ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ප්‍රවේසමෙන් පිට කළ යුතු වචන

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

ධර්මය යනු මේ ලෝකය සැමදාමත් ගමන් කරනු ලබන රිද්මය සහ විලාසයයි. එය ලෝක ස්වභාවය වෙයි.යම් යම් පුද්ගලයන් තමාගේ මනස තුළ ප්‍රශ්න වැඩි වශයෙන් තබාගෙන සිටීම නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමට හේතු වෙලා තිබෙනවා. මනස තුළ පවතින ප්‍රශ්න ගැටලු අඩු පිරිස් සාමාන්‍ය ලෙස අසනීප වුවත් , මනස තුළ ප්‍රශ්න වැඩි පිරිස් වැඩි වශයෙන් අසනීප වෙයි. මනස තුළ ප්‍රශ්න තැන්පත් නොකර සිත සැහැල්ලු කරගත යුතුයි. තමාගේ ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක් නම් එම ගැටලු සහගත බව මනස තුළ රඳවාගෙන සිටීම නිසා තමාට අකුසල් සිද්ධ වෙයි. තමාට මතුවන ගැටලුවට නිවැරැදි නිශ්චිත නිරවුල් විසඳුම් සොයාගත යුතුයි. ඇතැම් වැඩිහිටියන් පුරුද්දක් ලෙස ප්‍රශ්න මනස තුළ රදවාගෙන සිටීයි. ඇතැම් අම්මාවරුන් ඇතැම් ආච්චි අම්මාවරුන් ඉතාම තරහෙන් යුතුව පිපිරී පිපිරී විවිධ ප්‍රශ්න මනස තුළ තබාගෙන සිටියි. මුහුණ දැක්කත් තරහෙන් අහක බලන ගති සිරිත් ඇතැම් කෙනෙක් තුළ දක්නට ලැබෙයි.
තමාගේ වචන පරිහරණය කළයුතු ආකාරය පිළිබඳව නිවැරැදි අවබෝධයක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබුෙවි කටින් වුවත්, එම කට ශ්‍රී මුඛය ලෙස හඳුන්වයි.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටතට දැමූ කාරණා ලෝකයටම ශාන්තියක් වූ නිසාත් සමාජයට අර්ථයක් වූ නිසාත් ,ශ්‍රී මුඛය ලෙස ගෞරවයෙන් යුක්තව හඳුන්වනු ලබයි. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් ධර්මය දේශනා කළ අතර අප කටින් වචන පිටකරයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රි මුඛයෙන් එළියට දැමු වචන තුළින් සැමදාමත් ලෝකයට අර්ථයක් වන ආකාරයෙන් යුක්තව දේශනා කළ වචන ශ්‍රී සද්ධර්මය ලෙස හඳුන්වයි. තමාගේ කට තමාට පමණක් වැදගත් නොවන අතර තමාගේ නිවස තුළ තවත් පුද්ගලයන් සිටින බව දැන ගත යුතුයි. වචන තුළ පවතින කරුණාව සහ ප්‍රඥාාව එකකට එකක් වෙනස් වෙයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය ලෝකයට දේශනා කිරීෙමිදී උන්වහන්සේගේ මනස තුළ මහා කරුණාව මහා ප්‍රඥාව පැවතුණා.බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථනයන්හි ධර්මය දේශනා කරන විට මහා කරුණාවෙන් ධර්මය දේශනා කළ අතර ඇතැම් අවස්ථාවල මහා ප්‍රඥාවෙන් ධර්මය දේශනා කරනු ලැබුවා. ඇතැම් අවස්ථා තුළ ධර්මය දේශනා කරන විට කරුණාවත් ප්‍රඥාාවත් සමසේ තබා ගනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ සුනීතට, සෝපාකට ධර්මය දේශනා කරන අවස්ථාවෙහි මහා කරුණාවෙන් යුක්තව ධර්මය දේශනා කළා.ආලවක වැනි පුද්ගලයන්ට ධර්මය දේශනා කරන්නට යෙදුණේ මහා ප්‍රඥාාවෙන් යුක්තවයි. වචනයට පුද්ගලයෙකු දමනය කිරීමේ හැකියාව පවතී.මිනිසුන් මෙල්ල කිරීම සඳහා ලෝකය තුළ කෙතරම් අවි අයුධ පැවතියත් ප්‍රඥාගෝචර වචන තුළින්ද මිනිසුන් දමනය කළ හැකිය.අප එදිනෙදා කතාකරන විට හිතා බලා ප්‍රඥාාවෙන් යුක්තව වචන පිට කළ යුතුයි. ප්‍රඥාාව නැති වචන සියයකට වැඩිය ප්‍රඥාසම්පන්නව කටින් පිටතට දමන වචනය වැදගත් වෙයි. ශරීරය තුළ තිබෙන්නාවූ සෑම අවයවයක්ම වැදගත් වුවත්, එම සියලු අවයවයන්ට වඩා කට වැදගත් වෙයි.දැනුමක් සහිත පුද්ගලයා කනෙන් ශබ්ද ලබාගන්නා විට මනසට වැදගත් ශබ්ද පමණක් ලබාගන්නා අතර නොදැමුණු පුද්ගලයා අවුල්කාරී ශබ්ද කනෙන් අසමින් මනස තුළට අවුල් දමාගනී.

විශාල ගෙවල් දොරවල් හදාගෙන, ලස්සනට ඇඳ පැළඳ ගෙන, යාන වාහන පාවිච්චි කරමින් සිටියත්, ඔහු කරන ක්‍රියාවෙන් ඔහුගේ තත්ත්වය පැහැදිලි වෙයි. එම සියල්ලම සිත විසින් මෙහෙවනු ලබයි.දැමුණු පුද්ගලයා තමාගේ ජීවිතයට වගේම සමාජයට යහපත වන ආකාරයේ යහපත් රූප ඇසෙන් ලබාගනී.නොදැමුණු පුද්ගලයා අවුල් සහගත අපිළිවෙළ රූප ඇසෙන් ලබාගනී.ඇසට විලාසිතා කරමින් කෙතරම් ලස්සන කළද වඩාත් වැදගත් වන්නේ ඇසෙහි යථාර්ථයයි. සියලු දෙනාටම ඇස් තිබුණත් ඒ ඒ පුද්ගලයන් ඇසෙන් ලබාගන්නාවූ ප්‍රයෝජන සහ අවබෝධය වෙනස් වෙයි.ඇස්, කන් දෙකක් වශයෙන් ලබාදී තිබුණත් එක කටක් පමණක් ලබාදී ඇත.බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයටම නායක්වය සැපයූයේද ශ්‍රී මුඛයෙන් නිසා අපටත් කට ඉතාම වැදගත් වෙයි. දේවදත්ත හාමුදුරුවන් අපායගාමී වීමට බලපෑවේද එම කටමයි.
බුදුරජාණන් වහන්සේ කට සඳහා නීති දමා ඇති බවට සිතුනත් එම නිතී බොහොමයක් සිතට දමා ඇත.මනස තුළ පවතින අදහස් වචන ලෙස කටින් පිටතට පැමිණෙයි. සිතෙහි කේන්තිය පවතින අවස්ථාවක කටින් වචන පිට කිරීම තහනම් වෙයි. අම්මාවරුන්ගේ කොණ්ඩය සුදුපැහැ ගැන්වී ශරීරය රැලි වැටෙන්නේ දරුවන් වෙනුවෙන් වෙහෙස වීම නිසා වුවත්, ඇතැම් අම්මාවරුන්ගේ කට නිසා ඇතැම් දරුවන්ට අම්මා එපා වන අවස්ථා නැතිවා නොවෙයි. මනස තුළ කේන්තිය පවතින අවස්ථාවක වචන කතා කිරීම තහනම් බව ඇතැම් අම්මාවරුන් දන්නේ නැහැ.මනස තුළ කේන්තිය පවතින අවස්ථාවල තමන් කතා කරන වචන තුළ පාලනයක් නැත. සිහිකල්පනාව ඇති විට කතාකිරීමට සිතුනත් තැන නොතැන බලා සිතා බලා කතා කරනවා මිස එසේ නොමැතිව කතාකිරීමට පෙළඹෙන්නේ නැහැ. කේන්ති ගිය ප්‍රද්ගලයාගේ සිත පාලනය කරගැනීමට නොහැකි නිසා සිතට එන එන දේ කියා දමයි.කේන්තිය බරපතල ගැටලුවක් නිසා කේන්ති පවතින අවස්ථාවක වචනය කටින් පිට කිරීම තහනම් බවට බුදුරජාණන් වහන්සේ නීතියක් ද පනවා තිබෙනවා. ඇතැම් වචන තොල සමීපයට පැමිණියත් පිටතට නොදැමිය යුතුයි.අප වචනයක් එලියට දමන විට එම වචනය පිට කරන්නේ කුමක් සඳහාද ? යන්න තුන් වතාවක් සිතිය යුතුයි මනස දැනුමෙන් හිස් නම්, ජීවිත අත්දැකීම් අඩු නම්, සමාජ අත්දැකීම් අඩුනම්, එම අඩුවීමත් සමඟ කටවල්වල ශබ්දය වැඩිවෙයි. මෝඩ මිනිසුන් ගැහැනුන් කෙතරම් කතාකරනවාද? සොයාබලන්න. ඔවුන් කේන්තියෙන් , වෛරයෙන් යුක්තව කතා කරයි. අප වචනයක් කතා කරනු ලබන්නේ තවත් පුද්ගලයෙකුගේ ශ්‍රවණය සඳහා බව අවබෝධ කරගත යුතුයි.තමා වචනයක් කතා කරන විට එම එලියට දැමීමට යන වචනය එලියට දැමීමට පෙර තුන් වතාවක් සිතා පිට කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.අපේ හඬ වායුගෝලයට මුදාහරින විට එම හඬ ඇසෙන පිරිස් සිටී. එම හඬ අසම්න් දැනුම අවබෝධය ලබාගන්නා පිරිස් සිටින බව සිතිය යුතුයි.

ඇතැම් පුද්ගලයන් තකා කරන හඬ අසාගෙන සිටින විට නොතිබුණ කේන්තියක් මනසට ඇතිවෙයි. වෙනත් පුද්ගලයෙක් කතා කරන වචන නිසා අපගේ මනස කේන්තියෙන් ඇළලී යන අවස්ථා නැතිවා නොවෙයි. ඇතැම් පුද්ගලයන් කතා කරන වචන අසන විට අපගේ මනස තුළ පවතින කේන්තිය ක්‍රමයෙන් අඩුවෙලා යයි. මනස තුළ පැවැති මහා ප්‍රශ්න ගොඩ ලිහිල් වී ප්‍රශ්නයක් නොමැති තත්ත්වයට පත්වෙයි.
මනස තුළ කේන්තිය පවතින අවස්ථාවක වචන කතා නොකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ නීතියක් පනවා ඇත. කේන්ති මනසින් යුතුව නුසුදුසු වචන කතා කළ විට තමාට හානියක් වනවා මිස,ලාභයක් වන්නේ නැහැ. වර්තමාන සමාජය තුළ තරහෙන් කේන්ති ගන්නා පුද්ගලයන් වැඩි පුර දක්නට ලැබෙන අතර එය මානසික රෝගයක් වෙයි.වැඩිපුර කේන්ති ගන්නා පුද්ගලයන් මානසික රෝගියෙකු විය හැකිය. ඇතැම් අම්මාවරුන් නිතරම තරහෙන් කේන්තියෙන් වෛරයෙන් සිටින අවස්ථා දක්නට ලැබෙයි. ඇතැම් අවස්ථාවල අපගේ චර්යාවන් වෙනස් වීමට භාජනය වන්නේ අපටත් නොදැනීමයි. තමාගේ කේන්තිය සඳහා තමාට වාසි වන ආකාරයේ හේතුවක් ප්‍රකාශ කරයි. කේන්ති යාමට පවතින විසඳුම කේන්ති නොගැනීම මිස වෙන සාධාරණ හේතුවක් නැහැ. තමා වැඩ කරනු ලබන්නේ කේන්තියෙන්ද යන්න සැම විටම සිතිය යුතුයි. එසේ නොසිතීමෙන් තමාගෙන් විශාල අකුසල් ප්‍රමාණයක් සිදුවෙයි. තමන් කතා කළ වචනයක් නිසා කිසියම් පුද්ගලයෙකුට අසාධාරණයක් සිදුවුවහොත්,තමා කතා කළ වචනය නිසා එම අසාධාරණය තිබෙන කම් තමන්ට අකුසල් සිදුවෙයි. තමන් කතා කළ වචනයක් නිසා වෙන අයෙකුගේ විවාහයක් කැඩී ගියහොත් එම විවාහය පිරිද්දෙන තුරු තමා කරගත් අකුසල් ඉවත් වන්නේ නැහැ. මල් වට්ටියක් පුජා කළාට එවැනි අකුසල් ගෙවන්න බැරි තරම් බරපතල වෙයි. එම නිසා බුදුරජාණන් වහන්සේ වචනය වැදගත් බව දේශනා කර ඇත. මනස තුළ කේන්තිය පවතින අවස්ථාවක වචනය පිට කිරීම තහනම් වන අතරම තමාගේ කටට එන වචන හොඳට සිතා බලා සමාජයට ප්‍රියශීලි වන ආකාරයට පමණක් පිට කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. අප්‍රිය ජනක අප්‍රියශීලී වචන එලියට දැමීම තහනම් වෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සත්ත්වයා යනු සසරට ඇලුම් කරන්නායි

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ සම්මා දිට්ඨි සූත්‍රය ඉතාම ගම්භීරවූත්, සුන්දරවූත් සූත්‍ර දේශනාවකි. මෙම සම්මා දිට්ඨි සූත්‍රය වාර දහසයකට බෙදා ඇත. එහි ජරා මරණ වාරය පිළිබඳව මෙසේ පැහැදිලි කරමු
ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ජරා මරණ මනාලෙස දැනගනීද, ජරා මරණ සමුදය මනා ලෙස දැන ගනීද, ජරා මරණ නිරෝධය මනා ලෙස දැන ගනීද, එපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි. ධර්මය පිළිබඳ ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. දහම දැන පැහැදුනේ වෙයි. ධර්මයට පැමිණ වාසය කරන්නෙක් වෙයි.
ආයුෂ්මතුනි, ජරා මරණ යනු කවරේද? ජරා මරණ සමුදය යනු කවරේද? ජරා මරණ නිරෝධය යනු කවරේද? ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව යනු කවරේද?
ජරාවට පත්වීම යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන් ඒ ඒ සත්ත්ව කොටස්වල යම් දිරීමක්, දිරන බවක්, කැඩුණු බවක්, කෙස් ආදියෙහි පැසුණු බවක් රැළි ගැසුණු බවක්, ආයුෂ පිරිහීමක් ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද එය ජරාවයි.
මරණය යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව කොටස්වලින් යම් චුතවීමක්, බිඳීමක්, අතුරුදහන් වීමක්, මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරය බහා තැබීමක් වේද, එය මරණය වෙයි. මෙසේ ජරාවත් මේ මරණයත් දෙක එක්වීමෙන් ජරා මරණ නමින් නම් වේ. ඉපදීම හේතුවෙන් ජරා මරණ දෙක ඇතිවේ. ඉපදීම නැති කිරීමෙන් ජරා මරණ දෙක නැති වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ජරා මරණ නැති කිරීමේ මාර්ගය වේ.
ජරාව සහ මරණය
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා මෙසේ ජරා මරණ දනීද, ජරා මරණ සමුදය දනීද, ජරා මරණ නිරෝධය දනීද, ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව දනීද හෙතෙම රාගය අත්හැර ද්වේශය අත්හැර මානය අත්හැර, අවිද්‍යාව අත්හැර විද්‍යාව උපදවා මේ ආත්මභවයෙහිදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි.
දහම පිළිබඳව ව වන ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. ධර්මයෙහි අචල වූ පැහැදීමකින් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණ වාසය කරන්නෙක් වෙයි. මේ සම්මා දිට්ඨි සූත්‍ර දේශනාවෙහි ජරා මරණ ගැන දක්වා ඇති ආකාරයයි.
මෙහිදී සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ජරා සහ මරණ යන ධර්මතා දෙක පදනම්ව චතුරාර්ය සත්‍යය වටහා ගන්නා ආකාරය පැහැදිලි කර දීමක්. මෙහිදී ජරාව සහ මරණය අයත් වන්නේ දුක්ඛ සත්‍යයටයි. ජරා, මරණ සමුදය ජාතිය ලෙසත්, ඉපදීම දුක්ඛ සමුදය ලෙසත්, ඉපදීම නැතිකිරීම හෙවත් ජාති නිරෝධය වූ කල්හි එය දුක්ඛ නිරෝධය ලෙසත්, ජරා මරණය නිරෝධය සිදුවන්නේ ජාති නිරෝධය සිදු වන විට බවත් ජාති නිරෝධය සිදු කිරීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළයුතු බවත්, එය දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව හෙවත් ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව ලෙස වදාළ සේක.
හේතුව සහ ඵලය
පටිච්චසමුප්පාද ධර්මයට අනුව දුක ඇතිවීමට හේතුවන කාරණාව විටෙක ඵලයක් ලෙසින්ද, ක්‍රියාත්මක වන බැවින් හේතුවද, ඵලයද යන දෙකම නැතිකිරීම දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව ලෙස දැකිය යුතුයි. ජරා මරණ නම් වූ කාරණය දුකක් නම් ඒ දුකට මුල් වූයේ ඉපදීමයි. ඒ අනුව ඉපදීම හෙවත් ජාතිය යනු ජරා මරණ සමුදය යි. දුක්ඛ සමුදයයි. කිසිවෙකුත් හෝ කිසිවක් ඉපදුනේ නැතිනම් හට ගත්තේ නැතිනම් ජරා මරණයන්ට ගොදුරුවීමක් ද සිදුවන්නේ නැහැ. ජරා මරණ දුකට පත්වීමක් වන්නේ නැහැ. එතැන ඇත්තේ ජරා මරණ නිරෝධය යි. නැත්නම් දුක්ඛ නිරෝධය යි. ඒ ජරා මරණ දුකින් මිදෙන්නට නම් ඉපදීම නවතාලිය යුතු වෙනවා. ඒ සඳහා අනුගමනය කළයුතු මාර්ගය වන්නේ ඉපදීම නිරුද්ධ කරන මාර්ගය යි. ඉපදීම නැතිකරන ලෙසින් යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේ නම් එය ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව සේම ජාති නිරෝධගාමිනි ප්‍රතිපදාව හෙවත් දුක්ඛ නිරෝගාමිනි ප්‍රතිපදාවයි.
ඒ වගේම සම්මා දිට්ඨි සූත්‍රයෙහි සඳහන් වෙනවා සත්ත්වයා යනු භවයෙහි ඇලුන තැනැත්තායි. පංචස්කන්ධය උපාදානය කර ගත් සත්ත්වයන්ට පැවැතිය හැකි ප්‍රධාන ස්ථාන තුනක් තිබෙනවා. ඒ ත්‍රිවිධ භවය යි. කාම භව, රූප භව හා අරූප භවය යන ත්‍රිවිධ භවයනුයි. මේ භවත්‍රයෙහි ඒ ඒ සත්ත්වයන්ට පැවැතිය හැකි අනු කොටස් තිබෙනවා. ඒවා නිකාය නමින් හඳුන්වයි. මිනිසුන් ජීවත් වන කොටස මනුෂ්‍ය නිකාය, දෙවියන් ජීවත්වන කොටස දේව නිකාය වශයෙන් දක්වා තිබේ. මරණයකදී සිදු වන්නේ මේ විවිධ කොටස්වල ජීවත්වන සත්ත්වයන් ඒ තමන් ජීවත්වන කොටසින් ඉවත් ව යාමයි. මේ ජරා මරණ තුළින් මරණය පිළිබඳව මෙතැන් සිට සාකච්ඡාවට බඳුන් කෙරේ.
ඉපදීම කොටස් හතරකි
මරණය සිදුවන්නේ මේ ලෝකයෙහි සත්ත්වයන් පහළවන ස්වභාවයට සාපේක්ෂවයි. පහළවීමේ ස්වභාවය අනුව ඒ ලොව සිටින සත්ත්වයන් ප්‍රධාන කොටස් හතරකට බෙදෙයි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යනු ඒ වර්ග හතරයි. අණ්ඩජ යනු, බිත්තර වලින් උපදින සත්ත්වයන්, ජලාබුජ යනු මව්කුස ඇසුරෙහි උපදින සත්ත්වයන්, සන්සේදජ යනු කුණු වූ පලතුරු, මඩ මිශ්‍ර තෙත් පරිසරයේ උපදින සත්ත්වයනුයි. ඕපපාතික යනු දෙවියන් බඹුන් වැනි ඉබේ පහළ වන සත්ත්වයන්ය.
ජීවිතය බිඳී යාම මරණයයි
මරණය විස්තර කිරීමේදී 'චුති' යන වචනය දක්වා ඇත්තේ ඕපපාතික සත්ත්වයන්ගේ මරණයයි. චුතවෙනවා යනු රූප කාය ඉතිරි කරන්නේ නැතිව අතුරුදහන් වීමයි. දෙවියන් බඹුන් ආදීන් චුත වන විට ඔවුන්ගේ සිරුර එම ලෝකයේ ඉතිරි වන්නේ නැහැ. එයද අතුරුදහන් වෙනවා. චවනතා යනු ඉතිරි කොට යාමයි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ යන ක්‍රමවලින් උපදින සත්ත්වයන් සියල්ලන්ම මරණයේදී තම රූපකායයන් මේ ලොව ඉතිරි කර යනවා. එය චවනතා වශයෙන් දක්වා තිබෙනවා. සර්පයෙක් හැව අතහැර යන්නා සේ මරණයට පත්වීමේදී සිරුර ඉතිරි කොට මැරෙන සත්ත්වයන් ගැන මෙහි දක්වා තිබෙනවා. භේදෝ යනු ජීවිතින්ද්‍රියෙහි බිඳී යාම හෝ සිඳීයාමයි. ජීවිතය බිඳීයාමෙන් සිදු වන්නේ ද මරණයයි. සත්ත්වයෙකුට ජීවත්වීමට නියමිත වයස් සීමාවක් ඒ ඒ සත්ත්ව නිකායවල සම්ප්‍රාප්තියක් ලෙසින් පවතිනවා. එහෙත් ඒ ඒ නිකායවල පහළ වෙන සෑම සත්ත්වයෙකු ම ඒ වයස් සීමාව පසුකොට මැරෙනවා යැයි නියමයක් නැහැ. කර්මානුරූපීව එය වෙනස්විය හැකිය. සම්මත ලෝකයෙහි ආයුෂ අවසන්වීමෙන් සිදුවෙන මරණය ආයුක්ඛය මරණය වශයෙන් දක්වා තිබෙනවා. එසේ ආයුක්ඛය මරණයට පත්වීම මෙහිදී කාලකිරියා වශයෙන් දක්වනවා. සත්ත්වයෙක් බිහිවන්නට හේතුවෙන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ එක්වීම, බිඳවැටීම, කොටස් නම් රූපස්කන්ධය ඇසුරේ පවතින වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතර ඒ රූපස්කන්ධයෙන් බිඳීයාම බන්ධානං භේදෝ යනුවෙන් දක්වනවා.
එසේ රූපයෙන් නාමයන් ඉවත් වූ විට එම රූපය තුළ ජීවයක්, ජීවිතින්ද්‍රියක්, ප්‍රාණයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. එම රූපය සත්ත්ව පුද්ගල සඤ්ඤාවෙන් හඳුන්වන්නේ නැහැ. ඉන් පසු රූපය මෘත දේහය හෝ මළ සිරුර යන නාමයන්ගෙන් හඳුන්වයි. නාම ධර්ම රූපයෙන් නික්ම යාම තුළ මළ සිරුරක් බවට පත්වෙන රූපය පසුව පොළොවට පස්කර දමනවා. නිවසින් ඉවත්කර දමනවා.
තවද මරණය ක්ෂණික මරණය හා සංවෘත මරණය වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වා තිබෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවන නාමරූප ධර්මයන්ගේ බිඳීම ක්ෂණික මරණය යි. සත්ත්වයන්ගේ ජීවිතය සිඳීයාම සංවෘත මරණය හෙවත් සම්මුති මරණය යි.
මරණයේ ක්‍රම හතරකි
එසේම මරණ ක්‍රම හතරක් ගැන ධර්මයෙහි සඳහන්.
1. ආයුක්ඛය මරණය – ලෝකයෙහි සම්මත ආයු ප්‍ර‍්‍රමාණය අවසන් වී සිදුවන මරණය
2. කම්මක්ඛය මරණය – ජනක කර්මයට අනුව මෙලොවට එන විට ගෙනා කර්ම ශක්තිය ගෙවීමෙන් සිදු වන මරණය
3. උභයක්ඛය මරණය – ආයුෂ හා කර්මය යන දෙකම එකවර අවසන් වන මරණය
4. උපච්ඡේදක මරණ – ආයුෂත්, උපත ලබා දුන් ජනක කර්ම ශක්තියත් තිබියදී සංසාරගත වෙනත් කර්මයක් බලවත්ව නැඟී ඒමෙන් සිදුවන මරණය ලෙස මරණය කොටස් කර ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කෝප ගින්න සිත දවයි

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන 
අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

ඉකුත් පෝය දිනයන්හි සිට සාකච්ඡා කරමින් පැමිණි මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් කකචූපම සූත්‍ර දේශනාවෙහි, තථාගත බුදුරජාණන් වහන්සේ ඵග්ගුන භික්ෂුවට සඳහන් කළ දහම් කරුණු කිහිපයක් නැවත සිහිපත් කරමු.
ඵග්ගුන ඔබ ඉදිරියේ යම් කිසි කෙනෙක් ඒ භික්ෂුණීන්ට අතින් පහර දුන්නොත්, ගල්වලින්, පොළුවලින් ගැසුවොත් ආයුධයකින් පහර දුන්නොත් ඔබ තුළ ඒ භික්ෂුණීන් කෙරෙහි යම් බැඳීමක් ඇතිවුණොත් ඒ බැඳීම් සහිත සිතිවිලි ඇති වුණොත් ඒවා දුරු කරන්නට ඕනෙ. එවිට ඵග්ගුන ඔබට මේ ආකාරයෙන් හික්මෙන්න පුළුවනි, කෙසේද? මම මගේ සිත වෙනස් කර ගන්නෙ නැහැ. නපුරු වචන කියන්නෙ නැහැ. හිතානුකම්පීව වැඩ සිටිනවා. ද්වේශයෙන් තොරව මෛත්‍රීයෙන් සිටිනවා කියලයි. ඔබ මාගේ ඒ අනුශාසනාව අනුව හික්මෙන්නට ඕනෙ.
මේ දහම් කතාව ඇසෙන විට, කියන විට, කියවන විට, ඔබට කුමක් ද සිතෙන්නෙ. ඇලීම් ගැටීම් පවතින, කෙලෙස් සහිත සිත්වලට නම් මෙය ප්‍රායෝගික වදන් පෙළක් බවට පත්වෙන එකක් නැහැ. එයට හේතුව තමන්ගේ ප්‍රියවන්ත කෙනෙකුට කවුරු හරි ගහනවා නම්, බනිනවා නම්, මගේ සිත වෙනස් කර ගන්නෙ නැතිව සිටින්නෙ කොහොමද? කියා සිතිවිලි පහළවෙන්නට පුළුවනි. මෙය කියවන ඔබ අම්මා කෙනෙක් නම්, තාත්තා කෙනෙක් නම් දරුවෙකුට සිදුවන විපතක් කෙරෙහි ඔබේ සිතෙහි සකස්වෙන සිතිවිලි පිළිබඳව ඔබට ම සිතා ගන්න පුළුවනි.
ස්වාමි පුත්‍රයෙකුටත් ස්වාමි දියණියකටත් මෙම දහම් කතාව සම්බන්ධ කරගෙනම දකින්න පුළුවනි. එනම් තමන්ගේ ස්වාමියාට යම් කෙනෙකුගෙන් වරදක්, විපතක් වෙනවා නම් මගේ සිතෙහි සිතිවිලි මොන ආකාරයට සකස්වෙයි ද? තමන්ගේ ස්වාමිදියණියට යම් විපතක් වේ නම් හෝ අන් අය කරන කරදරයකට මුහුණ දෙයි නම් තමන්ගේ සිතේ සකස්වෙන සිතිවිලි කුමන ආකාරයකට පත්වෙයිද? තමන්ගේ කියන ඕනෑම අයකුට තමන්ට සම්බන්ධයක් ඇති පිරිසකට යම් වරදක් වේ නම් එය තමන්ගේ දෑස ඉදිරියේ ම සිදුවෙයිනම් තමන්ගෙ සිතේ සකස්වෙන සිතිවිලි කවර ආකාරයක් දැයි ඔබට සිතා ගන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේගේ දහම මෙවැනි දහමකුයි එනම්,
“අඤ්ඤාභි ලාභු පනිස
අඤ්ඤා නිබ්බාණ ගාමිනී”

ලෞකික ජීවිත පැවැත් ම එක ආකාරයක්, නමුත් නිවන් මාර්ගය තවත් ආකාරයකුයි. තවත් ලෙසකින් සඳහන් කළොත් බොහෝවිට ලෞකික ලෝකය හා පැවැත්ම සිදුවෙන්නෙ 'අනුසෝතගාමී' මාර්ගයකයි. එනම් ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් පිරිපුන් ලෝකයා ඒ ලෝභ දෝෂ, මෝහ හා සමගින් ම ජීවිත පවත්වාගෙන යනවා. එය තමයි සාමාන්‍ය මනුෂ්‍යයන් අතර පවතින අදහසක් වන්නේ, එනම් යම් අයෙක් පහර දුන්නොත්, බැන්නොත්, වරදක් කළොත් තමනුත් ඒ ආකාරයෙන් පෙරලා ක්‍රියා කිරීම 'අනුසෝතගාමී' මාර්ගයයි.

එහෙත් තුන්ලොවක් සැනසූ භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගය ඊට වඩා හාත්පසින් ම වෙනස්, එනම් එය 'පටිසෝතගාමී' මාර්ගයයි. මෙය ධර්ම කතාවට අනුව ගහන අයට, බනින අයට, පරුෂ වචන කියන අයට, ගහන්න, බනින්න, පරුෂ වචනයෙන් පිළිතුරු දෙන්න නෙමෙයි. මේ සෑම කෙනෙක් කෙරෙහි ම මෛත්‍රිය කිරීමට තරම් වූ සිතක් සකස් කර ගැනීමයි. ධර්ම මාර්ග තුළ සකස් කරගෙන තිබෙන තමන්ගේ සිතේ පවත්වාගෙන ආ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නම් වූ සතර බ්‍රහ්ම විහරණයන්ට හානියක් නොවී එම සිත, එම සමාධිය ඒ ආකාරයෙන් ම පවත්වා ගැනීමයි. මෙය තවත් ආකාරයකින් ආර්යකාන්ත සීලයක් බවට පත්වෙනවා. සෝතාපන්න මාර්ගයේ දී ආර්යකාන්ත සීලය අවශ්‍යමයි.
එහෙම නම් මෙය කියවන විට අහන විට ඔබේ සිත ව්‍යාකූල වේවි. වර්තමාන පරිසරය තුළ ජීවිත පවත්වන්නට ඕනෙ. ධර්මයත් දකින්නට ඕනෙ. මේ දෙකම තරමක හෝ සමානත්වයකින් අපට අනුගමනය කළ හැකිද? කියලයි. අපට පුළුවනි ඒ කොහොමද? ඔබගෙ අපගේ සිත සමාධිය තුළ පවත්වාගත යුතුමයි. දුර්ලබව ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන අතීත සංසාර ගමනේ වැඩිපුරම ඉපදී සිටි සතර අපායේ තැනකට නැවතත් යන්නට ඉඩ නොදී අවුරුදු සීයකකටත් වඩා අඩු කාලයක් ජීවත්වන මේ ජීවිත කතාව, බොහෝම පරිස්සමෙන් ධර්මයට ම නතු කොටගෙන ගත කළ යුතු බවයි.
ලෞකික ජීවිතයට බැඳුණු ඔබ ලෞකික සිතිවිලිවලින් ම සිත් පුරවාගෙන එනම් ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් යුක්තව කටයුතු කරන විට කෙලෙස්වලින් ආවරණයක් වීම අවශ්‍යයයි. නැතිනම් නැවතත් දුර්ලබව ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් ගිලිහී සතර අපායේ තැනක උපදින්නට පුළුවනි. කෙලෙස්වලින් ඇති කර ගන්නා වූ, සිතෙහි පවත්නා ආවරණය තමයි ඉහත සඳහන් කළ සේ සිහියෙන් යුක්තව සිතෙහි ඇති කර ගන්නා වූ මෛත්‍රී සහගත සිතිවිලි. මෙය කරුණා ගුණය හැටියටත්, ඔබට තව කොටසක් එකතු කර ගන්නට පුළුවනි.
සම්මුතිය තුළ එනම් පැවැත්ම තුළ ඔබේ ප්‍රියයන් සේම ඔබත් ආරක්ෂා වෙන්නට ඕනෙ. ඒ පිළිබඳව ස්ථානෝචිත ප්‍රඥාවක් තිබෙන්නට ඕනෙ. එබඳු අය තමන් කායික මානසික සංවරයෙන් යුක්තව අන් අයට කරදරයක් ලෙස ජීවිත පවත්වන්නේ නැහැ. එතකොට අන් අයගෙන් සිදුවෙන කරදර අඩු වෙනවා. එසේ ජීවිත පවත්වමින් සතිය හෙවත් සිහිය මනාකොට පුරුදු කරන්න ඕනෙ. එය සතර සතිපට්ඨානයේ මනාකොට පෙන්වා දී තිබෙනවා. ඉදිරියට ගමන් කළත් පිටු පසට ගමන් කළත්, ඉදිරිය බැලුවත්, පිටුපස බැලුවත් දෑත දෙපය හැකිලුවත් දිගුකලත් මනා පරීක්ෂාකාරී නුවණින් සිහිය පවත්වන ඇත්තො කිසිවිටකවත් තමන්ගෙ කිසිඳු ඉරියව්වක් හෝ ඇඟිල්ලකින් හෝ හුස්ම පොදකින් තරම්වත් අන් අයට කරදරයක් වන ආකාරයට ජීවිතය පවත්වන්නෙ නැහැ. එය පුරුදු කරන්න පුළුවන් මාර්ගකුයි. මනුෂ්‍යයකුට කළ නොහැකි කිසිවක් භාග්‍යවතුන් වහන්සේ අපට කරන්නට යැයි දේශනා කළේ නැහැ.
මනා වූ සිහියෙන් සිත පුරුදු වෙනකොට තමන්ට තිබෙන කරදර, බාධක බොහොමයක් දුරට අඩුවෙනවා. එනමුත් අපි අමතක කරන්නේ නැහැ කුමක් ද? භාග්‍යවතුන් වහන්සේටත්, රහතුන් වහන්සේලාටත් අප්‍රමාණ කරදර කළ මේ පෘතග්ජන ලෝකය තුළ මොනතරම් සද්පුරුෂ ජීවිත පැවැත්වූවත් අසත්පුරුෂ අයගෙන් බාධා පැමිණීමේ අවස්ථා තිබෙන්නට පුළුවනි. එවැනි අවස්ථාවක සිත වෙනස් කර ගන්නෙ නැතුව තමන්ට තමන්ගෙ ජීවිතය ආරක්ෂා කර ගන්න පුළුවනි. සොර සතුරු කරදරවලින් බේරෙන්න කල්පනාකාරීව තමා රැකෙන්න පුළුවනි. ගේදොර ආරක්ෂා කරගන්න පුළුවනි. එහෙත් සොර සතුරන් හා සමගින් සණ්ඩු දබර වෙන්නවත්, නපුරුකම් කරගන්න යන්නෙවත් නැහැ. එපමණක් නොවෙයි, එදා භාග්‍යවතුන් වහන්සේගේ දවස රජතුමා නඩු විසඳුවා. තමාගේ ගැටලු රජතුමාට පවසා විසඳුමක් ඉල්ලන එක දහමෙ වැරැදියි කියා පෙන්වා දෙන්නෙ නැහැ. එය කරන්න ඕනෙ. වර්තමානයේත් නීතියක් තියෙනවා. ධර්මානුකූලව ජීවත්වන ඇත්තන්ට බොහෝදුක් කරදර බාධක පැමිණෙනකොට නීතියේ පිහිට පතන්නට පුළුවනි. එහෙත් ඒ නීතියේ පිහිට පතන්නේ තමන්ට වැරැදි කරන අය සමඟ සිතේ වෛරය, තරහව, ක්‍රෝධය, පළිගැනීම ඇති කරගෙන නෙමෙයි තමන්ට සිදුවෙන වරදින් වළක්වා දෙන්නට කියා ය.
ඒ අතර අපේ සිත මෛත්‍රීයට යොමු කර ගන්නත් පුළුවනි. ඒ අයගේ වැරැදි දැක්ම වැරැදි සිතිවිලි නිසා අපට කරදරවෙනවා. ඒ අය සිතින් යහපත් වූ පුද්ගලයන් බවට පත්වෙලා අපටත් පහසුවෙන් ජීවිතය පවත්වන්න ලැබෙන්න ඕනෙ. ඒ අයත් සත්පුරුෂ මනුෂ්‍යයෝ හැටියට ජීවිතය පවත්වා ගනිත්වා කියන අදහසයි. එසේ නොමැති වුණොත් දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය වැඩිකාලයක් තරහව, වෛරය, නපුරුකම්වලින් සිත පුරවාගෙන නිසි ආහාරයක් පවා කුසට නොගෙන, කුසට ආහාරයක් ගත්තත් ආහාරය කුසට නොදැනේ. නිදි වරාගෙන කාලය ගත කරන්න පුළුවනි. මේ ගැන ඔබට බොහෝම අද්දැකීම් ඇති බව විශ්වාසයි.
භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ පෙන්වාදෙන 'පටිසෝතගාමී' මාර්ගය දැන් ඔබට පැහැදිලියි. භාග්‍යවතුන් වහන්සේ මෝලිය ඵග්ගුන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙන්වා දෙන මේ දහම් පෙළ අපි කියවන්නෙ, අහන්නේ, අන්න ඒ ඉහත සඳහන් කළ ධර්මානු ධම්ම පිළිවෙත් මගට එකතු වෙන්නයි. එසේ නොවුණොත් මේ දහම් පෙළ අවුරුදු දහස් ගණනක් තිස්සේ කට පාඩමින්, මතකයෙන් රැගෙන ආවා. වර්තමානයේ පොත්පත්වල ලියල තියෙනවා. නිතරම අහන්න ලැබෙනවා. නමුත් අප තවමත් සිටින්නේ 'අනුසෝතගාමී' මාර්ගය තුළ නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පටිසෝතගාමී මඟට එකතුවෙලා නැති බව දැනෙනවා.
මෝලිය ඵග්ගුන ස්වාමීන් වහන්සේට පවසන දහම් පෙළ මේ අනුශාසනා කරන්නේ මටත් සමඟ නේද කියා තමන්ගේ ම සිතින් මෙනෙහි කර බලන්න ඕනෙ. එලෙසම ඔබේ පවුල් පරිසරය තුළ හෝ ඔබගේ කල්‍යාණවන්ත යැයි, හිතවන්ත යැයි පවසන යම් පිරිසක් සිටිනවා නම් ඒ අය සමගත් මේ උතුම් සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙන දෙය සාකච්ඡා කරන්නට ඕනෙ. දැවෙන ගිනිගත් සිත් නිවන්න අපටත් කළ හැකි ආකාරයකින් අප උදව් වෙන්න ඕනෙ. එක ද සිතක් හරි මෛත්‍රීයට යොමු කර ඒ සිත නිවන්න පුළුවනි නම් තමා මොනතරම් සද්පුරුෂයෙක් දැයි හැබෑවටම බුද්ධ ශ්‍රාවකයෙක් නේද? කියා ඔබටම සිතේවි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජරාවෙන් හා මරණයෙන් නොමිදෙන්නෝ

කෝට්ටේ කොටුබැම්ම පාරේ 
ශ්‍රී සුනේත්‍රාරාමාධිපති 
කොළඹ කළුතර දෙදිසාවේ 
ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති 
ඇලිකේවෙල සීලානන්ද නා හිමි

" වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි."
කෙලෙස්වලින් මිදුණු සිත් ඇත්තෝ නිවන් පසක් කළෝ වෙති. ඒ විමුක්තිය සඳහා අනුගමනය කළ යුතු ධර්මයෝ මෙන්ම පහ කළ යුතු ධර්මයෝද වෙති. ඒ පහ කළ යුතු ධර්මයන් මෙන්ම අනුගමනය කළ යුතු ධර්මයන් පිළිබඳ තථාගත බුදුපියාණන් වහන්සේගේ දේශනාවක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආකංක වග්ගයේ තයෝ ධම්ම සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත. “තයෝ මේ භික්ඛවේ ධම්මා ලෝකේ න සංවජ්ජේය්‍යුං න තථාගතෝ ලොකෝ උප්පජ්ජෙය්‍ය, අරහං සම්මා සම්බුද්ධෝ, න තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ, ලෝකේ දිප්පෙය්‍ය, කථමෝ තයෝ, ජාතිච, ජරාව, මරණඤ්ච” මහණෙනි මේ ධර්ම තුනක් ලෝකයෙහි විද්‍යමාන නොවේ නම් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදිති.
තථාගත ප්‍රවිදිත ධර්ම විනය ලොව දිප්ත නොවන්නේය. කවර තුනක්ද, යත් ජාතිය, ජරාව හා මරණයයි. මේ දහම් තුන ලොව යම්තාක් පවතීද ඒ තාක් බුදුවරයන්ගේ ලොව පහළවීම සිදුවෙයි. ඒ තථාගත බුදුවරුන්ගේ පහළවීම නිසා නිර්මල ධර්ම විනය ලොව බබළයි යනු ඉහත පාඨයේ අරුතයි. මෙයින් පැහැදිලි කරන්නේ උපත සදාකාලික නම් එහි ජරාවක් හෝ මරණයක් ඇති නොවන බවයි. එවැනි උපත දුකක් නොව සැපතකි. ජරාවක් හෙවත් දිරීමක් නොමැති බැවින් එය සැපතකි. මරණය නොමැති වීමෙන් එය සැපතකි. එවැනි අයෙකුට උපතේ ආදීනව කියන්නට, ජරාවේ ආදීනව කියන්නට, මරණයේ ආදීනව කියන්නට කෙනෙකුගේ අවශ්‍යතාවයක් නැත. නමුදු ලෝක ස්වභාවය නම් නිවන් අවබෝධ වන තෙක් සත්ත්වයාගේ උපත සිදුවන බවයි. ඒ උපන් සත්ත්වයා ජරාවට පත්වෙන බවයි. මරණයට පත් වෙන බවයි. තථාගත බුදුවරුන්ගේ පහළ වීමෙන් සිදු කරන්නේ ජාතියට හේතු කියා දී ඒ හේතු නැති කිරීමෙන් ජාතිය නැති කරන ආකාරයයි. ඒ ජාතිය නැති කළ විට ජරාව, මරණයද නැති වේ.
එය තවදුරටත් පැහැදිලි කරමින් මහණෙනි, ධර්ම කරුණු තුනක් ප්‍රහාණය නොකරනතාක් ජාතියෙන් මිදීමක් ජරාවෙන් මිදීමක්, මරණයෙන් මිදීමක් කිසි කලෙක සිදු නොවෙයි. ඒ ජාතියෙන් මිදීමට නම් ජරාවෙන් මිදීමට නම් මරණයෙන් මිදීමට නම් රාගය ප්‍රහීණය කළ යුතුය. ද්වේශය ප්‍රහීණය කළ යුතුය. මෝහය ප්‍රහීණය කළ යුතුය .මේවා ප්‍රහීණ නොකරන තාක් ජාතියෙන් මිදීමක් නැත. ජරාවෙන් මිදීමක් නැත. මෝහයෙන් මිදීමක් නැත.
ස්කන්ධයන්ගේ පහළවීම,ඇතිවීම හට ගැනීම භවයෙහි උපත ලැබීම, ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ උත්පාද ලක්ෂණය ආදිය මෙයින් අදහස් කරයි. ජරාව යනු දත් වැටීම්, කෙස් පැසීම් ආදි වශයෙන් සම්මත වු සන්තතියෙහි හෙවත් රූපාරූප ධර්ම පරම්පරාවෙහි එක් භවයක ඇතුළත් ස්කන්ධයන්ගේ පුරාණ බවයි.
මරණය යනු කර්මයෙන් උපන් රූපාදී ස්කන්ධ පහළ වී මෝරා අවසානයේ නැති වී යාමයි. එබැවින් ජාතියෙන් මිදීමට ජරාවෙන් මිදීමට , මරණයෙන් මිදීමට රාගය ප්‍රහීණය කළ යුතුය. ද්වේශය ප්‍රහීණය කළ යුතුය. මෝහය ප්‍රහීණය කළ යුතුය . මේ ධර්ම තුන ප්‍රහීණ නොකරතාක් ඔහු තුළ ධර්ම කරුණු තුනක් වැඩෙයි. ඒ ධර්ම කරුණු තුන නම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව හා සීලබ්බත පරාමාසයයි. රූපාදී පඤ්චස්කන්ධයෙහි මමය මාගේය ආත්මීය වශයෙන් ගැනීම සක්කාය දිට්ඨියයි. සැකය හෙවත් කුකුස හේතු කොට ඇතිවන නිර්මාණ බාධකයද, බුද්ධාදී අට තැනෙක්හි ඇති කරගන්නා සැකය හේතුකොට ගත් නීවරණය විචිකිච්ඡාවයි. සසර දුකින් මිදෙනු පිණිස ගන්නා වැරදි මාර්ගවූ ගෝසිල ගෝ වෘත ආදිය සීලබ්බත පරාමාස නම් වේ.
මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ඔහු තුළ ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒවා නම් අයෝනිසෝ මනසිකාරය, කුම්මග්ග සේවනය, හා සිතේ අලසකමයි. අයෝනිසෝ මනසිකාරය යනු නුනුවණින් මෙනෙහි කිරීමයි. යම් කරුණක් ආරම්භයේ සිට අවබෝධ කර නොගැනීමයි. වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි. මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒ ධර්ම කරුණු තුන නම් ආර්යන් වහන්සේලා දැකීමට ඇති අකැමත්ත, ඒ ආර්යයන් වහන්සේලා දේශනා කරන ලද ධර්මය ඇසීමට ඇති අකැමත්ත හා දෝෂාරෝපණයට ලැදිවීමයි. මේ කියන ධර්ම තුන ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ ධර්ම තුනක් වැඩෙයි. ඒ ධර්ම තුන නම් උද්ධච්චය, අසංවර භාවය හා දුස්සීල භාවයයි.
මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ඔහු තුළ තවත් ධර්ම කරුණු තුනක් වැඩෙයි. ඒ ධර්ම කරුණු තුන නම් ශ්‍රද්ධාවෙන් තොරවීම, මෛත්‍රිය හා කරුණාවෙන් තොරවීමයි. අලස කමින් යුක්ත වීමයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ තවත් ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒ ධර්ම කරුණු තුන නම් අන් අයට ගරු නොකිරීම,අකීකරුකම, පාප මිත්‍ර සේවනය වැඩෙයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ ගරු කිරීම, කීකරුකම, කල්‍යාණ මිත්‍ර සේවනය ඇති නොවෙයි. ඒවා ඇති නොවු විට ඔහු තුළ අහිරිය,අනොත්තප්පය, හා ප්‍රමාදය ඇති වෙයි.එවිට ඔහු තුළ පවට ලජ්ජාව, බිය හා අප්‍රමාදී බව නැති වෙයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු ජාති, ජරා, මරණය කරාම ගමන් කරයි.
එබැවින් හෙතෙම හිරි ඔතප් හා අප්‍රමාදී බවින් කටයුතු කරන්නෙකු විය යුතුය. එසේ වූ විට අගෞරවය පහවී ගෞරවය ඔහු තුළ උපදියි. අකීකරුකම පහවී කීකරුකම ඇති වෙයි. පාප මිත්‍ර සේවනය පහකළ විට කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇසුරට පි‍්‍රය කරන්නෙක් වෙයි. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා ඔහු තුළ අසද්ධාව ප්‍රහීණය වී සද්ධාව පහළවෙයි. සද්ධාව පහළවන විට මෛත්‍රිය හා කරුණාව උපදියි.අලසකම ප්‍රහීණය වී ආරද්ධ වීර්ය ඇතිවෙයි. ආරද්ධ වීර්ය හෙවත් නොපසුබට උත්සාහය නිසා සිතේ ඇති නොසන්සුන්කම වෙනුවට සන්සුන්කම පහළ වෙයි.
සිතේ සන්සුන්කම වැඩෙන විට අසංවරය වෙනුවට සංවරය පහළ වෙයි. සංවර බව වැඩෙන විට දුසිල්බව ප්‍රහීණය වී සිල්වත් බව වැඩෙයි. සිල්වත් බව ඇතිවෙන විට ආර්යයන් වහන්සේලා හමුවීමේ කැමැත්ත පහළ වෙයි. ආර්යයන් වහන්සේලා දැකීමේ කැමැත්ත වැඩෙන විට ඒ ආර්යයන් වහන්සේලාගේ දහම ඇසීමට පි‍්‍රය කරයි. ආර්යයන් වහන්සේලාගේ දහම අසන විට දෝෂාරෝපණයට ඇති කැමැත්ත පහවී මුලාවූ සිහිය වෙනුවට සම්මා සතිය වැඩෙයි. සම්මා සතිය පහළවීමත් සමඟම ප්‍රඥාව හෙවත් නුවණ ඇති කෙනෙක් බවට පත්වෙයි. ප්‍රඥාව කරණකොට ගෙන සිතේ විසිරෙන ස්වභාවය වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය හෙවත් සිත එක අරමුණක තබා ගැනීමට හැකිවෙයි.
චිත්ත ඒකග්‍රතාවයෙන් යුත් සිතට අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය පහළ වෙයි. ඒ යෝනිසෝ මනසිකාරය හේතු කොට ගෙන නිවැරදි මග හෙවත් සම්මා දිට්ඨියට පිවිසෙයි.
නිවැරදි මගට පිවිසීම නිසා සිතේ විවෘත භාවය ඇතිවෙයි. සිතේ විවෘත භාවය කරණකොට ගෙන මමය මාගේය යන ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය ප්‍රහීණය වෙයි.
සැකය හෙවත් විචිකිච්ඡාව ප්‍රහීණය වෙයි. සීලබ්බත පරාමාස ප්‍රහීණය වෙයි. එසේවූ සිතට රාගය සහමුලින් පහ කළ හැකිය . ද්වේශය සහමුලින් පහ කළ හැකිය. මෝහය සහමුලින් පහ කළ හැකිය. ඒ රාගය පහ කළ දෝෂය පහ කළ මෝහය පහ කළ තැනැත්තාට ජාතිය ප්‍රහීණය කළ හැකිය.
ජරාව ප්‍රහීණය කළ හැකිය. මරණය ප්‍රහීණය කළ හැකිය. ඒ ජාතිය ජරාව, මරණය ප්‍රහීණය කිරීම යනු නිවන් අවබෝධ කරගත් අයෙක් බවට පත්වීමය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤