ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

නිවනට උපකාරී කුසල කර්මයක්



ස්වභාවයෙන් අකුසල් උල්පතක් වන ඔබ ගන්නා සෑම ආහාර වේලක්ම, නිවනට උපකාරී කුසල කර්මයක් බවට පත් කර ගන්න කැමතිද?

ලෝකයේ ජීවත් වන අති බහුතරයක් සත්වයෝම ආහාරය සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 1 ට යොදා ගෙන සිටින බරහසක් නොවේ. තමා ජීවත් වන්නේ කෑමටම යයි විශ්වාස කිරීමට තරම් ආහාරය සමහරුන්ට මුලාවක් වීමද අද බහුලව දැකිය හැකි අවාසනාවන්ත තත්වයකි. අපි එදිනෙදා ගන්නා ඝන ආහාර අපි සපා අනුභව කරන්නෙමු, දියර ආහාර අපි පානය කරන්නෙමු, අයිස් ක්‍රීම් වැනි මෙළෙක් ආහාර වර්ග දිව ගා පරිභෝග කරන්නෙමු. මේ කුමන ආකාරයෙන් පවතින ආහාරයකට වුවද තිලෝගුරු ශ්‍රී සම්බුදු පියාණන් යොදා ඇත්තේ එක් වර්ගීකරණයක් පමණි. එය නම් “කබලිංකාරාහාර” යන්නයි.
යමක් ඉපදවීමට හෝ උපන් දෙයක් පවත්වාගැනීමට උපකාර වන දෙය ලෙස අර්ථකථනය කර ඇති ආහාර ලෙස ධර්මයේ සඳහන් සියල්ල 4 ක් වන අතර, කබලිංකාරාහාරය යනු එයින් එකක් පමණි. ලිපිය සම්පූර්ණ කිරීම පිණිස ආහාර වර්ග 4 හා එයින් උපදවන දෙය සරළව අපි පෙළ ගස්සන්නෙමු.

ආහාරවර්ගය -> උපදවන දෙය

1. කබලිංකාරාහාර -> අපගේ භෞතික ශරීරයේ, හෙවත් රූප කයේ, ඕජාට්ඨමක රූප කලාප උපදවයි, කබලිංකාරාහාර අපගේ උපන් සිරුර පවත්වාගැනීමට උපකාරී වේ.

2. ස්පර්ශාහාර -> පංචේන්ද්‍රියේ හා මනසේ (සළායතනයන්හි) අරමුණු නොගැටුනේ නම් අපට සැප, හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කිසිදු වේදනාවක් නූපදී. ස්පර්ශාහාර උපදවන දෙය වේදනාවයි

3. මනෝසංචේතනාහාරය -> අපගේ මීලඟ භවයේ ප්‍රතිසන්ධිය අප කරන කුසල් අකුසල් මතම රඳා පවතී. අප කරන්නේ කුසල්ද අකුසල්ද යන්න 100% තීරණය වන්නේ කරන ක්‍රියාවට සම්බන්ධ සිතේ අනිවාර්ය ලෙස ඇමිණී ඇති චේතනාවෙනි. මනෝසංචේතනාහාරය උපදවන දෙය (කාම, රූප, අරූප භවයේ) ප්‍රතිසන්ධියයි.

4. විඤ්ඤාණාහාරය -> පටිච්ඡසමුප්පාදයට අනුව, ප්‍රතිසන්ධි විඤ්ඤාණය නාම-රූප උපදවන බව අපි දනිමු. විඤ්ඤාණාහාරය උපදවන දෙය නාම-රූපයි

අප අනුභව කරන ආහාර සම්බන්ධව පමණක් සිතා බලන්න, එය තෘෂ්ණාව නිදාන කොට නැතිද?, එය තෘෂ්ණාව හේතු කොට නැතිද? එය තෘෂ්ණාව ජාති කොට නැතිද? එය තෘෂ්ණාව ප්‍රභව කොට නැතිද? එහි විවාදයක් නොමැත. අනෙක් ආහාර තුන සම්බන්ධවද එය එසේම බව බුද්ධ වචනයයි.
කෙළෙස් සහිත සත්වයෝ සියල්ල , කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි ආහාරය වන කබලිංකාරාහාරයෙහි රස තෘෂ්ණාවෙන් ඇලුණාහුද, බැඳුණාහුද වන්නෝය. රස තෘෂ්ණාවෙන්ම ආහාර සොයන්නෝද, රැස් කරන්නෝද, රකින්නෝද, අනුභව කරන්නෝද වන්නෝය. ඒ හේතුවෙන් මස් ආදිය පිණිස ප්‍රාණඝාතාදී නොයෙක් පව්කම් වන්නෝය.

ගොදුරු කරගන්නා මෙන්ම ගොදුරු වන්නාද සසරේම සිරවූ අප වැනිම සත්වයෝයි. එබැවින් ආහාරයේ රස තෘෂ්ණාව, මෙම ආත්ම භාවයේදීම වන මහත් භයටද, දුකටද, ලෙඩ රෝගාදී බොහෝ අනර්ථයන්ටද හේතු වෙයි. අනන්ත වූ අනාගත සසර දුකටද එයම හේතු වෙයි. කොටින් කියන්නේනම් ආහාරයේ රස තෘෂ්ණාවේ ඇලුනෝ සසර දුකේ ගැලුනෝ වෙති.එහෙයින් සසර දුකින් මිදෙනු කැමතියන් විසින් ආහාරයේ රස තෘෂ්ණාව දුරු කළ යුතුයි.
ආහාරයේ පිළිකුල් සංඥාව තුලින් මෙම රස තෘෂ්ණාව දුරු කිරීමට භාවනා වශයෙන් උපදවා දියුණු කල හැකි ඥාන සම්ප්‍රයුක්ත විධි 10 ක් විශුද්ධි මාර්ගයේ ඇතුලත් කොට තිබේ. නමුත් අපි ඉදිරිපත් කරන්නේ ඊට වඩා බොහෝ සරල, ගිහි පැවිදි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මතක තබාගෙන ඇලීමකින් තොරව, ඕනෑම ආහාරයක් පරිභෝග කිරීමට භාවිතා කල හැකි ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ලෙස ධර්මචාරී කවුරුත් දන්නා දෙයයි.

ඔබ ආහාර ගන්නා කාලය පුරාවට, නුවනින් තේරුම සළකමින් මෙම වාක්‍ය සිතින් කීමෙන් ඔබට ආහාරය කොතරම් රසවත් වුවත්, කොතරම් ප්‍රණීත වුවත් ඒ හේතුවෙන් අපාගාමී අකුසල් සිත් වන ලෝභ මූල සිත් ඉපදීමේ ඉඩ කඩ සහමුලින් අවුරාදැමීමට හැකිවේ. ඔබ මෙම වාක්‍ය නුවනින් මෙනෙහි කරන තාක්, ඔබ කරන්නේ භාවනාමය කුසළ කර්මයකි. එවන් කුසල කර්ම අතරවාරයේ අකුසල් සිත් ඉපදීමේ අවස්ථා නොලැබී යෑම ඊට හේතුවයි.

“මා මේ ආහාරය ගන්නේ මල්ලවයන් මෙන් සටන් කිරීමට නොව, ගැමි දරුවන් මෙන් සෙල්ලම් කිරීමට නොව, ශරීරය වර්ණවත් කර ගැනීමට නොව, ශරීරයේ අඩු තැන් පුරවා ගැනීමට නොව. ජීවිතයත් ශරීරයත් පවත්වා ගැනීමටයි, ශාසන ප්‍රතිපත්ති පිරීමටයි. මාගේ මේ ප්‍රතිපත්ති පිරීමට උපකාරී වන මේ ආහාරය පිළියෙල කිරීමට දායක වූ සියළු දෙනා, ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා , කෙලවර ආත්ම භාවයේදී, පරම ශාන්ත නිර්වාණය සුවසේ අවබෝධ කර ගනිත්වා!.

මේ ආහාරයත් ශරීරයත් යන දෙකම නිරන්තරයෙන් සිඳි සිඳී, බිඳී, බිඳී යන බැවින් අනිත්‍යයි, බිඳෙමින්, ඉපදෙමින් නිරතුරු අප පෙළන බැවින් දුකයි. කිසිවෙකුගේ කැමැත්තට නොපවත්නා බැවින් අනාත්මයි. පිළිකුල් බැවින් අශුභයි.අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අශුභ වූ මේ ආහාරයත් ශරීරයත් ඒකාන්තයෙන්, දුක්ඛ සත්‍ය නම් වන්නේය.

ඒ ආහාරයත් ශරීරයත් නම් දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව, ඒකාන්තයෙන් දුක්ඛ සමුදය සත්‍ය වන්නේය

ආහාරයෙනුත් ශරීරයෙනුත් තොරවූ, ශාන්ත නිර්වාණ ධාතුව, දුක්ඛ නිරෝධ සත්‍ය නම් වන්නේය

ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස, පිළිපැදිය යුතු වූ, ආර්ය අෂ්ථාංගික මාර්ගය, මාර්ග සත්‍ය නම් වන්නේය.

මාගේ මේ ආහාර ප්‍රත්‍යවේක්ෂා කුසළ කර්මය බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වදාලා වූ අජරාමර ශාන්ත නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීමට හේතු වේවා!, වාසනා වේවා!!,
සාදූ!, සාදූ!!, සාදූ!!! 

මල් පිදීමේ අනුසස්

සුමන මල්කරු අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහනුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂූ සංඝයා විසින් පිරිවරන ලදුව සවනක් ඝන බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වු බුද්ධානුභාවයෙන් බුද්ධලීලාවෙන් පිඬු පිණිස රජගහනුවරට වන් සේක. රජුට සමන් මල් අට නැළියක් ගෙන යන්නා වූ සුමන මල්කරු ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුව්‍යඤ්ජනයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය දැක, අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නො දක්නේ රජුට ගෙන යන්නා වූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතා නැවත “දිනපතා රජුට ගෙන යන මේ මල් නො ගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නට ද පිළිවන, රටින් නෙරපන්නට ද පිළිවන, මරන්නට ද පිළි වෙන, එහෙත් කරන්නට දෙයක් නැත, රජු මට කරන දෙයක් කරාවා, මේවා රජුට ගෙන යාමෙන් ඔහු මට දෙතත් දෙන්නේ මේ ආත්ම භාවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් වහන්සේ පිදුව හොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැපගෙන දෙන පිනක් වන්නේ ය. ඒ නිසා වන්නක් වේවා. 
මේ මල් මම බුදුනට ම පුදමි” යි සිතා පළමුවෙන් මල් දෙමිටක් ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේ ය. ඒ මල් එකකුදු බිම නොවැටී තථාගතයන් වහන්සේ මතුයෙහි අහස්හි වියනක් මෙන් සැදී සිටියේ ය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේ ය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහස්හි සිටියේය. තවත් දෙමිටක් විසි කෙළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේ ය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේ ය. බුදුරජාණන් වහන්සේ රිදීපටින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළහ. මල් ද එකකුදු නො වැටී නො විසිරී තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයෙන් නික්ම උන් වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභාවත් විය. ඒ ප්‍රාතිහාර්යය දැක සතුටට පත් මහජනයා ඔල්වරසන් නඟමින් සළු උඩ දමමින් සළු හිසවට කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. 
තථාගතයන් වහන්සේ ද මල්කරුගේ ගුණය ප්‍රසිද්ධවනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේ ම ගමන් කළහ. මල්කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලා රසයෙහි ගැලෙන්නාක් මෙන් බුදුරැස් තුළට වැද උන් වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැස ගෙන ගෙදර ගියේ ය. ඔහු හිස් පැස ගෙන ගෙදර ගිය කල්හි භාර්යාව “මල්වලට කුමක් කෙළෙහි දැ”යි ඇසීය. “තථාගතයන් වහන්සේට පිදුවෙමි” යි මල්කරු කීය. “දැන් රජුට කුමක් කරන්නෙහිද”යි භාර්යාව ඇසූ කල්හි “රජු මට කරන දඬුවමක් කෙරේවා යි ජීවිත පරිත්‍යාග කොට මම මල් පිදුවෙමියි” කියා සිදුවූ සියලු ප්‍රාතිහාර්්‍යය ද ඇයට කීය. ඈ බිය වී සැමියාට ද බැණ වැදී දරුවන් ද ගෙන රජු වෙත ගොස්, “දේවයන් වහන්ස, මාගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. මා විසින් මල්වලට කුමක් කළෙහිදැයි අසූ කල්හි ඒ බව මට කීයේ ය. ඔහු කළ වරදින් මටත් විපතක් වේදෝයි මම ඔහු හැර දරුවන්ද ගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස, ඔහු කළ දෙය යහපතක් ද, නපුරක් ද කියා මම නො දනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමි” යි කීවාය. රජතුමා බුදුරදුන් ගේ ප්‍රථම දර්ශනයේ දී ම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙකි. එතුමා මේ අනුවණ ගැහැනියට මෙතරම් මහත් ප්‍රාතිහාර්යයකදී ද සිත පහදා ගත හැකි නොවී යයි සිතා, කිපුණු ආකාරයක් දක්වා “කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැ”යි ඇසීය. “එසේය, දේවයන් වහන්ස” යි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා “ඒ මිනිසා හැර දැමීමෙන් තී කළ දෙය ඉතා යහපති, මාගේ මල් පූජා කළහුට කළ යුත්ත මම දනිමි”යි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්‍රාතිහාර්ය නරඹමින් තථාගතයන් වහන්සේ සමඟ ම ගමන් කෙළේය. ශාස්තෘන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අණබෙර හසුරුවන වීථියෙහි ම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණි සේක. රජතුමා පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වැඩමවා ගන්නට සිතුවේය. තථාගතයන් වහන්සේ රජමිදුලෙහි ම වැඩ හිඳිනු කැමති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේ ගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කරවීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රජගෙට නො වැඩ එළිමහනෙහි ම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්‍රකටවනු පිණිස ය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සඟනට දන් දිණ. තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදි ම මල් වියන් මල්තිර තිබිය දී ම මහ පෙරහරින් මහජනයා සමඟ ම වෙහෙරට වැඩම කළ සේක. 
උන්වහන්සේ ගඳකිළියට පිවිසෙන කල්හි ඒ මල් ගඳකිළිය දොරකඩ වැටිණ. රජතුමා මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල්කරුවා ගෙන්වා “නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුනට පිදුවෙහි දැ”යි ඇසීය. “එකෙණෙහි මට ඇති වු බලවත් චිත්ත ප්‍රසාදය නිසා රජ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිතය පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමි”යි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී “නුඹ මහා පුරුෂයෙකැයි”යි ඔහුට පවසා ඇතුන් අටදෙනෙකුන් ද, අසුන් අට දෙනකුන් ද, දාසයන් අට දෙනකුන් ද, දාසියන් අට දෙනකුන් ද, මහාර්ඝ පළඳනා ද, කහවනු අට දහසක් ද, සර්වාලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනකුන් ද, ගම් අටක් ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කෙළේය. සියල්ලෙන් අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්‍යාගය මල්කරු ඒ පූජාවෙන් එදින ම ලැබූ අනුසස් ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන් ම මහා ප්‍රීති ඝෝෂාවක් පවත්නේය. ඔහුට ඉන් ලැබෙන්නා වූ විපාකය කුමක් දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමි”යි සිතා උන්වහන්සේ වෙත එළඹ “මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේද”යි ඇසූහ. “ආනන්දය! මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමෙ මාහට දිවි පුදා ඒ පූජාව කෙළේ ය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්ත ප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත් ය. එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේ ය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක. 

(මේ කථාව දම්පියා අටුවාවෙන් ගන්නා ලදී) 
දිනමණ - ආලෝකෝ උදපාදී

මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්මය ද?


කර්මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින්ම කර්මය ඇතිවූයේ කෙසේ ද?


මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීජයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුණත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි.

බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකි, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදු කර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.

බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ – වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.

ධර්ම විනිශ්චය - රේරුකානේ චන්දවිමල හිමි
Sasara Tharanaya - සසර තරණය