ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

අවබෝධ කළයුතු නිරුද්ධ කළයුතු ලෝකය

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ලොවෙහි මුදුනට ම පත් වූ නිසා අපගේ බුදුරජාණන් වහන්සේව “අග්ගප්පත්ත” නමින් හඳුන්වනු ලබනවා. ඒ අනන්ත සම්බුදු නුවණින් තිලොව ම එළිය කළ නිසා “පභාස්කර” කියාත් බුදුරජාණන් වහන්සේ හඳුන්වනු ලබනවා. මේ සියලු ලෝකයන්ම ඇතැඹුලක් සේ අවබෝධ කරගෙනයි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ. සියලු දිව්‍යලෝක, සියලු බ්‍රහ්මලෝක, මේ මිනිස් ලෝකය, සතර අපාය ආදී සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය උන්වහන්සේ අවබෝධ කොට වදාළා. එමෙන්ම ඒ හැම ලෝකයකින්ම නිදහස් වෙලයි සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ.
පින්වත් මහණෙනි, මුළුමහත් ලෝකයම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා. එනිසාම තථාගතයන් වහන්සේ කිසිදු ලෝකයක් සමඟ එක්නොවීයි වාසය කරන්නේ. පින්වත් මහණෙනි, මේ ලෝකය හටගන්නා අයුරුත් තථාගතයන් වහන්සේ ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා. ලෝකය හට ගැනීම තථාගතයන් වහන්සේ තුළ ප්‍රහාණය වෙලයි තිබෙන්නේ. පින්වත් මහණෙ- නි, ලෝකයේ නිරුද්ධවීමත් තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා. ලෝකයේ නිරුද්ධවීම තථාගතයන් වහන්සේ සාක්ෂාත් කොට වදාළා. එමෙන්ම පින්වත් මහණෙනි, ලෝකය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා. ලෝකය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ප්‍රගුණ කොට වදාළා.
සම්බුදු නුවණින් මේ ලෝකය ගැන ඇතිකරගෙන තිබූ වැටහීම මේ ලෝකයේ වෙන කිසිම කෙනෙකුට ඇතිකර ගන්නට බැහැ. සම්බුදු නුවණ අසමසම යි. ඒ සම්බුදු නුවණින් ලෝකය දුටු අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා දී වදාළේ ලෝකය ගැන සිතීම අචින්තනීය විෂයක් බවයි. ඒ කියන්නේ සිතා නිම කළ නොහැකි දෙයක්. ඒ කරුණ නොදන්නා නො පිළිගන්නා වර්තමාන ඇතැම් මිනිසුන්, නොයෙකුත් නවීනයැයි කියා ගන්නා යන්ත්‍රෝපකරණ උපයෝගි කරගනිමින් ජීවිත කාලය පුරාම වෙහෙසමින් ලෝකය ගැන සෙවීමට ගන්නා වෑයම කෙතරම් හරසුන් දෙයක් ද?
ලෝකය ගැන වඩාත්ම හරවත් විග්‍රහයක් මේ දෙව් මිනිසුන්හට පෙන්වා දුන්නේ සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි. අද අප ඉගෙන ගන්නේ එබඳු අපූරු විග්‍රහයක්. මේ දෙසුමට පසුබිම වුණේ "රෝහිතස්ස" නම් වූ දිව්‍ය පුතයෙකුගේ ප්‍රශ්නයක්. මේ දිව්‍ය පුත්‍රයා ලෝකයේ කෙළවරක් සොයා ගන්නට මහන්සි වුණ කෙනෙක්. ඔහුගේ වෑයම අසාර්ථක වූ බැවින් ඒ දිව්‍ය පුත්‍රයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයා පැමිණීමට තීරණය කළා.
ඒ දිනවල අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. මේ රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා රැය පහන් වෙන වෙලාවේ මුළුමහත් ජේතවන-යම ඒකාලෝක කරගෙන භග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණුනා. වන්දනා කොට එකත් පසෙක සිට ගත්තා.
එකත්පසෙක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
"ස්වාමිනි, යම් තැනක උපදින්නේ නැතිනම් දිරන්නේ නැතිනම්, මැරෙන්නේ නැතිනම් චුත වෙන්නේ නැතිනම්, යළි උපදින්නේ නැතිනම් ස්වාමිනි ලෝකයේ කෙළවර වූ ඒ තැනට පයින් යන්න පුළුවන්ද?"
සියල්ල පරිපූර්ණ ලෙස අවබෝධ කළ අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.
ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නේ නැතිනම්, දිරන්නේ නැතිනම්, මැරෙන්නේ නැතිනම්, චුතවෙන්නේ නැතිනම් යළි උපදින්නේ නැතිනම් ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දැනගන්න, දැකගන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ.
තමාගේ ප්‍රශ්නයට ලැබුණු සෘජු පිළිතුර ගැන රෝහිතස්ස දිව්‍යපුත්‍රයා පුදුමයටත්, සතුටටත් පත්වුණා. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා.
ස්වාමිනි ආශ්චර්යය යි. ස්වාමිනි අද්භූතයි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් ඇත්තක්ද වදාළේ. ආයුෂ්මතුනි, යම් තැනෙක උපදින්නේ නැත්නම් දිරන්නේ නැත්නම් මැරෙන්නේ නැත්නම් චුත වෙන්නේ නැත්නම් යළි උපදින්නේ නැත්නම් ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දකින්න් පුළුවන් කියලා. දැනගන්න පුළුවන් කියලා. පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ කියලා.
ස්වාමිනි, මේක ඉස්සර සිදු වූ දෙයක්. මම භෝජපුත්‍ර වූ රෝහිතස්ස කියන නමින්, සෘද්ධිමත් අහසින් යන්න පුළුවන් ඉසිවරයෙක් වෙලා හිටියා. ස්වාමිනි මට ඒ කාලේ මේ විදිහේ ශක්තියක් තිබුණා. හොඳට පුහුණුවුණ හොඳට පුරුදුවුණ තරග කරලා ජයගත්තු ශිල්ප දැක්වූ අතිශයින්ම දක්ෂ දුනුවායෙක් සැහැල්ලු ඊතලයකින් වේලිච්චි තල් කොළයක් පලාගෙන යන ආකාරයට විඳිනවා වගේ. මටත් අන්න ඒ වගේම ශක්තිමත් බවක් තිබුණා.
එතකොට ස්වාමිනි මට පුළුවන්කම තිබුණා නැගෙනහිර මුහුදට එක පයක් තියලා අනෙක් පය බටහිර මුහුදට තියන තරමේ දුරක් පා තබා යන්න. ඉතින් ස්වාමිනි ඒ මට මෙන්න මේ විදිහේ ආශාවක් ඇතිවුණා. ඇත්තටම මම පා ගමනින්ම ලෝකයේ කෙළවරකට එන්න ඕන කියලා. එතකොට ස්වාමිනි මට පුළුන්කම තිබුණා නැගෙනහිර මුහුදට එක පයක් තියලා අනිත් පය බටහිර මුහුදට තියෙන තරමේ දුරක් පා තබා යන්න. ඉතින් ස්වාමිනි ඒ මට මෙන්න මේ ආකාරයේ ආශාවක් ඇතිවුණා. ඇත්තටම මම පා ගමනින්ම ලෝකයේ කෙළවරකට එන්න ඕන කියලා.
ස්වාමිනි, මේ තරම් වේගයක් තිබුණු මේ තරම් වේගයෙන් ගමන් කරන්න පුළුවන්කමක් තිබුණු මම අවුරුදු සියයක් ජීවත්වෙමින් කනබොන වෙලාව හැර, වැසිකිලි කැසිකිළි කරන වෙලාව හැර නිදියන හා මහන්සි අරින වෙලාව හැර අවුරුදු සීයක්ම ඇවිදලත් ලෝකයේ කෙළවරකට එන්න බැරුව, අතරමඟදීම මිය පරලොව ගියා.
ඉතින් ස්වාමිනි ආශ්චර්යයයි. ස්වාමිනි අද්භූතයි. ඔබවහන්සේ විසින් යමක් පැවසු සේක්ද ආයුෂ්මතුනි, යම් තැනෙක උපදින්නේ නැතිනම් දිරන්නේ නැතිනම්, මැරෙන්නේ නැතිනම්, චුත වෙන්නේ නැතිනම්, යළි උපදින්නේ නැතිනම් අන්න ඒ ලෝකයේ කෙලවර පා ගමනින් ගිහිල්ල දැනගන්න දැකගන්න පුළුවන් බවක් පැමිණෙන්න පුළුවන් බවක් මම කියන්නේ නැහැ කියලා ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ් වදාළේ කෙතරම් සත්‍යයක් ද?
පහසුවෙන්ම කරුණු වටහා දිය හැකි මේ නුවණැති දිව්‍ය පුත්‍රයාගේ ප්‍රකාශය ගැන භාග්‍යවතුන් වහන්සේ තුළ නිරාමිස සතුටක් උපදින්නට ඇති. ඒ නිසාම උන්වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයාහට තවදුරටත් කරුණු පහදා දෙමින් මෙසේ වදාළා.
ආයුෂ්මතුනි, එසේ වුණේ ලෝකයේ කෙළවරකට එන්නේ නැතුව මේ දුක කෙළවර කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. එහෙම වුණත් ආයුෂ්මතුනි, මේ සඤ්ඤා සහිත සිත සහිත වූ බඹයක් විතර ප්‍රමාණයේ වූ මේ ශරීරයේම තමා ලෝකයත් ලෝකයේ හටගැනීමත්, ලෝකයේ නිරුද්ධවීමත්, ලෝකය නිරුද්ධවීමේ ප්‍රතිපදාවත් තිබෙන්නේ කියලයි මම කියන්නේ.
සැබැවින්ම ලෝකය කියන්නේ කුමක්ද? කියා මේ සසර ගමනේ යන සත්ත්වයින්ට මනාව පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේම පමණයි. අපට උපතින්ම ලැබුණු ඇස, කන, නාසය, දිව හා කය සහිත මේ බඹයකට නොඅඩු ශරීරයත්, සිතත් නොවේද සැබෑම ලෝකය. අප මේ බාහිර ලෝකය ගැන කොතරම් හාරාඅවුස්සමින් සොය සොයා සිටියත් ඉතාම කෙටි කලෙකින් අයුෂ ගෙවී ගොස් අපේම ලෝකය අපට අහිමිවී යන්නේ නොවේද? වර්තමානයේ මිනිසා වගේම අතීතයේත් මේ බාහිර ලෝකය ගැනම වෙහෙසුණ අය සිටියා. නමුත් ඔවුන් නිරර්ථක වෑයමකින් පසු මරණයට පත්වී මේ ලෝකයෙන් යන්නට ගියා.
එදා මේ රෝහිතස්ස දෙවියාට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර අදටත් කොතරම් ගැලපෙනවා ද? මේ අර්ථවත් දෙසුම අවසානයේ භාග්‍යවතුන් වහන්සේ මිහිරි සරින් මේ ගාථාව වදාළා.
ගමනේන න පත්තබ්බෝ 
ලෝකස්සන්තෝ කුදාචනං
න ච අජත්වා ලෝකන්තං 
දුක්ඛා අත්ථි පමෝචනං

කවදාවත් පයින් ගිහිල්ලා නම් මේ ලෝකයේ කෙළවරකට යන්න බැහැ. හැබැයි ලෝකයේ කෙළවරකට එන්නේ නැතුව දුකින් නිදහස් වීමකුත් නැහැ.
තස්මා හවේ ලෝකවිදු සුමේධෝ 
ලෝකන්තගූ වුසිත බ්‍රහ්මචරියෝ
ලෝකස්ස අන්තං සම්තාවී ඤත්වා
නාසිසෙති ලෝකම්මං පරඤ්චාති

ඒ නිසා ලෝකය දන්න ප්‍රඥාවන්ත වූ ලෝකයේ කෙළවරට ගිය බ්‍රහ්චාරී ජීවිතය සම්පූර්ණ කළ පාපය සිඳබිඳ දැමීම ඒ උතුම් පුද්ගලයා ලෝකයේ කෙළවර දැනගෙන මෙලොවත්, පරලොවත් පතන්නේ නැහැ.
අපටත් මේ ජීවිතය නම් වූ ලෝකයේ අවබෝධ කරගන්න ගෞතම බුදුරජුන්ගේ ධර්මය පිහිට කර ගැනීමේ වාසනාව ලැබේවා.
නයනා නිල්මිණි

අනිත්‍ය සංකල්පය හා නිවන් මඟ

කොළඹ මහානාම විද්‍යාලයේ, 
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී ශාස්ත්‍රපති 
සියඹලාගොඩ ධම්මින්ද හිමි

බුදුදහමේ හරය හේතුඵල දහමයි. මෙම උතුම් න්‍යාය තේරුම් ගැනීමේ දී ත්‍රිලක්ෂණ ධර්මතාවය අත්‍යවශ්‍යය. ජීව අජීව සමස්තය තුළම පවතින යථාර්ථය මෙය බැවිනි. ලෝකයේ නිත්‍ය සුබ ආත්ම ලෙස ගත හැකි කිසිවක් නැත. කිනම් දර්ශනයක් විශ්වාස කළද ලෝක යථාර්ථය මීට වඩා වෙනස් නොවේ.
වෙනස්වන බව, ස්ථිරසාර නොවන බව, විශ්වාස කළ නොහැකි බව දුක් සහගත බව, සම්පූර්ණ නොවූ බව අනිත්‍යතාවයයි. ධර්මානුකූලව සඳහන් කරන්නේ නම් සංස්කාර ධර්මයන්ගේ නිත්‍ය නොවන ස්වභාවය ඇතිවීම නැතිවීම පෙරළීම අනිත්‍ය තත්ත්වයයි. අනිච්ච ලක්ඛණ සූත්‍රයේ දී සඳහන් වන්නේ ඇතිවීම නැතිවීම සංස්කාර ධර්මයන්ගේ නිත්‍ය නොවන ස්වභාවය අනිත්‍ය බවයි. ඇතිවීම නැතිවීම අනිත්‍ය බව ධම්මසංගනී අටුවාව විස්තර කරන අතර විභාවිනී ටීකාවට අනුව ළඟාවිය නොහැකි යමක් ඇත්ද එය අනිත්‍යතාවය බව පැහැදිලි කරයි.
අනිත්‍යය සහ නිවන අතර ඇත්තේ එකිනෙක වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. ලෝකයේ සියල්ල නිත්‍ය යැයි සිතනතාක් නිවන්මඟ ගමන් කළ නොහැකිය. යමෙක් වෙනස් වීම තේරුම් ගන්නේද එවිට නිවන් මඟ පිළිබඳ උනන්දුව ඇතිවේ. අබුද්ධෝත්පාද කාලයන් ලෙස විස්තර වන්නේද අනිත්‍යතාව එතරම් පැහැදිලි නොමැති කාලසීමාවන්ය. එනම් ආයුෂ ලක්ෂයක් පමණ ඇති වකවානුවන්හි වෙනස්වීම හෙවත් අනිත්‍යතාව පැහැදිලි කරදිය නොහැක. ආයු ලක්ෂයක් පමණ ඇති කාලයන්හි මන්දායුෂ්ක කෙනෙක් වුවද පන්දහසක් හෝ ජීවත් වෙයි. මෙම පසුබිම යටතේ යථාර්ථය වූ අනියත දහම පැහැදිලි කිරීම දුෂ්කරය.
මුල්ම බුද්ධ වචනය මෙන්ම අවසාන බුද්ධ වචනය තුළද දක්නට ඇත්තේ අනිත්‍යතාව පිළිබඳ පැහැදිලි කිරීමකි. එමෙන්ම සමස්ත දේශනාවන් තුළද සෘජු හා වක්‍ර ලෙස පැහැදිලි වන්නේ මෙම අනිත්‍යතාවයයි. තමන් වහන්සේ සසර අනිත්‍යතාව සම්පූර්ණ ලෙස නොදුටු හෙයින් ඒ සෑම විටම මාරයා ජයග්‍රහණය කළ බවත්, මේ මොහොතේ දී එය නිවැරදි වී ඇති බවත්, මින් මතුවට මාරයා ජයග්‍රහණය නොකරන බවත් උපත නැතිකළ පරම තත්ත්වය උදාකළ බව ‘අනේකජාති සංසාරං’ යන මුල්ම බුද්ධ වචනයෙන් ගෞතම බුදුරදුන් පැහැදිලි කළහ. මින් පැහැදිලි වන්නේ නිවන ලැබීමට ඇතිවූ ප්‍රධාන බාධකය අනිත්‍යතාවය නොදැනීම බවයි. තමන් වහන්සේ මෙසේ ජයග්‍රහණය කළ බව දක්වනුයේ යථාර්ථය වූ අනිත්‍යතාව තේරුම් කරගත් බැවිනි. වඩුවාට ශරිර කූඩුව නමැති ගෙය හැදීමට ඇති බාධකය මෙම අනිත්‍යතාව තේරුම් ගැනීමයි. මුල්ම බුද්ධ වචනයෙන් හැෙඟන දාර්ශනික අදහස මෙම ත්‍රිලක්ෂණයෙහි පළමු ලක්ෂණයයි.
ඇතිවීම පැවැතීම හා වෙනස්වීම මේ ලෝකයෙහි ඇති යථාර්ථයයි. ජීව අජීව සියල්ලටම මෙම තත්ත්වය පොදු වූවකි ඒ බව දේශනාවේ මෙසේ දක්වයි.
“උප්පාදෝ පඤ්ඤයති. වයෝ පඤ්ඤායති ථිතස්ස අඤ්ඤ තත්ථං පඤ්ඤායති”
බුද්ධ දේශනා කිහිපයක් පමණක් ගෙන මෙම අනිත්‍ය සංකල්පයට ධර්මයෙහි හිමි තැන සාකච්ඡා කළ හැකිය. එය වඩාත් අනිත්‍යතාවය පිළිබඳ ධර්මානුකූල පැහැදිලි කර ගැනීමක් සඳහා ප්‍රයෝජනවත්ය.
1. අ.නි. මේඝිය සූත්‍රයේ දී අනිත්‍යතාව මෙසේ විස්තර කරයි. ආර්යය තත්ත්වයට පත්වීම සඳහා කළණ මිතුරන් සිටීම, සිල්වත්වීම, හොඳ කතාවෙන් යුක්ත වීම, වීර්යය හා ආර්ය මාර්ගයේ ප්‍රඥාවෙන් ගමන් කිරීම අවශ්‍ය ය. ඒ මත පිහිට අනිවාර්යෙන්ම ධර්මතා 4 ක් වැඩිය යුතු ය. ඉහත කාරණා සියල්ල සම්පූර්ණ වුවද මෙම පහත දැක්වෙන ධර්මතා නොවඩා ආර්ය භූමීන්ට පත්වීමේ දුෂ්කරතාවය අවධාරණය කරයි. එම කරුණු 04 මෙසේ ය. රාගය නැති වීම සඳහා අසුබය වැඩිය යුතුයි. ව්‍යාපාදය දුරුවීම සඳහා මෛත්‍රිය ඇති කර ගැනීම අවශ්‍යය, චිත්ත වික්ෂිප්ත බව නැතිකොට සිරිත් එකඟතාව නිර්මාණය කරගැනීම සඳහා ආනාපානසති භාවනා වැඩිය යුතුය. ආන යනු හුස්ම ඉහළ ගැනීමයි. ආපාන යන්නෙන් පැහැදිලි වන්නේ හුස්ම පහත හෙළීමයි. සති යනු සිහියයි. ආනාපානසති යන්නෙහි අර්ථය මේ අනුව මෙසේ දැක්විය හැකිය. හුස්ම ඉහළ පහළ ගැනීම පිළිබඳ සිහිය පිහිටුවීමයි. මේ නිසා චිත්ත සමාධිය නිර්මාණය වේ. අවසාන වශයෙන් සූත්‍රයේ විස්තර වන්නේ අස්මිමානය හෙවත් මමය මගේය ලෙස ඇතිවන ආධානග්‍රාහීබව බව නැතිවීම සඳහා අනිත්‍යතාවය වැඩිය යුතු බවයි. අනිත්‍යතාවය මත පිහිටීම නිසා එය පදනම්කොට ගනිමින් අනාත්ම තාවයත් ඒ නිසාම නිවනට පත්වීම සිදුවන බවයි. මෙම දේශනාවට අනුව නිවනෙහි පදනම අත්තිවාරම වෙනයමක් නොව අනිත්‍ය තාවයයි.
2. ස.නි. ඵේතාපිණ්ඩූපම සූත්‍රය – පඤ්චස්කන්ධයෙහි ඇති අනිත්‍යය වෙනස්වන බව අවධාරණය කරන සූත්‍ර දේශනාවකි. ‘ඓන පිණ්ඩුපමං රූපං වේදනා බබ්බුළූපමා’ ලෙස ස්ථිර නොවන බව මෙහිදී විස්තර වේ. රූපය එහි අස්ථීර බව පෙන පිඬකට උපමා කරයි. එනම් ඇතිවී නැතිවීයාම ස්වභාවිකව හෝ අස්වාභාවිකව සිදුවිය හැක. පෙණ පිඩෙහි ස්වභාවය මේ හා සමානය. කෙසේ නමුත් මෙයින් අවධාරණය කරනුයේ රූපයෙහි පවතින නිත්‍ය නොවන ස්වභාවයයි.
වේදනාව දිය බුබුලක් ලෙස මෙහිදී උපමාකර පෙන්වා දෙයි. සාමාන්‍ය ජීවිතයේ දී පුද්ගලයාට දැනෙන වේදනා ත්‍රිවිධාකාරය. එනම්,
1. සැප වේදනා
2. දුක වේදනා
3. සැප දුක අතර පවතින වේදනා වශයෙනි. වේදනාව යනු විඳීමකි. සැප දුක යන අංශ දෙකම මේ යටතට ගැනේ. සදාකාලික සැපක් හෝ දුකක් නැති බවත් මේ දෙකම අනිත්‍ය බවත් මෙහිදී දේශිතය. පුද්ගලයා නිරන්තරවම සැප වේදනාවන්ම සෙවීමට උනන්දු වේ. නමුත් එය එසේ නොපවතී දියබුබුලේ ස්වභාවය සිහිපත් කරන්නෙකුට මේ තත්ත්වය හඳුනා ගැනීම අපහසු නොවේ.
සංඥාව හෙවත් හඳුනා ගැනීම් දැනීම් මිරිඟුවකට උපමාකර දක්වයි. එනම් දකින හෝ පෙනෙන තත්ත්වය සැබෑ තත්ත්වය නොවන බවයි. කාන්තාරයේ මුවා ජලය ලෙස දකින්නේ ජලය නොව මිරිඟුවකි. එහි ඇලීම නිසා මරණය පවා අත්විය හැකිය. සංඥාව මිරිඟුවක් ලෙස දක්වන්නේ එහෙයිනි. සම්මුතිය සම්මුතිය ලෙස නොදැකීම මිරිඟුවයි.
සංස්කාර කෙසෙල් කඳකට උපමා කරනුයේ මෙහි ඇති අස්ථීරත්වය පාදකකොට ගනිමිනි. ගතුයුතු හරයක් අරටුවක් නැති බව මෙයින් පැහැදිලි කරයි. පිළි ගලවන්න ගලවන්න ඉතිරිවිය හැකි යමක් කෙසෙල් කඳ තුළ නැත. ඇත්තේ හිස් බවකි. සංස්කාරයන්ගේ ස්වභාවය මේ හා සමානය.
විඥානය මායාවකි. එනම් සැබෑ තත්ත්වය හෙවත් යථාර්ථය පුහුදුන් මනසකින් දැකිය නොහැකිය. මතුපිටින් දකින කාරණාවෝ සත්‍ය ලෙස පිළිගනිති. එය මායාවකි. එය සරලව මෙසේ තේරුම් ගත හැකිය. උදාහරණයකින් මෙලෙස සඳහන් කළ හැකිය. සාමාන්‍ය කෙනෙකු පරිසරය දෙස බලා එය කොළපාට යැයි පවසයි. අව් කණ්ණාඩියක් පළඳින්නෙකු අඳුරු ලෙස එය දකී. කහ උණ වැළඳුන කෙනෙකුට එය කහපාටය. මින් නිවැරදි කාරණය කුමක්ද? ඔන්න සැක සහිත වේ. ඇතමෙකු සිහින දකින විට සැබෑ තත්ත්වය ලෙස සලකයි. අවධියෙන් සිටින කාලය ද සිහින දකින විට දැනෙන තත්ත්වයද වඩා නිවැරදි යන්න තේරුම් ගැනීම ප්‍රශ්නකාරීය. විඤ්ඤාණය මායාවක් ලෙස දක්වන්නේ එහෙයිනි.
විඤ්ඤාණය මායාවක්ය. වෙනස්විය හැකිය. යන්න වඩාත් පැහැදිලි කරගත හැකි ප්‍රධාන සූත්‍ර දේශනාවක් සංයුත්ත නිකායේ ඇත. අස්තතවන්තු සූත්‍රයේදී මේ තත්ත්වය මෙසේ පැහැදිලි කරයි. එනම් මනස හා ද්‍රව්‍ය යන දෙකම අනිත්‍ය බැවින් ඒ දෙකෙහිම ආත්ම වශයෙන් ගත හැක්කක් නොමැත. ඇතැමෙක් විශ්වාස කරනුයේ ද්‍රව්‍ය වෙනස් වූවද මනස වෙනස් නොවන බවයි. ඊට කදිම පිළිතුරක් ඉහත සූත්‍ර දේශනාවෙන් ලබාදෙයි.
සිත විඤ්ඤාණය පවා වෙනස් වන්නේ නම් එය ආත්ම වශයෙන් නිත්‍ය ලෙස ගැනීම සුදුසු නොවේ. සිතේ වෙනස්වීමේ වේගය කයේ වෙනස්වීමට වඩා වේගවත්ය. බැලූ බැල්මට මෙය තේරුම්ගැනීම පහසු නොවේ. නමුත් යථාර්ථය වන්නේද මෙයයි. උද්ධෘත සූත්‍රයේ දී ඒ බව මෙසේ පැහැදිලි කරයි. ‘කයට වඩා වේගයෙන් සිත විඤ්ඤාණය වෙනස් වේ. සිත ආත්ම වශයෙන් ගන්නවාට වඩා කය ආත්මවශයෙන් ගැනීම සුදුසු ය. මෙයින් අවධාරණය කරනුයේ සිත හෝ කය ආත්ම වශයෙන් ගත නොහැකි බවය. එහි ඇත්තේ අනිත්‍ය ස්වභාවයකි. කෙනෙකුට ආත්මවශයෙන් යමක් ගැනීමට නම් කය එසේ වෙනස් නොවේ යැයි සිතා ගැනීම සුදුසු ය. එයට හේතුව සිත කයට වඩා වේගයෙන් වෙනස් වන නිසාවෙනි. මෙයින් ගම්‍ය වන ප්‍රධාන කාරණය වන්නේ ආත්ම වශයෙන් වෙනස් නොවන කිසිවක් නැතිබවය.  
3. ස.නි නඛසිඛෝපම සූත්‍රය - මෙහිදී රූපයෙහි අනිත්‍යතාවය හෙවත් අස්ථිර බව පැහැදිලි කර දෙයි. එනම් රූපයෙහි නිත්‍ය, ධ්‍රැව ශාස්වක නොවෙනස් වන කිසිවක් නැති බවයි. රූපය යන්නෙහිම අරුත වන්නේ වෙනස් විය හැකි ය. යන්නයි. මෙහිදී සඳහන් වන්නේ මෙම වෙනස්වීම හඳුනාගන්නා ආර්යශ්‍රාවකයා නිවන හැරුණුවිට සසර වෙනත් විකල්පයක් නොමැති බව තේරුම් ගනී. එනම් වෙනස්වන රූපයක් නිසා එය කෙසේ හෝ නඩත්තු කිරීමට ගොස් අපාගතවීම සසර දික්කර ගැනීම නුසුදුසු යැයි තීරණය කිරීමයි. මෙහිදී ආර්ය ශ්‍රාවකයා යනුවෙන් සඳහන් වන්නේ ආර්ය ප්‍රතිපදාව තේරුම් ගත් සිව්වණක් පිරිසමය. ඒ තුළ භික්ෂුව මෙන්ම ගිහියාද ඇතුළත්ය. අනන්ත ලක්ඛණ සූත්‍රයේ ද විස්තර වන්නේ සම්මුතික රූපය පිළිබඳවයි. එහිදී දක්වනුයේ පදාර්ථ 05 ක එකතුවට ආත්ම ලෙස හැඳින්වුවද එය සම්මුතිය මිස පරමාර්ථය නොවන බවයි.
ඉහත දක්වන ලද සූත්‍ර කිහිපය පමණක් සැලකිල්ලට ගත්තද නිවන් මඟ සහ අනිත්‍යතාවයේ අභේද්‍ය බව (සම්බන්ධය) හඳුනාගත හැකිය. පුද්ගලයා සසර බැඳ තැබීමට සමත් ශක්තිමත් වරපටක් ලෙස් අනිත්‍යතාව තේරුම් නොගැනීම ප්‍රබල හේතුවකි. යමෙක් කුමන හෝ හේතුවක් පදනම් කොටගෙන හෝ අනිත්‍යතාව තේරුම් ගන්නේද? එහිදී සත්‍ය වැටහේ. පටාචාරා කිසාගෝතමී චරිත මීට කදිම නිදසුන් ය.
උපතේ සිට මරණය දක්වා ඇත්තේ මෙම අනිත්‍ය ස්වභාවයයි. දරුවෙකු වර්ධනය වීම හෝ පහනක් දැල්වීම තුළ යථාර්ථය ක්ෂය වීමය. දරුවෙකුගේ නම් ආයුෂද පහනක නම් තෙල් හා තිර මේ තත්ත්වයට පත්වේ. සෑම ක්ෂණයක් පාසාම සමස්තය තුළ ඇත්තේ මේ ස්වභාවයයි. බුදු දහමට අනුව විස්තර වන්නේ එක් රූප ස්වභාවයක් පවතිනුයේ චිත්ත ක්ෂණ දාහතක් (17) වැනි ඉතා සුළු කාලයකි. විදුලියක් කොටන විට එතන චිත්තක්ෂණ (1000) දාහක් පමණ ඇත. ඒ නයින් බලනවිට චිත්තක්ෂණයක ප්‍රමාණය හඳුනාගත හැකිය.
උපත ලබන පුද්ගලයා අවස්ථා දෙකකදී මරණයට පත්වේ. එනම්
1. ක්ෂණික මරණය, 2. සම්මුතික මරණය වශයෙනි. රහතන් වහන්සේ නමක් නම් උන්වහන්සේගේ පිරිනිවීම ‘සමුච්චේදය’ නැවත උපතක් නොලබන ස්වභාවය මේ නමින් හඳුන්වනු ලබයි. ක්ෂණික මරණය යනු පවතිද්දී වෙනස් වීමයි. සම්මුතික මරණය යන්නේ පැහදිලි වන්නේ තාවකාලිකව එක භවයකින් තවත්භවයකට ගමන් කිරීමයි. ක්ෂණික මරණයන් සමූහයක එකතුව සම්මුතික මරණයට හේතු වේ. සම්මුතික මරණයද අනිත්‍යයය .එනම් නැවත කොහේ හෝ ඉපදිය යුතු බැවිනි. වේළුණු පොල්ගෙඩියක් ගසෙන් බිමට වැටුණු පසු එය සරු පොළොවක් නම් නැවත පොල් පැළයක් නිර්මාණය වේ. වෙනසකට සිදුවූයේ පොල්ගසට පොල් ගෙඩිය අහිමි වීම පමණි. පොල්ගෙඩියේ ක්‍රියාකාරීත්වය එලෙසම සිදුවේ. පුද්ගලයෙකු මිය යාමද මේ හා සමානය. වෙනස එක් නිවසකට එක් සාමාජිකයෙකු අහිමි වීමයි. සම්මුතික මරණය මෙසේ තේරුම්ගත යුතුය. නිවන් ලබනතුරුම විඤ්ඤාණය හෙවත් භවකාරක කර්ම ශක්තිය ගමන් කරයි. එය අවසන් වන්නේ සමුච්ඡේද මරණයට පත්වීම හෙවත් නිවන්ලැබ පිරිනිවන් පෑම තුළිනි.
බෞද්ධයා මෙම අනිත්‍යතාව හඳුනාගන්නවා යනු මේ පිළිබඳ දැන ගැනීම නොව අවබෝධ කරගැනීමයි. ධර්මයට වන්දනා කරන තැනදී “පච්චත්තං වේදිතබ්බෝ” ලෙස විස්තර වන්නේ ද වෙනස්වීම ප්‍රත්‍යක්ෂ බව හෙවත් තේරුම් ගත් බවය. මින් පැහැදිලි වන්නේ ද යමෙක් ධර්මය දන්නවා යනු ඔහු අනිත්‍යතාවය දන්නා බවයි.
ලෝකයේ ආරම්භ කළ ඇතැම් ආගම් ආත්ම සංකල්පයක් සඳහන් කළහ. නිත්‍ය දෙවියන් සියල්ල නිර්මාණය කරමින් පාලනය කරන බව ඔවුන්ගේ විශ්වාසය වූහ. නමුත් බුදු දහම එහි සත්‍යතාවයක් හෝ විශ්වාසයක් නොමැති බව අවධාරණය කළහ. එසේ පැහැදිලි කරමින් පොළොවෙහි යථාර්ථයට මුහුණ දීමට පුද්ගලයා හැඩගැස්වීම සඳහා බොහෝ ඉගැන්වීම් සිදුකළහ. මේ සියලු ඉගැන්වීම්වලට පදනම ලෙස භාවිත කළේ අනිත්‍ය සංකල්පයයි. ජීවිත පසක් කරන භාවනාව ලෙස දක්වන්නේ විදර්ශනාවයි. විදර්ශනාව යනු මෙම පඤ්චස්කන්ධය පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දැකීමයි. මෙයින් පැහැදිලි වන්නේ අනිත්‍යාවබෝධයෙන් තොර විදර්ශනාවක් නැති බවය.
පුද්ගලයා දෙලොව දියුණුව හා නිවන් ලැබීමට වඩාත් සාදාචාර සම්පන්න විය යුතු ය. ඒ සඳහා මේ සමස්තය තුළ ඇති අනිත්‍යතාවය තේරුම් ගත යුතු ය. උදාහරණ දෙකක් පමණක් ගෙන මේ ස්වභාවය මෙසේ විස්තර කළ හැකිය. සාමාන්‍ය ජීවිතයේ දී බොහෝවිට සතර අගතියෙන් ඉවත් විය යුත්තේ සියල්ලෙහිම ඇති අනිත්‍යතාවය නිසාවෙනි. ඡන්දය යනු කැමැත්තය. මෙම කැමැත්ත පමණක් නොව කැමැත්ත කියන චේතනාවට වඩා නිත්‍යත්වයක් නැත. එයද වහවහා වෙනස්වේ. එහෙයින් කැමැත්තෙන් අගතියට හෝ අන්තයට ගොස් තම ජීවිත අපිරිසුදු කර ගැනීම අනුවණකමකි. කෙසේ හෝ කොහොම හරි යමක් ලැබීමට යාමේ දී බොහෝ අකටයුතුකම් සිදු වීම නොවැළැක්විය හැක්කකි. මිනිසුන් එසේ සිදු කරනුයේ අනිත්‍යතාව හඳුනානොගත් බැවිනි. දිනක කැමති වන දෑ නැවත දිනක අකැමැතිවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය නුවණින් දැකීමට නම් අනිත්‍යතාව තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. ද්වේශයද ඒ හා සමානය. මන්දයත් තමන්ගේකම් අනුන්ගෙකම් තාවකාලික බැවිනි. මගේ මගේ යැයි සිතා අනෙකාට වෛරකිරීම නොකළ යුත්තකි. ද්වේෂයෙන් අගතියට යාම නොකළ යුත්තේද සියල්ලෙහි පවතින මෙම අනිත්‍යතාවය නිසාවෙනි.
තනතුරු වරප්‍රසාද, ප්‍රතිලාභ නොලැබේයැයි සිත සත්‍ය පසෙක දමා අසත්‍ය අයහපත් දෙය අනුමත කිරීම භයෙන් අගතියට යාමකි. තම ජීවිතය පවා අනිත්‍ය තත්ත්වයක් තුළ තනතුරු කෙසේවත් නිත්‍ය විය නොහැකිය. එහෙයින් ඒ මත පිහිට භයෙන් අගතියට යන්නේ නම් ඔහු හෝ ඇය ලෝකයේ පවතින අස්ථීරත්වය තේරුම් ගෙන නොමැත. කර්මඵල විශ්වාස කරමින් භයෙන් අගතියට නොයා අපක්ෂපාතීව යමෙක් කටයුතු කරන්නේද? ඒ අනිත්‍යතාවය අවබෝධකරගත් ආර්ය ශ්‍රාවකයෝය. සරලවම මෝහය ලෙස විස්තර වන්නේ අනිත්‍යතාවයෙන් යුතු ලෝකය එසේ යැයි නොදැකීමයි. මෙයින් අගතියට යන්නේ දෙලොව අයහපත ඇතිකර ගනී. ලෝකයෙහි ස්ථිර කිසිවක් නැති බව තේරුම් ගනීනම් ඔවුන් කිසිවිටකත් මෝහයෙන් අගතියට නොයයි. මෙසේ පුද්ගලයා සතර අගතියෙන් ඉවත් විය යුත්තේ වෙනකිසිවක් නිසා නොව ලෝකයේ පවතින වෙනස්වෙන ස්වභාවය හඳුනාගැනීම තුළිනි.
සතර බ්‍රහ්ම විහරණ වැඩිය යුත්තේ ද අනිත්‍යතාව නිසාවෙනි. සැමදාම ලෝකය යම් නිය නිය තියකට අනුව නොවෙනස්ව පවතී නම් සතර බ්‍රහ්ම විහරණ වැඩීමේ ඵලයක් නැත. නමුත් යථාර්ථය මීට වඩා වෙනස්ය. ලෝකයේ ස්වභාවයම වෙනස්වීමයි. එහෙයින්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැඩිය යුතු ය. මනුෂ්‍යයාට මෙන්ම ගහකොළ සතා සිව්පාවාට ආදරයෙන් ලෙන්ගතුව සැලකීම උතුම්ය. වෙනස්වීම ස්වාභාවික නිසාවෙන් ජාති, ආගම්, කුල වැනි පටුභේදගෙන වෛරය වැපිරීම නොකළ යුතු ය. කරුණා මුදිතා ගුණයන්ද එසේමය.
අනන්තගාමී නොවීමත් අටලෝදහමින් කම්පා නොවීමත් උතුම් ගුණධර්මයකි. ලාභ, අලාභ ආදිය වෙනස්විය හැකිය. ඉන් කම්පාවට පත් නොවී මැදහත්ව සිතිය යුත්තේ සියල්ල අනිත්‍ය බැවිනි. අනිත්‍යතාව දරා ගැනීමට නොහැකිවීම මහා විපත් නිර්මාණය වීමට හේතුවේ. අනාගතය පිළිබඳ ඉලක්ක තිබිය යුතු වුවද? එය වෙනස්විය හැකි බව තේරුම්ගත යුතු ය. මෙලෙස සතර බ්‍රහ්ම විහරණ වැඩීම කළ යුත්තේ වෙනස්වීම සනාතන ධර්මය බැවිනි.
ථේරවාදයේ පමණක් නොව මහායානය තුළද අනිත්‍යතාව අවධාරණය කෙරේ. මහායාන ආභිධම්මිකයන්ගේ ශූන්‍යතාවයද එයට කදිම පිළිතුරකි. නාගර්ජුන පාදයන් මෙම වෙනස්වීම පැහැදිලි කරන්නේ මෙසේ ය.
න සංසාරස්‍ය නිර්වාණාත්
කිඤ්චි දස්සි විශේෂණාම්
සසර හෝ නිවනෙහි ආත්ම සංකල්පයක් නැති බවයි. පොදුවේ ගත් කල මුල් බුදු දහමේ දක්වනුයේ නිවන යනු අල්ලා ගැනීමෙන් තොර තත්ත්වයක් ලෙසය. අලගද්ධූපම සූත්‍රයේ දී පවා ධර්මය පහුරකට උපමාකරන්නේ එහෙයිනි. සංයෝජන ධර්මයන් තුළ සක්කාය දිට්ඨිය ලෙස විස්තර වන්නේද පඤ්චස්කන්ධය ආත්ම ලෙස ගැනීමය. එහෙයින් නිවන් මඟට පිවිසීමේ දී නැතිකළ යුතු පළමු සංයෝජනයෙන් පැහැදිලි වන්නේ අනිත්‍යතාව දැන ගැනීම අත්‍යවශ්‍ය බවය.

තුඹස සාරන්න

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය, කන්නිමහර-වතුරුගම

අන්ධ වනයේ රාත්‍රී කාලයේ භාවනා කරන කුමාර කාශ්‍යප තෙරණුවන් සමීපයට ආලෝකය පතුරවමින් පැමිණ එක්‌තරා බ්‍රහ්මරාජයකුගේ ප්‍රකාශයක්‌ ආශ්චර්යන්, බඹයක්‌ පමණ උසට ඇති ජීවන පැවැත්ම හෙවත් ලෝකය නැමති තුඹස සාරා එය අවබෝධ කරගන්නා ආකාරය මනා උපමා උපමේය සහිතව මඡ්ධිම නිකායේ එන වම්මික සූත්‍රයේ විස්‌තර කරයි. වම්මික යනු තුඹසයි.

'මහණ, මහණ රත්‍රියේ දුම්දමන දහවලේ ගිනිගන්නා තුඹසක්‌ ඇත. බ්‍රහ්මණයෙක්‌ මෙසේ කියයි. 'සුමේධය, මෙම තුඹස ආයුධයක්‌ ගෙන සාරව. එසේ සාරන්නා වූ තොප හට පිළිවලින් දොර අගුලක්‌, පුම්බන වර්ගයේ මැඩියෙක්‌, දෙමන් සංන්ධියක්‌, අළු පෙරහනක්‌, ඉඳිබුවෙක්‌, මස්‌කපන කැත්තක්‌ සහ මස්‌ ලොබුවක්‌, මස්‌ වැදැල්ලක්‌ හමුවේවි. ඒ සියල්ලම ගොඩදමා, අවසානයේ හමුවන නාගයා නැගිටුවා නමස්‌කාර කරව'. 

භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් මෙහි අර්ථය පැහැදිලිs කරයිද ඒ ආකාරයෙන්ම පිළිගන්නා ලෙස කුමාර කාශ්‍යප තෙරණුවන්ට දන්වමින්, නැවත බ්‍රහ්මරාජයා බ්‍රහ්ම ලෝකයට වැඩමකරන ලදී.

පසුව තථාගතයන් වහන්සේ ඉහත උපමා මෙසේ සවිස්‌තරව වදාළ සේක. 

තුඹස යනු සතරමහ ධාතුන්ගෙන් සෑදුන මව පියා නිසා පහළවුන ආහාරයෙන් පෝෂණය වන වෙනස්‌වන්නා වූ තමන්ගේ කය හෙවත් රූපය වේ. රාත්‍රියේ දුම්දැමීම නම් හෙට කළ යුතුදේ රාත්‍රී කාලයේදී සිතීමයි. දහවලේ ගිනිගැනීම නම් රාත්‍රියේ සැලසුම් කළ ලෙස දහවලේ වැඩකිරීමයි. බ්‍රාහ්මණයා යනු තථාගතයන් වහන්සේයි. සුමේධ යනු ශේඛ පුද්ගලයායි. එනම් සෝවාන් මාර්ගස්‌ථයාගේ සිට රහත් මාර්ගස්‌ථයා දක්‌වා පුද්ගලයන් සත් දෙනාය. ආයුධය යනු ප්‍රඥාවයි. සාරව යනු විර්යයි. දොර අගුල යනු අවිද්‍යාවයි. පුම්බන වර්ගයේ මැඩියා යනු ක්‍රෝධ උපායාසයයි. දෙමන් සංන්ධිය යනු විචිකිච්ඡාවයි. අළු පෙරහන යනු පංච නීවරණයි. ඉඳිබුවා යනු පංච උපාදානස්‌කන්ධයයි. මස්‌කපන කැත්ත සහ මස්‌ ලොබුව යනු පංච කාමගුණයන් වේ. මස්‌ වැදැල්ල යනු නන්දි රාගයයි. නාගයා යනු රහතන් වහන්සේය.

බුදුපියාණන් වහන්සේ දේශනා කලේ බඹයක්‌ පමණ උසට ඇති මෙම කය මූලික කරගෙන ඇති ජීවිත පැවැත්ම හෙවත් ලෝකය විද (ලෝකවිදූ බුදුගුණය) එනම් ලෝකය සාරා බලා අයහපත් දේ ඉවත් කරමින් ඉදිරියට ගමන් කරන ලෙසයි. එනම් තමා තුළින්ම 'පච්ඡත්තං වේදිතරීබෝ' ලෝක විදූ නැමති බුදුගුණය දැකගෙන අසාර දුක්‌ත ලෝකයෙන් අත මිදෙන ලෙසයි. මෙය ධර්මය තුළින් බුදුන් දැකීමයි. එහිදී ඇතිවන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. මෙසේ ලෝකය අතහැර ලෝකෝත්තර නිවනට ගමන් කරන පුද්ගලයා ආර්ය පුද්ගලයකි. ඔහු බුදුගුණ, දම්ගුණ, සඟ ගුණ දකිමින් මහත් ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේ නමැති බ්‍රාහ්මණයාගේ වචනය අනුව ගමන් කරන්නෙකි. සුමේධය නමැති ශේඛ පුද්ගලයා සාරන්නේ සතරමහ ධාතුන්ගෙන් සෑදුන තුඹසයි. මෙසේ සෑදීමට ආයුධයක්‌ අවශ්‍යය. එය ප්‍රඥාවයි. 'මෙම ධර්මය ප්‍රඥාවන්තයාටයි, මෝඩයාට නොවේ' ලෙස දේශනා කර ඇත්තේ මේ නිසාය. ආයුධය තිබුණත් සාරන්නේ නැත්නම් ඉන් පලක්‌ නැත. සෑරීම යනු වීර්යයි. සිදුහත් තවුසාණන් වහන්සේ වජ්‍රාසනය මත තැම්පත් වී 'මගේ මස්‌ ලේ නහර වියලිලා ගියත් බුදුබව ලබාගෙන මිස මෙම ආසනයෙන් නොනැගිටිමි' ලෙස වීර්ය ගත්හ. එවැනි වීර්යයක්‌ නොමැතිව ලෝකය නමැති තුඹස සෑදිය නොහැක. ටිකක්‌ සාරා 'දැන් ඇති පස්‌සෙ සාරනවා' ලෙස සිතුවහොත් ඉන් කුසීතබව ඇතිවී, ප්‍රමාදය ඇතිවේ. ප්‍රමාදය සසර දික්‌කරන කරුණකි. තමන්ගේ ජීවන පැවැත්ම තුළ රාත්‍රියේදී ඊළඟ දවසේ උයන්න, පිහන්න, වැඩට යන්න, සහ අනෙකුත් කටයුතු ආදී කටයුතු දුම් දමනවා ලෙස සැලසුම් කරනවාද බලන්න. මෙම සියලු සැලසුම් දවල් කාලයේදී ගිනිගන්නවාක්‌ මෙන් ක්‍රියාත්මක කරනවා. යථාර්ථය අවබෝධ කරගැනීමට සෑදිය යුත්තේ මෙම තුඹස ම යි. දැන් ඉතින් සාරන්න.

දැන් අවිද්‍යාව නමැති දොර අගුලක්‌ හමුවෙනවා. අඳුරෙන් එළිය දැකගන්න බැරි මෙම දොර ඇරගන්න බැරි නිසා. සත්‍ය සත්‍යය වශයෙන් පිළිනොගැනීම තමයි දොර අගුල. එනම් චතුරාර්ය සත්‍යයද අවබෝධයෙන් අවිද්‍යාවෙන් මිදිය හැකිය. එනම් සත්‍ය වූ දුක, දුක වශයෙන් දකින පුද්ගලයා දොර අගුල ඉවත් කරයි. 

දැන් ක්‍රෝධ උපායාසය නමැති පුම්බන වර්ගයේ මැඩියා හමුවෙනවා. ඇයි ක්‍රෝධ කරන්නේ. තමන් සිතපු විදියට කිසිවක්‌ සිදුවන්නේ නැතිවුනහම ක්‍රෝධ කරනවා. අප ජාති උනාට පස්‌සේ ජරා ව්‍යාධි වෙනකොට එය දරාගන්න බැහැ. පෙර කය දැන් නෑ. හිස පැහිලා, හම රැලි වැටිලා, දත්වැටිලා දැන් ඉස්‌සර විදියට මොකුත් කරන්න බෑ. කොච්චර ආලේපන ගෑවත් වැඩක්‌ නෑ. උපායාසයට පත්වීම ම යි සිදුවන්නේ. මේ නිසා තමන් සමගත් අන් අය සමගත් කේන්තියෙන් ම යි ජීවත් වෙන්නේ. එමෙන්ම තමන් දැන් රැකියාවට යන්න කැමති නෑ. නමුත් හදාගත්ත ගෙවල් දොරවල් යාන වාහන අඹුදරුවන් ආදී සංස්‌කාර නිසා අකමැත්තෙන් වැඩපල කරයි. මෙහිදී ඇතිවන ක්‍රෝධය නිසාම උපායාසයකට පත්වේ. එය ක්‍රෝධෝපායාස ලෙස හැඳින්වේ. හැමදාම පෙර විදියට ඉන්න බෑ. සියල්ල වෙනස්‌ වෙනවා. සංස්‌කාර බිඳෙනවා. මේ බව අවබෝධයෙන් ක්‌රෝනධ උපායාසයෙන් මිදිය හැකිය. 

ප්‍රඥා ආයුධයෙන් තවත් සාරන විට විචිකිච්ඡාව නැමති දෙමං සන්ධියක්‌ හමුවේ. දැන් කුමන පාරක යා යුතුද? යන ප්‍රශ්නය ඇතිවේ. බුදුපියාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කෙනා ආර්ය අෂ්ඨාංගික මාර්ගය ම තෝරා ගනී. එමෙන්ම එය නියමාකාරයෙන් භාවිත කරයි. තමා තුළින්ම දහම අවබෝධ වන විට මාර්ගය පිළිබද සැක නැතිවේ.

සැකහැර තවත් සාරන විට පංච නීවරණ නැමති අළු පෙරහන මතුවේ. නිවන අහුරන ධර්මතා පහ ඉවත් කළ යුතුය. එනම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ඡ කුක්‌කුච්ඡය, විචිකිච්ඡාව යන බාධකයන්ය. කාමච්ඡන්දය හෙවත් කාමයට ඇති කැමැත්ත නැති කිරීමට අසුභය ද, ව්‍යාපාදය හෙවත් තරහ නැති කිරීමට මෛත්‍රීයද, ථීනමිද්ධය හෙවත් කම්මැලි උදාසීන නිදිමත ස්‌වභාවය නැති කිරීමට ආලෝකය වැඩීම හා වීර්යය ද, උද්ධච්ඡය හෙවත් සිතේ විසිරුන ස්‌වභාවය නැති කිරීමට සතිය ද, පසුතැවීම හෙවත් කුක්‌කුච්ඡය නැති කිරීමට ත් සතිය ද, චිචිකිච්ඡාව හෙවත් සැකය නැති කිරීමට සද්ධාවද ඇතිකරගෙන දියුණු කළ යුතුය. එවිට නීවරණ හෙවත් අළු පෙරහන උදුරා දැමිය හැකිය. 

තවත් තුඹස සාරන විට හමුවන්නේ ඉඳිඹුවා නැමති පංච උපාදානස්‌කන්ධයයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නමැති උපාදානස්‌කන්ධයන් ඉවත් කළ යුතුය. ආධ්‍යාත්මික සහ බාහිර රූප සතර මහ ධාතුන්ගෙන් සෑදුන නිතරම ඇතිවන නැතිවන, පෙණගොඩක්‌ මෙන් හරයක්‌ නොමැති දෙයක්‌ ලෙස සලකා ඉවත් කළ හැකිය. වේදනා ත් (සුඛ, දුක්‌ඛ, අදුක්‌ඛමසුඛ) දිය බුබුලක්‌ ලෙස ඇතිවන නැතිවන දෙයක්‌ සේ සලකා ඉවත් කළ හැකිය. සංඥා සියල්ල මිරිඟුවක්‌ ලෙස සලකා මුලාවෙන් මිදිය හැකිය. සංස්‌කාර කෙසෙල් කඳක්‌ මෙන් සෑදු දේම නැවත සාදා ඇති බවත්, එකිනෙක මත එතී ඇති කෙසෙල් පතුරු ගැලෙව්වාට පසු ඉතිරිවන දෙයක්‌ නොමැති බව අවබෝධයෙන් ඉන් මිදිය හැකිය. එමෙන්ම විඤ්ඤාණය මායාවක්‌ වැනි දෙයක්‌ බවත්, එයද ධාතුවක්‌ බවත්, සත්ය. වශයෙන් නැති දේවල් ඇති වශයෙන් පෙන්වන බවත් අවබෝධයෙන්, එයත් ඉවත් කළ හැකිය.

ප්‍රඥ ආයුධයෙන් තුඹස තවදුරටත් සාරන විට පංච කාමයන් නැමති මස්‌ කපන කැත්ත සහ මස්‌ ලොබුව හමුවේ. ඉෂ්ඨ කාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්‌ඨබ්බ යෝ වේ. මේවායේ අශ්වාදය සහ ආදීනව දැක නිස්‌සරණය කළ හැකිය. ඇසට කණට නාසයට දිවට කයට ස්‌පර්ෂ වන පංච කාමයන් මගේ කියා ගැනීමෙන් ඇතිවන දුක්‌ඛයත්, ඒවායේ ආදීනව දැක අතහැරීමෙන් එයින් මිදිය හැකිය.

තව දුරටත් මෙම තුඹස සෑරීමේ දී නන්දි රාගය නැමති මස්‌ වැදැල්ල හමුවේ. පෙර කාමයන් නැවත පැතීමෙන් ඇතිවන තෘෂ්ණාව නන්දි රාගයයි. නැවත් එසේ පැතුවද පෙර දේ නොලැබෙන බව එනම් පෙර පැවති ස්‌පර්ෂය නැවත නොලැබෙන බව අවබෝධයෙන් මෙයින් මිදිය හැකිය. උදාහරණයක්‌ ලෙස පෙර දැක ඇති රූපයක්‌ නැවත පැතුවත් එම රූපයත්, ඇසත් වෙනස්‌ වී ඇත. අතීත දේ නොමැත. විඤ්ඤාණයෙන් දැනුවත් වී ඇත්තේ ද වෙන රූපයන් වේ. එනම් පෙර විඤ්ඤාණයත් නොමැත. මේ අනුව ඇසත් රූපයත් ගැටෙන සෑම මොහොතකම විඤ්ඤාණයත් මැරි මැරී උපදින බව අවබෝධයෙන්, ස්‌පර්ෂය මගේ කරගත නොහැකි වේගයක්‌ පමණක්‌ බව දකිමින් ස්‌පර්ෂ නිරුද්ධ කර එනම් ඵස්‌ස නිරෝධයෙන් නන්දි රාගය නැති කළ හැකිය.

මෙසේ විඤ්ඤාණය පැවැත්වීමට අවශ්‍ය ආහාර හෙවත් නාමරූප නැතිවූ විට, විඤ්ඤාණයට ආහාර නොමැතිව මියයයි. නැවත විඤ්ඤාණය ප්‍රතිසන්ධි නොවේ. එනම් සසර ගමනක අවසානයයි. නැවත උප්පත්තියක්‌ නැත. අරහත්වයට පත් වේ. මෙසේ තුඹස සාරා අවසානයේ සංස්‌කාර සකස්‌ නොකරන, එහෙත් පෙර කර්මය නිසා ආයුෂ ඇති සෝපéශේෂ නිර්වානයෙන් අරහත්වයට පත් වේ. නාගයා ලෙස අර්ථ දක්‌වා ඇත්තේ උන් වහන්සේය. ආයුෂ අවසානයේ අනුපාදශේෂ නිර්වාණයෙන් උන් වහන්සේ පිරිනිවෙයි.

එනම් රහතන් වහන්සේ 

සොයාගෙන වන වැදීම පසෙක දමා, තමා තුළ ජීවත්වන රහතන් වහන්සේ හෙවත් නාගයා මතුකරගැනීමට ජීවන පැවැත්ම නමෑති තුඹස සෑරීම කිරීමට කාලයයි. මෙම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගනිමු. එනම් සුමේධය, තුඹස ආයුධයක්‌ ගෙන සාරව.

බාලයා සහ පණ්ඩිතයා පිළිබඳව බුදුරජාණන් වහන්සේගේනිර්දේශය විවරණය කෙරෙන

බාල පණ්ඩිත සූත්‍ර දේශනාව

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක 
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අග්ග මහා පණ්ඩිත 
පල්ලත්තර සුමනජෝති නා හිමි
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 වැන්නේ මෙවැනි පොසොන් පුර පොහෝ දිනෙකයි මේ හෙළදිව මිස්සක පවුව මතට අනුබුදු මහා මහින්ද මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, භද්දසාල, සම්බල යන රහත් තෙරවරුන් හා සත් හැවිරිදි රහත් සුමන සාමණේරයන් වහන්සේ සමඟ භණ්ඩුක නම් අනාගාමි කුමාරයා සත්වැනිකොට භාරතයේ විදිසාවෙන් අහසට නැඟී මෙරටට වැඩම කළහ. ‘මිස්සක’ පවුවේ අඹතලාගල අබියසදී උන්වහන්සේට හමු වූ ශ්‍රී ලංකාධීශ්වර “දෙවන පෑ තිස් රජතුමා ඇතුළු පිරිස පඤ්චශීලයෙහි පිහිටුවා” චූල්ලහත්ථී පදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ.” මේ සූත්‍රය දෙසීමෙන් බුදුදහම නොදත් හෙළ රජතුමා සහිත ලක්වැසි ජනතාවට බුදු දහම කියන්නෙ කුමක්ද එහි ඇතුළත් පිළිවෙත් සපිරීමෙන් සසරින් එතෙරව සදාකාලික විමුක්තිය ලැබිය හැකි බව හෙළයන්ට වටහා දුන්හ.
භණ්ඩුක කුමරා පැවිදිව රහත්භාවයට පත් වූයේද මෙදිනමය. ලක්දිව පළමු පැවිද්දාද උන්වහන්සේය. එමෙන් ම සන්ධ්‍යා යාමයෙහි දේශනා කළ සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු මහරහතන් වහන්සේගේ දෙවන ධර්ම දේශනාවයි. එහෙත් එය හෙළයන්ට අසන්නට නො ලැබුණි. එය ඇසුවෝ දෙව්බඹහු වෙති. සැරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍රය දෙසූ අවස්ථාවේ මෙන් ම මේ අවස්ථාවේ ද අපමණ දෙව් බඹ පිරිසක් මිහින්තලයට රැස්වූ බව කියති.
පසුදා උදෑසන මිස්සක පවුවෙන් පිටත්ව සෘද්ධියෙන් අනුරාධපුරයට වැඩි මිහිඳු මා හිමි ප්‍රධාන ධර්ම දූත පිරිස පළමුවෙන් තමන් වහන්සේට මුණ ගැසුණු අනුලා බිසව ප්‍රධාන පන්සියයක් සිංහල කාන්තාවන්ට පේතවත්ථුව, විමානවත්ථුව යන ධර්ම දේශනා පවත්වමින් පව් කිරීමෙන් ලැබෙන අනිටු විපාකත් පින් කිරීමෙන් ලැබෙන ඉෂ්ට විපාකත් පේතවත්ථුවෙන් හා විමාන වත්ථුවෙන් පෙන්නා දුන්හ. බුදුදහම නොදත් හෙළයන්ට කතාන්තර මඟින් දෙසූ මේ ධර්මය මැනවින් වටහා ගත හැකිවූවා නිසැකය. ඉන්පසු ‘සච්චසංයුතය’ දෙසා බුදු දහමේ පරමාර්ථය (නිවන) ඔවුනට වටහා දුන්හ. එය ඇසූ ස්ත්‍රීන්ගෙන් අනුලා බිසව සෝවාන් වූ බව සඳහන් වීමෙන් එදා මෙරට කාන්තාවන් පවා කොතරම් බුද්ධිමත් පිරිසක් වූවා දැයි වටහා ගත හැකිය. දෙවන දිනයෙහි රැස් වූ විශාල පිරිසට දේවදූත සූත්‍රයෙන් දම්දෙසුවේ මඟුලැත්හලේදීයි. එදින දහස් සංඛ්‍යාත ජනතාව සෝවාන් වූ බව සඳහන් වෙයි. අනතුරුව එදිනම නන්දවන උයනට රැස්වූ දහස් සංඛ්‍යාත ජනතාවට මිහිඳු මහරහතන් වහන්සේ දෙසුවේ “බාල පණ්ඩිත” සූත්‍ර දේශනාවයි. මා මේ ලිපියෙන් මුඛ්‍ය වශයෙන් අදහස් කරන්නේ බාල පණ්ඩිත සූත්‍රයෙහි ඇතුළත් කරුණු සංකේෂයෙන් ඉදිරිපත් කිරීමටයි.
‘තීනිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛණානි’ බාල නිමිත්තානි, බලාප දානානි, කතමානි තීනි? ඉධ භික්ඛවේ බාලො දුච්චින්තික චින්තීහොති, දුබ්භාසිත හාසී, අක්කත කම්මකාරී’ ආදී වශයෙන් ආරම්භ කරන බාල පණ්ඩිත සූත්‍රයේ මුල් කොටසින් දේශනා කෙරෙන්නේ බාලයා හෙවත් අනුවණයා පිළිබඳවයි. බාලයාගේ (මෝඩයාගේ) බාල ලක්ෂණ තුනක් තියෙන බව වදාරණ බුදුරජාණන් වහන්සේ ඔහුගේ සිතිවිලි අභිධ්‍යාවෙන් ව්‍යාපාදයෙන් මිථ්‍යා දර්ශනයෙන් වැරදි පිළිගැනීම්, වැරදි විශ්වාසවලින් හා වැරදි සිතිවිලිවලින් යුක්ත වන බව වදාරති. බාලයා හඳුනා ගත හැකි බාල චරිත ලක්ෂණ ඉහත කී කරුණු තුනෙන් හෙළිවෙයි. බාලයාගේ චෛතසික ස්වභාවයයි මෙයින් කීයේ.
දෙවන ලක්ෂණය නම් බාලයා කරන කතා නැත්නම් ඔහුගේ කීම් බිණීම් දූෂිතයි. ඔහු කතා කරන්නේ මුසා, කේලම්, පරුෂ වචන හා නිරර්ථක එලොවටත් මෙලොවටත් නැති සම්ඵප්පලාපයි හෙවත් හිස් වචනයි. තෙවනුවට (දුක්කත කම්මකාරි) බාලයා කරන්නේ ප්‍රාණ ඝාත අදත්තාදාන (නුදුන් දෑ ගැනීම) කාම මිථ්‍යාචාර හෙවත් වැරදි ස්ත්‍රී පුරුෂ සංසර්ගය යන කයින් කරන දුශ්චරිත ක්‍රියා යි. බුදුහාමුදුරුවෝ වදාරනවා බාලයා තිදොරින් මෙවැනි දුෂ්චරිත ක්‍රියා නොකරනවා නම් මොහු බාලයෙක්ය කියල නුවණැත්තන්ට දැන ගන්න ක්‍රමයක් නැති බව. එසේම මොහු අසද්පුරුෂයෙක්ය කියල දැනගන්න ක්‍රමයක් නැති බව. එසේ නම් යමෙක් මෝඩයෙක්යයි හඳුනා ගැනීමේ ලක්ෂණ තමයි ඔහු සිතින් කයින්, වදනින් යන තිදොරින්ම ඉහත කී දුසිරිත්වල යෙදෙන්නෙක් වීම.
අනතුරුව බුදුරජාණන් වහන්සේ මහණෙනි. ඒ බාලයා ඉහාත්මයේදී ම එනම් මෙලොවදීම ත්‍රිවිධාකාර දුකකට දොම්නසකට (සිතින් විඳින දුක්) භාජන වෙන බව වදාළේය. ඒ අවස්ථාව මෙසේ විස්තරකර වදාළ. 1. බාලයා සභාවක හෝ වීදියක සිටින විට හෝ හන්දියක සිටින විට හෝ එතන සිටින වෙනත් ජනයා කායික වාචසික, මානසික දුශ්චරිත ක්‍රියා පිළිබඳ කතා සල්ලාපයක යෙදෙනව. වෛර කිරීමේ ආදීනව වශයෙන් මෙලොවදි පරලොවදි එයට ලැබෙන කටුක විපාක පිළිබඳව ඒ පිරිසේ අය කතා කරනව. එම මහජනයා නරක කතාව පසෙක සිටින එම වැරදි කළ පව්කාරයාත් අසා සිටිනව. ඔහුට එවිට හිතෙනව මේ කතාකරන පාපක්‍රියා එකක් දෙකක් හෝ පහම හෝ මා කර තියෙනව නේ. ඒ පාප ධර්ම තුළ මා සිටිනව. එසේ සිතා ඔබහට මහ දුකක් දොම්නසක් සිතේ හටගන්නව. මේ තමයි බාලයා තමා කළ පාපක්‍රියා සිහි වී දුකට දොම්නසට මෙලොවදී ම පත්වන පළමු වන අවස්ථාව. 2. දෙවන අවස්ථාව නම්, බාලයාට දකින්න ලැබෙනව සොරකම් කරපු බාලයකු නීතියේ රැහැනට හසු වී රජු වෙතට ගෙන ගොස් වැරදිකරුවී නානාප්‍රකාර දඬුවම් පමුණුවනව.
එකල පැවැති දඬුවම් රාශියකි. දෙතිස් වදයි. එයින් කීපයක් නම්, කසයෙන් තලනව, වේවැල්වලින් තලනව, දඬුපතුරකින් තලනව, අතක් පයක් හෝ දෑත් දෙපා කපනව. කන් නාසාදිය කපනව, හිස් කටුව ගලවල රත්කළ ගලක් හෝ යකඩ ගුලියක් හෝ ඇතුළට දමා මොළය උණුකරනව. මේ ආදී දෙතිස් වද දෙනව. බාලයා බලන් සිට හිතනව අහෝ මාත් රජුට අසු වුවොත් මටත් මේ වද විඳින්න වෙනවා නේද? කියල හිතල මේ පාපී පුද්ගලයා මෙලොවදීම දෙවනවරට දුකට දොම්නසට පත්වෙනවා.
3. තුන්වනුව පව්කාර බාලයා එක් තැනකට වී පුටුවක වාඩිවී හෝ සයනයක හෝ බිම හෝ සයනයක සිටිනවිට ඔහු පෙර කාලයෙහි තමා කළ කායික, වාචසික, මානසික පාපකර්ම සිහිපත් වෙනව. විවේකව ඉන්න කොට ඒවා හිතට නැඟෙනව. තමා කළ දුශ්චරිත ක්‍රියා ඔහුට පෙනෙනව හිසට උඩින් එල්ලෙනව වගෙ. විශේෂයෙන් එල්ලෙනව. එහාට මෙහාට පෙරළෙනව වගේ මහණෙනි, හරියට මහා ගල් පර්වත කුටවල සෙවනැළි සවස් යාමයෙහි පොළොව පැතිරිල සෙලවෙමින් තියෙනව වගෙ පුටුවක හෝ ඇඳක හෝ බිම හෝ වැතිරිල සිටින පව්කාර බාලයට තමන් පුළුවන් කාලෙ කරපු දුශ්චරිත ක්‍රියා සිතින් දකින්නට ලැබෙනව. මේ බාලයා මෙලොවදී දුකට දොම්නසට පත්වන තෙවෙනි අවස්ථාව. සිතට මේ අදහස් නැඟෙන විට බාලයා හෙවත් පව්කාර මෝඩයා මෙහෙම සිතෙනව. අපට මේවා සිහිවෙන්නේ බැරිවුණම “කරන කලට පව් මීරිය මී සේ” කියේ එයයි. මධුවා මඤ්ඤති බාලො යාව පාපංනපච්චති බුදුන් එය වදාළ බව සිහි කරන්න. විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ, අනේ අපොයි මා යහපත් දෑ කළේ නැහැ නේද? කුසල් කළේ නැහැ නේ? බයෙන් මිදීමට අවශ්‍ය දෑ (පින්) කළේ නැහැ නේ? පව්මයි කළේ. රුදුරු ක්‍රියා මයි කළේ. කළේම අපරාධමයි. බියෙන් මිදෙන යමක් කළේම නැහැ. පාපකාරී රුදුරු සාපරාධී ක්‍රියාමයි කළේ. එවැනි පාපකාරී ක්‍රියා කරපු තැනැත්තා මළ පසුත් යම් තැනක (සතර අපායෙහි) උපදිනවා නම් මාද එබඳු පව්කම් කළ අයෙකු නිසා මාත් උපදින්නේ එබඳු ගතියක (අපායෙ) යි. මෙසේ සිතන පව්කාරයා මොලොව දීම ශෝකවෙයි.
ක්ලාන්ත වෙයි. කඳුළු වගුරුවමින් හඬයි. පපුවෙ අත්ගසා ගෙන හඬයි. සිහිමුළාවට පත් වෙයි. මහණෙනි. බාලයා දුකට දොම්නසට ඉහාත්මයේදීම පත් වන තෙ වන අවස්ථාවයි මේ .යනුවෙන් බුදුන් වදාළහ.
මහණෙනි, ඒ බාලයා තිදොරින්ම දුසිරිත් කොට මරණින් පසු සැපනැති නපුරු උපතක් ඇති නිරයෙහි උපදියි. මහණෙනි, එතැන පිළිබඳව නිවැරදිව කියනව නම් එය ඒකාන්තයෙන් අයහපත්ය. ඒකාන්තයෙන් සිත් නොඅලවන්නකි. එබඳු නරකයකයි උපදින්නේ. මහණෙනි, නිරයෙහි ඇති දුක් පිළිබඳව උපමාවකින් වත් වටහා දීම පහසු නොවේ. යයි බුදුන් වහන්සේ වදාළ විට එක්තරා භික්ෂුවක් බුදුන්ගෙන් ඇසුව ස්වාමීනි, උපමාවක්වත් දක්වන්න පුළුවන් ද කියල. හැකියයි වදාළ බුදුන්වහන්සේ මෙසේ වදාළ සේක. මහණ, හොරෙකු අල්ලල රජු වෙතට ගෙන ගොස් ස්වාමිනි, මොහුට දඬුවම් දෙන්නැයි රාජ පුරුෂයන් කී විට මොහු ගෙන ගොස් පෙරවරු කාලයෙහි අඩයටි සියයකින් එක් තැනකට පහර දෙකක් නොවදින සේ පහර දෙන්න යයි රජය නියම කරයි.
එසේ පහරදුන් පසු තවදුරටත් ජීවත් වන්නේ නම් මධ්‍යාහ්නයෙහි ද අඩයටි සීයකින් පහර දෙන්න යයි නියම කරයි. තවමත් ඔහු ජීවත් වේ නම් සවස් කාලයෙහි ද එසේම අඩයටි සියයකින් දෙන්න යයි නියම කරයි. මහණ එමෙන් අඩයටී තුන්සියයකින් පහර ලබන ඒ සොරා එම පහර ලැබීම නිසා කවර තරමේ දුකක් දොම්නසක් විඳින්නේ ද?
ස්වාමීනි, එම අඩයටියකින් එක් පහරක් වැදීම නිසා බාලයා මොනතරම් වේදනා සහගත දුකක් දොම්නසක් විඳී ද එම එක පහර පවා අපමණ දුක් දොම්නස් උපදවන්නකි.
එසේ නිසා ස්වාමීනි, අඩයටි තුන්සියයක පහර කොතරම් දුක්ඛ සහගත දැයි කියනුම කවරේදැයි එම භික්ෂුව කීය. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ මිටින් ගතහැකි කුඩා ගල්කැටයක් අතට ගෙන ඇසුව, මහණෙනි, මේ ගල්කැටයක් හිමාලය පර්වතයත් දෙකින් වඩා විශාල කුමක්ද? එවිට භික්ෂුව කීව ස්වාමිනී අතින් ගත් ගල්කැටය හිමාලය පර්වතය හා සිය දහසකින්වත් සමාන කළ නොහැකි බව. මහණෙනි, අඩයටි තුන්සියයකින් පහර දෙන විට අතිවන වේදනාව නිරිසතකු විඳින දුක හා සසඳන විට සිය දහසකටවත් සමාන නොවේ. බලන කෙනෙකුට එය පෙනෙන තරම්වත් නොවේ. එතරම් සුළු දුකකි. දොම්නසයකි යි වදාළහ.
මෙසේ වදාළ බුදුහු යළිත් ඒ පාපී නිරිසතා අල්ලා ගත් නිරයපාලකයන් ඔහුට දෙන වද පිළිබඳව මෙතැන සිට නිරා දුක් විස්තර කරන බුදුරජාණන් වහන්සේ මෙලොවින් නිරයට ගිය පව්කාරයා අල්ලා ගන්නා නිරයපාලකයෝ යහුල්වලින් අනිමින්, පඤ්ච බන්ධන කෙටේරි ආදියෙන් යැසීස, ගිනිගත් අඟුරු පර්වතයට නැංවීම, බැස්වීම, පා උඩට සිටිනසේ හිස පහළට හරවා පැහෙන ලෝහ තලියක දැමීම, එහි දිගු කලක් උඩට යටට හරහට එමින් පැසෙමින් දුක්විඳීම, අනතුරුව කොන් හතරක් ඇති දොරටු හතරකින් යුත් කොටස්වලට බෙදූ ලෝ පවුරින් වට වූ මහා නරකයෙහි දමනව. මේ ආදී වශයෙන් නරකයෙහිදී විඳින්නට ලැබෙන දුක් ගැන කියල නිම කරන්න බැහැ යි බුදුන් වදාළහ.
මෙසේ අප්‍රමාණ කාලයක් නිරා දුක් විඳි නිරිසතා කවදා හෝ නිරා දුක්වලින් මිදී අවුත් තෘණ බුදින ගව, කොටළු, එළු, මුව ආදී සතුන් වෙලත් අසූචි අනුභව කරන කුකුළු, බලු, හූරු, හිවල්, ආදී සතුන්වෙලා උපදිනව. එතනින් මැරිල අඳුරෙහි ඉපදිල අඳුරෙහිම මියයන පණුවො. ගැඩවිල්ලු, ආදී සතුන්වෙල උපදිනව. එතනින් මැරිල අවුත් දියෙහි ඉපදිල දියෙහිම මැරෙන මාළු, කැස්බො, කිඹුල්ලු, ආදී සතුන්වෙල උපදිනව. එතනින් අවුත් අසූචිවල ඉපදිල අසුචිවලම මිය යන කුණු මස්වල ඉදිල එහිම මිය යන මඩගොහොරුවල ඉපදිල එහිම මිය යන පණුවන් ආදී වශයෙන් විවිධ ආත්මවල උපදවල දුක් වින්දවනව අර පව්කාරයට. මෙසේ තිරිසන් යෝනිවල උපත පිළිබඳවත් කියයුතු බොහෝ දේ තිබෙන බව වදාළ බුදුන් වහන්සේ ඒ පව්කාරයා යළිත් මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ ඉතාම අමාරුවෙන් කල්ප ගණනකට පසුව බව උපමාවකින් මෙසේ වදාළා. මහණෙනි, කිසියම් පුද්ගලයෙක් එක සිදුරක් සහිත වියගහක් මුහුදට දමනව. ඒක සුළඟින් ඒ මේ අතට පා වෙවී තියෙනව .මේ අතර මූදේ කණ කැස්බෑවෙන් පීන පීන ඉන්න අතර වසර දහසකින් හෝ වසර සියක් දහසකින් හෝ එක් වරක් ගැඹුරු මූදේ සිට උඩට මතුවෙනවා. මහණෙනි ඒ කැස්බෑවා අර එක සිදුරක් තිබෙන විය දණ්ඩේ සිදුර තුළට උගේ බෙල්ල ඇතුල් කරගන්න සමත් වේද? යි බුදුන් ඇසුවම භික්ෂූන් කීව, ස්වාමීනි එය කළ නොහැකියි කියල. හැබැයි මහණෙනි, කවදා හෝ එය වෙන්නත් පුළුවනියි වදාරළ, මහණෙනි, එම සිද්ධිය ඉතාම සුළු සිද්ධියක්. මහණෙනි, එයටත් වඩා ඉතාම දුර්ලභ සිද්ධියක් තමයි නිරාගත ව සිටි පාපතරයකුට යළිත් මනුෂ්‍යාත්මභාවයක් ලබනවයි කියන කරුණ. මහණෙනි, ඔහු මිනිසත් බවක් ලැබුවත් උපදින්නෙ වැදි සැඬොල් කුළුපොතු, රිසවඩු ආදී පහත් කුලයක දිළින්දකුව. එසේම ඔහු අවලක්ෂණ වෙනව. අංග විකලයෙකු වෙනව. ගොළුවෙක් වෙනව. පිළෙක් වෙනව. මේ පව්කාරයා මේ ආත්මයේදී තිදොරින් දුසිරිත් කරයි. මැරී යළිත් සතර අපායේම උපදියි. මහණෙනි, හරියට සූදුවෙන් පරාජය වූ පුද්ගලයෙක් පළමු වාරයේම තම පුතාගෙනුත් බිරිඳගෙනුත් සියලු සැප සම්පත්වලිනුත් පිරිහී ඔහු වධබන්ධනයට අසුවී විනාශ වීම සුළු දෙයකි. මේ පනවා යළිත් පව්කම් කොටත් නරකයෙහි ඉපදීම අර සූදුකාරයාගේ පිරිහීම සමඟ සසඳනවිට සූදුකාරයාගේ පිරිහීම ඉතාම සුළු කරුණකි. මහණෙනි, නරකය නම් සර්වප්‍රකාරයෙන් ම දුකකින්ම යුක්ත වූ බාල ( පහත් අතිශය දුක්ඛසහගත) භූමියකැයි බුදුරජාණන් වහන්සේ වදාළ. මේ දේශනාව අනුව පව්කාරයා මනුෂ්‍යයකුව උපන්නත් ජීවත් වන්නේ කාලකන්නි වශයෙනි. යළිත් ඔහු මැරී උපදින්නේ සතර අපායෙහිය. එයින් ආවත් තිරිසන් ජාතියක උපදියි. යළිත් එයින් ආවත් කාලකන්නි මනුෂ්‍යයකුව උපදියි. හේ යළිත් පව්කොට, යළිත් නරකයට ම යයි. මෙසේ බලන විට පව්කාරයාට සසරින් මිදීමත්, යහපත් මිනිස් බවක් ලැබීමක් නිවන් දැකීමක් ගැන සිතන්නට වත් නොහැකිය.” දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං දීඝො බාලානං සංසාරොසද්ධම්මං අවිජාතතං’ යි වදාළ පරිදි නින්ද නොයන්නාට රාත්‍රිය දිග වන්නා සේද වෙහෙසට පත්වුහුට යොදුන ඉතා දුර සේද හැඟෙන්නාක් මෙන්ද බුදුදහම නොදත් පව්කාර මිසදිටු බාලයාට සසර ද ඉතා දිග බව බුදුරජාණන් වහන්සේ ඉහත ගාථාවෙන් වදාළ සේක.
අනතුරුව පණ්ඩිතයාගේ ලක්ෂණ දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. මහණෙනි, පණ්ඩිතයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. ඔහු යහපත් දේ සිතනවා. ඔහු යහපත් දේ කතා කරනවා. ඔහු යහපත් දේ කරනවා. පණ්ඩිතයා එසේ නොවේනම් ඔහු සත්පුරුෂ නුවණැත්තෙකියි නුවණැත්තන්ට දැන ගන්න ක්‍රමයක් නැහැ. පණ්ඩිතයා සිතන කියන කරන දෑ යහපත් නිසයි සෙස්සන් ඔහු පණ්ඩිතයෙකැයි සත් පුරුෂයෙකැයි හඳුනා ගන්නෙ කියා වදාළ. මොහු මෙලොවදීම තෙ වැදෑරුම් සැපයක් සොම්නසක් ලබනව. පෙර බාලයා ගැන කීවා මෙන් මොහුද පිරිසක් අතර සිටින අවස්ථාවක කයින් කරන වැරදි ගැන කතා කරන සෙසු අය මේ වැරදිවලින් වැළකී සිටීමේ ආනිසංස කතා කරනව අහල පණ්ඩිතය හිතනව. මා ළඟ මේ වැරදි නැහැ. මා තුළ තියෙන්නෙ ඔවුන් කියන යහපත් ගුණයි. යහපත් ධර්මයයි. මම ඒ ධර්ම පිළිපදින්නෙක්මියි සිතා නුවණැති පණ්ඩිතයා පළමුව මෙලොවදීම සුවයක් සොම්නසක් විඳිනව. දෙවනුව සොරෙක් අල්ලාගෙන ගොස් රජුට භාර කළාම රජු ඔහුට (පෙරකී පරිදි) දඬුවම් දෙවනව. මෙය දකින පණ්ඩිතයා හිතනව මා නම් මේව කරල නැහැ. ඒ නිසා මට මෙවැනි වද විඳින්න වෙන්නෙ නැහැ. එසේ සිතා පණ්ඩිතයා සැපයක් සොම්නසක් විඳිනව. තෙවනුව පණ්ඩිතයා පෙර කී පරිදි විවේකව සිටින විට ඔහුට තමා කරපු යහපත් ක්‍රියා සිහිවෙනව. පවුවකට වැටෙන ඉරු එළිය නිසා පර්වතයේ ඡායාව පොළොවෙහි පැතිරල විශාල වෙමින් යන්න වගෙ විවේකව අසුනක සිටින පණ්ඩිතයාට තමා පෙර කළ කී යහපත් දේ සිතේ පැතිරී යනව. ඒ නිසා ඔහු හිතනව මා මරණින් පසු දුගතියක උපදින්නෙ නැහැ. ඒ නිසා මට ශෝකවන්න දුක්වන්න හේතුවක් නැහැ. හඬන්න වැළපෙන්න, පපුවෙ අත් ගසා ගනිමින් හඬන්න. සිහි විකල් වන්න හේතුවක් නැහැ යනුවෙන් සිතා පණ්ඩිතයා මෙලොවදීම සැපයට සොම්නසට පත් වෙනවා.
තවදුරටත් බුදුන් වදාරනව මහණෙනි, පණ්ඩිතයා නායාදී තිදොරින් සුචරිතවත් දෑ කරමින් සිට මළ පසු ඒ පිනින් එන දිව්‍ය, මනුෂ්‍ය සුගතියකයි උපදින්නෙ කියල සතුටු වෙනව. සුගතිය ඒකාන්තයෙන්ම යහපත්. ඒකාන්තයෙන් ම වෙන්නයි. ඒකාන්තයෙන්ම මනාපයි. ඒ සුග සුව උපමාවකින්වත් කීම උගහටයි කියා වදාළම එක්තරා භික්ෂුවක් ඇසුව ස්වාමීනි, උපමාවකින් හඳුන්වන්න පුළුවන්ද කියල. පුළුවනි, මහණ යයි වදාළ බුදු හාමුදුරුවො වදාරනව. මහණෙනි, සක්විති රජ කෙනෙක් සප්ත විධ රත්නවලින් යුතුව හා සිව්වැදෑරුම් සෘද්ධිවලින් යුතුව කිසියම් සැපයක් සතුටක් විඳිනව නම් එම සැප හා දෙව් සැප සසඳන විට දෙව්සැපවලින් සොළොස් කලාව පමණ වත් සක්විති සැප වටින්නෙ නැහැ. අනතුරුව බුදුරජාණන් වහන්සේ සක්විති රජකු විඳින සැප දේශනා කරමින් වදාළ මහණෙනි, ක්ෂත්‍රිය රජෙක් පුර පසළොස්වක දිනයක ස්නානය කොට සිල්සමාදන්ව මාලිගයෙහි මතු මහලෙයි සිටිනවිට චක්‍රරත්නයක් පහළ වෙනව. එවිට ඔහු කෙණ්ඩියකට පැන් ගෙන වක්කරමින් පින් ඇති චක්‍රරත්නයෙහි පෙරළී ගොස් මේ පෘථිවිය මට දිනා දෙන්න කියල යාඥා කරනව. එවිට රජුත් සමඟ චක්‍රරත්නය පෙරදිග ආදී ඒ ඒ දිශාවලට ගොස් ඒ ඒ රාජ්‍යවලට බහිනව. ඒ ඒ රාජ්‍යවල රජවරු එන්න මහරජ, ඔබට සුභාගමනයක් වේවා. මහරජ මේරට ඔබේය. මහරජ අපට, අනුශාසනා කරන්න. යයි කියති. එවිට සක්විති රජ ප්‍රාණඝාතාදී පස් පව් නොකරන්න. පෙර රටපාලනය කළ පරිදි ම තම රට පාලනය කරන්නැයි කියයි. මෙසේ හතර දිසාවටම ගොස් ඒ ඒ රජුන්ට අවවාද දී සමුද්‍රය කෙළවරකොට සියලු පෘථිවිය ජය ගෙන පෙරළා සිය රාජ්‍යයට පැමිණ සිටින විට හත්ථි රත්නය, අස්සරත්නය, මණිරත්නය, ඉත්ථිරත්නය, ගහපති රත්නය, පරිණායක රත්නය, රක්තභය යන චක්‍රරත්නයට අමතවර හතක් පහළ වෙනව. (මේ පිළිබඳ විස්තර සූත්‍රයෙන් කියවිය හැකියි)
එසේ වදාළ බුදුන් වහන්සේ අනතුරුව වදාරනව මහණෙනි, සක්විති රජුගේ සෘද්ධි හෙවත් විශේෂතා හතරක් තියෙනව. එනම්, 1. මේ ලෝකයෙහි සෙසු මනුෂ්‍යයටන් වඩා ඉතා විශිෂ්ට රූප සම්පත්තියෙන් යුක්තවීම, 2. ඉතාම දීර්ඝායුෂ වීම, 3. ඉතාම නිරෝගී වීම, 4. බ්‍රාහ්මණ ගෘහපතින්ට පි‍්‍රයවීම, සක්විති රජු දකින්නට පැමිණි බමුණන් රජ්ජුරුවන්ට කියනව මහරජ අප ඔබතුමා දකින්නයි ආවෙ. ඔබතුමා වැඩිවේලාවක් අපට දැක ගැනීමට හැකිවනසේ යුහුසුළුව නොගොස් සෙමින් සෙමින් ගමන් කරන්න කියල. මෙම සෘද්ධි හතරෙන් සක්විති රජුමත්විතයයි බුදුන් වදාළ. මහණෙනි, මේ සප්තවිධ රත්නයෙනුත් සිව් වැදෑරුම් සෘද්ධියෙනුත් ඔහු කවර තරම් සුවයක් සොම්නසක් විඳිනවදැ යි බුදුන් භික්ෂූන්ගෙන් ඇසූවිට ස්වාමීනි එයින් එක් රත්නයකින් හා එක් සෘද්ධියකින් පමණක් ඔහු විඳින සුවය සොම්නස අපමණයි. මේ සියල්ලෙන්ම ඔහු විඳින සුවය සොම්නස පිළිබඳ කියයුතු කවරේදැයි සක්විති සැප ලද උදාරත්වය භික්ෂූහු ප්‍රකාශ කළහ. එවිට බුදුන් වහන්සේ යළිත් ගල්කැටයක් අතට ගෙන හිමාලය පර්වතය හා සසඳනවිට මෙය කෙබඳුදැයි විමසූ විට භික්ෂූන් පෙර මෙන්ම ප්‍රකාශ කළ ස්වාමීනි ඔබවහන්සේගේ අතින් ගත් ගල්කැටය ඉතාම අල්ප බව. එවිට බුදුන් වදාරනව මහණෙනි, මෙ බඳු සප්තරත්න හා සිවු සෘද්ධිය හේතු කොට සක්විති රජු විඳින අපමණ වූ සුවය හා සොම්නස දිව්‍ය සැපය හා සැසඳීමටවත් නුසුදුසු ය. සක්විති සැප දෙව්සැපවලින් සිය දහස් කළාවක් පමණට වත් සසැඳිය නොහැකියි වදාළ. දිව්‍ය සම්පත් හා මිනිස් ලොව සක්විති රාජ සම්පත් දෙක සසඳන විට මිනිස් ලොව ඉහළම සැපත වන සක්විති රාජ සම්පත පවා ඉතාම අල්ප බව මෙයින් වැටහෙනවා.
තවදුරටත් බුදුන් වදාරනව මිනිස් ලොවදී ශීලාදී ගුණ ධර්ම පිරූ නුවණින් පුද්ගලයා මරණින් පසු දෙව්ලොවක ඉපිද එහි අපමණ සැප විඳූ එයින් චුතව මිනිසත් බවක් ලබන්නේ නම් ක්ෂත්‍රිය, බ්‍රහ්මණාදී උතුම් කුලයක ඉපිද පඤ්ච කාම සම්පත් විඳිමින් දාන ශීලාදී පින් දහම් කොට සුචරිතයෙහි හැසිර මරණින් පසු යළිත් දෙව්ලොව ඉපිද දිවා සැප සම්පත් විඳියි. මෙසේ සැප විඳිමින් කරන ලද පුණ්‍ය ශක්තියෙන් සසර සැරිසරන ඥාණවන්ත පුද්ගලයා පාපී ඥාන පුද්ගලයන් මෙන් දිට්ඨ ධම්ම වශයෙන් හා සම්පරායික වශයෙන් සසර අනාදිමත් කාලයක් දුක් නොවිඳ දෙව් මිනිස් ආදී සහ සැප විඳිමින් සසර කෙටි කරගෙන දිට්ඨ ධම්මික හා සම්පරායික වශයෙන් ලෞකික සැප සොම්නස් විඳ කිසියම් බුද්ධාන්තරයකදී ලෝකෝත්තර තත්ත්වයට පැමිණ නිර්වාණාවබෝධයෙන් සසර ගමන කෙළවර කරයි.
නිරා විස්තර හා දෙව් ලෝ විස්තර වඩාත් සවිස්තරව දැන ගනු කැමැත්තෝ මජ්ඣිම නිකායේ මුල පණ්ණාසක යේ 13 සුඤ්ඤත වගැ 129 වන බාල පණ්ඩිත සූත්‍රය හා මනොරථ පූරණී ( ම.නි.අට්ඨ කතාව) කියවන්න.
පුත් මංසං කුසග්ගෙන යො නරො උපනඨහති 
තුසාපි පූති වාහන්ති එවං බාලූපසෙවනා

කුණු වී දුගඳ හමන මස් දවටන ලද කුශ තන පවා දුගඳ හමන්නා සේ බාලයා ඇසුරු කරන පුද්ගලයා ද බාලයකු හෙවත් පව්කාරීයක් වී දෙලොවින් ම පිරිහේ.