ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

කෙලෙසුන් ගෙන් මිදීමට තවත් කමටහන් දෙකක්‌



නිවන් දකින්න, ආස්‍රවයන් ගෙන් මිදෙන්න, කෙලෙසුන් ගෙන් මිදෙන්න, බුදුරජාණන්වහන්සෙ අප කෙරෙහි අනුකම්පාවෙන් තව කමටහනක්‌ දේශනා කරනව. ඒ, බොජ්ජංග ධර්මයන් ගැන. බුදුරජාණන්වහන්සෙ දේශනා කරනව, මහණෙනි නැවත ද අනෙකක්‌ කියමි. 

මහණ තෙම සප්ත බොජ්ජංග ධර්මයන්හි ධම්මානුපස්‌සීව වාසය කරනව. කොහොම ද භික්‌ෂුව මේ බොජ්ජංග හතේ ධම්මානුපස්‌සීව වාසය කරන්නෙ?

පළමුවැන්න සති සම්බොජ්ජංගය. හැම වෙලාවෙ ම තමන් ගෙ මනස පැත්තට නැඹුරු වෙල හොඳ අවධානයෙන් ඉන්නව - තමා තුළ සති සම්බොජ්ජංගය තියෙනව ද කියල හොඳට අවධානයෙන් ඉන්නව. එහෙම ඉන්නකොට තමන්ට තේරෙනව මම දැන් සිහිය අතහැරිල නේ ද ඉන්නෙ. සිහිය ගැන හොඳ අවධානයෙන් ඉන්නකොට තේරෙනව දැන් සිහියෙන් ඉන්නෙ කියල. නැත්නම් මෙච්චර වෙල සිහිය නැතිකමින් හිටියෙ කියල තේරෙනව. හැම වෙලාවෙ ම තමන් සිහියෙන් ද ඉන්නෙ නැතුව ද ඉන්නෙ කියන එක ගැන සිහිය තියෙන්න ඕන.

විරිය සම්බොජ්ජංගය කියන්නෙ තමන් කෙලෙස්‌ තවාගන්න ඕන කියන උත්සාහයෙන් ද ඉන්නෙ නැතුව ද ඉන්නෙ කියන එක ගැන සිහිය තබාගැනීම.

ධම්මවිචය තියන්නෙ නිතර ම දහමක්‌ සම්මර්ශනය කරමින්, දහම් කරුණු නුවණින් විමසමින් ද ඉන්නෙ කියන කාරණාවට සිහියෙන් ඉන්න ඕන.

ඊට පස්‌සෙ පීති බොජ්ජංගය කියන්නෙ තමන් තුළ නිරාමිස ප්‍රීති ස්‌වභාවයක්‌, ධර්මයෙන් යුක්‌ත නිරාමිස සතුටක්‌ ඇති ස්‌වභාවයක්‌ තිබෙනව ද නැද්ද කියන එක ගැන සිහියෙන් ඉන්න ඕන.

ඒ වගේ ම පස්‌සද්ධිය කියන්නෙ ධර්මය නිසා ම කයේ සන්සිඳුණ ගතියක්‌, රළු බව අඩු වෙච්ච ගතියක්‌ තමා තුළ තියෙනව ද නැද්ද කියල හොඳට සිහියෙන් ඉන්න ඕන.

ඊළ`ගට සමාධි - තමා තුළ චිත්ත සමථයක්‌ තියෙනව ද නැද්ද කියල සිහියෙන් ඉන්න ඕන.

උපෙක්‌ඛා - තමා තුළ උපේක්‌ඛා ස්‌වභාවයක්‌ තියෙනව ද නැද්ද කියල හොඳ සිහියෙන් ඉන්න ඕන.

මෙන්න මේ විදියට ඉන්න කොට තමන් තුළ සිහිය අතහැරිල ඉන්නෙ කියල කොයි වෙලාවක හරි දැනගත්තොත් ඒ මොහොතෙ දි ම සති නිමිත්තකට පැමිණිල සතිමත් වෙන්නට ඕන.

විරිය, පීති, ධම්මවිච, කියන සම්බොජ්ජංග තුන හිත න`ගා සිටුවන්නයි තියෙන්නෙ. පස්‌සද්ධි, සමාධි, උපේක්‌ඛා කියන සම්බොජ්ජංග තුන අරමුණු සංසිඳුවන්නයි තියෙන්නෙ.

ගින්නක්‌ අවුළුවන්න ඕන වෙනකොට තෙත දර දාලා බෑ. වියළි දර ම දාන්න ඕන. ගින්නක්‌ නිවන්න ඕන වෙනකොට වියළි දර දාලා හරියන්නෙ නැහැ තෙතමනය තියෙන්න ඕන. අන්න ඒ වගේ හිතේ විසිරුණු ගතිය වැඩි වෙලාවෙ දි ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය වඩන්න එපා. එවැනි විටක වැඩිය යුත්තේ පස්‌සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්‌ඛා සම්බොජ්ජංගයයි.

නිදිබර ගතිය වැඩි වෙලාවට, සිත සැ`ගවිච්ච වෙලාවට පස්‌සද්ධි, සමාධි, උපේකඛා තුන අතහරින්න. විරිය, ධම්ම විචය, පීති කියන සම්බොජ්ජංග තුන ඇසුරු කරන්න.

මේ විදියට කරගෙන යනකොට මෙතන මෙනෙහි කරන්නෙක්‌ නැත, සත්ත්ව පුද්ගල නො වූ බොජ්ජංග ධර්ම පමණක්‌ ඇත කියන නුවණත් ඇති වෙනව. මේ ධර්මතා මගේ නැත්නම් තව කෙනෙක්‌ ගෙ කියල ගන්නෙ නැහැ.

ඔන්න ඔය මට්‌ටමට එනකොට තමන්ට ප්‍රීති ප්‍රමෝදය උපදිනව. ඒ නිසා ම හිත කය සන්සිඳිලා, සැපසහගත වෙලා, හිත සමාධි වෙලා, ඇත්ත ඇති සැටියෙන් දැකලා, කලකිරිලා, නො ඇලිලා, ආස්‍රවයන් ගෙන් කෙලෙසුන් ගෙන් මිදෙනව.

ඊට පස්‌සෙ බුදුරජාණන්වහන්සෙ මේ සංසාරයෙන් එතෙර වීම සඳහා චතුරාර්ය සත්‍යය අනුව බලමින් වාසය කරන්න කියල දේශනා කරනව. කොහොම ද චතුරාර්ය සත්‍යය අනුව බලමින් වාසය කරන්නෙ?

මේ දුකයි කියල ඇත්ත ඇති හැටියෙන් දකිනව. මේ දුක්‌ඛ නිරෝධගාමිනී පටිපදාවයි කියල දකිනව. චතුරාර්ය සත්‍යය සිහි කරන්න සිහිය යොමු කිරීමයි මෙතන දි වෙන්නෙ. දවස පුරා ම කොයි වෙලාවෙත් චතුරාර්ය සත්‍යය අවබෝධ වන විදියට තමයි නිමිත්ත හසුරුවන්නෙ. එක්‌කො කුමක කුමන ඉරියව්වක හෝ හෝ දුක්‌ඛ සත්‍යය බලමින් ඉන්නව. සමුදය සත්‍යය ප්‍රකට කරගන්න බලනව. නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය ප්‍රකට කරගන්න බලනව. මේ ධර්මතා හතර අවබෝධ කරගැනීම සඳහා හිත නැඹුරු කරගෙනමයි ඉන්නෙ. චතුරාර්ය සත්‍යය සතිපට්‌ඨානය කරගෙනයි ඉන්නෙ. සිහිය පිහිටුවන්නෙ මේ සත්‍ය හතරේ.

මෙනෙහි කරන දුක මොකක්‌ ද? ඉපදීම, ලෙඩ වීම, මහලු බව, මරණය, අප්‍රියයන් හා එක්‌ වීම, ප්‍රියයන් ගෙන් වෙන් වීම, හිතන දේ නො ලැබීම වගේ මෙන්න මේව තමයි දුක්‌. මෙතන දි හොඳට තේරුම් කරගන්න ඕන මේ දුකයි කියල නුවණින් තමයි දැනගන්න ඕන. ඒ කියන්නෙ දුක කියන එක නුවණින් අවබෝධ කරගන්න දුක්‌ විඳින්න ඕනමයි කියල දෙයක්‌ නැහැ. අනුරුද්ධ මහ රහතන් වහන්සෙ කියන්නෙ ගිහි කාලෙ දි නැත කියන වචනය වත් අහල නැති කෙනෙක්‌. රජ ගෙදර හැදුණු ඒ වගේ අයත් ඒ ඔක්‌කොම සම්පත් ජරා මරණයන් ගෙන් යුක්‌තයි කියල දුක අවබෝධ කරගත්ත. සැපයි කියල හිතන බ්‍රහ්මයා කියන තැනත් දුකයි කියන නුවණ අපිට තියෙන්න ඕන.

අපේ ඉස්‌සරහ මල් වට්‌ටියක්‌ තියෙනව් නම් මෙන්න මේකත් ජාතිය, ව්‍යාධිය, මරණය ශෝක, පරිදේව, උපායාස ස්‌වභාව කොට ඇති බව අපිට තේරෙන්න ඕන. අන්න එවිටයි දුක දන්නව කියන්නෙ. මේ මල් වට්‌ටියෙ දුක නැහැ. ඒත් මල් වට්‌ටිය නිසා දුක එන්න පුළුවන්. මේ මල් වට්‌ටියට තණ්‌හා කෙරුවොත් ඒ තණ්‌හාව නිසා ආපහු අපි උපදින්න බැරි ද? පුළුවන්. ඉපදුණොත් ලෙඩ වෙනව, මහලු වෙනව, මරණයට පත් වෙනව. ඒ ඔක්‌කොම දුක්‌ ආවෙ ඉපදුණ නිසයි. ඉපදුණෙ තණ්‌හාව නිසයි. තණ්‌හාව ඇති වෙන්න හිතෛෂී වුණේ නැද්ද මල් වට්‌ටිය? එහෙනම් දුකට හිත වූවක්‌ මිස නිවනට හිත වූවක්‌ නෙමෙයි නේ ද මේ මල් වට්‌ටිය? අපිව දුකට පත් කරන්න වෙනත් විදියකට පෙනී හිටින දෙයක්‌ මේ. මෙයා දුක හැටියට ම පෙනී හිටියොත් අපි ඇලෙන්නෙ නැහැ. සැප හැටියට පෙනී ඉඳිමින් දුකට ගෙනියන එකයි කරන්නෙ. කෙළින් ම ඇති වන දුකට වඩා කපටියි. දුකයි සැපයි දෙක ම දුකයි කියල තේරෙන්න ඕන.

ඊට පස්‌සෙ දුක්‌ඛ සමුදය සත්‍යය. දුක්‌ඛ සමුදය ආර්ය සත්‍යය කියන්නෙ මොකක්‌ ද? කාම තණ්‌හා, භව තණ්‌හා, විභව තණ්‌හා කියන මෙන්න මේ තුන් තණ්‌හාවයි දුක ඇති වෙන්නට තියෙන හේතුව. ඒ තණ්‌හාව උපදින්නෙ කොහෙ ද? පවතින්නෙ කොහෙ ද? ලෝකයේ යමක්‌ ප්‍රියයි නම් මධුරයි නම් තණ්‌හාව උපදින්නෙ එහියි. තණ්‌හාව පවතින්නෙ එහියි. එතකොට ලෝකයේ මොනව ද ප්‍රිය? මොනව ද මධුර?

තණ්‌හාව උපදින තණ්‌හාව පවතින කාරණා 60ක්‌ බුදුරජාණන්වහන්සෙ දේශනා කරනව. ආධ්‍යාත්මික ආයතන හයයි - ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස. බාහිර ආයතන හයයි - රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම. විඤ්ඤාණ හයයි - චක්‌ඛු, සෝත, ඝාන, ර්ව්හා, කාය, මනෝ විඤ්ඤාණ. ස්‌පර්ශ හයයි - චක්‌ඛු සම්පස්‌සය, සෝත සම්පස්‌සය, ඝාන සම්මපස්‌සය, ජිව්හා සම්පස්‌සය, කාය සම්පස්‌සය, මනෝ විඤ්ඤාණ සම්පස්‌සය. වේදනා හයයි - චක්‌ඛු සම්පස්‌සජා වේදනා, සෝත සම්පස්‌සජා වේදනා, ඝාන සම්පස්‌සජා වේදනා, ජිව්හා සම්පස්‌සජා වේදනා, කාය සම්පස්‌සජා වේදනා, මනෝ සම්පස්‌සජා වේදනා. සංඥා හයයි - රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම සංඥා. ෙච්තනා හයයි - රූප සංෙච්තනා, ශබ්ද සංෙච්තනා, ගන්ධ සංෙච්තනා, රස සංෙච්තනා, පොට්‌ඨබ්බ සංෙච්තනා, ධම්ම සංෙච්තනා. තණ්‌හා හයයි - රූප තණ්‌හා, ශබ්ද තණ්‌හා, ගන්ධ තණ්‌හා, රස තණ්‌හා, පොට්‌ඨබ්බ තණ්‌හා, ධම්ම තණ්‌හා. විතක්‌ක හයයි - රූප විතක්‌ක, ශබ්ද විතක්‌ක, ගන්ධ විතක්‌ක, රස විතක්‌ක, පොට්‌ඨබ්බ විතක්‌ක, ධම්ම විතක්‌ක. විචාර හයයි - රූප විචාර, ශබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්‌ඨබ්බ විචාර, ධම්ම විචාර.

මෙන්න මේ කාරණා හැටේ ම තණ්‌හාව උපදින්න පුළුවන්, පවතින්න පුළුවන්. 

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

බුදුදහම හා ධනාත්මක චින්තනය


ධනාත්මක චින්තනය පිළිබඳ නූතන මනෝ විද්‍යාඥයින් හා අධ්‍යාපනඥයින් විශේෂ අවධානයක්‌ යොමුකරඇති බව පෙනේ. මීට දෙදහස්‌ පන්සිය වසරකට පෙර ලොව පහළවූ බුදුරජාණන් වහන්සේද මේ පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කොට ඇත. බුද්ධ චරිතය, බුද්ධ දේශනා හා ශ්‍රාවක චරිත අධ්‍යයනය කරන විට ධනාත්මක චින්තනයේ ඵලය මැනවින් පිළිබිඹු වේ.

බුදුවීමට දස පෙරුම් දම් පිරූ බෝසතාණෝ ඒ මගින් ධනාත්මක ආකල්ප අනුව ක්‍රියාකළ සේක. උන්වහන්සේ පිරූ විර්ය පාරමිතාව සහ අධිෂ්ඨාන පාරමිතාව තුළින් ධනාත්මක චින්තනය කැපී පෙනේ. එමෙන්ම බුදුවූ ආත්මයේ ඉපදුණු විගස ප්‍රකාශ කළ 'අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස්‌ යනාදී උදාන වාක්‍යය, සත් පියුම් මත ගමන් කිරීම, සතර පෙර නිමිති දැක අධිෂ්ඨානශීලීව ගිහිගෙය අත්හැර පැවිදි වීම, සත්‍ය සොයා යාම, අවුරුදු සයක්‌ දුෂ්කර ක්‍රියා කරමින් කළ උත්සාහය ආදී අවස්‌ථා විශේෂිත අවස්‌ථාවන් වේ.

තම අරමුණු ඉටු කර ගැනීමේදී විවිධ බාධා සහ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවෙයි. එම බාධක හා දුෂ්කරතා ජය ගැනීමට තම නොසැලෙන චින්තනය වෙසෙසින්ම වැදගත් වෙයි. බෝ මුල වෙත පැමිණි බෝසතුන් බුදුවීම සඳහා ඇති කරගත් චතුරංග වීර්යය ධනාත්මක චින්තනයේ සුවිශේෂ අවස්‌ථාවකි.

1. සිරුරේ සම් ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

2. සිරුරේ නහර ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

3. සිරුරේ ඇට කටු ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

4. සිරුරේ මස්‌ ලේ විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

මෙලෙස ඇතිකරගත් අධිෂ්ටානය නිසා බුද්ධත්වය වැනි උත්තරීතර පදවියක්‌ ලබාගැනීමට උන්වහන්සේ සමත්වූ හ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීන්ගේ වැඳුම් පිදුම්වලට ලක්‌වූහ. අධිෂ්ඨානශීලී නොසැලෙන චින්තනයකින් ක්‍රියා කළ නිසා බුදු පදවිය හිමි කර ගැනීමට බෝ සතුන්ට හැකිවූවා සේ ඕනෑම පුද්ගලයකු නොසැලෙන සිතින් සිතකින් ක්‍රියා කරන්නේ නම් ලද නොහැකි ජයග්‍රහණයක්‌ නොමැත.

යම් ක්‍රියාවක්‌ ආරම්භ කිරීමේදී 'මට පුලුවන්, මම ප්‍රතිඵල ලබාගන්නවා, මම දිනනවා' යනාදී හැඟීමෙන් යුතුව ක්‍රියාකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එසේ නොවී යම් ක්‍රියාවක්‌ ආරම්භයේදී එහි ප්‍රතිඵල ගැන සැකයක්‌ ඇතිකරගෙන ක්‍රියා කරන්නේ නම් ඉන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත නොහැකි ය. 'නැහැ බැහැ' ආදී සෘණාත්මක ආකල්පයෙන් ක්‍රියා කරන්නාට ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකි ය. හැම දෙයක්‌ම අමාරු, අපහසු, නොහැකි දේ ලෙස සිතීම පරාජිතයාගේ ස්‌වරූපයයි. එසේ සිතන කිසිවකුට සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු විය නොහැකිය. ඇතැමුන් ජීවිතයේ දියුණුව දෛවයට භාර කරයි. 'මේ අපි ලබා උපන් හැටි, අපේ කරුමෙ තමයි, ලැබෙන දෙයක්‌ ලැබේවි' මෙසේ සිතා ක්‍රියා කරන්නා සමාජයේ පසුපසට යයි. දියුණුව ලබා සමාජයේ ඉදිරියට යැමට නොහැකිය. සමාජයේ දියුණුව කරා පිය නගනුයේ අලුත් දේ සිතන නිර්මාණශීලීව කටයුතු කරන පුද්ගලයන් පමණි.

'නාචින්තයන්තෝ පුරිසෝ විසේසි මධිගච්ඡති' 

යන බුද්ධ දේශනාව අනුව අලුත් දේ නොසිතන පුද්ගලයා දියුණුවට පත් නොවන බව සඳහන් වේ. අද කළ යුතු දේ දැන් මහන්සියි, දැන් බැහැ, දැන් සීතලයි, දැන් නිදිමතයි කියා පසුවට කල් දැමීම තම පරිහානියට බාධාවක්‌ පමණක්‌ නොව පසුතැවීමට පවා හේතු වෙයි. සෑම මිනිසකු තුළ ම නිර්මාණශීලී දක්‌ෂතා පවතී. ඒවා ඉස්‌මතු කරගත හැක්‌කේ උත්සාහය හා චිත්ත ශක්‌තිය මගිනි. සිතේ ඇතිවන අවිදු, පසුබට හැඟීම් නිසා බොහෝ පිරිස්‌ පරිහානිය කරාම යති.

පුද්ගල අපේක්‌ෂා සාර්ථක කර ගැනීම සඳහා පුද්ගල චර්යාව හා සිතුවිලි කෙසේ සකස්‌විය යුතුද යන්න බුදුරදුන් සූත්‍ර ධර්ම රැසකින් පෙන්වාදී ඇත. කරණීය මෙත්ත සූත්‍රය අනුව තමා පළමු 'අත්ථ කුසල' පුද්ගලයකු විය යුතුය. අත්ථ යනු අරමුණයි. කුසල යනු දක්‌ෂතාවයි. තම අරමුණ ඉටුකර ගැනීමට තමා දක්‌ක්‍ෂයකු වීම මෙහිදී අදහස්‌ කෙරෙයි. අරමුණු සාර්ථක කර ගැනීමේදී තමා විසින් ඇතිකරගත යුතු දක්‌ෂතා පහළොවක්‌ පිළිබඳ කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වෙයි. එම කරුණු පහළොව අතර 'සක්‌කෝ' යන පළමු ගුණය සුවිශේෂ වේ. පොතපත කියවීමෙන්, ලියවීමෙන් අසා හෝ බලාසිටීමෙන් නැත හොත් ප්‍රගුණ කොට පුරුදු පුහුණුq කරගන්නා විට දක්‌ෂතා පුද්ගලයාට ඇති කරගැනීම ඉතා වැදගත් වෙයි. අදක්‌ෂ පුද්ගලයාට සමාජයේ ඉදිරියට යැම නොහැකි ය. මෙලොව පරලොව දෙලොවම පරාජිතයෙක්‌ වෙයි.

කුසල් හෙවත් දක්‌ෂතා දියුණු කර ගැනීම දෙලොව හිත සුව පිණිසත්, අකුසලය අයහපත පිණිසත් හේතු වෙයි. අතීතයේ හෝ පෙර ආත්මයක පුරුදු පුහුණු කරගත් කුසල් ඇත්නම් මෙලොවදී හෝ පරලොවදී තම හිතසුව පිණිසත් අකුසලය අහිත පිණිසත් පැවැතීම ලෝක ස්‌වභාවයකි. එනිසා පුද්ගලයා පරිත්‍යාගය, මෛත්‍රිය, කරුණාව, ප්‍රඥව යන කුසල සිතුවිලි උපදවාගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය. බුදුදහම පුද්ගලයාගේ දියුණුවට මඟ පෙන්වා ඇති දහමකි. ඒ තුළ කිසිදු බල කිරීමක්‌ නොකෙරේ. බුදුරදුන් දිනක්‌ බමුණකු අමතා, 'බමුණ, ඔබ කැමැති නම් ඉදිරියට යන්න, අකමැති නම් ඉදිරියට නොඑන්න' යනුවෙන් දේශනාකොට ඇත. ඉන් පැහැදිලි වන්නේ සිතා මතා බුද්ධියෙන් තීරණ ගැනීමට බුදුදහම පුද්ගලයාට නිදහස දී ඇති අයුරුයි. බමුණා අමතා බුදුරදුන් එහිදී පැහැදිලි කරදෙන ලද්දේ දියුණුව කරා පියනැගීමට නම් පුද්ගල චිත්ත ශක්‌තිය, බුද්ධිය හා උත්සාහය අවශ්‍ය ම බවයි. යම් ක්‍රියාවක්‌ කිරීමේදී,

1. ආරම්භ ධාතු (යමක්‌ ආරම්භකිරීමට)

2. නික්‌ඛම ධාතු (ඉදිරියට කරගෙන යාමට)

3. පරක්‌කම ධාතු (බාධා මැඩගෙන යාමට)

4. ථාම ධාතු (බලවත් වීර්යයෙන් කිරීමට)

5. ඨිති ධාතු (ස්‌ථාවරව සිටීමට)

6. උපක්‌ඛම ධාතු (උපක්‍රමශීලී වීමට)

උත්සාහය තිබිය යුතු ය. එසේ නොවුව හොත් ක්‍රියාවක්‌ ඉදිරියට කරගෙන යැමට හෝ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකිය. තම ශක්‌තිය හා හැකියාව පිළිබඳ සැකයෙන් තොරව විශ්වාසවන්ත බව ඇතිකර ගත යුතුය. තම හැකියාව තමා විසින්ම පිළිගෙන ආත්ම විශ්වාසයෙන් ක්‍රියාකිරීමෙන් පමණක්‌ ම සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකිය. කුසීතකමින්, පසුබැසීමෙන් ක්‍රියා කිරීමේ සෘණ මනෝභාවය දුරු කළ කල්හි තමා පිළිබඳ තමාට විශ්වාසය ගොඩනගාගත හැකිය. අලස මානසික බවින් යුතු පුද්ගලයන්ට සමාජය තුළ දියුණුව සලසාගත නොහැකිය.

තමන් යම් ක්‍රියාවක්‌ සාර්ථක ප්‍රතිඵල ලැබීමේ අරමුණින් කරගෙන යන කල්හි ඊට බාධා ඇතිවිය හැකිය. බාධා ඇතිවූ පමණින් උත්සාහය බිඳදමාගත යුතු නොවේ. විකල්ප ක්‍රම තුළින් තම ජයග්‍රහණයේ දොරටු විවර කර ගත යුතුය. ඇතැමුන් තමන්ට ඇති ශක්‌තිය හඳුනාගෙන නැත. වෙනත් අයකු දෙන උපදෙස්‌ හෝ පිළිගෙන උනන්දුවඇතිකර නොගනියි. එබඳු තැනැත්තාට දියුණුවිය නොහැකිය. සෑම ජයග්‍රහණයකටම මාවතක්‌ ඇත. ඒ මාවත තම බුද්ධියෙන් සොයාගත යුතුය. එහෙත් අනුන් දෙන උපදෙස්‌ තමන්ට ගැළපේදැයි සිතා බැලීම කළ යුතුය. උගතුන්, බුද්ධිමතුන්, ලේඛකයන් ඔවුන්ගේ ජීවිත ශ්‍රේෂ්ඨ බවට පත් කරගෙන ඇත්තේ ස්‌වකීය ශක්‌තිය හඳුනාගෙන ක්‍රියා කිරීමෙනි. ඒ බව ඔවුන්ගේ චරිත අධ්‍යයනයෙන් පැහැදිලි වෙයි.

එදා බුදුරදුන් ස්‌වකීය බුද්ධිය යොදවා ක්‍රියා කිරීමෙන් තිලොවටම ශේ්‍රෂ්ඨ නායකයකු බවට පත් විය. එම පිළිවෙත අනුගමනය කළ ගිහි - පැවිදි දෙපිරිසද ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්ව දෙලොව දියුණුව සලසාගන්න. එම නිසා අප ආගමික ඉගැන්වීම මෙන්ම ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ ග්‍රන්ථ කියවීම, උගතුන්ගේ අදහස්‌ උදහස්‌ පිළිගෙන ක්‍රියා කිරීම, ඇහුම්කන්දීම, අධ්‍යයනය කිරීම, නිරීක්‌ෂණ හා පරීක්‌ෂණ කිරීම කළ යුතුය. එසේ කිරීමෙන් සෘණාත්මක චින්තනයෙන් මිදී ධනාත්මක චින්තනයක්‌ තුළින් සෑම ක්‍රියාවකම ජයග්‍රහණය උදාකරගත හැකිය.

ශාස්‌ත්‍රපති පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංස හිමි

ආයතන පිරිසිඳ දැක සසරින් මිදෙන මග


නිවන් දකින්න උපකාර පිණිස බුදුරජාණන්වහන්සෙ අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් කමටහනක්‌ පෙන්නනව. ආධ්‍යාත්මික, බාහිර ආයතන ධර්මානුකූලව නුවණින් බලමින් වාසය කරන්න කියල. කොහොම ද ආධ්‍යාත්මික බාහිර ආයතන ධර්මානුකූලවබලමින් වාසය කරන්නෙ?

චක්‌ඛුඤ්ච පජානාති, ඇහැ දැනගන්න, රූපෙච පජානාති, රූපය දැනගන්න. මේ දෙදෙනා නිසා යම් සංයෝජනයක්‌ උපදිනව නම් ඒකත් දැනගන්න. නූපන් සංයෝජනය උපදින හැටිත්, උපන් සංයෝජනය දුරු කරන හැටිත්, නූපන් සංයෝජනය නූපදවන හැටිත් දැනගන්න.

මෙතන දි මම එක ආයතනයක්‌ දීර්ඝ වශයෙන් විස්‌තර කරන්නම්. ඒ අනුසාරයෙන් ඉතුරු ආයතන ටික ඔක්‌කොම දැනගන්න. චක්‌ඛුඤ්ච පජානාති කියපු න්‍යාය මයි. අර්ථය ඒ සමාන මයි.

පජානාති කියන්නෙ නුවණින් දැනගන්න ඕන කියන එක. කොහොම ද අපි ඇහැ දැනගන්න ඕන? අපි දන්නා වූ, අපි දක්‌නා වූ, අපි හිතාගෙන ඉන්න විදියට නෙමෙයි. බුදුරජාණන්වහන්සෙ දේශනා කරනවා ඇහේ නියම ස්‌වභාවය. අන්න ඒ විදියට යම් කිසි කෙනෙක්‌ දන්නව නම් තමයි චක්‌ඛුඤ්ච පජානාති කියන්නෙ. ඇත්ත ඇති හැටියෙන් දැක්‌කමයි අපට බොරුව අහු වෙන්නෙ. මේක තමයි සංයෝජනය කියල අහුවෙන්නෙ එතකොටයි.

ඇහැ කියන්නෙ සතර මහා ධාතූන් නිසා හටගත්ත උපාදාය වූ රූපයක්‌. ඒක ආධ්‍යාත්මිකයි. අනිදස්‌සනං, කවදා වත් දකින්න බැරි එකක්‌. අතීතයෙ දි අපිට අපේ ඇහැ පෙනිලත් නැහැ. දැන් ද ඇහැ පෙනෙන්නෙ නැහැ. ඇහෙන් හැම දෙයක්‌ ම බලන්න පුළුවන් වුණාට ඇහැට ඇහැ බලන්න පුළුවන් ද? බැහැ. එතකොට හොඳට තේරුම් කරගන්න ඕන ඇහැ කියන එක කවදා වත් ම දැකල නැති බව.

ඊට පස්‌සෙ ඇහැ කියන එක පෙර නො තිබී ම හටගෙන ඉතුරු නැතු ව ම නැති වෙන එකක්‌. ඇහැ කියන එකේ ලක්‌ෂණ තමයි, ආධ්‍යාත්මිකයි, ඒ කියන්නෙ තමා තුළ පවතින එකක්‌. දකින්න බැරි එකක්‌. ගැටෙන එකක්‌, පෙර නො තිබී ම හටගන්න එකක්‌. ඉතුරු නැතු ව ම නැති වෙන එකක්‌. අවිද්‍යාවෙන් හටග්න්න, කර්මයෙන් හටගන්න, තණ්‌හාවෙන් හටගන්න, ආහාරයෙන් හටගන්න එකක්‌ කියල බුදුරජාණන්වහන්සෙ පෙන්නුව.

ඊට පස්‌සෙ රූපෙච පජානාති, බාහිර රූපය නුවණින් දකින්න. බාහිර රූපය කියන කොට සතර මහා ධාතූන් ගේ උපාදාය රූපයක්‌ වූ, සනිදස්‌සනං, දකින්න පුළුවන්. නිල් කහ රතු කොළ වගේ නොයෙක්‌ වර්ණ පෙනෙන බව උදාහරණයක්‌. ඒ රූපයෙ ස්‌වභාවයත් පෙර නො තිබී ම හටගන්නව, ඉතුරු නැතු ව ම නැති වෙනව. ඒ රූපය බාහිරයි. එය ද අවිද්‍යා, කර්ම, ආහාර කියන ප්‍රත්‍යයන් ගෙන් හටගත් එකක්‌ කියල උන්වහන්සෙ පෙන්නුව.

දැන් එතන දි පොඩි ධර්මතාවක්‌ තියෙනව බලන්න. මේ රූපය කියන එක වර්ණ සටහනක්‌. වර්ණ රූපයක්‌. රූපංච පජානාති කියනකොට රූපය වර්ණ සටහනක්‌ කියල තේරුම් ගන්න ඕන.

මෙන්න මේ ඇහැයි රූපයයි දෙදෙනා තේරුම් ගත්තහම පුළුවන් ඒ දෙදෙනා නිසා උපන්න සංයෝජනය හඳුනගන්න. ඇහැට පෙනෙන්නෙ අර කියපු විදියේ රූපයක්‌ විතර මයි. මෙතන දි රූපය කියනකොට බිත්තියක ඇඳපු මහ විශාල චිත්‍රයක්‌ වගේ. චිත්‍රයක්‌ කියන්නෙ වර්ණ සටහනක්‌. දැන් ඔය චිත්‍රය ඇතුළෙ නොයෙක්‌ නොයෙක්‌ බඩුමුට්‌ටු තියෙන්න පුළුවන් ද? ගෙවල් දොරවල්, ළිං, කළ, මුට්‌ටි, මිනිස්‌සු තියෙන්න, ඉන්න පුළුවන් ද? චිත්‍රයක්‌ ඇතුළෙ ඉන්න පුළුවන් ද බැරි ද? ඉන්න බැහැ. චිත්‍රෙ නම් චිත්‍රෙ ම නෙ?

ඔන්න බලන්න බුදුරජාණන්වහන්සෙ පෙන්නනව, මේ ලෝකෙ චිත්‍ර මිස කාමය නෙමෙයි. සංකප්ප රාගො පුරිසස්‌ස කාමො, කාමය කියල කියන්නෙ පුද්ගලය ගෙ සංකල්පනාව. සංකල්ප වශයෙන් උපදින රාගයයි කාමය. දැන් විශාල චිත්‍රයක්‌ තියෙනව නම් මේ චිත්‍රය දිහා බලාගෙන අන්න ගහක්‌, අන්න මනුස්‌සයෙක්‌ කියල අපිට හිතන්න බැරි ද? පුළුවන්. මනුස්‌සයෙක්‌ ගහක්‌ කියල හිතුවට එතන චිත්‍රයට මොකද වුණේ? චිත්‍රය චිත්‍රය මයි. චිත්‍රයට ගහක්‌ හෝ මනුස්‌යෙක්‌ ඉන්නව ද? නැහැ. චිත්‍රය ගහක්‌ හෝ මනුස්‌සයෙක්‌ හෝ කරන්නෙ කවුද? අපි. කාමය කියන්නෙ සංකප්ප රාග වශයෙන් උපදවගන්න එකක්‌.

අපි හිතමු මේ මොහොතෙ දි අපිට මේ පෙනෙන දේ මේ විදියට ම ඡායාරූපයකට න`ගල එල්ලුවොත්, ඔය ඡායාරූපයෙ සත්ත්වයො හෝ පුද්ගලයො හෝ ඉන්න පුළුවන් ද? බැහැ. එහෙනම් මේ දැනුත් ඇහැට පෙනෙන්නෙත් ෆොටෝ එකක්‌. මේ ෆොටෝ එකේ ඇතුළ ඇත්ත වෙලා, සත්ත්වයෝ පුද්ගලයෝ මේ ෆොටෝ එකේ ඉන්නව කියල අපිට දැනෙන මට්‌ටමට තමයි සංයෝජන කියන්නෙ. කාම රාග සංයෝජන.

අර බිත්තියෙ ඇඳපු චිත්‍රය ඇතුළෙ මිනිස්‌සු ගෙවල් දකින්න පුළුවන් නෙ. ඒ විදිය මයි මේ ඇත්තයි කියල අපි හිතාගෙන ඉන්න ''චිත්‍රය'' ඇතුළෙත් අපි මනුස්‌සයො දකිනව, ගෙවල් දකිනව. මේ ඇත්තයි කියල අපි හිතාගෙන ඉන්න වෙලාවෙ දිත්, අර වෙලාවෙ දිත් සිද්ධිය එක මයි. එතකොට රූපෙච පජානාති කියනකොට හොඳට දැනගන්න ඕන ඇහැට පෙනෙන්නෙ වර්ණ සටහනක්‌ විතරමයි. ඒ වර්ණ සටහන පෙනෙන කොට මේ මනුස්‌සයෙක්‌, මේ ගහක්‌, මේ ගෙයක්‌ කියල ඒ ඒ හැඩ සටහන් හිතෙන් සිහි කරල, මිල කරල, බඩු භාණ්‌ඩ හදල තියෙන්නෙ අපි. චිත්‍රෙ ඇතුළෙ නොයෙක්‌ බඩු භාණ්‌ඩ හදල තියෙන්නෙ අපි නෙමෙයි ද? අපි තමයි. චිත්‍රෙ චිත්‍රෙ මයි. ඒ වගේ මේ දැනුත් චිත්‍රෙ වගේ කියල හඳුනගන්න. 

කැමරාවක්‌ අරගෙන මේ වෙලාවෙ පෙනෙන දේ මේ විදියට ම ඡායාරූපයට න`ගන්න බැරි ද? පුළුවන්. දැන් ඇහැට පෙනෙන මට්‌ටමයි කැමරා කාචයට අහු වුණේ. එහෙනම් ඇහැට පෙනෙන්නෙත් ෆොටෝ එකක්‌ විතර මයි. ෆොටෝ එක ඇතුළෙ පුද්ගලයො, සත්ත්වයො ඉන්නව කියන හැ`ගීමක්‌ ඇති වෙනව නම් ඇති වෙල තියෙනව නම් ඇහෙන් බලන කොට සත්ත්තවයො පුද්ගලයො ඉන්නව කියල හැ`ගීමක්‌ ඇති වෙනව නම් ඇති වෙලා තියෙනව නම් අන්න ඒක දැනගන්න, මොකක්‌ කියල ද? කාම රාග සංයෝජනය. 

බුදුරජාණන්වහන්සෙ පෙන්නුව ඇහැ කවදාවත් දකින්න බැහැ. ඒ වගේ ම ඒක තමා තුළ වූවක්‌. ඒ වගේ ම පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතු ව නැති වෙනව කියල. ඇහේ ඇත්ත එහෙම පෙන්නුව ම අපිට තේරෙන්න ඕන ඇහැ බලන්න පුළුවන් කියල අපිට හිතෙන මට්‌ටමක්‌ තියෙනව නම් මෙන්න මේක තමයි සංයෝජනය කියල. ඉඳගන්න, හිටගන්න, නිදාගන්න, ඇවිදින හතර ඉරියව්වෙ දි ම ඇහැක්‌ තියෙනවා කියල දැනෙන මට්‌ටම තමයි සංයෝජනය.

ඇහැ පෙර නො තිබී ම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්‌ වුණත්, ඇති බවට වැටහෙන එක තමයි කෙලේසය. අපේ ඇහැ බාහිරින් දකින්න පුළුවන් කියල හිතෙනව නෙ කණ්‌ණාඩියෙන් බලනකොට. එහෙම නැත්නම් ෆොටෝ එකකින් අපේ ඇහැ දකින්න පුළුවන් කියල හිතෙනව නේ. ඒ දකින්න පුළුවන් කියල හිතෙන ටික තමයි කෙලේසය. මෙන්න මේ විදියට ඇහැ ගැන තේරුම් කරගන්න ඕන.

අයොනිසො මනසිකාරය නිසා මේ සංයෝජන ඇති වෙනව. යොනිසො මනසිකාරය පැවැත්වීමෙන් සංයෝජන නැති කරන්න පුළුවන්. මේ විදියට ඇහෙන් පෙනෙන දේ වගේ ම කනට ඇහෙන දේත් සොතංච පජානාති, සද්දෙච පජානාති. සද්දයක්‌ ඇහුණොත් ඒකත් චිත්‍රයක්‌ වගේ. මේ ගිරවෙක්‌ ගෙ සද්දෙ, කපුටෙක්‌ ගෙ සද්දෙ, බල්ලෙක්‌ ගෙ සද්දෙ කියල ශබ්දය එක එක දේවලට හදන්නෙ අපි හිතෙන්. එතකොට තමයි සද්දෙ කාම වෙන්නෙ.

අපි නිකමට කියමු අපිට මොනව හරි සද්දයක්‌ ඇහෙනව. අපේ භාෂාව නො තේරෙන අන් භාෂාවක කෙනකුටත් ඒ සද්දය ඇහුණොත්? සද්දය අහෙන මට්‌ටම, සොත විඤ්ඤාණය විඤ්ඤෙයය වෙන මට්‌ටම දෙන්නට ම එකයි. ඒත් අසවලා මෙහෙම කිව්ව කියල මැවෙන්න දෙයක්‌ එයාට නැහැ. මේ සද්දය අරභයා අපි හදාගත් දේවල් තමා බල්ල ගෙ සද්දෙ, කපුට ගෙ සද්දෙ, ගිරව ගෙ සද්දෙ කියන එක. සද්දය "කෙනෙක්‌ ගෙ" කියල දැනුණොත් හොඳට දැනගන්න ඒ ශබ්දය අරභයා ඇති වූ සංයෝජනයයි.

ඒ වගේ ගන්ධය (නාසය), රසය (දිව), ස්‌පර්ශය (කය), ධර්මාරම්මණ (මනස) ඇතුළු ආයතන හය ම එහෙමයි. මෙන්න මේ විදියට ආයතන ටික ගැනත් දන්නව, ඒ නිසා ඇති වන සංයෝජන ගැනත් දන්නව. එතකොට සත්ත්ව නො වූ පුද්ගල නො වූ ආයතන ටික පමණක්‌ ඉතුරු වෙනව. මේ ආයතන හය ඇසුරු කරගෙන තමන් තුළ ඇති කරගත්තු සංයෝජන මාත්‍රයක්‌ විතරයි සත්ත්ව පුද්ගල ආත්ම කියන හැ`ගීම කියල ආයතන ටික වෙන ම පැත්තකටත් සත්ත්ව පුද්ගල ආත්ම ස්‌වභාවය වෙන ම පැත්තකටත් එනව.

මෙන්න මේ විදියට තමන් තුළත් අනුන් තුළත් ආයතන ටිකේ ආයතන ලක්‌ෂණ හොඳට දැනගන්නව. ආයතන කෙනෙක්‌ ගෙ ය, ආයතන කෙනෙක්‌ ය කියන හැ`ගීම මනස පිළිබඳ වූවක්‌. ඒක සංයෝජනයක්‌ කියල ඒ ධර්මතා ටික වෙන ම දකිනව. මේ විදියට ආයතන ටිකයි සංයෝජන ටිකයි වෙන වෙන ම දැක්‌කහම මේ ආයතන කිසිවක්‌ සත්ත්වයෙක්‌ හෝ පුද්ගලයෙක්‌ කියල ගන්නෙ නැහැ. ඇහැ මගේ රූපෙ මගේ කියල ගන්නෙ නැහැ. ඇහැ වෙනමත් මගේ කියන හැ`ගීම වෙනමත් තේරෙනව. ආයතන ටික වෙන ම දැක්‌කහම සංයෝජන වෙන ම දැක්‌කහම ඒ ස්‌කන්ධ ටිකත් කෙලෙස්‌ ටිකත් වෙන් වෙන් කරල තේරෙනව. එතතකොට කෙලෙසුන් ගෙන්, සංයෝජනයන් ගෙන්, හැ`ගීම්වලින් මේ ආයතන ටික පරාමර්ශනය කරන්නෙ නැහැ. ආයතනයන් ගේ ආයතන ලක්‌ෂණ පමණක්‌ ඉතුරු වෙලා සත්ත්ව පුද්ගල හැ`ගීම මනෝ විඤ්ඤාණ සම්පස්‌සයෙන් උපදින හැ`ගීම් මාත්‍රයක්‌ ය කියන නුවණ ඇති වුණහ ම මේ ධර්මතා දෙක වෙන් වෙනව.

ඔන්න ඔය මට්‌ටමට එනකොට තමන් ගෙ හිතට ලොකු ප්‍රීතියක්‌ ලොකු ප්‍රමෝදයක්‌ ඇති වෙනව. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා ම හිත කය දෙක සංසිඳිල, සැප සහගත වෙල, හිත සමාධිගත වෙලා, ඇත්ත දැකල කලකිරිලා, කෙලෙසුන් ගෙන් ආස්‍රවයන් ගෙන් මිදෙනව.

මෙන්න මේ විදියට ආයතනයන් පිරිසිඳ දැකලත් මේ සසරින් මිදෙන්න හැකි බව බුදුරජාණන්වහන්සේ දේශනා කළා. 

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
පූජ්‍ය මාන්දන්කඩවල සුදස්‌සන හිමියන්ගේ ධර්ම දේශනයක්‌ ඇසුරිණි.

ස්‌ථූප පිරිසිදු කිරීමෙන් ප්‍රිය දේ ඔබ වෙත ළංවේ


අල්ප පූජාවක්‌ කළ පුද්ගලයකුට වුවද, ගෞරවය පමණක්‌ කළ පුද්ගලයකුට වුවද, සිත පහදා ගැනීම පමණක්‌ කළ කෙනෙකුට වුවද එයින් මහත් අනුසසක්‌ දෙන, මෙසේය කියා සිතාගත නො හැකි පුදුම බලයක්‌ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තේය. බුදුරජාණන් වහන්සේට සැදැහැයෙන් වැඳුම් පිඳුම් කිරීමෙන් මෙලොවදීම බොහෝ අනුසස්‌ ලැබිය හැකි ය. මෙලොවදී බලාපොරොත්තුවන සෑම දෙයම වැඳීමෙන්ම ලබා ගත හැකිය කියා ද නොසිතියයුතු ය. මෙලොවදීම ඒ ඒ අනුසස්‌ ලැබීමට බලාපොරොත්තුවන පුද්ගලයන් විසින් ඒ ඒ අනුසස්‌ ලැබීමට හේතුවන බුදුගුණයන් මෙනෙහි කර බුදුරදුන්ට බැතියෙන් වැඳීම් කළ යුතුය.

මුදල් ඇති කෙනෙකුට මුදලින් තමා කැමැති දේ ලබා ගත හැකිවාක්‌ මෙන් පින් ඇති තැනැත්තාට ඒ පිනෙන් තමා ප්‍රාර්ථනා කළ විට තමන් කැමැති සුගතියකට යා හැකි ය. අලුත් දාගැබක්‌, ප්‍රතිමා මන්දිරයක්‌, ධර්ම ශාලාවක්‌, සංඝාවාසයක්‌ ඉදිකිරීම බොහෝ පින් සිදුවන කාර්යයකි. එහෙත් එය බොහෝ වෙහෙස විය යුත,= විය පැහැදම් කළ යුතු දෙයකි. දැනට ඉදිකොට ඇති එවැනි සිද්ධස්‌ථාන විනාශ වන්නට ඉඩ නොදී ආරක්‍ෂා කිරීම සියලුම බෞද්ධයන්ගේ යුතුකමකි. එබැවින් වන්දනාවට යන බෞද්ධයන් එම පූජනීය ස්‌ථාන ආරක්‍ෂා කිරීමට හා විහාරාංග ප්‍රතිසංස්‌කරණයට දායක වියයුතුය. උත්සාහ වන්ත විය යුතුය. එය මහත් අනුසස්‌ ලැබෙන පුණ්‍යකර්මයකි.

ගෞතම බුද්ධ රාජ්‍යයේ ප්‍රථම චෛත්‍ය නිර්මාණය තපස්‌සු - භල්ලුක වෙළෙඳ සොහොයුරන් දෙදෙනා විසින් ඉදිකරන ලද චෛත්‍යයි. බුදුබව ලැබීමෙන් සත්වන සතියේ කිරිපලු ගසක්‌ යට සමවත් සුවයෙන් වැඩ වාසය කරන කල්හී වෙළෙඳ සොහොයුරන් දෙදෙනා බුදුන් වහන්සේට විළඳ හා මී පිඬු පිළිගැන්වූහ. දන් වළඳා අවසානයේ ඔවුන් දෙදෙනාට ධර්මය දේශනා කළ සේක. අවසානයේ පුදන්නට යමක්‌ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ විට කේෂධාතුන් දුන් බවට සඳහන් වේ. එම කේෂධාතුන් තැන්පත් කොට ඔවුන් චෛත්‍යයක්‌ ඉදිකළේය.

දීර්ඝායුෂක බුදුවරයන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් නොවිසිරී රන් කඳක්‌ සේ එකට පිහිටයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ "මම නොබෝ කලකින් පිරිනිවෙන්නෙමි. මාගේ සස්‌න තවම සැම තැන නොපතළේය. ඒ නිසා මගේ ශාරීරික ධාතුන් ගෙන පිහිටවා තම තමන්ගේ පෙදෙස්‌වල චෛත්‍ය කරවා වැඳ පුදා බොහෝ ජනයා ස්‌වර්ගපරායන වන්නාහයි" 'ධාතු විසිරී සිටිත්වායි' අධිෂ්ඨාන කළ සේක. එයින් උන්වහන්සේගේ ධාතුන් එකට නොසිට කුඩා කුඩා කැබලි වී සිටියහ. සතර දළදාව, අකු ධාතුන් දෙනම, ලලාට ධාතුව යන මේ ධාතුන් විසිර නොසිටි බව සඳහන් වේ. විසිරී ගිය ධාතුන් අබ ඇට පමණක්‌ වූහ. මධ්‍යම ධාතුන් මැදින් කැඩුනු සහල් ඇටයක්‌ පමණ වූහ. මහා ධාතුන් මුං පියලි පමණ ප්‍රමාණ වූහ.

බුද්ධවංශ පාලියේ සඳහන් ආකාරයට මහා ධාතුන් වහන්සේ රන් පැහැයෙන් ද මධ්‍යම ධාතුන් වහන්සේ මුතු පැහැයෙන් ද, කුඩා ධාතුන් වහන්සේ සමන් කැකුළු පැහැයෙන් ද වන්නාහ.

මිහිඳු නම් මහ රහතන් වහන්සේ තමන් වෙත වැඩ සිටි දළදා වහන්සේ නමක්‌ පිහිටුවා සෝමාවතී චෛත්‍ය කරවු බව සඳහන් ය. දකුණු අකු ධාතුන් වහන්සේ සක්‌දෙව් රජ වෙත තිබී මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් ලක්‌දිවට වැඩමවා ථූපාරාමයේ පිහිට වූ බවත් ලලාට ධාතුන් වහන්සේ කාවන්තිස්‌ස රජ සමයේ සේරුවාවිල චෛත්‍යයේ තැන්පත් කළ බවත් සඳහන් ය. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් තැන්පත් කර සුමන දෙව් රජ මහියංගනයේ මියුගුණ සෑය කරවූ බවත් දුටුගැමුණු රජතුමා කරවූ රුවන්මැලි මහ සෑයේ ලෝකයේ වැඩිම සර්වඥධාතුන් වහන්සේලා ප්‍රමාණයක්‌ වැඩ සිටින බවත් සඳහන් ය. බුදුන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේ නමක්‌ දීඝවාපි චෛත්‍යයේ ද ඌර්ණ රෝම ධාතුව මිහින්තලා පර්වතයේ ශේල චෛත්‍යයේ ද වැඩ සිටින බව ප්‍රකටය. අබැටක්‌ පමණ වූ සර්වඥධාතුන් වහන්සේ නමක්‌ වුවද යම්කිසි තැනක වැඩ සිටින්නේ නම් එතැන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානය. සර්වඥ ධාතුන් වහන්සේ පිහිටුවා කළ ස්‌ථූප වඩාත් පූජනීය වේ. ඒවා රැක ගැනීමට අප අප්‍රමාදව කටයුතු කළ යුතුය.

සිද්ධාර්ථ නම් බුදුන් වහන්සේගේ ධාතුන් තැන්පත් කළ චෛත්‍යයේ පැලී තිබු තැනක්‌ බදාම ලා සංස්‌කරණය කළ සැදැහැවතෙක්‌ ඒ පිනෙන් සිවුඅනූ කපක්‌ දෙව් මිනිස්‌ සැප විඳ අප ගෞතම බුදුරාජණන් වහන්සේගේ සසුනෙහි පැවැදිව කෙලෙසුන් නසා රහත් ඵලයට පැමිණ සංසාරය කෙළෙවර කළේය. බදාම පිඩක්‌ ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ 'සුධාපිණ්‌ඩිය' යන නමින්ම හඳුන්වන ලදී. තවද ඵුස්‌ස බුදුරදුන්ගේ ධාතුන් තැන්පත් කළ චෛත්‍යයක්‌ මහ වනයෙහි ඇතුන් විසින් පළුදු කරන ලදුව ගස්‌ වැවී ජරපත්ව තිබිණි. එක්‌ සැදැහැවතෙක්‌ ඒ චෛත්‍යයෙහි කැඩුනුq බිදුණු තැන් ප්‍රතිසංස්‌කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා අනූ කපක්‌ මුළුල්ලෙහි අපමණ දෙව් මිනිස්‌ සැප විඳ අප බුදුන් සමයේ පැවිදිව රහත්ව දුක්‌ කෙළවර කළේය.

බුදුරදුන් කල විසු මහ රහතන් වහන්සේ නමක්‌ වන පහ¥කර තෙරුන් වහන්සේ අතීතයේ එක්‌ කපෙක මිනිස්‌ ලොව ඉපිද වනයට ගොස්‌ දර කපා ගෙන එන වන කාර්මිකයකුව සිටියේය. දිනක්‌ ඔහු වනයට පිවිස සැරිසරන විට කිසිවෙකුට ළංවිය නොහැකි තරමට වනයෙන් වැසීගිය චෛත්‍යයක්‌ දුටුවේය. එය පදුමුත්තර බුදුරජුන් උදෙසා ගොඩනංවන ලද චෛත්‍යයකි. එය දැක ඒ වන කාර්මිකයා චෛත්‍යය කෙරෙහි බැති සිත් ඇතිව 'බුදුගුණ දන්නා මා හට මේ චෛත්‍යය එළි පෙහෙලි නොකොට අන් කටයුත්තක්‌ කිරීම නුසුදුසුය" යෑයි සිතා තමා කරනට ගිය කාර්යය නවතා, අකුල් කපා, ගස්‌වැල් කපා ඉවත් කොට, සෑය අවට මළුව පිරිසිදු කොට අට කොනක සිට චෛත්‍යය වැඳ නික්‌ම ගියේය. ඔහු ඒ පිනෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන්නේය. ඔහුට එහි සැට යොදුන් උස, තිස්‌ යොදුන් පළල රන් විමනක්‌ පහළ විය. කල්ප ලක්‍ෂයක්‌ ඒ පිනෙන් දෙව් මිනිස්‌ දෙගතියෙහි අනේකාකාරයෙන් සැප විඳ අන්තිම වර මිනිස්‌ ලොව ඉපිද ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත් විය. පහ¥කර යනු ඒ රහතන් වහන්සේ නමයි. 

උන්වහන්සේ විසින් චෛත්‍ය පිරිසිදු කිරීමෙන් අතීතයේ ලත් ඵල මෙසේ විස්‌තර කොට තිබේ.

කුට්‌ඨං ගණ්‌ඩො කිලාසොච අපමාරො විතච්äකා

දද්දු කච්ඡූ ච මෙ නත්ථි සොධනාය ඉදං ඵලං

නාභිජානාමි මෙ කායෙ ජාතං පිළක බින්දුකං

ද්වේ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ

සුවණ්‌ණවණ්‌ණො සබ්බත්ථ සප්පහාසො භවාමහං

අමනාපං විවඡ්ජති මනාපං උපතිට්‌ඨති

විසුද්ධං හොති මේ චිත්තං ඒකග්ගං සුසමාහිතං

ඒකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං

(පහ¥කරත්ථෙරාපදානයෙනි)

කුෂ්ඨ, ගඩු, සුදු කබර, අපස්‌මාර, අතුල් පතුල් පැලීම් ආදී රෝගද, දද, ඇඟ කැසීමේ රෝගද මට නැත. මේ චෛත්‍ය එළිකිරීමේ ඵලයයි. බුද්ධ ස්‌ථූපය පිරිසිදු කිරීමේ තවත් මාගේ ආශ්චර්යයක්‌ නම් මගේ කයෙහි තල කැලල් හටගත් බවක්‌ නොදනිමි. බුද්ධ ස්‌ථූප පිරිසිදු කිරීමෙන් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහිම සැරිසැරුවෙමි. මම සෑම භවයකදීම ප්‍රභාවත් ශරීරයක්‌ ඇතිව රන්වන් පැහැයෙන් බැබළුනෙමි. බුද්ධ ස්‌ථූප පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක්‌ නම් අප්‍රිය දැ මා කෙරෙන් බැහැර වෙයි. ප්‍රිය මනාප දැ මා කරා එළඹෙයි. තවද මාගේ සිත පිරිසිදු වෙයි. සිත එකඟ වෙයි. මැනවින් සන්සිඳුනේ වෙයි. බුද්ධ ස්‌ථූප පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක්‌ නම් මම ඒකාශනයෙහි හිඳ අර්හත්භාවයට පැමිණියෙමි හෙවත් භාවනාවට හිඳගත් පළමුවන වාරයේදීම සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පැමිණියෙමි යනුයි.

(පොත පත ඇසුරිණි.)

හර්ෂණ අමරසිංහ

කුසලයට බාධා කිරීමේ විපාක

ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක්‌ නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක්‌ නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.

ධාතු විවණ්‌ණක ප්‍රේත වස්‌තුව


පෙර රජගහ නුවර ධන ධාන්‍යාදියෙන් සමෘද්ධිමත් වූ ධනපතියෙක්‌ විය. හෙතෙම රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයක්‌ නැති කුසලයෙහි අගය නොදන්නා අධර්මිෂ්ඨයෙකි. එනුවර තථාගතයන් වහන්සේගේ ධාතු නිදන්කොට මහා චෛත්‍යයක්‌ ඉදි කරන ලදී. එම චෛත්‍ය පූජාව සඳහා සිය දහස්‌ ගණනින් ජනයා සැදැහැ සිතින් රැස්‌වූහ. එම ධනපතියාගේ බිරිඳ, දියණිය සහ ලේලියද මල් සහ සුවඳ විලවුන් රැගෙන සැදහැ සිතින් චෛත්‍ය පූජාවට යාමට සැරසුණත් ඔහු විසින් එය වළක්‌වන ලදී. චෛත්‍ය පූජාවට ගරහා අපවාද කොට අන්‍යයන්ද කුසලයෙන් වැළැක්‌වීය. මෙසේ හෙතෙම, තමනුත් කුසලයෙන් පිරිහෙමින් අන්‍යයන්ගේ කුසලයටද බාධා කිරීමෙන් හා සත් ක්‍රියාවන්ට පරිභව කිරීමෙන් මහත් අකුසලයක්‌ රැස්‌ කර ගත්තේය.


එහෙයින් හෙතෙම මරණින් මතු එම අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලොව ඉපිද මහත් දුකට පත්විය. එම ප්‍රේතයාගේ කයින් දුඟඳ හමයි. කුණු ගඳ හමන මුහුණ නිරතුරු පණුවෝ කති. අකුසල කර්ම බලයෙන්ම නිර්මිත වූ සත්වයෝ තියුණු ආයුධ ගෙන ඔහුගේ මුඛය නැවත නැවත කපති. නැවත ඒ මත ලුණු දියර ඉසිමින් නැවතද කපති. මෙසේ නිරා දුක්‌ හා සමාන වූ මහ දුක්‌ විඳින මේ ප්‍රේතයා දැක කරුණු විමසූ එක්‌ තෙර නමකට තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්මය හෙළි කළේය. තවද දිව්‍යමය වූ වස්‌ත්‍රාභරණයෙන් සැරසී දිව මල් පැළඳ හාත්පස සුගන්ධය පතුරුවමින් ආකාශයේ සැරිසරන, පිරිවර සහිත වූ සුරූපී දෙවඟනන් තිදෙනෙකු පෙන්වා මෙසේ කීය.

"ස්‌වාමීනි, මා විසින් වළකන ලද වුවත් රත්නත්‍රය කෙරෙහි සැදැහැ සිතින් කුසල් කළ ඒ ස්‌ත්‍රීහු අද දෙව් සැපතින් සමෘද්ධව සිටිති. රත්නත්‍රය පිදීමේ විපාක බලනු මැනවි."

"ආශ්චර්ය වූ අද්භූත වූ ඒ මහා කුසල විපාක දැක නුවණැත්තෝ තථාගතයන් වහන්සේට නමස්‌කාර කරති. පූජා කරති. මමද මෙයින් චුතව මිනිසත් බව ලැබ නොපමාව කුසල් දහම් වඩන්නෙමි. බුදුරදුන් පුදන්නෙමි" යි එම ප්‍රේතයා කුසලයේ විපාකයත්, එබඳු කුසලයකට බාධා කිරීමේ හා ගැරහීමේ විපාකයත් එකම තැන ගෙනහැර දැක්‌වීය. එහෙයින් නුවණැත්තෝ කිසි විටෙක අන් අයගේ කුසලයට බාධා නොකෙරෙත්වා·

ඇතැම් අය අන්‍යයන් කුසල් කරද්දී තමන්ගේ දැන උගත්කම් හා විචක්‌ෂණ බව පෙන්වන්නට යාමෙන්ද, තමන්ගේ සිතැඟි පරිදි එය කරවන්නට උත්සාහ කිරීමෙන්ද, අඩු වියදමින් හෝ වඩා හොඳින් කරන්නට උපදෙස්‌ දීමෙන්ද නොදැනුවත්වම අන්‍යයන්ගේ කුසලයට බාධා පමුණුවති. නොදැන කළත් එයින් සිදුවන අකුසලයේ අඩුවක්‌ නැත. නොදැන ඇල්ලුවත් ගින්නෙන් අත පිළිස්‌සෙන්නාක්‌ මෙනි. තවද මනසේ පහලවන ක්‌ලේශයෝ ඇතැම් විට හඳුනාගත නොහැකි ලෙස වෙනත් මුහුණුවරකින් පැමිණෙති. ඊර්ෂ්‍යාව-ගුණගරුක භාවය ලෙසින්ද, මසුරුකම ප්‍රඥව ලෙසින්ද, අන්‍යයන්ගේ යහපත් ක්‍රියා හෙලා දැකීම-විචාර බුද්ධිය වශයෙන්ද, බොහෝ දෙනා වරදවා වටහා ගනිති. එසේ තමන්ගේම මනස මුලා කරමින් වෙනත් මුහුණුවරකින් පැමිණෙන ක්‌ලේශයෝ වංචක ධර්ම නම් වෙති. මෙම වංචක ධර්මයන්ගෙන් මුලාවෙන බොහෝ දෙනා විශාරදයන් ලෙස අන් අයට උපදෙස්‌ දෙමින් ඔවුන්ගේ කුසලයටද බාධා කරති. තමන්ද කුසලයෙන් පිරිහෙති. නොදැන උපදෙස්‌ දුන්නත් එයින් කුසලයට බාධා පැමිණේ නම් එහි විපාකය තමන් වෙත පැමිණෙන බව ලකුණ්‌ඨක භද්දිය තෙරුන් වහන්සේගේ කථා පුවතින්ද පැහැදිලි වේ.

ලකුණ්‌ඨක භද්දිය තෙරණුවෝ

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහලවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේ නොවිසිරී ඒකඝනව පැවතුනි. එම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්‌වර්ණමය වූ චෛත්‍යයක්‌ ඉදිකිරීමට සැළසුම් කළහ. එම චෛත්‍යය යොදුන් සතරක්‌ උසට ඉදිකිරීමට ඇතැම්හු යෝජනා කළහ. එයට රන් බොහෝ වැය වන බැවින් තුන් යොදුනක්‌ උසට ඉදිකළ යුතු යයිද, යොදුන් දෙකක්‌ උසට ඉදිකළ යුතු යයිද විවිධ යෝජනා මතුවිය. එම චෛත්‍ය කර්මාන්තය කරගෙන යාමට භාරකර තිබූ කාර්මිකයන්ගෙන් ප්‍රධානියා එහිදී ඉදිරිපත් වී වඩා පහසු නිසා මෙම චෛත්‍යය යොදුනක්‌ උසට ඉදිකරමු යෑයි යෝජනා කොට ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදීය.

ඔහු විසින් චෛත්‍ය ඉදිකිරීමේ කුසලකර්මය සිදුකර ගත් නමුත් අනන්ත ගුණ ඇති බුදුරදුන් වෙනුවෙන් කරවන චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමේ විපාකයෙන් උපනුපන් භවයන්හිදී අතිශයින් මිටි වූ කුඩා ශරීරයක්‌ ඇතිව ඉපදිනි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලවෙන සමයෙහි මොහු සැවත් නුවර ධනවත් පවුලක ඉපිද "භද්දිය" කුමරා යයි නම් ලැබූහ. අතිශයින් මිටි වූ ශරීරයක්‌ ඇති නිසා පසු කලෙක "ලකුණ්‌ඨක භද්දිය" නමින් ප්‍රසිද්ධ විය. පෙර කරන ලද කුසල් බලයෙන් හා පුරන ලද පාරමිතා බලයෙන් බුදු සස්‌නෙහි පැවිදිව මහ රහතන් වහන්සේ නමක්‌ වූහ. චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමෙන් සිදුකරගත් වරද බොහෝ ආත්මයන්හි විපාක දී අර්හත්වයට පැමිණෙන අවසන් භවයේ ද විපාක දෙන්නට තරම් බරපතල විය.

සටහන - ධම්මික හේවාවසම්
පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමවාසී
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි