ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

කඨින චීවර පූජාව මහානිශංස වන්නේ ඇයි?

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර
වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වස් සමාදන් වීමට නීතියක් පැනවූයේ ශාසන ආරම්භයෙන් අවුරුදු 20 කට පසුවය.බුදුරජාණන් වහන්සේ හැම දෙනාගේම හිත සුව පිණිස වැසි සාර මස භික්ෂූන් වහන්සේලා චාරිකාවෙන් තොරව එක තැනක වාසය කළ යුතු බවට ශික්ෂා පදයක් පැනවූහ.
කඨින චීවර මාසය වෙනුවෙන් මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි.

ස්වාමීන් වහන්ස, වස් සමාදම් වීමට සුදුසුම කාලය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම් මොනවාද?

වස් ශික්ෂා පදය පැනවීමෙන් පසු වස් එළඹෙන්නේ කවර දිනයකද? යන ප්‍රශ්නය භික්ෂූන්හට ඇති වුණා. ඒ අනුව වස් එළඹිය යුතු දිනයන් දෙකක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවා.
"මහණෙනි, වස්සාන කාලයෙහි වස් වසන්නට අනු දනිමි. මහණෙනි, වස් එළඹීම් දෙකකි. එනම්"පෙරවස් විසීම" සහ "පසු වස් විසීම" යනුවෙනි"ලෙස බුදුරජාණන් වහන්සේ දන්වා සිටි බව පත පොතේ සඳහන් වනවා. පෙර වස් විසීම කියන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනට පසුදා ඇසළ අව පෑළවියදා වස් එළැඹීමය. ඇසළ පුර පොහොය දිනයෙන් මාසයක් ගිය පසු නිකිණි පුන් පොහෝ දිනට පසු දින නිකිණි අව පෑළවියදා පසු වස් සමාදම් වනවා. යම් හෙයකින් ඇසළ අව පෑළවියට වස් සමාදම් වීමට නොහැකි වුවහොත් ඊට මාසයකට පසු නිකිණි අව පෑළවියට පසුවස් සමාදම් විය හැකියි.

වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත් මොනවාද?

බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහොය දින ධම්මචක්ක පවත්තන සූත්‍රය පස්වග තවුසන්ට දේශනා කර ඔවුන්ට උපසම්පදාව ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ ආරාධනාවකින් තොරව වස් සමාදන් වී මිගදායේ වැඩ වාසය කළ බවත් සඳහන් වනවා. වස් ආරාධනා කරන විට බුලත් කොළ කිහිපයක් ගෙන එය බුලත් හෙප්පුවක තබා ඊට උඩින් සුදු ලේන්සුවකින් වසා භික්ෂූන් වහන්සේට ආරධනා කරන සිරිත තමයි තිබෙන්නේ. වස් ආරාධනා කරන විට වස් ආරාධනා කරන සැදැහැවතුන් මෙහෙම කියන්න ඕන.”ස්වාමීන් වහන්ස, මෙතැන් පටන් ඉදිරි තුන් මාසය මුළුල්ලේ මේ විහාරස්ථානයේ රැඳී සිටිමින් එම කාලය තුළ දායකයන් වන අප ඔබ වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන බවත්, එම කාලය තුළ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලෙසත් ඉල්ලා සිටිනවා යනුවෙන් වස් ආරාධනා කරන්න ඕන. මේ ආරාධනාව සමග වැසිසළු පූජාවත් කරනවා.

වස් සමාදන් වෙනවා යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

"ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි" යනුවෙන් තනි තනිව කියලා වස් සමාදන් වනවා. මේ ගාථාව කියලා වස් තුන් මාසයෙහි විහාරස්ථානයේ වාසය කරන්න ඕන. ආගමික කටයුතු වැඩියෙන්ම භික්ෂූන් වහන්සේලාට කරන්න පුළුවන් වන්නේ වස් තුන් මාසය තුළදිය. ඒ වගේම ගිහි පක්ෂයටත් පින් වැඩියෙන්ම කර ගැනීමට හැකි වන්නේ වස් තුන් මාසයේ දීයි.

‘වස් පවාරණය ලෙස හැඳීන්වෙන්නේ කුමක්ද?

වස් කාලය අවසානයේ භික්ෂූන් වහන්සේ පවාරණ පොහොය කොට නික්ම යාම විනය චාරිත්‍රය වනවා. උපෝසථ කර්මයෙන් පසු සියලුම භික්ෂූන් වහන්සේ වෙන් වෙන්ව සංඝ රත්නය ඉදිරියේ උක්කුටිකයෙන් හිඳගෙන “ස්වාමීනි, දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සිතීමෙන් මා වරදක් කර ඇතැයි හැඟේ නම් මා වෙත අනුකම්පා කර කියනු මැනවි” යනුවෙන් ඉල්ලා සිටිනවා. වරදක් ලෙස පෙනේ නම් එය සකසා ගන්නා බවද පවසනවා. වස් පවාරණ දින දෙකක් විනයෙහි සඳහන් වෙනවා.! පෙරවස් සමාදන් වු භික්ෂුව ඔක්තෝබර් පෝයට වස් පවාරණය කරනවා. පසුවස් විසු භික්ෂුව නොවැම්බර් මස පෝය දිනට වස් පවාරණය කරනවා.

කඨින චීවර පූජාව කියන්නේ කුමක්ද?

එකම චීවරය දෙපාරක් පූජා කිරීම නිසා කඨින පූජාව සුවිශේෂී පූජාවක් වනවා. ගිහි පැවිදි දෙපිරිසම එකට එකතු වී කඨින චීවරයක් සකස් කරන්නේ. එයත් විශේෂත්වයක්, කඨින චීවරය පළමුව පින්වතුන් විසින් මහා සංඝ රත්නයට පූජා කරනවා. ඉන් අනතුරුව එම කඨින චීවරයම සංඝ සම්මතයෙන් එක් භික්ෂුවකට පූජා කරනවා. දෙපට සිවුර , තනිපට සිවුර, අඳන සිවුර වශයෙන් දායක දායිකාවන් හට කැමති චීවරයක් පූජාකරන්න පුළුවන්. කඨින චීවරයක් හිමිදිරි පාන්දර ගරු ගාම්භීරව පෙරහරින් වැඩම කරවා මහා සංඝරත්නයට පූජා කරනවා. කඨින චීවරය සමඟ සිවුරු, පාත්‍ර, කුඩ,ආහාර පාත්‍ර, භාජන , දැළි පිහියා, පිහි, ඉදිකටු, නූල් බෝල, වටාපත්, තෙල් බෙහෙත් වර්ග, පෙරහන් කඩ, ඉන පටි, බෙහෙත් , සැරයටි, රෝද පුටු, පාවහන්, ඇඳ පුටු, පැදුරු, පහන්, ධාතු, කරඬු, සුවඳ දුම්, දැහැටි, ප්‍රණීත වූ ආහාර පුජා කරන්න පුළුවන්. එවිට පින් වැඩිවෙනවා. කඨින චීවරය සමඟ පූජා කරන එබඳු වූ පූජා භාණ්ඩ පරිවාර පරිස්කාර කියලා කියනවා.

හාමුදුරුවනේ කඨිනානිශංස ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

කඨින චීවරයක් පරිවාර පරිස්කාර සමග පූජා කිරීමේදී, දුගතිගාමී වන්නේ නැහැ, ඒ ඒ ප්‍රදේශයන්හි ජීවත්වන විට මිනිසුන්ට ප්‍රධානියෙක් වනවා, දිව්‍ය හා මනුෂ්‍ය ලෝකවල පමණක් ඉපදෙනවා, සක්විති රජ සම්පත් ලැබෙනවා. සෑම ආත්මයකදීම සියලුම සැප සම්පත් ලැබෙනවා. ඉතා ධනවත් වනවා. ලක්ෂයක් මහා සංඝරත්නයට, දිනපතා සිය දිනක් සෑම භික්ෂූන් වහන්සේලාටම සිවුරු පූජා කළත් ඊට වඩා එක කඨිනයක් පූජා කිරීම මහත්ඵල පින් ලැබෙන බව පතපොතේ සඳහන් වනවා. දේපල ජලයෙන් ගින්නෙන් විනාශ වන්නේ නැහැ. හැම දෙනාගේම සිත් දිනා ගන්න පුළුවන් වනවා. සැම දෙනාගේ ම ගෞරවයට පාත්‍ර වනවා. කෙලෙස් නැසීමේ ප්‍රඥාව ලැබෙනවා, ධෛර්යවන්ත අයෙකු වනවා, මෛත්‍රි සහගත සිතිවිලි ඇති අයකු වනවා. ඉවසිලිවන්ත, උත්සාහ වන්තයකු වනවා. කීකරු යහපත් සේවක සේවිකාවන් ලැබෙනවා. අධික රාගයෙන් තොර අයෙකු වනවා, රූප සම්පත්තිය ඇතිවනවා, නීරෝගි වනවා, නිසි ආරක්ෂාව ඇති අයෙකු වනවා. වස විස ආදියෙන් හිංසා නොවීම, සත්‍ය වචන ඇති අයකුවීම, සම පැහැපත් වීම, සෑම ආත්මයකම යහපත් දරුවන් ලැබීම තමන්ගෙන් අන් අයට කරදරයක් නොවීම කිසිඳු ආත්මයකදී දෙපාවල රෝගාබාධ ඇති නොවීම, වැදගත් මව්පියන් ලැබීම, වටිනා ඇඳුම් පැළඳුම් ලැබීම, කීර්තිය ලැබීම, ප්‍රඥාව ලැබීම, ක්ෂණිකව යමක් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිවන් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිසි ආයුෂ ලැබීම වැනි කියා නිම කළ නොහැකි ආනිසංස ලැබෙන බව සඳහන් වනවා. කඨින චීවරයක් පූජා කිරීමට හැකි වන්නේ යම් බුදුවරයෙකුගේ ශාසනයක් තුළ පමණයි. වසරකට එක වරක් පමණයි මෙය පූජා කළ හැක්කේ. එයද කළ හැකි වන්නේ මනුෂ්‍යයන්ට පමණයි. දිව්‍යලෝකවල සිටින අයට හෝ මෙම පින්කම කළ නොහැකියි. මිනිස් ලෝකයේද මෙම පින්කම සෑම තැනකදිම කළ නොහැකියි. බෞද්ධ භික්ෂූන් වහන්සේ නැතිනම් මේ කඨින චීවර පුජාව සිදු කරන්නටද බැරිය. කඨින පූජාව සමඟ අනෙකුත් පූජා භාණ්ඩ පූජා කිරීම මහා බලසම්පන්න කුසල් ලැබෙන පින් කමක්.
මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අනෙකාගේ ජයග්‍රහණය දරාගැනීමේ නොහැකියාව ඊර්ෂ්‍යාවයි

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම අපට තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යාව යන චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුයි. ද්වේෂය, පටිඝය, තරහව යන ගැටෙන සුළු මානසික තත්ත්වය ඊර්ෂ්‍යාව තුළ සැඟවී ඇත. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මුලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත් අනෙකාගේ දියුණුව නොඉවසන්න පටන්ගැනීම තුළ අස්ථානයේ විචිකිච්ජාව නමැති චෛතසික තත්වයන් ඇති වේ.
යම් තැනැත්තකු ඉතා පහසුකම් සහිත ගේ දොර, ඉතාම සුඛෝපබෝගී පහසුකම් සහිත යාන වාහන පාවිච්ච් කරනවා දකින අපට ඔහුගේ සැපත උහුළාගැනීමට නොහැකි තත්ත්වයකට පැමිණුනහොත් අප වාග් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගනී. එම ජයග්‍රහණය අපගේ මනසට උහුළා ගත නොහැකි වීම එයට හේතුවේ. එවිට අප ඔහුට අස්ථානයේ චෝදනා කිරීමට පටන් ගනියි. ඒ තුළ ද්වේෂය ගැබිව පවති. ඔහු හෝ ඇය මට වඩා ඉහළ තත්ත්වයකට පත්වු බව සිතම්න් ද්වේෂ කරයි. මෙවැනි අවස්ථාවන් තුªළදී මිනිසුන් විසින් තමාගේ මනස තුළ විචිකිච්ජා සහගත තත්ත්වයන් උදාකරගනු ලබයි. ගෘහ ජීවිතය තුළ වුවද තමා අත්විඳින යම් කිසි දෙයක් අනෙකා විසින් උදුරා ගනිවී යැයි සිතා තවකෙනකු එම සැපත අල්වා ගිනිවී යැයි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වුවහොත් එය ඇතුළත අනෙකුත් මනෝභාවයන් ක්‍රියාත්මක වෙනු ඇත.
තමාගේ සැපත ඉක්මවා වෙනකෙනකු එම සැපත අත්විඳිනවා දැකීමට සාමාන්‍ය පෘතග්ජන මනසක් සතුටු වන්නේ නැහැ. තමන් විඳපු දෙය වෙනපුද්ගලයෙකුට ලැබෙන විට හා තමාට නොවිඳි දෙයක් කවුරුන් හෝ පුද්ගලයෙකු විඳිනවාය යන මානසික තත්ත්වයක් හටගනී. ඉතාම සම්පූර්ණ වූත් සාර්ථක වූත් පුද්ගලයෙකු මේ ලෝකය තුළ නොමැති වුවද, භෞතිකව යම් හෝ සම්පත් ප්‍රමාණයක් ඇති අය තුළ වුවද, අනෙකා පිළිබඳව ඊර්ෂ්‍යාවක් හටගනී. එතරම් දේවල් නැති අය තුළ වුවද එය වෙනත් ආකාරයකින් හටගනී. ඉතාම ඉහළ තලයක පහසුකම් භුක්තිවිඳින පුද්ගලයන් තුළ වුවද ඉතාම පහළ තලයක පහසුකම් භුක්ති විඳින පිරිස් පිළිබඳව අසහනයක් පැමිණිය හැකියි. ඇතැම් අවස්ථාවල තිරිසන් සතුන්ට පවා තමා උපමා කරගනු ලබයි. මම කුරුල්ලෙක් වෙලා ඉපදුනා නම් හොඳියි. යන බව ඇතැමකු ප්‍රකාශ කරන අවස්ථා නැතුවා නොවේ. ඔහු සතකුට වඩා ඉහළ පහසුකම් තමා විසින් භුක්තිවින්දා වුවද, එහි වටිනාකමක් පිළිබඳ හැඟීමක් වත් ඔහුට නැත. කුරුල්ලන්, තිරිසන් ආත්මයක ඉපදී කුසගින්නට පලතුරු ටිකක් වත් සොයාගැනීමට නොහැකිව දහඳුක් විඳිනවා විය හැකි වුවද, කුරුලු ජෝඩුවක් ඉතා සමීපව අත්තක වසා සිටින විට ඔවුන් අපට වැඩිය සතුටින් ඉන්නා බව සිතමින් මිනිස් ජෝඩු කුරුළු ජෝඩු ළඟ හීනමානයක් ඇති කර ගනු ලබයි.

ඊර්ෂ්‍යාව යන මානසික මට්ටම තමා තුළ නිර්මාණය වන ප්‍රමාණයට ඔහු හෝ ඇය ඇතුළතින් විශාල වශයෙන් තැවෙන්න, දැවෙන්න, පිච්චෙන්න පටන් ගනී. අඟුරු වළකට අතදමා අඟුරු ප්‍රමාණයක් අතට රැගෙන අනෙකාට එම ගිනි අඟුරු ගසනවා වැනි ක්‍රියාවක් ඊර්ෂ්‍යාව තුළ පවතී. අත වැඩි පුමාණයක් පිළිස්සෙනුයේ අඟුරු වළට අත දමා අඟුරු ප්‍රමාණයක් අතට ගත්ත පුද්ගලයා තුළ වන ගැටීම විශාල හානියක් වන අතරම එම අඟුරු කැබලි විසිකිරීමේදී ශරීරයට පහර වැදීමෙන් අනෙකාට සිදුවන හානිය සාපේක්ෂව අඩු මට්ටමක පවතී. අඟුරු ලබාගන්නා පුද්ගලයාගේ සම්පූර්ණ අතම පිළිස්සෙනු ලබයි. ඊර්ෂ්‍යාව මේ ලෝක වශයෙන් පුද්ගලයාට විශාල හානියක් කරනු ලබයි. ඔහුගේ පුද්ගලික ජීවිතයට, අධ්‍යාත්මයට විශාලම හානිය, ඊර්ෂ්‍යාව තුළින් අනිවාර්යෙන්ම සිදුවනු ඇත. ඊර්ෂ්‍යාවට ගොදුරු වන පුද්ගලයාට හානියක් සිදුවන බවට ඊර්ෂ්‍යාව කරන පුද්ගලයාට සිතුවා වුවද, ඊර්ෂ්‍යා කරන පුද්ගලයා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී. ඊර්ෂ්‍යා කරන පුද්ගලයා ඉතාම අතෘප්තිකර ජීවිතයකට පිවිසීමත් සමඟම තමාට ලැබෙන කිසිවක් තුළින් ඔහු සතුටට පත්නොවනු ඇත. තමාගේ පෙනුම, තමාගේ හැකියාව, තමාගේ ශක්තිය, තමන්ගේ බලය, තමන්ට තිබෙන දේ කිසිවක් පිළිබඳව, ඔහුට ඔහු පිළිබඳව සතුටක් නැතිව යයි. අනෙකාගේ දියුණුව ජයග්‍රහණය දරාගැනීමට නොහැකි වීම තුළ ඊර්ෂ්‍යාව හටගනී. තමාට තමා සම්බන්ධව තෘප්තිමත් බවක් නොමැති මිනිසුන් තුළ ඔවුන්ගේ දියුණුව සඳහා අවශ්‍ය වන කාර්යක්ෂමතාවය ගොඩනැගෙන්නේ නැත. කාර්යක්ෂම භාවය ඇතිවීමටත්, වගකීම්සහගත බව ඇති විමටත් තෘප්තිමත්භාවය ප්‍රධාන හේතුවක් වනු ඇත.
තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයකු කවදාවත් වගකීම් සහගත වන්නේ නැත. අතෘප්තිමත් පුද්ගලයා තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයා කිසිම දවසක වගකීම් සහගත වන්නේ නැත. ඔහු හෝ ඇය සැම විටම හිස්බවකින් පීඩා විඳිනු ලබයි. ඔහු හෝ ඇය සැමවිටම තමා පිළිබඳව කළකිරීමකින්, ද්වේෂයකින් පසුවෙනු ලබයි. තමාට තමා සම්බන්ධව තිබෙන ද්වේෂය අනෙක් පිරිසට ප්‍රක්ෂේපණය කිරීම, ඊර්ෂ්‍යාකිරීම වෙයි. එවැනි පුද්ගලයකු සිටින්නේ අසතුටෙන් නම් ඔහු තමා පිළිබඳව සිටින්නේ ද්වේෂයෙන් නම්, ඔහුට කිසිදු ජයග්‍රහණයක් උදාකර ගැනීමට ලැබෙන්නේ නැත.
ඔබ අනෙකා පිළිබඳව නිර්මාණය කරගනු ලබන ඊර්ෂ්‍යාව නම්, ඔබ ඔබ සම්බන්ධව ඇතිකර ගනු ලබන ද්වේෂයයි. ඔබ, සම්බන්ධව ද්වේෂ සහගත මනෝභාවයකින් ජීවත් වන විට ඔබගේ කාර්ක්ෂමභාවය අඩාල වේ. ඔබගේ වගකීම් සහගත බව අඩාල වෙයි. ඔබගේ මනසෙහි තෘප්තිමත් බව නැතිව යනවා යනු ඔබගේ මානසික නිරෝගී භාවයට විශාල හානියක් වනු ඇත. “සන්තුට්ඨ්ි පරමං ධනං” යන්න වර්තමානය වන විට සෞඛ්‍ය සංවිධානය ද පිළිගනු ලබයි. පුද්ගලයකු සතුටින් ජීවත් වීම මානසික සෞඛ්‍යයට ඉතාම අවශ්‍යයයි. සියලු ශාරීරික රෝගා බාධයන්ට මානසික අසතුට හේතු වෙයි. ඒ නිසාම පුද්ගලයෙකුගේ මේ ලෝක ජීවිතයේ අසාර්ථක භාවයට හානිකර තත්ත්වයක් උදාකරලීමට ඊර්ෂ්‍යාව යන මනෝභාවය අනිවාර්යෙන් බලපානු ලබයි. අප තුළ ඊර්ෂ්‍යාව ඇති වුවාට පසුව කරනු ලබන දේ අපටම නොතේරෙයි. පූද්ගලයකුගේ සාර්ථකත්වය උහුළාගැනීමට නොහැකි වූ විට අභූත චෝදනා නගන තත්ත්වයක් කරා ගමන් කරනු ලබයි. මෙම මනෝභාවය වටහාගනු ලැබුවහෝත් අද වුවද එයින් මිදිය හැකිවේ.
ඔබ ඉතාම අයහපත් හැසිරීම්වල ට පෙළඹිය හැකියි. ඔබ ඉතාම යහපත් මිනිසුන් විනාශකරන තත්ත්වයකට පත්විය හැකියි. අවසානයේ තමන් විසින් තමා විනාශ වීම වැළැක්විය නොහැකියි. තමා කරනු ලබන සෑම ක්‍රියාවකටම තමා වගකීම්ගත යුතු වෙයි
ඊර්ෂ්‍යා සහගත මනෝභාවයන්ගෙන් පීඩා විඳින තැනැත්තකු මෙලොවදීම අසාර්ථක වනු ඇත. භෞතික ජීවිත තුළ ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් සෑම විටම භෞතික ජයග්‍රහණයන් තුළදී ද පහළට වැටෙනු ඇත. ඊර්ෂ්‍යාව විසින් ඔහුට හෝ ඇයට ඒ පිළිබඳව නිවැරැදිව වටහාගැනීමට, නිවැරැදිව දැකීමක් කරා යැමට ඉඩ තබන්නේ නැත. සේරි වාණිජ ජාතකය තුළදී සේරි වෙළෙන්දාට බෝධිසත්ත්ව වෙළෙන්දාගේ වාණිජමය හැකියාව උහුළාගත නොහැකි තත්ත්වයක් උදාවිය. ඔහුගේ අසාර්ථක තත්ත්වයක් ලෙස ඔහුට එය පෙනෙන්නට පටන් ගනී. ඊර්ෂ්‍යාව යන මනෝභාවය ඇති පුද්ගලයා තමාගේ අසාර්ථකත්වයට හේතු වනුයේ අනෙකාගේ තත්වයක් ලෙස දකියි. අපගේ අසතුට නිර්මාණය වීම සඳහා හේතුවක් ලෙස වෙනම පිරිසක් හේතු කරගනී.අනෙකාගේ පොහොසත්කම තමාගේ දුප්පත්කමට හේතුවක් විය හැකි බව දුප්පතකුට සිතිය හැකියි. මනෝභාවයන් තුළ යම් පුද්ගලයකු අඛණ්ඩව සිටිය හොත් ඔහු එයට හුරු පුරුදු කරගෙන ඊළඟ භවය කරා ගමන් කරනු ලබයි. ඊළඟ භවය තුළත් ඔහු යම්කිසි කුසලතාවයන් ඇතිකර ගන්නේ නැතිව ඉතාම දුර්වලයෙකු ආකාරයට නොසිතා තමන්ට ලැබුණ දෙයින් තමා තෘප්තිමත්ව, තමා සාර්ථක නොවී කුසල් උපදවා නොගෙන ඊළඟ භවය කරා ගමන් කළ හොත් ඊළඟ භවය තුළ ඔහු අල්පේශාක්‍ය වීම අනිවාර්ය වේ. පුරුදු පුහුණු කරන ලද යම් කිසි කුසල් ප්‍රමාණයක් සමඟ අප මේ භවය නිමාකළ හොත් පමණි, අපට ඊළග භවය තුළ සාර්ථකත්වතය කරා ගමන් කළ හැකි වන්නේ. සාර්ථක ස්ථානයකින් ආරම්භ කෙරුවකු මහේශාක්‍ය ලෙස හදුන්වනු ලබයි. අසාර්ථකත්වයේ සිටින පිරිස අල්පේශාක්‍ය ලෙස හඳුන්වනු ලබයි. මේ ආත්මය තුළ ඇතිකර ගනු ලබන ඊර්ෂ්‍යාව නිසා අපේ සිත කරනු ලබන හැසීරීම් අප තුළ ඇතිවන අකාර්යක්ෂම කම වගකීම් විරහිත කම සිල්වත්භාවයක් නොමැතිකම එයට අදාළ වන ප්‍රතිපත්ති නොරැකීම තුළ ඊළඟ ආත්මභවය ඉතාම දුක්ඛිත පරිසරයකට වැටීමට තිබෙන ඉඩකඩ වැඩිෙවියි. අප පුහුණුකරනු ලබන දෙය අනුව ඊළඟ භවය නිර්මාණය වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤