ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

කර්මය කෙලෙස සිදුවන්නේද ?


ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරාධිපති, 
ශාස්‌ත්‍රපති 
අරම ධම්මතිලක නාහිමි

බුද්ධකාලීන සමාජයේ කර්මය නැතිනම් කර්මවාදය පිළිබඳව විවිධ මත පළවිය. විවිධ ශාස්‌තෘවරුන් කර්මය සම්බන්ධයෙන් මති මතාන්තර පහළ වූ යුගයක ඒ අපැහැදිලි නිශ්චිත නිර්වචනයක්‌ දිය නොහැකි සංකල්ප රාශිය විමසුමට බඳුන්කොට සැබෑ කර්මය යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ද යන්න බුදුරදුන් පෙන්වා දුන්නේය.

එදවස කර්මය හා අකර්මය වශයෙන් කොටස්‌ දෙකකට බෙදා දක්‌වන ලදී. "සියල්ල සිදුවන්නේ කර්මය නිසාය" යනුවෙන් සමහරු පැවැසූ අතර, තවත් සමහරු කියා සිටියේ සියල්ල සිදුවන්නේ කර්මය නිසා නොවන බවය. "සියල්ලම කර්මයටම භාරදිය යුතු නැත" යන අදහසේද එල්බ ගෙන සිටියහ. බුදුරදුන් මේ අන්ත දෙකම බැහැර කළේය. බුදුරදුන් වදාළ කර්මවාදය නැතිනම් කර්ම සංකල්පය වෙනත් ආගමික සංකල්වලට වඩා ඉඳුරාම වෙනස්‌වූවකි. මනෝ විද්‍යාත්මක, ආචාර විද්‍යාත්මක, ඥන විමංසාත්මක පාර ලෞකික ඉගැන්වීම් පාදකකොටගෙන නිර්මිත වූවකි, එම කර්ම සංකල්පය.

සූත්‍ර සාහිත්‍යය 

බෞද්ධ සූත්‍ර සාහිත්‍යය දෙසට නැඹුරු වන විට කර්මය පිළිබඳ විවරණ රාශියක්‌ දක්‌නට ලැබේ. මේවා අතර යම රජු හා ඔහුගේ දූතයන් උදෙසා දේශනා කළ මඡ්ධිම නිකායේ "දේවදූත" සූත්‍රයෙහි අන්තර්ගත කර්ම විවරණයද මඡ්ජිම නිකායේ "චුල්ල කම්ම විභංග" සූත්‍රයේ ඇතුළත් සුබ මානවකයාට දෙසූ කර්ම විවරණයද කර්මය පිළිබඳ කරන ලද ඉතා වටිනා විවරණයකි.

එමෙන්ම අංගුත්තර නිකායේ එන "නිබ්බෝධිත පරියාය" සූත්‍රය ද මඡ්ධිම නිකායේ "අම්බලට්‌ඨිකා රාහුලෝවාද" සූත්‍රයද කර්මය පිළිබඳ කරන දාර්ශනික විවරණයකි. කර්මයේ විපාක ගෙනදීම අරබයා දේශණා කරන ලද සූත්‍රයක්‌ ලෙස මඡ්Cධිම මහා කම්ම විභංග සූත්‍රය සඳහන් කළ හැකිය.

තිදොරින් සිදුවන ක්‍රියා

සිත, කය, වචනය යන තිදොරින් සිදුවන ක්‍රියාවන්ගේ අවසාන ඵලය වන්නේ කර්මයයි. "චේතනාහං භික්‌ඛවේ කම්මං වදාමි" යනුවෙන් බුදුරදුන් දේශනා කරන ලද්දේ සියලුම කර්මයන්ට බලපාන්නේ ෙච්තනාව බවයි. මිනිස්‌ සිතක පවත්නා පැහැදිලි, සුපිරිසිදු ස්‌වභාවය පුද්ගලයාගේ කර්ම බලවේගයන්ට බලපාන්නකි. කිලිටි නොවූ සිතක නියත වශයෙන්ම පහළවන්නේ කුසල් සිතිවිලිය. මේ කුසල් සිතුවිලි සමුදාය කර්මයට අතිශයින්ම බලපාන්නකි. ඊළඟ භවය තීරණය වන්නේද මේ කර්ම බලවේගයන්ගේ හේතුවෙනි. චේනාවේ ඵල වශයෙනි. කුහක ගති ලක්‌ෂණවලින් දුරස්‌ථව ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මද-මාන දුරුකොට පාරිශුද්ධ වූ සිතුවිලි සමුදායක්‌ මත පුද්ගල දිවිපෙවෙත සරු කරගන්නේ නම් මිනිසාගේ ජීවිතයේ පැවැත්ම පවතින්නේ එතැනය.

කාර්යයන් තුනක්‌

බුදුසමය මිනිස්‌ සිත නැත්නම් චෛතසිකය හා බැඳුණු කාර්යයන් තුනක්‌ පෙන්නුම් කරනු ලැබේ. ඒව එනම් සංවේදනය, සංජානනය හා සංෙච්තනයයි. සංවේදනය යනු හැඟීම් පද්ධතියයි. සංජානනය යනු සියලුම දැනුම් සමූහයයි. සංෙච්තනය යනු උත්සාහයයි.

පුද්ගලයා කෙරෙහි හැඟීම් පද්ධතියක්‌ ඇතිකර ගත යුතුයි. මේ හැඟීම් කවරේද? ප්‍රඥව මෙහෙයවා සම්මා දිට්‌ඨිය හෙවත් යහපත් දැකීම පදනම්කොටගෙන මුල් කරගෙන සුබදායක හැඟීම් ගොන්නක ගැලී සිටිය යුතුය. කුසලා-කුසල කර්මයන්ගේ හැඟීම් සමූහයකට දෝලනය විය යුතුය. සංජානනය හෙවත් දැනුම් සමූහයක්‌ ලබාගත යුතුය. මේ දැනුම සමූහය කවරේද? චතුරාර්ය සත්‍ය ධර්මය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ අවබෝධයයි. ධර්මකාමී දිවි පෙවෙතකට නැඹුරුවන පුද්ගලයාගේ දැනුම් සම්භාරය අර්ථවත් වේ. අනර්කාරී සිතුවිලිවලින් බැහැරව අර්ථදායි සිතුවිලි ගොන්නක්‌ ඇති කර ගැනීම මත කුසල් සිත තවදුරටත් වර්ධනය වේ.

බුදුරදුන් නිබ්බේදක පරියාය සූත්‍රයෙන් කර්මය තවදුරටත් පැහැදිලි කරයි. පුද්ගලයා යම් යම් ඇලීම්-බැඳීම් හේතුකොටගෙන සංසාරික ජීවිතය වඩාත් චිරස්‌ථායී කරගනී. අහේතුක කර්ම රැස්‌ කරන්නේ අවිද්‍යාව හේතුකොටගෙනය. අවිද්‍යාව යනු මෝඩකමයි. අනුවණකමයි. මෝහයයි. මිනිස්‌ සමාජය දෙසට නැඹුරුවන විට සමහරු ධනවත් අයයි. ඇතැමුන් දිළින්දන්ය. උගත්, නූගත් වශයෙන් ද ලස්‌සන හා අවලස්‌සන ලෙසද සිටින්නේ ඇයි? මෙය ද කර්මානුරූපවල ඵලයකි. සමහර අය පදික වේදිකාවට පමණක්‌ ජීවිතය උරුම කරගෙන ඇත. ගතට නිසි වස්‌ත්‍ර නැතිව, කයට ආහාර නොමැතිව, හිසට නිවහනක්‌ නොමැතිව ගත කරන අය සමාජයේ එමටය. මෙය හේතුඵල දහම හෙවත් පටිච්ච සමුප්පාද ධර්මය මත සිදුවූවකි. කුලීන, කුලහීන තත්ත්වයට පත්ව ඇත්තේ ඇයි?

මෙබඳු පුද්ගලයා ඉදිරි භවයන් ගැන නොසිතා යම් යම් දේ කෙරෙහි ඇල්ම උපදවා බැඳීම් ඇති කරගෙන සෙස්‌සන්ට නිග්‍රහ කොට තමන් පමණක්‌ ජීවත්විය යුතුය යන නියතයෙන් විසූ නිසයි ජීවිතයට මෙවන් ශෝචනීය තත්ත්වයක්‌ උදාවූයේ. පුද්ගල චෛතසිකය නිරන්තරයෙන්ම පැහැදිලි ස්‌වරූපයක්‌ ගත යුතුයි. හරියට බොරලුවලින් උපයුක්‌ත ගලා බසින පිරිසිදු ජල දහරාවකින් තමන්ගේ මුහුණ බලන්නට හැකිවන්නේ යම් සේද ඒ ආකාරයෙන් පුද්ගල චෛතසිකය ද පාරිශුද්ධ විය යුතුය. නිතරම කිලිsටි වේතනාවෙන් සමන්විත නම් උපයුක්‌ත නම් එතැන පැහැදිලි මනසක්‌ ඇති නොවේ. ජීවිතය විරණය කරන්නේ පුද්ගලයාගේ චිත්ත චෛතසිකයයි. චෛතසිකය ධර්තා මත පිරිපුන් දිවිපෙවෙත නිතරම පැහැදිලි ගමන් මඟක්‌ තෝරා ගනී. යා යුතු අන්තයක්‌ ඇති බව මැනවින් අවබෝධකොට ගනී. ඒ අන්තය කවරේද? ඒ පැහැදිලි ෙච්තනාවයි. කර්මය ආචාර විද්‍යාත්මක අයුරින් යෙදිය යුතු හැටි යුතුකම් හා වගකීම් වශයෙන් අම්බලට්‌ඨික රාහුලෝවාද සූත්‍රයේද පෙන්වාදී ඇත.

කර්මය හා පුනර්භවය 

පුද්ගලයාගේ කය බිඳී යැමෙන්, වෙන්ව යැමෙන් පසු මරණින් පසුව අගතියේ හා සුගතියේ උපත ලබයි. යළි මනුෂ්‍යත්වයක්‌ ලබන්නට ද පුළුවන. මෙලොවදී ජනිත කරගත්තා වූ කර්මානුරූප ධර්මතා මත පුද්ගලයාගේ ඊළඟභාවය නැතිනම් මතුභවය තීරණය වේ.

පුනරුප්පත්තිය නොව පුනර්භවය මේ කර්මයට අතිශයින්ම බලපාන්නකි. මෙලොවදී පුද්ගලයා සිදුකළ කුසලා-කුසල කර්ම බලවේගයන්ය ඊළඟ භවය තීරණය කරනු ලබන්නේ. පුද්ගලයා මිය ගියාට පසු යළි උපත ලබන්නේ පුද්ගලයා නොව ඔහු සිදුකළ හොඳ නරකයි. පුද්ගලයාගේ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක්‌ ඇති වේ. මරණින් මතු භවය තීරණය කරන්නේ චෛතසිකයයි. යහපත් ෙච්තනාවෙන් පුද්ගලයා දිවි ගෙව්වා නම් ඊළඟ ආත්මය ගැන අපට බියක්‌, කුහුලක්‌, ගැටලුවක්‌ ඇති නොවේ.

අනාත්ම තත්ත්වය

ජීවිතය ආත්මයකින් කෙළවර වන්නේ නැත. අනාත්ම ලක්‌ෂණවලින් පිරිපුන් ජීවිතය දිගු සසර ගමනකට මුල පුරන්නේය. අපට අවශ්‍ය වන්නේ මේ දිගු මුලක්‌-මැදක්‌-අගක්‌ නොදකින මේ සංසාර කෙටි කරගන්නටය. අන් අය දුකට හෙළා තමන් පමණක්‌ යහතින් දිවි ගෙවන්නට තැත් දරන අය සමාජයේ එමටය. ඒ අයගේ ඉදිරි භවය ගැන අපට තීරණයකට එළැඹිය හැකිය. පුද්ගල ෙච්තනාවේ පවත්නා කිsලිටි ගති ලක්‌ෂණ හේතුකොටගෙන අකුසල සිතක්‌ ඔහු කෙරෙහි ජනිත කරයි. ඊළඟ භවය ගැන ඔහු නොසිතයි. 

තැන්පත් නුවණ මත පුද්ගලයාගේ චර්යා ධර්ම යහමඟට නැඹුරු කරයි. යමක හොඳ - නරක, යුක්‌තිය-අයුක්‌තිය, සාධාරණය-අසාධාරණය කුමක්‌ද යන්න කිරා මැන බලන්නට තැන්පත් නුවණක්‌a නිරන්තරයෙන්ම අවශ්‍ය වේ. නුවණ වියවුල් නම් සසලකාරී ස්‌වරූපයක්‌ ගන්නේ නම් එතැන පැහැදිලි චෛතසිකයක්‌ රෝපණය නොවේ. කර්මයට තුඩු දෙන කරුණු රාශියක්‌ මතු වී අයහපත් භවයකට මුල පුරයි. බුදුරදුන් ෙච්තනාවට ප්‍රමුඛතාව දුන්නේ ඒ හේතුව නිසයි.

කුසල කර්ම හා අකුසල කර්ම

පුද්ගලයා කෙරෙහි කුසලතාවක්‌ ඇතිකර ගත යුතුය. කුසල යන්නට හැකියාව, කෞශල්‍යය, දක්‌ෂතාව ආදී වශයෙන් පර්යාය නාම භාවිත කරනු ලැබේ. පින් සිත හා පව් සිත යනුවෙන් වර්ගීකරණයක යෙදෙන පුද්ගල චෛතසිකය ප්‍රඥවන්තයා මෙහෙයවන්නේ පින් සිතක්‌ කරාය.

යථාර්ථය තේරුම් නොගැනීම

සමාජයේ බොහෝ දෙනෙක්‌ ජීවිතයේ යථාර්ථය හා බුදුසමයේ යථාර්ථය තේරුම් නොගෙන ජීවත්වීම අතිශය ෙ€දයකි. නිතරම මරණය ගැන මෙනෙහි කරන්නේ නම් පුද්ගල චෛතසික පිරිසිදු වී ෙච්තනාව යහපතටම නැඹුරු වේ. වෛරය පසුපස අප හඹා යනවාද එසේ නැතිනම් ආදරය කරන්නට පෙළඹෙනවාද? මෙතැන ආදරය යනුවෙන් හඳුන්වන්නේ රාගාධි හැඟීම් නොව මිනිසාට දක්‌වන මානුෂික දයාවයි. පුද්ගලයා තවත් පුද්ගලයකුට මානව දයාව දැක්‌විය යුතුය. බුදුරදුන් සිදුකළේත් සියලු සත්ත්වයා කෙරෙහි මහා කරුණාව, මහා ප්‍රඥව, මහා දයාව දක්‌වා සුගතියට යොමු කිරීමයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

විරිය සම්බොජ්ඣංගය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක ධුරන්දර 
ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති 
මකුලෑවේ විමල නාහිමි

සප්ත බොජ්ඣංගයන් අතර තුන්වැන්න සේ සැලකෙන්නේ විරිය සම්බොජ්ඣංගයයි. වීර්යය කායික ,මානසික වශයෙන් දෙවැදෑරුම් වෙයි. එය බොජ්ඣංගයක් වශයෙන් ගත් විට එයින් මානසික ශක්තිය අපේක්ෂා කරනු ලැබේ. පටන් ගත් කටයුතු අතර මග නොනවත්වා නිමාවක් දක්නා තුරු කිරීම වීර්යයේ ලක්ෂණයයි. එම ගති ලක්ෂණය ඇත්තෝ වීර ගණයෙහිලා සැලකෙති.
ආරම්භක ධාතු , නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් වීර්යය තුන් වැදෑරුම් වෙයි. ඒවා අනුපිළිවෙළින් ගත් විට එකකට වඩා එකක් ප්‍රබලය. ආරම්භක ධාතු වශයෙන් සැලකෙන පළමු වන වීර්යය කාමාශාවන් දුරු කිරීම පිණිසත්, නික්කම ධාතු නමින් සැලකෙන දෙවන වීර්යය කෙලෙස් සංසිඳුවීම පිණිසත්, පරක්කම ධාතු නමින් සැලකෙන තෙවන වීර්යය කෙලෙස් බැමි කඩා බිඳ දැමීම පිණිසත් හේතු වෙයි.
ප්‍රධාන වශයෙන් ද වීර්ය සිව් වැදෑරුම් ලෙස දක්වා ඇත. එනම් 1. සංවරප්පධාන 2.පහානප්පධාන 3. භාවනාප්පධාන 4.ආරක්ඛණකප්පධාන වශයෙනි. මෙහි පධාන යන වචනය ද විරිය යන ශබ්දයට සමාන අරුත් ඇත්තකි. පඤ්චේන්ද්‍රියයන්ට පඤ්චකාම වස්තුන් ගෝචර වූ විට ක්ලේශ කාමයන් උපදී නම් එයට ඉඩ නොදී හික්මීමට ගන්නා වීර්යය සංවරප්පධානයයි. සිතේ ඇතිවන කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන් දුරු කිරීමට ගන්නා උත්සාහය පහානප්පධානයයි. චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාර වන බොජ්ඣංග විෂයෙහි වන අප්‍රමාද පැවැත්ම භාවනාප්පධානනයි. සිතේ පිරිසුදුකම හා සංවරකම ඇති කර ගැනීමෙහිලා පහළ වන වීර්යය අනුරක්ඛණප්පධානයයි.

වීර්යය නොයෙක් ලක්ෂණයන්ගෙන් යුක්තය. ඒ සඳහා භාවිත වන සමානාර්ථවාචී පද කීපයක් මෙසේය. උස්සාහ,පග්ගහ, ආතප්ප, වායාම, පරක්කම , පධාන, උය්‍යාම මේ සෑම පදයක්ම විරිය යන පදයට සමානාර්ථවාචී වෙයි. වීර්යය දස පාරමිතාවන් අතර විරිය පාරමිතා නමින්ද ආර්ය මාර්ගාංගයන් අතර සම්මා වායාම නමින්ද ,ඉන්ද්‍රිය ධර්මයන් අතර විරියින්ද්‍රීය නමින්ද , බල අතර විරිය බල නමින්ද ඍද්ධිපාදයන් අතර විරියිද්ධිපාද නමින්ද සත්ත බොජ්ඣංගයන් අතර විරිය සම්බෝජ්ඣංග නමින්ද ව්‍යවහාරයට පැමිණ ඇත.
1.නූපන් අකුසල් නූපදීමට ගන්නා වීර්යය. 2.උපන් අකුසල් යටපත් කොට දැමීමට ගන්නා වීර්යය 3.නූපන් කුසල් උපදවා ගැනීමට ගන්නා වීර්යය. එනම් ධ්‍යාන මාර්ගඵල ආදිය උපදවා ගැනීමට ගන්නා වීර්යය. 4.උපන් කුසල් එනම් තම සිතින් උපදවා ගෙන ඇති ධ්‍යාන මාර්ග ඵල ආදිය වැඩි දියුණු කර ගැනීමට ගන්නා වීර්යය වශයෙන්ද වර්ග කර ඇත. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉගැන්වෙන සම්මා වායාමයයි.
වීර්ය කළ යුත්තේ තම තමා විසිනි. බුදුරජාණන් වහන්සේගෙන් සිදු වී ඇත්තේ එවැන්නවුන්ට යා යුතු නිසි මග පෙන්වා දීමයි. උන්වහන්සේ “මා නිවත්ත අභික්කම” තමා උතුම් අරමුණු ඉටු කර ගනිමින් ඉදිරියට යන්නැ”යි උපදෙස් දුන්හ. අප කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මගෙහි අරි අටගි මඟ දැන එමගෙහි නො සැලී ඉදිරියට යාමයි. එවිට බුදුරජුන් අප ළඟම වැඩ සිටින සෙයක් අපටම වැටහෙනු ඇත. යමෙක් ධර්මය දකීද, හෙතෙම මා දකී (යො ධම්මං පස්සති, සො මං පස්සති) යි වදාරා ඇත්තේ එයයි.
වීරිය සම්බෝජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන කරුණු එකොළොසකි. ඒ මෙසේය.
“ඒකාදස ධම්මා විරිය සම්බෝජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති
1.අපායභය පච්චවෙක්ඛණතා (අපා බිය නුවණින් සලකන බව)
සැපයෙන් තොර වූ තැන අපාය නමින් සැලකේ. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර, යනුවෙන් අපාය හතරක් ඇත. ඒ හතර අපායන්හි උපන් සත්වයන් විඳින දුක් නුවණින් සලකා බලන්නකුට සිව්මඟ නුවණින් නිවන් අවබෝධ කර ගැනීමේ වීර්ය ඇති වෙයි.
2.ආනිසංස දස්සාවිතා (ආනිශංස දන්නා බව)
කම්මැලියන්ට සතරමඟ, සතර පල නිවන් ලබන්නට නොහැකිය. එය ලැබිය හැක්කේ ආරම්භක ධාතු, පරක්කම ධාතු ,නික්කම ධාතු යන වීර්යයෙන් යුතු පුද්ගලයන්ටය. මෙසේ ආනිසංස සලකන්නන්ට වීර්ය උපදවා ගෙන සසර කතරින් එතෙර විය හැකිය.
3.ගමන විථි පච්චවෙක්ඛණතා (රහතුන් වැඩි මග සැලකිල්ලට ගැනීම)
බුදු,පසේ බුදු, මහරහතන් වහන්සේලා ලෞකික සැප සම්පත් අතහැර දමා නිවන් සැප පසක් කර ගත් අයුරු උන්වහන්සේලාගේ චරිත හදාරන විට පැහැදිලි වෙයි. ඒ අනුව කටයුතු කරන විට සිව්මග නුවණින් නිවන් අවබෝධ කර ගැනීමේ වීර්ය ඇති වෙයි.
4.පිණ්ඩපාත පච්චවෙක්ඛණතා (පිණ්ඩපාතයට ප්‍රති පූජා කිරීම)
තමන්ට සිව්පසයෙන් සලකන ලද සැලකිලි කරන පුද්ගලයින් එසේ කරන්නේ ඇයි දැයි මෙනෙහි කරන භික්ෂුව තුළ ඔවුන්ට ප්‍රතිපූජා කළ හැක්කේ තමන් නිවන් පසක් කර ගැනීමෙනැයි යන වීර්යය ඇති වෙයි.
5.දායජ්ජ මහන්ත පච්චවෙක්ඛණතා (දායාද මනත්වය ප්‍රත්‍යවේක්ෂා කරන බව)
දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන ඉඩකඩම්, වතුපිටි, ගේදොර ආදි ලෞකික සම්පත් ද දායාද නමින් සැලකේ. එහෙත් මෙහිලා දායාද නමින් සැලකෙන්නේ එවැනි ලෞකික සම්පත් නොවේ. තෙරුවන් සරණ යන බෞද්ධයා සප්තාර්ය ධනය දායාද කොට ඇත්තෙකි. ඒ ශ්‍රද්ධා, ශීල, හිරි, ඔත්තප්පිය, ශ්‍රැත ,ත්‍යාග, ප්‍රඥා යන සප්තාර්ය ධනයයි. තමාට බුදු පසේ බුදු , මහරහත් පරපුරෙන් ලැබිය හැකි ඒ උතුම් දායාද ගැන සිතන්නෙකුට ඒවා තම උත්සාහයෙන්ම ලැබිය යුතු බව වැටහෙන විට වීර්ය සම්බොජ්ඣංගය උපදවා ගෙන නිවන පසක් කරගත හැකිය.
6.සත්ථු මහන්ත පච්චවෙක්ඛණතා (ශාස්තෘවරයාගේ නුවණින් කරන ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කරන බවය)
බුදුවරයෙකුගේ පහළ වීම, මිනිසත් බව ලැබීම, සද්ධර්ම ශ්‍රවණය, ආදි දුර්ලභ කරුණු සැලකීමෙන්ද, බුදුරදුන්ගේ චරිතය, දහම් හැදෑරීමෙන්ද බුදු ගුණ සිහිකිරීමෙන්ද ආදී වශයෙන් ශාස්තෘවරයාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කිරීමෙන් මෙබඳු සමයක උපන් මා උදාසීන නොවී වීර්ය වැඩිය යුතු යැයි විරිය සම්බොජ්ඣංගය උපදවා ගෙන නිවන් අවබෝධ කර ගනී.
7.ජාති මහන්ත පච්චවෙක්ඛණතා (ජාති මහත්වය නුවණින් මෙනෙහි කරන බවය)
බුදුරජුන් සරණ ගිය තැන් පටන් මම දැන් හීන ජාතිකයෙකු නොවෙමි. මහා සම්මත රාජ පරම්පරාවේ ඔක්කාක රාජවංශයට අයත් වූවෙක්මි. සුදොවුන් මහරජුන්ගේත්, මහාමායා දේවියගේත්, මුණුපුරෙක්මි,යි එබඳු වූ මා කුසීතයෙකු කම්මැලියකු සේ කල් යැවීම සුදුසු නොවේ.’ යනාදී වශයෙන් ජාති මහත්වය නුවණින් මෙනෙහි කරමින් මා සම්බොඣංගය වඩා නිවන් අවබෝධ කර ගනී.
.සබ්‍රහ්මචාරි මහන්ත පච්චවෙක්ඛණතා (සබ්‍රහ්මචාරි මහත්වය නුවණින් මෙනෙහි කරන බවය)
‘සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාත්, අසූ මහ සව් මහරහතන් වහන්සේලා ඇතුළු මහරහතන් වහන්සේලාත් සිව්වැදෑරුම් වීර්ය වඩාගෙන ලොව්තුරු දහම අවබෝධකර ගත්හ. සබ්‍රහ්මචාරි වූ මම ද උන්වහන්සේලා වැඩි මග අනුගමනය කරන්නේද? “ඒ අයුරින් සබ්‍රමචාරි මහත්වය නුවණින් මෙනෙහි කරන යෝගාවචරයා විරිය සම්බොජ්ඣංගය වඩා නිවන් පසක් කර ගනී.
9.කුසීත පුද්ගල පරිවජ්ජනතා (කම්මැලි කුසීත පුද්ගලයන් දුරු කරන බව)
කුසීත පුද්ගලයෝ අගාරික, අනගාරික වශයෙන් කොටස් දෙකකි. ඒ අය ගොදුරු ගිල කුස පුරවාගෙන සිටින පිඹුරන් මෙනි. එවැනි කායික, මානසික අකර්මණ්‍ය පුද්ගලයන් ඇසුරු නොකළ යුතුය.
ගිහියකු වශයෙන් තමන්ගේ වගකීම් ඉටු නොකර ඈලි මෑලි දුබල ගතියෙන් යුතුව, වාසනාව ඇතොත් හැම දෙයක්ම ඉටු වෙතැ’යි කියමින් කල් මරන පුද්ගලයා අගාරික කුසීත පුද්ගල ගණයට වැටේ. අනගාරික කුසීත පුද්ගල ගණයට වැටෙන්නේ, පසිඳුරන් පිනවමින්, ජීවත්වන, අහාරයෙහි පමණ නොදන්නා ඉන්ද්‍රීය සංවරයක් නැති, බණ භාවනා වත් පිළිවෙත් නොකරන පැවිදි පිරිසය. අගාරික වුත් අනගාරකි වූත් ඒ කුසීත පුද්ගලයින් ඇසුරු නොකොට, වීරිය සම්පන්න පුද්ගලයින්, ඇසුරු කරමින් යෝගාවචරයා විරිය සම්බොජ්ඣංගය උපදවා ගත යුතුය.
10.ආරද්ධ විරිය පුග්ගල සේවනතා (ආරබ්ධ වීර්යයෙන් යුතු පුද්ගලයා සේවනය කරන බව)
පටන් ගත් වීර්යය ඇති ආරම්භ කළ කටයුතු නිමාවන තෙක් අතරමඟ නතර නොකොට අවසාන ප්‍රතිඵලය ලැබෙන තුරු ක්‍රියා කරන වීර්යවන්ත පුද්ගලයන් ඇසුරු කරමින් විරිය සම්බොජ්ඣංගය උපදවාගෙන නිවන් පසක් කරගත යුතුය.
11.තදධිමුත්තතාව
සිව් ඉරියව්වේදීම විරිය සම්බොජ්ඣංගය කෙරෙහි ඇලී ගැලී වාසය කිරීම මෙහිලා තදධිමුත්තාව ලෙස සැලකෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආර්යඵල ලාභිත්වය සඳහා

පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරිසීවලී හිමි
සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය, 
ප්‍රධාන අනුශාසක, යටියන, මිනුවන්ගොඩ


භවය බුද්ධියෙන් අවබෝධ කර භව නිරෝධය සඳහා ප්‍රතිපත්ති පුරන්නා බෞද්ධයායි. නැතහොත් අවබෝධයෙන් අර්ථ සම්පන්න ජීවිතයක්‌ ගතකර ජීවිතයෙන් වැඩ ගන්නා උත්තමයා බෞද්ධයායි. ජීවිතයේ වැඩ + ගත් = වැදගත් උතුමෝ රහතන් 

වහන්සේය. උතුම් මිනිස්‌ දිවියෙහි කරන ලද 'කිස්‌ ඇති 'කතකිච්ච' උතුමෝ රහතන් වහන්සේය. එසේ හෙයින් අනූපමේය කරුණාවෙන්, මෛත්‍රියෙන් ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ දායාද කළ ධර්ම දානය ලැබගෙන ධර්ම දායාදය ලැබගෙන ලොව්තුරු ඵල මේ භවයේදී ලබාගැනීමට අදිටන් කරගත යුතුය. ලැබී ඇති මේ ස්‌වර්ණමය අවස්‌ථාව නොසලකා හැරියොත් මගහැරී ගියහොත් කවදා කෙසේ නම් කුමන දවසක ලැබේදැයි සිතීම පවා අසීරුය.

සම්බුද්ධ ශාසනයේ ස්‌ථාවර වීමට, මුල්බැස ගැනීමට, දායාද ලැබීමට, සතර අපායෙන් සදහමට අත්මිදීමට, භව හතක්‌ තුළ නිවන් දැකීමට අනිවාර්යයෙන්ම ආර්ය ශ්‍රාවක භාවය ලැබිය යුතුය. ඒ සඳහා වැඩිය යුතු මගක්‌, කළ යුතු කෘත්‍යයක්‌ ඇත. එය පළමුවන ආර්ය මාර්ග වැඩීමයි. සෝවාන් මාර්ගයට අවතීර්ණ වීමයි. සේක ප්‍රතිපදාව නම්වූ ආර්ය ප්‍රතිපදාව නම්වූ සෝවාන් මාර්ගය වැඩීමේදී සත්තිස්‌ බෝධි පාක්‌ෂික ධර්ම වැඩිය යුතුය. සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපදාව ඒ සඳහා නිර්දේශිතයි.

බෝධිපාක්‌ෂික ධර්ම ඉගෙනගැනීම, පොතපතේ සටහන් තැබීම, කටපාඩම් කිරීම, මතකයේ රඳවා ගැනීම පමණකින් ධර්මය වැඩි මාර්ගස්‌ථයෙක්‌ බවට පත් නොවේ. ඒ ගුණ ධර්ම තමා තුළ ක්‍රියාත්මක භාවයෙන් වැඩිදියුණු වීමක්‌, ගුණාත්මක සංවර්ධනයක්‌ සිදුවෙනවා දැයි ආත්ම ප්‍රත්‍යවේක්‌ෂණය තුළින් හෙවත් තම චරිතය වෙත තීක්‌ෂණ බැල්මක්‌ හෙලා සැබවින්ම ප්‍රගතියක්‌ කරා යන වර්ධනයක්‌ ඇද්දැයි විමසිය යුතුය.

ලෝකයේ උපත ලබන සත්වයන් භව්‍ය හා අභව්‍ය යනුවෙන් දෙකොටසකි. භවය යනු යමක්‌ හරිහැටි අවබෝධ කරගත හැකි, හොඳ - නරක, සත්‍ය - අසත්‍ය වටහා ගත හැකි කොටස වේ. අභව්‍ය යන්නෙන් අදහස්‌ කරනුයේ ඒ හැකියාව නැති සතර අපාගත සත්ත්වයන් හා සමහර අමනුෂ්‍ය කොටස්‌ය. භව්‍ය සත්ත්වයන් අතර ඉහළින්ම සිටින්නේ මනුෂ්‍යයන්ය. මනුසතාය. ඉතිරි දේව - බ්‍රහ්මාදීන්ය.

සතර සතිපට්‌ඨානයෙන් ආරම්භවී ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් අවසන් වන සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මවලින් මෙම ධර්ම පත්‍රිකාවෙන් ඉදිරිපත් කරනුයේ පංච ඉන්ද්‍රිය ධර්ම ගැන විස්‌තරයයි.

සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය යනු ඒ ඉන්ද්‍රිය ධර්ම පහයි. මේ ඉන්ද්‍රිය ධර්ම පහ හෝ කීපයක්‌ තමා තුළ විද්‍යාමන වේ නම් හේ ආර්ය ශ්‍රාවකයෙකි. එසේ නොවේ නම් හේ පුහුදුන් බවේ සිටින්නෙකි. ඒ බව මෙසේ බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරති.

'යස්‌සඛො භික්‌ඛවේ, ඉමානි පංච ඉන්ද්‍රියා සබ්බෙන

සබ්බං සබ්බතා සම්බං නත්ථි, තමහං බාහිරො ප්‍රථුඡ්ජන පෙජධ තිඨොති වදාමි'. ඉහත අදහස මේ දේශනා පාඨයෙන් ප්‍රකාශ වේ. මේ ඉන්ද්‍රිය ධර්ම කෙසේදැයි විමසාබලමු.

සංයුත්ත නිකායේ සාලා සූත්‍රයේ මෙසේ දැක්‌වේ.

'මහණෙනි, සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක්‌, බෝධි පාක්‌ෂික ධර්මයක්‌. එය අවබෝධය හෙවත් ප්‍රඥව ලබාගැනීම සඳහා උපකාරී වේ.

- මහණෙනි, විරිය ඉන්ද්‍රිය ධර්මයක්‌ බෝධිපාක්‌ෂික ධර්මයක්‌. එය අවබෝධය හෙවත් ප්‍රඥව ලබාගැනීම සඳහා උපකාරී වේ.

- මෙසේ ඉතිරි සියලුම ඉන්ද්‍රිය ධර්ම නිවන සඳහාම පාදකවේ.

පළමු ඉන්ද්‍රිය ධර්මය විවරණය වන්නේ 

මෙසේය

'මහණෙනි, ශ්‍රද්ධාවේ බලය, ශක්‌තිය මොනයම් කරුණකදී පැහැදිලිව දැකිය හැකිද?

සතර සෝතාපත්ති අංගවලදී දැකිය හැක.

සතර සෝතාපත්ති අංග මෙසේයි.

1. බුද්ෙ අවෙච්ච ප්‍රසාදය

2. ධම්මේ අවෙච්ච ප්‍රසාදය

3. සංඝෙ අවෙච්ච ප්‍රසාදය

4. අරිය කාන්ත සීලයයි

මේ අංග හතරෙන් බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ තමා තුළ ඇතිකරගෙන වඩවා ගැනීමේදී දැන පැහැදීම ඇතිවේ. මෙහි විශේෂත්වය වනුයේ බුදුගුණ වැඩීමේදී දහම් ගුණ, සඟගුණද ඇතිවනු ඇත. වැඩෙනු ඇත. බුදුගුණ වැඩීම කොටස්‌ තුනකට බෙදා දැක්‌විය හැක. 

1. බුදුගුණ ගායනය

2. බුදුගුණ සිහිකිරීම

3. බුදුගුණ ඇතිකර ගෙන වඩවා ගැනීමයි. 

මෙයින් පළමු බුදුගුණ ගායනය සාමාන්‍ය ජනතාව ආගමික කටයුතුවලදී නිතර සිදුකරයි. එය ආමිෂ පූජාවකි. දෙවනුව බුදුගුණ සිහිකිරීමයි. බුද්ධානුස්‌සති භාවනාවයි. එමගින් ධ්‍යාන බල ඇතිකරගත හැක. එයද ආමිෂ පූජාවටඅයත්ය. ගායනයෙන් සිහිකිරීමෙන් නිවන් දැකිය නොහැක. එයට හේතුව ආමිෂ පූජාවකින් ලෝකෝත්තර ඵල නොලැබෙන නිසාය. ලෝකෝත්තර හෙවත් මාර්ගඵල ලැබෙන්නේ ප්‍රතිපත්ති පූජාවකින් පමණි.

තෙවනුව සඳහන් බුදුගුණ ඇතිකරගෙන වඩවාගන්න. සෝතාපත්ති අංග හතරෙන් තුනක්‌ම වැඩෙනු ඇත. ඒ මෙසේයි. බුදුගුණ අනන්තය, අප්‍රමාණය. ගණනය කළ නොහැක. බුදුගුණවලින් අපට පහසුවෙන් වැඩිය හැකි ගුණය වන්නේ ලෝකවිදූ ගුණයයි. ලෝකය යනු සිතයි, කයයි දෙකේ එකතුවයි. සිත හා කය ගැන දැනගැනීමට සතර සතිපට්‌ඨානය වැඩිය යුතුය. යමෙක්‌ සතර සතිපට්‌ඨානය අවබෝධයෙන් වඩන්නේ නම් හේ සෝතාපත්ති අංග වඩන්නෙක්‌ වේ. ආර්ය ශ්‍රාවකයෙක්‌ වේ. නිවනට නියත වූ බුද්ධ ශ්‍රාවකයෙක්‌ වේ. බෞද්ධයෙක්‌ වේ. අරියකාන්ත සීලය යනු සියලු පව් අතහැර කුසල් දියුණු කිරීමයි.

දෙවැනි ඉන්ද්‍රිය ධර්මය මෙසේ දැක්‌වේ. 'ක‍ෙථච භික්‌ඛවේ විරියිවද්‍රියං දට්‌ඨබ්බං' චතුසු සම්මප්පධානෙසු' මහණෙනි, විරිය ඉන්ද්‍රිය කිනම් ධර්මතාවක දැකිය හැකිද? සතර සම්පධානයෙහිය.

සතර සම්ප්පධානයන් කවරේද?

1. සො අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති.

යෝගාවචරයා නූපන් අකුසල ධර්ම නොඉපදීම සඳහා කැමැත්ත ඇතිකරගනී. වෑයම් කරයි. විර්ය ඇතිකරයි. එක සිතින්ම පිහිටා සිටී. ස්‌ථිරව පිහිටයි. බලවත් උත්සාහය ඇතිව වෙසේ.

2. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පාහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති  චිත්තං පග්ගන්හාති පදහති.

උපන් පාපක අකුසල ප්‍රහානය සඳහා කැමැත්ත ඇති වේ. ඒ සඳහා වෑයම් කරයි. වීර්යය උත්සාහය ඇතිවේ. ස්‌ථිරව පිහිටවූ බලවත් අධිෂ්ඨානයෙන් යුක්‌තවේ. 

3. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති. වායාමති. විරියං ආරභති. චිත්තං පග්ගන්හාති. පදහති.

නූපන් කුසල් සිත් (සෝවාන් ආදී මාර්ග සිත් 04 හා ඵලසිත් 04) වැඩීම, ඉපදවීම සඳහා වෑයම් කරයි. වීර්යය ඇතිකර ගනී. ස්‌ථිරව පිහිටවූ බලවත් අධිෂ්ඨාන ඇති කර ගනී.

4. උපප්නානානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භියේ‍යා භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති.

උපන් (මාර්ගඵල සිත්) ස්‌ථිර කිරීම සඳහා නොපිහිරීම සඳහා බොහෝ සේ දියුණු කිරීම සඳහා විපුලභාවයට පත්කිරීම සඳහා භාවනාත්මකව වඩා ගැනීම සඳහා පරිපූර්ණ කැමැත්ත ඇතිකර ගනී. ඒ සඳහා වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. උත්සාහවත් වේ. ස්‌ථිරව පිහිටා සිටී. තුන්වැනි ඉන්ද්‍රිය ධර්ම මෙසේ දැක්‌වේ. 

කෆථච භික්‌ඛවේ, සති ඉන්ද්‍රියං දිට්‌ඨබ්බං? චතුසුසති පට්‌ඨානේසු

මහණෙනි, සති ඉන්ද්‍රිය ධර්මයේ බලය, ශක්‌තිය කිනම් තැනකදී දැකිය හැකිද? සතර සති පට්‌ඨානයෙහිය.

1. කායානුපස්‌සනා

2. වේදනාපස්‌සනා

3. චිත්තානුපස්‌සනා

4. ධම්මානුපස්‌සනා වේ.

සිවුවන ඉන්ද්‍රිය ධර්ම කෙසේද?

ක‍ෙථච භික්‌ඛවේ සමාධි ඉන්ද්‍රියං දට්‌ඨබ්බං? චතුසු ඣධානේසු.

මහණෙනි, සමාධි ඉන්ද්‍රිය ධර්මයේ බලය, ශක්‌තිය දැකිය හැක්‌කේ කිනම් ස්‌ථානය තුළද? ධ්‍යාන හතරෙහිය.

1. පළමු ධ්‍යානය 2. දෙවැනි ධ්‍යානය

3. තෙවන ධ්‍යානය 4. සතරවන ධ්‍යානය වේ.

ඊළඟට පස්‌වන ඉන්ද්‍රිය ධර්ම පඤ්ඤ ඉන්ද්‍රියයි. 

'කෆථච භික්‌ඛවේ පඤ්ඤේන්ද්‍රියං දට්‌ඨබ්බං?' චතුසු අරිය සච්ෙච්සු ඤාණං'

මහණෙනි, පඤ්ඤා ඉන්ද්‍රිය බලය ශක්‌තිය, දැකිය හැක්‌කේ කිනම් ධර්මතාවක්‌ තුළද? චතුරාර්ය සත්‍ය ධර්මය තුළය.

චතුරාර්ය සත්‍ය ධර්මය

1. දුක්‌ඛ සත්‍යය 2. සමුදය සත්‍යය 3. නිරෝධ සත්‍යය 4. මාර්ග සත්‍යය 

මෙසේ මෙම ඉන්ද්‍රිය ධර්මවල කාර්යභාරය පැහැදිලිව සඳහන් වීමෙන් ආර්ය ශ්‍රාවකයාට තමා තුළ ඒ ධර්මතා වඩා ගැනීමටත්, වැඩි දියුණු කර ගැනීමටත් ඉමහත් පිටිවහලක්‌ සිදුවේ.

- සද්ධා ඉන්ද්‍රියෙන් සතර සෝතාපත්ති අංගද

- විරිය ඉන්ද්‍රියෙන් සතර සම්‍යග් ප්‍රධාන වීර්යයද

- සති ඉන්ද්‍රියෙන් සතර සතිපට්‌ඨානයද

- සමාධි ඉන්ද්‍රියෙන් සතර ධ්‍යානංගද

පඤ්ඤා ඉන්ද්‍රියෙන් - සතර ආර්ය සත්‍යයද

ප්‍රකාශ වේ. සසරෙන් එතෙරවීමට ඉදිරියට යන ඔබට මේ ධර්මතා වැඩි තිබේදැයි විමසිලිමත් වන්න.

සත්‍ය අවබෝධ කළ උත්තමයාට වඩා සුත, මුදිත සැනසුන පුද්ගලයෙක්‌ මේ තුන් ලෝකයේ කොතනකවත් නැත. බෞද්ධ දර්ශනය හැර ලොව පහළවූ සියලු ආගම් දර්ශනවලින් මිනිසාගේ සදාකාලික විමුක්‌තිය සැනසිල්ල ළංකර ගත හැක්‌කේ මරණින් මතුවටය. එහෙත් සතර මග, සතර ඵල නිවන මේ භවයේදී මේ ජීවිතයේදී ලැබිය හැක. චෛතසික දියුණුවේ ශ්‍රේෂ්ඨතම අවස්‌ථාව අර්හත් ඵලයයි. අවම ඵලය සෝවාන් ඵලයයි. දිට්‌ඨධම්මවේදනීය ආර්ය ඵලලාභීත්වය සඳහා උත්සාහ කරන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤