ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

මාර්ග ආර්ය සත්‍යය

පූජාපිටිය ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රවේදී
පණ්ඩිත 
කෝන්වැවේ සුනන්ද හිමි

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද මැදුම් පිළිවෙත එකල පැවැති වෙනත් දර්ශනයක නොඉගැන්වෙන බැවින් පෙර නොඇසු විරූ ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එමෙන් ම පිරිනිවන් පානා අවස්ථාවේ පැමිණි සුභද්ද පිරිවැජියා අමතා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුසසුනෙහි පමණක් දක්නට ලැබෙන බව ය. මේ අනුව බලනවිට මැදුම් පිළිවෙත නිවනෙහි දොරටුව වන චතුරාර්ය සත්‍යයෙහි හතරවන සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය ලෙස නම් කළ හැකිය.
පෙර ඉන්දියාවේ බොහෝ දෙනා දුකින් නිදහස්වීම පිණිස අනුගමනය කළ ප්‍රධාන අන්තවාදී මාර්ග දෙකක් තිබිණි. එනම් 1 කාමසුඛල්ලිකානුයෝගය හෙවත් සැපයෙහි දැඩිසේ ඇලී ගැලී වාසය කිරීම, 2 අත්තකිලමථානුයෝගය හෙවත් ශරීරයට දැඩි දුක් ගෙන දෙන පිළිවෙත් පිරීම යනුවෙනි. මෙම අන්තවාදී මාර්ග දෙකම පළමු දෙසුම වන ධම්මචක්කප්පවත්න සූත්‍ර දේශනයේ දී අත්හළ යුතු අන්තයන් ලෙස අවධාරණය කරමින් මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළහ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ මෙම මැදුම් පිළිවෙතෙහි අගය දම්සක් පැවතුම් සූත්‍රයේ දී දක්වන්නේ කෙලෙස් මල සංසිඳවන නුවණැස පිණිස සත්‍යාවබෝධය පිණිස උපකාරී වන බවයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද මැදුම් පිළිවෙත එකල පැවැති වෙනත් දර්ශනයක නොඉගැන්වෙන බැවින් පෙර නොඇසු විරූ ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එමෙන් ම පිරිනිවන් පානා අවස්ථාවේ පැමිණි සුභද්ද පිරිවැජියා අමතා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුසසුනෙහි පමණක් දක්නට ලැබෙන බව ය. මේ අනුව බලනවිට මැදුම් පිළිවෙත නිවනෙහි දොරටුව වන චතුරාර්ය සත්‍යයෙහි හතරවන සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය ලෙස නම් කළ හැකිය. මෙම ගාමිණී පටිපදාව හඳුනා ගනිමු. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙන් එය දැක්විය හැකිය.
ම. නි චූලවේදල්ල සූත්‍රයේ දී විශාඛා උපාසකයා විසින් ධම්ම දින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ අරිඅටඟ මග හේතුඵල දහමින් සකස් වූ එකක් ද නැතිනම් හේතුඵල දහමින් සකස් නොවුණ එකක් ද යන්නයි. එනම් සංඛතයක් ද අසංඛතයක් ද යන්නයි. එවිට ධම්ම දින්නා මෙහෙණියගේ පිළිතුර වුයේ මෙය සකස් වුණු එකක් මෙන්ම සකස් කරගන්නා එකක් යනුවෙනි. එසේනම් ප්‍රතිපදාව සකස් වූ දෙයක් බැවින් අප ජීවිතය තුළ සකස් කරගෙන සසරින් නිදහස් වීමට හැකිය. චුලවේදල්ල සූත්‍රයේදීම විශාඛා ගෘහපතියා මෙහෙණින් වහන්සේගෙන් විමසන්නේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ස්කන්ධ (ත්‍රිශික්ෂා) ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් සකස් කරන ලද්දක් ද? නැතිනම් ත්‍රිවිධ ස්කන්ධ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරන ලද්දක්ද? යනුවෙනි. එවිට මෙහෙණින් වහන්සේගේ පිළිතුර වූයේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා මඟින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වූ බවය. තවද ධම්ම දින්නා තෙරණිය දේශනා කරන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන සීලයටත්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන සමාධියටත්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥාවටත් අයත් වන බවය. මෙම ධර්ම සාකච්ඡාවේදී සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා පෘථූල වන බව පැහැදිලිය.
මෙහිදී ඉහත වර්ගීකරණයට අනුව ප්‍රඥාව සමාධියට අනතුරුව වැඩෙන අයුරු සිතෙන්නට හැකිවූවත් එය එසේ නොවන අතර ආර්යඅෂ්ටාංගික මාර්ගය ප්‍රඥාවෙන් ඇරැඹී සමාධියෙන් කෙළවර වන්නක් ද නොවේ. සීල, සමාධි, ප්‍රඥා යන පිළිවෙළ නිවැරැදිය. මෙයින් සිදුවන්නේ ප්‍රඥා ස්කන්ධය වැඩීමෙන් ආර්ය මාර්ගය නිමවන බවය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, මැදුම් පිළිවෙතෙහි පූර්වාංගම කොටසට, අයත් වූවත් එය පරිපූර්ණ ප්‍රඥා අවස්ථාවට නොවැටේ. ප්‍රඥාව පරිපූර්ණ වන්නේ සම්මා ඥානා, සම්මා විමුක්ති අංග දෙක ද සම්පුර්ණ වීමෙනි. මේ බව ම නි. මහාචත්තාරිසක සූත්‍රයේ සඳහන් ය. එසේම අරිඅටඟ මඟ පුද්ගලයා තුළ වඩන අයුරු ම නි. මහාචත්තාරිසක සුත්‍රයේදී දේශනා කර ඇත.ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව හා අනාස්‍රව වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. ආස්‍රව අංශයෙන් අර්ථවත් වන්නේ කෙලෙස් සහිත ව පිනට නැඹුරුව නැවත උපතකට හේතුවන ක්‍රියාකලාපයයි. (සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා) අනාස්‍රව යනු ආර්ය වූ කෙලෙස් නැති ලෝකෝත්තර වූ නිවනට හේතුවන අංශයයි. (අරියා අනාස්‍රව, ලෝකෝත්තර මග්ගවා) උක්ත සාස්‍රව හා අනාස්‍රව ප්‍රභේදය ආර්ය අෂ්ටාංගික මඟ ඔස්සේ වෙන වෙනම පැහැදිලි කරගැනීමට උත්සාහ දරමු.
1. සම්මා දිට්ඨි
චත්තාරිසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය සාස්‍රව හා අනාස්‍රව වශයෙන් දෙපරිදි ය. සාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ දුන්දෙයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක ඇත. මෙලොව පරලොව ඇත. මව පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. දහම් මග පිළිපන් ශ්‍රමණ බමුණන් ඇත යන පිළිගැනීමයි. එම පුද්ගලයන්ට සුගතිගාමී වීමට හැකි අතර නැවත උපතකින් මිදීමට නොහැකිය. අනාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ ලෝකය ඇති සැටියෙන් ලෝකෝත්තර ලෙස දැකීමයි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මය දක්නා නුවණයි. මෙය විදර්ශනා ප්‍රඥාවයි. මෙමඟින් භවයෙන් මිදීම සිදුවේ.
2. සම්මා සංකප්ප
කාම ව්‍යාපාද විහිංසා යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් වෙන්විය යුතුය යන කල්පනාව සම්මා සංකප්ප යැයි මෙලෙස නෙක්ඛම්ම අව්‍යපාද අවිහිංසා යන සංකල්ප වැඩිය යුතු යැයි සිතීම ආස්‍රව සහිතව පිනට නැඹුරු උපධි විපාක සහිතවීම ආස්‍රව සමඟ සංකප්ප නම් වන නමුත් එය ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වන්නේ එම යහපත් කල්පනා කෙරෙහි සිත පිහිටුවීමක් විශේෂයෙන් පිහිටුවීමත් සමඟය. සරලව පැවසුවහොත් එම සංකල්ප පිළිබඳ අරමුණ සිතට වහා නංවන සුළු විතර්කයයි.
3. සම්මා වාචා
බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන් හිස් වචන කීමෙන් වෙන්වීම සම්මා වාචා නම් වේ. මෙම සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් වෙන්වීම සාස්‍රව සහිතව පින්පැත්තට නැඹුරු උපධිවිපාක සහිත සම්මා වචනයි. නමුත් මෙය ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන විට බව ම. නි. මහචත්තාරිසක සූත්‍රයේ සඳහන් කරයි.
4. සම්මා කම්මන්න
ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන තුන කායදුශ්චරිත හෙවත් වැරැදි ක්‍රියා ලෙස දක්වයි. මෙම වැරැදි ක්‍රියාවලින් මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා කම්මන්තය සසර ගමන් කරයි. මෙය ලෝකෝත්තර මාර්ගංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන පුද්ගලයාගේ කායදුස්චරිතයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද එම ස්වභාවයෙන් වැඩෙන විටයි. එය භව පැවැත්ම පිණිස හේතු නොවේ.
5. සම්මා ආජීව
වැරැදි දිවි පැවැත්මෙන් මිදීම සම්මා ආජීව නම් වේ. නැති ගුණ පෙන්වීම, විස්මය දනවන වචන කීම, ලාභය පිණිස ඇඟවීම් කිරීම, ලාභයෙන් ලාභය සෙවීම මිච්ඡා ආජීව බව ම.නි. 3 මහාචත්තාරිසක සූත්‍රයේ දක්වයි. සම්මා ආජීවය වන්නේ ඉහත ලක්ෂණයන්ගෙන් මිදීමයි. එසේ මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා ආජීවයයි. නමුත් ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව ආර්ය මාර්ගය වැඩීමට ක්‍රියාකරන පුද්ගලයාගේ මිත්‍යා ආජීවයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද ඒ ස්වභාවයෙන් වැඩෙනවිටයි. (ම. නි. මහාචත්තාරිසක සුත්‍රය) මෙහිලා ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව සහිතව පින් පැත්තට නැඹුරුව සසර ප්‍රතිවිපාක මට්ටමෙන් ක්‍රියාත්මකවීම නිවන් මග සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මෙය ලෝකෝත්තර අංගයක් ලෙස ගැඹුරින් වැඩීම කෙසේ කළ යුත්තේ ද යන්න පැහැදිලි කර ගැනීම යෝග්‍ය වේ. දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත ආජීව යන අංග පහේ වැරැදි නිවැරැදි බව අවබෝධ කරගැනීමට මූලික වන්නේ සම්මා දිට්ඨියයි. මේ සඳහා සම්මා වායාම, සම්මා සති යන අංග දෙක ද උපකාරී වේ.
6. සම්මා වායාම
සතර සම්‍යග් ප්‍රධං වීර්ය වැඩීමට අවශ්‍ය උත්සාහය සම්මා වායාමයි. වැරැදි දැකීම ඉවත් කොට නිරවද්‍ය දැකීම ඉපදවා ගැනීමට ඇති උත්සාහය සම්මා වායාම නමින් ද හැඳින් වේ. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග වැඩීමට ද ඇති උත්සාහය සම්මා වායාමයි.
7. සම්මා සති
නිවැරදි සිහියෙන් යුක්ත වී මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වීම සම්මා සතියයි. ආර්ය මාර්ගයේ මුල් අංග වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගයන්හි එළැඹි සිහියෙන් යුක්තවීම සම්මා සතියයි. ම.නි. මහාචත්තාරික සූත්‍රයේ දක්වන්නේ සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් මඟින් ආර්ය මාර්ගයේ මුල් අංග පහ වැඩීම සිදුවන බවයි.
8. සම්මා සමාධි
සම්මා සමාධි පිළිබඳ ම.නි. මහචත්තාරිසක සුත්‍ර දේශනාවේ දී සඳහන් කරන්නේ මෙසේය. සම්මා දිට්ඨිය ආදී කොට ඇති මුල් අංග සතින් සිතේ යම් එකඟ බවක්, පරිවාර බවක් වේද මහණෙනි එය සම්‍යග් සමාධි ප්‍රත්‍ය සහිත යැයි ද, පරිවාර සහිත යැයිද කියනු ලැබේ යනුවෙනි. සම්මා සමාධිය දක්වා ඇති අංග අට සේඛ ප්‍රතිපදාව ලෙස නම් කරයි. එනම් ප්‍රතිපදාවෙන් නික්මෙන අවස්ථාවක් ලෙසයි. එසේනම් සම්මාඤාණ, සම්මා විමුක්ති යන අංග දෙක පරිපූර්ණවීමෙන් ප්‍රඥාව උදාවේ. මෙම අංග දෙක සම්බන්ධ වන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට හා සමාධි ඉන්ද්‍රියට බව මෙයින් සිහිපත් කළ යුතු වේ.

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක 
මිනුවන්ගොඩ පත්තඬුවන භික්ෂු ආයතනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ 
මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි 
නැදගමුවේ විජයමෛත්‍රී නා හිමි

සසර පැවැත්මට විරුද්ධ වූ අරමුණ නිරෝධ නම් වේ. තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන ශාන්ත තත්ත්වය නිරෝධ නම් වේ. ‘නි’ යන්නෙන් නැති යන තේරුම දෙයි. රෝධ යන්ගෙන් සිරගෙය යන අර්ථය දෙයි. මෙය එකතු වූ විට දුක් නමැති සිරගෙය නැති කරන යන අදහස වේ. දුක හිරගෙයකි. කාම, භව, රූප භව - අරූප භව යන භවත්‍රයය දුක නමැති සිර ගෙයි බිත්ති වේ
”තත්ථි කතමං දුක්ඛ නිරෝධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසෙස විරාග නිරෝධො වාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො”
ඒ තෘෂ්ණාවන්ගේ අංශෂ විරාග නිරෝධයක් සේ ද යම් දුරු කිරීමක් බැහැර කිරීමෙත් මිදීමක් නො ඇල්මක් වේද ඒ තෘෂ්ණානිරෝධ සංඛ්‍යාත නිර්වාණය දුක්ඛ නිරෝධාය¸ සත්‍ය නම් වේ.
සසර පැවැත්මට විරුද්ධ වූ අරමුණ නිරෝධ නම් වේ. තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන ශාන්ත තත්ත්වය නිරෝධ නම් වේ. ‘නි’ යන්නෙන් නැති යන තේරුම දෙයි. රෝධ යන්ගෙන් සිරගෙය යන අර්ථය දෙයි. මෙය එකතු වූ විට දුක් නමැති සිරගෙය නැති කරන යන අදහස වේ. දුක හිරගෙයකි. කාම, භව, රූප භව - අරූප භව යන භවත්‍රයය දුක නමැති සිර ගෙයි බිත්ති වේ. මෙසේ තෘෂ්ණාව නමැති හැකිල්ලෙන් බඳිනු ලැබූ සත්වයා දුක් නමැති හිරගෙයි නොයෙක් ආකාර දුක් පීඩාවලට ගොදුරු වෙයි. එම තෘෂ්ණාව යම් තැනක නොමැති නම් එතැන දුක් නමැති හිර ගෙයක් නැත. එමනිසා නිරෝධ යනුවෙන් ප්‍රකාශ කරනු ලැබේ.

එසේම නිවන අවබෝධ කර ගැනීම හේතු කරගෙන තෘෂ්ණාව නැති කිරීම ද, බැහැර කිරීම ද, මිදීමද, නො ඇලීම ද වන හෙයින් චාග පටිනිස්සග්ග - මුත්ති - අනාලය යන මේ නම් නිරෝධ නම් වූ නිවනට ව්‍යවහාර කෙරේ. නිවන පෘථග්ජන ලෝකයා විසින් දැනගත යුත්තේ අනුබෝධ ඥානයෙනි. නිවනෙහි නියම තත්ත්වය දැනගත හැකිවන්නේ අවබෝධ ඥාණයෙනි. මේ අනුව අනුමානයෙන් හා ප්‍රත්‍යක්ෂය යන දෙයාකාරයෙන් නිවන දත හැකි වෙයි. ශ්‍රැතමය ඥානය නිවනෙහි ස්වභාවය අසා දැනගෙන ගුණ දම් සපුරාලීමෙන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් නිවන අවබෝධ කර ගත හැකි ය.
ලෞකික සැප සියල්ලම තාවකාලිකය. අස්ථිරය. ජාති, ජරා, ව්‍යාධි, මරණාදී අනන්ත දුක්වලට බඳුන් වෙයි. එහෙත් නිවන් සුවය ස්ථිර සදාකාලික සැපයෙකි. එහි ජරාවක්, ව්‍යාධියක්, මරණයක්, ශෝකයක් නැත. එය කිසි කලෙක වෙනස් නොවන පරම සුඛ ස්වභාවයෙනි. තුන් ලොවම ඉක්ම පැවැති හෙයින් ලෝකෝත්තර ධර්මයෙකි. නිවන පිහිටි තැනක් නැත. ලෝකයෙහි ගිනි පවතී. එහෙත් ඒවා පවත්නා තැනක් නොමැත. අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය යෙදූ විට ගිනි උපදවා ගත හැකිය. එසේම ශීල, සමාධි, ප්‍රඥා ආදි ධර්මයන් ඇති කල්හි විද්‍යමාන වූ නිර්වාණය පිහිටි තැනක් නැති හෙයින් එය ශුන්‍ය ධර්මයක් වශයෙන් නොසැලකිය යුතුය. එය සතර මාර්ග ඥානයන්ට අරමුණු වන්නා වූ ලෝකෝත්තර ධර්මයකි. ඇස් ඇත්තවුන් විසින් ඇසින් චන්ද්‍ර මණ්ඩලය දක්නා සේ ආර්යයන් මාර්ග ඥනයෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරනු ලැබේ. ජාත්‍යන්ධයට සඳ මඬල නොදැක්ක හැකිය. එහෙත් සඳ මඬල නැතැයි කිව නොහැක. එය තර්කයට ගොදුරු වන්නක් නොවේ. එහෙයින් නිවන ‘අතක්කාවචරය’ එය තමාගේ නුවණැසින් ම දැන ගත යුතු ය. තම තමන්ගේ නිර්වාණය ඇත්තේ තමා තුළම ය. “සංඥා සහිත වූ සිත සහිත වූ බඹයක් පමණ වූ මේ ශරීරයෙහි ම ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිනී පතිපදාවත් පනවමි”යි බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ඒ නිසාය. ඒ අනුව නිවන කොතැනක පිහිටා තිබේද කුමක් ඇසුරු කොට පවතින්නේ දැයි යන ප්‍රශ්න නිරාකරණය වේ.
ආගම සිද්ධිය, න්‍යාය සිද්ධිය, අනුමාන සිද්ධිය, ප්‍රත්‍යක්ෂ සිද්ධිය යන සතර ආකාරයට නිවන් ඇති බව දත හැකිය.
ආගම සිද්ධිය, නිවන් දුටු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ ඒ වචනය විශ්වාස කරන්නවුන්ට නිවනක් ඇති බව ආගම සිද්ධිය වේ.
න්‍යාය සිද්ධිය
නිවනක් නැත්නම් නිවන් අරමුණු කොට උපදනා මාර්ග ඵල සිත් නැත්නම් මාර්ගඵල ලාභීහුද නොවෙති. මාර්ගඵල ලාභීන් සිටින බවට අපේ ධර්ම ග්‍රන්ථ සාක්ෂි දරයි.
අනුමාන සිද්ධිය
ප්‍රත්‍යක්ෂ දෙයට සමානව කොට අප්‍රත්‍යක් දෙස බැලිය යුතුය. (“යථාපි දුක්ඛෙ විජ්ජන්ති සුඛං තාංපි විජ්ජති) ලෝකයේ දුකක් ඇත්නම් ඊට විරුද්ධ සැපයකුත් ඇත. එසේම ඉපදීමක් ඇත්නම් නිවනකුත් තිබිය යුතුය. මෙසේ ප්‍රත්‍යක්ෂ සිද්ධින් අනුව ද නිවන ඇතැයි අනුමාන වශයෙන් දැනගත යුතුය.
ප්‍රත්‍යක්ෂ සිද්ධිය
බුදුරජාණන්වහන්සේ ආදි ආය¸ උතුමනට නිවන ප්‍රත්‍යක්ෂ සිද්ධියකි.මෙසේ සතර ආකාරයට නිවන් ඇති බව දැනගත හැකිය.
නිස්සරණට්ඨ – විවේකට්ඨ – අසංඛ්‍යට්ඨ – අමතට්ඨ යන සතර දුක්ඛ නිරෝධාය¸ සත්‍යයේ ස්භව ලක්ෂණ වේ.
නිස්සරණට්ඨ
සියලු ක්ලේශයන්ගෙන් හා සියලු දුක්ඛයන්ගෙන් තොර වීම නිස්සරණටඨ් වේ. නිවනට පැමිණි සියලු දෙනාම සසර දුකින් හා කෙලෙසුන්ගෙන් වෙන් වී ශාන්ත සැපය විඳී.
විවේකට්ඨ
නිවනට පැමිණි තැනැත්තන්ට සසර බියක් නැත. නැවත දුකකට පැමිණීමක් හෝ කෙලෙස් මල ඇති වීමක් නැත. සියලු කෙලෙස් දුරු කළ බැවින් විවේක නම් වූ නිවන් සුවය විඳියි.
අසංකතට්ඨ
කර්මාදී ප්‍රත්‍යන්ගෙන් හට නොගත් බව අසංකතට්ඨ වේ. සියලු ධර්මයෝ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහු වන්නේය. එම ධර්මයෝ අනිත්‍ය - දුක්ඛ – අනාත්ම යන ත්‍රි ලක්ෂණයෙන් යුක්ත ය. එහෙත් නිවන අසංක්‍ය සංස්කාරයන්ගේ සංසිඳීම හා තොරවීම අසංකතට්ඨ වේ.
අමතට්ඨ
මරණ රහිත බව - නොමැරෙන බව අමතට්ඨ නම් වේ. ලෝකයේ ඇති සියලු සජීවී – අජීවී වස්තු ධර්මයෝ සියල්ලම අනිත්‍යය. විනාශ වන ස්වභාවයෙන් යුක්තය. නිවනේ එසේ වෙනස් වන ස්වභාවයක් හෝ බිඳෙන ස්වභාවයක් හෝ නැත. නොබිඳෙන, නො නැසෙන, නොමැරෙන ස්වභාවය නිර්වාණයෙහි ඇති බැවින් අමතට්ඨ නම් වේ.මේ ආකාරයෙන් නිරෝධ සත්‍යය සාක්ෂාත් කළ යුතුය. (සච්ඡිකාතබ්බං) මේ ආකාරයෙන් සාක්ෂාත් කළ අය මාර්ග සත්‍යය වැඩිය යුතුය. (භාවෙතබ්බං) එවිට උතුම් නිවනට පැමිණිය හැකිය.

දුක්ඛ සමුදය ආර්ය සත්‍යය

මහරගම
සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පානදුරේ පසන්න හිමි

ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති කර දැමීමයි. සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යනු උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කර ගැනීමයි
“ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ සමුදයං අරිය සච්චං. යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා” ‘ මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. යම්කිසි තෘෂ්ණාවක් සත්ත්වයා ගේ පුනර්භවය හෙවත් නැවැත ඉපදීම ගෙන දෙන ස්වභාව ඇත්තේ වේද උපන් ඒ ඒ භවය සතුටින් පිළිගන්නා ස්වභාව ඇත්තේ වේද ඒ තෘෂ්ණාව කවරේද? කාමතණ්හාව, භවතණ්හාව, විභවතණ්හාව, යනුයි. පෙර වැඩ විසූ සියලු උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සෙයින් ම අප සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ දඹදිව, බරණැස්නුවර ඉසිපතන මිගදාය නම් වූ උත්තරීතර පුණ්‍ය භූමියේ දී අද වැනි ඇසළ පුනු පොහෝ දිනයක පස්වග මහණුන් ප්‍රධාන සදේවක ලෝකයාට දේශනා කොට වදාළ උදාන සංඛ්‍යාත මංගල දම්දෙසුම වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි දුකට හේතුව පිළිබඳ වූ දෙවැනි ආර්ය සත්‍යය පිළිබඳ අදහසක් මතු කර ගැනීම මේ ලිපියෙහි අරමුණයි.

"දුක්ඛෙ ලොකො පතිට්ඨිතො "ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති කර දැමීමයි. සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යනු උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කර ගැනීමයි. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙහෙවී වීර්ය කැර අවබෝධ කැර ගත් දුක පිළිබඳව උන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනාව වූ දම්සක් පැවැතුම් සුතුරෙහි දී පස්වග මහණුන් වහන්සේලාට පැහැදිලි කොට වදාළ සේක. එහි දී දුක්ඛ ආර්ය සත්‍යයෙන් දුක පිළිබඳවත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක හට ගැනීමට හේතුව පිළිබඳවත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන් දුක නැති කැරගැනීම පිළිබඳවත් දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයෙන් දුක නැති කර ගැනීමේ මාර්ගය පිළිබඳවත් පැහැදිලි කර දුන් සේක.
මෙහි දී පළමු කොට ‘සමුදය’ යන වචනයෙහි අර්ථය වටහා ගත යුතුයි. ගැඹුරින් විමසතොත් විසුද්ධිමග්ගඉන්ද්‍රිසච්චනිර්දේශ විවරණයට අනුව ‘සං’ යන ශබ්දය සමාගමය, එකතුවීමය යන අර්ථ ඇත්තේ වේ. (සං ඉති අයං සද්දො සමාගමො) ‘උ’ යන ශබ්දය උප්පත්තිය, හටගැනීම යන අර්ථ ඇත්තේ වේ. (උ ඉති උප්පත්තිං) ‘අය’ යන ශබ්දය හේතුව, කාරණය යන අර්ථ ඇත්තේ වේ. (අය සද්දො කාරණං දීපෙති) කැර දැමීමයි. එනම්, සමුදය යන වචනයෙහි අදහස මෙසේ සත්ත්ව සන්තානය තෘණ්ණාව සමඟ එකතු වූ කල්හි එය පඤ්චස්කන්ධයාගේ යළි ඉපදීමට කාරණය’ යන්නයි. (ඉති දුක්ඛස්ස සංයොගෙ උප්පත්තිකාරනත්තා දුක්ඛ සමුදයන්ති) මෙහි සරල අදහස දුක ඇති වීමට හේතුව යන්නයි.
බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක ඇතිවීමට හේතුව තණ්හාව බව වදාළ සේක. ‘තෘෂ්ණව ‘ යන වචනයෙහි අර්ථය ඇලීම යන්නයි. මේ ඇලීම නිසා සත්ත්වයා සසර නැවැත නැවැත උපදින බවත් (යායං තණ්හපොනොභවිකා) එසේ උපන් ඒ ඒ භවය සතුටින් පිළිගන්නා බවත් (නන්දිරාග සහගතා) උපන් ඒ ඒ භවයෙහි අතිශයින් සතුටුවන බවත් (තත්‍රතත්‍රාභිනන්දිනී) පැහැදිලි කැර ඇත. බුදුරජාණන් වහන්සේ කාමතණ්හාව, භවතණ්හාව, විභවතණ්හා යනුවෙන් තණ්හාවේ ප්‍රභේද තුනක් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි දී වදාළ සේක. අභිධාර්මික විවරණයන්ට අනුව තෘෂ්ණාව 108 වැදෑරුම් ය.
කාමය යන වචනයෙහි අර්ථය කැමැත්ත යන්නයි. ‘තණ්හාව ‘ යනු ඇලීමයි. කැමැත්තෙහි ඇලීම කාමතණ්හාවයි. කාමතෘෂ්ණාව යනු මනසින් චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය යන පසිඳුරන් මඟින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පඤ්චකාම සම්පත් ලබා ගෙන ඒවායෙහි අතිශයින් ඇලීමයි. බුදුසමයට අනුව පෘථග්ජන ගිහියාට කාම සම්පත් අනුභව කිරීමට තහනමක් නොමැත. එහෙත් ඒවායේ ඇලීම නිසා සත්ත්වයා ගැටීම ඇති කැර ගනියි. බුදුරජාණන් වහන්සේ කාම සම්පත් වල ආශ්වාදය හෙවත් රසවිඳීමක් ඇති බවත් ඒ නිසා ඒවායේ බොහෝ ආදීනව ඇති බවත් එහෙයින් ඒවායින් අත්මිදීමට හෙවත් සම්පූර්ණයෙන් ම ඉවත් වීමට උත්සුක විය යුතු බවත් පැහැදිලි කොට වදාළ සේක.
භව යනු වචනයෙහි අර්ථය ආත්මභාවය යන්නයි. ‘භව තෘෂ්ණාව ‘ යනු නැවැත නැවැත භවයන්හි සැරි සැරීමට හෙවත් ඉපදීමට ඇති ඇලීමයි. ධර්මය නොදැනීම නිසා ඇතැම් අන්ධබාල පෘථග්ජන සත්වයෝ දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආත්මභාවයන්හි ඉපදෙමින් ඒවාහි පවත්නා සුළු සුළු ආශ්වාද පරම සැප ලෙස සලකා ඒ ඒ භවවල ඉපදීමට කල්පනා කරති. ඒ වෙනුවෙන් අතිශයින් වෙහෙසෙති. එය සසර තව තවත් දීර්ඝවීමට හේතුවකි. භාග්‍යවතුන් වහන්සේ අසුරුසැනක් ගසන මොහොතක්වත් භවය වර්ණනා නොකරමි. (අච්ඡරාසංගහමත්තම්පි ඛො භවං න වණ්ණෙමි) යනුවෙන් වදාළ සේක. භව තෘෂ්ණාව නිසා මුහුණපෑමට සිදුවන ආදීනව සලකා භව තෘෂ්ණාව ක්ෂය කර ගැනීමට උත්සුක විය යුතු ය.
විභව යන වචනයෙහි අර්ථය ආත්මභාවයක් නොමැත යන්නයි. විභව තෘෂ්ණාව යනු නැවැත සැරි සැරීමට හෙවත් ඉපදීමට භවයක් නැතැයි සිතා මේ භවයෙහි උපරිම ලෙස පඤ්චකාම සම්පත් භුක්ති විඳීමට ඇති ඇලීමයි. ඇතැමෙක් උච්ඡේද දෘෂ්ටිගත වී නැවැත ඉපදීම හෙවත් පුනර්භවය පිළිනොගනියි. එහෙයින් දිවි ඇති තෙක් පසිඳුරන් මඟින් රූපාදී පඤ්චකාම අසීමාන්තිකව සම්පත් භුක්ති විඳියි. එහෙයින් බොහෝ අකුසල් රැස්කර ගනිති. එබඳු අන්ධබාල පෘථග්ජනයෝ මරණින් මතු බොහෝ විට නරකාදී සතර අපායට වැටෙති. එහෙයින් විභව තෘෂ්ණාව නිසා මුහුණපෑමට සිදුවන ආදීනව සලකා විභව තෘෂ්ණාව ක්ෂය කරගැනීමට උත්සුක විය යුතු ය.
දුක්ධ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ වූ තණ්හාවේ ස්වභාව සතර වන්නේ සූත්‍ර පිටකයෙහි පටිසම්භිදාමග්ග පාලියෙහි ආයුහනට්ඨය, නිදානට්ඨය, සංයොගට්ඨය, පළිබොධට්ඨයයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ වූ තෘෂ්ණාවේ ස්වභාව සතරක් විවරණය කැර ඇත. එනම්, ආයුහයනට්ඨය යනු නැවැත නැවැත දුක් රැස් කිරීමයි. නිදානට්ඨය යනු නැවැත නැවැත දුක් ගෙන දීමයි. සංයොගට්ඨය යනු නැවැත නැවැත දුකෙහි තදින් බැඳීමයි. පළිබොධට්ඨය යනු දුකින් මිඳීමේ ප්‍රතිපත්තියට බාධා කිරීමයි. යනුවෙනි.,
“යථාපි මූලෙ අනුපද්වෙ දළ්හේ – ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති, එවම්පි තණ්හානුසයෙ අනුහතෙ – නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං” යනුවෙන් සම්බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල සඳහන් පරිදි මුදුන් මුල අනතුරක් නැතිව සවිමත් ව තිබෙන කල්හි නැවැත නැවැත ගස කපා දැමූවත් එගස නැවැත නැවැත ලියලයි. එමෙන් තෘෂ්ණාව සහමුලින් උදුරා නොදැමූ කල්හි තෘෂ්ණාව නැවැත නැවැත සිතෙහි හටගනියි යනුයි. එහෙයින් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පැහැදිලි කැර ඇති දුකට හේතුව මැනැවින් වටහා ගැනීමට උත්සුක විය යුතු යි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයෙහි පහළවීමේ මුඛ්‍ය පරමාර්ථය දුක්විඳින අනන්ත සත්ත්වයන්ට චතුරාර්ය සත්‍ය දේශනා කර අවබෝධ කර සසරින් එතෙර කැරැ වීමයි. එහෙයින් නරකයෙහි උපන් කාලය, තිරිසන්ව උපන් කාලය, ප්‍රේතව උපන් කාලය, අසඤ්ඤතල හෙවත් දීර්ඝායුෂ්ක දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි උපන් කාලය, බුද්ධ ධර්මය නැති ප්‍රත්‍යන්ත දේශයන්හි උපන් කාලය, මිථ්‍යා දෘෂ්ටිකව උපන් කාලය, මන්ද බුද්ධිකව උපන් කාලය, බුදුවරුන් ලොව පහළව නොමැති කාලයක උපන් කාලය යන අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත නවවන උතුම් දුර්ලභ මනුෂ්‍ය ජන්මභාවය හෙවත් ක්ෂණ සම්පත්ති ලද ඤණවන්ත ඔබ ඒ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමට නොපමා විය යුතු ය. ඒ බව මැනැවින් වටහා ගෙන සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිශික්ෂාවන් සම්පූර්ණ කරගෙන සසර ගමන කෙටි කර ගැනීමට පින්වත් ඔබ සැමට ඥාන ශක්තිය උදාපත් වේවායි මෙත් සිතින් යුතුව සෙත් පතමි.

දුක්ඛ ආර්ය සත්‍යය



සත්වයාගේ හටගැනීම ලෙස සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ස්ඵර්ශ ආයතනයන්ගේ පහළවීම ය. ජීවත්වීම යනු මේ ස්ඵර්ශ ආයතනයන්ගේ පැවැත්මය. මරණය යනු මෙම ස්පර්ශ ආයතනයන්ගේ නැතිවීමය. ඒ අනුව ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම තුළ රඳාපවතින සත්ත්වයාට දුක් නොවේ’යැයි පැවසිය නොහැක. මක්නිසා ද ස්ඵර්ශ ආයතනයන් තුළ දුක රඳා පවතින නිසාය
ලොව පහළ වූ ශාස්තෘන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වනුයේ අකාලික දහමක් දේශනා කළ නිසාය. චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, කර්මය, පුනර්භවය වැනි ගැඹුරු ධර්ම සිද්ධාන්තයන් තුළින් උන්වහන්සේ පැහැදිලි කරන ලද්දේ පුද්ගලයා සසරෙහි ඇදබැඳ ගන්නා ආකාරයත් ඉන් මිදී නිර්වාණාවබෝධය ලබාගන්නා ආකාරයත්ය. මෙයින් බුදු දහමේ සාරය ලෙස සැළකෙන චතුරාර්ය සත්‍යය උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේ දී ම එනම් දම්සක් පැවතුම් සූත්‍රය තුළින් පළමුව ලොවට දේශනා කරන ලදහ. චතු+ආර්ය+සච්ච යනු උතුම් සත්‍යය හතර යන්නයි.
එනම් දුක්ඛාර්ය සත්‍යයය, දුක්ඛ සමුදයාර්යය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය, මෙම ලිපියෙන් අදහස් කරනුයේ දුක්ඛ සත්‍ය පිළිබඳව පෙළ දහම ඇසුරෙන් සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. දුකෙහි විරුද්ධාර්ථ පදය සැපය යන්නයි. සැප විඳීමට පුුහුදුන් මිනිසුන් තුළ ඇත්තේ අපරිමිත ආශාවකි. ලොව ජීවත්වන සෑම පුද්ගලයෙකුම සැප විඳීම සඳහා දුක් සහගත දේවල් ළඟා කරගනී. මක්නිසාද ? දුක පිරිසිඳ දකින නුවණක් පුහුදුන් සත්වයාට නොමැති නිසාවෙන්ය. බුදුන් වහන්සේලා ලොව පහළ වන්නේ මේ දුක් සහගත ස්වභාවයෙන් සත්වයා මුදවාලන්නට ය. බුදුරජාණන් වහන්සේලාගේ ලොව පහළ වීම දුර්ලභ ලෙස දේශනා කොට වදාරන ලද්දේ එනිසාවෙනි. (දුල්ලභො බුද්ධුත්පාදෝ ලෝකස්මිං)

සත්වයාගේ හටගැනීම ලෙස සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ස්ඵර්ශ ආයතනයන්ගේ පහළවීම ය. ජීවත්වීම යනු මේ ස්ඵර්ශ ආයතනයන්ගේ පැවැත්මය. මරණය යනු මෙම ස්පර්ශ ආයතනයන්ගේ නැතිවීමය. ඒ අනුව ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම තුළ රඳාපවතින සත්ත්වයාට දුක් නොවේ’යැයි පැවසිය නොහැක. මක්නිසා ද ස්ඵර්ශ ආයතනයන් තුළ දුක රඳා පවතින නිසාය. බුදුන් වහන්සේ වරෙක භික්ෂූන්ට දේශනා කරන්නේ “මහණෙනි, මේ ස්පර්ශ ආයතන හම නැති එළදෙනක් දේ සළකන ලෙසය.” හම නැති එළදෙන කිනම් හෝ ඉරියව්වකින් සිටියත් ඌට මහ වේදනාවක් ඇති වේ. එසේම මේ ස්පර්ශ ආයතනයන්ගේ පැවැත්මම දුකක් ලෙස උන්වහන්සේ දේශනා කොට ඇත. එයට හේතු සමුදායක් ද පවතින්නේ ය. යම් කුෂ්ඨ රෝගියෙක් කැසීම තුළත් සැපයක් බලාපොරොත්තු වේ නම් ඔහුට එයම මහ දුකක් වේ. එයින් වන්නේ රෝගය තවතවත් උත්සන්න වීම පමණි. ඒ නිසාවෙන්ම අප සැප යැයි කියන සෑම දෙයක්ම දුක් සහගත ස්වභාවයෙන් යුක්ත යැයි උන්වහන්සේගේ දේශනාවන්හි දක්නට ලැබේ.
බුදුන්වහන්සේ අවබෝධ කරගත්තේ ලෙඩවෙන, මහලුවෙන, මැරෙන, නින්දා අපහාස ලැබෙන මැසි මදුරු, අව්වැසි ආදීන්ගෙන් දුක් විඳින කයක් හදාගෙන එබඳු කයට ලැබෙන මේ සැපය සැපයක් නොවන ලෙසය. වරෙක බුදුන් වහන්සේ අනඳ හිමියන්ට පවසන්නේ “දුක්ඛෙ ලෝකෝ පතිට්ඨිතො” ලෝකය දුකමත රඳා පවතින බවයි. ඒ බව උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දී ගැඹුරුව දේශනා කොට ඇත. එම විග්‍රහයට අනුව “ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා, “මහණෙනි, ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම, අප්‍රිය පුද්ගලයන්ගේ එක්වීම, පි‍්‍රය පුද්ගලයන්ගේ වෙන්වීම, තමන් කැමති කැමති දෑ නොලැබීම හා සහමුලින්ම පඤ්චස්ඛන්ධයම දුකක් ලෙසය. මේ වනාහි දුක්ඛ ආර්ය සත්‍යයයි.” මෙහි අර්ථ විග්‍රහ කිරීමේ දී කොටස් තුනක් යටතේ කරුණු අවබෝධ කරගත හැකිය. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ,දුක්ඛ දුක්ඛ යනු මෙලොව දී ඇතිවන කායික හා මානසික වේදනාවන්ය. විපරිණාම දුක්ඛ ලෙස අර්ථ දක්වන්නේ සංස්කාරයන්ගෙන් හටගත් සියලු සජීවී හා අජීවී වස්තුන්ගේ වෙනස්වීම නිසා ඇතිවන දුක් සහගත ස්වභාවයයි. සංඛාර දුක යනු එක් රැස් කරලීම තුළින් ලබනා දුකකි.
බුදුන් වහන්සේ සරලව දුක විග්‍රහ කොට උන්වහන්සේ පඤ්චස්කන්ධයම මහා දුකක් ලෙස අවසානයට පෙන්වා දෙයි. මෙහි දී දත යුත්තේ පඤ්චස්කන්ධ කෙසේ නම් සත්වයාට දුකක් වන්නේ ද යන්නය. සතර මහා භූතයන්ගේ එකතුව වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පහ සත්ව යන සම්මුතිය ලෙස බුදුන් වහන්සේ පෙන්වා දෙයි. ඇස, කන, නාසයය, දිව, ශරීරය යන පඤ්ච ඉන්ද්‍රියන් තුළින් ලබා ගන්නා අරමුණු හේතුවෙන් ඉහත දක්වන ලද ස්කන්ධයන් ආස්‍රවයන් දක්වා වර්ධනය වීම සිදුවන අතර “චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තාග්ගාහී හෝතී” ආදී ලෙසින් ඉන්ද්‍රිය සංවරය ඇතිකොට ගත යුත්තේ යැයි දක්වා ඇත. පුහුදුන් සත්වයා තුළ ඇත්තේ මේ සියලු දේ මමය, මගේය ආදී ලෙසින් ආත්මීය වශයෙන් අල්ලා ගැනීමය. එය දහමේ විස්තර වන්නේ උපාදානය ලෙසය. උන් වහන්සේ සංයුත්ත නිකායේ ‍ෙඒණපිණ්ඩූපම සූත්‍රයේ දී
“‍ඓ්ණපිණ්ඩූපමා රූපා - වේදනා බුබ්බුලූපමා
මරිචි තුපමා සංඥා - සංඛා කදලූපමා
මායුපමඤ් ව විඤ්ඤාණං - දීපිතාදිච්ච බන්ධුතා”

යනුවෙන් දේශනා කරන්නේ රූපය පෙණ පිඬක් ලෙස ගත යුතු අතර වේදනාව දිය බුබුලක් හා සමානව ද සංඥාව මිරිඟුවක් මෙන් ද සංස්කාරයෝ කෙසෙල් කඳක් වැනි යැයි ද විඤ්ඤාණය මායාවක් ලෙස ද ප්‍රත්‍යක්ෂ කටයුතු බවයි.
මෙහි දී පුහුදුන් මනසට ප්‍රත්‍යක්ෂ නොවුව ද ධර්මය කෙරෙහි අවබෝධයෙන්ම මේ උපමාවන් දතයුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සැකෙවින් කියතොත් මෙයින් කියැවෙන්නේ අවබෝධාත්මකව පඤ්චස්කන්ධයදෙස බැලිය යුතු බවයි. එනම් “යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම” “ලෙසින් ත්‍රිලක්ෂණයට අනුව යමක් අනිත්‍ය වේද එය දුක් පිණිස පවතින්නේ ය. යමක් දුක් පිණිස පවතින්නේ ද එය අනාත්ම ස්වභාවයෙන් යුක්ත වේ. එසේ නම් මම ය මාගේය කියා ගතයුතු කිසිවක් නැත්තේය.” ආදී වශයෙන් අවබෝධ කර ගැනීමයි.
පුහුදුන් මිනිසුන් දුක නැති කිරීමට උත්සාහ කරන්නේ දුක් සහගත දේවල් තුළම ගැලී සිටීමෙනි. උපන් සැම කෙනෙක්ම වෙහෙස වන්නේ සැප විඳීමටය. නමුත් මෙම සැපයම දුකක් ලෙස පිරිසිඳ දැනීමට නුවණක් පුහුදුන් මනසට නොවේ. සත්වයා ගෙවල් දොරවල්, යාන වාහන ලබාගෙන බලාපොරොත්තු වන්නේ දුක නැති කිරීමට ය. නමුත් මේ හරහා සිදුවන්නේ නැවත නැවත දුකටම පත්වීමකි. බුදුන් වහන්සේ දුක නැතිකිරීම ගැන දේශනා කොට නැත. උන්වහන්සේ දුක ඇති වීමේ හේතුව සිඳලීමට ලෝකයාට උපදෙස් දුන්හ. හේතුඵල දහමමත රඳා පවතින බුදු දහම අනුව දුක ඇතිවීමට හේතුව වනුයේ ක්ලේශන්ය. මෙහි දී දුක අවබෝධ කටයුතු අතර කෙලෙස් ප්‍රහාණයට බුදුන් වහන්සේ උපදෙස් දුන්හ. වරෙක උන්වහන්සේ “දුක්ඛ සත්‍යය” තමන් තුළින්ම දතයුතු බව පෙන්වා දෙන්නේ ද එ නිසාවෙනි.
නිවැරැදි බෞද්ධයන් දුක නැති කිරීම සඳහා ගෙවල් දොරවල් ඉදි කළේ නැත. රැකී රක්ෂා කළේ ද නැත. ඔවුන් ජීවිතය ජීවත් කිරීම සඳහා යුතුකම් ඉටු කිරීම සඳහා ගෙවල් දොරවල් රැකී රක්ෂා කළහ. සසර දුක ඇති කරන නිවන් මඟ අහුරන මේ දුක් සහගත ලෝකය පිළිබඳව බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ ඤාණයන් දේශනා කොට වදාළ දුක්ඛාර්ය සත්‍යය සැබවින්ම සාක්ෂාත් කොට දත යුතුය.

චතුරා රක්‌ඛා ප්‍රතිපදාව හෙවත් සතර ආරක්‍ෂක කමටහන්

මිනිස්‌ සිත පාලනය කරන්නට තාක්‍ෂණය, නවීන විද්‍යාව හෝ වෙනත් කිසිම නවීන උපකරණයක්‌ මෙවලමක්‌ යොදා ගන්නට බැහැ. මිනිස්‌ සිත පාලනය කර ගත හැකි එකම ක්‍රමය සිත සුද්ධ පවිත්‍ර කර ගැනීම පමණි. සිත කෙලෙස්‌ වලින් කිළිටි වූ විට අඳුරු වූ විට, දුප්පත් වූ විට, අඥාන වූ විට සිත පාලනය කර ගත නොහැකි වූ විට සිත විසිරෙනවා, කම්පනයට, බයට, වේදනාවට, චලනයට විස්‌සෝපයට පත් වෙනවා. මානසික රෝග මතුවෙනවා. සිතේ ඇති කෙළෙස්‌ ගති අස්‌කර ඉවත් කර සිත පිරිසිදු කර ගන්නට නම් මනසේ හැකියාව මනින්ද්‍රිය යෝනිසෝ මනසිකරණ ශක්‌තිය භාවිතා කරන්නට ම ඕනෑ. මනින්ද්‍රියට පමණයි සිත ශික්‍ෂණය කරගෙන, පාලනය කර ගෙන සිතට වහල් නොවී කටයුතු කළ හැකි වන්නේ, සිතට වහල් වීමෙන් මනස අවුල් වෙනවා.

මනින්ද්‍රිය භාවිතා කරන්නට පුරුදු පුහුණු වීම තමයි භාවනා කරනවා ය කියන්නේ. මනින්ද්‍රිය භාවිතා කරන කෙනෙකු සිතට වහල් වීමෙන් ප්‍රිය දේවල් හඹා යන්නේ නැහැ. අප්‍රිය දේවල් සමඟ ගැටෙන්නෙත් නැහැ. ඒ නිසා මෝහයෙන් මුළාවීමක්‌ ද නැහැ. උපේක්ඛා සිතින් ඉවසලා විමසලා කටයුතු කරන්නට පුරුදු වෙනවා. සැබෑ භාවනාවෙහි හරය තමයි ඉවසලා, විමසලා හේතු ඵල දහමට බහා ගලපා බලා විනයට සස¹ බලා උපේක්ඛා සිතින් ක්‍රියා කරන්නට පුරුද්දක්‌ පුහුණුවක්‌ ලබා ගැනීම.

එක තැනකට වෙලා ගල් පිළිමයක්‌ වගේ නොසැලී තම කායික වේදනාවන් විඳදරා ගෙන හුස්‌ම රැල්ල දෙසම බලාගෙන හිඳිමින් කාලය ගෙවීමත් එක්‌තරා භාවනාවක්‌ වන නමුත්, මේ ක්‍රමය අනාර්ය ප්‍රාණයාම භාවනාවක්‌ ලෙසයි බුද්ධ දේශනාවේ පැහැදිලි කර දෙන්නේ. මෙහෙම කය පාලනය කරන්නට පුරුදු පුහුණුවීමත් යම් ආකාරයකින් කය හික්‌මවීමක්‌, ශික්‍ෂණයක්‌ වන නමුත් මනස මනින්ද්‍රිය පාලනය කර ගන්නට එතැනදී හැකියාවක්‌ ලැබෙන්නේ නැහැ. බුද්ධ භාවනාව කියන්නේ මනින්ද්‍රීය භාවිතා කරලා හිත පාලනය කර ගැනීමයි.

භාවනාවෙන් නැගිටලා සාමාන්‍ය සමාජ පරිසරයට එදිනෙදා කටයුතු වලට අනුගත වීමත් සමඟම තමන්ගේ සංසාර ගති පුරුදු ඉස්‌මතු වෙලා නැවතත් ප්‍රිය දේට ඇලෙන්නටත්, අප්‍රිය දේ සමඟ ගැටෙන්නටත් සිද්ධ වන්නේ මනින්ද්‍රය භාවිත කරන්නට පුරුද්දක්‌ පුහුණුවක්‌ ඇති කර නොගැනීම නිසයි. හිතටම වහල් වී කටයුතු කිරීම නිසයි.

මනින්ද්‍රිය භාවිත කරන්නට පුරුදු පුහුණු වෙනවාය කියන්නේ සිතට අරමුණු වන සියලුම අරමුණුq මනසින් තෝරා බේරා, මැන බලා භාවිත කළ යුතු අරමුණු භාවිතා කරන්නටත්, භාවිත නොකළ යුතු අරමුණු භාවිත නොකර බැහැර කරන්නටත් පුරුදුÊපුහුණු වීමයි. භාවිත කළ යුතු අරමුණු කරණීය ධර්ම හැටියටත්, භාවිත නොකළ යුතු දේ අකරණීය ධර්ම හැටියටත් බුද්ධ ධර්මයේ විග්‍රහ වෙනවා. මේ දෙපසට බෙදීම ද්වතා අනුස්‌සතිය ලෙස බුද්ධ භාෂිතයේ හඳුන්වා දීලා තිබෙනවා.

චිත්ත සංතානය කිළිටි වන කාම විතක්‌ක විචාර, ව්‍යාපාද විතක්‌ක විචාර, විහිංසා විතක්‌ක විචාර, භාවිතා නොකළ යුතු දේ හැටියටත්, තම චිත්ත සංතානය පිරිසිදු වන නෙක්‌ඛම්ම සවිතක්‌ක සවිචාර මෙත් සිත වඩවන සවිතක්‌ක සවිචාර සහ අවිහිංසා සවිතක්‌ක සවිචාර මෙන්ම වීතරාගී වීතදොaෂී, වීතමෝහී සවිතක්‌ක සවිචාර භාවිතා කිsරීම කරණීය ධර්ම හෙවත් භාවිත කළ යුතු අරමුණු ලෙසත් අවබෝධ කර ගත යුතුය.

ඇස, කන, නාසය, දිව, කය හා මන පිනවා තාවකාලිකව ලබන ආමිස වින්දනයක්‌ සුවයක්‌ ලබන්නට පෘථග්ජන පුද්ගලයන් හැටියට මෙතෙක්‌ දීර්ඝ කාලයක්‌ සංසාරයේ පුරුදු පුහුණු වී කටයුතු කළත්, දැන් ඒ ගති ගුණ වලින් ඉවත් වූ නිරාමිස සුවයක්‌, ප්‍රීතියක්‌ ලැබෙන ක්‍රියාකාරකම්වලම යෙදෙන්නටත්, පුරුදු පුහුණු විය යුතුයි.

හිතට අරමුණු වන සඳ්C¹වන් පිරිසිදුව දැක ගෙන වෙන් කර තෝරා බේරා ගන්නට යම් කිසි පුරුදු පුහුණුවීමක්‌ අවශ්‍යමයි. මේ පුරුදු පුහුණුවීම තමයි මනින්ද්‍රිය භාවිතා කරලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම කියලා බුද්ධ භාෂිතයේ විග්‍රහ කරන ලද ක්‍රියාවලිය. මනස භාවිතා කරලා ඉවසලා විමසලා පරීක්‍ෂණ, නිරීක්‍ෂණ කරලා නිගමනයකට බැස ගැනීම තමයි යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන්නෙකුගේ නියත හැසිරීම් රටාව වන්නේ, මෙතැනදී අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම නවතිනවා. හිතට වහල් වෙලා හැඟීම්වලට ඉඩදීලා කටයුතු කිරීමෙන් වෙන්වෙලා මනස භාවිත කරන්නටත් කරණීය ධර්ම හා අකරණීය ධර්ම වෙන් කොට හඳුනා ගන්නටත් පුරුදු වෙනවා. කරණීය ධර්ම භාවිත කළ යුතුයි. අකරණීය ධර්ම බැහැර කළ යුතුයි.

"සබ්බ පාපස්‌ස අකරණං' කීවේ භාවිත නොකළ යුතු අකරණීය ධර්මයෙන් කොටසයි. 'කුසලස්‌ස උපසම්පදා' කීවේ භාවිත කළ යුතු කරණීය ධර්මයන් කොටසයි.'සේවිතබ්බා' කීවේත් භාවිත කළ යුතු සේවනය කළ යුතු ධර්මයෝයි "අසේවිතබ්බා' කීවේ සේවනය නොකළ යුතු බැහැර කළ යුතු අධර්මයන් කොටසටයි. 'අස්‌ස්‌, 'ආන' කියන පද වලින් බුද්ධ භාෂිතයේ බොහෝ තැන්වල පෙන්වා දුන්නේ ද ආශ්‍රය කළ යුතු, ඇතුළට ගත යුතු යහපත් ධර්මයන් කියන අදහස, අර්ථය ඇතිවයි. එසේම 'පස්‌ස්‌, 'පාන' කියන පද වලින් පෙන්වා දුන්නේ බැහැර කළ යුතු ප්‍රහාණය කළ යුතු ඉවත් කළ යුතු අයහපත් ධර්මයන් කියන අර්ථයෙනුයි.

ආශ්‍රය කළ යුතු වන්නේ සුදු ධර්මයන් ය. චිත්ත සන්තානය හා මනස යන දෙකම පිරිසිදු කරන, පවිත්‍ර කරන, කුණු සලා හැර අස්‌කර දමන්නට උපකාර වන ක්‍රියාකාරකම් ආශ්‍රය කළ යුතුයි. ප්‍රහාණය කර අස්‌කර දැමිය යුත්තේ කළු ධර්මයන් ය. චිත්ත සංථානය කිළිටි කරන, මනස මුවහ කර මෝහය මතු කරන කෙළෙස්‌ ධර්මයන් සිතින් ගලවා සහමුලින් ම ඉවත් කර දැමිය යුතුය.

මේ කළු සුදු යන ධර්මයන් දෙකම ඇතුළට ගැනීමටත්, පිට කිරීමටත්, උපකාර කර ගත හැකි දොරවල් හයක්‌ හැම කෙනෙකුටම උපතින්ම ලැබී ඇත. මේ දොරවල් හයෙන් ඇතුළට ගැනීමේ ක්‍රියාවත්, පිටතට බැහැර කිරීමේ ක්‍රියාවත් යන දෙකම හැම මිනිසෙකුටම පාලනයට කළ හැකිය. නමුත් ඇතුළට ගත යුතු දේ මොනවාද, පිටතට බැහැර කළ යුතු දේ මොනවාද, යන්න තීරණය කිරීමත්, ඒ තීරණ ක්‍රියාත්මක කිරීමත් හැම මිනිසෙකුටම එක හා සමානව කළ නොහැකිය.

තමාට ප්‍රිය දේ ඇතුළට ගැනීමත් අප්‍රිය දේ බැහැර කිරීමත් පෘථග්ජන සියලු දෙනාගේ සංසාර පුරුද්දයි. කළු ධර්ම (කෙළෙස්‌) බැහැර කිරීමත්, සුදු ධර්ම චිත්ත සන්තානය හා මනස පිරිසිදු කරන වීතරාගී, වීතද්වේශී, වීතමෝහී ක්‍රියා ආශ්‍රයට ගැනීමත් ධර්මාවබෝධය ලැබූ ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන පුද්ගලයකුගේ ප්‍රතිපදාවයි.

මෙය ආර්ය විනයෙහි බුද්ධ භාෂිතයෙහි පෙන්වා වදාළ ආනාපාන සති භාවනාවයි. සතර සතිපට්‌ඨානයෙහි පිහිටා කටයුතු කළ හැකි වන්නේ මෙලෙස ආනාපාන සතියෙහි පිහිටා කටයුතු කරන්නට පුරුදුÊපුහුණු වීමෙනි.

චතුරා රක්‌ඛා - සතර කමටහන්

"බුද්ධානුස්‌සති මෙත්තාච, අසුභං, මරණස්‌සති, ඉති ඉමා චතුරා රක්‌ඛා භාවෙයිය සීලවා'' යනුවෙන් බුද්ධ දේශනාවේ පෙන්වා වදාළ සතර කමටහන් වන්නේ.

01. අසුභානුස්‌සතිය

02. මෙත්තානුස්‌සතිය.

03. මරණානුස්‌සතිය

04. බුද්ධානුස්‌සතිය යන සතර කමටහන් වැඩීමයි.

දස අනුස්‌සති අතරින් ඉතාමත් වැදගත් මෙම අනුස්‌සති සතරම එකට භාවිත කරන්නට පුරුදුවීම තුළින් සතර සතිපට්‌ඨානයමත් සම්පූර්ණ වන්නේය. සමථ විපස්‌සනා දෙකමත් සම්පූර්ණ වන්නේය. ෙච්තෝ විමුක්‌තිය හා ප්‍රඥා විමුක්‌තිය යන උභතෝ භාග විමුක්‌තියමත් පරිපූර්ණ වන්නේය.

මේ චතුරාරක්‌ඛා නමැති සතර කමටහන් පූර්ව කෘතියක්‌ සේ එසේ නැතිනම් භාවනා කරන්නට පෙර කර ගත යුතු ආරක්‍ෂාවක්‌ ලෙසින් බොහෝ භාවනා මධ්‍යස්‌ථානවල අද වන විට වරදවා තේරුම් ගෙන පද පරම ලෙසින් භාවිතා කරන බව පෙනේ.

මේ සතර කමටහන් යනු හොඳින් කටපාඩම් කරගෙන උදේ සවස කියව කියවා ඉන්නට අනුදැන වදාළ දෙයක්‌ නම් නොවේ. මේ සතර කමටහන් වලින් පෙන්වා දුන්නේ දවසේ නිදා ගන්නා මොහොතේදී හැර අනෙක්‌ හැම අවස්‌ථාවකදීම ප්‍රායෝගිකව භාවිතා කළ යුතු ආනාපාන සති භාවනාවකි.

මේ සතර කමටහන් භාවිත කිරීම යනු ආරක්‍ෂක ආයුධ හතරක්‌ භාවිතයට ගැනීමකි. මේ ආයුධ හතර පිළිබඳවම හොඳින් දැන නිසි කලට වේලාවට නිසි ආයුධයම තෝරා බේරා ගෙන භාවිතයට ගැනීමෙන් සිතෙහි මතුවන කෙළෙස්‌ ගති කපා දමන්නට පුරුදුÊපුහණුවීම මගින් සතර සතිපට්‌ඨානයම සම්පූර්ණ වන්නේය.

රාගක්‌ඛයෝ නිබ්බානං, ද්වේශක්‌ඛයෝ නිබ්බානං, මෝහක්‌ඛයෝ නිබ්බානං යනුවෙන් බුද්ධ දේශනාවෙහි සඳහන් වන පරිදි රාගය, ද්වේශය හා මෝහය සහමුලින් ම උදුරා දමා සිත නිදහස්‌ කර ගන්නට මේ සතර කමටහන් තරම් උපකාර වන අන් දෙයක්‌ නැත්තේය. පුද්ගලයා සත්වයා, සංසාරය ගැටලුවට බැඳ තබන බැමි තුනම කපා දමන්නට අනුගමනය කළ යුතු නිවැරැදි හා පහසුම ප්‍රතිපදාව මේ සතර කමටහන් භාවිතා කිරීමය.

මම නිදුක්‌ වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුපවත් වෙම්වා, මම දුකින් මිදෙම්වා යනාදී වශයෙන් සම්මතයෙන් තමාටම මෙත් වැඩීමට කියෑවෙන පාඨයන් මෙත්තානුස්‌සතිය වැඩීමක්‌ නම් නොවේ.

'ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධස්‌ස්‌ ආදී වශයෙන් බුදු ගුණ ගායනා කිරීම ද බුද්ධානුස්‌සතිය ප්‍රගුණ කිරීමක්‌ නොවේ. 'ජීවිතං අනියතං, මරණං නියතං' ආදී වශයෙන් මරණය සිහිපත් කරන පදවැල් ගායනා කිරීම ද මරණානුස්‌සතිය වැඩීමක්‌ නොවේ.

පිළිකුල් භාවනාවක්‌ කිරීම අසුභානුස්‌සතිය භාවනා කිරීමක්‌ නොවේ. නිවන් මඟ සම්පූර්ණ වන්නට නම් මේ සතර කමටහන් පිළිබඳව යථා අවබෝධයක්‌ ලබා ගෙන, කරගත යුතු කරණීය ධර්මයන් හා අස්‌කර ගත යුතු අකරණීය ධර්මයන් පිළිබඳව නිසි අවබෝධයෙන් යුතුවම සතර කමටහන් භාවිත කරන්නට පුරුදු විය යුතුය.

ධර්මාවබෝධයක්‌ නැති, සම්මතයෙහි මපිහිටා ක්‍රියා කරන පෘථග්ජන පුද්ගලයෙකු මෙත්තානුස්‌සතිය වැඩීම, මරණානුස්‌සතිය වැඩීම, අසුභානුස්‌සතිය වැඩීම හා බුද්ධානුස්‌සතිය වැඩීම යනුවෙන් කරනු ලබන මෙනෙහි කිරීම හෝ ගායනා කිරීම හරයක්‌ නැති දෙයක්‌ පමණි.

සතර කමටහන් භාවිතය සඳහා පළමු කොට ම පැහැදිලි ධර්මාවබෝධයක්‌ ලබා ගත යුතුයි. සංසාර ගැටලුවට තමන්ම බැඳ තබන බැමි දැක, එවන් බැමි තම තමන්ගේ ම චිත්ත සන්තානයේම දෛනිකව සකස්‌ වන ආකාරය ද දැක ගන්නට තරම් ධර්මාවබෝධයක්‌ පළමුවෙන් ම ලබා ගත යුතුයි. මෙය සුතමයේ ඤාණය ලැබීමයි.

පංචස්‌කන්ධයන්ම උපාදානය කර ගන්නා ආකාරයත්, පංචස්‌කන්ධයන්ම උපාදානය කර ගන්නට හේතුව වන සමුදය සිතෙහි බිහිවන ආකාරයන් යළි යළිත් ඉපදි ඉපදී මැරි මැරී මේ සංසාර ගමන දිගටම පවත්වන්නට මුල් වූ හේතුවත් දැක ගත් විට ඔහු ධර්මාවබෝධයක්‌ ලැබූ සතර කමටහන් භාවිත කරන්නට සුදුසු වූ කෙනෙකු බවට ද පත් වෙයි.

මේ සංසාර රිය ගමන උත්සාහයක්‌ නැතිව ම අනායාසයෙන් ම නොනවත්වාම අඛණ්‌ඩවම ඉදිරියට ගලා යන්නට හේතු භූත වූ මූලික කාරණය චිත්ත සංථානය කෙළස්‌ වලින් පිරී කිලිටි වී පැවතීමයි. සංසාර රිය ගමන දිගින් දිගටම ඉදිරියටම පවත්වා ගෙන යන්නට යම් විශේෂ ඤාණයක්‌, ධර්මාවබෝධයක්‌ හෝ පර්යේෂණයක්‌ වැනි දෙයක්‌ කළ යුතු නොවේ. විඤ්ඤාණය නිරන්තරව තම පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර සොයා සපයා ගන්නට උත්සාහ දරනු ඇත. සත්වයා මුලාවේ දමා, සත්‍යය වසන් කර විඤ්ඤාණයේ පැවැත්ම උදෙසා ම පෘථග්ජන සිත ක්‍රියා කරනු ඇත.

බුද්ධ දේශනාවෙහි පෙන්වා වදාළ චතුරාරක්‌ඛා යනු ආරක්‍ෂක ආයුධ හතරකි. රාග, ද්වේශ, මෝහ නමැති කෙළෙස්‌ සතුරන් කපා සිඳ දමන මෙම ආරක්‍ෂක ආයුධ හතර සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයකු රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ක්‍රියා කරන විට මොට්‌ට වන නිසා කෙළෙස්‌ සතුරන් කපා දමන්නට එය සමත් නොවේ.
සනත් ලියනගේ