ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සිතෙන් නිදහස්‌වීමට නම්...චේතෝ විමුක්‌තිය

ගම්පහ සිරිසීවලී හිමි

(චේතෝ විමුක්‌තිය I කොටස)

සියලුම සත්වයෝ සැප සොයාගෙන යන ගමනක නිරතවී සිටිති. එහෙත් ලැබූ සැපක්‌ නැත. ලැබී ඇත්තේ දුකය. එයට හේතුව ඒ අයට සැප ලබන නියම මාර්ගය හමුවී නැති බැවිනි. සැප සොයාගෙන යන්නේ අනියම් මාර්ගයෙනි. නියම මග මගහැරය. අවිද්‍යා අන්ධකාරයෙන් මාර්ගය අඳුරුවී ඇති නිසා නියම මග නොපැහැදිලිය. ශාන්ති නායකයාණන් වහන්සේ සැප ලබන බුදුමඟ පැහැදිලි කර දෙති.
මහා මුනි වූ මහා මෛත්‍රියවූ ශාන්ති නායකයාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා මෛත්‍රීයෙන් සැප ලබන මග නිස්‌සරණි සූත්‍රයෙන් පැහැදිලි කරති. 
අප්‍රමාණ ලෝක ධාතුන්හි පහල වන පහල වූ සියලු සත්ව ප්‍රජාව ගණනින් ප්‍රමාණයෙන් සීමා මායිම් නොමැති බැවින් අචින්ත්‍යයි. ඒ මුළුමහත් සත්ව ප්‍රජාව කෙරෙහි අචින්ත්‍ය වූ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ෂා ප්‍රධාන කොට ඇත්තාවූ චේතෝ විමුක්‌තියෙන් නිවන් දකින හැටි නිවනට හිත යොමු කරන අයුරු ඉහත සඳහන් සූත්‍රයෙන් කරුණු ගෙන හැර දක්‌වා ඇත. අනිමිත්ත සමාධිය මගින් චේතෝ විමුක්‌තිය උදාවී සැප ලබන හැටි අර්ථවත් කොට දක්‌වා ඇත. බ්‍රහ්ම විහාර යනු උතුම් වාසයයි.බ බ්‍රහ්ම බුද්ධ භූමියයි. අර්හත් භූමියයි. විහාර යනු වාසයයි. 
උතුම් බ්‍රහ්ම විහාරයට සම්ප්‍රාප්තවීම සඳහා


1. මෙත්තා චේතෝ විමුක්‌තිය.

2. කරුණා චේතෝ විමුක්‌තිය.

3. මුදිතා චේතෝ විමුක්‌තිය

4. උපේක්‌ඛා චේතෝ විමුක්‌තිය

5. අනිමිත්ත චේතෝ විමුක්‌තිය


6. විචිකිච්ඡා නිශ්ශරනී චේතෝ විමුක්‌තිය යන ධර්මතා අංගුත්තර නිකාය සාරණීවග්ගයේ නිස්‌සාරණී සූත්‍රයෙන් ධර්ම උපදේශ ගත හැක. (භද්දක සූත්‍රයද, මීටම අදාළව කරණු දැක්‌වේ)


'ජයිමා භික්‌ඛවේ නිස්‌සාරණියා ධාතුයො. කථමාජ?',


මහණෙනි, සසරින් එතරවීම සඳහා විමුක්‌තිය ලබාගැනීම සඳහා සැප ලබාගැනීම සඳහා ධර්මතා හයකි. කුමක්‌ද ඒ හය (ඉහත දැක්‌වූ කරුණු හයයි.)


1. මෙත්තා චේතෝ විමුක්‌තිය


මෙත්තා චේතෝ විමුක්‌තිය අර්ථවත්කොට වදාළ දේශනා අතර මෙත්ත සූත්‍රය, මෙත්තානිශංස සූත්‍රය, මෙත්තා සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ඉතා වැදගත්ය. මේ දේශනාවලින් ගුණ ධර්ම වඩා ශ්‍රේෂ්ඨත්වයට පත්වන අයුරු හො¹කාරව පැහැදිලි කරදී ඇත. මෛත්‍රිය කිරීමෙන් ද්වේෂය නැති කිරීමෙන් නිවන් දකී. 'දොෂක්‌ඛයො නිබ්බාණං' ද්වේෂයට ප්‍රතිපක්‌ෂ වන්නේ මෛත්‍රියයි. ඉහත සූත්‍රානුගත ධර්ම සාරයන් ජීවිතයට සම්බන්ධකර ගැනීමෙන් නිවීම ඇතිකරගත හැක.


පටිඝය නිමිතිකරගෙන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ගුණමකුබව, ථම්භය ආදී අකුසල චෛතසික සමූහයක්‌ සිත් තුළ ජනිත වේ.සංසාර බන්ධනයෙන් මිදීමට, ද්වේෂය ක්‌ෂය කිරීමට මෛත්‍රිය හැර වෙනත් විකල්පයක්‌ නැත. මෙත්තා චේතෝ විමුක්‌තිය නිවනට නමකි. 


මෙත් වැඩීමෙන් දිට්‌ඨධම්ම වේදනීය වශයෙන්ද සම්පරායික හෙවත් පරලෝක වශයෙන්ද ආනිශංස බොහෝය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා සංකප්පය කොටස්‌ තුනකට බෙදා ඇත. නෙක්‌ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප වශයෙනි. මෙයින් 'අව්‍යාපාද හා අවිහිංසා සංකප්ප' දෙකම මෙත්තා චේතෝ විමුක්‌තිය සඳහා පාදකවේ.


මෙලොවදී ලැබෙන අනිශංස අතර (


- සැප සේ නිදයි - සැපසේ පිබිදේ


- නපුරු හීන නොදකී - වස, විෂ, ආයු-ආයුධවලින් හානි නොවේ, වහා සිත සමාධිගත වේ, වතේ (මුහුණේ) සෝභාව පැහැපත් වේ, මනුෂ්‍යයන්ට ප්‍රිය වේ, දෙවියො රකිති, සිහි මුලාවට පත් නොවී කළුරිය කරයි, මෙත් වැඩීමෙන් ලබාගත් ධ්‍යාන නොපිරිහෙලා දියුණු කර ගැනීමෙන් නිදා පිබිදියකු සේ බ්‍රහ්ම ලෝකයේ උපදී.


මෛත්‍රිය සසර සැප සඳහාත් චේතෝ විමුක්‌තිය හෙවත් නිවනටත් හේතුවන බව පැහැදිලිය.


සුසුඛං වත ජිවාම - වේරිනේසු අවේරිනො


වේරිනෙසු මනුස්‌සෙසු - විහාරාරාම අවේරිනො'


ක්‍රෝධයෙන්, වෛරයෙන් ගිනිගත් සිත් ඇති සත්ව ප්‍රජාව අතර අවෛරීව බුද්ධාදී උතුමෝ සුවසේ වෙසෙති. වෛරී සත්වයන් අතර අපි අවෛරී වෙමු. ගිනිගත් ලොව නිවීමෙන් වෙසෙමු. කෙලෙස්‌ ආතුරයන් (ලෙඩුන්) අතර නිකෙලෙස්‌වී නිරෝගීව වෙසෙමු. සත්ව චිත්ත සංතානය තුළ හටගන්නා ද්වේෂය, වෛරය නොදැනුවත්වම මෝදුවෙලා බද්ධ වෛරයක්‌ බවට පත්වේ. තමනුත් දැවෙමින් අනුන්ද දවාලමින් විනාශ මුඛයට යයි. බෝධි සත්වයාණන් වහන්සේ කෙරෙහි බද්ධ වෛරයෙන් කටයුතු කළ දෙව්දත් හාමුදුරුවෝ විනාශයෙන් විනාශයට ගිය හැටි සේරිවාණිජ කතාවෙන් පැහැදිලි වේ. අදත් එහි භයානක විපාක අත් විඳින ආකාරය සිහි කළ යුතුය. සිත තුළ ජනිත වෛරයේ විෂබීජයෙන් තමනුත් ලෙඩ කර මුළු සමාජයත් ලෙඩ කරන ආකාරය අපට දැකගත හැක. ඔවුන් සංසාරික ජීවිතයත් ලෙඩ කර ගනිති. වෛරී සත්වයෝ සතර අපායේ දුක්‌ විඳීමට අවශ්‍ය සතර අපා බැංකුවල ගිණුම් තර කර ගනිති. කර්ම නමැති මුදල් රැස්‌ කරති. පුණ්‍ය කර්ම මගින් පින නමැති මුදල් සුගතිවල ගිණුම්වල තැන්පත් වේ. ඒ මුදලින් වත්කම්වලින් ඒ භවයන්හි විපාක වශයෙන් සැප ලබාදෙයි. ඒ යෑපීම් දීමනායි.


පාපකර්ම මගින් පව නම් මුදල් දුගතිවල ගිණුම්වල තැන්පත් වේ. ඒ මුදලින් ඒ භවයන්හි යෑපීම වශයෙන් දුක නම්වූ ඵලය ලබාදෙයි. රහතන් වහන්සේලා පුණ්‍ය කර්ම හෝ පාප කර්ම වශයෙන් මුදල් උපයන්නේ නැත. එනිසා මුදල නොමැති ගිණුම් හිස්‌ය. ඒ උතුමෝ පුඤ්ඤපාප පහීනස්‌ස්‌ පිනත් පවත් ප්‍රහාණය කළහ. භවය සඳහා අවශ්‍ය කර්ම නැති නිසා භව නිරෝධය කළා වේ. උපත නැති නිසා විපාක වශයෙන් දුක සැප නැත. අහෝසි කර්මය.ජයං වේරං පස්‌වති ජය ගැනීමෙන් වෛරය ඇතිවේ. පරාජය වුණොත් දුකට පත් වේ. සටනක්‌ නැත්නම් ජය පරාජය නැත. නිවීම ඇත. සැනසීම ඇත. ඇලීම් ගැටීම් නැත. වෛරයෙන් වෙලී ගිය අය අඹු දරුවන් තලා පෙළා හිංසා කරයි. දෙමාපිය වැඩිහිටියන්ට වදදෙති. කලකෝලාහල කර නඩු හබ කර මුළු ජීවිත කාලයම උසාවි ගාණේ ගත කර අන්තිමේ බන්ධනාගාර ගත වේ. පරලෝක වශයෙන් සතර අපාගත වේ. 


දුර්දාන්ත සිත තමාට අයහපත පිණිසම හේතු වන බව නිතරම සිහිකටයුතු. බුද්ධිමත් කාරුණික යෝගාවචරයා අනුන්ගේ මානසික තත්ත්වය තේරුම් ගෙන මෛත්‍රිය කරයි. යමෙක්‌ ඔබට නොපනත්කම් කරයි නම් ඒ ඔහුගේ සංසාරික පුරුද්දක්‌ බව හිතන්න. ඔහු මානසික ලෙඩෙක්‌ බව හිතන්න. නැතහොත් මා විසින් පෙර සසරේදී ඔහුට මේ අයුරින් වෛරව, ක්‍රෝධව නොපනත් කම් කළ බැවින් පෙරළා එහි විපාක වශයෙන් ප්‍රතිඵල වශයෙන් නැවත මට ලැබෙනවායි සිතා නිවීමට මග පාදා ගන්න. ඒ එයාගේ හැටි මම කලබල වෙන්න ඕනේ නෑ'.


නැත්නම් මෙසේ හිතන්න, 'ඔහුට වෛරී අදහස්‌ ක්‍රෝධ අදහස්‌ තිබුණත් අනිකුත් ගුණධර්ම බොහෝ ඇත. ඒ ගුණධර්ම ඉතා වටිනවා. ඉතා වැදගත්. මේක සුළු දෙයක්‌. මොකටද ලොකුවට හිතන්නෙ? යනුවෙනි. නිතරම තමන්ට විරසකව ගැටුමට පීඩනයට පත් කිරීමට පෙළඹෙන අයගේ හොඳ පැත්ත' නිතරම දකින්න උත්සාහ කරන්න. ඒ හොඳ ගතිගුණ උලුප්පා සිහිකිරීමෙන් ඔබට අයහපත පිණිස පාප සිතුවිලි ඔබ තුළ ජනිත නොවනු ඇත. තමන්ව වැටෙන්නට තිබුණ අභාග්‍ය සම්පන්න අගාධයෙන් තමා බේරුණායි හිතන්න. භයානක අනතුරකින් බේරුණායි සිතන්න. කවදාවත් අනුන්ට පාඩම් උගන්වන්න යන්න එපාෘ


සමහර අයගේ කායික වැඩ නරකයි. වාචසික වැඩ හොඳයි. හොඳම අගය කරන්න. නරක එයා අරගෙන යයි. ඇයි ඒ නරක ඔබ බාරගන්නේ. සමහර අයගේ වාචසික වැඩ නරකයි. මානසික කායික වැඩ හොඳයි. අගය දෙන්න. ඔබ හොඳ පැත්ත ඔබේ වාසියට හරවා ගන්න. ඕනෑම නරක පුද්ගලයකු තුළ හොඳ ගතිගුණ ඇත. ඒ ගුණයට වටිනාකමක්‌ දෙන්න. නරක මායිම් නොකරන්න. අනුන්ගේ හොඳ ඔබගේ වාසනාව සඳහා වනු ඇත.


මෙසේ හොඳ ආකල්ප, යහපත් සිතුවිලි හොඳ චරිත තුළින්ම මෙත්තා චේතෝ විමුක්‌තිය කරුණා චේතෝ විමුක්‌තිය වෙත සිත දියුණුකර සැනසීම ඇතිකරගත හැක්‌කේ.. ප්‍රායෝගිකත්වය තුළින්මයි ප්‍රතිඵල සාර්ථක වන්නේ.


තම සිත් තුළ අනුශය වශයෙන් සැඟවී ඇති අප්‍රකට කෙලෙස්‌ ධර්ම සමූහයක්‌ ඇත. නිවීම සඳහා නිකෙලෙස්‌ වීම සඳහා, ක්‍රියාදාමයක යෙදෙන යෝගාවචරයා තම චරිතය ගැන විමසිලිමත් විය යුතුය. සමහරක්‌ මෙසේය 


- මච්ඡරිය - මසුරා තමන්ගේ දේ දෙන්නේ නැත. තියෙන බව පෙන්වන්නේත් නැත.


- කදරිය ( අනුන්ට ලැබෙන්න තියෙන දේ වළකාලන ස්‌වභාවය.


- සාඨෙයය ( තමන් ළඟ නැති ගුණ ඇති බවට ප්‍රකට කිරීමට උත්සාහ කිරීම.


- ඉස්‌සා - ඊර්ෂ්‍යාව, අනුන්ට ලැබෙන පුද සත්කාර කීර්ති ප්‍රශංසා, භව භෝග - සැප සම්පත් නොලැබේවායි' කැමැත්ත.


පලාසය - ජීවිතයේ මොනයම් හෝ අවස්‌ථාවක දෙමාපිය - ගුරුවර, නෑදැ හිතවතුන්ගෙන් උදව් ලැබ කළගුණ නොසලකා හැරීම.


- උපනාහ ( ගිනි පුපුරු මෙන් යටපත්වූ ක්‍රෝධය නැවත හට ගැනීමේ ස්‌වභාවය. වෛරීබව.


- මක්‌ඛය ( මගේ වීර්යයෙන් මගේ උත්සාහයෙන්, මගේ ධෛර්යයෙන් ඇතිකරගත් දියුණුවයි. අනුන්ගේ ගුණ මකා හැරීම.


- දෝවචස්‌සතා ( අකීකරු කම, මානය බලවත්වීම නිසා ඇති වේ.


- නොඉවසීම ( දහස්‌ ගණන් කෙලෙස්‌ ධර්ම සිත් තුළ ජනිතවන්නේ මෝහය හෙවත් අනවබෝධය නිසාය. නොදැනුවත් බවයි.


නාහං භික්‌ඛවේ අඤ්ඤං ඒක ධම්මප්පි සමනුපස්‌සාමි යං එවං මහා සාවඡ්ජං. යථා ඉදං භික්‌ඛවේ මිච්ඡාදිට්‌ඨි. මිච්ඡාදිට්‌ඨි පරමානි භික්‌ඛවේ වඡ්ජානි'


මහණෙනි, එකම ධර්මතාවක්‌ හැර අනිකුත් ධර්මතාවක්‌ නොදකිමි. එය මහා සාවඡ්ජයි. (මහා වැද්දකි) එය මහණෙනි, මිත්‍යාදෘෂ්ටියයි. මහණෙනි, මිත්‍යාදෘෂ්ටිය වනාහි බරපතළ භයානක වැරැද්දකි. 


ඉහත සඳහන් කරුණු පෙළ ගැස්‌වූයේ චේතෝ විමුක්‌තිය හෙවත් සිතෙන් නිදහස්‌වීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහාය. නිස්‌සරණී සූත්‍රයෙන් චේතෝ විමුක්‌තිය පිණිස කරුණු හයක්‌ ඉදිරිපත්කර ඇත.


1. මෙත්තා චේතෝ විමුක්‌තිය


යමෙක්‌ මෛත්‍රී සහගත චිත්ත විමුක්‌තිය භාවිත කරන්නේ නම්, බහුලකොට වඩනුයේ, වහා නැගී යන යානාවක්‌ සේ කරනලද්දේ, මනාව පදිංචිව සිටින බිමක්‌ කරන ලද්දේ , මැනවින් සිතෙහි පිහිටුවන ලද්දේ මැනවින් පුරුදු කරන ලද්දේ ප්‍රගුණ කරන ලද්දේ...'


එකල්හි ද්වේෂයට ඉඩක්‌ නැත්තේය. ද්වේෂයෙන් සිත යටත්කොට සිටින්නේ යෑයි එහෙම කරුණක්‌ සිදු නොවේ. එසේ වීමට ඉඩකුත් නැත. සිදුනොවන දෙයකි. මෙත් සිතෙන් ද්වේෂයස මුච්ඡේද ප්‍රහාණය වන්නේය. එහෙයින් මෙත් සිත පාදකරගෙන ව්‍යාපාදය නැසීම තුළින් පහළ වන විමුක්‌තිය මෙත්තා චේතෝ විමුක්‌තිය' නම් වේ.


මේ ලිපිය මගින් මෙත්තා භාවනාවට අදාළ සූත්‍ර කිහිපයක්‌ද සිහිපත් කළා. චිත්ත සංතානය තුළ හටගන්නා ව්‍යාපාදය සමුච්ඡේද ප්‍රහාණය කිරීමයි මෛත්‍රීය වැඩීමෙන් සිදුවන්නේ. අමනාපය, තරහව, වෛරය, ක්‍රෝධය, නුරුස්‌සනාගතිය, අප්‍රසන්න බව, ගැටෙන සුළු බව, වෛරී චේතනා චෛතසිකයේ බොහෝ පැතිකඩය. ඇස, කන, නාසාදි ආයතන හා සම්බන්ධීකරණය වන වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූපාදී අරමුණු උපාදාන කිරීමෙන් ව්‍යාපාද චෛතසිකය මනසේ පැතිරයාමට හේතු කාරක වේ. රූපාදී අරමුණු ස්‌පර්ශයේදී වේදනා චෛතසිකයේ දුක්‌ඛමය තත්ත්වය ප්‍රකට වීමම ව්‍යාපාදයට කාරණා වේ. 'නිමිත්තෙන් තොරව වාසය කිරීමට පුරුදුවීම මෙයට හොඳම විසඳුමයි. ව්‍යාපාදය නිමිත්ත වශයෙන් නොගැනීමම අනිමිත්තය නම් වේ. එතැනම චේතෝ විමුක්‌තියද ප්‍රකට වේ. පස්‌සයේදී දුටු පමණින් ඇසුව පමණින් වින්ඳ පමණින් නොසලකා හැරීම, නිරපේක්‌ෂව සිටීම, මායිම් නොකොට සිටීම මෙත්තා චේතෝ විමුක්‌තියට පාදක වේ.


පස්‌සයේදී සංඥ වෙනමම ගැනීම, සංඥ තුළ මනසිකාරය දියුණු තියුණු කිරීම, සීමාමායිම් පනවා කොටු කිරීම, ව්‍යාපාදය ව්‍යාප්තවීමට, වඩා වර්ධනයට හේතු කාරක වේ. ව්‍යාපාද අරමුණෙහි (වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨබ්භ රූප, ධම්ම රූප) හෙවත් සමස්‌ත රූපස්‌කන්ධයේ පටිච්ච සමුප්පන්න ධර්මතාව සිහියට නඟා ගත යුතුය. රූපයාගේ වහා ඇතිවීම නැතිවීම ස්‌වභාවය අනිත්‍යතාවය, අප්‍රමාදීව වහ ප්‍රකෘති සිහිය බවට පත්කර ගත යුතුය. නිමිත්තානුසාරී හෙවත් නිමිත්ත අනුව ගියාවූ සිත වහා කෙලෙස්‌ ධර්මවලින් දූෂිත වේ.


නිමිත්තේ ශුන්‍යත්වය, මනසේ ශුන්‍යතාව තුළින් අනිමිත්තානුසාරී බවම වේ. එහිදී අනිමිත්ත විදර්ශනා සමාධිය උපදවා ගැනීමට පදනම වේ. ශුද්ධ ධර්මයන්ගේ ප්‍රවර්ථනය අවබෝධ ප්‍රත්‍යක්‍ෂ ඥනය ඇත්තාට යථාභූත ඥනයට හෙවත් චේතෝ විමුක්‌තියට පත්වීමට ස්‌වභාවධර්මය විසින් සාධාරණීය කරනු ඇත. 


මහණෙනි, යම් භික්‌ෂුවක්‌ අසුරු ගහන මොහොතක්‌ මෙන් සිතින් වාසය කරන්නේ, නොසිස්‌ දැහැන් ඇත්තේ වෙයි. ශාස්‌තෘ ශාසනයට අනුගත වූවෙක්‌ වේ. අවවාද අනුශාසනා පිළිපදින්නෙක්‌ වෙයි. රටුන් දෙන පිණ්‌ඩපාතය වැළඳීමට සුදුසු. නොසිස්‌ හෙවත් පිරිපුන් භික්‌ෂුවක්‌ වේ. (මෛත්‍රීය) බොහෝ සේ වඩන්නේ නම් කියනුම කවරේද?

(චේතෝ විමුක්‌තිය II කොටස)

කරුණා චේතෝ විමුක්‌තිය

චෛතසික ධර්මතාව සමුච්ඡේද ප්‍රහාණය තුළින් ජනිත වන්නේ 'කරුණා චේතෝ  විමුක්‌තියයි'.

යමෙක්‌ කරුණා චේතෝ විමුක්‌තිය භාවිතා කරනු ලබනුයේ බහුලකොට වඩනු ලබනුයේ, සැනකින් නැගී යා හැකි යානාවක්‌ සේ කරන ලද්දේ, මැනවින් සිත පිහිටුවන ලද්දේ මැනවින් පුරුදු කරන ලද්දේ මැනවින් ප්‍රගුණ කරන ලද්දේ...

එකල්හි ඔහුගේ සිත හිංසනයට යටකරගෙන සිටිනුයේ යන්න කිසිසේත් කිව නොහැක. එසේ වන්නට ඉඩ නැත. එය සිදුනොවේමැයි. හිංසනය කරුණාවෙන්, සමුච්ඡේදනය කළ හැක. කරුණාෙච්තෝ විමුක්‌තිය හිංසනයෙන් නිදහස්‌ වූවා වන්නේය. මුලින් සඳහන් පසුගිය ලිපියේ සඳහන් මෙත්තා චේතෝ විමුක්‌තියට අදාළ ධර්ම කරුණු කරුණා චේතෝ විමුක්‌තිය නිර්වාණගාමී ප්‍රතිපදාවටද අදාළ වේ.

3. මුදිතා චේතෝ විමුක්‌තිය

යමෙක්‌ මුදිතාව (අනුන්ගේ ඉසුරුමත් බවේ සතුටුවීම) සහිත චිත්ත විමුක්‌තිය භාවිත කරනුයේ බහුලකොට වඩනුයේ, වහා නැගීයන යානාවක්‌ සේ කරන ලද්දේ මැනවින් සිත පිහිටුවන ලද්දේ මැනවින් පුරුදු කරන ලද්දේ, ප්‍රගුණ කරන ලද්දේ...

එකල්හි අරතියට (අනුන්ව නැසීමට - පිළිකුලට කළකිරීමට, අරුචියට) ඉඩක්‌ නැත්තේය. අරතියෙන් සිත යටපත්කොට සිටින්නේ යෑයි එහෙම කරුණක්‌ සිදු නොවන්නේය. එසේ හෙයින් එසේ වීමට ඉඩකුත් නැත. සිදුනොවන දෙයකි. මුදිතාවෙන් අරතිය සමුච්ඡේද ප්‍රහාණය සිදුවන්නේය. එහෙයින් මුදිතා ගුණයෙන් අරතිය නැසීමෙන් පහළවන විමුක්‌තිය 'මුදිතා චේතෝ විමුක්‌තිය වන්නේය'.

4. උපේක්‌ඛා චේතෝ විමුත්තිය

යමෙක්‌ උපේක්‌ඛා චේතෝ  විමුක්‌තිය භාවිත කරනුයේ බහුලකොට වඩනුයේ, සැනකින් නැගී යා හැකි යානාවක්‌ සේ කරන ලද්දේ, මනාව පදිංචි වී සිටිය හැකි බිමක්‌ කරන ලද්දේ, මැනවින් සිත පිහිටුවන ලද්දේ, මැනවින් පුරුදු කරන ලද්දේ, මැනවින් ප්‍රගුණකරන ලද්දේ...

එකල්හි ඔහුගේ සිත රාගයට (අනුරාගය - ඇල්ම - ආලය - රාගික බවට) යටකර ගෙන සිටිනුයේ යන්න කිසිසේත් කිව නොහැක. එසේ වන්නට ඉඩක්‌ නැත. එය සිදුනොවේ මැයි. උපේක්‌ඛාවෙන් රාගය නැසීමෙන් පහළ වන විමුක්‌තිය 'උපේක්‌ඛා චේතෝ විමුක්‌තිය' නම් වන්නේය.

සම්මා සම්බුද්ධත්වයේ මහා කරුණා සමාපත්තිය නම්වූ උත්තම සර්වඥතා ඥානය ගෙන හැර දැක්‌වීමේදී ඉහත දැක්‌වූ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ඛා සතර බ්‍රහ්ම විහරණ හතරම එකට කැටිකොට දැක්‌වීමක්‌ වේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ඛා චෛතසික හතර නිස්‌සරණී සූත්‍රයේ මුලින්ම සඳහන් වන නිසා එමගින් ඇතිවන සමාධිය ලෝකෝතතර වේ. චේතෝ විමුක්‌තිය හෙවත් නිවන වේ.

5. අනිමිත්ත චේතෝ විමුක්‌තිය

යම් හෙයකින් අනිමිත්ත චේතෝ විමුක්‌තිය දියුණු කරනු ලැබුවේ භාවිත කරන ලද්දේ බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ වහා නැගී හා හැකි යානාවක්‌ මෙන් කරන ලද්දේ වෙයිද, මනාව සිතෙහි පිහිටුවන ලද්දේ වෙයිද, පුරුදු කරන ලද්දේද, මනාව ප්‍රගුණ කරන ලද්දේද, එකල්හි නිමිත්තානුසාරී විඤ්ඤාණය පහළ වන්නේය යන කරුණ යෙදිය නොහැක්‌කේය. 

එසේවීමට ඉඩක්‌ නැත. එය සිදුනොවේමැයි. යම් අනිමිත්තයකින් චේතෝ විමුක්‌තිය සිදුවූයේ නම් එය සියලු නිමිතිවලින් නිදහස්‌ වූයේ වේ.

සාමාන්‍ය ව්‍යවහාරයේදී සිව් දෙසා ලකුණු කරගෙන නැවත අටමහා දිසා ලකුණු කරගෙන අරමුණුකරගෙන දේව, බ්‍රහ්ම, මනුෂ්‍ය, ප්‍රේත, තිරිසන්, ආදී දකින නොදකින හටගත් නොහටගත් සියලූ සත්ව ප්‍රජාවටම නිමිතිගෙන අරමුණු කරගෙන විතක්‌ක විචාර වශයෙන් මෙනෙහි කරමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ෂා විහරණය කරයි.

එය ලෞකිකත්වයක්‌ පදනම් කරනු ලබන නිවීමක්‌ය. විතක්‌ක විචාර ඇති නිසා ලෞකික එකඟබවක්‌ පමණි. එය ලෝකෝත්තර චේතෝ විමුක්‌තියට කිසිසේත් අදාළ නොවේ.

ලෝකෝත්තර චේතෝ  විමුක්‌තියේදී -

1.මෙත්තා චේතෝ විමුක්‌තිය යනු ව්‍යාපාදය සමුච්ඡේද ප්‍රහාණය කිරීමයි. හෙවත් ක්‌ෂය කිරීමයි.

2. කරුණා චේතෝ විමුක්‌තිය - හිංසන චෛතසිකය සම්ච්ඡේද ප්‍රහාණයයි. ක්‌ෂය කිරීමයි.

3. මුදිතා චේතෝ විමුක්‌තිය - අරතිය ක්‌ෂය කිරීමයි. සමුච්ඡේද ප්‍රහාණයයි.

4. උපේක්‌ඛා චේතෝ විමුක්‌තිය - රාග ක්‌ෂය කිරීමයි. සමුච්ඡේද ප්‍රහාණයයි. 

මේ නිසා මෙම ධර්මතා ලොකෝත්තර ධර්ම මාර්ගයේ ගමන් කරන යෝගාවචරයා විසින් වැඩිය යුතු බව පැහැදිලිය. සතර බ්‍රහ්ම විහරණයන්හි ලෞකිකත්වය පදනම්වූ චිත්ත සමාධියද, ලෝකෝත්තරය පදනම්වූ සතර බ්‍රහ්ම විහරණයේ අනිමිත්ත චේතෝ විමුක්‌තියේ වෙනස වටහා ගත යුතුය.

එනිසා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ෂා සතර බ්‍රහ්ම විහාර විතක්‌ක විචාර වශයෙන් වඩා ලෞකිකව ලබන රූපාවචර ධ්‍යානත් අරූපාවචර ධ්‍යානත් ලෝකෝත්තර සම්මා සම්බෝධියේ මහා කරුණා චේතෝ විමුක්‌තිය ආදී වශයෙන් අර්ථ නිරූපණය කිරීම දහමට පටහැනිය.

අනිමිත්ත චේතෝ විමුක්‌තිය හෙවත් අනිමිත්ත චේතෝ සමාධිය පිළිබඳව සංයුත්ක නිකායේ 'අනිමිත්ත සූත්‍රයේද අනිමිත්ත සමාධි සූත්‍රයේද' කරුණු පැහැදිලිකර ඇත.

'අනිමිත්ත චේතෝ සමාධියයි

අනිමිත්ත චේතෝ සමාධියයි කියනු ලැෙරී.

අනිමිත්ත චේතෝ සමාධිය කවරේද?

ඇවැත්නි මට මෙබඳු සිතක්‌ ඇතිවිය. මෙහි මහණ තෙමේ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වෙසේ නම් එය අනිමිත්ත චේතෝ සමාධියයි කියනු ලැබේ ඇවැත්නි, ඒ මම සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වෙසෙමි. (සං.නි. අනිමිත්ත සූත්‍රය)

අනිමිත්ත සමාධි සූත්‍රයේද මෙම ධර්මතාව තහවුරු කරති.

මහණෙනි, අසංඛතගාමී (නිවන්) මග කවරේද? 

එය අනිමිත්ත සමාධියයි.

එයට අසංඛතගාමී (නිවන්) මග යයි කියනු ලැබේ.

(අනිමිත්ත සමාධි සූත්‍රය)

6. විචිකිච්චා නිශ්ශරණී චේතෝ විමුක්‌තිය

ඇවැත්නි අස්‌මිමානය හෙවත් 'අහංකාරකම' සමූල ඝාතනය වීමෙන් 'මම' පැනවීම නොයෙදෙන තැන චේතනා විරහිත සමාධියට 'විචිකිච්චා නිශ්ශරණී චේතෝ විමුක්‌තිය නම යෙදේ.

යථාභූත ඤාණ දර්ශනයේදී 'මම - මගේ - මගේ නොවේ' යනාදී වශයෙන් මමත්වය පදනම් වූ විචිකිච්චා හෙවත් සැකයන් චේතනාත්මකව ක්‍රියාකාරී නොවේ. පටිච්චසමුප්පාද දහම තුළින් විදර්ශනා භාවනාවෙන් විකිවිච්චා නිශ්ශරණයෙන් චේතෝ විමුක්‌තිය ඇතිවේ.

'ඇවැත්නි, මම යන හැඟීම සැකයකින් තොරව දුරු වූයේද මේ 'මම වෙමි' යි නොදකින්නේද එවිට වුවත් විචිකිච්චාවෙන් එය කෙසේ නම් වන්නේද සැකය නම්වූ හුල හිත වසාගෙන යටකොට ගෙන සිටියි යන කරුණ කෙසේවත් සිදු නොවියයුතුය. එසේ විය නොහැක්‌කේය. ඊට ඉඩක්‌ද නැත. එසේම කිසිදා සිදුවිය නොහැක. 'මම වෙමි' මානය මුළුමනින්ම මැකී නැසීයාමක්‌ වේඳ එය 'විචිකිච්චා නිශ්ශරණී චේතෝ විමුක්‌තිය' නම් වේ.

ගෞතම මහා ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විසින් දේශිත නිවන් මගේ සියලු ධර්මස්‌කන්ධයන් චේතෝ විමුක්‌තිය හෙවත් සිතෙන් නිදහස්‌වීම, නිවන සඳහාම වේ. උන්වහන්සේ උපමාවකින් දේශනා කරන්නේ 'ගංගා' නම් ගඟට ඕනෑම තොටුපලකින් බැස්‌සත් එකම ගඟ බවයි. විවිධ මාර්ග විවිධ ධර්ම දේශනා එකම ශාන්තිය සඳහා වේ.

අංගුත්තර නිකාය අනාගත භය වර්ගයේ,

1. පඨම චේතෝ විමුක්‌ති ඵලසූත්‍රය

2. දුතිය දේතෝ විමුක්‌ති ඵල සූත්‍රය මීට හොඳ උදාහරණයි. මේ සූත්‍ර දෙකෙහිම කරුණු පහ බැගින් දක්‌වා ඇත. එක එක කරුණ චේතෝ විමුක්‌තිය සඳහා වේ. භික්‌ෂුවට ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන්,

1. චේතෝ විමුක්‌ති ඵලය ලැබේ

2. චේතෝ විමුක්‌ති අනුසස්‌ ලැබේ

3. ප්‍රඥා විමුක්‌ති ඵලය ලැබේ

3. ප්‍රඥා විමුක්‌ති අනුසස්‌ ලැබේ. මෙම අනුසස්‌ හා දිට්‌ඨධම්ම වේදනීය වශයෙන් ලැබෙනු ඇත.

පඨමක චේතෝ විමුක්‌ති ඵල සූත්‍රයේ (-

'ඉධ භික්‌ඛවේ භික්‌ඛු (

1. අසුභානු පස්‌සි කායෝ විහරති

2. අහාරේ පටික්‌කූල සඤඤී

3. සබ්බ ලොකෙ අනභිරත සඤ්ඤි

4. සබ්බ සංඛාරේසු අනිච්චානු පස්‌සි

5. මරණ සංඥා ඛො පනස්‍ය අජ්ජධකතං

සුප්පතිට්‌ඨිතා හොති. ඉමේ ඛො භික්‌ඛවේ පඤ්ච ධම්මා භාවිතා බහුලීකතා

චේතෝ විමුක්‌ති ඵලාච හොන්ති

චේතෝ විමුක්‌ති ඵලානිසංසාච 

- පඤ්ඤා විමුක්‌ති ඵල ච හොන්ති

- පඤ්ඤා විමුක්‌ති ඵලානිසංසාච

1. කයේ අසුභය බැලීම් වශයෙන්ද

2. ආහාර පටිකූල සංඥාව වශයෙන්ද

3. ලෝකධර්මයන්හි නොඇලෙන සුළුවශයෙන්ද

4. සියලු සංඛාර අනිත්‍යානු වශයෙන්ද

5. මරණ සංඥා වශයෙන්ද

ඉහත චේතෝ විමුක්‌ති ඵල හා ආනිසංස වශයෙන් ලැබෙනබව සඳහන් වේ.

'දුතිය චේතෝ විමුක්‌ති ඵල සූත්‍රයේ ඒ සමාන ධර්මතා පහක්‌ ගැන සඳහන් වේ.

1. අනිච්ච සඤ්ඤා

2. අනිච්චෙ දුක්‌ඛ සඤ්ඤා

3. දුක්‌ඛ අනත්ත සඤ්ඤා

4. පහාන සඤ්ඤා

5. විරාග සඤ්ඤා යන ධර්මතායි.

මහා ප්‍රඥාව පහළවීම යනු විඥානයාගේ හට නොගැනීමයි. හෙවත් විඥාන නිරෝධයයි.

1. චක්‌ඛු විඥාන

2. සෝත විඥාන

3. ඝන විඥාන

4. ජිව්හා විඥාන

5. කාය විඥාන

6. මනෝ විඥාන

හට නොගැනීමයි. මනසිකාරය කරන්න ධර්මතාවක්‌ පෙන්නුම් නොකරන තත්ත්වයයි. සිතක ප්‍රතිෂ්ඨාවක්‌, පිහිටීමක්‌, ස්‌ථාවර බවක්‌ නොවන බවයි. සතර මහා භූතයන්ගේ ගති ලක්‌ෂණ හෝ වර්ණ, ගන්ධ, රස, ඕජා බව ප්‍රකට නොවන පනවන්න දෙයක්‌ කිසිසේත් කිව නොහැකි අවස්‌ථාවයි. පෙරලෙන, හැකිලෙන, සෙලවෙන ප්‍රකට නොවන සලකුණු ගති, නිමිති නොවීමයි. ඒ බව තථාගත දේශනාව මෙසේය.

ලෝක ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රකට නොවන බව දේශිතයි. නිර්වානය, භව නිරෝධය, අදහස්‌ වශයෙන් සංඥා වශයෙන් පැනවිය නොහැකි බවකි. සීල, සමාධි, ප්‍රඥා නම්වූ ලොව්තුරු මාර්ගයේ පෙන්නුම් කරන සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම චෛතසික මනෝ භාවයන් පාදකකරගෙන වැඩිදියුණු කර නික්‌ම යාමක්‌ සඳහා කරන සම්‍යක්‌ ව්‍යායාමයකි. නිවීම කේන්ද්‍රගතකරගෙන වැඩෙන මධ්‍යම ප්‍රතිපදාවයි.

අප ඇසුරු කරන ජීවත්වන සමාජය 'සම්මුති ලෝකයක්‌' බව ප්‍රකටය. ජීවත්වෙනවා යනු එය පරිහරණය කිරීමයි. එයට පරිබද්ධව ජීවන ගමනක යෙදේ. මේ සම්මුති ලෝකය යනු කුමක්‌ද? 'සංවෘති' යනු හාත්පසින්ම ඇත්ත වසා ඇත යන්නයි. සම්මත ලෝකයේ ඒ නිසා ඇත්ත වසා ඇත. විද්‍යමාන වන දේ ඇත්ත නොවේ. ඇත්ත දකින්න ප්‍රඥාව අවශ්‍යයි. ඒ සඳහා ප්‍රතිපදාවක්‌ නිර්දේශ කර ඇත. ඒ නිමාවක නිවීමක නිවන්මගයි. ප්‍රඥා සංවර්තනික ප්‍රතිපදාව ඇදහීමක්‌ නොවේ. විමුක්‌තිය යනු හැදැරීමෙන් උදාකරනු ලබන උපාය මාර්ගයකි. ඇදහීමට බුදුදහම ආගමක්‌ නොවේ. ලෝක සත්වයාගේ සදාකාලික නිවීමට අවශ්‍ය පරිපූර්ණ මාර්ග උපදේශකත්වය සම්බුදු දහම තුළ ඇත.