ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ආමිෂයෙන් භවය ප්‍රතිපත්තියෙන් නිවන


පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරි සීවලී හිමි
සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය, යටියන, මිනුවන්ගොඩ

හැම මොහොතකම ගෙවී යන්නේ ඔබගේ මනුෂ්‍යාත්ම භාවයේ ජීවන කාලයයි. හැම මොහොතකම ගෙවී යන්නේ කවදා කෙසේ නම් පහළ වේ යයි සිතාගත නොහැකි උතුම් බුද්ධොත්පාද කාලයයි. හැම මොහොතකම ගෙවී යන්නේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ඇති ඔබගේ මානසික ශක්‌තියයි. ඔබට ඔබේ පිළිසරණවත් නැතිවන මොහොත ඉතා ළඟය. 

උතුම් මනුෂ්‍යාත්ම භාවය ජීවමානයි. උතුම් 

ශ්‍රී සද්ධර්මය ජීවමානයි. උතුම් ක්‍ෂණ සම්පත්තිය ජීවමානයි. ගෞතම බුද්ධ ශාසනය ජීවමානයි. මහා කුසල සම්භාරයක්‌ පුරා පාරමිතා පුරා උපත ලැබූ ඔබට ආර්ය භූමියේ ස්‌ථාවර වී සෝවාන් ආදී මාර්ගඵල ආනන්තර්ය කුසල් සිත් වඩා නිවන් දැකීමේ හැකියාව ඇත. ඒ සඳහා අද අදම, දැන් දැන්ම ධර්මය තුළට පැමිණ රැකවරණය ලබාගත යුතුය. ධර්මයේ හැසිරෙන්නාට ධර්මයේ රැකවරණය ලැබෙනු ඇත. 

"ධම්මෝ භවේ රක්‌ඛති - ධම්මචාරි" 

සත්‍යාවබෝධය සඳහා යන ගමනේදී අනුගමනය කරන ප්‍රතිපදාවේ වැඩිය යුතු මාර්ගය පැහැදිලිව තේරුම්ගත යුතුය. ප්‍රඥව යනු මානසික සංවර්ධනයේ ඉහළම අවස්‌ථාවයි. 

අති පාරිශුද්ධ වූ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමයි. ඒ අවස්‌ථාව උදාවනුයේ ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ගයකිනි. ඒ සඳහා තථාගතයාණන් වහන්සේ මාර්ග උපදේශකත්වය දෙනු ඇත.

"තුම්හෙහි කිච්චං ආතප්පං

අක්‌ඛාතාරෝ තථාගතා"

ඔබ මඟ වඩන්න. තථාගතයාණන් වහන්සේ මඟ කියති. විශ්වාසයෙන් සත්‍ය අවබෝධ නොවනු ඇත. එහෙත් සත්‍යාවබෝධයට විශ්වාසය ඉතා වැදගත්. ඇදහීමෙන් සත්‍යය අවබෝධ නොවේ. පොතපතින් සත්‍යාවබෝධ නොවේ. ත්‍රිපිටකය කටපාඩම් වූ පමණින් සත්‍යය අවබෝධ නොවේ. ත්‍රිපිටකයේ සඳහන් වනුයේ අනුගමනය කළ යුතු ප්‍රතිපදාවකි. එය ඇසීමෙන් ප්‍රතිවේධය නොවනු ඇත. සම්බුද්ධ දේශනාව ග්‍රන්ථ ධුර - විදර්ශනා ධුර වශයෙන් දෙකොටසකි. ග්‍රන්ථ ධූරයෙන් උපදේශනයත්, විදර්ශනා ධූරයෙන් ප්‍රතිවේධයත් ලැබෙනු ඇත. ග්‍රන්ථ ධූරයෙන් "මන" අවදිමත් කර විදර්ශනාවෙන් "නිවීම" ඇති කරයි.

මනසින් අවබෝධ කරගත් දර්ශනය තවත් මනසකට සම්ප්‍රේෂණය කළ නොහැක. දහම් දෙසනුයේ ශ්‍රාවකයා සත්‍ය දෙසට නැඹුරු කිරීමටයි. සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ මන අවදිමත් කිරීමටයි. පුබුදාලීමටයි. ඒ සම්මා දිට්‌ඨ§ය ඇති කරදීම සඳහා අනුබල දීමකි. උපාය මාර්ගයක්‌ පමණි. ඒ නිසා ශාන්ති නායකයාණන් වහන්සේට "Æණය ප්‍රදානය" කිරීමට නොහැකිය. තුන් පිටකයේ අන්තර්ගත වන්නේ වාර්තාකරණයන්ය. ප්‍රකාශනයි. උපමා උපමේය සංකේත මගින් ධර්මය විවරණය කරදීමයි. එමගින් කෙරෙනුයේ උපක්‍රම භාවිතාව සඳහා සම්‍යග් ප්‍රයෝගය දියුණු කිරීම සඳහා ශ්‍රාවකයා යොමු කිරීමයි. තුන් පිටකය කටපාඩම් කළත් ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටකවේදී වුණත් ප්‍රතිවේධයක්‌ නොමැත. උපාය මාර්ගය මගින් ලබන ප්‍රතිපදාවකින්මයි. Æණ සම්භවය සිදු වන්නේ. මේ බව වඩාත් පැහැදිලි කරදෙන ධර්ම විවරණයකි ම.නි. චන්කි සූත්‍රය. සත්‍ය ගවේෂී ආර්ය ශ්‍රාවකයා චිත්ත පාරිශුද්ධිය බලාපොරොත්තුවෙන් ශාස්‌තෘන් වහන්සේ වෙත පැමිණේ. 

* සද්ධා ජාතෝ උපසංකමති ( උපන් සද්ධාවෙන් සමීපයට පැමිණේ.

* උපසංකමන්තෝ පයිරුපාසති ( එළඹ ඇසුරු කරයි.

* පයිරු පාසන්තෝ සෝතං ඕදහති ( ඇසුරු කරමින් සවනත යොමු කරයි.

* ඕහිත සෝතො ධම්මං සුනාති ( යොමු වූ කන් ඇතිව ධර්මය අසයි.

* සුත්වා ධම්මං ධාරේති ( අසාගත් ධර්මය දරාගනී.

* ධතානං ධම්මානං අත්ථං උප පරික්‌ඛති · දරාගත් ධර්මය අර්ථය හොඳින් පරීක්‍ෂා කර බලයි. විමසා බලයි.

* අත්ථං උප පරික්‌ඛතො ධම්ම නිඡ්Cධානං ඛමන්ති ( අර්ථ සමාලෝචනයෙන්, පිරික්‌සීමෙන් ධර්මය වටහාගනී.

* ධම්ම නිඡ්ජධානක්‌ඛන්තියා සති ඡන්දො ජායති ( උස්‌සහති( ධර්මය වැටහෙන්න, වැටහෙන්න දහමේ කැමැත්ත ඇති වේ. උත්සාහවත් වේ. ප්‍රමුදිත වේ. 

* උස්‌සහිත්වා තුලෙති ( ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ප්‍රතිපදාවේ යෙදීමෙන්, අධ්‍යාත්මික ගුණාත්මක භාවයේ ප්‍රගතිය කිරා මැන බලයි. සමාලෝචනය කරයි.

ඉහත දැක්‌වූ සූත්‍ර පාඨයෙන් "දහම් ඇස ලැබීමේදී යෝගාවචරයාගේ පූර්ව කෘත්තිය පරිපූර්ණ වේ. ප්‍රතිවේධය සඳහා පසුබිම සැකසේ.

* තුලයිත්වා පදහති, පහිතත්තො සමානො කායෙන මේව පරම සච්චං සච්ජිකරොති, පඤ්ත්‍රය චනං අතිවිජධ පස්‌සති ( ප්‍රතිවේදයෙන් සත් තිස්‌ බෝධි පාක්‍ෂික ධර්ම වැඩියාමෙන් පධන් වීර්යයෙන් සමන්විත වූයේ නිවනට යොමුවූ සිත් ඇත්තේ සත්‍ය අවබෝධය කරගනී. ප්‍රඥව පහළ වේ. 

* එත්තාවතා ඛෝ භාරද්ඡ්වාජ, සච්චානු බොධොහොති. භාරද්ඡ්වාජයෙනි, මෙ පමණකින්ම ශ්‍රාවකයා ධර්මය අවබෝධ කරගනී. දහම් ඇස ලැබුවේ වේ. 

* එත්තාවතා සච්චානූ මනුබුඡ්ජධති ( මෙතකින්ම සත්‍ය අවබෝධ කරයි කියනු ලැබේ. 

* එත්තාවතා ච මයං සච්චානූ බොධං පඤ්ඤාපේමි. මෙපමණකින්ම මම ඔහුට සත්‍ය අවබෝධය ඇති වූ බවට ප්‍රතිඥ දෙමි. 

* නෙ‍ෙව කාච සච්චානුපත්ති හොති "ති" මේ ක්‍රමවේදයෙන් පරිපූර්ණ නොවූයේ නම් මම ඔහුට සත්‍ය අවබෝධ වූයේ යයි නොපවසමි.

මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරදෙන ධර්ම මාර්ගය වෙත වහ වහා සපැමිණිය යුතුය. අප සසර ගමන තව තවත් දික්‌ කරන දුර දිග යැමට හේතු කාරක වන ආමිෂයට මුල්තැන දීමෙන් පිං දහම් කරමින් වටිනා කාලය නිකරුණේ කා දමනවා. එසේ කරමින් මේ දානාදි පිංකම්වලින් නිවන් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ අතරම මතු මනාවූ අනාගතයේ පහළ වන්නා වූ සැමටම මෛත්‍රි වූ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ සියෑසින් දැක උන්වහන්සේ විසින් දේශිත මධුර මනෝහර ශ්‍රී සද්ධර්ම දේශනාව අසා දේශනාව අවසානයේ සෝවාන් ආදි මාර්ගඵල ලබා නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරයි.

දැන් පහළ වී සිටින ගෞතම ශාක්‍යසිංහ බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ධම්මචක්‌ක සූත්‍රයමයි මතු අනාගතයේ පහළ වන මෛත්‍රි ශාඛ්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේත් දේශනා කරන්නේ ගෞතම ශාක්‍ය මුනි දේශනාව තවමත් ජීවමානයි. ඒ පිවිතුරු දහම අද ද අවබෝධ කළ හැකිය. අද අවබෝධ කරගත නොහැකි දහමක්‌ මතු අනාගතයේ අවබෝධ කර ගැනීමට අමුතු හැකියාවක්‌ අමුතු දක්‌ෂතාවක්‌ කෙසේ නම් ඇතිවේද? ඔබ ඔබේ හැකියාව අවතක්‌සේරු කරගෙන නැවත මේ වගේ උත්තම බුද්ධොත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක්‌ කෙසේ නම් ලැබේදැයි කිසිවකුට කෙසේ නම් කිව හැකිද? නොහැකිමය. කිසිම දෙයක්‌ ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන්නේ නැත. ධර්මය නම්වූ පහුරට ඔබ තවම නැඟ නැත. කර තියාගෙන ඇත. එයට පුද පූජා පවත්වමින් සිටී. වැඳ වැටෙමින් දහම් පද ගීතවත්ව ගායනා කරමින් සිටී. ආමිෂ පූජාවෙන් චිත්ත පාරිශුද්ධිය ඇතිවී සත්‍යාවබෝධය නොවනු ඇත. "මම" නමැත්තා පෙරටුවේ තබාගෙන ඔහුට සුත මුදිත අනාගතයක්‌ සලසාදීමේ අභිලාෂයෙන් භව තණ්‌හාවෙන් පිං දහම් කරයි. සසර ගමන සැපවත් කිරීමට පින අවශ්‍යයි. බුදු දහමේ බුද්ධිමත් ප්‍රතිපදාව වනුයේ සසර ගමන නතර කිරීමේ ප්‍රතිපත්ති පූජාවයි. ආමිෂය තමාට පුදා ගැනීමකි. ප්‍රතිපත්තියෙන් පමණි බුදුන්ට පිදිය හැක්‌කේ.

කුසල කර්ම හෝ අකුසල කර්ම භව නිරෝධය සඳහා කිසිසේත් පාදක නොවේ. භව ගමන එමගින් දික්‌ කරයි. මුළු ජීවිත කාලයම දානාදි පිංකම් කළ ඡේතවනාරාමය ආරාම පූජා කළ අනේපිඬු සිටුවරයාට සෝවාන් ඵලය ලැබීමට හැකියාව ඇතිවී නමුත් මහ රහත් වීමට හේතු කාරක නොවීය. අසූහාරදහසක්‌ වෙහෙර විහාර කළ තෙවැනි ධර්ම සංගායනාව කළ තම එකම දුව පුතා සසුනට පූජා කළ ධර්මාශෝක මහරජ තුමාට ඒ පිංකම් භව නිරෝධය සඳහා උපනිශ්‍රය නොවුණි. අසදෘෂ මහ දන් දුන් පසේනධී කොසොල් මහ රජතුමාටත් කෝසල මල්ලිකා දේවියටත් පිනෙන් අඩුවක්‌ තිබුණේද? භව නිරෝධය සඳහා ඒ සා මහත් කුසල සම්භාරය හේතු කාරක නොවීය. අංගුලිමාල නම් මහ සොරු දහස්‌ ගණන් මිනිසුන් මැරුවත් ඒ සා පාප කර්මය මහ රහත් භාව ලැබීමට බාධාවක්‌ නොවුණි. පිංකම් කාමාවචරයි. භවගාමී බවට අදාළයි. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධිය සඳහා පෙර සූදානමක්‌ සඳහා පමණක්‌ උපනිශ්‍රය වේ.

කිසියම් හෝ ප්‍රාර්ථනාවක්‌ වේ නම් කෙලෙස්‌ ලෙඩ හදන විෂබීජ වේ. කිසියම් හෝ අනාගත අපේක්‍ෂාවක්‌ වේ නම් ඒ කෙළෙස්‌ ලෙඩ හදන විෂබීජ වේ. මේ කෙළෙස්‌ ලෙඩ සසර භයානක දුකකට උරුමකම් ඇතිකර දෙයි. මනසින් ලෙඩ වුණාම ධර්මය හැර ඖෂධයක්‌ නැත. කායික ලෙඩ මෙලොවට පමණි. බෙහෙතකින් නිට්‌ටාවට සුවකර ගත හැක. රාගයෙන් ආතුර වීම, ද්වේශයෙන් ආතුරවීම, මෝහයෙන් ආතුර වීම, භවයේ කල්ප ගණන් දුක විඳීම සඳහාම හේතු වේ. 

* නිදහස්‌ විය යුත්තේ කොතැනින්ද? ලෝකයෙන්

* නිදහස්‌ විය යුත්තේ කාගෙන්ද? මගෙන්

* නිදහස්‌ විය හැක්‌කේ කෙසේද? ප්‍රතිපදාවෙන්

* නිදහස්‌ වීම සඳහා යා යුතු මාර්ගය - අරි අට මඟ

* නිදහස්‌ විය යුත්තේ කුමකින්ද? අවිද්‍යාවෙන්

* නිදහස්‌ වීමට නොකළ යුත්තේ කුමක්‌ද? කර්ම රැස්‌ කිරීමයි

"යෝ පන භික්‌ඛු ධම්මානු ධම්ම පටිපන්නෝ විහරති. සාමීචිපටිපන්නෝ විහරති. අනුධම්මචාරි, සො තථාගතා නං සක්‌කරොති. ගරු කරොති, මානේති පූජෙති පරමාය පූජාය - පටිපත්ති පූජාය..."

යම් භික්‍ෂුවක්‌ සද්ධර්මයට අනුගතව ජීවත් වන්නේ නම් දැහැමි කතාබහෙන් යුක්‌ත නම් බුද්ධාදි උතුමන්ගේ දෝෂ දර්ශනයට ලක්‌ නොවනා සියලු දුෂ්චරිතයන් ගෙන් මිදුනේ වේ නම් තථාගතයාණන් වහන්සේට ගරු කරන්නෙක්‌ වේ. තථාගතයාණන් වහන්සේට සත්කාර කරන්නෙක්‌ වේ. මානනය කරන්නෙක්‌ වේ. උතුම්ම පූජාව වන්නේ ප්‍රතිපත්ති පූජාවමයි. 

ඉහත දැක්‌වූ ධාර්මික ප්‍රතිපදාවට අනුගතව ඔබ ජීවත් වන්නේ නම් මුළු දවසම තථාගතයාණන් වහන්සේට පූජෝපහාර පවත්වන උතුමෙක්‌ වේ. මෙහිදී උන්වහන්සේ ආමිෂ පූජාව ගැන කිසිදු සඳහනක්‌ කරන්නේ නැත. කර්ම රැස්‌ කිරීම ආමිෂයයි. කර්මය ක්‍ෂය කිරීම ප්‍රතිපත්තියයි. 

"නහී මයිහං මාලා ගන්ධාදී හී පූජං කරොන්තා. මම පූජං කරොන්ති නාම ධම්මානු ධම්මං පටිපඡ්ජන්තා එවපන මං පූජෙන්ති නාම" (ධම්මපදට්‌ඨ කථා) මල් ගඳ විලවුන් මගින් කෙරෙන පිදීම බුද්ධ පූජාවක්‌ නොවේ. ප්‍රතිපත්තිමය වශයෙන් ධර්මානුකූලව හැසිරීමට බුදුපියාණන් වහන්සේට කරන බුද්ධ පූජාව වන්නේය.

මිනිස්‌සු මුළු ජීවිත කාලයම දිවා රාත්‍රී නොමැතිව කති, බොති, නටති, ගී කියති, ප්‍රීති වෙති, රැස්‌ කරති, රකිති, බෙදා ගනිති, රැකියා කරති, හම්බ කරති, වෙහෙසෙති, පොහොසත් වෙති. දුප්පත් වෙති, ඇන කොටා ගනිති. මරා ගනිති. නඩු කියති. පසු තැවෙති. අතෘප්තිකරව ජීවත් වෙති. මරණයේ දොරටුව ළඟට පැමිණි විට පෙර සූදානම් නොවීම නිසා හඬති. වැළපෙති. ශෝක කරති. භීතියට පත්වෙති. අසරණ වෙති. මහා ධන සම්පත් භෞතික ගේදොර ඉඩකඩම් ස්‌වාමි, භාර්යා, දූ දරුවන් බොහෝ මනාප දෑ "බෑ" කියද්දී අතහැර දමා මහත් සේ අසරණ වෙලා අහිමිකම් කියාගෙන නොපෙනෙන නොදැකපු සිහිනයකින් වත් නොසිතූ මහා භයානක ව්‍යසනයෙන් යුත් ප්‍රපාතයකට වැටෙනු ඇත. මේ සියලු ව්‍යසනයට වගකිව යුත්තේ නොදැමුණු තම සිතයි. එනිසාම ආමිෂයෙන් මිදී ප්‍රතිපත්තිය කරා පියමං කිරීම ප්‍රඥා ගෝචරයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බෞද්ධ ප්‍රතිපදාගත සීල ශික්‍ෂණයෙහි සුවිශේෂතාව


රාජකීය පණ්‌ඩිත, ශාස්‌ත්‍රපති, 
කොළඹ 08, විවේකාරාම විහාරවාසී,
පූජ්‍ය තිස්‌සමහාරාමයේ 
ධම්මසාර හිමි 

පුරුද්ද, චරිතය, හැසිරීම, යනාදී අර්ථ මෙන්ම ස්‌වභාවය, ශික්‍ෂණය කායික හා වාචසික සංවරය යනාදි අර්ථයන්ද සීලයට ඉදිරිපත් වී ඇති ආකාරය කෝෂ ග්‍රන්ථ පිරික්‌සීමේදි විද්‍යාමාන වේ. ඒ අනුව සීලය යනු, හැදිච්චකම, සංවර බව, හික්‌මුණු ස්‌වභාවය, තැන්පත්කම, කායික හා වාචසික සංවරය (කාය වාචානං සමොධානං සීලං) සීලය ලෙස හඳුන්වනු ලැබේ. පුද්ගල චර්යාවන් ප්‍රකාශයට පත්වනුයේ කය හා වචනය පදනම් කරගෙනය. අකුසල සහගත පාපී පක්‌ෂයෙහි නොඇලී කය වචනය ක්‍රියාත්මක කිරීම ශීලයයි. 'වේරමණී' යන වචනය ශික්‍ෂාපදවල භාවිත වනුයේ, එබැවිනි. අකුසලයෙහි නොඇලී සිටින අතරම කුසලයෙහි සමාදානය ද සීලය වෙයි. 

පුද්ගලයා තුළ සීලය පුබුදිනුයේ අභිඡ්Cධා, ව්‍යාපාද හා විහිංසා යන සංකල්ප වලින් මිදුණු පමණටය. මේ සීල සංකල්පය කවර අර්ථයක යෙදෙන්නේ ද, යන්න විමසීමේ දී (සීලනට්‌ඨෙන සීලං) එනම්, සීලනාර්ථයෙන් සීලය නම් වේ. එහිදී කාය කර්ම ආදීන්ගේ සුසිල්වත් බව හෙවත් නො විසිරුණු බව යන අර්ථ ගම්‍යමාන වේ. තවද කය, වචනය හා සිත යන තිදොරින් සිදුවන අකුසල් වලින් ව්‍යqක්‌තව පවත්නා සූසීල භාවය සහ නාම, රූප, අරූප, ලෝකෝත්තර යන කුසලයන්ට මූලාධාර වන්නේය යන අර්ථයෙන් සීලය යෑයි වාච්‍යය වෙයි. කාය කර්මාදියෙහි පිරිසිදු කම හා කුසල කර්මයන්ට පිහිට වන බව සීලයෙහි ලක්‍ෂණය වේ. පව් කිරීම පිළිබඳව ඇතිවන විළිබිය ද්විත්වය සීලයෙහි ආසන්නතම කාරණය යෑයි සැලකේ.

බෞද්ධ සීල ප්‍රතිපදාවන්ට අනුව සීලය නම් ප්‍රාණඝාතා දී දුෂ්චරිතයන් ගෙන් මුක්‌තව වත්පිළිවෙත් පුරණ අයගේ චිත්තයන් හි ජනිත වන චෛතසිකයෝ ය යන්න පහත නිදර්ශනයෙන් පළ වන අදහසයි. 

''කිං සීලන්ති පාණාතිපාතාදීහි වා 

විරමන්තස්‌ස වත්ත 

පටිවත්තං වා පූරෙන්තස්‌ස 

චෙතනාදයො ධම්මා

(විසුද්ධිමග්ග - සීලනිද්දෙසය)

ප්‍රඥාවන්ත මිනිස්‌ වර්ගයා සීලයෙහි පිහිටා චිත්තයත්, ප්‍රඥාවත්, වර්ධනය කරන බව බෞද්ධ දේශනාවයි. 

''සීලෙ පතිට්‌ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤං ච භාවයං''

(විසුද්ධිමග්ග - සීලනිද්දෙසය)

යන්නෙන් ඒ බව තව දුරටත් සනාථ වේ. එයින් අවධාරණය කෙරෙන්නේ සීලයම ප්‍රතිඥා මාර්ගයෙහි පදනම වන බවයි. යම් ලෙසකින් කය, වචන දෙකෙහි සංවරය නොවන්නේ නම්, සිත එකඟ නොවේ. බාහිර වස්‌තු හෝ අරමුණු සමග ආයතනයන් ගැටීමට පත්වේ. එයින් ම චිත්තාභ්‍යන්තරයෙහි ක්‌ලේෂකර ධර්ම උපදී. එයම නැවත ශාරීරික වශයෙන් ප්‍රකට වන්නේය. 

සමස්‌තයක්‌ වශයෙන් ගත් කළ සීලය දෙවැදෑරුම් වේ. එනම් ගෘහස්‌ත සීලය හා පබ්බජිත සීලය වශයෙනි. ගෘහස්‌ථ සීලය යනු ගෘහ ජීවිතයක්‌ ගත කරන ගිහියා විසින් සමාදන් වන සීලයයි. පංචසීලය, බ්‍රහ්මචරිය පංච සීලය, උපෝසථ අෂ්ඨාංග සීලය, ආජීව අෂ්ටමක සීලය හා ගිහි දස සීලය යනු, ගෘහස්‌තයන් නිරතුරුවම සමාදන් වන සීලමය ප්‍රතිපදාව වන අතර එය චාරිත්‍ර සීලයට අයත් වේ. භික්‍ෂු, භික්‍ෂුණී යන උභය පාර්ශවයම සමාදන් වන සීලය සාමණේර දස සීලය, උපසම්පදා සීලය ආදී වශයෙන් හැඳින්වේ. 

සීලයෙහි ආනිසංස පිළිබඳව බුදු සමය නොයෙක්‌ අවස්‌ථාවලදී සාකච්ඡා කරයි. ඒ අනුව අවිපටිසාරාදි නොයෙක්‌ ගුණ ලැබීම එක්‌ ආනිසංසයක්‌ ලෙස දක්‌වා ඇත. 'අවිප්පටිසාරී' නම් 'විපිළිසර' නොවීමය. මෙහි ආදී ශබ්දයෙන් තවත්, ආනිසංස පංචකයක්‌ ඇති බව විසුද්ධි මාර්ගය ප්‍රකට කරයි. 

1. මහත් වූ භෝගස්‌කන්ධ ලැබීම

2. කල්‍යාණ කීර්ති ශබ්ද නැගීම

3. ක්‍ෂත්‍රියාදී පිරිස්‌ කරා විශාරදව එළැඹීම

4. නො මුලාව කාල ක්‍රියා කිරීම

5. මරණින් මතුව දෙව් ලොව ඉපදීම 

යනාදියයි. 

(විසුද්ධි මාර්ගය - සීල නිද්දේසය)

මෙහි ආනිසංස මෙලොව හා පරලොව දී ද ලැබෙයි. මෙලොව ජීවත්වන දෛනික ජීවිතය සැපවත් කරවීම මෙහි දක්‌නට ලැබෙන ප්‍රධාන පරමාර්ථය වන අතරම මෙම භවය සැපවත් වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් පරලොව ද සැපවත් භාවයට පත්වීම සිදුවේ. 

සීලය මගින් අවබෝධයෙන් යුතු සංවරය මිස, ඉන්ද්‍රිය අකර්මණ්‍යතාව හෝ දුබලතාව මත බාහිර ලෝකය සමඟ නොගැටීම නො අගයයි. නිරතුරුවම ධර්මානුකූල ප්‍රතිපත්ති මගින් සීලයෙහි ශික්‌ෂණය තුළින් පමණක්‌ මානසික වශයෙන් බුද්ධි ප්‍රබෝධය ගොඩනඟා ගත හැකි වේ. එවැනි සීලයක්‌ තුළින් ම දුස්‌සීල භාවය නැතිකොට නිවැරදි භාවය නම් වූ සම්පත්තිය උදාකරගත හැකි වන්නේය යන්න පහත නිදර්ශනයෙන් පැහැදිළි වේ. 

''දුස්‌සීල්‍ය විද්ධංසනතා අනවඡ්ජ ගුණා කථා'' 

(විසුද්ධි මාර්ගය, සීල නිද්දේසය)

තවද සීලය ප්‍රධාන වශයෙන් ම බාහිර සංවරය උදෙසා ක්‍රියාත්මක කළ යුත්තක්‌ වුවද, එම බාහිර සංවරය ඇති කර ගැනීමට නම්, ආධ්‍යාත්මික සංයමයද තිබිය යුතුමය. එබැවින් විශුද්ධිමග්ගයේදී කුහනා (කුහකම), ලපනා (දෙඩවීම), නෙමිත්ති කථා (සුභ අසුභ නිමිති කීම) ආදිය සම්මා ආජීවය කෙලෙසෙන කරුණු වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ, එම කරුණුවලින් ඈත්වීම ආධ්‍යාත්මික සංවරය සඳහා ද පදනම සපයන හෙයිනි. 

සීලය සමාධියෙහි පදනම වේ. එනම්, සිල්වත් බවින් තොර තැනැත්තාට සමාධියක්‌ ඇතිකර ගත නොහැකිය. දුසිල්වත් බව නැති කිරීම සීලයෙහි කෘත්‍යය හෙවත් කාර්යය බව දැක්‌වෙනුයේ, එහෙයිනි. එසේම සමාධිය ඇති කරගැනීමේ පදනම වන්නේ ද සීලයයි. ඒ බව අංගුත්තර නිකායෙහි සති සම්පජඤ්ඤ සූත්‍රයෙහි ද දෘශ්‍යමාන වේ. එබැවින් සීල සම්පන්නයාට සම්මා සමාධිය උපනිශ්‍රය සම්පත්තියකි. 

සීලය වනාහී ධනයක්‌ බව සප්ත ආර්ය ධන විභජනයේදී බුදුහු වදාළහ. ළමා වියේ සිට මහලු වී මරණයට පැමිණෙන තෙක්‌ සිල් රැකීම සුඛය ගෙන දෙන්නේය. සීල සංරක්‍ෂණය පිරිසිදු ආත්ම භාවයක්‌ ඇතිව, පරලොව උසස්‌ සුව ළඟාකර ගැනීමට හැකි වන්නේය. සීලය වනාහී උභය ලෝකසුව සාදන්නේය. සිල් සුවඳ හා සමාන සුගන්ධයක්‌ ෙත්‍රෙලෝක්‍යයෙහිම ප්‍රතීයමාන නොවන්නේය. සූසැට අභරණ වලින් සමලංකෘත වූ රජු වුවද සීලය නැමැති ආභරණ වලින් සෝභමානිත වූ යතිවරුනට කිසිසේත්ම සමාන කළ නොහැකිය. 

අශිෂ්ට පුද්ගලයා සමාජයට කරදරයක්‌, හානියක්‌, පිළිලයක්‌ වන්නා සේම ඔහුට ද සෘජුව හෝ වක්‍රව හානි සිදුකර ගනී. එම තත්ත්වයෙන් මුදා ගෙන ශිෂ්ට පුද්ගලයන් බිහිකීරීම ම සීලයෙහි මුඛ්‍යය අභිලාෂය වේ. බුදුදහමට අනුව, ආගමික අර්ථයෙන් බලන කල්හි ලෞකික වශයෙන් සමාජ ආචාර ධර්ම සනාථ කරන්නට මෙන්ම ලෝකෝත්තර වශයෙන් විමුක්‌ති සාධනය පිණිස ද සීලය උපයෝගී වේ. ඒ නිසාම සාමාන්‍යය වශයෙන් පුද්ගලයාට අධ්‍යාපනය මගින් උගත්කම ලබාදේ. උගත්කම තුළ නිසි හික්‌මීම ලබා නොදෙන්නේ නම්, එයින් ද ඵලයක්‌ නොමැති බව බුදු දහමේ පිළිගැනීමයි. (සීලමෙව සුතාසෙය්‍ය) යන්නෙන් එය මනාව ස්‌ඵුට වන්නේය. 

මේ අනුව බුදු දහමේ ත්‍රිවිධ ශික්‍ෂා මාර්ගයේ පදනම සීලයම වේ. එය ධර්මානුකූලව පුද්ගල කය - වචන ද්විත්වයෙහි සංවරය අර්ථවත් කරන්නකි. සසර දුක නිවන්නට හේතුවන පිළිවෙතකින් සංවර වීම ගිහි පැවිදි උභය පාර්ශවයටම ලෞකික මෙන්ම ලෝකෝත්තර සුව සහනය පිණිස ම ඉවහල් වන්නේය. 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පෘථග්ජනයාගේ ස්වභාවය

පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

බෞද්ධ සමාජයේ ඇතැමෙක් බොහෝ කලක සිට නිවැරැදි අර්ථය නොසළකා “පෘථග්ජන” යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කර ගැනීමට “අප ඉතින් තාම පෘථග්ජනයෝ නොවැ” යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත්නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමැති නොවනු ඇත.
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයා හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී අස්සුතවා පෘථජ්ජනෝ (අශ්‍රැතවත් පෘථග්ජනයා) යන පද යුගලයම භාවිත කොට තිබේ. අශ්‍රැතවත් යනු සද්ධර්ම ශ්‍රවණය තුළින් උපදවාගත යුතු දේ උපදවා නොගත් තැනැත්තා යන්නයි. මේ අශ්‍රැතවත් පෘථග්ජනයාගේ මූලික ලක්ෂණ පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ ලද්දේ ය. එනම් අශ්‍රැතවත් පෘථග්ජනයා වනාහි
1. අරියානං අදස්සාවි - සැබෑ ආර්ය පුද්ගලයන් නොහඳුනයි

2. අරියධම්මස්ස අකෝවිදෝ - ආර්ය ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.
3. අරියධම්මේ අවිනීතෝ - ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙකි.
4. සප්පුරිසානං අදස්සාවී – සැබෑ සද්පුරුෂයන් නොහඳුනයි.
5. සප්පුරිසධම්මස්ස අකෝවිදෝ - සද්්පුරුෂ ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.
6. සප්පුරිසධම්මේ අවිනීතෝ - සද්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු කෙනෙකි.
අශ්‍රැතවත් පෘථග්ජනයා තුළ ඉහත කී ලක්ෂණ හය නිරතුරුව විද්‍යාමානව පවතී. මෙකී ලක්ෂණයන් තිබීම හේතුවෙන්ම ඔහු අනේකවිධ මතිමතාන්තරයන්ට ද, දෘෂ්ටි සංකල්පයන්ටද, පුද්ගලයන්ටද අන්ධානුකරණයෙන් ප්‍රතිබද්ධව වාසය කරයි. ඒ පිළිබඳව සංයුත්ත නිකායෙහි “අත්තදීප සූත්‍රයෙහි” විස්තර වන්නේ මේ අයුරිනි.
මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය ආත්මයක් වශයෙන් මුලාවෙන් දකියි. ආත්මය රූපයෙන් හැදුනු දෙයක් ලෙස මුළාවෙන් දකියි.
මෙයින් පැහැදිලිව පෙනෙන්නේ අශ්‍රැතවත් පෘථග්ජනයා ආත්මීය හැඟීම කේන්ද්‍ර කරගත් තැනැත්තෙක් බවයි. ඔහුට ආත්මයක් අවශ්‍ය ය. එමෙන්ම ආත්මයකට අයත් දෙයක් අවශ්‍යය. එවිට ඔහු නොදැනීම සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය ආත්ම වශයෙන් ගනියි. එමෙන්ම වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයත් ආත්ම වශයෙන් ගනියි. මෙසේ ආත්ම වශයෙන් ගැනීම නිසා සිය කය පිළිබඳව මෙන්ම තමා විඳින සැප දුක් පිළිබඳවද තමා දන්නා හඳුනන දේ පිළිබඳවද, තමන් කරන්නා වූ ක්‍රියාකාරකම් පිළිබඳවද, තමාගේ සිත පිළිබඳවද, මහත් වූ මුලාවකට පත්වෙයි. මෙබඳු තැනැත්තා දැඩි ලෙස බැඳී සිටින්නේ ඒ සියල්ල ම තමා හෝ තමාට අයත් දෙයක් වශයෙනි. මේ මතයෙන් නිදහස් වීම මොහුට කළ නොහැකිය. මොහු ආත්මය කුමක්දැයි හෝ අනාත්මය කුමක්දැයි නො දනියි. නිවන ද නොදනියි. මොහුට ඒ සියල්ලම තමා අයත් දෙයකි. සක්කාය දිට්ඨිය යනු මෙයයි. මේ සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා බුදුරජාණන් වහන්සේ සරණ ගියද, ධර්මය සරණ ගියද, ශ්‍රාවක සංඝයා සරණ ගියද ඒ සරණෙහි ස්ථිරව පිහිටා සිටින්නට අසමත් වෙයි. ඔහුගේ සරණ ද ඔහුගේ සීලයද ඔහුගේ ශ්‍රද්ධාව ද පහසුවෙන් ම විලාසිතාවක් බවට පත්වේ. ඔහු වෙනත් මති මතාන්තර සුවසේ වැළඳ ගනියි. මේ නිසා මොහු සෝතාපත්ති අංගයන්ගෙන් තොර කෙනෙකි.
භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන කල්හි නන්දිය නමැති ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අසා සිටින්නේ “ස්වාමිනි, යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් තුළ සතර සෝතාපත්ති අංගයන් සම්පූර්ණයෙන්ම මුළුමනින්ම හැම අයුරින්ම දකින්නට නැද්ද මෙවන් ශ්‍රාවකයා ප්‍රමාදී පුද්ගලයා වශයෙන් කිවයුතු නොවේද?
නන්දියෙනි, යමෙකු තුළ සතර සෝතාපත්ති අංගයන් සම්පූර්ණයෙන්ම මුළුමනින්ම හැම අයුරින්ම දකින්නට නැද්ද, මා ඔහු ගැන කියන්නේ බුද්ධ ශාසනයට අයිතිි නැති පෘථග්ජන පක්ෂයට අයත් කෙනෙකු වශයෙනි යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
මෙයින් පැහැදිලිව පෙනෙන්නේ පෘථග්ජනයා සතර සෝතාපත්ති අංගයන්ගෙන් තොර බවයි. සතර සෝතාපත්ති අංග යනු මොනවාද? සෝවාන් ඵලයට පත්වූ පුද්ගලයෙකු තුළ අනිවාර්යෙන්ම පිහිටන ගති ලක්ෂණ සතර මොනවාද එනම් ආර්ය ශ්‍රාවකයා
බුදුරජාණන් වහන්සේ කෙරෙහි කිනම් කරුණක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුත්ක වූයේ වෙයි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි කිනම් කරුණක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වෙයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මගඵලලාභී ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි කිනම් කරුණක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වෙයි, ආර්ය වූ සද්පුරුෂ උතුමන්ගේ පැහැදීම ඇතිවන සීලයෙහි අඛණ්ඩව පිහිටා සිටින ගුණයෙන් යුක්ත වෙයි.
මෙකී සෝතාපත්ති අංගයන් ස්ථිරව පිහිටන්නේ මඟඵලලාභීන්ට පමණි. පෘථග්ජන පක්ෂයේ සිටින අන්‍යයෝ කලකට සැදැහැයෙන් ඉපිළ යන සෙයක් පෙන්වමින් භක්තිභාව ගුණෝපේතව වාසය කරති. තවත් කලකට ඔවුන් එයම සැක කොට තිසරණය පවා අත්හැර වෙනත් ඇදහීම්වලට ගොස් ඒ අයුරින්ම භක්තිභායෙන් වසති. ඔවුහු කලකදී සීලයෙන් සුසෝභිත වූ සෙයක් පෙන්වති. තවත් කලකදී මෙකල සිල් රැකීම නොකළ හැක්කකි. යයි සිතයි. ඔවුන්ට සත්‍යයෙන් කම් නැත. ධර්මයෙන් කම් නැත. කෘතගුණයෙන් කම් නැත.
මේනිසා අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළේ නම්, ඔහු තුළ ඉන්ද්‍රිය ධර්ම පිහිටයි. ඔහු පෘථග්ජනයෙක් නොවේ. ආර්ය පුද්ගලයෙකි. ආර්ය ධර්මයෙහි හික්මුණෙකි. සද්්පුරුෂයෙකි. සද්පුරිස ධර්මයෙහි හික්මුණෙකි. ඔහු තුළ ශ්‍රද්ධා,සති, වීරිය, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය යන ඉන්ද්‍රියයන් තමන්ගේ අවබෝධයෙහි ප්‍රමාණයට පිහිටා ඇත්තේය. ඔහු සතර අපායෙන් මුදවා සුගතිය කරා ගෙන යන්නේ තමන් තුළ ඇති ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලයෙන් විනා වෙනකක් නිසා නොවේ. පෘථග්ජනයා තුළ එබඳු ඉන්ද්‍රියයන් පිහිටා නැත්තේය.
බුදුරජාණන් වහන්සේ නමක් ලොවෙහි පහළ වන්නේ දෙව් මිනිස් ලෝකයා මේ පෘථග්ජන භාවයෙන් මුදවාලීම පිණිසය. සද්පුරුෂ ධර්මයෙහි හික්මවාලීම පිණිසය. ඒ හේතුවෙන් සසර ගමනෙහි නිමග්නව සිටින පුහුදුන් සත්ත්වයෝ සත්‍යාවබෝධය නිසාවෙන් ම ඒ පුහුදුන් ගතියෙන් නිදහස් වෙති. ඔවුහු හේතුඵල දහම පසක් කළාහු වෙති.
පෘථග්ජනයා මමය, මාගේය, මාගේ ආත්මය කියා තමා කේන්ද්‍ර කොට සියල්ලට මුළාවෙන් බැඳී සිටිද්දී එයින් නිදහස් වූවන් සිතන්නේ එයට හාත්පසින්ම වෙනස් අයුරිනි. ලෝකයෙහි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ලම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ධර්මතාවයෙන් යුක්තය යන අවබෝධයයි. මෙය “ධම්මචක්ඛු” හෙවත් “දහම් ඇස” කියා හඳුන්වයි. මේ දහම් ඇස පෘථග්ජනයාට නැත්තේය. එය භාග්‍යවතුªන් වහන්සේ වදාළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලෝක ස්වභාවයට අයත් හේතුඵල දහම අවබෝධ වීමෙන්ම උපදින්නා වූ ඇසකි. එම ඇස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් උපදින භාග්‍යවතුන් වහන්සේටම අයත් දෙයක් මිස වෙන කිසිවෙකුට අයත් දෙයක් නොවේ. ඒ ඇස උපදින තුරු ලොවෙහි සියල්ලෝ පෘථග්ජනයෝය. සතර අපායෙහි වැටී වැටී දුක් විඳින්නෝ ය. අර්යයන් වහන්සේ නො හඳුනන්නෝය. ආර්ය ධර්මය අවබෝධ කිරීමෙහිලා අදක්ෂයෝය. ආර්ය ධර්මයෙහි නොහික්මුණු තැනැත්තෝය. සද්පුරුෂයන් නො හඳුනන්නෝය. සද්පුරුෂ ධර්මය අවබෝධ කිරීමෙහිලා අදක්ෂයෝය. සද්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු තැනැත්තෝය. මේ පුහුදුන් බව යනු කෙතරම් බිහිසුණු ස්වභාවයක්ද?

ඤාණ ශක්තියයි ජීවිත ජය ගැන්මයි

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 

මිරිස්සේ ධම්මික හිමි

යම් කෙනෙක් විපතකට පත් වූ විට, ඊට මුහුණ දෙන්නේ යම් සේද? එමඟින් ඔහුගේ හෝ ඇයගේ ඤාණ ශක්තිය තේරුම් ගත හැකි වන්නේ ය. සාමාන්‍ය ලෝ වැසියා සැපතේ දී උදම්වන අතර විපතේ දී දුකට පත්වේ. එහෙත් මනා වූ ඤාණ ශක්තියක් ඇති, අත්දැකීම් ඇති සද්පුරුෂයා සැපතේ දී උපේක්ෂාවට පත්වේ. දුකේ දී, විපතේ දී ධෛර්යවන්තව, වීර්යවන්තව, උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් යුතුව ඊට මුහුණ දේ.
සමහර අය උගතුන්, ඤාණවන්තයන් ලෙස සමාජයේ පෙනී සිටිති. එහෙත් ඒ ඇතැමෙක් ජීවිතයට මුහුණ දෙන්නට නොදනිති. දුකක්, විපතක්, කරදරයක් සිදු වූ විටක හඬා වැළපී සමහර විට අන් අයට ද නින්දා, අපහාස කරති. තමන්ගේ මුළු ජීවිතයම කඩා වැටුණා යැයි පවසමින් මහත් අඳුරකට වැටුණා සේ දුකකට ම පත්වෙති. පිරිහීමට ම යති. එවැනි පුද්ගලයාගේ ඤාණ ශක්තිය ඉතාම දුර්වලය.

සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් ‘සත්ත ජටිල’ සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ පසේනදී කොසොල් රජතුමාට දේශනා කොට වදාළේ පුද්ගලයකුගේ ඤාණ ශක්තිය කෙබඳුද? යන්න විපතක දී හඳුනාගත හැකි බවය. එය ද දීර්ඝ කාලයකදීය. කෙටි කාලයකින් නොවේ. එය ද මෙනෙහි කරන්නාටය. මෙනෙහි නොකරන්නාට නොවේ. නුවණැත්තාටය. අනුවණයාට නොවේ යනුවෙනි. ඉහත සඳහන් කළ ලෙස එවැනි පුද්ගලයා හඳුනාගත හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
‘වණ්ණුපත’ ජාතක කතාවේ සඳහන් වන අයුරෙන් බෝධි සත්ත්වයන් වහන්සේ ගැල් පන්සියයක් සහ පිරිස සමඟ වෙළෙඳාමේ ගියහ. ඒ මහා කාන්තාරයක් මැදිනි. මහකතර අතරමඟ ජලය සියල්ල නිමවිය. ජීවිතය නැතිවෙන තරමට මහත් විපතකට පත්විය. එම අවස්ථාවේ දී නුවණින් කල්පනාකොට ඤාණ ශක්තිය අනුව එම කාන්තාරයේ තැනින් තැන ඇවිද මතු වී තිබූ තෘණ ගසක් දැක එයට හේතුව එහි යට ජලය කෙසේ හෝ පැවතිය හැකි යැයි සිතා, බොහෝ සේ ධෛර්යයෙන් පොළොව හාරා මතු වූ ගලක් සිඳ ජලය ලබා සැනසී, කාන්තාරයෙන් නිදහස්ව ජීවිතය ජයගත් ආකාරය අපට මෙනෙහි කළ හැකිය.
කාන්තාරයකදී කෙසේ නම් ජලය සොයන්නද? වැලි මිරිකා ජලය සොයාගත හැකි දැයි යනු සාමාන්‍ය මිනිසුන්ගේ අදහසයි. එහෙත් ඤාණශක්තිය ඇත්තාට වැලි නොව මහා කළුගල් සිඳ ජලය ලබාගත හැකි බව, එනම් ජීවිතය ජයගත හැකි බව, මහා විපත්වලින් අත්මිදිය හැකි බව මෙවැනි කතා ඔස්සේ ඉතා පැහැදිලිවේ. මේ නිසා මොනතරම් උගතෙක්, අත්දැකීම් බහුල වැඩිහිටියෙක්, ඤාණවන්තයෙක් ලෙස පෙනී සිටියත්, විපතක දී යම් කෙනෙක් ක්‍රියා කරන ආකාරය අනුවම ඔහු හෝ ඇය ඤාණවන්තයෙක් දැයි දැකගත හැකිය. එය ද දීර්ඝ කාලයක් ඇසුරු කිරීමකින් පසුය. කෙටි කාලයකින් නොවේ. එය ද දැනගන්නට නම් මෙනෙහි කළ යුතුවේ. මෙනෙහි නොකරන්නාට එය වැටහෙන්නේ නැත. නුවණැත්තා විසින් ඉක්මනින්ම එය තේරුම් ගනී. දුෂ්ප්‍රාඥ පුද්ගලයාට එයත් වැටහෙන්නේ නැත.
අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද දේශනා කළහ. මහ රජ සාකච්ඡාවෙන් නුවණ දැනගත යුතුය. එයත් දීර්ඝ කාලයකිනි. කෙටි කාලයකින් ද නොවේ. මෙනෙහි කරන්නාට පමණය. මෙනෙහි නො කරන්නාට ද එය වැටහෙන්නේ නැත. එසේ ම නුවණැත්තාට වැටහේ. ඥාන හීනයාට නොවැටහේ.
සාකච්ඡා කරන විට යම් පුද්ගලයකුගේ නුවණේ ස්වභාවය මැනවින් තේරුම්ගත හැකිය. යම් වූ ද කරුණක් පිළිබඳව, තීරණයක් පිළිබඳව සාකච්ඡා කරන විට ඒ ඒ පුද්ගලයාගේ නුවණ පිළිබඳව අවබෝධ කර ගත හැකිය. යම් ගැටලුවක් ඇති වූ විට අසවල් පුද්ගලයා හා සමඟ සාකච්ඡා කරමු යැයි පවසන්නේ මේ නිසාය. තවත් තැනක කුමන ගැටලුවක් ඇති වූව ද “අනේ ඒ පුද්ගලයා සමඟ නම් සාකච්ඡා කිරීමේ තේරුමක් නැහැ. ඔහු හොඳ – නරක හෝ යම් ක්‍රියාවක ඵලයක් පිළිබඳව හෝ විපාකයක් පිළිබඳව හෝ වැටහෙන කෙනෙක් නොවෙයි”. යනුවෙන් අදහස් පළ කරන අවස්ථා ඇත. කිසියම් වූ අරමුණක් පිළිබඳව අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයටම ගළපාගෙන, හොඳ – නරක තේරුම්ගත්, සිදුවිය හැකි නරක ආදීනවයන්ගෙන් ඈත් වී, සිදුවිය හැකි යහපත් වූ ආදීනව, ප්‍රතිඵල ලබා ගත හැකි, ප්‍රශ්නයකට විසඳුමක් සොයා ගත හැකි පුද්ගලයකු සමඟ සාකච්ඡා කළ යුතුවේ. යම් කෙනෙකුගේ නුවණ දැන ගැනීමට නම් සාකච්ඡා කිරීමම අවශ්‍ය බවයි. එයින් අදහස් වන්නේ එයත් දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙනි. කාලයක් පුරා සාකච්ඡා කිරීම තුළින් ඒ පුද්ගලයා නුවණැත්තෙක් බව වැටහේ. ඔහුට ඕනෑම කරුණක් මැනවින් වටහාගත හැකිවේ. ප්‍රශ්නයක් දෙස බලන ආකාරය, සිතන ආකාරය, අසන ආකාරය ඉතාම ඤාණවන්තය. ‘හොඳ – නරක මැනවින් තේරුම්ගෙන නිවැරැදි ලෙස විසඳුමක් ලබන්නට නම් මේ අය ඇසුරු කළ යුතුය. ඔහු හෝ ඇය නුවණැත්තෙක්ය යන අදහස සාකච්ඡාවෙන් තේරුම් ගත හැකිය. එය මෙනෙහි කරන්නෙකුට ප්‍රඥාවන්තයකුට මනාව වැටහෙන්නේය” යැයි භාග්‍යවතුන් වහන්සේ පසේ නදී කොසොල් රජතුමාට පෙන්වා දුන්හ.
එවිට පසේ නදී කොසොල් රජු ‘භාග්‍යවතුන් වහන්ස, එය ආශ්චර්යයකි. එය අද්භූතය’ සඳහන් කළහ. එවිට බුදුරජාණන් වහන්සේ මහ රජ ගිහි වූ කම්සැප විඳින නුඹ විසින් මෙය දුක සේ දත යුතුය. නුවණැත්තන් පමණයි. නුවණ නැත්තන්ට මෙය වැටහෙන්නේ නැත’යි. භාග්‍යවතුන් වහන්සේ එම අදහස් පෙළ මැනවින් දේශනා කළහ. දූවිලි කිළිටි සෝදා හැර ස්නානය කර, සුවඳ විලවුන් ගල්වා, නළලේ තිලක තබා සැරසී කෙස් රැවුල් බා සුදුවස්ත්‍ර හැඳගෙන පංචකාම ගුණයෙන් පිරිපුන්ව ජීවත්වන බොහෝ අය වෙති. එහෙත් ඒ හැම කෙනෙකුගේ ම හදවතේ සැබෑ ස්වභාවය, පවිත්‍ර බව තේරුම් ගන්නට නම් ඉහත සඳහන් කළ ආකාරයෙන් ම කාලයක් පුරා නුවණින් විමසා බලා මෙනෙහි කරමින් ම දැන ගත යුතුය.
“නවණ්න රූපේන නරො සුජානො

න විස්සසෙ ඉත්තර දස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකමිමං ඛරන්ති”

මිනිස් තෙමේ රූප සටහනින් මැනවින් නොදැක හැකිය. ස්වල්ප මාත්‍ර දර්ශනයෙන් නො අදහන්නේ ය. එය එසේමයි. සංඥම නැත්තෝ මනා සංඥම ඇත්තන්ගේ පරිබාහිර ලක්ෂණයෙන් යුක්තව මෙලොව හැසිරෙති. ඇතුළත අපිරිසුදු වූ පිටත ශෝභන වූ ඇතැම් කෙනෙක් ස්වර්ණ ප්‍රතිරූප එනම් රත්තරං ගාන ලද, මැටියෙන් කරන ලද කුණ්ඩලාභරණයක් මෙන්ද? කියන අදහසයයි.
මේ පොදුවේ සියලු දෙනාට ම වගේ ම තරුණ පරපුරටත්, ඉගෙන ගන්නා දරුවන්ටත්, විවාහයන්ට පත්වන්නට බලාපොරොත්තු වන සියලු දෙනාටමත් අපූර්ව අදහස් පෙළකි.
තරුණ වයසේ දී සිතිවිලිවල ඇතිවන ආවේග නිසා, කෙනෙකුගේ වචනය ඇඳුම, පැළඳුම, මතුපිට පෙනුම නිසා රැවටී නොයෙක් ආකාරයෙන් තමාගේ ජීවිතයත් විනාශ ස්වභාවයට පත්විය හැකිය. මේ නිසා කිසිවිටකවත් දුටු පමණින් වචනයට ඇහුම්කන් දුන් පමණින්, බාහිර පෙනුමෙන් පමණක් කෙනෙක් අවිශ්වාස නොකොට, එමෙන් ම මහත් සේ විශ්වාස නොකොට කාලයක් ඇසුරු කළ යුතුය. එනම් කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
යම් තරුණයෙකුට, තරුණියකට ඉගෙන ගන්නා වයසේ කෙනෙකුට, විවාහ ජීවිතයට පත්වෙන්නට බලාපොරොත්තුවෙන අයෙකුට පවා තම මව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ආදර්ශ හා අත්දැකීම් පිළිබඳව මනාකොට විමසා බැලිය හැකිය. දුටු පමණින් අදහස් නොදී, විශ්වාස කොට තමාගේ මුළු ජීවිතයම ඔවුනොවුන්ට පවරා නොගෙන අත්දැකීම් ඇති වැඩිහිටියන් හා මව්පියන් සමඟ සාකච්ඡා කරන්න. ඔවුන්ගේ අවවාද හා අනුශාසනා ලබන්න. එහෙත් තවදුරටත් හැකිතාක් දුරට කල්ගෙන මනා කොට සොයා බලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් නුවණින් ම පරික්ෂා කොට කටයුතු කළ යුතුය. ජීවිතය පිළිබඳව තීරණ ගත යුතුවන්නේ මේ ලෙසය.
මෙලෙස ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන්, කල්‍යාණවන්ත ආශ්‍රයක් ජීවිතයකට එකතු කර ගැනීමෙන් ජීවිතය ජයගත හැකිය. සසර ගමනේ මිදීම දක්වා ම එම අවස්ථාව දියුණු කරගත යුතුය.