ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බියකරු සසර තවත් බියකරු කරවන ඇලීම සහ බැඳීම

දර්ශනපති 
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

ගෞරවණීය ස්වාමින් වහන්ස, ගිහිගෙදර සිටින අප දැඩිලෙස ඇලීම් බැඳීම් වලට ලක්වෙලා. මෙයින් සිත මුදා ගන්නේ කෙසේද?
තථාගතයන් වහන්සේ වදාළා 
දීඝා ජාගරතෝ රත්ති 
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ 
සද්ධම්මං අවිජානතං

නිදිවරන පුද්ගලයාට රාත්‍රිය බොහෝම දිගයි. පයින් ගමන් කරන පුද්ගලයාට යොදුන දිගයි. මේ වගේ ධර්මය නොදන්න,ධර්මයෙන් බාල බවට පත් වූ පුද්ගලයාට බියකරු සසර තව තවත් බියකරු වෙලා සසර ගමන දිගුවෙන බව. ධර්මය සහ අධර්මය අතර වෙනස අහස පොළොව වගේ. ධර්මය අපව සුවපත් කරමින් නිවීම, ශාන්තිය ඇති කරනවා. අධර්මවාදීව ක්‍රියාකිරීමෙන් ධර්මයෙන් පිටනම් ආලෝකය නැති වී බියකරු ලොවකට යන බව බුදුරජාණන් වහන්සේ වදාළා.
උන්වහන්සේ අරියපර්යේෂණ සූත්‍රයේදී වදාළා මැරෙන මිනිසුන් මරණයම සොයනවා. දුකට පත්වෙන මිනිසුන් දුකම සොයනවා. දිරන මිනිසුන් දිරන දේම සොයනවා. ආලෝකය නැති තැන සාමාන්‍ය ප්‍රවාහයෙන් දුරස්ව අඳුරු මාර්ගයේ ගමන් කරනවා. මරණය ගැන නො දන්න පුද්ගලයා මරණය ගැන නැවත නැවත වටහා නොගත් නිසා මරණයම උරුම කර ගන්නවා.
මේ ධර්මය අවබෝධ වන්නේ කඳු මුදුන්වලට නොවේ. මංමාවත්වල හෝ පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ ධාතුවල නොවේ. මේ ධර්මය හට ගන්නේ, දරන්නේ ධර්මය මෝදුවන්නේ චිත්ත සන්තානය තුළයි. වැරැදි අවබෝධයෙන් ඈත්වෙලා අඳුරෙන් අප මුදවන්නේ සිත දමනය කර ගැනීමෙනුයි. ධර්මය බලවත් කර ගැනීමෙනුයි. රාග, ද්වේෂ,මෝහ යනු සැඬ සුළං තුනක්. එයට සිත ගසාගෙන යනවා. අඳුරට, හෙළට අප තල්ලු කරනවා. එය ජීවිතවලට කුණාටුවක්. ඒ නිසා හික්මුණ සිතක් භාවිත සිතක් තුළනම් වැරැදි චින්තා ඉවත්විය යුතුය. ඒ වැරැදි චින්තා නිසා ප්‍රධාන ආර්ය මාර්ගය අපට ආවරණය වෙනවා. ආවරණය වන ඒ ආර්ය මාර්ගය නිරාවරණය කරගෙන මෙලොව පරලොව ජීවිතය සුවපත් කරගෙන නිවන් මඟ සොයාගත යුතු බව තථාගතයන් වහන්සේ වදාළා.

ඇලීමේ සහ බැඳීමේ ආදීනව මොනවාද?

බුදුරජාණන් වහන්සේ වදාළා මේ ධර්මය ශ්‍රවණය කරන්නේ නැති, ධර්මය සාකච්ඡා කරන්නේ නැති ධර්මයට සවනත යොමන්නේ නැති පුද්ගලයාගේ ප්‍රඥාව නො වැඩෙන බව. නුවණ වැඩෙන්නේ නැහැ. අයෝනිසෝමනසිකාරය යි වැඩෙන්නේ. ඔහු මසසින් වැඩුනත් මනසින් නොවැඩේ. එසේ වන්නේ ඔහු ධර්මයෙන් පිටත නිසායි. ධර්මය පිහිට නොමැති නිසා ගැටුම් ඇතිවෙනවා. ඇලීමේ විරුද්ධ පැත්ත ගැටීම යි. ගැටීමේ විරුද්ධ පැත්ත ඇලීමයි. එකම කාසියේ දෙපැත්ත වගේ. මේ ඇලීම ගැටීම නිසා සසර අඳුරු කරනවා. අප මංමුලා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මනුස්ස සන්තානයේ ඇතිවන විවිධ ආවේග ස්වරූප පාලනය කරන්න අපට සූත්‍ර ධර්මයක් වදාළා. ඒ විතක්ක සන්තාන සුත්‍රයයි. එහි සුන්දර කරුණු පහක් සඳහන්. අපේ සිත තුළ එන භයානක විතක්කයන්, සිතිවිලි, අදහස් වලින් සමාජයට හානිකර සමාජයේ විසිරී පැතිරි සිටින හැම කෙනෙකුටම හානිවන දේ එක් සිතක් තුළ පවතින්න පුළුවන්. තථාගතයන් වහන්සේ මේ සිත විටෙක තුඹසකට උපමා කොට වදාළා. මේ තුඹසේ විසකුරු සර්පයන් සිටින්නට පුළුවන්. නමුත් තුඹස යම් දෙයකින් ආවරණය කර තිබේනම්, තුඹස පිළිබඳව සෝදිසියෙන් සිටිනවානම් ඒ විසකුරු සර්පයන්ගෙන් සමාජයට හානියක් නැහැ. අපේ සිත තුළත් විසකුරු සර්පයන් සිටිනවා. ඒ ක්‍රෝධය, ද්වේෂය, ඊර්ෂ්‍යාව ආදියයි. මේ විසකුරු සර්පයන් තමන්ටත් හානිකරයි. මෙලොවත් පරලොවත් අඳුරු කරනවා.
මේ නිසා අප සිතේ හරය, ගැඹුර දකින්න ඕන. මගේ සිත තුළ හට ගන්නේ භයානක සිතිවිලිද? මගේ සිතේ මෝදු වන්නේ විසකුරු සර්ප විසද? ඒ වගේ විසකින් බේරීමටයි මේ විතක්ක සන්තාන සූත්‍රය තුළින් අපට මඟ පෙන්වන්නේ. ඒ මඟ පෙන්වීම අප ක්‍රියාත්මක කරනවානම් අපේ ජීවිතය පියවරෙන් පියවර ඉදිරියට යනවා. හැම පියවරකදී ම මේ සිත බලවත් වෙනවා. ඒ කරුණු පහනම්,
1. අංඥා නිමිත්ත – අපේ සිතට වැරැදි අදහසක් ආවිට අප දකිනවානම් මේ සිතිවිල්ල මට හානිකරයි. භයානකයි කියා වහාම ඒ සිතුවිල්ල වෙනත් අරමුණකට යොමුකළ යුතු වෙනවා. එවිට වැරැදි දේ පෝෂණය වීම නවතිනවා. සිතේ නිමිත්ත වෙනස්කළ විට පුද්ගලයා සුවපත් වෙනවා.
2. ආදීනව නිමිත්ත – මෙහිදී වදාළා කෙනෙකුගේ සිත පාලනය කර ගන්න බැරි අවස්ථාවකදී කයින් ක්‍රියා කරනවා. එයට පෙර සිතේ නපුරු භයානක සිතිවිල්ලක් ආවිට එහි ආදීනව සිහිකළ යුතු වෙනවා. මේ සිතිවිල්ල ක්‍රියාත්මක වුණොත් මම සමාජයෙන් ගැරහුම් අවමන් ලබයි කියා සිහි කිරීමෙන් වරදින් මිදෙනවා.
3). අසතිඅමනුස්සති නිමිත්ත – සිහි කල්පනාව නැතිව වැඩ කිරීමේදී යෝනිසෝමනසිකාරය නැති අවස්ථාවේදී මේ වැරැදි විතර්කවලට හසුවෙන්න පුළුවන්.
4) විතක්කමූලභේද නිමිත්ත – යම් ගැටුමක දී ප්‍රශ්නයකදී සිත නැවත නැවත ඒ කරාම දුවන්නේ ඇයි කියා එහි මුල සොයා බැලිය යුතුයි. මේ මනුස්සයාට මම මෙතරම් ඊර්ෂ්‍යා කරන්නේ ඇයි? කොහේද වැරදුනේ කියා එහි මුල සොයා බැලුවොත් වැරැදි සිතිවිල්ල ඉවත් කර ගත හැකිය. ඒ ආකාරයටත් මේ සිත මුදා ගන්න පුළුවන්.
5) අභිනික්ගාම – අකුසල සිත් එනවිට කුසල සිතක් නොමැතිනම් තමා කළ පින්කමක්, හෝ කරන්න යන පින්කමක් ගැන සිහිපත් කරන්න පුළුවන්. එවිට අකුසල විතර්කය කුසල විතර්කයෙන් යට කරනවා. මේ ආකාරයට තම සිත ජය ගෙන ජීවිතය ආලෝකමත් කර ගැනීමට අපූරුවට අපට මඟ කියා දෙනවා.

කෙනෙකු මියයාමෙන් පසු මිනිස් මවු කුසකත්, තව අයෙක් තිරිසන් මව් කුසකත්, අයෙක් යක්ෂ,පේ‍්‍රත,භූත ආත්මවලත්, තව අයෙක් ඕපපාතිකව දිව්‍ය ලෝකවල ඉපදෙනවා. මේ උප්පත්තිවලට ඇලීම බැඳීම බලපාන්නේ කෙසේද?

මනුස්ස ලෝකයේ ඉපදුන බොහෝ අය හිතන්නේ ඊළඟ ජීවිතයේදීත් මිනිස් භවයක්ම ලැබෙයි කියා. ගඟ ළඟට විශාල පිරිසක් ගියාට ගඟෙන් එතෙර වන්නේ බොහෝම අල්ප දෙනෙක් පමණයි. බොහෝ පිරිසක් ගඟේ ජලයට, රැල්ලට බියෙන් ආපසු හැරෙනවා. ඒ වගේ මනුස්ස ජීවිතයක් ලබාගත් අයගෙන් බොහෝම අල්ප දෙනෙක් පමණයි නැවත මනුස්ස ලෝකයට එන්නේ.
සමහර අය මිනිස් මව් කුසකට, දිව්‍ය ලෝකයට ඇදෙනවා. සමහර අය පහළට හෙළට වැටෙනවා. තවත් අල්ප දෙනෙක් මේ ලෝකයෙන් නිදහස් වෙලා විමුක්ති කරා ගමන් කරනවා. අපගේ ඇලීම බැඳීම කෙතරම් බලවත්ද කියනවානම් නිතරම උත්සාහ කරන්නේ ඇස, කන, නාසය, දිව, කය, පිනවන්නයි. උදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට වැටෙන තුරු පොරකමින් දඟලන්නේ ඇලීමටයි. බැඳීමටයි. මේ ඇලෙන නිසාමයි ගැටීම එන්නේ. ඇලීම, බැඳීම, ගැටීම හැම මොහොතකම අපේ සිත තුළ සැරිසරනවා. දවාලයේ අප ගත් අරමුණු සමඟ රාත්‍රියේදී අප ගැටෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සිත තුඹසක් වගේ කියා. දවාලට ගිනි ගන්නවා. දුම් දමන්නේ රාත්‍රියටයි. දුම් දමනවා කියන්නේ නින්දට ගිහිල්ලත් කල්පනා කරනවා අර පුද්ගලයා මට අවමන් කළා. මම නොකළ දේ කළා කිව්වා, මට බැන්නා, මගේ දේ පැහැර ගත්තා යැයි සිතනවා. ඒකයි රාත්‍රියට දුම් දැමීම. එලෙසම දුම් දැමු දේ ගිනි ගන්නවා කියන්නේ දවාලට එය ක්‍රියාත්මක කිරීමයි.
එනිසා ඇලීම් බැඳීම් වලින් නිදහස් වූ සුන්දර සිතක් ඇතිකරගෙන මේ ඝෝර වූ සසරින් එතෙර වීමට අපට ශක්තිය ධෛර්ය ලැබේවා.

වෙනස්‌ ලෙස ලොව දකින මොහොතක්‌ මොහොතක්‌ පාසා නීවරණ දුර්වල වේ...

පූජනීය මාන්කඩවල සුදස්සන හිමි
පින්වතුනි, වෙනදාට අපට යන්න දෙපැත්තක්‌ තිබුණේ නැහැ. ලෝකය ගැන විතරමයි හිතන්ඩ කල්පනා කළේ. ගෙවල් දොරවල්, යාන වාහන, දරුවන් ගැනමයි දැක්‌කේ. ඕවා ගැනමයි කල්පනා කළේ. ඕවා ලැබීම ගැනමයි හිතුවේ. වෙන හිතන්න, කල්පනා කරන්න තැනක්‌, පැත්තක්‌ තිබුණේ නැහැ. දැන් අපට පොඩි වාසියක්‌ තියෙනවා ඉඳලා හිටලා හරි, වැරදිලා හරි, හිතන්න තව පැත්තකුත් තියනවා. දැන් අපි හැම වේලාවෙ ම උත්සහවත් වෙන්න වෙනවා.
හැම වේලාවෙ ම මේ ගෙවල් දොරවල්, දූදරුවන් මේවා ලැබීම සැපයි, නො ලැබීම දුකයි, කියන මට්‌ටමේ ඉන්න අපේ දැන් උත්සාහය මාරු වෙන්නයි. දූ දරුවන් ලැබීම දුකයි. මේවායින් මිදීම සැපයි, මේවායින් මිදීම දුකෙන් මිඳිමයි කියන තැනට මනස ගන්න උත්සාහ කරනවා. මෙතන ඉදන් එතෙරට පාරක්‌ දැන් හදන්නේ ඒ සඳහා තමයි, ඒ ඥාන දර්ශනය ඇති කරගන්න උපකාර පිණිස සම්මා දිට්‌ඨියට අනුව නුවණින් සිතිය යුතුයි. සම්මා දිට්‌ඨිය කියන්නේ මොකක්‌ ද? දුක ඇති වීම, ඊට හේතුව, දුක නැති වීම, දුක නැති කරන මඟ කියන ඇත්ත. අපි ජීවත් වන ලෝකය හම්බවෙන කොට ඒ හම්බ වෙන දේ තුළ පවතින ඇත්ත නිතර ම සම්මා දිට්‌ඨියට අනුව හිතන්න ඕන. සම්මා දිට්‌ඨියට අනුව හිතීම තමයි සම්මා සංකප්ප කියන්නේ. ඒ කියන්නේ දෙකෙන් ම ප්‍රඥාවයි වැඩෙන්නේ.
අපි නිකමට කියමු. ගෙදර දොරේ දී වෙන දා වගේ කතා කරද්දී කටයුතු කරද්දී මේ "දරුවා" කියන තැන ද?, මේ රූපය දිරනවා නේ ද?, ලෙඩ වෙනවා නේ ද?, කියලා නිකමට හිතන්න.
වළඳක්‌ ගත්තා. අනේ මේකත් කවදා හරි කැඩෙනවා නේ ද? මේකත් ජරා ධර්මයක්‌ නේ ද? ව්‍යාධි ධර්මයක්‌ නේ ද? මරණ ධර්මයක්‌ නේ ද?
වතුර කේතලයක්‌ ලිපේ තිබ්බත් එක පාරට ම පැහෙන්නේ නැහැ. රත් වෙන්නේ නැහැ. ඒකටත් ක්‍රමානුකූල ව ගින්දර දමන්න ඕනෑ. එක පාරට ම නීවරණ ධර්ම දුරු වෙන්නේ නැහැ. භාවනා කරනවා කියලා කියන්නේ පැනලා යැමත් නො වෙයි. හැංගිලා ඉන්න එකත් නො වෙයි. එදිනෙදා ජීවත් වන ජීවිතය තුළින් මයි යථාර්ථය අල්ලා ගන්න තියන්නේ.
ඉතින් වෙන දා වගේ ගෙවල් දොරවල්, යාන වාහන කියලා දැකපු තැන ම, "අනේ ඉතින් මේ තියෙන්නේ ව්‍යාධි ධර්මයක්‌ නේ ද? ජරා ධර්මයක්‌ නේ ද? මරණ ධර්මයක්‌ නේ ද?" කියලා බලන්න.
ඔබ දන්නව ද ඔය බලන වාරයක්‌ ගානේ ඔබ ගේ නීවරණ ධර්ම අඩු වෙනවා කියලා. ඔහොම හිතන මොහොතක්‌ ගානේ වෙන දා තිබිච්ච ආකල්ප සංකල්ප ගොඩඟැහිලා යන ගතිය ටික ටික අඩු වෙනවා, දන්නවා ද? ඒක මොහොතක්‌ ගානේ වෙනවා. මෙහෙම හිතන්න හිතන්න නීවර්ණ ධර්ම අඩු වෙනවා. එක තැනක ඉන්න කොට අපට සමථ කමටහනකිනුත් හිත එකතැන් කරන්න පුළුවන්. නීවරණ ධර්ම අඩු කරන්න පුළුවන්.
හිත හදාගැනීමට උපකාර පිණිස නිත්‍ය පංචශීලය, පෝය අට සීලය රකින්න ඕනේ. කය වචන දෙක සංවර කරගන්න යම් සමථ භාවනාවක්‌ කරන්න ඕන. කය, වචනය දෙක සංවර කරගන්න, හිත සංවර කරගන්න, උපකාර පිණිස සීලයක පිහිටුවනවා. නීවරණ ධර්ම දුරු කරගන්න උපකාර පිණිස හිත සංවර කර ගන්නවා. එක්‌තැන් කරගන්නවා. ඇත්ත ඇති හැටියේ දකින්න නීවරණ ධර්ම අඩු කරගන්නවා. මොකක්‌ ද ඇත්ත ඇති සැටියේ දකින්නේ? දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යය දකින්න පටන් ගන්නවා. නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධිමත් වෙච්ච දවසට මේ ගෙවල් දොරවල් නො වෙයි, මේ දුක නේ ද කියන එක පෙනෙන්නේ ඉබේමයි. මේ දේවල ලැබීම දුකේ ලැබීමයි කියන එක පෙනෙනවා.
එදාට දුකේ කලකිරිලා නො ඇලිලා, මිදෙනවා. එදාටයි ඔබ දුකෙන් මිදුණේ. දුකෙන් මිදුණහම දුකෙන් මිදුණා කියන නුවණ එනවා. වෙන කළ යුත්තක්‌ නැහැ. යමක්‌ කළ යුතු නම් ඒ දේ කළා කියන ප්‍රත්‍යවේක්‌ෂා නුවණ ද එනවා. "සීල සමාධි, ප්‍රඥා, විමුක්‌ති, විමුක්‌ති ඥාන දර්ශන" කියලා තියෙනවා ධර්මතා පහක්‌. මෙන්න මේ පහ ඉලක්‌ක කරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. දුකේ ඇලිලා, දුකේ බැඳිලා ඉන්න කෙනා දුකෙන් මිදෙන්නේ නැහැ. දුකේ කලකිරිලා නො ඇලිච්ච කෙනා තමයි දුකෙන් මිදෙන්නේ. ඉතිං දුකේ කලකිරිලා නො ඇලෙන්න නම්, දුක, දුක හැටියට දකින්න ඕනේ. දුක, දුක හැටියට දකින්න නම් දුක දකින විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරන්න නම් සද්ධර්මය අහලා කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් සම්මා දිට්‌ඨිය ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම ලබාගෙන තියන කෙනාට නීවරණ ධර්ම අඩු වුණොත්, අඩු කරගත්ත හැටියෙ මේ දර්ශනය පෙනෙනවා.
දැන් ඔන්න චතුරාර්ය සත්‍යයේ හතර ම මා දේශනා කළා. මාර්ග සත්‍යය විතරක්‌ වැඩිපුර දේශනා කළේ නැහැ.
ඉතා දීර්ඝ වශයෙන් නො වෙයි, කෙටියෙනුත් නො වෙයි, මම මාර්ගය ගැන ටිකක්‌ විස්‌තර කරන්නම්.
ඉස්‌සෙල්ලා අපි පොඩි උපමාවක්‌ කිව්වොත් එක්‌තරා මනුෂ්‍යයෙක්‌ ඉන්නවා. මේ මනුෂ්‍යයා අව්වේ ඇවිල්ලා ග්‍රීස්ම වේලාවේ ඉතා ම පිපාසිත තත්ත්වයට පත් වෙලා, දැන් මෙයාට ඕනේ මේ පිපාසිත බවෙන් මිදෙන්න වතුර ටිකක්‌ බොන්න. ඉතින් වතුර ටිකක්‌ හොයාගෙන යනකොට එයාට හම්බ වෙනවා ළිඳක්‌. හැබැයි ඒ ළිඳේ කුණු රොඩු, මඩ, ජරාව එක්‌ක වැටිලා බොහොම පල් වෙච්චි, පල් වතුරක්‌ තියෙන්නේ. ඒ විතරක්‌ නෙමෙයි. මේ ළිඳට තවත් කුණු කාණු හයකින් ජල පාරවල් හයක්‌ ඇවිල්ලා, වැටෙනවා.
දැන් මෙයාට පිපාසය දුරු කරගන්න වතුර ටික බොන්න ඕන. දැන් මෙහෙම වතුර බොන්න බෑ නේ. වතුර බොන්නත් ඕන. පිපාසය සංසිඳෙන්නත් ඕන. ලෙඩ රෝග හැදෙන්නෙ නැති වෙන්න ඕන. එහෙම නම් දැන් මෙයාට වතුර ටිකක්‌ බොන්න නම් මේ ළිඳ පිරිසිදු කරන්න ඕන වෙනවා. දැන් ළිඳ පිරිසිදු කරන්න බැහැ. තියන වතුර රොඩුත් එක්‌ක ම අයින් කෙරුවත් පලක්‌ නැහැ. අර පිටින් කුණු කාණු හයකින් වතුර ඇවිල්ලා ළිඳට වටෙනවා නම්. දැන් වතුර බොන්න ඕන වුණාට, ඉස්‌සරවෙලා ම මෙයාට කරන්න වෙන්නේ උදැල්ලක්‌ පැසක්‌ අරගෙන ගිහිල්ලා ළිඳට කිසි ම සම්බන්ධයක්‌ වත් නැති අර පිටතින් ගලාගෙන එය කාණු හය වහන්න. ගලාගෙන එය කුණු මඩ සහිත ජරාව සහිත වතුර පාර වෙන පැත්තකට හරවලා දාන්න. ඒවා හරස්‌ කරලා බැමි දාන්න ඕන.
ඔන්න දැන් කාණු හයට බැමි දාලා අලුතෙන් මඩ ජරාව සහිත වතුර ළිඳට වැටෙන එක නැවැත්වුවා. නතර කළා කියලා කලින් ඇවිල්ලා මඩ සහිත ජරාව වැටුණු වතුර අස්‌ වුණේ හිඳුණේ නැහැ. ඒකට දැන් ළිඳ ඉහින්නයි තියන්නේ.
ළිඳේ තියෙන මඩ ජරාව සහිත වතුර ටික අයින් කරන්න ඕන. හැබැයි මෙතැන දී දැන් මඩ අදින භාජනයේ ප්‍රමාණය තීරණය කරන්නත් අවශ්‍යයි. ඉක්‌මනට මඩ ටික ඉවර වෙනවා ද නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ හුණ්‌ඩුවක්‌ විතර චූටි භාජනයකින් ද, මහා ලොකු බාල්දියකින් ද අදින්නේ කියන කාරණාව මතයි. භාජනය සහ කාලය මතයි, කොච්චර වෙලාවක්‌ මේකට යොදනවා ද කියන එක මතයි.
ඉතින් මෙයා ලොකු භාජනයක්‌ අරගෙන වැඩි වේලාවක්‌ ළිඳ ඉහිනවා. ඉහිනකොට ඔන්න ළිඳේ තියෙන මඩ සහිත ජරාව සහිත ජලය අයින් කරනවා. අයින් කරන කොට ළිඳ ඇතුළෙ ම තියෙන මඩවලට වැහිලා හිර වෙලා තිබුණු උල්පත් පෑදිලා ළිඳ ඇතුළෙන් ම පිරිසිදු ජලය එනවා. ජලය පිරිසිදු වුණාට අපිරිසිදු මඩ තිබුණු ළිඳේ සියුම් මඩ සහ මඩ ගඳ තාම තියෙනවා. ළිඳෙන් ම උපන්න වතුර ටික අරගෙන ඒ ළිඳ ම හෝදනවා. හෝදලා ඒ වතුර ද ඉහිනවා. ඒ වතුර ඉස්‌සහම මඩ ගඳ ද නැති පිරිසිදු වතුර ටිකක්‌ හම්බ වෙනවා. දැන් ඔන්න ඒ වතුර ටික බිලා මුහුණ කට සෝදාගෙන ඇඟපතත් හෝදගෙන තමන් ගේ විඩාව සංසිඳවා ගන්නවා. පිපාසය සංසිදවා ගන්නවා.
ඒ උපමාවෙන් මා මතක්‌ කළේ, ඒ විඩාවට පත් වෙච්ච පුද්ගලයා වගේ තමයි මේ සසර ඇවිදින සත්ත්වයා දුකට පත් වෙලා, වෙහෙසට පත් වෙලා පීඩාවට පත් වෙලා අමෘතය නමැති මේ පානය, දුකේ නිරෝධය නිවන නමැති සිහිල් ජලය, පානය කරන අවශ්‍යතාවෙන් ඉන්නේ. ග්‍රීස්මේන් තැවුණු පිපාසිත පුද්ගලයෙක්‌ වගේ තමයි. එහෙම එනකොට එයාට හම්බ වෙනවා මඩ සහිත, ජරාව සහිත පිරුණු ළිඳක්‌ වගේ තමන් ගේ ම කිළිටි මනස. හැබැයි නිකං නො වෙයි. ඒකට කුණු කාණු හයකින් කුණු වතුර ගලාගෙන එනවා වගේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් ම, රාග ද්වේශ, මෝහ සහගත මේ නොයෙක්‌ කෙළෙස්‌ අකුසල ධර්ම විතක්‌ක පහළ වෙනවා.
දැන් මුලින් ම ළිඳ ඉහින්න ඉස්‌සර වෙලා බැමි දාලා කාණු ටික වහන්න වෙනවා වගේ මෙන්න මේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන ටික හදාගන්න ඕන. සංවර කරගන්න ඕන. බැමි දාගන්න ඕන. රැකගන්න ඕන..   Ananya Kumarasinghe
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤