ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බෞද්ධ අනාත්මවාදය

බුදුදහමේ උගන්වන ප්‍රධාන ඉගැන්වීමක් ලෙසට අනාත්මවාදයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. එයට හේතුව මේ ඉගැන්වීම දැනීමක් ලෙසටත් (ම්දධඹතඥඤඨඥ) , ප්‍රගුණ කළ යුතු දෙයක් ලෙසටත් (ර්‍ථපචජබඪජඥ) දහමේ උගන්වන නිසාය. සමහරක් සම්ප්‍රදායන් පුද්ගලයා දේව නිර්මාණයකටත් තවත් සම්ප්‍රදායන් අහේතුවාදයකටත්, සමහරක් ස්වභාව නිත්‍යවාදයකටත්, හේතුඵලවාදයකටත් ඇතුළත් කර විග්‍රහ කිරීමට උත්සාහවත් වූ බව පෙනේ.අහේතුවාදින් සහ හේතුඵලවාදය පිළිගත් බෞද්ධ සම්ප්‍රදායන් ආත්මවාදයක් තුළ සත්වයා සහ ලෝකය විග්‍රහ කිරීමට ඉදිරිපත් නොවුණු බව පෙනේ.
බෞද්ධ ඉගැන්වීම්වල එන අනාත්ම සංකල්පය තේරුම් ගැනීම සඳහා ආත්ම සංකල්පය සහ එහි ස්වභාවය වටහාගැනීම වැදගත් වේ. අත්ත (ආත්මය) යන වචනය පාලි සාහිත්‍යයේ අර්ථ තුනක් සඳහා යෙදී ඇත. පළමුවැන්න තමා යන අදහස හැඟවීම සඳහා ය. (අත්තහිතාය පටිපන්නො. තමාගේ යහපත සඳහා පිළිපන්) දෙවැන්න කය සහ සිත ඇතුළත් පුද්ගලයා හැඟවීම සඳහාය . (අත්තපටිලාභ,ජීවි උප්පත්තියක් ලැබීම) මෙම ලිපියෙන් ආත්මවාදය ලෙසට සාකච්ඡා කරනු ලබන්නේ තුන් වන අර්ථය වන සියුම් පාරභෞතික අස්ථිත්වය පිළිබඳව ය.

ආත්මවාදයේ ආරම්භය කවදා, කොතැනක දී සිදු වී ද යන්න කිව නොහැකි ය. ඉන්දු ආර්ය යුගයේ පවා ආත්මවාදි අදහස් දැරු බවට උද්ධෘත ඍග්වේදිය සුක්තයන්ගෙන් හමුවේ. සෑම පුද්ගලයෙකු තුළම ආත්මයක් පවතින බවත් එය සත්‍ය වූ පදාර්ථයක් බවත් උපනිෂද් චින්තකයෝ සිතූහ. එම ආත්මය ඔවුන් විවිධාකාරයට විස්තර කර ඇත. ශරීරය තුළ ඇති සහල් ඇටයක් බදු අතිශයින් කුඩා ද්‍රව්‍යයක් බවත් එය හදවතේ තැන්පත්ව ඇති බවත් සමහරුන් දැක්වූ අතර එය මහපොළොව, අහස බදු ඉතා විශාල දෙයක් ලෙසට ද විස්තර කර ඇත. එසේම එය තථ්‍යය සැබෑ දෙයක් බව පෙන්වයි. සෑම දෙයක් කෙරෙහිම කෙනෙකු තුළ ආශාවක් ඇතිකර ගනු ලබන්නේ ඔහු තම ආත්මයට ඇති කැමැත්ත නිසා බව උපනිෂද් චින්තකයන්ගේ අදහස විය. එය නූපදින ,නොමියෙන, හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් දෙයක් ලෙසට දක්වයි. ආත්මය අභ්‍යන්තර මමෝභාව පාලනය කරන ඒකකය (අන්තර්යාමින්) ලෙසට ද විස්තර කරයි.
මීට අමතරව ජෛනාගම ද ආත්මවාදයක් ගැන කරුණු දක්වයි. ආත්මය අයිතිවන සත්වයාගේ ප්‍රමාණය මත ආත්මයේ ප්‍රමාණය ගන්නා බව පෙන්වයි. නිගොධ යනුවෙන් හඳුන්වන පරමානු පුඤ්ජ අවකාශයේ පවතින අතර ඒ සෑම පරමාණුවකම ආත්මයක් පවතින බව පෙන්වයි. නූතනයේ ඇති සෑම දේවවාදි ආගමකම ආත්මවාදි ඉගැන්වීම් දැකිය හැකි ය.
ආත්මයක් ඇතැයි ද , එය ශාශ්වත අවිපරිණාමි සර්ව ව්‍යාපී සත්‍යයක් ලෙසට පිළිගැනීම බුදුසමය ප්‍රතික්ෂේප කරනු ලබන්නේ දෘෂ්ටිවාදයක් ලෙසට ය. මේ ගැඹූරු විවේචනය අනුභූතිය ඇසුරින් කරන ලද විමර්ශනයකි.ආත්මයක් හෝ ආත්ම දර්ශනයක් නැතැයි ප්‍රතික්ෂේප කරන බුද්ධ වචනය අනාත්මයක් ඇතැ’යි ප්‍රකාශ නොකරයි. එසේ වුව හොත් එය ද දෘෂ්ටියක් බවට පත්වේ. වච්චගොත්ත පරිබ්‍රාජකයා වරක් බුදුරජාණන් වහන්සේ හමුවේ දී ආත්මයක් තිබේද? ආත්මයක් නැද්ද? යනුවෙන් ප්‍රශ්න කළ විට බුදුරජාණන් වහන්සේ එයට නිශ්ශබ්දතාවයෙන් පිළිතුරු දුන්හ. පසුව තම ස්ථාවරය විස්තර කරමින් ඇත හෝ නැත යන්නෙන් පිළිතුරු දුන්නේ නම්, ශාශ්වතවාදයට හෝ උච්ඡේදවාදයට වැටෙන බව ආනන්ද හිමියන්ට පැහැදිලි කර ඇත. මේ නිසා අනාත්ම යන්නේ අදහස් වන්නේ මතවාදයක් නොව ආත්මයක් නැත යන අදහස පමණි.
ආත්මවාදි අදහස්වලින් ජනතාව මුදා ගැනීම පහසු දෙයක් නොවන බව බුද්ධ චරිතයෙන් පෙනේ. බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනාව සංසාරයත් , එහි හේතුවත්, නිර්වාණය සහ නිර්වාණ මාර්ගය පෙන්වමින් බුදුදහමේ සාරය ප්‍රකාශ කිරීම වුවද ආත්මවාදි අදහස් පස්වග තවුසන් තුළ මුල් බැසගෙන තිබුණ නිසා ම ඒ දෘෂ්ටිවාදි පරිකල්පනා බැහැර කිරීමට සුදුසු දේශනයක් ලෙසට අනාත්ම ලක්ඛණ සූත්‍රයෙන් කරුණු ගෙනහැර දක්වන්නට උන්වහන්සේ දෙවන හමුවීමේ දී ම සිදු විය. පස්වග තවුසන් රහත් භාවයට පත්වූයේ අනාත්ම ස්වභාවය අවබෝධකර ගැනීමෙනි. එසේ ම උරුවෙල කාශ්‍යප ආදි ජටිලයන් දමනය කිරීමෙන් පසුව ඔවුන් පිළිගත් ආත්මවාදි අදහස් දුරුකිරීමට ආදිත්තපරියාය සූත්‍රයේ එන අනාත්මවාදී කරුණු ප්‍රකාශ කිරීමට සිදුවිය.
බුදුරජාණන් වහන්සේගේ උත්සාහය වූයේ සත්ත්වයා ආත්මවාදී දෘෂ්ටියෙන් මුදා ගැනීම බව පෙනේ. උපනිෂද් චින්තකයින් හෝ ජෛන ,සාංඛ්‍ය චින්තකයින් හෝ ආත්මයක් ඇතැයි සලකා ඇත්තේ කුමක් පදනම් කරගෙන ද යන්න සමනුපස්සනා සූත්‍රයෙහි පැහැදිලිව දක්වා ඇත. “මහණෙනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොයෙක් ආකාරයෙන් ආත්මය දකින්නේ නම් , ඒ සියල්ල පඤ්ච උපාදානස්කන්ධය හෝ ඉන් එක්තරා ස්කන්ධයක් සේ අනුසාරයෙන් ම දකී. “ඍග්වේදයේ සිට උපනිෂද් යුගය දක්වාත් බටහිර ලෝකයේ ප්ලේටෝ සිට දේකාත් දක්වාත් , ආත්මවාදි අදහසක් ප්‍රකාශ කර ඇත්නම් ඒ සියල්ලක් පුද්ගලයා සම්බන්ධව ඔහු ඇසුරු කරමින් හෝ ඔහුගේ මනස හදවත, ප්‍රාණය , හුස්ම සහ නොපෙනෙන සිරුර සමඟ ආබද්ධ ශක්තියක් සම්බන්ධ කරමින් විග්‍රහ කර ඇත. මේ නිසාම බුදුරජාණන් වහන්සේ ආත්මය පඤ්චස්කන්ධය අනුසාරයෙන්ම දකින බව පැහැදිලි කර ඇත. පඤ්ච ස්කන්ධය යනු පුද්ගල සම්මුති නාමය ඇති කරන අවයව පසයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර , විඤ්ඤාණ යනුවෙන් එවා හඳුන්වා ඇත. මේ එකක් එකක් අවයව හෝ පුද්ගලයා යන එහි සමස්තය හෝ වෙනස් නොවන, සදාකල්හි පවතින අවිච්ඡින්න දෙයක් ලෙසට නො ගත යුතු බව අනාත්ම ලක්ඛණ සූත්‍රයෙහි පෙන්වා දී ඇත. “මහණෙනි, රූපය ආත්මය නොවේ. යම් හෙයකින් මේ රූපය ආත්මය වී නම් රූපය ආබාධ පිණිස නොවන්නේ ය. මාගේ රූපය මෙසේ වේවා. මෙසේ නොවේවා යනුවෙන් අපේක්ෂා කළ හැකි වෙයි. මහණෙනි යම් හෙයකින් රූපය ආත්මය නොවේද, ඒ හේතුවෙන් රූපය ආබාධ පිණිස පවතියි. මාගේ රූපය මෙසේ වේවා, මෙසේ නොවේවා යනු රූපයෙන් අපේක්ෂා කළ නොහැකි ය.” මේ ආකාරයට අනෙකුත් ස්කන්ධයන් ද ආත්මයක් ලෙසට ගත නොහැකි බව පෙන්වයි. මින් අදහස් වන්නේ යමක් තමාට පාලනය කළ නොහැකි නම්, විවිධ පීඩාවන්ට සහ අපහසුතාවයන්ට තමාගේ අකැමැත්තෙන් පත්වේ නම් , ස්වකීය අභිමතය ඉක්මවා යයි නම් එය ආත්මීය වශයෙන් ගත නොහැකි බව අවධාරණය කරයි. අනාත්ම ලක්ඛණ සුත්‍රයෙන් පඤ්චස්කන්ධය ම තමාට අයත් දෙයක් නොවන බව පෙන්වයි. “මහණෙනි, යමක් අනිත්‍ය ද , දුකද , පෙරළෙන ස්වභාවය ඇත්තේ ද , එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මය වේ යනුවෙන් ගැනීම සුදුසු වේද? නැත ස්වාමීනි” යනුවෙන් භික්ෂූන්ගේ පිළිතුර විය. මෙහි පෙන්වන හරය නම් පුද්ගලයා යැයි සලකන ස්කන්ධ පහම තමාට පාලනය කළ නොහැකි නිසාත් ආබාධ මෙන්ම දිරාපත් වීම් වලට නිරතුරුවම ලක් වන නිසාත්, නිත්‍ය ශක්තියක් නොවන නිසාත් බලයක් ලෙසට සාරයක් ලෙසට ගත නොහැකි නිසාත් ආත්මයක් නැති ස්වභාවයක් ගන්නා බව අවධාරණය කරයි.
සච්චක සූත්‍රය ද අනාත්මවාදී අදහස් ප්‍රකට කරන සූත්‍රයකි. පඤ්චස්කන්ධයම ආත්මය බව සච්චක ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ පෙරළා ප්‍රශ්න කරමින් පඤ්චස්කන්ධය තම ආධිපත්‍යය තුළ ක්‍රියාත්මක වන දෙයක් නොවන බව පෙන්වා දෙන ලදී. එසේම පඤ්චස්කන්ධයම එකිනෙක ගනිමින් මහාභූත නියෝජනය වන රූප එනම්,ඔලාරික කය නොවෙනස්ව තබා ගත හැකි ද යන්න ප්‍රශ්න කරන ලදී. දෙවන ප්‍රශ්නය ලෙසට එම වෙනස සුවදායක ද ? දුක්ඛදායක ද? යන්න ප්‍රශ්න කරන ලදී. තුන්වන ප්‍රශ්නය ලෙසට වෙනස් වන, දුක්ඛ වශයෙන් පවතින යමක් මගේය, මම වෙමි, මේ මාගේ ආත්මයයි සැලකිය හැකිද යන්න ප්‍රශ්න කරන ලදී. එහි දී සච්චක තැන යනුවෙන් පිළිතුරු දී ඇත. මේ ප්‍රශ්න තුන ආත්මවාදි පිළිගැනීම නැති කරයි. යමක් වෙනස් වේ නම්, තිබුණු දෙයින් අන්‍ය බවට පත්වේ නම් ඒ තුළ ආත්මීය ලක්ෂණයක් නො මැති බවයි. එසේම වෙනස් වීම කරණකොටගෙන තම පාලනය ඉක්මවා ගිය දුක්ඛා දි අත්දැකීමක් ලබා දෙයි නම් ඒ තුළද ආත්මීය ලක්ෂණයක් ප්‍රකට නොවන බවයි. උදාන පාලියේ මේඝිය සුත්‍රයේ දක්වන අන්දමට අනාත්මවාදය ඇති වන්නේ අනිත්‍යතාවාදය මත බව දක්වා ඇත. සකස් වූ වස්තුන්ගේ ලක්ෂණය වෙනස් වීමයි. එහිදී වෙනස් නොවන අස්තිත්වයක් දැකිය නොහැකි හැකි ය. ආදිත්තපරියාය සූත්‍රයේ හි මනෝ ධර්ම සියල්ලක් දැවෙන දේවල් ලෙසට අර්ථ ගන්වා ඇත. දැවීම යනු විනාශ යයි. තිබුණු දෙයින් වෙනස් තත්වයකට පත්වීමයි. මේ මනෝ භාවයන්ගේ නිත්‍ය ස්වභාවයක් නැත. මේ නිසාම ආත්මීය තත්ත්වයකින් සැලකිය නොහැකි බව පෙන්වයි.
සත්ත්වයා තුළ ආත්මයක් ඇතැයි යන හැඟීම තිබෙන තුරු කෙනෙකුට නිවන් ලැබීමට නොහැකි ය. එයට හේතුව පඤ්චස්කන්ධය නිත්‍ය සදාතනික සදාචාරාත්මක පිරිසුදු දෙයක් ලෙසට විශ්වාස කරමින් මුළාවට පත්ව ඇති නිසා ය. ආත්මය පිරිසිදු නම් එයින් අපිරිසුදු ක්‍රියා සිදුවන්නේ කෙසේද යන තර්ක ඇති වීම වැළැක්විය නොහැකිය. මේ නිසා ආත්මවාදියාට නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපදාව හඳුනා ගැනීමට අපහසු වේ. මේ සඳහා අනාත්ම සංකල්පය ප්‍රතිපදාවක් ලෙසට ප්‍රගුණ කළ යුතුව ඇත. ත්‍රි ශික්ෂණයක් හඳුන්වා දී ඇත්තේ මේ සඳහා ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤