ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ඇමෙරිකානු මහාචාර්යවරයාගේ පුනරුත්පත්ති වාර්තාවේ විශ්වසනීයත්වය කුමක්ද?

පුනර්භවය සත්‍යයක් බව ඇමෙරිකාවේදී අහඹු සිදුවීමකින් ඔප්පු වෙයි යන මැයෙන් 2012 සැප්තැම්බර් 30 වන දින ඉරිදා ලක්බිම පුවත්පතේ පළවූ මගේ ලිපිය පිළිබඳව ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති එස්. රණතුංග මහතා විසින් 2012 ඔක්තෝබර් 21 දින ඉරිදා ලක්බිම පුවත්පතට ඉහත සඳහන් මැයෙන් යුතු ලිපියකින් සිය අදහස් දක්වමින් එම සිදුවීම සම්බන්ධව වැඩිදුර තොරතුරු අපේක්ෂා කර සිටී.
එම තොරතුරු සැපයීමට පෙරාතුව මගේ ලිපියේ සඳහන් සමහර කරුණු වැරදි සහගත ලෙස වටහා ගැනීමත් එතුමා අතින් සිදුවී ඇති බව පෙනෙන්නට තිබෙන නිසා ප්‍රථමයෙන්ම ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීම මගේ යුතුකමක් සේ සලකමි.
පුනර්භවය යන සංකල්පය ඔප්පු කිරීම හෝ නොකිරීම මගේ ලිපියේ පරමාර්ථය නොවීය. ලොව කොතැනක හෝ පළවන ප්‍රවෘත්තියක් හෝ සිදුවීමක් පිළිබඳව සත්‍ය තොරතුරු ඒ අයුරින්ම ඉදිරිපත් කොට පාඨක ජනතාව දැනුවත් කිරීම මගේ යුතුකම හා වගකීම වන්නේය. මා ඒ ලිපියට සිරස්තලය යෙදුවේ මහාචාර්යවරයාගේ පර්යේෂණ ග්‍රන්ථයේ සහ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවේ අන්තර්ගතව තිබූ කරුණු සැලකිල්ලට ගැනීමෙනි. පුනර්භවය පිළිගන්නා ජනතාව ප්‍රමෝධයට, අමන්දානන්දයට පත්කිරීමේ කිසිදු අපේක්ෂාවක් මා තුළ නොවීය. මා කළේ සත්‍ය යැයි පැවසෙන ඒ සිදුවීම මහාචාර්යවරයාගේ ‍පොත සහ සම්මුඛ සාකච්ඡාව පදනම් කරගෙන පුවත්පතට ලිපියක් සැකසීම පමණකි. පුනර්භවය සත්‍යයක් බව පවසන්නේ මා නොව ඒ මහාචාර්යවරයායි. ඒ හැරෙන්නට මම ඒ ලිපිය වර්ණ ගන්වා ඔපවත් කිරීමට කිසිදු උත්සාහයක් නොකළ බව කාරුණිකව අවධාරණය කරනු කැමැත්තෙමි.
අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති මෙවන් අවදියක, පුනරුත්පත්ති වාර්තා හා ගවේෂණ මෙරට පමණක් කතා බහට ලක්ව ඇති බව ඔබතුමා විසින් කරන ලද ප්‍රකාශය දැක මම බෙහෙවින් මවිතයට පත්වූයෙමි. අපේ රටට සාපේක්ෂව පුනර්භවය පිළිබඳ විශාල වශයෙන් ගවේෂණ හා පර්යේෂණ කටයුතු විශ්ව විද්‍යාල මට්ටමින් සිදු කෙරෙමින් පවතින්නේ බටහිර රටවල්වලය. 
එපමණක්ද නොව මේ සංකල්පය උපයෝගී කරගනිමින් තමන්ගේ කායික හා මානසික රෝග සුවපත් කරගැනීම සඳහා පුළුල් වශයෙන් ප්‍රායෝගිකව භාවිතයට ගන්නේද බටහිර ජනතාවය. එසේම මේ සංකල්පය ඔස්සේ ජීවිතයේ ආධ්‍යාත්මික විමුක්තිය සොයන පැවිදි දිවියට පත්වූ විද්‍යාඥයින්, මහාචාර්යවරුන් වැනි උගතුන් සිටින්නේද බටහිර රටවලය. බටහිරට සාපේක්ෂව ගත්කළ වසර දහස් ගණනාවක් තිස්සේ පුනර්භවය පිළිගන්නා බහුතර ජනතාවක් අප රටේ සිටියද ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන්ම ගත් කළ වුවද එය තමන්ගේ මතයට බද්ධ කරගෙන ඉන් ප්‍රායෝගික ලෙස ප්‍රයෝජනය ලබන්නේ ඉතාමත් අල්ප වශයෙන්ය යන්න මගේ හැඟීමයි.
කැනේඩියානු ජාතික මනෝ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් (Ian Stevenson - 1918.10.31 - 2007.02.28) ඇමෙරිකාවේ වර්ජීනියා වෛද්‍ය විද්‍යාලයේ වසර 50ක කාලයක් සේවය කළේය. ඊට අමතරව 1957සිට 1967 දක්වා වසර 10ක කාලයක් එම විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් සේවය කළේය. ඔහුගේ ජීවිතයේ වසර 50ක සේවා කාලයෙන් වසර 40ක්ම එනම් 2007.02.28 වන දින ඔහු මිය යන තුරුම සිය ජීවිතය කැප කළේ පුනර්භවය පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහාය. එසේම ලොව ප්‍රථමයෙන්ම වර්ජීනියා විශ්ව විද්‍යාලයෙන් බිහිවූ සංජානන විද්‍යා අධ්‍යයන පීඨයේ(The Division of Perceptual Studies - DOPS) පුරෝගාමියා වූ අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස මිය යනතුරුම ඔහු සේවය කළේය. සංජානන විද්‍යා අධ්‍යයනය යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර මනෝ විද්‍යාවේදී පංච්ෙන්ද්‍රියයන්ට හසුනොවන එනම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට හසු නොවෙන අධිමානසික සංසිද්ධීන් (Parapsycology Phenomena, Paranormal Phenomena) අධ්‍යයන කිරීම සඳහා බිහිවූ විකල්ප අධ්‍යයන ක්ෂේත්‍රයකි.
මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ලෝකය පුරාම පෙර ආත්ම කියන දරුවන් සොයාගෙන ගොස් පර්යේෂණ සිදු කළ අතර වරක් ශ්‍රී ලංකාවටද පැමිණියේය. ශ්‍රී ලංකාවේ එවැනි දරුවන් දස දෙනකු පිළිබඳ පර්යේෂණ සිදුකොට ඒ පිළිබඳව ‍පොතක් පළ කළේය. (Cases of the Reincarnation Type - Vol. 11. Ten Cases in Sri Lanka) නමැති ඒ ‍පොත 1978 වසරේදී වර්ජීනියා විශ්ව විද්‍යාලයීය මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.
ටෙක්සාස් සහ වොෂින්ටන් යන විශ්ව විද්‍යාලද එවැනි ගවේෂණ සිදුකරන විශ්ව විද්‍යාල අතරින් කිහිපයකි. එසේම මහාචාර්ය කාල් ජුන්ග්, ආචාර්ය ජෝසප් බි. රයින්, ආචාර්ය රේමන්ඩ් මූඩි සහ ආචාර්ය ග්ර්ට්රූඩ් ෂේච්ඩ්ලර් මේ පර්යේෂණ කටයුතුවල නිරත වී සිටින ප්‍රසිද්ධ විද්‍යාඥයින් අතරින් කිහිප දෙනෙක් පමණි. මේ සෑම කෙනෙක්ම ආගමික දෘෂ්ඨීන්ගෙන් වර්ණවත් නොවී හුදෙක් පුනර්භවයේ සත්‍ය අසත්‍යතාවය සොයාගැනීමට පරමාර්ථයෙන් පර්යේෂණ සිදු කරන්නෝ වෙති.
පෙර ආත්ම මෝහන චිකිත්සා ක්‍රමය (Past Life Theraphy) බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවට එකතුවීමට පෙරාතුව මේ ක්‍රමය උපයෝගී කරගෙන පෞද්ගලික මට්ටමින් රෝග සුව කළ ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයෙකි එඩ්ගාර් කේසි (Edgar Cayce - 1878.03.18 - 1945.01.03) කිතුණු බැතිමතෙකු වූ, උපතින්ම අධි මානසික බලයක් තිබූ එඩ්ගාර් කේසි ස්වයං මෝහන නිද්‍රාවට පත්ව තමන්වෙත පැමිණි 25000කගේ පමණ පෙර ආත්ම කියවා රෝග සුවපත් කර ගැනීම සඳහා ප්‍රතිකාර කළේය. කේසිගේ ප්‍රතිකාර ක්‍රමවේදයේ සුවිශේෂ ලක්ෂණ දෙකක් දක්නට ලැබිණි.
එකක් නම් රෝගියා මෝහන නිද්‍රාවට පත් කරනවා වෙනුවට තමාම ස්වයං මෝහන නිද්‍රාවට පත්ව රෝගියාගේ පෙර ආත්ම කියවීමය. අනිත් කාරණය වූයේ අදාළ රෝගියාම ප්‍රතිකාර සඳහා ඔහු ඉදිරියට පැමිණීම අනිවාර්ය නොවීමය. වෙනත් පුද්ගලයෙක් පැමිණ අදාළ රෝගියාගේ නම කියූ පමණින් ඔහුගේ පෙර ආත්ම කියැවීමේ විශේෂ හැකියාවක් ඔහු සතුව තිබිණ. ලොව පුරා මිනිසුන් ඔහු හැඳින්වූයේ 'වර්ජීනියා මුහුදු වෙරළේ නිදන අනාගත වක්තෘවරයා' (The Sleeping Prophet oF the Verginia Beach) යන අන්වර්ථ නාමයෙනි.
කේසිගේ මේ පෙර ආත්ම කියැවීම තමන් අදහන කිතු දහමට සහමුලින්ම පටහැනිවුවද මිය යන තුරුම ඔහු ඒ ඔස්සේ මිනිසුන්ට උපකාර කිරීම දිගටම සිදුකරගෙන ගියේය. ඔහුගේ මරණින් පසුව ඔහු විසින් කරන ලද මේ ජීවිත කියැවීමි 25000 ජීනා සර්මිනාරා නමැති මනෝ විද්‍යාඥවරිය විසින් විද්‍යාත්මක පර්යේෂණයකට භාජනය කරනු ලැබිය. වසර දහයක කාලයක් තිස්සේ ඇය සිදුකළ පර්යේෂණයෙන් සොයාගත් කරුණු ඇතුළත් කොට "Many Mansions" නමැති පර්යේෂණාත්මක ග්‍රන්ථය ලියා පළ කළේය.
එසේම පෙර ආත්ම මෝහන චිකිත්සා ප්‍රතිකාර ක්‍රමයට අමතරව පෙර ආත්ම ‍ජ්‍යොතිෂ්ශාස්ත්‍රය (Past Life Astrology) යනුවෙන් ‍ජ්‍යොතිර්වේද ක්‍රමයක්ද බටහිර රටවල බිහිවී ඇත. එමගින් සිදු කරන්නේ පුද්ගලයාගේ කේන්ද්‍ර පිටපත අධ්‍යයනය කිරීමෙන් පෙර ආත්මවල තොරතුරු සොයා ගැනීමය.
තමන් පිළිගන්නා පුනර්භවය නමැති සංකල්පය ඇමෙරිකානුවෙකු විසින් සත්‍යයක් යැයි ඔප්පු කිරීමෙන් එම ජනතාව අතරේ ඇමෙරිකන් විරෝධී දේශපාලන කැළඹීමකට හේතු විය හැකි බව ඔබතුමා කරන ප්‍රකාශය පදනම් විරහිත තර්කානුකූල නොවන ප්‍රකාශයකි. එය අසත්‍යයක් යැයි ඇමෙරිකානුවකු විසින් ඔප්පු කරනු ලැබුවා නම්, සමහර විට මේ දිනවල මුස්ලිම්වරුන්ගේ අහිංසකත්වය (Innocence of Muslims) නමැති චිත්‍රපටයට එරෙහිව ලොව පුරා මුස්ලිම් ජනතාව අතරේ කැළඹීමක් ඇතිවී තිබෙන ආකාරයට දේශපාලන අර්බුදයක් ඇතිවිය හැකිව තිබුණු බව මමද පිළිගනිමි.
එහෙත් මහාචාර්වරයාගේ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කරන ලද එක් ප්‍රකාශයක් නිසා කිතුණු ජනතාව අතරේ නම් ඔබතුමා කියන ආකාරයේ කැළඹීමක් ඇතිවිය හැකිව තිබුණි. නූතන කිතු දහමට අනුව පුනර්භවය මිථ්‍යා මතයක් ලෙස බැහැර කරයි. එහෙත් මහාචාර්යවරයා සාකච්ඡාවේදී පෙන්වා දී ඇත්තේ පැරණි කිතු දහමේ පුනර්භවය අන්තර්ගතව තිබූ බවත් හයවන සියවසේ කොන්ස්තන්තිතෝපල් දෙවන සභාවේදී එය මිථ්‍යා මතයක් ලෙස ප්‍රකාශයට පත් කොට කිතුණු දහමෙන් ඉවත් කළ බවය.
ජීවිතයේ ප්‍රථම වතාවට මෙම වෛද්‍යවරයා විසින් සිදු කරන ලද මෝහන චිකිත්සා ප්‍රතිකාරය මෙය විය. යනුවෙන් ඔබතුමා කරන ලද ප්‍රකාශය මගේ ලිපියේ කරුණු වරදවා වටහා ගැනීමක් බව කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි. බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවේ ඖෂධීය හා සායනික ප්‍රතිකාරවලින් සුවය නොලබන රෝගීන් යොමු කෙරෙන මෝහන චිකිත්සා ක්‍රම දෙකක් තිබේ.
එකක් නම් සියලුම වෛද්‍යවරුන් ‍පොදුවේ පිළිගන්නා සහ අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික මෝහන චිකිත්සා ප්‍රතිකාර (ඩ්රනදධබඩඥපචනඩර) ක්‍රමයයි. එමගින් රෝගියා මෝහන නිද්‍රාවට පත්කොට ඔහුගේ යටි සිත අවදි කරවා රෝගයට හේතු වූ රෝග නිධානය මේ ජීවිත කාලය තුළින් සොයා ගැනීම සිදු කෙරේ.
අනෙක නම් පෙර ආත්ම මෝහන චිතික්සා ප්‍රතිකාර (Hypnotheraphy) ක්‍රමයයි. මේ ක්‍රමය සමහර වෛද්‍යවරුන් පිළිගන්නා අතර සමහර වෛද්‍යවරුන් පිළිගන්නේ නැත. මේ ක්‍රමයෙන් රෝගියා මෝහන නිද්‍රාවට පත්කරවා ඔහුගේ යටි සිත අවදි කරවා ඔහුගේ පෙර ආත්ම භවයන් කරා කැඳවාගෙන ගොස් රෝග නිධානය සොයා ගැනීම සිදු කෙරේ.
මහාචාර්ය බ්‍රයන් වයිස්ද මේ ක්‍රමය පිළිනොගත්, ප්‍රතිකාර සඳහා මේ ක්‍රමය කිසිදාක අනුගමනය නොකළ වෛද්‍යවරයෙකි. එහෙත් ඔහු සාමාන්‍ය සාම්ප්‍රදායික මෝහන චිකිත්සක ක්‍රමය (Past Life Theraphy) අනුගමනය කර රෝගීන් ඕනෑතරම් සුවකර තිබුණි. මහාචාර්යවරයාගේ අරමුණ වූයේ කැතරින්ද මේ සාම්ප්‍රදායික මෝහන චිකිත්සා ක්‍රමයට යොමු කොට ඇගේ රෝග නිධානය සොයා ගැනීමය. එහෙත් ඇය ඊට යොමු කළ පසුව ඔහුගේ කිසිදු අනු දැනුමකින් තොරව ඇය පෙර ගතකොට තිබූ ආත්ම 86ක් කියැවීම නිසා වෛද්‍යවරයා පෙර ආත්ම මෝහන චිකිත්සා ක්‍රමයට (Hypnotheraphy) ෙනෙසර්ගිකවම අවතීරණ වන්නේ හුදෙක් අහඹු සිදුවීමක් ලෙසටය. පුනර්භවය පිළිබඳ සොයා බැලීමේ හෝ පර්යේෂණ කිරීමේ හෝ කිසිදු අපේක්ෂාවක් ඔහුගේ සිතෙහි නොතිබුණු අතර ඔහුගේ එකම අභිප්‍රාය වූයේ කැතරින් නමැති රෝගියාගේ මානසික රෝගී තත්ත්වය සුවපත් කිරීමය.
කැතරින් අගේ පෙර ආත්ම 86ම ප්‍රකාශ කොට ඇත්තේ එක දිගටමය. එහෙත් මහාචාර්යවරයා පර්යේෂණ ග්‍රන්ථය සංස්කරණය කර ඇති ආකාරයට ඒ සිදුවීම් සියල්ල එක දිගට අනු  පිළිවෙළකට විස්තර නොකරේ. ග්‍රන්ථය ලිවීමේදී ඔහු යොදා ගෙන ඇත්තේ ඔහුටම ආවේණික වූ ‍ලේඛන ෙශෙලියකි. 
මේ සිදුවීමෙන් පසුව කැතරින්ගේ කැමැත්ත ඇතිව බොහෝ වාර ගණනාවක් කැතරින් මහාචාර්යවරයා විසින් මෝහන නිද්‍රාවට පත්කරවා ඇති අතර එම අවස්ථාවලදී ඔහු ඔහුගේ සහ පවු‍ලේ පෙර ආත්ම ගැනද විස්තර අනාවරණය කරගෙන ඇත. ඒ අනුව එක් ආත්ම භවයකදී ඔහු ඇගේ පියා වශයෙන් සිට ඇත. තවත් භවයකදී ඇගේ ගුරුවරයා වී ඇත. මහාචාර්යවරයාගේ බිරිඳගේ මව වන මිනට් නමැති කාන්තාව පිළිකා රෝගය වැළඳී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අවස්ථාවේ මේ අහඹු පර්යේෂණයෙන් හෙළි වූ තොරතුරු ඇයට පවසා මහාචාර්යවරයා සහ කැතරින් ඇයසමග සංවාදයේ යෙදීම නිසා මිනට් නමැති ඔහුගේ නැන්දනිය ඉතා සන්සුන් මනසකින් යුතුව කිසිදු වේදනාවකින් තොරව ආදරයෙන් මරණය වැළඳගත් බව ඔහු සිය පර්යේෂණ ග්‍රන්ථයේ සඳහන් කොට ඇත.
(Many Lives Many Masters නමැති මේ ග්‍රන්ථය පිටු 220 කින් සමන්විත ‍පොතකි. මහාචාර්යවරයා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඒ4 පිටු 5ක් පුරා දිවෙන දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකි. ග්‍රන්ථයේ එන මුඛ්‍ය අදහස මගේ ලිපියේ ඉතා සංක්ෂිප්තව සඳහන් කර ඇත. සම්මුඛ සාකච්ඡාවේ පිටු 5න් මුල් පිටු දෙකෙහි සඳහන් කරුණු පමණක් මගේ ලිපියට ඇතුළත් කළෙමි. එහි ඉතිරි පිටු තුනේ තිබුණේ සාපේක්ෂතාවාදය, ක්වොන්ටම්වාදය වැනි ඉතාමත් නැඹුරු මාතෘකා සමග පුනර්භවය පිළිබඳ කරන ලද විවරණයන්ය. ඒ හේතුව නිසාත්, ලිපිය තවත් දීර්ඝ වනු වැළැක්වීම සඳහාත් ඒ සියල්ලම මගේ ලිපියට ඇතුළත් නොකළෙමි.
මේ පිළිබඳව ඔබතුමාට නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහා ගතයුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ අදාළ ‍පොත සහ සම්මුඛ සාකච්ඡාව කියවා බැලීමයි.
Many Lives Many Masters නමැති මෙම ‍පොත ඇමෙරිකාවේ ෆයර් සයිඩ් (Fire Side) ප්‍රකාශකයින් 1983 ජූලි මස 15 වෙනිදා ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිය. 1988 වසරේදීම මේ ‍පොත මා අතටපත් වූයේ මගේ විදේශ මිතුරියක වන මහාචාර්ය ජෙනිෆර් වුල්ෆ් වෙතින් මට ලැබුණු තුටු පඬුරක් හැටියටය.  මේ ‍පොත කියවූ මට වෙනත් පුනර්භව පර්යේෂණයන්ට වඩා කිසියම් අපූර්වත්වයක් එහි ගැබ්ව තිබෙන බව දකින්නට ලැබිණ.
මා මතෛක් කියවා ඇති වෙන්නත් පුනර්භව පර්යේෂණවලදී පර්යේෂකයන් හුදෙක් පුනර්භවයේ සත්‍ය අසත්‍යතාවය පසක් කර ගැනීමේ ඒකායන අරමුණෙන් ඒවා සිදුකොට තිබුණි. එහෙත් මේ මහාචාර්යවරයා රෝගියා මෝහන නිද්‍රාවට පත් කළේ හුදෙක් ඇයගේ රෝගය සුව කිරීමේ එකම අරමුණ පමණක් හිතේ ඇතිවය. එහෙත් ඔහු කිසිසේත්ම බලා‍පොරොත්තු නොවූ ආකාරයට, ඔහුගේ කිසිදු ඇණවුමකින් තොරව ඇගේ කැමැත්තෙන් ඉදිරිපත් වී පෙර ආත්ම කියැවීමට පටන් ගැනීම නිසා වෛද්‍යවරයා ෙනෙසර්ගිකවම පෙර ආත්ම චිකිත්සාවට අවතීර්ණ වන්නේ අහඹු සිදුවීමක් හැටියටය. ඒ ක්‍රියාවලිය තුළින් ඔහු පුනර්භවයේ ඇති සත්‍යතාවය අවබෝධ කරගත් බව ඔහු ප්‍රකාශ කරයි.
මේ පර්යේෂණයේ අපූර්වත්වය වන්නේ එය පමණක්ද නොවේ. සාමාන්‍ය මෝහන නිද්‍රාවට පත් කරනු ලබන රෝගීන් ක්‍රියා කරනු ලබන්නේ වෛද්‍යවරයාගේ උපදෙස්වලට අනුවය. එහෙත් කැතරින් මෙහිදී ක්‍රියා කර ඇත්තේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව නොවේ. එසේම කැතරින්ට පෙර ආත්මවල තමන් සමග ජීවත් වූ පුද්ගලයින් මේ ආත්මයේ තමන් සමග ජීවත් වෙමින් සිටින කවර පුද්ගලයින්ද යන වග හඳුනා ගත හැකි අපූර්ව කුසලතාවන්ද ඇය සතුවිය.
මේ ආකාරයට මේ ‍පොතේ ඇති සුවිශේෂී අපූර්වත්වය නිසාම 1988 වසර නිමා වන්නටත් පෙරාතුව මම මේ ‍පොත සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කළෙමි.
ඒ ආකාරයට සම්පූර්ණයෙන් මතකයෙන් ගිලිහී ගොස් තිබූ මේ ‍පොත පිළිබඳ මතකය නැවතත් අවදි වූයේ මේ දිනවල ලක්බිම පුවත්පත ඔස්සේ පුනර්භවය වැනි ගුප්ත ධර්ම (Skeptic) පිළිබඳ සංවාදයක් ගොඩනැගී ඇති බව දකින්නට ලැබිමෙන් පසුවය. ඒ අනුව කාලෝචිත යැයි හැඟුණු බැවින් එම ‍පොත ගැන සහ මහාචාර්යවරයාගේ සම්මුඛ සාකච්ඡාව අලලා ලක්බිම පුවත්පතට ලිපියක් සකස් කළෙමි.
(Brian Weiss - Wikipedia, brian I weiss,http://en.wikipedia,org/wiki/Brian-weiss යන වබේ ලිපිනවලින් මහාචාර්යවරයා පිළිබඳ ඔබතුමාට අවශ්‍ය සියලුම විස්තර සොයාගත හැකිය. අන්තර් ජාලයේ www.brianweiss.com නමැති මුහුණු ‍පොත් ගිණුමට (Facebook account) අවතීර්ණවී මහාචාර්යවරයා සමග අන්තර් ජාලයෙන් ස්කයිප් (Skype)තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමෙන් මහාචාර්යවරයා සමග මුහුණට මුහුණලා ප්‍රශ්න කිරීමෙන් මේ සම්බන්ධයෙන් ඇති ඕනෑම ගැටලුවක් නිරාකරණය ගත හැකිවනු ඇත. Many Lives Many Masters යන වබේ ලිපිනය ඔස්සේ අන්තර් ජාලයට පිවිසීමෙන් මේ ‍පොත පිළිබඳව ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගත හැකි වනු ඇත.
මහාචාර්යවරයා සමග සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 'සත්‍යයේ හඬ' (Voices of Truth) ආයතනයේ විද්‍යාඥයින්, චින්තකයින් වැනි විද්වතුන් සමග සම්මුඛ සාකච්ඡා මෙහෙයවන තීනා එල්. ඩයමන්ඩ් නමැති ප්‍රවීණ මාධ්‍යවේදිනිය විසිනි. Brian Weiss Speaks on Past - Life Therphy වබේ ලිපිනය ඔස්සේ අන්තර් ජාලයට පිවිසීමෙන් ඔහු සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ මුද්‍රත පිටපතක් (Print Out) ඔබට ලබාගත හැකිවනු ඇත.
ඇමරිකානු මහාචාර්යවරයාගේ පුනරුත්පත්ති වාර්තාවේ විශ්වසනීයත්ව කුමක්ද? යනුවෙන් ඔබතුමා නගා ඇති පැණයට පිළිතුර මගේ ඒ ලිපියේම සඳහන් වී ඇත. 
පුනර්භවයේ වලංගුභාවය තහවුරු කළ හැක්කේ කෙසේද? ඒ සඳහා උපකාරි වන තොරතුරු ඔබ සොයනවාද? නීතා ඩයමන්ඩ් නැගූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දී ඇත්තේ මෙසේය.
පුනර්භවය විද්‍යාත්මකව ඔප්පු කර දැක්වීම අපහසුයි. මක්නිසාද යත් අප එය දෙස විද්‍යාත්මකව බලන නිසා. එහෙත් එහි සත්‍යතාවය පිළිබඳ මගේ හිතේ කිසිම ගැටලුවක් නැත. මා සමග වැඩ කරමින් සිටින චිකිත්සකයින් සහ වෛද්‍යවරුන් සියලු දෙනාගේම සිත්වලද එබඳු ගැටලුවක් නැත. වෛද්‍යවරයා මෙහිදී ව්‍යාංගාර්ථයෙන් අවධාරණය කරන්නේ පුනර්භවය නමැති සංසිද්ධිය, ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය පදනම් කරගත් නවීන විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි බවය. එහෙත් එහි සත්‍යතාවය පිළිගැනීමට ඔහුට එය බාධාවක් නොවන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
පෙර ආත්ම චිකිත්සක ප්‍රතිචාර ක්‍රමය පදනම් කරගෙන ප්‍රතිකාර කිරීමේදී එය ප්‍රයෝජනවත් වූයේ ඔහුගේ රෝගීන්ට සහ පාඨකයින්ට පමණක් නොවේ. ඉන් පෞද්ගලිකව ඔහුටද ඉමහත් ප්‍රයෝජනයක් අත්විය. ජීවිතය පිළිබඳ මහා දැනුම් සම්භාරයක් අනාවරණය කරගන්නට ඉන් ඔහුට හැකි විය. එමගින් ආධ්‍යාත්මික වශයෙන් තමාගේ ඇතුළාන්තය දෙස එබි බැලීමටද ඔහුට හැකිවූ බව නීතා ඩයමන්ඩ් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කොට ඇත.
මේ ලිපිය මහාචාර්යවරයාගේ ‍පොතේ පෙරවදනේ ආරම්භක ජේදයෙන් පටන්ගෙන අවසානය සනිටුහන් කරන ජේදයෙන් අවසන් කිරීම වඩාත් යෝග්‍ය යැයි මට සිතේ.
‍පොතේ පෙරවදනේ ආරම්භක ජේදය පටන් ගන්නේ මෙසේය.
ලොව සෑම දෙයකටම හේතුවක් ඇතැයි අප පිළිගත යුතුව ඇත. එහෙත් සමහර සිදුවීම් ගැන බලන විට එකවරම ඒවාට හේතු සාධක තෝරා බේරා ගත නොහැකිවනුයේ, අපගේ දැනුම හා බුද්ධිය ඒවා තෙරුම් ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන නිසාය. එහෙත් ඉවසීමෙන් කාලයට ඉඩ දුනහොත්, ඒ හේතු සියල්ල අනාවරණය වනු ඇත.
‍පොතේ අවසාන ජේදය සටහන් වන්නේ මෙසේය. 
‍පොත ලිවීමෙන් මගේ ජීවිත වෘත්තියට හානියක් වන්නේදැයි මට සිතන්නට අවශ්‍ය නොවීය. මට අවශ්‍ය වූයේ මා ලත් ඒ අපූර්ව අත්දැකීම් සම්භාරය සියලු දෙනාම සමග බෙදාහදා ගැනීමටය. මේ ‍පොතේ සඳහන් කරුණු සියල්ලම සම්පූර්ණයෙන්ම සත්‍ය කරුණුය. මේ කරුණු කියවන යමෙකුගේ සිතින් මරණ භය යාන්තමින් හෝ පහ කිරීමට සමත් වූයේ නම් එයින් මගේ පරමාර්ථය ඉටුවූවා වෙයි.
ලක්බිම