෙන්ද සදාචාරවත් සමාජයක් බිහි කරලීම සඳහා කරුණු ඉදිරිපත් කෙරී ඇත. ලෝක සත්වයා වෙත මෛත්‍රිය පැතිරවීම සදාචාර ක්‍රියාවකි. මෙලොව දියුණුවටත් පරලොව දියුණුවටත් හේතු වන කරුණූූ කාරණාවන් බොහෝමයක් මෙම සූත්‍රය තුලින් පෙන්වා දී ඇත.
දකින, නොදකින, ලඟ සිටින, දුර සිටින සෑම සත්වයෙක්ම සුවපත් වෙත්වා යැයි යමෙකුට ප්‍රාර්ථනා කළ හැකිනම් ඒ පුද්ගලයා සදාචාරවත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් වෙයි. එපමණක් නොව සෑම සත්වයෙක්ම කල්පනා කළ යුත්තේ තමන්ගේ සැපත මෙන්ම අනුන්ගේ ද සැපතයි. තමන්ගේ දුක මෙන්ම අනුන්ගේ දුක පිළිබඳවද සලකා බැලිය යුතුය. දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, සමාජ චාරිත්‍ර වශයෙන් ගැනේ.එසේ නොමැති වූ විට පුද්ගලයා පමණක් නොව සමාජය ද පිරිහී විසමාචාර සමාජයක් බිහිවීමට හේතු වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ බුදුදහම සදාචාරවත් සමාජයක් බිහි කිරීම උදෙසා නොයෙක් සූත්‍ර දේශනා කර ඇති බවය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බොජ්ඣංග ධර්ම හැදෑරීමට පෙරවදනක්

මීරිගම, මිණීඔලුව,
විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති, 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක 
ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති 

මකුලෑවේ විමල නා හිමි

මෙම සූත්‍ර දේශනාවන්ගෙන් කියවෙන්නේ රෝගාතුර ව (ආබාධිතෝ) දුකට පත් ව (දුක්ඛිතො) දැඩිසේ ගිලන් ව (බාළ්හ ගිලානො) සිටින අවස්ථා තුනකදීම සත්ත බොජ්ඣංගය රෝගියාට සිහිපත් කර දීමෙන් සුවපත් වූ අවස්ථා තුනක් ගැනය. මෙහි රෝගීන් වශයෙන් මහරහත් නමක්, අගසව් නමක්, බුදුවරයෙක් මුණ ගැසෙති. ලොව ජීවත් වූ ඉහළම ගණයේ බුද්ධිමතුන් තිදෙන දැඩි රෝගී බවින් මිදුණේ සත්ත බොජ්ඣංගයන් නාමික වශයෙන් තවකෙනකු කියනු අසා සිටීමෙනි.
මහා කස්සප, මහා මොග්ගල්ලාන, මහාචුන්ද නමින් සූත්‍රාන්ත දේශනා තුනක් සිංහල බෞද්ධ සමාජයේ ව්‍යාප්ත ව පවතී. පිරුවානා පොතේ දෙවැනි බණවරෙහි බොජ්ඣංග පරිත්ත වශයෙන් දැක්වෙන එම සූත්‍රාන්ත දේශනා පිරිත් පොතට, එනම් චතුභාණවාර පාලියට උපුටා ගෙන ඇත්තේ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයේ ගිලාන වර්ගයෙනි. එහි ගිලාන සුත්තං, දුතිය ගිලාන සුත්තං, තතිය ගිලාන සුත්තං ලෙස නම් කර ඇති එම සූත්‍ර තුන චතුභාණවාර පාලියට හෙවත් පිරිත් පොතට ගෙන ඇත්තේ පහත දැක්වෙන ආකාරයෙනි.

සංයුක්ත නිකාය චතුභාණවාර පාලිය

ගිලාන සුත්තං මහා කස්සපත්ථෙර බොජ්ඣංග පරිත්තං , දුතිය ගිලාන සුත්තං මහා මොග්ගල්ලාන ත්ථෙර බොජ්ඣංග පරිත්තං , තතිය ගිලාන සුත්තං මහා චුන්ද ත්ථෙර බොජ්ඣංග පරිත්තං
සංයුක්ත නිකායේ සූත්‍රය නම් කර ඇත්තේ එය දේශනා කිරීමට හේතු වූ සිද්ධිය මුල්කරගෙනය. පිරිත් පොතේ නම් කර ඇත්තේ පුද්ගලයා මුල් කරගෙනය. කෙසේ වුවද මෙම සූත්‍ර දේශනාවන්ගෙන් කියවෙන්නේ රෝගාතුර ව (ආබාධිතෝ) දුකට පත් ව (දුක්ඛිතො) දැඩිසේ ගිලන් ව (බාළ්හ ගිලානො) සිටින අවස්ථා තුනකදීම සත්ත බොජ්ඣංගය රෝගියාට සිහිපත් කර දීමෙන් සුවපත් වූ අවස්ථා තුනක් ගැනය. මෙහි රෝගීන් වශයෙන් මහරහත් නමක්, අගසව් නමක්, බුදුවරයෙක් මුණ ගැසෙති. ලොව ජීවත් වූ ඉහළම ගණයේ බුද්ධිමතුන් තිදෙන දැඩි රෝගී බවින් මිදුණේ සත්ත බොජ්ඣංගයන් නාමික වශයෙන් තවකෙනකු කියනු අසා සිටීමෙනි. එහි බොජ්ඣංග හත ප්‍රකාශ කරන්නේ බොජ්ඣංග හත.
“........ සම්බොජ්ඣංගො ඛො (මොග්ගල්ලාන) මයා සම්මදක්ඛාතෝ භාවිතො බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.” යන වැකියෙනි. මුලින් ඇති හිස් තැනට අනුපිළිවෙලින් 1. සති, 2. ධම්ම විචය, 3. විරිය 4. පීති 5. පස්සද්ධි 6. සමාධි 7. උපේක්ඛා යන වචන යොදනු ලැබේ. ඒ වැකියෙහි යොදා ඇති සම්බොජ්ඣංග, සම්ම දක්ඛාත, භාවිත, බහුලීකත, අභිඤ්ඤාය ,සම්බෝධාය, නිබ්බාණාය යන වචන ගැන අට්ඨ කථාවෙන් හා ගුරු ඇසුරින් දැනීමක් ඇති කර ගැනීම අවශ්‍ය ය. එසේම බොජ්ඣංග, සම්මා සම්බොජ්ඣංග යන දෙවන අර්ථ වශයෙන් වෙනස් වන අයුරු ද වටහා ගැනීම මැනවි. (බොධාය සංවත්තන් තිතී - බොජඣංගා අනුබුජ්ඣන්තීනි..... පටිබුජඣන්තිනි....... සම්බුජකථන්තීති බොජඣංගා - පසත්ථො සුන්දරො බොජ්ඣංගා සම්බොඣජංගා)

ගිලන් වූ විට සුවපත් භාවය

මහා කස්සප මහ රහතන් වහන්සේ රෝගාතුර වුණු දවසක බුදුරජාණන් වහන්සේ පිප්ඵලි ගුහාවට වැඩම කොට පැවැත් වූ දේශනාව (ගිලාන සුත්තං) මහා කස්සප ත්ථෙර බොජ්ඣංග පරිත්ත නමිනුත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ රෝගාතුර වුණු දවසක ගිජ්ඣකූට පර්වතයට වැඩම කොට පැවැත් වූ දේශනාව (දුතිය ගිලාන සුත්ත) මහා මොග්ගල්ලාන ත්ථෙර බොජ්ඣංග පරිත්ත නමිනුත් පිරිත් පොතේ දැක්වෙයි. එම සූත්‍ර දෙක්හිම වචන මාලාවේ වෙනසක් නැත. සුලු වෙනසකට ඇත්තේ ස්ථාන හා පුද්ගල නාමය පමණි. බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේගෙන් මෙසේ අසති.
“කච්චි තෙ කස්සප ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වේදනා? පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්ක මෝසානං පඤ්ඤායති. නො අභික්කමෝති කාශ්‍යප, ඔබ වහන්සේ ට ඉවසන්නට පුළුවන්ද? යැපෙන්නට පුළුවන් ද? දුක් වේදනාවන්, කැක්කුම් කොහොමද? අඩු ද? වැඩි නැද්ද? අඩු වන බවක් පෙනේ ද? වැඩි වන බවක් නො පෙනේද?
මහා කසුප් මහ රහතන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දෙති. “ න මේ භන්තේ ඛමනීයං, න යාපනීයං බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්ක මෝසානං පඤ්ඤායති, නෝ පටික්කමොති (භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මට ඉවසන්නට නොහැකියි. හතර ඉරියව්වලින් එක ඉරියව්වකවත් ශරීරය පවත්වා ගන්නට බැරිය. මගේ දුක් වේදනා ඉතා බලවත්ය. ඒවා වැඩි වෙනවා මිස අඩුවන්නේ නැත. අඩුවක් වන බවක්වත් පෙනෙන්නේ නැත. ඒ තොරතුරු විමසීම මහා මොග්ගල්ලාන ත්ථෙර බොජ්ඣංග පරිත්තයේ දැක්වෙන්නේ ද ඒ ආකාරයෙන්මයි. මේ නිදසුනක් පමණි. වෙනසකට ඇත්තේ නම් ගම්වල පමණි. සසඳා බලන්න.
එහෙත් මහා චුන්දර ත්ථෙර බොජ්ඣංග පරිත්තයේ ඊට වඩා වෙනස්කම් ඇත. බුදුරජාණන් වහන්සේ අසනීප ව රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින බව දැනගත් මහා චුන්ද තෙරුන් වහන්සේ එහි වැඩම කළහ. එහි දී බුදුරජාණන් වහන්සේ ‘පටිභන්තුං තං චුන්ද බොජ්ඣංගා (චුන්ද ඔබට බොජ්ඣංග ධර්මයෝ වැටහෙත්වා) යි වදාරති. ‘සත්තිමේ භන්තේ බොජ්ඣංගා භගවතා සම්ම දක්ඛාතා, භාවිතා බහුලීකතා අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තන්ති (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ සත්ත බොජ්ඣංග ධර්ම මනා කොට වදාරන ලද්දේ ය. වඩන ලද්දේ ය. නැවත නැවතත් වඩන ලද්දේය. පුරුදු කරන ලද්දේ ය. ඒවා මනා කොට දැනීම පිණිස, සම්මා සම්බෝධිය පිණිස, පවතින්නේ) යි පවසා, චුන්ද තෙරණුවන් බුදුරජාණන් වහන්සේට ඇසෙන සේ කියා පෑහ.
මහා කස්සප, මහා මොග්ගල්ලාන යන දෙනමත්, බුදුරජාණන් වහන්සේත් දැඩි සේ ගිලන් බවට පත් වූ අවස්ථා තුනක දී සත්ත බොජ්ඣංග ධර්මයන්ට සවන් දීමෙන් සුවපත් වූ බව ‘වුට්ඨාභි ච තම්හා ආබාධා තථා පහීනොච...... සෝ ආබාධෝ යි’ ඒ ඒ සූත්‍ර අවසානයෙහි දැක්වෙයි.
ඉහත දැක් වූ බොජ්ඣංග සූත්‍රවලට අමතරව පිරුවානා පොත් වහන්සේගේ උපග්‍රන්ථයෙහි ද බොජ්ඣංග පිරිතක් දැක්වෙයි. පාලි භාෂාවෙන් රචිත ගාථා එකොළොසකින් යුත් ඒ පිරිත පශ්චාත් කාලීනයකු විසින් අක්ෂර පිහිටුවා ප්‍රබන්ධ කරන ලද්දකැයි, සැලකෙතත් ඒ බොජ්ඣංග පිරිත අවසානයේ ‘රෝග සුවය සඳහා රෝගීන්ට කියන පිරිතකැ’ යි විශේෂයෙන් සටහන් කර ඇත. ඒ බොජ්ඣංග පිරිත මෙසේය.
01. “සංසාරේ සංඝරන්තානං - සබ්බ දුක්ඛ විනාසකේ 
සත්ත ධම්මේ ච බොජ්ඣංගේ – මාර සේනප්පමද්දිනෝ

02. බුජ්ක්‍ධිත්වා යේ පි මේ සත්තා - තිභවා මුත්තාහි උත්තමා 
අජාතිං අජරංව්‍යාධිං - අමතං නිබ්භයං ගතා

03. ඒවමාදි ගුණෝපේතං - අනේක ගුණ සංගහං 
ඕසධංව ඉමං මන්තං - බොජ්ඣංගාච තතෝ පරේ

04. බොජ්ඣංගෝ සති සංඛාතෝ 
ධම්මානං විචයෝ තථා 
විරියං පීති පස්සද්ධි 
බොජ්ඣංගා ච තතෝ පරේ

05. සමාධිපෙක්ඛා බොජ්ඣංගා 
සත්තේ තේ සම්ම දස්සිනා 
මුනිනා සම්ම දක්ඛාතා 
භාවිතා බහුලීකතා

06. සංවත්තන්ති අභිඤ්ඤාය 
නිබ්බානාය ච බෝධියා 
ඒතේන සච්ච වජ්ජේන 
සොත්ථි තේ හෝතු සබ්බදා

07. ඒකස්මිං සමසේ නාථෝ 
මොග්ගල්ලානඤ්ච කස්සපං 
ගිලානෝ දුක්ඛිතෝ දිස්වා 
බොජ්ඣංගෝ සත්ත දේසයී

08. තේ ච තං අභිනන්දිත්වා 
රෝගා මුචිචිංසු තං ඛණේ 
ඒතේන සච්චවජ්ජේන 
සොත්ථි තේ හෝතු සබ්බදා

09. ඒරදා ධම්ම රාජාපි 
ගේළඤ්ඤෙනාභි පිළිතෝ 
චුන්දත්ථෙරෙන තංයේව 
භණා පෙත්වාන සාදරං

10. සම්මෝදිත්වා ච ආබාධා 
තම්හා වුට්ඨාසි ඨානසෝ 
ඒතෙන සච්ච වජ්ජේන 
 සබ්බදා

11. පහීණා තේ ච ආබාධා 
තිණ්ණන්නම්පි මහේසිනං 
මග්ගාහත කිලේසාච 
පත්තානුපත්ති ධම්මතං 
ඒතේන සච්ච වජ්ජේන 
සොත්ථි තේ හෝතු සබ්බදා” 
ශ්‍රවණය කළ පමණින් මහත් සැනසිල්ලක්

මෙම බොජ්ඣංග පිරිත එකසිය අටවරක් හෝ ඊට අඩු වැඩි වාර ගණනක් කියා පැරණි තෙරවරු, වෙදවරු, වැඩිහිටියෝ රෝගීන්ට ආශිර්වාද කළහ. මෑතක් වනතුරු රජයේ රෝහල් කරා වැඩම කර පැවැත් වූ භික්ෂූන්ගේ ආරෝග ශාලා සේවයේ දී උන්වහන්සේලා මෙම බොජ්ඣංග පිරිත භාවිතා කළහ. තම නිවසේ නැතහොත් රජයේ රෝහලක, ඇඳක පැදුරක වැතිරී දුකින් කල් ගෙවන රෝගියාට පන්සලේ හාමුදුරුවන්ගේ මුවින් පිටවන ඒ කාරුණික වදන්වලින් ලැබුණේ මහත් සැනසීමකි. එම සේවය සැලසූ භික්ෂුව ද ‘යො ගිලානං උපටිඨහති සෝ මං උපට්ඨහති” යන බුදු වදන අනුව ක්‍රියා කරන කුසල් රැස් කර ගත්තේ ය.
මෙසේ බුදුරජාණන් වහන්සේගේ පටන් සියල්ලන්ටම රෝගාතුර වූ අවස්ථාවලදී ශ්‍රවණය කළ පමණින් මහත් සැනසිල්ලක් ගෙන දුන් ‘බොජ්ඣංග‘ යන වචනයේ අර්ථය තේරුම් ගැනීම අප කාටත් ප්‍රයෝජනවත්ය. මෙය විවිධ නයින් අටුවාටිකා ග්‍රන්ථයන්හි විස්තර කර ඇත. මුලදී සරලව තේරුම් ගැනීම වඩා පහසුය. ඒ සඳහා සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයේ ඇතුළත් භික්ෂු සූත්‍රයේ මේ සරල අනුවාදය කියවන්න. “භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නමස්කාර කොට පසෙක හිඳ මෙසේ ඇසුවේ ය.” ස්වාමීනි, බෝධි අංග, බොජ්ඣංග කියා කියනු අසන්නට ලැබේ. ස්වාමිනී, කොපමණකින් මේ බෝධි අංග කියා කියනු ලැබෙද්ද?” මහණ, අවබෝධය පිණිස පවතීයි යි බෝධි අංග (බොජ්ඣංග) කියනු ලැබේ. මහණ, මෙහි විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම නිස්සිතව සති සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංගය, වීරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මේ සත් බෝධි අංග වඩන ඔහුගේ සිත කාමාසවයෙනුත් මිදෙයි. භවාසවයෙනුත් මිදෙයි. දිට්ඨාසවයෙනුත් මිදෙයි. අවිජ්ජාසවයෙනුත් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය කියා ඤාණය වෙයි. ජාතිය අවසන් විය.....” මේ වෙනුවෙන් තව අනෙකක් නැහැ කියා දැන ගනී. මහණ, අවබෝධය පිණිස පවතී යයි බෝධි අංග කියා කියනු ලැබේ.” (සිංහල සංයුක්ත නිකාය 2. 892 පි)
එක් එක් බොජ්ඣංගයන් අනුපිළිවෙළට හැදෑරීමෙන් ද සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුක්තය කියවීමෙන් ද සත්ත බොජ්ඣංගය පිළිබඳ දැනීමක් ලබා ගැනීමට මග පාදා ගත හැකිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මාර වසඟයට අසුවුණාද?

මාකඳුර ශ්‍රී සරණංකරාරාම විහාරවාසී 
ශාස්ත්‍රවේදී
හීනටිපනේ සීලරතන හිමි

මාරයා සත්වයා සසරට ඇද දමන හා සසරින් මිදීයාමෙන් වළක්වන පාපිෂ්ට ක්‍රියාදාමයෙන් බැහැර වී සිටිතැයි නොසිතිය යුතුය. එදා මෙන්ම අදත් නොපසුබට උත්සාහයෙන් ඔහු මිනිසුන් අතර ක්‍රියාත්මක වී සිටින බව අප නුවණින් වටහා ගත යුතුය.
බුදුරජාණන් වහන්සේ විසින් දුක්විඳින දෙව් මිනිසුන් සහිත ලෝකයා කෙරෙහි දයානුකම්පාවෙන් ඔවුන් මේ සසර දුකින් මුදවා ලීමට මග පෙන්වද්දී සත්වයා සසර තුළම රඳවා ගැනීමට වෑයම්කළ මාරයකු පිළිබඳව බුදුසමයෙහි නිතර අසන්නට ලැබේ.

ක්ලේශ මාර, මෘත්‍යුමාර අභිසංඛාර මාර, ස්ඛන්ධ මාර, දේවපුත්‍ර මාර යනුවෙන් මාරයින් පස් දෙනෙකු ගැන සඳහන් වී ඇතත්, දේවපුත්‍ර මාර හැර ඉක්බිති සිව් දෙන සංකල්පීය මාරයෝය. දේවපුත්‍ර මාර යනු දෙවියෙකි. ඔහු පරනිර්මිත වසවර්ති නම් දිව්‍ය ලෝකයෙහි වාසය කරයි. දෙවියන් අතර වැඩිම ආයුෂ වින්දනය කරන්නේත් ලෞකික ජීවිතයේ වැඩිම කාම සම්පත් විඳින්නාත් වසවර්ති මාරයාය. ඉතා දීර්ඝ ආයුෂයක් කම් සැප විඳිමින් ගත කරන නිසා ඔහුට එම දිව්‍යාත්ම භාවයෙන් චුතව යන බවක් කල්පනා නොවෙනවා විය හැකිය. සදාකාලිකවම පංචකාම සම්පත්තියෙහි ඇලී ගැලී වාසය කෙරෙතැයි සිතෙන නිසා පස්කම් සුවය පිටුදකින සසරින් මිදීමට ක්‍රියාකරන පැවිද්දන් කෙරෙහි ඔහු මනාපයක් නොදක්වයි.

මාරයාගෙන් බාධා

බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කිරීමත් බුද්ධත්වයට පත්වීමත් ධර්ම දේශනා කිරීමට තීරණය කිරීමත් වැළැක්වීමට වෑයම් කළ මාරයා බුදුරදුන් සත්සතිය ගතකරමින් අජපල් නුගරුක් මූල වැඩ වෙසෙද්දී නොපමාව පිරිනිවන් පෑමටද ආරාධනා කළේය. ඉන් පසුවත් නොයෙක් අවස්ථාවලදි බුදුරදුන්ට බාධා කළ බව සංයුත්ත නිකායේ මාර සංයුත්තය ඇතුලු ත්‍රිපිටක දේශනාවන්හි දැක්වේ. උරුවේලාහි නේරංජරා නදී තෙර අජපාල නිග්‍රෝධ මුලයෙහි බුදුරදුන් වැඩ වසද්දී බුදුරදුන්ගේ විසුද්ධිමාර්ගය ගැන ඔහු චෝදනා කළේය. තවත් අවස්ථාවක මහ ඇතෙකුගේ වෙස් ගෙන බුදුරදුන් තැති ගැන්වීමට පැමිණි බව සඳහන් වේ. බරණැස ඉසිපතනයේදී බුදුරදුන් තමන්ගේ මාර පාශයට හසුවී ඇතැයි කියා පෑවේය. මගධයෙහි ‘පංචශාලා’ නම් බමුණුගමට බුදුරදුන් පිඬු සිඟා වැඩිය කල්හි මාරයා එගම නිවැසියන්ට ආවේශව පිණ්ඩපාතය දීමෙන් වැළැක්වූ බව පිණ්ඩ සූත්‍රයෙහි සඳහන් වේ. බුදුරදුන් කල්පයක් වැඩ සිටීමට හැකි බව අනඳ හිමියන්ට පවසද්දී ඒ සඳහා ආරාධනා කිරීමෙන් අනඳහිමියන් වළක්වාලීමට මාරයා ක්‍රියා කළ බව මහා පරිනිබ්බාණ සුත්‍රයේ සඳහන් වෙයි. මෙබඳු සිදුවීම් රාශියක් ත්‍රිපිටකයේ ඇතුළත්ව තිබේ.
බුදුරජාණන් වහන්සේට මෙන්ම භික්ෂු භික්ෂුණීන්ටත් මාරයා විවිධ අවස්ථාවන්හි බාධා පැමිණවීය. මාර සංයුත්තයේ සම්බුල සූත්‍රයේ එන තොරතුරකට අනුව ශාක්‍ය ජනපදයෙහි සිලාවති ගමෙහි බවුන් වඩිමින් සිටි භික්ෂූන් වෙත බමුණු වෙසක් මවාගෙන එළැඹ “ඔබලා තරුණය, ඉතාකලු වූ කෙස් ඇත්තෝය. මානුෂික කාම සම්පත් පරිභෝග කරන්න, මේ ආත්මභාවයෙහි වින්ද යුතු සුව හැර කල්ගෙවා වින්ද යුතු සුව කරා නොදුවන්න”යි පැවසීය. අඹවනයෙහි විසූ “ආළවිකා” නම් භික්ෂුණිය වෙත එළඹ
නත්ථි නිස්සරණං ලොකෙ – කිං විවේකෙන කාහසි 
භුඤ්ජස්සු කාමරතියො – මාහු පච්ඡානුතාපීනී’ති

මාරයාගේ උපකාරය කාටද?

(ලොව නිවනෙත් නැත. විවේකයෙන් කුමක් කරන්නෙහිද? කාමරතිය,විඳුව, පසුතැවිලි නොවව) යි පැවසීය. මෙපරිද්දෙන් සෝමා, විජයා, ගෝතමී ආදි බොහෝ භික්ෂුණීන් වෙතද පැමිණ ඔවුන් අධෛර්යමත් කිරීමට උත්සාහ කළ බව පෙනේ.
මාරයාගේ භූමිකාව කුමක්ද? යන්න යථෝක්ත විස්තරවලින් වටහා ගත හැකිය. අදද මාරයා සත්වයා සසරට ඇද දමන හා සසරින් මිදීයාමෙන් වළක්වන පාපිෂ්ට ක්‍රියාදාමයෙන් බැහැර වී සිටිතැයි නොසිතිය යුතුය. එදා මෙන්ම අදත් නොපසුබට උත්සාහයෙන් ඔහු මිනිසුන් අතර ක්‍රියාත්මක වී සිටින බව අප නුවණින් වටහා ගත යුතුය. බෞද්ධ සමාජය තුළින් පවා නිතර ඇසෙන මැසිවිල්ලක් නම් ‘අසාධාරණව හා අධාර්මිකව විවිධ ජාවාරම්වල යෙදෙන අය යහමින් මුදල් උපයමින් ඉතා සුඛෝපභෝගී ජීවිත ගතකරන නමුත් දැහැමින් ජීවත්වන අයට විවිධ දුක් කරදර මධ්‍යයේ ඉතා දුකසේ කාලය ගතකරන්නට සිදුව ඇති බවයි සතුන් දිවි තොරකරන , හොරකම් කරන, හෝ මත්ද්‍රව්‍ය නිපදවන හා අලෙවි කරන දුශ්චරිතවත් ජීවිත ගතකරන අය ගෙවල් දොරවල් යානවාහන ආදියෙන් පොහොසත්ව සමෘද්ධිමත් ජීවිත ගත කරන බව සැබෑවක් සේ පෙනේ. අධාර්මික ජීවිත ගතකරන මිනිසුන්ගේ දෙවියා මාරයාය. ඔවුන් මාරයා වෙනුවෙන් දේවාල ඉදිකොට පුද පූජා නොකළත් පව්කාර ජීවිත ගතකරමින් සසර දිගු කරගන්නා මිනිසුන්ට මාරයාගේ උපකාරය ඉඳුරාම ලැබේ. ඔවුන් මාරයාගේ අභිලාෂය අනුව ක්‍රියාකරන බැවිනි. ඔවුන් තමන් කරන පාපී කටයුතු හේතුවෙන් අපාගතවන නමුත් මාරයාට එය ප්‍රශ්නයක් නොවේ. ඔහුට වුවමනා කරන්නේ සත්ව ප්‍රජාව සසරෙහි ගැලී සිටීම පමණි.
අසාධාරණව හා අධාර්මිකව ධනය උපයන්නන්ට මාරයාගේ සහාය නොකඩවා ලැබෙන අතරම වැඩෙන සම්පත් නිසා වඩවඩා උද්දාමයට පත්වන ඔවුහු තව තවත් තම ව්‍යාපාර තරකරගනිමින් මාරයාගේ පාශයෙහි තවතවත් සිරවෙති. මේ රැවටිල්ලට ගොදුරු වී තාවකාලික වින්දනයක් ලැබීමට සිතන ඇතැම්හු සසරින් මිදීම පසෙක ලා තමනුත් එම මගටම පිවිසෙති. එයද මාරයාගේ අරමුණක් ඉටුවීමකි.
සාමාන්‍යයෙන් ලෝකයේ ස්වභාවය සමෘද්ධිමත් ජීවිත ගත කරන්නන් අන් අයගේ ඊර්ෂ්‍යාවට භාජනය වීමයි. එහෙත් අධාර්මිකව ධනය උපයන හා මිථ්‍යා කාමය සොයන්නන් කෙරෙහි අප තුළ ඇතිවිය යුත්තේ ‘අනේ මොවුන්ට සතර ආපායාදී දුගතිවලට වැටී දුක්විඳින්නට සිදුවෙනවා’ නොවේද? යනුවෙන් සිතා අනුකම්පාවක් මිස ඊර්ෂ්‍යාවක් නොවේ.

මාරයාගේ උපක්‍රම

මාරයා ඉතා උපක්‍රමසීලිය. ඔහු ඇතැම්විට තම අරමුණ උදෙසා මිනිසුන් යහපතෙහි යෙදවීමට පවා ඉඩ තිබෙන බව මාරතජ්ජනීය සූත්‍රයෙන් පෙනේ. මුගලන් මහරහතන් වහන්සේ කකුසඳ බුදුරදුන් දවස සිටි “දුසි” නම් මාරයකු ගැන එහිදී සඳහන් කරති. පළමුව ඔහු බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වී භික්ෂු සංඝයාට පරුෂ වචනයෙන් ආක්‍රෝශ පරිභව කරවයි. එහිදී බුදුරදුන්ගේ උවදෙසින් භික්ෂූහු ඔවුන්ට මෙත් වඩති.ආක්‍රෝශ පරිභවයෙන් භික්ෂු සංඝයාගේ සිත් කැළඹීමට පත් කිරීමට නොහැකිවුණු තැන ඔහු බමුණු ගැහැවියන්ට ආවේශ වී සංඝයාට සිව්පසයෙන් සංග්‍රහ කරවයි. සිව්පසයෙහි ලොල්ව මහා සංඝයා සිත් පෙරළියකට පත් වෙතැයි සිතුවද එසේ නොවන්නේ බුදුරදුන් අසුභ භාවනාව වඩන්නට භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙන නිසාය. දායකයෝ මරණින් මතුදෙව් ලොව උපදිති. දෙව්ලොව ඉපදීමද මාරයාගේ අරමුණ යම් තරමින් හෝ ඉටුවීමකි. දිව්‍යමය කාමසම්පත්තීන්ට ගිජුවන දෙවියන් බව දුකින් මිදීමට ප්‍රමාදවන බැවිනි. අවසානයේදී දුසී මාරයා මිනිසකුට ආවේශ වී බුදුරදුන්ගේ අගසව්වකු වන “විධුර” ශ්‍රාවකයන් වහන්සේගේ හිසට ගලකින් පහර දෙවයි. හිස පැලී ලේ වගුරවමින් එතුමෝ බුදුරදුන් පසුපස වඩිති. මාරයා ඒ සැණෙකින් දේවාත්මයෙන් චුතව නිරයේ උපදී. මහ රහතන් වහන්සේලාට පවා මෙසේ අකටයුතුකම් කරන මාරයා පුහුදුන් සත්වයනට කුමක් නොකල හැකිදැයි සිතීම වටී.
මාරයා තම සැබෑ වේෂයෙන් හෝ අන්‍යවේෂයකින් අප ඉදිරිපිටට නොපැමිණෙන නමුත් ඔහු අපගේ මනස විකෘතියට පත් කොට අප පාපයට නැඹුරු කරන්නට ඉඩ ඇති බව අමතක නොකළ යුතුය. එබැවින් ධර්මයෙහි පිළිසරණ ලබමින් දැහැමි ජීවිතයක් ගත කරමින් මාර උපක්‍රමයන්ට හසු නොවී සසර දුකින් අත්මිදීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට උනන්දු වීම සියල්ලන්ගේ අභිලාෂය විය යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤