ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

දුක්ඛ ආර්ය සත්‍යය

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, 
රාජකීය පණ්ඩිත, 
අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, 
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති
පල්ලත්තර සුමනජෝති නා හිමි

ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලහති තම්පි දුක්ඛං, සංඛීත් තෙන පඤ්චූපාදානක්ඛන්ධා දුක්ඛා ( ධම්මචක්ක සූත්‍රය)
ගෞතම බෝසතාණන් වහන්සේ ලොවුතුරා සම්බුද්ධත්වයට පත්වූයේ අදට වසර 2605 කට පෙරයි. එදා වෙසක් පුරපොහෝ දිනයකි. තමා අවබෝධ කළ ධර්මය මෙනෙහි කරන විට එය ඉතා ගැඹුරු දහමක් බවට වටහාගති. එය අවබෝධ කරගැනීමට බුද්ධිය මුහුකුරා ගිය පුද්ගලයන් ලොව සිටිත් දැයි බලමින් තමන් වහන්සේ තවුස් කළ ඇසුරු කළ ආලාරකාලාම උද්දකරාමපුත්‍ර ආදීන් ගැන සිහිකළා. ඒ අය මිනිස් ලොව නැති බව දැක අවසනට පස්වග තවුසන් ගැන බැලුව. ඒ වනවිට ඔවුන් බරණැස් නුවර ඉසිපතන නම් මිගදායෙ සිටින බව දැක්ක. ඔවුන්ට ප්‍රථම ධර්මදේශනාව පවත්වන්නට අදහස් කළ බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ සිට බරණැසට පා ගමනින් ම වැඩම කර එහි ළඟා වූයේ ඇසළ පුර පොහෝ දවසේය. පස්වග තවුසන් තමා ප්‍රතික්ෂේප කළ නමුත් ඔවුනට නොයෙක් කරුණු නිසා ඔවුන් තමාට අවනත කර ගන්නට සමත් වූහ. ඉක්බිති එදින සවස් යාමයෙහි ඔවුන් අවනත කරගත් බුදුරජාණන් වහන්සේ ඔවුනට ප්‍රථම ධර්ම චක්‍රය හෙවත් ධර්ම දේශනාව පැවැත්වූහ. මේ ධර්මය අසන්නට එහි මනුෂ්‍යයන් වශයෙන් සිටියේ පස්වග තවුසන් පමණකි. ඒ හැර දසදහසක් සක්වල දෙවි බඹුහුද වූහ. බුදුරජාණන් වහන්සේ දේශනාව අරඹමින් ‘ද්වෙ මෙ භික්ඛවේ අන්තා පබ්බ ජිතෙන න සෙව් තබ්බා’ ආදී වශයෙන් වදාරනව. මහණෙනි, හීන, ග්‍රාම්‍ය, අනාර්ය්‍ය, අනර්ථකකාමසුඛල්ලිකානුයෝගය (විමුක්තිය ලැබීම සඳහා කම් සුවයෙහි ඇලී ගැලී සිටීම) හා දුක්ඛ සහගත අනාර්ය අනර්ථකර අත්තකිලමථානුයෝගය (හෙවත් දුක් නැසීම සඳහා ආත්මයට වදදීම) යන අන්තගාමී ප්‍රතිපදා දෙක අත්හැර තථාගතයන් වහන්සේ විසින් නිවනට පිහිට වන අසහාය ප්‍රතිපදාව වන මැදුම් පිළීවෙත තමා විසින් අවබෝධ කරගත් බව වදාළ.

මැදුම් පිළිවෙතේ දුක්ඛාර්ය සත්‍යය, සමුදාර්ය සත්‍යය, නිරෝධාර්ය සත්‍යය, නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය යන චතුරාර්ය සත්‍ය මඟින් නිවන් දකින්නා දුක්ඛාදී ආර්ය සත්‍ය හතරක් පිළිපැදිය යුතුබව බුදුන් වහන්සේ වදාළ මේ හතරෙන් මාගේ දහම් ලිපියට පාදක වන්නේ දුක්ඛාර්ය සත්‍යයයි. සමස්ත ලෝක ප්‍රජාවටම දුකෙහි ගැළී සිටින බව දුක්ඛෙ ලොකො පතිට්ඨිතො යනුවෙන් වදාළ පරිදි මේ ලෝකේ තියෙන්නේ දුක පමණයි. අනෙක් සියල්ල දුකට යටත් දුක පදනම් කරගත් දේවලයි.
ලැබෙන්නේ දුක පමණයි. ඇත්තේත් දුක පමණයි. දුකින් තොර කිසිවක් නැත. දුකින් තොර කිසිවක් නිරුද්ධ වන්නෙත් නැතැයි බුදුන් වදාළේද ඒ බවයි. ඒ නිසා දුක යනු කුමක්ද, දුක ඇතිවන්නේ කෙසේද දුක දුරලිය යුත්තෙහි දුරලන මඟ අරි අටඟි මගයි. මේ ප්‍රතිපදාව අනුගමනය කළ පුද්ගලයාට දුකින් තොර වී නිවන් අවබෝධ කර ගැනීමෙන් සදා කාලික සැප ලැබිය හැකිය. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් දුක්ඛ සත්‍ය පළමුව දේශනාකළ බුදුරජාණන් වහන්සේ ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා, ආදී වශයෙන් වදාරනව මහණෙනි. දුක්ඛාර්ය සත්‍යය නම් ජාති (උපති) ජරා (දිරායම) ව්‍යාධි (රෝගීවීම) මරණ (උපන් සත්වයා උපන් භවයෙන්) මරණයට පත්වීම, ඒ හැර අපි‍්‍රය පුද්ගලයන් හා එක්වීම, පි‍්‍රය පුද්ගලයන්ගෙන් වෙන් වීම, තමා කැමැති දෑ නො ලැබීම” හා පොදුවේ උපාදානස්ඛන්ධ පහම දුක්ඛ පුඤ්ජයකි. යන මේ කරුණු දුක්ඛාර්ය සත්‍යය බව වදාළහ. මේ දුක්ඛ සහගත පඤ්චස්කන්ධයෙහි අනාත්මභාවය (සදාකාලික නොවන බව) ප්‍රඥාවෙන් අවබෝධ කරගත් පුද්ගලයා සසරින් මිදෙන බවද තවදුරටත් උන්වහන්සේ වදාළහ.
ධම්මචක්ක දේශනාවෙදි සංක්ෂිප්තව දෙසූ දුක්ඛාර්යසත්‍ය ධර්මය පසු කලෙක සැරියුත් මහරහතන් වහන්සේ සච්චවිභංග සූත්‍ර දේශනාවේ දී සවිස්තරව දේශනා කර තිබේ. එම විස්තරය මෙතැන් සිට ඔබට වටහා දීමට මම උත්සාහ කරමි. ජාති නමැති සත්ත්වයාගේ උපතින් පටන් ගන්නා දුකට ඉහාත්මයේදීම ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, රිසිදෑ නොලැබීම හා මුළු පඤ්චස්ඛන්ධයම අයත් බව සැරියුත් මා හිමි ප්‍රකාශ කළහ. සත්ත්වයන් උපත ලබන ඒ ඒ සත්ව නිකායවල සත්ත්වා වාසවල ඉපදීම සම්බන්ධයන්ගේ පහළවීම ජාතියයි. සත්ත්වයාගේ නැවත නැවත ඉපදීම සංසාරයේ ජරා දුක විස්තර කරමින් වදාරනව ඒ ඒ සත්ත්වයන් උපන් උපන් ලෝකවලදී පඤ්චස්කන්ධයාගේ දිරායාම, කැඩීයාම, මෝරායාම, පැසීම, සිරුර රැළි ගැසීම, ආයුෂ පිරිහීම, චක්ෂුරාදී ඉඳුරන් මුහුකුරායාම, ජරාවයි. මරණ නම් ඒ ඒ සත්ත්වයන් ඒ සත්ත්ව නිකායෙන් චුත වීම, චුතවන ලක්ෂණ, සිරුරේ බිඳී යාම, අතුරු දන්වීම, මාරයාගේ වසඟයට පත්වීම මරණය, හෙවත් ප්‍රාණය නිරුද්ධවීම, කාලක්‍රියාව, ස්කන්ධයන්ගේ බිඳීම, සිරුර බැහැර කිරීම, මරණය බව සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කර දුන්හ. ශෝකය නම් ඇවැත්නි, නොයෙක් නොයෙක් විපත්වලට භාජනය වූ හා නානා දුක්වලට භාජනය වූ ඔහුගේ ශෝකය, ශෝක කිරීම, ශෝක කරන බව සිතු තුළ ඇතිවන ශෝකය වඩ වඩාත් සිතක් ඇතිවන ශෝකය උන්වහන්සේ විස්තර කළහ. පරිදේව දුක විස්තර කරමින් වදාරනව. විවිධ විපත්තිවලට පත් වූ විවිධ දුක් දොම්නස්වලින් පෙළෙන්නහුගේ විලාපකීම, විලාප දිදී හැඬීම එසේ හැඬීම පරිදේවයයි වදාළහ. දුක්ඛ යන්න විස්තර කරන සැරියුත් මා හිමියෝ ඇවැත්නි, කිසියම් කායික දුකක්, කායික අසහනයක්, නුරුස්සන බවක්, කිසියම්, වින්දනයක් අප පිළිබඳ දුකක් වේ නම්, අමිහිරි වින්දනයකි. එය දුකකි. දොම්නස නම් චෛතසික දුකයි. එනම් සිතේ හටගන්නා අමිහිරි වේදනාවයි. සිත සමඟ බැඳුණු දුකයි. නොමිහිරි වින්දනය දොම්නසයි. උපායාශය නම් විවිධ ව්‍යසනයන්ට ගොදුරු වූ විවිධ දුක් ගැහැටවලට භාජන වූ පුද්ගලයාගේ දැඩි උත්සාහය, දැඩි ජීවිත භාවය දැඩි වෙහෙසකර බව, දැඩි පීඩාකාරී බව උපායාශ යයි. ඇවැත්නි, කැමැති දෑ නො ලැබීම නම් දුක කුමක්ද උපත ස්භාවකොට ඇති සත්වයන්ට මේ බඳු ආශාවන් උපදිනව. ඒ කාන්තයෙන්ම අපට උපතක් නොවේවා. ඒකාන්තයෙන්ම අපට උපතක් නොයේවා. ඒකාන්තයෙන්ම උපතක් නොයේවා මේ ආශාවන් නො පැමිණෙනවා යයි සිතුවාට කවදාවත් නොලැබේ. දරුවන් ඉර හඳ ඉල්ලන්නාක් වැනිය මෙයද දුකකි. ඇවැත්නි, ජරාව ස්වභාව කොට ඇති සත්ත්වයන්ට මෙබඳු ආශාවන් උපදියි. එනම් අනේ! අපි ඒකාන්තයෙන්ම ජරාවෙන් පෙලෙන්නෝ නොවෙත්වා. ඒකානත්යෙන්ම අප කරා ජරාව නො පැමිණේවා. මේ ආශාවට නො පැමිණේවා. මෙය ද කැමැති දෑ නොලැබී යාම නිසා ඇතිවන දුකකි. රෝගීවීම ස්වභාව, කොට ඇති සත්ත්වයන්ට මෙබඳු ආශාවක් උපදිනවා. අනේ අපි රෝගීවීම ස්වභාව කොට ඇත්තේ නො වෙමුවා, අප කරා ව්‍යාධිය නොපැමිණේවා. මේ ආශාව මුදුන් පත් නොවීම නිසා කැමැති දෑ නො ලැබීමේ දුක හටගන්නව. මරණ ධර්මය ද එසේමය. එය දශාව ඉටු නොවීමෙන් ඇතිවන දුකකි. ශෝක, පරිදේව, දුක්ඛ, දොම්නස්ස, උපායාස බහුල කොට ඇති සත්ත්වයන්ට ඒවා අපවෙත නො පැමිණේවායි සිතුනට ඒවා අප වෙත ඒකාන්තයෙන්ම පැමිණෙන නිසා ඉච්ඡා භංගත්වයෙන් (කැමැති දෑ නො ලැබීමෙන්) උපදින දුක්ඛයෝය. අවසනට පඤ්ච උපාදානස්කන්ධය විස්තර කරන සැරියුත් හාමුදුරුවෝ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදාන ස්කන්ධ පහම එකටගෙන ඒ උපාදාන පහම දුක්ඛාර්ය සත්‍යය බව සැරියුත් හාමුදුරුවො වදාළහ. මෙහිදී උපාදාන යන ධර්ම පදය සාමාන්‍යයෙන් අප වටහාගත යුතුව ඇත. උපාදාන නම් සිතටගත් අරමුණ අත් නොහැර තදින් අල්ලා ගැනීමයි. නයා මැඩියකු ඩැහැගත්තා මෙනි. එනම් රූපපාදාන වෙදනුපාදාන, සඤ්ඤාපාදාන, සංඛාරූපදාන විඤ්ඤාණුපාදාන යන ස්කන්ධ පස කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද වශයෙන් අල්ලා ගැනීම උපාදානයයි. 

මේ හතරට විෂය ව පඤ්චස්කන්ධය උපාදාන ස්ඛන්ධයයි. එනම් ස්කන්ධ පඤ්චකයයි. නාම, රූප, අරූප යන භවචක්‍රයට අයත් මේ රූප වේදනාදී පස පඤ්චුපාදානස්ඛන්ධයයි.
දුක්ඛ සත්‍යය විස්තර කරන විසුද්ධි මාර්ගය දුක්ඛ නම් පිළිකුල් කටයුතු (දූ) හිස් (ඛ) වූවකි. ඒ අනුව ධුව, ස්ථිර, සුඛ (සැප) සුබ (යහපත්) ආත්ම (ස්ථිර ජීවයක්) යන මේ කරුණුවලින් තොර හෙවත් හිස් යන තේරුම දෙයි. එනම් දුක්ඛ නම් පිළිකුල් කටයුතු හිස් (තුච්ඡ) තත්ත්වයකි. සමුදය සත්‍යය දුක් ඉපදීමට හේතුවයි. නිරෝධ සත්‍යය නම් දුක් නූපදීමට ක්‍රියා කිරීමයි. මාර්ග සත්‍යය නම් දුක් නිරුද්ධ කිරීමට හෙවත් නිර්වාණය කරා පැමිණීමට පුරණ ප්‍රතිපත්ති යයි. චතුරාර්ය සත්‍යය තුනක්ම දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපත්තියයි. මේ සතර බුද්ධාදී ආර්යයන් ප්‍රතිවේධ කරන හෙයින් ආර්යය සත්‍යය නමින් හැඳින් වේ. අරියෙහි පටිච්ඡ්ජි තබ්බානි සච්චානි අරියසච්චානි යි කීයේ ඒ බවයි. ඉමෙසං ඛො භික්ඛවේ චතුන්නං අරිය සච්චානං අභිසම්බුද්ධත්තා තථාගතො අරහං සම්මා සම්බුද්ධො අරියොති වුච්චති’ යන්නෙන් කියන්නේ ද මහණෙනි, මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හෙයින් තථාගතයන් වහන්සේට ආර්ය යයි කියති. යනුයි. දුක්ඛ සත්‍යයෙහි කෘත්‍යය සත්වයා පෙළීමයි. දුක යන ස්වභාවය ඇති දෙයකි. නො වෙනස් වන තත්ත්වයකි. ගිනි දැල්වෙන දර, තෘණ, ගොම ආදී ද්‍රව්‍යවලින් හටගත් ගින්නෙහි උෂ්ණත්වය වෙනසක් නැතිව එකසේ පවති. එමෙන් ලෝක සත්ත්වයන්ගේ ජාති, ජරා, මරණ යන ස්වභාවයක් මනුෂ්‍යන්ගේ කෙලින් ගමන් කිරීම, තිරිසනුන්ගේ හරහට ගමන් කිරීම යන මෙම ස්වභාවයන් මුළු ලොවම එක සමානව පවතින්නාක් මෙනි. අවිපරීත ස්වාභවය සථ්‍යාර්ථය එසේ මැයි. මේ ලක්ෂණ චතුරාර්ය සත්‍යයට පොදුයි.
සත්ත්වයාගේ මව්කුස උපත ගවරවල උපදින පණුවකු මෙනි. දශමසක් ඒ පිළිකුල් කුසැ වසයි. මවට මොන හිරිහැරයක් වුවත් කුස තුළ වකුටුව සිටින දරුවාද අපමණ දුකට පත්වේ. මව සිහිල් පැන් බීවොත් දරුවා සීත නරකයෙහි වැටුනා සේ දුකට පත්වෙයි. උණුපැන් බීවොත් දරුවා අඟුරු වෑස්සකින් වටවූවා සේ දුකට පත්වෙයි. උපදින්නේද ජීවිතයත් මරණයත් අතර අවිනිශ්චිත මහා දුකකිනි. ජරාව නම් දත් වැටීම, කෙස් පැසීම ආදිය ප්‍රකට ජරාවයි. සිරුර ඇතුළත දුර්වලවීම අප්‍රකට ජරාවයි. මරණ දුක නම් එක භවයක උපන් ජීවිතයාගේ බිඳීයාමයි.
සෝකය නම් ඥාතිව්‍යසනාදියෙන් හිතේ උපදින තැවීමයි. දැවීමයි. තමා කළ නොකළ සුසිරිත් දුසිරිත් ගැන තැවීමක් ශෝකයයි. පරිදේව නම් ඥාතී ආදී හිතවතුන්ගේ විනාශය නිසා විලාප නගා හැඬීමයි. දුක්ඛ නම් නායික දුක්ඛ, කායික ආබාධ හා මානසික නොඉවසීම් දුක්ඛයි. දොමනස්ස නම් කිසියම් කරුණක් මුල්කරගෙන සිතේ ඇතිවන දොම්නසයි. මෙහි දී හිසේ පපුවේ අත්ගසාගෙන වැළපීම, ජීවිත විනාශ කර ගැනීමාදී ව්‍යසනයකට පත්වේ. මෙය දොම්නස යනුවෙන්ද හැඳින්විය හැකියි. උපායාස නම් ඤාතිවාසනාදියෙන් ඇතිවන සීමාරහිත දුක් නිසා උපදින ද්වේශ යයි. සිතේ දැවීමක් මෙහි දී ඇතිවේ. මේ අනුව මඳ ගින්නෙන් බඳුනක් තුළ පැසීම වැනියි ශෝකය. තද ගින්නෙන් පැසෙන දෑ බඳුනෙන් පිටට උතුරා යාම මෙනි, පරිදේවය. උතුරා ගිය දැයෙන් බඳුන තුළ ඉතිරි ව බඳුන තුළ පැහී පැහී තිබෙන දෑය මෙහි උපායාශය. අපි‍්‍රය සම්ප්‍රයෝගය නම් තමාගේ සිත සතුටු නොවන අපි‍්‍රය පුද්ගලයන් හා එක්ව විසීම අපි‍්‍රය සමීපයෝග දුකයි. පි‍්‍රය විප්‍රයෝග දුක නම් තමාට මනාප වස්තූන්ගෙන් හෝ මනාප සත්ත්වයන්ගෙන් වෙන්වීම පි‍්‍රය විප්‍රයෝග දුක්ඛ යයි. ඉච්ඡා විඝාත දුක්ඛය නම් අනේ! මම නූපන්නෙමි නම් කොපමණ හොඳ ද අනේ මට අහසින් පියාඹන්න පුළුවන් නම් කොපමණ පහසුද යනාදී වශයෙන් කවරදාකවත් නොලැබිය යමක් ගැන පතනව නම් එය ඉච්ඡා විඝාත හෙවත් නොලැබියහැකි දෑ පැතීමෙන් උපදින දුකයි. අවසාන වශයෙන් පඤ්ච උපාදානස්ඛන්ධය ම එකට බැඳී තිබෙන බැවින් සංක්ෂේප වශයෙන් දුක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ. දරට ගින්දර මෙන් අවි පහරට ඉලක්කය මෙන් පාත්‍යාදී දුක්වලට මුළු පඤ්චස්ඛන්ධයම ගොදුරු වේ. ‘සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’යි බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු ම කාම රූප අරූප යන ත්‍රිවිධ ලෝකවාසී සත්වයින්ම ස්වභාවයෙන් මේ මහා දුකට හසු වී සිටින බවයි. එහෙයින් ඔබ අප හැමෝම මේ පරම සත්‍යය වටහා ගෙන සදහටම මිදීමේ බුදුන් වදාළ නිවන් මඟට යොමු වන්න අධිෂ්ඨාන කර ගනිත්වා. ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රඥා විමුක්‌තිය සහ උභතෝභාග විමුක්‌තිය

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි

යම් අයෙකුට මාර්ගඵල අවබෝධ කරගැනීමට අවශ්‍ය නම්, ධර්මය අවබෝධ කරගත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්‌ මුණගැසී, ආර්ය මාර්ගය අසා දරාගෙන ඒ අනුව සිතා විමසා බැලිය යුතුය. එනම් මෙහි ප්‍රධාන කාරණා දෙකක්‌ අන්තර්ගතය. එනම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ යෝනිසෝ මනසිකාරයයි. අද කල්‍යාණ මිත්‍රයා කවුද? යන්න සොයාගැනීම ගැටලුවක්‌ව පවතී. යම් අයෙක්‌ ප්‍රකාශ කරන ධර්මය තුළ යෝනිසෝ මනසිකාරය යෙදවීමෙන් තමාගේ රාග, ද්වේශ මෝහ ක්‌ෂය වනවා නම්, එම දේශකයා කල්‍යාණ මිත්‍රයෙකි. කල්‍යාණ මිත්‍රයා මාර්ගඵල අවබෝධය සඳහා ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. දැනට මාර්ගඵල අවබෝධ කරගෙන ඇති ආර්යයන් වහන්සේලාට ත්, අනාගත බුද්ධ ශාසනවල ශ්‍රාවකයන් වහන්සේලාටත් සහ විශේෂ හැකියාවක්‌ ඇති ගිහි පිංවතුන්ට ත් මාර්ගඵල අවබෝධය සඳහා ධර්මය දේශනා කිරීමේ හැකියාව ඇත. කොතරම් එම ධර්මය ඇසුවත් ඒ අනුව යෝනිසෝ මනසිකාරය හැසිරවීමට අපොහොසත් නම්, කිසිවිටක මාර්ගඵල අවබෝධ කළ නොහැක. 

සද්ධානුසාරී පුද්ගලයාත් ධම්මානුසාරී පුද්ගලයාත් නිවන සාක්‌ෂාත් කරගන්නා ආකාර දෙකක්‌ ධර්මයේ දැක්‌වේ. එනම් ප්‍රඥා විමුක්‌තියෙන් නිවීම සහ උභතෝභාග විමුක්‌තියෙන් නිවීමයි. ප්‍රඥා විමුක්‌තිය යනු රූපාවචර ධ්‍යාන සතර දියුණුකර, ඇතිකරගත් උපේක්‌ෂාව පදනම් කරගෙන විදර්ශනා වඩා නිවන් දැකීමයි. උභතෝභාග විමුක්‌තිය යනු රූපාවචර මෙන්ම අරූපාවචර යන ධ්‍යාන කොටස්‌ දෙකම වඩවා නිවන් දැකීමයි. 

බඹයක්‌ පමණ උසට ඇති මනස සහිත තමන්ගේ කය පිළිබඳව හෙවත් තම ජීවන පැවැත්ම පරීක්‌ෂා කිරීමෙන්, එම පැවැත්ම තුළ ඇත්තේ ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදී දුක්‌ සමූහයක්‌ බවත්, කොතන ඉපදුනත් දුක පවතින බව අවබෝධයෙන්, මෙම දුක්‌ සහිත සංසාරයෙන් එගොඩ විය යුතු බවට තීරණයක්‌ තමන්ගේ අභ්‍යන්තරයෙන් සත්‍ය වශයෙන්ම එන පුද්ගලයාට පමණක්‌ ලෝකෝත්තර නිර්වාණය කරා ගමන් කළ හැකිය. මෙහි දී එම පුද්ගලයාට ආකාරවතී සද්ධාවක්‌ ඇතිවේ. එනම් බුදු පියාණන් වහන්සේගේ ගුණ, ධර්මය තුළින් දැකගෙන ලෝකය අතහැර නිර්වාණය කරා පැහැදීමයි. ඉන්පසු මොහු සීලයක පිහිටා කටයුතු කළ යුතුය. සියලු පව් අතහරිමින් කුසල් කරමින් සිත පිරිසිදු කර ගැනීම, යන සියලු බුදුවරයන්ගේ අනුශාසනාවට අනුව ආර්ය සීලයේ කටයුතු කිරීමට උත්සාහ කළ යුතුය. සියලු පව් අතහැරීම එකවර කළ නොහැක්‌කකි. මේ සඳහා වැඩපිළිවෙලක්‌ ඇත. එනම් කැළයකට, ගසක්‌ මුලකට හෝ ශුන්‍යාගාරයකට ගොස්‌ වාඩිවී නිශ්ශබ්ද වූ විට කයෙන් සිදුවන වැරදි සහ වචනයෙන් සිදු වන වැරදි යටපත් වේ. නමුත් සිතෙන් සිදුවන වැරදි ඇත. එම වැරදිත් මඟහරවා ගැනීමට රාග, දෝස, මෝහ යටපත් වන අරමුණක්‌ හෙවත් ඇලීම්-ගැටීම් නැති අරමුණක සිහිය පිහිටුවා ගත් විට සිත උපේක්‌ෂා තත්ත්වයට පත්කරගත හැකිය. එනම් ආනාපාන වැනි අරමුණක්‌ ගෙන කාමයන්ගෙන් සහ අකුසලයන්ගෙන් වෙන්වූ පංච නීවරණ යටපත් කරගෙන, පිළිවෙළින් පළමු, දෙවැනි, තෙවැනි සහ හතරවැනි ධ්‍යාන ඇතිකරගෙන උපේක්‌ෂාවට පත්විය හැකිය. 

උපේක්‌ඛා සිතෙන් සද්ධර්මය අවබෝධ කරගත යුතුය. සද්ධර්මය යනු සත්‍යයයි. මෙම සත්‍ය දැකීමට සාමාන්‍ය සිතකට නොහැක. එනම් ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කර ගැනීමේ නුවණ හෙවත් යථාභූත ඥානය ඇතිකර ගැනීමට සිත ඇලීම් ගැටීම් අවම කර ගනිමින් ඉහත ලෙස සිත උපෙක්‌ඛා ස්‌වභාවයකට පත්කරගත යුතුය. එම උපෙක්‌ඛාව පදනම් කරගෙන ජීවන පැවැත්ම හෙවත් කයේ සහ සිතේ ක්‍රියාකාරිත්වය, එනම් නාම-රූප ක්‍රියාකාරිත්වය විමර්ශනය කළ යුතුය. මෙය විදර්ශනා කිරීම ලෙස ධර්මයේ හඳුන්වයි.

කයේ යථාර්ථය හෙවත් රූපයේ යථාර්ථය අවබෝධයෙන් රූපය ප්‍රතික්‌ෂේප කළ හැකිය. රූපය ප්‍රතික්‌ෂේප කිරීමට ධාතු මනසිකාරය, පටික්‌කූල මනසිකාරය, නවසීවතිකය , ආහාරයේ පටික්‌කූල සංඥා යනාදී කර්මස්‌ථාන භාවිත කළ හැකිය. මේ තුළින් රූපය පිළිසිඳ දැකගෙන, එය ප්‍රතික්‌ෂේප කළ හැකිය. සතිපට්‌ඨානයේ කායානුපස්‌සනාව යොදාගන්නේ ප්‍රධාන වශයෙන් රූපයට පහර ගැසීම සදහාය.

රූපය විදර්ශනා නුවණින් බැලූ පසු, සිත විනිවිද දැකිය යුතුය. එහිදී සිතක අන්තර්ගතය පිළිබද අවබෝධය ඉතා වැදගත් වේ. ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප සම්බන්ධ වන විට විඤ්ඤාණය නාම ධර්ම සමූහයක්‌ සමඟ හටගෙන ක්‍රියාත්මක වීම සිතක්‌ ලෙස හැඳින්වේ. එනම් මෙම සිත තුළ ඇත්තේ විඤ්ඤාණ-නාම-රූප ක්‍රියාකාරිත්වයකි. විඤ්ඤාණය යනු දැනුවත්භාවය නමැති ශක්‌තිය හෙවත් ධාතුවයි. එහි සතෙක්‌ පුද්ගලයෙක්‌ මමෙක්‌ නැත. නාම ධර්ම යනු චෛතසික සමූහයකි. එහිද සතෙක්‌ පුද්ගයෙක්‌ මමෙක්‌ නැත. රූප යනු ධාතු හතරකින් සෑදුණු දෙයකි. එහිද සතෙක්‌ පුද්ගලයෙක්‌ මමෙක්‌ නැත. රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, කායික පහස ලබනවා, යනවා, එනවා, කනවා, බොනවා, සිතනවා යනා දී සෑම සිතකම ඇත්තේ මෙම විඤ්ඤාණ නාම රූප ක්‍රියාකාරිත්වයයි. එය ස්‌වභාව ධර්මයේ සිදුවීමකි. ක්‍රියාකාරිත්වයක්‌ පැවතුණත් එය කරන්නෙක්‌ නොමැත. නමුත් පුද්ගලයාගේ අවිද්‍යාව සහ තණ්‌හාව නිසා මෙම ක්‍රියාකාරිත්වයට, තමන් කරන දෙයක්‌ ලෙස, පුද්ගලයෙක්‌ ආරෝපණය කරගැනීමෙන් සත්ත්වයා සංසාර දුක තුළ හිරවේ.

සිත තවත් පැතිකඩකින් විනිවිද දැකිය හැකිය. එනම් සෑම සිතකම පංච උපාදානස්‌කන්ධයක්‌ පවතින බවයි. එනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්‌කන්ධ පහයි. මේවායේ සතුට සොයමින්, එය ප්‍රකාශ කරමින්, එහි බැසගැනීමක්‌ ඇතිවන විට ඒවා උපාදානය වේ. සෑම සිතකම පංච උපාදානස්‌කන්ධයේ ක්‍රියාකාරිත්වය සිදුවේ. සිතක්‌ ඇතිවන විට ස්‌පර්ශ වන ආධ්‍යාත්මික රූපත්, බාහිර රූපත් නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් ගනී නම්, රූපය උපාදානය වේ. උපාදානය වළක්‌වා ගැනීමට නම්, ධාතු හතරකින් සෑදුණු රූපය පෙනගොඩක්‌ මෙන් බිඳෙන බව අවබෝධ කළ යුතුය. එමෙන්ම ස්‌පර්ෂයෙන් හටගන්නා මනාප සුඛ වේදනා, අමනාප දුක්‌ඛ වේදනා සහ උපේක්‌ෂා සහගත වේදනා දිය බුබුළක්‌ මෙන් ඇතිවී නැතිවී යන බව අවබෝධයෙන්, වේදනාව උපාදානය නොකර ගත හැකිය. එමෙන්ම ස්‌පර්ශයෙන් ඇතිවන සංඥා හෙවත් හදුනාගැනීම් මිරිඟුවක්‌ ලෙස දකිමින්, සංඥාව උපාදානය වළකාගත හැකිය. ස්‌පර්ෂයෙන් ඇතිවන වේදනා සහ සංඥාවලට අගයක්‌ ලබා දී ඇතිකරගන්නා සංස්‌කාර කෙසෙල් කඳක්‌ මෙන් අරටුවක්‌ නැති හිස්‌ දෙයක්‌ බව අවබෝධයෙන්, සංඛාර උපාදානය නොකර ගත හැකිය. එමෙන්ම රූප, වේදනා, සංඥා, සංඛාර යන හිස්‌ දේවල් දැනුවත් වූ ශක්‌තිය හෙවත් විඤ්ඤාණය ද මායාවක්‌ බව අවබෝධයෙන් විඤ්ඤාණය උපාදානයෙන් වළක්‌වාගත හැකිය. 

එමෙන්ම මෙසේ උපාදානය වළක්‌වා ගැනීමට පටිච්ච සමුප්පාදයට අනුව හේතු-ඵල සම්බන්ධය ද අවබෝධ කළ යුතුය. වර්තමානයේ තමන් සිදුකරන සෑම ක්‍රියාකාරිත්වයක්‌ම හේතු-ප්‍රත්‍ය අනුව සිදුවන්නකි. උදාහරණයක්‌ ලෙස සළායතන ක්‍රියාත්මක වීම ඵලයකි. එයට ප්‍රත්‍ය වන්නේ විඤ්ඤාණ-නාම-රූප ක්‍රියාකාරිත්වයයි. හේතුව අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම දෙයක්‌ නම්, ඵලයද අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම දෙයකි. මෙලෙස සෑම සිතක්‌ ළඟකදීම යෝනිසෝ මනසිකාරය පැවැත්වුවහොත් ඵස්‌ස නිරෝධයෙන්, භව නිරෝධ කළ හැකිය.

එමෙන්ම සෑම සිතකම පවත්නා පංච උපාදානස්‌කන්ධය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දකී නම්, එම සිත් උපාදානයෙන් වළක්‌වාගත හැකිය. තවද මෙම සිත හෙවත් පංච උපාදානස්‌කන්ධය වේගයෙන් ඇතිවන-නැතිවන ස්‌වාහාවික ක්‍රියාදාමයක්‌ බව අවබෝධයෙන්, උදය-ව්‍යය ඇතුළු නවමහ විදර්ශනා ඤාණ වැඩී යයි. එම ඤාණ පරිපූර්ණ වීම යනු සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම මාර්ග ඵලයකට අවශ්‍ය ලෙස වැඩීමයි. අනුලෝම ඥානයෙන් පසුව ඇතිවන ගෝත්‍රභූ ඤාණයෙන් ලෞකික ගෝත්‍රය ඉක්‌මවා ලෝකෝත්තර ගෝත්‍රයට පත් වේ. හරියට වැවක වතුර පිරුණු පසු වාන් දමනවා සේ පුද්ගලයා නිවනට ගසාගෙන යයි. මෙහිදී ඔහුට කිසිවක්‌ කළ නොහැක. අවබෝධ වූ ධර්මයේ ශක්‌තිය සියල්ල සිදුකරයි. මෙහිදී සිදුවන්නේ පංච උපාදානස්‌කන්ධය, අනිත්‍ය වශයෙන් දැකීමෙන් අනිමිත්ත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ පංච උපාදානස්‌කන්ධය, දුක්‌ඛ වශයෙන් දැකීමෙන් අප්පහිත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ පංච උපාදානස්‌කන්ධය, අනාත්ම වශයෙන් අවබෝධයෙන් ශුන්‍යතා ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ නිර්වාණය සාක්‌ෂාත් වීමයි. එහි දී වැවක පිටාර ජලය පහළට ඇදී යන්නා සේ බෝධිපාක්‌ෂික ධර්මවල ශක්‌තියෙන් සිත නිවනට යොමුකරයි. මෙලෙස චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් සිදුවන විඤ්ඤාණ-නාම-රූප නිරෝධය 'නිබ්බාණං පරමං සුඛං' යන ධර්මතාව ප්‍රත්‍යක්‌ෂ කළ හැකිය. මෙය සෝතාපන්න, සකදාගාමී, අනාගාමී සහ අරහත් මාර්ගඵලයන් ලබන සෑම අවස්‌ථාවකදීම අත්විඳිය යුතුය.

සෑම කඩඉමකදීම තමන්ගේ ජීවිතය වෙනස්‌ කරයි. සංයෝජන ප්‍රහීණ කළ බව වැටහේ. හරියට ඇවිළෙන්නට දර නැති ගිනිගොඩක්‌ මෙන්, ක්‍රමයෙන් නිවෙන්නට පටන් ගනී. සෝතාපන්න උත්තමයා සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන සම්පූර්ණයෙන් ප්‍රහාණය කර, සතර අපායෙන් සදහටම අතමිදී, උපරිම ආත්මභාව හතකදී නිවන් දකී. සකදාගමී උත්තමයා කාමරාග, පටිඝ අඩක්‌ ප්‍රහාණය කර එක්‌වරක්‌ කාම ලෝකයට විත් පිරිනිවෙයි. අනාගාමී උත්තමයා කාමරාග, පටිඝ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කර, ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල උත්පත්තිය ලබා එහිදීම පිරිනිවෙයි. රහතන් වහන්සේ සියලු සංයෝජන බිද, මෙම ආත්මයේදීම පිරිනිවෙයි.

උභතෝභාග විමුක්‌තියේ දී සිදුවන්නේ රූපය පිළිබඳ ඇතිකරගත් නානත්ව රූප සංඥා උපෙක්‌ඛාව, ඒකත්ව සංඥා උපේක්‌ඛාවන් බවට පත්කර ගනී. එනම් රූපය සම්පූර්ණයෙන්ම අතහැරීමෙන් ඇතිවන හිස්‌ ස්‌වභාවය හෙවත් ආකාසානඤ්ඤායතනය, රූපයත් ආකාසයත් දැනුවත් වූ විඤ්ඤාණ ධාතුව තුළ හෙවත් විඤ්ඤාණඤ්චායතනය, සංඥා ප්‍රතික්‌ෂේප කිරීමෙන් ඇතිවන ආකිඤ්චඤ්ඤායතනය සහ සංඥාවක්‌ නැත කියාත් සංඥාවක්‌ ඇති බැවින්, සංඥාවක්‌ ඇත්තෙත් නැත නැත්තේත් නැත යන අවබෝධයෙන් ඇතිවන නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන අරූප ධ්‍යාන ඇතිකර ගනී. එහි ආකිඤ්චඤ්ඤායතනයේදී ත්‍රිලක්‌ෂණය මෙනෙහි කිරීමෙන් ඉහත ආකාරයෙන්ම නිවිය හැකිය. එනම් මෙහිදී සිදුවන්නේ අකිඤ්චඤ්ඤායතනය, අනිත්‍ය වශයෙන් දැකීමෙන් අනිමිත්ත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ අකිඤ්චඤ්ඤායතනය, දුක්‌ඛ වශයෙන් දැකීමෙන් අප්පාහිත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ අකිඤ්චඤ්ඤායතනය, අනාත්ම වශයෙන් අවබෝධයෙන් ශූන්‍යතා ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ නිර්වාණය සාක්‌ෂාත් වීමයි.

නේවසඤ්ඤානාසඤ්ඤායතනයේදී අලුතෙන් සංස්‌කාර සෑදීමක්‌ නොමැත. සාදාගත් සංස්‌කාරය පවත්වාගෙන යයි. එහි සංඥාව ඉතා සියුම්ය. අවබෝධය ඇති අය මෙම සංඥාවත් අතහැරීමට දක්‌ෂ වේ. නමුත් අතහරින වෙලාවක්‌ කිව නොහැක. එහිදී සංඥා වේදයිත නිරෝධය හෙවත් නිරෝධ සමාපත්තියට පත්වේ. දෙවැනි ධ්‍යානයේ දී වචී සංස්‌කාර සංසිඳී ඇත. හතරවැනි ධ්‍යානයේ දී කාය සංඛාර සංසිඳේ. ඉතිරිව ඇති වේදනා,සංඥා හෙවත් චිත්ත සංඛාරද සංඥාව අතහැරීමත් සමගම සංසිදේ. නිරෝධ සමාපත්තියේ දී වේදනා සංඥා පිළිබඳ දැනීමක්‌ නොමැත. නිරෝධ සමාපත්තිය යනු ලෝකය තුළ ඇතිකර ගත හැකි උත්තරීතර තත්ත්වයයි. එය ලෝකෝත්තර සිතක්‌ නොවේ. මාර්ගඵල සහ ඵලසමාපත්ති සිත් ලෝකෝත්තර සිත් වේ. ඵලසමාපත්ති සිතක දී වේදනා සංඥා දැනුවත් වුවද ඊට ප්‍රතිචාර නොදක්‌වයි.

බුද්ධ ශාසනය තවම බබළයි. නැවත මිය යාමට පෙර ප්‍රමාද නොවී අත්විඳින්න. තර්ක නැත, මායා නැත, නිදහස්‌ මනසකින් අවබෝධ කරගන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඒ අසිරිමත් මැදුම් පිළිවෙත

මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි

ලෝ වැසියන් නිබඳව ම විවිධාකාර වූ අන්තවාදී අදහස්වල එල්බ සිටින බව බුදුදහම පෙන්වාදෙයි. බැතිමත්හු ආගමික ව අන්තවාදී වෙති. ඔවුහු තම තමන් පිළිගන්නා තම තමන් අදහන විශ්වාස කරන ආගමික මතයෙහි ම එල්බගෙන සිටිති. ඉන් බැහැරව නො සිතති. බොහෝ විට සාමාන්‍ය පොදුජනයා අතර මෙවැන්නෝ සුලබ වෙති. තර්ක විතර්ක වාද විවාදයෙහි දක්ෂ බුද්ධිමත්හු දාර්ශනික අන්තවාදියෝ වෙති.
අනේක විධ හේතු සාධක සහිතව සහේතුක ව සාධාරණ ව තමන් පිළිගන්නා දාර්ශනික මතවාදයෙහි නිපුණ වු උගතුන් අතර මෙවැන්නෝ නො අඩුව සිටිති. මේ හැරුණු විට සමාජ, සංස්කෘතික, කරුණු පිළිබඳව විවිධාකාර හේතු සාධක දක්වමින් අන්තවාදීව සිතන්නෝ පොදු ජන සමාජය තුළ නොමඳව සිටිති. පෞද්ගලික ව වූ ගෘහාශි‍්‍රත ජීවිතය හා බැඳුණු කරුණුවලදී මෙන්ම එම ජීවිතය ආශි‍්‍රත ප්‍රශ්නවලදී අන්තගාමී ව සිතා ක්‍රියාකරන්නෝද මෙම ගණයට අයත්වෙති. එසේම සිය වෘත්තීය ජීවිතය, බාහිර සමාජ ජීවිතය ආශි‍්‍රත කරුණු ගැටලු ආදියෙහිද එක් අන්තයකම රැඳෙමින් , එක් පක්ෂයකට ම වහල් වී එක් අදහසකම එල්බ ගැනීමද සමාජයෙහි දැකගත හැකිය. ආගමික, දාර්ශනික, ශාස්ත්‍රීය, සමාජිය හෝ පෞද්ගලික කරුණුවලදි මෙසේ එක් මතයකම එල්බ සිටීම බුදුදහම හඳුන්වන්නේ දෘෂ්ටි ග්‍රහණය කිරීමක් ලෙස ය.අන්තගාමී වීමක් ලෙසය. උපාදාන ග්‍රහණයක් ලෙසය. බුද්ධකාලීන භාරතීය ආගමික දාර්ශනික සංස්කෘතික පරිසරය තුළ එසේ දෘෂ්ටි ග්‍රහණය කළ අන්තගාමී වුවෝ නොමඳවම සිටියහ. ඔවුන්ගේ එම අන්තවාදී අදහස් මතවාද පාලි සූත්‍ර දේශනාවල නිබඳවම වාර්තා කොට තිබේ. විටෙක සූත්‍ර දේශනාවල අන්තග්‍රාහි මතවාද දෙසැටක් ගැන සඳහන් වෙයි. තවත් විටෙක එවන් අන්තවාද බොහෝ ගණනක් ඇතැයි පෙන්වා දී ඇත. සමකාලීන අන්තවාදී අදහස් දෙයාකාර යැයිද සිවු ආකාරය යැයි දක්වා ඇති අවස්ථාවන් සුලබය. ඒ ඒ අන්තවාදියෝ තම මතයම තම අදහසම සත්‍යය. සෙසු මත සෙසු අදහස් අසත්‍යය. වැරැදි යැයි සිතති. කියති. කරුණු දක්වති. අප ජීවත් වන මේ සමාජය තුළ ද මෙවැන්නවුන් දැක ගත හැකිය.
අන්තවාදියා තම මතයේ ම සිර වී සිටියි. තම පක්ෂයටම ගැතිවෙයි. ඔහු තමා පිළිගත් මතයෙහි පක්ෂයෙහි සිරකරුවෙකු වැනිය. වහලෙකු වැනිය. එයම සත්‍යය. නිවැරැදි යැයි සිතන හෙතෙම එහිම එල්බගෙන සිටියි. ඔහුට නිදහසේ සිතා විමසා බැලිය නොහැකිය. මතය, අදහස පිළිගැනීම විසින් නටවන රූකඩයක තත්ත්වයට පත්වන හෙතෙම ඇති තතු ඇති සැටියෙන් නොදකියි. හෙතෙම අනුන්ට සවන් නොදෙයි. අනුන් පවසන අදහස සත්‍ය ද අසත්‍ය 
දැයි නොවිමසයි. නොසිතයි. තම මතයෙහිම ගිලෙයි. ඔහු අන්ධයෙකු වැනිය. එසේම අන්තවාදියා තුළ ඉවසීම ද නැත. තම මතයට එකඟ නොවන්නන් ගැන, ප්‍රතිපක්ෂ මත දරන්නවුන් ගැන හෙතෙම කෝපයටද පත්වෙයි. ඔවුන්ට පහර දෙයි. ඔවුන් සමඟ ගැටෙයි. වාද විවාද පවත්වයි. තම මතයම නිවැරැදි බවත් මත වැරැදි බවත් කියමින් තර්ක කරයි. හේතු සාධකද දක්වයි. කරුණු ඉදිරිපත් කරයි. එසේ වාචික කරුණු දැක්වීම් වාද විවාද තර්ක විතර්ක විටෙක කෙළවර වන්නේ කායිකවද අන්තවාදීන්ට පහර දීමෙනි.අන්තවාදීහු එක් පැත්තකින් පමණක් ගැටලු දකින්නෝය. බුදුදහම ඔවුන් හඳුන්වන්නේ ‘ඒකංග දස්සී’ යනුවෙනි. ඔහුගේ චින්තනය පටුය. ගැටලුව පුඵල් ලෙස හැම පැත්තකින්ම දැකීමට ඔවුන් අසමත්ය. මෙම තත්වයට පත් පුද්ගලයෝ විටෙක පවුල් පරිසරය තුළද,ආගමික, දාර්ශනික, ධර්ම, ශාස්ත්‍රීය පරිසරය තුළද,වෘත්තීය පරිසරය තුළද දක්නා ලැබෙත්.

කවර කරුණකදී වුවද සියලු අන්තග්‍රාහී කල්පනාවන් පසෙකින් තැබිය යුතු යැයි බුදුන් වහන්සේ වදාළ සේක. බුදුසමය තුළ එබඳු චින්තාවන් ඨපනීය (පසෙකින් තබන ලද) ගණට ඇතුළත් වෙයි. ඒවා බුදුරදුන් විසින් විසඳනු නොලැබේ. (අව්‍යාකත) බුදුරජාණන් වහන්සේ සමකාලීන දෙසැටක් වු අන්තග්‍රාහී මතවාදයන් පසෙකින් තැබූහ. ඉන් එකක හෝ එල්බ නොගත්හ. හැටතුන් වැනි අන්තවාදයක්ද ඉදිරිපත් නොකළහ. එම මතවාද සියල්ල පසෙකින් තබා උත්තරීතර වූ යථාර්ථය සත්‍යය දැන දැකගත්හ. ඒ මධ්‍යස්ථ චින්තනයෙනි. සමබර වු හේතුඵල දර්ශනයෙනි. මූලික වශයෙන්ම එකී සමකාලීන අන්තවාදයෝ දෙයාකාර වූහ. ඒ නිත්‍යාත්මයක් ඇත. යන ශාස්වත දෘෂ්ටිය හා නිත්‍යාත්මයක් නැත යන උච්ඡේද දෘෂ්ටිය යනුවෙනි. බුදුසමය එම උභයාන්තයම පසෙකින් තබා සමබර මධ්‍යස්ථ චින්තනය ඉගැන්වෙන හේතුඵල දර්ශනයම ප්‍රකාශ කරයි. එකී උභයාන්තයම පාදක කොටගත් අන්තවාද සතර (චතුස්කෝටික දෘෂ්ටිය ද) පසෙකින් තබන හේතුඵල දැක්ම වූ කලි බුදුන් වදාළ මධ්‍යම දේශනාවයි. මෙසේ සියලු කරුණුවලදී මැදිහත්ව හේතුඵල දහම අනුව සිතිය යුතුය. අන්තග්‍රාහී නොවිය යුතුය. සමකාලීන සාමයික ප්‍රතිපදාවෝ ද අන්තවාද දෙකකට ඇතුළත් වූහ. එනම් නිත්‍යාත්මයක් ඇතැයි ශාස්වතවාදී වෙමින් අත්තකිලමතානුයෝගීව තමා තමාටම කටුක වූ අධික දුක් පීඩා දුන් පිළිවෙත හා නිත්‍යාත්මයක් නැතැයි අශාස්තවාදීව උපරිම වශයෙන් පස්කම් සුවයෙහි ඇලීමේ පිළිවෙතයි. මෙම පළමු ප්‍රතිපදාව බුදුදහම දකින්නේ අන්තවාදි ආගමික උමතුවක් ලෙසය. දෙවැන්න ආගම් විරෝධී පිළිවෙතකි . මෙකි අත්තකිලමතානුයෝගය මෙන්ම කාමසුඛල්ලිකානු යෝගයද බැහැර කළ බුදුරජාණන් වහන්සේ එම උභයාන්තයටද නොවැටී මධ්‍යස්ථ වූහ. චින්තනයෙන් මෙන්ම චරණයෙන්ද අන්තග්‍රාහී නොවන්නට මැදිහත්ව සිතන්නට හා පිළිපදින්නට බුදුසමය ශ්‍රාවක ප්‍රජාවට මඟ පෙන්වයි. සමබර දැක්මක් මත පිහිටා සමබර පිළිවෙතක් අනුගමනය කිරීම එහිලා අපේක්ෂා කෙරේ.
අන්තග්‍රාහී අන්තවාදී නොවන මැදිහත් තැනැත්තාට නිදහස්ව විචාර පූර්වකව සිතිය හැකිය. හෙතෙම අනුන්ට සවන් දෙයි.අනුන්ගේ අදහස්වලටද ගරු කරයි. විරුද්ධ අදහසක් ඔහුට නැත. අන්තවාදිව කිසිවක් පිළිනොගන්නා ඔහු අන්තවාදිව කිසිවක් ප්‍රතික්ෂේපද නොකරයි. හෙතෙම අනුන්ගේ මතවාද අසා නොකිපෙයි. ඔහු ඉවසිලිමත් ය. නුවණැත්තේය. කවර කරුණක වුවද කවර ගැටලුවක වුවද එක් පැත්තකින් පමණක් බලා (එකංගදස්සිව) තීරණ නොගනී. වඩාත් පුඵල් ව හැම පැත්තකින්ම ගැටලු දෙස බලයි. ඇත්ත ඇති සැටියෙන් දකියි. ඔහු කඳු මුදුනකට නැඟුනෙක් වැනි ය. එවැන්නෙකුට හැම පැත්තක්ම පෙනෙයි. එබැවින් එක් පැත්තක එල්බ ගන්නේ නැත.මේ බෞද්ධ චින්තන ක්‍රමයයි. මෙසේ මැදිහත්ව, ඉවසිලිමත්ව, විචාර පූර්වකව, නිදහසේ සිතන, නිදහසේ සදාචාර මාර්ගයේ ගමන් කරන පුළුල් දැක්මක් ඇත්තෙකු වීමට බුදුරජාණන් වහන්සේ නොයෙක් විට නොයෙක් අයුරින් ශ්‍රාවකයන් දැනුවත් කළහ. මෙහිදී බුද්ධ වචනය වුවද අන්තවාදීව කරගසා ගැන්ම එල්බ ගැන්ම පිණිස නොවේ. ගැටලු විසදා ගැන්මටය. දුකින් මිදෙන්නට යැයි පෙන්වා දෙන ලදී. සිය ශ්‍රාවක ප්‍රජාව සිය දහමෙහි වුවද වහලුන් සේ මෙයම සත්‍යය. අන් සියල්ල අසත්‍ය යැයි අන්තවාදී වීම උන්වහන්සේ අපේක්ෂා නොකළහ.එය දහම වරදවා ගැන්මකි. එලෙස බුදුදහම අන්තවාදිව ගැනීම සර්පයෙකුගේ වලිගයෙන් අල්ලා ගැන්මක් වැනි යැයි පෙන්වා දෙන ලදී. වලිගයෙන් ඇල්ලු විට සර්පයා ඇල්ලූ තැනැත්තාට දෂ්ට කරයි. සර්පයෙකු අල්ලා ගත යුත්තේ උගේ හිසෙනි. එමෙන්ම බුදු වදනද නිවැරැදිව ගත යුතුය. බුදු වදනෙහි අරමුණ ද එහි අර්ථය ද ස්වභාවය ද නිසි පරිදි දැක ඒ වෙත එළඹීමට බුදුරදුන් විසින් උගන්වන ලද්දේය.
බුදුදහමෙහි පදනම වන්නේ හේතුඵල දර්ශනයයි. එනම් පටිච්චසමුප්පාදයයි. පටිච්චසමුප්පාදය දැකීම නම් බුදුදහම දැකීමය. බුදුදහම දැකීම නම් පටිච්චසමුප්පාදය දැකීමයි. සිව්සස් දැක්ම මෙන්ම තිලකුණු දැක්මද ඇතුළු සියලු බෞද්ධ සිද්ධාන්තයන් ඒ හා බැඳෙයි. මෙකී මූලික බෞද්ධ ඉගැන්වීම් මැදිහත් චින්තනයද ඒ අනුව ගිය මැදිහත් පිළිවෙත ද අර්ථවත් කරයි. මිනිස් ජීවිතයේ යථාර්ථය වු සංසාරගත දුකත්, ඉන් අත්මිදීමේ මගත් මැදුම් පිළිවෙත මත පිහිටා පැහැදිලි කිරීම බුදුදහමෙහි අරමුණයි. එම අරමුණ වෙත යොමුවූ ඉහත කී මූලික බෞද්ධ ඉගැන්වීම් අනුව ගිය චින්තනය මෙන්ම චරනයද ඇති තැනැත්තා වූ කලි තැන්පත්ය. සංවරශීලිය. ජයග්‍රහණයෙන් වෛරයද, පරාජයෙන් දුකද උපදනා බව දන්නා හෙතෙම තරගයට එක් නොවෙයි. එබැවින්ම ජයද, පරාජයද නොලබයි. සුවසේ වසයි. අතීතයට එක්වු ඉක්ම ගියදේ ගැන හෙතෙම ශෝක නොවෙයි. අනාගතයට අයත් නූපන් දේ ගැනද හෙතෙම අපේක්ෂා භරිතව නොතැවෙයි. වර්තමානයෙන් යැපෙන තුටුපහටු වන හෙතෙම ප්‍රසන්නය. මේ වූ කලි මැදිහත් සිතුවිලි ද, මැදිහත් පැවතුම්ද ඇතිව ඇති තතු ඇති සැටියෙන් දන්නා දක්නා තැනැත්තාගේ ස්වභාවයයි. කුඩා දියපහර අවම අත්දැකීම් ඇත්තේය. අවම හැකියාවන් ඇත්තේය. එහෙත් මහ හඬ ඇත්තේය. මහා ගංගාව වූ කලි උපරිම අත්දැකීම් සහිතය. උපරිම හැකියාවන් සහිතය. එහෙත් නිහඬය . මැදිහත්ව දිවි මඟ හැඩගසාගත් එසේ නැතිනම් බුදුදහම අනුව ජීවිතය ගොඩනඟාගත් තැනැත්තා ද මහා ගංගාවක් වැනිය. ධර්මාවබෝධිය අත්දැකීමක් කොටගත් මෙම ශ්‍රාවකයා වූ කලි අකම්ප්‍ය වූ සිත්සතන් ඇත්තෙකි. හෙතෙම අටලෝ දහමින් කම්පා නොවෙයි. පෘථිවියෙහි ගැඹුරටම සිටුවන ලද මහ ටැඹක් ඉන්ද්‍රඛීලයක් සිවුදිගින් හමන වාත වේගයෙන් කම්පා නොවන්නා සේ හෙතෙම අකම්ප්‍යය. කායික වූත්, මානසික වූත් උක්ත සංවරය ඇති බැවින්ම හෙතෙම සදාචාර සම්පන්නය.එහෙත් මානසික පාරිශුද්ධියට තුඩු නොදෙන දැඩිව එල්බගත් සදාචාර පිළිවෙතක් ඔහු තුළ නැත. ඇත්තේ මධ්‍යම ප්‍රතිපදාවයි. සිත්සතන්හි වැඩීමට උපකාරි වන පිළිවෙතයි. චරිත සංවර්ධනයට තුඩුදෙන සදාචාර මාර්ගයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තථාගත ධර්මය විනිවිද දකින පටිච්ච සමුප්පාදය

වෑඋඩ, බුජස්ලෙන රාජමහා විහාරාධිකාරී 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 
ජ්‍යෙෂ්ඨ ආචාර්ය රාජකීය පණ්ඩිත, මහාචාර්ය, 

මකුරුප්පේ ධම්මානන්ද හිමි

“අවිද්‍යාව ප්‍රත්‍යය කොට සංස්කාර ඇතිවේ. සංස්කාර ප්‍රත්‍යය කොට විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය ප්‍රත්‍යය කොට නාමරූප ඇතිවේ. නාමරූප ප්‍රත්‍යය කොට සළායතන ඇතිවේ. සළායතන ප්‍රත්‍ය කොට ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය ප්‍රත්‍යය කොට වේදනා ඇතිවේ. වේදනා ප්‍රත්‍යය කොට තෘෂ්ණාව ඇතිවේ. තෘෂ්ණාව ප්‍රත්‍යය කොට උපාදාන ඇතිවේ. උපාදාන ප්‍රත්‍යය කොට භවය ඇතිවේ. භවය ප්‍රත්‍යය කොට ජාති හෙවත් ඉපදීම ඇතිවේ. ජාතිය ප්‍රත්‍යය කොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇතිවේ. මෙසේ සියලු දුක් රාශියේ හට ගැනීම වේ.”
ඉහත දක්වන ලද්දේ පටිච්ච සමුප්පාද දේශනාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද සංක්ෂිප්ත විවරණයයි. මෙම අදහස දැක්වූ බුදුන් වහන්සේ වදාළේ යමෙකුට මෙම හේතුඵල දහම යම් දිනක වැටහේ නම් එදිනට ඔහුගේ සියලු සැක දුරුවන බවයි. එසේම මෙම පටිච්ච සමුප්පාදය වූකලී පරම ගම්භීර දහමකි. දැකීමට අපහසු මෙම ධර්මතාව යමෙක් අවබෝධ කරයි නම් ඔහු ධර්මය දකින්නෙක් බවත් එසේ ධර්මය දකින්නාට සැබෑ බුදුන් වහන්සේ කෙබඳු කෙනෙක් දැයි අවබෝධ කර ගන්නෙක් බවත් වදාළහ.
මෙම ලෝකයෙහි අපට පැමිණ තිබෙන ප්‍රධාන ගැටලුව නම් දුකකි. උපදියි. දිරයි. ලෙඩ වෙයි. මියයයි. ච්‍යුත වෙයි. නැවත උපදියි. මෙම ජරා, මරණ දෙකෙන් නිදහස් වීම නොදනියි. මෙම ජරා, මරණාදී දුක්ඛයන්ගෙන් නිදහස් වීමක් පණවන්නේ කෙසේද යන ප්‍රශ්නය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තුළ බුදුවීමට පෙර බෝසත් අවධියේදීම පැන නැගුනි. එම ප්‍රශ්නයට පිළිතුරු සොයන උන්වහන්සේ දුකෙහි පැවැත්ම පිළිබඳ ප්‍රත්‍යයන් විමසා බැලූහ. වෙනත් විධියකින් කිවහොත් දුක පැවැතීමට හේතු පරීක්ෂා කළහ. එහිදී උන්වහන්සේ ඊට බලපාන ප්‍රත්‍යයන්ගේ සම්බන්ධතාවක් විනිවිද දුටු සේක. එය වූ කලී කිසියම් විද්‍යාත්මක නිරීක්ෂණයකි. ප්‍රත්‍යය සම්බන්ධතාව පරීක්ෂා කිරීම සඳහා උන්වහන්සේ විසින් භාවිත කරන ලද න්‍යායක් වේ. එය මෙසේ ය,

මෙහි පැවැත්ම ඇති කල්හි මෙය වේ. (ඉමස්මිං සති ඉදං හොති) 
මෙය ඉපදීමෙන් මෙය ඉපදේ. (ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති) 
මෙහි පැවැත්ම නැති කල්හි මෙය නොවේ. (ඉමස්මිං අසති ඉදං න හොති) 
මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. (ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති)

මෙම න්‍යායට අනුව සලකා බැලීමෙන් ලෝකයේ බොහෝ දේ පිළිබඳ විශේෂ දැක්මක් ඇතිකොට ගත හැකිය. එනම් ලෝකයේ සියල්ල තවත් දෙයක ආධාරයෙන් යැපෙන බව ඉන් පැහැදිලි වෙයි. ඉන් කියැවෙන්නේ ලෝකයේ කිසිවකට ස්වාධීන ස්වතන්ත්‍ර පැවැත්මක් නැති බවය. තනි හුදු ස්වාධීන ස්වතන්ත්‍ර කිසිදු ධර්මයක් ලෝකයේ නැති බවය. ප්‍රත්‍යය සාපේක්ෂතාව ඇති තැන සමුදය හෙවත් යමක ඇතිවීම බිහිවීම, හටගැනීම වේ. ප්‍රත්‍යය සාපේක්ෂතාව නැති තැන නිරෝධය හෙවත් අභාවය වේ. මෙම සාපේක්ෂතා න්‍යාය විශ්වයේ බොහෝ ධර්මතා සහ සිදුවීම්වල යථාර්ථ ස්වභාවය තේරුම් ගැනීමට අදාළ වේ. වෙනත් විධියකින් කිවහොත් හේතුවකින් තොරව ඵලයක් ඇති නොවේ. ඵලය අහිතකර නම් කළයුතු වන්නේ ඵලය නැති කිරීම නොව ඊට බලපෑ හේතුව නැති කිරීමය. එසේ නොවුවහොත් එකී ඵලය තව දෙයකට හේතුවක් වී වෙනත් ඵලයක් උපදවන්නේ ය. බෝසතාණන් වහන්සේ ලෝකයේ ප්‍රකට දුක වන ජරා මරණ පවතින්නේ කුමක් නිසාදැයි යෝනිසෝ මනසිකාරයෙන් විමසන කල්හි ජාතිය හෙවත් ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇති වන බව උන්වහන්සේට අවබෝධ විය. ජාති යනු කිසියම් සත්ව ජාතියක ඉපදීමයි. පඤ්චස්කන්ධයක් ලැබීමයි. ධාතු ආයතන ප්‍රතිලාභයයි. එබැවින් දුක නැති කිරීමට නම් ඉපදීම නැති කළ යුතු ය.
ජාතිය හෙවත් ඉපදීමට ප්‍රත්‍යය හෙවත් හේතුව වන්නේ භවයයි. කාම, රූප, අරූප වශයෙන් විශ්වයේ භව තුනක් පවති. මෙම භවයන්ගෙන් කවර හෝ ස්ථානයකට අප පත්වන්නේ උපාදාන හෙවත් මමත්වයෙන් යම් යම් දේ දැඩිව අල්වා ගැනීම නිසාය. කාම, දිට්ඨි, සීලබ්බත හා අත්තවාද යනුවෙන් උපාදාන හතරක් පවතී. කාම ලෝකයේ විවිධ සුඛ උසස් යැයි සිතන පුද්ගලයෝ කාමය උපාදාන කර ගන්නා (කාම උපාදාන) අතර එම සැප ලබා ගැනීම අරමුණු කොට ගෙන ආත්මවාද උපාදානයත් සීලව්‍රත උපාදානයත් පවත්වති. මමත්වය ප්‍රධාන කොට පවත්වනු ලබන දෘෂ්ටිය මෙහිදී ප්‍රධාන වේ. ඉහත කී භවය පවතින්නේ මෙම උපාදානය නිසාය. එබැවින් භවය නැති කිරීමට නම් උපාදානය නැති කළ යුතු ය. උපාදානය පවතින්නේ තණ්හාව ඇති නිසා ය. සත්වයන් තුළ ඇති වන තණ්හාව සය වැදෑරුම් වේ. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා සහ ධම්ම තණ්හා පහක් වේ. මනාප දේ පිළිබඳව ඇලීමත් අමනාප දේ පිළිබඳ ගැටීමත් යන දෙකම තණ්හාවයි. මේ නිසා තණ්හාව ඇති කල්හි උපාදාන ඇතිවේ. තණ්හාව නැති කල්හි උපාදාන නැති වේ. තණ්හාව ඇති වන්නේ කුමක් නිසාද අපගේ ඉන්ද්‍රිය මගින් අප විඳින කවරාකාර වූ හෝ වේදනා නිසා ය. වේදනා ඇති වන්නේ කුමක් නිසාද ස්පර්ශය නිසාය. ඇස කන ආදී ඉන්ද්‍රියන් රූප ශබ්දාදී අරමුණුවල ගැටීම ස්පර්ශයයි. (ඵස්ස පච්චයා වෙදනා) වේදනාවක් ඇති වන්නේ කුමක් නිසාද සළායතන නිසාය. එනම් චක්ඛු, සෝත, ඝාණ ජිව්හා, කාය, මන යන සය නිසාය. සළායතන ඇති වන්නේ කුමක් නිසාද කාම රූප නිසාය.
ඉන්ද්‍රිය මඟින් අරමුණු ගැනීමේ දී විඤ්ඤාණය සමඟ ඇතිවන ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, මනසිකාර යන චෛතසිකවලට නාම ධර්ම යැයි කියනු ලැබේ. නාම ධර්මවලින් තොරව විඤ්ඤාණයක් උපදින්නේත් පවතින්නේත් නැත. රූප ධර්ම යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන හතරෙන් සංවිධානය වන්නකි. රූප ධර්ම අවශ්‍ය වන්නේ ස්පර්ශය සඳහා ය. ස්පර්ශය යනු ප්‍රසාද රූපය (ඉන්ද්‍රිය), විෂය රූපය (අරමුණ) හා විඤ්ඤාණය යන තුනේ එකතුවයි. මේ නිසා විඤ්ඤාණය වූ කලී නාම රූපයන්ගේ පැවැත්මට ප්‍රත්‍යය වේ. විඤ්ඤාණය නැති කල්හි නාම රූප දෙකෙහි පැවැත්මක් නැත. මේ නිසා අපගේ මනසේ පැන නගින චිත්තවේග මෙම නාම රූප ධර්මවලට ප්‍රබල ලෙස ප්‍රත්‍යය වන බව දත යුතු ය. මෙයින් විඤ්ඤාණයට ප්‍රත්‍යය වන්නේ කුමක්ද යන්න හඳුනා ගත හැකිය.
විඤ්ඤාණය ක්‍රියාත්මක වන්නේ සංඛාර හෙවත් සංස්කාර ඇති කල්හිය. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර යනුවෙන් එය තෙවැදෑරුම් වේ. මෙයින් පෙනෙනුයේ ඉන්ද්‍රිය තුනකින් කරනු ලබන සංස්කරණයක් ඇති බවයි. මාංශ කයක් දරන කාමභවික සත්වයන්ගේ ආස්වාශ ප්‍රශ්වාස දෙක කාය සංඛාර නම් වේ. කවර භවයක වුවද සිත අරමුණුවලට නැගීම හා එහි හැසිරීම විතක්ක විචාර නම් වූ වචී සංඛාරයයි. අරමුණු ගැනීමේ දී ලබන හැඳිනීම හා වින්දනය චිත්ත සංඛාර නම් වේ. සසර සියලු භව පැවතුම් සැකසී ඇත්තේ මෙකී ඉන්ද්‍රිය හා ඉන්ද්‍රිය අත්දැකීම විඳගැනීම් ලෙස සැලකිය හැකි සංඛාර නිසා බව අමතක නොකළ යුත්තකි.
සංස්කාරවල ක්‍රියාකාරීත්වය පවතින්නේ අවිද්‍යාව (අවිජ්ජා) ඇති කල්හිය. අවිද්‍යාව යනු නොදැනීමයි. නො දැනීම යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ නො දැනීමයි. එනම් දුක නමැති අත්දැකීමේ ඇතිවීම, ඇතිවීමේ හේතුව, නැතිකිරීම හා නැති කිරීමේ ක්‍රමය පිළිබඳ අවබෝධයයි.
ඉහත විස්තර වන්නේ අංග දොළොසකින් යුක්ත පටිච්ච සමුප්පාදයයි. එහි සඳහන් කිසිවක ස්වාධීන ස්වතන්ත්‍ර පැවැත්මක් නැති බව තහවුරු වේ. එකක් අනෙකක ආධාරයෙන් පවතී.
එහෙත් සත්වයාගේ සංසාර පැවැත්මට කේන්ද්‍ර වන්නේ විඤ්ඤාණ හා නාම රූප දෙකෙහි සම්බන්ධතාවයි. එය මුල නොවේ. ප්‍රධානතම කරුණයි. ආහාරයක් පිස ගැනීමට ගින්දර අවශ්‍ය වන්නාක් මෙනි. ගින්දර දැල්වීමට ද අවශ්‍ය දේ තිබේ. එහෙත් ආහාර පිස ගැනීම නම් කාර්යයයේ දී ගින්දර ප්‍රධාන වන්නාක් මෙන් සංසාර ප්‍රවර්තන ශක්තිය කේන්ද්‍රගත වන්නේ විඤ්ඤාණය හා නාම රූප දෙකෙහි සම්බන්ධය තුළ බව බුදුන් වහන්සේ මහානිදාන සූත්‍රයෙහි දී පෙන්වා දී ඇත.
මෙම ප්‍රත්‍යය දෙකේ සම්බන්ධතාව නිසා ආත්ම සංකල්පයට පදනම වැටෙන අතර ආත්ම නොවන නාම රූප දෙක ආත්ම වශයෙන් ගෙන මිනිසා එයම සත්‍යය යැයි සලකා අනන්ත අප්‍රමාණ දුක් දොම්නස්වලට භාජනය වෙමින් සිටී.
සත්වයා යනු හුදු මාංශමය කයකට සීමා වූ සැකැස්මක් නොවන්නක් බවත් එය මනින්ද්‍රිය නම් රූපයක් විසිනු දූ සකසන්නක් බවත් ඉහත දැක්වෙන පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් අනාවරණය වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤