ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය

මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය දර්ශනපති, 
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

 එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි උදාර ගුණාංග සිතිවිලි අපට සමීප වනවිට, සමීප කරගන්නා විට අප තුළ සිටින දෙවියා මතුවෙනවා.
ලෞකික ජීවිතය ධර්මානුකූලව ගතකරන අපට ලෝකෝත්තර ජීවිතය ජය ගැනීමට හැකිබව ධර්මයේ සඳහන්. ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිතය වඩාත් යහපත් කර ගන්නට අවශ්‍ය කරුණු මෙසේ ගෙනහැර දක්වමු.
ස්වාමින් වහන්ස, බුදුරජාණන් වහන්සේ අපගේ ජීවිත වලාකුළු හතරකට උපමා කර තිබෙනවා. එය පහදා දෙන්න.

දිනක් බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේ පිරිවරා සවස් වරුවක එළිමහනේ වැඩ සිටි සේක. අහස දෙස බැලු තථාගතයන් වහන්සේ අහස විවිධ විචිත්‍රව නිල්පාට, කළුපාට වලාකුළු, වේගයෙන් යන වලාකුළු, සෙමින් යන වලාකුළු, පොකුරු වලාකුළු දුටුවා. මහණෙනි, අද අහස විචිත්‍රයි, වලාකුළු අහසේ පිරී තිබෙනවා. මෙතරම් විවිධ වලාකුළු තිබුණාට අවකාශයේ එතරම් වලාකුළු නැහැ. මේ සියලුම වලාකුළු වර්ග හතරකට බෙදිය හැකියි කියමින් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ “වලාහක” සූත්‍රය වදාළා.
ඒ වලාකුළු හතර නම් 1. ගොරවනවා වහින්නේ නැහැ, 2. වහිනවා ගොරවන්නේ නැහැ, 3. ගොරවන්නේත් නැහැ වහින්නේත් නැහැ, 4. හොඳට ගොරවනවා. ඒ තරමටම වහිනවා. උන්වහන්සේ වදාළා පෙර පිනකට මේ මනුස්ස ආත්මභාවයට පය තැබූ අපත් මේ වලාකුළු හතර මෙන් බෙදිය හැකි බව.
පළමු වලාව මෙන් මිනිසුන් ඉන්නවා. හඬ තිබෙනවා. වැඩ නැහැ. සමහර මිනිසුන් ධර්මය ගැන කථා කරනවා. හොඳ වැඩ ගැන කියනවා. ධර්මයේ හැසිරීමක් නැහැ. එවැනි අය අඳුරේමයි සිටින්නේ.
දෙවැනි වලාකුළ මෙන් මිනිසුන්ගේ හඬ නැහැ නමුත් වහිනවා. සමහර අය ශබ්දබද්ධ නො කළාට කැපී නො පෙනුනාට ඒ අය සිතින් ඒ කටයුත්තේ යෙදෙනවා. පළමු පුද්ගලයාට වඩා මොහු හොඳයි.
තුන්වැනි වලාකුළ මෙන් මිනිසුනුත් අද සමාජයේ බහුලයි. හඬත් නැහැ වැඩත් නැහැ. ධර්මය ගැන කථාවක් නැහැ. ධර්මයේ හැසිරීමකුත් නැහැ. ඉපදුනා. මැරුණා. ඇටකටු ගොඩට තවත් ඇටකටු ටිකක් එකතු කිරීමයි සිදුවී තිබෙන්නේ.
හතර වැනි වලාකුළ මෙන් අය ඉතා දුර්ලභයි. හොඳට කථාකොට, සාකච්ඡා කොට, විමසා බලා වැඩ කරනවා. සද්ධර්මය කථා කරනවා. ශ්‍රවණය කරනවා. ඒ වගේම ධර්මය ජීවන පටිපදාවක් ලෙස ජීවිතයට එකතු කර ගන්නවා. ඒ පුද්ගලයායි හොඳින් ගොරවලා මහා ශබ්දයෙන් වහින ගැඹුරු වලාකුළක් වගේ වන්නේ.
“බීජ” සූත්‍රයේදීත් මේ කරුණු මතුවෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මේ ධ්‍යානයන්, මඟඵල ආදිය ඉක්මණින් එකවර අපට ලබාගන්න අපහසුයි. එහිදීත් උපමාවක් වදාළා. ගොවියෙකුට පුළුවන් කුඹුර මඩ කර, වේලි කපා , නියරවල් බැඳ ඉක්මණට කුඹුර සකසන්න. ඒ වගේම තැනූ පොළවට බීජ ඉක්මණින්ම ඉසින්නත් පුළුවන් වගේම කුඹුරට ජලය එන කාණු බැඳ
ජලය එන මාර්ගය සකසන්නත් පුළුවන්. නමුත් ගොවියා කෙතරම් ඉක්මන් වුවත් ගොයම ඵල දරන්නේ මාස තුනකින්නම් ගොවියාට ගොයම පූදින තුරු ඉවසා බලා සිටින්නට වෙනවා. ඒ වගේ අපේ ජීවිත තුළත් අන්තිම මොහොතේදී සිත ධර්මයට ගෙන එන්නට අපහසුයි. කල් තියා අපේ ජීවිත ගැටළු ධර්මයෙන් සාකච්ඡා කළ යුතු වෙනවා. සාකච්ඡා කරනවා වගේම ඒ කරුණු මතක තබා ගත යුතුයි. ඊටත් වඩා වටින්නේ මතක තබා ගත් කරුණු ජීවන පටිපදාවක් ලෙස ජීවිතයට මෝදු කර ගැනීමයි. අප ශ්‍රද්ධානුසාරි, ධම්මානුසාරි වූවානම් ජීවිතය බලවත් කර ගත්තා නම් එතැනයි සැනසෙන මඟ තිබෙන්නේ. එය සාර්ථක බෞද්ධයකුගේ ලක්ෂණයක්.
කෙනෙකුට ධර්මය මතක තබා ගැනීමට, ගොනුකර ගැනීමට අපහසු නම් කළ යුත්තේ කුමක්ද?
ඇත්තටම ඇයි අපට කියාදෙන ධර්මය අමතක? දිනක් බ්‍රාහ්මණ පුත්‍රයෙක් පැමිණ තථාගතයන් වහන්සේට කියා සිටියා ස්වාමිනි, මම විවිධ යන්ත්‍ර, මන්ත්‍ර පොත්පත් කියවනවා. නමුත් මතකයේ තබාගන්න අපහසුයි. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා තමන් හදාරණ ශාස්ත්‍රය මතක තබා ගන්නට කරුණු පහක් උපකාර වන බව.
පළමුවැන්න සිතේ යම්කිසි තදබල ආශාවක් තිබෙනවා නම් මතක සිටින්නේ නැහැ. උන්වහන්සේ උපමාවක් වදාළා භාජනයක ඇති පිරිසුදු ජලයට යම්කිසි වර්ණයක් එක් කළවිට පතුළ පැහැදිලිව නො පෙනේ. ධර්මයේදී මෙයට “කාමච්ඡන්දය” කියා හඳුන්වනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු කෙරෙහි දැඩි ආශාවයි.
දෙවැන්න සිතේ නුරුස්සන ස්වභාවය. මෙය හරියට ජලයේ කැකෑරි තිබෙනවිට ජලය සෙලවෙන විට ලස්සන විලේ ලස්සන දකින්නට බැහැ වගේ සිතේ ව්‍යාපාදය බලවත් නම් මතක ශක්තිය අඩුවෙනවා. අනුන් නසන්න, අනුන්ට හිංසා කරන්න අනුන් පෙළන්න අරමුණු තිබෙනවා නම් ධර්මය පිහිටන්නේ නැහැ.
තෙවැන්න නිදිමත හෝ කම්මැලි ස්වභාවයක් ඇති නම් එය ධර්ම මාර්ගයට බාධාවක්. පොතක් කියවන විට නිදිමත වැඩිනම් මතක සිටින්නේ නැහැ. එය විලේ තිබෙන දියසෙවල වගේ. දියසෙවල බහුල විලක පතුලේ ලස්සන නො පෙනේ. ධර්මයේදී මෙය “ථීනමිද්ධය” ලෙස හඳුන්වනවා.
සිත නොසන්සුන් වීම හතරවැනි කාරණය යි. සිත නොසන්සුන් නම් විලේ ජලය කැළඹිලා. එහාට මෙහාට විසිරෙනවා. එවිටත් විලේ ලස්සන පෙනෙන්නේ නැහැ වගේම සිතේ ඒකාග්‍රභාවය රැඳෙන්නේ නැහැ. මෙය “උද්දච්ච කුක්කුච්චය” යි.
පස්වැන්න තමන් ඉගෙන ගන්නා ධර්මය තුළ සැක ඇතිවීමයි. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මේක හරිද? කියා සිතනවා. එය හරියට කළුවර දිනක විල දකිනවා වගේ. එදාට විලේ තිබෙන දේ අපට පැහැදිලිව නො පෙනේ. මෙයට ධර්මයේ විචිකිච්ඡාව ලෙස කියනවා. එහෙනම් කාමච්ඡන්ද, ඹව්‍යාපාද, ථීනමිද්ධ. උද්ධච්ච කුක්කුච්ච, විචිිකිච්ඡා කියන පංචනීවරණ අඩු කර නොගතහොත් ධර්මය මතක තබා ගැනීමට අපහසුයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ඉගෙන ගන්න දේ මතක සිටින්නේ නැහැ. රැකියාව කරන කෙනෙකුට එය සාර්ථකව කරන්න බැහැ. අපේ ජීවිත අසාර්ථක වීමට මේ නීවරණ බලපානවා.
ස්වාමින් වහන්ස, කෙනෙකු ඉක්මනින් කෝපයට පත් වෙනවා. එහි විපාක දන්නමුත් කෝපය පාලනය කර ගැනීමට නොහැකිනම් කළ යුත්තේ කුමක්ද?
එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි උදාර ගුණාංග සිතිවිලි අපට සමීප වනවිට, සමීප කරගන්නා විට අප තුළ සිටින දෙවියා මතුවෙනවා.
එහෙම නම් ජීවිතය දිනන්නට ජීවිතය ආලෝකමත් කර ගන්නට කැමැතිනම් අප යක්ෂයා සමඟ නොව දෙවියා සමඟ අත්වැල් බැඳගත යුතු වෙනවා. රාග, ද්වේෂ, මෝහය විසින් කරන්නේ අප පහළට ඇද දැමීමයි. විශේෂයෙන් ද්වේෂය නැත්නම් පටිඝය, ව්‍යාපාදය විසින් අපට හදිසි කෝපය, කේන්තිය, තරහව ඇති කරනවා. මෙවැනි හදිසි කෝපයක් ඇතිවූ විට අපට ඉතිරිවන්නේ පසුතැවීමයි. එනිසා වහාම එය පාලනය කළ යුතුයි. මේ කෝපය අඩුකර ගන්නට ධර්මානුකූලව පියවර කිහිපයක් තිබෙනවා.
1. කෙනෙකුට වාවා ගන්නට බැරි කේන්තියක් ආ විට දීර්ඝ හුස්මක් ගත යුතුයි. ඒ වගේම දීර්ඝ පහළට හුස්ම පිට කළ යුතුයි. කිහිපවරක් එසේ කරනවිට ඒ සුළු මොහොතට අපේ වේගවත් කේන්තිය ක්‍රමක්‍රමයෙන් පාලනය වෙනවා.
2. කෙනෙකු ගැන කේන්තියෙන් අප පසුවෙනවානම් ඒ අරමුණ ඉක්මනින් වෙනස් කළයුතු වෙනවා. ඇස ඒ අරමුණ වෙතින් ඉවත් කර ගන්න. එවිටත් තදබල කේන්තිය අඩුවෙනවා.
3. ඒ වගේම ගහන්න, බනින්න, මරන්න කියා සිතට එන සිතිවිලි ආදීනව සිහි කරන්න. මේ කෝපයෙන් යම් දෙයක් කළොත් කුමක් වේවිද කියා විපාක දකින්න ට ඕන.
4. සමහර අයට කේන්ති ආ විට කලබලයෙන් ඇවිදිනවා ඔබ දැක ඇති. එසේ නොකොට කේන්තිය පාලනය වනතුරුම සෙමින් සක්මනක යෙදෙන්න. එයත් කේන්තිය පාලනයට උපක්‍රමයක්.
5. තමාට තදබල කේන්තියක් ආ විට සිටගෙන ඉන්නවානම් ඉඳගන්න. ඉඳගෙන සිටිනවානම් සිටගන්න. ඇඳක නම් ඒ ඉරියව්ව වෙනස් කරන්න. ඉරියව්ව වෙනස් කිරීමත් සමඟ කේන්තියද පාලනය වෙයි.
ඒ වගේම බුර බුරා නගින කේන්තියට හොඳ විසඳුමක් තමා අසල ඇති බුද්ධ ප්‍රතිමාව දෙස එකම ඉරියව්වෙන් බලා සිටින්න. නිකෙලෙස් උතුම් ජීවිතය අපගේ කෝපය නිවා දමනවා. කෝපය මෙත් සිතින් දිනන්න පුළුවන්.
අසද්පුරුෂ බව සද්පුරුෂ බවින් දිනන්න පුළුවන්. මසුරුකම දානය පුරුදු කිරීමෙන් දිනන්න පුළුවන්. බොරු කියන අය දිනන්න පුළුවන් වන්නේ සත්‍ය කථා කිරීමෙන්.

අෂ්ට ලෝක ධර්මය


ලාභො අලාභො
අයසො යසොච
නින්දා පසංසාච
සුඛඤ්ච දුක්ඛං
එතෙ අනිච්චා
මනුජෙසු ධම්මා
අසස්සතා විපරිනාමධම්මා

එතෙ ච ඤත්වා සතිමා සුමෙධො
ආවෙක්ඛතී විපරිනාමධම්මෙ
ඉට්ඨස්ස ධම්මා නමථෙන්ති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමෙති
(අංගුත්තර නිකාය)

අටලෝ දහම නමින් හඳුන්වනු ලබන්නේ ලෝකයෙහි හැමදාම පවත්නා වූ ස්වභාව ධර්ම අටෙකි. ලාභ අලාභාදී ඒ අට ලෝ වැසියා අනුව ලෝ වැසියා අත් නොහැර පවත්නේ ය. ලෝ වැසියා ද අට ලෝ දහම අනුව - අට ලෝ දහම අත් නො හැර සිටින්නේ ය. ලෝ වැසි කිසිවකුට මේ අට ලෝ දහමට මුව නොදී විසීමට හැකියාවක් නොමැත. තුන් ලෝ වැස්සන්ගේ මුදුන් මල්කඩ වන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව්තුරා වූ සේක් නමුදු, (ලෝක තත්ත්වය ඉක්මවැ වූ සේක් නමුදු) ලෝකයෙහි වෙසෙන හෙයින් උන්වහන්සේ වෙත ද අට ලෝ දහම ඒකාන්තයෙන් ම පැමිණෙන්නේ ය. 

ඉන් මෙපිට සත්වයන් හට අට ලෝ දහම පැමිණෙනවා යයි අමුතුවෙන් කිවමනා නැත. නිසැකවැම පැමිණෙන හෙයිනි. 

--------------------------------------------

ලාභ අලාභ 

ලො වැසියාගේ සැමදාම බලාපොරොත්තුව ලාභ ලැබීමට ය. අලාභයක් බලාපොරොත්තුවෙන් වැඩ කරන කිසිවෙක් නැත. කවර හෝ ලාභයක් බලාපොරොත්තු වීම සිරිත ය. ලාභයයි ගත් කල ඥාති ලාභ - භොග ලාභාදී නොයෙක් ආකාර ලාභ ඇත. දූ දරුවන් ලැබීම ය, නෑ මිතුරන් ලැබීම ය, පිරිවර ලැබීම ය, ගව මහිෂාදී සතුන් ලැබීම ය, කෙත්වත් ධන ධාන්‍යාදිය ලැබීම ය යන මේ ආදිය බලාපොරොත්තු වන්නා වූ නානා ප‍්‍රකාර ලාභයන් අතුරින් කීපයෙකි. 

ආරෝග්‍යය, යෞවන භාවය යනාදියත් එකී ලාභ ගණයෙහිම වැටෙති. සම්පත් ගණයෙහි වැටෙන ඒ හැම ලාභයෝ විපතින් අවසන් වෙති. විපත් පැමිණෙත්ම ඒවා ගිය මඟවත් සොයා ගත නො හැකි ය. ඥාති ලාභ - භොග ලාභාදී වූ හැම ලාභයක් ම ලැබෙතොත් යෙහෙකැයි නිතොර පතමින් සිටීම සාමාන්‍ය මිනිස් ගතියෙකි. කොතෙක් ලාභ ලැබුණත් එයින් සෑහීමකට පත් නොවී තව තව ලාභ ලබමියි ලාභාපේක්‍ෂාවම ඇතිව වාසය කෙරෙයි. කොතෙක් දර බහාලුවත් ඒ සියල්ල පිළිගෙන, ගිනිබත් කරන්නා වූ ගිනි ගොඩක් මෙන් ද, නොහිම් දිය කඳ වැටීමෙනුදු සෑහීමට පත් නොවී තව කොතරම් දිය ලැබුණත් ඒ සියල්ල පිළිගෙන තවත් ලැබෙන ඕනෑ තරමක් ගන්නට සැරැසී සිටින මහ සයුරක් සේ ද, මහත් බලාපොරොත්තු ඇති පුද්ගලයා තම බලාපොරොත්තු කිසි විටෙක අඩු කරන්නේ නැත. 

සමහරෙක් කවර අපරාධයක් හෝ කොට තම ලාභය පමණක් සලසා ගනිති. කොතරම් දුසිරිතෙකැ යෙදී හෝ, යම් කිසිවක් බලාපොරොත්තු වෙති. ඕනෑම නීච – පහත් කි‍්‍රයාවක් කිරීමට ලාභාපේක්‍ෂකයෝ පසුබට නොවෙති. ඔවුනට විළිබිය නොමැත. ආත්ම ගෞරවයක් නොමැත. ලාභය පමණක් ම එකම එක වශයෙන් සලකති. ලාභ නො ලැබිය යුතු සැටි ප‍්‍රකාශිත කොතරම් ධර්ම නීති හා ලෝක නීති ඇතත් ඒ දෙස බැලීමකුදු නොමැත. ඒ සියල්ල එසේ වනුයේ තම ලාභය පමණක් ම බලාපොරොත්තු වන හෙයිනි. ලාභ ලබන අය ඊට අනතුරුව ‘අලාභයක් තම පසුපස එලවා එන්නේය” යි බොහෝ විට නිකමට වත් නොසිතති. සැමදාම මේ ලාභ මෙසේම යයි උදම් වී කි‍්‍රයා කරති. 

සමහර විට ලාභ ලබා පොහොසත්ව එයින් ඉදිමී ගිය ඇතැමෙක් දුප්පත් නෑදෑයන් පමණක් නොව, දිවි පුදා මුළු දියුණුව සලසා දුන් අහිංසක දුප්පත් මහලු මවුපියන් ද පහත් කොට සලකති. ඔවුන් තම මවුපියන් බව කීමට පවා මැලි වෙති. සහෝදරාදී සෙසු ඥාතීන් ගැන ද එසේ ම ය. තමන් ආ ගිය සැටි – කෑ බිව් සැටි – හැඳි පැළැඳි සැටි - ගෙදර දොරේ සැටි ඈ සියල්ලම (මුල) අමතක කොට සුරපුරෙන් බට කෙනකු සේ සිතති. අනුන්ටත් අඟවති. ඔහුට සහජයෙන් ලත් නෑයෝ මිතුරෝ මදි ය. තම පරපුර මදි ය. නම ගම නො ගැළපේ. ඔහු අලුත් නෑයන් සොයයි. අලුත් මිතුරන් සොයයි. අලුත් වාසගමක් ගනියි. විසීමට අන් රටක් පවා සොයයි. පාරම්පරික සිරිත් -විරිත් නොගැළපී විළිබිය නසන සංකර ගති සිරිත් කරපින්නා ගනියි. ලාභයෙන් උදම්වීම නිසා මේ ඈ මහ විකාර කාරයෝ වෙති. ඔහුගේ ගමන බිමන ද, ඉඳුම් සිටුම් ද, කතා බස් ද, රැවුම් පිප්පුම් ද, මවා ගත් තෙද ඔද ද ඔහු බොහොම ඉහළින් සිතා පවත්වතත්, ඔහු දෙස බලන නුවණැත්තෝ මොහු ලෝක ස්වභාවය - ලෝ දහම අමතක කොට ඉදිමී ඇතැයි අවඥ කොට සිනාසෙති. 

----------------------------------------------------------

යස - අයස

බුද්ධාදී ආර්යයන් වහන්සේලා ගේ ගුණය කොතරම් පැතිර ගියත් බොරු චෝදනා නිසා කොතරම් අගුණයක් පැතිර ගියත්, ඒ දෙක්හිම උන්වහන්සේ මධ්‍යස්ථවනසේක. ආර්යයන් එසේ වුවත් පුහුදුන් බොහෝ දෙන යසසේ දී උඩඟු වීමත් අයසේදී දොම්නස්වැ පසුබට වීමත් ස්වභාවයෙකි. සමහරෙක් යසස - කීර්තිය ලැබීමට නො කරන අයුත්තෙක් නැත. නො කරන අපරාධයෙක් නො මැත. බොහොම හරි හොඳ නමක් රටේ ඇති කර ගන්නට සිතා නොයෙක් දේ කරති. 

ආත්ම ගෞරවය

ගිහියන් පමණක් නොවැ, ඇතැම් පැවිද්දන් පවා බණ ටිකක් දෙස තත්, බණ භාවනාවක් කරතත්, ගුණදහමක් වඩතත් එයින් ප‍්‍රසිද්ධියක් ම බලාපොරොත්තු වෙති. අද වෙසෙන උසස් යයි සලකනු ලබන බොහෝ ගිහියෝ දන් ටිකක් දුන්නත්, මලක් පහනක් පිදුවත්, සිල් සමාදන් වුවත්, බණ ඇසුවත්, වෙහෙර විහාරයකට ගියත් ඒ සියල්ලම ප‍්‍රසිද්ධියටම – නම පතළ කැරැ ගැනුමට ම සිදු කරති. පුහුදුන් ලෝකයා කීර්තියට එතරම්ම කෑදරය. පොඩි අපකීර්තියක් හෝ ඇති වුවහොත් එයත් එසේම පසුබට වෙති. මෙහිලා සැලකිය යුතු කරුණෙක් වෙයි. එනම්: තම නම නරක් නො වන ලෙස කි‍්‍රයා කිරීමට පරෙස්සම් වීම ආත්ම ගෞරවය ඇති ඕනෑම කෙනෙකු ගේ යුතුකම විය යුතු බවයි. බොරු චෝදනා නිසා තමත් වෙත එල්ල වන්නා වූ අපකීර්තියට බිය නො විය යුතුවාක් මෙන් ම, ස්වල්ප මාත‍්‍ර දෝෂයක් හේතු කොට ගෙන හෝ, ඇති වන අපකීර්තියට විශාල බියක් පහළ කරගත යුතුය. 
තම වැරැදි නිසා පහළ වන්නා වූ අපකීර්තිය ගැන සැලකිලිමත් වනවා මිස අටලෝ දහම අනුව අපකීර්තියත් ඇතිවිය යුතු යයි සිත සිතා වරදෙහි බැදීම මිනිස්කමට නො ගැළපෙන්නකි. ආත්ම ගෞරවය තිබෙන කොයි කවුරුන් වුව ද, තම හොඳ නමට කිළුටක් වේ නම්, එය වළකා ගන්නට ජීවිතය පවා කැප කරති. නම නරක් කැරගත් ජීවිතය අවලංගු තඹ කාසියක් තරම්වත් වටින්නේ නැත. එහෙයින් යසස අයසට හැරෙන්නට ඉඩ නො තබා සිහි නුවණින් කි‍්‍රයා කරන ගමන ඊර්ෂ්‍යා පරවශයන් පතුරුවා හරින අයසට කලබල නොවී මැදිහත් විය යුතුය.

කල්‍යාණ මිත්‍රයා

නින්දා ප‍්‍රශංසා දෙක කළ යුතු සැටි තේරුම් ගෙන කරනවා නම්, එය කාගේත් වැඩ පිණිස හේතු වන්නේ ය. වරද වරද වශයෙන් ම කිව යුතුය. පෙන්වා දිය යුතුය. වරදට නින්දා කොට එය පෙන්වා දෙන තැනැත්තා නියම කල්‍යාණ මිත‍්‍රයා බව වදාළ සේක. ගුණය කා කෙරෙහි තිබුණත් ගුණයමැයි. එයට ව්‍යාජ ලෙස නොව අවංක සිතින් පැසැසිය යුතුය. එසේ නොව නින්දා කළ යුත්තට ප‍්‍රශංසා කිරීමත්, ප‍්‍රශංසා කළ යුත්තට නින්දා කිරීමත් අයුතු කි‍්‍රයා මෙන් ම පව් සිදුවන්නා වූ කි‍්‍රයාවෝ ය. එහෙයින් වදාළහ.

“යො නින්දියං පසංසති
තංචා නින්දති යො පසංසියො
විචිනාති මුඛෙන සො කලිං
කලිනා තෙන සුඛං න වින්දති”
යමෙක් නින්දා කළ යුත්තාට පසසාද, පැසැසිය යුත්තාට නින්දා කෙරේද, හේ මුවින් පව් රැස්කර ගන්නේ ය. එම පවින් දුක් විඳින්නේය. යනු එහි අදහසයි.
නින්දා කිරීම ද බොහෝ දෙනෙකුට ඉතා හුරු පුරුදු වැඩෙකි. අද නින්දා කිරීමට ඉලක්කය වශයෙන් ගණන් ගෙන තිබුණේ සුගුණයි. හොඳ ගතියි. ගුණය නො රුස්සන ගුණයට සමච්චල් කරන ගුණවතුන් පහත් කොට සලකන මෙවැනි කාලයක් කවදාවත් නොවීය. භික්ෂූන් වහන්සේ අතර පවා මේ දුර්ගුණය ඉතා තදින් ම බලපවත්නා බැව් අකමැත්තෙන් වුවද, කිව යුතුව ඇත. භික්ෂුවක් වශයෙන් තමන් අයත් හරි මඟ ගමන් කරන්නා වූ භික්ෂුවට අද සමාජයෙන් ලැබෙන්නේ නින්දාවක් ය. භික්ෂුන් වශයෙන් පෙනී සිටින්නෝම භික්ෂුන් ගේ සංවරය ශීලය ගුණය අවමානයට ලක් කරති. සංවරව මඟ තොට ගමන් කිරීම, කැප සරුප් පඩු පෙවූ සිවුරු පරිහරණය, පාත‍්‍ර පරිහරණය ආදී භික්ෂු ජීවිතයට අයත් ගිහි ආකල්පයෙන් වෙන් වූ වැඩ පිළිවෙළ පවා උපහාසයට ලක් කොට නින්දා කරති. අද සමහරෙක් මගතොට යන එන විට සිවුර හරෙන් මෙහෙන් දමාගෙන, වටපිට බල බලා අසංවරව ආගිය තරමටම “මඟ හපන්කම් කරන්නෝ අපි වම්හ” යි ආඩම්බර වෙති. මෙවැනි විගඩම් දකින සැදෑවත් බෞද්ධයන් ගේසිත කළකිරෙනවා පමණක් නොව, මහත් දොම්නසට පත් වෙනවා නොවේ ද යි අබමල් රේණුවකට වත් තැකීමක් නො කරති. බුදු සසුන් විසාහි නො පහන් අය පහන් කිරීමටත් පහන් අයගේ පැහැදීම දියුණු කිරීමටත් මම බැදී සිටින්නෙමියි අදහස් මාත‍්‍රයකුදු පහළ නො කෙරෙති. ඔව්හු “නච බුද්ධං සමාචරෙ කිඤ්චි - යෙන විඤ්ඤො පරෙ උපවදෙය්‍යුං” නුවනැත්තන් දොස් කියන සුළු වරදක් වත් නොකළ යුතුය යන බුදු වදන දෙස බැලීමකුදු නො මැත.

------------------------------------------------------------

නින්දා - ප‍්‍රශංසා

මෙබඳු ගති ලාභ ලබන පුහුදුන් බොහෝ දෙනෙකුන් කෙරෙහි දක්නට ලැබෙන්නේ “ලාභෙන උන්නතො ලොකො අලාභෙන ච ඔනතො” පුහුදුන් ලෝ වැසියා ලාභයෙන් උඩඟු වී හිස උදුම්වා ගැනීමත්, අලාභයෙන් පසුබට වී – දීන වී කනස්සලු වන ගතියත්, පුහුදුන් ස්වභාවය නිසාය. පුහුදුන් ගතිය මෙසේ වුවද කලාතුරෙකින් කෙනෙක් තමන්ගේ මුල මතක තබාගෙන උඩඟු නොවී, කා සමඟත් ඇයි හොඳයි කියමින්, නිහඬව ගලා බස්නා මහා ගංඟාවක මෙන් කලබල නැතිව වාසය කරති. “ගැඹුරු තන්හි ජලය කලබල නැත” යන කීම සනාථ කරමින් වෙසෙන ඔහු”දැන් සම්පත් ලැබුණත් මේ සියලු සම්පත් විනාශ විය හැකි ලෙස අලාභ ද පැමිණිය හැකි බව නිති සිහි කෙරෙති. එසේ සිහිකොට ලාභයෙන් උදම් නොවන්නාහුට ලොකු අලාභයක් පැමිණිය ද එයට කලබල නොවී දරාගත හැකිය.

අර්ථාන්විත නමකින්

අනේපිඬු සිටුතුමා පමණ කළ නො හැකි මහ සම්පත් ඇති ව විසූ කෙනෙකි. දෙව්රම් වෙහෙර උදෙසා ම සූපණස් කෙළක් ධනය වියදම් කෙළේය. දිනපතා පන් සියයක් මහ සඟනට රසමසවුලෙන් දන් දුන්නේය. හේ අසරණයන් ගේ දුක බලා ඔවුන් ගේ කැමැත්ත ලෙස ඔවුන්ට සංග‍්‍රහ කොට ඔවුනට පිහිට වූ හෙයින් ම, අනාථ පිණ්ඩික අනේපිඬුයි අර්ථාන්විත නමකින් පතළ විය. මේ වැඩවලට කොතරම් වස්තුවක් අවශ්‍ය වන්නට ඇද්දැයි නුවණින් සලකන්නෙකුට එය අපහසුවක් නොමැතිව තේරුම් ගත හැකිය. එතුමාට ඒ අනුව අපමණ වස්තුවක් තිබෙන්නට ඇතැයි වැටහේමැය. 
එහෙත් කල් යත්ම අනේපිඬු සිටුතෙමේ ඒ මහ සම්පතින් පිරිහී දුප්පත් වූයෙන් මහ සඟන පිදීමට දනට නිවුඩු හාලේ බතත් කාඩි හොද්දත් පවා අමාරුවෙන් සපයා ගත් බව පෙනේ. ඒ තත්ත්වයට වැටුණත් හේ දුක්මුසු නො වීය. කොසොල් මහ රජ මුළු කොසොල් රටෙහි පමණක් නොව, කසී රටෙහිද ඒකාධිපති මහ රජ වූව ද, අසූ වියෙහි දී අනාථව මැරෙන්නට සිදුවූයේ මහ ම අම්බලමකයි. බරණැස විසූ මහ ධන සිටු පුත්තෙම අසූ කෝටි දෙකක් ධනය ඇතිව වූසූ කෙනෙකි. 

පරම ධනය

පසු කාලයෙහි ඒ සියලු ධනයෙන් පිරිහී හිඟමනේ ගිය සැටි ද සිහි කළ මනාය. හේ කෑම ටිකක් සොයා විහාරස්ථානයට ද පැමිණියේය. ධර්මාශෝක අධිරාජයා අපමණ ඓශ්චය්‍ය¡යෙන් යුක්තව වාසය කළත්, ජීවිතාවසානයෙහි කිසිවක් නොමැතිව නෙල්ලි පළුවකට පමණක් අධිපති වී යයි පළවැ ඇත. ලක් රජය කළ දුටුගැමුණු රජ චූලංගනී යුද්ධයෙන් පැරැද ගොස්, කුස සයින් පෙළෙන කල්හි සිවු දෙනෙකුට වළඳන්නට තිබුණේ තිස්ස අමාත්‍යයා රන් තැටියේ බහාගෙන ගිය එක් කෙනෙකුට සෑහෙන බත් කොටස පමණය. එයත් තිස්ස නම් මහ රහතන් වහන්සේට පූජා කෙළේය. 
මෑත අතීතයෙහි විසූ තෙර නමක් පිඬු සිඟා වැඩම කළ කල්හි ලැබුණේ ඉඳුණු කෙසෙල් ගෙඩියක් පමණක්ලු. එය විහාරස්ථානයට ගෙනවුත් විහාරස්ථානයේ වුසූ කුඩා ශිෂ්‍ය නමට කෙසෙල් මදය දී උන්වහන්සේ කෙසෙල් ලෙල්ල වැළදූ සේක්ල. ලද දැයකින් සතුටු වීම පරම ධනය කොට සලකන එවැනි උතුමන්හට කොතරම් අඩුපාඩු වුවද, ලාභයෙන් පිරිහුණ ද, එය කිසි ගණකට නො ගන්නා හෙයින් පහසුවෙන් ජීවත් විය හැකි බව “සදා සන්තුට්ඨ චිත්තානං සක්කා සබ්බත්ථ ජීවතුං” යන්නෙන් පැහැදිලියැ. ලාභාසාවේ කොනක් මිම්මක් නැති අයට ලැබෙන තාක් ලාභ ලබමින්, තව තවත්, නොයෙක් වීදියේ ලාභ බලාපොරොත්තු වෙති. එයම සමහරකුට මහත් පිරිහිම පිණිස වන්නේ ය. 

කීර්ති ඝෝෂාව

බුදුරජාණන්වහන්සේ ගැන දසත විහිදී ගිය කීර්ති ඝෝෂාවක් “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජා චරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති” යි ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව් බඹ මිනිස් සත් වගට තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට දැන ගන්නා ලද්දාවූ, තමන් වහන්සේ විසින්ම ප‍්‍රත්‍යක්ෂ කරන ලද්දාවු නව ලොව්තුරා දහම අවබෝධ කරවන සේක. උන්වහන්සේ මුල-මැද-අග යන හැම තන්හි යහපත් වූ, අර්ථ සම්පත් ව්‍යඤ්ජනසම්පත් වලින් අනූනව හැම පසින්ම පිරිපුන් ධර්මය දේශනා කරන සේක.
එබඳු රහතන්ගේ දැක්ම පවා මහා භාග්‍යයෙ කැයි සලකා ගුණ වණා බුදුරජාණන්වහන්සේ දක්නට යති. එසේම සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගේ ආචාරශීලීභාවය ගැන පතළ වී තිබෙන කීර්ති රාවය අසා පහන්වැ, තම පැහැදීම පළ කෙරෙමින් ගුණ වැණුහ. “සමනො චලු හො ගොතමො කල්‍යාණ වාචො, එහි ස්වාගතවාදී, සඛිලො, සම්මොදකො, අබ්භාකුටිකො, උත්තානමුකො, මිහිතපුබ්බංගමො, පුබ්බහාසි” යනාදී වශයෙන් ශ‍්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කන පිනවන්නාවු මිහිරි කතා ඇති සේක. තමන් වහන්සේ වෙත පැමිණෙන්නවුන්ට එන්න එන්න ආවා ඉතා යහපතැයි පවසා ආසිරි පෙරටු කොට පිළිගන්නා සේක.

ප‍්‍රිය ඇසින්

උන්වහන්සේ ගේ වචනය අසන තාක් දෙනා සමගි සම්පන්න වන ස්වභාවය ඇති කරන සේක. තමන් වහන්සේ වෙත පැමිණෙන්නවුන් ගේ සිත් පිනවන්නාවු පිළිසඳර කතා පවත්වන සේක. බැම වකුටු කොට හෝ අවමන් කොට හෝ නො බලා පි‍්‍රය ඇසින් සියල්ලන් දෙස බලන සේක. උඩුකුරු කොට ගත් මුව පියුම ඇති සේක හෙවත් තමන් වහන්සේ වෙත පැමිණෙන්නන් දෙස මැනැවින් බලන සේක. මඳ සිනා පෙරදැරිව අමුත්තන් පිළිගන්නා සේක. තමන් වහන්සේම පළමු කොට කථා කරන සේක. මේ ආදී විසින් පැතිර ගිය ගුණඝෝෂය අසීමිතය.
මුගලන් මාහිමියන්ගේ ඍද්ධි මහිමය නිසා බුදු සසුන දීප්තිමත් වන්නේ යයි සැලකූ ඊර්ෂ්‍යා පරවශ තීර්ථයකයෝ උන්වහන්සේ මරන්නට සිතා පහර දුන්හ. 

---------------------------------------------------------------

සැප - දුක

බුදුරජාණන් වහන්සේට කායික සුව පහසු උසස් ලෙස ලැබුණ බව ද සත්‍යයෙකි. ගිහි කල දෙව් සැප පරයන සැප පහසුකම් ඇතිව වැස, පැවිදිව දුෂ්කර කි‍්‍රයාවෙන් අපමණ දුක් වින්ද බවද ප‍්‍රකටය. බුදුව දෙව්රම් වෙහෙර වැනි විහාරස්ථානයන්හි විසුවාක් මෙන් ම තද ශීතල රාති‍්‍රයෙහි ඇට්ටේරිය වනයෙහි ගහක් මුල විසීම වැනි පුවත් ද නොයෙක් තැන දක්නට ඇත. බුදුරජාණන් වහන්සේට දුක සැප දෙකට ම මූණ දෙන්නට සිදුවී නම්, සෙසු අය ගැන කවර කථාද? සාමාන්‍ය ලෝකයාගේ සැප වැනසීයාමෙන් ඔවුන්ට මහත් දුකක් ඇතිවේ. බුද්ධාදී ආය¸යන් වහන්සේ ඒ සියල්ලට ම මධ්‍යස්ථ වන සේක. ලෝ වැසි බොහෝ දෙනෙකුන්ට සැප විඳින කල්හි දුක අමතක වීම ස්වභාවයකි. එහෙයින් ම සම්පත්තියෙන් සැපයෙන් මත්ව නොයෙක් නො කටයුතු කෙරෙති. ලොවැ සැපයයි ගණන් ගෙන ඇති සියල්ලකම මොහොතින් මොහොත වෙනස්වන බව සිහිකළ මනාය. ඉරියව් මාරුකිරීම නිසා සැපයයි සැලකෙන්නක්ම මොහොතක් ගතව ගිය කල දුකට පෙරැළේ. තුරුණු බව (තරුණ කාලය) සැපයෙකි. සම්පතෙකි. එය ජරා දුකින් වැනැසෙන්නේය. තුරුණු වියෙහි දී තුරුණු මදයෙන් මත්ව ගත් බොහෝ අය තම තාරුණ්‍යය මෙරමා පෙළීමට අවියක් කොට ගනිති. සමහර විට මහල්ලන්ට කල කොලොප්පන් කරමින් මහලු බව උපහාසයටත් ලක් කෙරෙති. තුමූ මහලු වන බව නිකමට වත් නො සිතති. ඒ මතු ද නොව, තුරුණුමඳයෙන් මත්ව නොයෙක් අපරාධ කොට පව් රැස්කැර ගනිති. එසේම ආරෝග්‍යය - ලෙඩ නොමැතිබව සැපතෙකි. 

තැනට සුදුසු නුවණ

එය ලෙඩ හටගන්මෙන් දුකට පෙරළේ. ලෙඩ හට ගත් කල කිසිවක් කරකියා ගත නොහී, ළතැවෙන්නට සිදු වේ. යම් කිසිවකු නීරෝගිව වෙසෙන කල්හි මා මොන මොහොතේ ඉතා දරුණු රෝගයකට භාජන වේදැයි සිතිය නො හැකි හෙයින් මගෙ නීරෝගිභාවය ලෝ සසුන් මෙහෙය පිණිස යොදවමියි අධිෂ්ඨාන කරගත යුතුව තිබියදී ලෙඩට භාජනය වන බව මෙනෙහි කිරීම ලෝ දහම අමතක කිරීමක් වන්නේය. යම්කිසි රෝගයකට භාජනය වුවද, එහි දී දුක් දොම්නස් නොවී, මේ සිරුර දරණ තාක් කල් ලෙඩවීමෙන් වළකින්නට නොපිළිවනැයි සිතා, දුක් දොම්නස් නො වියයුතුය. එසේම මහත් සම්පත්තියක් වූ ජීවත්වීම මරණ විපත්තියෙන් කෙළවර වන බව තේරුම් ගත් නුවණැත්තා මරණය කවර මොහොතෙකැ කෙලෙස සිදුවේදැයි නොදත හැකි හෙයින්, හිස ගිනිගත්තකු ඒ ගින්න නිවා ගන්නට යම් තාක් උනන්දුව තිබේ නම්, සත්කි‍්‍රයාවන්හි යෙදීමට එවැනි උනන්දුවක් තිබිය යුතු බව සිතා කි‍්‍රයා කරන්හු කරා මරණය ළංවුවත් තුටු, සිතින් ඊට මූණදිය හැකිය. ජීවිත සම්පත්තියෙන් මත්වූවන්ටහට මරණ දුක අමතක වන්නේය. මැරෙනවායයි හඩ හඬා වැලැපි වැලැපි නො සිට, එයම අරමුණු කොට කළමනා වැඩෙහි යෙදීම නුවණැත්තන් ගේ ස්වභාවයයි. 

පි‍්‍රය මනාප බව ඇති සවිඤ්ඤාණක වුවද අවිඤ්ඤණක වූ ද වස්තූ හා එක්ව වසන්නට ලැබීම මහත් සැපතක් වශයෙන් සලකති. යම් ලෙසකින් ඒ වස්තූන් ගෙන් වෙන්වන්නට සිදුවුවොත් එය මහත් දුකෙක් වන්නේය. මේ පි‍්‍රය සම්පයෝග පි‍්‍රය විප‍්‍රයෝග යන සැප දුක් දෙකටම විටින් විට මූණ පාන්නට සිදුවීම ද වළක්වන්නට සමත් කිසිවෙක නැත. ධෛර්ය සම්පන්න අය පි‍්‍රය විප‍්‍රයෝගයෙන් ද කල බලයට පත් නොවී, ස්ථානෝචිත ප‍්‍රඥායෙන් - තැනට සුදුසු නුවණින් යුතුව කි‍්‍රයා කරති. බුද්ධ කාලයේ විසූ බන්දුල මල්ලිකාව දිනක් මහා සංඝරත්නට දන් දෙමින් සිටින විට තම දරුවන් තිස්දෙනාත් සැමියාත් යුද්ධයේ දී මරුමුවට පත් වූ බව සටහන් කොට ඇති හසුන් පතක් ලැබිණි. එය බලා කලබල නොවී, එය ඉණෙහි ගසා ගෙන දන් බෙදමින් සිටියාය. එවිට එක දැස්සක ගේ අතින් ගිතෙල් කලයක් බිම වැටී බිඳී ගියේය.

ඒ දුටු සැරියුත් මා හිමියෝ “මල්ලිකාවනි, බිඳෙන ස්වභාවය ඇති දෙය බිඳී යන්නේය. ඒ ගැන සිත නරක්කර නො ගත යුතුය”යි කීහ. එබස් ඇසූ මල්ලිකාවෝ ඉණෙහි රඳවා ගෙන තිබුණු ලියුම අතට ගෙන “ස්වාමිනි, මගේ පුතුන් දෙතිස් දෙනාත් සැමියාත් මළ බව සඳහන් කොට ඇති මේ හස්න ලැබීමෙන් වත් කලබල නොවූ මම දෑස්ස අතින් ගිලිහීබිඳී ගිය ගිතෙල් කලය ගැන ශෝක කරම්දැ’යි කීහ. බන්ධුල මල්ලිකාව ගැහැනියක වුවත්, පි‍්‍රය විප‍්‍රයෝග දුක පැමිණෙන බව කලින් ම තේරුම් ගෙන සිටීම නිසා ඒසා මහත් විපතෙදී නො සැලී සිටියාය. උරග ජාතකයෙහි දැක්වෙන පරිදි තම එකම පුතු මළ කල්හි මාපියන් දුක් නොවූ සැටි ද මෙහිලා සිහි කළ යුතුය. පි‍්‍රය ජනක අවිඥානක වස්තූ හා එක්වීම සැපයක් සේම, එයින් වෙන්වීම දුකෙකි. තමන් සීතල නොකැමැති විට සීතල ඇතිවීමත්, උෂ්ණය නො කැමැති විට උෂ්ණය ඇතිවීමත් දුක්ය. නොරුසනා කඳු හෙල් ගල් මුල් ආදිය ඇසුරට ලැබීමත් දුක්ය. එසේම පි‍්‍රය ජනක රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බයන් කැමැතිවීමත් ඒ පි‍්‍රය අරමුණු ලක් විට සැපයක් ලබන ලදැයි සොම්නස් වීමත් ස්වභාවයෙකි. තමන් රුචි නො කරන්නාවූ රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ඨබ්බයන් ලත් කල දුකට පත් වීමත් ස්වභාවයෙකි. 
අට ලෝ දහමින් කෝකත් පැමිණියත් වෙනස් ගතියක් නොපා, මැදහත් ලෙස පවතින්නට හැකි තත්ත්වයක් උදාකර ගන්නට පිළිවන් පුද්ගලයාහට ඉවසා දරා ගත නො හැකි කිසිවක් නැත. ඔහුට හැමදාම හැම විටම සුව සේ විසිය හැකිය. ඔහුට සපුරාලිය නො හැකි ගුණ දහමක් ද නො මැත. හේ ඇතිතාක් ගුණදම් මත සැනැසිලිමත් ජීවිතයක් ගෙවා පරලොවේහි ද සුවපත්ව, නිවන් දක්නට ද සමත් වන්නේය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මිනිස් සිරුරේ ස්වරූපය

රාජකීය පණ්ඩිත 
ශාස්ත්‍රපති 
අයගම සුසීල හිමි

බුදුදහම තරම් මිනිස් සිත පිළිබඳ අවධානය යොමු කළ ආගමික දර්ශනයක් ලොව ආගම් ඉතිහාසයේ දක්නට නොලැබේ. සමස්ත බුද්ධ දේශනාව ම සිත පදනම් කොට කරන ලද ඉගැන්වීමක් හෙයින් බුදුදහම මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් සමුදායක් වශයෙන් සැලකීම වඩාත් ම උචිතය.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ විමුක්ති පරමාර්ථයේ දී උන්වහන්සේගේ අවධානයට යොමු වූයේ බඹයක් තරම් වූ ශරීරයක් දරමින් ඒ තුළ ක්‍රියාත්මක වන සිත සහ එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමයි. ඉර, හඳ, තාරකා, ග්‍රහ පෘථවි සප්තමහා සාගරය සහ එහි දිග පළල සෙවීමට වඩා උන්වහන්සේට අවශ්‍ය වූයේ මිනිස් සිත පිළිබඳ ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. සිත ගැන සෙවීම ම දුකින් මිදීමට මාර්ගය බව අවබෝධ කරගත් උන්වහන්සේ සියලු දුක් ගැහැට විඳිමින් එම උත්කෘෂ්ට ක්‍රියාදාමය වෙසක් පොහෝ දින ගයාවේ බෝසමිඳුන් අබියස දී පසන්කොට ගත්හ. එම ආත්මාවබෝධය විමුක්තිකාමී ලෝකයාගේ විශිෂ්ටතම ජයග්‍රහණය විය. දුක්ඛ වූ පසමනයට මාර්ගය ද එම විජයග්‍රහණයයි. ඒ සඳහා බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනාකොට වදාළ ප්‍රධාන ඉගැන්වීමක් වනුයේ ආත්ම ගවේෂණයෙහි යෙදෙන ලෙසත් ඒ සඳහා චිත්ත දමනය කළ යුතු බවත්ය. ‘අත්තානං ගවේසෙය්‍යාථ සචිත්ත මනුරක්ඛථ’ යන බුද්ධ වචනයෙන් එය අවධාරණය කොට ඇත.
මිනිසාගේ වටිනාකම ඉන්ද්‍රිය වූ මනස හෙවත් සිත පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති කර ගැනීම තුළින් පෘථුල ජීවිතාවබෝධයක් ඇතිකර ගැනීමට හැකි බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ සිතත් සිතෙහි ඇතිවන සිතිවිලිවල ස්වභාවයත් තේරුම් ගැනීම සුඛිත මුදිත ජීවිතයකට මාර්ගය බව දේශනා කර ඇත. ඒ අනුව සෑම පෘථග්ජන සිතකම ඇතිවන සිතුවිලි ආදානග්‍රාහීය. ඇලීම්, බැඳීම් සහ ගැටීම් ඇතිකරවන සුළුය. එවැනි සිතිවිලි කුඹුරක හටගත් වල් පැළෑටි බඳුය. වල් පැළෑටි උදුරා දමා කෙත ආරක්ෂා කර නොගතහොත් කෙතක සමෘද්ධිය ඇති නොවේ. සිත තුළ වල් පැළෑටි බඳු කෙලෙස් උදුරා නොදැමුවහොත් චිත්ත සංවර්ධනය ඇති නොවේ.
ඒ නිසා කෙලෙස් සිඳීමට සිතෙහි ස්වභාවය වටහා ගත යුතු ය. අභිධර්ම විභාවිනි නම් ටීකාවේ සඳහන් වන මෙම ගාථා ධර්මයෙන් සිතෙහි මූලික ස්වරූපය කෙබඳු ද යන්න ප්‍රකට වෙයි.

විචිත්ත කරණ චිත්තං 
අත්තනො චිත්ත තායවා 
චිතං කම්ම කිලෙයෙහි 
චිතං කායති වා තථා

විනෝති අත්ත සන්ථානං විචිත්තාරම්මණන්ති චාති (අභිධර්ම විභාවිනි ටීකාව)
1. විචිත්ත කරණං චිත්ත – විසිතුරු දේ නිපදවන්නේ සිතයි.
2. අත්තනො චිත්ත කාර වා - සිත තමා විසින්ම විසිතුරු වෙයි.
3. චිතං කම්ම කිලොසෙහි – කර්මය සහ ක්ලේෂයන් විසින් ගොඩ නැඟුණේ සිතයි.
4. චිතං තායති වා කථා - ආත්මය රකින්නේ සිතයි.
5. විනෝනි අත්ත සත්ථානං - ආත්මභාව පරම්පරාව රැස් කරන්නේ සිතයි.
6. විචිත්තාරම්මණන්ති චිත්තං - විසිතුරු අරමුණු ගන්නේ සිතයි.
බුදු දහමේ ඉගැන්වීම් අතර මිනිස් සිත පිළිබඳ ගැඹුරු විග්‍රහයක් අන්තර්ගත වන්නේ අභිධර්ම පිටකයෙහිය. එහිදී සිතෙහි ස්වභාවය හා ක්‍රියාකාරීත්වය මැනවින් ඉදිරිපත් කොට තිබේ. අභිධර්ම පිටකය අයත් අභිධර්ම විහාවිනී ටිකාවෙහි සඳහන් වන ඉහත සඳහන් ගාථාව සිත පිළිබඳ ඉගැන්වෙන විශිෂ්ට ඉගැන්වීමක් වශයෙන් සැලකිය හැකිය. එහි ඉගැන්වෙන කරුණු 06ක් පිළිබඳ සංක්ෂිප්ත ඉගැන්වීමක් මෙහිදී ඉදිරිපත් කෙරේ.
1. විචිත්ත කරණං චිත්තං විසිතුරු දේ නිපදවන්නේ සිතයි.
සමස්ත ලෝකය ම ඒකාකාරී වූ ඒකාත්මික පැවැත්මට නතු වුවක් නොවේ. සියලු තතු විවිධත්වය සහ විචිත්‍රත්වය පැවැතීම විශ්ව ධර්මතාවයකි. සජිවී සත්වයන් සහ අජීවී ද්‍රව්‍යාත්මක දේවල් තුළින් පැහැදිලිව පෙනෙනුයේ විවිධත්වයයි. සත්‍ය වශයෙන් ලෝකයේ පැවැත්ම ද ඒ විවිධත්වය සහ විචිත්‍රත්වය නිසා ඇති වේ. මෙම තත්ත්වය දිව්‍යමය බලවේගයක් අනුහසින් නොව මනස පදනම් වූ චෛතසික රටාවක් හේතුවෙන් ම ඇතිවන්නකි. ‘මනෝ පුබ්බංගමා ධම්මා’ යන බුද්ධ වචනයට අනුව මනස සියලු දෙයට පූර්වාංගම සාධකය වේ. මෙම ධර්ම පාඨයට අනුව විශ්වගත සත්ත්වයන්, මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයන් හා යක්ෂ, භූත, ප්‍රේතයන් බවට හා තිරිසනුන් බවටත් බුදු, පසේ බුදු මහරහතන් සහ බෝසත් උත්තමයන් බවටත් පරිවර්තනය වන්නේ සිතේ ක්‍රියාකාරීත්වයේ අනුහසිනි. එනිසා සත්ත්වයන් විවිධ විචිත්‍ර ජීවිත බවට පත් කරන්නේ සිතයි. එපමණක් නොව රමණීය මාළිගා, උද්‍යාන, පරිගණක, ගුවන් යානා ආදී සියල්ලමත් මිනිසුන්ට දෛනිකව නෙත ගැටෙන සියලු ලොකු කුඩා මෙවලම් ආදියත් සිතේ ක්‍රියාකාරිත්වයේ විවිධත්වය අනුව නිෂ්පාදනය වූ ඒවාය. නිවසක් තවත් නිවසක් සමඟත් සිතුවමක් තවත් සිතුවමක් සමඟත් සන්සන්දනය කර බැලීමේ දී ඒකාකාරී නොවී විවිධත්වයක් ප්‍රදර්ශනය කරන්නේ ඒ ඒ සිත්වල හැඟීම් දැනීම් අපේක්ෂාවෙන් අනුව ඒවා නිෂ්පාදනය වූ හෙයිනි. එනිසා සිත වූ කලී මෙලොව විචිත්‍රත්වය හඳුන්වා දුන් මූලායතනය වේ.
2. අත්තනො චිත්ත තායවා
සිත තමා විසින්ම විසිතුරු වෙයි.
මෙම ධර්ම පාඨය අනුව මිනිස් සිත තමා විසින් විසිතුරු වූවකි. වරෙක සතුටින් ප්‍රමෝදයෙන් සිටින පුද්ගලයෙක් තවත් වරෙක ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් හා වෛරයෙන් යුත් කෙනෙකු බවට පත්වෙති. තවත් වරෙක ඒ පුද්ගලයා ම ශ්‍රද්ධාවෙන් යුත් ශාන්තුවරයෙකු උපාසකයෙකු මෙන් හැසිරෙයි. තවත් විටෙක පරිත්‍යාගශීලී නොමසුරු අයෙකු වන ඔහු කුරිරු අයෙකු මෙන්ද හැසිරෙයි. කරුණා, මෛත්‍රී, දයා, අනුකම්පා ආදී උසස් ගුණධර්ම ද දරමින් කටයුතු කරන ඔහු හොඳ නරක දෙකින් ම මිශ්‍ර චරිතයක් බවට ද පත්වෙයි. මේ නිසා දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ මානසිකත්වයන් ඇති කෙනෙකු වශයෙන් කටයුතු කරන මිනිසාට මෙවන් වෙනස්කම් පැතිරවීමට ඉඩ සලසන්නේ සිතයි.
3. චිතං කම්ම කිලෙසෙහි
කර්මය සහ ක්ලේෂයන් විසින් ගොඩ නැගුණේ සිතයි.
කර්මය සහ කෙලෙසුන්ගේ බලපෑම මත කෙනෙකු තිරිසනෙකු, ප්‍රේතයෙකු, අසුරයෙකු බවට පත්වන්නේ ද සිත අනුවය. පාපකාරී අකුසල කර්මයන් සහ අකුසලකාරී සිතිවිලි පදනම් කොටගෙන දුක්ඛිත ආත්මභාව වෙත පුද්ගලයා මෙහෙයවන්නේ සිත නමැති බලවේගය විසිනි. යහපත් කුසල කර්ම පදනම් කොටගත් කුසල චෛතසික ධර්ම හේතුකොටගෙන කෙනෙකු උපාසකයෙකු සත් පුරුෂයෙකු බවට පත්වන අතර දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකවල සැපවත් ජීවිත වෙත ද අනතුරුව සෝවාන් ආදී මාර්ගඵල ලබා රහත් බවට පත්වීමට ද එය ඉවහල් වේ. මිනිසෙකුට ලැබිය හැකි උසස් ම පදවිය වූ ලොව්තුරා බුද්ධත්වයට ද කෙනෙකුට ළඟා විය හැකි වන්නේ නිවැරැදි චින්තනයේ සහ ඒ හා බද්ධ වූ චර්යාවේ ප්‍රසන්න බව හේතුකොට ගෙනය. මේ නිසා කෙලෙස්වලින් යුතු සිතත් චර්යාවත් පුද්ගලයෙකු පහත් ආත්මභාව කරා යොමු කරවන අතර කෙලෙස්වලින් මිදුණු චර්යාව සැපවත් ආත්මභාව වෙතත් අනතුරුව නිවන වෙතත් මෙහෙයවයි. මෙය ද සිතේ ක්‍රියාකාරීත්වයේ අනුහසින් සිදුවන්නකි.
4. චිතං තායති වා තථා
ආත්මය රකින්නේ සිතයි
සිත ජීවිතයේ ආරක්ෂකයාය. නඩත්තු කරන්නාය. ලබාගත් ආත්ම භාවය සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය සිත විසින් ම සිතට අනුව සිදුවේ. හුස්ම ගැනීමේ ක්‍රියාවේ සිට ආහාර ගැනීම, නිදීම, ඇවිදීම, ගමන් යාම, අතපය නැවීම සිරුර නැහැවීම ආදී කුදු මහත් කටයුතු සියල්ලම සිතේ මෙහෙයවීමකින් තොරව සිදු නොවේ. මිනිස් ජීවිතයක් මෙන්ම කවර හෝ සත්ත්ව ජීවිතයක පැවැත්ම, සංරක්ෂණය සහ ලබාගත් ආත්මභාවය මියෙන තෙක් උපරිම අයුරින් පවත්වා ගැනීම සිත විසින් ක්‍රියාත්මක කරයි. මේ නිසා ලබාගත් ආත්මභාවය ආරක්ෂා කිරීමේ අර්ථයෙන් ද සිතට චිත්ත යන ව්‍යවහාරය ලැබේ.
5. විනෝති අත්ත සථානං
ස්වකීය ආත්මභාව පරම්පරාව රැස් කරන්නේ සිතයි.
සංසාරයේ කෙදිනක හෝ ලබාගත් මේ ජීවිතය භවයෙන් භවයට කර්ම රැස්කරමින් භවගාමී සසර දීර්ඝ ගමනකට අවශ්‍ය මාර්ගය සලසා ඇත්තේ සිතයි. සිතෙහි වයස සහ එම ආත්මභාව ගණන් කළ නොහැකි තරමින් ඉදිරියට පැමිණ ඇත්තේ ඒ චිත්ත පරම්පරාවේ බලවේගය හේතුවෙනි. එනිසා පස්පව් දස අකුසල් කරමින් අපායගාමී භාවයටත්, දස පුණ්‍යක්‍රියා, දස කුසල කර්මපථ, පාරමි පුරමින් මිනිස් ලොව, දෙව්ලොව බඹලොව ආදී ස්ථානවල රැඳෙමින් නිවන වෙත යොමු කරන්නේත් සිත නැමැති බලවේගයයි. ඇතැම් විට සසර වැරැදි පුරුදු සහ යහපත් පුරුදුතාවයන් භවයෙන් භවයට බලපාන්නේද මේ චිත්ත බලවේගය නිසාවෙනි. එනිසා ආත්මභාව පරම්පරාව රකින අදහසින් ද සිතට චිත්ත යයි කියනු ලැබේ.
6. විචිත්තාරම්මණන්ති චිත්තං -
විසිතුරු අරමුණු ගන්නේ සිතයි.
සත්වයෙකුගේ සියලුම ඉන්ද්‍රියයන් මනස නමැති ඉන්ද්‍රිය සමඟ බද්ධව පවතී. එනිසා ඇසින් දකින රූපයක් කනින් අසන ශබ්දයක්, නාසයට දැනෙන ගඳ සුවඳත් ශරීරයට දැනෙන ස්පර්ශ සහ දිවට දැනෙන රසයන් පිළිබඳ සුඛ, දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් අරමුණු ගන්නේ සහ ඒවාට ප්‍රතිචාර දක්වන්නේ සිතයි. මෙනිසා සිතට අරමුණ නොවන හෝ ග්‍රහණය කළ නොහැකි කිසිවක් විශ්වය තුළ නොමැති මේ අනුව සිත විසිතුරු අරමුණු ලබා ගනිමින් මුළු විශ්වය ම ග්‍රහණය කරගනී. සිතට ආවේණික ධර්මතාවය වනුයේ ද විචිත්‍ර වුත් විවිධ වූත් අරමුණ කරා සිත මෙහෙය වීමයි. එබැවින් සිත නමැති ආයතනය විශ්වයට විචිත්‍රත්වය සහ විවිධත්වය ප්‍රදානය කළ මූලායතනය වශයෙන් සැලකිය හැකි ය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤