ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය

සංසාරයෙන් එතෙරවීම පිණිස ඇසුරු කළ යුතු සීල විසුද්ධියේ සිට කංඛා විතරණ විසුද්ධිය දක්වා ඉදිරියට පැමිණ සිටිමු. අපි දැන් මුහුණ දී තිබෙන්නේ ලෝකය හා සත්වයා ගැන නියම තතු දැනගෙන, සසර දුකින් එතෙර වී යාමට කළ යුතු වැඩ පිළිවෙළ ඇරඹීමට යා යුතු මග විමසා බැලීමට යි. එහෙත් තවමත් යා යුතු මග, නොයා යුතු මඟ කුමක් දැයි නොදනී. මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය ගැන විමසීමෙන් වැඩිදුරටත් ඒ ගැන දැනීමක් ලබාගත හැකි යි. මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය යනු මේ මඟ ය. මේ නොමග යැයි දැනගෙන නොමගින් වෙන් වී, නොරැවටී ඤාණය ලැබ පිරිසිදුවීමයි. එය වඩාත් පැහැදිලි ව තේරුම් ගැනීමට පාඨකයාට පහසු වන අයුරින් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් මෙම ලිපිය ආරම්භ කරනු ලැබේ.
01.පරමාර්ථ වශයෙන් සත්වයෙක්, පුද්ගලයෙක් හෝ ආත්මයක් යයි ගත හැකි කිසිවක් තිබේ ද? නැත.
02.එසේ නම් ඇත්තේ කුමක්ද? නාමය හා රූප මාත්‍රය පමණි.
03.නාමය හා රූපය කෙබඳු දෙයක්ද? දුක් රැසකි.
04.එසේ නම් ඒවා සංග්‍රහ විය යුත්තේ කොහි ද? දුක්ඛ සත්‍යයෙහිය
05.එසේ අවබෝධ කර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? ව්ිට්ඨී විසුද්ධි වශයෙන් ආත්ම දෘෂ්ටියෙන් පිරිසුදු වීමයි.
06.දුක් රැසක් වන නාම රූප ඇති කරන්නේ කවරෙක්ද? ඒවා දෙවියකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ඇති කරනු ලබන්නක් නොවේ. ඉබේ ඇති වන්නක්ද නොවේ. ඒවා ඇති වන්නේ හේතු ප්‍රත්‍යය වශයෙනි.
07. එසේ නම් ඒවා සංග්‍රහ විය යුත්තේ කොහිද? දුක්ඛ සමුදය සත්‍යයෙහි ය.
08.එසේ අවබෝධ වීමෙන් ලැබෙන විසුද්ධිය කුමක්ද? කංඛා විතරණ විසුද්ධියයි.
09.කාම – රූප – අරූප යන භවත්‍රයෙ ඇති පොදු ලක්ෂණය කුමක්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඇති ත්‍රිලක්ෂණයයි.
10. සියලු සංස්කාරයන් සදාකාලික නොවී, ඇතිව නැති වී යාම නිසා ඇතිවන ප්‍රතිඵල මොනවාද? බිය හා දුක ඇති වෙයි.
11.සියලු සංස්කාරයන් අනාත්ම වශයෙන් සැලකීමට ඇති හේතු මොනවාද? (අ) තමන්ගේ වසඟයෙහි පවත්වා ගත නො හැකිවීම (ආ) ආත්මය වශයෙන් ගත හැකි කිසිවක් නැතිවීම
12.රූප ස්කන්ධය ඇතිවන්නේ කුමක් හේතු කොටගෙන ද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආහාර යන ප්‍රත්‍යයන් හේතු කොට ගෙන ය.
13.රූපස්කන්ධය නිරුද්ධ වන්නේ කෙසේද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආහාර යන ප්‍රත්‍යයන් නිරුද්ධ වීමෙනි
14.වේදනා , සඤ්ඤා, සංඛාර යන ස්කන්ධයන් ඇතිවන්නේ කෙසේද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම හා ස්පර්ශ හේතු කොට ගෙන ය.
15.වේදනා, සඤ්ඤා, සංඛාර යන ස්කන්ධයන් නිරුද්ධ වන්නේ කෙසේද? අවිද්‍යා, තෘෂ්ණා කර්ම හා ස්පර්ශ යන ප්‍රත්‍යයන් නිරුද්ධ වීමෙනි.
16.අවිද්‍යා, තෘෂ්ණා කර්ම , නාමරූප යන ප්‍රත්‍යයන් හේතු කොටගෙන ඇති වන්නේ කුමක් ද? විඤ්ඤාණ ස්කන්ධය ඇති වෙයි.
17.විඤ්ඤාණ ස්කන්ධය නැති වන්නේ කෙසේ ද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නාමරූප යන මේවා නිරුද්ධ වීමෙනි.
18.සියලු සංස්කාර ධර්මයන් විදර්ශනා කරන යෝගාවචරයාට ප්‍රතීත්‍ය සමුප්පාද ලක්ෂණයන් ප්‍රකට ව වැටහීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?
“මේ සංස්කාර ධර්ම හේතු ප්‍රත්‍යය බලයෙන් ඉපිද නිරුද්ධ වෙතැයි සියලු සංස්කාර ධර්මයන් නිතරම අලුතින් උපදින්නවුන් සේ වැටහෙයි. එසේම මේ සංස්කාර හිරු උදාවෙහි පිනිබිදු මෙන්ද, දිය බුබුලක් මෙන්ද, දියෙහි ඇඳී ඉරක් මෙන්ද, මිරිගු දියක් මෙන්ද, සිහිනෙන් දුටු දෙයක් මෙන්ද, ගිනි පෙනෙලි චක්‍රයක් මෙන්ද, පෙණ පිඩක් මෙන්ද, කෙසෙල් කඳක් මෙන්ද නිස්සාර වශයෙන් වැටහෙයි. මෙසේ ඇතිවීම නැතිවීම ප්‍රතිවේධ කොටගත් තැනැත්තාට උදය ව්‍යය ඤාණය නමැති ප්‍රථම තරුණ විදර්ශනා ඤාණය ඇති වෙයි. මේ උදය ව්‍යය ඥානය උපන් තැන් පටන් ඒ යෝගාවචරයා පටන් ගත් විදර්ශනා භාවනා ඇත්තෙකැයි කියනු ලැබේ.
19.විදර්ශනා උපක්ලේශ උපදින්නේ කවරකුට ද?
උදය ව්‍යය අනුපස්සනා වශයෙන් පටන්ගත් විදර්ශනා භාවනා ඇති තරුණ විදර්ශකයාටය.
20. විදර්ශනෝපක්ලේශ කොපමණ තිබේද? 10 කි.
21.ඒ විදර්ශනෝපක්ලේශ 10 මොනවාද?
ඕභාසෝ පීති පස්සද්ධි
අධි මෝක්ඛෝ ච පග්ගහෝ
සුඛං ඤාණඋපට්ඨාන
උපෙක්ඛාච නිකන්තිච
22. ඒ එක් එක් කරුණ කෙටියෙන් හඳුන්වන්න
1.ඕභාස – විදර්ශකයාගේ ශරීරයෙන් නිකුත්වන ආලෝකය
2.පීති – ඛුද්දික, ඛණික, ඔක්කන්තික.උබ්බේග, ඵරණ යන පස්වණක් පී‍්‍රතීන් වශයෙන් හැඳින්වෙන යෝගාවචරයාගේ ශරීරය පිනවමින් උපදින පී‍්‍රතිය
3.පස්සද්ධි – යෝගාවචරයාගේ චිත්ත චෛතසිකයන් සන්සිඳුවමින් ඇතිවන සැහැල්ලු බව
4.අධිමොක්ඛ – චිත්ත චෛතසිකයන් තුළ ඇතිවන බලවත් ශ්‍රද්ධාව
5.පග්ගහය :– පටන් ගන්නා ලද බලවත් වීර්යය
6.සුඛය – යෝගාවචරයාගේ සියළඟ උල්පවමින් උපදින විදර්ශනා සැපය
7.ඤාණය – ප්‍රඥාව, ඒ ඒ පදාර්ථයන් තියුණුව වැටහෙන ශක්තිය
8.උපට්ඨානය – සිහිය, සර්වාකාරයෙන් දිවැසින් බලන්නකුට මෙන් ඉතා පිරිසිදුව වැටහීම .
9.නිකන්තිය – ඕභාසය ආදි කොට ඇති නවය කෙරෙහි දස වැනිව උපදින ආලය එය අකුසල සහගත ය. එබැවින් උපක්ලේශයකි.
පෙර ලක්දිව තලගුරු නම් වෙහෙරෙහි ධම්මදින්න නම් සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේගේ ගුරු හිමියෝ උච්චවාලික විහාරවාසි මහා නාග නම් මහ තෙරණුවෝ ය. උන්වහන්සේ චිත්ත විසුද්ධිය ලෞකික ධ්‍යාන සමාපත්ති උපදවාගෙන, විදර්ශනා භාවනා කොට ඕභාසාදිය උපන් කල්හි එයින් පමණක් තෘප්තියට පැමිණ වාසය කළහ. ශිෂ්‍ය ධම්ම දින්න මහරහතන් වහන්සේ ඒ බව දැන, එක් දවසක් අහසට පැන නැගී තම ගුරුවරයා වෙසෙන උච්චාවාලික විහාරයට වැඩම කොට වත් පිළිවෙත් කොට, වැද අවසර ගෙන ප්‍රශ්න විමසූහ. ගුරු හිමියෝ ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දුන්හ. ශිෂ්‍ය ධම්මදින්න රහතන් වහන්සේ” ස්වාමීනි, ඔබ වහන්සේගේ ප්‍රඥාව අතිශයින් .තියුණු ය. ඔබ වහන්සේට ඍද්ධි ප්‍රතිහාර්ය දැක්විය හැකි දැයි ඇසූහ.” බැරි නැතැයි ගුරුවරයාගේ පිළිතුරු විය,”ස්වාමීනි, එසේ නම් එක් ඇතෙකු මවනු මැනවැයි ඇරයුම් කළහ. ගුරු හිමියෝද සුදු ඇතකු මැවූහ. “ස්වාමීනි මේ ඇතා කන් දෙක කෙලින් කරගෙන, නගුට ඔසවා ගෙන හොඬය හකුළා ගෙන, බිහිසුණුූ කුඤ්ච නාද කරමින් තමන් වහන්සේ වෙත දිවගෙන එන්නැ’යි අධිෂ්ඨාන කරන ලෙස ආරාධනා කළහ. ගුරු හිමියෝ එසේ අධිෂ්ඨාන කොට, තමන් වහන්සේ වෙත වේගයෙන් දිව එන සුදු ඇත් රුව දැක, බිය වී දුවන්නට පටන් ගත්හ. එවිට ධම්මදින්න රහතන් වහ්සේ”ස්වාමීනි, ඇයි දුවන්නේ? රහතුන්ට බිය කොයින් දැයි කියා නතර කළහ. මහානාග මහ තෙරුණුවෝ එම සිද්ධියෙන් තමන් වහන්සේ පුහුදුන් බව දැනගෙන තම ශිෂ්‍ය ධම්මදින්න රහතන් වහන්සේගෙන් කමටහන් ගෙන භාවනා කොට පසුව රහතන් වූහ.
මේ අන්දමින් යෝගාවචරයා රැවටී අමාර්ගගාමි වන නිසා ඕභාස පීති ආදිය උපක්ලේශ ගණයට වැටේ. එහෙත් දක්ෂ බුද්ධිමත් යෝගාවචරයා, දස වැනි නිකන්තියද උපදා ගෙන, මාර්ගය ද වරදවා නොගෙන, නිකන්තිය ස්වභාවයෙන්ම අන්තරායකර ධර්මයක් බවත්, ඕභාස ආදිය අනිත්‍ය, දුක්ඛ,අනාත්ම ලක්ෂණයෙන් යුත් පටිච්ච සමුප්පන්න ධර්ම බවත් මැනවින් තේරුම්ගෙන නියම මඟ නම් විදර්ශනා වීථියට පිළිපන් විදර්ශනා ඥානය ම වේ යයි අවබෝධ කරගනී.
මෙසේ මාර්ගයත්, අමාර්ගයත් තේරුම් ගෙන අමාර්ගයෙන් වෙන් වී මාර්ගයට යොමු වී සිටි ඤාණය පිරිසිදු වූ හෙයින් මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි නමින් සැලකෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤