ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

විමසීමත් සමඟ ඇතිවිය යුතු නුවණ

වල්පොල ගෝතම හිමි

අප බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නවා කියන්නේ එය මනැසින්ම සිදුවිය යුතු දෙයක්. ඇසෙන් දකින දැකීමට වඩා මනැසින් දැකීම ඉතා තියුණුයි. එයට හේතුව මනැසින් දකින දැක්මට තමා අවබෝධය කියන්නේ. සමහරවිට ඇසින් දකින දේ තුළ අප යම් සංඥාවක් ගොඩනගා ගන්නවා. ඒ දැකීම ඒකාන්තයෙන්ම නිවැරැදි වෙන්නත් පුළුවන්. නැතිනම් වැරැදි වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධව ඒකාන්ත කරන්න බැහැ. අප ඇසින් දැක තීරණය කළ දේ පසු කලෙක ඇසුරු කිරීමේදී එය වැරැදි බව වැටහෙනවා. දැකල සිතපු දේ ඒ ඇතුළේ තිබෙන්නේ වෙන දෙයක්. රත්තරං වගේම පෙනුනත් සමහර භාණ්ඩ ඇත්තටම රත්තරං නොවේ. එවැනි දේ ඇසින් දැක්කාට තීරණය කර ගන්න බැහැ.
අප ඇසෙන් දකින දේ හෝ ඇසෙන් දැක හිතලා ලබාගන්නා අරමුණු මනැසින් විමස විමසා තේරුම් ගැනීම තමා අවබෝධයෙන් දකිනවා කියන්නේ. ඒක ඇසෙන් දකිනවාට වඩා ඉතා පුළුල්. එය විමසීමක් සමඟ සිදුවූ දෙයක්. පැහැදිලි පරීක්ෂාවකට භාවිතය කළ දෙයක්. ඇසින් දකින බොහෝ දේ විමසීමත් සමඟ නොවේ දකින්නේ.
පසුගිය කලාපයෙන් ආහාර ගනිද්දී ධාතු වශයෙන් විමසන ආකාරය ඉගෙන ගත්තා. අද ආහාර පිට කිරීමේදී ඒ පිළිබඳව ධාතු වශයෙන් විමසන්න ධාතු මනසිකාරය කළයුතු ආකාරය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරය ඉගෙන ගනිමු. ආහාරයක් හෝ පානයක් පිට කිරීමේදීත් ධාතු මනසිකාරය ධර්මය තුළ කථා කරන්නේ ලෝකයේ පවතින යථාර්ථය යි. එය තම නුවණින් විමසීම බුද්ධිමතාගේ ලක්ෂණයක්.
ආහාරයක් හෝ පානයක් පිට කිරීමේදීත් ධාතු මනසිකාරය අවබෝධයෙන් හිතන්න පුළුවන්. යම්කිසි ධාතුවකින් සකස් වූ දෙයක් මේ ශරීරයට ඇතුලු කරද්දී එතැන වන විපර්සායස හා පිට කරනවිට වන විපර්යාසයන් නුවණින් විමසන්න පුළුවන්. ඒ සඳහා අපට ‘සම්පජාන’ කියන නුවණ උපකාරි වෙනවා.
බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ දී සම්පජානය වඩද්දී නුවණින් වාසය කරන ශ්‍රාවකයා වැසිකිලි කැසිකිළි කරද්දී පවා එතැනත් සිහිය පවත්වන්න පුළුවන් බව වදාළා. ඒ අවස්ථාවෙත් ධාතු මනසිකාරය ඔස්සේ නුවණ මෙහෙයවන්න පුළුවන්කම තිබෙන්න ඕන. යම් තැනක කෙලෙස් හටගන්නවානම්, ඒතැනත් භාවනාව දියුණු කරන්න පුළුවන්. වැසිකිළියට කැසිකිළියට ගිය අවස්ථාවේදීත් අපේ මනැසේ කෙලෙස් පවතිනවාද? නැද්ද? මනැසේ කෙලෙස් පවතිනවානම් ඒ අවස්ථාවේ කෙලෙස් දුරු කිරීම සඳහා හරවා ගන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයට අනුව විමසන විට සම්පජාන භාවනාවක් ලෙස හෝ ධාතු මනසිකාරයක් ඔස්සේ යම්කිසි විදිහකට ධර්මයට අනුව විමසනවානම් වැසිකිළියේදීත් තමාගේ කටයුතු සිදුකරන අතරේ මනැස ධර්මයට අනුව පවත්වනවානම් එහිදීත් ඔබේ මනැස ධර්මාවබෝධය සඳහා පුළුල් කරගන්න පුළුවන්. තමාගේ මුත්‍රා හෝ මළපහ දැක්කට පස්සේ අපේ සිතේ ඇති වෙන්නේ ප්‍රධානම සිතුවිල්ල පිළිකුල් ගඳ දෙයක් ලෙසයි. මනස සාමාන්‍යයෙන් පවත්වන්නේ අර දේ සමඟ ගැටෙමින්. එහිදී පිළිකුල් කිරීම ධර්මයට අනුව අසුභය තේරුම් ගැනීමක් කියා හිතන්න එපා. ධර්මයට අනුව අසුභය තේරුම් ගැනීමේදී එය පිළිකුල් කරලා එතැනින් ඈත්වෙලා ගැටීමේ සිතක් ඇතිකර ගන්නේ නැහැ. ඒ වගේම ඇලීමකින් එයට ළංවෙලා එය තමන් ඇසුරු කරන්න අතපත ගාන්නේ නැහැ. මෙහිදී සිදුවන්නේ එය යථාර්ථය තේරුම් ගැනීමයි. ඒ යථාර්ථය යම්කිසි කෙනෙකුට නුවණින් විමසන්න පුළුවන්නම් එතැනත් තමාගේ අවබෝධය පුළුල් කර ගන්න පුළුවන්.
ඕනෑම කෙනෙකුට මේ භාවනා මනසිකාරයත් සමඟ සිත වශී කරගන්න පුළුවන්. එහෙම වුණාම ඔහුට නිතර තමාට වුවමනා විට සමාධිමත් සිත ඇතිකර ගන්න පුළුවන්. සිතට යමක් වශී කරගන්නට ඒක තමන්ට ඕන ආකාරයට ලබා ගන්න පුළුවන් බව අප දන්නවා. ඔබ හිතන්න දැන් අප ඉන්න තැන. අප යමක් දුටුවිට සිතින් වශී කරන අවස්ථා නැද්ද? රාගය, ද්වේෂය ආදි දේවල් අපේ හිතේ නිතර නිතර සිහිකරමින් ඉන්නවානම් අප ඒකට සිත වශී කිරීමක් කරන්නේ. එහෙම සිත වශී වුණාම වන්නේ යම්තැන අපට ද්වේෂයක් ඇතිවිය යුතු තැනක් නොවුණත් ඒ ඕනෑම තැනක ද්වේෂයක් ඇතිකර ගෙන ගැටිලා ලොකු අරගලයක් බවට පත්කර ගන්න පුළුවන්. ඒ තත්ත්වයට පත්වෙන්නේ මනැස අපව වශීකරගත් නිසා. නිතර නිතර ද්වේෂයන් වශී කරගෙන නිසා අපට ඒ ද්වේෂය ඕන ඕන වෙලාවට සිතට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ කාලයක් තිස්සේ මෙත්සිත වඩලා මෙත්සිත පුරුදු කරගත් කෙනෙකුට ද්වේෂය කියන්නේ මොකක්ද කියා දන්නේ නැතිවෙන්නත් පුළුවන්. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියා අප දන්නවා. කෙනෙක් නිතරම ඉන්නේ ද්වේෂයෙන් නම් ඔහු මෛත්‍රිය කුමක්ද කියා දන්නේ නැහැ. ඔහුගේ හිතේ අන්අය කෙරෙහි මෙත් සිතක් ඇතිවෙන්නේ නැහැ. ඔහු ද්වේෂය වශීකරලා ඔහුගේ සිත ද්වේෂයත් සමඟ එකතුවෙලා ඔහුට වශිවෙලා තිබෙන්නේ. එසේනම් ද්වේෂයට වගේම මෛත්‍රියටත් එය කරන්න පුළුවන්. මෛත්‍රියට සිත වශී කරනවා කියන්නේ භාවිතා, බහුලිකතා යානකථා, වත්ථුකථා ආදි ඔබ අසල තිබෙනවා. හොඳට බහුල වශයෙන් පුරුදු පුහුණු කරගන්න කියනවා. ඒක බහුල ලෙස පුරුදු පුහුණු වූ විට ඔහුට ඕනම තැනක කෙනෙක්ව දැක්කත් යම් තැනක යමක් සිතයිද, ඒ ආකාරයට හුරුවනවානම් ඔහු පුරුදුකරන වශී කරන, නිතර මෙනෙහි කරන, මෛත්‍රී සිතුවිලිවලට සිත ගන්න පුළුවන්. එහෙනම් ද්වේෂය වගේම මෛත්‍රීයටත් සිත කැමැතියි. රාග මෙන්ම විරාගි සිතක් පුරුදු කර ගන්නත් අවශ්‍ය කෙනාට පුළුවන්. දකින දකින කෙනා කෙරෙහි රාගි අරමුණ ඇතිකරගෙන ඒ ඔස්සේ විමසන්න පුළුවන්නම් ඒ ආකාරයට අනෙක් පැත්තටත් සිත හසුරුවන්න පුළුවන්.
බොහෝම අතීත කාලයක අසුචි ටිකක් දැකලා එක්තරා දියණියකට ‘පොළොවක සංඥාව‘ කියා අසුචි පිළිබඳව සංඥාවක් ඇතිවුණා. ඒ දෙස බලාගෙන ඉඳළා මේ පොළොවක සංඥාව කියන භාවනා මනසිකාරයෙන් ඇය කෙතරම් දුරදිග ගියාද යත් සිත විසිරෙන්නේ නැතිව භාවනා මනසිකාරයේම පැවතියා. ඇය ඒ මනසිකාරයෙන්ම 1, 2, 3, 4 ධ්‍යානවලට සමවැදී ඒ ධ්‍යානවලට සිත පුරුදුවුණාට පස්සේ ඒක වශී කරගත්තා. අර දියණිය අසුචි දැකලා ඒවා පිළිබඳව භාවනා මනසිකාරය තුළින් ධ්‍යානය සිත් පුරුදු කළා. ඒ කාලයේ බුද්ධ ශාසනයක් තිබුණේ නැහැ. බ්‍රාහ්මණයන්ගෙන් ඉගෙනගත් වේද ශාස්ත්‍රයක් සමඟ භාවනා පුරුද්ද ඇතිවුණා. ධ්‍යාන සිත් නිතර වඩපු නිසා මරණයෙන් පසු බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා. බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න අසුචි ටිකක් උපකාර කර ගන්න ඒ දියණියට හැකිවුණා. එහෙනම් මනුස්ස ලෝකයේ සමාධියක් උපදවා ගැනීම සඳහා අසුචි ටිකක් සාධනයක් කර ගත්තනම් අපටත් මේ මළපහ කියන තැන ඇතිවන කෙලෙස් සිත කපල දාල ඒ මළපහ උපකාරි කරගෙන ඒ සාධකයක් කරගෙන ධර්මාවබෝධයට සුගතියට සමාධිමත් සිතක් පවත්වන්න භාවනා මනසිකාරයත් පවත්වන්න පුළුවන්. මෙහිදී කියන්නේ එදානෙදා තමන් ඒ ශරීර කෘත්‍ය කරනකොට විමසන්න කියන එකයි.
හැම දවසකම ධාතු මනසිකාරයට පුරුදු වූ කෙනෙකුට මළපහ කරන මොහොත්දී සිත ඉන් ඈත් කරන්න ඕන වෙන්නේ නැහැ. අප කෑම ගන්නකොට, එය හපනකොට, ගිලිනකොට, ආහාරයේ සීතල උණුසුම දැනෙනවිට අපට නුවණින් විමසිය හැකිබව අප දන්නවා. ඒ ආහාරය පැසවලා හොඳට දිරවලා ඒ ආහාරය කුඩා බඩවැල් මහා බඩවැල් ඔස්සේ ගුද මාර්ගයට පැමිණීමත් සමඟ ඒ ආහාරයේ තිබෙනවා බර ගතියක්. ඒ ආහාරයේ අවශේෂ කොටස් බැහැර කිරීමේ අවශ්‍යතාවයක් එනවිට එය බරක් ලෙස දැනෙනවා. මුත්‍රා කිරීමේදීත් එසේමයි. ඔබට ඒ බර දැනෙනවිට එය පිට කිරීමට කාලය වෙන්කර ගන්නවා. එහිදී ඔබ භාවනාකරන මනැසක් පුරුදු කරන්න උත්සාහ කළොත් ඒ අවස්ථාව භාවනා මනසිකාරයෙන් පිටතට ගෙනියන්න එපා. ඔබ දන්නවා තද දෙයක් පඨවි ධාතුවට අයත්, ආපෝ ධාතුව දියවෙනවා. මුත්‍රා කියන දේ. මේ පඨවි, ආපෝ ධාතු ඇසුරු කරලා අනෙක් ධාතු සමඟ පිටවෙන මේ මළපහ හා මුත්‍රා ධාතු වශයෙන් ඔබ විමසද්දී තේරුම් ගන්න ඕන ධාතු ගොඩක් බැහැර වෙනවා කියා.
අප දන්නවා සමහර නවීන වැසිකිලිවට ගියාම ඒවායේ පුවත්පත් රූපවාහිනි ආදිය තිබෙනවා. ඒවා නරඹමින් තමා වැසිකිලි කටයුතු කරන්නේ. ඒ දේ කරන්නේ එතැන ගැටීමක් තිබෙන නිසයි. මේ ක්‍රියාවලිය කිරීමේදී තමන්ට තිබෙන ගැටීම තිබෙන නිසයි වෙන දෙයකට මනැස යොමු කරන්නේ. නමුත් ධර්මය තුළ ඉන්න ශ්‍රාවකයාට එහෙම ගැටීමක් නැහැ. ඇලීමකුත් නැහැ. මනස සැහැල්ලුවෙන් ඇත්ත දකිමින් වාසය කිරීමකුයි තිබෙන්නේ.
නයනා නිල්මිණි

ලෝකය යනු යම් යම් ක්‌ලේශයන් මත ගොඩනැඟුණු මානසික මට්‌ටමක්‌ පමණි

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා "යෝ රූපං කාමේති, සෝ දුක්‌ඛං කාමේති, යො දුක්‌ඛං කාමේති, සෝ රූපං කාමේති," යමෙක්‌ රූපයට කැමැති වේ නම්, එයා දුකට කැමැතියි. යමෙක්‌ දුකට කැමැති වේ නම්, එයා රූපයට කැමැතියි කියලා. මොකද මේවා වෙන් කරන්න බැහැ. සංඛත ධාතුව තුළ. අනිත්‍ය වන බව ම දුක. අපි කැමැති වෙන්නේ දුකටයි අන්තිමට.

තාම මෙතන චතුරාර්ය සත්‍යය පෙන්නුවේ නැහැ. චතුරාර්ය සත්‍යය පෙන්නන්නම්. මං පළ`ගැටියා ගේ උපමාවම අරගෙන යන්නම්. ඒ පළ`ගැටියා ගේ උපමාවෙන් තමයි අපට මේක ටිකක්‌ තේරුම් කරගන්න වෙන්නෙ.

ඔන්න දැන් අපි හිතමු ඈත ලාම්පුවක්‌ පත්තු වෙනවා. පළඟැටියාට නුවණ නෑ නේ. බලාගෙන ඉන්නේ පහන් දැල්ල දිහායි. පළඟැටියට පෙනෙනව ද දුක කියලා? නෑ. මොකද, ඒක ඇහැට පෙනෙන්නෙ නැහැ. නුවණට නේ පෙනෙන්න ඕන. දැන් පළඟැටියට නුවණ නැහැ. ඔන්න පළ`ගැටියා, ඉන්නවා. මොකක්‌ දිහා ද? පහන් දැල්ල දිහා. 

පළඟැටියා ගේ අදහස තමයි, මේ පහන් දැල්ල ටික ටික ළඟට ආවොත්, කැමැති දේ ළඟට එනකොට, මොකක්‌ ද ලැබෙන්නෙ? සතුට. මේ පහන් දැල්ල ටික ටික ඈතට ගියොත් මොකද වෙන්නේ? දුකයි. ඇයි ඒ? තමන් කැමැති දේ ඈතට, ඈතට යන කොට දුක එනවා. සතුටු වෙන්න තියන මාර්ගය තමයි පුළුවන් තරම් ඉක්‌මනට පහන් දැල්ල ළ`ගට ගන්න එක, නේ ද?

ඕක තමයි, පළගැටියාගේ මට්‌ටමේ ලෝකයේ කෙනා ගේ චතුරාර්ය සත්‍යය පිළිබඳ දැක්‌ම. ඒ කියන්නේ ලෝකයේ කෙනා දකින්නේ අර, පළ`ගැටියාට පහන් දැල්ල වගේ, දකින්නේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, දූ දරුවෝ කියලයි.

පහන් දැල්ල ළඟට එන්න, එන්න, සතුට නේ. ඒ වගේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, ළඟට එන්න එන්න, ගොඩගහගන්න ගොඩගහගන්න, දුක නැතුව ඉන්න පුළුවන් කියලයි දකින්නෙ. ඇත්ත නේ ද ඒක? පළ`ගැටියා පහන් දැල්ල ටික ටික ඈතට ගියොත් මොකද වෙන්නේ? දුක්‌ වෙනවා, මොකද කැමැති දේ අහකට යනවා නේ. ඒ වගේ ම ලෝකයා දකින්නේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් නැති වුණොත්, අර පහන් දැල්ල ඈතට යනවා වගේ( මොකද වෙන්නේ? දුක්‌ විඳින්න වෙනවා. පුළුවන් තරම් ඉක්‌මනට පහන් දැල්ල ළඟට ගන්න එක තමයි තියන මාර්ගය කියලා තමයි දකින්නේ. ලෝකයා දකින්නේ. පුළුqවන් තරම් ඉක්‌මනට ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල් එකතු කරන එක තමයි, දුක නැතුව ඉන්නවා කියන්නේ කියලයි දකින්නේ. 

ඔන්න ඔය මට්‌ටමේ දැනුමක්‌ තියන ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. "දුක්‌ඛේ අඥනං, දුක්‌ඛ සමුදයෙ අඥනං, දුක්‌ඛ නිරොධ අඥනං, දුක්‌ඛ නිරෝධ ගාමිණි පටිපදාය අඥනං," කියල. ඇයි ඒ? ඔන්න මෙන්න මේ කාරණාව හින්දයි එහෙම කියන්නේ. 

අර උපමාව ම බලන්න. දැන් මෙතන හැම දා ම පවතින හැම දා ම පෙනුණ ඇත්තක්‌ තියනවා. මොකක්‌ ද මේ ඇත්ත? අර උපමාවට ම යන්න මෙතන දි හොඳට දක්‌ෂ වෙන්න ඒ උපමාවේ දි, පළ`ගැටියා පහන දිහා බලාගෙන හිටියේ. එයා ගේ අදහස තිබුණේ, පහන් දැල්ල ළඟට ආවොත් සැපයි කියලා, ඈතට ගියොත් දුකයි කියලා. මේක ගන්න එක තමයි මාර්ගය කියලා. ඔන්න ඔය තැන තියන, හැම දා ම පවතින, ඇත්ත ම ඇත්ත. 

ඒත් පළ`ගැටියාට නෙ පෙනෙන ඇත්ත අපි පළ`ගැටියාට අපි කියන්න ගියොත්, අපට මොකක්‌ ද කියන්න වෙන්නේ? "ඔතන දිළිසි දිළිසි තියන්නේ පහන් දැල්ල නො වෙයි, ඔතන තියන්නේ දුක. ඕකට කියන්න තියන්නේ පහන් දැල්ල කියලා නෙවෙයි. දුක කියලා. ඔය පහන් දැල්ල ටිකෙන් ටික ටිකෙන් ටික, එන්න එන්න, ඇඟේ හැප්පෙන තරමට ළගට එනකොට, මේකෙ දුක ළඟට එනව ද? දුක ළඟට එනවා. 

මේකෙ තියන යථාර්ථය මොකක්‌ ද? ඇත්ත ම ඇත්ත මොකක්‌ ද? දැන් යථාර්ථය බලන්න. දැන් ඒ පහනට ගෑවුණොත් හරි අත දැම්මොත් හරි පිච්චෙනවා නම් ඒක පහන් දැල්ල නො වෙයි දුක නේ ද? ඒ නිසා ඒ දුක ළඟට එන්න එන්න පහන් දැල්ල ටිකෙන් ටික පළ`ගැටියා ගාවට ආවොත් මේ පිච්චෙන බව නො වෙයි ද ළඟට එන්නෙ? දුක නො වෙයි ද මේ ළඟට එන්නෙ? එහෙනම් අපට කියන්න ම වුණොත් ඇත්ත ම ඇත්ත, පළ`ගැටියාට කියන්න වෙනවා, "ඔය පහන් දැල්ල නො වෙයි, ඕක තමයි දුක. ඔය පහන් දැල්ල ළඟට එන්න එන්න ඔය ළඟට එන්නේ සැප නො වෙයි. දුකයි ළඟට එන්නේ" කියලා කියන්න වෙනවා නේ ද? ඒ කියන්නේ ඇත්ත ම ඇත්ත තමයි. ළඟට ඇවිත් හැප්පුණොත් හෙම මොක ද වෙන්නේ? අනිවාර්යයෙන් ම පිච්චෙනවා. ඔය පහන ටික ටික ඔබෙන් ඈත් වුණොත් දුක එනවා නො වෙයි, දුක නැති වෙන්නේ එතකොටයි කියලා කියන්න වෙනවා නේ ද? 

දැන් පහන් දැල්ල පළ`ගැටියා ගෙන් ටික ටික ඈතට යනවා නම් පිච්චීම නේ ද ඈතට යන්නෙ? පුළුවන් තරම් ඉක්‌මනින්, පුළුවන් තරම් වේගයෙන් පහනට පනින එක නතර කරන්නයි තියන්නෙ. පහන ඉවත් කරන්න කියන එකයි අපට මාර්ගය හැටියට කියන්ඩ වෙන්නෙ. 

පළ`ගැටියා හැම දා ම නො දැක්‌කා, හැම දා ම නො පෙනුණා, හැම දා ම නො තේරුණා, ඒත් ඇත්ත ඇති හැටියේ පැවතුණා. හැම දා මත්, උපන්න දවසේත්, දැක්‌කෙ පහන් දැල්ල කියල මයි. ඉපදුණේ, හැදුණේ වැඩුණේ පහන් දැල්ල කියලමයි. මැරෙන්නෙත් පහන් දැල්ල කියලමයි. ආයෙ ඉපදෙන්නෙත් ඔය පහන් දැල්ල ලැබුණොත් හොඳයි කියන තැනකින් මයි. මැරෙන්නෙත් මේ පහන් දැල්ල ඈතට ගියොත් තමන්ට දුක්‌ විඳින්න වෙනවා මයි කියන තැනින් මයි. 

නො දන්නාකම ඇතුළෙ ම ඉපදිලා, නො දන්නාකම ඇතුළෙ ම ජීවත් වෙලා, නො දන්නාකම ඇතුළෙමයි මැරෙන්නේ. කව දා වත් එයින් ඔබ්බක්‌ හම්බ වෙන්නේ ම නෑ. ආයිත් උපදින තැනක දීත් ඔහොම මයිs හම්බ වෙන්නෙ. 

ඒ වගේ, අප ඉපදෙන්නෙ ම අම්මා, තාත්ත, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල් තියෙන තැනක මයි. දුක දකින්නෙ ම නැතුවයි. ඒ දේවල් ලැබුණොත් තමයි සැප, සතුට තියන්නේ කියන තැනකින් තමයි ජීවත් වුණෙත්, මැරෙන්නෙත්. මේ දේවල් නො ලැබුණොත්, මේවායින් අයින් වෙන්න වුණොත්, දුක්‌ විඳින්න වෙනවා මයි කියන තැනකින් මයි ආයෙත් උපදින්නෙත්. 

ලෝකය කියන්නේ ඔන්න ඔය මානසික මට්‌ටමටයි. ලෝකය කිව්වම දකින්න එපා, සැපක්‌, සත්‍යයක්‌ හැටියට. මේ ලෝකය කියන එක මැවිලා තියන්නේ මේ මානසික මට්‌ටමට. ඊට පස්‌සේ ලෝකෝත්තරයි කියන්නෙ, එහෙම නැත්නම් මේ ලෝකයෙන් එතෙර වෙන්නෙ, දුකෙන් එතෙර වෙන්නෙ කියන තැන, වෙන මුකුත් ම නො වෙයි. සත්‍යවබෝධයක්‌ කළාමයි. ඇත්ත තත්ත්වයමයි. 

පළඟැටියාට අපේ අදහසක්‌ ද අපි කිව්වේ? පළ`ගැටියා ගැන ඇත්තක්‌ වත් බොරුවක්‌ වත්, අපේ අදහසක්‌ වත් අපි හදාගත්ත ඇත්තක්‌ වත් කිව්වා නො වෙයි. ස්‌වාභාවික සත්‍යයක්‌, සත්‍යය කිව්වේ ඒක වෙනස්‌ වෙන්නේ නැති එකක්‌.

ඒ වගේ මේ චතුරාර්ය සත්‍යය කියන එක බුදුරජාණන් වහන්සේ ගේ දෙයක්‌ කිව්වා නො වෙයි. ඔබ ගේ අපේ ජීවිතවලින් පරිබාහිර ව කිව්වත් නො වෙයි. 

ඒ වගේ තමයි. ලෝකයා යමක්‌ "සැපයි" කියයි ද, ආර්යයන් වහන්සේලා ඒක "දුකයි" කියනවා. ආර්යයන් වහන්සේ ලා යමක්‌ "සැපයි" කියයි ද? ලෝකයා ඒක "දුකයි" කියනවා. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ලෝකෝත්තර කියන්නේ ලෝකයා කියන දේට හාත්පසින් ම අනිත් පැත්ත. යථාර්ථය. ආර්යයන් වහන්සේලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ආර්ය කියන්නේ උතුම්( උතුම් වුණේ වෙන මුකුත් හින්දා නො වෙයි, ඇත්ත හින්ද. ලෝකයට අයිති නැති වුණේ, ලෝකය කියන එකට ද ඔබ්බෙන් පවතින "සත්‍යය" කියන එකට මනස ගිය හින්දා. ලෝකය කියන්නේ බොරුව. ලෝකය කියන්නේ යම් යම් ක්‌ලේශයන් මත ගොඩනැඟිච්ච මානසික මට්‌ටමටයි. 

දැන් පළ`ගැටිය ගෙ අරමුණේ දී පළ`ගැටියයි අපයි අතරේ තියන මානසික මට්‌ටම තේරුම් ගන්න පුළුවන් නේ. පළ`ගැටියාට පහන පෙනෙන කොට අපට පෙනෙනවා දුක. පහනේ ලැබීම සැප හැටියට පළ`ගැටියාට පෙනෙන කොට අපට ඒක පෙනෙනවා දුක හැටියට. පහනේ නො ලැබීම දුක හැටියට පළ`ගැටියාට පෙනෙන කොට අපට ඒක පෙනෙනවා සැප හැටියට. පහන ලබාගැනීම මාර්ගය හැටියට පළ`ගැටියාට පෙනෙන කොට පහන නො ලබා ගැනීම මාර්ගය හැටියට අපට පෙනෙනවා. 

ඒත් දැන් අපි පළ`ගැටියා ගේ මට්‌ටමට ඇවිල්ලා. දැන් අපිට දුක දුක හැටියට පෙනෙන්නේ නෑ( අපට පෙනෙන්නේ ඉඩ කඩම් යානවාහන ගෙවල් දොරවල් මිල මුදල් හැටියටයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒවා දකින්නේ දුක හැටියටයි. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ "ලක්‌ෂණ" ටිකක්‌ කියනවා. දුකට "ලක්‌ෂණ" ටිකක්‌ කියනවා. "ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛාථ ව්‍යාධිපි දුක්‌ඛා, මරණංපි දුක්‌ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්‌ඛෝ, පියෙහි විප්පයොගෝ දුක්‌ඛෝ, යම්පිච්ඡං න ලභති, තම්පි දුක්‌ඛං, - යම් තැනක ඉපදීමක්‌ තියෙනවා නම් යම් දෙයක්‌ තුළ, යම් වස්‌තුවක්‌ තුළ යම් තැනක ඉපදීමේ ලක්‌ෂණය තියෙනවා නම්, දිරන ලක්‌ෂණය තියෙනවා නම්, ලෙඩ වීමේ ලක්‌ෂණය තියෙනවා නම්, මැරෙන ලක්‌ෂණය තියෙනවා නම්, අප්‍රියයන් හා එක්‌ වීමේ ලක්‌ෂණය තියෙනවා නම්, ප්‍රියයන් ගෙන් වෙන් වීමේ ලක්‌ෂණය තියෙනවා නම්, කැමැති දේ නො ලැබිමේ ලක්‌ෂණය තියෙනවා නම්- මේ ආදී වශයෙන් දුක හඳුනාගැනීමේ ලක්‌ෂණ ටිකක්‌ දේශනා කළා. යම් වස්‌තුවක්‌ තුළ ඔය ලක්‌ෂණ ටික තියනවා නම් - ඉපදීමේ ගතිය, දිරන ගතිය, ලෙඩ වෙන ගතිය, මැරෙන ගතිය - දකින්න, මේ දුක කියලා. එතකොට දුක දකින්න මේ ලක්‌ෂණ ටික කිව්වා. අපි ඔය ලක්‌ෂණ වචනවලින් කිය, කිය, රත්තරං හැටියට දකිනවා නම්, අපි දුක දකින්නේ නැහැ. මේ දරුවා නො වෙයි රත්තරං නො වෙයි. මේ රිදී නො වෙයි. මේ මුතු මැණික්‌ නො වෙයි. මේ දුකයි. 

"ආනන්ද, සර්පයෙක්‌" කියලා කිව්වෙත් මේක ම තමයි.

ත්‍රිකෝටික පාරිශුද්ධ මළකුණු සූත්‍රය ප්‍රථම සිල්පදය සඳහා පමණද?

පින් ලැබීමට දෙවියෝ වඩිත්ද?

ආචාර්ය, පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද මෛත්‍රිය හිමිපාණෝ
සභාපති - ශ්‍රී ලංකා අවිහිංසාවාදී 
භික්‌ෂු මහ සභාව

ජීවකය· දිට්‌ඨං, දැකීමෙන් පිරිසිදු වූ සුතං, ඇසීමෙන් පිරිසිදු වූ, පරිසංතිතං, සැක ඇතිවීමෙන් පිsරිසිදු වූ යනුවෙන් අප දන්නා පරිදි ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මේ මේ අයුරින් යෑයි දේශනා කළේ බුදුපියාණන් වහන්සේය. ජීවක බමුණ· ඉහත සඳහන් අයුරින් පිරිසිදු වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මම වළඳිමි. එහි ගැබ්ව ඇති අදහස මෙසේය.

සත්ත්ව මාංශ කලවම් නැති බවට ඉහත තුන් විධි පරීක්‍ෂණ වලින් සමත්වූ විට වැළඳීම කලාට කම් නැත යන්න පෙන්වා දුන්නේ භික්‌ෂූන් වහන්සේලා ඇතුලු සිව්වනක්‌ පිරිසටය. තුන්කල් දැකීමේ නුවණක්‌ ඇති සම්බුදුරදුන්ට ඉහත පරීක්‍ෂණ කිසිසේත් අදාළ නැත. මක්‌නිසාද ආහාරදාන දෙස දෙනෙත් යොමු කරන විටම ඒවායේ අන්තර්ගත්‍ය මොනවාදැයි බුද්ධ ඥාණයට පෙනෙන නිසාය. මරණයෙන් පසු ක්‍ෂණයක්‌ පාසාම කුණුවී යන, නවදොරින් ජරාව වැගිරෙන දෙතිස්‌ කුණුප කොටස්‌ සහිත මළකුණුවල කෝටි තුන්වතාවක පාරිශුද්ධ භාවයක්‌ කෙසේ තිබේදැයි මොළේ කළඳක්‌ හෝ ඇතිs ඕනෑම මන්ද නොවන පුද්ගයකුට පෙනී යනු ඇත.

ජීවක බමුණා හරහා බුදුපිරිස වෙනුවෙන් බුදුරදුන් එසේ විග්‍රහයක යෙදුනේ තුන්කල් තබා එක කලක්‌වත් නොපෙනෙන පෘතග්ජන භික්‌ෂූන් අරභයාය. එහෙයින් නොකියා පෙන්නුම් කළේ එසේ එම පරීක්‍ෂණ තුනෙන්ම සමත්ව දානය වැළඳීමෙන් පසුව මාංශ වෑංජනවලට බහාලූ හැදි හෝ දානයට කලවම්වී තිබේ. ඒ පිළිබඳව පසුව දැනගන්නට ලැබී තමන් වහන්සේලාට ඇවැතක්‌ සිදුවුණා යන පසුතැවිල්ලෙන් මඟහැරවිමටය. මෙකී ත්‍රිකෝටික පාරිශුද්ධය කෙටියෙන් පවසතහොත් පහදා දුන්නේ අපටය. සිත් කණස්‌සල්ලෙන් බේරාගැනුමටය.

මෙකල මෙන්ම එකලද මාංශ මෙන්ම පෙනුම ආග්‍රාහණය ඇති ඇතැම් ධාන්‍ය වර්ග සුලභව තිබෙන්නට ඇත. උදාහරණ වශයෙන් සෝයාබෝංචි, බිම්මල්, ගෝවා මල්, පොළොස්‌ ආදිය පෙන්වා දිය හැකිය. සත්ත්ව කුණුප කොටස්‌ කලවම් නැති කුණුවී දිරාපත් නොවන මේවා ත්‍රිකෝටික පාරිශුද්ධවූ මාංශ වර්ගයි.

ජීවක සූත්‍රය විකෘති කළ මාංශ තෘෂ්ණාවෙන් භරිත වූ නිර් + වානය (තෘෂ්ණාව) නැතිකිරීම කෙසේ වෙතත් විභව රස තෘෂ්ණාවෙන් යහමින් පෙලුනු දුග්ශීල අටුවාකාරයින් කිසිදා තෘප්තියට පත්නොවන වානය හෙවත් තෘෂ්ණාව හේතුපාදක කොටගෙන සම්බුදු ශ්‍රී මුඛ ධර්මට අතිශය පරස්‌පරයන් ලේඛනගතකොට අවිචාරය හිසමත දරාගත් භික්‌ෂූන් රවටා දමා ඇත. සැමවිටම තම වාසියට කරුණු කාරණා සොයාගෙන සැදැහැවතුන් රවටන පෘතග්ජන භික්‌ෂූන්ට මේවා කදිම උඩගෙඩි බව නොහෙලා පෙන්වා දෙමු.

තමන් වහන්සේලා වෙනුවෙන් මරා නොමැති බව ඇසීමෙන්, දැකීමෙන්, සැකයක්‌ හෝ ඇතිවීමෙන් තොරවූ එහෙත් අන් වහන්සේලා හෝ වෙනත් අය වෙනුවෙන් මරා ඇති සත්ව මාංශ ත්‍රිකෝටික පාරිශුද්ධ යෑයි කිසිදු ලැඡ්ජා බියකින් තොරව ධර්මය විකෘති කිරීම කිසිදු විචාරයකින් තොරව පිළිගැනීම තරම් උන්මත්තක තෘෂ්ණාවක්‌, තෘෂ්ණාව පිළිකෙව් කිරීමට පැවිදි බව ලැබූ භික්‌ෂූනට නොතිබිය යුතුය. තමන් වෙනුවෙන් නොවූවත් මරණ වේදනාව නමැති දුක්‌ඛ සත්‍යය මාංශ පාත්‍රයේ ලැගුම්ගෙන ඇති බව සහ එවැන්නක්‌ භක්‍ෂණය කිරීම තබා දැකීමත් අසම්මා දිට්‌ඨියක්‌ බවටත් තේරුම් නොගැනීම ලද බොළඳ, නොමේරූ බුද්ධිමය තත්ත්වයකි.

පාණාතිපාතා සූත්‍රය අනුව මැරීම, මැරවීම, මරණය අනුමත කිරීම මරණවලට භක්‌ෂණයෙන් දායකවීම හෙවත් අනුබලදීම නොකළ යුතු බව පැහැදිලිව ගෙනහැර පා තිබියදීත් තමන් වෙනුවෙන් නොවේයෑයි සතුන්ගේ මරණ වේනාව දුක, කම්පාව, අසරණබව, නිහඬව ජීවිත යෑදීම, කුලයේ නීතිය සාධාරණීකරණය කිරීම සම්බුදුවරයෙකුගේ ශ්‍රී මුඛයෙන් අනුමත කෙරේද? එසේ වී නම් එය කෙතරම් ශෝකාලාපයක්‌ද, ධර්ම සංවේගයක්‌ද? යම්කිසිවකු තමන් වෙනුවෙන් නොවේ යෑයි එකී අති භයංකර සත්ව ඝාතන යුක්‌ති යුක්‌ත කරන්නේ හදවත පාෂාණ වර්ගයකින් හටගෙන ඇති නිසාද? සම්බුදුවරයකුගේ හදවත විටෙක මහා කරුණාවෙන් භරිත වී තවත් විටෙක දිවග තෘෂ්ණාවෙන් පාෂාණ බවට පත්වේද? එසේනම් එය ද මනාව පිසදාගත යුතු පැනයකි. සුදනනි· ඉල්ලුම අනුව සැපයුම යන න්‍යාය අදට පමණක්‌ නොව එදාටද සමගාමීය. නොවෙනස්‌ය. මාංශ ඉල්ලුම සඳහා සතුන් මරති. ඉල්ලුම නිසා වෙළෙඳපළ හිස්‌වන විට තව තවත් සතුන් ඝාතනයට ලක්‌වෙති. තමන් වෙනුවෙන් නොවූවත් අන් වහන්සේලා වෙනුවෙන් වුවත් භක්‍ෂණයෙන් හිස්‌වන ස්‌ථානය ක්‍ෂණිකව පිරවෙයි. ගැබ්බර සතුන් මිය යවන ආකාරය සුදන සාධුනි· තම මවට, සොහොයුරියට අනුරූපව සිතන්න පුරුදු වන්න. එසේම මෙලොව සිටින සියලු ජීවීන් තම අතීත මව පියා දරුවන් වන ළඟම ඥාතීන් වී සිටිය බව සම්බුදු පියාණන් දෙසූ බව ද සිහිපත් කරන්න. එවැනි ශ්‍රී මුඛපද්මයකට ත්‍රිකෝටික මාංශ එබූයේ උන්මත්තක අටුවා ටීකයින් බව තේරුම් ගනු මැනවි.

තවද දුදන සාධුනි· නොකළ යුතු වෙළෙදාම් පහෙන් ප්‍රථමය වශයෙන් මාංශ වෙළෙ¹ම විග්‍රහ කළේ තිලෝගුරු සම්බුදු පියාණන් බවත් සිහිපත් කරන්න. ඇතැම් භික්‌ෂූන් ත්‍රිකෝටික පාරිශුද්ධ මළකුණු වෙළෙඳපළේ ඇති බව සිතති. කියති. ලියති. මේ අයුරින් සම්බුදු දර්ශනයේ තහනම් වූ මාංශ වෙළෙඳාමද සාධාරණීකරණය කරති. ඇයිද ඔබවහන්සේලා ඝාතනය සාධාරණයෑයි නොපවසන්නේ එයද ත්‍රිකෝටික ඝාතනයක්‌ නොවේද? ඔබලාගේ දැනුම හා මතය පරිදි සාධුනි·

මෙසේද සිතන්න සාධුනි· ඔබ වහන්සේලාගේ දායකකාරකාදීන් මාංශ මිලදී ගන්නේ මුදල් වලින් බව. එම මුදල්වලින් මස්‌ වෙළෙන්දා පසුදින රෙදි කඩයක්‌ හෝ බෙහෙත් කඩයක්‌ පටන් ගන්නවාද, නැතිනම් ලාභාංශද සමගින් වැඩි වැඩියෙන් එම මුදලින් මරාපු සතුන් හෝ මැරීමට සතුන් මිලදී ගන්නවාද? එම ත්‍රිකෝටික පාපකර්මය මිලදී ගන්නා බොළඳ දායකයා පමණක්‌ නොව වළඳන වහන්සේලාද අනුගත නොවනවාද? විසඳාගත යුතු ප්‍රබල ප්‍රශ්නයකි. 

වෙළෙඳපළට එන මරණ අඳෝනා දෙකන්වලට නොඇසෙන, දෙඇස්‌වලට නොපෙනන, හදවත්වලට නොදැනෙන අතීත ත්‍රිකෝටික පාරිශුද්ධ අටුවෝ මෙන්ම වර්තමානයේද, අනාගතයේද බුද්ධ ඝාතලා, ධර්ම ඝාතලා, නොඅඩුව බිහිවේවි. සම්බුදු පියාණනගේ මහා කරුණාවෙන්, අවිහිංසාවෙන් පිරි "මෙත්තංච සබ්බෙ ලෝකස්‌මිං" ස්‌වකීය අතිශය තාවකාලික උගුරෙන් පහළට යනවිට රසය නොදැනෙන තෘෂ්ණාවට උකස්‌ තබන්න එපා සාධුනි! සරතෘෂ්ණ භක්‌ෂනයට කිසියම් සතකුගේ ඝාතනය සිදුවිය යුතුමය. ඉබේ මියගිය සතකුගේ මාංශ ආහාරයට නොගන්නේ ඒවා විෂ විමෙන් තමුන්ගේ ජීවිතය ක්‍ෂයවේයෑයි යන බිය නිසා බව තේරුම් ගැනීමම වාසනාවකි. 

එසේ තේරුම් යැමට තම තෘෂ්ණාභරිත සිත ඉඩ නොදේ නම් අවම වශයෙන් එක එක පරස්‌පර අටුවා හුවා දක්‌වා අවිචාර අසරණ සැදැහැවතුන් නොමග යවන්න එපා. අති දුෂ්කරව මනුස්‌ස භවයක්‌ ලැබූ එම අයගෙ නිර්වානය නොපෙනෙන ඈතකට යවන්න එපා සුධනනි· එසේ නොකර ඔබලා ත්‍රිකෝටිකය යහමින් භක්‍ෂණය කරන්න.

පලාමය· තමා අසවලාය. අසවල් ප්‍රාඥයාය. අසවලාගෙ පුත්‍රබාය. සිටුවරයාය. රජකි. පණ්‌ඩිතයෙකි. උගතෙකි. මගේ ධර්මය මෙසේ වේයෑයි කිව පමණික්‌ නොපිළිගනුව. එම ධර්මය පංචශීල ප්‍රතිපදාවෙන් තොර නම් අරිය අටමගේ නොවේ නම් අවිචාරව නොපිළිගනුව! කාලාම බමුණාට බුදුරදුන් දෙසූ කාලාම සූත්‍රයෙන් සහ ධර්මයේ එන ඒහිපස්‌සිකෝ, ඕපනයිකෝ පච්චත්තං විඤ්ඤූති යන්න භික්‌ෂූන් වහන්සේලා වන අපද අකුරට පිsළිපැදිය යුතු වමු. ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධකොට ගතයුතු වෙමු.

මෛත්‍රීය, කරුණාව යනු විශ්වයේ සදාතනිකව රැඳී පවතින විශ්වධර්මතාවකි. එය මිනිසාට හෝ සත්ත්වයාට කියා වෙනසකට භාජනය නොවන්නකි. එය මේ මේ අයුරින් යෑයි පහදාදීමටයි සම්බුදුවරුන් ලොව පහළවනුයේ. පංච ඉන්ද්‍රියයන් පිනවීමට නොව පංචද්වාර වසා ගැනුමට සහ ඒ අනුව වානයෙන් තොරවූ නිර්වානයට යැමට භවතල තිස්‌ එකෙන් ලැබෙන එකම භවතලය මනුස්‌සභවය බවට සැදැහැවත් බෞද්ධයන්ට තේරුම් කරදීම මැනවි. බුද්ධ සාධුනි.·

ත්‍රිකෝටික සත්ත්ව මාංශ නොමැති, මාංශ කඩ හෝ ගොවිපල, නොමැති, සුවඳ පමණක්‌ දසතින් විහිදෙන ඒවා ආඝ්‍රනනය කරන සදෙව්ලෝ වාසීන් ත්‍රිකෝටික මළකුණු පිං පවෙත් පව් අනුමෝදන්වීමට මිනිස්‌ ලොවට වඩිත්ද? නිරාකරණය බාරයි ඔබට සුදනනි.· සාධුනි භික්‌ෂුව යන වචනයේ නිර්වචනය තෘෂ්ණාව මුල්කරගත් භක්‌ෂකයා නොව සසරට බිය ඇත්තා යන්න බව මෙය කියවීමෙන්වත් තේරුම් ගනු මැනවි.

කුස තුළිනුත් බඩවැල් තුළිනුත් යයි මළකුණු සැර ඕජස්‌ දුවලා

පිංදෙන්නෙ ගිරියෙන් දේවා සබ්බේ අනුමෝදන් කියලා

දෙවියන් දුවනව මළකුණු දුගඳට ඒවා වස යෑයි පවසාලා

ප්‍රේත යක්‍ෂ අප එනවා ගැනුමට පච්ටික දෙන්නකො ගඳ ඔබලා

ලිපිය දීර්ඝ වන නිසා මෙතැනින් නවතිමි. තවත් ත්‍රිකෝටික විග්‍රහයක්‌ ඉදිරි ලිපිවලදී බලාපොරොත්තු වන්න.

තිසරණ සරණයි!