ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ලෝකපාලක ධර්ම

ලෝකය පාලනය කරන කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් හෝ සර්ව බලධාරී පුද්ගලයෙකු පිළිබඳ විශ්වාසය බුදුසමයෙන් ප්‍රතික්ෂේප වේ. ඒ වෙනුවට ලොව පාලනය කරන සදාචාර ප්‍රතිපත්ති දෙකක් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා තිබේ. එම සදාචාර ප්‍රතිපත්ති ලෝකපාලක ධර්ම ලෙස නම්කර ඇත. එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ දේශනා කළහ.
‘මහණෙනි සුදු ධර්ම (සුක්කා ධම්මා) දෙකක් ලෝකය පාලනය කරයි. ඒ කවරේද ලජ්ජාව (පවට ලජ්ජා වීම) හා බියයි (පවට බිය වීම) මහණෙනි, මෙම සුදු ධර්ම විසින් ලෝකය පාලනය නොවන විට, ලෝකයෙහි මව යැයි කියා හෝ සුළු මව යැයි කියා හෝ නැන්දණියයි කියා හෝ ගුරුවරයාගේ භාර්යාව කියා යැයි හෝ ගරු කටයුත්තන්ගේ භාර්යාවෝ යැයි කියා වෙනසක් නොපෙනේ. ලෝ වැසියා එළුවන්, කුකුළන් හා ඌරන් සේද, සුනඛයන් හා සිවල්ලු මෙන්ද සදාචාර සීමාවන් ඉක්මවත්.
ඉතිවුත්තක පාලියේ දැක්වෙන මෙම බුද්ධ දේශනාවෙන් ඉදිරිපත් කරන කරුණු වර්තමාන සදාචාර පරිහානිය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන් වැදගත් වේ. ලෝක පාලක සුදු ධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලජ්ජාව (හිරි) හා බිය (ඔත්තප්ප) යන දෙකයි. මෙම සදාචාර ධර්ම සුදු යනුවෙන් හඳුන්වන්නේ වර්ණය පදනම්කරගෙන නොව සිත හෙවත් මනස පිරිසුදු කරන ධර්ම යන අර්ථයෙන්ය. පවට දක්වන ලජ්ජාව හා බිය මානසික දියුණුවේ ප්‍රතිඵලයකි. එසේම නීරෝගී මනසක් සහිත පුද්ගලයෙක් හඳුනාගැනීමට තිබෙන එක් නිර්ණායකයකි. වැරැදි කිරීමට පෙර තමා ගැන සිතීමෙන් ලජ්ජාවත් ලෝකය ගැන සිතීමෙන් බියත් ඇතිකරගත යුතු වේ. එබැවින් ලජ්ජාව ආත්මය හෙවත් තමා අධිපතිකොට පවතින ධර්මතාවක් වන අතර බිය ලෝකය අධිපතිකොට පවතින්නකි. මේ අනුව පුද්ගලයා මෙන්ම ලෝකය පාලනය කරන සදාචාර ධර්ම දෙකක් ලෙස ලජ්ජාව හි බිය දැක්විය හැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමා අධිපතිකොටගත් ලජ්ජාවත් ලෝකය අධිපතිකොටගත් බියත් නොමැති වූ විට පුද්ගලයා සදාචාරය ප්‍රතික්ෂේප කොට මව, සුළු මව, නැන්දනිය, ගුරු භාර්යාව හා වැදගත් කාන්තාවන් කෙරෙහි වරදවා පිළිපදින බවයි. මෙසේ වරදවා පිළිපැදීම යනුවෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ අනාචාරයේ හැසිරීමයි. පවට ලජ්ජාව හා බිය නොමැති වූ විට පුද්ගලයා හැසිරෙන්නේ එළුවන්, කුකුළන්, ඌරන්, සුනඛයන් හා සිවලුන් වැනි තිරිසන් සතුන් හැසිරෙන ආකාරයට බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එදිනෙදා විවිධ මාධ්‍යවලින් අසන්නට හා දකින්නට ලැබෙන පුවත් පිළිබඳ අවධානය යොමුකළ විට බුදුරදුන්ගේ මෙම අදහස තහවුරු වේ. සියලු සදාචාර ධර්ම බිඳ දමමින් කාන්තාවන්ගේ විලිබිය සිඳින විවිධ වයස්වලට අයත් පුද්ගලයන් පිළිබඳ කොතෙකුත් වාර්තා දක්නට ලැබේ. මේ සිදුවීම් කෙරෙහි බලපාන විවිධ හේතු අතර පුද්ගලයා තුළ ලජ්ජා භය දෙක නොමැතිවීම එක් ප්‍රධාන හේතුවක් ලෙස අවිවාදයෙන්ම පිළිගත හැකිය.
අටුවාචාරීන් වහන්සේලාගේ විවරණය අනුව කරුණු හතරක් පදනම් කරගෙන ලජ්ජාව ඇතිකරගත යුතුවේ. එනම්, ජාතිය, වයස, දක්ෂතාව හා උගත්කමයි. මෙහි ජාතිය යනුවෙන් අදහස් වෙන්නේ තමන් අයත් ජන වර්ගයයි. එම ජන වර්ගය සතු ඓතිහාසික වටිනාකම් තේරුම් ගෙන, තම වයස හා පරිණත බව ගැන අවධානය යොමුකොට, තමා සතු විවිධ කුශලතා හා හැකියාවන් සැලකිල්ලට ගෙන, තමන්ගේ අධ්‍යාපන මට්ටම හා උගත්කම පිළිබඳ කල්පනා කොට පව්කිරීමට හා වැරැදි කිරීමට ලජ්ජාව ඇතිකරගතයුතු හෙයින් එය තමා අධිපතිකොට පවතින්නකි. එය පුද්ගල හෘදය සාක්ෂිය මත පදනම් වූවකි. ඔත්තප්ප යනුවෙන් දැක්වෙන පව්කිරීමට ඇති බිය වනාහි ලෝකාධිපති ධර්මයකි. එහිදී බාහිර සමාජය පිළිබඳ සාධකය සැලකිල්ලට යොමුවේ. තම ක්‍රියාව පිළිබඳ සමාජය කුමන ආකල්පයක් දරන්නේද යන්න මෙමඟින් සලකා බැලේ. මේ යටතේ තමන් වෙත සාමාන්‍ය සමාජයෙන් එල්ලවන බලපෑම කෙරෙහි පමණක් නොව, ආධ්‍යාත්මික ඇස දියුණුකරගත් (දිබ්බචක්ඛු) ආධ්‍යාත්මවේදීන්ගේ නිරීක්ෂණයට පවා තම සාවද්‍ය ක්‍රියාව යොමුවිය හැකිබව කල්පනා කළ යුතු යැයි දැක්වීමෙන් පැහැදිලිවන්නේ සමාජමය සාධකය කොතරම් ගැඹුරු අර්ථයකින් බුදුසමය සැලකිල්ලට ගෙන තිබේද යන්නයි. වරදක් කිරීම සම්බන්ධයෙන් සිව් ආකාරයක බියක් පුද්ගලයා තුළ ඇතිකරගත යුතු වේ. ඒ අනුව අත්තානුවාද භය යනුවෙන් තමාම තමන්ගේ සිතට චෝදනා කර ගැනීමයි. නැතහොත් ආත්මාවලෝකනයයි. දෙවැන්න පරානුවාද භයයි. එනම් සමාජයෙන් තමාට ලැබෙන ගැරහුම් නින්දා අපහාස ගැන සැලකීමයි. වරදක් කළහොත් එයට කවර ආකාරයේ හෝ දඬුවමක් විඳීමට සිදුවේ. ඇතැම් විට තර්කය උපයෝගීකරගෙන නීතියෙන් බේරිය හැකි අවස්ථා තිබුණත් හෘදය සාක්ෂියෙන් මෙන්ම කර්ම විපාකයෙන් නිදහස් විය නොහැකිය. එසේ දඬුවමට ඇති භය දණ්ඩභය නම් වේ. බුදුසමයට අනුව පුද්ගලයා කළ පාපයේ අකුශලයේ ඵලවිපාක මේ ජීවිතයෙන්ම කෙළවර නොවේ. මරණින් පසුව දුගතියේ ඉපදීමට එය හේතුවක් විය හැකිය. මරණින් පසුව තමාට විඳීමට සිදුවන සතර අපායාදී දුක් පිළිබඳ සැලකිල්ලට ගෙන වරදින් නිදහස් වීම දුග්ගති භය නම් වේ. මේ ආකාරයට හෘදය සාක්ෂිය, සමාජමය බලපෑම, නීතිය හා කර්මය ගන සැලකිලිමත් වී වරදට හා පාපයට බියක් ඇති කරගැනීම සදාචාරමත් ජීවිතයකට අවශ්‍ය වේ.
හිරි යනුවෙන් හැඳින්වෙන පව් කිරීමට ඇති ලජ්ජාවත් – ඔත්තප්ප යනුවෙන් දැක්වෙන පව් කිරීමට ඇති බියත් යන දෙකම නුවණැති පුද්ගලයා විසින් සැලකිල්ලට ගත යුතු ආකාරය පැහැදිලි කෙරෙන උපමා දෙකක් අටුවාචාරීන්වහන්සේලා විසින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව යකඩ ගුලි දෙකක් ගැන සැලකූ කල එක් යගුලියක් සිසිල්ය නමුත් එය අසූචියෙන් තැවරී ඇත. අනෙක ගිනි ගෙන දිළිසෙන එකකි. නුවණැති පුද්ගලයා අසූචියෙන් තැවරී තිබෙන හෙයින් සිසිල් යගුලිය ස්පර්ශ නොකරයි. එසේම රත්වී දිළිසෙන යගුලිය ස්පර්ශ කිරීමෙන් වළකින්නේ එයින් තම අත පිළිස්සෙන බැවිනි. මේ ආකාරයට නුවණැති පුද්ගලයා පව් කිරීමට ලජ්ජාවෙන් එය පිළිකුල් කරයි. පව් කිරීමෙන් මෙලොව වශයෙන් ලැබෙන නින්දා අපහාස ගැරහුම් දඬුවම් ආදිය ගැන සැලකිලිමත් වීමෙන් පමණක් නොව මරණින් පසු දුගතියෙහි ඉපදීමෙන් ලැබෙන විවිධ දුක් වේදනාවන්ද සිහිකොට පව් කිරීමට බියක් ඇති කර ගනී.
ගිහි වුවද පැවිදි වුවද වැරැදි පිළිවෙත වැරැදි යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එසේම ගිහි වුවද පැවිදි වුවද නිවැරැදි පිළිවෙත නිවැරැදි බවත් එය උන්වහන්සේගේ පැසසුමට ලක්වන බවත් දේශනා කළහ. එබැවින් ගිහි පැවිදි සෑම අයෙක්ම තමා තුළ වර්ධනය කරගත යුතු කුශල සහගත චෛතසික ධර්ම දෙකක් ලෙස හිරි ඔත්තප්ප දෙක හැඳින්විය හැකිය. මෙම කුශල සහගත චෛතසික ධර්ම පුද්ගල සන්තානයෙන් ඉවත් වූ විට නිර්මාණය වන්නේ ඉහතින් දැක් වූ බුද්ධ වචනය අනුව තිරිසන් ගති ඇති තිරිසනුන් මෙන් බිය නැතිව හැසිරෙන මිනිසුන්ය. එවන් මිනිසුන්ගෙන් යුක්ත සමාජයක සදාචාරය නීතිය යුක්තිය මෙන්ම හැදියාව විනයගරුක බව පවතින්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය වූයේ පාපයට ලජ්ජා නොවීම (අහිරික) පවට බිය නොවීම (අනොත්තප්ප) යන කලු ධර්ම සන්තානයෙන් බැහැර කොට ඒ වෙනුවට පාපයට හා අකුශලට ලජ්ජා වීම (හිරි) පවට හා අකුශලයට බිය වීම (ඔත්තප්ප) යන සුදු ධර්ම මනස තුළ වර්ධනය කරගැනීමයි. පුද්ගල සන්තානය තුළ මෙකී උත්තම සිතිවිලි වර්ධනය වූ පමණට සදාචාර සම්පන්න සමාජයක් නිර්මාණය වනු ඇත.

සීල සුගන්ධය

ආචාර්යමිරිස්සේ ධම්මික හිමි
මංගල සූත්‍රයේ සඳහන් නමවෙනි මංගල කරුණ වන්නේ මනාකොට හික්මවන ලද විනයයි. විනය පවතින තැන සීලය මැනවින් ආරක්ෂා වෙයි. එහි සංවරය පවතියි. මෙම සංවරය කායික, වාචසික සහ මානසික සංවරය ලෙස විස්තර කළ හැකිය. විනයක් ඇති කර ගැනීමේ දී දස අකුසල කර්මයන්ගෙන්ම වෙන්වීම වඩා ඵලදායකය. දස අකුසල කර්ම නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, අභිද්‍යාව නම් වූ විෂම ලෝභය, ව්‍යාපාදය හෙවත් තරහව හා මිථ්‍යා දෘෂ්ඨියයි. නිවසක වුවද, පාසලක වුවද විනය ඇති හෝ නැති බව තීරණය වන්නේ මෙම කරුණු ද ප්‍රධාන වශයෙන් මූලික කරගෙන නොවේදැයි ඔබම සිතා බලන්න.
ප්‍රාණඝාතය නම් වූ අකුසලයේදී එයට සම්බන්ධ වන අනුන්ට හිරිහැර කිරීම, පහරදීම, කිසියම් හෝ කායික පීඩාවන් ඇති කිරීම ද මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතුය. නිවසක ස්වාමිපුරුෂයා සහ බිරිඳ නිතර සණ්ඩු දබර කරගන්නේ නම්, එකිනෙකාට පහරදී ගන්නේ නම් එම නිවහනෙහි සංවරයක් හෝ විනයක් කොයින්ද? හැදෙන වැඩෙන දරුවන් දකින්නේ ද, එම දරුවන්ට ඇසෙන්නේ ද සණ්ඩු දබර සහ පරුෂ වචනය. එමෙන්ම ඔවුනොවුන්ට කරගන්නා වූ චෝදනාවන්ය. අවමානයන්ය. එම නිවසෙහි සාමකාමී පරිසරයක් කිසිවිටෙකත් නොපවතිනු ඇත. සමහර තරුණ වියට පා තබන දරුවන් පවසන්නේ “අපේ ගෙදර මව්පියන් හොඳින් සිටිය දවසක් නම් මතක නෑ” කියායි. දෙමාපියන්ගේ ජීවිතවල විනයක්, හැදියාවක් නැතිකල දරුවන්ගෙන් කුමක් බලාපොරොත්තු වෙන්නද? එනමුත් යම් නුවණැති හා පින්වත් දරුවෝ දෙමාපියන්ගේ එම නොහැදියාව නොසලකා සංවරව හා ගුණවත්ව හැදෙති. මත්වතුර පානය කොට අවිනීතව සහ අසංවරව හැසිරෙන පියෙක් හෝ පිරිමියෙක් සිටින පවුලක් පිළිබඳව ඔබට සිතාගත හැකිද? කුඩා දරුවන්ට හොඳ නරක කියාදෙන්නට නම් දෙමාපියන් සහ වැඩිහිටියන් ආදර්ශමත් විය යුතු ය. එවැනි අසංවර පියෙකුට හෝ වැඩිහිටියෙකුට ආත්ම විශ්වාසයෙන් තවත් කෙනෙකුට අවවාදයක් දිය හැකිද? සැබවින්ම නොහැකිය.
බොහෝ අපරාධවලට සහ අපචාරයන්ට සම්බන්ධ දරුවන්ගේ හෝ තරුණ පිරිස්වල පසුබිම සොයා බලන විට පැහැදිලි වන්නේ මූලිකවම නිවසින් යහපත් ආදර්ශයන් නොලැබුණු බවය.
ව්‍යාපාදය හෙවත් තරහව නිවසක හෝ ආයතනයක සාමය සහ සමගිය නැතිකරන බරපතළ විෂබීජයකි. තරහව සමඟ ගමන් කරන තවත් උප ක්ලේශයෝ පවතිත්. එනම් වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, ගුණමකුකම ආදී වශයෙනි. නිතර තරහ ගන්නා හෝ තරහෙන්, අමනාපයෙන්, කේන්තියෙන්, නොරුස්සනා බවෙන් සිටිනා පිරිස් අසංවරව හැසිරෙති. මත්වතුර පානය කොට සිහිවිකල් කරගෙන අසංවරව හැසිරෙන අය වගේම අධික කෝපයට පත් අයත් මනස අවුල්කරගෙන ඉතාම අවනීතව හැසිරෙති. සමහර අයගේ හැබෑ ස්වභාවය මතු වී පෙනෙන්නේ එම අවස්ථාවලදී ය. කෝපය හෝ තරහව සංසිඳුණු අවස්ථාවක ඔවුන් පවසන්නේ “මට මොනවා වුණාදැයි මමවත් දන්නේ නැහැ. මටම හිතාගන්න බැහැ මම ද එහෙම හැසිරුණේ කියලා. මටම හරි ලජ්ජාවක් ඇතිවෙනවා.” යනුවෙනි. ඕනෑම අයෙක් කෙරේ හෝ ඕනෑම නිවසක හෝ ආයතනයක විනයක් පවත්වා ගැනීමේ වැදගත්කම මේ අනුව පැහැදිලිය. ගිහි සමාජයේ පමණක් නොව පැවිදි සමාජයේ ද උතුම් බව රඳා පවතින්නේ විනය හා සමගිනි. “විනයෝ නාම සාසනස්ස ආයු” ශාසනයෙහි ආයුෂ විනය බව සංගීතිකාරක රහතන් වහන්සේලා පැවසුවේ එබැවිනි. මෙම විනය, ශාසනයෙහි විනය ශික්ෂාපද නමින් හඳුන්වා දී තිබේ. බුදුරජාණන් වහන්සේ විසින් ස්වාමීන් වහන්සේලාට දෙසූ වදන් සාමාන්‍ය ජනයාට ද එකසේ ගැළපේ. එනම් “අප්සන්නානංවා පසාදාය, පසන්නානංවා භීවෝභාවාය” යනුවෙනි. එහි තේරුම වන්නේ අපැහැදුනු අයගේ පැහැදීම පිණිසත් පැහැදුනු අයගේ වැඩි පැහැදීම පිණිසත් හැසිරෙන්න ආදී වශයෙනි. නිවසක ස්වාමිදියණියක් හෙවත් බිරිඳකගේ විනීතකම හා ආචාරශීලී බව නිසා ස්වාමිපුරුෂයා වඩාත් සොම්නසට පත්වනු ඇත. මේ නිසා ඇයට වඩාත් ගරුකරනු ඇත. ස්වාමිපුරුෂයාගේ විනීත බව සහ හැඳුනුකමට ශිෂ්ඨ සම්පන්න සෑම බිරිඳක්ම ගරුකරනු ඇත. “මට හමුවී තිබෙන්නේ මනුෂ්‍යයෙක් නොව දෙවියෙක්” යැයි පවසන්නේ එවැනි ස්වාමිපුරුෂයන් ගැනය.
මෙම මනාකොට හික්මවන ලද විනයම, තවත් ආකාරයකින් සීලය ලෙසද විස්තර කළ හැකිය. සීලය යනු කය වචන දෙකේ ඇති සංවරකමයි. බොහෝ අවස්ථාවල පුද්ගලයන් වෙතින් අවිනීත, අසංවර හා අශීලාචාරබව මතු වී පෙනෙන්නේ කායික ක්‍රියාවන් හා වචන පිටකිරීම් ඇසුරුකරගෙනය. සීලයෙන් කායික හා වාචසික සංවරය ඇතිකරන විට නිතැතින්ම ඕනෑම පුද්ගලයෙක් කෙරේ හෝ ආයතනයක විනයක් ඇතිවෙයි. මනුෂ්‍යයන්ට මනසෙහිත්, පරිබාහිරවත් ඇතිවන ගැටලුවලට විසඳුම් සොයන්නට නම් පළමුව සීලයෙහි පිහිටා සිටිය යුතු බව සංයුත්ත නිකායේ ජටා සූත්‍රයෙහි මෙසේ පැහැදිලි කරයි. “සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ, චිත්තං පඤ්ඤං ච භාවයං” ආදී වශයෙනි.
එහි තේරුම වන්නේ ප්‍රඥාවන්ත මනුෂ්‍යයා විසින් පළමුව සීලයෙහි පිහිටාම සිතත් ප්‍රඥාවත් වඩන බවයි. එනම් ලෝභ, ද්වේෂ හා මෝහ (මුලාව) නිසා සිතේ ඇතිවන අවුල් සහ ගැටලු විසඳීමට උත්සාහ කරන බවයි. “පමාදවිහාරී” සූත්‍රයෙහි පැහැදිලි කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස සංවරකරගැනීමෙන් සිතේ ප්‍රමෝදය ඇතිවන බවය. ප්‍රමෝදය නිසා සිතේ සතුට ද සිතේ සතුට තිබෙන විට සිතේ එකඟබවද පවතියි. සිත එකඟ වීම හෙවත් සිත නිරවුල්ව සහ සංවරව පවතින විට සිත සුවයට හෙවත් සැහැල්ලුවට පත්වෙයි. එනම් නිවීමට පත්වෙයි. නිවුණු සිතේ ධර්ම පහළවෙයි. එනම් කුසල් සිත වැඩෙයි. සමථ විදර්ශනා භාවනා වැඩෙයි.
ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස නම් වූ ඉන්ද්‍රියන්ගේ අසංවරවීම යනු සිතේ දැඩි වූ රාග, තරහව, මෝහය ආදී ක්ලේශ වැඩෙන්නට පටන් ගැනීමය. ඒ ඇස් දෙක ලෝභකමෙන් පිරිලා, ඒ ඇස් රාගයෙන් පිරිලා, ඒ ඇස් තරහවෙන් පිරිලා ගිනි පුළිඟු වගෙයි. ලෙසින් පවසන්නේ සිතේ වැඩෙන කෙලෙස් ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් මතුවන්නට පටන්ගන්නා අවස්ථාවේදීය. මේ නිසා කය, වචන දෙකේ ඇතිවන සංවර බව හෙවත් විනීත බව සීලය බවට පත් වේ. එම සීලය, ගුණ සුවඳක් ලෙස හැමදෙනා අතර පැතිරී යන බව ධම්මපදයෙහි සඳහන් වෙයි.

“චන්දනං තඝරංවාපී
උප්පලං අථ වස්සිකීඒතේසං ගන්ධ ඡානානංසීල ගන්ධෝ අනුත්තරෝ”
“සුවඳ සඳුන්, තුවරලා, උත්පල ආදී සුවඳට වඩා සිල් සුවඳම උතුම්” බව මෙහි පැහැදිලි කෙරේ. මේ ලෝකයේ ඇති එම මල්වල හෝ කෘත්‍රිම සියලුම සුවඳ හමායන්නේ ටික වේලාවකටය. සීමිත පෙදෙසකටය. නමුත් පුද්ගලයකුගේ සිල් සුවඳ හෙවත් ගුණ සුවඳ ජීවත්ව සිටිනතාක් ද මරණින් මතු ද හමාගෙන යයි. මෙම ලෝකයේ පමණක් නොව දෙව් ලොව බඹලොව දක්වාම හමායන බව ධර්මයෙහි පැහැදිලි කෙරේ.
“විද්‍යා දදාති විනයං” යනුවෙන් පැරැණි පඬිවරු පැවසූහ. එමගින් අදහස් කළේ උගත්කම, ශිල්ප ශාස්ත්‍ර දැනුම සහ අධ්‍යාපනයෙන් ලබන පරිණත බව යමෙක් විනයගරුක බවට පත්කරන බවය. කුමන ආකාරයේ ඉහළ අධ්‍යාපනයක් ලැබුවද විනයක් නොමැති තැන පවතින්නේ පරිහානියකි. සත්ව ලෝකයේ විනයක් නැත. සමහර සතුන්ට යම් යම් දෑ පුරුදු කිරීමෙන් හීලෑ බවක් ඇතිකරගත හැකිය. නමුත් එය ධර්මයෙහි උගන්වන විනය නොවේ. විනය, සීලය, සංවරය, හික්මීම හෝ සදාචාරය ඇතිවිය යුත්තේ හෝ ඇති කරගත යුතු වන්නේ ස්වයං අවබෝධයෙනි. දස අකුසල කර්මයන්ගෙන් වැළකී දස කුසල් කර්ම මාර්ගයට පත්වන බැවින් උතුම් මංගල කරුණකි. සැමට සියලු යහපත උදාවේවා. උතුම් තුණුරුවන් සරණයි.