ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ශ්‍රද්ධාව බලවත් කළ හැක්‌කේ කෙසේද..?


නියම ශ්‍රද්ධාවට බාධා නැත. තමන් දරන තනතුරු අතහැර දා යන්නේ කෙසේද, දරුමල්ලන් අත්හැරදා යන්නේ කෙසේ දැයි නියම ශ්‍රද්ධාවන්තයාට ප්‍රශ්න නැත. පෝයදාට වත් මලක්‌ පහනක්‌ පුදා යන්නට විවේකයක්‌ නැති අපේ රටේ සමහර ශ්‍රද්ධාවන්තයන් මේ පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ව තිබේ.

කරුණු මෙහෙම නිසා ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම ශක්‌තියක්‌ දරන බව ඉතාම පැහැදිලි කරුණකි. නියම ශ්‍රද්ධාව ඇතිකර ගතහොත් පියවරෙන් පියවර යන්නේ නිවන් සුව පැත්තට ම බව අමතක නො කළයුතුව තිබේ. කවර බලවේගයකින්වත් ඒක වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත. එදා තිලෝගුරු සම්මා සම්බුදුරදුන් දඹදිව දී දේශනා කර හඳුන්වා දුන් දහම වර්තමාන භෞතික දියුණුවත් සමග කෙතෙක්‌ දුරට අපට අමතක වී ඇත්දැයි විමසා බැලීම කාලෝචිත වෙයි.

අද වන විට නම් හැදෙන වැඩෙන පරපුරට රත්නත්‍රයේ අගය වඩාත් පැහැදිලි කර දියයුතු තත්ත්වයට පත්ව තිබේ. දිනෙන් දින ඉහළ යන භෞතික දියුණුවත් සමග සාරධර්මවල උන්නතියක්‌ නොව අවනතියක්‌ දක්‌නට ලැබීම සතුටුදායක කරුණක්‌ නොවේ.

අපේ රටේ භෞතික දියුණුව ශීඝ්‍රයෙන් ඉහළ යද්දී රට තුළ සිදුවන විවිධ අපරාධ දෙස බලන විට අප කෙතරම් ප්‍රඥාවන්තයන් වුවද සද්ධර්මය කෙතෙක්‌ පැහැදිලිව තිබුණද ගිහි පැවිදි බොහෝ දෙනා කෙතරම් පැහැදිලි ව දේශනා කළද මැනවින් අසන්නන් කොතෙකුත් සිටියද එම ධර්මයන් ජීවිතයට සම්බන්ධ කර ගෙන පිළිපදින්නන් ජනසමාජය තුළින් දැන ගැනීම සෑහෙන අපහසු කාර්යයක්‌ වී තිබෙතැයි පවසන්නට සිදුවීම ශ්‍රැතිගෝචර නම් නොවේ. ඊට හේතු සාධක වශයෙන් දැක ගත හැකි වන්නේ රටේ භෞතික දියුණුව ඉහළ යත්ම ඇති වී තිබෙන ආධ්‍යාත්මික පරිහානිය ය.

කරුණු එසේ නම් කළයුතු වන්නේ අධ්‍යාපනික විද්‍යාත්මක ප්‍රගතියක්‌ සමග දියුණු වී යන ප්‍රඥාවට සමාන්තර ව ශ්‍රද්ධාවද දියුණු කිරීම ය. ශ්‍රද්ධාවෙන් තොරව දියුණුවන ප්‍රඥාව භයානකය. එසේ දියුණුවන ප්‍රඥාව පුද්ගලයා කෛරාටික පක්‍ෂයට ඇද දමයි. ඊට විසඳුම අප සිත්සතන් තුළ ශ්‍රද්ධාව බලවත් කිරීමය.

ශ්‍රද්ධාව බලවත් කළ හැක්‌කේ කෙසේද? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක්‌ ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක්‌ බවට පත්කර ගැනීමෙනි. ශ්‍රද්ධාවට විරුද්ධ බලවේගවලින් ශ්‍රද්ධාව සොලවන්නට බැරිවන ලෙස ශක්‌තිමත් කර ගැනීමෙනි. එයින් කෙලෙස්‌ ක්‌ෂය කිරීමේ - නැති කිරීමේ ශක්‌තිය වැඩෙයි. සිතේ අධිෂ්ඨාන ශක්‌තිය ඇති කරයි. චිත්ත සන්තානයන්හි පිරිසිදුකම රකී. මාර්ගඵල අධිගමයට මගපාදයි. නිර්වාණ ධර්මාවබෝධයෙහි පිහිටුවයි.

සද්ධා යන වචනයෙහි තේරුම "සද්දහතීති සද්ධා" විශ්වාස කිරීම ශ්‍රද්ධාවයි. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, කර්මය - කර්මඵලය ගැන පැහැදීම තුළින් ඇතිවෙන විශ්වාසය ශ්‍රද්ධාවයි.

දැන් බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන ශ්‍රද්ධාව ඇතිකර ගන්නේ කෙසේද? රත්නත්‍රය ගැනම විශ්වාසය ඇති වනුයේ අවබෝධය තුළින්ම ය. පළමුව බුදුරදුන් පිළිබඳව බලමු. ඒ සඳහා නව අරහාදී බුදුගුණ තේරුම් ගතයුතු ය. බුදුගුණ කියා වඳින පාඨයෙහි මේ ප්‍රධාන ගුණ නවයක්‌ තිබේ. අරහ, සම්මාසම්බුද්ධ, විඡ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තර පුරිසදම්මසාරථී, සත්ථා දේවමනුස්‌සානං, බුද්ධ, භගවා යනු ප්‍රධාන බුදුගුණ නවය ය.

බුදුරජාණන් වහන්සේගේ අරහ ගුණය ලක්‍ෂණ සතරක්‌ ඔස්‌සේ විස්‌තර වෙයි. පළමුවන ලක්‍ෂණය "පාපකරණෙ රහාභාවා අරහං" - රහසින්වත් පව් නොකෙරෙයි. බුද්ධ කාලෙ රහතන් හැටියට සමාජයට පෙන්නාගෙන සිටි කීපදෙනකු ගැන ම සඳහන් වෙයි. නිගණ්‌ඨනාථපුත්තතුමා ඉන් කෙනෙකි. එතුමා සෑහෙන අභිනිෂ්ක්‍රමණයක්‌ කර තපසට ගිය කෙනෙකි. දොළොස්‌ අවුරුද්දක්‌ දුෂ්කර ක්‍රියා කර කේවල ඥානය නම් ඥානයක්‌ ලබාගෙන කෙලෙස්‌ ජයගත් කෙනෙකු හැටියට "ජින" නාමයෙනුත් පෙනී සිටි කෙනෙකි. නමුත් ඔහු නියම රහත් කෙනෙකු හැටියට පොදු පිළිගැනීමක්‌ නොතිබිණි. රහත් බව නැත්නම් රහසින් නමුත් පව් කෙරෙන්නට ඉඩ ඇත.

මේ රටේ රහතුන් සිටී නම් මේ රත්‍රං පාත්‍රය ගන්නැයි එක සිටුවරයකු උස කණුවක්‌ මුදුනේ තබාපු පාත්‍රය ගැනීමට මේ ශාස්‌තෘවරයා කළ ප්‍රොaඩාවෙන් එළිපිට නැතත් රහසින් වැරදි කරන බව පැහැදිලි විය. උරුවේල කාශ්‍යපතුමාලත් රහත්භාවය නැති ව රහතුන් හැටියට පෙනී සිට ඇත. බුදු හාමුදුරුවො කවදාවත් රහසින්වත් පව් නොකරන නිසා ලෝකයේ පළමුවන නියම රහතන් වහන්සේ ලෙසින් හැඳින්විය හැක.

දෙවැනි ලක්‍ෂණය, " අරිණං හතත්තා අරහං" - සියලු කෙලෙස්‌ සතුරන් නැති කළ නිසා රහත් නම් වෙයි. උන්වහන්සේ අබමල් රේණුවක්‌ තරම්වත් කෙලෙස්‌ ඉතිරි කර නොගෙන ලෝභ, ද්වේෂ, මෝහ පදනම් කරගත් සියලු කෙලෙස්‌ මුලිනුපුටා දැමූ සේක.

තුන්වැනි ලක්‍ෂණය, "අරාණං හතත්තා අරහං" - සංසාර බන්ධන සියල්ලම නැති කළ නිසා අරහං - රහත් ය. සම්මා සම්බුදුරදුන් හැර ලෝකයේ පහළ වූ කිසිම ශාස්‌තෘවරයකු සසරින් මිදීමක්‌ ගැන උගන්වා නැත. සියලු දෙනාගේම උගැන්වීම ඉහළ තැනකට යැම ගැන ය. බ්‍රහ්මත්වයට - සුඛපූර්ණභවනයට - ස්‌වර්ගයට එනම් සැපයෙන් පිරුණු ලෝකයකට ගොස්‌ සැප විඳින්න ය. තවත් සමහරු ලෝකයේත් සත්ත්වයාගේත් නිර්මාතෘවරයා යෑයි කියන කෙනෙකු වෙතට ගොස්‌ සදාකාල සැනසුම ලැබීම අපේක්‍ෂා කරති. බුදුරජාණන් වහන්සේ පමණක්‌ සසර බැඳුම් සියල්ල නැතිකර දමා සසර ගමනින් නිදහස්‌වීමේ අගය පැහැදිලි කළ සේක. සිව්වැනි ලක්‍ෂණය, "අරහතත්තා අරහං" - පිදිය යුතු උතුමන් අතර උසස්‌ ම පිදිය යුත්තාය.

ඊළඟ ගුණය " සම්මාසම්බුද්ධො" ය. කාගේවත් උපදේශයක්‌, මග පෙන්වීමක්‌ නැති ව චතුරාර්ය සත්‍ය ධර්මයන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ තිස්‌සේ තමන් ම දියුණු කරගත් ගුණ නැණ බලයෙන් අවබෝධ කරගත් නිසා සම්මාසම්බුද්ධ නම් වෙයි. බුදුරජාණන් වහන්සේට පෙරවත් පසුවවත් තමන්ගේම දියුණු කරගත් බුද්ධියෙන් සත්‍යාවබෝධ කළ ශාස්‌තෘවරයකු ගැන දර්ශන ඉතිහාසයේ සඳහන් නොවෙයි.

ආගමික ඉතිහාසයෙහි බොහෝ ශාස්‌තෘවරුන් වෙනත් ලෝකයක සිටිතැයි සිතන බලවතුන්ගේ පණිවුඩ ගෙනැවිත් දුන් අය වශයෙන් හැඳින්වෙයි.

අපි තවත් බුදුගුණයක්‌ රැගෙන බලමු. ලෝකවිදූ - ලෝකය පිළිබඳව නිවැරදිව දැනගත් උතුමා ය. විශ්වය පුරා බැලුවොත් විදු ඇසිනුත් තරමක්‌ දුරට දකින ආකාරයට ජීවීන් වසන ලෝක සත්ත්ව ලෝක - ජීවීන් නැති ද්‍රව්‍ය පමණක්‌ ඇති ලෝක සංස්‌කාර ලෝක - කිසිවක්‌ නැති අවකාශය අවකාශ ලෝක වශයෙන් යථාතත්ත්වයෙන් බුදු ඇසින් දැක වදාරා ඇත.

ධර්මයේ ගුණ කීපයක්‌ දිහාත් බලමු. බුදුහාමුදුරුවො ම මැනවින් පැහැදිලි කළ පරිදි "සන්දිට්‌ඨිකෝ" - තම තමන් ම අවබෝධ කළ යුතුයි. "අකාලිකෝ" පිළිපැදීමෙන් කල්නොයවා ප්‍රතිඵල ලැබෙයි. ඒහිපස්‌සිකෝ" ඇවිත් පරීක්‍ෂා කර බලන්නැයි ඉදිරිපත් කිරීමට ධර්මයේ තිබෙන සුදුසු බව මෙයින් කියවෙයි. ධර්මයේ අගය විමසා බලනවිට අවබෝධය තුළින් පැහැදීම වැඩිවෙයි. විශ්වාසය තහවුරු වෙයි. ඒ විශ්වාසය පළුදු කිරීම ලේසි පහසු කාර්යයක්‌ නොවේ. ඒක නිසා ශ්‍රද්ධාව බලයක්‌ වෙයි.

ශ්‍රාවක සංඝයා පිළිබඳ පැහැදීම වැඩිවන්නේ උන්වහන්සේලා තුළ ඇති ගුණ විමසා බැලීමෙනි. බුද්ධ ශ්‍රාවකයා මනා පිළිවෙත් ඇති අයෙකි. සෘජු පිළිවෙත් ඇති අයෙකි. නිවන් මගට පිළිපන් අයෙකි. දහඩිය මහන්සියෙන් සපයන දෙයින් දුරබැහැර සිට හිස මත තබාගෙන විත් කරන පූජා පිළිගැනීමට සුදුසු අයෙකි. ලෝකවාසී ජනතාවට පින් දහම් කර ගැනීමට තිබෙන පින් කෙතය. මේ ආදී වශයෙන් තිබෙන සුදුසුකම් දෙස බලාගෙන යන විට ශ්‍රාවක සංඝයා ගැන ප්‍රසාදය වැඩිවෙයි. පිළිගැනීම වැඩිවෙයි. ශ්‍රද්ධාව එයින් ශක්‌තිමත් වෙයි. ශ්‍රද්ධාව කර්මඵල විශ්වාසයත් ශක්‌තිමත් කරයි. අපට දීර්ඝ සංසාර ගමනක්‌ ඇත. එහිදී අප කරන කියන දේවල ප්‍රතිඵල වශයෙන් දුක සැප අප පසුපස එයි. පිරිසිදු සිතින් කරණ දේ පින් ය. "පුඤ්ඤකම්මා ච සුග්ගතිං" - පින්කම්වල විපාකයෙන් සුගතිය ලැබෙයි. "නිරයං පාපකම්මන්තා" - පව්කම්වල විපාකයෙන් අනන්ත දුක්‌ ඇති අපායවලට යන්නට සිදුවෙයි.

නියම ශ්‍රද්ධාවට බාධා නැත. තමන් දරන තනතුරු අතහැර දා යන්නේ කෙසේද, දරුමල්ලන් අත්හැරදා යන්නේ කෙසේ දැයි නියම ශ්‍රද්ධාවන්තයාට ප්‍රශ්න නැත. පෝයදාට වත් මලක්‌ පහනක්‌ පුදා යන්නට විවේකයක්‌ නැති අපේ රටේ සමහර ශ්‍රද්ධාවන්තයන් මේ පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ව තිබේ.

කරුණු මෙහෙම නිසා ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම ශක්‌තියක්‌ දරන බව ඉතාම පැහැදිලි කරුණකි. නියම ශ්‍රද්ධාව ඇතිකර ගතහොත් පියවරෙන් පියවර යන්නේ නිවන් සුව පැත්තට ම බව අමතක නො කළයුතුව තිබේ. කවර බලවේගයකින්වත් ඒක වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

අද අපේ රටේ සමහර අය මුදල් ලබා ගන්නට, බුදුරදුන්ට, ධර්මයට, සංඝයාට නිග්‍රහ කරන හැටි බැලුවා ම ලේඛන දේශන කරන හැටි බැලුවා ම පුදුම වේදනාවක්‌ ඇති වෙයි. බුදුරුව යොදා විවිධ රටවල කරන වෙළෙඳ ව්‍යාපාර දෙස බලන විට බලගතු සංවේගයක්‌ ඇති වෙයි. අපේ රටේත් උදර පෝෂණයට බෞද්ධකම හැර දමා යන හැටි දකින විට පුද්ගලයන් පිළිබඳ පිළිකුලක්‌ ඇති වෙයි. විදේශ ගතවීමේ ආශාව සන්තර්පණය කර ගැනීමට බුද්ධාගම පාවා දෙන තරුණ තරුණියන් ගැන අසන්නට ලැබීම ජුගුප්සාජනක ය. වර්ෂ දහස්‌ ගණනක උරුමයෙන් ලද ශ්‍රද්ධාව ගෑවිලාවත් තිබේ නම් එහෙම වීමට ඉඩක්‌ නැත. ඒ නිසා අපි බෞද්ධ දර්ශනය රැකගෙන දහම් මගේ ඉදිරියට යැමට ශ්‍රද්ධා බලය තහවුරු කරමු.

මේ ශ්‍රී ලංකාද්වීපය ලෝකයේ ආශ්චර්යය බවට පත්වේගන යන මේ යුගයේ බුදුදහම ද විද්‍යාත්මක ලෝකයේ ආශ්චර්යය බවට පත්වේගෙන යද්දී ලෞකික ආශාවන්ට මුළා වී දහම් මගින් පිටපැනීම කෙතරම් අනුවණ කමක්‌දැයි නැවත නැවත සිතා බැලිය යුතුව ව ඇත.

කවර ක්‍රමයකින් හෝ කටබඩ පුරවා ගැනීම තිරිසනාගේ ද ස්‌වභාවය ය. මනසින් දියුණු මිනිසාත් එසේ වියයුතුද? නොවේ නම් නොවියයුතුද යන්න නුවණින් විමසා බැලිය යුතු කාලය එළඹ තිබේ. 2600 සම්බුද්ධත්ව ජයන්තියේ නාමයෙන් වසරක්‌ තිස්‌සේ පිළිවෙතින් පෙළ ගැසීමේ අගය විවිධ මාධ්‍යයන් ඔස්‌සේ විග්‍රහ වුණු අවස්‌ථා අප්‍රමාණ ය. ඒ අනිකක්‌ සඳහා නොව දැහැමි රටක්‌ සඳහා මය. දැහැමි මිනිස්‌ පරපුරක්‌ සඳහා මය. දූෂණයෙන් භීෂණයෙන් තොර මිනිස්‌ සමාජයක්‌ සඳහා මය. නිදහස්‌ ආගමික පරිසරයක්‌ ඇති රටක්‌ සඳහා මය.

භෞතික දියුණුව අහස උසට නැගී ගියත් ආධ්‍යාත්මික දියුණුව තිබේ නම් කිසිවෙකුට ප්‍රශ්නයක්‌ නැත. සාරධර්ම අගය කරන ප්‍රඥාවන්තයාගෙන් ද රට දැය සමයට විපතක්‌ නැත. දැහැමි පුද්ගලයාට ධර්මයෙන් ම ආරක්‍ෂාව ලැබෙයි.

සැමට අමා දොර විවර වේවා !!!


පූජ්‍ය හබරකඩ ඉන්දරතන නාහිමි