ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

අනුත්තරීය ධර්ම

මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

අප ජීවත් වන ලෝකයේ අපේ සිත ඇදෙන බැඳෙන විවිධ කරුණු කාරණා පවතිනවා. ඒ වෙනුවෙන් අපි විවිධ ක්‍රියාකාරකම් පවත්වනවා. ඒවා පිළිබඳ හොඳින් කරුණු විග්‍රහ කරලා බැලුවොත් ඒ බොහෝ ක්‍රියාකාරකම් අපේ මෙලොව තාවකාලික සුවපහසුව හෝ තාවකාලික වින්දනය සඳහා හේතු වෙනවා. බරතලම කාරණය වන්නේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා අපේ ඊළඟ භවය බොහෝ විට සසර ගමන දිගුකරවීමටත්, එපමණක් නොව මෙලොවත් පරලොවත් අතිශය දුක් විඳීමටත් හේතු වෙනවා.
මේ කරුණු පරිස්සමින් වටහා ගෙන ජීවිතය ගොඩ නගාගැනීම හැම කෙනෙකුගේම යහපතට හේතු වෙනවා. මේ කරුණ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා මෙන්න මේ ආකාරයෙන් කිසියම් අයෙක් මේ ලෝකයේ ජීවත් වන විට තමන්ටත් අනුන්ටත් අහිතකර යම් ක්‍රියාවක් කරනවා නම් හරි තමන්ගේ මුවින් යම් කිසිවක් කියනවා නම් එය තමන්ගේ මෙලොව පරලොවත් තැවීමට විපතට හේතු වෙනවාය කියන මේ කාරණය. එහෙම නම් අප කළ යුත්තේ කුමක්ද ?යන්නට අප විසින් බෞද්ධයන් වශයෙන් හිතනවා නම් තමන්ටත් අනුන්ටත් යහපත් වන වැඩයි. අප කිය යුත්තේ යහපත් වචනයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දේශනාවක් තිබෙනවා.

මෙහි සඳහන් දේශනාව ධර්මයෙහි අනුත්තරිය ධර්ම යන නමින් හැඳින්වෙනවා. මොනවාද මේ අනුත්තරිය ධර්ම? ඒවා අනුත්තරිය වන්නේ ඒ නිසා අපේ ජීවිතයට මෙලොවත් පරලොවත් සැනසීමක් උදා කරන නිසයි. එවැනි අනුත්තරිය ධර්ම හයක් උන්වහන්සේ පැහැදිලි කර දී තිබෙනවා ‘අනුත්තරිය සූත්‍රයේ’ දී. අපි දැන් ඒ එක එකක් ගෙන විමසා බලමු.

ශ්‍රේෂ්ඨ දැක්ම

එහි සඳහන් ආකාරයට පළමුවෙනි අනුත්තරිය ධර්මය මේ ආකාරයෙන් විස්තර කර තිබෙනවා. දැකීමෙන් හොඳ හොඳ දැකීම කුමක්ද? ඇත්තටම මේ දැකීම අපි ලබා ගන්නේ අපේ ඇස් දෙකින්. මේ ඇස් දෙක හරි විදියටත් වැරැදි ආකාරයෙනුත් යොදාගෙන ඒ දැකීම යන ක්‍රියාව අපට කරන්නට පුළුවනි.
අපේ ඇහැ පුහුදුන් බව නිසා එක්වර ම දුවන්නේ ඇහැ පිනවන දේවල්වලටය. ඒ නිසා අපි කැමැති කැමැති රූප පිටුපස දිව යනවා. කොපමණ නම් මේ නිසා ඒ කියන්නේ අප කැමති රූප (ස්ත්‍රී හෝ පුරුෂ) බෙදා ගන්න බැරිව විපත් කරදර වෙනවා ද කියලා අප හිතල බලන්න ඕන. අවි ආයුධ අතට අරගෙන දරුණු අපරාධ කරනවා මේ නිසා. පවුල් අවුල් වී දරු පැටවුන් පවා අතරමං වෙනවා.තව පැත්තකින් ගත්තහම පුරුෂයාගේ සිත ස්ත්‍රියගේ රූපය කෙරෙහිත් ස්ත්‍රියගේ සිත පුරුෂයාගේ රූපය කෙරෙහිත් දුව යන ආකාරය බුදුරජාණන් වහන්සේ මැනවින් පැහැදිලි කර දී තිබෙනවා. ඒ වගේ ම වෙනත් ඇහැ පිනවන චිත්‍රපට, නොයෙක් සංගීත හා නාට්‍ය දර්ශන, වාහන තරග ආදී නොයෙක් දේ බලන්නට යනවා.තවත් විදියකින් බොහෝ අවස්ථාවල නොයෙක් මිසදිටු මත ප්‍රකාශ කරන ඇතැම් අය, තාපසයන්, ශ්‍රමණයන් ආදී නොයෙක් අය පිළිබඳ ආරංචි වූ පමණින ්අප රැස් කකා ඒ තැන්වලට යනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ හැම පැත්තක්ම පිළිබඳ දැකීම උසස් ආර්ය වූවක් නො වන බවත් ඒ හැම එකක් දැකීමෙන් ම අපේ මේ පුහුදුන් හිත දුෂ්‍ය බවට පත් කරනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දෙන ශ්‍රේෂ්ඨ දැකීම වන්නේ මේ අපේ පුහුදුන් සිත එයින් ගලවා ගෙන ආර්ය මාර්ගය එසේත් නැත්නම් මේ සසර දුක් කන්දරාව අවසන් කිරීමට යම් ආකාරයකින් හේතු වන දැකීමයි. මෙහිදී ඒ දැක්ම හෙවත් දර්ශනය ලෙස, උන්වහන්සේ පෙන්වා දෙන්නේ බුදුපසේ බුදුරහත් උතුමන් වහන්සේලා හෝ අවම වශයෙන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක නාමයට උන්වහන්සේගේ ශ්‍රාවකයන්, ශ්‍රාවිකාවන්, උපාසක හෝ උපාසිකාවන්ගේ දැක්මයි. ඒ ගණයට වැටෙන පිරිස් දැක්මෙන් සසර දිගු කිරීමට දුක වැඩි කිරීමට හේතු නො වනවා පමණක් නොව එය මෙලොව වශයෙන් සිතේ නිවීමට ද හේතු වෙනවා. එපමණක් නොව දස කසිණ දස අසුබ ආදිය දැක්මෙන් සිතේ සන්සුන්බවක් ඇති කර ගැනීමට උත්තරීතර දැක්මක් වේ.

ශ්‍රේෂ්ඨ ඇසීම

මීළඟ අනුත්තරිය ධර්මය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ‘සවණානුත්තරිය’ යි නිතරම පුහුදුන් සිත දුවන්නේ මධුර ස්වරය සොයාගෙන ය. ඒ තුළින් තාවකාලික අස්වැසිල්ලක් අපේක්ෂා කරනවා. එහෙත් සැදැහැ ඇති අයගේ දෙසවන් යොමු කරන්නේ ධර්මශ්‍රවණයට. තෙරුවන් ගුණ අසා ඒ පිළිබඳ මෙනෙහි කරමින් සිතේ එකඟ බවක් ඇති කර ගැනුමටයි. එයින් සසර ගමනෙහි කෙටි කර ගැනීමක් සිදුවෙනවා. මෙයින් අවසාන වශයෙන් පැහැදිලි කරන්නේ ත්‍රිපිටක බුදුවදන් දෙසවණින් ඇසීමට අවස්ථාවක් සලසා ගැනුම යි. අප සාමාන්‍යයෙන් මෙලොව පරලොව මනා පැවැත්ම අපේක්ෂා කරමින් ගෙවල්වල ආරක්ෂාව සලසා ගැනීම අපේක්ෂා කරමින් පිරිත් ධර්ම දේශනා පවත්වා ගන්නවා. හැබවින් ම මේ පිරිත් දේශනාවක් පවත්වා ගැනීම යන්නෙන් අපි සාමාන්‍යයෙන් මෙලොව ආරක්ෂාව අපේක්ෂා කෙරුණත් එවැනි දේශනාවක් නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීමේ දී එම පිරිත් දේශනාවට අයත් සූත්‍ර දේශනාවන්හි අර්ථය ගැන දැනුමක් ඇතිව එය දේශනා කරවා ගැනීමෙන් එයින් මෙලොවටත් පරලොවටත් යහපත පිණිස විපුල ප්‍රතිඵල ලබා ගැනීමේ ශක්තිය තිබෙනවා. එම දේශනාවන්ගෙන් ප්‍රකාශ වන්නේ බුද්ධාදී රත්නත්‍රයේ ගුණ විශේෂයයි. එයින් ලැබෙන මෙලොව පරලොව සුගතියට හේතු වන ගුණ ධර්ම සමූහයක්. ඒ අනුව මෙලොව ජීවිතය සකස් කර ගැනුමෙන් ඒ අය මෙලොවත් පරලොවත් සුවයක් සැනසීමක් ලබනවා. එය වෙනත් දෙයකින් ලබන තාවකාලික සුවයක් නොව අනුත්තරිය සුවයකි.

ශ්‍රේෂ්ඨ ලැබීම

ලාභානුත්තරිය හෙවත් ලැබීම අතර ශ්‍රේෂ්ඨ ලාභය කුමක් ද? යන්න ඊළඟට පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් පුහුදුන් අපට ලාභය ලෙස හැඟෙන්නේ ධන ලාභයි. තවත් ආකාරයකින් කියනවා නම් මිල මුදල්, තෑගි බෝග, වතු පිටි, ගෙවල් දොරවල් ආදී දේපොල, හදිසි ධන ලාභයන් ආදියයි. තවත් පැත්තකින් බැලුව විට ශිල්ප ශාස්ත්‍ර කලාවන් පිළිබඳ දැකීමෙන් ලබන ලාභ ආදිය මේ අතර වෙනවා. එහෙත් මේ අනුත්තරිය ධර්ම සූත්‍රයට අනුව ලාභය ලෙස විස්තර වන්නේ ශ්‍රද්ධා, සීල, හිරි (පවට ඇති ලජ්ජාව) ඔත්තතප්ප (පවට ඇති භය) ශ්‍රැතය නැත්නම් ධර්මය පිළිබඳ බොහෝ දැනුම හෙවත් ඇසූ පිරූ තැන් ඇති බව, ත්‍යාගවන්ත බව නැත්නම් අත්හැරීමට ඇති ශක්තිය පිළිබඳ හැකියාව ප්‍රඥාව සම්පත්තිය හෙවත් මේ ලෝකය පිළිබඳ යථාර්ථයෙන් දැකීමට ඇති හැකියාව යන මේ සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත් වූ ආර්ය උතුමන්ට පමණක් විෂය වන ආර්ය ධන ලාභය උත්තරීතර ලාභය වන බව ප්‍රකාශ වෙනවා.

ශ්‍රේෂ්ඨ ඉගෙනීම

ඊ ළඟ අනුත්තරිය ධර්මය ලෙස සඳහන් වන්නේ සික්ඛානුත්තරිය හෙවත් ශික්ෂාවෙන්, අධ්‍යාපනයෙන් ලබන ශික්ෂණයෙන් උසස් වන්නේ කුමක්ද? යන්නයි. අප මේ ලෝකයේ ක්‍රමවත් අධ්‍යාපනයක් ලබනවා. විවිධ කලාවන්ගෙන් විද්‍යාවෙන් ලබන දැනුමෙන් තරගකාරී ව ඉහළ ම තත්ත්වයට යාමට ස්වභාවයෙන් ම උනන්දුවක් ඇති කර ගෙන ක්‍රියා කරනවා. මේ ස්වභාවය පෙරදාට වඩා වර්තමානය වන විට වඩාත් දැඩි ලෙස සමාජයේ ක්‍රියාත්මක වෙනවා. හැම මව්පියෙක්ම අපේක්ෂා කරන්නේ තම දරුවා අධ්‍යාපනයෙන්, විද්‍යාත්මක දැනුමෙන්, වෙනත් උසස් වෘත්තීන්ට අවශ්‍ය සුදුසුකම් සපුරා ලන දැනුමෙන් අනෙකුත් සියලු ශිෂ්‍යයන් පරදවා ප්‍රථමස්ථානයට පත් කර ගැනුමටයි. එහෙත් මෙම අනුත්තරියධම්ම සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ඒ සියලු විද්‍යා හා කලාවන් පිළිබඳ ලබන ශික්ෂණය හුදු තාවකාලික වින්දනයක් අරමුණු කොට පවතින බවත් එයින් ලබන ඵලය එක් භවයකට පමණක් සීමා වන බවත් එයින් අවසාන සැනසීමක් ලබා ගත නො හැකි බවත් ය. මෙහිදී වැදගත් කොට පෙන්වා දෙන්නේ බුදුදහමෙහි ඉගැන්වෙන සීල සමාධි හා ප්‍රඥා යන ත්‍රිශික්ෂාව සපුරා ගැනීම තුළින් පුද්ගලයාගේ භවගාමි සසර ජීවිතයට අවසාන විමුක්තියක් ගෙන දීමටත් සදාකාලික සැනසීමක් ළඟා කර ගැනීමටත් හේතු වන බවයි.

ශ්‍රේෂ්ඨ සත්කාරය

පස්වැනි අනුත්තරිය ධර්මය ලෙස බුදුදහමෙහි උගන්වනු ලබන්නේ ‘පාරිචරියානුත්තරිය’ යි. පුහුදුන් අප හැම දෙනෙක් ම යම් පිරිසකට හෝ පුද්ගලයෙකුට, කීපදෙනෙකුට නිරතුරු ව ම යම් යම් සේවාවන් කරනවා. ඒ විතරක් නොවේ සමහර අය බැලමෙහෙකාරකම් කරනවා. දාසයන් දාසියන් හැටියට ඔවුන්ගේ ගෙවල්දොරවල සේවය කරනවා. කුදුමහත් කටයුතුවල නිරත වෙනවා. අපේ අරමුණ වන්නේ අපෙන් සැලකිලි සම්මාන සත්කාර ලබන අය ඒ සැලකිලි මගින් තෘප්තිමත් කරවීමයි. ඔවුන්ගේ ඒ තෘප්තිමත්වීමේ ස්වභාවය ගත්විට එහි ද අපට සීමාවක් දක්නට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා දෙන අනුත්තරිය පාරිචරියාව වන්නේ බුද්ධාදි රත්නත්‍රයට කරන මෙහෙවර යි. එනම් මෙම ත්‍රිවිධ රත්නය විෂ යෙයහි අප විසින් දක්වනු ලබන සැලකිලි සම්මානයි. යම් ස්ථානයක රත්නත්‍රය වැඩ වාසය කරනවා ද එවැනි ස්ථාන පිරිසුදු කිරීම, මනාව පවත්වාගෙන යාම, එවැනි ස්ථානවල මනා සංවරයකින් යුක්තව ඉරියව් පැවැත් වීම, විශේෂයෙන් වෙහෙර විහාරස්ථාන මේ හා සම්බන්ධව ගත් විට තෙරුවන් වැඩ සිටින ස්ථාන ලෙස සලකා ගෞරව සම්ප්‍රයුක්තව එම ස්ථාන නඩත්තු කරමින් පෝෂණය කිරීම, විහාරස්ථානය පි‍්‍රය උපදවන, සිත් සන්සුන් කරන ස්ථානයක් බවට පත් කිරීම යන සියලුම ක්‍රියාකාරකම් මේ යටතට ගැනෙන බව පෙන්වා දෙන්නට පුළුවනි.

ශ්‍රේෂ්ඨ සිහිය

මීළඟට කියැවෙන අවසාන අනුත්තරිය ධර්මය වන්නේ අනුස්සකානුත්තරිය හෙවත් සිහිකිරීම ආදිය අතර උත්තරීතර සිහිකිරීම කුමක්ද? යන්නයි. අපේ සිහියට නැගෙන බොහෝ දේ තාවකාලික තෘප්තියකට මුලපාදන දේයි. එහෙත් අපේ සිහිකිරීමට ඉල්ලක්ක කරගත යුත්තේ බුද්ධාදී රතනසූත්‍රයේ ගුණ සමුදායයි.
එහෙමනම් බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ ආදිය මෙනෙහි කරමින් කල් යෑවීම මෙන්ම තවදුරටත් මෙත්තානුස්සති, අසුභානුස්සති වැනි භාවනාවට සුදුසු නිමිති මෙනෙහි කරමින් තමන්ගේ කාලය ගත කිරීම ද අතිශයින් වැදගත් වෙනවා. එයින් සිතට මහඟු සැනසීමක් ලැබෙනවා.
මෙහිදී මේ කියැවෙන සියලුම අනුත්තරිය ධර්ම අපට පුරුදු පුහුණු කර ගන්නට තිබෙන හොඳම ස්ථානය වන්නේ වෙහෙර විහාරස්ථාන වගේම සර්වරාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්වෙන ස්ථානවල දී යි කිවහොත් හැම දෙනාටම මෙය තේරුම් ගන්නට හැකි වෙනවා. පිරිත් මණ්ඩපයට තෙරුවන් ම අප වැඩමවනවා. එමෙන්ම පිරිත කියලා කියන්නේ තෙරුවන් ගුණ ප්‍රකාශ කර ඒ ශක්තියෙන් ආශිර්වාද කිරීමයි. එහිදී පිරිත් මණ්ඩපය තුළ තෙරුවන් වැඩ සිටිනු දැකීමෙන් ශ්‍රවණානුත්තරිය ද, පිරිත් ධර්මය සැදැහැයෙන් ශ්‍රවණය කිරීමෙන් ස්වණානුත්තරියෙන් ද, එම ශ්‍රවණයෙන් ලැබෙන ප්‍රතිඵල නිසා ලාභානුත්තරිය ද එවැනි ස්ථානයක දක්නට ලැබෙන විනයගරුක සංවරශීලි පැවැත්ම තුළින් සික්ඛානුත්තරිද, තෙරුවන් විෂයයෙහි එදින කරන සැලකිලි සත්කාර තුළින් පාරිචරියානුත්තරි ද, පිරිත් ධර්මයේ කියැවෙන ධර්මාන්විත කරුණු මෙනෙහි කිරීමෙන් අනුස්සතානුත්තරිය ද යන මේ සය ආකාරය අනුත්තරිය ධර්ම සම්පූර්ණ කර ගැනීමක් වන බව ප්‍රකාශ කරන්නට පුළුවනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සියලු සත්වයෝ ආහාරය මුල්කොටගෙන සිටින්නෝ ය

කොබෙයිගනේ 
පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය, 
ගලගෙදර රතනවංස හිමි

ලෝකයේ ජීවත් වන ඕනෑම සත්වයෙක් ආහාරය තුළින් ජීවිතය පවත්වාගෙන යන බව බුදුදහමින් පෙන්වා දී ඇත. මෙය ප්‍රායෝගික වශයෙන් ද ප්‍රත්‍යක්ෂ කරුණකි. ජීවිතයක පැවැත්ම ඇත්තේ ආහාර තුළිනි. ආහාර නොමැති වුවහොත් ජීවිතයෙහි පැවැත්ම රඳා නොපවතී. බුදුරජාණන් වහන්සේ එය අත්දැකීමෙන්ම දැන ලෝක සත්වයාටද දේශනා කළහ.
ආහාර නොගන්නා ජීවිතයකයි, ආහාර ලබන්නාවු ජීවිතයකයි වෙනස අපට මනාව දැක ගත හැකිය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය උදෙසා දුෂ්කරක්‍රියා කළ බව අප හොඳාකාරව දනිමු. එම කාලය තුළ බෝසතාණන් වහන්සේ ක්‍රම ක්‍රමයෙන් ශරීරයට දෙන ආහාර අඩු කරන ලදී. අන්තිමට ආහාර නැතිතරමටම නොගන්නා තරමටම අධිෂ්ඨාන පූර්වකව භාවනාවෙහි යෙදුනහ. එම කාලය තුළ ශරීරය අස්ථි පඤ්ජරයක් බවට පත් විය. එහි ඇති කටුකත්වය බෝසතාණන් වහන්සේ අත්දැකීමෙන් අවබෝධ කොටගෙන ලෝක සත්වයාට දේශනා කළහ. සියලු සත්වයෝ අහරින් සිටින්නෝ ය. බෝධිසත්වයන් වහන්සේ එම ආහාර පවා නොමැතිව කළ වික්‍රමය මෙලොව තව කෙනෙකුට කළ නොහැකි තරම් දුෂ්කර වූවකි. ආහාරය නොමැති කළ ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව යන අංග පහ පිරිහීමට ලක්වේ. එතුළින් සත්වයාගේ ජීවන ගමනද නැවතෙනු ඇත. එනිසාම බුදුරජාණන් වහන්සේ දාන වේලක් දෙන කෙනෙකුට එම අත්‍යවශ්‍ය අංග පහ දීමක් බවත්, එය තමන්ටත් ආපසු ලැබෙන බවත් දේශනා කර වදාළහ.
සිව්පසය තුළ ද බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනුවෙන් හඳුන්වා ඇත්තේ ආහාරයයි. මෙහිදී, ආහාර පාන, කෑම බීම යන අදහස දී ඇති බව පැහැදිලි වේ. පානය තුළින් ද සත්වයාගේ ආයුෂ දින ගණනක් පවත්වා ගත හැකි බැවින් ආහාර පාන යන කොටස් දෙකම සම්බන්ධ කර ගැනීම සාධාරණ වේ. එහි වටිනාකම නිසාම බුදුරජාණන් වහන්සේ දානය නම් වූ පරිත්‍යාගය නොයෙක් භව වලදී සම්පූර්ණ කරන ලදී. එහිදී අප සකස් කරගන්නා ආහාර පමණක් නොව ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු අඹුදරුවන් පවා දන් දුන් ආකාරය සඳහන් වේ. ආහාරය තුළ සියලු සත්වයෝම පවතින බවට සාධකයක් ලෙස සමාජයේ සිදුකරන විශේෂ අවස්ථාවන්හි ආහාර පාන සංග්‍රහ කටයුතු සිද්ධ වීම පෙන්වා දිය හැකිය. මළ ගෙදරක, මඟුල් ගෙදරක, ශ්‍රමදානෙක, උත්සවයක, පින්කම් ගෙදරක යනාදී ඕනෑම තැනක ආහාර වලින් සංග්‍රහ කිරීම අනිවාර්යෙන්ම දැකගත හැකි විශේෂත්වයකි. යම් පුද්ගලයෙක් කිසිවක් නොමැතිව සතියක් පමණ යම් ගුහාවක හෝ කුටියක සිරකර එළියට ගත්තොත් ඔහු පළමුව ඉල්ලන්නේ ආහාරයි. එයට හේතුව ආහාරය පළමු අවශ්‍යතාවය වන බැවිනි.
ලොව ඇති ගිනි අතර කුස ගින්න තරම් ගින්නක් නැත. ආහාරය උදෙසා මිනිස් තිරිසන් බේදයකින් තොරව ඇනකොටා ගැනීම් සිදු කරනු ඇත.
“ආහාර, නිද්‍රා, භය, මෛතුනංච” යන හිතෝප දේශයෙහි සඳහන් ස්වලෝකයකට අනුව ආහාර යන වචනය මුලට යොදා ඇත. එයින් සඳහන් වන්නේ ද, ආහාරය, නින්ද, බිය, කාමසේවනය මිනිස් තිරිසන් දෙපිරිසටම එක සමානව බලපාන හා දෙගොල්ලම සිදුකරන බවයි. ‘කයට වේද රසමුසු බත් කන්නේ’ ලෝවැඩ සඟරාවෙහි සඳහන් එම කවි පදයට අනුව රස භෝජනය ශරීරය පිනවීමටත් ශරීරය පවත්වාගෙන යාමටත් ගනු ඇත. එක් එක් සත්ව කොටස් වලට අනුව ඔවුන් ගන්නා ආහාර වර්ගද වෙනස් වේ.
ගවයින්, මුවන්, එළුවන් ආදී සතුන් කොළ වර්ග ආහාරයට ගනු ඇත. මේ ආදී වශයෙන් පලතුරු වර්ග, කෘමි සතුන්, ආදි සත්ව වර්ග ආහාරයට ගන්නා සත්ව කොටස් ද ඇත. මිනිසා විසින් සියලු කොටස් ආහාරයට ගන්නා අවස්ථා ඇත. මේ ආදී වශයෙන් විවිධ සත්ව කොටස් ආහාර සඳහා යොදා ගනු ලැබේ. සමස්තයක් වශයෙන් ලෝකයේම විවිධ මිනිස් වර්ගයා විසින් ගන්නා ලද විවිධ ආහාර දෙස බැලීමේ දී ආහාරය සඳහා නොගන්නා දෙයක් නැති තරම්ය .
ආහාර නොමැතිවීමෙන් ශරීර ශක්තිය හීන වී විනාශයට පත්වේ. සමාජය තුළ හොඳ ආහාර වේලක් ගැනීමට අපහසු අය හා එය ලබා ගන්නා අය ශරීර සෞඛ්‍ය තුළින් හඳුනාගත හැකිය. සාමාන්‍ය වශයෙන් දිනකට ආහාර වේල් තුනක් ගැනීම, ක්‍රමය වුවද ආහාරයට ගිජු අය හතර වේලද ගනු ඇත. දුගී දුප්පත් අය එක වේලකින්ද දවස ගත කරනු ඇත. සමහරුන්ගේ බඩේ විශාලත්වය නිසා ශරීරය ද දරා ගැනීමටද අපහසුය. මේ ආදී වශයෙන් ලෝකේ විවිධ අය ආහාරයත් සමඟ කරන යුද්ධය මනාව පැහැදිලි වේ. පැය හයකට වරක් ආහාර ගැනීම තුළින් දිරවීම පහසු වන අතර වතුර පානය කිරීම සඳහා ද ඉඩ ඉතිරි කර ගනිමින් ආහාර ගැනීම සුභදායක වේ. සැහැල්ලු ජීවිතයක් හා නිරෝගී ජීවිතයක් උදෙසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාළේ උදේ හා දවල් දානය පමණක් ගෙන රාත්‍රියට ගිලන් පසකින් ජීවිතය ගත කරන ලෙසයි. එවිට භාවනා කිරීමට වුවද පහසු වනු ඇත.
ආහාර වැඩියෙන් ගැනීම ද අඩුවෙන් ගැනීමද ලෙඩ රෝග වලට හා ශරීර සෞඛ්‍යය පිරිහීමට හේතුවේ. එනිසා බුදුරදුන් දේශනා කළේ මධ්‍යස්ථව ගත යුතු බවය. ආහාර කොතරම් තිබුණත් ගිජුකමට ගත යුතු නොවේ. එබැවින් ප්‍රමාණය දැන හා නීරෝගි ආහාර ගැනීමට නිතරම වෙහෙසිය යුතු ය.
දෙවියන් ආහාරය වෙනුවට අමෘතය නම් වූ පානයක් ගන්නා බව සඳහන් වේ. යක්ෂ, ප්‍රේත, භූතයින් යම් යම් පුද්ගලයින්ට ආවේෂ වී ආහාර සඳහා නර බිලි, සත්ව, බිලි, ඉල්ලනු ඇත. සමහර ප්‍රේත භූතයින්ගේ සාගින්න හා පිපාසාව කුමන දේ දුන්නත් අඩුවන්නේ නැත. ආහාර ටොන් ගණනක් දුන්නද, පිපාසයට ගඟක වතුර හැරෙව්වද එම දුක් ගිනි නොනිවෙනු ඇත.
එයට හේතුව සසර කර ඇති අකුසල්ය. සීවලී මහරහතන් වහන්සේ වැඩි තැන දානමානාදියෙන් අඩුවක් නොවුණි. ලෝසක මහරහතන් වහන්සේට හරියට පිණ්ඩපාතයක් වුවද නොලැබුණි. පිණ්ඩපාතය බෙදන්නට එන අයට පාත්‍රය පිරීගිය බවක් පෙනෙනු ඇත. එයට හේතුවද සසර නොදීමේ විපාකය. ප්‍රේතයින් ආහාර නොමැතිව විඳින දුක් දැනගැනීමට ප්‍රේත වස්තුව කියවීම වැදගත් වේ.
ආහාරය දානයක් වශයෙන් සිත පිරිසුදු කොට පූජා කිරීමෙන් ලොකු පින්කමක් වනු ඇත. ආහාර වේලක් දෙනවාට වඩා දාන වේලක් දීමේ දී අනුසස් වැඩි බව දේශනා කොට ඇත. එයට චේතනාවද සකස් විය යුතු බැවිනි. කොතරම් ආහාර පාන තිබුණද සමහරුන්ට බඩ පුරා ආහාර වේලක් ගැනීමට අපහසුය. එයට හේතුව තෘෂ්ණාවයි. ඉල්ලීස සිටුතුමා, මචිචරිය කෝසිය සිටුතුමා ආහාර ගැන සිහින මවමින් සිටියා හැර දැඩි තෘෂ්ණාව නිසා ආහාර නොලැබ දුක් වින්දේය. ආනන්ද තෝද්‍යෙය ආදි සිටුවරුන්ද කොතරම් ධනය තිබුණද තම ප්‍රයෝජනයටත් නොගෙන අනුන්ටත් නුදුන් අයය.
කොතරම් ආහාර තිබුණද ආහාර ගත්තද සැමදා රෝගියෙක් නම් එය දුකකි. සමහරු දිව්‍ය භෝජන ගත්තද කායික නීරෝගිකමක් නැත. එතුළින් මනසද රෝගි වේ. එහිදී නියම සතුට සැනසුම නොලැබෙනු ඇත. “ආරෝග්‍ය පරමා ලාභා” යනුවෙන් නීරෝගිරම උතුම්ම ලාභය ලෙස දේශනා කළහ. අප සෑම කෙනෙක්ම ආහාර සුදුසු ආකාරයෙන් ලබා ගතේ නීරෝගිකම ලබා ගැනීමට උත්සාහවන්ත විය යුතු ය. ආහාරය දානයක් වශයෙන් අනුනට දී ඔවුන්ගේ කුසගින්නද නිවා පින් රැස් කර ගැනීමද කර ගත යුතු ය. එවිට කායික මානසික සැනසීම ලබා ගත හැකිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

භෝග සම්පත් රකින මුරකරුවෙක් නොවන්න

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
අනිත්‍ය වූ ලෝකය තුළ ජීවත්වන හැම අයෙක් ම පරමාර්ථ ධර්මය මතකයේ තබාගෙන අනතුරින් බේරෙන්නට කය පිටුපසට බරකර ගෙන ප්‍රපාතයට එබී බලනවා සේ සම්මුති ලෝකය තුළ ජීවිතය පැවැත්විය යුතුයි
අප භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අශ්‍රැතවත් පෘතග්ජන වූ අප විසින් මේ ජීවිතය පවත්වා ගැනීමේ දී භෝග සැපයීම පිළිබඳව, භෝග සම්පාදනය කර ගැනීම, ජීවිතය, ඉගෙනීම, ඇඳුම් පැළදුම්, ආහාරපාන, නිවාස, බෙහෙත් හේතේ ආදී වූ භෝගයන් සම්පාදනය කරගත යුතුවන ආකාරය, මේ ආකාරයෙන් පැහැදිලි කර වදාළේය.
උට්ඨානවිරියා දි ගතේ හි භෝගේ හි
බාහාබල පරිචිතේ හි සේදා වක්ඛිත්තේ හි
ධම්මිකේ හි ධම්ම ලද්දේ හි
උට්ඨාන වීර්යයෙන්, දෑතේ බාහු බලයෙන්, දහදිය වගුරුවමින්, ධර්මානුකූලව, ධර්මයෙහි ම පිහිටා සිටිමින් ධනය හෙවත් භෝග සම්පාදනය කරගත යුතු බවයි මෙහි දක්වා තිබෙන්නේ
මේ අනුව සම්මුතිය තුළ ඔබට ජීවිතය පහසුවෙන් පවත්වා ගැනීම සඳහා මිල මුදල්, නිවාස, ඇඳුම් පැළඳුම්,ආහාරපාන, බෙහෙත් හේත් සම්පාදනය කරගත හැකියි. තවත් සරලව සඳහන් කළොත් කිසිවිටකවත් පස් පව්, දස අකුසල්වලට යොමු නොවිය යුතුයි. මේ පස් පව්, දස අකුසල් සිද්ධ කරන්නේ තමා නිසා, ස්වාමියා, බිරිඳ, දරුවන් හා දෙමාපියන් නිසා හෝ යැයි පැවැසීමට ඔබට හැකියාවක් නැතිවිය යුතුයි. එනම් සියල්ල අනිත්‍ය වූ ලෝකයක් තුළ පස්පව්, දස අකුසල්වලට යොමුව භෝග හෝ ධනය හෝ මිල මුදල් සොයන්නට යෑමෙන් සිදුවන්නේ, මෙලොව ජීවිතයට ලාමක පාප ධර්ම රැස්වීම හා පිරිහීමකට ලක්වීමයි. එලෙසින් ම අනිවාර්යයෙන් ම පරලෝක ජීවිතය සතර අපායේ ඉපදීමට අවස්ථාවක් සලසා ගැනීමයි.
මේ අනුව සීලයේ පිහිටා සම්මුතියෙහි මිල මුදල් හෝ භෝග සම්පාදනය කරගෙන ඔබට ඔබේ ජීවිතය සංතෘෂ්ටියෙන් පවත්වා ගැනීමට හැකියි. නැවතත් සරලව සඳහන් කළොත් ප්‍රාණඝාත ආදී පස් පව්, දස අකුසලයන්ගෙන් බැහැරව ඔබට මේ භෝග, ධනය සම්පාදනය කරගත හැකියි. ඒවා එසේ සම්පාදනය කරගත්තත් මේ සියල්ලම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව කියන පරමාර්ථ ධර්ම කතාව ඔබ විසින් අනිවාර්යෙන් ම මෙනෙහි කළ යුතුයි. ඒ පරමාර්ථ සත්‍යයට ඔබේ සිත පුරුදු කළ යුතුයි. පුහුණු කළ යුතුයි. එසේ නොමැති වුවොත් ඔබ ධර්මානුකූලවම, ඔබේම උත්සාහයෙන්, දෑතේ බාහු බලයෙන්, දහදිය මුගුරු වගුරුවා ලැබූ ධනය කෙරෙහි පවා ලෝභය, විෂම වූ ලෝභය පවත්වාගත හැකියි. තමාම උපායගත් ධනය පරිහරණය නොකොට ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, දරුවන් වශයෙන් ඔවුනොවුන්ගේ ප්‍රයෝජනය පිණිසවත් නොයොදා දැඩි ආශාවකින්, විෂම වූ ලෝභයකින් ජීවත්ව ඒ ධනය මෙලොව තබා ඔබ මිය යා හැකියි.
එපමණක් නොව බොහෝ භෝග තබාගෙන දුක්විඳිමින් කඳුලින් ශෝකයෙන් යුතුව කාලය ගත කරන පුද්ගලයෙක් බවට පත්විය හැකියි. එමෙන් ම මහා භෝග ලබාගෙන ඒ මහා භෝග ගොඩගසාගෙන ඒවා පරිහරණය නොකොට ඒවා රැකගැනීම පමණක් කරමින් මුරකරුවෙක් බවට පත් වී දුක්විඳින නොනිදා සිටින සැකයෙන්, බියෙන්, ජීවත්වන පුද්ගලයෙක් බවට පත්විය හැකියි. අවසාන ප්‍රතිඵලය නම් සිතෙහි දැඩි වූ ලෝභය, සැකය, බිය, තරහව නම් වූ බොහෝ කෙලෙස් පමණක් රැගෙන අන්‍යයන්ගේ ප්‍රයෝජනයට එකතු කළ ධනය මෙලොව තබා, අන්‍යයන්ගේ ප්‍රයෝජනයට අවස්ථාව සලසා දී මිය යා හැකියි. මිය යන ඔහු හෝ ඇය සතර අපායේ අනිවාර්යයෙන් ම උපදින්නට හේතුවක් කර ගත හැකියි. මේ නිසා ඔබ විසින් තේරුම් ගත යුතු සත්‍ය කරුණු දෙකක් ඇත. එනම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍යයයි.
පරමාර්ථ සත්‍යයට අනුව සියලු සංස්කාරයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බවයි. ඒ අනුව ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සැදුම් ලත් මම, ඔබ කියා හඳුන්වන එසේ නැතිනම් සත්වයා, පුද්ගලයා කියා හඳුන්වන මේ ශරීරයත් ඒ ත්‍රිලක්ෂණ ධර්මයට යටත්. පාදාන්තයේ පටන් හිස්මුදුන දක්වා ම ගලපා බලන්න, සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි කායානුපස්සනාව යටතෙහි පටික්කූල සංඥා වෙහි පෙන්වා දෙන ආකාරය මෙසේයි.
ඉමමේව ඛායං උද්ධං පාදතලා
අධෝ කේස මත්ථකා
තචපරියන්තං පූරං නානප්පකාරං
අසූචිනෝ පච්චවෙක්ඛති
පාදාන්තය පටන් හිස්මුදුන දක්වාම ගලපා බලන විට නොයෙක් විදියෙන් අපවිත්‍ර දැයෙන් පිරුණු මේ ශරීරයෙහි මගේය හෝ මමය, මාගේය කියා උපාදානය කරගත හැකි කිසිවක් නැත්තේය.
අපගේ සරල වචනයෙන් සඳහන් කළොත් දවසකට කීපවතාවක් කවා, පොවා, නහවා පිරිසුදු කරමින් කැඩපත ළඟ හැඬ බැලුවත් දිරාගෙන යන විට මේ ශරීරයේ රෝම කූපයක තරම් සැබෑ අයිතියක් නැති බව ඉතාම පැහැදිලියි. මේ රටේ පමණක් නොව ලොව පුරාම ලක්ෂ සංඛ්‍යාත හෝ කෝටි සංඛ්‍යාත පිරිසක් ලෙඩදුක් ඉදිරියේ දරාගන්නට බැරිව මෙසේ දුක්විඳින්නට ඇයි ද? මම ඉපදුණේ කියමින් දුක්වෙන හැටි, හඬන හැටි, නොනිදා සිටින හැටි ඔබ අසා තිබෙන්නට පුළුවනි. එසේ නොමැති නම් ඔබ බොහෝ කෙනෙකුට එවැනි අත්දැකීම් ඔබේ ම ජීවිතවලින් මෙනෙහි කරන්නට පුළුවනි. පරමාර්ථ වශයෙන් සිහිපත් කරන විට එසේ හට අරගෙන වෙනස්වෙමින් බිඳීයන මේ ශරීරයේ රෝම කූපයක තරම්වත් යමක් සැබෑ අයිතියක් තමාට නැතිනම් කුමක් හෙයින් මෙලොව, යමක් මගේ කරගන්නේ ද? මට අයිති යැයි, මගේ පාලනයක් තිබේ යැයි සිතින් අල්ලාගෙන ජීවිතය පවත්නේ ද පරමාර්ථ වශයෙන් පුරුදු කරන ලද සිතකට සම්මුතිය තුළ සතුටින් ගත කරන්නට අවස්ථාවක් සලසා ගන්නේ කෙසේ ද? පරමාර්ථ ධර්මය අවබෝධ කරගන්නා සිතකට සම්මුතියෙහි පිහිටා සතුටින් ජීවිතය පවත්වා ගන්නේ කෙසේ ද? දහමේ පෙන්වා දෙන මේ නිදසුන ගැන මෙනෙහි කොට බලන්න.
“විශාල අගාධයක් හෝ ප්‍රපාතයක් සමීපයට ගොස් එහි අත්වැලක් හෝ ආරක්ෂාවක් නැතිව එබී බලන අයෙක් තම ශරීරය සමබරව, අගාධයට ඇඳ නොවැටී පවත්වාගන්නේ කෙසේ ද? මනා වූ සිහියෙන් ශරීරය පිටුපසට ම බර කරගෙන අර ප්‍රපාතයට හෝ අගාධයට එබී බලන්නේ ය. සතිය නොමැති වුණොත් ශරීරය පිටුපසට බරකර ගැනීම පවත්වා ගන්නට නොහැකි වුණොත් සැබවින් ම ඒ පුද්ගලයා ඒ ප්‍රපාතයට හෝ ආගාධයට ඇද වැටිය හැකියි.” ඒ ජීවිත විනාශයකි. මේ නිසා අනිත්‍ය වූ ලෝකය තුළ ජීවත්වන හැම අයෙක් ම පරමාර්ථ ධර්මය මතකයේ තබාගෙන අනතුරින් බේරෙන්නට කය පිටුපසට බරකර ගෙන ප්‍රපාතයට එබී බලනවා සේ සම්මුති ලෝකය තුළ ජීවිතය පැවැත්විය යුතුයි. සම්මුති ලෝකයේ සැබෑ කතාව නම් සොම්නසින් දුටුවත් රුව එය බොහෝ දුක්ගෙනෙන වධයක් නැතිනම් බොහෝදුක් දෙන වධයක් හෝ මරුවෙක් හා සමානයි. පරමාර්ථ ධර්මයෙන් පුරුදු නොකරගත් මේ සිත රුව දෙස බලන්නේ සොම්නසින් පිරිපුන් වූ සිතකින්මයි.
මේ අභාවිත සිත් ඇති තැනැත්තා ප්‍රිය රූපයෙහි ඇලෙනවා. අප්‍රිය රූපයේ ගැටෙනවා. එහෙත් ඒ ප්‍රිය රූපය වෙනස්ව යන විට එය වධයක් මහා දුකක් බව දැනෙන්නට පටන් ගන්නවා. අකැමැති රුවෙහි ගැටෙන විටත්, එය මහා වධයකි. මහා දුක්ඛ වේදනාවකි. එය අකැමැති රුවට ඇති වුණු අකැමැත්ත පටිඝය, තරහවක්, වෛරයක්, පළිගැනීමක්, බවට පත්වුණාම දෙලොව ජීවිතය ම මහා විපතක් ගෙන දෙන මූල හේතුවක් බවට පත්වෙනවා.
මේ නිසා සම්මුති ලෝකයේ හෙවත් ඔබගේ ජීවිතවල ඇසට සොම්නස ලබා ගැනීම ස්වභාවිකයි. ධර්මයට අනුව සඳහන් කළොත් සොම්නසින් රුව දෙස බලන්න. එහෙත් ඒ රුව සදාකාලික නොවන බව මෙනෙහි කරන්න. කායික, වාචසික සංවරයෙන් යුතුව යම් රුවක් ඇසෙහි හටගත්තොත් එය කිසිවිටකවත් රාගයකින් හෝ ද්වේෂයකින්, මානසික පීඩාවක් ලබා නොදෙන බව භාවිත සිත් ඇති සුපසන් හදවතක් ඇති මනුෂ්‍යයෙකුට තේරුම්ගත හැකියි.
දීපා පෙරේරා
 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤