ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සුගත සම්බුදු ගුණය


අපගේ භාග්‍යවත් වූ අරහත් වූ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ සියලු සත්වයන්ගේ සියලුම ගති ස්වාභාවයන් ඉක්මවා ගිය අති සුන්දරතර වූත් අති නිර්මල වූත් අති පාරිශුද්ධ වූත් අති ශ්‍රේෂ්ඨ වූත් අති ජේෂ්ඨ වූත් ස්වභාවයකින් හෙබි අසම සම ශාස්තෘවරයාණන් වහන්සේ වූ සේක. එබැවින් උන් වහන්සේ සුගත නම් වන සේක
අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති – නත්ථිදානී පුනබ්භවෝ ති ....

මම ලෝකයේ අග්‍රස්ථානය ලැබූයෙමි ....
මම ලෝකයේ ජේෂ්ඨස්ථානය ලැබූයෙමි ...
මම ලෝකයේ ශ්‍රේෂ්ඨස්ථානය ලැබූයෙමි ...
මේ මාගේ අවසාන උප්පත්තියයි –
යළිත් මාගේ පුනර්භවයක් සිදු නොවේ ...

ලුම්බිණී සාල වනයේ වෙසක් පුන් පොහෝ දිනයක උපත ලද අප මහ බෝසතාණන් වහන්සේ විසින් තම සිඟිති මුවින් වදාළා වූ ඉහත උදාන ගාථාවෙන් කියැවෙනුයේ සුගත ගුණ දරා ලොවට වැඩි සුගතයන් වහන්සේ තමන් වහන්සේ බව යි.
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ සමුදාය අනන්ත ය. ... අප්‍රමාණ ය. මහා සාගරයෙන් දිය බිඳුවක් ගෙන මේ මහා සාගරය යැයි කිව නො හැක්කා සේ, මහ පොළොවෙන් වැලි කැටියක් ගෙන මේ මහා පොළොව යැයි කිව නො හැක්කා සේ ඒ සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ සමුදායෙන් බිඳක් ගෙන සම්බුදු ගුණ වනන්නට නො හැක්කේම ය. එහෙත් ශ්‍රාවක පින්වතුන්ගේ සැදැහැ සිත් වර්ධනයෙහිලාත් අප්‍රමාණ කුසල් සිද්ධ කර ගැනීම පිණිසත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සුගත බුදු ගුණය මෙසේ පහදාලන්නෙමි.
මේ තුන් ලෝක ධාතුවේ එක් තිස් තලයක විවිධ සත්වයෝ වාසය කරති. අපාය සතරක, මිනිස් ලොවක, දිව්‍ය ලෝක සයක හා බ්‍රහ්ම ලෝක විස්සක මෙසේ සංසාර ගමනේ යෙදෙමින් සියලු සත්වයෝ ඉපදෙමින් මැරෙමින් වාසය කරති. මෙසේ සසර සැරිසරන්නා වූ ඒ ඒ සත්වයින් හට විවිධ වූ ගති ස්වාභාවයන් වෙති.
අපගේ භාග්‍යවත් වූ අරහත් වූ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ සියලු සත්වයින්ගේ සියලුම ගති ස්වාභාවයන් ඉක්මවා ගිය අති සුන්දරතර වූත් අති නිර්මල වූත් අති පාරිශුද්ධ වූත් අති ශ්‍රේෂ්ඨ වූත් අති ජේෂ්ඨ වූත් ස්වභාවයකින් හෙබි අසම සම ශාස්තෘවරයාණන් වහන්සේ වූ සේක. එබැවින් උන් වහන්සේ සුගත නම් වන සේක.
දිනක් ජම්බුඛාදක නමැති බ්‍රාහ්මණ තරුණයකු සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුණ ගැසී මෙබඳු පැනයක් අසන ලදී. එනම්,
ධර්මයම කතා කරන්නේ කව් ද ?
ධර්මයම ප්‍රගුණ කරන්නේ කව් ද ?
සුගත වෙන්නේ කව් ද ? කියා

මෙහිදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් වදාළේ “ ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මයම කතා කරන ධර්මයම ප්‍රගුණ කරන සුගතයන් වහන්සේ” කියා යි. රාග, ද්වේශ, මෝහ සිය සිතින් නැති කිරීමෙන් සුගත වන්නේ යැයි වදාළ සේක.
මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සංසාර ගමන නවතා සුන්දර වූ නිර්වාණයට වැඩියේ සුගත නම් වන සේක. එබැවින්,
“ තේ නේස සෝබන ගමනේන ඛේමං දීසං අසජ්ජමානෝ ගතො අඤ්ඤේසි ගමේතිතී සෝබන ගමනත්තා සුගතෝ “ යන ලෙසින් සුගත ගුණය ප්‍රකාශිත වන්නේය.
තවද උන්වහන්සේගේ ගමන් විලාසය ද අති සුන්දරතර ය. මේ තුන් ලෝක ධාතුවේ යම් ගමන් විලාසයක් සියලු සත්වයින්ගේ සිත් පහදවන්නේ ද සිත් සනසවන්නේ ද නම් ඒ උන්වහන්සේගේ ගමන් විලාසය යි. බොහෝ ජනී ජනයා උන්වහන්සේගේ ගමන් විලාසයෙහි සිත් පහදවා ගත් කුසලයෙන් ඒ සැවොම අද ද සුගතියෙහි සුව විඳිති. යම් ගමන් විලාසයකට තුන් ලොවෙන්ම බැති පුද පෙළහර වන්නේ ද ඒ උන්වහන්සේගේ ගමන් විලාසයට මැයි. උන් වහන්සේගේ ගමන් විලාසයෙහි සුන්දර වූත් පිවිතුරු වූත් ඒ විචිත්‍රාලංකාරවත් බව බ්‍රහ්මායු සූත්‍ර දේශනාවේ මෙසේ පැහැදිලි කර ඇත. එනම්,
ඒ භවත් ගෞතමයෝ ගමන් යන්නාහු දකුණු පයින් පළමුකොට ගමන් අරඹති. ඉතා ඈතින් පිය නො තබති. ඉතා ළඟින් ද පිය නො තබති. ඉතා ඉක්මනින් ද පය නො තබති. ඉතා හෙමින් ද පිය නො තබති.
දණින් දණ නො ගටමින් යෙති. ගොප් ඇටයෙන් ගොප් ඇටය නො ගටමින් යෙති. ගැඹුරු දියෙහි යන්නාක් මෙන් කලවා උඩට නො නවති. කලවා යටට නො නවති. තෙමුණු තැනක පා තබන්නාක් මෙන් තදකොට පා නො තබති. පා එහා මෙහා පැද්දීම නො කරති. යන්නා වූ ඒ භවත් ගෞතමයන්ගේ යටි කයම සැලෙ යි. කාය බලයෙන් නො යෙති. ගෙල නො පෙරලා මුළු කයම හරවා බලති. නැකත් තරු ගණිනා ලෙස උඩ නො බලති. යට නො බලති. වටපිට බලමින් නො යති. වියදඬු පමණ දුර බලන්නේ මුත් ඉන් ඔබ්බෙහි උන්වහන්සේගේ ඥානය පවතින්නේ ය.
මේ තුන් ලෝක ධාතුවේ මෙසේ අසිරිමත් වූ ගමන් විලාසයක් වූයේ නම් ඒ භාග්‍යවතුන් වහන්සේ හටම වූ සේක. දෙවියන්ගේ දිව්‍ය පූජාවන්ගෙන් ද, බ්‍රහ්මයින්ගේ බ්‍රහ්ම පූජාවන්ගෙන් ද, සැදැහැ සිත් ඇති මිනිසුන්ගේ නා නා විධ අපමණ පූජාවන්ගෙන් ද සියලු ලෝ සතුන්ගේ අසිරිමත් වූ අසදෘශ මහා පූජාවන්ගෙන් ද උන් වහන්සේගේ ගමන් විලාසය මහත් පූජෝපහාරයන්ට බඳුන් වූයේ සත්වයින් සුගතිය කරාත් නිවන කරාත් යාමේ මහා පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගනිමිනි. ඒ අසිරිමත් වූ ආශ්චර්ය වූ විසිතුරු ගමන් විලාසය නිසා උන් වහන්සේ සුගත නම් වන සේක. එබැවින්
“ සෝබන ගමනත්තා, සුන්දර ඨානං ගතත්තා, සම්මා ගතත්තා, සම්මා ගදත්තා සුගතෝ” යන ලෙසින් දක්වා තිබෙන්නේ ය.
මනා කොට තෙපළන බස් ඇත්තේ ඒ භාග්‍යවතුන් වහන්සේටමැයි. උන් වහන්සේගේ වදන් පෙළහර අති සුන්දරතර ය. අති නිර්මලය. යම් වදනක් තුන් ලොවටම සැනසිලිදායක ද ඒ වදන උන්වහන්සේගේ ය. යම් වදනක් හේතුවෙන් සුගතිය හා නිවන වන්නේ ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ වදනින් මැයි. උන්වහන්සේගේ කතා විලාසය අභය රාජ කුමාර සූත්‍රයේ මෙසේ සඳහන් වන්නේ ය.
* සිද්ධ නොවූ අසත්‍ය වූ අනර්ථකාර වූ අන් අය හට අප්‍රිය අමනාප වචනයෝ වෙත් ද තථාගතයන් වහන්සේ ඒ වචන ප්‍රකාශ නො කරන්නාහු ය.
* සිද්ධ වූයේ ද සත්‍ය වූයේ ද අනර්ථකාර වූ අන් අය හට අප්‍රිය අමනාප වචනයෝ වෙත්ද තථාගතයන් වහන්සේ ඒ වචන ප්‍රකාශ නො කරන්නාහු ය.
* සිද්ධ වූයේ ද සත්‍ය වූයේ ද වැඩදායක මුත් අන් අය හට අප්‍රිය අමනාප වචනයෝ වෙත් ද තථාගතයන් වහන්සේ ඒ වචන ප්‍රකාශ කිරීමේ කාලය දන්නේ ය.
* සිද්ධ නොවූ අසත්‍ය වූ අනර්ථකාර වූ අන් අය හට ප්‍රිය මනාප වචනයෝ වෙත් ද තථාගතයන් වහන්සේ ඒ වචන ප්‍රකාශ නො කරන්නාහු ය.
* සිද්ධ වූයේද සත්‍ය වූයේද අනර්ථකාර වූ අන් අය හට ප්‍රිය මනාප වචනයෝ වෙත් ද තථාගතයන් වහන්සේ ඒ වචන ප්‍රකාශ නො කරන්නාහු ය.
* සිද්ධ වූයේ ද සත්‍ය වූයේ ද වැඩදායක වූ අන් අය හට ප්‍රිය මනාප වචනයෝ වෙත් ද තථාගතයන් වහන්සේ ඒ වචන ප්‍රකාශ කිරීමේ කාලය දන්නේ ය.
මෙබඳු මෙබඳු වචන ඇත්තේ, ඒ වදනින් තුන් ලොව සැනසෙන්නේ, යම් වදනක් කරණ කොට ලෝක සත්වයාහට බොහෝ කුසල් වැඩෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ කතා විලාසය නිසාම ය. මෙසේ සුන්දර වූත් ශෝබන වූත් අති මිහිරි වූත් නිර්මල වූත් අති පාරිශුද්ධ කතා විලාසයෙන් යුක්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වන සේක. එබැව්,
“සම්මා චේස ගදති, යුත්තට්ඨානේ යුත්තමේව වාචං භාසතීති සුගතෝ” යන ලෙසින් සඳහන් වන්නේ ය.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සමුදාය තවත් බුදුරජාණන් වහන්සේ නමකටවත් විස්තර කළ නො හැක්කේම ය. කල්පයක් විස්තර කළත් නිම නො වන්නේම ය. උන් වහන්සේගේ මහා පුරිස ලක්‍ෂණ හා අනුව්‍යංජනයන්ගෙන් පරිපූර්ණ ශෝබන මුදු සිරුර ද, අති සුන්දරතර ගමන් විලාශය ද, අති නිර්මල වූ පාරිශුද්ධ කතා විලාශය ද නිසා උන්වහන්සේ සුගත බුදු ගුණයෙන් විරාජමාන වූ සේක. මැදුම් පිළිවෙතින් සියලු කෙලෙසුන් නසා දමා සුන්දර නිවනට සපැමිණීමෙන් තුන් ලෝකයේ සත්ව සන්නිවාසයන් එක් තිස් තලයේ සියලු සත්වයින්ගේ ගති ස්වාභාවයන් ඉක්මවා යමින් තුන් ලෝකයටම අග්‍ර වූයේ, ශ්‍රේෂ්ඨ වූයේ ජ්‍යෙෂ්ඨ වූයේ ඒ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සුගත නම් වන සේක.සුගතෝ යන සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේ හට අපගේ උත්තමාංග
නමස්කාරය වේවා ... !!!