ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

දුක, පහන් දැල්ලෙනුත්, පහන් දැල්ල දුකෙනුත් වෙන් කළ නොහැකි ය


පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි 

මේ චතුරාර්ය සත්‍යය, නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම, බුදුරජාණන් වහන්සේ ගෙ වත් දෙයක්‌ නො වෙයි. අදහසක්‌ නො වෙයි. ලෝකය තුළ පවතින ඇත්තක්‌. එහෙනම් අපට චතුරාර්ය සත්‍යය කියලා හම්බ වෙන්න ඕන වෙන මොකවත් නො වෙයි, අපට නො පෙනුණ, අපේ ම ජීවිතයක ඇත්ත අපට හම්බ වෙන්න ඕන. අප ඒ ගැන බලමු. ඊට ඉස්‌සෙල්ලා මම උපමාවක්‌ කියන්නම්. උපමාවත් ගැඹුරුයි. උපමාව අනුසාරයෙන් උපමේය මම පෙන්නන්නම්. මේ උපමාව දිහා හොඳට දක්‍ෂව බලන්න. 

උපමාව තමයි මං හැම දා ම දේශනාවල දී මතක්‌ කරන පළඟැටියෙක්‌. අහලා ඇති නේ ද?

පළඟැටියා වගේ සතෙක්‌ ගත්තහ ම, පළඟැටියා පහන් දැල්ලට ගොඩක්‌ කැමැතියි නේ ද? දැන් පහනක්‌ පත්තු කෙරුවොත්, මේ පහන් දැල්ලට පළඟැටියා වගේ සත්තු කැමැති නැද්ද? කැමැතියි. මොකද පහන් දැල්ල හරි ම ලස්‌සනට ආලෝකවත්ව දීප්තිමත්ව බබළනවා. හරි ලස්‌සන රූපයක්‌ මෙයාට ඇහැට, දැන් මේ පෙනෙන ලස්‌සන දේ ලබාගන්න තමයි මේ සතා ගේ කැමැත්ත. 

හැබැයි හොඳට මතක තබාගන්න ඕන පළඟැටියා පහන් දැල්ලට කැමැතියි, නමුත් පළඟැටියා ද දුකට කැමැති නෑ. කිසි කෙනෙක්‌ දුකට කැමැති නෑ. හැබැයි සියලු දෙනා ම සැපට කැමැතියි. "මෙච්චර දීප්තිමත් හොඳ ආලෝකවත් දේ ලබා ගත්තොත් සැපයි"Êකියන දේ ගැන තමයි එයා ගේ අදහස තියෙන්නේ. 

ඔන්න දැන් පළඟැටියා දිහා බලන්න හොඳට( පළඟැටියා කැමැති නෑ දුකට. නමුත් පළඟැටියා කැමැතියි සැපට. දැන් කැමැතියි පහන් දැල්ලට. ඔන්න දැන් තමන් කැමැති දේ, ආස දේ ලබා නො ගෙන හිටියොත් ඒකත් දුකක්‌ නේ. ඒ දුකෙන් මිදෙන්න, තමන් කැමැති දේ, ආස දේ ලබාගන්න යනවා. පහන් දැල්ලට තමන් කැමැතියි. පහන් දැල්ලට පනිනවා. පැන්නහම මොකද වෙන්නේ පිච්චෙනවා. පිච්චුණහ ම සැප ද, දුක ද? දුකයි. දැන් පළඟැටියාට පිච්චෙන්න ඕනෑකමක්‌ තියෙනව ද? දුක්‌ වෙන්න ඕනෑකමක්‌ තියෙනව ද? එයා පිච්චෙන්න කැමැතිත් නෑ. දුක්‌ වෙන්න කැමැතිත් නෑ. හැබැයි පහන් දැල්ලට කැමැතියි. දැන් එතන හරි ප්‍රශ්නයක්‌ තියෙන්නේ. එයාට පිච්චෙන්ඩත් බෑ, දුක එන්ඩත් බෑ. පිච්චෙන්න නැති වෙන්නත් ඕන. දුක එන්නෙ නැති වෙන්නත් ඕන. හැබැයි පහන් දැල්ලත් ඕන. තමන් කැමැතියි පහන් දැල්ලට. හැබැයි පිච්චෙනනවට, දුක එනවට කැමැතිත් නෑ. 

දැන් ක්‍රමයක්‌ තියනව ද මෙතන? තමන් කැමති දේ ලබා ගන්නත් ඕන( පහන් දැල්ලට පනින්නත් ඕන. පහන් දැල්ලත් ඕන. පිච්චෙන්නෙ නැති වෙන්ඩත් ඕන. පුළුවන් ද මේක? බැහැ.

දැන් මේ දෙක වෙන් කරගන්න පුළුවන් ද කියලා පොඩ්ඩක්‌ බලන්න. ඒ කියන්නේ පහන් දැන්ලට පැනලා පහන් දැල්ල ගන්නවා. පිච්චෙන්න දුක්‌ වෙන්න නැතුවන් ඉන්නවා කියලා යමක්‌ කරන්න පුළුවන් ද? කවදා වත් ඒක කරන්න බැහැ. කවදා වත් වෙන්නෙ නැහැ. ඒක පහනට පනින කොට අනිවාර්යයෙන් ම පිච්චෙනවා නො පිච්චුණොත් තමයි පුදුම. පිච්චුණොත් පුදුම නෑ. නො පිච්චුණොත් පුදුමයි. නමුත් ලෝකයේ හැම වෙලාවෙ ම ඇත්තට ම සිද්ධ වෙන දේ තමයි මේ. දැන් පිච්චෙන දෙයින් නො පිච්චි ඉන්න තමයි කැමැත්ත. පහන් දැල්ලත් ඕන. නමුත් පිච්චෙන්නත් බැහැ. දුක එන්ඩත් බැහැ. දුක එන්නෙත්, පිච්චෙන්නෙත් නැති ව ඉන්ඩ පහන් දැල්ලත් ගන්න කියලා ක්‍රම දෙකක්‌ නැහැ. ක්‍රම දෙකක්‌ තියනවා එකක්‌ තමයි මේ පිච්චෙනවට දුක එනවට කැමැති නැතිනම් පහන් දැල්ලට පනිනේනෙ නැතුව ම ඉන්න ඕනෑ. පහන් දැල්ලට නො පැන හිටියොත් පිච්චෙන එකේ දුක එන එකෙන් නතර වෙන්න පුළුවන් ඕනෑ නම්. 

තව ක්‍රමයක්‌ තියනවා. පහන් දැල්ල ඕන නම් ගත හැකියි. හැබැයි පිච්චෙන බවට, දුක එන බවට කැමැති වෙන්න ඕනෑ. හැබැයි එතකොටත් පිච්චෙන්න වෙනවා. දුක්‌ වෙන්න වෙනවා. පහන් දැල්ල තබාගෙන පිචිච් පිච්චි දුක්‌ වෙ වී ඉන්නව ද, නැත්නම් පිච්චිලා දුක එන එකෙන්a වෙන් වීම සඳහා පහන් දැල්ල ම අයින් කරනව ද කියන ක්‍රම දෙක මිසක පහන් දැල්ලත් අරගෙන, පිච්චෙන්නෙත් නැති ව, දුක්‌ වෙන්නේත් නැතිව ඉන්නවා කියන කාරණයක්‌ නෑ. එහෙම වෙන්න හේතු නෑ නේ ද?

මේ අම්මලා ඔක්‌කොම මතක තියාගන්න ඕන ඔය උපමාව. මම අම්මලා ගෙන් ඒ වචනය ම අහනවා. මොකද ඔය පළඟැටියා කරපු දේ ම කරනවා නේ ද දැන්, ඒ නිසා පළ`ගැටියා ගැන නම් චණ්‌ඩිකමෙන් වගේ උත්තර දෙනවා. දන්නෙ නෑ අපිත් ඒ ටික ම දැන් කරනවා නේ ද කියලා. 

ඔන්න දැන් මේ කාරණාව තේරුම්ගන්න ඕන. පළඟැටියාට තියෙන්නේ දුක්‌ඛෙ අඥානං. එයා දන්නේ නැහැ මේ දිළිසි දිළිසි ආලෝකවත් ව තියන මේ පහන් දැල්ල නේ ද දුක කියන එක. එයාට තේරෙන්නෙ නැහැ. මේ පෙනෙන දේ ගන්ඩ ගියොත් දුක එනවා නේ ද, දුක්‌ විඳින්නට වෙනවා නේ ද, දුක නේ ද මේ මෙතන පෙනෙන්නට තියෙන්නේ කියන එක එයා දන්නේ නැහැ. එයා දුක හැටියට නො වෙයි දකින්නේ. එයා මේක පහන් දැල්ලක්‌ හැටියටයි දකින්නේ. දුක කියන එක වක්‍රවයි තියෙන්න- සෘජුව නෑ. පෙනෙන්නේ පහන් දැල්ල - ඒක ගන්ඩ ගියහ ම විඳින්න වෙන්නේ දුකයි. 

එහෙනම් මං කැමැති වෙලා තියෙන්නේ දුකට නේ ද කියන කාරණාව හිතන්න ඕන නුවණින්. නුවණ නැති වුණොත් පෙනෙන දේ ගන්ඩ ගිහිල්ලා ආයෙත් වැටෙන්නේ දුකේ. පෙනෙන දේට ඔබ්බෙන් තියෙන දුක, නුවණින් දැකලා මිදෙන්න වෙන්නෙ නුවණින්. නුවණින් මිදෙනව ද, පේන දේට අහු වෙලා දුකේ බැඳෙනව ද? විඤ්ඤාණයෙන් පරිහරණය කරන්නට ගිහිල්ලා දුකේ බැඳෙනව ද, ප්‍රඥාවෙන් දුකෙන් මිදෙනව ද කියන එක තමන් ගාවයි තියෙන්නේ. 

අපි මේ ටික බලමු. දැන් පළඟැටියා පහන් දැල්ලට කැමැතියි. නමුත් දුකට කමැති නෑ. පහන් දැල්ල ගන්න කියල පැන්නාත් දුක ලැබෙන්නේ ඉබේ මයි. ක්‍රම දෙකයි තියෙන්නේ පළඟැටියා බලාපොරොත්තු වෙන ක්‍රමය ලැබෙන්නේ නැහැ. පළඟැටියා බලාපොරාත්තු වෙන ක්‍රමය මොකක්‌ ද? පහන් දැල්ලත් ඕන පිච්චෙන්නේ බෑ. දුක එන්නත් බෑ. එහෙම ක්‍රමයක්‌ නෑ. 

ඔන්න දැන් ඒ උපමාව පැත්තකින් තබමු. 

දැන් පළගැටියා කැමැති නෑ නේ පිච්චෙන්න, දුක එන්න, එහෙම නේ ද?

ඔයගොල්ලන් කැමැති ද ලෙඩ වෙන්න? මහලු වෙන්න, මැරෙන්න, නැසෙන්න, විනාස වෙන්න, අප්‍රියයන් හා එක්‌ වන්න, ප්‍රියයන් ගෙන් වෙන් වෙන්න? මේවට කැමැති නෑ නේ ද?

ඔයගොල්ලන් කැමැති ද දරුවන්ට? තමන් ගෙ දරුවන්ට කැමැතිද නැද්ද? කැමැතියි මුණුපුරන්ට? කැමැතියි. ගෙවල් දොරවලට? කැමැතියි. ඉඩකඩම් මිල මුදල් කණ කර බඩුවලට කැමැතියි. 

දැන් ඔන්න පළ`ගැටිය ගෙ වැඩේ මේ අපි කරන්නෙ. හොඳට බලන්න. දැන් අපි දරුවාට කැමැතියි. අපි කැමැති නෑ ලෙඩ වීමට, මහලු බවට, මැරෙන බවට, නැසෙන බවට. දරුවා කියන තැන රූපය දිරනව ද, නැද්ද? දිරනවා. ලෙඩ වෙනව ද නැද්ද? ලෙඩ වෙනවා, මහලු වෙනවද නැද්ද? මහලු වෙනවා. මැරෙනව ද නැද්ද? මැරෙනවා, විනාශ වෙනව ද නැද්ද? විනාස වෙනවා. නැති වෙනව ද නැද්ද? විනාස වෙනවා. දැන් ඒ දරුවට ඇසුරු කරන්නත්, දරුවා කියපු තැන ඒ තියෙන රූපය ලෙඩ වෙන්න මහලු වෙන්න, මැරෙන්න, නැසෙන්න, විනාස වෙන්න නැතිව ඉන්නත් ඕන. දරුවා කියන එක අපට ලැබෙන්නත් ඕන. පළඟැටියාට පහන් දැල්ලත් ඕනේ. පිච්චෙන්නත් බෑ. වගේ දැන අපට රන්මසු මිල මුදල් ඕනේ. ඒවා දිරන්නත් බෑ, විනාශ වෙන්නත් බෑ. මේ කය මම, මේ කය මගේ, මමත් ඕනේ. හැබැයි මේ කය ලෙඩ වෙන්න හෙම බෑ. මේක දිරන්න හෙම බෑ. මේක මැරෙන්ඩ බෑ. මේක නැසෙන්න හෙම බෑ. මේක විනාස වෙන්නත් බැහැ. 

දැන් පළඟැටියා වගේ නේ අපි. පළඟැටියාට පහන් දැල්ලත් ඕනේ. හැබැයි පිච්චෙන්න, දුක එන්නත් බෑ. දැන් බලන්න පළඟැටියට මේ දේ කරන්න පුළුවන් ද කියලා. දැන් ඕයගොල්ලන්ට වෙලා තියෙන්නේ මොකක්‌ ද? ඔය පළඟැටිය වගේ චුට්‌ටක්‌ වත් එහාට මෙහාට නැතුව ම කරලා තියෙනව නේ ද? හරියට ම කරලා තියෙනවා වැඩේ. ඒ කියන්නේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මුල මුදල්වලටත් අපි කැමැතියි. හැබැයි අපි මේ දේවල් දිරනවට ලෙඩ වෙනවාට, මැරෙනවට, නැසෙනවට, විනාස වෙනවට කැමැතිත් නෑ. 

දැන් බලන්න මේ ධර්මතා පහට පත් නො වී, මේවා ඇසුරු කරන්ඩ පුළුවන් ක්‍රමයක්‌ තියනව ද කියලා. ගෙවල් දොරවල් යාන වාහන, ඉඩකඩම්, මුල මුදල්, දූ දරුවන් ඇසුරු කරන්නත් ඒවා කැඩෙන්නේ බිඳෙන්නේ නැති ව, ලෙඩ වෙන්නේ නැති මැරෙන්නේ නැති නැසෙන්නේ නැති විනාසවෙන්නේ නැති විදියට තබා ගන්නත් ඕන. එහෙම පුළුවන් ක්‍රමයක්‌ තියනවද? නෑ. 

ක්‍රම දෙකක්‌ තියනවා.

එකක්‌ තමයි, දැන් ලෙඩ වෙන මහලු වෙන, මැරෙන, නැසෙන, විනාස වෙන - තව පැත්තකින් බැලුවොත්, ජාති ජරා මරණ - කියන ධර්මතාවන් ඕන නම් ගෙවල් දොරවල් යාන වාහන, ඉඩකඩම් මිල මුදල් දූ දරුවන් කියන ටිකත් එක්‌ක ඉන්න. නැත්නම් ජාති ජරා මරණ කියන ධර්මතාවනුත් එක්‌ක ම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දූ දරුවන් කියන ටික ගන්න. 

තව ක්‍රමයක්‌ තියනවා, ජාති ජරා මරණ එපා නම් ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, දූ දරුවන් එක්‌ක අතහරින්න. 

හැබැයි මේ දෙක කලවමේ බැහැ. පහන් දැල්ල ගන්නයි, පිච්චෙන්නෙ දුක එන්නෙ නැතුව ඉන්නයි කියල ක්‍රම දෙකක්‌ නැහැ. 

වෙනත් ක්‍රම දෙකක්‌ නම් තියෙනවා. පහන් දැල්ල අතහරින්න, එතකොට පිච්චිලා එන දුක අතහැරිය හැකියි. ඕන නම් පහන් දැල්ල ගන්ඩ, හැබැයි කැමැති වෙන්ඩ මේ දුකට ඉබේ ම. දැන් පහන් දැල්ලත් අරගෙන පහන් දැල්ල ගත්ත කියන්නේ දුක අරගත්තා - දැන් දුකත් අරගෙන ඉවරවෙලා මේ දුක එපා, එපා කියලා බොරුවට කෑගහන්න නම් එපා. ඉස්‌සෙල්ලා දැනගන්ඩ වෙනවා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම්, මුල මුදල්, දූ දරුවන් කියන ටික ගත්තොත්, ඉබේමයි මේ දුක්‌ ටික ගත්තේ. දැන් ඊට පස්‌සේ ප්‍රාර්ථනා කරන්න එපා ලෙඩ වෙන්න එපා, මහලු වෙන්න එපා. මැරෙන්ඩ එපා, කියලා ප්‍රාර්ථනා කරලා දුක්‌ විඳිනවා නම් එය අතුරු විපාකයි. තණ්‌හාව නිසා දුක්‌ විඳින එකක්‌, මෝඩකම නිසා දුක්‌ විඳින එකක්‌ ඔය තියෙන්නේ. 

ඒ නිසා අපට දැන් වෙනවා තෝරාගන්න මේ ක්‍රම දෙකෙන් එකක්‌. මොකක්‌ ද, මේ දෙකෙන් හොඳ පහන් දැල්ල අතහැරලා පිච්චිලා දුක්‌ විඳින එක අත්හරිනව ද? ඕන එකක්‌ වෙන්න කිලයා පහන් දැල්ල අරගන්නව ද? ඔන්න ඔහේ පිච්චුනාවේ. ඔන්න ඔහේ දුක ආවේවේ කියලා ගන්නව ද? ඒකක්‌ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ "යෝ කාමං කාමේති, සෝ දුක්‌ඛං කාමෙති, යො දුක්‌ඛං කාමෙති, සො කාමං කාමේති"Êකියලා යමෙක්‌ කාමයට කැමැති වේ නම්, එයා දුකට කැමැති කෙනෙක්‌ යමෙක්‌ දුකට කැමැති වේ නම් එය කාමයට කැමැති කෙනෙක්‌.

අපි පළඟැටිය ගෙ උපමාවෙන් මෙහෙම කිව්වොත්, කාමය කියල කියන්නේ පහන් දැල්ල කියලා හිතන්න කෝ. පළඟැටියා පහන් දැල්ලට කැමැති වෙනවා නම් එයා දුකට කැමැති කෙනෙක්‌. එයා ඒක දන්නේ නැති වුණාට පිච්චෙන එයා දුක එන එකට කැමැතියි. යමෙක්‌ දුකට කැමැති කෙනෙක්‌ නම්, එයා පහන් දැල්ලට කැමැති කෙනෙක්‌. 

පිච්චෙනවා, දුක එනවා, කිය කියා, ඉන්න ඕන කියලා කියනව ද යමෙක්‌, එයා පිච්චෙන දුක එන විදියට ඉන්නවා කියන්නේ "පහන් දැල්ලේ ඉන්නවා" කියන එකයි. යමෙක්‌ පහන් දැල්ලේ ඉන්නවා කියලා කියන්නේ එයා දුකේ ඉන්නවා කියන එකයි. දුක කියන එක පහන් දැල්ලෙනුත් පහන් දැල්ල කියන එක දුකෙනුත් වෙන් කරන්ඩ බැහැ. 

ඒ වගේ යමෙක්‌ කාමයට කැමැති වේ නම්, එයා දුකට කැමැති කෙනෙක්‌. ඒ වාගේ යමෙක්‌ ගෙවල් දොරවල් යාන වාහන, ඉඩකඩම් මිල මුදල්වලට කැමැතියි නම් එයා දුකට කැමැති කෙනෙක්‌. යමෙක්‌ දුකට කැමැති නම් එයා ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහනවලට කැමැති කෙනෙක්‌. යමෙක්‌ කාමයට කැමති වෙනවා නම් එයා දුකට කැමැති කෙනෙක්‌, යමෙක්‌ දුකට කැමැති වෙනවා නම් එයා කාමයට කැමැති කෙනෙක්‌. 

මනසේ අරමුණු නිරුද්ධ කර දුකෙන් නිදහස්‌ වෙමු


පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

අප තථාගත තිලෝගුරු ලොව්තුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ අපට ඉතාම මැනවින් ආයතන පිළිබඳව විග්‍රහ කර දුන් බව පින්වතුන් ඉතා මැනවින් දන්නවා. අද දවසෙ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ දුතිය උප්පාද සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරදී දේශනා කළ මේ සූත්‍රයෙන් බාහිර ආයතන මුල්කරගෙන ඉතා ලස්‌සන දේශනාවක්‌ කරනවා.

උන්වහන්සේ දේශනා කරනවා රූපවල යම් ඉපදීමක්‌ තිබෙනවා නම් (යෝ භික්‌ඛවේ රූපානං උප්පාදො), යම් පැවැත්මක්‌ තිබෙනවා නම් (ඨිති), යම් විශේෂ උප්පත්තියක්‌ තිබෙනවා නම් (අභිනිබ්බන්ති), යම් පහළ වීමක්‌ තිබෙනවා නම් (පාතු භාවෝ), ඒක දුකේ හටගැනීම (දුක්‌ඛස්‌සේසෝ උප්පාදොa) බව. රෝගයන්ගේ පැවැත්ම බව (රෝගානං ඨිති). වයසට යාමේ සහ මරණයේ පහළවීම බව (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඒ වගේම ශබ්දවල යම් ඉපදීමක්‌ තිබේද (යෝ සද්දානං උප්පාදොa), යම් පැවැත්මක්‌ තිබෙනවාද (ඨිති), යම් විශේෂ උප්පත්තියක්‌ තිබේද (අභිනිබ්බන්ති), යම්කිසි පහළවීමක්‌ තිබේද (පාතුභාවෝ), ඒක දුකේ හටගැනීම බව (දුක්‌ඛස්‌සේසෝ) උප්පාදොa), රෝගයන්ගේ පැවැත්ම (රෝගානං ඨිති), ජරා මරණයන්ගේ පහළවීම බව (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඊළඟට දේශනා කරනවා ගඳ - සුවඳ පිළිබඳව. ගඳසුවඳවල යම් ඉපදීමක්‌ තිබේද (යෝ ගන්ධානං උප්පාදොa), යම් පැවැත්මක්‌ තිබේද (ඨිති), යම් විශේස උපතක්‌ තිබේද (අභිනිබන්ති), යම් පහළවීමක්‌ තිබේද (පාතුභාවෝ), ඒක දුකේ හටගැනීම (දුක්‌ඛස්‌සේසෝ උප්පාදොa), රෝගයන්ගේ පැවැත්ම (රෝගානං ඨිති), ජරාමරණයන්ගේ පහළවීම බව (ජරා මරණස්‌ස පාතුභාවෝ).

රසය පිළිබඳව අප බුදුපියාණන් වහන්සේ ඉන්පසුව මැනවින් දේශනා කරනවා. රසයෙහි යම්කිසි ඉපදීමක්‌ තිබේ නම් (යෝ රසානං උප්පාදොa), පැවැත්මක්‌ තිබේ නම් (ඨිති), යම් විශේෂ උපතක්‌ තිබේ නම් (අභිනිබ්බන්ති), යම් පහළවීමක්‌ තිබේ නම් (පාතුභාවෝ), ඒක දුකෙහි හට ගැනීම (දුක්‌ඛස්‌සසේසෝ උප්පාදො), රෝගයන්ගේ පැවැත්ම (රෝගානං ඨිති), ජරාමරණයන්ගේ පහළවීම (ජරාමරණස්‌ස පාතුභාවෝ).

ඉන්පසුව අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පහස පිළිබඳව. පහසෙහි යම් ඉපදීමක්‌ තිබේද (යෝ වොට්‌ඨබ්බානං උප්පාදො), යම් පැවැත්මක්‌ තිබේද (ඨිති), යම් විශේෂ උප්පත්තියක්‌ තිබේද (අනිනිබ්බන්ති), යම්කිසි පහළවීමක්‌ තිබේද (පාතුභාවෝ), ඒක දුකෙහි හටගැනීම බව (දුක්‌ඛස්‌සේසෝ උප්පාදොa), රෝගයන්ගේ පැවැත්ම බව (රෝගානං ඨිති), වයසට යැම සහ මරණයේ පහළවීම කියල (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඊළඟට සිතට අරමුණු වන දේ ගැන. සිතට අරමුණුවන දේවල්වල් යම් ඉපදීමක්‌ තිබේද (යෝ ධම්මානං උප්පාදො), යම්කිසි පැවැත්මක්‌ තිබේද (ඨිති), යම් විශේෂ උප්පත්තියක්‌ තිබේද (අභිනිබ්බන්ති), යම් පහළවීමක්‌ තිබේද (පාතුභාවෝ), ඒක දුකේ හටගැනීම බව (දුක්‌ඛස්‌සේසෝ උප්පාදොa), රෝගයන්ගේ පැවැත්ම බව (රෝගානං ඨිති), වයසට යැමේ සහ මරණයේ පහළවීම (ජරාමරණස්‌ස පාතුභාවෝ) බව.

දුකේ හටගැනීම පිළිබඳව ඒ ආකාරයෙන් දේශනා කරන ලද භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පෙන්වා දෙන්නේ දුක්‌ඛ නිරෝධය පිළිබඳව. උන්වහන්සේ දේශනා කරනවා රූපවල යම් නිරුද්ධවීමක්‌ තිබේ නම් (යෝ ච ඛෝ භික්‌ඛවේ රූපානං නිරෝධෝ) සංසිඳීමක්‌ තිබේ නම් (වූපසමෝ), නැතිවී යාමක්‌ තිබේ නම් (අත්ථගමෝ), ඒක දුකෙහි නිරුද්ධවීම බව (දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ). රෝගවල සංසිඳීම කියල (රෝගානං වූපසමෝ). ජරා මරණයේ නැතිවී යාම බව (ජරාමරනස්‌ස අථගමෝ).

ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා ශබ්දවල යම් නිරුද්ධ වීමක්‌ තිබේ නම්, සංසිඳීමක්‌ තිබේ නම්, නැතිවී යාමක්‌ තිබේ නම්, ඒක තමයි දුකේ නිරුද්ධවීම කියල. රෝගවල සංසිඳීම කියලා. ජරා මරණයේ නැතිවී යාම කියල.

ඒ වගේම රසයෙහි යම් නිරුද්ධවීමක්‌ තිබේ නම්, සංසිඳීමක්‌ තිබේ නම්, නැතිවී යාමක්‌ තිබේ නම් එය දුකෙහි නිරුද්ධ වීම බව. රෝගයන්ගේ සංසිඳීම බව. ජරා මරණයේ නැතිවීම බව.

පහයෙහි යම් නිරුද්ධවීමක, සංසිඳීමක්‌ තිබේ නම්, නැතිවී යාමක්‌ තිබේ නම් එය දුකෙහි නිරුද්ධවීම බව. රෝගයන්ගේ සංසිඳීම බව. ජරා මරණයේ නැතිවීම බව.

ඒ වගේම පහසෙහි යම් නිරුද්ධවීමක්‌ තිබේ නම්, සංසිඳීමක්‌ තිබේ නම්, නැතිවී යාමක්‌ තිබේ නම් ඒක තමයි දුකේ නිරුද්ධවීම කියල. රෝගයන්ගේ සංසිඳීම කියල. ජරා මරණයේ නැතිවීම යාම කියල.

ඒ වගේම අවසාන වශයෙන් මේ උතුම් සූත්‍ර දේශනාවේදී එනම් දුතිය උප්පාද සූත්‍රයේදී අපේ භාග්‍යවතුන් වහන්සේ මනසට අරමුණු වන දේ පිළිබඳව දේශනා කරනවා. මනසට අරමුණු වන දේවල යම් නිරුද්ධවීමක්‌ තිබේ න,ම් සංසිඳීමක්‌ ඒක දුකේ නිරුද්ධවීම කියල. රෝගයන්ගේ සංසිඳීම කියල. ජරා මරණයේ නැතිවී යාම බව. සියලු දෙනාට සියලු දුකින් නිදහස්‌වීමේ භාග්‍යය උදාවේවා!

නුවණින් විමසිය යුතු ධාතු මනසිකාරය

වල්පොල 
ගෝතම හිමි

තථාගතයන් වහන්සේ නමක් ලොවට පහළවෙලා දුක්විඳින සත්ත්වයාට එයින් මිදෙන මාර්ගය කියා දෙනවා. උන්වහන්සේ වදාළ ඒ දහම දකින්න අවශ්‍ය කරන කාරණා කීපයක් අපි සාකච්ඡා කරමු.
ධාතු මනසිකාරය මුල්කරගෙන කථාකරන විට ‘ධාතු’ කියන වචනය ඔබට හුරුපුරුදු ඇති. බොහෝ විට ධාතු මනසිකාරය වඩනවා කියා අප මේ ශරීරයේ කොටස් ටික ධාතු වශයෙන් විමසනවා. නමුත් මේ තුළ සියුම් වශයෙන් වරදින තැන් බොහෝ විට තිබෙනවා.
ඇයි? අප ධාතු මනසිකාරය වඩන්න ඕන කියන එක මුලින් කථා කරමු. අපට කන්න අවශ්‍ය නම් බඩගින්න ආවිට, බඩගින්න දැනුන විට ආහාර ගන්නවා. ඔබගේ සිතට ආශාවක් ආවොත් මොනවා හරි කරන්න තිබුණානම් හොඳයි කියා සිතුණොත් පමණයි කෑම කන්නේ. අවශ්‍යතාව දැනුණොත් තමා කරන්නේ. නිදාගන්න අවශ්‍යතාව ආවිට අප නිදියනවා. ඒ වගේ ධාතු මනසිකාරය කියන මේ භාවනාව කොතරම් වටිනාකමක් තිබෙනවාද? කියන දේ පිළිබඳව අද සිට ඉදිරි ලිපිවලින් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
’ධාතු’ ලෙස අප නිතර කථා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ පිළිබඳවයි. පඨවි කියන ධාතුව තමන්ගේ ශරීරයේ තිබෙන පොළොවට පස්වන තද ගතියෙන් යුක්ත කෙස් ලොම්, නිය, දත්, සම්, මස්, නහර ආදි දේයි. ‘ආපෝ’ ධාතුව කියන්නේ වැගිරෙන ස්වභාවයෙන් තිබෙන දේ. වැගිරෙන ස්වභාවයෙන් යුතු  දේ රූපයට වුව-මනා කරන්නේ අර ‘පඨවි’ ධාතුව හෙවත් තද ගතියෙන් යුතු දේ යම්කිසි අවශ්‍ය හැඩවලට යම් මට්ටමක දියාරු වීමක් කරන්නයි. ඒ සඳහා ‘ආපෝ’ ධාතුව උදව් කරනවා.පඨවි, ආපෝ ධාතුව උදව් කරද්දී මේ ධාතු දෙක සඳහා දිගින් දිගටම ඒ ධාතුන්ගේ වැනසීමක් තිබෙන නිසා ඒ වැනසීම අභියස ඒවා දිරා යාමට වුවමනාක් වෙනවා. අප ආහාර වුවත් කයට ලබාදෙද්දී ඒ ආහාර දිරවීමක් අවශ්‍ය කරනවා. ඒ දිරවීම අවශ්‍ය වුණේ නැත්නම් ආමාශයේ ආහාර පැසවලා එහි අවශ්‍ය දේ උරාගෙන අනවශ්‍ය දේ බැහැර කළේ නැත්නම් ආමාශයට තව තව ආහාර දාගන්න බැරි වෙනවා. මේ දේ ආහාරයට පමණක් නොවේ, කයේ සෑම තැනකටම සිදුවෙනවා. එහෙනම් මේ කය දිරවීම සඳහා ‘තේජෝ’ ධාතුව උපකාරි වෙනවා. මෙසේ වෙනවිට මේ ධාතු හසුරුවන්න කයේ හැඩ එහාට මෙහාට ගෙනයන්න, හැරවීම ආදී සියලු දෙයට ‘වායෝ’ ධාතුව උපකාරි වෙනවා. මේ වාතය එසේ උපකාරි වනවිට මේ වාතයටත් තේජෝටත්, අපෝටත්, පඨවියටත් ඉඩක් ඕන. ඒ ඉඩ ලබා දෙන්නේ තවත් ධාතුවක් විසින්. අප කන මුල්කරගෙන විමසුවොත්, මේ ධාතු හතරට වුවමනා කරනවා ඉඩක්. ඒ ඉඩ නැත්නම් ධාතුන්ට පවතින්න රැඳෙන්න, වැඩෙන්න හා ක්ෂය වෙන්න, වැනසෙන්නත් තැනක් නැහැ. ඒ ඉඩ ලබාදෙන්නේ ‘ආකාස’ ධාතුව විසින්. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතුන්ට ආකාස ධාතුව ඉඩ ලබාදෙන විට මේ ධාතුන්ගෙන් ගමනට උදව් කරනවා ‘විඤ්ඤාණ’ ධාතුව කියා තවත් සිත මුල්කරගත් ධාතුවක් තිබෙනවා. මේ විඤ්ඤාණ ධාතුවත් මේ ධාතුන්ට උපකාර කරනවා.
මේ කය තුළ සතර මහ ධාතුන්වලට අදාළ එක් එක් කොටස් වෙන වෙනම තිබෙනවා. මේ දේ එකින් එක ඉවත් කළොත් ඉතිරිවෙන කිසි දෙයක් නැහැ. අප කය කියා කථා කරන යමක් ඇද්ද ඒ සියල්ලම ධාතුන්ගෙන් සකස් වූ දෙයක්ම පමණයි. ධාතුන්ගෙන් සකස් වූ මේ කය හසුරු වන බාහිර ලෝකය ගත්තාම ඒ බාහිර ලෝක-යෙන් හැම තැනකම දකින්න ලැබෙන්නේ මේ ධාතුම තමා. ආකාස ධාතුවේ ඉඩක් අරගෙන පඨවි, ආපෝ, තේජෝ, වායේ කියන ටික තමා අපට හැම තැනකම දකින්න ලැබෙන්නේ. අපට මේ සියලුම දේ ධාතුවල එකක්,එකක් ලෙස විමසන්න පුරුදු වුණොත් එය භාවනා ලෙස වඩන්න පුළුවන.
බුදුරජාණන් වහන්සේ වදාළා බුද්ධ දේශනාවලට එකඟව අප මේ ධාතු මනසිකාරය පුරුදු වුණොත් එය අපට බොහෝ ප්‍රයෝජන වෙනවා. මේ සඳහා ඔබට ‘මහාහත්ථිපදෝපම’ සූත්‍රය, ‘ධාතු විභංග‘ සූත්‍රය හා ‘මහාරාහුලෝවාද’ සූත්‍රය උපකාරි කර ගන්නවා.
සතර සතිපට්ඨාන දෙසුමේදී බුදුරජාණන් වහන්සේ මොකක්ද ධාතු මනසිකාරයෙන් කෙරෙන්නේ කියන හැඟීම මේ උපමාවෙන් අපට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ වදාළ ගවයෝ මරන මිනිසෙක් ගවයෙක් මරා ඒ ගවයාගේ ශරීරයේ කොටස් වෙන වෙනම වෙන් කර මේවා වෙළෙඳපොලේ අලෙවි කරනවා. මේ ගවයාගේ මස්වල කොටස් අලෙවි කරනවිට ඔහුට ගවයා කියන සංඥාව ඇතිවෙන්නේ නැහැ. ඒ කොටස් දකින විට ඇත්වෙන්නේ මස් කියන හැඟීම. මස් හැඟීමෙන් මිසක් ගවයා කියන හැඟීමෙන් මොහු බැහැර වෙලා ඉන්නවා වගේ දෙයක්ම තමා ධාතු මනසිකාරයෙන් සිදුවෙන්නේ. අප තමාගේ කය දැක්කාම මම කියන සංඥාත්, බාහිර කයක් දැක්කාම අසවලා කියන සංඥාවත් ඇතිවෙනවා. මේ සංඥාව සම්මුතිය තුළ සිදුවන දේ. අවබෝධයක් කරා යන්න අවශ්‍ය කෙනාට සම්මුතිය තුළින් පරමාර්ථය කරා යොමු වෙන්න වෙනවා. පරමාර්ථ පැත්ත විමසා බලනවා කියන එකේ තේරුම සම්මුතිය අතහරිනවා කියන දේ නොවේ. අප තමා කෙරෙහි තිබෙන පුද්ගල සංඥාව හා තමාගෙන් බැහැරව කයක් දකින විට ඒ ශරීරය කෙරෙහි ඇතිවන පුද්ගල සංඥාව පැත්තකට ගිහින් මේ සියල්ල තුළ ධාතු සංඥාවක් අපට ගොඩ නැඟෙනවා නම් ඒ සංඥා ඔස්සේ මනසිකාරය කරන්න, මනස පවත්වන්නට පුළුවන්නම් එයයි ධාතු මනසිකාරය.
අප සිතමු අප ළඟ තිබෙන බෑග් එකේ අමතක වූ බත් මුලක් කුණු වී තිබෙනවා කියා. මේ බත්මුල තියාගෙන ඉන්න ඉන්න මේක තුළින් දුකක් සිදුවෙනවා. අප මේ බත්මුල බෑගයෙන් වීසිකර දානවා. බත්මුල වීසිකළා කියා බෑග් එක පිරිසුදු නැහැ. ඒ බත් මුල ගඳ ගැසුවා වගේම ඒ බත් මුලට පුළුවන්කමක් තිබුණා මුළු බෑග් එකම ගඳ ගස්වන්න. අප බත්මුල වීසි කළා කියා බත් මුලේ ගඳ එක පාරටම යන්නේ නැහැ. බෑග් එකේ තාමත් ගඳ ඉතිරි වෙලා තිබෙනවා. එසේනම් බෑග් එකේ ගඳ යන්න අවශ්‍ය කරන දේත් කළයුතු වෙනවා. සක්කාය දිට්ඨිය කියන මේ ගඳ බත් මුල වීසි කළාට තවදුරටත් ‘මම වෙමි කියන අස්මිමාන්නය’ ඉතිරි වෙනවා. අස්මිමාන්නය අරහත්වය දක්වාම තිබෙනවා. ඒ අස්මිමාන්නය නිසා ඒ ශ්‍රාවකයා තුළ තණ්හාව ඉතුරු වෙනවා. සෝවාන් ඵලයට පත්වුවත්, ගඳගහන බත්මුල වූ සක්කාය දිට්ඨිය විසිකර දැම්මත්, ඒ සක්කාය දිට්ඨිය නිසා අර බෑග් එකේ රැඳුන ගඳ වගේ අර අස්මිමාන්නය ඉතිරි වෙනවා. එය හරියට බත් මුල විසිකර ගත්තා, නමුත් බෑග් එකේ තවම ගඳ ඉතුරුයි වගේ. එසේනම් මේ අස්මිමාන්නයත් නැති කරන්න ධාතු මනසිකාරයම උපකාරි කර ගන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළින් අපට කියා දෙනවා සංඥාව වෙනස් කරන ක්‍රමයක්. මේ ලෝකය කෙරෙහි ධාතු ගැන අවබෝධයක් ඇතිවන තාක්කල් සංඥා විපල්යාසයක් තිබෙනවා. (විපල්යාසය කියන්නේ වෙනස් වූ දෙයක් පිළිබඳවයි. බුලත් කොළයක් තිබෙනවා. හිතන්නේ ගම්මිරිස් කොළය කියා. නැත්නම් ගම්මිරිස් කොළයට සිතනවා බුලත් කියා. නමුත් ගම්මිරිස් කොළයට බුලත් කොළය කියා සිතුවානම් ඔහුට තිබෙනවා බුලත් කොළ විපල්යාසයක්). ඒ වගේ මේ ලෝකයේ ධාතු ගැන අවබෝධයක් නැති නිසා අපට තිබෙනවා ප්‍රශ්නයක්. ඒ අනිත්‍ය වූ ධාතු අප දකිනවා නිත්‍ය වශයෙන්. නිත්‍ය සංඥාව මතු කර යථා තත්ත්වය ඇතිකර ගන්න පුළුවන් ධාතු නිසිලෙස අවබෝධ කර ගැනීමෙන්.
මේ ධාතු සම්බන්ධව අප පැහැදිලිව අත්විඳින දුකක් තිබෙනවා. ඒ ධාතු සමඟ එන්නේ සැප කියන සංඥාව. මෙතැනින් වෙන්නේ වරදවා ගත් සංඥාවක් නිසා වැරුදුණු සංඥාවෙන් කරන කියන දේ වරදින නිසා එය අප නිවැරැදි කරගත යුතුයි. ඒ සංඥාව නිවැරැදි කර ගන්නත් දුක්ඛ සංඥාව ඇති වෙන්නත් මේ සංඥාව ඇතිකරගන්න පුළුවන්. ඒ වගේම අපට මේ ධාතු සම්බන්ධව තිබෙනවා මම, මගේ, මා තුළ තිබෙන දෙයක්. මම ඒ තුළ සිටිනවා කියන වැරැදුන ආත්ම සංඥාවක්. ඒ වැරැදුන ආත්ම සංඥාව අපට ධාතු මනසිකාරය ඔස්සේ නැතිකර අනාත්ම මනසිකාරය ඇතිකර ගන්නත් පුළුවන්.
ඊළඟට ධාතුන් තුළ තිබෙනවා අසුභ වූ පිළිකුල් වූ ස්වභායක්. අසුභ පිළිකුල් ස්වභාවය ධාතු ගැන හරියට තේරුම් ගත් දාට ඔහු අවබෝධ කර සුභ සංඥාවෙන් අසුභ සංඥාවට යනවා. ඒ සුභ සංඥාව නිසා ඇති වූ ප්‍රශ්නයක් එවිට ඔහු තුළ මඟහැරිලා අසුභ සංඥාවට සිත දියුණු කර ගන්න පුළුවන්. මේ සියලු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා අසුභ කියන සංඥාව ඇතිකර ගත්විට එම සංඥාව නිවැරැදි කර ගන්නවා. අප ධාතු මනසිකාරය ගැන ඔබට තේරුම් කර දෙන ගමන්ම තමා තමා තුළින් අනවබෝධයෙන් අවබෝධයට එන ආකාරයටත් දහම දකින්න කියාදෙන්න ඉදිරියේදී අප බලාපෙරොත්තු වෙනවා.
ඔබ සියලු දෙනාටම බුදුරජාණානන් වහන්සේ වදාළ සද්ධර්මය අවබෝධ කිරීමේ ශක්තිය ධෛර්ය ලැබේවා කියා ආශිර්වාද කරනවා.