ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බුදු දහම හා මාර සංකල්පය

ශාස්ත්‍රපති, 
රාජකීය පණ්ඩිත 
මහරැඹෑවැවේ පාලිත හිමි

බුදු දහම තුළ මාරයාට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. බුදුසිරිතේ විවිධ අවස්ථාවන් වල මාරයා සම්බන්ධ වූ සිද්ධීන් බොහොමයක් ත්‍රිපිටක සාහිත්‍ය තුළ මෙන්ම අට්ඨකතා සාහිත්‍ය තුළ ද විස්තරව ඇත. බුදුදහමේ විස්තර වන මාරයා පිළිබඳ සංකල්පය මෑත කාලයේ උගතුන් අතර ද විවාදයට තුඩු දුන් කරුණකි.
ඒ පිළිබඳ වූ විස්තරයන් 1935 වර්ෂයේ, එවකට ප්‍රධාන පුවත්පතක් වූ ‘ලක්මිණි පහන’ පුවත්පතෙහි දීර්ඝ වශයෙන් විවාදයට බඳුන් වී ඇත. ඒ විවාදයට පූජ්‍යපාද පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පරවාහැර සද්ධාජීව මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායක වී ඇත.
එබැවින් මේ ලිපි පෙළෙන් අප බලාපොරොත්තු වන්නේ බුදුදහමේ එන මාර සංකල්පය පිළිබඳ විවාදයකට හෝ ශාස්ත්‍රීය නිබන්ධයකට කරුණු සැපයීම නොව සාමාන්‍ය ජනයාට බුදු දහමේ සඳහන් මාර සංකල්පය පිළිබඳ යම් අවබෝධයක් හා දැනුවත් භාවයක් ලබා දීම පමණි. එහිලා අප විසින් ඉදිරිපත් කරන කරුණු සඳහා මූලාශ්‍ර කරගනු ලබන්නේ ත්‍රිපිටක සාහිත්‍ය හා අට්ඨකතා සාහිත්‍ය යන්නද සැලකුව මැනව. ලිපි පෙළක් වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මාරයා පිළිබඳ වන මෙම දහම් කතිකාව කොටස් විස්සකින් පමණ සමන්විත වනු ඇත. මෙම ලිපිපෙළ අවසානයේ බුදුදහමේ සඳහන් මාර සංකල්පය පිළිබඳ යම් තීරණයක් ගැනීම හෝ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යනයක් කිරීම පාඨක ඔබට බාරවනු ඇත.

බුදුදහම හා මාර සංකල්පය නමින් පළවන මේ ලිපි පෙළේ පළමුවැන්න අප නම් කොට ඇත්තේ මාරයා යනු කවරෙක්ද? යන්න විස්තර කිරීම සඳහා ය. එබැවින් මාරයා යනු කවරෙක් ද? යන්න අප මෙතැන් සිට විමසා බලමු.
මාර යන වචනයෙන් අපව අවසන් කරන හෙවත් අපගේ දිවි කෙළවර කරන යම් බලවේගයක් හෝ කෙනෙක් පිළිබඳ නිතැතින්ම අපේ සිහියට එයි. එය තරමක් බියමුසු ස්වභාවයකි. එය මරණය වශයෙන්ද අර්ථවත් කළ හැක. මෙලොව උපන් සියලු දෙනාට උරුම වූ ධර්මතාවය මරණය යන්න සනාතන වූවකි. එය සිදුකරන්නේ යම් ධර්මතාවයක් ද? යම් බලවේගයක් ද? නැතහොත් යම් පුද්ගලයෙක් ද යන්න බොහෝ දෙනාගේ සිත්තුළ පවතින කුතුහලයකි. කෙසේ වුවත් මරණයට හෙවත් මාරයාට පුහුදුන් සියලු දෙනා තුළම බියක් ඇති බව ‘සබ්බේ භායන්ති මච්චුනො’ යන බුදුවදනින් අර්ථවත් වෙයි. එමෙන්ම මෙලොව උපන් කිසිවෙකුට මාරයාගෙන් හෙවත් මරණයෙන් මිදිය නොහැකි බව ‘න කෝචි මුඤ්චෙය්‍ය මච්චුනෝ’ යන්නෙන් පැහැදිලි වෙයි. එබැවින් මෙහි දී අප බලාපොරොත්තු වන්නේ මාර යන මේ ධර්මතාව, මේ බලවේගය හෝ මේ තැනැත්තා කවරෙක් ද? යන්න විස්තර කර ගැනීමටය. ත්‍රිපිටකයෙහි එන බොහෝ ඇතැම් සූත්‍ර වල මාරයන් පස් දෙනෙක් ගැන ද සමහර දේශනාවල මාරයන් සතර දෙනෙක් ගැන ද තවත් සමහර සූත්‍රවල මාරයන් තුන් දෙනෙක් ගැන ද විස්තර වෙයි. මාරයන්ගේ ස්වභාවයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ත්‍රිපිටකයේ හා අටුවාවල විවිධ අර්ථකථනයන් ඇත. ඒ අනුව පළමුව මේ මාරයන් පස්දෙනා අර්ථ ගැන් වී ඇත්තේ කෙසේදැයි විමසා බලමු.
පඤ්ච මාරයන්
1. දේවපුත්තමාර - මොහු සදෙව් ලෝකයන් අතර එන ‘වසවර්තී’ නම් දෙව් ලොව පෙදෙසක අධිපතිකම් කරන අයෙකි. ඔහුගේ විෂය ඉක්මවන්නන්ට හෙවත් මරණය ජය ගැනීම සඳහා වෙහෙස වන උතුමනට සතුරුකම් කරන්නෙකි. බුදුරජාණන් වහන්සේ මොහුගේ සතුරෙක් වූයේ උන්වහන්සේ ඔහුගේ විෂය වූ මරණය ඉක්මවීම සඳහා උත්සාහ ගත් උතුමෙකු නිසාය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොතෙහි මහත් මාර පිරිසක් සමඟ යුදයට පැමිණ ඇත්තේ ද මොහුය. බුදුරදුන් වසඟ කිරීම සඳහා පැමිණි තණ්හා, රතී, රගා යන මාර දූතියන් මොහුගේ දියණියන්ය. බුදුරජාණන් වහන්සේ මැරීමට අවස්ථාවක් සොයමින් සත් වසක් උන්වහන්සේ ලුහුබැඳ ඇත්තේ ද මොහුය. විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි මූලයේ වජ්‍රාසනාසීනව වැඩසිටි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මොහු උන්වහන්සේ වැඩ සිටි එම අසුන තමාගේ බව පවසමින් එයින් ඉවත්වන ලෙස බුදුරජාණන් වහන්සේට අණ කළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරා එන මට මේ වජ්‍රාසනය අයිතිය. එය ඔබට අයිති නැත යනුවෙන් පවසා ඒ බවට මේ මහා පෘථුවිය සාක්ෂි දරනු ඇතැයි තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තය පෘථිවිය දෙසට දිගු කළේ ය. එයින් මහ පොළොව කම්පාවට පත් වූ අතර පරාජයට පත් වූ මාරයා දුර්මුඛව පළාගොස් ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයත් සමඟ මේ මාරයා පරාජය කොට ඇති බැවින් උන්වහන්සේ මාරජි, මාරාභිභු යන අන්වර්ථ නම්වලින්ද හඳුන්වයි.
2. කිලේසමාර – කිලේසමාර යන්නෙන් අර්ථවත් වන්නේ පුද්ගලයෙකු නොව සිතෙහි වන එක්දහස් පන්සියයක් පමණ වන පහත් ලාමක අකුශලයන් හෙවත් සිත කිළිටි කරන ධර්මයන් ය. සත්වයන් මැරෙමින් ඉපිදෙමින් සංසාරයේ විවිධ දුක්ඛයන්ට භාජනය වෙමින් සැරිසරන්නේ සසරට ඇලුම් කරන මේ ක්ලේෂ ධර්මයන් නිසා ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධි මූලයේ දී සර්ව ක්ලේෂයන් ප්‍රහීණ කළ නිසා උන්වහන්සේ ක්ලේෂ නමැති මාරයා පරාජයට පත් කොට ඇත.
3. (අහිසංකාරමාර) අහිසංකාරමාර – අහිසංකාර යනු වචනෙහි තේරුම රැස් කිරීම යන්නයි. එබැවින් සසර අප රැස් කරන කුශලාකුශල කර්මයන් අහිසංකාර යන වචනයෙන් අර්ථවත් කළ හැක. ඉපදීම සඳහා සෘජුවම බලපාන්නේ අප රැස්කරන දේවල්ය. කර්මය වශයෙන් ද එය අර්ථවත් කළ හැක. කර්ම රැස් කරන තෙක් අප මේ මරණයට යන ධර්මතාවයට යටත් ය. එබැවින් අහිසංකාර මාර යන්නෙන් අදහස් වන්නේ පුද්ගලයෙක් නොව නැවත ඉපදීම සඳහා අප රැස් කරන කුශලාකුශල කර්මයන් බව පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ හා පසේ බුදුරජාණන් වහන්සේ යන මේ තුන් පිරිස නැවත ඉපදීමට හේතුවන සියලු අභිසංකාරයන් ප්‍රහීණ කළ නිසා උන්වහන්සේලාට නැවතී ඉපදීමක් නැත. ඒ බව බුදුවදනෙහි මෙසේ සඳහන් වෙයි. ‘පුඤ්ඤ පාප පහීණස්ස - නත්ථී ජාගරතෝ භයං” (පින් පව් ප්‍රහීණ කළ උතුමන්ට කෙලෙස් නින්දෙන් කිසි කළෙකත් බියක් නැත.)
4. (ඛන්ධමාර) ඛන්ධමාර – ඛන්ධ යන්නෙන් අදහස් කරන්නේ පඤ්චස් ඛන්ධයයි. එයින් අපගේ ශරීරය අර්ථවත් වෙයි. මරණය ඇති වන්නේ උප්පත්තියක් සිදුවුවහොත් පමණි. එබැවින් මේ පඤ්චස්කන්ධයන්ගේ නැවැත්ම සිදු කළ යුතු ය. පඤ්චස් ඛන්ධයන්ගේ නැවැත්ම යනු නැවත ඉපදීමක් නැතිවනු අයුරින් කටයුතු කිරීමයි. එය ධර්මයේ සඳහන් වන්නේ මෙසේ ය. “ඛීණාජාති වුසිනං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථක්ථායාති පජානාති” (නැවත ඉපදීම නැති කළෙමි. බඹසර වැස නිම කළෙමි. කළයුතු සියල්ල කළෙමි. නැවත මෙහි පැමිණීමත් හෙවත් ඉපදීමක් නැත්තෙමි.) බෝසත් කුමරුවන් උපන් අවස්ථාවේ ප්‍රකාශකළ උදන් වාක්‍යයේ සඳහන් ‘අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවෝ” යන්නෙන් ද අර්ථවත් වන්නේ එයයි.
බුද්ධත්වයෙන් පසුව කළ පළමු උදන් වාක්‍යයෙන්ද අර්ථවත් වන්නේ එයයි. “අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි - පුනාගෙහං නකාහසි සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකුඨං විසංඛීතං විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා” (මේ ආත්මභාවය නමැති ගෙය සදන වඩුවා සොයමින් මම සංසාරේ නොයෙක් ජාතිවල දිව අවිද්දෙමි. ඒ නැවත නැවත ඉපදීම දුකක් වන හෙයිනි. තෘෂ්ණා නමැති වඩුවා ඔබව දැන් මා විසින් දක්නා ලද්දේ ය. මේ ආත්මභාව නමැති ගෙය ඔබ විසින් මා උදෙසා නැවත කළ නොහැක්කේ ය. මාගේ නැවත ඉපදීම සඳහා හේතුවන ඒ පරාල නමැති ආශාවන් බිඳින ලදී. කැණි මඩල පළන ලදී. මාගේ සිත නිවනට පැමිණියේ ය.)
5. මච්චුමාර – මච්චු යන දිවි කෙළවර සිදුවන මරණයයි. එය උපන් සියලු දෙනාට පොදු වූ ධර්මතාවකි. මෙම ස්වභාවයෙන් මිදීමට කිසිවෙකුටත් නොහැකිය. එබැවින් බුදු, බුදු පසේ මහරහත් නික්ලේශී උතුමන් මෙන්ම පෘථග්ජන සියලු දෙනාත් මෙම ස්වභාවයට යටත් වෙති. මෙම ස්වභාවයෙන් මිදිය හැක්කේ නූපදින අයට පමණි. උපන් සියලු දෙනාම මෙම ධර්මතාවට යටත් වූවෝ වෙති.

‘මාරයා ’ දෙවියෙක්ද ?

පාපි වූ මාරයා බුදුරජාණන් වහන්සේගේ අඩුවක්, වරදක් සිදුරක් සොයා සත් වසක්ම උන්වහන්සේ පසුපස ලුහුබැඳි බවත් එසේ සිදුරක් සොයා ගත නොහැකි වූ තැන බුදුරජාණන් වහන්සේ හමුවී උන්වහන්සේට අභියෝග කළ ආකාරය බුදුරදුන්ට සෙසු සත්වයන්ගේ විමුක්තිය උදෙසා දහම් නොදෙසන්න යැයි පැවසීම හා අවසානයේ පරාජයට පත්වී දුර්මුඛව ගිය ආකාරය ඉහතින් සදහන් කළ සංයුත්ත නිකායේ මාර සංයුත්තයට අයත් සත්තාවස්ස සූත්‍රයේ සඳහන් වන අයුරු විමසා බලමු.
බුදුසරණ සහෘද පාඨකයන්ගේ දහම් දැනුම දියුණු කරනු වස් පසුගිය පසළොස්වක පොහොයෙන් ආරම්භ වුණ අපගේ නවතම ධර්ම සාකච්ඡාව බුදුදහම හා මාර සංකල්පය යන්නයි. එහි පළමුවැන්න මාරයා යනු කවරෙක්ද ? යනුවෙන් එහි පළ විය. අද නවම් අවඅටවක පොහෝ දිනයේ අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ මාරයා දෙවියෙක්ද ? යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටයි. ඒ අනුව මේ සඳහා ත්‍රිපිටක පෙළ මෙන් අටුවා අර්ථකථනයන් ද මූලාශ්‍ර කරගනු ලැබේ.
ගියවර අපගේ දහම් සාකච්ඡාවේදී පස්මරුන් පිළිබඳ විස්තර සාකච්ඡා කළෙමු. එහිදී දේවපුත්තමාර ක්ලේශ්මාර,අහිසංස්කාරමාර, ස්කන්ධමාර හා මෘත්‍යුමාර යන මාරයන් පිළිබඳව සටහන් කළෙමු.
මේ පස්මරුන් අතුරින් දේවපුත්තමාර හැර සෙසු සිව් දෙනා පුද්ගලයන් නොවන බව ඒ ඒ වචන වලින්ම පැහැදිලි වෙයි. දේවපුත්ත යන වචනයෙන් මාරයා දිව්‍ය පුත්‍රයෙක් බව අටුවාවවල සඳහන් වෙයි. එහෙත් පෙළ දහමෙහි බොහෝ සූත්‍රවල මාරයා හඳුන්වා ඇත්තේ “මාරො පාපිමා’ යන වචනයෙනි. එයින් මාරයා යන්නට පාපිමා යන විශේෂ පදය ද යොදා ඇති බව පෙනේ. එහි අදහස පවිටු හෙවත් පවට බර යන්නයි. එහිදී මාරයා දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් හඳුන්වා ඇති බවක් පෙනෙන්නට නැත. අනිත් කාරණය නම් පෙළ දහමෙහි මාරයා හැඳින්වීම සඳහා යොදා ඇති වචනය මාරො ‘පාපිමා’ යනුවෙන් ඒක වචනයෙන් පමණක් යෙදී තිබීමයි. එය පෙළෙහි බහු වචනයෙන් යෙදී නැත. එහෙත් අටුවාවල ‘මාරා’ යනුවෙන් බහු වචනයෙන් යෙදුන අවස්ථා බොහෝමයක් දක්නට ඇත.
අටුවාවල සඳහන් අනිත් කාරණය නම් මාරයන්ගේ ප්‍රමාණයන්ද විවිධත්වයකින් දක්වා තිබීමයි. දීඝනිකායෙහි එන මහාගෝවින්ද සූත්‍ර වර්ණනාවෙහි එනම් සුමංගල විලාසිනියෙහි මාරයන් තිදෙනෙක් ඇති බවත් ඒ මාරයන් තිදෙනා බෝ මැඩ දී පරාජය කරමින් බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බව විස්තර කරයි. (බෝධිපල්ලංකේ තිණ්නං මාරානං භින්දිත්වා පටිවිද්ධි අසාධාරණ ඤාණෝ) නිද්දේසයෙහි එන ගුහට්ඨක සූත්‍ර වර්ණනාවේදී මාරයන් සිව් දෙනෙක් ගැන සඳහන් වන්නේ මෙසේය. (චතුත්ªතං මාරානං මත්ථකං මද්දිත්වා ) යනුවෙනි.
අප ගියවර සාකච්ඡාවෙන් පැවසූ පරිදි දේවපුත්තමාර නමින් හඳුන්වන මොහු සදෙව් ලෝකයන් අතර එන ‘වසවර්ති’ නම් දෙව් ලොව පෙදෙසක අධිපති කම කරන අයෙකි. එහෙත් පෙළ සාහිත්‍යයෙහි ඔහු වාසය කරන ස්ථානයක් ගැන හෝ ඔහු දෙව් ලොව වැසියෙක් ලෙස හෝ අර්ථවත් නොවේ. එහෙත් ඔහුගෙන් බුදුරදුන්ට මෙන්ම තමන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ද විවිධ අභියෝග, හිරිහැර, කරදර සිදුවු අවස්ථාවන් සංයුත්ත නිකායෙහි එන සත්තවස්ස සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ එන මාරකජ්ජනීය සූත්‍රය හා සංයුත්ත නිකායෙහිම එන භික්ඛුණි සංයුත්තයට අයත් වජිරා සූත්‍රයෙන්ද පැහැදිලි වෙයි.
පාපි වූ මාරයා බුදුරජාණන් වහන්සේගේ අඩුවක්, වරදක් සිදුරක් සොයා සත් වසක්ම උන්වහන්සේ පසුපස ලුහුබැඳි බවත් එසේ සිදුරක් සොයා ගත නොහැකි වූ තැන බුදුරජාණන් වහන්සේ හමුවී උන්වහන්සේට අභියෝග කළ ආකාරය බුදුරදුන්ට සෙසු සත්වයන්ගේ විමුක්තිය උදෙසා දහම් නොදෙසන්න යැයි පැවසීම හා අවසානයේ පරාජයට පත්වී දුර්මුඛව ගිය ආකාරය ඉහතින් සදහන් කළ සංයුත්ත නිකායේ මාර සංයුත්තයට අයත් සත්තාවස්ස සූත්‍රයේ සඳහන් වන අයුරු විමසා බලමු.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජනා ගංතෙර අජපල් නුගරුක මුල වසන සේක. එකල වනාහි පාපී වූ මාරයා සිදුරක් දක්නා කැමැත්තේ එහෙත් සිදුරක් දක්නට නොලැබනුයේ සත් වසක්ම භාග්‍යවතුන් වහන්සේ පසුපස ලුහුබැන්දේය. ඉක්බිති දිනක් ඒ පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ බුදුරජාණන් වහන්සේට මෙසේ කීය.
පවිටු මාරයා 
ඔබ ශෝකයට පැමිණ වනයෙහි සිතිවිලි සිතයිද? ධනයෙන් පැරදුණෙහිද? නැතහොත් ඒ පරදින දේ පතමින් ඉන්නෙහිද? නැතහොත් ගම ඇතුළත කිසි වරදක් කෙළෙහිද? කවර හෙයින් මහජනයා හා යහළු බවක් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළු බවෙක් ඇති නොවේද ?

භාග්‍යවතුන් වහන්සේ 
පමාවන්නන්ගේ ඥාතියා ශෝකයේ සියලු මුල සාරා උදුරාදමා නිවැරදිව ශෝක නොකෙරෙමින් , ධ්‍යානයෙහි යෙදී ඉඳිමි, භවලෝකයයි කියනලද සියලු තෘෂ්ණාව සිඳ දමා , ආශාව නැත්තේ ධ්‍යානයෙහි යෙදී සිටිමි.

පවිටු මාරයා 
මෙය මගේයැයි යමක් ගැන කියන්නම්,මේ දේ මගේයයි යම් කෙනෙක් ගැන කියන්නම්, මෙකී තන්හි ඒකාන්තයෙන් ඔබගේ සිත බැදී ඇත. එබැවින් මහණ, ඔබ මගෙන් නොමිදෙන්නෙහිය.

භාග්‍යවතුන් වහන්සේ 
යමෙක් මගේයැයි කියත් නම්, එය මගේ නොවේ. යම් කෙනෙක් කියත් නම්, මම ඔවුන්ගෙන් එකෙකුත් නොවෙමි. පාපිය මෙසේ දනුව, මා ගිය මගවත් ඔබ නොදක්නෙහිය.

පවිටු මාරයා 
ඉදින් ඔබ බියක් නැති, නිවනට යන මග අවබෝධ කළෙහි නම් ඉවත්වෙන්න, ඔබම තනිව යන්න,අන් අයහට කුමට අනුශාසනා කෙරෙහිද?

භාග්‍යවතුන් වහන්සේ 
පරතෙර යනු කැමැති නිවන් දකිනු කැමැති, යම් කෙනෙක් ඇද්ද, ඔවුහු මරුට ඉඩක් නැති නිවන මා අතින් විචාරත්, ඔවුන් විසින් චීවාරනු ලැබූ මම , යමක් සියලු කෙලෙස් රහිතනම් ඒ නිවන ඔවුන්ට කියමි.

පවිටු මාරයා 
ස්වාමීනි, ගමෙක හා නියම් ගමෙක හෝ නොදුරෙහි පොකුණෙක් ඇත්නම්, එහි කකුළුවෙක්ද ඉඳීනම්, නැවත බොහෝ දරුවෝ හෝ දැරියෝ හෝ ඒ ගමෙන් හී ඒ නියම් ගමෙන් හෝ නික්ම ඒ පොකුණ යම් තැනකෙද එතැනට පැමිණෙන්නාහුනම්, එසේ පැමිණ ඒ කකුළුවා යම්සේ දියෙන් ඔසවා ගොඩ තබන්නාහුද, එවිට ඒ කකුළුවා යම්යම් අඬුවක් ඉදිරියට යොමු කරන්නේනම්, ඒ දරුවෝ හෝ දැරියෝ ඒ ඒ අඬුවම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ යම් සේ සිඳ දමන්නාහුද. යම්සේ කැබලි කැබලි කොට දමන්නාහුද, ස්වාමීනි, මෙසේ ඒ කකුළුවා කැඩුණූ බිඳුණූ, කැබැලිවී ගිය අඬුවලින් යළිත් ඒ පොකුණට පෙර මෙන් බසින්නට යම්සේ නොහැකි වන්නේද, එසේම ස්වාමීනි, මා කළ යම් විරුද්ධ දේඇද්ද, යම් නුසුදුසු දේ ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදී. බිඳින ලදී. සුණුවිසුණූ කරන ලදී. ස්වාමීනි, සිදුරු සොයන අපේක්ෂා ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙන්නට දැන් මම නොහැකියෙක්මි. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට කීය.

ඉක්බිති පාපි මාරතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි තම කළකිරීම හඟවමින් මෙසේ කීය.
කවුඩෙක් මේද, තෙල් පාට ඇති ගලක් දැක, මෙහි මොළොක් බවද විඳ ගන්නෙමි නම් ඉතා මැනවි. රස විඳ ගන්නෙමි නම් ඉතා මැනවියැයි සිතා ඒ හාත් පස ගැවසෙන්නේය. එහෙත් කවුඩා එහි කිසිදු රස විඳීමක් නොලැබ එයින් ඉවත්ව යන්නේය. ඒ ගල වෙත පැමිණ රස විඳ ගැනීමක් නොලැබ ඉවත්ව යන කවුඩාසේ කලකිරී ගෞතමයන් වහන්සේගෙන් අපිද ඉවත්ව යම්හ, යනුවෙන් පැවසීය”
ඉනික්බිති ඒ පාපි මාරයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ කලකිරීම හඟවන ප්‍රකාශය කරමින් එතැනින් ඉවත්ව භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි බිම පළක් බැඳ නිහඬව තෙද නැතිව. කරබාගෙන, බිම බලාගෙන, සිතිවිලි සිතමින් කිසිත් වටහාගත නොහැකිව ලී කැබෙල්ලකින් බිම ඉරි අඳිමින් හුන්නේය.

සුභාසිතා ච යා වාචා එතං මංගල මුත්තමං

බුදුරජාණන් වහන්සේ නිබඳව ම ලොවට ඉගැන්වූයේ දුර්භාෂණයෙන් වැළකීමට ය. සුභාෂණයෙහි යෙදීමටය. මේ වූ කලී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි තෙවැනි අංගය ලෙස දක්වන ලද සම්‍යග් වචනයයි. නිවැරදි යහපත් කතාබහයි. එසේම සතර සංග්‍රහ වස්තුවෙහි දෙවැනි ව දක්වන ලද පි‍්‍රය වචනයයි. ප්‍රියවාදී බවයි. එය මංගල කරුණක් ද වේ. සම්මා වාචා යන්න පැහැදිලි කරන බුදුදහම මුසාවාදයෙන් වැළකීම, පිසුණු බසින් ( කේලාම් කීමෙන්) වැළකීම, පරුස වචනයෙන් (රළු වදනින්) වැළකීම හා අරුත් සුන් (හිස් වචනයෙන්) වැළකීම එයින් අදහස් වන බව උගන්වයි. ඉපැරණි සූත්‍රාන්තයන් රැසක ම මෙකී සාවද්‍ය භාෂණයන්ගෙන් වැළකීමත් නිරවද්‍ය වූ සුභාෂණයත් ඉතා පැහැදිලි ලෙස විස්තර කොට තිබේ.
බොරු කීම දුරලා බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියන සුළු ය. ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ ය. තහවුරු ව පිහිටි කතා ඇත්තේ ය. ඇදහිය යුතු කතා ඇත්තේ ය. ලොව නොරවටන්නේ ය. කේලාම් කීම් දුරලා, කේලාම් කීමෙන් වැළැක්කේ වෙයි. මෙතැනින් අසා මොවුන් (ඔවුන්ගෙන්) බිඳුවනු පිණිස එතැන්හි නොකියයි. එතැනින් අසා ඔවුන් ( මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙතැන නොකියයි. රළු කථා බස් දුරලා, රළු බස් දෙඩීමෙන් වැළැක්කේ වෙයි. නිදොස් වූ ද, කනට මිහිරි වූ ද, පෙම් වඩනසුලු වූ ද, සිත් ඇදගන්නා වූ ද, ග්‍රාම්‍ය බවින් තොර (දියුණු) බොහෝ කොට පි‍්‍රය, මන වඩන යම් වදනෙක් වේ ද එබඳු වූ වදන් කියන්නේ ය. හිස් බොල් දෙඩවිලි හැර දමා, බොල් (නිසරු) දෙඩවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කල්හි කතා කරන්නේ ය. සත්‍යය ම කියන්නේ ය. වැඩ සලසන බස් ම කියයි. දැහැමි වචන ම කියයි. හික්මීමට තුඩු දෙන, සිත්හි තබාගන්නට සුදුසු, සකාරණ වූ, ඉමක් කොණක් ඇති, දෙලෝ වැඩදායක වචන ම කල් දැන කියයි. මෙසේ වාග් සංචරය, සම්මා භාෂණය යනු තුණ්හීභාවය (නිහඬව සිටීම) ද නොවේ. බහු භාෂණය (බොහෝ කොට කතා කිරීම) ද නොවේ. දුර්භාෂණයෙන් (අපි‍්‍රය වූ අවැඩදායක වූ කතා කිරීමෙන්) වැළකීමයි. සුභාෂණයයි. බුදුරජාණන් වහන්සේ වූ කලී නිබඳව ම පි‍්‍රයවාදී ව, මිහිරි වදනින් කථාබස් කළ උතුමෙකි. වතක් මෙන් නිහඬකම පිරූ ශාස්තෘවරයෙක් නොවේ. කවරෙකු සමඟ වුව ද සිත් ඇදගන්නා පරිදි පිළිසඳරෙහි යෙදීම උන්වහන්සේගේ ප්‍රසන්න පැවැත්මෙහි ලකුණක් විය. හමුවට එන්නවුන් හා සතුටින් කතා බස් කිරීම (සම්මෝදනීයං කථං) සිහි කටයුතු කතා බහ (සාරාණීයං කථං) නොවේ නම් ප්‍රසන්න පිළිසඳර පැවැත්වීම බුදුරදුන්ගේ සාමාන්‍ය පිළිවෙත වූ බව සූත්‍රාන්තයන්හි නිතර සඳහන් වේ. ධර්ම සාකච්ඡාව ඇරඹෙනුයේ ඉන් පසුවයි. වාදයෙන් වාදයට ශ්‍රමණ භවත් ගෞතමයන් වෙහෙසට පත්කර පරදවමු’යි කල් ඇති ව සකසා ගත් ප්‍රශ්න ද ඇති ව ඇතැම් පඬිවරු බුදුරදුන් හමුවූහ. එහෙත් එබන්දන් සමඟ ද උන්වහන්සේ තුටු පහටු වදනින් කතා බස් කළහ. දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටට පත් කළහ. ඔවුහු උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට අසමත්වූහ. සෝණ දණ්ඩ නම් උගත් වයෝවෘද්ධ බමුණු තෙමේ සිය පිරිසට බුදුරදුන් ගැන කියමින් වෙසෙසින් ම උන්වහන්සේගේ පි‍්‍රයවාදීත්වය, මිතභාණී බව වර්ණනා කළේ ය. ඒ ශ්‍රමණ භවත් ගෞතමයෝ, ‘එන්න මෙහි එන්නැ’යි හමුවට එන්නවුන් ඉතා සතුටින් උණුසුම් ව පිළිගනිති. කනට සුව දෙන මිහිරි වදන් ඇත්තේ ය. පි‍්‍රයමනාප ව පිළිසඳරෙහි සතුටු සාමිචියෙහි යෙදීමට දක්ෂ ය. රළු වු බැම හකුළුවන (ගොරෝසු) මුහුණු නැත්තේ ය. කරුණු සහිතව සවිස්තරව කතා කරති. හමුවට එන්නවුන් හා තෙමේ පළමු ව කතා කරන සුලු ය. තව ද, ඒ බුදුරජාණන් වහන්සේ මිහිරි යහපත් වචන ඇතියහ. මනා ව කරුණු පැහැදිලි කරන සුළු ය. නොගැමි වූ දියුණු වචන ඇත්තෝ ය. පිළිගත හැකි දෙය ම පවසති. කෙලතොලු නොවෙති. මැනවින් අරුත් හෙළි කරන මටසිලිටි වදන් ඇත්තේ ය. බුදුරදුන්ගේ මේ මිහිරි පැහැදිලි සවිස්තර භාෂණ සංයුත්ත නිකායේ සුදත්ත සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ චූල ගොසිංහ සූත්‍රය ආදී තවත් බොහෝ තැන්වල ද දැකගත හැකිය.
‘තථාගත තෙමේ අනුනට අපි‍්‍රය අමනාප බස් තපලන්නේ දැයි විටෙක නිඝණ්ඨනාථ පුත්තයන්ගේ ශ්‍රාවකයකු වූ අභයරාජ කුමරු විසින් බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරන ලදී. කුමරුවෙනි. එය ඒකාන්ත කොට (එක එල්ලේ) කිව නොහැකි යැයි බුදුහු පිළිතුරු දුන්හ. මේ අවස්ථාවේ දී කුඩා බිලිඳෙකු අභයරාජ කුමරුගේ ඇකයෙහි විය. බුදුහු මෙසේ ඇසූහ. කුමරුනි, ඔබ ඇකයෙහි සිටින කුමරු යම් විටෙක ඔබගේ හෝ කිරි මවගේ ප්‍රමාදයකින්, කෝටුවක්, කැට කැබිලිත්තක් මුවෙහි දමා උගුරේ හිරකර ගතහොත් කුමක් කරන්නේද?
ස්වාමීනි, මම එය ඉවතට ඇද දමමි. එකවර ඇද දැමිය නොහැකි නම් දරුවාගේ හිස වමතින් තදින් අල්ලාගෙන දකුණත ඇඟිල්ලක් ඔහුගේ මුවට දමා ලේ සහිතව හෝ එය ඉවතට ඇද දමමි. (දරුවාට වේදනා ඇති වෙද්දීම, ඔහු නොකැමැත්තෙන් ම එසේ කරමි) එසේ කරන්නේ දරුවා ගැන අනුකම්පාවෙනි. ඔහුට සිදුවන යහපත සලකා ගෙනයැ’යි අභයරාජ පිළිතුරු දුන්නේ ය.
කුමරුනි, මැනවි, ඔබ එසේ බිලිඳා කෙරෙහි අනුකම්පාවෙන් ආදර කරුණාවෙන් කටයුතු කරන්නාක් මෙන් ම තථාගතයන් වහන්සේ ද සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ගේ හිත සුව සැලසෙන පරිදි වචන භාවිත කරන්නාහ. මේ අනුව සත්‍ය වුව ද, අර්ථවත් වුව ද, පි‍්‍රයමනාප වුව ද බුදුරජාණන් වහන්සේ අනුනට අනර්ථදායක වූ වචන ප්‍රකාශ කරන්නේ නැත. එසේ ම අනුනට අපි‍්‍රය අමනාප වුව ද වැඩදායක වන්නේනම් උන්වහන්සේ සත්‍ය වූ අර්ථවත් වූ එබඳු වචන ප්‍රකාශ කරන්නාහ. මෙසේ බුදුරදුන් දුන් ආදර්ශය හා අවවාදය වූයේ අර්ථශූන්‍ය තුණ්හිභාවය හෝ බහු භාෂණය නොවේ. දුර්භාෂණයෙන් වැළකීමයි. සුභාෂණයෙහි යෙදීමයි.
භාෂණය පිළිබඳ බුදුරදුන්ගේ ඉගැන්වීම අනුව එය පස් ආකාර වෙයි. හෙවත් වචන පථයෝ පඤ්චවිධ වෙති. කාලෙන – අකාලෙන, භුතෙන, සණ්හෙන – ඵරුසෙන, අත්ථසංහිතෙන – අනත්ථසංහිතෙන, මෙත්තචිත්තෙන දෙසන්තරෙන යනුවෙනි. වඩාත් පැහැදිලි ව එම ආකාර පස මෙසේ දැක්විය හැකි ය.
1. අවස්ථාවට, කාලයට සුදුසු පරිදි කරනු ලබන භාෂණය හා නුසුදුසු ලෙස කරන භාෂණය.
2. ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ වන භාෂණය හා එසේ නොවන භාෂණය.
3. මොලොක්, මටසිලිටි භාෂණය හා රළු ගොරෝසු භාෂණය.
4. අර්ථවත් ලෙස කරන භාෂණය හා අනර්ථකාරී භාෂණය.
5. මෙත් සිතින් කරනු ලබන භාෂණය හා ද්වේශයෙන් කරන භාෂණය. කෙනෙකු මින් කවරාකාරයකින් හෝ කථා බස් කරන කල්හි සිත පෙරළා නොගත යුතු ය. ලාමක වූ ප්‍රතිවචන නොකිව යුතු ය. මෙත් සිතින් ම ක්‍රියා කළ යුතු යැයි අවවාද කෙරේ. මෙහි දී අසන්නාට පලදායක වන පරිදි කතා බස් කළ යුතු බව ද, කලට නොගැළපෙන, අසත්‍ය වූ, රළු වූ, අනර්ථකාරී වූ අන්දමින් කතා බස් නොකළ යුතු බව ද සැළකිය යුතු ය. භාෂාව නිසි ලෙස භාවිත කිරීමට, එමඟින් වඩාත් පැහැදිලි ව අර්ථ ප්‍රකාශ කිරීමට බුදුරජාණන් වහන්සේ වෙත පැවතියේ අපූර්ව හැකියාවකි. උපාලි ගෘහපති ජෛන ශ්‍රාවකයෙකි. බුදුරදුන් හමු වූ හෙතෙම කර්ම විපාක පිළිබඳ ව දිගින් දිගට ම උන්වහන්සේගෙන් කරුණු විමසුවේ ය. උන්වහන්සේ ද නැවත නැවතත් උපමා උදාහරණ දෙමින් දහම් දෙසූහ. ඔබ නැවත නැවතත් විමසන්නේ ඇයි දැයි අවසානයේ දී බුදුරදුන් උපාලි ගෘහපති වෙතින් ඇසූ විට ඔහු දුන් පිළිතුර, “වහන්ස, මම පළමු උපමාවෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න ව්‍යාකරණයෙහි සතුටු සිත් ඇතියෙම් ප්‍රසන්න වීමි. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු ප්‍රශ්න ව්‍යාකරණයන් අසනු කැමති වැ මම් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ බස් කිව යුතු යැයි සිතීමි” යන්නයි.