ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

දන්කන්දේ ධම්මරතන හිමි 

සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දැන් අපි ඉතා කෙටියෙන් හඳුනා ගන්නට බලමු. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ නිවන් ලබා දීමට හේතුවන කරුණු 37 කට, එම 37 තුළ
4 බැගින් වු කොටස් 3 ක් තිබෙනවා. සතර සතිපට්ඨාන සතර සම්මප්පධාන, සතර ඍද්ධිපාද කියලා (12)

5 බැගින් වූ කොටස් 2 ක් තිබෙනවා – පංචඉන්ද්‍රිය සහ පංචබල කියලා (10)
කරුණු 7 ක් අන්තර්ගත කොටසක් තිබෙනවා. සත්ත බොජ්ඣංග (7)
තව කරුණු 8 ක් තිබෙනවා. ඒ තමයි කලින් කියූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය (8)
සතර සතිපට්ඨාන:– නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනකුට නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. කායානුපස්සනා ,වේදනානුපස්සනා, චිත්තානුපස්සනා,ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට සතර සතිපට්ඨාන ධර්ම වශයෙන් දක්වන්නේ සම්මා සතියයි.
සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනාව කියා කොටස් දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරමින් ඒ දෙක උන්වහන්සේ විස්තර කර ඇත්තේ මේ විධියටය “සතිපට්ඨාන ධර්ම කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, කියන කොටස් හතරට.
සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒ ඒ සතිපට්ඨාන ධර්මයන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම – නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) කාය වේදනා චිත්ත ධර්ම කියන ධර්මයන් ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත් කියන කරුණූ ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කිරීමට මෙය සතිපට්ඨාන භාවනා සෑම කොටසක් අවසානයේදීම බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙනවා. එම නිසා කායානුපස්සනාවේ දැක්වෙන සෑම කොටසක් අවසානයේදීත්, වේදනානුපස්සනාව අවසානයේදීත්, චිත්තානුපස්සනාව අවසානයේදීත් ධම්මානුපස්සනාවේ එකිනෙක සෑම කොටසක් අවසානයේදීත් එය කළ යුතුයි.
කායානුපස්සනාවට භාවනා ක්‍රම 14 ක් ඇතුළත් (1) ආනාපාන සති භාවනාව (2) සක්මන් භාවනාව වැනි ඉරියව් පවත්වාගෙන යාමේ භාවනාව (3) සිහිනුවණින් යුතුව කටයුතු කිරීමේ භාවනාව (4) අසුභ භාවනාව (5) පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු කොටස් 4 අරමුණූ කර ගනිමින් කරනු ලබන ධාතුමනසිකාර භාවනාව සහ (6) –(14) මැරුණාට පසුව ශරීරයට සිදුවන අවස්ථා 9 ක් අරමුණු කරමින් කරනු ලබන නවසීවථික භාවනාව කියන්නේ ඒ 14 ට.
මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේවා හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්, පුද්ගලයෙක්,ආත්මයක්, මමෙක් නොවන අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතු යි.
ඒ වගේම කයේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) කයේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක්, ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.
වේදනානුපස්සනාවට අන්තර්ගත වන්නේ සැප, දුක්, මැදහත් (උපේක්ඛා) කියන වේදනා 3 ත් එම වේදනාවන් සාමිස සුඛ වේදනා සහ නිරාමිස සුඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා සහ නිරාමිස දුක්ඛ වේදනා, සාමිස උපෙක්ඛා වේදනා සහ නිරාමිස උපෙක්ඛා වේදනා කියන වේදනා කොටස් 6 ත් මෙම වේදනාවන් අරමුණු කරමින් කරනු ලබන භාවනාව තමයි වේදනානුපස්සනාව.
සාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස කියන ඉන්ද්‍රියයන්ට රූප ශබ්ද ආදි අරමුණු හමුවූ පසු පංචකාම වස්තූන් ඇසුරු කර ගෙන ඇතිවන වේදනාවන්ට, නිරාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ පංචකාම වස්තු වලින් තොරව ඇතිවන වේදනාවන්ටය, භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නො ලැබෙන විට කවදා නම් ප්‍රතිඵලයක් ලැබේදැයි සිතන විට, ධ්‍යාන සමවත් ඵල සමවත් සුව විඳින විට මේ ආදි විවිධ අවස්ථාවන්හිදී ඇතිවන වේදනාවන් නිරාමිස වේදනාවන්ට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන්. මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේ වේදනා හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්, පුද්ගලයෙක්,ආත්මයක්, මමෙක් නොවන අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතුයි.
ඒ වගේම මේ ආකාර විවිධ වේදනාවන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) වේදනාවන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහියට මතු ඤාණයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමක් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැෙඳන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නොකර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.
චිත්තානුපස්සනාව කියන්නේ සිතේ ඇතිවිය හැකි 16 ආකාර විවිධ සිත් වර්ග දකිමින් කරනු ලබන භාවනාවට 1.2,3 රාගයෙන් යුත් සිත් ද්වේෂයෙන් යුත් සිත්, මෝහයෙන් යුතු සිත් (සරාගී සිත්, සදෝස සිත්, සමෝහ සිත්)
4,5,6 රාගය ප්‍රහීණ කළ සිත් ද්වේෂය ප්‍රහීණ කළ සිත්, මෝහය ප්‍රහීණ කළ සිත් (වීතරාග, වීත දෝෂ, වීත මෝහ සිත්)
7. නිදිමතින්, ථීනමිද්ධයෙන් හැකිලී ගිය සිත් (සංඛිත්ත සිත්)
8. භාවනා අරමුණින් පිට යන සිත් (වික්ඛිත්ත සිත්)
9.ධ්‍යාන සිත් (මහග්ගත සිත්)
10. ධ්‍යානවලට පත් නොවූ සිත් (අමහග්ගත සිත්)
11. සෝවාන් ,සකදාගාමී, අනාගාමී මාර්ග හා එම ඵල සිත් (සඋත්තර සිත්) පොත්වල දැක්වෙන්නේ සඋත්තර සිත් කියන්නේ අරූපාවචර ධ්‍යාන සිත් බවයි.
12. අනුත්තර සිත් (රහත් මාර්ග හා රහත් ඵල සිත්)
13. ධ්‍යාන වලට පෙර ඇතිවන සිත නො විසිරී පවත්නා උපචාර සමාධි සිත් (සමාහිත සිත්)
14.සමාහිත බවක් නැති අසමාහිත සිත්.
15. වෙනත් සිතිවිලි නො සිතන විට රහත් වූ අයට ඇතිවන විමුක්ත සිත් ( විමුත්ත සිත්)
16. විමුක්ත භාවයට පත් නොවූ අවිමුත්ත සිත්
නිවන් දැකීමට නම්, මේ සිතිවිලි හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක් , පුද්ගලයෙක්, ආත්මයක් , මමෙක් නොවන,අනිත්‍යයට යාමෙනේ නිරුද්ධ වී නැති වී යන , දුකක් වන ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම බව චිත්තානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතු යි.
ඒ වගේම,මේ ආකාර විවිධ චිත්ත ධර්මයන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) චිත්ත ධර්මයන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීම් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නොකර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගන්නට ඕනෑ.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! දැරණියගල ධම්මසාර හිමි

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පටිච්චසමුප්පාදයේ අංග ගැන දැන ගනිමු

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය 
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි 
 දැන් අපි පටිච්චසමුප්පාදයේ අංග ටිකට යොමු වෙමු- "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන ඒවාට. අඹ ඇටය පොළොවේ පස්‌ තියෙන තැනක තැන්පත් කළා, හිටෙව්වා වගේ දකින්න ප්‍රතිසන්ධි විඤ්ඤාණය මවු කුසකට පැමිණුණ හැටි, මවුකුසකට බැසගත්ත හැටි. විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් මවු කුසකට පැමිණුණා ම, මවුකුසකට බැසගත්තා කියන්නේ හරියට අඹ ඇටය පොළොවේ තැන්පත් කළා වගෙයි.  ඊට පස්‌සේ ඇඹ ඇටයේ තියෙන ගති ටික පොළොවේ තියෙන ඕජා සාරය දෙක ම උදව් කරගෙන ගහක්‌ හටගත්තා වගේ, ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි සිතේ තියෙන "කර්ම ගති" ටික උදව් කරගෙන, බාහිර කන බොන ආහාරයත් උදව් කරගෙන, "විඤ්ඤාණය නිසා නාමරූප" කියන ධර්මාතාවක්‌ හැදෙනවා. හිතේ තියෙන නාම ධර්මවලට අනුව කන බොන ආහාරයෙන් හැදෙන රූපය සකස්‌ වෙනවා. 
අර අඹ ඇටයේ තියෙන ගතිවලට අනුව, පොළොවේ තියෙන සතර මහා ධාතු රූප කලාප අඹ ඇටයේ තියෙන ගති ටිකට අනුව රැස්‌ වීම තමයි අඹ ගහ කියලා හැදෙන්නේ. ඒ වගේ කන බොන ආහාරයෙන් හැදෙන, මව ගේ කුසයේ ඉඳලා මව ගන්න ඕජා ගුණයේ ඉඳලා ම අයිති කබලිංකාර ආහාරයට. ඒ කබලිංකාරාහාරය "සිතේ තියෙන කර්ම ගතිවලට අනුව" තැන්පත් වෙනවා. රැස්‌ වෙනවා. එතකොට කියන්නේ "විඤ්ඤාණය නිසා නාම රූප වෙනවා" කියලා. දැන් විඤ්ඤාණයකුයි නාම රූපයි දෙකක්‌ දකින්න එපා. විඤ්ඤාණය කියන කාරණය "වැය වෙලා" තමයි නාමරූප කියන කාරණාව හටගන්නේ. අඹ ඇටයකුයි, ගහකුයි දෙකක්‌ දකින්න එපා. අඹ ඇටය වැය වෙලා තමයි ගහ කියන එක හදලා තියෙන්නේ. එතකොට අඹ ඇටය වැය වෙලා තමයි කිව්වා වගේ, විඤ්ඤාණය කියන එක වැය වෙලා, ඒ සිතේ ම උපදින නාම ධර්මවලට අනුව රූප ටික හදමින්, හිතේ තියෙන ගතියට මයි එතකොට රූප ටික හැදෙන්නේ. අඹ ඇටයේ තියෙන ගතියට මයි අර මහාභූත රූප කලාප රාශි වෙන්නේ. හිතේ තියෙන කර්මජ ගති ටිකට මයි මහාභූත රූප කලාප රැස්‌ වෙන්නේ. ඒ නාමරූප දෙක හැදෙනවා. හැබැයි මුල් කාලයේ දී අංකුරයක්‌ විතරයි, අතු ඉති නැහැ වගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ප්‍රභේද නැහැ. නාමරූප දෙක විතරයි. තවත් අඹ ඇටයෙයි ආහාරයෙයි අනුග්‍රහය ලබන කොට තවදුරටත් වැඩිලා අතු ඉති බෙදුණා වගේ, විඤ්ඤාණයේ අනුග්‍රහයත්, ආහාරයේ අනුග්‍රහයත් තවදුරටත් ලැබෙන්නට ලැබෙන්නට නාම රූප දෙක වර්ධනය වෙද්දී ඒකේ අතු ඉති බෙදුණා "ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස" කියලා. අතු ඉති බෙදිච්ච ගහටත් අර දෙන්නා ගේ අනුග්‍රහය තවදුරටත් ලැබුණා - කන බොන ආහාරයි, සිතේ තියෙන ගතියි. මේ නාමරූප දෙක ටික ටික වර්ධනය වුණා. අපි පොඩි දරුවෙක්‌ හැදෙනවා කියලා කියන තැන මේ නාම රූප දෙකේ වර්ධනයක්‌. නාමරූප දෙක වැඩෙනවා. 
කෙනෙක්‌ වැඩෙනවා නො වෙයි, "නාමරූප දෙක" වැඩෙනවා. හොඳට උස්‌මහත් වුණු කෙනෙක්‌ කියන්නේ හොඳට අතුපතර විහිදිලා හැදිච්ච හෙඳ වෘක්‌ෂයක්‌ වගේ. අපි වැඩිහිටිභාවයට පත් වුණා කියන්නේ හොඳට අතුපතර විහිදිච්ච අඹ ගහක්‌ වගේ, විඤ්ඤාණය නිසා නාමරූප වුණා, නාමරූප දෙක වර්ධනය වෙනවා කියන්නේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන අතු ඉති ටික හැදෙනවා. ප්‍රභේද ටික හැදෙනවා. හැදිලා ඒක හොඳට මුහුකුරා ගියා. ඒ මුහුකුරන කොට "බාහිර" පරාග පෝෂණය වගේ. "බාහිර" රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම කියන අරමුණු උදව් කරගෙන ස්‌පර්ශය ඇති වෙලා වේදනාවක්‌ හටගන්නවා. හරියට අර ගහේ හැදුණු ගෙඩි වගේ තමයි චක්‌ඛු සමපසසජා වෙදනා, සොත සමපසසජා වෙදනා, ඝාණ සමපසසජා වෙදනා කියන ටික. දැන් අපි හිතාගෙන ඉන්නවා වේදනාව "මම" කියලා. වේදනාව "මගේ" කියලා. වේදනාව "මගේ ආත්මය" කියලා. අඹ ගෙඩිය කඩලා අතට අරගෙන මගේ කිව්වා වගේ. නමුත් මේ වේදනාව ගත්තොත්, වේදනාව අයිති ස්‌පර්ශයට, ස්‌පර්ශය අයිති ආයතන ටිකට. ආයතන අයිති නාමරූප දෙකට. නාමරූප දෙක අයිති විඤ්ඤාණයට. එතකොට "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන ටිකෙන් පින්වතුන්ට පෙන්වනවා විශාල දහම් ප්‍රදේශයක්‌. මේ ආයතන ටික නෙතං මම නෙසොහමසමි න මෙසො අතතා'ති - ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ටික මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. මේවා නාම රූප නිසයි. එතකොට ඒ නාමරූප දෙක හැදුණේ ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි සිතත්, ආහාරයත් නිසයි කියන ටික කියනවා. එතකොට ඉස්‌සල්ලා ම මේ "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන ටික අපි දත යුතුයි හරියට කෙනෙක්‌ නො කරන, ඉබේ ම හට නො ගන්න, ආත්මයකින් නො කරන, "හේතුප්‍රත්‍යයෙන් හටගත්ත" වෘක්‌ෂයක්‌ වගේ. 
ඉබේ ම හටගත්තෙත් නැහැ, කෙනෙක්‌ කළත් නො වෙයි, හේතුඵල දහමක්‌ තියෙන්නේ. එතකොට මේ "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන අනාත්මයි. ඔය ටික පටිච්චසමුපපාදයේ විදිහට "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියලා හේතුප්‍රත්‍යයෙන් හටගත්ත, ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ඔය ස්‌කන්ධ ටිකට කියනවා "දුක්‌ඛ සත්‍යය" කියලා. තව පැත්තකින් ඔක වෙන් වෙන් කරලා දෙපැත්තකින් පෙන්වන්නත් ඕනේ නම් පුළුවන්. කනබොන ආහාරයෙන් හැදුණු රූපයත්, පෙර අවිද්‍යා, කර්ම, තණ්‌හාවෙන් හටගත්ත චිත්ත වෛතසික ටිකක්‌ කියල පෙන්වන්න පුළුවන්. මෙතැන දී මට පෙන්වන්න අවශ්‍ය වුණේ වර්තමාන ස්‌කන්ධ ටිත "කෙනෙක්‌ ගේ නො වී" පුද්ගලයකු ගේ නො වී, මේ වගේ "ධර්මතා ටිකක්‌" කියන එකයි. ගහක පැවැත්මට උපමා කරලා මම පෙන්නුවේ ගහක තියෙන ස්‌වාභාවික සිද්ධාන්තයෙන් දශමයක්‌ වත් බාහිර නැහැ මේ කය කියන පැත්තේ තියෙන ධර්මතාව. අඹ අටයක්‌ හිටවලා ගෙඩි හැදෙන තැන දක්‌වාත්, "විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් ඇවිල්ලා ස්‌පර්ශ වෙලා වේදනාව ඇති වෙන තැන" දක්‌වාත් තියෙන්නේ එක ම එක සිද්ධාන්තයක්‌. එක ම ධර්මතා ටිකක්‌ විතරයි. ඉතින් මේ වේදනා හෝ ස්‌පර්ශය හෝ ආයතන හෝ නාමරූප හෝ විඤ්ඤාණය හෝ මම, මගේ නම්, අඹ ඇටය හෝ අඹ ගහ හෝ අතු ඉති හෝ පරාග පෝෂණයෙන් ඇති වන මල් හෝ ගෙඩි හෝ ආත්ම විය යුතුයි. පුද්ගලයෙක්‌ විය යුතුයි, කෙනෙක්‌ විය යුතුයි. ඒවා කෙනෙක්‌ ගේ නො වෙයි, හේතුඵල දහමක්‌ නම්, ස්‌වභාව දහමක්‌ නම් - මේ ටිකත් කෙනෙක්‌ ගේ නො වෙයි, හේතුඵල දහමක්‌, ස්‌වභාව දහමක්‌. 
 නැවතත් අර අඹ ගහේ උපමාවෙන් මම මතක්‌ කරන්නේ තේරුම්ගන්න පහසු නිසා - මෙහෙම ගෙඩි හැදෙන තැන ඉඳලා අඹ ඇටයටත්, අඹ ඇටය හිටවපු තැන ඉඳලා ගෙඩි හැදෙන තැන දක්‌වාත් ඔවුනොවුන්ට උපකාරී, මැදින් හෝ අගින් හෝ වෙනස්‌ කරන්න බැරි, වෙන් කරන්න බැරි, එකට බැඳුණු ධර්මතා ටිකක්‌ තියෙන්නේ "වර්තමානයේ දී". ඊට පස්‌සේ ප්‍රශ්නයක්‌ ඇති වුණොත් මේ අඹ ඇටය කොහෙන් ද කියලා - අඹ ඇටය හිටවපු නිසයි අංකුරය හැදුණේ. ඒ නිසයි අතු ඉති හැදුණේ. ඒ නිසයි පරාග පෝෂණය වෙලා, මල් හැදිලා, ගෙඩි හැදුණේ. ගෙඩි නැට්‌ටට අයිතියි, නැට්‌ට අතුඉතිවලට අයිතියි, අතුඉති කඳට අයිතියි, කඳ ඇටයට අයිතියි. ඒ ටිකේ ප්‍රශ්නයක්‌ නැහැ. අඹ ඇටය කොහෙන් ද කියලා ප්‍රශ්නයක්‌ ඇති වුණොත් එතකොට "මෙතැන සිද්ධිය" අතහරින්න වෙනවා. "මීට ඉස්‌සෙල්ලා" ගහක හැදිච්ච අඹ ගෙඩියක්‌ ඇතුළෙයි තිබුණේ. ඒ කියන්නේ එතකොට චතුරාර්ය සත්‍යයේ "සමුදය සත්‍යයට" එනවා. දුක්‌ඛ සත්‍යය දැක්‌කා - දුක්‌ වූ ස්‌කන්ධ ටික විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා, කියන ටික. මේ දුක්‌ වූ ස්‌කන්ධ ටික හේතු ප්‍රත්‍යයයි. සංතෙතන පඤචුපාදානාකඛනධා දුකඛා - උපාදානයට හිත ස්‌කන්ධ ටිකයි දුක. ඒක හේතුප්‍රත්‍යයි. විඤ්ඤාණය නිසා නාමරූප, නාමරූප නිසා ආයතන, ආයතන නිසා ස්‌පර්ශය, ස්‌පර්ශය නිසා වේදනා, වේදනාව කියන තැනත්, ප්‍රතිසන්ධි සිත කියන තැනත් අඛණ්‌ඩයි, එහෙනම් දුකෙඛ ඤාණං කියන කොට සත්ත්ව නො වූ, පුද්ගල නො වූ, අනාත්ම වූ ස්‌කන්ධ ටිකක්‌ කියන නුවණ ආවා. මේ දුක ඇති වුණේ කොහොම ද? දුක්‌ඛ සමුදය ගැන නුවණ එනවා. ඒ නුවණ ඇති වෙන කොට ම පුබබනෙත ණයට යනවා. දුක්‌ඛ සමුදයට එනකොට පුබබනෙත ඤාණයට යනවා. අඹ ඇටය කොහෙන් ද කියන කොට පෙර හේතුවට යනවා. පෙර අඹ ගහක හැදුණු අඹ ගෙඩියක්‌ ඇතුළෙයි මේ ඇටය තිබුණේ. ඒ කියන්නේ පෙර ජීවිතයේ විපාකයකටයි. - "විපාකයක" ඇත්ත නො දැන ඇති කරගත්තා වූ "කර්ම නිමිත්තයි" මෙතැන ප්‍රතිසන්ධියට හේතු වුණේ. 
එතැනත් ගෙඩියක්‌ ඇතුළෙයි තිබුණේ. පෙර ජිවිතයේ "විපාකයේ ඇත්ත නො දන්නාකම" නිසා ඇති කරගත්ත කර්ම නිමිත්ත හේතු වුණා විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් මෙතැනට පැමිණෙන්න. පැමිණුණාට පස්‌සේ ආයෙත් ගහක්‌ හැදිලා ගෙඩි හැදෙනවා කියන ටික ආයෙත් වුණා. ඉස්‌සෙල්ලා අඹ ගහේ ගෙඩියක්‌ ඇතුළෙයි මේ ඇටය තිබුණේ. ඒ ඇටෙයි මෙතැන ඇවිල්ලා පැළ වුණේ. පැළ වෙලා ගහක්‌ හදලා ගෙඩි හැදුණේ. දැන් සමුදය සත්‍යය දකිනවා එයා පුබබනෙත ඤාණයෙන් - "පෙර". ඊට පස්‌සේ අපරනෙත ඤාණයෙනුත් දකිනවා - අද මේ ගහේ හැදෙන ගෙඩි කාලා ඇට ඉතුරු කළොත් මේ ඇටේ ආයෙත් පොළොවේ වැටුණොත්, ආයෙත් අංකුරයක්‌ හැදිලා, අතුඉති හැදිලා, මේ වගේ ම ගහක්‌ හදලා ගෙඩි හදනවා. ඒ වගේ පෙර අවිද්‍යා, කර්ම නිසා මේ විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් ඇවිල්ලා ස්‌පර්ශ වෙලා වේදනාවක්‌ ඇති වෙනවා ස්‌පර්ශ ආයතන හයේ. මේ "විපාකයේ" මේ "ස්‌පර්ශ ආයතන හයේ" අද ඇත්ත ඇති හැටියේ නො දැක්‌කොත්, අද ඇති කරගන්න අවිද්‍යාවෙන් කර්ම කෙළෙස්‌ ඇති කරගත්තොත්, ඒ කර්ම කෙළෙස්‌ නිසා නැවත මේ වගේ ම ප්‍රතිසන්ධි සිතක්‌ හටගන්නවා. හටගෙන නැවතත් මේ වගේ දුක්‌ වූ ආයතන ටිකක්‌ උපද්දවනවා නේ ද කියන නුවණක්‌ එනවා.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පැහැබර සිත ජීවිතය විනිවිද දකී.. ප්‍රඥාව දියුණු කරගැනීමට නම්...

වේයන්ගොඩ, බෝපාගම, 
මිගදාය තපෝවනයේ, 

ගම්පහ පාසාදික හිමි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන අප හට බුදු සසුන තුළ කළ යුතු දේ බොහෝමය. තිසරණය පිළිබඳව ප්‍රසාදය බහුල කර ගැනීම, සිත, කය, වචනය සංවර කර ගැනීම, සිතෙහි සමාධියක් උපදවාගැනීම, පිරිසුදු ධර්ම ඥානයක් තුළින් ප්‍රඥාව දියුණු කර ගැනීම ආදී ශාසනික පිළිවෙත් ඒ අතර ප්‍රධානම කරුණු වේ. එනමුත් මෙම ශ්‍රේෂ්ඨ ශාසනික වැඩ පිළිවෙල ජීවිතය තුළ දියුණු කර ගැනීම පහසු කටයුත්තක් නම් නොවේ. සිත තුළම උපදින යම් යම් මානසික ආවේගයන් ඉදිරිපත් වී එම වැඩ පිළිවෙළ මුළුමනින්ම අවුල් කර දමයි. ඉදිරියට දියුණු කරගෙන ආ සසුන් පිළිවෙත ආපස්සට ම ඇද දමයි. බොහෝ විට සිත තිබූ මට්ටමටත් වඩා පිරිහීමකට පත් කරයි.
මෙවන් වූ පසු බැසීමකට අප පත් කරනු ලබන බොහෝ කරුණු කාරණා අතර පංච නීවරණ ධර්ම ඉදිරියෙන් ම සිටියි. මෙම පංච නීවරණ ධර්මයන්ට ‘අකුසල රාශිය’ නමින් භාග්‍යවතුන් වහන්සේ පවා හැඳින්වූයේ ඒ නිසාමය. යම් කිසිවෙකුගේ සිතක් තුළ මෙම පංච නීවරණ ධර්මයන් ක්‍රියාත්මක වේ නම් එම සිතෙහි පිරිහීම කිසිවෙකුටවත් වළක්වාගත නො හැකි ය. ගෞතම බුදු සසුන තුළ ශාසනික අභිවෘද්ධියක් අපේක්ෂාවෙන් සිටින සියලු දෙනා ම තම සිතෙහි උපදින නීවරණ ධර්මයන් පිළිබඳව බලවත් වූ අවධානයකින් සිටීම කළ යුතු ම කාර්යයකි. නීවරණ ධර්මයන් වන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන පහයි. කාමයන් කෙරෙහි ඇති කැමැත්ත කාමච්ඡන්ද නීවරණයයි. තරහ සිත් පැවැත්වීම ව්‍යාපාද නීවරණයයි. අලසකම සහ නිදිමත ථීනමිද්ධ නීවරණයයි. සිතෙහි නොසන්සුන්කම සහ පසුතැවීම උද්ධච්ඡකුක්කුච්ච නීවරණයයි. සිතෙහි දියුණුවට බාධා පමුණුවන සැක සංකා ස්වභාවය විචිකිච්ඡා නීවරණයයි.
සතර අපායේ වැටෙමින් ඉපදී ඉපදී මැරි මැරී යන බියකරු සසර පිළිබඳ ව උපදවාගත් සසර බිය නැති කර දමන්නේත්, බලවත් වූ පරිශ්‍රමයකින් ඇති කර ගත් තිසරණය පිළිබඳව වූ පැහැදීම හීන කර දමන්නේත්, අවබෝධයෙන් ම සකස්කර ගත් සීලවන්ත ජීවිතය විනාශ කර දමනු ලබන්නේත්, සිතෙහි ඇති මානසික සංසිඳීම බැහැර කර දමන්නේත්, සිතෙහි සමාධියක් උපදවා ගැනීමට බාධා පමුණුවනු ලබන්නේත්, ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට ඉඩ නොදෙන්නේත්, අවුල් වූ නූල් කැටියක් ලෙස ජීවිතය මුළුමනින්ම අවුලෙන් අවුලට පත් කරනු ලබන්නේත් මේ පංච නීවරණ ධර්මයන් ය. සිත තුළ හටගනු ලබන යම්තාක් අකුසල ධර්මයන් වේ නම් මේ සියලු අකුසල ධර්ම හට ගැනීම පිණිස ප්‍රධානම හේතුව වන්නේ රාග, ද්වේෂ, මෝහ මුල්කරගත් මේ පංච නීවරණ ධර්මයන්ය. එසේ නම් නීවරණ ධර්මයන්ගෙන් තොර වූ සිතෙහි බැබළීම අප මොන තරම් නම් ශ්‍රේෂ්ඨත්වයකට පත් කරවී ද?
මෙම පංච නීවරණ ධර්මයන් සිතක් තුළ හටගැනීමට පොදුවේ බලපාන ප්‍රධාන ම කරුණු වන්නේ අයෝනිසෝ මනසිකාරයයි. එනම්, සිතට ඇතුළුවන අරමුණු පිළිබඳ ව පිරිසුදු සිහියකින් තොරව එම අරමුණු තුළ කල්පනාව හැසිරවීමයි. නුවණින් තොරව කෙරෙන මෙම මනසිකාරය අයෝනිසෝ මනසිකාරයයි. එක් එක් නීවරණ ධර්මයන් හටගැනීමට හේතු වන කරුණු මත නුවණින් තොර ව අනවබෝධයෙන් මනසිකාරය පැවැත්වීම හේතුකොටගෙන ඒ ඒ නීවරණ ධර්ම සිත තුළ උපදී.
සිතෙහි හටගන්නා නීවරණ ධර්මයන් සිත තුළින් දුරුකොට දැමීම සඳහා උපකාර කරනු ලබන්නේ යෝනිසෝ මනසිකාරයයි. එනම් අවබෝධය පෙරටු කරගත් නුවණින් යුක්තව කල්පනාව හැසිරවීමයි. එම නිසා පංච නීවරණ ධර්මයන්ගෙන් තොර වූ පිරිසුදු සිතක් පවත්වන්නට කැමති කෙනා පළමුවෙන් ම අයෝනිසෝ මනසිකාරයත්, යෝනිනේ මනසිකාරයත් පිළිබඳව දැනගෙන සිටිය යුතුමය. ජීවිතයේ අවබෝධයට හේතු වන කරුණු මත සිහිය පිහිටුවා නොගෙන සිටින තාක් කල් එම සිත තුළ අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මකවීම වැළැක්විය නොහැකිමය. එම නිසා සිතෙහි මනසිකාරය හෙවත් කල්පනාව පිළිබඳව වඩාත් හොඳ අවධානයකින් සිටිය යුතු ය.
ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනයන්ගෙන් ගනු ලබන අරමුණු මත අපේ කල්පනාව හැසිරවීම සෑම මොහොතකදී ම සිදුවන දෙයකි. එම ආයතනයන්ගෙන් ගනු ලබන අරමුණු පිළිබඳවත්, එම අරමුණුවලට අනුව සිත හසුරුවන ආකාරය පිළිබඳවත් කෙනෙකුට පිරිසුදු සිහියක් පවත්වන්නට නො හැකි වුවහොත් නිරතුරුව ම එම සිතේ පවතින්නේ අයෝනිසෝ මනසිකාරය මුල්කරගෙන හටගත් නීවරණ ධර්මයන් ය. එබැවින් ආයතන තුළින් ගනු ලබන අරමුණු පිළිබඳවත්, එම අරමුණුවලට අනුව සිත හැසිරවීම පිළිබඳවත් සුපිරිසුදු සිහියක් පැවැත්විය යුතුම ය.
එවිට එම අරමුණ අකුසලයන්ට, නීවරණ ධර්මයන්ට අනුග්‍රහ කරන අරමුණක් නම් අයෝනිසෝ මනසිකාරය උපදවා නොගෙන යෝනිසෝ මනසිකාරය හෙවත් අවබෝධයෙන් යුතු කල්පනාව හැසිරවීම මත එම අරමුණු සිත තුළින් ප්‍රහාණය කර දැමිය හැකි ය. එසේම එම අරමුණ කුසල ධර්මයන්ට උපකාරී වන අරමුණක් නම් අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වීමට පෙරාතුව මනාව සිහිය පිහිටුවාගෙන යෝනිසෝ මනසිකාරය උපදවාගෙන එය සිත තුළ බලවත් කර ගත යුතු ය.
අයෝනිසෝ මනසිකාරය දුරුකොට යෝනිසෝ මනසිකාරය පැවැත්වීම ඕනෑම කෙනෙකුට කළ හැකි ය. මේ සඳහා අවශ්‍ය වන්නේ ආයතනයන්ගෙන් ගනු ලබන අරමුණු පිළිබඳව සිහියෙන් අවධානය යොමු කරගෙන සිටීමත්, එම අරමුණු තුළ අයෝනිසෝ මනසිකාරය නො පවත්වා යෝනිසෝ මනසිකාරය දියුණු කර ගැනීමට අවශ්‍ය වීරිය උපදවා ගැනීමත් ය.මෙම පිරිසුදු සිහිය සහ වීරිය පවත්වා ගැනීමට දක්ෂ ඕනෑම කෙනෙකුට යෝනිසෝ මනසිකාරය තුළින් නීවරණ ධර්මයන්ගෙන් තොර වූ ප්‍රභාෂ්වර වූ සිතක් උපදවාගත හැකි ය.
සිතේ දියුණුව මුළුමනින්ම අවුරාගෙන සිටින, සිතේ අභිවෘද්ධියට බොහෝ සෙයින් බාධා පමුණුවන, සිත දියුණුවීමට ඉඩ නොදී තදින් ම මැඬගෙන සිටින, ප්‍රඥාව වැඩෙන්නට ඉඩ නොදී දුර්වල කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා යන මේ පංච නීවරණ ධර්මයන් යෝනිසෝ මනසිකාරය තුළින් ප්‍රහාණය කළ විට එම සිත ශ්‍රේෂ්ඨත්වයකට පත්වීමට අවශ්‍ය වන ආකාරයට ම සකස් වේ. නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වූ සිත වඩාත් මෘදු වූ ස්වභාවයකට පත් වේ. ශාසනික අභිවෘද්ධියකට ගැළපෙන ලෙස වඩාත් නම්‍යශීලී වේ. ජීවිතයේ යථා ස්වභාවය විනිවිද දැකීමට තරම් සිත ප්‍රභාෂ්වර වේ. අකුසල් අරමුණු ඉදිරියේ සිත වහා බිඳී නොයයි. ජීවිතාවබෝධය කිරීමට අවශ්‍ය වන ආකාරයට ම සිත තුළ සමාධිය බලවත් ව පිහිටයි. විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු වූ යම්තාක් ධර්මයන් වේ ද? සිත ඒ සඳහා මනාව නැඹුරු වේ.
පංච නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වූ සිත තුළ රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන ඉතා පහසුවෙන් ම උපදවාගත හැකි ය. එමෙන් ම ඉද්ධිවිධ ඤාණය, දිබ්බ සෝත ඤාණය, පරචිත්ත විජානන ඤාණය, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, දිබ්බ චක්චුු ඤාණය, චුතූපපාත ඤාණය මෙන්ම සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ නුවණ නම් වූ ආස්‍රවක්ෂය ඤාණය ද පහසුවෙන් උපදවාගත හැකි ය. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුද්ධිමතුන් හැටියට මේ ශාසනික අභිවෘද්ධිය ජීවිතය තුළ සාක්ෂාත් කර ගත යුතුම ය. එය මන්දෝත්සාහීව කළ හැකි දෙයක් නම් නොවේ. කෙලෙස් තවන වීරියෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, බලවත් වූ සිහියෙන් යුක්ත ව කළ යුතු දෙයකි.
මේ සඳහා යෝනිසෝ මනසිකාරයත්, නීවරණ ධර්මයන් පිළිබඳව මනා වූ අවබෝධයත්, නීවරණ ධර්මයන් සිත තුළ හට ගැනීමට හේතුවන කරුණුත්, එම හේතු නිරුද්ධ කරන ආකාරය පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් තිබිය යුතු ය.
කාමච්ඡන්ද යනු කාමයන් කෙරෙහි සිත තුළ පවතින කැමැත්තයි. කාමයන් කෙරෙහි ඇති කැමැත්තට ම අනුව සිත හසුරුවන විට සිත කාමයන්ටම නැඹුරු වේ. කාමයන් ම සොයයි. එම නිසා ම සිතේ දියුණුවට ඇති ඉඩකඩ මුළුමනින්ම ඇහිරී ගොස් සිත තුළ රාගය මුල් කරගත් අකුසල ධර්මයන් වැඩි දියුණු වී කාමයන්ට ඇති කැමැත්ත නීවරණ ධර්මයන් බවට පත්වේ.
කාමච්ඡන්ද නීවරණය හටගැනීමට කරුණු දෙකක් බලපානු ලැබේ. එනම් සුබ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරයයි. සුබ නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරය හසුරුවන විට සිතේ උපදින්නේ කාමච්ඡන්ද නීවරණයයි.
සුබ නිමිත්ත යනු ආයතනවලින් ගනු ලබන පි‍්‍රයමනාප අරමුණු ය. එනම් ඇසින් දකින පි‍්‍රයමනාප රූප ය. කනින් අසන පි‍්‍රයමනාප ශබ්දය. නාසයෙන් ආඝ්‍රාණය කරන පි‍්‍රයමනාප ගඳ සුවඳ ය. දිවෙන් විඳින පි‍්‍රයමනාප රසය. කයින් ලබන පි‍්‍රයමනාප පහස ය. සිතින් දැනගන්නා පි‍්‍රයමනාප අරමුණු ය. සිත තුළ රාගයක් ඉපදීමට උපකාරී වන ආකාරයෙන් මෙම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි, පි‍්‍රයමනාප වශයෙන් පිළිගෙන, ඒවා පිළිබඳව නුවණින් තොර ව කල්පනා කිරීම තුළ කාමච්ඡන්ද නීවරණය උපදී. එම නිසාම සිතින් කයින් වචනයෙන් සිදුවන යම්තාක් අකුසල ධර්මයෝ වෙත් ද ඒවා ක්‍රියාත්මක වන්නට පටන් ගනී. එසැණින් ම සිතේ දියුණුව අකර්මන්‍ය වේ.
කාමච්ඡන්ද නීවරණයෙන් සිත ආරක්ෂා කර ගැනීමට නම් කළ යුත්තේ සුබ නිමිති වශයෙන් පිළිගත් දේ අසුබ නිමිති වශයෙන් පිළිගෙන, අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමයි. මෙය පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මේ සඳහා නුවණ සහ වීරිය බලවත් ව ඇති කර ගත යුතු ය. සුබ නිමිත්ත අසුබ නිමිත්තක් ලෙස දැකීම යනු පි‍්‍රයමනාප නිමිති අපි‍්‍රය අමනාප වශයෙන් සැලකීම නම් නොවේ. ඊට වඩා හාත්පසින් ම වෙනස් වූ දෙයකි. එනම්, සුබ වශයෙන් පිළිගත් නිමිති දෙස ඒවායේ යථා ස්වභාවය අවබෝධ වන ආකාරයට බැලිය යුතු ය. රූපයක් නම් එහි පිළිකුල් ස්වභාවය නුවණින් මෙනෙහි කළ යුතු ය. රාගය ඉපදීමට හේතුවන ශබ්දයත්, ගන්ධයත්, රසයත්, පහසත්, අරමුණක් නම් ඒවායේ හරයක් නැති බව, ළාමක වූ දෙයක් බව, හිස් බව, බොල් බව, අසාර බව, තුච්ඡ බව, අනිත්‍ය බව නුවණින් මෙනෙහි කළ යුතු ය. එවිට කාමච්ඡන්දයෙන් සිත නිදහස් වී පිරිසුදු වේ. හටගැනීමට තිබූ අකුසල් නිරුද්ධ වී යයි. සිත මැනවින් ආරක්ෂා වේ.

ව්‍යාපාද නීවරණය

ව්‍යාපාද නීවරණය සිත පිරිහීමට බලපාන දෙවෙනි නීවරණ ධර්මය වේ. ව්‍යාපාදය යනු තරහ ස්වභාවයයි. ක්‍රෝධ සහගත ස්වභාවයයි. තරහත්, ක්‍රෝධයත් සිත තුළ උපන් කල සිත මුළුමනින් ම තරහට, ක්‍රෝධයට නතු වී සිටියි. යමක පවතින සැබෑ තත්ත්වය ඒ ආකාරයෙන්ම දැකිය නො හැකි මට්ටමකට සිත පත් වේ. මෙම ව්‍යාපාද නීවරණය හට ගැනීමට ද කරුණු දෙකක් බලපායි. එනම් පටිඝ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරයයි.
පටිඝ නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මකවීම හේතු කොටගෙන ව්‍යාපාද නීවරණය උපදී. පටිඝ නිමිත්ත යනු තරහව හෝ ක්‍රෝධය හට ගැනීමට හේතු වූ කරුණු ය. එම කරුණ මත නුවණින් තොරව කල්පනා කරන විට අනවබෝධයෙන් සිතන විට උපදින්නේ ව්‍යාපාද නීවරණයයි. මෙම පටිඝ නිමිත්තට අනුග්‍රහ කරන්නේ ද රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ සිතිවිලි ය. මේවා අපි‍්‍රය අමනාප වශයෙන් පිළිගෙන අනවබෝධයෙන් කල්පනා කරන විට ව්‍යාපාද නීවරණය හට ගනී. එනම් තරහට හේතු වන කාරණාව මත නුවණින් තොරව සිතීමයි. මෙවිට ද සිදුවන්නේ සිත තුළ නොයෙකුත් ආකාරයේ අකුසල ධර්ම හට ගැනීමයි. එවිට සිතින්, කයින්, වචනයෙන් නොමනා දේවල් සිතන, කරන, කියන කෙනෙක් බවට පත් වේ. එ නිසා ම බරපතළ ව්‍යසනයන්ට මුහුණ දෙන්නට සිදු වන අතර ජීවිතයට විශාල අනර්ථයක් උදාකර දෙයි. ජීවිතය තුළ පැවති සාමාකාමී බව මුළුමනින්ම අහෝසි වී යයි.
මෙම ව්‍යාපාද නීවරණයෙන් සිත නිදහස් කරන්නට නම් කළ යුත්තේ එම නීවරණය හට ගැනීමට හේතු වූ කරුණු නිරුද්ධ කර දැමීම ය. තරහව ක්‍රෝධය හට ගැනීමට උපකාරී වූ අරමුණු තුළම මෛත්‍රිය පිහිටුවා ගෙන, එම මෛත්‍රියට අනුව දිගින් දිගටම නුවණින් කල්පනාව හැසිරවීමය. හටගත් පටිඝ සහගත සිත කාලයාගේ ඇවෑමෙන් නැති වී යන්නට ඉඩ ප්‍රස්තා සැලසුවහොත්, එය නැති වී යන්නේ ජීවිතයටත්, සිතටත් බරපතළ හානියක් උදාකර දෙමිනි. එම නිසා ම උපන් ව්‍යාපාද නීවරණය ප්‍රහාණ කළ යුත්තේ අවබෝධයෙන්ම ය. සිහියෙන්මය. මෙය පහසු කටයුත්තක් නොවුනත් පුද්ගලයන් පිළිබඳ ව හටගත් තරහව ඒ පුද්ගලයා පිළිබඳව මෛත්‍රිය ම උපදවා ගෙන, මෛත්‍රියම බලවත් කරගෙන කල්පනාව හසුරුවන්නට හැකි වුවහොත් එය විශාල දියුණුවක් මෙන්ම ජයග්‍රහණයකි. එවිට නැති වී ගිය ජීවිතයේ සාමකාමී බව යළිත් හිමි වේ.

ථීනමිද්ධය

තුන් වෙනි නීවරණය වන්නේ ථීනමිද්ධයයි. සිතෙහි සහ කයෙහි ප්‍රාණවත් බවත් ක්‍රියාශීලී ස්වභාවයත් ධර්මාවබෝධයට අත්‍යවශ්‍ය කරුණකි. එබඳු ස්වභාවයක් ජීවිතයක් තුළ නොමැති වුවහොත් ගුණ ධර්මවල පිරිහීම අත්‍යන්තයෙන් ම සිදුවන දෙයකි. ථීනමිද්ධ නීවරණය තුළින් සිදුවන්නේ ද එයයි. ථීන යනු අලස බවයි. කම්මැලි බවයි. මිද්ධ යනු නිදිමතයි. අලස බව ඇති වෙනවත් සමඟම නිදිමත ද පැමිණේ. නිදිමත එන විට අලස බව ද පවතී. මෙම කරුණු දෙකට ජීවිතයේ ඉබාගාතේ හැසිරෙන්නට ඉඩ සැළසුවහොත් සිදුවන්නේ විශාල අනර්ථයකි. එය ජීවිතයේ සෑම පැත්තකටම හානි පමුණුවයි. ආර්ථික, ආධ්‍යාත්මික, ශාසනික අභිවෘද්ධිය මුළුමනින්ම නැතිකොට ජීවිතය වඳ භාවයට පත් කිරීමට මෙම ථීනමිද්ධ නීවරණයට හැකියාව පවතී.
මෙම ථීනමිද්ධ නීවරණය සිතේ හට ගැනීමට බලපාන කරුණු ගණනාවක් ඇත. එම කරුණු තුළ නුවණින් තොරව කල්පනාව හසුරුවද්දී ථීනමිද්ධ නීවරණය හට ගනී. කුසල ධර්මයන් තුළ ප්‍රාණවත්ව නො ඇලීම, කම්මැලිකම, ඈනුම් ඇරීම, බත් මතය, සිතෙහි අලස බව යන මේවා ථීනමිද්ධ නීවරණය හට ගැනීමට හේතු වන කරුණු වේ. මෙම කරුණුවල එක් කරුණක් හෝ සිතට ඇතුළුවුවහොත්, ඒ තුළ සිතේ ඕනෑම ආකාරයකට හැසිරෙන්නට කල්පනාව මුදාහළහොත් ථීනමිද්ධ නීවරණය හටගැනීම ඒකාන්තයෙන්ම සිදුවන දෙයකි. ඉහත කී හේතු මත අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක කිරීම ථීනමිද්ධ නීවරණයට හේතුවයි.
මෙම නීවරණයෙන් සිත නිදහස් කර ගැනීමට නම්, උපන් ථීනමිද්ධය ප්‍රහාණය කිරීමට නම් ගතේ සිතේ දෙකේ ම ප්‍රාණවත් බව ඇති කර ගත යුතු ය. මේ සඳහා අවශ්‍ය වන්නේ නුවණින් යුතුව කල්පනාව හසුරුවමින් වීරිය බලවත් කර ගැනීමයි. එම වීරිය ද ආකාර තුනකින් ක්‍රියාත්මක කළ යුතු ය.

උද්ධච්ච කුක්කුච්ච නීවරණය

හතරවෙනි නීවරණ ධර්මය වන්නේ උද්ධච්ච කුක්කුච්ච නීවරණයයි. සිතෙහි එකම ස්වාභාවයකින් දෙයාකාරයකින් ක්‍රියාත්මක වන මෙම නීවරණය ද සිතේ දියුණුව මුළුමනින්ම අවුරා දමයි. මෙම නීවරණය ක්‍රියා කිරීමට හේතු වන්නේ ද නුවණින් තොරව කල්පනාව හැසිරවීමයි.
උද්ධච්ච යනු සිතේ නොසන්සුන්කමයි. කුක්කුච්ච යනු පසු තැවීමයි. අතීතය හාරා අවුස්සමින් පසු තැවි තැවී සිටීම, නො පැමිණි අනාගතය ගැන සිතා කනස්සල්ලෙන් සිටීම, මුහුණ පා සිටින ගැටලුවලට නුවණ යොමු නොකර අසිහියෙන් කටයුතු කිරීම ආදී හේතු මුල් කරගෙන මෙම උද්ධච්ච කුක්කුච්ච නීවරණය හට ගනී. මෙම නීවරණයෙන් සිත ආරක්ෂා කර ගැනීමට නම් කළ යුත්තේ කළබල නොවී ඉවසීමෙන් සිත සංසිඳෙන පිළිවෙළට කල්පනාව හැසිරවීමයි. කලබල වී ඇති, නොසන්සුන් වී ඇති සිත දෙස අවබෝධයෙන් බලා හිඳිමින් සිතේ ස්වභාවයට ගැළපෙන ආකාරයෙන් සංසිඳුවා ගත යුතු ය. මේ සඳහා යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යමය. ඉවසීම පුරුදු කළ යුතුමය.

විචිකිච්ඡා නීවරණය

නීවරණ ධර්මයන්ගේ පස්වෙනි නීවරණය වන්නේ විචිකිච්ඡා නීවරණයයි. විචිකිච්ඡාව යනු සිතේ සැක සංකා සහගත ස්වභාවය පැවතීමයි. සිතක සැක සංකා සහගත ස්වභාවය පවතින තාක් කල් හරි, වැරැද්ද, යහපත, අයහපත, කළ යුතු, නොකළ යුතු දේ පිළිබඳව අවබෝධයන් වැටහීමක් ඇත්තේම නැත. එනිසා නිවැරදි දේ යයි සිතා වැරදි දේම තෝරාගනී. යහපත් දේ යයි සිතා අයහපත් දේ ම තෝරා ගනී. කළ යුතු දේ යයි සිතා නොකළ යුතුම දේ කරයි. මෙ නිසා ජීවිතය අවුල් බවට පෙරළෙයි. මෙම විචිකිච්ඡා නීවරණය සිත තුළ පවතින තාක් ම ජීවිතයට සිදුවන අනර්ථය සුළු පටු නොවේ. නිවැරදි අවබෝධයක් නැතිකම නිසා ම සැකය ඉපදීමට හේතුවන කරුණු මත නුවණින් තොරව කල්පනාව හැසිරවීම නිසා මෙම විචිකිච්ඡා නීවරණය හට ගනී.
නිවැරදි අවබෝධය, පිරිසුදු කල්පනාව, සත්‍ය වටහා ගැනීමේ හැකියාව නොමැති තැන උපදින්නේ විචිකිච්ඡාවයි. මෙම නීවරණයෙන් සිත නිදහස් කර ගැනීමට භාග්‍යවතුන් වහන්සේ කරුණු ගණනාවක් පෙන්වා දී ඇත. කුසල් සහ අකුසල් සහගත ධර්මයන් තුළත්, වැරදි සහ නිවැරදි ධර්මයන් තුළත්, ළාමක සහ උසස් ධර්මයන් තුළත්, පින් සහ පව් පිළිබඳවත් නුවණින් යුක්තව කල්පනා හැසිරවීම මත මෙම විචිකිච්ඡා නීවරණයෙන් නිදහස් විය හැකි ය. ඒ සඳහා ප්‍රඥාව විනිවිද යන මනසිකාරයක් සකස් කර ගත යුතුමය.

සිත නිදහස් කරගැනීම

මේ ආකාරයෙන් නීවරණ ධර්මයන් පිළිබඳවත් නීවරණ ධර්මයන්ගේ හටගැනීම පිළිබඳවත්, උපන් නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන ආකාරය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තිබිය යුතුම ය. එසේ නොමැති වුවහොත් ධර්මය ප්‍රගුණ කළ නොහැකි මට්ටමට ම සිත පිරිහීමට පත් වේ. එම නිසා ශාසනික අභිවෘද්ධියක් මේ උතුම් බුද්ධ ශාසනය තුළ දී ම අපේක්ෂා කරන සියලු දෙනා ම සිත තුළ බල පවත්වන නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම පිළිබඳ ව වඩාත් අවධානය යොමු කළ යුතුම ය.
ණයට ගත් මුදලින් ව්‍යාපාරයක් ආරම්භකොට ව්‍යාපාරය දියුණු කර ණයෙන් ද නිදහස් වී අපමණ සතුටක් විඳින කෙනෙක් මෙන්, බොහෝ දැඩි සේ ගිලන් ව සිටි රෝගියෙක් එම රෝගයෙන් සුවපත් වී අපමණ සතුටක් ලබනවා මෙන්ම, බන්ධනාගාරගත වූ කෙනෙක් කිසිම මුදලක් වියදම් නොකොට සුවසේ නිදහස් වී අපමණ සතුටක් ලබනවා මෙන්, දාස භාවයෙන් සිර වී සිට කැමති කිසි දෙයක් කරගත නො හැකිව සිටි කෙනෙක් දාස භාවයෙන් නිදහස් වී තමන් කැමති සේ ජීවත්වෙමින් අපමණ සතුටක් ලබනවා මෙන්, අල්ප වූ ආහාරපාන රැගෙන උවදුරු සහිත කාන්තාරයකින් එතෙර වීමට ආ කෙනෙක් එයින් නිරුපද්‍රිත ව එතෙර වී අපමණ සතුටක් ලබනවා මෙන් නීවරණය ධර්මවලින් සිත නිදහස් කර ගත් කෙනා ද, විඳින්නේ අපමණ සතුටකි. සතුටු වූ නිසා ම පී‍්‍රතිය ද බලවත් වේ. මනස පී‍්‍රති සහගත නිසා ම කය ද සංසිඳෙන්නට පටන් ගනී. අපමණ වූ සැපය නිසාම සිතේ සමාධිය ද උපදී. පිරිසුදු ධර්ම ඥානයක් ඇති කෙනෙකුට මෙවන් වූ සමාධියක් උපකාර කරගෙන ප්‍රඥාව දියුණු කර ගැනීම කිසිසේත්ම අපහසු කරුණක් නම් නොවේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අනුත්තරීය ධර්ම

මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

අප ජීවත් වන ලෝකයේ අපේ සිත ඇදෙන බැඳෙන විවිධ කරුණු කාරණා පවතිනවා. ඒ වෙනුවෙන් අපි විවිධ ක්‍රියාකාරකම් පවත්වනවා. ඒවා පිළිබඳ හොඳින් කරුණු විග්‍රහ කරලා බැලුවොත් ඒ බොහෝ ක්‍රියාකාරකම් අපේ මෙලොව තාවකාලික සුවපහසුව හෝ තාවකාලික වින්දනය සඳහා හේතු වෙනවා. බරතලම කාරණය වන්නේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා අපේ ඊළඟ භවය බොහෝ විට සසර ගමන දිගුකරවීමටත්, එපමණක් නොව මෙලොවත් පරලොවත් අතිශය දුක් විඳීමටත් හේතු වෙනවා.
මේ කරුණු පරිස්සමින් වටහා ගෙන ජීවිතය ගොඩ නගාගැනීම හැම කෙනෙකුගේම යහපතට හේතු වෙනවා. මේ කරුණ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා මෙන්න මේ ආකාරයෙන් කිසියම් අයෙක් මේ ලෝකයේ ජීවත් වන විට තමන්ටත් අනුන්ටත් අහිතකර යම් ක්‍රියාවක් කරනවා නම් හරි තමන්ගේ මුවින් යම් කිසිවක් කියනවා නම් එය තමන්ගේ මෙලොව පරලොවත් තැවීමට විපතට හේතු වෙනවාය කියන මේ කාරණය. එහෙම නම් අප කළ යුත්තේ කුමක්ද ?යන්නට අප විසින් බෞද්ධයන් වශයෙන් හිතනවා නම් තමන්ටත් අනුන්ටත් යහපත් වන වැඩයි. අප කිය යුත්තේ යහපත් වචනයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දේශනාවක් තිබෙනවා.

මෙහි සඳහන් දේශනාව ධර්මයෙහි අනුත්තරිය ධර්ම යන නමින් හැඳින්වෙනවා. මොනවාද මේ අනුත්තරිය ධර්ම? ඒවා අනුත්තරිය වන්නේ ඒ නිසා අපේ ජීවිතයට මෙලොවත් පරලොවත් සැනසීමක් උදා කරන නිසයි. එවැනි අනුත්තරිය ධර්ම හයක් උන්වහන්සේ පැහැදිලි කර දී තිබෙනවා ‘අනුත්තරිය සූත්‍රයේ’ දී. අපි දැන් ඒ එක එකක් ගෙන විමසා බලමු.

ශ්‍රේෂ්ඨ දැක්ම

එහි සඳහන් ආකාරයට පළමුවෙනි අනුත්තරිය ධර්මය මේ ආකාරයෙන් විස්තර කර තිබෙනවා. දැකීමෙන් හොඳ හොඳ දැකීම කුමක්ද? ඇත්තටම මේ දැකීම අපි ලබා ගන්නේ අපේ ඇස් දෙකින්. මේ ඇස් දෙක හරි විදියටත් වැරැදි ආකාරයෙනුත් යොදාගෙන ඒ දැකීම යන ක්‍රියාව අපට කරන්නට පුළුවනි.
අපේ ඇහැ පුහුදුන් බව නිසා එක්වර ම දුවන්නේ ඇහැ පිනවන දේවල්වලටය. ඒ නිසා අපි කැමැති කැමැති රූප පිටුපස දිව යනවා. කොපමණ නම් මේ නිසා ඒ කියන්නේ අප කැමති රූප (ස්ත්‍රී හෝ පුරුෂ) බෙදා ගන්න බැරිව විපත් කරදර වෙනවා ද කියලා අප හිතල බලන්න ඕන. අවි ආයුධ අතට අරගෙන දරුණු අපරාධ කරනවා මේ නිසා. පවුල් අවුල් වී දරු පැටවුන් පවා අතරමං වෙනවා.තව පැත්තකින් ගත්තහම පුරුෂයාගේ සිත ස්ත්‍රියගේ රූපය කෙරෙහිත් ස්ත්‍රියගේ සිත පුරුෂයාගේ රූපය කෙරෙහිත් දුව යන ආකාරය බුදුරජාණන් වහන්සේ මැනවින් පැහැදිලි කර දී තිබෙනවා. ඒ වගේ ම වෙනත් ඇහැ පිනවන චිත්‍රපට, නොයෙක් සංගීත හා නාට්‍ය දර්ශන, වාහන තරග ආදී නොයෙක් දේ බලන්නට යනවා.තවත් විදියකින් බොහෝ අවස්ථාවල නොයෙක් මිසදිටු මත ප්‍රකාශ කරන ඇතැම් අය, තාපසයන්, ශ්‍රමණයන් ආදී නොයෙක් අය පිළිබඳ ආරංචි වූ පමණින ්අප රැස් කකා ඒ තැන්වලට යනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ හැම පැත්තක්ම පිළිබඳ දැකීම උසස් ආර්ය වූවක් නො වන බවත් ඒ හැම එකක් දැකීමෙන් ම අපේ මේ පුහුදුන් හිත දුෂ්‍ය බවට පත් කරනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දෙන ශ්‍රේෂ්ඨ දැකීම වන්නේ මේ අපේ පුහුදුන් සිත එයින් ගලවා ගෙන ආර්ය මාර්ගය එසේත් නැත්නම් මේ සසර දුක් කන්දරාව අවසන් කිරීමට යම් ආකාරයකින් හේතු වන දැකීමයි. මෙහිදී ඒ දැක්ම හෙවත් දර්ශනය ලෙස, උන්වහන්සේ පෙන්වා දෙන්නේ බුදුපසේ බුදුරහත් උතුමන් වහන්සේලා හෝ අවම වශයෙන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක නාමයට උන්වහන්සේගේ ශ්‍රාවකයන්, ශ්‍රාවිකාවන්, උපාසක හෝ උපාසිකාවන්ගේ දැක්මයි. ඒ ගණයට වැටෙන පිරිස් දැක්මෙන් සසර දිගු කිරීමට දුක වැඩි කිරීමට හේතු නො වනවා පමණක් නොව එය මෙලොව වශයෙන් සිතේ නිවීමට ද හේතු වෙනවා. එපමණක් නොව දස කසිණ දස අසුබ ආදිය දැක්මෙන් සිතේ සන්සුන්බවක් ඇති කර ගැනීමට උත්තරීතර දැක්මක් වේ.

ශ්‍රේෂ්ඨ ඇසීම

මීළඟ අනුත්තරිය ධර්මය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ‘සවණානුත්තරිය’ යි නිතරම පුහුදුන් සිත දුවන්නේ මධුර ස්වරය සොයාගෙන ය. ඒ තුළින් තාවකාලික අස්වැසිල්ලක් අපේක්ෂා කරනවා. එහෙත් සැදැහැ ඇති අයගේ දෙසවන් යොමු කරන්නේ ධර්මශ්‍රවණයට. තෙරුවන් ගුණ අසා ඒ පිළිබඳ මෙනෙහි කරමින් සිතේ එකඟ බවක් ඇති කර ගැනුමටයි. එයින් සසර ගමනෙහි කෙටි කර ගැනීමක් සිදුවෙනවා. මෙයින් අවසාන වශයෙන් පැහැදිලි කරන්නේ ත්‍රිපිටක බුදුවදන් දෙසවණින් ඇසීමට අවස්ථාවක් සලසා ගැනුම යි. අප සාමාන්‍යයෙන් මෙලොව පරලොව මනා පැවැත්ම අපේක්ෂා කරමින් ගෙවල්වල ආරක්ෂාව සලසා ගැනීම අපේක්ෂා කරමින් පිරිත් ධර්ම දේශනා පවත්වා ගන්නවා. හැබවින් ම මේ පිරිත් දේශනාවක් පවත්වා ගැනීම යන්නෙන් අපි සාමාන්‍යයෙන් මෙලොව ආරක්ෂාව අපේක්ෂා කෙරුණත් එවැනි දේශනාවක් නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීමේ දී එම පිරිත් දේශනාවට අයත් සූත්‍ර දේශනාවන්හි අර්ථය ගැන දැනුමක් ඇතිව එය දේශනා කරවා ගැනීමෙන් එයින් මෙලොවටත් පරලොවටත් යහපත පිණිස විපුල ප්‍රතිඵල ලබා ගැනීමේ ශක්තිය තිබෙනවා. එම දේශනාවන්ගෙන් ප්‍රකාශ වන්නේ බුද්ධාදී රත්නත්‍රයේ ගුණ විශේෂයයි. එයින් ලැබෙන මෙලොව පරලොව සුගතියට හේතු වන ගුණ ධර්ම සමූහයක්. ඒ අනුව මෙලොව ජීවිතය සකස් කර ගැනුමෙන් ඒ අය මෙලොවත් පරලොවත් සුවයක් සැනසීමක් ලබනවා. එය වෙනත් දෙයකින් ලබන තාවකාලික සුවයක් නොව අනුත්තරිය සුවයකි.

ශ්‍රේෂ්ඨ ලැබීම

ලාභානුත්තරිය හෙවත් ලැබීම අතර ශ්‍රේෂ්ඨ ලාභය කුමක් ද? යන්න ඊළඟට පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් පුහුදුන් අපට ලාභය ලෙස හැඟෙන්නේ ධන ලාභයි. තවත් ආකාරයකින් කියනවා නම් මිල මුදල්, තෑගි බෝග, වතු පිටි, ගෙවල් දොරවල් ආදී දේපොල, හදිසි ධන ලාභයන් ආදියයි. තවත් පැත්තකින් බැලුව විට ශිල්ප ශාස්ත්‍ර කලාවන් පිළිබඳ දැකීමෙන් ලබන ලාභ ආදිය මේ අතර වෙනවා. එහෙත් මේ අනුත්තරිය ධර්ම සූත්‍රයට අනුව ලාභය ලෙස විස්තර වන්නේ ශ්‍රද්ධා, සීල, හිරි (පවට ඇති ලජ්ජාව) ඔත්තතප්ප (පවට ඇති භය) ශ්‍රැතය නැත්නම් ධර්මය පිළිබඳ බොහෝ දැනුම හෙවත් ඇසූ පිරූ තැන් ඇති බව, ත්‍යාගවන්ත බව නැත්නම් අත්හැරීමට ඇති ශක්තිය පිළිබඳ හැකියාව ප්‍රඥාව සම්පත්තිය හෙවත් මේ ලෝකය පිළිබඳ යථාර්ථයෙන් දැකීමට ඇති හැකියාව යන මේ සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත් වූ ආර්ය උතුමන්ට පමණක් විෂය වන ආර්ය ධන ලාභය උත්තරීතර ලාභය වන බව ප්‍රකාශ වෙනවා.

ශ්‍රේෂ්ඨ ඉගෙනීම

ඊ ළඟ අනුත්තරිය ධර්මය ලෙස සඳහන් වන්නේ සික්ඛානුත්තරිය හෙවත් ශික්ෂාවෙන්, අධ්‍යාපනයෙන් ලබන ශික්ෂණයෙන් උසස් වන්නේ කුමක්ද? යන්නයි. අප මේ ලෝකයේ ක්‍රමවත් අධ්‍යාපනයක් ලබනවා. විවිධ කලාවන්ගෙන් විද්‍යාවෙන් ලබන දැනුමෙන් තරගකාරී ව ඉහළ ම තත්ත්වයට යාමට ස්වභාවයෙන් ම උනන්දුවක් ඇති කර ගෙන ක්‍රියා කරනවා. මේ ස්වභාවය පෙරදාට වඩා වර්තමානය වන විට වඩාත් දැඩි ලෙස සමාජයේ ක්‍රියාත්මක වෙනවා. හැම මව්පියෙක්ම අපේක්ෂා කරන්නේ තම දරුවා අධ්‍යාපනයෙන්, විද්‍යාත්මක දැනුමෙන්, වෙනත් උසස් වෘත්තීන්ට අවශ්‍ය සුදුසුකම් සපුරා ලන දැනුමෙන් අනෙකුත් සියලු ශිෂ්‍යයන් පරදවා ප්‍රථමස්ථානයට පත් කර ගැනුමටයි. එහෙත් මෙම අනුත්තරියධම්ම සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ඒ සියලු විද්‍යා හා කලාවන් පිළිබඳ ලබන ශික්ෂණය හුදු තාවකාලික වින්දනයක් අරමුණු කොට පවතින බවත් එයින් ලබන ඵලය එක් භවයකට පමණක් සීමා වන බවත් එයින් අවසාන සැනසීමක් ලබා ගත නො හැකි බවත් ය. මෙහිදී වැදගත් කොට පෙන්වා දෙන්නේ බුදුදහමෙහි ඉගැන්වෙන සීල සමාධි හා ප්‍රඥා යන ත්‍රිශික්ෂාව සපුරා ගැනීම තුළින් පුද්ගලයාගේ භවගාමි සසර ජීවිතයට අවසාන විමුක්තියක් ගෙන දීමටත් සදාකාලික සැනසීමක් ළඟා කර ගැනීමටත් හේතු වන බවයි.

ශ්‍රේෂ්ඨ සත්කාරය

පස්වැනි අනුත්තරිය ධර්මය ලෙස බුදුදහමෙහි උගන්වනු ලබන්නේ ‘පාරිචරියානුත්තරිය’ යි. පුහුදුන් අප හැම දෙනෙක් ම යම් පිරිසකට හෝ පුද්ගලයෙකුට, කීපදෙනෙකුට නිරතුරු ව ම යම් යම් සේවාවන් කරනවා. ඒ විතරක් නොවේ සමහර අය බැලමෙහෙකාරකම් කරනවා. දාසයන් දාසියන් හැටියට ඔවුන්ගේ ගෙවල්දොරවල සේවය කරනවා. කුදුමහත් කටයුතුවල නිරත වෙනවා. අපේ අරමුණ වන්නේ අපෙන් සැලකිලි සම්මාන සත්කාර ලබන අය ඒ සැලකිලි මගින් තෘප්තිමත් කරවීමයි. ඔවුන්ගේ ඒ තෘප්තිමත්වීමේ ස්වභාවය ගත්විට එහි ද අපට සීමාවක් දක්නට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා දෙන අනුත්තරිය පාරිචරියාව වන්නේ බුද්ධාදි රත්නත්‍රයට කරන මෙහෙවර යි. එනම් මෙම ත්‍රිවිධ රත්නය විෂ යෙයහි අප විසින් දක්වනු ලබන සැලකිලි සම්මානයි. යම් ස්ථානයක රත්නත්‍රය වැඩ වාසය කරනවා ද එවැනි ස්ථාන පිරිසුදු කිරීම, මනාව පවත්වාගෙන යාම, එවැනි ස්ථානවල මනා සංවරයකින් යුක්තව ඉරියව් පැවැත් වීම, විශේෂයෙන් වෙහෙර විහාරස්ථාන මේ හා සම්බන්ධව ගත් විට තෙරුවන් වැඩ සිටින ස්ථාන ලෙස සලකා ගෞරව සම්ප්‍රයුක්තව එම ස්ථාන නඩත්තු කරමින් පෝෂණය කිරීම, විහාරස්ථානය පි‍්‍රය උපදවන, සිත් සන්සුන් කරන ස්ථානයක් බවට පත් කිරීම යන සියලුම ක්‍රියාකාරකම් මේ යටතට ගැනෙන බව පෙන්වා දෙන්නට පුළුවනි.

ශ්‍රේෂ්ඨ සිහිය

මීළඟට කියැවෙන අවසාන අනුත්තරිය ධර්මය වන්නේ අනුස්සකානුත්තරිය හෙවත් සිහිකිරීම ආදිය අතර උත්තරීතර සිහිකිරීම කුමක්ද? යන්නයි. අපේ සිහියට නැගෙන බොහෝ දේ තාවකාලික තෘප්තියකට මුලපාදන දේයි. එහෙත් අපේ සිහිකිරීමට ඉල්ලක්ක කරගත යුත්තේ බුද්ධාදී රතනසූත්‍රයේ ගුණ සමුදායයි.
එහෙමනම් බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ ආදිය මෙනෙහි කරමින් කල් යෑවීම මෙන්ම තවදුරටත් මෙත්තානුස්සති, අසුභානුස්සති වැනි භාවනාවට සුදුසු නිමිති මෙනෙහි කරමින් තමන්ගේ කාලය ගත කිරීම ද අතිශයින් වැදගත් වෙනවා. එයින් සිතට මහඟු සැනසීමක් ලැබෙනවා.
මෙහිදී මේ කියැවෙන සියලුම අනුත්තරිය ධර්ම අපට පුරුදු පුහුණු කර ගන්නට තිබෙන හොඳම ස්ථානය වන්නේ වෙහෙර විහාරස්ථාන වගේම සර්වරාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්වෙන ස්ථානවල දී යි කිවහොත් හැම දෙනාටම මෙය තේරුම් ගන්නට හැකි වෙනවා. පිරිත් මණ්ඩපයට තෙරුවන් ම අප වැඩමවනවා. එමෙන්ම පිරිත කියලා කියන්නේ තෙරුවන් ගුණ ප්‍රකාශ කර ඒ ශක්තියෙන් ආශිර්වාද කිරීමයි. එහිදී පිරිත් මණ්ඩපය තුළ තෙරුවන් වැඩ සිටිනු දැකීමෙන් ශ්‍රවණානුත්තරිය ද, පිරිත් ධර්මය සැදැහැයෙන් ශ්‍රවණය කිරීමෙන් ස්වණානුත්තරියෙන් ද, එම ශ්‍රවණයෙන් ලැබෙන ප්‍රතිඵල නිසා ලාභානුත්තරිය ද එවැනි ස්ථානයක දක්නට ලැබෙන විනයගරුක සංවරශීලි පැවැත්ම තුළින් සික්ඛානුත්තරිද, තෙරුවන් විෂයයෙහි එදින කරන සැලකිලි සත්කාර තුළින් පාරිචරියානුත්තරි ද, පිරිත් ධර්මයේ කියැවෙන ධර්මාන්විත කරුණු මෙනෙහි කිරීමෙන් අනුස්සතානුත්තරිය ද යන මේ සය ආකාරය අනුත්තරිය ධර්ම සම්පූර්ණ කර ගැනීමක් වන බව ප්‍රකාශ කරන්නට පුළුවනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සියලු සත්වයෝ ආහාරය මුල්කොටගෙන සිටින්නෝ ය

කොබෙයිගනේ 
පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය, 
ගලගෙදර රතනවංස හිමි

ලෝකයේ ජීවත් වන ඕනෑම සත්වයෙක් ආහාරය තුළින් ජීවිතය පවත්වාගෙන යන බව බුදුදහමින් පෙන්වා දී ඇත. මෙය ප්‍රායෝගික වශයෙන් ද ප්‍රත්‍යක්ෂ කරුණකි. ජීවිතයක පැවැත්ම ඇත්තේ ආහාර තුළිනි. ආහාර නොමැති වුවහොත් ජීවිතයෙහි පැවැත්ම රඳා නොපවතී. බුදුරජාණන් වහන්සේ එය අත්දැකීමෙන්ම දැන ලෝක සත්වයාටද දේශනා කළහ.
ආහාර නොගන්නා ජීවිතයකයි, ආහාර ලබන්නාවු ජීවිතයකයි වෙනස අපට මනාව දැක ගත හැකිය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය උදෙසා දුෂ්කරක්‍රියා කළ බව අප හොඳාකාරව දනිමු. එම කාලය තුළ බෝසතාණන් වහන්සේ ක්‍රම ක්‍රමයෙන් ශරීරයට දෙන ආහාර අඩු කරන ලදී. අන්තිමට ආහාර නැතිතරමටම නොගන්නා තරමටම අධිෂ්ඨාන පූර්වකව භාවනාවෙහි යෙදුනහ. එම කාලය තුළ ශරීරය අස්ථි පඤ්ජරයක් බවට පත් විය. එහි ඇති කටුකත්වය බෝසතාණන් වහන්සේ අත්දැකීමෙන් අවබෝධ කොටගෙන ලෝක සත්වයාට දේශනා කළහ. සියලු සත්වයෝ අහරින් සිටින්නෝ ය. බෝධිසත්වයන් වහන්සේ එම ආහාර පවා නොමැතිව කළ වික්‍රමය මෙලොව තව කෙනෙකුට කළ නොහැකි තරම් දුෂ්කර වූවකි. ආහාරය නොමැති කළ ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව යන අංග පහ පිරිහීමට ලක්වේ. එතුළින් සත්වයාගේ ජීවන ගමනද නැවතෙනු ඇත. එනිසාම බුදුරජාණන් වහන්සේ දාන වේලක් දෙන කෙනෙකුට එම අත්‍යවශ්‍ය අංග පහ දීමක් බවත්, එය තමන්ටත් ආපසු ලැබෙන බවත් දේශනා කර වදාළහ.
සිව්පසය තුළ ද බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනුවෙන් හඳුන්වා ඇත්තේ ආහාරයයි. මෙහිදී, ආහාර පාන, කෑම බීම යන අදහස දී ඇති බව පැහැදිලි වේ. පානය තුළින් ද සත්වයාගේ ආයුෂ දින ගණනක් පවත්වා ගත හැකි බැවින් ආහාර පාන යන කොටස් දෙකම සම්බන්ධ කර ගැනීම සාධාරණ වේ. එහි වටිනාකම නිසාම බුදුරජාණන් වහන්සේ දානය නම් වූ පරිත්‍යාගය නොයෙක් භව වලදී සම්පූර්ණ කරන ලදී. එහිදී අප සකස් කරගන්නා ආහාර පමණක් නොව ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු අඹුදරුවන් පවා දන් දුන් ආකාරය සඳහන් වේ. ආහාරය තුළ සියලු සත්වයෝම පවතින බවට සාධකයක් ලෙස සමාජයේ සිදුකරන විශේෂ අවස්ථාවන්හි ආහාර පාන සංග්‍රහ කටයුතු සිද්ධ වීම පෙන්වා දිය හැකිය. මළ ගෙදරක, මඟුල් ගෙදරක, ශ්‍රමදානෙක, උත්සවයක, පින්කම් ගෙදරක යනාදී ඕනෑම තැනක ආහාර වලින් සංග්‍රහ කිරීම අනිවාර්යෙන්ම දැකගත හැකි විශේෂත්වයකි. යම් පුද්ගලයෙක් කිසිවක් නොමැතිව සතියක් පමණ යම් ගුහාවක හෝ කුටියක සිරකර එළියට ගත්තොත් ඔහු පළමුව ඉල්ලන්නේ ආහාරයි. එයට හේතුව ආහාරය පළමු අවශ්‍යතාවය වන බැවිනි.
ලොව ඇති ගිනි අතර කුස ගින්න තරම් ගින්නක් නැත. ආහාරය උදෙසා මිනිස් තිරිසන් බේදයකින් තොරව ඇනකොටා ගැනීම් සිදු කරනු ඇත.
“ආහාර, නිද්‍රා, භය, මෛතුනංච” යන හිතෝප දේශයෙහි සඳහන් ස්වලෝකයකට අනුව ආහාර යන වචනය මුලට යොදා ඇත. එයින් සඳහන් වන්නේ ද, ආහාරය, නින්ද, බිය, කාමසේවනය මිනිස් තිරිසන් දෙපිරිසටම එක සමානව බලපාන හා දෙගොල්ලම සිදුකරන බවයි. ‘කයට වේද රසමුසු බත් කන්නේ’ ලෝවැඩ සඟරාවෙහි සඳහන් එම කවි පදයට අනුව රස භෝජනය ශරීරය පිනවීමටත් ශරීරය පවත්වාගෙන යාමටත් ගනු ඇත. එක් එක් සත්ව කොටස් වලට අනුව ඔවුන් ගන්නා ආහාර වර්ගද වෙනස් වේ.
ගවයින්, මුවන්, එළුවන් ආදී සතුන් කොළ වර්ග ආහාරයට ගනු ඇත. මේ ආදී වශයෙන් පලතුරු වර්ග, කෘමි සතුන්, ආදි සත්ව වර්ග ආහාරයට ගන්නා සත්ව කොටස් ද ඇත. මිනිසා විසින් සියලු කොටස් ආහාරයට ගන්නා අවස්ථා ඇත. මේ ආදී වශයෙන් විවිධ සත්ව කොටස් ආහාර සඳහා යොදා ගනු ලැබේ. සමස්තයක් වශයෙන් ලෝකයේම විවිධ මිනිස් වර්ගයා විසින් ගන්නා ලද විවිධ ආහාර දෙස බැලීමේ දී ආහාරය සඳහා නොගන්නා දෙයක් නැති තරම්ය .
ආහාර නොමැතිවීමෙන් ශරීර ශක්තිය හීන වී විනාශයට පත්වේ. සමාජය තුළ හොඳ ආහාර වේලක් ගැනීමට අපහසු අය හා එය ලබා ගන්නා අය ශරීර සෞඛ්‍ය තුළින් හඳුනාගත හැකිය. සාමාන්‍ය වශයෙන් දිනකට ආහාර වේල් තුනක් ගැනීම, ක්‍රමය වුවද ආහාරයට ගිජු අය හතර වේලද ගනු ඇත. දුගී දුප්පත් අය එක වේලකින්ද දවස ගත කරනු ඇත. සමහරුන්ගේ බඩේ විශාලත්වය නිසා ශරීරය ද දරා ගැනීමටද අපහසුය. මේ ආදී වශයෙන් ලෝකේ විවිධ අය ආහාරයත් සමඟ කරන යුද්ධය මනාව පැහැදිලි වේ. පැය හයකට වරක් ආහාර ගැනීම තුළින් දිරවීම පහසු වන අතර වතුර පානය කිරීම සඳහා ද ඉඩ ඉතිරි කර ගනිමින් ආහාර ගැනීම සුභදායක වේ. සැහැල්ලු ජීවිතයක් හා නිරෝගී ජීවිතයක් උදෙසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාළේ උදේ හා දවල් දානය පමණක් ගෙන රාත්‍රියට ගිලන් පසකින් ජීවිතය ගත කරන ලෙසයි. එවිට භාවනා කිරීමට වුවද පහසු වනු ඇත.
ආහාර වැඩියෙන් ගැනීම ද අඩුවෙන් ගැනීමද ලෙඩ රෝග වලට හා ශරීර සෞඛ්‍යය පිරිහීමට හේතුවේ. එනිසා බුදුරදුන් දේශනා කළේ මධ්‍යස්ථව ගත යුතු බවය. ආහාර කොතරම් තිබුණත් ගිජුකමට ගත යුතු නොවේ. එබැවින් ප්‍රමාණය දැන හා නීරෝගි ආහාර ගැනීමට නිතරම වෙහෙසිය යුතු ය.
දෙවියන් ආහාරය වෙනුවට අමෘතය නම් වූ පානයක් ගන්නා බව සඳහන් වේ. යක්ෂ, ප්‍රේත, භූතයින් යම් යම් පුද්ගලයින්ට ආවේෂ වී ආහාර සඳහා නර බිලි, සත්ව, බිලි, ඉල්ලනු ඇත. සමහර ප්‍රේත භූතයින්ගේ සාගින්න හා පිපාසාව කුමන දේ දුන්නත් අඩුවන්නේ නැත. ආහාර ටොන් ගණනක් දුන්නද, පිපාසයට ගඟක වතුර හැරෙව්වද එම දුක් ගිනි නොනිවෙනු ඇත.
එයට හේතුව සසර කර ඇති අකුසල්ය. සීවලී මහරහතන් වහන්සේ වැඩි තැන දානමානාදියෙන් අඩුවක් නොවුණි. ලෝසක මහරහතන් වහන්සේට හරියට පිණ්ඩපාතයක් වුවද නොලැබුණි. පිණ්ඩපාතය බෙදන්නට එන අයට පාත්‍රය පිරීගිය බවක් පෙනෙනු ඇත. එයට හේතුවද සසර නොදීමේ විපාකය. ප්‍රේතයින් ආහාර නොමැතිව විඳින දුක් දැනගැනීමට ප්‍රේත වස්තුව කියවීම වැදගත් වේ.
ආහාරය දානයක් වශයෙන් සිත පිරිසුදු කොට පූජා කිරීමෙන් ලොකු පින්කමක් වනු ඇත. ආහාර වේලක් දෙනවාට වඩා දාන වේලක් දීමේ දී අනුසස් වැඩි බව දේශනා කොට ඇත. එයට චේතනාවද සකස් විය යුතු බැවිනි. කොතරම් ආහාර පාන තිබුණද සමහරුන්ට බඩ පුරා ආහාර වේලක් ගැනීමට අපහසුය. එයට හේතුව තෘෂ්ණාවයි. ඉල්ලීස සිටුතුමා, මචිචරිය කෝසිය සිටුතුමා ආහාර ගැන සිහින මවමින් සිටියා හැර දැඩි තෘෂ්ණාව නිසා ආහාර නොලැබ දුක් වින්දේය. ආනන්ද තෝද්‍යෙය ආදි සිටුවරුන්ද කොතරම් ධනය තිබුණද තම ප්‍රයෝජනයටත් නොගෙන අනුන්ටත් නුදුන් අයය.
කොතරම් ආහාර තිබුණද ආහාර ගත්තද සැමදා රෝගියෙක් නම් එය දුකකි. සමහරු දිව්‍ය භෝජන ගත්තද කායික නීරෝගිකමක් නැත. එතුළින් මනසද රෝගි වේ. එහිදී නියම සතුට සැනසුම නොලැබෙනු ඇත. “ආරෝග්‍ය පරමා ලාභා” යනුවෙන් නීරෝගිරම උතුම්ම ලාභය ලෙස දේශනා කළහ. අප සෑම කෙනෙක්ම ආහාර සුදුසු ආකාරයෙන් ලබා ගතේ නීරෝගිකම ලබා ගැනීමට උත්සාහවන්ත විය යුතු ය. ආහාරය දානයක් වශයෙන් අනුනට දී ඔවුන්ගේ කුසගින්නද නිවා පින් රැස් කර ගැනීමද කර ගත යුතු ය. එවිට කායික මානසික සැනසීම ලබා ගත හැකිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

භෝග සම්පත් රකින මුරකරුවෙක් නොවන්න

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
අනිත්‍ය වූ ලෝකය තුළ ජීවත්වන හැම අයෙක් ම පරමාර්ථ ධර්මය මතකයේ තබාගෙන අනතුරින් බේරෙන්නට කය පිටුපසට බරකර ගෙන ප්‍රපාතයට එබී බලනවා සේ සම්මුති ලෝකය තුළ ජීවිතය පැවැත්විය යුතුයි
අප භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අශ්‍රැතවත් පෘතග්ජන වූ අප විසින් මේ ජීවිතය පවත්වා ගැනීමේ දී භෝග සැපයීම පිළිබඳව, භෝග සම්පාදනය කර ගැනීම, ජීවිතය, ඉගෙනීම, ඇඳුම් පැළදුම්, ආහාරපාන, නිවාස, බෙහෙත් හේතේ ආදී වූ භෝගයන් සම්පාදනය කරගත යුතුවන ආකාරය, මේ ආකාරයෙන් පැහැදිලි කර වදාළේය.
උට්ඨානවිරියා දි ගතේ හි භෝගේ හි
බාහාබල පරිචිතේ හි සේදා වක්ඛිත්තේ හි
ධම්මිකේ හි ධම්ම ලද්දේ හි
උට්ඨාන වීර්යයෙන්, දෑතේ බාහු බලයෙන්, දහදිය වගුරුවමින්, ධර්මානුකූලව, ධර්මයෙහි ම පිහිටා සිටිමින් ධනය හෙවත් භෝග සම්පාදනය කරගත යුතු බවයි මෙහි දක්වා තිබෙන්නේ
මේ අනුව සම්මුතිය තුළ ඔබට ජීවිතය පහසුවෙන් පවත්වා ගැනීම සඳහා මිල මුදල්, නිවාස, ඇඳුම් පැළඳුම්,ආහාරපාන, බෙහෙත් හේත් සම්පාදනය කරගත හැකියි. තවත් සරලව සඳහන් කළොත් කිසිවිටකවත් පස් පව්, දස අකුසල්වලට යොමු නොවිය යුතුයි. මේ පස් පව්, දස අකුසල් සිද්ධ කරන්නේ තමා නිසා, ස්වාමියා, බිරිඳ, දරුවන් හා දෙමාපියන් නිසා හෝ යැයි පැවැසීමට ඔබට හැකියාවක් නැතිවිය යුතුයි. එනම් සියල්ල අනිත්‍ය වූ ලෝකයක් තුළ පස්පව්, දස අකුසල්වලට යොමුව භෝග හෝ ධනය හෝ මිල මුදල් සොයන්නට යෑමෙන් සිදුවන්නේ, මෙලොව ජීවිතයට ලාමක පාප ධර්ම රැස්වීම හා පිරිහීමකට ලක්වීමයි. එලෙසින් ම අනිවාර්යයෙන් ම පරලෝක ජීවිතය සතර අපායේ ඉපදීමට අවස්ථාවක් සලසා ගැනීමයි.
මේ අනුව සීලයේ පිහිටා සම්මුතියෙහි මිල මුදල් හෝ භෝග සම්පාදනය කරගෙන ඔබට ඔබේ ජීවිතය සංතෘෂ්ටියෙන් පවත්වා ගැනීමට හැකියි. නැවතත් සරලව සඳහන් කළොත් ප්‍රාණඝාත ආදී පස් පව්, දස අකුසලයන්ගෙන් බැහැරව ඔබට මේ භෝග, ධනය සම්පාදනය කරගත හැකියි. ඒවා එසේ සම්පාදනය කරගත්තත් මේ සියල්ලම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව කියන පරමාර්ථ ධර්ම කතාව ඔබ විසින් අනිවාර්යෙන් ම මෙනෙහි කළ යුතුයි. ඒ පරමාර්ථ සත්‍යයට ඔබේ සිත පුරුදු කළ යුතුයි. පුහුණු කළ යුතුයි. එසේ නොමැති වුවොත් ඔබ ධර්මානුකූලවම, ඔබේම උත්සාහයෙන්, දෑතේ බාහු බලයෙන්, දහදිය මුගුරු වගුරුවා ලැබූ ධනය කෙරෙහි පවා ලෝභය, විෂම වූ ලෝභය පවත්වාගත හැකියි. තමාම උපායගත් ධනය පරිහරණය නොකොට ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, දරුවන් වශයෙන් ඔවුනොවුන්ගේ ප්‍රයෝජනය පිණිසවත් නොයොදා දැඩි ආශාවකින්, විෂම වූ ලෝභයකින් ජීවත්ව ඒ ධනය මෙලොව තබා ඔබ මිය යා හැකියි.
එපමණක් නොව බොහෝ භෝග තබාගෙන දුක්විඳිමින් කඳුලින් ශෝකයෙන් යුතුව කාලය ගත කරන පුද්ගලයෙක් බවට පත්විය හැකියි. එමෙන් ම මහා භෝග ලබාගෙන ඒ මහා භෝග ගොඩගසාගෙන ඒවා පරිහරණය නොකොට ඒවා රැකගැනීම පමණක් කරමින් මුරකරුවෙක් බවට පත් වී දුක්විඳින නොනිදා සිටින සැකයෙන්, බියෙන්, ජීවත්වන පුද්ගලයෙක් බවට පත්විය හැකියි. අවසාන ප්‍රතිඵලය නම් සිතෙහි දැඩි වූ ලෝභය, සැකය, බිය, තරහව නම් වූ බොහෝ කෙලෙස් පමණක් රැගෙන අන්‍යයන්ගේ ප්‍රයෝජනයට එකතු කළ ධනය මෙලොව තබා, අන්‍යයන්ගේ ප්‍රයෝජනයට අවස්ථාව සලසා දී මිය යා හැකියි. මිය යන ඔහු හෝ ඇය සතර අපායේ අනිවාර්යයෙන් ම උපදින්නට හේතුවක් කර ගත හැකියි. මේ නිසා ඔබ විසින් තේරුම් ගත යුතු සත්‍ය කරුණු දෙකක් ඇත. එනම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍යයයි.
පරමාර්ථ සත්‍යයට අනුව සියලු සංස්කාරයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බවයි. ඒ අනුව ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සැදුම් ලත් මම, ඔබ කියා හඳුන්වන එසේ නැතිනම් සත්වයා, පුද්ගලයා කියා හඳුන්වන මේ ශරීරයත් ඒ ත්‍රිලක්ෂණ ධර්මයට යටත්. පාදාන්තයේ පටන් හිස්මුදුන දක්වා ම ගලපා බලන්න, සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි කායානුපස්සනාව යටතෙහි පටික්කූල සංඥා වෙහි පෙන්වා දෙන ආකාරය මෙසේයි.
ඉමමේව ඛායං උද්ධං පාදතලා
අධෝ කේස මත්ථකා
තචපරියන්තං පූරං නානප්පකාරං
අසූචිනෝ පච්චවෙක්ඛති
පාදාන්තය පටන් හිස්මුදුන දක්වාම ගලපා බලන විට නොයෙක් විදියෙන් අපවිත්‍ර දැයෙන් පිරුණු මේ ශරීරයෙහි මගේය හෝ මමය, මාගේය කියා උපාදානය කරගත හැකි කිසිවක් නැත්තේය.
අපගේ සරල වචනයෙන් සඳහන් කළොත් දවසකට කීපවතාවක් කවා, පොවා, නහවා පිරිසුදු කරමින් කැඩපත ළඟ හැඬ බැලුවත් දිරාගෙන යන විට මේ ශරීරයේ රෝම කූපයක තරම් සැබෑ අයිතියක් නැති බව ඉතාම පැහැදිලියි. මේ රටේ පමණක් නොව ලොව පුරාම ලක්ෂ සංඛ්‍යාත හෝ කෝටි සංඛ්‍යාත පිරිසක් ලෙඩදුක් ඉදිරියේ දරාගන්නට බැරිව මෙසේ දුක්විඳින්නට ඇයි ද? මම ඉපදුණේ කියමින් දුක්වෙන හැටි, හඬන හැටි, නොනිදා සිටින හැටි ඔබ අසා තිබෙන්නට පුළුවනි. එසේ නොමැති නම් ඔබ බොහෝ කෙනෙකුට එවැනි අත්දැකීම් ඔබේ ම ජීවිතවලින් මෙනෙහි කරන්නට පුළුවනි. පරමාර්ථ වශයෙන් සිහිපත් කරන විට එසේ හට අරගෙන වෙනස්වෙමින් බිඳීයන මේ ශරීරයේ රෝම කූපයක තරම්වත් යමක් සැබෑ අයිතියක් තමාට නැතිනම් කුමක් හෙයින් මෙලොව, යමක් මගේ කරගන්නේ ද? මට අයිති යැයි, මගේ පාලනයක් තිබේ යැයි සිතින් අල්ලාගෙන ජීවිතය පවත්නේ ද පරමාර්ථ වශයෙන් පුරුදු කරන ලද සිතකට සම්මුතිය තුළ සතුටින් ගත කරන්නට අවස්ථාවක් සලසා ගන්නේ කෙසේ ද? පරමාර්ථ ධර්මය අවබෝධ කරගන්නා සිතකට සම්මුතියෙහි පිහිටා සතුටින් ජීවිතය පවත්වා ගන්නේ කෙසේ ද? දහමේ පෙන්වා දෙන මේ නිදසුන ගැන මෙනෙහි කොට බලන්න.
“විශාල අගාධයක් හෝ ප්‍රපාතයක් සමීපයට ගොස් එහි අත්වැලක් හෝ ආරක්ෂාවක් නැතිව එබී බලන අයෙක් තම ශරීරය සමබරව, අගාධයට ඇඳ නොවැටී පවත්වාගන්නේ කෙසේ ද? මනා වූ සිහියෙන් ශරීරය පිටුපසට ම බර කරගෙන අර ප්‍රපාතයට හෝ අගාධයට එබී බලන්නේ ය. සතිය නොමැති වුණොත් ශරීරය පිටුපසට බරකර ගැනීම පවත්වා ගන්නට නොහැකි වුණොත් සැබවින් ම ඒ පුද්ගලයා ඒ ප්‍රපාතයට හෝ ආගාධයට ඇද වැටිය හැකියි.” ඒ ජීවිත විනාශයකි. මේ නිසා අනිත්‍ය වූ ලෝකය තුළ ජීවත්වන හැම අයෙක් ම පරමාර්ථ ධර්මය මතකයේ තබාගෙන අනතුරින් බේරෙන්නට කය පිටුපසට බරකර ගෙන ප්‍රපාතයට එබී බලනවා සේ සම්මුති ලෝකය තුළ ජීවිතය පැවැත්විය යුතුයි. සම්මුති ලෝකයේ සැබෑ කතාව නම් සොම්නසින් දුටුවත් රුව එය බොහෝ දුක්ගෙනෙන වධයක් නැතිනම් බොහෝදුක් දෙන වධයක් හෝ මරුවෙක් හා සමානයි. පරමාර්ථ ධර්මයෙන් පුරුදු නොකරගත් මේ සිත රුව දෙස බලන්නේ සොම්නසින් පිරිපුන් වූ සිතකින්මයි.
මේ අභාවිත සිත් ඇති තැනැත්තා ප්‍රිය රූපයෙහි ඇලෙනවා. අප්‍රිය රූපයේ ගැටෙනවා. එහෙත් ඒ ප්‍රිය රූපය වෙනස්ව යන විට එය වධයක් මහා දුකක් බව දැනෙන්නට පටන් ගන්නවා. අකැමැති රුවෙහි ගැටෙන විටත්, එය මහා වධයකි. මහා දුක්ඛ වේදනාවකි. එය අකැමැති රුවට ඇති වුණු අකැමැත්ත පටිඝය, තරහවක්, වෛරයක්, පළිගැනීමක්, බවට පත්වුණාම දෙලොව ජීවිතය ම මහා විපතක් ගෙන දෙන මූල හේතුවක් බවට පත්වෙනවා.
මේ නිසා සම්මුති ලෝකයේ හෙවත් ඔබගේ ජීවිතවල ඇසට සොම්නස ලබා ගැනීම ස්වභාවිකයි. ධර්මයට අනුව සඳහන් කළොත් සොම්නසින් රුව දෙස බලන්න. එහෙත් ඒ රුව සදාකාලික නොවන බව මෙනෙහි කරන්න. කායික, වාචසික සංවරයෙන් යුතුව යම් රුවක් ඇසෙහි හටගත්තොත් එය කිසිවිටකවත් රාගයකින් හෝ ද්වේෂයකින්, මානසික පීඩාවක් ලබා නොදෙන බව භාවිත සිත් ඇති සුපසන් හදවතක් ඇති මනුෂ්‍යයෙකුට තේරුම්ගත හැකියි.
දීපා පෙරේරා
 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ගිහිවත හා පැවිදිවත පෘතග්ජන - ශ්‍රාවක ප්‍රභේදය

ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති
ගෞරව ශාස්ත්‍රවේදී 
දරණාගම කුසලධම්ම හිමි

සෑම සමාජයකම ගිහියනුත්, පැවිද්දනුත් (ගිහි – පැවිදි) දක්නට ලැබෙන බව සමාජ ඉතිහාසයෙන් දක්නට ලැබේ. ගෝත්‍රික සමාජවල ද මේ ලක්ෂණය දක්නට ලැබේ. ආගම නියෝජනය කරණ පිරිසක් පිළිබඳ අදහස කිසිදු භේදයෙන් තොර සංකල්පයකි. බුදු දහම ද මේ ප්‍රභේදය හඳුනාගෙන ඇත. ගහට්ට (ගිහියා), පබ්බජිතා (පැවිද්දා) යනුවෙන් පුද්ගල දෙවර්ගයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. මේ දෙදෙනාට ආවේණික සදාචාර ධර්ම පද්ධතියක් ඇති බව ‘සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ’ දැක්වේ. ඒවා ‘ගිහිවත’ සහ ‘පැවිදි වත’ නමින් දැක්වේ.
ගිහිවත යනුවෙන් දක්වා ඇත්තේ පංචසීලයයි. තවදුරටත් ගිහිවත නම් ධාර්මිකව මව්පියන් රැකබලා ගැනීම, ධාර්මික වෙළෙඳාමෙහි යෙදීම, ආදි වශයෙන් දක්වා ඒ අනුව ගිහිවතෙහි අප්‍රමාදී වන්නා දෙවියන් අතරට යන බව දැක්වේ.
පැවිදිවත පිළිබඳව දීර්ඝ විස්තරයක් ධම්මික සූත්‍රයේ දැක්වෙන අතර විනය ශික්ෂා ලෙස ද භික්ෂූන් වහන්සේලාට හඳුන්වා දී ඇත. ආහාරයෙහි ද, සෙනසුනෙහිද ඇඳි වතෙහි දූලි සෝදා හරින ජලය මෙන්ද, පොකුරු පතෙහි දිය බිඳුමෙන් ද නොඇලී වාසය කිරීම භික්ෂුවගේ ස්වභාවය වේ. ගිහියාගේ ජීවිතය ආශක්තය. (බැඳී සිටී) භික්ෂුවගේ ජීවිතය අනාශක්තය. අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයේ දී මේ කරුණු තවදුරටත් පැහැදිලි කර ඇත. බුදුරජාණන් වහන්සේ සමාජයේ වසන පිරිස් දෙකක් ගැන හැඳින්වීමක් කර ඇත. එයින් එක පිරිසක සාමාජිකයෝ අඹුදරුවන් සොයති. කෙත්වතු සොයති. දැසි දස්සන් සොයති. වතුපිටි සොයති. රන්රිදී මුතුමැණික් සොයති. මේ සෙවීම හැඳින්වීම සඳහා බුදුරජාණන් වහන්සේ යොදා ඇති පදය ‘පර්යේෂණ’ යන්නය.
අනෙක් පිරිසේ සාමාජිකයෝ අඹුදරුවන් හැරපියා, කෙත්වතු හැරපියා, දැසි දසුන් හැරපියා, වතුපිටි හැරපියා, රන්රිදී, මුතුමැණික් හැරපියා, අනගාරයෙහි පැවිදිවෙති. මේ පැවිද්ද හැඳින්වීම සඳහා යොදා ඇත්තේ ‘අගාරස්මා’ ‘අනගාරිය’, ‘පබ්බජිති’ යන පද තුනය. මහාචාර්ය රීස් ඩේවිස් මැතිණිය ප්‍රකාශ කොට ඇති පරිදි, මේ පද තුනෙහි අර්ථය වෙනත් බසකට පරිවර්තනය කිරීම අතිශයින් දුෂ්කර බවය.
භික්ඛු - භික්ඛුණී, උපාසක – උපාසිකා යන සිව්වනක් පිරිස අතුරින් උපාසක – උපාසිකා ගිහි ගණයට ද, භික්ඛු - භික්ඛුණී පැවිදි ගණයට ද, වැටෙන ප්‍රභේදයක් වූවද, ඉන් ආධ්‍යාත්මික විජයග්‍රහණය නිරූපණය නොවෙයි. මේ සිව්වනක් පිරිස ලෞකික සමාජ වර්ගීකරණයක් වූවද, බෞද්ධ අධ්‍යාත්මික සමාජය නිරූපණය වන්නේ ‘පෘථග්ජන’ සහ ශ්‍රාවක පද තුළිනි. ශ්‍රාවක තත්ත්වයට පත්වන භික්ෂූන් වහන්සේ හෝ භික්ෂුණිය, පෘථග්ජන තත්ත්වයේ පසුවන උපාසක හෝ උපාසිකාවට වඩා උසස්ය. මේ අනුව කෙනෙකුගේ ආධ්‍යාත්මික උස්මිටිකම් තීරණය වන්නේ, සිව්වනක් පිරිස ප්‍රමාණ කොටගෙන නොව, පෘථග්ජන ශ්‍රාවක ප්‍රභේදය ප්‍රමාණකොට ගෙනය.
‘පෘථග්ජන’ යන පාලි පදයේ අර්ථය ජනයාගෙන් වෙන් වූ යන්නයි. ඒ අනුව පෘථග්ජනයා තමා ගැන පමණක් කල්පනා කරයි. සමාජයක් ඇති බව නොසලකයි. පෘථග්ජනයාට කවර සුදුසුකම් තිබුණ ද ඔහු බුදුරදුන්ගේ ධර්මය නොඇසූ කෙනෙකු හැටියට පිළිගැනේ. ආර්යයන් නොදකින, ආර්ය ධර්මය නොදන්නා, ආර්ය ධර්මයෙහි හික්මීමක් නැති, සත්පුරුෂයින් නොදකින, සත්පුරුෂ ධර්මය නොදන්නා, ඒ පිළිබඳව හික්මීමක් නැති නෙකෙකු හැටියට, බුදුරජාණන් වහන්සේ පෘථග්ජනයා හඳුන්වයි.
‘ශ්‍රාවක’ යන පදයේ අර්ථය ‘ඇසූ තැනැත්තා’ යන්නයි. බුදුරදුන්ගේ ධර්මය ඇසූ තැනැත්තකු බවට පත්වන්නේ ‘ශ්‍රාවක’ තත්ත්වයේ වසන කෙනෙකු පමණි. ශ්‍රාවකයා, ආර්යයන් දක්නා, ආර්ය ධර්මයෙහි දක්ෂ, ආර්ය ධර්මයෙහි විනීත, සත්පුරුෂයන් දකින, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ විනීත කෙනෙකු හැටියට නිතර හැඳින්වේ.
බෞද්ධයා ඉදිරියෙහි පවතින ගැටලුව හැටියට, බුදු දහම දකින්නේ ‘පෘතග්ජන’ භූමියෙන් ‘ශ්‍රාවක භූමියට ඇතුලු වීමය. ශ්‍රාවක භූමියට ඇතුලුවීමට සම්පූර්ණ කළ යුතු කරුණු රාශියක් සූත්‍ර දේශනාවල දැක්වේ.
පළමුව, බුදුරජාණන් වහන්සේ කෙරෙහිද ධර්මය කෙරෙහි ද, සංඝයා කෙරෙහි ද, අවෙච්චක් ප්‍රසාදය ඇත්තෙකු විය යුතුය. ‘අවෙච්චක්ප්‍රසාද’ යන්නෙන් අදහස් කරන්නේ කරුණු අවබෝධ කොට ගැනීමෙන් ඇතිවන ප්‍රසාදයයි. එම ප්‍රසාදය කිසිදු හේතුවක් නිසා අප්‍රසාදයක් බවට පැමිණෙන්නේ නැත.
දෙවනුව - සත්පුරුෂ සංසේවා (හොඳ අය ආශ්‍රය කිරීම) සද්ධර්ම ශ්‍රවණ, යෝනිසෝ මනසිකාර සහ ධම්මානු ධම්ම පටිපත්ති යන කරුණු සතර සම්පූර්ණ කළ යුතුය.
තුන්වැනිව - ශ්‍රාවකයා ‘අවනිපාන ධම්ම’ (පහතට යන්නේ නැත) හා ‘නියත සම්බෝධි පරායන’ (වැඩිකල් යන්නට කලින් ධර්මය අවබෝධ වීම) යන ලක්ෂණ දෙකින් යුක්ත විය යුතුය.
සතරවෙනුව - ආයු, වර්ණ, සුඛ, අධිපති යන ලක්ෂණ හ තර ශ්‍රාවකයා අතර පිරිපුන්වේ. මේ කරුණු සෝතාපත්ත්‍යාංග හැටියට හැඳින්වේ. ශ්‍රාවකයකු වීමට නම් යටත් පිරිසෙයින් ‘සොතාපන්න’ තත්ත්වයටවත් පත්විය යුතුය. ඉන් මෙපිට සිටින සියලු දෙනා හැඳින්වෙන්නේ ‘පෘතග්ජනයා’ හැටියටය. ශ්‍රාවකයෝ කොටස් දෙකකි. ඉන් පළමුවැන්න ‘සේක’ ය. දෙවැන්න අසේක යනුවෙනි. බුදුරජාණන් වහන්සේ දිවමානකල සිටි ගිහි ශ්‍රාවකයන් පිළිබඳ තොරතුරු පාලි ත්‍රිපිටකයේ නොයෙක් තැන දක්නට ඇත. ‘ශ්‍රාවක ගිහි’ යන පදය දක්නට ලැබෙන අතර, ‘සෝතාපන්න’ තත්ත්වයට පත් වූ ගිහියන් පිළිබඳව තොරතුරු බෞද්ධයන් අතර ප්‍රකටය. අංගුත්තර නිකායේ සූත්‍රයක, බුදුරදුන් දවස පැවැති රැස්වීමක සිටි අනාගාමී ගිහියන්ගේ සංඛ්‍යාව හත්සීයක් වශයෙන් දක්නට ලැබේ.
ගිහියෙකු රහත් වුවහොත්, එක්කෝ මහණ විය යුතුය. නැතිනම් පිරිනිවන් පෑ යුතුයයි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු පන්සීයයක් පමණ ගත වූ තැන ලියවුණු පාලි ‘මිලින්ද පඤ්ඤයේ’ සඳහන්වේ.
අංගුන්තර නිකායේ දුක්ඛ නිපාතයේ ඇති සූත්‍රයක භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් වසන බව සඳහන්වේ. එක් පිරිසකට අයත් භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය අවබෝධ කළ පිරිසක් හැටියටත්, අනෙක් පිරිසට අයත් භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය අවබෝධ නොකළ පිරිසක් හැටියටත් දක්වා ඇත. අංගුත්තර නිකායේ අටුවාවේ දී මේ සූත්‍රයට විස්තර සපයමින් බුද්ධඝෝෂ හිමියන් කියා සිටින්නේ දෙවැනි පිරිසට අයත් අය ‘පෘතග්ජනයන්’ බවය. මේ කියන අර්ථයෙන් ‘පෘතග්ජන භික්ඛු’ යන ප්‍රයෝගය පාලි අටුවාවල නිතර දක්නට ලැබේ.
කෙනෙකුගේ ආධ්‍යාත්මික ශ්‍රේෂ්ඨත්වය නිරූපණය වන්නේ සිව්වනක් පිරිස අතර, ඔහු දරන තැන අනුව නොව, පෘතග්ජන හා ශ්‍රාවක ප්‍රභේදය තුළ ඔහු දරන තැන අනුව බව ‘සක්ත පංච සූත්‍රය – දි. නි’ සඳහන්වේ. අධ්‍යාත්මික වශයෙන් සලකන කළ පුද්ගලයන් සිව් දෙනෙක් දක්නට ලැබෙයි. එනම් පෘතග්ජන, සේඛ, අසේඛ හා තථාගත වශයෙනි.
පෘතග්ජනයා තවම මගට පිවිස නැත, සේඛ තැනැත්තා - මගේ ගමන් කරයි. අසේඛ – ගමන අවසන් කොට ඇත. පෘථග්ජනයා මරණයට බියය. සේඛයා අමරණියත්වයේ දොරට තට්ටු කරමින් සිටී. අසේඛ අමරණීයත්වයට පත්ව ඇත. පෘතග්ජනයාට සද්ධා, වීර්ය, සති, සමාධි, පඥා යන ඉන්ද්‍රිය පහ නැත. ‘සේඛ තැනැත්තා එම ඉන්ද්‍රිය පහ එක්තරා ප්‍රමාණයකට දියුණු කොට සිටී. ‘අසේඛ තැනැත්තා ඒවා පරිපුර්ණත්වයට පත්කොට ඇත.
පෘථග්ජනයා දිගින් දිගට සසර සැරි සරයි. සේඛ තැනැත්තා මිනිස් ලොවට අටවැනි වාරයකට වඩා පැමිණෙන්නේ නැති බව දැක්වේ. අසේඛ නැතැත්තා යළි නූපදී.
පෘථග්ජනයාට බුදු රදුන්ගේ දහම පිළිබඳව නිවැරැදි අවබෝධයක් නැත. සේක තැනැත්තා බුදුරදුන්ගේ දහම එක්තරා ප්‍රමාණයකට අවබෝධ කොට සිටී. බුදු දහම සම්පූර්ණයෙන් ම අවබෝධ කළ තැනැත්තා ‘අසේඛ’ නම් වේ.
බෞද්ධයා ඉදිරියේ ඇති අභියෝගය, පෘතග්ජන භූමියෙන්, ශ්‍රාවක භූමියට පිවිසීමය. එය ඉතා අසීරු කරුණකි. එම නිසා බුදුරජාණන් වහන්සේ පෘථග්ජන භූමියත්, ශ්‍රාවක භූමියත් අතර තවත් භූමියක් දක්වා ඇත. එය ‘සත්පුරුෂ’ භූමිය වශයෙන් දැක්වේ. පෘථග්ජනයා පළමුව සත්පුරුෂ භූමියටත්, ඉන් අනතුරුව ශ්‍රාවක භූමියටත් පිවිසිය යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස, පළමුව දක්වනු ලැබේ.

සතර අපායට පත් නොවීම
නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
නිහතමානී ගති පැවතුම් ඇතිවීම
ලෝකයාට ප්‍රියමනාප වීම
බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
පාපයට ලැජ්ජ භය වීම
අධි කුසලයට සිත නැඹුරු වීම
අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
ගුණ, නුවණින් පිරිපුන් වීම
පිටසක්වල නූපදීම
අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
උන්මන්තක නොවීම
මිසිදිටු නොගැන්වීම
මරණයට නොබියව මුහුණදීම
මුහුණෙ වර්ණය පැහැපත්වීම
වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
බුදුබව පවා පැතීමට සිත නැමීම
තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
සම්මා දිට්ඨියෙහි පිහිටීම
යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
නපුරු සිහින නොපෙනීම
භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම

බුදුගුණ භාවනාව වඩන හැටි 
බුද්ධානුස්සති භාවනාව අප කාටත් පහසු භාවනාවකි. මෙහිදී සිදු වන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම ය. ඒවා නව අරහාදි බුදු ගුණ වශයෙන් හැඳින්වෙයි. මෙම බුදු ගුණ නවය එක විට ගෙන භාවනා කරනු නොලැබේ. අරහං ගුණයට අයත් වාක්‍යය හොඳින් ප්‍රගුණ කරගත් පසු එයට ම සම්බන්ධ කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට අයත් වාක්‍යය ද ප්‍රගුණ කළ යුතු ය. එසේ එකිනෙක යා කරගනිමින් බුදු ගුණ නවය ම ප්‍රගුණ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. මනසිකාර භාවනාවට යොමු විය යුත්තේ බුදු ගුණ පද නවය ම නිවැරදි ව නිරවුල් ව පැහැදිලි ව මෙනෙහි කිරීමට හුරු වූ කල්හි ම විය යුතු ය.

පළමු කොට බුද්ධාලම්බන ප්‍රීතිය හිතට කාවද්දාගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ හෝ බුදු රුවක් ඉදිරියෙන් තබාගැනීම යෝග්‍ය වේ. බුදු පිළිම වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා තම භාවනා අසුනෙහි පහසු ඉරියව්වකින් වාඩි වී ‘බුද්ධාදි උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුව ද නොසැලෙමි’ යන දැඩි අදිටනින් යුතු ව භාවනාවට සූදානම් විය යුතු ය.
අනතුරු ව ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. ආචාර්ය-උපාධ්‍යායන්ට මාගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන් ම ජරා මරණාදි දුක්වලින් මිදෙමි’ යනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එසේ ම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයන්ට ම මෙත් වැඩිය යුතු ය. භාවනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙම පූර්ව කෘත්‍යයන් කිරීමට අමතක නොකළ යුතු ය.
පළමුකොට ඔබ ඉදිරියේ තැන්පත් කරගත් බුදුරුව දෙස හොඳින් බලන්න. දෙනෙත් වසාගෙන සිටින විටත් ඔබ ඉදිරියෙහි බුදුරුව වැඩ සිටින බව පෙනෙනතෙක් ඇස ඇර බලමින් ඇස වසා බලමින් බුදු ගුණ මෙනෙහි කරන්න.
ඔබ දෑස වසාගත් පසු ඔබ ඉදිරියෙහි ප්‍රදර්ශනය වන බුදු රජාණන් වහන්සේගේ රූපය දෙස බලමින් ‘ඉතිපිසෝ භගවා අරහං’ ආදි බුදු ගුණ ගාථාව බුදු බැතිය හා ප්‍රසාදය ඇති කරගනිමින් සිහින් හඬින් සජ්ඣායනා කරන්න. වාඩි වී සිටින ඉරියව්ව අපහසු වේ නම් සක්මන් ඉරියව්වෙන් භාවනා කරන්න. එසේ ම මෙම අභ්‍යාසය කරන කාලය ද අනුක්‍රමයෙන් වැඩි කරගන්න. මෙසේ උත්සාහයෙන් භාවනා කරන විට ඔබ තුළ යම් වෙනසක් දකින්නට ලැබෙනු ඇත. එනම් බුදු ගුණ නවය ඔබට හොඳින් ප්‍රගුණ වනු ඇත. බුදු ගුණ කෙරෙහි ඔබේ ගත සිත වඩාත් භක්තිමත් වනු ඇත. ඔබ තුළ දරදඬු ඕලාරික ගති ගුණ ඇත් නම් ඒවා යටපත් වී, සිත කය මැනවින් තැන්පත් වනු ඇත. බුදු ගුණ කෙරෙහි ම ඔබේ සිහිය පිහිටනු ඇත.
එතැන් සිට පදවිභජන වශයෙන් බුදුගුණ භාවනාව ආරම්භ කළ යුතු ය. එය සිදු කරන්නේ මේ ආකාරයට ය:
ඒ බුදු රජාණන් වහන්සේ අරහත් වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුදු වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සුගත වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සත්තා දේවමනුස්සානං වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ බුද්ධ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ භගවා වන සේක.
මෙසේ මනා සිහියෙන් යුතු ව ඉරියව් පවත්වමින් භාවනා කරන්න. උත්සාහයෙන් භාවනා කරන විට ඔබේ සිත තුළ තවදුරටත් පරිවර්තනයක්-වෙනසක් දක්නට ලැබෙනු ඇත. ඔබේ සිත ලෝභ ද්වේෂ වැනි පාප සිතිවිලිවලින් බැහැර වනු ඇත.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය බුද්ධ ගෞරවය ප්‍රීතිය කුශලච්ඡන්දය වීර්යය කයෙහි සිතෙහි සැහැල්ලු බව යන කරුණු ඔබ තුළින් දැකිය හැකි වනු ඇත.
මෙම ආනිසංස ලැබූ පසු තවදුරටත් බුද්ධානුස්සති භාවනාව කරගෙන යෑමට අදහස් කරන ඔබ පදාර්ථවිභජන අභ්‍යාසය ආරම්භ කළ යුතු වෙයි. එනම් ඒ ඒ ගුණයට අයත් බුදු ගුණ විස්තරාත්මක වශයෙන් මෙනෙහි කිරීම යි. මෙම භාවනා අභ්‍යාසය වැඩි කාලයක් කළ යුතු වෙයි:
“ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ හෙයින් අරහත් වන සේක. ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක. ත්‍රිවිද්‍යාවෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.
සුන්දර වචන ඇති හෙයින් සුගත වන සේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ට අනුශාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත බැවින් භගවා වන සේක.
බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.
මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.
එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නුවණැති මනුෂ්‍යයා සීලයේ පිහිටා සිත හා ප්‍රඥාව වඩයි

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

බිනර අමාවක පොහෝ දින කතා කළ ආකාරයෙන්, අද වප්පුර අටවක පෝදා ධර්ම කතාවේ මෙසේ සඳහන් කරනවා.
චක්ඛුනා රූපං දිස්වා
සුඛාය වේදනාය ඵුට්ඨෝ
සමානො අභිනන්දති අභිවදති
අජ්ඣෝසාය තිට්ඨති

ඇසෙන් රූපය දැකල ස්පර්ශ කරමින් නිමිති අනු නිමිති වශයෙන් ගනිමින්, විඳීමට හසුකරගනිමින් එහි සතුටු වෙනවා. ඒ ගැන කියනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම සිත ඔසවා තබනවා කියන අදහසයි.
දැන් මේ ප්‍රිය වස්තුව සංඛතයක් නිසා එම සංඛතයේ සැබෑ ස්වභාවය අනිත්‍යතා දහමට යටත්ය. එම නිසා දුක්ඛ ලක්ෂණය එහි ඇත්තේය. අනිත්‍ය ස්වභාවය ද උරුමයි. ඒ අනුව ඒ රූපය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත්වන විට මේ අභාවිත සිත එය පිළිගන්නට කැමැති නැහැ. ඒ මොකද? අභාවිත සිත බලාපොරොත්තු වුණේ රුව, හඬ, ආඝ්‍රාණය, රසය, ස්පර්ශය, සිතිවිලි තමා කැමැති ආකාරයෙන් ම තමා සතු කරගෙන පවත්වා ගැනීමටයි. දැකීමටයි. පරිහරණය කිරීමටයි. නමුත් ලෝක ස්වභාවය අනුව එය එසේ වන්නේ නැහැ. ඉහත සඳහන් කළ අයුරින් සෑම සංඛතයක ම හටගැනීම හා වෙනස්වීමත්, නැතිව යෑමත් උරුමව පවතිනවා. එය ධර්මයේ පැහැදිලි කළේ,

තීණිමානි භික්ඛවේ සංඛතස්ස
සංඛත ලක්ඛණානි
කතමානි තීණි?
උප්පාදෝ පඤ්ඤායති
වයො පඤ්ඤායති
ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති

සංඛත වස්තුවල ලක්ෂණ තුනක් දක්නට තිබෙනවා. එම ලක්ෂණ තුන නම් හටගැනීම, නැතිවීම, හා පවතින්නකුගේ වෙනස්වීමක් ද දකින්නට තිබේ යන අදහසයි. කෙටියෙන් සඳහන් කළොත් “උප්පාදඨිති භංග“ යනුවෙනි.
දැන් අභාවිත සිතක් ඇති පුද්ගලයාට කුමක් ද සිද්ධවන්නේ? ඇසට රූප, කනට ශබ්ද වශයෙන් මගේය මම වෙමි මගේ ආත්මය කියල එනම් මට ඕනෙ විදිහට පවතිනවා කියන අදහසින් සිතින් උපාදානය කරගත්ත රූපය, ශබ්දය, ආඝ්‍රාණය, රසය, ස්පර්ශය, සිතිවිලි හෝ වේවා, වෙනස්වීමට භාජනය වන විට සිතට දරාගන්නට නොහැකි වෙනවා. එවිට කුමක් ද සිද්ධ වෙන්නෙ. මේ අභාවිත සිත් ඇති පුද්ගලයා ‘සෝචති’ - සෝක කරනවා. ‘පරිදේවති’ – හඬනගා එනම් විලාප දී හඬනවා. ‘උරත්තාලින් ඛන්දති’ – ළයේ හෙවත් පපුවේ අත්ගසා ගන්නවා. ‘ඛිලමති’ – ක්ලාන්ත වෙනවා. ‘සමූහං ආපජ්ජති’ – මුලාවෙනවා.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ නැවතත් මතක් කරනවා නම්; ඔය ශරීරය නුඹලාගේ නොවේ. කාටවත් අයිති නැහැ. පෙර කරන ලද කර්මයේ ඵලයක්, සංඛතයකුයි. චේතනාවට මුල් වී තිබෙනවා. විඳීමට වස්තුවී තිබෙනවා කියන අදහසයි.
දැන් මේ ශරීරය වෙනස්වී යන විට අභාවිත සිතක් ඇති පුද්ගලයා වඩ වඩාත් හඬමින්, වැළපෙමින්, ශෝක කරමින් තමාට අයත් යැයි සිතාගෙන සිටිය දේ වෙනස්වීමේ ස්වභාවය පිළිගන්නට බැරුව මහත් සේ දුකකට පත්වෙනවා. එපමණක් නොවෙයි ඔහු විසින් හෝ ඇය විසින් වෙනත් ආකාරයකින් හෝ වෙනත් රූපයක් හඬක් ආඝ්‍රාණයක්, රසයක්, ස්පර්ශයක්, සිතිවිලි ලබන්නට පෙළඹෙනවා. එය අටුවාවන්හි පැහැදිලි කරන්නේ ලෝල ගති ඇති, වානරයකුගේ ස්වභාවය හැටියටයි, ලෝල ගති එනම් දැඩි ආශාවන්ගෙන් යුක්ත මේ වානරයා කිසිදු ඵලයකින්, ගෙඩියකින්, පලතුරකින් සෑහීමකට පත්වන්නේ නැහැ. පැසුණු, නොපැසුණු, මධ්‍යස්ථ ගෙඩි, මේ හැම ගෙඩියක් ම කඩා ලෑටිගා, පැත්තකට දමනවා ඔබ දැක ඇත. කිසිවක් සම්පූර්ණයෙන් ආහාරයට ගන්නෙ නැහැ. ලෝල වානරයකුගේ ස්වභාවය එයයි.
අභාවිත සිත් පවතින අශ්‍රැතවත් පෘතග්ජන සිතක ස්වභාවය ද එයයි. ආශාවෙන් ළංවෙනවා. එය තමා සතු කරගන්නට හදනවා. වෙනස්වීම පිළිගන්නට කැමැති නැහැ. වෙනස් වන විට හඬනවා, වැළපෙනවා. දුක්වෙනවා. වෙනස්වීමට හේතුව කුමක්දැයි සොයන්නට තරම්; එනම් පරමාර්ථ ධර්මය වශයෙන් මෙනෙහි කරන්න තරම් පුරුදු නොකරන ලද සිතක් ඇති නිසා, අලුත් රුවක්, හඬක්, ආඝ්‍රාණයක්, රසයක්, ස්පර්ශයක්, සිතිවිලි සොයන්නට පෙළඹෙනවා. වෙනස් වූ රුව, හඬ, වෙනස් වීම නිසා තමාට නොලැබුණ බවත් එය ශෝකයක්, දුක්ඛ වේදනාවක් හැටියටත් පමණක් හඳුනාගෙන, ඒ ශෝකය දුක්ඛවේදනාව නැති කර ගැනීමට එකම පිළියම නැති වූ වස්තුවට සමාන යමක් හෝ එයට ගැළපෙන යමක් නැවත තමා සතුකර ගැනීම බව මේ අශ්‍රැතවත්, පෘතග්ජන සිතක් ඇති එනම් අභාවිත සිතක් ඇති පුද්ගලයා කල්පනා කරනවා. ඒ නිසා නැවත කැමැති රුවක්, ප්‍රියයි කියන හඬකට, කැමැති ආඝ්‍රාණයක්, තමා කැමැති රසයක්, ස්පර්ශයක්, සිතිවිල්ලකට බැඳෙනවා. එහෙත් නැවතත් මේ පුද්ගලයාට යථාර්ථයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එනම්
යං කිඤ්චි සමුදය ධම්මං
සබ්බංතං නිරෝධ ධම්මං’ යමක් හටගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි, කියන මේ ධර්ම ස්වභාවය අනුව අර නැවත අරමුණු කරගත් රූපය, හඬ, ආඝ්‍රාණය, රසය, ස්පර්ශය, සිතිවිලි ද “උප්පාදථිතිභංග“ හට අරගෙන වෙනස් වී නැතිව යනවා. එවිට අභාවිත සිතක් ඇති මේ අශ්‍රැතවත් පුද්ගලයාට හිමිවන්නේ ශෝකය, පරිදේව හෙවත් විලාප දී හැඬීම, කායික හා මානසික දොම්නස්, උපායාස හෙවත් බලවත් සිත් තැවුල් මෙන් ම පරිලාහය නම් වූ ශරීරයේ ඇතිවන ඇවිලීමක්, දැවීමක්, පිළිස්සීමක් බඳු කායික පීඩාවක් පමණක්මයි. මේක කෙළවරක් නැති ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස යන්ගේ ගමනකුයි. අප මුලින් සඳහන් කළා සේ පරමාර්ථ ධර්මයට එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත්කොට සවිඤ්ඤාණය, අවිඤ්ඤාණක වස්තු නම් වූ සියලු සංඛත යටත්කොට දකින්නට නොහැකි වුණොත් සම්මුතිය තුළ පමණක් ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් අරමුණුගෙන ජීවිතය පවත්වන හැම කෙනෙකුට ම මෙවැනි වූ අපමණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණපාන්නට සිද්ධ වෙනවා. දැඩි වූ ලෝභය, විෂම වූ ලෝභය, තරහව, වෛරය, නොඉවසීම, ගුණමකුකම, ආදී බොහෝ උපක්ලේශයන්ට හේතු සාධක සකස්වෙන්නේ මේ අභාවිත සිතේ පවත්නා නොදැනීම නිසා බව දැන් පැහැදිලියි.
සියල්ල හටගත්තා වගේ ම නැතිව යනවා කියන මේ පරමාර්ථ, ධර්ම කතාව සිතට පුරුදු කරන්නට පුළුවනි නම් සිතට වැටහෙන්නට අවබෝධය ලබාදෙන්නට පුළුවනි නම් දැඩි වූ ලෝභය, තරහව, වෛරය, පලිගැනීම් ආදී කෙලෙස්වලින් බැහැරවීමක් සංසිඳීමක් ඇතිකර ගැනීමට පහසුයි. භාග්‍යවතුන් වහන්සේ කිසිවිටකවත් සම්මුතිය ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේ සිඟාලෝවාද, ව්‍යග්ගපජ්ජ, මංගල, ධම්මික ආදී සූත්‍ර දේශනා කළේ විශේෂයෙන් ම ගෘහස්ත ජීවිතවල සම්මුතියේ පිහිටා එම ජීවිත දහමෙන් ලබන සංතෘෂ්ටියෙන් යුක්තව පවත්වා ගැනීමට. සම්මුතිය තුළ සීලයේ පිහිටා කටයුතු කළ යුතු බව දක්වනවා.
සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං

නුවණැති මනුෂ්‍යයෝ සීලයේ පිහිටා ම සිතයි, ප්‍රඥාව වඩනවා. මෙහි සිත නම් සමථය වැඩීමයි. එනම් සිත දියුණු කිරීමයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, ආදී දස අනුස්සති භාවනාවකින් හෝ අනිකුත් සමථ භාවනාවකින් මේ සිතේ දියුණුවක් එකඟභාවයකට පත්කර ගැනීමක් කළ හැකියි. එනම් කුසලාරම්මනයක සිත පවත්වාගැනීමට පුරුදු කළ හැකියි. ප්‍රඥාව වැඩීම නම් විදර්ශනාවයි. එනම් මේ සියලු සංස්කාර, එනම් සංඛත අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැකීමට නුවණ මෙහෙයවීමයි. එය ප්‍රඥාව දියුණුව හැටියටයි දක්වන්නේ.
භාග්‍යවතුන් වහන්සේ සම්මුතියේ පැවැත්ම ප්‍රතික්ෂේප නොකළා වගේ ම එය අනුගමනය කළ යුත්තේ කායික, වාචසික සංවරය නම් වූ සීලයේ පිහිටා ම බව උන්වහන්සේ දේශනා කළේ ඒ ආකාරයෙනුයි. නිදසුනක් මේ වගෙයි ‘පත්ථකම්ම සූත්‍රදේශනාවට අනුව ගෘහස්ත ජීවිතයක් ගතකරන ඔබට ඉගෙනීම අවශ්‍යයයි. භෝග හෙවත් ධනය උපයා ගැනීම අවශ්‍යයයි. ඒ වගේ ම යුතුකම් කිරීම අවශ්‍යයයි. සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් වූවත් ජීවිතයේ පැවැත්මට ලෝකයේ පැවැත්මට ඉගෙනීම, ධනය උපයා ගැනීම වස්ත්‍ර ආදිය සපයා ගැනීම හෝ කෙටියෙන් පැවසුවොත් මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම්පැළඳුම් නිවාස බෙහෙත් හේත් ලබාගැනීම හා ඒවා අරපරිස්සමින් පරිහරණය කිරීම ප්‍රතික්ෂේප කළේ නැහැ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන වචනය නම් ‘සම්මා’ කියන අදහසයි. එනම් නිවැරැදිව කළයුතු බවයි. සීලයේ පිහිටා කළ යුතු බවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දී සම්මා දිට්ඨි ආදී වශයෙන් දක්වන්නේ මේ පිළිවෙළ නැතිනම් මාර්ග පිළිවෙල කතාවයි.
දීපා පෙරේරා