ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

කිසිවෙකු හටත් නැති මුනිඳුට සනුවණෙක් ඇති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක 
මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පරිවේණාධ්‍යක්ෂ
ත්‍රිපිටක විශාරද, 
ශාස්ත්‍රපති, 
මකුලෑවේ විමල නා හිමි

" යමා මහ පෙළහර පෑමේ දී එක්වර ක්‍රියා දෙකක් පෙන්වයි. උඩුකයින් ගිනි කඳ පවතින විට යටිකයින් දිය දහර පවතියි. වම් ඇසින් දිය දහර පිටවන විට දකුණු ඇසින් ගිනි කඳ පිටවෙයි."
බුදුරජාණන් වහන්සේට පමණක් ඇති අන් කිසිම සත්වයෙකුට නොමැති, අන්‍ය සියලු ශ්‍රාවකයන්ගේ ඤාණයන් හා සාධාරණ නොවූ ඤාණ හයක් ගැන ධර්මයෙහි සඳහන් වේ. ඒවා ෂඩ් අසාධාරණ ඤාණ නමින් හැඳින්වේ. බුදුරජාණන් වහන්සේට විනා අන් කිසිම කෙනෙකුට නොමැති මේ නුවණ සය, කිසිවෙකුට සාධාරණ නොවූ ඤාණ හයක් වූ බව වෑත්තෑවේ හිමියන් ද,
“කිසිවෙකු හටත් නැති 
මුනිඳුට සනුවණෙක් ඇති 
මෙලොව සැමටම ඇති 
වාසනා ගුණ කිසිවෙකුත් නැති”

යැයි දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ තුළ ඇති ඤාණ ශක්තිය අනෙක් සියලුම ඤාණයන් පරදවා ජය ගැනීමට සමත් ය. උන්වහන්සේගේ නුවණ සංඛත අසංඛත සියලු ධර්මයන් විෂයෙහි විනිවිද ගෙන පැතිර පවතී. එබඳු ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ඤාණයන් ස්වල්ප වශයෙන් නමුත් සිහි කිරීම බෞද්ධ අප කාහට වුවද ප්‍රයෝජනවත් වේ. බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ ඒ ඤාණ සය මෙසේ ය.
ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය 
ආසයානුසය ඤාණය 
යමක පටිහාරිය ඤාණය 
මහා කරුණා සමාපත්ති ඤාණය 
සබ්බඤ්ඤුත ඤාණය 
අනාවරණ ඤාණය යනුයි.

ෂඩ් අසාධාරණ ඤාණයන්ගෙන් පළමුවැන්න ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණයයි. මෙහි ඉන්ද්‍රියෝ නම් ලෝකවාසී සත්වයන් තුළ පවතින ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන මේ ධර්ම පහයි. (වෙනත් ස්ථාන වලදී ඉන්ද්‍රිය නාමයෙන් චක්ඛු, සොතාදිය දක්වා ඇතත් මෙහි ඉන්ද්‍රිය වශයෙන් ගෙන ඇත්තේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ය.) මේ ඉඳුරන් කොතෙක් දුරට මෝරා තිබේද? ශ්‍රද්ධාදී මේ ඉන්ද්‍රිය ධර්ම මොහුට මෙතෙක් වැඩිය. මෙතෙක් අඩුය. යනාදී වශයෙන් හැම සතුන්ගේ උස් මිටිකම් දැන ගන්නේ මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය මෙහෙයවා බැලීමෙනි. මේ ඤාණය මගින් මඳ කෙලෙස් ඇතියන් ද, බහුල කෙලෙස් ඇතියන් ද මාර්ග ඵලාවබෝධය කළ හැකි පුද්ගලයන් ද නොකළ හැකි පුද්ගලයන් ද, විවිධ දෘෂ්ටීන්හි වෙළුණු ඒ ඒ සත්ත්වයන්ගේ කර්ම විපාක, ක්ලේෂාවරණයන්ගේ තත්ත්වය යනාදිය ද මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය මෙහෙයවා උන්වහන්සේ දැන වදාරති.
ආසයානුසය ඤාණය නම් නිවන් අවබෝධයට සුදුසු සත්ත්වයන්ගෙන් ආසය, අනුසය පවත්නා හැටි විමසා බලන නුවණයි. මෙහි ආසය නම් සිත් සතන්හි නිතර එක්රැස්ව පවතින, නවතින තැනයි. ශාස්වත උචේඡදාදී විවිධ දෘෂ්ටීන් ද, කාම, ව්‍යාපාද, ථීන මිද්ධාදියද, සම්‍යග් දෘෂ්ටික අදහස් වූ නෙක්ඛම්මාදී අදහස් ද, සත්ත්වයන්ගේ සිත් සතන්හි බෙහෙවින් ඇලුන, ලැගුණ අදහස්ය යන තේරුමෙන් ආශය යයි කියනු ලැබේ.
අනුසය නම් අනුරූප කාරණයක් ලැබ ඉපිද මතු මත්තෙහි ලුහු බඳිමින් ශක්තිමත් බවට පැමිණ, අවස්ථා පැමිණි කල්හි, සුදුසු අරමුණක් ලත් කල්හි නැවත නැවත ඉපදීමට සුදුසු අකුසල ධර්මයෝයි. අනුසය ධර්ම හතෙකි. කාමරාග, භවරාග, පටිඝ මාන, දිට්ඨි, විචිකිච්ඡා, අවිජ්ජා වශයෙනි. සත්වයන් තුළ පවතින ආශය චරිත ගතිගුණ අධිමුක්ති ආදියත් මේ අනුසය අවස්ථාවනුත් බුදුරජාණන් වහන්සේට විනා අන් කිසිවෙකුට තත්ත්වාකාරයෙන් විමසා බැලිය නොහැකිය. බුදු ඇසින් මේ ආසය, අනුසය විමසා දැනගන්නා නුවණ අන් අයට නැති නිසා අසායානුසය ඤාණය අසාධාරණ ඤාණයක් වේ.
යමක පාටිහාරිය ඤාණය නම් යමාමහ පෙළහර පෑමේදී උදව් කරගන්නා නුවණයි. ප්‍රාතිහාර්යයෝ සෘද්ධි ප්‍රාතිහාර්ය, ආදේසනා ප්‍රාතිහාර්ය, අනුසාසනා ප්‍රාතිහාර්ය යයි ත්‍රිවිධ වේ. නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම ඉද්ධි පාටිහාරයයි. සිත් සතන් පවතින හැටි මේ යැයි කියා පෑම ආදේශනා ප්‍රාතිහාර්යය යි. අවවාද අනුශාසනා ස්වරූප වූ ධර්ම දේශනා පැවැත්වීමෙන් හා සීල, සමාධි, ප්‍රඥා යන පිරිසුදු ප්‍රතිපත්තීන් ආදර්ශයෙන් ද පෙන්වා උපදෙස් දීම අනුශාසනා ප්‍රාතිහාර්ය යයි. යමා මහ පෙළහර පෑමේ දී එක්වර ක්‍රියා දෙකක් පෙන්වයි. උඩුකයින් ගිනි කඳ පවතින විට යටිකයින් දිය දහර පවතියි. වම් ඇසින් දිය දහර පිටවන විට දකුණු ඇසින් ගිනි කඳ පිටවෙයි. මෙසේ යමක පාටිහාරිය දැක්වීමේදී එක්වර ස්ථාන දෙකකින් ක්‍රියා දෙකක් කිරීමේ නුවණ ශ්‍රාවකයින්ට අසාධාරණ බුදුරජාණන් වහන්සේට ම සාධාරණ වූ නිසා අසාධාරණ ඤාණයක් වේ.
මහා කරුණා සමාපත්ති ඤාණය නම් දුකට පත් සත්වයන් ගැන මහා කරුණාව උපදවා ඒ දුකින් මුදවා ගන්නා නුවණයි. බුදුරජාණන් වහන්සේ දිනපතා මහා කරුණා සමාපත්තියට සමවැද, සැම සතුන් දුකින් මුදාලන්නට සිතා බලන සේක. එසේ බලන විට සත්ත්වයා රාගාදී ගිනි වලින් ද, පීඩා ලබමින් දුක්වලට භාජනය වී ඇතැයි දකින බුදුරජාණන් වහන්සේට ඒ සත්වයින් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි. එවිට උන්වහන්සේට මම මේ සියලු දුකින් මිදුනෙමි. ඒ නිසා මම මේ සත්ත්වයින් සියලු සසර දුකින් මුදවාලන්නට සමර්ථ වෙමියි දකින බුදුරජාණන් වහන්සේට සත්වයින් කෙරෙහි මහා කරුණාව ඇති වෙයි. මෙසේ සත්වයින් කෙරෙහි තත්වය දැන ඇතිවන මහා කරුණාව මහා කරුණා සමාපත්ති ඤාණය නම් වේ.
සබ්බඤ්ඤුත ඤාණය නම් සංඛත – අසංඛත, සම්මුති – පරමාර්ථාදී දත යුතුතාක් සියලු දේ දැනගන්නා නුවණයි. බෝධිසත්වයන් වහන්සේ දීපංකර පාද මූලයේ දී නියත විවරණ ලැබ අධිෂ්ඨාන කෙළේ ද, සර්වඥ බවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසරින් එතෙර කරවමි යන අධිෂ්ඨානයයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දසපාරමී සම්පූර්ණ කෙළේ ද මේ සබ්බඤ්ඤුත ඤාණය ලැබීම සඳහායි. පිරූ පාරමී බලයෙන් අර්හත් මාර්ග ඤාණය සමඟම සවාසනා සකල ක්ලේශයන් දුරුකොට සව්නේ දත් නුවණ හෙවත් සර්වඥතා ඤාණය අවබෝධ කරගත් සේක. ලෝකයේ දතයුතු යම් පමණ දෙයක් ඇත්නම් එපමණටම බුදු නුවණ ද ඇත. බුදු නුවණ යම් පමණ ද දත යුතු දෙය ද එපමණය. බුදු නුවණ දත යුතු දෙය කෙළවර කොට ඇත්තේ ය. දත යුතු දෙය බුදු නුවණ කෙළවරකොට ඇත්තේ ය. මෙයට සබ්බඤ්ඤුත ඤාණයයි කියනු ලැබේ. නව අරහාදී බුදු ගුණයන් අතරෙහි සම්මා සම්බුද්ධ පදයෙන් දැක්වූයේ ද මේ සර්වඥතා ඤාණයමයි. සියල්ල දන්නා බව සබ්බඤ්ඤුතායි. ඒ සඳහා පහළවන නුවණ සබ්බඤ්ඤුත ඤාණයයි.
මේ සර්වඥතා ඤාණය හා අනාවරණ ඤාණය ද නම් වශයෙන් දෙකක් වුවද, අවස්ථා වශයෙන් බලන විට එකක් කොට සලකනු ලැබේ. සියලු ලෞකික ලෝකෝත්තර ධර්මයන් නිරවශේෂයෙන් අවබෝධ කිරීම සර්වඥතා ඤාණයයි. එහි නොපැකිල පවත්නා නුවණ අනාවරණය ඤාණයයි. අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රය පිළිබඳ සියල්ල දැනීම සර්වඥතා ඤාණයයි. එහි නොපැකිල පවත්නා නුවණ අනාවරණ ඤාණයයි.
මේ කරුණු අනුව බුදුරජාණන් වහන්සේගේ නුවණ සැම දෙයක් ම, සෑම අයුරකින්ම විනිවිද දකින්නට බලන්නට කොතරම් හැකියාවක් ඇද්දැයි පැහැදිලි වෙයි. මේ දැක්වූ බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ අන්‍යයන්ට සාධාරණ නොවූ ෂඩ් අසාධාරණ ඤාණයන් පිළිබඳ තොරතුරු විමසා දැනගැනීම අපේ ශ්‍රද්ධා ගෞරවය ආරක්ෂා වීමට මෙන්ම, බුදුගුණ හඳුනාගැනීමටත් බෙහෙවින් ඉවහල් වේ. බුදුගුණ නිසි සේ දැන හඳුනා ගැනීම බුද්ධානුස්සති භාවනාව දියුණු කරගැනීමට ද බෙහෙවින් ඉවහල් වේ. එම නිසා බොදුනුවන් විසින් තව තවත් මෙබඳු බුද්ධ ඥාණයන් පිළිබඳව දැන, ඉගෙන තම ධර්ම ඥාණය වඩ වඩාත් දියුණු කර ගැනීමට අධිෂ්ඨාන කරගන්නා ලෙස කරුණාවෙන් මතක් කරමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උපද්‍රව උපදින්නේ කාටද?

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

"මේ උතුම් බුද්ධ ශාසනය රඳා පවතින්නේ කල්‍යාණ, සද්පුරුෂ ආශ්‍රය නිසා බව තථාගතයාණන් වහන්සේ වරෙක ආනන්ද තෙරණුවන්ට වදාළහ. උතුම් වූ නිවන පිණිස පණ්ඩිත ලක්ෂණවලින් යුතු සද්පුරුෂයෙකු වීම අවශ්‍යයයි."
බට දඬුවලින් හෝ තණ කරලින් කරන ලද ගෙයක් ගිනි ඇවිළෙන්නේ ද එය බිය ගෙන දෙන්නේය. ඇතුළත හා පිටත හුනු පිරියම් කරන ලද, වැළක් වූ සුළඟ ඇති, අගුල් දැමූ, වැසූ කවුළුදොර ඇති කූඨාගාරයක් යම් සේ දැවෙන්නේ ද එය බිය ගෙන දෙන්නේ ය.
ඒ ආකාරයෙන් යම් බියක් උපදින්නේ නම් ඒ භිතීන් සියල්ල බාලයා නිසා ම උපදින්නේය. පණ්ඩිතයා නිසා නූපදින්නේ ය. යම් උපද්‍රවයක් වේ නම් ඒ හැම උපද්‍රවයක් ම බාලයා නිසා උපදින්නේ ය. පණ්ඩිතයා නිසා නූපදින්නේ ය.” යැයි තථාගත බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයේ බාල වග්ගයේ දී දේශනා කොට වදාළහ.

“යානි කානි චි භික්ඛවේ භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති. නො පණ්ඩිතො යේ කේචි උපද්දවා උප්පජ්ජන්ති. සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති. නො පණ්ඩිතෝ යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති. සබ්බේතේ බාලතෝ උප්පජ්ජන්ති. නො පණ්ඩිතෝති”.
මේ අනුව බාල පුද්ගලයාගේ ස්වභාවය, ඔහු හෝ ඇය නිසා සිදුවන විපත්තීන් පිළිබඳ මෙහි විස්තර කෙරෙයි. එහි පණ්ඩිතයා එනම් නුවණ ඇති තැනැත්තාගේ යහපත් බව මතු කරයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් බියක්, උපද්‍රවයක්, විපතක් වේ නම් ඒ හැම බාලයා නිසාම හට ගන්නා බවයි. බාල, අඥාන අසද්පුරුෂයන් සමාජයට කෙතරම් හානි ගෙන දෙන්නේ ද යන්න ඉන් පැහැදිලි වෙයි.
තථාගත බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල ස්වභාවය තවදුරටත් විස්තර කර පෙන්වා දෙන්නේ බාලයා බිය සහිත බවය. පණ්ඩිතයා බිය සහිත නොවන බවය. බාලයා උපද්‍රව සහිත බවය. පණ්ඩිතයා උපද්‍රව සහිත නොවන බවය. බාලයා විපත් සහිත බවය. පණ්ඩිතයා උපද්‍රවයක් සහිත නොවන බවය.
මුලින් දැක් වූ උපමාව ගළපා බලන්න. බට දඬුවලින් හෝ තෘණවලින් කරන ලද ගෙයක් ගිනි ඇවිල ගත්තේ නම් එහි දොරගුළු වසා ඇත්තේ නම් කුමක් සිදුවන්නේද? ගෙය පමණක් නොව එහි ඇති සියලු වස්තූන් ද, ඇතුළත සිටින්නා වූ පිරිස ද ගින්නට හසුවනු ඇත. එය මහත් වූ බියකි. මහත් වූ උපද්‍රවයකි. මහත් වූ විපතකි. එමෙන් ම බාල හෙවත් අඥාන පුද්ගලයා නිසා ස්ථානය, පරිසරය පමණක් නොව ඇසුරු කරන ලද පිරිසද මහත් වූ බියට උපද්‍රවයන්ට හා විපත්වලට මුහුණ දෙන්නට සිදුවේ. ගෘහස්ථ පරිසරයක අඥාන පුද්ගලයන් නිසා අපමණ විපත් සිදුවේ. මවුපියන්ට, දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, හිත මිතුරන්ට ආදී හැමට විපත්තිකරය. පැවිදි පරිසරයක ද අඥාන පැවිද්දෙක් මුළු ශාසනයට ම මහත් වූ විපත් ගෙනදෙනු ඇත. එහෙයින් බාලයාත්, පණ්ඩිතයාත් හඳුනා ගැනීම ඉතා වැදගත්ය.
තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ
“ කම්මලක්ඛනෝ භික්ඛවේ බාලෝ, කම්මලක්ඛනෝ පණ්ඩිතෝ, අපදානසොභිනී පඤ්ඤාති”
බාලතෙමේ කර්මය ලකුණු කොට ඇතිසේය. ප්‍රඥාව චරිතාපදානයෙන් හොබනීය.
මෙහි දී බාලයාගේ සහ පණ්ඩිත තැනැත්තාගේ කර්ම ලක්ෂණ ලෙස දැක්වූයේ කුමක් ද? බාලයා කර්ම තුනකින් සමන්විතය. එනම් කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය. මනෝ දුශ්චරිතය පණ්ඩිතයා ද ධර්ම තුනකින් සමන්විතය. එනම් කාය සුචරිතයෙන් ද, වාග් සුචරිතයෙන් ද, මනෝ සුචරිතයෙන් ද යුතු වන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඉහත දේශනා කළ ධර්ම කොට්ඨාසයේ ඉතාමත් අගනා දහම් පෙළක් ඇත. “අපදාන සෝහිනී පඤ්ඤා” යනුවෙනි. එනම් ප්‍රඥාව චරිතාපදානයෙන් පෙන්වන්නේය යන්නයි. බාල පුද්ගලයා යනු හොඳ නරක හෝ කුසල් අකුසල් තේරුම් ගන්නට තරම් නුවණක් නැත්තාය. එසේ නොමැති නම් පාපී සිතිවිලි නිසා යහපත මඟහැර සිටින්නාය. අයහපතට ම, පාපයට ම, අකුසලයට ම, යොමුවන තැනැත්තාය.
බාලයාගේ ලක්ෂණ ලෙස දැක් වූ ත්‍රිවිධ දුශ්චරිතය තරමක් විමසා බලමු. තථාගත බුදුරජාණන් වහන්සේ බාලයාගේ තුන් ආකාර ස්වභාවයක් පෙන්වා දෙති. බාලා භිඥානනෝ, බාල නිමිත්තෝ, බාල චරිතයෝ තුන්දෙනෙකි. ඒ තුන්දෙනා කවරෙක් ද? මේ ලෝකයෙහි බාල පුද්ගලයා නපුරු සිතිවිලිවලින් යුතුවේ.
“බාලෝ දුච්චින්තිත චින්ති ච හෝති – නපුරු වචන කතා කරනුයේ වෙයි. දුබ්භාසිතහාසි - නපුරු ක්‍රියා කරනුයේ ද වෙයි. දුක්කතකම්මකාරි – බාලයා නපුරු සිතිවිලි සිතන්නේ. නපුරු දේවල් කතා කරන්නේ, නපුරුකම් කරන්නේද, පණ්ඩිතයන් විසින් මේ බාලයෙක්ය අසද්පුරුෂයෙක් යනුවෙන් ඒ පිරිස හඳුනාගන්නාහ. මෙම ලක්ෂණ බාලයාගේ බාල ලක්ෂණ වෙති. බාල නිමිති වෙති. බාලාපදාන වෙති.
පණ්ඩිත පුද්ගලයාගේ පණ්ඩිත ලක්ෂණ පණ්ඩිත නිමිති, පණ්ඩිත චරිත තුන් ආකාරය. පණ්ඩිත පුද්ගලයා යහපත් සිතිවිලි සිතන්නේ වෙයි. “පණ්ඩිතෝ සුචින්තිත චින්තී ව හෝති – යහපත් දේ පවසන්නේ වෙයි. සුභාසිතභාසි - යහපත් දේම කරන්නේවෙයි. සුඛතකම්මකාරි – යම් හෙයින් පණ්ඩිත පුද්ගලයා යහපත් සිතිවිලි නොසිතන්නේ නම්, මනා වූ වචන නොපවසන්නේ නම් මනා වූ කර්ම නොකරන්නේ නම්, පණ්ඩිතයන් විසින් මම පණ්ඩිතයෙක්ය. සද්පුරුෂයෙක්ය යනුවෙන් කෙසේ හඳුනා ගනීද? යහපත් සිතිවිලි සිතන නිසාම, කර්ම කරන නිසාම, පණ්ඩිතයෝ මේ සද්පුරුෂයකැයි පණ්ඩිතයෙකැයි හඳුනා ගනිති. මේ පණ්ඩිත පුද්ගලයාගේ පණ්ඩිත ලක්ෂණයෝ ය. පණ්ඩිත නිමිත්තයෝය. පණ්ඩිතාපදානයෝය.
එහෙයින් නුඹලා විසින් ම මේ බව දැන මෙසේ හික්මිය යුතුය. බාලයාගේ සහ පණ්ඩිත පුද්ගලයාගේ ගති ලක්ෂණ මැනවින් අවබෝධ කොටගෙන පණ්ඩිත ලක්ෂණම, පණ්ඩිත නිමිත්තම, පණ්ඩිත චරිතයම පුරුදු කිරීම පණ්ඩිත ලක්ෂණවල සද්පුරුෂ ලක්ෂණවල හික්මීම යනුවෙන් අදහස් කෙරේ.
බාල සහ පණ්ඩිත ලක්ෂණ අප විසින් අවබෝධ කොටගත යුත්තේය. පිරිස් අතර පටිඝයක් ලෙස ගැටීමට, බෙදීමට, අමනාපකම් ඇති කර ගැනීම හේතුවක් කර ගැනීමට නොවේ. තම චරිතයෙහි බාල ලක්ෂණ වෙත්නම් ඒවා බැහැර කරමින් පණ්ඩිත ලක්ෂණ පුරුදු කර ගැනීමටය. සද්පුරුෂයෙක් ලෙස අන් අය කෙරේ බාල ලක්ෂණ වෙත්නම් කාරුණිකව පෙන්වා දිය හැකිය. එනම් අවමන් කිරීමේ හෝ නිග්‍රහ කිරීමේ අදහසින් නොවේ. අවට ලෝකයාට ද කියමින් නුගුණ ලෙස පතුරවමින් විපත් කරන අදහසකින් නොවේ. ගුණබර අම්මා කෙනෙක් රටට ලෝකයට නොකියාම තම දරුවාගේ වරද, නිවැරදි කරන ආකාරයෙනි. එමෙන් ම තමා කෙරේ පණ්ඩිත ගති පවතින්නේ යැයි පවසමින් මද මානයන්ට ද පත්නොවිය යුතුය.
බාල ලක්ෂණ ඇති අය, අවංකව ඒවා තේරුම් ගෙන, තවදුරටත් ඒවා තම චරිතයෙහි පවත්වා නොගෙන පණ්ඩිත සහ සද්පුරුෂයන්ගේ ආශ්‍රය ද ඇතුව තමා නිවැරදි කරගත යුතුය. යම් බාලයෝ තම බාල ගති ලක්ෂණ, බාල ගති ලක්ෂණ ලෙස තේරුම් නොගන්නා අතර, වරෙක එම බාල ගති හා නිමිති නිවැරදි ලක්ෂණ ලෙස සිතන්න සහ පවසන්නට ද පුරුදු වී සිටිති. මේ උතුම් බුද්ධ ශාසනය රඳා පවතින්නේ කල්‍යාණ, සද්පුරුෂ ආශ්‍රය නිසා බව තථාගතයාණන් වහන්සේ වරෙක ආනන්ද තෙරණුවන්ට වදාළහ. උතුම් වූ නිවන පිණිස පණ්ඩිත ලක්ෂණවලින් යුතු සද්පුරුෂයෙකු වීම අවශ්‍යයයි.