ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සත්‍ය වචනයේ මිහිරියාව...

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 
තලල්ලේ චන්දකිත්ති හිමි

බොරු කීමෙන් වැළකීමට හොඳම පිළිවෙල වන්නේ සියලු අභූත දේ වර්ජනය කිරීමයි. අභූත දේ නම් සිදු නොවූ දෙයයි. තමන්ට ප්‍රත්‍යක්ෂ නොවූ නොසිදු වූ දේ ගැන කථා කිරීමෙන් වැළකීම මෙහි අදහසයි. සිදු නො වූ දේ ගැන අප කථා කරන්නේ ඒ ගැන උපකල්පනය කිරීම හරහායි. ඒ උපකල්පන තුළ කියන දේ බොරුවක් වීමට අවස්ථාවක් ඇත. කථා කළ යුත්තේ තමන්ට ප්‍රත්‍යක්ෂ වූ දේ ගැන පමණි. පරම සත්‍යය ලෙස ගත හැක්කේ එයයි.
තමන්ට ප්‍රත්‍යක්ෂ නොවූ, නොදන්නා දේ ගැන කතා කිරීමෙන් වැරැදි අදහස් ප්‍රකාශ විය හැකියි. නමුත් පරම සත්‍යය එසේ වෙනස් නෙවේ. එහි අඩුපාඩු විය නොහැක. එමනිසා තමන්ට ප්‍රත්‍යක්ෂ දේ ගැන පමණක් කථා කිරීමෙන් හා තමන්ට ප්‍රත්‍යක්ෂ දේ පමණක් පිළිගැනීමෙන් බොහෝ දුරට අසත්‍ය ප්‍රකාශ කිරීම අවම කරගත හැක.
යම් මුසාවාදයක් සම්පූර්ණ වීමට කරුණු සතරක් සම්පූර්ණ විය යුතු වෙයි.
1. අසත්‍යයක් වීම (කීමට බොරුවක් තිබීම), 2. අන්‍යයන් රවටන සිත (ඒ බොරුවෙන් අන් අය රවටන සිතක් තිබීම), 3. කයින් හෝ වදනින් බොරුව හැඟවීමේ උත්සාහය (අන් අය රැවටෙන ආකාරයට ඉරියව් පැවැත්වීම), 4. බොරුව කියන්නාගේ හෝ බොරුව කරන්නාගේ අදහස, අසන්නා තේරුම් ගැනීම (කියන පුද්ගලයාගේ බොරුව අනෙක් පුද්ගලයා විශ්වාසයට ගැනීම)
මේ කරුණු සතර සම්පූර්ණ වූ සැණින් පාපය සම්පූර්ණ වෙයි. මෙහිදී පළමු කාරණා තුන සම්පූර්ණ වුවත් හතරවෙනි පියවර අසන්නාට තේරුම් නොයන හෝ අසන්නා එය පිළි නො ගන්න ඒ බොරුවෙන් නොරැවටෙන අවස්ථාවන්ද ඇත. බොරු කියන්නාට බොරු කීමේ චේතනාවක් ඇති නමුත්, අසන්නා එය පිළි නො ගැනීම නිසාවෙන් එම අකුසලය පරිපූර්ණත්වයට පත්වූ කර්ම පථයක් බවට පත් නොවේ.

බොරුව සම්පූර්ණ පාප කර්මයක් බවට පත්වන්නේ ඉහත කී කාරණා හතර සම්පූර්ණ වූවාට පසුවය. සමහරු බොරු කියන්නේ අන් අය රැවටීමේ චේතනාවෙන් නොව පුරුද්දට හෝ විහිළුවට ය. එවන් බොරුවල කෙනෙකු රැවටීමට ඇති දැඩි වූ කැමැත්ත නැති හෙයින්, ඒවා අල්ප සාවද්‍ය වේ. මෙවැනි මුසාවාද පැවසීමෙහි මූලික ම හේතුව වන්නේ පවට ලජ්ජාව සහ භය නැතිවීමයි. මේ විහිළු ආකාරයෙන් යුක්තව කියන බොරු බොහෝ අය අසත්‍ය ලෙස පිළි නො ගත්තාද බොරු කී තැනැත්තාට පව් සිදු නොවේ යැයි කිව නොහැක.
මුසාවාදය අල්ප සාවද්‍ය සහ මහා සාවද්‍ය වන්නේ මෙසේයි. 1. යමෙක් තමන් සතු දෙයක් නොදෙනු කැමැත්තෙන් එය තමා ළඟ තිබියදීත් නැත යැයි පවසයිද එය අල්ප සාවද්‍ය අකුසලයකි. එය මේ ආකාරයි. දරුවෙක් මවකගෙන් රුපියල් දාහක් ඉල්ලා සිටි විට මව තමා ළඟ එවන් මුදලක් නැති බව පවසයි. දරුවා මෙම මුදල ඉල්ලන්නේ එය නිකරුණේ නාස්ති කිරීමට බව මව හොඳින් දනියි. දැන් මෙතැන ප්‍රධාන චේතනා දෙකකි. දරුවා වරදින් මුදවා ගැනීමෙහි වේතනාව ඉන් එකකි. එය යහපත් චේතනාවකි. අනෙක දරුවා වරදින් මුදවාලීමට බොරු කීමේ චේතනාවයි. මෙහිදී හොඳ චේතනාවෙන් නරක චේතනාවෙහි බලය අඩුකර ඇත. මව බොරුවක් කිව්වේ දරුවා අයහපතින් මුදවා ගැනීමට වුවත්, එයින් පව් සිදුවීමක් නොවේ යැයි කෙනෙකුට කිව නොහැක. එහිදී පවක් සිදුවන නමුත් එය අල්ප සාවද්‍ය වේ.
2. සාක්ෂි විමසන විට යමෙක් අනුන්ගේ යහපත නසනු රිසියෙන් බොරු කියයිද, එය මහා සාවද්‍ය අකුසලයකි. එය මේ වගේයි. යම් කාරණාවක් පිළිබඳව විමසද්දී කෙනෙක් තව කෙනෙක්වවිනාශ කිරීමේ අදහසින් ඔහුගේ අභිවෘද්ධිය නසනු රිසියෙන් ම බොරු කියයිද, නොවූ දේ වූවා යැයි පවසයිද, එය මහා සාවද්‍ය අකුසලයකි.
3. ගුණ හීනයෙකු රවටන අදහසින් කියන ලද බොරුව අල්ප සාවද්‍ය අකුසලයකි. බොහෝ විට සිඟන්නෙකු හෝ එවැනි අයෙක් නිවසට පැමිණි කල නිවසේ කිසි කෙනෙක් නැති බව ඇඟවීම සුලභ සිදුවීමකි. එවැන්නන්ට කියන බොරු අල්පසාවද්‍ය වේ.
4. ගුණවතෙකු රැවටීමට කියන බොරු මහා සාවද්‍ය අකුසලයක් වෙයි. තම මාපියන්ට හෝ ගුණවත් සිල්වත් අය, ස්වාමින් වහන්සේ ආදීන් හෝ රවටන අදහසින් කියන බොරු මහා සාවද්‍ය වේ.
5. විහිළුවට කියනු ලබන බොරු මෙසේය. කෙනෙකු අගාධයට හෙළනු රිසියෙන් හෝ බරපතල ද්වේෂයෙන් යුක්තව හෝ තමාට කිසිදු වාසියක් නොමැතිව විහිළුවට බොරු කියයි. නමුත් එහි අනුන් රවටන චේතනාවක් ඇති බැවින්, විහිළුවට හෝ බොරු කීමෙහි විපාක අනිවාර්යෙන් තිබේ. නමුත් එය අල්ප සාවද්‍ය පාප කර්මයක් ලෙස ගැනේ.
6. දුටු දේ නොදුටු දේ ලෙසින්ද, නොදුටු දේ දුටු දේ ලෙසින්ද කියනු ලබන බොරුව මහා සාවද්‍ය අකුසලයකි.
මෙය බෙහෝ විට සිදුවන්නේ නඩුහබ ආදියෙහි සාක්ෂි විමසන වැනි අවස්ථාවලය. මෙවැනි බොරුකීම් නිසා අහිංසක කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය. ඒ අනුව එය මහා සාවද්‍ය පාප කර්මයක් බවට පත්වෙයි.
මේ අයුරින් කියන ලද බොරුව මඟින් සිදුවන හානිය අනුව එය අල්ප සාවද්‍ය හෝ මහා සාවද්‍ය වේ. ඒ අතර සත්‍යය ප්‍රකාශ කිරීමෙන් බොරු කීමට වඩා විනාශයක් සිදුවිය හැකි අවස්ථාවන් තිබේ. එවන් අවස්ථාවක බොරු නොකියා එය මඟ හැර යාම වඩාත්ම හොඳ විසඳුම වෙයි. සත්‍යයෙහි පිහිටා, සත්‍යම කථා කරන පුද්ගලයාට මුසාවාදා වේරමණී යන සිල්පදය හොඳින්ම රකින පුද්ගලයාට එවන් අවස්ථාවලට මුහුණ දිීමට ඇති ඉඩ ඉතා අවම වෙයි. එවන් අයෙක් රකිනා ශීලයේ ශක්තියෙන් ඒ පුද්ගලයා රකිනු ලබයි. ඒ එකී ශීලයෙහි බලයයි. එවන් ස්ථානවල හැසිරිය යුතු අන්දම ඒ සඳහා අවශ්‍ය කරන සම්‍යක් ප්‍රයෝග, ඊට අදාළ ස්ථානෝචිත ප්‍රඥාව ආදිය ඒ තැනැත්තාට ඉබේ පහළ වෙයි.
බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්ත වුවත් අනවශ්‍ය නම් එයින් තිබෙන්නා වූ අර්බුද තවත් වැඩිවේනම්, ඒ සත්‍ය වචනය නොකිය යුතු බවයි. සත්‍යයම පවසන්න. පි‍්‍රිය දෙයම පවසන්න. නමුත් එය සත්‍යය වූ පමණින්ම අසන්නට අපි‍්‍රයනම් එය නො කියන්න. අර්බුද වැඩි වේ නම් ඒ සත්‍ය පැවසීමෙන් වළකින්න. එවන් තැන්වලදී ආර්ය තුෂ්ණීම්භාවය රකින්න. නමුත් ඒ නිහඬතාවය අනෙකාට කිසියම් වැරැදි ඉඟියක් පවසයිනම් ඒ නිහඬතාවයෙන්ද වළකින්න ලෙසය.
මුසාවාදයේ ආදීනව මෙසේය. බොරු කියන්නා මෙලොවදීම ලෝකයාගේ නින්දා අපහාස අවලාදයට පත්වෙයි. කවුරුන් වුවද කියන බොරු කවදා හෝ හෙළිවීම වැළැක්විය නොහැක. එවන් දිනක ඒ පුද්ගලයා නින්දා අපහාස ලබයි. සමාජයේ වැදගත් යැයි සැළකෙන අයෙක් කියන බොරු හෙළි වූ දාට එය සාමාන්‍ය අයෙකුගේ බොරුවකට වඩා ගැඹුරින් කථා බහට ලක් වේ. එලෙසම අවිශ්වාසයට ලක්වේ. බොරු කියන්නා කිසිම කෙනකුගේ විශ්වාසයට ලක් නොවේ. වරදට හසුව දඬුවම්වලට ලක්වෙයි. මේ බොරුව කියන පුද්ගලයා මෙලොවදී විඳින දුක් වේ. මරණින් මතු නරකයෙහි ඉපිද වර්ෂ කෝටි ගණන් අප්‍රමාණ දුක් විඳියි. තිරිසන් ආදි අපායන්හි ඉපද දුක්විඳී. ඒ වගේම අශෝභන ශරීර ඇතිව අමිහිරි කටහඬින් යුක්තව දුප්පත්ව උපදී. මිහිරියාවකින් තොර හඬකින් යුක්තව ඉපදීමද බොරුවෙහි ආදීනවයන් වෙයි. එමෙන්ම දුප්පත්ව මෙන්ම අඥානව ගොළුවද උපදී.
සත්‍ය වචනයේ ආනිශංස මෙසේයි. අතිශයින්ම ප්‍රසන්න ඉඳුරන් ඇත්තෙකු වීම, මනා මිහිරි හඬක් ලැබීම, සමානව පිහිටි සුදෝ සුදු දත් දෙපළක් ඇත්තෙකු වීම, අශෝභන වූ මහත ශරීර නො ලබන්නෙකු වීම, අශෝභන කෙට්ටු ශරීර නො ලබන්නෙකු වීම, අශෝභන වූ මිටි ශරීර නො ලබන්නෙකු වීම, සැප ස්පර්ශ ඇත්තෙකු වීම, කටින් දුුගඳ හමන පුද්ගලයෙකු නොවීම, සුවච කීකරු පරිවාර ජනයා ලැබීම, විශ්වාස කළ යුතු වචන ඇත්තෙකු වීම, උඩඟු පුද්ගලයෙකු නො වීම ආදීය බොරු කීමෙන් වැළකීමේ ආනිශංස වෙයි.

බුදු සමයෙන් අනාවරණය වන අපරාධ විද්‍යාත්මක ලක්‌ෂණ


තිස්‌සමහාරාමයේ ධම්මසාර හිමි

බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීමට අනුව, ෙච්තනාව හා ෙච්තනාවේ ස්‌වාභාවය ඕනෑම අපරාධයකට ප්‍රකෘතිය වන බවයි. අත්‍යන්තයෙන්ම බැලූ විට බුදු දහම මනසට ප්‍රමුඛත්වයක්‌ ලබාදෙන අතර උප්පත්තියෙන් මිනිස්‌ සිත ප්‍රභාස්‌වර බවත් බාහිර වටපිටාවෙන් පැමිණෙන ක්‌ලේෂ ධර්ම පදනම් වීමෙන් මනස කිළිටි වේ. ඒ අනුව දූෂිත සිතින් කරනු ලබන ක්‍රියාදාම අපරාධ හෙවත් අකුසල් ලෙස අංගුත්තර නිකායේ එකක නිපාතයේ පබස්‌සර වර්ගයේ දැක්‌වෙන්නේ මේ අයුරිනි.

''පභස්‌සරමිදං භික්‌ඛවේ චිත්තං තංච ඛො ආගන්තුකෙහි උපක්‌ලෙසෙහි උපක්‌ලිට්‌ඨං'' 

යනුවෙනි.

එමෙන්ම, ධම්මපදයෙහිද එම අදහස නිරූපණය වේ. එනම්,

''මනෝ පුබ්බංගමා ධම්මා 

මනෝ සෙට්‌ඨා මනෝමයා'' 

යනාදී නයින් ද ඒ බව තවදුරටත් විග්‍රහ වේ. 

සිත තුළ බලපවත්වන චෛතසිකවල ස්‌වභාවය මත පදනම් ව එය අපරාධකාරී ක්‍රියාවක්‌ ද යහපත් ක්‍රියාවක්‌ ද ලෙස තීරණය කරන්නේ ද සිතිවිලි ප්‍රමුඛ වීමෙනි. ඒ බව මේ අයුරින් විග්‍රහ වේ.

''ෙච්තනාහං භික්‌ඛවේ කම්මං වදාමි. ෙච්තයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා'' යනුවෙනි.

මේ අනුව පෙනෙන්නේ ෙච්තනාව මූලික වීමෙන් සිදුකෙරෙන ක්‍රියා සෙච්තනික ක්‍රියා වන බවයි. පුද්ගල කායික ඉන්ද්‍රියන් මගින් සිදු කෙරෙන ඕනෑම අපරාධයක්‌ උදෙසා මානසික පෙළඹවීමක්‌ තිබිය යුතු බව මේ අනුව පෙනී යයි. බුදු දහම අපරාධ ලෙස සලකනු ලබන්නේ පුද්ගල හා සමාජ සදාචාරයට පටහැනි අධර්මයන් හා සසරට බැඳ තබනු ලබන ක්‍රියාදාමයන් වේ. එමෙන්ම,

1. ලෝකවඡ්ජ - පොදු සමාජය කෙරෙහි බලපෑම් කරන ක්‍රියා 

2. පණ්‌නත්ති වඡ්ජ - බුදුන් වහන්සේ විසින් පනවන ලද විනය ශික්‌ෂා උල්ලංඝනය කිරීම.

යන වර්ගීකරණයෙන් පෙනෙන්නේ බුදු දහම පුද්ගල ස්‌වභාවය මත අපරාධ වර්ග කොට ඇති බවයි.බරපතල වර්ගයට ගැනෙන අපරාධ පහක්‌ පංචානන්තරීය පාපකර්ම ඔස්‌සේ බුදු දහම පෙන්වා දේ. ඒ අනුව, 

1. මව ඝාතනය 

2. පියා ඝාතනය

3. බුද්ධ ශරීරයේ ලේ සෙළවීම 

4. රහතන් වහන්සේලා ඝාතනය 

5. සංඝ භේදය සිදුකිරීම යනාදියයි.

මෙම කර්ම පහ සිදු කළ විට කර්ම විපාක දීමේදී අනිවාර්ය වශයෙන්ම විපාක දෙනු ලබන්නකි. බුදු සසුනෙහි චිරස්‌ථිතිය උදෙසා භික්‌ෂූන් සඳහා පනවන ලද විනය ශික්‌ෂා උල්ලංඝනය කිරීම ද අපරාධ ලෙස සැලකේ. උපසපන් භික්‌ෂුන් පිළිපැදිය යුතු සතර පාරාජිකා නමින් හැඳින්වෙන බරපතල ශික්‍ෂා හතරක්‌ ප්‍රාතිමෝක්‌ෂය තුළ අන්තර්ගත වේ. එනම්,

1. මෛථූන සේවනය

2. මනුෂ්‍ය ඝාතනය

3. සොරකම

4. උත්තරී මනුස්‌සධම්ම 

යනාදිය ප්‍රබල ශික්‌ෂා ලෙස සැලකේ.

මෙම ශික්‌ෂා භික්‌ෂූත්වය සම්පූර්ණයෙන්ම වාගේ ඡේදනය වන බරපතල අපරාධ ලෙස සැලකේ. එපමණක්‌ නොව අපරාධයේ ස්‌වභාවය හා ප්‍රතිඵලය අනුව බුදු සමය 'අපරාධ' නොයෙක්‌ අයුරින් වර්ගීකරණයට ලක්‌කර තිබේ. ඒ අනුව,

1. සතර අගති

2. තුදුස්‌ළාමක කර්ම

3. ධන විනාශ භෝග මුඛ

4. සතර කර්ම ක්‌ලේෂ

5. දස අකුසල්

6. ත්‍රිවිධ අකුසල්

යනාදිය එම වර්ගීකරණය අතර ප්‍රධාන වේ.

බුදුසමයට අනුව, පුද්ගලයා හා සමාජය තුළ ගැටීම් ඇතිවනුයේ සත්වයා අභ්‍යන්තරිකව හා බාහිරව වියවුල් සහගත තත්වයක ජීවත්වන හෙයිනි. ඒ අනුව බොහෝවිට ගැටුම් ඇතිකර ගනිමින්, වරදට යොමුවන්නේ නිර්වාණය පසක්‌ නොකළ පුද්ගලයා වේ.

'සබ්බේ පෘථඡ්ජනා විය උම්මත්තකා''

ඒ අනුව, සියලු පෘථග්ජනයෝ උම්මත්තකයෝ මෙන් කටයුතු කරන බැවින් ඔවුන්ගෙන් බොහෝවිට නොදැනුවත්වම අපරාධ සිදුවේ.

සුත්ත නිපාතාගත මාගන්ධිය සූත්‍රයෙහි මෙසේ දැක්‌වේ. එනම්, 

''සංඥාවත්,දෘෂ්ටියත් යමෙකු විසින් දෘඪව ග්‍රහණය කර ගනිත්ද ඔවුහු නිරතුරුවම ලෝකයෙහි ගැටෙමින් ජීවත් වෙති.'' 

මෙම විග්‍රහයෙන් පෙනෙන්නේ ගැටුම් පැන නැගීමට බොහෝවිට මානසික තත්වයම පදනම වන බවයි. සංඥාව හා දෘෂ්ටිය වැරදි ලෙස ගැනීමත්, දැඩිව ගැනීමත් ගැටුමෙහි ප්‍රභවයයි. සංඥා සහ දෘෂ්ටි යන මානසික අවස්‌ථා ද්විත්වය පුද්ගල පෞරුෂය හා චර්යාව කෙරෙහි සෘජු ලෙසම බලපෑම් කරනු ලබන්නකි. මෙලෙස ගැටුම් ඇතිවීමට සාධක වන සංඥාව හා දෘෂ්ටිය පිළිබඳව නිවැරදිව ඉගැන්වීම තුළින් ගැටුම් අවම කරගත හැකිය.

මනුෂ්‍යයා අයහපතෙහි හෙවත් අපගාමීත්වයෙහි යෙදෙන්නේ තෘෂ්ණාව හේතුවෙනි. එයට හේතුව මිනිසාගේ අතෘප්තිමත් භාවයයි. ඒ බව බුදුන් වහන්සේ මේ අයුරින් පෙන්වා දෙති.

''ඌනො ලොකෙ අතිෙFථා තණ්‌හා දාසො'' යනුවෙනි.

එබැවින් ලෝකයේ වසන මිනිසුන් තෘෂ්ණාවේ දාසයන් මෙන් ක්‍රියා කරන අතර කොපමණ වස්‌තු සම්භාරයක්‌ තිබුණත් එයින් ලෝකයා අතෘප්තියෙන් ජීවත් වන බව පෙනේ. මෙසේ සිදුවන්නේ අවිද්‍යාව හේතුකරගෙනය. ඒ අනුව ප්‍රඥාව මගින් අවිද්‍යාව නැසීමට පුළුවන. මිනිස්‌ සිත අපිරිසිදු වීම කෙරෙහිත්, අපාගාමී පෞරුෂයක්‌ බිහිවීම කෙරෙහිත් අභ්‍යන්තර ප්‍රේරණ ත්‍රිත්වයක්‌ බලපානු ලබයි. ඒවා නම්,

1. දැඩි ආශාව (ලෝභ)

2. ද්වේශය, නොසන්සුන් බව, 

ගැටීමේ නම්‍යතාවය (දෝස)

3. නොදැනීම (මෝහ)

මෙම මානසික තත්වයන් හේතුකොටගෙන අයහපත් ක්‍රියාවන් සඳහා මිනිසා අත්‍යන්තයෙන්ම පෙළඹේ. ඉන්ද්‍රිය දැනීම මගින් ලබන දැනුම හේතුකොටගෙන මෙම ප්‍රේරණ වර්ධනය වේ. මේ අනුව බලන විට මෙහි මූලික බලවේගය තෘෂ්ණාවම වේ.

තෘෂ්ණාව හේතුකොටගෙන මනුෂ්‍යයාගේ මනස අසහනයට මෙන්ම අතෘප්තියට පත්වන අතරම මානසික කැළඹීම ද ඇතිවේ. මේ අයුරින් කැළඹුණු මනස තුළ චිත්තවේග හටගනු ලබයි.

චිත්තවේග පාදක කරගෙන මිනිස්‌ මනස නොසන්සුන් බවට හා ප්‍රචණ්‌ඩත්වයට පත්වේ. ඒ අනුව බෞද්ධ දර්ශනය මනුෂ්‍ය චිත්ත සන්තානය කැළඹීමට පත් කරවන චිත්තවේග කිහිපයක්‌ යෝජනා කරයි. එනම්,

- අභිඡ්ජා - දැඩි ලෝභය

- ව්‍යාපාද - කෝපය

- උපනාහො - දැඩි කෝපය

- මක්‌ඛෝ - ගුණමකු කම

- ප්ලාසො - බද්ධ වෛරය

- ඉස්‌සා - ඊෂ්‍යාව

- මච්ඡරිය - මසුරුකම 

- මායා - චාටු බව 

- සාඨෙයස - කපටි කම

- ථම්භො - තද ගතිය

- මානෝ - මානය

- අතිමානෝ - දැඩි මානය

- මදො - මත්වීම

- පමාදො - ප්‍රමාදය

- කොධො - ක්‍රෝධය

- සාරම්භො - දැඩි ක්‍රෝධය 

මෙම කරුණු හේතුවෙන් මනුෂ්‍යයා අපගාමී පෞරුෂයක්‌ ගොඩනගාගෙන ක්‍රමයෙන් පුද්ගලයා හා සමාජය සමග ගැටීමට උත්සහ කරයි.

ගැටුම් ඇති කරනු ලබන බලවේගයක්‌ ලෙස මිත්‍යා දෘෂ්ටිය හැඳින්විය හැකි වේ. ලොවෙහි බොහෝ තැන්හි විනිවිද පෙනෙනුයේ දෘෂ්ටිය පදනම් කරගනිමින් උද්ගතවූ ගැටුම්ය. ස්‌වකීය දෘෂ්ටියට අනුව, සමාජය තුළ ජීවත් වීමට යැම නිසා ගැටුම් ඇතිවන බව පෙනේ. බොහෝ විට, එවැනි ගැටුම් ඇතිවනුයේ, නොයෙක්‌ සමාජ තත්ත්වයන් පදනම් කරගෙනය. ඒවානම්,

1. උප්පත්තිය

2. ජාතිය

3. ආගම

4. ප්‍රදේශය

5. කුලය

6. භාෂාව

7. අධ්‍යාපන මට්‌ටම

ආදී සමාජ තත්ත්ව පදනම් කරගෙන ස්‌වකීය දෘෂ්ටිය බලාත්මක කිරීමට යැම නිසා මානව සමාජයේ නිරතුරුවම ගැටුම් ඇතිවන බව පෙනේ. නූතන ලෝකය දෙස බැලූවිට ද ප්‍රතීයමාන වන්නේ බොහෝ අපරාධවලට හා දේශපාලනික ගැටුම්වලට හේතුවී ඇත්තේ එම මතවාදය සමාජය තුළ වැපිරීමට ක්‍රියා කිරීමයි. එම නිසා බුදු සමය අපරාධ නිවාරණයට උපදෙස්‌ දෙනු ලබන්නේ, මේ අයුරිනි.

''දිට්‌ඨිං ච අනුපගම්ම සීලවා - දස්‌සනේන සම්පන්නෝ'' යනුවෙනි.

ඉහත දැක්‌වෙන කරණීය මෙත්ත සුත්‍රානු පාඨයෙන් පැහැදිළි වන්නේ, ''දෘෂ්ටීන්ට නොපැමිණ දර්ශනයෙන් හා සීලයෙන් යුක්‌ත වන ලෙසටයි''. එසේ සිදුකිරීම නිසා එය සමාජ ප්‍රගමනයට ද හේතු වේ.

තවද මසුරුකම, ඊර්ෂ්‍යාව, අන් සැපත නො ඉවසීම, මුදිතාවෙන් තොරවීම යන කාරණා මගින් ගැටුම් ඇතිවන බව බොහෝ සූත්‍ර දේශනා වලින් පෙනෙයි. පංචකාමයන් කෙරෙහි ඇතිවන කාමය හේතුවෙන් ගැටුම් ඇතිවන බවත් මනස ඉන්ද්‍රියක්‌ ලෙස සැලකූ විට මනිJද්‍රියට අරමුණු වන සංකල්ප 'දෘෂ්ටි' මතවාද ආදිය නිසා උද්ගතවන ගැටුම් සමාජයෙහි ආකාර දෙකකින් විග්‍රහ වේ. ඒ අනුව, 

''පාලකයන් විසින් දුප්පතුන්ට ජීවත්වීමට ධනය නොදීම නිසාවෙන් දරිද්‍රතාවය වර්ධනය වන අතර දිළිඳුකම නිසගා සොරකමද, එම නිසා අවි ආයුධ හා ප්‍රාණඝාත, කලකෝලහාල වැනි සංකීර්ණ සමාජ ගැටුම් ද ඇතිවන බව දීඝ නිකායේ චක්‌කවත්තී සීහනාද සුත්‍රය තුළින් විෂදෘශ වේ.''

''ඉති ඛො භික්‌ඛවෙ අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වේපුල්ලමගමාසී, දාළිද්දියං වේපුල්ලංගතෙ අදින්නාදානං වේපුල්ලමගමාසී, අදින්නාදානෙ වේපුල්ලංගතෙ සFථං වේපුල්ල මගමාසි, සත්ථෙ වේපුල්ලං ගතෙ පානාතිපාතො වේපුල්ලමගමාසී'' 

යනාදී වශයෙන් සඳහන් වන පරිදි රටක පවතින භෞතික සම්පත් සමාන්තරව බෙදී නොයැම හේතුවෙන් සමාජයේ ගැටුම් ඇතිවන බවත්, හේතුවට ප්‍රතිකාර කළ යුතුව තිබියදී ඵලයට ප්‍රතිකාර කිරීමෙන් ඵලක්‌ නොවන බව බුදුසමය උගන්වනු ලබයි. පශ්චාත් කාලීන සමාජවාදීන්ගේ අදහස වන්නේද, නිර්ධන පන්තිය නොසලකා හැරීම නිසා ගැටුම් උද්ගත වූ සමාජයක්‌ උදාවන බවත් සැමටම සම ලෙස වරප්‍රසාද හිමිවන සාමය රජයන සමාජයක්‌ බිහිකිරීම සැම 

සමාජයකම මූලික අවශ්‍යතාවය බව මාක්‌ස්‌වාදීන්ගේ අදහසයි. 

අපරාධ පාලනය හා නිර්වාණය උදෙසා අනුගමනය කළයුතු පිළිවෙත

බුදුන් වහන්සේ මෙලොව, පරලොව උභයපාර්ශවයම සාර්ථක කරගැනීමට මග පෙන්වන පුද්ගල දිවිය මෙන්ම සමාජ දිවියද අර්ථාන්විත කරගැනීමට මග පෙන්වන උතුමන් වහන්සේ කෙනෙකු ලෙස සැලකේ. අපරාධ නිවාරණය හා පාලනය විෂයෙහි වඩාත් ප්‍රායෝගික හා ෙත්‍රෙකාලික ඉගැන්වීම් සමුදායක්‌ බුදු දහමින් උගන්වා ඇත. ඒ සඳහා ක්‍රමඋපායන්ද නිර්දේශ කොට තිබේ. සියලු බුදුවරුන්ගේ උපදේශය ඒ සඳහා භාවිත කළ හැකි උත්තරීතර ක්‍රමවේදය වශයෙන් සඳහන් කළ හැකිය. එම ක්‍රමවේදය නම්, 

''සබ්බ පාපස්‌ස අකරණං - කුසලස්‌ස උපසම්පදා

සචිත්ත පරියොදපනං - ඒතං බුද්ධානසාසනං'' යන්නයි.

ඒ අනුව සියලු පාප ධර්මයන් නොකිරීමත්, තිදොරින් වන සියලු අපරාධ නොකර සිටීමත්, කුසල් දහම් වැඩීමත් යනාදිය අපරාධ වළක්‌වන අර්ථාන්විත සදාචාර ධර්මය වේ. තම සිත පිරිසිදු කර ගැනීම මේ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ බව අවසාන වශයෙන් ස`දහන් කිරීමට පිළිවන. මෙය බුදුවරුන්ගේ අනුශාසනාව වේ.

අපරාධ පාලනය හා නිවාරණය විෂයෙහි පාලි සඟි සාහිත්‍යය තුළ එන ඉගැන්වීම් හා බුද්ධ දේශනා තුළ විද්‍යමාන ක්‍රමඋපායන් රාශියක්‌ පෙනේ.ඒවා නම්,

- අපරාධ හා අපරාධකරාවන් නිසි රිදි හඳුනාගැනීම

- වරදකරුවන්ට දඬුවම් පැමිණවීම

- විශ්ව මෛත්‍රී සංකල්පය ක්‍රියාත්මක කිරීම

- වරදකරුවන් පුනරුත්ථාපනය කිරීම

- අත්තූපනායික ධර්ම පරියාය ක්‍රියාත්මක කිරීම

- පාපොච්චාරණ ක්‍රමවේදය

- මුලික බෞද්ධ ඉගැන්වීම් වලට අනුව අපරාධ නිවාරණය

- ශීල ප්‍රතිපදාව ක්‍රියාත්මක කිරීම යනාදියයි.

මෙහිදී අපරාධ පාලනය යන්නෙහි අර්ථය ගත් විටදී බොහෝ විට සිදුවන්නේ යම්කිසි දුරකට පවතින තත්ත්වය වර්ධනය වීමට ඇති අවකාස දුරු කිරීමයි. එය බුදු දහමට අනුව ''තදංග ප්‍රහාණය'' ලෙස අරුත් ගැන්වේ. තදංග යනු, තාවකාලික පැලැස්‌තර යෙදීමයි. නිදසුනක්‌ ලෙස රබර් පන්දුවක්‌ ජලයෙහි බහාගෙන සිටියහොත් එසේ කරන කාලය දක්‌වා ජලය යට එය තිබෙන අතර හස්‌තය ඉන් මුදාගත් විට දී නැවත පන්දුව ජලය මත තිබෙනු පෙනේ. ඒ අනුව පාලනය තුළින් සියලු තත්ත්වයන් ඉවත්වයාමක්‌ සිදුනොවේ. නමුත් නිවාරණය යනුවෙන් හැෙ`ගන්නේ පවතින අපරාධ තත්ත්වය සම්පූර්ණයෙන්ම වාගේ මුලිනුපුටා දැමීමයි. එසේම ඉවත් කර දැමීමයි. නැවත මතු වීමට ඇති ඉඩකඩද අහුරාලීමයි. බුදුසමය මෙම ක්‍රියාමාර්ග ද්විත්වයම අනුගමනය කරන ආකාරය පෙනේ.

පුද්ගල චෛතසික කෙළෙස්‌ මලෙන් පිරිඇති තාක්‌ මුළු සමාජතලය තුළම අපරාධ සිදුවේ. හුදෙක්‌ පුද්ගලයා අපරාධකාරී චර්යාවන්හි යුහුසුලූව යෙදෙන්නේ ද වේ. නම් ඔහු මෙන්ම ඔහු වසන සමාජයද ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කරනු පෙනේ. ඒ බව පරාභව, වසල ආදී සූත්‍ර තුළින්ද උද්දීප්තය

ඉත්ථ,s ධුත්තෝ සුරා ධුත්තෝ 

අක්‌ඛ ධුත්තෝච යො නරො

ලද්ධං ලද්ධං විනාසෙති 

තං පරාභවතො මුඛං'' 

යන්නෙහි අර්ථයනම් ''ස්‌ත්‍රීන් ධූර්ත වීම, සුරාවට ලොල් වීම, සූදුවට ලොල්වීම'' ලැබෙන ලැබෙන ධනය විනාශ කිරීම මෙහිදී සිදුවේ. මෙම කාරණා තුළින් පෙනෙන්නේ බුදු දහමෙහි අපරාධ විද්‍යාත්මක ලක්‌ෂණ කෙතේ දුරට ගම්‍යමාන වන්නේද යන්නයි.

ලෝකය සමග කටයුතු කිරීමේදීද ''ජීවත් වීමේදී ද පුද්ගලයෝ නොයෙක්‌ අයුරින් රැකියාවන්හි නිරත වෙති. සමහරක්‌ විට එම නිරත වන රැකියාවන්හි නිරවද්‍යතාවය පිළිබඳ සෑහීමකට පත්විය නෙහැකිය. එසේ වන්නේ බොහෝමයක්‌ අපරාධකාරී ජීවිකාවන් නිසාවෙනි.

බුදු සමය නොකළ යුතු වෙළඳාම් පසක්‌ යෝජනා කරනුයේ මේ තුළින් සමාජයේ පැවැත්මේ අපරාධකාරී ස්‌වභාවය වටහා ගත් හෙයිනි. 'මහණෙනි උපාසකයෙකු විසින් නොකළ යුතු වෙළඳාම් පසක්‌ ඇත්.ඒවා නම්, ආයුධ වෙළඳාම, වහල් වෙළඳම, මස්‌ වෙළ¹ම, මත්පැන් වෙළඳාම, විෂ වෙළ¹ම යන පස වේ.''

මෙම වෙළ¹ම් සමාජය තුළ පුද්ගලයා අපරාධකාරීත්වයට යොමු කරන මූලික කාරණා වේ. යම් පුද්ගලයෙකු මෙම අකටයුතු වෙළÔදාම් කරත්ද, හෙතෙම සමාජය තුළ අපරාධී චර්යා ධර්මයක්‌ ගත කරන්නෙකු ලෙස සැලකේ. එසේම බුදු දහම ඉදිරිපත් කරන වෙළඳාම් රටාව ධාර්මික පදනමක්‌ මත සමන්විත වී තිබේ. තුලා කූට, මානකූට, කංස කූට වැනි වංචනික මිනුම් ක්‍රම මෙන්ම කුහනා, ලපනා නේමිත්තිකතා ආදී කූට කුහක උපක්‍රම භාවිතය අපරාධකාරී ස්‌වභාවය මනාව පෙන්නුම් කරන්නකි. මේ අනුව කෙනෙකු සමාජ සම්මත, පොදු නීති සම්මතයන් උල්ලංඝනය කරමින් කොතෙකුත් සාරවත් සුඛෝපභෝගී ජීවිතයක්‌ අපේක්‌ෂා කළද ඔහු වටා අයුක්‌තියේ හා අසාධාරණයේ බලවේග සංචරණය වීම කිසිවෙකුටත් වැළැක්‌විය නොහැකිය.

අනාගතයේදී අපරාධකරුවෙකු බවට පත්වෙන්නට උප්පත්තියක්‌ බලාපොරොත්තු වන කුමාරයෙකු ගැන ථුස ජාතකයෙහි (අංක 334 ) ගම්‍යමානය. බොහෝ ජාතක කතාවකම පාහේ විෂද වන පරිදි පැරණි ඉන්දීය 

සමාජයේ මවකට දරුවෙකු ඉපදීමට සිටින විට මවට ඇතිවන දොළදුක මෙහිදී ද විස්‌තර වේ. ඒ අනුව ථුස ජාතකයේ වර්තමාන කතාවේ එන්නේ රජුගේ දකුණු උරය පලා ලේ බොන්නට මවට දොළක්‌ හටගනු ලබන අතර ඒ තුළින් උපදින්නට සිටින දරුවාද අපරාධකරුවෙකු ලෙස නිගමනය කළ හැකි බවයි. ගර්භණී අවධියේ දී ඇතිවන්නාවූ යම් යම් අවශ්‍යතා තුළින් උපතින්ම බිහිවනු ලබන තැනැත්තා අපරාධකරුවෙකු බවට පූර්ව නිගමන වලට එළඹීම ජාතක සමාජයේ පැවති සංකල්පනාවකි. එමෙන්ම අජාසත්ත සිය පියා මරා අපරාධකරුවෙකු වන බව උප්පත්තියේදීම තීරණය වේ. එසේ තීරණය වන්නේද අජාසත්තුගේ මවට ඇතිවූ දොළෙහි ස්‌වභාවයයි. සැබවින්ම 'අජාසත්ත' එනම් නූපන් සතුරා යන්න අජාසත්ත යන්නෙහි විග්‍රහයයි 

(ජයවීර 2007,21 පිටුව).

එසේම චර්යාත්මක බෙලහීනතාවයන් කෙරෙහි පෝෂණයේ බලපෑම පුද්ගලයා මත ක්‍රියාත්මක වන ආකාරය ජාතක කතා වලින් ඉස්‌මතුව පෙනේ. එවැනි අවස්‌ථාවකි තිත්තිර ජාතකය. 

'එසමයෙහි පාඬුq රෝග ඇති තාපස කෙනෙක්‌ ගිනි තපින පිණිස පොරොවක්‌ අරගෙන ගොස්‌ දර පලන්නාහ. එතනට එන අනෙක්‌ තාපස කෙනෙකුත් මෙතන පලවයි, මෙතන පලවයි යනාදියෙන් නොයෙක්‌ පරිද්දෙන් කියන්නා කිපී, දර පැලුම් ආචාර්ය කෙනෙකුන් දැයි කියා තියුණු මුවහත් පොරොවෙන් පලා එක පහරින්ම ජීවිතක්‌ෂයට පැමිණවූහ 

(තිත්තිර ජාතකය, අංක 116 , 391 පිටුව ).'' 

මෙය සංක්‌ෂිප්ත කතා පුවතක්‌ වුවද, ජාතක සමාජයේද විවිධ පුද්ගලයන් පෝෂණ ඌණතාවයෙන් පෙලූන බවත් එකී පෝෂණ ඌණතා පුද්ගලයා ප්‍රචණ්‌ඩ කරවීමෙහි සමත් වූ බවටත් මනා නිදර්ශනයක්‌ ලෙස සැලකේ

(ජයවීර, 2007,24 පිටුව ).

යථෝක්‌ත නිදර්ශන ඇසුරෙන් ජාතක කතා මගින් පිළිබිඹුවන අපරාධකාරී ස්‌වභාවයන් මනාව විවරණය වේ.

අපරාධ පාලනය හා නිවාරණය ගැන අවධානය යොමුකිරීමේදී බෞද්ධ අධිකරණ ක්‍රියාවලිය පෙන්වා දිය හැකිවේ. ඒවා නම්,

- විවාදාධිකරණය

- අනුවාදාධිකරණය 

- ආපත්තාධිකරණය

- කිච්ඡාධිකරණය යනුවෙනි.

ඒ අනුව භික්‌ෂු සංඝයා අතර මතුවන වාද විවාද ගැටුම් නිසාවෙන් සිදුවිය හැකි භේදභින්නවීම විස¹ලීම විවාදාධිකරණය වේ. භික්‌ෂූන්ට එරෙහිව මතුවන විවිධ චෝදනා විමසා විසඳීම සඳහා අනුවාදාධිකරණය ද, ශීලය පිළිබඳ මතුවන ආපත්තිමය චෝදනා විසඳීමට ආපත්තාධිකරණය ද, සංඝයා විසින් ඉටුකළ යුතු කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කිච්ඡාධිකරණය ද කිs්‍රයා කරනු ලබයි. ඒ අනුව කිසියම් පුද්ගලයෙකුට වරද කරුවෙකු සේ පිළිගැනීම විෂයෙහි කෙරෙන අධිකරණ ක්‍රියාවලියේදී ඒ සඳහා කරුණු රාශියක්‌ පරිපූර්ණ විය යුතු වේ.

මෙම බෞද්ධ අධිකරණ ක්‍රමවේදය අපරාධ පාලනය විෂයෙහි ගිහි පැවිදි උභය පාර්ශවයටම ප්‍රජාතාන්ත්‍රික, සත්‍යවාදී ක්‍රියාවලියක්‌ ලෙස සැලකේ.

බෞද්ධ විශ්ව මෛත්‍රීය සංකල්පයේ භාවිතය ගැන සලකා බැලීමේදී ඒ තුළින්ද අපරාධ නිවාරණය සඳහා සුවිශේෂි මග පෙන්වීමක්‌ සිදුකරනු ලබයි. මෛත්‍රී සහගත කාය වාග් වචී කර්මයෙන් යුක්‌තව සියලු සත්ත්වයන් කෙරෙහි සමසිත් පැතිරවීම මගින් බිහිවන පරමාදර්ශී සමාජය කිසිවිටෙකත් අපරාධවලට තෝතැන්නක්‌ නොවනු ඇත. මේ අනුව බලන විට, සර්ව කාලීනව අපරාධ නිවාරණය කළ හැක්‌කේ සියලූ කෙලෙස්‌ නැසීමෙනි. කෙලෙස්‌ නැසූ කල අපරාධ සිදුවීමට උපකාරවන සියල්ලම සම්පූර්ණයෙන්ම ක්‌ෂය වනු නොඅනුමානය, යන්න බුදු සමය ඉදිරිපත් කරනු ලබන අපරාධ නිවාරණ ක්‍රමවේදයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කෑලගසේ උපමාව - කිංසූකෝපම සුත්‍රය


පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය, කන්නිමහර-වතුරුගම. 

ධර්මය අවබෝධකර නො ගත් එක්‌තරා භික්‌ෂුවක්‌, රහතන් වහන්සේලා සතර නමක්‌ වෙත පිවිස, 'මහණහුගේ දර්ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ ද?' යන ප්‍රශ්නය විමසූ කල්හි, දුන් පරස්‌පර පිළිතුරු කෙරෙහි සතුටු නොවූ හෙයින්, භාග්‍යවතුන් වහන්සේ වෙත පිවිස, එම කාරණය සැලකරන ලදී. එවිට සර්වඥයන් වහන්සේ කෑල ගසක්‌ (එරබදු ගසක්‌) උපමා කොට, එම රහතන් වහන්සේලා දුන් පිළිතුරු නිවැරදි බව සනාතකර කළ දේශනය, කිංසූකෝපම සූත්‍රයේ (සං.නි-බු.ජ4-368) සඳහන් ව ඇත. 

කෑල ගසක්‌ (ඉන්දියාවේ ඇති එරබදු විශේෂයකි) නොදුටූ පුද්ගලයෙක්‌, කෑල ගස දැක ඇති පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් කෑල ගස කෙසේ ද? කියා විමසූ විට තමන් කෑල ගස දැක ඇති ආකාරය විස්‌තර කරයි. කෑල ගස කලින් කලට වෙනස්‌ ස්‌වරූපයන් ගනී. එසේ හෙයින් පළමු පුද්ගලයා Ñකෑලගස දාගිය කණුවක්‌ මෙන් කලුය. ලෙස විස්‌තර කරයි. සමහර කාල වලදී කොළ හැලී පිලිස්‌සුන කළුපාට දණ්‌ඩක්‌ මෙන් කෑල ගස දිස්‌ වේ. දෙවන පුද්ගලයා 'කෑලගස මස්‌ වැදැල්ලක්‌ මෙන් ලේ පාටය' ලෙස විස්‌තර කරයි. රතුපාට මලින් පිරීගිය කාල වලදී කෑල ගස ලේ පාට වන්නේය. තෙවන පුද්ගලයා 'කෑල ගස මහරී ගසක්‌ මෙන් පැලුණු කරල් ඇත්තේ ය, ගැලවුණු පොතු ඇත්තේය' ලෙස විස්‌තර කරයි. සමහර කාලවලදී කෑල ගස අසිපත් වල කොපු මෙන් පැලුණු කරල් සහ පොතු ගැලවී පවතී. සිව්වන පුද්ගලයා 'කෑල ගස නුගරුකක්‌ මෙන් ගනසෙවණ ඇත්තේ ය' ලෙස විස්‌තර කරයි. සමහර කාල වලදී කෑල ගස කොළවලින් පිරී පවතින බැවින් නුගරුකක්‌ වැනිය. 

එසේ ඒ ඒ මොහොතේ කෑල ගස දුටු පුද්ගලයා විස්‌තර කරනුයේ ඒ අවස්‌ථාවේ දුටු අයුරිනි. නමුත් පිළිතුරු වැරදි නැත. මන්ද? ඒ ඒ පුද්ගලයා කෑල ගස දකින අවස්‌ථාවේ පැවති ස්‌වභාවය ම ඔහු විස්‌තර කර ඇති බැවිනි. මෙලෙස ධර්මය අවබෝධ කරගත් රහතන් වහන්සේලා තමතමන්ගේ අවබෝධය විවිධ 

ආකාරයෙන් ප්‍රකාශ කර ඇත.

සිත පිරිසිදු කිරීමට නම් සියල්ල අවබෝධ කළ යුතුය. සර්වඥතා ඤාණයෙන් අවබෝධවන සියල්ල රහතන් වහන්සේ නමකට අවබෝධ කළ නොහැක. නමුත් අවිද්‍යාව සහ තණ්‌හාව දුරු කිරීමට අවශ්‍ය සියල්ල අවබෝධ කළ යුතුය. මෙසේ පෙර කී රහතන් වහන්සේලා තමතමන්ගේ අවබෝධය පිළිවෙලින් මෙසේ වදාරන ලදී.

භික්‌ඛු ඡන්නං ඵස්‌සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ ස්‌පර්ෂ ආයතන සයෙ හි සමුදය-අස්‌තôගමය තතුසේ දත යුතුය.

පළමු රහතන් වහන්සේ ස්‌පර්ෂ ආයතන සයෙ හි සමුදය-අස්‌තôගමය කමටහන වඩා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ග ඵල වලට පත් වූ බැවින් තමන් පිරිසිදු වූ ක්‍රමය දේශනා කර ඇත. ඇස, කන, නාසය, දිව, කය සහ මන ආධ්‍යාත්මික ෂඩායතනයි. මේවා ඇතිවී (සමුදය) ඇත්තේ වර්ණ, ශබ්ද, ගන්ධ ආදී බාහිර අරමුණු ගෙන විඳීමට ඇති කැමැත්ත හෙවත් තෘෂ්ණාව නිසාත්, ඇස ආදී ආයතන ජරා-මරණ කරා යන බව නොදන්නා අවිද්‍යාව නිසාත්ය. වර්තමානයේ නැවත එසේ තෘෂ්ණාවත්, අවිද්‍යාවත් ඇතිකර නොගත්තා නම්, නැවත සළායතන හටනොගනී .එනම් අස්‌තôගමය හෙවත් නිරෝධය සිදු වේ. 

භික්‌ඛු පඤ්චන්නං උපාදානක්‌ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ පඤ්ච උපාදානස්‌කන්ධයාගේ සමුදය-අස්‌තôගමය තතුසේ දත යුතුය.

දෙවන රහතන් වහන්සේ රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණය යන පංච උපාදානස්‌කන්ධයාගේ ඇතිවීම සහ නැතිවීම හෙවත් උදය-ව්‍යය දැකීමෙන් නිවනට පත් වූ උත්තමයෙකි. එනම් රූපයේ ඇතිවීම අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, ආහාර, උත්පාද ලක්‌ෂණය ලෙස ප්‍රත්‍ය පස්‌ ආකාරයකින්, වේදනා, සංඥා, සංඛාරවල ඇතිවීම අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, උත්පාද ලක්‌ෂණය, ස්‌පර්ෂය ලෙස ප්‍රත්‍ය ආකාර පහ බැගින් සහ විඤ්ඤාණයේ ඇතිවීමට අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නාමරූප, උත්පාද ලක්‌ෂණය ලෙස පස්‌ ආකාර බැගින් පංච උපාදානස්‌කන්ධයේ ඇතිවීමේ ප්‍රත්‍ය 

විසිපහක අවබෝධයෙන් සහ ඉහත ඇතිවීමේ ප්‍රත්‍ය විසිපස්‌ ආකාරය නිරෝධයෙන් වන පනස්‌ ආකාරයක උදය-ව්‍යය අවබෝධ කරගෙන නිවන සාක්‌ෂාත් කළ බව දැක්‌වේ.

භික්‌ඛු චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ සතර මහාභූතයන්ගේ 

සමුදය-අස්‌තôගමය තතුසේ දත යුතුය.

තුන්වන රහතන් වහන්සේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භූත රූපයන් සතරේ ඇතිවීම-නැතිවීම අවබෝධයෙන් නිවන සාක්‌ෂාත් කළ බව දැක්‌වේ. මෙම ස්‌වභාව ධර්මයේ පවතින ශක්‌තීන් සතර වේගයෙන් වෙනස්‌ වේ. එකිනෙක අතර ඇති සංකලනය සෑම මොහොතක දී ම වෙනස්‌ වේ. එබැවින් මේවායින් සෑදී ඇති සියලුම රූප වෙනස්‌ වේ. එනම් රූප එක්‌ ස්‌වභාවයක සිට තව ස්‌වභාවයකට පත්වන බැවින් එනම් විපරිණාමයට පත්වන බැවින්, තමන්ගේ යෑයි ගැනීමට යෝග්‍ය නොවේ. එනම් සියලු ම රූප අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම බව අවබෝධයෙන් විශුද්ධිය ලැබිය හැකි බව දැක්‌වේ. 

භික්‌ඛු 'යං කිඤ්චි සමුදය ධම්මං සරීබන්තං නිරෝධධම්මන්ති යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ යම් ධර්මයක්‌ හටගැනීමේ ස්‌වභාවය ඇත්තේ නම් ඒ සියල්ල ම නැසීයාමේ ස්‌වභාවය ඇති බව' තතුසේ දත යුතුය.

සිව්වන රහතන් වහන්සේ සියලු ධර්මයන් හේතු-ප්‍රත්‍ය නිසා හටගන්නා බවත් හේතු-ප්‍රත්‍ය නිරුද්ධවීම නිසා නැසීම සිදුවන බවත් යථාභූතව අවබෝධ කරගෙන නිර්වාණය සාක්‌ෂාත් කළ උත්තමයෙකි. එනම් පටිච්චසමුප්පාදය අවබෝධයෙන් උන්වහන්සේ යථාර්ථය අවබෝධ කරගෙන ඇත. පෙර අවිද්‍යාව නිසා සකස්‌කළ සංස්‌කාරය ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ඵස්‌ස, වේදනා යන ඵලය හෙවත් විපාකය ඇතිවී ඇති බවත්, එම ඵලය නැවත දැන් අවිද්‍යාවෙන් ප්‍රත්‍යක්‌ෂ නොකර ගතහොත් නැවත ඵලයක්‌(විපාකයක්‌) ඇති නොවන බවත්, අවබෝධයෙන් ඇතිවන තැනම නැතිවන බව දන්නා යථාභූත ඥානය ඇති වී නිවන වන බව දැක්‌වේ.

භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න අසන භික්‌ෂුවට තවදුරටත් ධර්මය අවබෝධ වන පරිදි උපමා උපමේය ඇසුරින් ධර්මය දේශනා කළ සේක. අවසානයේ භික්‌ෂුව සෝතාපන්න විය. 

ප්‍රධාන රාජධානියේ සිටින චක්‍රවර්ති රජතුමා, හොඳින් පවුරු බැඳි දොරටු හයක්‌ ඇති ප්‍රත්‍යන්ත නුවරක රජ වූ, පාප මිත්‍රයන් සමඟ එක්‌ වී සුරාවට ලොල් වූ, තමන්ගේ පුත් කුමාරයා ඉන් මුදවා ගැනීමට, බලසම්පන්න යෝධයෙකු සහ පණ්‌ඩිත ඇමතියෙකු එම ප්‍රත්‍යන්ත නුවරට යවයි. නුවර දොරටුවේ සිටින නුවණැති දොරටුපල්ලා විසින් හඳුනන අය පමණක්‌ නුවරට ඇතුළු කර ගනී. නාඳුනන අය ඇතුල්කර නොගනී. යෝධයා සහ ඇමති දොරටුපල්ලාගෙන් නුවර කුමාරයා 

කොහේදැයි අසා, ඇතුලේ සතර මං සන්ධියේ බව දැනගෙන, ඇතුලු නුවරට පිවිසෙති. ඇමති, පාප මිත්‍රයන් සමඟ සුරා බොමින් සිටින කුමාරයාට ඉන් මිදී යහපත් ලෙස රාජ්‍ය පාලනය කරන ලෙස 

දැන්වුවත්, නො ඇසුණා මෙන් සිටි නිසා, යෝධයා කඩුව රැගෙන, කුමාරයාගේ හිසෙන් අල්ලාගෙන 'චක්‍රවර්ති රජතුමාගේ කැමැත්ත ඉටුකරනු, නැතිනම් තගේ හිස කපා දමන බව' කියා තර්ජනය කළේය. එවිට පාප මිත්‍රයෝ පලාගියහ. කුමාරයා ද බියට පත් වී අවවාදය පිළිගත්තේය. ඉන් පසු කුමාරයාව අභිෂේක කොට 'හොඳින් රාජ්‍ය පාලනය කරන ලෙස දන්වා' දෙදෙනා ම පැමිණි මගට පිළිපන්හ.

මෙහි චක්‍රවර්ති රජතුමා යනු සර්වඥයන් වහන්සේය. ප්‍රත්‍යන්ත රාජ්‍ය යනු අපගේ ශරීරයයි. දොරටු සය යනු සළායතනයි. සුරාවට ලොල් වූ කුමාරයා යනු අපිරිසිදු සිතයි. දොරටුපල්ලා යනු සතියයි. පාප මිත්‍රයන් යනු පංච නීවරණයි. යෝධයා යනු සමථය යි. පණ්‌ඩිත ඇමති යනු විදර්ශනාව යි. සතර මං සන්ධිය යනු වස්‌තු රූපය යි. අවවාදය යනු නිවන යි. ආ මග යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය වන්නේ නිවන් අවබෝධ කරන ලෙසයි. නමුත් අප ශරීරය නැමති නුවර පංච නීවරණයන් නැමති පාප මිත්‍රයන් සිටින නිසා, සිතේ යථාභූත ඤාණය ඇති නොවේ. එබැවින් සමථය වඩා නීවරණ පහ කරමින් පළමු, දෙවන, තෙවන, සිව්වන ආදී ධ්‍යාන ඇතිකරගෙන, ඒ තුළින් විදර්ශනාව වඩවා යථාර්ථය අවබෝධ කළ යුතුය. මේ සඳහා සිහිය පැවතිය යුතු අතර, ආර්ය අෂ්ටාංගික මාර්ගය ම භාවිත කළ යුතු වේ. නිවන අවබෝධයේ දී සමථයත්, විදර්ශනාවත් දෙකම අතහැරේ. අතහැරිය යුතු නැත. අවබෝධයෙන් ම අතහැරේ. 

මේ අනුව බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මය අවබෝධ කරගැනීමේ ක්‍රම බොහොමයක්‌ ඇත. ඒ අනුව ගමන් කරමින් නිර්වාණය ම සාක්‌ෂාත් කරගැනීමට වීර්ය කරමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රසන්න සිත පිරිසිදු ජලාශයකි

පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරිසීවලී හිමි

පැහැදිලි සිත පිරිසිදු ජලාශයක්‌ වගේ. පිරිසිදු ජලාශය විනිවිද දැකිය හැක. චංචල බවෙන් තොරවිය යුතුය. කුණු දූවිලිවලින් තොරවීමයි, පිරිසිදු බවේ සංකේතය. නීවරණතා ධර්ම හිත තුළ හටගත්තාම පිරිසිදු සිත අපිරිසිදු වන බව යෝගාවචරයා අත්දැකීමෙන්ම වටහා ගනී.

චතුර්වේදයේ පාරප්‍රාප්ත සංගාර නම් බ්‍රාහ්මණයෙක්‌ දිනක්‌ භාග්‍යවතුන් වහන්සේ හමුවී තමන් බොහෝ කාලයක්‌ වේද වේදාන්තයන්හි ඉතා හොඳ මතකයක්‌ තිබූ බවත් දැන් අමතකවීමේ ස්‌වභාවයට පත්වී ඇති බවත් ඊට හේතුවත් විමසීය. එවිට භාග්‍යවතුන් වහන්සේ නිතර නිතර කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම හිත තුළ ජනිතවීමත් දැනගත් දේ දිගුකල් හැදැරීම නවතාලීමත් මතකය මැකී යැමට හේතුවන බවත් වදාළහ.

'යෝගාවේ ජායති භූරි අයෝගා භූරි සංඛයෝ'

යෝගාවචර ජීවිතය ප්‍රඥව වැඩීමට හේතු වේ. යෝගී ජීවිතය පිරිහීමෙන් ප්‍රඥව ද පිරිහීමට හේතු වේ.

ආධ්‍යාත්මික ගුණ වගාවේදී මානසික දියුණුව ඇතිකර ගැනීම සඳහා පංචනීවරණ ධර්ම ගැන දැන ගැනීමත් නැතිකර ගැනීම සඳහා සුදුසු පසුබිමක්‌ දහමට අනුව සකසාගත යුතුය. නීවරණ යනු නවන වසාලන, සැනසිල්ල සතුට දියුණුව සැපය නැති කරන ධර්මතාය.

'කත්ථ කතමානි පංච නීවරණානි,

කාමච්ඡන්ද නීවරණං

ව්‍යාපාද නීවරණං

උද්ධච්ච කුක්‌කුච්ච නීවරණං

විචිකිච්ඡා නීවරණං

ඉමානි පංච නීවරණාතී'

(විභංග ප්‍රකරණය - ඛුද්දක වත්ථු විභංගය)

ඉහත පාලි පාඨයෙන් ප්‍රකාශිත නීවරණ ධර්ම හිත තුළ ජනිත වීමෙන්ම කුසල් සිත් හටගැනීම දුරු වේ. සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු එක හිතකින් පහසුවෙන් කර ගැනීමටත් යෝගාවචරයාට ධ්‍යානාංග වඩා රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන බල ඇති කර ගැනීමටත් බාධා ඇතිකරයි. 

1. කාමච්ඡන්දය - කාම ගුණයට ඇලීමයි. පංචකාම සම්පත්වලට රුචිකත්වයයි. පස්‌කම් සුවය නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ විඳීමයි. ඇස, කණ, නාසය, දිව, කය සම්බන්ධ ප්‍රසාද රූපයේ ඔපවත් ස්‌වභාවයට අරමුණු සම්බන්ධ වීමේදී ඵස්‌සය මගින් සිදුවන ධර්මතාවයේදී සිත හටගනී. සුභ හෝ අසුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය නිසා ඇලීම හෝ ගැටීම නිසා තණ්‌හාව උපදී. දැඩිව ගැනීම උපාදානය වේ. සායම් පෙවූ භාජනයකින් තම මුහුණ දැකීම හා සමාන වේ.

සුභ නිමිත්තං භික්‌ඛවේ අයොනිසෝ මනසි

කරොන්තො අනුප්පන්නෝච කාමච්ඡන්දො උප්පජ්ජති

උප්පන්නෝ ච කාමච්ඡන්දො භියේ‍යාභාවාය වේපුල්ලාය සංවත්තති''

නිමිත්ත සුඛ හෙවත් සුබ වශයෙන් ගැනීම නිසා කාමච්ඡන්දය හටගනී. සුබ වශයෙන් ගන්නේ අයෝනිසෝ මනසිකාරය නිසාය. සුබ සංඥව නැතිකිරීමට අසුබ සංඥව වඩන්න නිර්දේශ කළේ ඒ නිසාය. කායගතාසති භාවනාවේ අසුභය මෙන්ම පටික්‌කූල මනසිකාරය එකට යෙදී ඇත්තේ ඒ නිසාය.

මේ සිත අරමුණෙන් අරමුණට සම්බන්ධ වන්නේ අත්තක්‌ හැර තවත් අත්තක්‌ අල්ලා ගැනීමට පනින වඳුරකු මෙනි. වඳුරා කිසිවිටකත් තමා සිටින අත්ත අතහරින්නේ නැහැ. එහි සුව පහසු බව ඉතා හොඳ නම්ෘ තවත් අත්තකට පනින්නේ ඊටත් වඩා සුව පහසු බවක්‌ විඳීමේ කැමැත්ත ඇතිවය. සිතත් ඒ හා සමානය. පංචකාම ගුණයට සිත දැඩිව වසඟ කරයි. එහිම කි¹ බසී. ලොල්බවට පත්කරයි. කෑදරකමට බඩයි. නමුත් එහි ආදීනව බොහෝය. 'අප්පස්‌සාද බහු දුක්‌ඛා' කුරුම්බා ගෙඩියට අත දැමූ වඳුරාට වූ දේ පංචකාම ගුණ කෑදරකමින් සිටින්නාටද සිදුවේ.

ලොඳ ඇති කුරුම්බා ගෙඩියකට ලොඳ කෑමේ කෑදරකමෙන් වඳුරෙක්‌ කුඩා සිදුරක්‌ පාදාගෙන අමාරුවෙන් අත දමා හොඳට ලොඳ හූරා මිට මොලවා ගනී. මිට මොලවා ගත් අත එළියට ගැනීමට උත්සාහ කරයි. මිට මොලවාගත් අත කුඩා සිදුරෙන් එළියට ගත නොහැක. අමාරුවෙන් හූරාගත් ලොඳ අතහරින්නේද නැත. ඒ නිසාම වඳුරාට මරණයට හෝ මාරාන්තික ව්‍යසනයකට පත්වීමට සිදුවේ. එමෙන්ම පංචකාම ගුණයේ ආදීනව නොදකින පුහුදුන් අයටද සාංසාරික වශයෙන් දුගතිගාමී වී බොහෝ කාලයක්‌ මහා දුකට පත්වී දුක්‌විඳීමට සිදුවීම නොවැළැක්‌විය හැක.

ව්‍යාපාදය - තරහව, ක්‍රෝධය, පටිඝය ආදී චෛතසික සමූහයක ක්‍රියාකාරිත්වයයි. සිත රත්වූ නටන ජල බඳුන බඳුය. ක්‍රෝධය මෙලොව පරලොව මෙන්ම නිවන් සැපය නසන බරපතළ අකුසල චෛතසිකයකි. 

නත්ථි දොස සමො ඛලී

ද්වේෂය හා සමාන අපරාධයක්‌ නැත.

කුද්ධො ධම්මං න පස්‌සති

කිපුණ තැනැත්තාට හොඳ නරක නොපෙනේ.

කුද්ධෝ අත්ථං නජානාති

කිපුණ අයට තමාගේ අභිවෘද්ධිය නොසැලසේ.

අනFථ ජනනො කොධො

කිපුණ අය නිතර අනර්ථයම කරයි.

වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ගුණමකු බව, ව්‍යාපාදයට පරිබද්ධව හටගනී. මෛත්‍රී භාවනාව ව්‍යාපාදය නැති කිරීමට නිර්දේශිතය. යෝනිසෝ මනසිකාරය හෙවත් එළඹ සිටි සිහියෙන් විසීම නිසාම පටිඝය අරමුණක්‌ වශයෙන් ගෙන ව්‍යාපාදය හට නොගනී.

පටිඝ නිමිත්තං භික්‌ඛවේ අයොනිසෝ

මනසිකාරොන්තො අනුප්පන්නෝෙච්ව 

ව්‍යාපාදො උප්ප-ජති උප්පන්නො ච 

ව්‍යාපාදො භියේ‍යාභාවාය වේපුල්ලාය සංවත්තති'.

මහණෙනි, ගැටෙන නිමිත්ත, 

අයෝනිසෝමනසිකාරයෙන් ගැනීම නිසා නූපන් ව්‍යාපාදය හටගනී. උපන් ව්‍යාපාදය බොහෝ සේ වැඩේ. වර්ධනය වේ.

'ඛන්ති පරමං තපො තිථික්‌ඛා'

ක්‌ෂාන්තිය උසස්‌ම පැවැත්මයි. කාමච්ඡන්දය යනු රාගයයි. ව්‍යාපාදය යනු ගැටීමයි. ඇලීම ගැටීම යනු තණ්‌හාවයි. ඒනිසා පටික්‌කූල මනසිකාරය සහිත කායගතාසති භාවනාවෙන් රාග ගිනි නිවාලීම කළ හැක. මෛත්‍රිය භාවනාවෙන් ද්වේෂය හෙවත් ගැටීම යටපත් කර ගත හැක. මේ භාවනා දෙකම එකවිට වඩා නීවරණ ධර්ම යටපත් කර ධ්‍යාන මට්‌ටමට සිත දියුණු කරගත හැක.

ථින මිද්ධය යනු සිතේ හැකිළුණු බව, ඔතෑනි බව, අලස බව, නොපිපුණු බව, පසුබෑම, උදාසීන ගතිය, කම්මැලි බව, අකර්මණ්‍ය බව වේ. දිය සෙවෙලින් වැසී ගිය ජල බඳුනක්‌ බඳුය. එවිට ජලය ප්‍රසන්න පිරිසිදු බව දුරුවී යයි. ථීන මිද්ධය සමථ හා විදර්ශනා භාවනාවට ප්‍රධාන බාධකයකි. කුසල් දහම්හි නොඇලේ. අලස බව කම්මැලිබව ලෞකික, ලෝකෝත්තර දියුණුවට බාධක මෙන්ම පිරිහීමටද හේතු වේ.

1. ආරම්භක ධාතු 2. නෙක්‌ඛම්ම ධාතු

පරක්‌කම ධාතු වශයෙන් ථීන මිද්ධය නැතිකිරීමට සම්‍යක්‌ ප්‍රයෝග වශයෙන් භාවිත කර ඇත. යමක ආරම්භය වීර්යයෙන් කළ යුතුය. ඒ සඳහා පූර්ව කෘත්‍ය වශයෙන් පරිසරය උචිත පරිදි සකසා ගැනීම අනිවාර්ය වේ. ආරම්භ කළ භාවනාව හෝ කටයුත්ත සම්බන්ධයෙන් වහවහා ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුය. ළිඳක්‌ හාරන්නා වහා වතුර ලැබේවායි ප්‍රාර්ථනාවක්‌ නැත. ප්‍රාර්ථනා කළ තරමට ලැබෙන්නේ නැත. ඉදිරියට උනන්දුවෙන් කිරීමත් වෙර වීර්යයෙන් ඒ සඳහා කැපවීමත් නොඅඩුව සිදුවිය යුතුය. අප්‍රතිහත ධෛර්යයෙන් කැමැත්තෙන් සතුටෙන් කාර්යයෙහි යෙදීමෙන් අභිමතාර්ථය සමෘද්ධිය සිදුවනු ඇත. නෙක්‌ඛම්ම ධාතුව හා පරක්‌කම ධාතුව යනු නොපසුබස්‌නා වීර්යයි.

ථීන මිද්ධය නැති කිරීම සඳහා අවට පරිසරය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. ප්‍රසන්න බව, පිරිසිදු බව, ආලෝකය බොහෝ දැ ළංකර නොගැනීම, වීර්යයෙන් යුතු උසස්‌ උතුමන් ඇසුරු ඉරියව් විටින් විට වෙනස්‌කිරීම, එළිමහනේ සිටීම, අධික භෝජන නොගැනීම, ලැබුවාවූ මිනිස්‌ බවේ, බුද්ධෝත්පාද කාලයේ, සද්ධර්මයේ වටිනාකම මෙනෙහි කිරීම, කිසියම් හෝ ආර්ය ඵලලාභීත්වයක්‌ තවම නොලබා සිටී නම් වහාම ඒ සඳහා කටයුතු කිරීම, සසරෙහි බිය දැකීම, කල්‍යාණ මිත්‍ර ඇසුර, උතුමන්ගේ චරිතාපදානයන් නිතර සිහිකිරීම, බෝධී පාක්‌ෂික ධර් වඩාගෙන ඉදිරියට යාමයි.

උද්ධච්ච කුක්‌කුච්චය - සත සෙලවෙන, චංචල ජලාශයක ස්‌වභාවය පෙන්නුම් කරයි. චචංල සිතක සමාධිය නොවැඩේ. අලු ගොඩකට ගලකින් ගැසූ විට හැම තැනම විසිරුණු සිතුවිලිවල ස්‌වභාවය ගනී. අරමුණු හමුවේ ඒකාග්‍ර බවක්‌ නැත. උද්ධච්චය කුක්‌කුච්චය විශේෂයෙන් තමාගේ චරිතය හා සම්බන්ධව හට ගන්නා බැවින් පළමුව සීලයක පිහිටා සමාධිය වැඩීම කළ යුතුය. මෙහිදී පාරමිතා සීලය හෙවත් ලෝකෝත්තර සීලය වටවා ගැනීම නිවනට හේතුකාරක වේ.

සීලෙහි පතිට්‌ඨාය නරො සපඤ්ෙඤා්

චිත්තං පඤ්ඤංච භාවයං

ආතාපි නිපකො භික්‌ඛු

සෝ ඉමං විජටයේ ජටං

ඇතුළත ගැට, පිට ගැට නැති කර රහත් බව ලැබීමට නිර්දේශිත ක්‍රමය ඉහත ගාථා රත්නයෙහි පැහැදිලි කරයි. පළමුව සීලයෙහි පිහිටා උද්ධච්ච කුක්‌කුච්චය නැතිකරගන්න. චිත්ත භාවනාවෙන් ලෞකික සමාධිය වඩා මන ශක්‌තිමත් කර ගන්න. ඉන්පසු විදර්ශනා භාවනාවෙන් හෙවත් ප්‍රඥාවෙන් ලෝකයෙන් එතෙරවීමට කෙලෙස්‌ මුලින් උපුටා දමන්න.

විචිකිච්චාව යනු බුද්ධ, ධම්ම, සංඝ, සික්‌ඛා, පුබ්බන්ත, අපරන්ත, පුබ්බාපරන්ත, පටිච්චසමුප්පන්න ධර්ම ගැන සැකයයි. අඳුරේ ඇති දිය බඳුනක්‌ හා සමානයි. ස්‌ථිර නිගමනයකට එක අරමුණකට සිත නන්වා ගත නොහැකි බව. බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණ වැඩීම මේ නීවරණය නැති කිරීමට හේතු වේ. බුද්ධ යනු චතුරාර්ය සත්‍යයි. 

බෝධිං වුච්චති චතුසු අරිය සච්ෙච්සු ඤාණං

බුද්ධ යනු බෝධිය අවබෝධයයි. එනම් දුක්‌ඛ සමුදය, නිරෝධය, මාර්ගය, චතුරාර්ය සත්‍ය දැකීමයි. ලෝකය පදනම් කරගෙන පළමු සත්‍ය දැකීම, එනම් දුක අවබෝධයයි. ලෝකය දුක මත පිහිටා ඇත. ජරා මරණ, සෝක පරිදේව ආදී චෛතසික මාන සිත, කායික දුක්‌වලින් නිරන්තරයෙන්ම සත්වයා වෙලී පැටලී සිටින බව දැකීම, දුකට හේතුවූ තණ්‌හාව, සමුදය වේ. තණ්‌හාව සිත තුළින් නැතිකර ගතහොත් දුක නැතිවන බව දැන ගැනීම. ඒ සඳහා මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළුවීමයි. එමගින් මිච්ඡාදිට්‌ඨිය නැතිවී සම්මා දිට්‌ඨිය හෙවත් ලෝකයේ යථාර්ථය හරිහැටි දැකීම වේ. බුදුගුණ වැඩීමෙන් දහම්ගුණ සඟ ගුණද වැඩේ. මේ ගුණ වගාවෙන් විචිකිච්ඡාව දුරුවී සමථ සමාධිය වැඩිදියුණු කර විදර්ශනා සමාධිය වඩා දස සංයෝජන මුලින් උපුටා දමා නිවන් දැකිය හැකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සද්ධර්මය දෙසීම සහ ඇසීම කෙසේ විය යුතුද?

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස
''ඇවැත් ශාරිපුත්තයනි, භික්‌ෂුව කෙතෙක්‌ කරුණින් නොඇසූ දහමුත් අසාද? ඔහු විසින් ඇසූ දහමුත් අමතකව නොයේද? ඔහු විසින් නම් ධර්මයෙක්‌ සිතින් ස්‌පර්ශකොට ගන්නා ලද්දේ නම් ඒ දහම්ද, මනෝද්වාරයෙහි හැසිරෙත්ද? නොදත් කරුණුත් දැනගන්නේද''
ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ ධම්මික වර්ගයට අයත් ආනන්ද සූත්‍රයේ අඩංගු ධර්ම කොට්‌ඨාසයකුයි. ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉහත සඳහන් කළ ධර්ම කොට්‌ඨාසයේ ඇතුළත් දහම් පැණ සැරියුත් මහතෙරුන් වහන්සේ විචාරන ලද්දේය. සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් පිළිවදන් දෙන ලද්දේ ආනන්ද තෙරුන් බහුශ්‍රැත බැවින් ආනන්ද තෙරුන් විසින්ම පිළිතුරු දිය යුතු බවයි. ඒ අනතුරුව ආනන්ද තෙරුන් වහන්සේට මෙසේ පැහැදිළි කරති. 
සාරිපුත්ත තෙරුණුවනි, මේ ශාසනයෙහි භික්‌ෂුවක්‌ සූත්‍ර (සූත්‍ර දේසනා), ගෙයH (සඡ්Cධායනා කටයුතු ගාථා), වෙයHd කරණ (සංග්‍රහ නොකළ බුද්ධ වචන), ගාථා (ධම්පද, ථෙර ථෙරි ගාථා ආදිය), උදාන (ප්‍රීති වාක්‍ය), ඉතිවුත්තක (මෙසේ යෑයි දක්‌වන ලද ධර්ම), ජාතක (ජාතක කතා), අබ්භූත ධර්ම (ආශ්චර්ය, අද්භූත ධර්මයන්ගේ එකතුව), වේදල්ල (නුවණින් සතුටින් විමසන ලද දේසනා) ඉගෙන ගනියි. පුහුණු කරයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්‌තර වශයෙන් අන් අයට දේශනා කරයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්‌තර වශයෙන් අන් අයට කියවයි. ඇසූ පරිදි ඉගෙනගත් පරිදි විස්‌තර වශයෙන් අන් අයට සඡ්Cධායනා කරයි. ඇසූ පරිදි ඉගෙනගත් පරිදි ධර්මය සිතින් තර්කණය කරයි. ඒ අනුව විචාරකොට විමසා බලයි. සිතින් විමසා බලයි. මේ ආවාසයන්හි බහුශ්‍රැත වූ ප්‍රාතිමෝක්‌ෂධර වූ ථෙර භික්‌ෂුවක්‌ වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස්‌ එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළැඹ ''වහන්ස, මෙසේ කියා ඇත. මේ ප්‍රකාශයෙහි අර්ථය කුමක්‌දැයි ප්‍රශ්න කරයි. ගළපා බලයි. එසේ ප්‍රශ්න කරන ඔහුට ඒ ආයුෂ්මතුන් වහන්සේ වැසී තිබෙන දහම් කරුණු විවෘත කොට දෙත්. ප්‍රකට නොවූ දේ ප්‍රකට කොට දෙත්. සැකයට හේතු වූ නන්වැදැරුම් ධර්මයෙහි සැක දුරු කෙරෙත්.
ඉහත සඳහන් දහම් කොටස විවරණය කොට ගනිමු. මේ සම්බුද්ධ ශාසනයෙහි යම් වූද භික්‌ෂුවක්‌, භික්‌ෂුණියක්‌ හෝ උපාසකයෙක්‌, උපාසිකාවක්‌ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ සද්ධර්මය මැනවින් හැදැරිය යුතුය. එය නවාංග ශාස්‌තෘ ශාසනය ලෙස ඉහත සඳහන් කළෙමු. තමා විසින් මැනවින් හදාරා අන් අය ඉදිරියේ ආචාර්යවරයෙක්‌ හෝ කල්‍යාණ සත්පුරුෂයෙක්‌ ඉදිරියේ කියවීම අවශ්‍යය. කොපමණ දැන සිටියත් යම් තැනක දුර්වල තැනක්‌ මතුවිය හැකි බැවිනි. සම්බුදුරජාණන්වහන්සේ නමක්‌ විසින් අනන්ත බුද්ධ ඤාණයන්ගෙන් යුතුව දෙසූ දහම් පෙළ, එසේ සම්මා සම්බුද්ධ නොවූ අයෙක්‌ විසින් මෙය මෙසේමයි කියා පැවසීම සිදුකළ හැකි යමක්‌ නොවේ. රහත් උතුමන් පවා නැවත නැවතත් ධර්ම සාකච්ඡා කළේ එබැවිනි. එමෙන්ම ඉගෙනගත් ධර්මය සඡ්Cධායනා කරමින් සිතින් නැවත නැවතත් විමසා බැලීම අවශ්‍යය. එතැනින්ද නොනැවතී, බහුශ්‍රැත වූ ධර්මධර විනයධර වූ ප්‍රාතිමෝක්‌ෂය මැනවින් අනුගමනය කරන්නාවූ මහ තෙරුන් වහන්සේ නමක්‌ වෙතට ගොස්‌, උන්වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ වස්‌සාන කාලයේ වස්‌ එළඹිය යුතුය. උන්වහන්සේ වෙත වෙසෙමින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ දහම්හි අර්ථය විමසීම කළ යුතුය. ධර්ම විනයට ගළපා බැලිය යුතුය. මෙහිදී ඒ මහ තෙරුන් වහන්සේ විසින් තමා සතු ධර්මධර හා විනයධර බවින්ද ශාසනයෙහි බොහෝ කල් වැඩ වසමින් ලද පරිණත බවද උපකාර කොටගෙන, මේ ප්‍රශ්න කළ ආයුෂ්මතුන් වහන්සේට නොපෙනෙනු, නොහැඟුණු තැන් විවෘත කොට දෙති. ප්‍රකට නොවූ සියයුම් ධර්ම කොටස්‌ ප්‍රකට කොට දෙති. සැකයට හේතුවූ නන්වැදැරුම් ධර්ම කොටස්‌වල සැක දුරුකොට හරිති. බොහෝ මහතෙරවරු ඒ මහාථෙර බවට පත්වූයේ සාමණේර භාවයේ සිට වත් පිළිවෙත් මැනවින් පුරුදු කොට ධර්ම විනය ආචාර්ය උපාධ්‍යාය යටතේ බොහෝ කලක්‌ පුරුදු කිරීමෙන් අනතුරුවමය. උපසම්පදා වීමෙන් aඅනතුරුවද ආචාර්යවරයාගේ අනුමැතිය ලැබෙන තෙක්‌ අවුරුදු පහක්‌ දක්‌වා කාලයක්‌ වුවද වත් පිළිවෙත් සම්පූර්ණ කරමින් ධර්ම විනයෙහි ශික්‌ෂණය ලැබීමට සිදු විය. ලෞකික විෂයන් කෙරෙහි කොපමණ දැනුමක්‌ පැවැතියද කාලයක්‌ පුරා ධර්ම විනයෙහි හික්‌නොවුණු අයකුට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරමාර්ථ ධර්මය පිළිබඳ නිසි අවබෝධයකට පැමිණිය නොහැකි වීමට අවස්‌ථා ඇත්තේය. මේ නිසා ධර්ම විනය පිළිබඳ තම පෞද්ගලික අදහස්‌ ප්‍රකාශ කිරීමේදී සාකච්ඡාකොට විමසා බැලීම ධර්ම විනයට අනුගතවම ප්‍රකාශ කළ යුතුය. 
ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති. සාරිපුත්ත තෙරුණුවනි, මේ සඳහන් කළ කරුණින් යම් භික්‌ෂුවක්‌ නොඅසන ලද ධර්ම අසයි. අසන ලද ධර්ම අමතකව නොයයි. එනම් සතියෙන් බැහැර නොයයි. එමෙන්ම පෙර සිතින් දරාගත් ධර්මයෝද ඔහුගේ මනෝද්වාරයෙහි පවතිත්. හැසිරෙත්. නොදත් කරුණුද දැනගන්නේය.
සාරිපුත්ත තෙරුණුවන් වහන්සේ මෙසේ සඳහන් කරති. ඇවැත්නි, ආශ්චර්යයි. මහත්සේ ගෞරව කළ යුතුය. ආනන්ද තෙරුන් වහන්සේ විසින් මෙය මනාකොට ප්‍රකාශ කරන ලද්දේය. අප විසින් ආනන්ද තෙරුන් වහන්සේ සද්ධර්මයෙන් සමන්වාගත අයෙක්‌ කොට සළකන්නේ වෙමු. 
1. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සූත්‍රය, ගෙය්‍ය, වෙය්‍යාකරණ ගාථා, උදාන ඉතිවුත්තක, ජාතක අද්භූධර්ම, වේදල්ල යන ධර්ම මැනවින් පුහුණු කරත්. 2. ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්‌තර විභාගකොට අන් අයට දේශනා කළත්, 3. ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය විස්‌තර වශයෙන් අන් අයට කියවත්. 4. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි ඉගෙනගත් පරිදි සඡ්ජායනා කෙරෙත්. 5. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය සිතින් තර්කනයට ගෙනෙත්. නැවත විවරණ බලත්. මනසින් මනාව විමසා බලත්. 6. ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ යම් ආවාසයෙක බහුශ්‍රැත විශිෂ්ට ලෙස ධර්මයට පැමිණි ධර්මධර හා විනයධර ප්‍රාතිමෝක්‌ෂයෙන් පිරිපුන් මහතෙර නමක්‌ වෙසෙත් නම් කලින් කල ඔවුන් වෙත එළැඹ ධර්ම විමසත්, නැවත නැවත ප්‍රශ්න කරත්. 'වහන්ස, මෙසේ සඳහන් කොට ඇත්තේය. මේ භාෂණයේ එනම් මෙම බුද්ධ වචනයේ අර්ථය කවරේද? යනුවෙනි. ඒ මහතෙරහු ආනන්ද තෙරණුවන්ට වැසී තිබූ ධර්ම විවෘත කොට පෙන්වත්. ප්‍රකට නොවූ සියුම් ධර්ම පවා ප්‍රකට කොට දක්‌වත්. සැකයට කරුණු වූ නන්වැදැරුම් ධර්මයන්හි සැක ද දුරු කෙරෙත් යනුවෙනි.
පින්වත් වූ ඔබත් කවර නම් අයෙක්‌ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ඒ සද්ධර්මය ප්‍රකාශ කරන්නේද, රාග, දෝස, මෝහ බැහැර කරගෙන කෙලෙස්‌ 'සන්සිඳුවමියි' යන අදහසින්ම භාග්‍යවතුන් වහන්සේ ශාස්‌තෘත්වයෙහි පිහිටුවාගෙන ශ්‍රවණය කරන්න. ධර්මය කියවන්න. සාකච්ඡා කරන්න. විමසා බලන්න. ධර්මධර විනයධර නවාංග ශFථු ශාසනයෙහි (සුත්ත, ගෙය්‍ය, පුහුණු වූ තෙර නමක්‌ හා සමඟ සාකච්ඡා කොට සැක දුරුකර ගන්න. මම මේ අය පමණක්‌ම පවසන දේ මිස අන් අයට ඇහුම්කන් නොදෙමියි දෘෂ්ටිගත නොවන්න. ඒ අය ධර්මය තමාටම වසා ගැනීමකි. නිතොරම අඡ්Cධත්ත (තමා කෙරෙන්ම) බහිද්ධ (බාහිර ආරම්මණයන්හි) ලෙසින්ද ගළපා බලන්න. තණ්‌හා, මද, මාන, දිට්‌ඨින්හි සිත පිහිටුවා ගත් අයෙක්‌ නොවීමට සතර සතිපට්‌ඨානයෙන් යුතු සිහියම පවත්වන්නට අදිටන් කරගන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤